කො ඉමං පඨවිං විචෙස්සති
යමලොකඤ්ච ඉමං සදෙවකං.
කො ධම්මපදං සුදෙසිතං
කුසලො පුප්ඵමිව පචෙස්සති
කවරෙක් ආත්මභාවය සංඛ්‍යාත මේ පෘථිවිය ප්‍රත්‍යක්‍ෂ කොට දැන ගන්නේ ද? දෙව්ලොව සහිත මේ මිනිස්ලොවත් සිවු අපායත් ප්‍රත්‍යක්‍ෂ කොට දැන ගන්නේ ද? කවරෙක් දක්‍ෂ මල්කරුවකු මල් නෙලන්නා සේ සත්තිස් බෝපැකි දහම් ප්‍රත්‍යක්‍ෂ කරන්නේ ද?
සෙඛො පඨවිං විචෙස්සති
යමලොකඤ්ච ඉමං සදෙවකං
සෙඛො ධම්මපදං සුදෙසිතං
කුසලො පුප්ඵමිව පචෙස්සති.
සත්වැදෑරුම් ශෛක්‍ෂ තෙම මේ පෘථිවිය (මේ අත්බව) ප්‍රත්‍යක්‍ෂ කරන්නේ ය. දෙව්ලොව සහිත මේ මිනිස්ලොව හා අපායලෝකය ප්‍රත්‍යක්‍ෂ කරන්නේ ය. ශෛක්‍ෂ තෙම දක්‍ෂ මල්කරුවකු මල් නෙලන්නාක් මෙන් සත්තිස් බොපැකිදහම් පසක් කරන්නේ ය.
දවසෙක අපගේ ස්වාමිදරු වූ සම්මා සම්බුදුරජානන් වහන්සේ හා එක් ව ගම්නියම්ගම්දනවුහි සැරිසරා පෙරළා පැමිණි පන්සියයක් භික්‍ෂුන් වහන්සේලා සවස්වේලෙහි උවැටන්හලට රැස් ව හිඳ ‘අප ගියා වූ අසුවල් ගමෙහි අසුවල් තැන බිම්පෙදෙස සමතලා ව පිහිටා තුබුනේ ය, අසුවල්බිම්පෙදෙස විසම ව පිහිටා තුබුනේ ය, අසුවල් තැන මඩ බහුල ව තුබුණේ ය, අසුවල් තැන මුළුමනින් බොරලු සහිත ය, අසුවල් තැන තුබුනේ කළු මැටි ය, තඹපාට මැටි අසුවල් තැන තුබුනේය’ යි තමන් ආගිය හැමතැන බිම් පෙදෙස් ගැණ කතා කරමින් හුන්හ. එවේලෙහි එහි වැඩම කළ බුදුරජානන් වහන්සේ ‘මහණෙනි! දැන් මා මෙහි එන්නට කලින් තමුසේලා කුමක් කතා කරමින් හුන්නෝ දැ’ යි විචාරා ‘අප ආගිය ගම්නියම් ගම් රජදනවුහි ඒ ඒ තැන්හි පිහිටි ගම්පෙදෙස්වල උස්මිටිකම් ගැන කතා කරමින් හුන්නෙමු’ යි දන්වා සිටි කල්හි ‘තමුසේලා ඒ කළ කතාව බැහැරි පොළොව පිළිබඳ එකක් ය, ඉන් වැඩෙක් නැත, කළයුතු තමන් පිළිබඳ ඇතුල් පොළොව ගැණ කතා ය, ඒ නිසා මෙ තැන් සිට තමුසේලා අජ්ඣත්තිකපඨවියෙහි පරිකර්‍ම කළ යුතු ය’ යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක:-
කො ඉමං පඨවිං විචෙස්සති යමලෝකං ච ඉමං සදේවකං,
කා ධම්මපදං සුදේසිතං කුසලෝ පුප්ඵමිව පචෙස්සති.
.
සෙඛො පඨවිං විදෙස්සති යමලොකං ච ඉමං සදේවකං,
සෙඛො ධම්මපදං සුදෙසිතං කුසලො පුප්ඵමිව පචෙස්සතීති.
ආත්මභාවය යි කියූ මේ පොළොවත් සිවු අපායයත් දෙව්ලෝ සහිත මිනිස්ලොවත් තම නුවණින් කවරෙක් දැන ගණී ද, මනා කොට දෙසූ සත්තිස්බෝපැකි දම්, මල් කඩා රැස් කරණ දක්‍ෂ මල් දම් කරන්නකු සේ කවරෙක් ප්‍රතිවේධ කරන්නේ ද?
ශෛක්‍ෂ තෙමේ ආත්මභාවය යි කියූ මේ පොළොවත් සිවු අපායයත් දෙව්ලෝ සහිත මිනිස්ලොවත් තමනුවණින් දැන ගන්නේ ය. ශෛක්‍ෂ තෙමේ මොනවට දෙසූ සත්තිස්බෝපැකිදම් ද ප්‍රත්‍යක්‍ෂ කරන්නේ ය. ප්‍රථමගාථාව ප්‍රශ්නය කොට ද දවිතීයගාථාව එහි පිළිතුරු කොට ද ගත යුතු ය.
කො ඉමං පඨවිං විචෙස්සති = කවරෙක් ආත්මභාවය යි කියූ මේ පොළොව නුවණින් දැන ගන්නේ ද, ප්‍රතිවේධ කරන්නේ ද.
කො, යන මෙහි මූලය කිං, යනුයි. එයට ක, ආදෙශ වීමෙන් ක, යි සිද්ධව ප්‍රථමාවිභක්ති එකවචනයෙහි කො, යි සිට ගත්තේය. කවරෙක් ද? යනු අරුත් ය. ඉමං, යනු ඉදිරියෙහි සිටි පඨවිං, යන්නට විශේෂණ යි. පඨවිං’ යනු විචෙස්සති, යන්නට කර්‍මය වශයෙන් සිටගතු. මේ පොළොව, යනු එහි තේරුම යි. නාම-රූප-ධාතු-ආයතන යනාදීන් කැටිවීමෙන් හටගත් හැම එකක් ම පෘථිවිය වතුදු, මෙහි ආ පඨවිශබ්දය නැගී සිටියේ, ‘අජ්ඣත්තිකපඨවි’ යි කියූ ආත්මභාවය උඩ ය. පංචස්කන්ධ නමුදු මේ ම ය ලක්‍ෂණ ‘පෘථිවි’ යි කීයේ ද මේ ය.
ඒ මේ ආත්මභාවය ඇති සැටියෙන් දැන ගැණීම නම්, චතුධාතුවවත්ථාන, අට්ඨාරසධාතු, ද්වාදසායතන, පංචක්ඛන්ධ යන මොවුන් අතුරෙන් එක් ලෙසක් සිතට නගා ගෙණ ඒ ලෙසින් අනිත්‍ය- දුඃඛ-අනාත්ම යන ලක්‍ෂණත්‍රය නො හැර හොඳට දැනුම යි. විචෙස්සති, යන ක්‍රියාපදයෙන් කීයේ ඒ ය. එහෙයින් ම විචෙස්සති, යන්නට ‘අත්තනො ඤාණෙන විජානිස්සති පටිවිජ්ඣිස්සති සච්ඡි කරිස්සති’ යි අර්‍ත්‍ථකථාචාර්‍ය්‍යයෝ අර්‍ත්‍ථකථා කළහ.
අජ්ඣත්තිකපඨවිධාතුව හෙවත් ආත්මභාවය නාම-රූපය යි කෙටි කොට කොටස් දෙකකට බෙදිය හැකි ය. බෙදෙන්නේ ය. මේ කී දෙකොටස පංචස්කන්ධවශයෙන්, අෂ්ටාදශධාතුවශයෙන්, ෂඩ්විධආයතන වශයෙන් බෙදේ. පංචස්කන්ධය, යි ගැණෙන රූප-වේදනා-සංඥා-සංස්කාර-විඥාන, යන කොටස් පසින් වේදනා - සංඥා - සංස්කාර-විඥාන, යන කොටස් සතර එක් කොට නාම යි ද, රූපකොටස පමණක් ම රූප යි ද කියනු ලැබේ. අෂ්ටාදශධාතු හා ෂඩායතනයෝ මෙහි ම ඇතුළත් වෙති. එහෙයින් අජ්ඣත්තික පඨවිධාතු ය යි කියූ ආත්මභාවය පංචස්කන්ධය වශයෙන් බෙදා ඒ පිළිබඳ කෙටිකතාවක් බුදුබණෙහි ආලෙසින් මෙහි දක්වනු ලැබේ.
ආත්මභාව, යනු රූප - වේදනා - සංඥා- සංස්කාර-විඥාන යන පංචස්කන්ධයෙහි එකින් එක නො වෙන්ව පැවැත්මෙහි ලා ලෝකයා විසින් ඇතිකර ගත් නමෙකි. එහි නැසීම ලකුණු කොට ඇති සියල්ල රූප යි ගැණේ. ‘රුප්පනලක්ඛණං රූපං’ යි කීයේ එහෙයිනි. කුප්පන, ඝට්ඨන, පීළන, භිජ්ජන, යන අර්‍ත්‍ථ ද රුප්පන, යන්නෙහි ම ඇතුළත් ය. එහෙයින් විකාරය ලක්‍ෂණ කොට, ගැටීම ලක්‍ෂණ කොට, පෙළීම ලක්‍ෂණ කොට, බිඳීම ලක්‍ෂණ කොට සිටියේ රූප ය යි කියයුතු ය. ‘කිං ච භික්ඛවෙ! රූපං වදථ? රුප්පතීති ඛො භික්ඛවෙ! රූපනති වුච්චති’ මහණෙනි! කුමක් හෙයින් රූප ය යි කියවු ද? නැසෙන බැවින් රූප යයි කියනු ලැබේ, යනු එහි අදහස ය.
රූපලක්‍ෂණ වූ ඒ මේ විනාශය ශීතයෙන්, උෂ්ණයෙන් ක්‍ෂුධාවෙන්, පිපාසාවෙන්, ඩැහලේ බොන මැසි මදුරුවන්ගෙන්, අවු සුළඟින්, නයිපොළොං ආදී සතුන් දෂ්ට කිරීමෙන් සිදු වේ. ‘සීතෙනපි රුප්පති, උණ්හෙනපි රුප්පති, ජිඝච්ඡායපි රුප්පති, පිපාසායපි රුප්පති, ඩංසමකසවාතාතපසිරිංසපසම්ඵස්සෙනපි රුප්පති, රුප්පතීති ඛො භික්ඛවෙ! තස්මා රූපන්ති වුච්චති’ යනු එහි දේශනා ය.
විනාශ විකාරාදිය ලකුණු කොට ඇති ශීතයෙන් වන රූප ධර්‍ම විනාශය ලෝකාන්තරිකනරකයෙහි ප්‍රකට ව පෙණේ. සක්වළ තුනක් අතර එක් ලොකාන්තරිකනරකයෙක් වේ. උසින් එය අටදහසක් යොදුන. ලොකාන්තරිකනරකයනට පොළෝ නැත. මත්තෙහි චන්ද්‍රසූර්‍ය්‍යාදී වූ කිසිත් ආලෝකයෙක් ද නැත්තේ ය. හැම කල්හි ම අඳුරු ය. එහි උපන් සත්වයන්ගේ ආත්මභාවය තුන් ගවු පමණ මහත් ය. ඔවුහු වවුලන් මෙන් නියවලින් ලැගී යට හෙලු ඇස් ඇති ව එල්බ වාසය කරති. එල්බ සිටි තැනින් ගිලිහී ගියෝ නම් අනෙකෙකුට හසු වෙති. එකල ඔවුහු අපවිසින් කැ යුත්තෙක් ලද, යි ඩැහ ගෙණ කන්නට උත්සාහ කරන්නෝ පෙරැළී ගොස් හුළං හමන කල්හි ඉදුනු මීපල, නටුවෙන් වෙන් ව බිම වැටෙන්නා සේ අඟපසඟ කැඩී බිඳී වැටෙති. වැටුනු ඇසිල්ලෙහි ඉතාතද ශීත ජලයෙන් සිඳුනු බිඳුනු සම්මස්ඇටනහර ඇති ව කකාළතෙලෙහි වත්කළ පිටිපිඬක් මෙන් පට පට යන හඬ නගමින් එහි ම දිය වී යෙති. පිනි වැටීමෙන් ශීත වූ මහිංසක ලප්ලන්තරාෂ්ට්‍රාදියෙහි ද ශීතයෙන් වන විනාශය දක්නා ලැබේ.
උෂ්ණයෙන් වන විනාශය අවීචිමහානරකයෙහි ඉතා ප්‍රකට වේ. එහි ගිනියම් වූ යබිම්හි හොවා පංචවිධවධබන්ධනාදී වූ කම්කටොලු කරණ කාලයෙහි නිරිසතුන් විඳිනා දුක ඉතාමහත් ය.
බඩගින්නෙන් වන විනාශය ප්‍රේතලෝකයෙහි තදින් පවත්නේ ය. එහි බුද්ධාන්තර දෙක තුනක් ගිය තැනේ දී වත් කැඳක් බතක් කැවිල්ලක් කටට ගන්නේ නැත. ඔවුන්ගේ බඩතුර එහි නගින ගින්න නිසා සිදුරු සහිත රුකක් වැනි ය. කැඳිත්තක් පමණකුත් නො ලැබ මළා වූ සත්වයන්ගේ පමණ නැත.
කාලකඤ්ජකඅසුරයෝ පවස නිසා බොහෝ සෙයින් දුක් විඳිති. එහි දෙතුන් බුද්ධාන්තරයක් මුළුල්ලෙහි දිව තෙමෙන ලය තෙමෙන පමණකුදු දියඹිඳක් ලබන්නෝ නැත. පැන් ටිකක් බොන්නෙමු’ යි ගඟක් බලා ගියෝ නම් එගඟ වැලිතලාවක් මෙන් ඔවුනට පෙණේ. මුහුද කරා ගියවුනට මුහුද ගල්තලාවක් මෙන් පෙණේ. ඔවුහු පවසින් වියෙලෙමින් දුක් විඳිති.
කාලකඤ්ජකඅසුරයෙක් පවස ඉවසා ගත නො හැකිව යොදුනක් තරම් ගැඹුර හා පළල ඇති ගංගා නම් ගඟට බැස්සේ ය. ඔහු ගිය ගිය හැම තැනැ දිය සිඳී දුම් නැගුනේ ය. රත් වූ ගල්තලාවෙක යන කලක් සේ විය. දිය බස්නා හඬ අසා ඈතමෑත බලමින් ඇවිදිද්දී පහන් විය. උදෑසන සිඟා යන තිස් නමක් පමණ භික්‍ෂුන් වහන්සේ ඔහු දැක ‘තෝ කවරෙක් වෙහි දැ’ යි ඇසූහ. ‘ස්වාමීනි! මම ප්‍රේතයෙක් වෙමි’ යි හේ කී ය. ‘තෝ කුමක් කෙරෙහි දැ’ යි ඇසූ විට ‘මම බොන්නට පැන්ටිකක් සොයමි’ යි කීයේ ය. එවිට භික්‍ෂූහු මේ ගඟ දියෙන් පිරී ඉතිරී ගලා යද්දී කුමක් හෙයින් තෝ මෙසේ කියහි දැ’ යි අසා ඌ ගං ඉවුරෙහි හොවා පාත්‍රවලින් දිය ඇද කට අරවා දිය වත්කොට සෑහීමට පත් වූ යෙහි දැ, යි විචාළාහු ය. ස්වාමීනි! ඔබ වහන්සේලා තිස් නම මාගේ කටෙහි වත්කළ දියෙන් අඩපතක් පමණ වත් උගුරෙන් යටට ගියේ නම් කොතරම් සෑහීමෙක් දැ’ යි ඒ අසුරයා කී ය.
ඩැහැලේබොන මැසි ආදීන්ගෙන් වන නැසුම ප්‍රකට ව පෙණෙනුයේ ඔවුන් බහුල ව වසන පෙදෙස්වල ය. වාතරෝගය රෝගීන්ගේ අත්පා ආදිය බිඳ කණුන් කොරුන් පිළුන් කරන්නේ ය. එය අප ඉදිරියෙහි ම දක්නට ලැබේ. අව්වෙන් වන විනාශය වාලුකා කාන්තාරයන්හි යන්නවුන්ගෙන් දක්නට ලැබේ. වෙළඳසමූහයක් සමග මරුකතරට වන් එක් සත්‍රියක් වැළහුනී, දාවල හිරු උදාවන කල්හි අව්වෙන් පීඩිතව වැල්ලෙහි පා තබන්නට නො හැකිව හිසැ තුබූ පැස බිම තබා එහි නැගී සිට ගත. එද තදින් රත් වූ බැවින් ඒ මතෙහි සළුවක් බහා නැගී සිටියා. නැවැත ඇකයෙහි හුන් ලදරුවා යටිමුව කොට හොවා හඬව හඬවා ඔහු පිට නැගුනී ද, අධික වූ. අව්වෙන් ලදරුවාත් සමග එතැන ම මිය ගියාය.
නයිපොළොං ආදී වූ දිග් දෑ සතුන්ගෙන් වන විපත් කවුරුත් දනිති. එය බොහෝ කොට දක්නට ලැබෙනුයේ ඔවුන් වසන පෙදෙස්වල දී ය.
මෙසේ ගීතොෂ්ණාදී වූ හේතූන්ගෙන් නැසී යන රූපධර්‍ම ඇත්තේ අටවිස්සෙකි පඨවි-ආපො-තෙජො-වායෝ-චක්ඛු-සොත-ඝාණ-ජිව්හා-කාය-රූප-සද්ද-ගන්ධ-රස-ඉත්‍ථිභාව-පුරිසභාව-හදය-ජීවිත-කබලීකාරාහාර-ආකාසධාතු-කායවිඤ්ඤත්ති-වචීවිඤ්ඤත්ති-ලහුතා-මුදුතා-කම්මඤ්ඤතා-උපචය-සන්තති- ජරතා-අනිච්චතා, යන මොවුහු ය අටවිසි රූපයෝ.
එහි පඨවි-ආපෝ-තේජෝ-වායෝ යන සතර, මහාභූතරූප ය යි හඳුන්වති. චක්ඛු-සෝත-ඝාණ-ජිව්හා-කාය යන පස හඳුන්වන්නෝ පසාදරූප නාමයෙනි. රූප-සද්ද-ගන්ධ-රස යන සතර, විසය රූපය යි කියනු ලැබේ. භාවරූප නාමයෙන් ඉත්ථිභාව-පුරිසභාව දෙක ගන්නා ලැබේ. තනි හදය රූපය, හදයවත්‍ථුරූපය යි ගැණේ. පරිච්ඡෙදරූපය යි කියනු ලබන්නේ ආකාසධාතුරූපය යි. කාය-වචීවිඤ්ඤත්ති දෙක, විඤ්ඤත්තිරූප යි. ලහුතා-මුදුතා-කම්මඤ්ඤතා යන තුනත් විඤ්ඤතිරූප දෙකත් එක් කොට විකාර රූප යි ගණිත්, ලක්‍ෂණරූපයැ යි ගැණෙන්නේ උපචය-සන්තති-ජරතා-අනිච්චතා, යන සතර යි. එයින් උපවය-සන්තති දෙක, වෙන ම ගැණීමෙන් ජාතිරූපනාමයෙන් හඳුන්වනු ලැබේ. ඒ මෙසේ කීහ:-
“භූතප්පසාදවිසයා-භාවො හදයමිච්චපි,
ජීවිතාහාරරූපෙහි-අට්ඨරසවිධං භවෙ.
.
පරිච්ඡෙදො ච විඤ්ඤත්ති විකාරො ලක්ඛණංති ච,
අනිප්ඵන්නා දසචෙති අට්ඨවීසවිධං භවෙ”
තව ද භූතරූපය පටන් ආහාරරූපය තෙක් ඇති අටළොසට සභාව රූප, සලක්ඛණ රූප, නිප්ඵන්නරූප, රූපරූප, සම්මසනරූප යන නම් ද යෙදේ. අටවිස්සෙන් ඉතිරි වූ අනික් දසය, අනිප්ඵන්නරූප නාමයෙන් ගැණේ. මහාභූතරූපැ යි කියූ පඨවී ආදී වූ සතර හැර අනික් සූවිස්ස, මහාභූතරූප ඇසුරු කොට දැඩි ව ගෙණ පවත්නා බැවින් උපාදායරූප යි කියනු ලැබේ. උපාදායරූප, මහාභූතරූපයන් නො හැර ඔවුන් ඇසුරු කොට ම පවත්නේ ය. පඨවි ආදී වූ සතර, මහාභූතරූප යි කියන ලද්දේ මහත් ව පහළවන බැවිනි. චක්‍රවාට පර්‍වතාදීන්ගේ වශයෙන් දෙවමනුෂ්‍ය මත්ස්‍යකච්ඡපාදීන්ගේ වශයෙන් මහත් ව පහළ වෙති මොවුහු. “මහන්තානි හුත්‍වා භවන්ති පාතුභවන්තීති-මහාභූතානි, මහාභූතසාමඤ්ඤතා මහාභූතානි, මහාපරිහාරතො භූතානි මහාභූතානි, මහාවිකාරතො මහා භූතානි, මහතා වායාමෙන පරිගගහෙතබ්බත්තා මහාභූතානි, විජ්ජමානත්තා මහාභූතානි” යනු ආයේ මහාභූත ශබ්දයෙහි අර්‍ත්‍ථ පැහැදිලි කරණු සඳහා ය. මහත්ව පහළවන බැවින් මායාකාර මහාභූතයන් වැනි හෙයින්, දිනපතා කැම් පීම් දීමෙන් පරිහරණය කළයුතු බැවින්, කල්පාන්තයෙහි හා ධාතුක්‍ෂොභයෙහි විකාරයට පැමිණෙන බැවින් මහාභූත නම් වෙත් යනු, එ තන්හි තේරුම් ය.
මහාභූතරූපයන් අතර පළමුවැන්න පඨවිධාතුරූප ය යි. හැම වස්තුවක ම පවත්නා කැකුළුබව පඨවිධාතු රූපය යි බුදුරජානන් වහන්සේ වදාළ සේක. පෘථිවි තොමෝ ලක්‍ෂණවශයෙන් කැකුළුබව ලක්‍ෂණ කොට සිටියේ ය. ‘කක්ඛලලක්ඛණා පඨවී’ යනු එහිලා කියන ලදී. කෘත්‍යය නම්, ආපෝ- තේජෝ-වායෝ යන අනික් මහා භූතරූපයන් පිහිටන බව ය. ‘පථයතීති=පඨවි, සහජාතරූපානං පතිට්ඨානභාවෙන පක්ඛායති උපට්ඨාතීති’ යන මෙයින්. එය හොඳට පැහැදිලි කරයි. ‘පතිටඨානරසා’ යි කීයේ ද ඒ නිසා ම ය. තාර්කිකයෝ. පෘථිවිය ගන්ධවත්භාවය ලකුණු කොට ඇතැ යි කියත්. ‘ගන්ධවති පෘථිවි’ යනු තාර්කිකවචන යි.
අජ්ඣත්තික-බාහිර වශයෙන් ද උපාදින්නක-අනුපාදින්නකවශයෙන් ද මෙය දෙකට බෙදේ. එයින් මෙහි විස්තර කැරෙන්නේ අජ්ඣත්තික-උපාදින්නක වශයෙන් ආගමයෙහි කියැවෙන පඨවිධාතු රූප ය යි. එය ආගමයෙහි මෙසේ දැක්වුනේ ය:-
“යං අජ්ඣත්තං පච්චත්තං කක්ඛලං ඛරිගතං උපාදින්නං, සෙය්‍යථීදං? කෙසා ලොමා නඛා දන්තා තචො මංසං නහාරු අට්ඨි අට්ඨිමිඤජං වක්කං හදයං යකනං කිලොමකං පිහකං පප්ඵාසං අන්තං අන්තගුණං උදරියං කරීසං යං වා පනඤ්ඤම්පි කිංචි අජ්ඣත්තං පච්චත්තං කක්ඛලං ඛරිගතං උපාදින්නං, අයං වුච්චති අජඣත්තිකා පඨවිධාතු ච” යි.
සියසතන්හි කැකුළු ව පවතින තද ගතියෙන් යුත් මම ය මාගේ ය යි ගන්නාලද යමෙක් වේ ද, ඒය පඨවී නම්. මෙසේ වෙසෙසා කියන ලද්දෝ නම් කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර, ඇට, ඇටමිදුළු, වකුගඩු, හදවත්, අක්මා, දලබු, බඩදිව්, පපුමස්, අතුණු, අතුණුබහන්, නො දිරූ අහර, අසුචි යන මොවුහු ය. මෙයින් අන්‍ය වූත් තද ගතියෙන් යුත් ආධ්‍යාත්මික වූ යමෙක් වේ ද, එ ද අජ්ඣත්තික පඨවියෙහි ඇතුළත් ය. මෙහි විස්තරය ඉතාදිග එකෙකි. මෙහි ඒ කියනු බැරි ය. පොත දිග්ගැසෙනු ඉවසනු නො හැකි ය. අනික් පොතපතින් ඒ දත යුතු ය.
මෙ කියූ කෙශාදින් තමා කෙරෙහි වූ බැවින් ‘අජ්ඣත්ත’ යි ද, තමා නිසා පවත්නා බැවින් ‘පච්චත්ත’ යි ද, තද බැවින් ‘කක්ඛල’ යි ද, පරුෂ බැචින් ‘ඛරිගත’ යි ද, මම ය, මාගේ ය යි දැඩි කොට ගන්නා බැවින් ‘උපාදින්න’ යි ද කිහු. “අත්තනි පවත්තත්තා, අජඣත්තං අත්තානං පටිච්ච පවත්තත්තා පච්චත්තං, කක්ඛලන්ති ථද්ධං, ඛරිගතන්ති ඵරුසං, උපාදින්නන්ති දළ්හං, ආදින්තං අහං මමන්ති” යනු එහි අටුවායි. සෙස්ස කී සේ දත යුතු ය.
දෙවැන්න ආපෝධාතුරූපය යි. හැම වස්තුවෙක පවත්නා ආබන්ධන එකට බඳවන ගතිය ආපෝධාතුරූප ය යි වදාළ සේක. සසම්භාරආපෝධාතු ය, ආරම්මණආපෝධාතු ය, සම්මතිආපෝධාතු ය, ලක්ඛණ ආපෝධාතු ය, යි මෙය සතර තැනෙක පවතී. එහි ගඞ්ගා සමුද්‍රාදියෙහි පවත්නා ජලය, සසම්භාරආප නමින් ගැණේ. ආපෝ කසිණනිමිත්ත, ආරම්මණආප නම් වේ. ඒ කසිණ නිමිත්ත වඩා ධ්‍යාන ලබා බඹලොව උපන්නේ ආපෝදෙව’ යි හඳුන්වනු ලැබේ. ඒ ය සම්මතිආප. ශරීරය පිළිබඳ වූ එකට බඳවන ගති ඇත්ත, ලක්ඛණආප නමි, මෙය ලක්‍ෂණවශයෙන් එකට බඳවනබව ලකුණු කොට සිටියේ ය. ‘ආබන්ධනලක්ඛණා ආපොධාතු’ යි කීයේ එහෙයිනි. කෘත්‍යය නම්, සහජාත ධර්‍මයන් එකට බැඳ තැබීම යි. අබ්ධාතුවෙන් තොර වූ රූප ධර්‍මයන්ගේ එකට බැඳී පැවැත්මෙක් නැත. අබ්ධාතුව නිසා ම අනික් රූප ධර්‍ම එකට බැඳුනේ ය. “ආපෙති සහජාතරූපානි බ්‍යාපෙත්වා තිට්ඨතී’ති = ආපෝ, තානි වා අවිප්පකිණ්ණානි කත්වා භූසො පාති රක්ඛතීති = ආපො” යනු විවරණ යි. ‘ආපොධාතු ආබන්ධනරසා’ යි කීයේ ද මේ නිසා ම ය. අබ්ධාතුව සිහිල් පහස් ඇත්තෙකැ යි කෙනෙක් කියති. ඒ නො ගත යුතු ය. සිහිල් පහස් ගුණය තේජෝධාතුවෙහි ම ඇතුළත් වන බැවිනි.
ආපෝධාතුව, අජ්ඣත්තික - බාහිර වශයෙන් ද, උපාදින්න අනුපාදින්නවශයෙන්ද දෙ වැදැරුම් ය. යටැ කියූ සේ මෙහි එන්නේ අජ්ඣත්තික - උපදින්නක වශයෙන් දැක්වෙන ආපෝ ධාතු රූපය යි. එය ආයේ ආගමෙහි මෙසේ ය:-
“යං අජ්ඣත්තං පච්චත්තං ආපො ආපොගතං සිනහො සිනෙහගතං බන්ධනත්තං රූපස්ස අජ්ඣත්තං උපදින්නං, සෙය්‍යථිදං? පිත්තං සෙම්හං පුබ්බො ලොහිතං සෙදො මෙදො අස්සු වසා ඛෙලෝ සිඞ්ඝානිකා ලසිකා මුත්තං, යං වා පනඤ්ඤම්පි අත්ථි අජ්ඣත්තං පච්චත්තං ආපො ආපොගතං සිනෙහො සිනෙහගතං බන්ධනත්තං රූපස්ස අජ්ඣත්තං උපාදින්නං අයං වුච්චති ආපොධාතු” යි.
සියසතන්හි වූ ආබන්ධනගති ඇති මමය, මාගේ ය, යි දැඩි කොට ගන්නාලද යමෙක් වේ ද, එය අපො නම් වේ. පිත්, සෙම්, සැරව, ලේ, ඩහදිය, මේදතෙල්, කඳුලු, වුරුණුතෙල්, කෙල, සොටු, සඳමිඳුළු මුත්‍ර යන මොවුහු ය අබ්ධාතු. මෙයින් අන්‍ය වූ තද ගතියෙන් යුත් ආධ්‍යාත්මික වූ යමෙක් වේ ද, ඒ හැම අජ්ඣත්තික ආපෝධාතුවෙහි ඇතුළත් ය. සෙස්ස යට කී සේය.
තේජෝධාතුරූපය මහාභූතයන් අතුරෙහි තෙවැන්න යි. හැම වස්තුවක ම පවත්නා උණුසුම්ගතිය දිරිම දැවීම පැසවීම තේජෝධාතු නමැ යි වදාළාහු ය. එ ද සසම්භාර, ආරම්මණ, සම්මති, ලක්ඛණ වශයෙන් සතර තැනෙක පවතී. කෑම්බීම් පිසගැණුමට හා පහන් දල්වා ගැණිමට උපකාර වූ ගින්න සසම්භාර තේජෝධාතුවැ යි ගැණේ. තේජෝකසිණය, ආරම්මණතේජෝ ධාතුව යි. ඒ වඩා බඹ ලොව උපන්නේ සම්මතිතේජෝධාතුව යි. ශරීරයෙහි වූ උෂ්ණස්වභාවාදිය ලක්ඛණතේජෝධාතුව යි. ලක්‍ෂණ වශයෙන් උණුසුම්බව ලකුණු කොට සිටියේය. ‘උණ්හත්ත ලක්ඛණං තෙජොධාතු’ යි කීයේ එහෙයිනි. කෘත්‍යය නම්, පැසවන මෝරවනබව යි. ‘තෙජො එව හි සීතං’ ශීතය තෙජස්හි ම පිහිටි ගුණවිශේෂයෙකැ යි. කියත්. ‘මන්දෙ පි උණ්හත්තෙ සීත බුද්ධි හොති’ උණුසුම්බව මද වූ කල්හි ශීතය යන හැඟීම පහළ වේ. මෙයින් අන්‍යයන්ගේ මතය තෙජස උෂ්ණ ස්පර්‍ශය ඇත්තේ ය යනු යි. ශීතභාවය උෂ්ණභාවය සේ පැසවන මෝරවන ගතියෙන් යුක්ත ය. ඒ නිසා ම වරෙක ශීත, වරෙක උෂ්ණ, වශයෙන් ද, වරෙක උෂ්ණ, වරෙක ශීත වශයෙන් ද සිහියට නගී. අජ්ඣත්තික-බාහිර වශයෙන් හා උපාදින්න-අනුපාදින්න වශයෙන් තේජෝධාතුව ද දෙවැදෑරුම් ය. මෙහි කියයුත්තේ අජ්ඣත්තික-උපාදින්න යන නම්වලින් ගැණෙන තේජෝධාතුව යි. එය ආගමයෙහි මෙසේ ආයේ ය:-
“යං අජ්ඣත්තං පච්චත්තං තේජා තෙජොගතං උස්මා උස්මා ගතං. උසුමං උසුමගතං අජ්ඣත්තං උපාදින්නං සෙය්‍යථීදං? යෙන ච සන්තප්පති යෙන ච ජිරීයති යෙන ච පරිඩය්හති යෙන ච අසිතපීතබායිතසායිතං සම්මා පරිණාමං ගච්ඡති, යං වා පනඤ්ඤම්පි අත්ථි අජ්ඣත්තං පච්චත්තං තෙජො තෙජොගතං උස්මා උස්මාගතං උසුමං උසුමගතං අජ්ඣත්තං උපදින්නං, අයං වුච්චති අජ්ඣත්තික තෙජොධාතු” යි.
තමා කෙරෙහි වූ තේජෝගතියෙන් යුත් කර්‍මයෙන් හටගත් යමෙක් වේ ද, එය තේජස් නම් වේ. යමකින් තැවේ ද, යමක් කරණකොට දිරා ද, යමකින් දැවේ ද, යමකින් කෑ බී ආහාර පානාදිය මැනැවින් පැසීමට යේ ද ඒ තැවීම දිරීම දැවීම පැසීම යන මෙයට කරුණු වූ ධාතුශක්තිය තේජෝධාතු නමැ යි ගතයුතු ය. මෙයින් අන්‍ය වූත් අජ්ඣත්තිකපරිපාචනලක්‍ෂණවත් යමෙක් වේ ද, ඒ හැම අජ්ඣත්තිකතේජෝධාතුවෙහි ම ඇතුළත් ය. සෙස්ස යට කී සේ ය.
වායෝධාතුරූපය මහාභූතයන් අතර සිවුවැන්න යි. හැම වස්තුවෙක පවත්නා සැලෙනගතිය වායෝධාතු නැමැ යි වදාළාහු ය. එ ද සසම්භාර, ආරම්මණ, සම්මති, ලක්ඛණ යි සතර තැනෙක පවතී. හැම අවකාශයෙක ම පැතිර පවත්නා වාතය, සසම්භාර වායෝධාතුය යි කියනු ලැබේ. වායෝකසිණය, ආරම්මණවායෝධාතුව යි. එය වඩා බඹලොව උපන්නේ සම්මතිවායෝධාතුව යි. කථා, වමන, ඔක්කාර, හික්කා ආදී වූ ක්‍රියා විශේෂයන්ට කාරණ වූයේ ලක්‍ෂණ වායෝධාතුව යි. ලක්‍ෂණ වශයෙන් විත්ථම්භන ය යි කියූ පුරවන ගතිය ලකුණු කොට සිටියේ ය. ‘විත්ථම්භනලක්ඛණං වායෝ ධාතු’ යි කීයේ එහෙයිනි. කෘත්‍යය නම්, සැලෙන බව යි. සහජාත රූපධර්‍මයන් නො වැටෙන සේ උසුලා සිටින්නේ මේ ය. ‘වායති සහජාතධම්මෙ අපතමානෙ කත්වා වහතීති = වායො’ යි ඒ දැක්විනි. තාර්කිකයෝ මෙය රූපරහිතස්පර්‍ශවත් යි කීහු. ‘රූපරහිත ස්පශර්‍වාන් වායුඃ’ යනු තාර්කිකවචන යි.
අජ්ඣත්තික-බාහිර වශයෙන් හා උපාදින්න-අනුපාදින්න වශයෙන් දෙවැදෑරුම් වන මෙහි ද, අජ්ජත්තික-උපාදින්නක නමින් ගැණෙන වායෝධාතුරූපය මෙහි කිය වේ. එය ආගමයෙහි මෙසේ ආයේ ය:-
“යං අජ්ඣත්තං පච්චත්තං වායො වායොගතං ථම්භිතත්තං රූපස්ස අජඣත්තං පච්චත්තං උපාදින්නං, සෙය්‍යථිදං? උද්ධඞ්ගමා වාතා අධොගමා වාතා කුච්ඡිසයා වාතා කොට්ඨාසයා වාතා අඞ්ගමඞ්ගානුසාරිනො වාතා සත්ථකවාතා ඛුරකවාතා උප්පලවාතා අස්සාසො පස්සාසො, ඉති යං වා පනඤ්ඤම්පි අත්ථි අජ්ඣත්තං පච්චත්තං වායො වායොගතං ථම්භිතත්තං රූපස්ස අජ්ඣත්තං උපාදින්නං, අයං වුච්චති අජ්ඣත්තිකා වායොධාතු” යි.
තමන් කෙරෙහි පැවැති විත්ථම්භනගතියෙන් යුත් කර්‍මයෙන් හටගත් යමෙක් වේ ද, එය වායො නම් වේ. උද්ධඞ්ගමවාතය, අධොගමවාතය, කුච්ඡිසයවාතය, කොට්ඨාසයවාතය, අඞ්ගමඞ්ගානුසාරී වාතය, සත්ථකවාතය, ඛුරකවාතය, උප්පලකවාතය, අස්සාසපස්සාස වාතය යන මොවුහු ය ඒ. මෙයින් අන්‍ය වූත් ආධ්‍යමික විත්ථම්භනලක්‍ෂණයෙන් යුත් යමෙක් වේ ද, එයත් මෙහි ම ඇතුළත් ය. සෙස්ස යට කී සේ ය.
මෙසේ මේ ශරීරයෙහි පඨවිධාතු කොටස් විස්සෙකි. ආපෝ ධාතු කොටස් දොළොසෙකි. තේජෝධාතු කොටස් සතරෙකි. වායෝ. ධාතු කොටස් සයෙකි. මුළුල්ල එකතු ව දෙසාළිසෙකි. ඔවුන් මෙසේ එක් තැන් කළෝ:-
“කෙසාදිමත්ථලුඞ්ගන්තා - පඨවංසා හි වීසති,
පිත්තාදිමුත්තදන්නා තෙ - ජලංසා ද්වාදසීරිතා.
.
යෙන සන්තප්පනං යෙන - ජීරණං දහනං තථා,
යෙනාසිතාදිපාකො ච - චාතුරංසා නිලාධිකා,
.
උද්ධාධොගමකුච්ඡට්ඨා - කොට්ඨාසයඞ්ගසාරි ව,
අස්සාසොති ච විඤ්ඤෙය්‍යා - ඡලංසාවාතනිස්සීතා.”
එකොළොස් අයුරකින් බෙදුනු රූපධර්‍ම අතරෙහි දෙවැන ප්‍රසාද රූපපඤ්චකය යි. චක්ෂුඃප්‍රසාදරූපය එහි ද පළමුවැන්න යි. එය සසම්භාර-ප්‍රසාදවශයෙන් දෙවැදෑරුම් ය. ඇටවලින් සෑදී හිස්මොළයෙන් ආ නහරින් එල්බ ගත් මස්පිඩ, සසම්භාරචක්‍ෂුස යි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වණ්ණ, ගන්ධ, රස, ඕජා, සම්භව, සණ්ඨාන, ජීවිත, භාව, කායප්පසාද, චකඛුප්පසාද යන තුදුස් සම්භාරයකින් යුක්ත බැවින් එය එනමින් හඳුන්වනු ලැබේ. එහි පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වණ්ණ, ගන්ධ, රස, ඕජා, සම්භව, සණ්ඨාන යන මේ දසය කම්මසමුට්ඨාන දසයෙක, චිත්තසමුට්ඨාන දසයෙක, උතුසමුට්ඨාන දසයෙක, ආහාරසමුට්ඨාන දසයෙ කැ යි සතර අයුරකින් බෙදී සතළිසෙක් වේ. මේ සතළිසට කයෙන් හටගත් ජීවිත, භාව, කායප්පසාද, චක්බුප්පසාද යන සතරත් එකතුවීමෙන් සූසාළිසෙක් වේ. මේ විස්තර විසිනි. ලෝකයා විසින් ඇස, කියා පිළිගත් මේ මස් පිඩෙහි ඇත්තාහු සුසාළිසක් සම්භාරයෝ ම ය. චක්ෂුඃ ප්‍රසාදය යි කියනු ලබන්නේ, මේ සුසාළිස් සම්භාරයන් ඇසුරු කොට සිටි ප්‍රසාද රූපය යි. රූපදැක්මෙහි ශක්තිමාත්‍රය යි. කිරිමවුන් සතර දෙනක විසින් වෙන වෙන ම දරා, නහවා, සරසා, පවන්සලා, උවටැන් කරණ රජකුමරකු මෙන් සන්ධාරණ, බන්ධන, පරිපාචන සමුදීරණ යන මෙයින් පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන මහා භූතරූපයන් විසින් උපස්ථාන කරණු ලබන මේ ප්‍රසාදරූපය උතුචිත්තයන් විසින් උපස්තම්භනය කරනු ලැබේ. ආයුසයෙන් පාලනය වේ. වණ්ණ, ගන්ධ, රසාදියෙන් පිරිවැරුනේ චක්‍ෂූර්විඥානාදි චිත්තයන්ට වාස්තු ද්වාරභාවය සිදු කරමින් පවතී. රූප හැපීමට සුදුසු භූතරූපයන්ගේ ප්‍රසාදය ලකුණු කොට ඇත්තේ ය. ‘රූපාභිඝාතාරහභූතප්පසාද ලක්ඛණං චක්ඛු’ යි අටුවායෙහි ආයේ ය. තවත් ලෙසකින් කියතොත් ‘රූපතෘෂ්ණාව නිදාන කොට ඇති කර්‍මයෙන් හටගත් ප්‍රසාදය ලකුණු කොට ඇතැ’ යි ‘දටඨුකාමතා නිදානකම්මසමුට්ඨාන භූතප්පසාදලක්ඛණං වා චක්ඛු’ යන විවරණය අනුව කිය හැකි ය. කෘත්‍යය රූප විඳගැණීම යි. චක්‍ෂුර්විඥානයට ආධාරභාවය පච්චුපට්ඨානය යි. පදට්ඨානය වනුයේ රූප දැකීමේ තෘෂ්ණාව මුල් කොට ගත් කර්‍මජභූතය යි. ‘රූපෙසු ආවිඤ්ජනරසං, චක්ඛුවිඤ්ඤාණස්ස ආධාරභාවපච්චුපට්ඨානං, දටඨුකාමතානිදානකම්මජභූත පදට්ඨානං’ යනු බණපොතෙහි එයි. චක්‍ෂුඃප්‍රසාදරූපයෙහිලා කියයුතු මෙයින් අන්‍ය වූ ධර්‍මවිස්තරය යටැ කියන ලදී.
සසම්භාර-ප්‍රසාද වශයෙන් දෙකට බෙදෙන ශ්‍රොත්‍රප්‍රසාදරූපය දෙවැන්න යි. ලෝකයා විසින් කණ ය යි පිළිගන්නා ලද්දේ සසම්භාරශ්‍රොත්‍රය යි. එහි තොරතුරු යටැ කියූ සේ ය. පසාදරූපය එහි තුළ පිහිටියේ ය. ශ්‍රොත්‍රවිඥානාදිචිත්තයන්ට වාස්තුද්වාරභාවය සිදු කරන්නේ එය යි. ශබ්ද හැපීමට සුදුසු භූතප්‍රසාදය ලකුණු කොට සිටියේ ය. ශබ්දතෘෂ්ණාව නිදාන කොට ඇති කර්‍මසමුත්ථාන භූතප්‍රසාදය ලකුණු කොට ඇත්තේ හෝ යි. කෘත්‍යය ශබ්ඳ විඳ ගැණුම යි. පච්චුපට්ඨානය ශ්‍රොත්‍රවිඥානයට ආධාරභාවය යි. ශබ්ද තෘෂ්ණාව නිදාන කොට ඇති කර්‍මජභූතපදස්ථානය කොට ඇත්තේ ය. “සද්දාභිඝාතාරහභූතප්පසාදලක්ඛණං, සොතුකාමතා නිදාන කම්මසමුට්ඨානභූතප්පසාදලක්ඛණං වා සොතං, සද්දෙසු ආවිඤ්ජනරසං, සොතවිඤ්ඤාණස්ස ආධාරභාවපච්චුපට්ඨානං, සොතුකාමතානිදානකම්මජභූතපදටඨානං” යනු පාළියි.
තෙවැන්න ඝ්‍රාණප්‍රසාදරූප ය යි. එ ද සසම්භාර-ප්‍රසාද වශයෙන් දෙ පරිදි ය. සසම්භාර ඝ්‍රාණය ලෝකයා විසින් නැහැය යි හඳුන්වනු ලැබේ. එය ඝ්‍රාණප්‍රසාදය නො වේ. ඝ්‍රාණප්‍රසාදය, සසම්භාරඝ්‍රාණයෙහි එළුකුරයක සටහන් ඇති තැන ඇසුරු කොට සිටියේ ය. සිටියේ ඝ්‍රාණවිඥානාදී චිත්තයන්ට වාස්තුද්වාරභාවය සිදු කරමිනි. ගන්ධස්පර්‍ශයට යෝග්‍ය වූ භූතප්‍රසාදය ලකුණු කොට ඇත්තේ ය. නොහොත් ගන්ධාඝ්‍රාණතෘෂ්ණාව නිදාන කොට ඇති කර්‍මසමුත්ථාන භූතප්‍රසාදය, ලක්‍ෂණ කොට සිටියේ ය. කෘත්‍යය, ගඳසුවඳ විඳගැණුම ය. පච්චුපට්ඨානය, ඝ්‍රාණවිඥානයට ආධාරභාවය යි. ආඝ්‍රාණකාමතානිදානකර්‍මජභූතපදට්ඨානය යි. “ගන්ධාභිඝාතාරහභූතප්පසාදලක්ඛණං ඝාණං, ඝායිතුකාමතානිදානකම්මසමුට්ඨාන භූතප්පසාදලක්ඛණංවා, ගන්ධෙසු ආවිඤ්ජනරසං, ඝාණවිඤ්ඤාණස්ස ආධාරභාවපච්චුපට්ඨානං, ඝායිතුකාමතානිදානකම්මජභූතපදටඨානං” යනු පාළියි.
ජීවහාප්‍රසාදය සිවුවැන්න යි. එ ද පෙර සේ දෙ පරිදි ය. ලෝකයා විසින් දිවය යි ගන්නා ලද්දේ සසම්භාරජිව්හා යි. එහි මැද උපුල්පෙතිඅගක් වැනි සටහනෙක් වෙයි. ජිවහාප්‍රසාදය එය ඇසුරු කොට ජිව්හිවිඥානාදිචිත්තයන්ට වාස්තුද්වාර ව සිටියේ ය. රසවිඳුමෙහි තෘෂ්ණාව නිදාන කොට ඇති කර්‍මසමුත්ථානභූතප්‍රසාදය ලක්‍ෂණ කොට ඇත්තේ හෝ යි. කෘත්‍යය රසවිඳගැණුම යි. පච්චූපට්ඨානය ජිව්හාවිඥානයට ආධාරභාවය යි. ආස්වාදකාමතානිදානකර්‍මජභූතපදට්ඨාන ය යි. “රසාභිඝාතාරහභූතප්පසාදලක්ඛණජිව්හා, සායිතුකාමතානිදානකම්මසමුට්ඨානභූතප්පසාදලක්ඛණා වා, රසෙසු ආවිඤ්ජනරසා, ජිව්හාවිඤ්ඤාණස්ස ආධාරභාවපච්චුපට්ඨානා, සායිතුකාමතානිදානකම්මජභූතපදට්ඨානා” යනු පාළියි.
කායප්‍රසාදය පස්වැන්න යි. එද පෙරසේ දෙ පරිදි ය. ඇසට ගොදුරුවන සත්වශරීරය, සසම්භාරකාය නම් වේ. පාචකතෙජසත් කෙස්, ලොම්, නිය, වියලිසමත් හැර අන් සියලු සිරුරෙහි පුලුන් පොදක ඉසි තෙලක් සේ පැතිර පවත්නේ කායප්‍රසාදය යි එ ද කායවිඥානාදීචිත්තයන්ට වාස්තුද්වාර ව පවතී. ස්පර්‍ශයට යොග්‍ය වූ භූතප්‍රසාදය ලකුණු කොට සිටියේ ය. පහස විඳිනු කැමතිබව නිදානකොට ඇති කර්‍මයෙන් හටගත් භූතප්‍රසාදය ලකුණුකොට ඇත්තේ හෝ යි. කෘත්‍යය, පහස විඳගැණුම යි. පච්චුපට්ඨානය, කායවිඥානයට ආධාර භාවය යි. ස්පර්‍ශකාමතානිදානකර්‍මජභූතපදට්ඨානය යි. “ඵොට්ඨබ්බාභිඝාතාරහභූතප්පසාදලක්බණො කායො, ඵුසිතුකාමතානිදානකම්මසමුට්ඨානභූතප්පසාදලක්ඛණො වා, ඵොට්ඨබ්බෙසු ආවිඤ්ජනරසො, කායවිඤ්ඤාණස්ස ආධාරභාවපච්චුපට්ඨානො, ඵුසිතුකාමතානිදානකම්මජභූතපදට්ඨානො” යනු පාළියි.
මෙකී ප්‍රසාදරූප පසෙහි චක්ඛු, ආදීන්ගේ අර්‍ත්‍ථය තෙමේ එකිනෙකට වෙනස් ය. අසාධාරණ වන්නේ ය. එය අර්‍ත්‍ථකථාචාර්‍ය්‍යයන් විසින් මෙසේ දක්වන ලදී “ චක්ඛතීති = චක්ඛු, රූපං අස්සාදෙති විභාවෙති චාති අත්‍ථො, සුණාතීති = සොතං, ඝායතීති = ඝාණං, ජීවිතං ආහවයතීති = ජිව්හා කුච්ඡිතානං සාසවධම්මානං ආයොති = කායො, ආයොති උප්පත්තිදෙසො” යි.
යම් ප්‍රසාද රූපයෙක් තෙමේ රූපාරමණය රස විදගැණුමක් මෙන් කෙරේ ද, ඒ චක්‍ෂුස් නම් වේ. යම් ප්‍රසාද රූපයෙක් ශබ්ද ශ්‍රවණය කෙරේ ද, ඒ ශ්‍රොත්‍ර නම් වේ. ඝ්‍රාණවිඥානය නිඃශ්‍රයස්ථාන කොට ගන්ධය ආඝ්‍රාණය කරණුයේ ඝ්‍රාණ නම් වේ. යම් ප්‍රසාද රූපයෙක් තෙමේ ජිව්හාවිඥානය නිඃශ්‍රයස්ථාන කොට ජීවිතයට කරුණු වූ රසය කැඳවා ද, ඒ ජිව්හා නම් වේ. ‘ජීවිතව්හා’ යි විය යුතු වුවත් මෙහි නිරුක්තිනයින් ‘ජිවහා’ යි සිද්ධ ය. නින්දිත වූ සාස්‍රවධර්‍මයන්ගේ ප්‍රවෘත්තියට කාරණ වූයේ කාය නම් වේ. ආය නම් උත්පත්ති දෙශය යි. හෙවත් පැවැත්මෙහි හේතුව යි.
මීලඟට දැක්වෙන්නෝ විෂයරූපයෝ ය. එහි මුල් වූයේ රූප රූප ය යි. ඇසින් දැක්ක යුතු සතර මහාභූතයන් නිසා පවත්නා වර්‍ණය රූපරූප නමි. යට කී සතර මහා භූතයන්ගේ ම නීලපීතාදී වූ ද දිග කෙටි වූ ද කුඩා මහත් වූ ද වට පිරිමඬුලු වූ ද සතරැස් සරැස් ආදී වූ ද වළ ගොඩ වූ ද ඡායා ආතප ආලෝක අන්ධකාරාදී වූ ද ඇසට ගොදුරු වූ සතර මහාභූතයන් නිසා පවත්නා වර්‍ණායතනය හෙවත් පැහැය රූපරූපය, යි නියමයෙන් දත යුතු ය. බුදුරජානන් වහන්සේ මෙසේ වදාළ සේක:- “කතමං තං රූපං රූපායතනං යං රූපං චතුන්නං මහාභූතානං උපාදායවණ්ණනිභා සනිදස්සනං සප්පටිඝං නීලං පීතං ලොහිතං ඔදාතං කාලකං මඤ්ජෙට්ඨකං හරිවණ්ණං අම්බඞ්කුරවණ්ණං දීඝං රස්සං අණුං ථූලං වට්ටං පරිමණ්ඩලං චතුරස්සං ඡළාසං - පෙ- ඉදං තං රූපං රූපායතනං” යි.
තාර්කිකයෝ මෙය ඇසින් ගතයුතු ගුණයකැ යි කීහ. ‘චක්‍ෂුර් මාත්‍රග්‍රාහ්‍යො ගුණො රසඃ’ යනු තාර්කිකවචන යි. රූපය ඇසෙහි හැපීම ලකුණු කොට ඇත්තේ ය. කෘත්‍යය චක්‍ෂුර්විඥානයට විෂය භාවය යි. එයට ම ගොදුරුවනබව පච්චුපට්ඨානය යි. මහාභූතපද ස්ථාන කොට ඇත්තේ ය. “චක්ඛුපටිහනනලක්ඛණං රූපං, චක්ඛු විඤ්ඤාණස්ස විසයභාවරසං, තස්සෙව ගොවරපච්චුපට්ඨානං මහාභූතපදට්ඨානං” යනු පාළියි.
එහි දෙවැන්න ශබ්දය යි. සතර මහාභූතයන් නිසා පවත්නා කණින් ඇසිය යුතු වූ සකල ශබ්දවිශේෂයෙක් ම මෙහි ඇතුළත් ය. අනිදර්‍ශන සප්‍රතිඝ වූ භෙරිශබ්දාදිය, වාතොදකශබ්දාදිය, මනුෂ්‍යාමනුෂ්‍යශබ්දාදිය යන හැම හඬකෙනෙක් ම මෙහිලා ගැණෙති. “කතමං තං රූපං සද්දායතනං? යො සද්දො චතුන්නං මහාභූතානං උපාදාය අනිදස්සනො සප්පටිඝො භෙරිසද්දො -පෙ- ඉදං තං රූපං සද්දායතනං” යනු දේශනා ය.
කණින් ගත යුතු ගුණය ශබ්දය යි තාර්කිකයෝ කීහ. ‘ශ්‍රොත්‍රග්‍රාහ්‍යො ගුණඃ ශබ්දඃ’ යනු තාර්කිකවචන යි. එය ආකාසයෙහි පමණක් පවත්නා බවත් ධ්වන්‍යාත්මක-වර්‍ණාත්මක වශයෙන් දෙවැදෑරුම් බවත් කියන ලද්දේය. මෙය සෝතපටිහනනය ලකුණු කොට සිටියේ ය. කෘත්‍යය ශ්‍රොත්‍රවිඥානයට විෂයභාවය යි. එයට ම ගොදුරු වනබව පච්චුපට්ඨානය යි. සතරමහාභූතපදට්ඨානය යි. “සොතපටිහනනලක්ඛණො සද්දො, සොතවිඤ්ඤාණස්ස විසයභාවරසො තස්සෙව ගොචරපච්චුපට්ඨානො, චතුමහාභූතපදටඨානො” යනු පාළියි.
තෙවැන්න ගන්ධය යි. මහාභූතරූපයන් නිසා පවත්නා නැහැයෙන් ඇද ගත යුතු වූ හැම ගඳ සුවඳ ම මින් ගැණේ. මහාභූතයන් නිසා පවත්නා අනිදර්‍ශනාදී වූ මුලසාරතචගන්ධාදී වූ, සුගන්ධ දුර්‍ගන්ධයෝ මෙහි ම ඇතුළත් වෙති. ඒ දක්වනු පිණිස බුදුරජානන් වදාළ පාළිය මෙසේ ය:- ‘කතමං තං රූපං ගන්ධායතනං? යෝ ගන්ධො චතුන්නං මහාභූතානං උපාදාය අනිදස්සනො සප්පටිඝො මූලගන්ධො සාරගන්ධො -පෙ- ඉදං තං රූපං ගන්ධායතනං’ යි.
තාර්කිකයෝ නැහැයෙන් ගතයුතු ගුණය ගන්ධය යි කියති. ‘ඝ්‍රාණග්‍රාහ්‍යො ගුණො ගන්ධඃ’ යනු තාර්කීකවචන යි. එය පෘථිවියෙහි පමණක් පවත්නාබවත් සුගන්ධදුර්‍ගන්ධවශයෙන් දෙපරිදිබවත් කියති. ඝාණපටිහනනය ලකුණු කොට සිටියේ ය. කෘත්‍යය ඝ්‍රාණවිඥානයාගේ විෂයභාවය යි. එයට ම ගොදුරුවන බව පච්චුපට්ඨානය යි. සතර මහාභූතපදට්ඨානය යි. “ඝාණපටිහනන ලක්ඛණො ගන්ධො, ඝාණවිඤ්ඤාණස්ස විසයභාවරසො තස්සෙව ගොචරපච්චුපට්ඨානො, චතුමහාභූතපදට්ඨානො” යනු පාළියි.
සතරවැන්න රසය යි. දිවින් විඳගතයුතු වූ අනිදර්‍ශන සප්‍රතිඝ වූ මුලඛන්ධාදීරස හා මධුරාමලාදිරස, රසරූපයෙහි ඇතුළත් ය. මහාභූතයන් නිසා ම පවන්නේ ය. එය මෙසේ වදාළ සේක:- “කතමං තං රූපං රසායතනං? යො රසො චතුන්නං මහාභූතානං උපාදාය අනිදස්සනො සප්පටිඝො මුලරසො ඛන්ධරසො තචරසො-පෙ-ඉදං තං රූපං රසායතනං” යි.
තාර්කිකයෝ දිවින් ගතයුතු වූ ගුණය රසය යි කියති. ‘රසනාග්‍රාහ්‍යො ගුණො රසාඃ’ යනු තාර්කිකවචන යි. පෘථිවි ජල දෙක්හි පවත්නේය යි ද, පෘථිවියෙහි ෂඩ්රසයත්, ජලයෙහි මධුර රසයත් ඇතැයි ද ඔවුහු පිළිගණිති.
දිවෙහි වැද ගැණුම ලකුණු කොට ඇත්තේ ය. කෘත්‍යය ජිව්හා විඥානයට විෂයභාවය යි. එයට ම ගොදුරුවනබව පච්චුපට්ඨානයයි. සතරමහාභූතපදට්ඨානය යි. ‘ජිවහාපටිහනනලක්ඛණො රසො, ජිව්හා විඤ්ඤාණස්සවිසයභාවරසො, තස්සෙව ගොචර පච්චුපට්ඨානො, චතුමහාභූතපදට්ඨානො’ යනු පාළි යි
පස්වැන්න ඵොට්ඨබ්බය යි. ඵොට්ඨබ්බය යි විශේෂයෙන් ගත යුතු රූපයෙක් නැත්තේ ය. පඨවි, තේජෝ, වායෝ, යන මහාභූත තුන, ඵොට්ඨබ්බය යි ගණිනු ලැබේ. ආපෝධාතුව එහි නො යෙදේ. මෙය කායවිඤ්ඤාණයෙන් දතයුතු ය. පඨවි, තේජෝ, වායෝ, යන තුන, ශරීරයෙන් පහස්හි කරනු ලැබේ. ආපෝධාතුව (ජලය) පහස්නා කල්හි පඨවි, තේජෝ, වායෝ යන තුන, ස්පර්‍ශ වන්නේ ය. කර්‍කශ, මෘදුක, සණ්හ, පරුෂාදී වූ ස්පර්‍ශවිශේෂ මෙහි ඇතුළත්ය. එහිලා බුදුරජානන් වහන්සේගේ දේශනාව මෙසේ ය:- ‘කතමං තං රූපං ඵොට්ඨබ්බායතනං? පඨවිධාතු, තෙජොධාතු, වායොධාතු, කක්ඛලං, මුදුකං, සණ්හං, ඵරුසං -පෙ- ඉදං තං රූපං ඵොට්ඨබ්බායතනං’ යි.
තාර්කිකයෝ මෙය සමින් ගතයුතු වූ ගුණයෙකැ යි කියති. ත්‍වගින්ද්‍රියමාත්‍රග්‍රාහ්‍යො ගුණඃ ස්පර්‍ශඃ’යනු තාර්කිකවචන යි.
මොවුන් පිළිබඳ ලක්‍ෂණ-රසාදිය මහාභූතවිභාගයෙහි කියූ ලෙසින් දතයුතු ය.
භාවරූප දෙකෙකි. එ දෙක ස්ත්‍රීභාවය හා පුරුෂභාවය යි හඳුන්වනු ලැබේ. එහි ‘මෝ ස්ත්‍රීය’ යි හැඳින ගැණීමට උපකාර වූ ශක්තිය සත්‍රීභාවරූපය යි. ඒ භාවරූපය කායෙන්ද්‍රියය මෙන් අවිශදාකාරයෙන් පිහිටි ස්කන්ධපංචකය පැතිර ගෙණ පවතී. එය මෙසේ වදාළ සේක:- “කතමං තං රූපං ඉත්ථින්ද්‍රියං? යං ඉත්ථිලිඞ්ගං ඉත්ථිනිමිත්තං ඉත්ථිකුත්තං ඉත්‍ථාථාකප්පො ඉත්‍ථත්තං ඉත්ථිහාවො ඉදං තං රූපං ඉත්ථින්ද්‍රියං” යි. ස්ත්‍රිය පිළිබඳ යම් ලක්‍ෂණයෙක්. නිමිත්තයෙක් කුත්තයෙක් ආකල්පයෙක් සත්‍රීත්වයෙක් සත්‍රීභාවයෙක් වේ ද, එය ස්තීන්ද්‍රිය හෙවත් ස්ත්‍රීහාව නම් වේ යනු එහි කෙටි තේරුම යි. ‘ඉත්‍ථිලිඞ්ගං ඉත්ථිනිමිත්තං ඉත්ථිකුත්තං ඉත්‍ථාකප්පො ඉත්ථත්තං ඉත්ථිභාවො’ යන මෙ කියූ පද තෝරණ ටීකාචාර්‍ය්‍යවරයෝ මෙසේ කීහ:- “තත්ථ ඉත්‍ථිනං අඞ්ගජාතං ඉත්‍ථිලිඞ්ගං, සරාධිප්පායා ඉත්ථිනිමිත්තං, ඉත්ථිසඤ්ජානනස්ස පච්චයභාවතො අවිසදට්ඨාන ගමනනිසජ්ජාදි ඉත්ථිකුත්තං, ඉත්ථිසණ්ඨානං, ඉත්‍ථාකප්පො, ඉත්ථියාභාවො ඉත්ථත්තං” යි. ලිඞ්ග නම් සණ්ඨාන විශේෂයෝ ය. එහි ගෑණුබව හෝ පිරිමිබව හඟවන ප්‍රධාන සටහන වනුයේ ගෑණුන්ගේ හා පිරිමින්ගේ අඞ්ගජාතය යි. ‘ඉත්‍ථීනං අඞ්ගජාතං ඉත්‍ථිලිංගං, පුරිසානං අඞ්ගජාතං පුරිසලිඞ්ගං’ යන ටීකාවචනය එය පැහැදිලි කරයි. සත්‍රිය, යි හැඳින ගැණීමට හේතු වන බැවින් කටහඬ අදහස් ස්ත්‍රීනිමිත්ත නමැ යි කියති. අවිශද වූ හෙවත් අව්‍යක්ත වූ යෑම්-ඊම් ඉඳුම්-සිටුම් ආදිය ඉත්ථිකුත්ත නම් වේ. ස්ත්‍රීකටයුතුය, යන තේරුම යි. පයෝධර-කෙශාදිය සත්‍රී ආකල්ප නමි. ස්ත්‍රියගේ ස්වභාවය තෙමේ ස්ත්‍රීත්ව නම් වේ.
‘මේ පුරුෂයා’ යි හැඳින ගැණීමට උපකාර වූ ශක්තිය පුරුෂ භාවරූපය යි. එ ද කායෙන්ද්‍රියය මෙන් විශදාකාරයෙන් පිහිටි ස්කන්ධපංචකයෙහි පැතිර සිටියි. එය මෙසේ වදාළෝය:- “කතමං තං රූපං පුරිසින්ද්‍රියං? යං පුරිසස්ස පුරිසලිඞ්ගං පුරිසනිමිත්තං පුරිසකුත්තං පුරිසාකප්පො පුරිසත්තං පුරිසභාවො ඉදං තං රූපං පුරිසින්ද්‍රියං” යි. මෙහි හැම තැන ස්ත්‍රීභාවයෙහි කී සෙයින් දන්නේ ය.
“ලිඞ්ගං හත්ථාදිසණ්ඨානං - නිමිත්තං මිහිතාදිකං,
කුත්තං සුප්පාදිනා කීළා - ආකප්පො ගමනාදිකං”
අත්පා ආදීන්ගේ සටහන ලිඞ්ගය යි ද මදසිනාදිය නිමිත්තය යි ද, කුඩා කුළු නගුල් ආදියෙන් ක්‍රීඩා කිරීම කුත්තය යි ද, යෑම් - ඊම් ආදිය ආකප්පය යි ද මෙයින් කිහ.
ස්ත්‍රියගේ අත්පා ආදි අවයව හා යෑම් ඊම් ආදිය අවිශද ය. අව්‍යක්ත ය. පුරුෂයා පිළිබඳ ඒ සියල්ල විශද ය. අත්පා ආදිය මහත් ය. ගැහැණුන්ට දැළිරැවුල් නැත. පිරිමින්ට ඒ ඇත්තේ ය. ගෑණු කුඩාකාලයෙහි කුළුමොහොවලින් සෙල්ලම් කරති. පිරිමි කුඩාකාලයෙහි රියනගුලෙන් සෙල්ලම් කරති.
ස්ත්‍රීන්ද්‍රියය, සත්‍රීභාවය ලකුණු කොට ඇත්තේ ය. කෘත්‍යය ස්ත්‍රිය යි පැවසීම ය. පච්චුපට්ඨානය ස්ත්‍රීලිඞ්ග, නිමිත්ත, කුත්ත, ආකප්ප යන මොවුන්ගේ කාරණභාවය යි. මේ එය කියූ හැටි:- “ඉත්ථිභාවලක්ඛණං ඉත්ථින්ද්‍රියං, ඉත්ථීති පකාසනරසං, ඉත්ථිලිඞ්ග නිමිත්තකුත්තාකප්පානං කාරණභාවපච්චුපට්ඨානං” යි. පුරුෂෙන්‍ද්‍රියය, පුරුෂභාවය ලකුණු කොට සිටියේ ය. කෘත්‍යය පුරුෂ ය යි පැවසීම ය. පච්වුපට්ඨානය, පුරිසලිඞ්ග නිමිත්ත කුත්ත ආකප්ප යන මොවුන් පිළිබඳ කාරණභාවය යි. “පුරිසභාවලක්ඛණං පුරිසින්ද්‍රියං, පුරිසොති පකාසනරසං, පුරිසලිඞ්ගනිමිත්තකුත්තා කප්පානං කාරණභාව පච්චුපට්ඨානං” යනු එහිලා දතයුතු ය.
රූපසංග්‍රහගාථායෙහි. ආ පස්වැන්න හෘදයවාස්තුරූපය යි. මනෝධාතු මනෝවිඥානධාතූන්ට නිඃශ්‍රය වූ ස්ථානය හෘදයවාස්තුරූපය යි කියනු ලැබේ. සත්වයන්ගේ අර්‍ත්‍ථානර්‍ත්‍ථයන්ට කරණ වන බැවින් හදය නම් වූයේ, චිත්තචෛතසිකධර්‍මයන්ගේ වාසයට ස්ථාන බැවින් වත්ථු නම් විය. හදය ම මනෝධාත්වාදීන්ට නිඃශ්‍රයහාවයෙන් වත්ථු වූයේ හදයවත්ථු නම් වේ. හෘදයකොෂාභ්‍යන්තරයෙහි අඩ පතක් පමණ ලේ ඇසුරු කොට ඒ පවනේ ය. හෘදයවාස්තුරූපයෙක් තථාගතයන් වහන්සේ විසින් ධම්මසඞ්ගිණී රූපකාණ්ඩයෙහි නො ම වදාරණ ලද්දේ ය. එහෙත් ආගමවශයෙන් හා යුක්තිවශයෙන් හෘදයවාස්තුරූපයක් ඇති බව දක්නා ලැබේ. “තත්ථ යං රූපං නිස්සාය මනොධාතු මනොවිඤ්ඤාණධාතු ච පවත්තති, තං රූපං මනොධාතුයා මනොවිඤ්ඤාණධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං නිස්සයප්පච්චයෙන පච්චයො” යන මේ පට්ඨානාගතපාඨය එය පැහැදිලි කරයි. මනෝධාතු මනෝවිඤ්ඤාණධාතු දෙදෙන හෘදයවාස්තු රූපයකගේ නිඃශ්‍රයෙහි ම පවතිනු විනා එයින් අන්‍ය වූ පඤ්චප්‍රසාද රූපාදිය නිඃශ්‍රය කොට නො ද පවතිත්. මෙයින් ද පෙණෙනුයේ හෘදයවාස්තුරූපය ඇතිබව ම ය. බුදුරජානන් වහන්සේ ධම්මසඞ්ගණියෙහි හෘදයවාස්තුරූපය නො වදාළෝ, වත්ථු-ආරම්මණදුකයන්ගේ දේශනා භේදය වන බැවිනි. “අත්ථිරූපං චක්ඛුවිඤ්ඤාණස්ස වත්ථූ, අත්ථි රූපං චක්ඛුවිඤ්ඤාණස්ස න වත්ථූ, අත්ථි රූපං චක්ඛුවිඤ්ඤාණස්ස ආරම්මණං, අත්ථි රූපං චක්ඛුවිඤ්ඤාණස්ස න ආරම්මණං” යනාදි ක්‍රමයෙන් වත්ථු දුක, ආරම්මණදුක යන මේ දුකයෝ දෙදෙන චක්‍ෂුර්විඥානාදියෙහි ලැබෙන්නාක් මෙන් මනෝවිඥානයෙහි නො ලැබෙති. මනෝවිඥානයෙහි වනාහි ‘අත්ථි රූපං මනොවිඤ්ඤාණස්ස වත්ථු, අත්ථි රූපං මනොවිඤ්ඤාණස්ස න වත්ථු’ යි වාස්තුද්විකය පමණක් ලැබේ. මනොවිඤ්ඤාණයට ගොදුරු නො වන කිසිත් ධර්‍මයක් නැති හෙයින් ‘අත්‍ථි රූපං මනොවිඤ්ඤාණස්ස ආරම්මණං, අත්ථි රූපං මනො විඤ්ඤාණස්ස න ආරම්මණං’ යන දේශනාව අනු ව ආරම්මණ දුකය නො ලැබෙන බව කිය යුතු ය. එහෙයින් දුක වශයෙන් ආ දේශනාක්‍රමය විරුද්ධ වන බැවින් ධම්මසඞ්ගණියෙහි හෘදයවාස්තු රූපය නො වදාරණ ලද්දේය යි දත යුතු ය.
හෘදයවාස්තුරූපය මනාධාතු මනෝවිඥානධාතු දෙදෙනාගේ නිඃශ්‍රයභාවය ලකුණු කොට ඇත්තේ ය. කෘත්‍යය ඒ ධාතූන්ගේ ම දැරීම ය. උසුලාසිටීම පච්චුපට්ඨානය යි. “මනොධාතු මනොවිඤ්ඤාණධාතුනං නිස්සයලක්ඛණං හදයවත්ථු, තාසඤ්ඤෙව ධාතුනං ආධාරණරසං, උබ්බහනපච්චුපට්ඨානං” යනු පාළියි.
හෘදයවාස්තුරූපය සතර මහාභූතයන් විසින් සන්ධාරණාදි කෘත්‍යයන්ගෙන් කරණ ලද උපකාර ඇති ව ඍතුචිත්තාහාරයන් විසින් රුකුල් දෙනලදු ව ආයුෂයෙන් පාලනය කරණු ලබන්නේ මනෝධාත්‍වාදීන්ට වත්ථුහාවය සිදුකරමින් පවතී.
අන්‍යයෝ මෙය, යටිකුරු කළ මුව ඇති සිත් කලු වූ පද්ම කෝෂයක ආකාර ඇත්තෙකැ යි ද, සියල්ලට මහත් ස්ථානයකැ යි ද කීහ. මේ එය:
“පද්මකෝෂප්‍රතීකාශං රුචිරං චාප්‍යධොමුඛම්,
හෘදයං තද්විජානීයාද් විශ්වස්‍යායතනං මහත්”යනු.
පූර්‍වොක්තසංග්‍රහගාථාවෙහි සවැන්න වනුයේ ජීවිතෙන්ද්‍රීය රූප ය යි. ‘ජීවන්ති තෙනාති = ජීවිතං’ සහජාතධර්‍මයෝ යමක් කරණකොට ගෙන ජීවත් වෙත් නම්, ඒ ආයුෂය ජීවිතය යි කියනු ලැබේ යනු ඒ විවරණයෙහි අරුත් ය. සහජාතරූපයන්ගේ ජීවත්වීමට ආධාර වූ එය සහජාත වූ කර්‍මජරූපයන් පාලනය කිරීමෙහි අධිපතිභාවය කරණ හෙයින් ඉන්ද්‍රිය නම් ද වේ. ‘ජීවිතමෙව ඉන්‍ද්‍රියං ජීවිතින්ද්‍රියං’ යන්නෙන් එය ව්‍යක්ත කළහ.
ජීවිතෙන්ද්‍රියරූපය දෙ පරිදි ය. ‘අත්‍ථි රූපජීවිතින්ද්‍රියං අත්ථි අරූපජීවිතින්ද්‍රියං’ යනු දේශනා යි. මෙහි ගැණෙනුයේ රූපජීවිතෙන්ද්‍රිය යි. “කතමං තං රූප රූපජීවිතින්ද්‍රියං? යො තෙසං රූපීනං ධම්මානං ආයු ඨිති යපනා යාපනා ඉරීයනා වත්තනා පාලනා ජීවිතං ජීවිතින්ද්‍රියං, ඉදං වුච්චති රූපජීවිතින්ද්‍රියං” යන මෙයින් රූපී ධර්‍මයන්ගේ ආයුෂය සිටීම යැපීම පැවැත්ම ජීවිතෙන්‍ද්‍රියරූප නම් වේ ය යි කියන ලදී. මෙය කර්‍මයෙන් හටගත් රූප ධර්‍මයෙකි. කර්‍මයෙන් හටගත් රූපධර්‍ම, කර්‍මය නැති ව ගිය ද, ජීවිතෙන්‍ද්‍රිය විසින් පාලනය කරණ ලදු ව අවුරුදු සිය දහස් ගණනක් ද පරම්පරාවශයෙන් පවතී. බිජුවටින් හටගත් ගස් වැල් ආදිය බිජුවට නැති ව ගිය ද, ජලයෙන් පාලනය කරණ ලදු ව බොහෝ කල් පවතින්නාක් මෙන් ඒ පවත්නේ ය.
මෙය සහජාතරූපපාලනය ලකුණු කොට ඇත්තේ ය. කෘත්‍යය ඔවුන්ගේ පැවැත්ම යි. පච්චුපට්ඨානය ඔවුන් තැබීම යි. යැපියයුතු භූත පදට්ඨානය වේ. ‘ සහජාතරූපානුපාලනලක්ඛණං ජීවිතින්ද්‍රියං, තෙසං පවත්තනරසං, තෙසඤ්ඤෙව ඨපන පච්චුපට්ඨානං, යාපයිතබ්බභූතපදට්ඨානං’ යනු පාළියි.
මේ වනාහි පාචනතේජෝධාතුව හා සමග කෙස්, ලොම්, නියඅග, වියලිසම්, හැර අන් සියලු උපාදින්නකශරීරය පැතිර ගෙණ පවත්නේ ය. ‘ඉදං පන සහ පාචනග්ගිනා අනවසෙස උපාදින්න කායං යාපෙත්‍වා පවත්තති’ යනු පාළියි.
සත්වැන්න ආහාරරූපය යි. කබලීකාරාහාරය, ඵස්සාහාරය, මනෝසඤ්චේතනාහාරය, විඤ්ඤාණාහාරය සි ආහාරය සිවුවැදෑරුම් ය. එහෙත් මෙහි ගැනෙනුයේ කබලීකාරාහාරය යි. ලෝ වැස්සන් විසින් යමක් පිඬු පිඬු කොට ගණු ලබන්නේ නම්, හෙවත් ගිලිනු ලබන්නේ නම් එය කබලීකාරාහාරය යි කියනු ලැබේ. කබල නම් බත් පිඬු ආදිය යි. ඔජට්ඨමකරූප ගන්නේ හෝ ආහාර නමි. ‘කබලං කත්‍වා අජ්ඣොහරීයතීති = කබලීකාරො, කබලීකාරො ච සො ආහාරො චෙති = කබලීකාරාහාරො’ කබලීකාර වූයේත් ඒ ම ය. ආහාර වූයේත් ඒ ම යන අරුත්හි කබලීකාරාහාර නම් වේ. ‘ඉදං ච සවත්ථුකං කත්‍වා ආහාරං දස්සෙතුං චුත්තං’ යි කී හෙයින් කබලීකාරාහාර යන මේ වචනය කියන ලද්දේ වස්තුසහිත කොට ආහාරය දක්වනු පිණිස ය. මෙහිලා කවර වස්තුවෙක් කබලීකාරාහාර යන වචනයෙහි ඇතුළත් වේ දැ යි අසන්නහුට, “සෙන්‍ද්‍රියකායොපත්‍ථම්භනහෙතුභූතා පන අඞ්ගමඞ්ගානුසාරිණී රස සඞ්ඛාතා අජ්ඣොහරිතබ්බාහාරසිනෙහභූතා ඔජා ඉධ ආහාර රූපං නාම” යනු දිය යුතු පිළිතුර ය. අට වැදෑරුම් ඉන්ද්‍රියරූපයන් සමග හටගත් රූපයන්ගේ පැවැත්මට කරුණු වූ කුදු මහත් අවයවයන් අනු ව යන සුලු වූ රසධාතුහුගේ සාරය යි කියනලද ගිලිය යුතු ආහාරයාගේ ස්නේහය වූ ඕජාව කබලීකාරාහාරය යනු එහි අදහස ය. සමහර ආචාර්‍ය්‍ය කෙනෙක් ස්නේහ සඞ්ඛ්‍යාත වූ ඕජාව ආහාරරූපය යි කියති. බුදුරජානන් වහන්සේ ආහාරරූපය වදාළෝ මෙසේය:- “කතමං තං රූපං කබලීකාරො ආහාරො? ඔදනො, කුම්මාසො, සත්තු, මච්ඡො, මංසං, ඛීරං, දධි, සප්පි, නවනීතං, තෙලං, මධු, ඵාණීතං -පෙ- යාය ඔජාය සත්තා යාපෙන්ති ඉදං තං රූපං කබලීකාරාහාරො” යි. මෙහි ඔජාවන්ට වස්තු වූවෝ ඔදන කුම්මාස සත්තු මච්ඡ මංසාදීහු ය. ඔදනාදීන්හි වූ රසය ඔජා නමි. වාස්තුසඞ්ඛ්‍යාත වූ ඔදනාදියත් රසසඞ්ඛ්‍යාත වූ ඔජාවත් අතර, රූපය යි ගැණුම දේශනානුකූල වේ. අර්‍ත්‍ථකථාචායර්‍ය්‍යවරයෝ ඔදනාදිය කර්‍මජතෙජස දුරු කරන්නේ ය යි ද, ඕජාව රූපධර්‍ම පාලනය කරන්නේ ය යි ද කීහු. වාස්තුසඞ්ඛ්‍යාත වූ ඔදනාදියත් රසසඞ්ඛ්‍යාත වූ ඔජාවත් යන දෙක එක් ව ම සත්වශරීරය පාලනය කරන්නේ ය කුසතුළට ගත් ඔදනාදිය පැසී ගියවිට එහි කර්‍මජ තෙජස නැගී උදර පටලය ඩැහැ ගන්නේ ය. එසේ නගිනන්නා වූ කර්‍මජතෙජස බඩගින්නැ, යි කියනු ලැබේ. නැවැත ආහාරපානාදී වූ යමක් කුසතුළ වැටුනු කල්හි බඩගින්නැ යි කියූ කර්‍මජතෙජස තමන් ඩැහැගෙණ සිටි උදරපටලය හැර දමා කුස තුළ සිටි ආහාරය ඩැහැ ගන්නේ ය. කර්‍මජතෙජස උදරපටලය හැර ආහාරය ඩැහැ ගත්විට බඩගින්න ගියේය යි කියති.
ආහාරගතඔජාව ද, ඒ ඒ ආහාරයන්ගේ ඖදාරික සූක්‍ෂම භේදයෙන් වෙනස් වන්නේ ය. ඖදාරික වූ බත් අල බතල කුරක්කන් ආදියෙහි ඇත්තේ ඉතා ස්වලප වූ ඕජාවකි. එ ද බලගතු නො වේ. කිරි දී ගිතෙල් ආදියෙහි වූ ඔජාව ඉතා බලගතු ය. එබඳු ආහාරයක් ගත් කෙනෙක් හට එයින් කිහිප දිනක් ම බඩගින්නෙන් නො පෙළී සිටිය හැකි ය. අල බතල ආදිය ගත් කෙනෙක්හට එසේ කිහිප දිනක් බඩගින්නෙන් නො පෙළී සිටිය නො හැකි ය. කෑ ඇසිල්ලෙහි ම නැවැත බඩගින්න උපදී. ආහාරයන්ගේ ඖදාරිකසූක්‍ෂමභාවය ඒ ඒ සත්වයන්ගේ වසයෙනුදු සිදු වේ. දෙවියන්ගේ ආහාරය මනුෂ්‍යයන්ගේ ආහාරයනට වඩා සියුම් ය. දෙවියන් අතරද උසස් උසස් දෙවියන්ගේ ආහාරය පහත් පහත් දෙවියන්ගේ ආහාරයනට වඩා සියුම් ය. මිනිසුන් අතරත් එසේ ය. සක්විතිරජුගේ ආහාරය සාමාන්‍ය රජුන්ගේ ආහාරයනට වඩා සියුම් ය. උසස් උසස් මිනිසුන්ගේ ආහාරය පහත් පහත් මිනිසුන්ගේ ආහාරයනට වඩා සියුම් ය. තිරිසනුන් අතර ද මෙය දක්නා ලැබේ. කිඹුල්ලු ගල් ගිලින්නෝ ය. ඔවුන්ගේ කුසතුළදී ඒ ගල් දිය වී යයි. මොනරු නයි ගෝනුසු ආදීන් කන්නෝ ය. මොනරුන්ගේ ආහාරය සඳහා, වලසුන්ගේ ආහාරය සියුම් ය. වලස්සු තුන් අවුරුදු පමණ පරණ වූ හැර දමන ලද සතුන්ගේ අං ඇට අනුභව කරන්නෝ ය. ඒ අං හා ඇට ඔවුන්ගේ කෙලවලින් තෙමුන කල්හි අල වර්‍ගමෙන් මොළොක් වේ. වලසුන්ගේ ආහාරය සඳහා, ඇතුන්ගේ ආහාරය සියුම් ය. ඔවුහු ගස්අතු කති. ඔවුන්ගේ ආහාරයනට වඩා ගව ගොණ මුව ආදීන්ගේ ආහාරය සියුම් ය. මේ ක්‍රමයෙන් ආහාරයන්ගේ ඖදාරිකසූක්ෂ්මභාවය දතයුතු ය. මේ අටුවායෙහි කී සැටි යි.
කබලීකාරාහාරය ඔජාව ලකුණු කොට ඇත්තේ ය. කෘත්‍යය රුපඵළවීම ය. රුකුල්දීම පච්චුපට්ඨානය කොට සිටියේ ය. පිඬු පිඬු කොට ගතයුතු ආහාරවාස්තු පදට්ඨාන කොට ඇත්තේ ය. “ ඔජාලක්ඛණො කබලීකාරාහාරො, රූපාහරණරසො, උපත්ථම්භනපච්චුපට්ඨානො, කබලං කත්වා ආහරිතබ්බවත්ථු පදට්ඨානො”
යටැ ඉතා සැකෙවින් කියූ භූත, පසාද, විසය, භාව, හදය, ජීවිත, ආහාර යන අටළොස් රූපයෝ සභාවරූප, සලක්ඛණ රූප, නිප්ඵන්නරූප, රූපරූප, සම්මසනරූප යන නම්වලිනු දු හඳුන්වනු ලැබෙති. කැකුළුබැව් ආදී වූ තම තමන් අයත් ස්වභාවයන්ගෙන් යුක්තහෙයින් සභාවරූප ය යි ද, උත්පාද, සථිති, භඞ්ගක්‍ෂණයන්ගෙන් හෝ අනිත්‍යාදීලක්‍ෂණයන්ගෙන් යුක්ත හෙයින් සලක්ඛණ රූප ය යි ද, පිරිසිඳීම් ආදිය හැර තමන් අයත් කැකුළුබැව් ආදියෙන් යුක්ත ව කර්‍මාදිප්‍රත්‍යයන්ගෙන් නිපන් හෙයින් නිප්ඵන්න රූප ය යි ද, රුප්පනය යි කියූ නැසෙනගතියෙන් යුක්තහෙයින් රූපරූප ය යි ද, පිරිසිඳීම් ආදී වූ ස්වභාවමාත්‍රයක් ඉක්මවා කැකුළු බැව් ආදී වූ ස්වගතියෙන් ම ලැබිය යුතු බැවින් තිලකුණට නගා මෙනෙහි කරන්නට සුදුසුහෙයින් සම්මසන රූප ය යි ද කියති. එහි රූපරූපයෙහිලා කියයුතු විශේෂයෙක් වේ. නැසෙන ගතියට රූප ය යි කියති. ඒ නැසෙන ගතියෙන් යුක්ත වූයේ ද රූප නමි. ‘අරිසසො නීලුප්පලං’ යනු මෙනි. ‘අරිස, යනු රෝගයෙකි. අරිස නම් රෝග ඇත්තේ ‘අරිසසො’ යන්නෙන් කිය වේ. අරිස, යන්නෙන් ප්‍රධාන වශයෙන් කියැවෙන්නේ අර්‍ශස් නම් රෝගවිශේෂයයි. මේ රෝගය, රෝගී පුද්ගලයාගෙන් වෙන් ව නො හටගන්නා බැවින් රෝගී පුද්ගලයා ම ස්ථානොපචාරවශයෙන් එයින් ගැණේ. එමෙන් වක්ෂුඃප්‍රසාදාදී රූප, රුප්පනස්වභාවශක්තියෙන් නො තොර හෙයින් උපචාර වශයෙන් රූප නම් වේ. නීලශබ්දය ප්‍රධානවශයෙන් නීලගුණය කියයි. ඒ මේ නීලගුණය ගුණීහු කෙරෙන් වෙන් ව නො හටගන්නා බැවින් ගුණොපචාරවශයෙන් ගුණවත් උත්පල ද්‍රව්‍යය කිය වේ. එ මෙන් රූපශබ්දය පරමාර්‍ත්‍ථභාව වූ විකාරය ම ප්‍රධානවශයෙන් කියයි: ඒ විකාරය විකාරීහු කෙරෙන් වෙන් ව නො හටගන්නා බැවින් ශක්තිමත් වූ චක්ෂුඃප්‍රසාදාදීරූප ස්ථානොපචාරවශයෙන් ගැණෙයි. ඒ මේ රූප ශබ්දය තෙමේ රූඪිවශයෙන් එබඳු රූපස්වභාවයක් නැති නිෂ්පන්නරූපයෙහි ද පවත්නා හෙයින් අන් රූපශබ්දයකින් වෙසෙසා රූපරූප ය, යි කියනලදී. දුක්ඛ දුක්ඛය යි කීවාක් මෙනි. කීහ මෙය මෙසේ:-
“කක්ඛලත්තාදිනා අත්තනො අත්තනො සහාවෙන උපලබ්භනතො සභාවරූපං නාම, උප්පාදාදීහි වා ලක්ඛණෙහි සහිතන්ති සලක්ඛණං, පරිච්ඡෙදාදිභාවං විනා අත්තනො සභාවෙනෙව කම්මාදීහි පච්චයෙහි නිප්ඵන්නත්තා නිප්ඵන්නරූපං නාම, රුප්පනසභා වා රූපං, තෙන යුත්තම්පිරූපං, යථා අරිසසො නීලුප්පලන්ති, ස්වායං රූපසද්දො රුළ්හියං අතංසභාවෙපි පවත්තතීති අපරෙන රූපසද්දෙන විසෙසෙත්වා රූපරූපන්ති වුත්තං, යථා දුක්ඛදුක්ඛන්ති, පරිච්ඡෙදාදිභාවං අතික්කමිත්වා සහාවෙනෙව උපලබ්භනතො ලක්ඛනත්තයාරොපණෙන සම්මසිතුං අරහත්තා සම්මසනරූපං” යි.
පරිච්ඡෙදරූපය අටවැන්න යි. පරිච්ඡෙදරූප යනු ආකාස රූපයට අන් නමෙකි. දඬුමුගුරු අත්පා ආදී වූ යමකින් නො පැහැරිය හැකි තැන ආකාස නමි. ඒ ම නිස්සත්ව නිජ්ජීවාර්‍ත්‍ථයෙන් ධාතු නම් වේ. ‘න කසතීති = ආකාසො’ යනු නිරුක්ති යි. අකාසො’ යි කියයුතු තන්හි අ-කාරය දිර්‍ඝ කොට ආකාසො’ යි කියන ලදී.
චක්‍ෂුර්‍දශකාදී වූ එකි එකී කලාපයන්ට ඇතුළත් රූප අනික් කලාපයන් හා අසම්මිශ්‍රභාවයට පැමිණවීම් වශයෙන් පිරිසිඳීම කරන්නේ හෝ, රූපකලාපයන් විසින් පිරිසිඳිනු ලබන්නේ හෝ, චක්‍ෂුර්‍දශකාදී වූ එකි එකී කලාපගතරූපයන්ගේ පිරිසිඳීම් මාත්‍රය පරිච්ඡෙද රූප නමැ’ යි කර්‍තෘ-කර්‍ම- භාවසාධනවශයෙන් ක්‍රම තුනකින් කියන ලද්දේ ය. “පරිච්ඡින්දතීති = පරිච්ඡෙදො, පරිච්ඡින්ද්‍රියතීති = පරිච්ඡෙදො, පරිච්ඡින්ද්‍රියතෙති = පරිච්ඡෙදො” යනු ඒ ක්‍රමතුන යි.
අජටාකාස-පරිච්ඡින්නාකාස, යනාදී වූ භේදයන් අතුරෙහි මෙහි ලා ගත යුතු ආකාසය නම්, එක් එක් රූපකලාපයන්ට ඇතුළත් වූ රූපයන් හා අනික් අනික් රූපකලාපයන්ට ඇතුළත් වූ රූපයන් ස්පර්‍ශකරණ බව ඇති කල්හිදු ඒ ඒ කලාපයන් හා වෙන්වීම ය යි කියනලද රූප පිරිසිදීම යි.
ආද්ධ්‍යාත්මික-බාහිර වශයෙන් මෙය දෙ පරිදිය යි ආගමෙහි දැක් වේ. උපාදින්නසන්තානය හා අනුපාදින්නසන්තානය පිළිබඳ ආකාසය, එකිනෙක නො ගැටීම, විවරය, සතර මහා භූතයන්ගෙන් ස්පර්‍ශ නො වන බව ආකාසධාතු රූප ය යි ගතයුතු ය. එහි පාළිය මෙසේ ය:- ‘කතමා ආකාසධාතු? ආකාසධාතු ද්වයං අත්ථි, අජ්ඣත්තිකා අත්ථි බාහිරා, තත්ථ කතමා අජ්ඣත්තිකා අකාසධාතු? යං අජ්ඣතං පච්චත්තං ආකාසො ආකාසගතං අඝං අඝගතං විවරො විවරගතං අසම්ඵුඪං මංසලොහිතෙහි අජ්ඣත්තං උපාදින්නං, සෙය්‍යථිදං? කණ්ණච්ඡිද්දං නාසච්ඡිද්දං මුඛද්වාරං යෙන ච අසිතපීතඛායිතසායිතං අජ්ඣොහරති, යත්ථ ච අසිතපීතඛායිතසායිතං සන්තිඪති, යෙන ච අසිතපීතඛායිතසායිතං අධොභාගං නික්ඛමති යං වා පනඤ්ඤම්පි අත්ථි -පෙ- අජ්ඣත්තං උපාදින්නං, අයං වුච්චති අජ්ඣත්තිකා ආකාසධාතු,
තත්ථ කතමා බාහිරා ආකාසධාතු? යං බාහිරං ආකාසො ආකාසගතං අඝං අඝගතං විවරො විවරගතං අසම්ඵුඪං චතුහි මහාභූතෙහි බහිද්ධා අනුපාදින්නං, අයං වුච්චති බාහිරා ආකාස ධාතු’ යි.
මෙය රූප පිරිසිඳීම ලකුණු කොට ඇත්තේ ය. කෘත්‍යය රූප පරියන්තය පැවසීම ය. රූපමර්‍ය්‍යාදාව පච්චුපට්ඨානය කොට සිටියේ ය. පිරිසිඳින ලද රූප, පදට්ඨාන කොට සිටී. ‘රූපපරිච්ඡේදලක්ඛණං ආකාසධාතුරූපං රූපපරියන්තප්පකාසනරසං, රූපමරියාදා පච්චුපට්ඨානං, පරිච්ඡින්තරූපපදට්ඨානං’ යනු පාළියි.
නවවැන්න විඤ්ඤත්තිරූපය යි. යම් ධර්‍මශක්තියකින් යමෙක් තම අදහස අනුනට හඟවා ද, තෙමේත් අන්‍යයාගේ අදහස දැනගණී ද ඒ ධර්‍මශක්තිය විඤ්ඤත්ති රූප නම් වේ. ඒ දෙ වැදෑරුම් ය. කායවිඤ්ඤත්ති-වචීවිඤ්ඤත්ති වසයෙනි. සැලෙන කැපෙන සිරුරෙහි පැවති ඕ තොමෝ කායවිඤ්ඤත්ති නම, ශබ්දසඞ්ඛ්‍යාත වවනයෙහි වූවා වචීවිඤ්ඤති නම. ‘චලමානකායෙන අධිප්පායං විඤ්ඤාපෙති, සයං ච තෙන විඤ්ඤායතීති කායවිඤ්ඤත්ති, සවිඤ්ඤාණකසද්දසඞ්ඛාතවාචාය අධිප්පායං විඤ්ඤාපෙති සයං ච තාය විඤ්ඤායතීති = වචීවිඤ්ඤත්ති, යනු ටීකා යි. මෙහි සවිඤ්ඤාණකශබ්දය යොදන ලද්දේ ඍතුවෙන් හටගත් ශබ්දයාගේ වැළක්ම පිණිස ය. විස්තර විසින් කිය යුත්තේ යෑම් ඊම් ආදී වූ ක්‍රියා උපදවන චිත්තජවායෝධාතු විකාරය කායවිඤ්ඤත්තිය බව යි. අත්පාසෙලවීම් ආදියෙන් ද සත්වයෝ තම අදහස් අනුනට හඟවති. ඒ අත්පාසෙලවීම් කායවිඤ්ඤත්තිය නො වේ. එහි වූ චිත්තජ වායෝධාතුවිකාරය ම විඤ්ඤත්තිය යි ගැණේ. කතා කරණ කාලයෙහි ඇතිවන ශබ්ද මාත්‍රය වචීවිඤ්ඤත්තිය නො වේ. එහි වූ අදහස් ය වචීවිඤ්ඤත්තිය වනුයේ. ආගමෙහි මෙසේ ආයේ ය:-
“කතමං තං රූපං කායවිඤ්ඤත්ති? කුසලචිත්තස්ස වා අකුසලචිත්තස්ස වා අව්‍යාකතචිත්තස්ස වා අභික්කමන්තස්ස වා පටික්කමන්තස්ස වා ආලොකෙන්තස්ස වා විලොකෙන්තස්ස වා සම්මිඤ්ජන්තස්ස වා පසාරෙන්තස්ස වා කායස්ස ථම්හනා සන්‍ථම්භනා සන්ථම්භිතත්තං විඤ්ඤත්ති විඤ්ඤාපනා විඤ්ඤාපිතත්තං ඉදං තං රූපං කායවිඤ්ඤත්ති’ කතමං තං රූපං වචීවිඤ්ඤත්ති? යා කුසලචිත්තස්ස වා අකුසලචිත්තස්ස වා වාචා ගීරා -පෙ- ඉදං තං රූපං වචීවිඤ්ඤත්ති” යි.
කායවිඤ්ඤත්තියෙහි කෘත්‍යය අදහස් පැවසීම යි. කය සැලීමෙහි හේතුභාවය පච්චුපට්ඨාන යි. චිත්තජවායෝධාතු පදට්ඨාන යි. “අධිප්පායප්පකාසනරසා කායවිඤ්ඤත්ති, කායවිප්ඵන්දනහෙතු භාවපච්චුපට්ඨානා, චිත්තසමුට්ඨානවායොධාතු පදට්ඨානා” යනු පාළියි.
වචීවිඤ්ඤත්තියෙහි කෘත්‍යය කථා කරන්නහුගේ අදහස් අනුන්ට පැවසීම ය. වාඞ්මයශබ්දයට හේතුභාවය පච්වුපට්ඨානය යි. සිතින් හටගන්නාවූ පෘථිවිධාතුව පදට්ඨානය වේ. “අධිප්පායප්පකා සනරසා වචීවිඤ්ඤත්ති, වචීඝෝසස්ස හෙතුභාවපච්චුපට්ඨානා, චිත්ත සමුට්ඨාන පඨවිධාතුපදට්ඨානා” යනු පාළියි.
දසවැන්න විකාර රූපය යි. මේ වනාහි නිෂ්පන්නරූප පිළිබඳ ආකාරවිශේෂයෙකි. ලහුතා, මුදුතා, කාමඤ්ඤතා යි ඒ තෙ පරිදි ය. එහි ලහුතා නම්, නිෂ්පන්න රූපයන් බරබවට පමුණුවන ධාතුන්ගේ නැගීමට පටහැනි ව නැගුනු නිෂ්පන්නරූපවිකාරය යි. ඔවුන් තදබවට පමුණුවන ධාතූන්ගේ කැළඹීමට විරුද්ධ ව නැගුනු නිෂ්පන්න රූපවිකාරය මුදුතා නමි. ශරීරය, ශාරීරිකක්‍රියාවන්ට නො සුදුසු කරණ ධාතූන්ගේ නැගීමට විරුද්ධ ව උපන් විකාරය කම්මඤ්ඤතා නම්. කීහ මෙය මෙසේ:
“ථද්ධත්තකරධාතුක්ඛොහපටිපක්ඛපච්චයසමුට්ඨානො හි රූපවිකාරො ලහුතා, ථද්ධත්තකරධාතුක්ඛොභපටිපක්ඛපච්චයසමුට්ඨානො මුදුතා, සරීරක්‍රියානං අනනුකූලභාවකරධාතුක්ඛොභපටිපක්ඛපච්චයසමුට්ඨානො කම්මඤ්ඤතා” යි.
රූපයන්ගේ සැහැල්ලුබව ලහුතා, යි ද, රූපය මොළොක් බව මුදුතා, යි ද, රූපධර්‍මයන්ගේ කටයුතුවලට නැමෙන බව හෙවත් සුදුසු බව කම්මඤ්ඤතා, යි දැයි කොටින් දතයුතු ය. ලහුතාව, ලෙඩ නැති සිරුරෙහි සැහැල්ලුබව වැනි ය. මුදුතාව, පදම් කළ සමෙහි ඇති මොළොක් බව වැනි ය. කම්මඤ්ඤතාව, මොනවට පිඹගත් රණෙහි ඇති අනුකූලබව වැනි ය. මේ ගති තුන කිසිවිටෙකවත් වෙන් ව නො පවතිත්. එහෙත් ඒ ඒ විකාරය අධික කොට ඇති නිෂ්පන්නරූපයන්ගෙන් වෙනස්බව දක්නට ලැබේ. එසේ වන්නේ සත්ප්‍රාය, අසත්ප්‍රාය ඍතු චිත්ත ආහාර යන මොවුන්ගේ සේවනයෙනි. ආගමෙහි එය මෙසේ ආයේ ය:-
“කතමං තං රූපං රූපස්ස ලහුතා? යා රූපස්ස ලහුතා ලහු පරිණාමතා අදන්ධතා අවිත්ථනතා, ඉදං තං රූපං රූපස්ස ලහුතා. කතමං නං රූපං රූපස්ස මුදුතා? යා රූපස්ස මුදුතා මද්දවතා අකක්ඛලතා අකඨිනතා, ඉදං තං රූපං රූපස්ස මුදුතා, කතමං තං රූපං රූපස්ස කම්මඤ්ඤතා? යා රූපස්ස කම්මඤ්ඤතා කම්මඤ්ඤත්තං කම්මඤ්ඤභාවො, ඉදං තං රූපං රූපස්ස කම්මඤ්ඤතා” යි. මෙහි චිත්තජ ඍතුජ ආහාරජ රූප ගැණෙති.
ලහුතාව නො බරබව ලකුණු කොට ඇත්තී ය. කෘත්‍යය රූපයන්ගේ බර බව දුරුකිරීම යි. පච්චුපට්ඨානය වහා පෙරළීම යි. ලහු රූප පදට්ඨාන යි. ‘අදන්ධතා ලක්ඛණා රූපස්ස ලහුතා, රූපානං ගරුභාවවිනොදනරසා, ලහු පරිවත්තිතා පච්චුපට්ඨානං, ලහු රූප පදට්ඨානා’ යනු පාළියි.
මුදුතාව නො තදබව ලකුණු කොට ඇත්තී ය. කෘත්‍යය රූපයන්ගේ තදබවනැසීම යි. පච්චුපට්ඨානය සකල ක්‍රියාවන්හි අවිරුද්ධ භාවය යි. මෘදුරූප පදට්ඨාන යි. ‘අථද්ධතා ලක්ඛණා රූපස්ස මුදුතා, රූපානං ථද්ධභාවවිනොදනරසා, සබ්බකිරියාසු අවිරෝධිතා පච්චුපට්ඨානා’ යනු පාළියි.
කම්මඤ්ඤතාව ශාරීරික ක්‍රියාවන්ට අනුකූල ව කර්‍මයට යොග්‍යභාවය ලකුණු කොට ඇත්තී ය. කෘත්‍යය කර්‍මයට නො සුදුසු බව නැසීම යි. පච්වුපට්ඨානය එහි ලා අබල නො වන බව යි. කර්‍මයට යොග්‍යරූප පදට්ඨාන යි. “සරීරක්‍රියානුකූලකම්මඤ්ඤභාවලක්ඛණා රූපස්ස කම්මඤ්ඤතා, අකම්මඤ්ඤතා විනොදනරසා, අදුබ්බලභාවපච්චුපට්ඨානා, කම්මඤ්ඤරූපපදටඨානා” යනු පාළියි.
එකොළොස් වැන්න ලක්‍ෂණරූපය යි. එය උපචය, සන්තති, ජරතා, අනිච්චතා යි සිවුවැදෑරුම් ය. නිෂ්පන්නරූපධර්‍ම, උත්පාදාදි ඒ ඒ අවස්ථාභේදයෙන් හැඳින්වීමට කරුණු වන බැවින් ලක්‍ෂණ රූප, නමැයි කියන ලදි. ‘උපචයනං උපචයො’ පළමු හටගැණීම යන අර්‍ත්‍ථ යි. උපචය, යන්නෙහි මුල යෙදී සිටි උප, ශබ්දය උපඤ්ඤත්තං, යනාදි තන්හි සේ ප්‍රථමාර්‍ත්‍ථ, උපරිඅර්‍ත්‍ථවාචක ය. චය ශබ්දය උත්පාදාර්‍ත්‍ථ, වෘද්ධිඅර්‍ත්‍ථ වාවක ය. ‘නදිතීරෙ කතකූපස්මිං හි උදකුග්ගමනකාලො විය ආචයො නිබ්බත්ති, පරිපුණ්ණකාලො විය උපචයො වඩ්ඪි’ යන අර්‍ත්‍ථකථා පාඨයෙහි දැක්වෙන ආචය, උපචය දෙක උපචයෙහි ම ඇතුළත් ය. ගංඉවුරෙක සෑරූ ලිඳෙක පළමු නැගී එන ජලය ආචය යි ද, පිරෙණ ජලය උපචය යි දැ, යි කීහ. ආගමෙහි මෙය මෙසේ ආයේ ය:-
“කතමං, තං රූපං රූපස්ස උපචයො? යො ආයතනානං ආචයො, සො රූපස්ස උපචයො, ඉදං තං රූපං රූපස්ස උපචයො” යි.
‘සන්තානෝ සන්තති’ පරම්පරාවශයෙන් හටගැණුම හෙවත් තදින් බැඳී පැවැත්ම යනු එහි අර්‍ත්‍ථ යි. සිත්පිත් ඇත්තාවූත් සිත් පිත් නැත්තා වුත් හැම වස්තුවකගේ අවසානය වනතුරු පවතින රූපප්‍රබන්ධය ‘සන්තති, යි කියනු ලැබේ. එය ආගමෙහි ආයේ මෙසේ ය:-
“කතමං නං රූපං රූපස්ස සන්තති? යො රූපසස උපචයො, සා රූපස්ස සන්තති, ඉදං ත රූපං රූපස්ස සන්තති” යි.
එක් භවයෙක්හි පෙර නො හටගත් රූපයන්ගේ පළමු හට ගැණුම උපචය, නම. එක් වරක් ඉපිද ඊට අනතුරුව දිවි ඇති තාක් ඒ රූපයන්ගේ පරම්පරාව නො සිඳ හටගැණුම සන්තති නම. එහෙයින් ගැබැ හෝනා සත්වයන්ගේ පිළිසඳ හා සමග කාය දශක, භාවදශක, වාස්තුදශක යන කර්‍මජරූපකලාපයන්ගේ පළමු හටගැණුම උපචය’ නම්. ඒ රූපකලාප තුන දිවි ඇති තාක් නැවැත නැවැත හටගැණුම සන්තති’ නම. ප්‍රතිසන්ධිචිත්තයාගේ ස්ථිතිකාලයෙහි උතුජරූපයන්ගේ පළමු හටගැන්ම උපචය’ නම, ජීවිතාන්තය දක්වා ඒ රූප නැවැත නැවැත හටගැණීම සන්තති’ නම. පිළිසිඳගත් සිතට අනතුරු ව හටගන්නා වූ ප්‍රථම භවාඞ්ගයාගේ ම උත්පාදක්‍ෂණයෙහි චිත්තරූපයන්ගේ පළමු හටගැණී ම උපචය’ නම. දෙවන භවාඞ්දීන්ගේ උත්පාදක්‍ෂණයක් පාසා ජීවිතාන්තය දක්වා එම රූපයන්ගේ හටගැණීම සන්තති’ නම. බාහිර ඔජාව ඒ ලදරුසිරුරෙහි පැතිර ගත් කාලයක පටන් හටගන්නා වූ ආහාරජ රූපයන්ගේ පළමු හටගැණීම උපචය’ නම. ජීවිතාන්තය දක්වා නැවැත නැවැත ඒ රූපයන්ගේ හටගැණීම සන්තති’ නම. ප්‍රතිසන්ධියෙහි පටන් හෙවත් ප්‍රතිසන්ධියෙන් සත්සැත්තෑවැනි රැය ඉක්මගිය තැන සිට චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා යන සතර කලාපයන්ගේ පළමුවර හට ගැණිම උපචය’ නම. ජීවිතාන්තය දක්වා නැවැත නැවැත ඒ රූපයන්ගේ හටගැණීම සන්තති’ නම. මේ උපචය-සන්තති දෙක ගැබැ හෝනා සත්වයන්ගේ ප්‍රතිසන්ධිය සඳහා කියන ලද්දේ ය. සංසේදජ-ඔපපාතික සත්වයන් කෙරෙහි වනාහි ප්‍රතිසන්ධියෙහි දී වන රූපයන්ගේ උත්පාදක්‍ෂණය උපචය’ නමැ යි ද, ඉන් පසු මරණය දක්වා නිෂ්පන්න රූපයන්ගේ පරම්පරාවශයෙන් හටගැණීම සන්තති’ නැමැ යි ද කීහු.
අර්‍ත්‍ථකථා අනුව ප්‍රතිසන්ධියගේ උත්පාදය පටන් සත්වන, අටවන, නවවන, දසවන සති ද, ටීකානය අනුව එකොළොස්වන දොළොස්වන, තෙළෙස්වන, තුදුස්වන සති දැ යි යන සති පිළිවෙළින් චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා යන කලාපයන්ගේ පහළවීම වේ ය යි කිය යුතු ය. උපචය-සන්තති රූප දෙක ජාතිරූපනාමයෙන් ද කියැවේ. ප්‍රතිසන්ධිය පටන් ක්‍ෂණයක් පාසා රූපයන්ගේ ඉපැත්ම වන බැවින් ජාති ය යි ද, චතුසමුට්ඨානිකරූප පිළිබඳ හටගැණීම ඇති බැවින් රූපය යි ද සම්මත වූ ජාතිරූපය ම පළමුකොට හටගැණීම ය, මතු මතු හටගැණීම ය, යි කියනලද ප්‍රවෘත්තිආකාර භේදය කරණ කොට විනෙයසත්වයන්ගේ වශයෙන් උපචය-සන්නති, යි දෙකක් කොට බෙදා වදාළ සේක.
“යථාසකං ඛණමත්තට්ඨායීනං රූපානං නිරෝධාභිමුඛභාව වසෙන ජීරණං ජරා” යනු ජරතාරූපය විස්තර කිරීමෙහි වූ ටීකාචාර්‍ය්‍යන් කළ විවරණයකි මේ. සුදුසු පරිදි ක්‍ෂණමාත්‍රයක් පවත්නා සුලු රූපධර්‍මයන් නිරුද්ධවීමට අභිමුඛවීම් වශයෙන් දිරායෑම ජරා නම් වේ යනු එහි සිංහල යි. ජරාවම තා’ යන්නෙන් වැඩි කොට ‘ජරතා’ යි කියනු ලැබේ. ආගමෙහි ඒ මෙසේ ආයේය:-
“කතමං තං රූපං රූපස්ස ජරතා? යා රූපස්ස ජරා ජීරණතා ඛණ්ඩිචචං පාලිච්චං වලිත්තචතා ආයුනො සංහානි ඉන්‍ද්‍රියානං පරිපාකො, ඉදං තං රූපං රූපස්ස ජරතා” යි.
මෙහි එන ජරා, ජීරණතා’ යනාදීහු ජරාවෙහි ස්වභාව ආකාරාදිය දක්වනු පිණිස යෙදුනෝ ය. විස්තර ඉදිරියෙහි එන්නේ ය.
‘නිච්ච ධුවභාවෙන න ඉච්චං අනුගන්තබ්බන්ති = අනිච්චං’ යනු ටීකා යි. හැම කල්හි ස්ථිරව පැවතීම් වශයෙන් නො ගතයුතුවූයේ අනිත්‍ය නම් වේ, යනු එහි සිංහල යි. එහි ඇති තා’ යන්න ස්වභාවය යන අරුත සඳහා යෙදුනේ ය. ‘අනිච්චස්ස භාවො = අනිච්චතා’ යි කීයේ එහෙයිනි. ආගමෙහි මෙසේ ආයේ ය:-
“කතමං තං රූපං රූපස්ස අනිච්චතා? යො රූපස්ස ඛයො වයො භෙදො පරිභෙදො අනිච්චතා අන්තරධානං, ඉදං තං රූපං රූපස්ස අනිච්චතා” යි.
මෙහි එන ඛයො, වයො, යනාදීහු අනිත්‍යතාවය මේ ය යි පැහැදිලි කරනු පිණිස යෙදුනෝය. විස්තර මත්තෙහි එන්නේ ය.
රූපධර්‍මයක්හුගේ ආයුෂය චිත්තක්‍ෂණ සතළොසෙකි. විඤ්ඤත්තිරූප දෙක හැර යි. මේ දෙකෙහි ආයුෂය එක් චිත්තක්‍ෂණයෙකි. සතළොස් චිත්තක්‍ෂණයක් ඇති රූපධර්‍මයක්හුගේ ප්‍රථමචිත්තක්‍ෂණය උපචය, යි ද, දෙවැන්න පටන් පසළොස්වැන්න තෙක් සන්තති, යි ද, සොළොස්වැන්න ජරතා, යි ද, සතළොස්වැන්න අනිච්චතා,යි ද ගැනේ.
උපචයරූපය, ආචය ලකුණු කොට ඇත්තේ ය. කෘත්‍යය පුර්‍වාන්තයෙන් රූපයන් මතුකරවීම ය. පච්චුපට්ඨානය රූපධර්‍ම එළවීම ය නොහොත් රූපයන්ගේ පරිපූර්‍ණත්වය යි. පදට්ඨානය උපචිතරූපය යි. “ආචයලක්ඛණො රූපස්ස උපචයො, පුබ්බන්ත තො රූපානං උම්මුජ්ජාපනරසො, නීයාතනපච්චුපට්ඨානො, පරිපුණ්ණභාවපච්චුපට්ඨානො වා, උපචිතරූපපදට්ඨානො” යනු පාළි යි.
සන්තතිරූපය, රූපපරම්පරාවගේ නො සිඳ පැවැත්ම ලකුණු කොට ඇත්තේ ය. කෘත්‍යය පූර්‍වපශ්චිමරූපපරම්පරාව නො සිඳ පැවැත්ම යි. පදට්ඨානය පරමපරාව නො සිඳ හටගන්නා රූපය යි. “පවත්තිලක්ඛණා රූපස්ස සන්තති, අනුප්පබන්ධරසා, අනුපච්ඡෙදපදට්ඨානා, අනුප්පබන්ධරූපපදටඨානා” යනු පාළි යි.
ජරතාරූපය නිෂ්පන්නරූපපරිපාකය ලකුණු කොට ඇත්තේ ය. කෘත්‍යය රූපයන් භඞ්ග්‍යවස්ථාවට ඵළවීම ය. පච්චුපට්ඨානය අලුත්බව පහවීම යි. පදට්ඨානය පැසෙන හෙවත් දිරෙණ රූපය යි. “රූපපරිපාකලක්ඛණා රූපස්ස ජරතා, උපනයනරසා, සභාවානපගමෙපි නවභාවාපගමපච්චුපට්ඨානා, පරිපච්චමානරූප පදට්ඨානා” යනු පාළි යි.
අනිච්වතාරූපය බිඳීම ලකුණු කොට සිටියේ ය. කෘත්‍යය සංසීදනය යි. පච්චුපට්ඨානය ඛයවය යි. පදස්ථානය බිඳෙන රූපය යි. “පරිභෙදලක්ඛණා රූපස්ස අනිච්චතා, සංසීදනරසා, ඛය වය පච්චුපට්ඨානා, පරිභිජ්ජමානරූපපදට්ඨානා” යනු පාළි යි.
මහාභූතරූප සතරය, ප්‍රසාදරූප පසය, විෂයරූප සතරය, භාවරූප දෙකය, හදයරූපය, ජීවිතරූපය, ආහාරරූපය යන මොවුහු ස්වරූප වශයෙන් අටළොස් වැදෑරුම් වෙති. පිරිසිඳීම් ආදියෙන් තොර ව ස්වගතියෙන් කර්‍මාදිප්‍රත්‍යයයන්ගෙන් නිපන් බැවින් නිෂ්පන්න රූපය යි කියති.
පරිච්ඡෙදරූපය, විඤ්ඤතිරූප දෙක ය, විකාරරූප තුන ය, ලක්‍ෂණරූප සතර ය, යන දසය රූපපිරිසිඳීම් ආදිය හැර අන්හේතුවකින් නො නිපන් බැවින් අනිෂ්පන්නය යි කියති.
සූවිසි වැදෑරුම් වූ උපාදාය රූපත්, යට කියූ සිවුවැදෑරුම් වූ භූතරූපත්, එකතු ව රූපය අටවිසි වැදෑරුම් වේ. අඩුවැඩි නො වූ ඒ මේ අටවිසි රූපය තෙමේ න හෙතු, අහෙතුක, හෙතුවිප්පයුත්ත, සප්පච්චය, ලොකිය, සාසවා යනාදි වශයෙන් එක් වැදෑරුම් ය. මෙහි ලා එකවිධභේද තවත් ඇත්තේ ය. පොත දිග්ගැසෙන බියෙන් ඒ මෙහි නො ලියැ වේ.
අටවිසි රූපය ම හේතු නො වූයේ න හේතු නම. හේතු ඇත්තක් ද නො වන බැවින් අහේතුක නම. හේතූන්ගෙන් වෙන් ව සිටි බැවින් හේතුවිප්පයුත්ත ය. ධර්‍මනානාත්වයක් නො වතුදු විනෙයජනයන් පිණිස ශබ්දාර්‍ත්‍ථනානාත්වයෙන් මෙසේ ආයේ ය. ලෝභ, දෝස, මෝහ, අලෝභ, අදෝස, අමෝහ යන මොවුහු හේතුහු ය. මින් එක ද හේතුවෙක් කිසිත් රූපයෙක නැත. සම්ප්‍රයුක්ත වශයෙන් ද නො යෙදේ. ප්‍රත්‍යයයන් සමග පවතිත්නුයි සප්පච්චය නම. කම්ම, චිත්ත, උතු, ආහාර යන මොවුහු ප්‍රත්‍යයයෝ ය. තමා හා යෙදුනු හේතු නැත ද, රූපයෝ යම්කිසි ප්‍රත්‍යයයකින් ම හට ගන්නෝ ය. ලෝකයෙහි යෙදුනෝ නුයි ලොකිය නම. උපාදානස්කන්ධ, ලෝකය යි ගැණේ. එහි ඇතුළත් හෙයින් ලොකිය, යි කීහු. ආශ්‍රවයන් විසින් අරමුණු කටයුතුනුයි සාසව නම. කාම, භව, අවිජ්ජා, දිට්ඨි යන මොවුහු ආශ්‍රවයෝ ය. භූමි වශයෙන් භවාග්‍රය දක්වා ද, ධර්‍ම වශයෙන් ගෝත්‍රභූචිත්තය දක්වා ද වහනය වන බැවින් ආශ්‍රව නම් වෙත්.
නැවැත මේ රූපය, අජ්ඣත්තික, බාහිර, ඔළාරික, සුඛුම, දූරෙ, සන්තිකෙ, නිප්ඵන්න, අනිප්ඵන්න, පසාද, නප්පසාද ඉන්ද්‍රිය, අතීන්ද්‍රිය, උපාදින්න, අනුපාදින්න, යනාදීන්ගේ වශයෙනුදු දෙ වැදෑරුම් වේ.
‘ආහිතො අහං මානො එත්ථාති = අත්තා’ මම ය, මාගේ ය යන මානය මෙහි පිහිටුවන ලදැ යි ආත්ම නම් වේ. ඒ මේ ආත්මය අධිපති කොට උදෙසා පවතින්නේ අජ්ඣත්ත නමි. ‘අත්තානං අධිකිච්ච උද්දිස්ස පවත්තං අජ්ඣත්තං’ යනු නිර්‍වචන යි. ඉන්ද්‍රිය බද්ධධර්‍ම සමූහය මෙයින් කියැ වේ. ‘අජ්ඣත්තෙසු භවං අජ්ඣත්තිකං, ඒ ඉන්ද්‍රියබද්ධධර්‍මසමූහයෙහි හටගැණෙන චක්ඛු, සෝත, ඝාණ, ජිවහා, කාය, යන ආත්මයට අධිපති රූපපංචකය, මින් කියැ වේ. විශේෂ විසින් යමක තෘෂ්ණාව අධිකව පවතී නම්, ඒ අජ්ඣතික නමි. ශාරීරිකරූප අතුරෙහි චක්‍ෂුරාදියෙහි ම තෘෂ්ණාව බලවත් ව පවතී. අජ්ඣත්තික යන්නෙන් මනායතනයත් කියවෙතත් එය රූපයක් නො වන හෙයින් මෙහිලා නො ගැණේ. විස්තර පිටතින් දතයුතුය. මෙයින් අන්‍ය වූයේ බාහිර නම් වේ. අජඣත්තිකයන් කෙරෙහි මෙන් බාහිරයන් කෙරෙහි තෘෂ්ණාව බලවත් නො වේ. බාහිරය යි ගැණිමට එය ද හේතුවෙකි. අජ්ඣත්තිකව්‍යවහාරය රූඪිව්‍යවහාරයෙකැයි ද කියන ලද්දේ ය. චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා, කාය, රූප, සද්ද, ගන්ධ, රස, පඨවි, තේජෝ, වායෝ, යන දොළොස විෂය-විෂයීය කියන ආරම්මණ-ආරම්මණිකයන්ගේ ඝට්ටනය හෙවත් උනුන් එකට හැපීම ඖදාරික බැවින් හා ස්වභාවයෙන් ම ස්ථුල බැවින් ඔළාරිකය, යි කියති. ඔළාරික යන්නෙහි තේරුම මහත්ය යනු යි. ආපෝ, ඉත්‍ථිහාව, පුම්‍භාව, හදයවත්‍ථු, ජීවිත, ආහාර, ආකාස, කායවිඤ්ඤත්ති, වචී විඤ්ඤත්ති, ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා, උපචය, සන්තති, ජරතා, අනිච්චතා යන සොළොස සුඛම රූප නම් වේ. යට දැක් වූ ඔළාරිකරූපයන්ගේ මෙන් මොවුන්ගේ සථුලභාවයෙක් හෝ ඝට්ටනයෙක් නැත. සුඛමරූපැ යි කීයේ එහෙයිනි. ඒ මේ සුඛමරූපය ම දුකසේ ප්‍රතිවේධ කළ යුතු බැවිනුත් නුවණින් ඈත්හි වන බැවිනුත් දුරෙරූප නම් වේ. ඔළාරික රූපය සුවසේ ප්‍රතිවේධ කළයුතු වූ ස්වභාව ඇති බැවිනුත් දුර සිටිය ද වහා ගත හැකි බැවිනුත් නුවණට සමීපයෙහි වූ බැවිනුන් සන්තිකෙරූප නම් වේ. ධාතුහු සතර ය, චක්‍ෂුරාදී වූ තෙළෙස් රූපයෝ ය, කබලීකාරාහාර රූපය යන අටළොස් රූප, පිරිසිඳීම, විකාර, ලක්‍ෂණ, යන තුන් අයුර ඉක්මවා රූපයාගේ වෙන්කිරීම, රූපයාගේ විකාරය, රූපයාගේ උපචය යනාදිවශයෙන් නො ගෙණ ස්වකීය කැකුළුබැව් ආදී වූ ස්වභාවයෙන් ම නුවණින් පිරිසිඳ ගතයුතු බැවින් කර්‍මාදි චතුර්විධප්‍රත්‍යයයන් විසින් උපදවන ලද්දේ නිෂ්පන්නරූප නම් වේ. ස්වගතිය නුවණින් නො පිරිසිඳිය යුතු බැවින් කර්‍මාදිප්‍රත්‍යයයන් විසින් අසිද්ධ වූයේ අනිෂ්පන්නරූප නම් වේ. චක්ඛු, සෝත, ඝාණ, ජිවහා, කාය, යන පස්වැදෑරුම් වූ රූපය රූප, ශබ්ද, ගන්ධ, රස, ස්ප්‍රෂ්ටව්‍ය යන ගොචරරූපයන් ගොදුරු කොට ගැණීමෙහි ප්‍රත්‍යය භාවයෙන් කැටපතක් මෙන් අතිශයින් ප්‍රසන්න වූයේ ප්‍රසාදරූප නම් වේ. මෙයින් අන්‍ය වූ තෙවිසි රූපය තෙමේ ප්‍රසන්නභාවයෙන් තොර බැවින් නප්‍රසාදරූප නම් වේ. ප්‍රසාදරූප පසත්, ඉත්ථින්ද්‍රිය, පුරිසින්ද්‍රිය, ජීවිතින්ද්‍රිය, යන තුනත් ඊෂ්වරභාචසංඛ්‍යාතඅධිපති භාවයෙන් යුක්ත හෙයින් ඉන්ද්‍රිය රූප නම් වේ. ඉතිරි වූ විසිවැදෑරුම් රූපය අධිපතිභාවයෙන් තොර හෙයින් අතීන්ද්‍රියරූප නම් වේ. චක්‍ෂුරාදිපඤ්ච ප්‍රසාදරූපය, පඤ්චවිඥානයෙහි ද, භාවරූපද්වය ලිඞ්ග-නිමිත්ත-කුත්ත-ආකල්පයන්හි ද අධිපතිභාවය කරත්. කර්‍මයෙන් හටගත් රූප උපාදින්න නම් වේ. හදය, චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා, කාය, ඉත්‍ථි, පුරිස, ජීවිත, පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වණ්ණ, ගන්ධ, රස, ඕජා, ආකාස යන මොවුහු යි ඒ. තෘෂ්ණා දෘෂ්ටීන් විසින් ලං කොට ගන්නාලද හෙයින් උපාදින්නයෝය යි කියනු ලැබෙති. සජීවසන්තානයෙහි මෙකී රූප අටළොස සියලු කල්හි පවත්නේ ය. මෙයින් අන්‍ය වූවෝ හෙවන් චිත්තජ, උතුජ, ආහාරජරූපයෝ කර්‍මයාගේ ඵලභාවයෙන් නො ගත්හෙයින් අනුපාදින්න නම් වෙති.
නැවැත රූපය තෙමේ, සනිදස්සනසප්පටිඝ-අනිදස්සන සපපටිඝ = අනිදස්සනඅප්පටිඝ, කම්මජ- අකම්මජ-නෙවකම්මජනාකම්මජ, චිත්තජ - අචිත්තජ - නෙවචිත්තජනාචිත්තජ, ආහාරජ - අනාහාරජ - නෙවආහාරජනඅනාහාරජ - උතුජ - අනුතුජ - නෙව උතුජ න අනුතුජ, යනාදී වූ තික වශයෙන් භේදයට ය න්නේ ය.
එහි දොළොස් වැදෑරුම් වූ ඖදාරිකරූපයෙහි රූපරූපය දැක්ක යුතු බැවින් ගැටීම් සහිත වූයේ සනිදස්සනසප්පටිඝ නම් වේ. අනික් එකොළොස නො දැක්ක යුතු බැවින් ගැටීම් සහිත බැවින් අනිදස්සනසප්පටිඝ නම් වේ. සොළොස් වැදෑරුම් වූ සුඛුමරූපය නො දැක්ක යුතු බැවින් හා ගැටුම් නැති බැවිනුත් අනිදස්සනඅප්පටිඝ නම් වේ. මෙහිලා ඇසට ගොදුරු වන බව දැක්ක යුතු බව ය යි ද, ආරම්මණ-ආරම්මණිකයන්ගේ එකට හැපීම ගැටුම යයි ද දත යුතු ය. කර්‍මයෙන් හටගත් ඉන්ද්‍රියරූප අට හා හදයවත්ථු රූපයත් ආකාසධාතුරූපය හා අවිනිබ්භෝගසුද්ධට්ඨකරූපයත් යන අටළොස් රූපය කම්මජ නම් වේ. චිත්ත-උතු-ආහාර යන හේතු තුනෙන් හට ගැනෙන රූපය තෙමේ අකම්මජ නම් වේ. කිසිත් හේතුවකින් නො හටගැණෙන උපචය-සන්තති-ජරතා-අනිච්චතා යන ලක්‍ෂණරූපය නෙවකම්මජනාකම්මජ නම් වේ. කායවිඤ්ඤත්ති-වචීවිඤ්ඤත්ති-සද්ද-ආකාස-ලහුතා-මුදුතා-කම්මඤ්ඤතා රූප හා සිතින් හට ගැණෙන අවිනිබ්භෝගසුද්ධට්ඨකරූප යන පසළොස චිත්තජ නම් වේ. අනික් හේතුන් නිසා හට ගන්නා රූපය තෙමේ අචිත්තජ නම් වේ. කිසිත් හේතුවකින් නො හට ගන්නේ නෙවචිත්තජනාචිත්තජ නම් වේ. ආකාස-ලහුතා-මුදුතා-කම්මඤතා යන සතර හා ආහාරයෙන් හටගන්නා සුද්ධට්ඨකරූපය යන දොළස ආහාරජ නම් වේ. අනික් තුන් හේතුවෙන් හටගන්නේ අනාහාරජ නම් වේ. හේතුවකින් නො හටගන්නේ නෙවආහාරජ න අනාහාරජ නම් වේ. සද්ද-ආකාස දෙක හා සෘතුයෙන් හටගන්නා සුද්ධට්ඨකරූපය යන දසය උතුජ නම් වේ. එයින් අන්‍ය වූ හේතුයෙන් හටගන්නා රූපය අනුතුජ නම් වේ. කිසිත් ප්‍රත්‍යයයකින් නො හටගන්නා රූපය නෙවඋතුජ න අනුතුජ නම් වේ.
නැවැත රූපය තෙමේ, දිට්ඨ-සුත-මුත-විඤ්ඤාත-රූපරූප-පරිච්ඡෙද-විකාර-ලක්ඛණ, වත්ථුනද්වාර-ද්වාරනවත්ථු-වත්ථුද්වාර-නෙව වත්ථු නද්වාර, යන මේ වශයෙන් සිවුවැදෑරුම් වේ.
එහි ඇසට ගෝචර වන්නේ දිට්ඨ නම්. ශබ්දය කණට අරමුණු වන බැවින් සුත නම්. ගන්ධ-රස-ස්පර්‍ශ යන තුන නාසය-දිව-ශරීරය යන තුනට අරමුණු වන බැවින් මුත නම්. නාසය, දිව, ශරීරය යන තිදෙන තමන් කරා පැමිණියා වූ ම අරමුණු ගන්නෝ ය. එහෙයින් වෙත පැමිණි අරමුණ මුත නමැයි කීහු. නාසය, දිව, ශරීරය යන තිදෙන තමන් වෙත පැමිණි අරමුණ ම ගන්නා බැවින් සම්පත්තග්ගාහී ය යි ද, ඇස කණ දෙදෙන අරමුණ කරා ගොස් අරමුණු ගන්නා හෙයින් අසම්පත්තග්ගාහී ය යි ද කියනු ලබති. ඉතිරි වූ එක්විසි රූපය සිතට ම අරමුණු වන හෙයින් විඤ්ඤාත නම්. මෙහි කියවුනු නිප්ඵන්නරූපය රූපරූප නම්. ඒ මේ නිප්ඵන්නරූපය විකාරයට පැමිණෙන බැවින් ‘රුප්පනං = රූපං තං එතස්ස අත්‍ථි’ යන අර්‍ත්‍ථසමර්‍ත්‍ථනය ලෙසින් මුඛ්‍ය රූප නම්. නීලගුණයෙන් යුක්ත බැවින් නීලවත්‍ථං, යනු මෙන් විකාරයෙන් යුක්ත බැවින්, ගුණොපචාර වශයෙන් රූප නම්. රූපශබ්දය අනිප්ඵරූපයෙහි ද රූඪි හෙයින්, අනික් රූප ශබ්දයකින් වෙසෙසා තිලතෙලං, යනු මෙන් රූපරූප යි කියන ලදැ යි කීහු. ආකාසරූපය නිප්ඵන්නරූපයාගේ පරිච්ඡෙදකර ලක්‍ෂණයක් බැවින්, නිප්ඵන්නරූපයාගේ ස්වභාවය ඇත්තේ රූප නම්. එසේ කියන ලද්දේ ආකාසධාතුරූපය විකාරයක් නො වන බැවිනි. ආකාසධාතුරූපය පරිච්ඡෙදරූප නම්. කායවිඤ්ඤත්තිරූපය ආදි කොට, කම්මඤ්ඤතාරූපය අවසන් කොට ඇති රූප පස විකාර නම්. ජාතිරූපය-ජරතාරූපය-අනිච්චතාරූපය යන මෙතුන ලක්ඛණ නම්. හදයරූපය වත්‍ථුනද්වාර නම. විඤ්ඤත්තිරූප දෙක ද්වාරනවත්ථු නම. ප්‍රසාද රූපය තෙමේ වත්ථූද්වාර නම. සෙසු එක්විසි වැදෑරුම් වූ රූපය නෙවවත්ථුනද්වාර නම. සවැදෑරුම් වූ වත්ථුරූපයන් අතර හදයවත්ථුරූපය, මනෝධාතුමනෝවිඤ්ඤාණධාතූන්ට නිඃශ්‍රය වන හෙයින් වත්ථුරූප නම. අනික් චක්ඛු ආදී වූ පස්දෙන අන්‍ය නිඃශ්‍රය වූ සම්පටිච්ඡනාදීන්ට ද්වාරවන්නාක් මෙන්, අන්‍ය නිඃශ්‍රය වූ ධර්‍මයන්ට ද්වාර නො වන්නෝ ය. විඤ්ඤත්ති දෙක කර්‍මද්වාර හෙයින් ද්වාරූප නම්. එදෙක නිඃශ්‍රය කොට ගෙණ හටගන්නා චිත්ත චෛතසිකයක් නැති බැවින් වත්ථුරූප නො වේ. ප්‍රසාදරූපය තමන් ඇසුරු කොට ගෙණ හට ගන්නා චක්‍ෂුර්විඥානාදින්ට ද වත්ථු වන්නේ ය. අන්‍ය නිඃශ්‍රිත සම්ප්‍රත්‍යෙෂණාදීන්ට ද ද්වාර වන්නේ ය. අනික් එක්විසි වැදෑරුම් වූ රූපය මෙසේ නො වන්නේ නෙවවත්ථුනද්වාර නම් වේ. ‘වසන්ති එත්ථ චිත්තචෙතසිකා ධම්මා පවත්තන්තීති = වත්ථූ’ චිත්ත චෛතසික ධර්‍මයෝ මෙහි වසත් නුයි පවතිත් නුයි වත්ථු නම් වේ.
නැවැත රූපය තෙමේ, එකජ-ද්විජ-තිජ-චතුජ-නකුතොචිජාත වශයෙන් පස්වැදැරුම් ය. ඔවුන් අතර කර්‍මයෙන් පමණක් හටගන්නා රුප හා සිතින් පමණක් හටගන්නා රූප එකජ නමි. හදයවත්ථුව සමග ඉන්ද්‍රිය රූප අට කර්‍මයෙන් ම හට ගණියි. ශබ්දය සිතින් හා ඍතුවෙන් හටගන්නා බැවින් ද්විජ නමි. ලහුතාදී වූ තුන ඍතු-චිත්ත-ආහාර යන මෙයින් හටගන්නේ තිජ නමි. ලක්ඛණ රූපය තොර කොට ඇති අනික් රූප චතුජ නමි. ලක්ඛණරූපය වනාහි න කුතොචිජාත නම් වේ. උත්පාදයාගේ උත්පාදයෙක් නැත. උපන්නා වූ රූපයාගේ මුහුකිරීම් බිඳීම් මාත්‍රයක් වූ ජරාමරණය වේ ද එහෙයින් ලක්ඛණරූප තුන කිසි ප්‍රත්‍යයකින් නො හටගන්නා බව දතයුතු ය.
මෙකී රූපයන්ගේ හටගැණීම කර්‍ම-චිත්ත-ඍතු-ආහාර යන මේ හේතුන්ගෙන් සිදු වේ. කර්‍මයෙන් හටගන්නා රූප කම්මසමුට්ඨාන, යි ද, සිතින් හටගන්නා රූප චිත්තසමුට්ඨාන, යි ද, ඍතුවෙන් හටගන්නා රූප උතුසමුට්ඨාන, යි ද, ආහාරයෙන් හටගන්නා රූප ආහාරසමුට්ඨාන, දැයි ද කියති.
කාමාවචර කුසල් සිත් අට, අකුසල් සිත් දොළොස, රූපාවචර කුසල් සිත් පස යන පස් විසි වැදෑරුම් වූ කුසල්-අකුසල් සිත් සමග යෙදුනු චේතනා යි කියන කර්‍මය, අතීතභවයෙහි රැස් කරණ ලද්දේ, ආද්ධ්‍යාත්මික සන්තානයෙහි ප්‍රතිසන්ධිචිත්තයාගේ උත්පාද ක්‍ෂණයෙහි පටන්, කර්‍මසමුත්‍ථානරූප උපදවන්නේ ය. අරූපාවචර කුශලකර්‍ම සතර රූප නො උපදවයි. ඔවුන් රූපවිරාගය පිණිස වඩනා බැවිනි. සමහර ආචාර්‍ය්‍ය කෙනෙක් ස්ථිති-භඞ්ග ක්‍ෂණ දෙක්හි රූපයන්ගේ උත්පාදයෙක් නැතැ යි කියති.
අරුපාවචරවිපාක සතර, ද්විපඤ්චවිඤ්ඤාණ යන මේ තුදුස හැර, කුසලාකුසලවිපාකක්‍රියාභේදයෙන් පන්සැත්තෑ චිත්තය තෙමේ, ප්‍රතිසන්ධිචිත්තයට අනතුරු වූ ප්‍රථමභවාඞ්ගචිත්තයෙහි පටන් චිත්තසමුත්‍ථානරූපය උපදවයි. මේ ඉපදවීම උත්පාදක්‍ෂණයෙහි මුත් ස්ථිති-භඞ්ගක්‍ෂණ දෙක්හි නො වන්නේ ය. ඒ ක්‍ෂණ දෙකට රූපඉපදවීමෙහි ශක්තියක් නැති බැවිනි. අරූපවිපාක සිත්වලට රූප ඉපදවීමේ ශක්තියක් නැත. ඒ සිත් අරූපභූමියට අයත් බැවිනි. ද්විපඤ්චවිඤ්ඤාණය ද ධ්‍යානාඞ්ග නො යෙදෙන බැවින් රූප නො උපදවයි. ධ්‍යානාඞ්ග රූපඉපදවීමෙහි විශේෂහේතු යි. උපේක්‍ෂාසහගතසන්තීරණ දෙසිත, කාමාවචරමහාවිපාක සිත් අට, රූපාවචර විපාක සිත් පස, කාම-රූපප්‍රතිසන්ධි සිත් හා, රහතුන් පිළිබඳ චුති සිතත් යන මේ සිත් රූප නො උපදවයි. එහෙත් ඔවුහු භවාඞ්ග-චුතිවශයෙන් පවත්නා කල්හි රූප උපදවති. එබැවින් මෙහි නො දක්වන ලද ය. වස්තුදුර්‍වලත්වය නිසා ප්‍රතිසන්ධි චිත්තයන්ට රූප උපදවනු බැරි ය. හැම කෙනකුන් පිළිබද චුති සිත් රූප නො උපදවති යි ඇතැම් කෙනෙක් කියත්.
මෙහි ඍතු නම්, තේජෝධාතුව යි. ප්‍රතිසන්ධිචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි කර්‍මජරූපයන්ගේ පහළවීමෙහි දී ඒ කර්‍මජරූප කලාපයන්ට ම ඇතුළත් වූ ශීතෝෂණතාවය යි. එය ක්‍ෂණත්‍රයයෙන් ස්ථිතික්‍ෂණයෙහි ම ආද්ධ්‍යාත්මික-බාහිර වූ රූප උපදවයි. ශබ්දය ඍතුවෙන් හටගණියි. එහි ද අවිඥානක වූ මෙඝශබ්දාදිය ම, ඍතුවෙන් හටගණියි. සවිඥානක වූ වස්තුන් පිළිබඳ ශබ්දය චිත්තයෙන් හටගන්නේ ය.
ආහාර නම් ඔජාවයි. ඒ ඔජාව සිරුරෙහි පැතිර ගෙණ ස්ථිති අවසථාවට පැමිණියා රූප උපදවයි. මේ ඔජාව ආද්ධ්‍යාත්මික-බාහිර වශයෙන් දෙ වැදැරුම් ය. ඒ දෙ වැදෑරුම් වූ ඔජාව ම, එකතුව රූප උපදවයි. ආහාරයක් කට ගෑ ඇසිල්ලෙහි, රූප අටක් උපදවනබව ද, එක් එක් බත් උලකින් රූප අට අට බැගින් උපදවන බව ද ආචාර්‍ය්‍යවරයෝ කියති.
චක්ඛු-සෝත-ඝාණ-ජිව්හා-කාය, ඉත්‍ථිහාව-පුරිසභාව, ජීවිතින්‍ද්‍රිය, හදයවත්ථු, පඨවී-ආපෝ-තේජෝ-වායෝ, වණ්ණ-ගන්ධ-රස-ඔජා-ආකාස යන අටළොස කර්‍මයෙන් හටගත් රූප යි.
කායවිඤ්ඤත්ති-වචීවිඤ්ඤත්ති-සද්ද-ලහුතා-මුදුතා-කම්මඤ්ඤතා-පඨවි-ආපෝ-තේජෝ-වායෝ-වණ්ණ-ගන්ධ-රස-ඔජා-ආකාස යන පසළොස චිත්තයෙන් හටගත් රූප යි.
සද්ද-ලහුතා-මුදුතා-කම්මඤ්ඤතා, පඨවි-ආපෝ-තේජෝ-වායෝ-වණ්ණ-ගන්ධ-රස-ඔජා-ආකාස යන තෙළෙස ඍතුවෙන් හටගත් රූප යි.
ලහුතා-මුදුතා-කම්මඤ්ඤතා-පඨවි-ආපෝ-තේජෝ-වායෝ-වණ්ණ-ගන්ධ-රස-ඔජා-ආකාස යන දොළොස ආහාරයෙන් හටගත් රූප යි.
ලක්ඛණ රූපයෝ (උපචය-සන්තති-ජරතා-අනිච්චතා) කර්‍මාදි කිසිවකිනුත් නූපදිත්. සඞ්ග්‍රහය මෙසේය:-
“අට්ඨාරස පණ්ණරස තෙරස ද්වාදසානි ච,
කම්මචිත්තොතුකාහාර ජානි හොන්ති යථාක්කමං.
.
ජයමානාදිරූපානං සභාවත්තා හි කෙවලං,
ලක්ඛණානි න ජායති කෙහිචීති පකාසිතං”
සමහර රූප කෙනකුන් හේතු දෙකකින්, සමහර කෙනකුන් තුනකින්, සමහර කෙනකුන් සතරකින් උපදනා බව මෙයින් උගත යුතු ය.
තව ද රූපයෝ කලාප වශයෙන් ද දතයුතු වෙත්. එක් ව ඉපදීම් ඇති එක් ව නිරුද්ධවීම් ඇති එක් නිඃශ්‍රයක් ඇති එක් පැවැත්මක් ඇති රූප කොටස් කලාපය යි කියත්. එබඳු කලාප මෙහි එක් විස්සෙක් ලැබේ. එයින් නවයෙක් කර්‍මසමුත්‍ථානකලාප යි ද, සයෙක් චිත්තසමුත්‍ථානකලාප යි ද, සතරෙක් සෘතුසමුත්‍ථානකලාප යි ද, දෙකෙක් ආහාරසමුත්‍ථානකලාප යි දැ යි දතයුතු ය.
යට කියන ලද කර්‍මජරූප අටළොස කලාප (මිටි) වශයෙන් නවයකට බෙදේ. චක්ඛුදසකකලාප - සෝතදසකකලාප - ඝාණදසකකලාප - ජිවහාදසකකලාප - කායදසකකලාප - ඉත්‍ථිභාවදසකකලාප - පුම්භාවදසකකලාප - වත්ථුදසකකලාප - ජීවිතනවකකලාප කියා.
‘දසපරිමාණං අස්සාති = දසකං, චක්ඛුනා උපලක්ඛිතං තප්පධානං වා දසකං = චක්ඛුදසකං’ ඇසින් ලකුණු කරණ ලද්දා වූ හෝ ඇස ප්‍රධාන කොට ඇත්තා වූ දශ පරිමාණ වූ රූපසමූහය චක්ඛුදසක නම් වේ. චක්ඛුදසකයට අයත් වන්නේ චක්‍ඛුප්පසාද - ජීවිතින්ද්‍රය - පඨවි - ආපෝ - තේජෝ - වායෝ - වණ්ණ - ගන්ධ - රස - ඔජා යන දසය යි. මේ දසය නො වෙන් ව එකට උපදී. එකට නිරුද්ධ වේ. එක් නිඃශ්‍රයෙක් ඇත්තේ වෙයි. එකට පවතී.
සෝත - ඝාණ - ජිවහා - කාය - ඉත්‍ථිභාව - පුම්භාව - හදයවත්ථු යන සත, ජීවිත - පඨවි - ආපෝ - තේජෝ - වායෝ - වණ්ණ - ගන්ධ - රස - ඔජා යන මොවුන්ගේ ආදියෙහි යොදා, සොතදසක, ඝාණදසකාදි වශයෙන් ව්‍යවහාර කරනු ලැබේ. ජීවිතින්ද්‍රිය හා අවිනිබ්භෝගරූප අට ජීවිතනවක’ යි කියත්.
චිත්තසමුත්‍ථානරූපය කලාප වශයෙන් සයෙකි. සුද්ධට්ඨක - කායවිඤ්ඤත්තිනවක - වචීවිඤ්ඤත්තිදසක - ලහුතාදෙකාදසක - කායවිඤ්ඤත්තීලහුතාදිද්වාදසක - වචීවිඤ්ඤත්තිසද්දලහුතාදීතෙරසක කියා.
අවිනිබ්භෝගරූපය ‘ සුද්ධට්ඨකකලාප’ නම් වේ. අවිනිබ්භෝග රූපය, කායවිඤ්ඤත්තිය හා ‘ කායවිඤ්ඤත්තිනවකකලාප’ නම් වේ. ‘ වචීවිඤ්ඤත්තිදසකකලාපය’ වනුයේ අවිනිබ්භෝග රූප අටත් වචීවිඤ්ඤත්තියත් සද්දයත් එකතු වූ තැන ය. අවිනිබ්භෝගරූපය ලහුතා-මුදුතා-කම්මඤ්ඤතා යන තුන හා එකතු ව ‘ ලහුතාදෙකාදසකකලාපය’ සෑදේ. එය ම කායවිඤ්ඤති, ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා යන සතර හා කැටි වූයේ ‘කායවිඤ්ඤත්තිලහුතාද්වාදසකකලාපය’ නමින් කියැ වේ. නැවැත චචීවිඤ්ඤත්ති, සද්ද, ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා යන පස හා කැටි වූයේ ‘වචීවිඤ්ඤත්තිසද්දලහුතාදිතෙරසකකලාපය’ වේ.
මේ මෙසේ කියන ලද ද ඇතැම් ආචාර්‍ය්‍ය කෙනෙක් චිත්තජරූපකලාප අටෙකැයි කිහු. සද්දනවක, සද්දලහුතාදිද්වාදසක යි කලාප දෙකක් එකතුකර ගැණීමෙනි.
ඍතුසමුත්‍ථානරූපකලාප සතරෙකි. සුද්ධට්ඨක - සද්දනවක - ලහුතාදෙකාදසක - සද්දලහුතාදිද්වාදසක කියා.
අවිනිබ්භෝගරූපය ‘ සුද්ධට්ඨකකලාප’ යි කියනලදී. මෙහි ද එසේ ය. එය ම ශබ්දය හා කැටි වූයේ ‘ සද්දනවකකලාප’ නම් වේ. ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා තුන සමග කැටි වූයේ ‘ ලහුතාදෙකාදසකකලාප’ නම් වේ. සද්ද, ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා යන සතර සමග කැටි වූයේ ‘ සද්දලහුතාදිද්වාදසකකලාප’ නම් වේ.
ආහාර සමුත්‍ථානරූපකලාපදෙකෙකි. සුද්ධට්ඨක - ලහුතාදෙකාදසක කියා.
අවිනිබ්භෝගරූපය ‘ සුද්ධට්ඨකකලාපය’ යි පෙරසේ මෙහිදී ද සැලකිය යුතුයි. ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා තුන සමග ඒ යෙදූනේ ‘ ලහුතාදෙකාදසකකලාප’ නම් වේ.
මෙයින් සුද්ධට්ඨක - සද්දනවක යන ඍතුජකලාප දෙක බාහිර වස්තුන්හි ද ලැබේ. මේ හැර අනික් සියලු කලාපයෝ අද්ධ්‍යාත්මයෙහි ලැබෙත්. සංග්‍රහය මෙසේ ය:-
“කම්මචිත්තොතුකාහාරසමුට්ඨානා යථාක්කමං,
නවච්ඡචතුරො චෙති කලාපා එකවීසති” යි.
ආකාසධාතුරූපය, කලාපයන්ගේ පිරිසිඳීම් මාත්‍රයක් ම කරණ බැවින් ද උපචය, සන්තති, ජරතා, අනිච්චතාරූප, රූප පිළිබඳ උත්පාදාදි ලක්‍ෂණමාත්‍රයක් බැවින්ද කලාපාඞ්ග නො වේ.
රූපසකන්ධයෙහි ගැණෙන රූප පිළිබඳ ව මෙහි කියන ලද්දී ඉතා කෙටි කථාවෙකි. විස්තරය පිණිස විසුද්ධිමග්ග - සම්මෝහවිනොදනී විඝඞ්ගට්ඨකථාදිය බලනු.
වෙදනා නම්, වෙදයිතලක්‍ෂණයෙන් යුක්ත වූ ගති ය යි. අරමුණු රස අනුභව කිරීම් ආකාරයෙන් පැවැත්ම වෙදයිත නමි. ‘වින්දන්ති එතාය සත්තා සාතං වා අසාතං වා ලභතීති = වෙදනා’ සත්වයෝ යහපත් වූ හෝ අයහපත් වූ හෝ මිහිරි නො මිහිරි අරමුණු රස යම් ස්වභාවධර්‍මයක් කරණ කොට විඳිත් ද, ලබත් ද ඒ ධර්‍මස්වභාවය වේදනා නමැ යි කීහ.
අරමුණුරස විඳින ස්වභාවලක්‍ෂයෙන් එක්වැදෑරුම් වූවා ද කුසල් - අකුසල - අබ්‍යාකත යන ජාති වශයෙන් වේදනාව තෙවැදෑරුම් ය. කුසල් වශයෙන් හෝ අකුසල් වශයෙන් නො කියනලද විපාකක්‍රියා චිත්තචෛතසිකයෝ අබ්‍යාකත වශයෙන් හැඳින්වෙති.
කාමාවචර සෝමනස්ස උපෙක්ඛා ඤාණ සඞ්ඛාර භේදයෙන් අට වැදෑරුම් ය, යන ආදික්‍රමයෙන් කුසලවිඤ්ඤාණය හා යෙදුනී කුසලවෙදනා ය. අකුසලවිඤ්ඤාණය හා යෙදුනී අකුසලවෙදනා ය. විපාක ක්‍රියා යි කියන අබ්‍යාකතචිත්තය හා යෙදුනී අව්‍යාකතවෙදනා යි දතයුතු ය.
වේදනා තොමෝ ස්වභාව වශයෙන් සුඛවෙදනා-දුක්ඛවෙදනා-සොමනස්සවෙදනා-දොමනස්සවෙදනා-උපෙක්ඛාවෙදනා යි පස්වැදෑරුම් ය.
එහි කුසලවිපාකකායවිඤ්ඤාණය හා යෙදුනී සුඛවෙදනා ය. අකුසලවිපාකකායවිඤ්ඤාණය හා යෙදුනී දුක්ඛවෙදනා ය. කාමාවචරවිඤ්ඤාණයන් කෙරෙන් සිවුවැදෑරුම් වූ සොම්නස් සහගියා වූ කුසල චිත්තයන් සමග ද, සිවුවැදෑරුම් වූ සොම්නස් සහගිය සහේතුක විපාකචිත්තයන් සමග ද, අහේතුකවිපාක වූ සොම්නස් සහගිය සන්තීරණ චිත්තය සමග ද, සිවුවැදෑරුම් වූ සොම්නස් සහගිය සහේතුක ක්‍රියා චිත්තයන් සමගද, එක් ම සොම්නස් සහගිය අහේතුක ක්‍රියා චිත්තය සමග ද, සිවු වැදෑරුම් සොම්නස් සහගිය අකුශල චිත්තයන් සමග ද, රූපාවචර විඤ්ඤාණයන් කෙරෙහි පංචමධ්‍යානික කුසලවිපාකක්‍රියාචිත්තයන් හැර අනික් ඉතිරි වූ සිවුවැදෑරුම් වූ කුසල විඤ්ඤාණයන් සමග ද, වතුර්විධ විපාකයන් සමග ද චතුර්විධ ක්‍රියාවිඤ්ඤාණයන් සමග ද, (ධ්‍යානවශයෙන්) සතළිසකට බෙදී යන ලෝකෝත්තර සිත් අතර පංචමධ්‍යානික සිත් අට හැර අනික් දෙතිසක් ලොකුත්තරවිපාක විඤ්ඤාණ සමග දැ යි යන දෙසැටක් විඤ්ඤාණයන් හා යෙදුනු වේදනා තොමෝ සොමනස්සවෙදනා ය. දොම්නස් සහගිය අකුසල් සිත් දෙක හා යෙදුනී දොමනස්සවෙදනා ය. අනික් පස්පණස් චිත්තයන් හා යෙදුනු වේදනා තොමෝ උපෙක්ඛාවෙදනාය. [1]
සුඛවේදනා තොමෝ ඉෂ්ට වූ ස්ප්‍රෂ්ටව්‍යයන් අනුභවකිරීම ලකුණු කොට සිටියා ය. කෘත්‍යය තමන් හා යෙදුනු ධර්‍මයන්ගේ වැඩීම ය. පච්චුපට්ඨානය කායිකසුඛවේදනාව විඳගැණීම ය. පදට්ඨානය කායෙන්ද්‍රිය යි. “ඉට්ඨඵොට්ඨබ්බානුභවනලක්ඛණා සුඛ වෙදනා, සම්පයුත්තානං උපබ්‍රෑහණරසා, කායිකඅස්සාදපච්චුපට්ඨානා, කායින්‍ද්‍රියපදට්ඨානා” යනු පාළි යි.
දුක්ඛවේදනා තොමෝ අනිෂ්ට වූ ස්ප්‍රෂ්ටව්‍යයන් අනුභවකිරීම ලකුණු කොට සිටියා ය. කෘත්‍යය තමන් හා එක් ව උපදනා ධර්‍මයන් මලානිකභාවයට පැමිණවීම ය. පච්චුපට්ඨානය කායිකාබාධය යි. කායෙන්ද්‍රිය පදට්ඨානය යි. “අනිට්ඨඵොට්ඨබ්බානුභවනලක්‍ඛණා දුක්ඛවෙදනා, සම්පයුත්තානං මිලාපනරසා, කායිකාබාධපච්චුපට්ඨානා, කායින්ද්‍රියපදට්ඨානා” යනු පාළි යි.
සෝමනස්සවේදනා තොමෝ ඉෂටාලම්බනානුභවය ලකුණු කොට සිටියා ය. කෘත්‍යය ස්වභාවවශයෙන් හෝ වරදවා කල්පනා කිරීමෙන් කැමැති ලෙසකින් අරමුණුරස අනුභව කිරීම ය. පච්වුපට්ඨානය චෛතසිකආස්වාදය යි. සංසිදීම පදට්ඨානය යි. “ඉට්ඨාරම්මණානුභවනලක්ඛණා සොමනස්සවෙදනා, යථාතථා වා ඉට්ඨාකාරසම්භොගරසා, චෙතසිකඅස්සාදපච්චුපට්ඨානා, පස්සද්ධිපදට්ඨානා” යනු පාළි යි.
දෝමනස්සවේදනා තොමෝ අනිෂ්ටාලම්බනානුභවය ලකුණු කොට සිටියා ය. කෘත්‍යය ස්වභාවවශයෙන් හෝ අයථාකල්පනයෙන් අනිෂට ලෙසින් අරමුණුරස අනුභවකිරීම යි. පච්චුපට්ඨානය චෛතසික ග්ලානත්‍වය යි. පදට්ඨානය හදයවත්ථුව යි. “අනිට්ඨාරම්මණනුභවනලක්ඛණා දොමනස්සවෙදනා, යථාතථා වා අනිටඨාකාරසම්භොගරසා, කායිකාබාධපච්චුපට්ඨානා, එකන්තෙනෙව හදයවත්ථුපදට්ඨානා” යනු පාළි යි.
උපෙක්ඛාවේදනා තොමෝ මැදහත් ආකාරයෙන් අරමුණුරස අනුභව කිරීම ලකුණු කොට සිටියා ය. කෘත්‍යය සම්ප්‍රයුක්තධර්‍මයන් මැදහත් අයුරෙන් පැවැත්වීම ය. සංසුන්බව පච්චුපට්ඨානය යි. පදට්ඨානය ප්‍රීතිරහිතචිත්තය යි. “මජඣත්තවෙදයිතලක්ඛණා උපෙක්ඛා, සම්පයුත්තානං නාතිඋපබ්‍රෑහණමිලාපනරසා, සන්තභාවපච්චුපට්ඨානා, නිප්පීතිකචිත්තපදට්ඨානා” යනු පාළි යි.
වෙදයිතලක්‍ෂණවශයෙන් එක් වැදෑරුම් වූ වේදනා තොමෝ කුසල, අකුසල, අබ්‍යාකතවශයෙන් හා සුඛ-දුක්ඛ-සෝමනස්ස-දෝමනස්ස-උපෙක්ඛා වශයෙන් භේදයට ගියා, චිත්තවිභාග වශයෙනි. එහෙයින් වේදනාවගේ විස්තරාවබෝධය පිණිස චිත්තවිභාගය දතයුතු ය. චිත්තවර්‍ගයෙහි ඒ දැක්වින. එහෙයින් ඒ මෙහි නො ආයේය. ඒ බලා දතයුතු යි.
සංඥා නම්, නීල-පීතාදීවශයෙන් වෙනස් වෙනස් වූ අරමුණු සලකුණු කොට හැඳිනීම ය. “සඤ්ජානාති සඤ්ජානාතීති ඛො භික්ඛවෙ! තස්මා සඤ්ඤාති වුච්චති, කිං ච සඤ්ජානාති නීලම්පි පීතම්පි ලොහිතකම්පි ඔදාතම්පි සඤ්ජානාති” යනු දේශනා ය. මේ නිසාම සිත අරමුණු හඳුනා ගනියි. සිත අරමුණු සිතතත්, සිතට අරමුණු හඳුනාගත නො හැකි ය. සිත අරමුණු හඳුනා ගන්නේ සංඥාවගේ ශක්තියෙන් ම ය. සංඥාව පෙර ගන්නා ලද සලකුණක් අනු ව යෑමෙන් ම පසු ව ලැබෙන අරමුණ හඳුනා ගණියි. මෙසේ අරමුණු හැඳින ගැණීමේ ලක්‍ෂණයෙන් ඕ එක් වැදෑරුම් වූවා ද, කුශල-අකුශල-අව්‍යකෘත යන ජාති වශයෙන් තෙපරිදි ය.
එහි කුශලවිඥාන සම්ප්‍රයුක්ත වූවා කුශලසඥා යි. අකුශල විඥාන සම්ප්‍රයුක්ත වූවා අකුශලසංඥා යි. අව්‍යකෘතවිඥානයන් හා සම්ප්‍රයුක්ත වූවා අව්‍යකෘතසංඥා යි. සංඥාවෙන් තොර වූ විඥානයෙක් නැත. එහෙයින් විඥානයාගේ භේද යම් පමණ වේ ද, සංඥාවගේ භේදත් එ පමණ ය.
සංඥා තොමෝ විඥානය හා සම වූ භේද ඇත්තී නමුත් ලක්ඛණ-රස-පච්චුපට්ඨාන-පදට්ඨාන වශයෙන් හැඳිනීම ලකුණු කොට ඇත්තී ය. කෘත්‍යය, ඒ මෙසේ ය යි නැවැත හැඳිනීමට උපකාර වූ නිමිති කිරීම ය. දැවදඬු ආදියෙහි වඩුවන්ගේ දැලිනූල් හෙලීම මෙනි. පච්චුපට්ඨානය, ඇතුන් දක්නා දැස් නැත්තවුන් මෙන් වැටහී ගිය පරිදි අරමුණු ගැණීම් වශයෙන් බැස සිටීම ය. උත්පතියෙන් ම දෑස් නැති බැවින් ඇතකු නො දුටු අන්ධයන් සමුහයකට ඇතකු දැක් වූ කල ඇත් පා අතගා බැලූ අන්ධයා ඇතා වංගෙඩියක් බඳුය යි කියාද කණ පමණක් ඇල්ලූ අන්ධයා කුල්ලක් බඳුය යි කියාද, වලිගය පමණක් ඇල්ලූයේ රැහණක් බඳුය යි කියා ද, එ මෙන් මේ සංඥාව තමන් ගත් පරිදි ම ඒ ඒ අරමුණුවලට බැස ගන්නී ය. තෘණපුරුෂයන් (පඹයන්) සජීවපුරුෂයනැ යි මුවපැටවුනට උපන් සංඥාව මෙන් එළඹ සිටි අරමුණ ම පදට්ඨාන යි. ‘ සඤ්ජානනලක්ඛණා සඤ්ඤා, තදෙවෙතන්ති පුනසඤ්ජානනපච්චයනිමිත්තකරණ රසා, යථාගහිතනිමිත්තවසෙන අභිනිවෙසකරණපච්චුපට්ඨානා’ යනු පාළියි.
සංස්කාර නම්, කුශලාකුශල කර්‍මයන් රැස්කිරීම ලකුණු කොට සිටි ධර්‍මසමූහය යි. “සඞ්ඛතං අභිසඞ්ඛරොතීති ඛො භික්ඛවෙ! තස්මා සංඛාරාති වුච්චන්ති, කිං ච සඞ්ඛතං අභිසඞ්ඛරොන්ති? රූපං රූපත්තාය, වෙදනං වෙදනත්තාය, සඤ්ඤං සඤ්ඤත්තා ය, සඞ්ඛාරෙ සඞ්ඛාරත්තාය, විඤ්ඤාණං විඤ්ඤාණත්තාය, සඞ්ඛතං අභිසඞ්ඛෙරාන්ති” යනු දේශනා යි.
රැස්කිරීම ලකුණු කොට ඇති මේ ධර්‍මසමූහයෙහි චේතනාව ම අභිසංස්කරණාර්‍ත්‍ථයෙන් ප්‍රධාන වේ. එහි වු ස්පර්‍ශාදී වූ අනික් ධර්‍මයෝ අප්‍රධානයහ. එහෙත් ස්පර්‍ශාදිධර්‍මයන් චේතනාව ප්‍රධාන කොට පවත්නා බැවින් ඔවුහු ද සංස්කාරැ යි කියනු ලැබෙති.
සංස්කාරයෝ රැස්කිරීම ලකුණු කොට ඇත්තාහ. කෘත්‍යය එක්රැස් කොට ගැණුම ය. ඵල සකස්කිරීමේ උත්සාහය හෙවත් ව්‍යාපාරසහිතබව පච්චුපට්ඨාන යි. සෙසු ස්කන්ධතුන පදට්ඨාන යි. “ අභිසඞ්ඛරණලක්ඛණා සඞ්ඛාරා, ආයූහනරසා, විප්ඵාරපච්චුපට්ඨානා, සෙසඛන්ධත්තයපදට්ඨානා” යනු පාළියි.
මෙසේ ලක්‍ෂණ වශයෙන් එක්වැදෑරුම් වූවාහු ද, සියලු සංස්කාරයෝ කුශල-අකුශල-අව්‍යකෘත යි ජාතිවශයෙන් තුන්වැදෑරුම් වෙති. එක්විසි කුසල්සිත් සමග යෙදුනු සංස්කාරයෝ, කුසල් නම් වෙති. අකුසල්සිත් දොළොස සමග යෙදුනෝ, අකුසල් නම් වෙති. විපාකසිත් සතිසත්, ක්‍රියා සිත් විස්සත් සමග යෙදුනෝ, අව්‍යකෘත නම් වෙත්.
සංස්කාර අතුරෙහි පළමු කොට ප්‍රථමකාමාවචරකුශලවිඥානය හා සම්ප්‍රයුක්ත වූ සංස්කාරයෝ, ස්වකීය නාමයෙන් ම ඒ සිතෙහි යෙදුනෝ සත්විසි දෙනෙකි. ස්වකීයනාමයෙන් නො ආ ‘යෙවාපනකා’ යන්නෙහි වූ අනියමාර්‍ත්‍ථවාචීවූ යශබ්දයෙන් ගැණෙන්නෝ සිවුදෙනෙකි. එසේ ම අනියතයෝ පස්දෙනෙකැ යි ප්‍රභේද වශයෙන් සතිස් දෙනෙක් වෙති. මේ නියත-යෙවාපනක-අනියත යන කොටස් තුනෙන් ඵස්ස - චේතනා - විතක්ක - විචාර - පීති - විරිය - ජීවිත - සමාධි - සද්ධා - සති - හිරි - ඔත්තප්ප - අලෝභ - අදෝස - අමෝහ - කායපස්සද්ධි - චිත්තපස්සද්ධි - කායලහුතා - චිත්තලහුතා - කායමුදුතා - චිත්තමුදුතා - කායකම්මඤ්ඤතා - චිත්තකම්මඤ්ඤතා - කායපාගුඤ්ඤතා - චිත්තපාගුඤ්ඤතා - කායුජ්ජුකතා - චිත්තුජ්ජුකතා, යන සවිසි දෙන ස්වකීය නාමයෙන් ම පූර්‍වොක්තචිත්තයෙහි යෙදුනු නියත සංස්කාරයෝ ය. සිත උපදනා කල්හි මේ සවිසිදෙන ද ඒකාන්තයෙන් හටගන්නා බැවින් නියතය යි කියත්.
ඡන්ද - අධිමොක්ඛ - මනසිකාර - තත්‍රමජ්ඣතතා යන සිවුදෙන අනියමින් යෙදුනු සංස්කාරයෝ ය. එහෙයින් ඔවුහු දෙවන කොටස වූ යෙවාපනකයෝ ය.
කරුණා - මුදුතා - කායදුච්චරිතවිරති - වචීදුච්චරිතවිරති - මිච්ඡාජීවවිරති, යන පස් දෙන නියතයෝගීන් මෙන් නිතර නො යෙදෙති. ඇතැම් කලෙකමය යෙදෙන්නෝ. එක් ම චිත්තයෙහි එකවිටත් නො උපදිති. අට මහකුසල්සිත්හි උපදනාවිට එක් එක් චිත්තවීථියක එකෙක් එකෙක් ම උපදියි. එසේ වන්නේ ආරම්මණයන්ගේ වෙනස්බව නිසා ය. මහද්ගතචිත්තයෙහි ශීලවිශුද්ධියට ඇතුළත් වූ දුශ්වරිතදුරාජීවයන් නො ලැබිය යුතු බැවින් විරති තුන කොයි ලෙසකිනුදු නො ලැබේ. අප්පමඤ්ඤාවෝ ද අරමුණු වෙනස්බව නිසා එකක් එකක් වශයෙන් ම එක් එක් ධ්‍යානචිත්තයෙහි ලැබෙති. සබ්බචිත්තසාධාරණ - පකිණ්ණක - අකුසල - සොභන - විරති- අප්පමඤ්ඤා - පඤ්ඤා යන චෛතසිකයන් පිළිබඳ තොරතුරු යටැ කියන ලද්දේ ය. සියලු චෛතසිකයන් පිළිබඳ කෙටිකතාවක් ද යට දැක්වින. මේ මතු කියන්නී එයට දික් වූ කතාවකි.
‘ඵුසතීති = ඵස්සො, ඵුසන්ති සම්පයුත්තධම්මා එතෙනාති වා = ඵස්සො, ඵුසනමත්තං වා = ඵස්සො’ යම් ඒ ස්වභාව ධර්‍මයෙක් තෙමේ අරමුණු පහදා ද, ඒ පැහැසීම ඵස්ස නම් වේ. අරමුණට වැදගන්නේ ය ඵස්ස. අරමුණෙහි පවත්නා ධර්‍මයෝ වැද ගැනීම් ලක්‍ෂණ වූ යම් ශක්තියකින් අරමුණු ස්පර්‍ශ කෙරෙත් ද, ඒ ඵස්ස නම් වේ. සිත හා එක් ව යෙදුනා වූ වේදනාදීචෛතසිකයෝ අරමුණෙහි පවත්නාහු, ඒ අරමුණ ස්පර්‍ශකරන්නන් වැනි වෙති. අරමුණට වැද ගැණීම් මාත්‍රය හෝ ඵස්ස නම් වේ. චක්‍ෂුරාදිද්වාරයකින් යම්කිසි රූපාදී වූ අරමුණක් වැදුනු විට ඒ අරමුණෙහි උපදනා සිත හා එක් ව ඉපැදෙමින්, ඒ සිතත් ඒ හා යෙදුනු අනික් චෛතසිකත් අරමුණෙහි හපන්නාක් මෙන් පවත්නා ධර්‍මශක්තිය ඵස්ස නැමැ යි කීහ. එය තවත් විස්තර කරන්නට ‘ඵුසනං චෙත්ථ ආරම්මණස්ස ඉට්ඨානිට්ඨරසං ආහච්ච උපහච්ච ගහනං දට්ඨබ්බං’ යනු කීහ. ඵුසන නම්, අරමුණ පිළිබඳ යහපත් අයහපත් රසය හැපී ගැණීමය යි මෙයින් අදහස් කෙරෙති.
මෙසේ මේ ඵස්සශබ්දය කර්‍තෘ-කරණ-භාව සාධන විසින් විස්තර කරණ ලද්දේ ද, භාවසාධන වාක්‍යය ම නිෂ්පර්‍ය්‍යාය වන්නේය. හෙවත් ප්‍රධාන වේ. කර්‍තෘ-කරණ සාධන වාක්‍යයෝ පර්‍ය්‍යාය කථාවෝ ය. ඔවුහු අප්‍රධාන වෙති. පරමාර්‍ත්‍ථ ධර්‍ම විෂයයෙහි භාවසාධන ය ම ප්‍රධාන බැවිනි.
ස්පර්‍ශය, අරමුණු වැළඳ ගැණීමක් නො කරයි. එහෙත් චක්ඛුප්පසාදය හා රූපය සේ ද, සෝතප්පසාදය හා ශබ්දය සේ ද, සිතත් අරමුණත් දෙ දෙනා ගැටීම කරයි. යම්සේ එක් අල්ලක් අනික් අල්ලෙහි ගැටීමට විශේෂ කාරණ වූ වායෝධාතු අධික වූ රූපධර්‍මයෝ වෙත් ද, එ මෙන් සිත අරමුණෙහි ගැටීම ඊට විශේෂ වූ එක් චෛතසිකධර්‍මයෙකැ යි දත යුතු ය.
මෙකී ස්පර්‍ශයාගේ හටගැනීම වන්නේ චක්‍ෂුසත්, රූපයත්, චක්‍ෂුර්විඥානයත් යන තිදෙනාගේ එක් තැන්වීමෙනි. එය වදාළෝ මෙසේ ය:- ‘චක්ඛුං ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණං තිණ්ණං සඞ්ගති ඵස්සො’ යි. මේ ධර්‍ම තුන එක් තැන් වීමෙහිදී පෙර පසු නො වී ස්පර්‍ශයාගේ පහළවීම වන්නේ ය. එය අරූපධර්‍මයෙකි. එහෙයින් කිසිවක්හට අරූපධර්‍මයන්ගේ හැපීම් ස්වභාවයෙක් නැත්තේ නො වේ දැ, යි ඇසිය හැකි ය. ඒ එසේ ය. ස්පර්‍ශය අරූප වූයේ නමුත්, රූපාදී වූ අරමුණුවල වැගැණීම් හැපීම් ආකාරයෙන් පවත්නේ ය. එක් ව යෙදුනු සම්ප්‍රයුක්තධර්‍මයන් ද අරමුණුවල හැපීම් ආකාරයෙන් පවත්ව යි. අරමුණෙහි වැද ගන්නාක් මෙන් උපදනා මේ ස්පර්‍ශය, ඇඹුල් අනුභව කරණ එකකු දුටුකල ඒ දුටු තැනැත්තහුගේ මුඛයෙහි ඇඹුල් නො වැද ම ඇඹුලෙහි හැපී ගියාසේ කෙල උනායාමෙක් වේ ද, එමෙන් අරමුණෙහි වැද ගන්නා ආකාරයෙන් පැවැත්මය යි දතයුතු ය.
චක්ඛු - සෝත - ඝාණ - ජිවහා - කායවිඤ්ඤාණ සිත්හි යෙදුනේ චක්ඛුසම්ඵස්ස - සෝතසම්ඵස්ස - ඝාණසම්ඵස්‍ස - ජිවහාසම්ඵස්ස - කායසම්ඵස්ස යි ද, සෙසු තන්හි යෙදුනේ මනෝසම්ඵස්ස යි ද කියනු ලැබේ. සියලු සිත්හි සාධාරණ ව යෙදෙන බැවින් සර්‍වචිත්ත සාධාරණයෙකි.
ඵස්සය, අරමුණට වැදගැන්ම ලකුණු කොට සිටියේය. කෘත්‍යය මනෝද්වාරයෙහි ආරම්මණ - චිත්ත දෙ දෙනාගේ හැපීම යි. පච්චුපට්ඨානය-වස්තු-ආලම්බන-විඥාන යන ති දෙනාගේ සන්නිපාතය යි. ආපාථගත වූ අරමුණ පදට්ඨානය යි. ‘ඵුසන ලක්ඛණොඵස්සොසංඝට්ටනරසො, සන්නිපාතපච්චුපට්ඨානො, ආපාථගතවිසයපදටඨානො’ යනු පාළියි.
‘චෙතයතීති-චෙතනා’ තමා හා යෙදෙන, සම්ප්‍රයුක්ත ධර්‍මයන් අරමුණෙහි යොදවා නු යි චේතනා නම. රූපාදී වූ අරමුණුවල සිතත් ඒ හා උපන් ඵස්සවේදනාදී වූ චෛතසිකධර්‍මත් යොදා චිත්ත -චෛතසිකයන්ට අයත් කටයුතු කරණ කරවන ශක්තිමාත්‍රය චේතනා යි කීහ. ආයූහනකෘත්‍යය වශයෙන් චේතනාව හටගන්නා කල්හි සියලු සම්ප්‍රයුක්තධර්‍මයෝ ද තම තමන් අයත් කටයුතුවල යෙදෙත්. මෙසේ චේතනාව ස්වකෘත්‍යය හා පරකෘත්‍යය සිදු කරණ හෙයින් ස්වපරකෘත්‍යයන් සිදු කරන ප්‍රධාන ශිෂ්‍යයා සේ ද, මහ වඩුවා සේ ද දතයුතු ය. ප්‍රධාන ශිෂ්‍ය තෙමේ අනික් බාල ශිෂ්‍යයන් අධ්‍යයනාදී වූ කාර්‍ය්‍යයන්හි යොදවමින්, තමා ද අධ්‍යයනාදී වූ කාර්‍ය්‍යයන්හි යෙදෙයි. මහවඩුවා තමන් වැඩ කරමින්, සෙසු වඩුවන් ද ඒ ඒ කර්‍මාන්තයෙහි යොදාලයි. එ පරිද්දෙන්, මේ චේතනා තොමෝ තමන් අයත් කෘත්‍යයෙන් අරමුණෙහි යෙදෙමින්, අනික් සෙසු චිත්ත-චෛතසිකධර්‍මයන් ද උන් උන් අයත් කෘත්‍යයන්හි යොදාලන්නී ය. චේතනාව තමන් අයත් කටයුතු පටන් ගත් කල්හි සෙසු චිත්ත-චෛතසිකයෝ ද තම තමන් අයත් කටයුතු පටන් ගණිත්. ‘සකිච්චපරකිච්චසාධකා ජෙට්ඨසිස්සමහාවඩ්ඪකී ආදයො විය’ යනු කීයේ එහෙයිනි. චේතනාව ම, සිතට අනුකූලව පවතිමින් අරමුණු බර උසුලන්නී කටයුතු පිණිස ඉදිරිපත් වේ.
කාමාවචර-රූපාවචර-අරූපාවචර, යන ත්‍රෛභූමිකකුශලාකුශලචිත්තයන් හා යෙදෙන චේතනාචෛතසිකය, පුණ්‍යාභිසංස්කාර - අපුණ්‍යාභිසංස්කාර - ආනෙඤ්ජාභිසංස්කාර යි හඳුන්වනු ලැබේ. මෙය කර්‍මය යි ගැණෙනුයේ රැස්කරණ ශක්තිය එහි ඇති බැවිනි. බිම සිටුවන ලද බීජයට, කරණු ලබන දිය ඉසීම්, බෙහෙත් දැමීම්, පෝර යෙදීම් ආදිය ඒ බිජුවටින් හටගත් ගසෙහි හෝ වැලෙහි විශේෂඵල හටගැන්මට උපකාර වන්නා සේ චිත්ත-චෛතසිකයන් එකතුව උපදවා ගත් කර්‍මය, අවිද්‍යා-තෘෂ්ණාවන්ගේ මහිමයෙන් උපච්ඡෙදක-උපඝාතක-අහොසිකර්‍මහාවයට නො පැමිණියේ නම්, මේ භවයෙහි හෝ නැත, අනික් භවයක දී විපාකදානය කරන්නේ ය. සර්‍වචිත්තසාධාරණයෙකි.
චේතනාව, චිත්ත-චෛතසිකධර්‍මයන් තම තමන්ට අයත් අරමුණෙහි සම්බන්ධකිරීම ලකුණු කොට සිටියා ය. කෘත්‍යය සම්ප්‍රයුක්ත ධර්‍මයන් තම තමන්ගේ කටයුත්තෙහි මෙහෙයීම හෙවත් යෙදවීම ය. මේ කෘත්‍යය, කුශලාකුශලක්‍රියාජවනසම්ප්‍රයුක්ත චේතනාව පිළිබඳ වේ. පච්චුපට්ඨානය නියෝග කිරීම යි. සහජාතධර්‍මපදස්ථාන යි. ‘චෙතනාභාවලක්ඛණා චෙතනා, ආයූහනරසා, සංවිදහනපච්චුපට්ඨානා, සහජාතධම්මපදට්ඨානා’ යනු පාළි යි.
‘ආරම්මණං විතක්කෙති සම්පයුත්තධම්මෙ අභිනිරොපෙතීති = විතක්කො’ චිත්ත-චෛතසික ධර්‍ම, යම් ස්වභාවශක්තියකින් අරමුණට නැගේ ද, ඒ ස්වභාවශත්තිය විතක්ක නම් වේ. එය අරමුණට නැගෙන කල්හි සම්ප්‍රයුක්තධර්‍මයෝ ද අරමුණට නැගෙත්. එසේ වන්නේ විතර්‍කයාගේ සහායභාවය ලැබීමෙනි. එහෙයින් විතර්‍කය, චිත්ත-චෛතසික ධර්‍මයන් තෙමේ ම අරමුණට නංවන්නේ ය. පිටිසර ගම්වැසියෙක් රජගෙය දක්නට පැමිණියේ, රාජ වල්ලභයකුගේ සහායයෙන් ම එහි පිවිස බලන්නේ ය. එ මෙන් විතර්‍කයාගේ සහායභාවය ලබා ම, චිත්ත-චෛතසිකධර්‍මයෝ අරමුණට නගිති. මෙහි චිත්ත-චෛතසික ධර්‍ම පිටිසර ගම්වැසියා මෙනි. විතර්‍කය රාජවල්ලභයා මෙනි. අරමුණ රජගෙය මෙනි.
විතර්‍කබලයෙන් චිත්ත-චෛතසිකධර්‍මයෝ අරමුණට නගිත් නම්, විතර්‍කරහිත වූ සිත අරමුණට නගින්නේ කෙසේ දැ යි මෙහිලා ප්‍රශ්නයෙක් වෙයි. ස්වභාවයෙන් ම අවිතර්‍ක වූ ද්විපඤ්චවිඤ්ඤාණය හැර සෙසු අවිතර්‍ක සිත් සපණස, සවිතර්‍කචිත්තසන්තානයෙහි විතර්‍කය සමග පැවැති පුරුද්දේ (භාවනා) බලයෙන් ම අරමුණට නගී ය යනු පිළිතුරුයි. යට කියූ පිටිසර ගම්වැස්සාට රජගෙට පිවිසීම පුරුදුවූවාට පසු ඔහු රාජවල්ලභයාගෙන් තොරව ද රජගෙට පිවිසෙයි. එ පරිද්දෙන් සවිතර්‍කචිත්තසන්තානයෙහි නිරතුරු හටගත් පුරුද්දෙන්, විතර්‍කයෙන් තොර ව ද, අවිතර්‍කධ්‍යාන චිත්තය අරමුණට නගියි. මෙය ඝන්ටාවට ගැසූ කල්හි නගිනා පළමු පහර සේ අහසට නගිනා පක්‍ෂියකුගේ පියා පැහැරීමක් සේ පියුමක් බලා බස්නා බමරකුගේ පහත බැස්මක් ලෝබඳුන මදිනා කල්හි ඒ බඳුන එක් අතකින් අල්වා ගැණීමක් සේ දතයුතු ය.
විතර්‍කය, දවිපඤ්චවිඤ්ඤාණය හැර අනික් කාමාවචර සිවුසාළිස් සිත්හි හා ප්‍රථමධ්‍යානසිත් එකොළොසෙහි යෙදෙන්නේ ය. සොභන සිත්හි මෙන් අහේතුකසිත්හි ද, අහේතුකසිත්හි මෙන් සොභන සිත්හි ද මිශ්‍රව ලැබෙන හෙයින් ප්‍රකීර්‍ණකය, යි කියනු ලැබේ.
විතර්‍කය, අරමුණට සිත නැංවීම ලකුණු කොට සිටියේ ය. කෘත්‍යය, අරමුණ තැලීම් පෙළීම් ස්වභාවය යි. පච්චුපට්ඨානය, සිත අරමුණ කරා ගෙණ යෑම යි. ආපාථගත වූ අරමුණ පදට්ඨානය යි. ‘ආරම්මණෙ චිත්තස්ස අභිනිරොපණලක්ඛණො විතක්කො ආහනනපරියොහනනරසො, ආරම්මණෙ චිත්තස්ස ආනයන පච්චුපට්ඨානො, ආපාථගතවිසයපදට්ඨානො’ යනු පාළි යි.
‘ආරම්මණං විචාරෙතීති = විචාරො’ විතර්‍කය විසින් අරමුණට නැගූ සිත අරමුණෙහි තතු දැන ගන්නාතුරු එහි චිත්ත-චෛතසික ධර්‍මයන් හසුරුවන ස්වභාවය තෙමේ විචාර නම් වේ. විතර්‍ක-විචාර දෙක එකවිට ම සිතෙහි යෙදෙන්නේ ය. එහෙත් විතර්‍කය ඔළාරිකය. ඝණ්ටාවට ගැසූවිට නගිනා පහර සේ ය. විචාරය සියුම් ය. එය ඝණ්ටාවට ගැසූ පහරින් පසුව නගිනා දෝංකාරය සේ ය. පියා පත් පැහැර, අහසට නැගුනු පක්‍ෂියාගේ පියාපත් නිශ්චලව තබා ගෙණ, අහස පියාඹීම සේ ය. පියුමකරා පැමිණි බමරා ඒ සිසාරා කැරකීම සේ ය.
විචාරය, විතර්‍කය යෙදුනු පස් පණස් සිත්හි හා ද්වීතීයද්ධ්‍යාන සිත් එකොළොසෙහි ද යෙදෙන්නේ ය. මෙ ද ප්‍රකීර්‍ණයෙකි.
විචාරය, සසම්ප්‍රයුක්තචිත්තය ලැබූ අරමුණ පිරිමැදීම ලකුණු කොට සිටියේ ය. අරමුණෙහි සහජාතධර්‍මයන් අනුකූලව යෙදීම කෘත්‍යය කොට සිටියේ ය. අරමුණෙහි චිත්තයාගේ නො සිඳී පැවැත්ම පච්චුපට්ඨානය යි. ආපාථගත වූ අරමුණ පදට්ඨානය යි. ‘ස්වායං ආරම්මණානුමජ්ජනලක්ඛණො, ආරම්මණෙ සහජාත ධම්මානුයොජනරසො, චිත්තස්ස අනුප්පබන්ධපච්චුපට්ඨානො ආපාථගත විසයපදට්ඨානො’ යනු පාළියි.
‘පීණයති කායචිත්තං න තප්පෙති වඩ්ඪෙතීති ච = පීති’ යම් ධර්‍ම ස්වභාවයෙක් තෙමේ, කයත් සිතත් දෙක පිණවා ද, තර්‍පණය කෙරේද, වඩා ද ඒ ධර්‍මස්වභාවය පීති නම් වේ. ඛුද්දිකා-බණිකා-ඔක්කන්තිකා-උබ්බෙගා-ඵරණා යි ඕ පස්වැදෑරුම් ය. මෙසේ කීහ. ඒ:-
“ඛුද්දිකා ඛණිකා පීති - පීති ඔක්කන්තිකා පි ච,
උබේබගා ඵරණා පීති - පීති පංචවිධා භවෙ” යි.
විස්තර යට කියූ සේය.
සොම්නස් සහගිය ලෝභසිත් සතරෙහි, සොම්නස් සහගිය සන්තීරණහසිතුප්පාද දෙ සිතෙහි, සොම්නස් සහගිය සහේතුක කාමාවචර සිත් දොළොසෙහි හා ප්‍රථම-ද්විතීය තෘතීයද්ධ්‍යාන තෙතිස් සිත්හි ද යෙදේ. මෙ ද ප්‍රකීණියෙකි.
ප්‍රීතිය, තමා හා සම්ප්‍රයුක්තධර්‍මයන් පිණවීම ලකුණු කොට සිටියෝය. කෘත්‍යය, කයත් සිතත් පිණවීම ය. චිත්තජරූපයන්ගෙන් කය පැතිරවීම හෝ මෙහි කෘත්‍යය වේ. ඔදවැඩිබව පච්චුපට්ඨානය යි. ප්‍රමෝදය පදට්ඨානය යි. ‘සා සම්පියායනලක්ඛණා, කායචිත්තපීණනරසා, ඵරණරසා වා, ඔදග්‍යපච්වුපට්ඨානා, පාමොජ්ජපදටඨානා’ යනු පාළියි.
‘වීරස්ස භාවො = විරියං, වීරානං කම්මං වා = විරීයං, විධිනා ඊරයිතබ්බං පවත්තෙතබ්බන්ති වා = විරියං’ වීරපුරුෂයා යි ව්‍යවහාරයට යම් භාවයෙන් කරුණු වී නම්, ඒ වීර්‍ය්‍ය යි ද, එබඳු භාවයකින් යුත් පුරුෂයාගේ කර්‍මය හෝ වීර්‍ය්‍යය යි ද, විධි වූ පරිදි පැවැත්විය යුත්ත හෝ වීර්‍ය්‍යය යි ද මෙයින් කියැ වේ.
දිරා ගිය ගෙයක් පිටතින් දුන් කණුවකින් හෝ කණුවලින් ලත් රුකුලින් බිමැ ඇද නො වැටී සිටින්නා සේ යෝගී පුද්ගල තෙමේ යම්කිසි ධර්‍මශක්තියකින් ලත් රුකුලින් ධ්‍යානකර්‍මාදියෙන් නො ගිලිහී සිටී ද, ඒ ධර්‍මශක්තිය වීර්‍ය්‍යය, යි කියති. වීර්‍ය්‍යය, තෙමේ තමන් සමග උපදනා චිත්ත-චෛතසිකධර්‍මයන්ට අරමුණු ගැන් මෙහි පසු බස්නට නො දී අනුබල දෙන්නේ ය. ඒ පිණිස උනන්දු කරන්නේ ය. වීර්‍ය්‍යයයෙන් ලැබූ උපස්තම්භනය ඇති කුශලධර්‍මයෝ නො පිරිහී සිටින්නෝ ය.
දොළොස් අකුසල් සිත්හි, මනෝද්වාරාවජ්ජන-හසිතුප්පාද දෙ සිත්හි, සහේතුකකාමාවචර සූවිසි සිත්හි, පසළොස් රූපාවචර සිත්හි, දොළොස් අරූපාවචර සිත්හි හා, අටවැදෑරුම් ලෝකෝත්තර සිත්හි දැයි තෙසැත්තෑ සිත්හි මේ යෙදේ. මෙ ද ප්‍රකීර්‍ණයෙකි.
වීර්‍ය්‍යය, ඒ ඒ කටයුතු මොනවට නිපදවීමෙහි උත්සාහ කිරීම හෝ අතිශයින් උත්සාහ වැඩීම ලකුණු කොට සිටියේ ය. කෘත්‍යය, තමන් හා එක් ව උපදින ධර්‍මයන්ට රුකුල් දීම ය. සම්ප්‍රයුක්ත ධර්‍මයන්ගේ නො පසුබටබව පච්චුපට්ඨානය යි. සංවේගඥානය පදට්ඨානය යි. ‘උස්සහනලක්ඛණං විරියං, සහජාතානං උපත්ථම්භනරසං, අසංසීදනපච්චුපට්ඨානං, සංචෙගපදටඨානං’ යනු පාළියි.
‘ජීවන්ති සම්පයුත්තධම්මො එතෙනාති = ජීවිතං’ යම් ස්වභාව ශත්තියක් කරණ කොට තමා හා එක් ව යෙදුනු ධර්‍මයෝ ජීවත් වෙත් ද, සම්ප්‍රයුක්තධර්‍මයන්ගේ ඒ ජීවනයට කරුණු වන ස්වභාව ශක්තිය ජීවිත නම් වේ. නාමජීවිත-රූපජීවිත යි මේ දෙ පරිදි ය. මෙහි ලා ගැණෙනුයේ නාමජීවිතය යි. රූපජීවිතය රූපස්කන්ධ විභාගයෙහි දැක්වින. නාම-රූපජීවිත දෙක්හි විශේෂය නම්, නාම ජීවිතය අරූපධර්‍මයන්ගේ ජීවත්වීමට කරුණුවීමත්, රූපජීවිතය කර්‍මජරූපයන්ගේ ජීවත්වීමට කරුණුවීමත් ය. අරූපධර්‍මයන්ගේ ජීවිතය නාමජීවිත, ය කර්‍මජරූපයන්ගේ ජීවිතය රූපජීවිත’ යි දතයුතු ය.
සංසාරයෙහි පැවැත්මට ප්‍රධාන වනුයේ ජීවිතය යි. එහෙයින් ජීවිතය පවත්නා ස්කන්ධසන්තතීන්හි අධිපතිබව ඇත්තේ ජීවිතය ට ම ය. නෙළුම් මහනෙල් පාලනය කරණ ජලය මෙනැ’ යි කියන ලද්දේ එහෙයිනි.
ස්ථාවර ව පවත්නා ජීවිතයක් නැති වුව ද, පරම්පරාවශයෙන් ගලායන මහාගංවතුරක් සේ ක්‍ෂණයක් පාසා ඇති ව නැතිවෙමින් පෙළ සැදී පවත්නා මේ ජීවිතය, චිත්ත-චෛතසිකධර්‍මයන් පාලනය කරමින් ස්කන්ධපරිනිර්‍වාණය දක්වා පවතී. ජීවිතයාගේ ශක්තියෙන් ම සිත හා චෛතසික ධර්‍මයෝ ජීවත් වෙති. සිතෙහි ජීවිතය නැත්තේ නම්, ඔවුන්ගේ එසේ ජීවත්වීමෙක් නැත. සර්‍වචිත්තසාධාරණයෙකි.
ජීවිතය සමග උපන් චෛතසික ධර්‍ම පාලනය කිරීම ලකුණු කොට සිටියේ ය. කෘත්‍යය, සමග උපන් නාමධර්‍මයන් ගේ පැවැත්වීම යි. සහජාතධර්‍මයන් තැබීම පච්චුපට්ඨානය යි. පැවැත්වියයුතු ධර්‍ම පදස්ථානය යි. ‘සහජාතධම්මානුපාලනලක්ඛණං ජීවිතං, සහජාතධම්මපවත්තනරසං, සහජාතධම්මපච්චුපට්ඨානං, යාපයිතබ්බධම්මපදට්ඨානං’ යනු පාළියි.
‘චිත්තං සමං ආධීයති සම්මා වා ආධියති සමාධානමත්ත මෙව වා සමාධි’ යම් ස්වභාවශක්තියක් අරමුණෙහි සිත සමව තබයි ද, ඒ මොනවට තබනු ලබා හෝ, අරමුණහි සිත පෙර පසු නො වී මනාකොට තැබීමනුයි හෝ සමාධි නම් වේ.
සුළඟ නැති තැන දැල් වූ පහන්සිළෙක් නො සැලී පවත්නේ යම් සේ ද, එමෙන් චිත්තයාගේ නො සැලීසිටීම සමාධිය, යි දත යුතු ය. අරමුණ එකක් වුව ද, එහි නොයෙක් ගතිවිශේෂ ඇති විය හැකි ය. අරමුණ පිළිබඳ ඒ ගතිවිශේෂයන්හි විසිරැ නො ගොස් එක් ම ස්වභාවයෙක්හි ක්‍ෂණයක් වුවත් සිතෙහි ඇතිවන නො සැලී පැවැත්ම සමාධි නමි. තමා හා සම්ප්‍රයුක්තධර්‍මයන්ට නානාරම්මණයන්හි විසිරැ යෑමට මෙයින් ඉඩෙක් නො ලැබේ. කොකුම් සුණු ආදී වූ යමක් පිඩු කිරීමට ජලය යම්සේ උපකාර වේ ද එමෙන් චිත්තචෛතසික ධර්‍මයන් සමාධිය කරණ කොට අරමුණහි නො විසිරැ පවත්නාබව සැලකිය යුතු ය.
සිත හා චෛතසිකයෝ එක් අරමුණක් ම ගෙණ සිටින්නෝ මේ සමාධියේ බලයෙනි. සමාධිය ශක්තිමත් නො වේ නම් සිතටත් චෛතසිකයන්ටත් එක් අරමුණක් ගෙණ සිටිය නො හැකි ය. සර්‍වචිත්තසාධාරණයෙකි.
සමාධිය, චිත්ත-චෛතසිකධර්‍මයන් නානාරම්මණයන්හි නො විසිරිම ලකුණු කොට සිටියේ ය. කෘත්‍යය, සහජාතධර්‍මයන් රැස් කිරීම හෝ පිඩුකිරීම ය. පච්චුපට්ඨානය, සම්ප්‍රයුක්තධර්‍මයන් සන්සිඳවීම ය. පදට්ඨානය, සුඛවේදනා ය. “අවිසාරලක්ඛණො සමාධි, අවික්ඛෙපලක්ඛණො වා, සහජාතානං සම්පිණ්ඩනරසො, උපසම්පච්චුපට්ඨානො, සුබපදට්ඨානො” යනු පාළි යි.
‘සද්දහති එතාය, සයං වා සද්දහති, සද්දහනමත්තං වා සද්ධා’ යම් ධර්‍මහාවයක් කරණ කොට තමා හා සම්ප්‍රයුක්ත වූ ධර්‍මයෝ නොහොත් ශ්‍රද්ධාවත් පුද්ගලයෝ බුදුගුණ අදහත්නුයි හෝ තොමෝ ම අදහා නුයි හෝ, ඇදහීම් මාත්‍රය නුයි හෝ සද්ධා නම් වේ. බුධ-ධම්ම-සඞ්ඝ යන රත්නත්‍රයත් කුශලාකුශලයන්ගේ ඉෂ්ටානිෂ්ට විපාකයත් යන පස්වැදෑරුම් වූ ධර්‍මයෙහි විශ්වාසය තැබීම ශ්‍රද්ධා යි. පූරණකාශ්‍යපාදි අන්‍යශාස්තෘන් කෙරෙහි ඇදහීම ශ්‍රද්ධා නම් නො වේ. ඒ වනාහි මිථ්‍යාධිමෝක්‍ෂය යි. යම් කිසිවකුගේ යම් කිසි කාරණයක් සලකා ඇදහීම, ශ්‍රද්ධා යි නො ගත යුතු ය. බුධාදිරත්නත්‍රය අරමුණු කොට සම්ප්‍රයුක්තධර්‍මයන් පහදවන ගති විශේෂය ශ්‍රද්ධා යි කිහු. මේ හේතු කොට සසම්ප්‍රයුක්තචිත්තයෙහි පවත්නා මෝහාදික්ලිෂ්ටධර්‍ම පහව ගොස්, සිත පැහැදීම් ස්වභාවයට පත් වේ. සක්විති රජක්හුගේ මාණික්‍යරත්නය කැලැති දියෙහි බැහූ කෙණහි ජලයෙහි පැහැදීම සේ ය. අත නැති කල කිසිවක් ගත නො හැකි ද, ධනය නැති කල භෝගයෝ සමෘද්ධ නො වෙත් ද, බිජුවට නැතිකල සස්‍යාදීහු නො වෙත් ද, එමෙන් ශ්‍රද්ධාව නැති කල පුණ්‍යක්‍රියාවස්තුන්ගේ සමෘද්ධවීමෙක් නැත. එහෙයින් ශ්‍රද්ධාව අතත්, ධනයත්, බිජුවටත් වැනිය යි කියනලදී.
ශ්‍රද්ධාව, කාමාවචරකුශලවිපාක්‍රියා සූවිසි සිත්හි, පසළොස් රූපාවචර සිත්හි, දොළොස් අරූපාවචර සිත්හි හා අටවැදෑරුම් ලෝකෝත්තර සිත්හි දැ යි එකුන්සැටක් සොහනසිත්හි පවතී.
ශ්‍රද්ධාතොමෝ, බුද්ධ-ධම්ම-සඞ්ඝ යන රත්නත්‍රය හා කර්‍මඵලයන් ඇදහීම ලකුණු කොට සිටියා ය. කෘත්‍යය, චිත්තචෛතසික ධර්‍මයන් පැහැදවීම යි. චිත්ත-චෛතසිකධර්‍මයන්ගේ නො කිලිටිබව පච්චුපට්ඨාන යි. රත්නත්‍රය හා කර්‍ම-කර්‍මඵල යන ඇදහිය යුතු වසතු පදස්ථාන යි. ‘සද්දහනලක්ඛණා සද්ධා, ඔකප්පනලක්ඛණා වා, සම්පසාදනරසා, අකාලුසියපච්චුපට්ඨානා, සද්ධෙය්‍ය වත්ථුපදටඨානා’ යනු පාළි යි.
‘සරතීති=සති, සරන්ති සම්පයුත්තධම්මා එතායාති වා=සති, සරණමත්තමෙව වා=සති, සිහි කෙරේ නු යි හෝ, මේ ධර්‍මශක්තිය කරණ කොට තමා හා යෙදුනු චෛතසිකධර්‍මයෝ පෙර කළ යම් ක්‍රියාදියක් සිහි කෙරෙත් නු යි හෝ, සිහිකිරීම්මාත්‍රය නු යි හෝ සති නම් වේ. සිත හා සම්ප්‍රයුක්තධර්‍මයන් සිහි කරවන ස්වභාව ශක්තිය සති යි කීහ. ශෝභනචෛතසිකයෙකි. ශ්‍රද්ධාව මෙන් මෝ එකුන් සැටක් සොභනසිත්හි යෙදේ.
සතිය, තමා හා යෙදුනු චෛතසිකධර්‍මයන්ට, දියමතුපිට ඉල්පී සිටින ලබුකබල් සේ ඉල්පෙන්නට නො දී ඔවුන් ගල් පුවරුවක් සේ අරමුණහි ස්ථිරව පිහිටුවීම ලකුණු කොට සිටියා ය. කෘත්‍යය, නො මුළාබව යි. චිත්තාරක්‍ෂාව පච්චුපට්ඨාන යි. ස්ථිරසංඥාව පදස්ථාන යි. මෙය අරමුණෙහි සිත දැඩිව පිහිටු වන හෙයින් එලිපත නො සැලෙනු පිණිස සිටුවනලද එලිපත් කණුවක් මෙනැ යි ද, චක්‍ෂුර්ද්වාරාදිය රක්නා හෙයින් දොරටුපාලයකු වැනි, ය යි ද දත යුතු ය. ‘අපිලාපනලක්ඛණා සති, අසම්මොහරසා, ආරක්ඛපච්චුපට්ඨානා, ථිරසඤ්ඤාපදට්ඨානා, කායාදිසතිපට්ඨානපදට්ඨානා වා’ යනු පාළි යි.
‘කායදුච්චරිතාදීහි හිරීයතීති=හිරි’ කායදුච්චරිතාදියෙන් පිළිකුල් කෙරේ නු යි හිරි නම් වේ. කායදුච්චරිතාදිය කරණ කොට සිතෙහි ඇතිවන ලජ්ජාස්වභාවයට හිරි යනු නමෙකි. ඒ මේ හිරි තොමෝ ප්‍රාණඝාතාදි අකුශලධර්‍මයන් අසූචියක් සේ සලකා පිළිකුල් කෙරෙයි. තමා ම ගරු කොට උපදින ආත්මගෞරවයෙක් වේ නම්, ඒ වන්නේ ද මේ හිරිබලයෙනි. මිථ්‍යාචාරයෙන් වෙන් ව සිටි කුල කාන්තාවක සේ ය. ශොභනචෛතසිකයෙකි.
හිරි තොමෝ, පාපයෙන් වන පිළිකුල්බව ලකුණු කොට සිටියාය. කෘත්‍යය, ලජජාවීම් ආකාරයෙන් පව් නො කිරීම ය. පච්චුපට්ඨානය පාපයෙහි සිත හැකිළී සිටීම ය. පදට්ඨානය, ආත්ම ගෞරවය යි. ‘පාපතො ජිගුච්ඡනලක්ඛණා හිරි, ලජ්ජාකාරෙන පාපානං අකරණරසා, පාපතො සඞ්කොචනපච්චුපට්ඨානා, අත්තගාරවපදට්ඨානා” යනු පාළියි.
‘පාපතො ඔත්තප්පතීති=ඔත්තප්පා’ කායදුච්චරිතාදියෙන් ත්‍රස්ත වන්නා වූ ස්වභාවය ඔත්තපප නම් වේ. මේ ස්වභාවධර්‍මය උපදනේ කායදුශ්චරිතාදිය ආත්මඝාතකවහ්නියක් සේ සලකන්නන්ටය. කායදුශ්චරිතාදිය නිසා සිතෙහි හටගන්නා භයගතිය ඔත්තප්පය යි සැකෙවින් දත යුතු ය. මේ, අන්හු ගරු තැනැ තබා දුශ්චරිතයෙන් වෙන් වන වෙසඟනක සේ ය. ශොභනචෛතසිකයෙකි.
ඔත්තප්පය, පාපයෙන් තැති ගන්නාබව ලකුණු කොට සිටියේය. කෘත්‍යය, තැති ගැණීම් ආකාරයෙන් පව් නො කිරීම ය. පච්චුපට්ඨානය, පාපයෙන් හැකිළී සිටීම ය. පදට්ඨානය, පරහට ගෞරවකිරීම ය. ‘පාපතො උත්තාසලක්ඛණං ඔත්තප්පං, උත්තසාකාරෙන පාපානං අකරණරසං, පාපතො සඞ්කොචනපච්චුපට්ඨානං, පරගාරවපදටඨානං’ යනු පාළියි.
‘න ලුබ්භන්ති තෙන, සයං වා න ලුබ්භති, අලුබ්භනමත්ත මෙව වා තන්ති-අලොභො’ අලෝභ නම් ධර්‍මශක්තිය හේතුකොට සෙසු චෛතසිකධර්‍මයෝ රූපාදී වූ අරමුණුවල නො ඇලෙත් නු යි හෝ, තෙමේ රූපාදී වූ අරමුණුවල නො ඇලේ නු යි හෝ, රූපාදී වූ අරමුණුවල නො ඇලීම්මාත්‍රයෙක් නු යි හෝ අලෝභ නම් වේ. ‘ලොභ පටිපක්ඛො අලොභො’ ලෝභයාගේ ප්‍රතිපක්‍ෂධර්‍මය අලෝභය වන හෙයින් අලෝභය හා සම්ප්‍රයුක්තධර්‍මයෝ ද, අලෝභය හා යෙදුනු පුද්ගලයා ද අලෝභහේතුවෙන් රූපාදී වූ අරමුණෙහි නො ඇලෙත් ද තෙමේත් කිසිවිටෙකත් රූපාදී වූ අරමුණෙහි නො ඇලේ ද, ඒ මේ චෛතසිකශක්තිය රූපාදී වූ අරමුණෙහි නො ඇලෙනාකාරයෙන් පවත්නා හෙයින් අලෝහ නමැ යි දත යුතු ය. මෙය බලවත් කුශලයෙකි. කුශලමූලයෙක් ද වේ. ශොභන චෛතසිකයෙකි.
අලෝභචෛතසිකය, රූපාදී වූ අරමුණෙහි ලා සිතෙහි අගෙධ ස්වභාවය ලකුණු කොට සිටියේ ය. නෙළුම්පතෙහි දියබිඳු නො ඇලීම සේ ය. කෘත්‍යය, යම්කිසි වස්තුවක් මම ය මාගේ ය යි දැඩි වශයෙන් ලං කොට නො ගැණීම යි. රාගාදී වූ හැම ක්ලේශයන් කෙරෙන් සමුච්ඡේදප්‍රහාණවශයෙන් මිදී සිටි රහත් කෙනකු මෙනි. රූපාදී වූ අරමුණෙහි නො ඇලෙනු කැමැති බව පච්චුපට්ඨාන යි. අසුචිවළෙක හුනු පුරුෂයකුගේ ඒ අශුචියෙහි නො ඇලෙනු කැමැති බව මෙනි. ප්‍රහීණ කළ ලෝභය පදට්ඨාන යි. ‘අලොභො ආරම්මණෙ චිත්තස්ස අගෙධලක්ඛණො, අලග්ගභාවලක්ඛණො වා අපරිග්ගහරසො, අනල්ලීනභාවපච්චුපටඨානො, පහීනලෝභ පදටඨානො’ යනු පාළියි.
‘න දුස්සති, සයං වා න දුස්සති, අදුස්සනමත්තමෙව වාතන්ති=අදොසො’ යම් ධර්‍ම ශක්තියකින් චෛතසික ධර්‍මයෝ අරමුණුවල දූෂිත නො වෙත් ද, තෙමේ හෝ අරමුණුවල දූෂිත නො වේ ද, අරමුණුවල දූෂිත නො වීම්මාත්‍රයෙක් නු යි හෝ අදෝස නම් වේ, සිත යෙදෙන අරමුණෙහි දූෂ්‍ය නො වන ගතිය අදෝස නමැ යි කී සේ යි. මේ වනාහි තමහට අහිත වූ අරමුණුවල පැවැති ද්වේෂය නැති කිරීමෙන් දුටු දුටු සත්වයන් විෂය කොට සෞම්‍ය වූ චිත්ත සන්තානයන් උපදවමින් පවත්නේ ය. අද්වේෂය තෙමේ දුශ්ශීලකමට විරුද්ධ ය. ශීලයට හේතු ය. ඇති ගුණය ගුණ වශයෙන් ම පිළිගණියි. බලවත් කුශලයෙකි. කුශල මූලයෙක් ද වේ. ශෝභන චෛතසිකයෙකි.
අද්වේෂය, සැඩපරුෂ නො වීම ලකුණු කොට සිටියේ ය. විරුද්ධ නො වන බව හෝ ලක්‍ෂණ යි. අනුකූල මිත්‍රයකු සේ ය. කෘත්‍යය, වෛර සන්සිඳවීම යි. චිත්තචෛතසිකදාහය දුරු කිරීම හෝ කෘත්‍යය යි. ගොසීසචන්දනාලේපයක් සේ ය. සෞම්‍යහාචය පච්චුපට්ඨාන යි. පහකළ ද්වේෂය පදට්ඨානය යි. ‘චිත්තස්ස අචණ්ඩික්කලක්ඛණො අදොසො, අවිරොධලක්ඛණො වා, ආඝාතවිනයරසො, පරිළාහවිනයරසො වා, සොම්මහාව පච්චුපටට්ඨානො, පහීණදෝසපදටඨානො” යනු පාළියි.
‘න මුය්හන්ති, සයං වා න මුය්හති, අමුය්හනමත්තමෙව වා තන්ති = අමොහො’ යම් ධර්‍මශක්තියක් කරණ කොට චෛතසික ධර්‍මයෝ අරමුණුවල නො මුළා වෙත් ද, තෙමේ හෝ නො මුළා වේ ද, නො මුළාවීම් මාත්‍රයෙක් නු යි හෝ අමෝහ නම් වේ. සිත යෙදෙන අරමුණුවල ඇති තතු දැන නො මුළාවන ස්වභාවය, අමෝහ නැමැ යි කීහ. මේ කරණ කොට හැම අරමුණෙක ම යථා ස්වභාවය වැටහෙයි. බලවත් කුශලයෙකි. කුශල මූලයෙක් ද වේ. ශෝභනචෛතසිකයෙකි. අමෝහ නාමයෙන් ගැණෙන්නී ප්‍රඥා තොමෝ ය.
අමෝහය, අනිත්‍ය-දුඃඛ-අනාත්ම යන සියලු ධර්‍මයන්ට සාධාරණ වූ ලක්‍ෂණත්, කර්‍කශභාව, ඵුසනහාව යන විශේෂ ලක්‍ෂණත් පිළිවිද දැනීම ලකුණු කොට සිටියේය. ඒ ඒ ධර්‍මයන්ගේ තත්ත්‍වඥානයෙහි නො පැකිළපැවැත්ම හෝ ලක්‍ෂණ යි. දක්‍ෂ වූ ධනුශ්ශිල්පියකු විසින් හරණලද ශරවේධයක් මෙනි. කෘත්‍යය, රූපාදී වූ සියලු අරමුණු ආලෝක කිරීම යි. ප්‍රදීපයක් මෙනි. නො මුළාබව පච්චුපට්ඨාන යි. වනයෙහි හැසිරෙන යහපත් මාර්‍ගදේශකයකු මෙනි. පහකළ මෝහය පදට්ඨාන යි. ‘අමොහො යථා සශාවපටිවෙධ ලක්ඛණො, අක්ඛලිත පටිවෙධලක්ඛණො වා, විසයොභාසනරසො, අසම්මොහපච්චුපට්ඨානො, පහීණමොහ පදට්ඨානො’ යනු පාළියි.
‘පස්සමහනං=පස්සද්ධි’ සන්සිඳීම පස්සද්ධි නම්, ‘කායස්සපස්සද්ධි=කායපස්සද්ධි’ ඵස්සවේදනාදීචෛතසිකධර්‍මයන්ගේ දරථ සන්සිඳවීම කායපස්සද්ධි නම්. සක්විති රජක්හුගේ පංච කල්‍යාණයෙන් යුත් බිසවගේ සිරුර වැළඳ ගැණීමෙන් රජුගේ විඩා සන්සිඳුමමෙන් මේ ධර්‍මශක්තිය කරණ කොට නාමස්කන්ධ තුනෙහි කෙලෙස්විඩා සන්සිදී යන්නේ ය. කාය යි කීයේ වේදනාදි ස්කන්ධත්‍රය යි. යමක්හු පිළිබඳ කායපස්සද්ධිය දුර්‍වල වේ ද, ඔහු චිත්තසුඛයක් නො ලබයි. රත් වූ ගලෙක ලූ දිවි ඇති මසකු මෙන් කායපස්සද්ධියෙන් තොර වූයේ, අරමුණෙහි නො සන්සුන් වන්නේ ය. මේ ඇතිවිට ම සිහිල්දියෙහි ලූ මසකු මෙන් ශාන්ත වන්නේ ය. මෙය උද්ධච්චාදික්ලේශයන්ට ප්‍රතිවිරුද්ධ ය.
කායපස්සද්ධිය, කායදාහය සන්සිඳවීම ලකුණු කොට සිටියේ ය. කෘත්‍යය, කය පිළිබඳ විඩාව නැසීම ය. විඩාව හා සැලෙනබව දුරුකිරීමෙන් වන සිහිල් බව පච්චුපට්ඨාන යි. කය, පදට්ඨාන යි. ‘කායදරථවූපසමලක්ඛණා කායපස්සද්ධි, කායදරථනිමද්දනරසා, කායස්ස අපරිඵන්දනසීතිභාවපච්චුපට්ඨානා, කාය පදට්ඨානා’ යනු පාළියි.
‘චිත්තස්ස පස්සද්ධි=චිත්තපස්සද්ධි’ සිතෙහි සන්සිඳීම චිත්ත පස්සද්ධි නම් වේ. විඥානස්කන්ධය චිත්ත යන්නෙන් ගැණේ. ශෝභනචිත්තයෝ ම මෙහි ලා ගත යුත්තාහ. චිත්තපස්සද්ධිය දුර්‍වල වූ කල්හි පින්කම් කිරීමෙහි දී සිත සැපවත් නො වේ. මෙ ද විඥාන ස්කන්ධය නො සන්සුන් කරණ ඖද්ධත්‍යාදික්ලේශයන් දුරු කෙරේ.
චිත්තපස්සද්ධිය, චිත්තදාහය සන්සිඳවීම ලකුණු කොට සිටියේ ය. කෘත්‍යය, සිත්විඩාව නැසීම ය. විඩාව හා සැලෙනබව දුරු කිරීමෙන් වන සිහිල්බව පච්වුපට්ඨාන යි. චිත්තය, පදට්ඨාන යි. ‘චිත්තදරථ වූපසමලක්ඛණා චිත්තපස්සද්ධි, චිත්තදරථ නිම්මද්දනරසා, චිත්තස්ස අපරිඵන්දනසිතිභාවපච්චුපට්ඨානා, චිත්තපදට්ඨානා’
‘ලහුභාවො=ලහුතා, කායස්ස ලහුතා, කාය ලහුතා, චිත්තස්ස ලහුතා, චිත්තලහුතා, කය-සිත දෙක්හි සැහැල්ලුබව මෙ දෙකින් ගැණේ. මේ ධර්‍මශක්තිදෙක, කය - සිත දෙක්හි බරබව ඇති කරණ ථීනමිද්ධාදික්ලේශධර්‍මයන්ට ප්‍රතිපක්‍ෂ වේ.
මේ දෙක, කය-සිත දෙක්හි බරබව සන්සිඳවීම ලකුණු කොට සිටියේ ය. කෘත්‍යය, එ දෙකෙහි ගරුභාවය දුරු කිරීම යි. නො බරබව පච්චුපට්ඨාන යි. කායචිත්තපදට්ඨාන යි. ‘කායචිත්ත ගරුභාව වූපසමලක්ඛණා කායලහුතාචිත්තලහුතායො, කායචිත්තගරුභාවනිම්මද්දනරසා, කායචිත්තානං අදන්‍ධතාපච්චුපට්ඨානා, කායචිත්තපදටඨානා’
‘මුදුභාවො=මුදුතා, කායස්ස මුදුතා, කායමුදුතා, චිත්තස්ස මුදුතා චිත්තමුදුතා’ කය-සිත දෙන්හි මොළොක්බව කායමුදුතා - චිත්තමුදුතා නම් වේ. වේදනාදිස්කන්‍ධත්‍රයයාගේ මොළොක් බව කායමුදුතා නමි. විඥානස්කන්ධයාගේ මොළොක් බව චිත්තමුදුතා නමි. මොවුහු කය-සිත දෙකේ තදබව ඇති කරණ ක්ලේශධර්‍මයන්ට ප්‍රතිපක්‍ෂ වෙති. ශොභනචෛතසිකයෝ ය.
මෙ දෙක, කය-සිත දෙක්හි තදබව සන්සිඳවීම ලකුණු කොට සිටියේ ය. කෘත්‍යය, කය - සිත දෙක්හි තදබව දුරු කිරීම යි. කිසිත් අරමුණෙක නො ගැටීම පච්චුපට්ඨාන’ යි. කායචිත්තපදට්ඨාන යි. ‘තා කායචිත්තථද්ධභාවවූපසමලක්ඛණා, කායචිත්තථද්ධභාවනිම්මද්දනරසා, අප්පටිඝාතපච්චුපට්ඨානා, කායචිත්තපදට්ඨානා”
‘කායස්ස=කම්මඤ්ඤතා, කායකම්මඤ්ඤතා, චිත්තස්ස=කම්මඤ්ඤතා, චිත්තකම්මඤ්ඤතා, වේදනාදිස්කන්ධත්‍රයයාගේ හා විඥානස්කන්ධයාගේ ඒ ඒ කටයුත්තෙහි සුදුසු බව කායකම්මඤ්ඤතා-චිත්තකම්මඤතා නම් වේ. කාය-චිත්තකර්‍මණ්‍යයන්ගෙන් තොරවූවහුට පින්කම් කිරීමෙහි ලා ඉදිරිපත්විය නො හැකි ය. කය-සිත දෙක එයට වුවමනා පරිදි පිළියෙල කර ගත නො හැක්කේ ය. උඩු සුළඟට දැමු දැහැවියාමිටක් මෙනි. කායචිත්තකර්‍මණ්‍යයෝ, කායචිත්තයන්ගේ සත්ක්‍රියාවිෂයයෙහි අනුකූල නො වන බව ඇති කරණ නීවරණාදික්ලේශධර්‍මයන්ට ප්‍රතිවිරුද්ධ ව නැගී සිටිති. කෙලෙස් දුරු කොට පැහැදිය යුතු තැනැ පැහැදීම ඇති කරන්නාහ. ගින්නෙහි ලා පිරිසිදු කරගත් ස්වර්‍ණය, කටකනූපුරාදිආභරණ සෑදීමෙහි සුදුසු වන්නාක් මෙනි. මේ ධර්‍මශක්තිය කරණ කොට නාමස්කන්ධ, අරමුණුගැනීමට සුදුසු වේ. ශොභනචෛතසිකයෝ ය.
මෙ දෙක, කාය චිත්තදෙදෙනාගේ අකර්‍මණ්‍යභාවය සන්සිඳවීම ලකුණු කොට සිටියේ ය. කෘත්‍යය, කාය-චිත්තදෙදෙනාගේ අකර්‍මණ්‍යභාවය දුරු කිරීම යි. කාය-චිත්තදෙදෙනාගේ කර්‍මණ්‍යභාවයෙන් ම සම්පූර්‍ණ වූ සුදුසු ආකාරයෙන් අරමුණුගැණීම පච්චුපට්ඨාන යි. කායචිත්තපදට්ඨාන යි. ‘තා කායචිත්තාකම්මඤ්ඤභාවවූපසමලක්ඛණා, කායචිත්තාකම්මඤ්ඤභාවනිම්මද්දනරසා, කායචිත්තානං ආරම්මණකරණසම්පත්තිපච්චුපට්ඨානා, කායචිත්තපදට්ඨානා’
‘කායස්ස=පාගුඤ්ඤතා, කායපාගුඤ්ඤතා, චිත්තස්ස=පාගුඤ්ඤතා, චිත්තපාගුඤ්ඤතා, වේදනාදිස්කන්ධත්‍රයයාගේ හා විඥාන ස්කන්ධයාගේ අරමුණු ගැණීමෙහි පුහුණුබව මෙ දෙකින් කියැ වේ. ගැඹුරුදියෙහි ලූ වඳුරකු සේ මේ ධර්‍මශක්ති දෙකෙහි දුර්‍වලබව හේතුකොට පුණ්‍යකර්‍මවිෂයයෙහි සිත කය දෙක දැඩි ව කම්පිත වෙයි. බලවත් වූ මේ දෙක පින්කම් කිරීමෙහි අකම්පිත වේ. ගැඹුරු දියෙහි ලූ කිඹුලකු සේ ය. කාය-චිත්ත දෙක්හි ගිලන්බව ඇති කරණ අශ්‍රද්ධාදීන්ට ප්‍රතිපක්‍ෂ ව නැගී එයි. ශොභනචෛතසික යි.
කායපාගුඤ්ඤතා-චිත්තපාගුඤ්ඤතා දෙක, කාය-චිත්ත දෙක්හි නො ගිලන් බව ලකුණු කොට සිටියේ ය. කෘත්‍යය, කාය-චිත්ත දෙක්හි ගිලන්බව දුරු කිරීම යි. නිරාදීනභාවය පච්චුපට්ඨානය වේ. කාය-චිත්ත දෙක පදට්ඨාන යි. ‘තා කායචිත්තානං අගෙලඤ්ඤ භාවලක්ඛණා, කායචිත්තගෙලඤ්ඤමද්දනරසා, නිරාදීනව පච්චුපට්ඨානා, කායචිත්තපදට්ඨානා’
‘කායස්ස=උජුකභාවො, කායුජ්ජුකතා, චිත්තස්ස=උජුකභාවො, චිත්තුජ්ජුකතා’ කාය-චිත්ත දෙක්හි ඇද නැති බව කායුජ්ජුකතා-චිත්තුජ්ජුකතා නම්. මෙ දෙකින් තොර වූයේ පින්කම් කිරීමෙහි විෂම වූ ස්වභාව ඇත්තේ වේ. ඔහු කිසි කලෙක පහත්වූවෙක් වෙයි. කිසිකලෙක උඩඟුවූවෙක් වෙයි. බේබද්දකු සේ ය. මේ දෙක, කය සිත දෙක්හි කුටිලබව කරණ මායාසාඨෙය්‍යාදීන්ට විරුද්ධ ව නැගී එයි. ශොභනචෛතසික යි.
කායුජ්ජුකතා-චිත්තුජ්ජුකතා දෙක, චිත්ත-චෛතසිකයන්හි නො ඇදබව ලකුණු කොට සිටියේ ය. කෘත්‍යය, කය සිත දෙක්හි. ඇද බව දුරු කිරීම යි. නො ඇදබව පච්චුපට්ඨාන යි. කාය-චිත්ත පදට්ඨාන යි. ‘තා කායචිත්තඅජ්ජවලක්ඛණා, කායචිත්ත කුටිලභාවනිම්මද්දනරසා, අජිම්භතාපච්චුපට්ඨානා, කායචිත්ත පදට්ඨානා’
‘ ජන්‍දනං=ඡන්‍දො’ අරමුණු ගැණීමෙහි කැමැතිබව ඡන්ද නම්. ඒ වනාහි අරමුණුගැණීමෙහි කැමැතිබවට කියන නමෙකි. කත්තුකම්‍යතාඡන්දය-තෘෂ්ණාඡන්දය යි. ඒ දෙ පරිදි ය. මෙහි ලා ගැණෙනුයේ කත්තුකම්‍යතාඡන්දය යි. ඒ නම්, කරණු කැමැති බව යි. අරමුණක් ලැබුනු විට එහි ඇලීම් වශයෙන් ගැලී පවත්නේ තෘෂ්ණා ඡන්දය යි. කුශලපක්‍ෂයෙහි වූයේ කත්තුකම්‍යතාඡන්දය යි. අකුශල පක්‍ෂයෙහි වූයේ තෘෂ්ණාඡන්දය යි. කත්තුකම්‍යතාඡන්දය මහනෙල් මලෙහි ඇති ජලය මෙනැ යි ද, තෘෂ්ණාඡන්දය කොහොල්ලෑවල ඇලෙන මැස්සා මෙනැ යි ද කීහ.
මේ වනාහි, තෘෂ්ණාඡන්දය සේ ඇලුම් ගැලුම් බැඳුම් පිණිස අරමුණු කැමැති වන්නේ නො වේ. ඒ ඒ අර්‍ත්‍ථයන් සිදු කරණු පිණිස ම අරමුණුගැණීමෙහි කැමැත්තේ වේ. රාජසේවක වූ ධනුර්‍ධරයෝ ධනයත් යසසත් ප්‍රයෝජන කොට ඇත්තාහු, රජුගේ ප්‍රතිපාක්‍ෂිකයනට විදීම් වශයෙන් හැරිය යුතු වූ ඊතල කැමැති වෙත් ද, එමෙන් මේ ඡන්දයත් තෙමේ ද අනුන්ට දිය යුතු වූ දානවසතුවත් තමන් නො ලැබූ දානවස්තුවත් ලබන්නට කැමැති වන්නේ ය. මේ, කත්තුකම්‍යතාඡන්දය, තෘෂ්ණාවට වඩා බලවත්තර හෙයින් ඡන්දාධිපති වෙයි. ඡන්දිද්ධිපාදත් වෙයි.
මොමූහ සිත් දෙක හැර, අකුසල්සිත් තුදුසෙහි, සහේතුක කාමාවචර සූවිසි සිත්හි හා රූපාවචර- අරූපාවචර-ලෝකෝත්තර පන්තිස් මහග්ගත සිත්හි ද යන එකුන් සැත්තෑවක් සිත්හි යෙදේ.
ඡන්දය, අරමුණු කරණු කැමැති බව ලකුණු කොට සිටියේ ය. කෘත්‍යය, අරමුණු සෙවීම යි. අරමුණු කැමැති බව පච්චුපට්ඨාන යි. කැමැති වන ලද අරමුණ ම පදට්ඨාන යි. ‘කත්තුකාමතාලක්ඛණො ඡන්දො, ආරම්මණපරියෙසනරසො, ආරමණෙන අත්‍ථි කතා පච්චුපට්ඨානො, තදෙවස්ස පදට්ඨානො’
‘අධිමුච්චනං = අධිමොක්ඛො’ අරමුණ සනිටුහන් කිරීම අධිමොක්ඛ නම්. නුවරදොර එලිපත සවිකරණු පිණිස පිහිටුවන ලද එලිපත් කණුවක් සේ අරමුණෙක සසම්ප්‍රයුක්තචිත්තය තහවුරු ව පිහිටුවීම ස්වභාවය කොට ඇති චෛතසිකයෙකි, මේ. අරමුණෙහි. සැකය දුරුවීමෙන් මේ, මේ මැ යි නිශ්චයට බැස ගන්නේ මේ ධර්‍මයාගේ බලයෙනි. අරමුණෙහි සිත සැලීම මෙයින් දුරු වේ.
විචිකිච්ඡාසම්ප්‍රයුක්ත සිත හැර, එකොළොස් අකුසල් සිත්හි ද්විපඤ්චවිඤ්ඤාණය හැර, අහේතුක සිත් අටෙහි, සහේතුක කාමාවචර සූවිසි සිත්හි, පසළොස් රූපාවචර සිත්හි හා දොළොස් අරූපාවචර සිත්හි ද යන අටසත්තෑ සිත්හි යෙදේ.
අධිමෝක්‍ෂය, අරමුණ සනිටුහන් කිරීම ලකුණු කොට සිටියේ ය. කෘත්‍යය, නො සැලීම යි. ආරම්මණනිශ්චය පච්චුපට්ඨාන යි. නිශ්වය කළ යුතු අරමුණ පදට්ඨාන යි. ‘සන්නිට්ඨානලක්ඛණො අධිමොක්ඛො, අසංසප්පනරසො, නිච්ඡයපච්චුපට්ඨානො, සන්නිට්ඨෙය්‍යධම්මපදට්ඨානො’
‘කරණං=කාරො, මනම්හි කාරො=මනසිකාරො’ අරමුණ සිතෙහි කිරීම මනසිකාර නම්. සිත අරමුණට හැරවීම යි. ‘පුරිම මනතො විසදිසං මනං කරෝතීතිපි = මනසිකාරො’ පුර්‍ව භවාඞ්ගයෙන් වීථිචිත්තජවනචිත්තයන් කෙරේනුයි ද මනසිකාර නම් වේ. මේ මනසිකාරය, වීථිපටිපාදක-ජවනපටිපාදක-ආරම්මණ පටිපාදක, යි තෙ වැදෑරුම් ය. එහි වීථිපටිපාදකමනසිකාරය යි කීයේ, පංචද්වාරාවජීනචිත්තය යි. පංචද්වාරිකචිත්තපරම්පරාව අරමුණෙහි යොදන්නා ඔහු බැවිනි. මනෝද්වාරාවර්‍ජනචිත්තය, ජවනපටිපාදකමනසිකාරය යි කීහ. මනෝද්වාරිකචිත්තපරම්පරාව අරමුණෙහි යොදන්නා ඔහු බැවිනි. මෙ දෙක කුශලාකුශලවීථිසම්පාදකකාලයෙහි ද, කුශලාකුශලජවනසම්පාදකකාලයෙහි ද යෝනිසෝමනසිකාර-අයෝනිසෝමනසිකාර නමින් කියැ වේ. සම්ප්‍රයුක්තධර්‍මයන් අරමුණෙහි යොදවන්නේ, ආරම්මණපටිපාදකමනසිකාරය යි. මේ ම මෙහිලා ගැණේ. හැම සිතක් පාසා චිත්තචෛතසිකයන් ඉදිරිපත් වූ අරමුණෙහි යොමු කරවන්නේ මේ මනසිකාර ය යි. සර්‍වචිත්තසාධාරණයෙකි.
මනසිකාරය, සිතට අරමුණු එළවාලීම ලකුණු කොට සිටියේ ය. කෘත්‍යය, චිත්ත-චෛතසිකයන් අරමුණෙහි යෙදවීම යි. අරමුණට අභිමුඛවීම පච්චුපට්ඨාන යි. පදට්ඨානය, අරමුණ යි. ‘චෙතසො ආරම්මණෙ සමන්තාහාරලක්ඛණො මනසිකාරො, ආරම්මණෙ සංයොජනරසො, ආරම්මණාභිමුඛභාවපච්චුපට්ඨානො, ආරමණපදට්ඨානො’
‘මජ්ඣෙ ඨිතො අත්තා සභාවො යස්සාති = මජ්ඣත්තො’ සිතේ පසු බැස්මැ යි කියන ථීනයටත්, නො සන්සුන්බවැ යි කියන උද්ධච්චයටත් මැද සිටි පුද්ගල තෙමේ මජ්ඣත්ත නමි. ඔහුගේ ස්වභාවය හෙවත් මජ්ඣත්ත යි කීමට කරුණු වූ ගතිවිශේෂය මජඣත්තතා නමි. ‘මජඣත්තස්ස=භාවො මජඣත්තතා’ යනු වාක්‍ය යි. ‘තෙසු ධම්මෙසු මජ්ඣත්තතා = තත්‍රමජ්ඣත්තතා’ ඒ ඒ චිත්ත-චෛතසිකසම්ප්‍රයුක්තධර්‍මයන් කෙරෙහි මැදහත් ව බලන්නහුගේ ස්වභාවය තත්‍රමජ්ඣත්තතා නම් වේ. ආජානීය අශ්වයන් දෙදෙනකු යෙදූ රථයෙහි රියැදුරු ඒ අසුන් සමව යන කල මැදහත් වන්නේ යම් සේ ද, එ මෙන් මේ ස්වභාවධර්‍මය තෙමේ අරමුණු පිළිබඳ වූ චිත්ත-චෛතසිකයන් ගැණ මැදහත් වන්නේ ය. උපේක්‍ෂා යනු මෙයට ම නමෙකි. ශෝභනචෛතසිකයෙකි.
තත්‍රමජ්ඣත්තතා තොමෝ, චිත්ත-චෛතසිකධර්‍මයන් තමතමන් අයත් ක්‍රියාවන්හි සමව පැවැත්වීම ලකුණු කොට සිටියා ය. ප්‍රජා පාලක තෙමේ නිශ්ශබ්ද ව සිටියේ ද, අර්‍ත්‍ථසාධනයෙහි තත්පර වූ රාජපුරුෂයන් තම තමන් අයත් රජය පිළිබඳ කටයුතුවල යුහුව යෙදී සිටින්නවුන් මෙන්, තත්‍රමජ්ඣත්තතාව ද උදාසීනභාවයෙන් පවත්නී නමුදු, සම්ප්‍රයුක්තධර්‍මයන් තම තමන් අයත් කටයුතුවල පවත්ව යි. කෘත්‍යය, පක්‍ෂපාතබව සිඳ හැරීම යි. මැදහත්බව, පච්චුපට්ඨාන යි. පදට්ඨානය, යෝනිසෝමනසිකාරය යි. ‘චිත්තචෙතසිකානං සමවාහිතලක්ඛණා තත්‍රමජ්ඣත්තතා, පක්ඛ පාතුච්ඡෙදනරසා, මජ්ඣත්තතාභාවපච්චුපට්ඨානා, යොනිසොමනසිකාරපදට්ඨානා’
‘පරදුක්ඛෙ සති සාධූනං හදයකම්පනං කරොතීති = කරුණා, කිණාති වා පරදුක්ඛං හිංසති වා විනාසෙතීති = කරුණා, කිරීයති වා දුක්ඛිතෙසු ඵරණවසෙන පසාරීයතීති = කරුණා’ අනුන් විඳින දුක් දුටු කල සත්පුරුෂයන්ගේ ලයෙහි වන කම්පනය හෙවත් සැලීම කරුණා නම්. දුක් විඳින්නකු දුටු කල සිතේ හටගන්නා අනුකම්පාගතිය කරුණා යි කී සේ ය. නැවත මෙරමා දුක පහකෙරේ නු යි ද කරුණා නමි. තවත් ලෙසකින් කියතොත් දුඃඛිතයන් කෙරෙහි දුක් දුරුකිරීම් ආකාරයෙන් පැතිරීම් වශයෙන් පවත්නා චිත්ත ගතිය කරුණා නැමැ යි කිය යුතු ය. ශොභනචෛතසිකයෙකි.
කරුණා ව මෙරමා දුක් පහකිරීම් ආකාරයෙන් පැවැත්ම ලකුණු කොට සිටියා ය. කෘත්‍යය, අනුන්ගේ දුක නො ඉවසීම යි. පච්චුපට්ඨානය, අවිහිංසාව යි. පදට්ඨානය, දුකින් මැඩුනවුන්ගේ අනාථභාවය දැකීම යි. ‘පරදුක්ඛාපනයනාකාරප්පවත්තිලක්ඛණා කරුණා, පරදුක්ඛාසහනරසා, අවිහිංසා පච්චුපට්ඨානා, දුක්ඛාභි භූතානං අනාථභාවදස්සනපදට්ඨානා’
‘මොදන්තිතාය තං සමඞ්ගිනො, සයං වා මොදති, මොදනමත්තමෙවවාති = මුදිතා’ සත්වයන්ගේ හා සම්ප්‍රයුක්තධර්‍මයන්ගේ සන්තෝෂයට කරුණු වන ධර්‍මශක්තිය මුදිතා නම්. ඒ කරණ කොට සත්වයෝ හෝ සම්ප්‍රයුක්තධර්‍මයෝ සතුටු වෙත් නු යි කීවෝ. එහෙයිනි. සත්වයන්ගේ හෝ සම්ප්‍රයුක්තධර්‍මයන්ගේ මෝදනය මින් කිය වේ. තොමෝ සතුටු වේ නු යි සතුටු වීම් මාත්‍රය ම නු යි හෝ මුදිතා නැමැයි ද කීහ.
මුදිතාවගේ ලක්‍ෂණය, සත්වයන් කෙරෙහි සතුටුවීම යි. කෘත්‍යය, ඊර්‍ෂ්‍යා නො කිරීම යි. පච්චුපට්ඨානය, ගෙහසිතප්‍රීතිය විනාශ කිරීම යි. පදට්ඨානය, සත්වයන්ගේ සම්පත්දැකීම යි. ‘පමොදලක්ඛණා මුදිතා, අනිස්සායනරසා, අරතිවිඝාතපච්චුපට්ඨානා සත්තානං සම්පත්තිදස්සනපදට්ඨානා’
කරුණා - මුදිතා දෙක ප්‍රමාණයක් කළ නො හැකි සත්වයන් අරමුණු කොට පවත්නා බැවින් අප්පමඤ්ඤා යි කියනු ලැබේ. තව ද පඨම - දුතිය - තතිය - චතුත්ථජඣානකාමාවචරක්‍රියා සිත් දොළොස ය, කාමාවචර කුසල් සිත් අට ය, සහේතුක කාමාවචර ක්‍රියා සිත් අට ය, යන අටවිසි සිත්හි මේ යෙදේ. එහෙත් කරුණාව ඇතිවිට මුදිතාවත්, මුදිතාව ඇතිවිට කරුණාවත් එකවිට නො යෙදේ. අනියතයෝගී බැවිනි.
කරුණා - මුදිතා දෙක්හි විස්තරය සුදුසු තැන මතු එන්නේ ය. එහෙත් මෙහිලා කියයුතු විශේෂයෙක් තිබේ. එ නම් මෙ දෙක බ්‍රහ්මවිහාර යන නාමයෙන් ගැණෙන බවත්, එවිට රූපාවචර අර්‍පණාබවට පැමිණි මහද්හතධර්‍මය යි සලකන බවත්, මෙහි කාමාවචර ධර්‍ම දෙකක් වශයෙන් ආ බවත්, බ්‍රහ්මවිහාරකරුණා-මුදිතාවන්, රූපාවචර බවත් ය.
‘කායදුච්චරිතතො විරති = කායදුච්චරිතවිරති’ ප්‍රාණඝාතය අදත්තාදානය - කාමමිත්‍ථ්‍යාචාරය යන කායික දුරාචාරයන්ගෙන් වැළක්ම හෝ, වැළැක්මට කාරණය හෝ, වැළකීම්මාත්‍රය හෝ කාය දුච්චරිතවිරති නම්, ප්‍රාණඝාතාදි කායික දුරාචාරයන් යට කියන ලදී.
කායදුච්චරිතවිරතියගේ ලක්‍ෂණය, කායදුශ්චරිතවස්තුන්ගේ නො ඉක්මවීම යි. කෘත්‍යය, කායදුශ්චරිතවස්තූන් කෙරෙන් සිතේ හැකිළීම යි. පච්චුපට්ඨානය, කායදුශ්චරිත නො කිරීම යි. පදට්ඨානය, සද්ධා - හිරි - ඔත්තප්ප - අප්පිච්ඡතා යනාදි ගුණ සමූහය යි. ‘කායදුච්චරිතවත්ථූනං අවීතික්කමලක්ඛණා කායදුච්චරිත විරති, කායදුච්චරිතවත්ථුතො සංකොචනරසා, තස්ස අකිරිය පච්චුපට්ඨානා, සද්ධාහිරිඔත්තප්පඅප්පිච්ඡතාදිගුණපදට්ඨානා’
‘වචීදුච්චරිතතො විරති=වවීදුච්චරිතවිරති’ මුසාවාද-පිසුණවවන-ඵරුසවචන-සම්ඵප්පලාප යන වාචසිකනින්දිතාචාරයන්ගෙන් වැළකීම වචීදුච්චරිතවිරති නම්. විස්තරය යට කියන ලද්දේය.
මෙහි ලක්‍ෂණය, වචීදුශ්චරිතවස්තූන්ගේ නො ඉක්මවීම යි. කෘත්‍යය, වචීදුශ්චරිතවස්තුන්ගෙන් සිතේ හැකිළීම යි. පච්චුපට්ඨානය, වචීදුශ්වරිත නො කිරීම යි. පදට්ඨානය, සද්ධාගුණ යි. ‘වචීදුච්චරිතවත්ථූනං අවීතික්කමලක්ඛණා වචීදුච්චරිතවිරති, වචීදුච්චරිතවත්ථුතො සංකොචනරසා, තස්ස අකිරියපච්චුපට්ඨානා, සද්ධා හිරි ඔත්තප්ප අප්පිච්ඡතාදිගුණපදට්ඨානා”
‘මිච්ඡාජීවතො විරති = මිච්ඡාජීවවිරති’ මිථ්‍යාආජීවය යි කියූ සතුන් මැරීම් ආදිය, සත්වවෙළඳාම් ආදිය, කුහනා ලපනා ආදිය යන මෙයින් කෙරෙණ ජීවත්වීමෙන් වැළක්ම මිච්ඡාජීව විරති නම්.
ත්‍රිවිධකායදුශ්චරිත-චතුර්විධවාග්දුශ්චරිතවස්තුන් නො ඉක්මවීම, මෙහි ලක්‍ෂණය වේ. එයින් සිත හැකිලීම, කෘත්‍යය වේ. ඒ දුශ්චරිතයන්ගේ නො කිරීම, පච්චුපට්ඨානය වේ. සද්ධාදිගුණ, පදට්ඨානය වේ. ‘තිවිධකායදුච්චරිතචතුබ්බිධවචීදුච්චරිතවත්ථූනං අවීතික්කමලක්ඛණා මිච්ඡාජීවවිරති, තතො එව සංකොචනරසා, තෙසං දුච්චරිතානං අකිරියපච්චුපට්ඨානා, සද්ධාහිරිඔත්තප්ප අප්පිච්ඡතාදිගුණ පදට්ඨානා’
ඵස්සය පටන්, මිච්ඡාජීවවිරතිය තෙක් කියූ මේ සතිස් වැදෑරුම් වූ සංස්කාරයෝ ප්‍රථමකාමාවචරකුශලවිඥානයෙහි යෙදෙත් යි යට කියන ලදී. ප්‍රථමකාමාවචරකුශලවිඥානයෙහි යම් සේ මොවුහු යෙදෙත් ද, දෙවන කාමාවචරකුශලවිඥානයෙහි ද එසේ යෙදෙති. සසඞ්ඛාරභාවමාත්‍රය, මේ දෙවන කුශල විඥානයෙහි ලා ලැබෙන වෙනස යි. අමෝහය හැර, අනික් පන්තිස් සංස්කාරයෝ තුන්වන කාමාවචරකුශලවිඥානය සමග යෙදෙති. සතර වැන්නෙහි ද මෙකී පන්තිස ම යෙදේ. මෙහි වෙනස සසඞ්ඛාරික භාවය යි. ප්‍රීතිය හැර, අනික් පන්තිස, පස්වැන්නෙහි යෙදේ. කරුණා-මුදිතා දෙදෙනා අර්‍පණාභාවයට පැමිණීමට පූර්‍වභාගයෙහි ම උපේක්‍ෂාසහගත චිත්තයෙහි යෙදෙති යි කීහ. යම් සංස්කාර කෙනෙක් පස් වැන්නෙහි යෙදෙත් ද, ඔවුහු ම සවැන්නෙහි ද යෙදෙත්. සසඞ්ඛාරභාවමාත්‍රය වෙනසි. සත් වැන්නෙහි යෙදෙන්නෝ, අමෝහය හැර, සවැනි සිතෙහි යෙදුනෝ ම ය. අටවැන්නෙහි ඔවුහු ම යෙදෙත්. වෙනස සසඞ්ඛාරිකභාවමාත්‍රය යි.
පළමුවන කාමාවචරමහාකුසලචිත්තයෙහි කියන ලද සතිස් සංස්කාරයන් අතුරෙහි විරති තුන හැර, අනික් තෙ තිස් සංස්කාරයෝ පළමුවන රූපාවචරකුශලවිඥානයෙහි යෙදෙත්. දෙවන සිතෙහි විතර්‍කය හැර, අන්‍යයෝ යෙදෙති. තෙවන සිතෙහි විචාරයත් හැර, අනික් තිස යෙදේ. පස් වැන්නෙහි කරුණා - මුදිතා දෙකත් හැර, අටවිසි සංස්කාර කෙනෙක් යෙදෙති.
පස්වන රූපාවචරකුශලවිඥානය හා යෙදුනු අටවිසි සංස්කාරයෝ ම අරූපාවචරකුශලවිඥාන සතරෙහි ද යෙදෙති.
පළමුවන රූපාවචරකුශලවිඥානයෙහි කියන ලද සංස්කාරයෝ ලෝකෝත්තරකුශලවිඥානයන් අතුරෙහි පළමු කොට ප්‍රථමද්ධ්‍යානික මාර්‍ගවිඥානයෙහි යෙදෙත්. ද්විතීයද්ධ්‍යානිකාදිභේද ඇති මාර්‍ග විඥානාදියෙහි දවිතීයාදිරූපාවචරවිඥානයන්හි කියන ලද ක්‍රමයෙන් සංස්කාරයන්ගේ යෙදීම දතයුතු ය. එහි එන විශේෂය කරුණා-මුදිතාවන්ගේ අභාවයත් නියතවිරතීන්ගේ අභාවයත් ලෝකෝත්තරභාවයත් යන මේ ය.
මෙතෙකින් මෙහි සැකෙවින් කියූ කුශලසංස්කාරයන්ගේ ලක්‍ෂණාදිස්වභාවයත් ඒ ඒ කුශලවිඥානයන් හා යෙදීමත් හොඳින් උගත යුතු ය.
අකුශලවිඥානයන් අතුරෙහි වනාහි ලෝභමූලිකප්‍රථම අකුශල විඥානයෙහි සංස්කාර සතළොසෙක් යෙදේ. ඵස්ස-චේතනා-විතක්ක-විචාර-පීති-විරිය-ජීවිත-සමාධි-අහිරික-අනොත්තප්ප-ලෝභ-මෝහ-මිච්ඡාදිට්ඨි යි ස්වරූපයෙන් ආ නියතසංස්කාර තෙළස ද, ඡන්ද-අධිමොක්ඛ-උද්ධච්ච-මනසිකාර යි යෙවාපනක, වශයෙන් ආ සතර දැ යි යන මොවුහුය එහි යෙදුනාහු.
‘න හිරීයති කායදුච්චරිතාදීහි, න ලජ්ජති, න ජිගුච්ඡතීති=අහිරිකො’ යම් ස්වභාවගතියක් තොමෝ කායදුශ්චරිතාදියෙන් ලජ්ජිත නො වේ ද, කායදුශ්චරිතාදිය පිළිකුල් නො කෙරේ ද, ඒ ගතිය අහිරික නම්. එසේ වූ පුද්ගලයා හෝ ධර්‍මසමූහය මෙයින් ගැණේ. ‘අහිරිකස්ස=භාවො, අහිරිකං’ ඒ පුද්ගලයාගේ හෝ ධර්‍මසමූහයාගේ ස්වභාවය අහිරික නැමැ යි කියන ලදී. කොටින් කිය යුත්තේ, පව්කම් කිරීමෙහි ලජ්ජා නැති බව අහිරිකය කියා ය. අශූචියෙහි පිළිකුල්බැව් නැති ගම්හූරකුට මෙන් මෙයට පව්කම් කිරීමෙහි ලා පිළිකුල්බවෙක් නො උපදියි.
අහිරිකය, කායදුශ්චරිතාදියෙන් පිළිකුල් නො වීම හෝ ලජජිත නො වීම ලකුණු කොට සිටියේ ය. කෘත්‍යය, ලජ්ජිත නො වන සැටියෙන් අකුසල් කිරීම යි. පව් කිරීමෙන් නො හැකිළීම, පච්චුපට්ඨාන යි. පදට්ඨානය, ආත්මගෞරවය නැති බව යි. ‘කාය දුච්චරිතාදීහි අජිගුච්ඡනලක්ඛණං අහිරිකං, අලජ්ජාලක්ඛණං වා, අලජ්ජාකාරෙන පාපානං කරණරසං, පාපතො අසංකොචන පච්චුපට්ඨානං, අත්තගාරවපදට්ඨානං’
‘න ඔත්තප්පතීති=අනොතප්පං’ පාපයෙන් තැතිගත්තේ නො වේ නු යි අනොත්තප්ප නම්. පාපයට භය නො වන ගතිය අනොත්තප්ප නැමැයි කීහ. සැකෙවින් කියයුත්තේ පව්කිරීමෙහිලා ඇතිවන නිර්‍භයභාවය, අනොත්තප්පය කියා ය. ගින්නට බිය නො වන පලඟැටියකු සේ ය.
අනොත්තප්පය, කායදුශ්චරිතාදියෙන් බිය නො වීම ලකුණු කොට සිටියේ ය. නොහොත් පාපධර්‍මයන් හේතුකොට නො තැති ගන්නා බව ලකුණු කොට ඇත්තෙකි. කෘත්‍යය, බිය නැති ලෙසින් පව්කිරීම යි. පවෙන් තැති නො ගැන්ම, පච්චුපට්ඨාන යි. අනුන් කෙරෙහි අගෞරවය, පදට්ඨාන යි. ‘කායදුච්චරිතාදීහි අසාරජ්ජ ලක්ඛණං අනොත්තප්පං, අනුත්තාසලක්ඛණං වා, නිබ්භයාකාරෙන පාපානං කරණරසං, පාපතො අනුත්තාසපච්චුපට්ඨානං, පරඅගාරවපදටඨානං’
අහිරික-අනොත්තප්පයෝ, හිරි ඔත්තප්පයන්ට ප්‍රතිපක්‍ෂ වෙති.
‘ලුබ්භන්ති තෙන, සයං වා ලුබ්භති, ලුබ්භනමත්තමෙවවාති=ලොභො’ ඒ කරණ කොට තමා හා යෙදී සිටි ධර්‍මයෝ අරමුණෙහි ගිජු වශයෙන් ඇලෙද්ද, තෙමේ හෝ ඇලෙන්නේ වේ ද, අරමුණෙහි ඇලීම් මාත්‍රයෙක් හෝ වේ ද, ඒ ලෝභ නම්. විස්තර යට කියන ලදී.
ලෝභය තෙමේ මම ය, මාගේ ය යි අරමුණු අල්වා ගැණී ම ලකුණු කොට සිටියේ ය. වඳුරු ලහටුව සේ ය. කෘත්‍යය, රත් කළ කබලෙක්හි දමන ලද මස්වැදැල්ල, එහි ඇලී යන්නා සේ අරමුණුවල දැඩිව ඇලීම යි. පච්චුපට්ඨානය, අරමුණු අත් නො හැර පැවැත්මයි. තෙල් සහිත සායම සේ ය. සංයෝජනයන්ට අරමුණු වන්නා වූ කාම සම්පත්තියෙහි ආස්වාදයක් ඇතැ යි දැකීම, පදට්ඨාන යි.
‘මුය්හන්ති තෙන, සයං වා මුය්හති, මුය්හනමත්ත මෙවවාති=මොහො’ ඒ කරණ කොට අරමුණෙහි මුළා වෙත් නු යි හෝ, තෙමේ මුළා වේ නු යි හෝ, මුළාවීම් මාත්‍රයෙක් නු යි හෝ මෝහ නම්.
මෙය, ධර්‍මවශයෙන් සෝතාපත්තිමාර්‍ගචිත්තයට පූර්‍වභාගයෙහි ගෝත්‍රභූචිත්තය දක්වා ද, පුද්ගලවශයෙන් අනාගාමීපුද්ගලයා දක්වා ද, භූමිවශයෙන් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය දක්වා ද පැතිර පවතී. සියලු දුකට මූලකාරණ වන්නේ ද, දුඃඛසත්‍යාදි සකලධර්‍මයන් වසා ලන්නේ ද මෝහය යි.
මෝහය, ධර්‍මස්වභාවයන් තත් වූ පරිදි දක්නා ප්‍රඥාචක්‍ෂුස්හි අන්ධභාවය කිරීම, ලකුණු කොට සිටියේ ය. නොහොත් ප්‍රඥාවට ප්‍රතිපක්‍ෂභාවය, ලකුණු කොට ඇත්තේ ය. කෘත්‍යය, පිළිවිද දැනීමෙහි අපොහොසත්බව යි. නැත, ආරම්මණස්වභාවය වසා දැමීම යි. දුෂ්ප්‍රතිපත්තියට අභිමුඛවීම හෝ ප්‍රඥාචක්‍ෂූසෙහි අන්ධභාවයකිරීම, පච්චුපට්ඨාන යි. අයෝනිසෝමනසිකාරය, පදට්ඨාන යි. ‘චිත්තස්ස අන්ධභාවලක්ඛණො මොහො, අඤ්ඤාණලක්ඛණො වා, අසම්පටිවෙධරසො, අසම්මාපටිපත්තී පච්චුපට්ඨානො, අන්ධකාරපච්චුපට්ඨානො වා, අයොනිසො මනසිකාරපදටඨානො’
‘මිච්ඡා පස්සති තාය, සයං වා මිච්ඡා පස්සති, මිච්ඡා දස්සන මත්තමෙවවාති=මිච්ඡාදිට්ඨි’ තමන් හා, යෙදී සිටියා වූ ධර්‍මයෝ ඒ කරණ කොට නියම තත්ත්‍වය වූ අනිත්‍යාදිධර්‍මතත්ත්‍වයන් නිත්‍යාදි ස්වභාවයෙන් දකී ද, තෙමේ වරදවා දකිත් ද, නිත්‍යාදිආකාරයෙන් වරදවා දැකීම් මාත්‍රයෙක් වේ ද, ඒ මිත්‍ථ්‍යාදෘෂ්ටි නම්. විස්තර යට කියන ලදී.
මෝ තොමෝ, නුනුවනින් අරමුණු දැඩි කොට ගැණීම, ලකුණු කොට සිටියා ය. කෘත්‍යය, ධර්‍මස්වභාවය ඇති තතු ඉක්මවා විපරීත වූ අවිද්‍යමාන වූ නිත්‍යාදිස්වභාවය දැඩි කොට අල්වා ගැණීම යි. විපරීත වශයෙන් ‘මේ ම සත්‍ය ය, අනික අසත්‍ය ය’ යි මෙනෙහි කිරීම, පච්චුපට්ඨාන යි. බුද්ධාදිආර්‍ය්‍යයන් නො දක්නා කැමැතිබව, පදට්ඨාන යි. ‘අයොනිසො අභිනිවෙසලක්ඛණා මිචඡාදිට්ඨි, පරාමාසරසා, මිච්‍ඡාභිනිවෙසපච්චුපට්ඨානා, අරියානං අදස්සනකාමතාදි පදට්ඨානා.’
‘උදධරතීති=උදධටං’ යම් ස්වභාවධර්‍මයෙක් තෙමේ, අරමුණු වලින් නිතර උඩ නගී ද, ඒ ස්වභාවධර්‍මය උද්ධටැ යි කියන ලද්දේය. ඒ නම් චිත්තය යි. එසේ උඩුකුරුව යන්නා වූ සිතෙහි සැලීම හෝ, සම්ප්‍රයුක්තධර්‍මයන්ගේ නො සන්සුන් ආකාරයෙන් පැවැත්ම හෝ උද්ධච්ච නම්. ‘උද්ධටස්ස භාවො=උද්ධච්චං’ විස්තර යට කියන ලදී.
මේ වනාහි, සිතේ නො සන්සිඳුම, ලකුණු කොට සිටියේ ය. කෘත්‍යය, එක් අරමුණක නො පිහිටීම යි. පච්චුපට්ඨානය, සැලීම යි. පදට්ඨානය, අයෝනිසෝමනසිකාරය යි. ‘අවුපසමලක්ඛණං උද්ධච්චං, අනවට්ඨානරසං, භන්තත්තපච්චුපට්ඨානං, අයොනිසො මනසිකාරපදට්ඨානං’
සෙස්සෝ කී ලෙසින් දතයුත්තාහ. ඒ ඒ අකුසලචිත්තයෙහි යෙදුනු සංස්කාරයන්ගේ අකුසලභාවයත්, අකුසල් බැවින් ම වන ලාමකභාවයත් කුසල සංස්කාරයන්ට වඩා දක්නා වෙනස යි.
යට කියූ ලෙසින් මේ සතළොස් සංස්කාරයෝ ප්‍රථම අකුශල විඥානයෙහි යෙදී ගණිත්. දෙවන අකුශලවිඥානයෙහි ද යෙදෙන්නෝ ය මොවුහු, අනුන් හෝ තමන් පිළිබඳ වූ පුර්‍වප්‍රයෝගය යි කියන සංස්කාරිකභාවයත්, ථීනමිද්ධ දෙක්හි අනියතභාවයත් මෙහි දෙවන අකුශලවිඥානයෙහි ලා දක්නා ලැබෙන වෙනස යි.
‘ථිනනතා=ථීනං’ එහි හැසුනු බව, ථීන නම්. ‘මිද්ධනතා=මිද්ධං’ කලකිරෙණබව, මිද්ධ නම්. සිත අරමුණු නො ඉවසනබව හා හැකිළෙන බව ථීන යි ද, වේදනාදිනාමස්කන්ධයන්ගේ අරමුණු ගැණීමෙහි අසමත්බච මිද්ධ යි ද කියන ලද්දේ ය.
ථීනය, උත්සාහයට ප්‍රතිපක්‍ෂභාවය ලකුණු කොට සිටියේ ය. කෘත්‍යය, චෛතසිකවීර්‍ය්‍යය විනාශ කිරීම යි. පච්චුපට්ඨානය, සම්ප්‍රයුක්තධර්‍මයන් පසුබට කිරීම යි. පදට්ඨානය, විවේකසෙනසුන් ආදියෙහි නො ඇලීම, ඇඟමැලිකැඩීම ආදී වූ අලසබැව්හි අනුවණින් මෙනෙහි කිරීම යි. ‘අනුස්සාහලක්ඛණං ථීනං, විරියවිනොදනරසං, සංසීදනපච්චුපට්ඨානං, අරතිවිජම්භිකාදීසු අයොනිසො මනසිකාරපදට්ඨානං’
මිද්ධය, කටයුතුවල නො සමබව ලකුණු කොට සිටියේ ය. කෘත්‍යය, සම්ප්‍රයුක්තධර්‍මයන් මුවහ කිරීම යි. පච්චුපට්ඨානය, හැකුළුනු බව යි. නිදාවැටීම හෝ පච්චුපට්ඨාන යි. පදට්ඨානය, විවේක සෙනසුන් ආදියෙහි නො ඇලීම, ඇඟමැලිකැඩීමාදී වූ අලසබැව්හි අනුවණින් මෙනෙහි කිරීම යි. ‘අකම්මඤ්ඤතාලක්ඛණං මිද්ධං, ඔනහනරසං, ලීනතාපච්චුපට්ඨානං, පචලායිකානිද්දාපච්චුපට්ඨානං වා, අරතිවිජම්භිකාදීසු අයොනිසොමනසිකාරපදට්ඨානං’ සෙස්ස පෙර කී සේ ය.
ප්‍රථම අකුශලවිඥානයෙහි කියූ සතළොස් සංස්කාරයන් අතුරෙහි මිථ්‍යාදෘෂ්ටිය හැර, අනික් සොළොස් සංස්කාරයෝ තුන්වන අකුශලවිඥානයෙහි යෙදෙති. සෙස්සෙහි ද යෙදීම මෙසේ ය. එහෙත් තුන්වන අකුශලවිඥානයෙහි මානය අනියතවශයෙන් යෙදෙන්නේ ය. එහෙයින් එහි අනියතවශයෙන් යෙදෙන්නා වූ මානය සමග සතළොස් ධර්‍මකෙනෙක් වෙති යි දතයුතු ය. සෙස්ස යට කියන ලදී.
මානය, උඩඟුබව ලකුණු කොට සිටියේ ය. කෘත්‍යය, අනුග්‍රහ කිරීම යි. පච්චුපට්ඨානය, කොඩියක් මෙන් තමා උසස් තන්හි තබා පෙන්වීම යි. පදට්ඨානය, මිථ්‍යාදෘෂ්ටියෙන් තොරවූ ලෝභය යි. ‘උන්නතිලක්ඛණො මානො, සම්පග්ගහරසො, කෙතුකම්‍යතා පච්චුපට්ඨානො, දිට්ඨිවිප්පයුත්තලොභපදට්ඨානො’
දෙවන අකුශලවිඥානයෙහි කියූ සංස්කාරයන් අතුරෙහි මිත්‍ථ්‍යාදෘෂ්ටිය හැර, අනික් සොළොස් සංස්කාරයෝ සතරවන අකුශල විඥානයෙහි යෙදීමට යන්නෝ ය. මෙහි ද මානය අනියත වේ. පළමුවන අකුශලවිඥානයෙහි කියන ලද්දවුන් අතුරෙහි ප්‍රීතිය හැර, අනික් සොළොස, පස්වන අකුශලවිඥානයෙහි යෙදී ගන්නෝ ය. එ පරිද්දෙන් ම ස වැනි වූ අකුශලවිඥානයෙහි සොළොස් සංස්කාර කෙනෙක් සම්ප්‍රයෝගයට යන්නාහ. එහි විශේෂය වන්නේ, සවැනි වූ විඥානයාගේ සංස්කාරිකභාවය හා ථීනමිද්ධයාගේ අනියතභාව මාත්‍රය යි. පස්වැනි වූ විඥානයෙහි කියන ලද්දවුන් අතුරෙහි මිත්‍ථ්‍යා දෘෂ්ටිය හැර, අනික් සොළොස් සංස්කාරයෝ සත්වැන්නෙහි යෙදෙති. මෙහි මානය අනියත වේ. සවැනි වූ අකුශලචිඥානයෙහි කියනලද්දවුන් අතුරෙහි මිත්‍ථ්‍යාදෘෂ්ටිය හැර, අනික් සංස්කාරයෝ අටවැන්න හා යෙදෙති. මෙහි දී මානය අනියත වේ. නියත වූ ස්වරූපවශයෙන් ආ ඵස්ස - වේදනා - විතක්ක - විචාර - විරිය - ජීවිත - සමාධි - අහිරික - අනොත්තප්ප - දෝස - මෝහ, යන එකොළොස ද, යෙවාපනක’ වශයෙන් ආ ඡන්ද-අධිමොක්ඛ-උද්ධච්ච-මනසිකාර, යන, සතර ද, අනියත වශයෙන් ආ ඉස්සා-මච්ඡරිය- කුක්කුච්ච, යන තුන දැ යි අටළොස් සංස්කාරයෝ දෝසමූලිකඅකුශලවිඥානයන් දෙදෙනා අතුරෙහි ප්‍රථමවිඥානයෙහි සම්ප්‍රයෝගයට යෙති.
‘දුස්සන්ති තෙන, සයං වා දුස්සති, දුස්සනමත්තමෙවවාති=දොසො’ යම් ධර්‍මශක්තියකින් තමාත් තමන් හා යෙදුනු ධර්‍මයෝත් අරමුණුවල දූෂිත වෙත් ද, ඒ දූෂණයට හේතු වූ ධර්‍මශක්තිය දෝස නම්. දූෂිතවීම් මාත්‍රය හෝ දෝස නමි. යටැ කියන ලද ය.
දෝසය තෙමේ, කිපීම ලකුණු කොට සිටියේ ය. හෙවත් මහත් සැඩබව ලකුණු කොට ඇත්තේ ය. දඬු මුගුරු ආදියෙන් පහර කෑ සර්‍පයකු මෙනි. කෘත්‍යය, අනිෂ්ටරූපයන් ඉපදවීම් වශයෙන් ශරීරයාගේ කම්පනය යි. සර්‍පවිෂ පැතිරීම මෙනි. හෘදයවස්තුව දැවීම හෝ කෘත්‍යය යි. ලැව්ගින්නක් මෙනි. පච්චුපට්ඨානය, තමන් හා අනුන් දූෂණය කිරීම යි. ලැබූ ඉඩපහසුකම ඇති සතුරකු මෙනි. පදට්ඨානය, ආඝාතවස්තු යි. විස හා මුසු වූ පූතිමුත්‍රය මෙනි. “චණ්ඩික්ක ලක්ඛණො දොසො පහටාසිවිසො විය, විසප්පනරසො විසනිපාතො විය, අත්තනොනිස්සයදහනරසො වා දාවග්ගි විය, දූසන පච්චුපට්ඨානො, ලද්ධොකාසො විය සපත්තො, ආඝාතවත්ථුපදට්ඨානො විසංසට්ඨපූතිමුත්තං විය”
‘ඉස්සායනා = ඉස්සා’ පරසම්පත්තිය නුරුස්නා බව ඉස්සා නම්. ඕ පහළ වන්නී අනුන් අයත් සම්පත් දැකීමෙන් හා අනුන් ගුණ ඇසීමෙන් ය. ඊර්‍ෂ්‍යාව සත්වයා සංසාර නැමැති රථයෙහි යොදවන්නා වූ සංයෝජනසඞ්ඛ්‍යාත වූ රැහැණක් බඳුය යි ද, යමකුගේ සිහි ඊර්‍ෂ්‍යා නැමැති ගිනිදැල දැල් වේ නම්, හෙතෙමේ බුද්ධාදි ආර්‍ය්‍යයන් විසින් විඳිනු ලබන සතුටක් නො ලබා යි ද කීහු.
ඊර්‍ෂ්‍යාව, අනුන් අයත් සම්පත් නො ඉවසීම ලකුණු කොට සිටියා ය. කෘත්‍යය, අනුන් අයත් සම්පත්තියෙහි නො ඇල්ම යි. පච්චුපට්ඨානය, පරසම්පත්තිය දකිනු නො හැකිව මුහුණ හකුළුවා ගැණීම හෝ ඉවත බැලීම යි. පදට්ඨානය, පරසම්පත්තිය යි. ‘පරසම්පත්තීනං උසූයනලක්ඛණා ඉස්සා, තත්‍ථෙව අනභිරතිරසා තතො විමුඛභාවපච්චුපට්ඨනා, පරසම්පත්තිපදට්ඨානා’
‘මච්ඡරති අත්තසම්පත්තිං නිගූහතීති = මච්ඡෙරො’ යමෙක් ස්වසම්පත්තිය සඟවා ද, හෙතෙමේ මච්ඡෙර නම්. එබන්දකුගේ ස්වභාවය හෙවත් මසුරා යි කීමට යම් ධර්‍මශක්තියක් උපකාර වේ ද, ඒ ධර්‍මශක්තිය මච්ඡරිය යි කියනු ලැබේ. ‘මච්ඡෙරස්ස = භාවො මච්ඡරියං, මා ඉදං අච්ඡරියං අඤ්ඤෙසං හොතු මමෙව හොතු’ මේ ඓශ්චර්‍ය්‍යය අන්‍යයන්ට නො වේවා, මට ම වේවා යි පැවැති ස්වභාවය හෝ චිත්තාධ්‍යාශය මච්ඡරිය යි දත යුතු ය. මෙය ආවාස කුල-ලාභ-වණ්ණ-ධම්ම’ යි පස් වැදෑරුම් ය.
මච්ඡරිය, ලැබූ ද එසේ ම ලැබිය යුතු වූ ද තම සම්පත්තිය ලකුණු කොට සිටියේ ය. කෘත්‍යය, තමා අයත් ඒ සම්පත්තිය මෙරමා හා සාධාරණබව නො ඉවසීම යි. පච්චුපට්ඨානය, මෙරමා හා සාධාරණ බව නො ඉවසීම නුරුස්නා ආකාරයෙන් සිත හැකිළීම යි. පදට්ඨානය, තමාගේ ආවාසාදී වූ සම්පත් සමූහය යි. ‘ලද්ධානං වා ලභිතබ්බානං වා අත්තනො සම්පත්තීනං නිගූහන ලක්ඛණං මච්ඡරියං, තාසංයෙව පරෙහි සාධාරණභාවඅක්ඛමනරසං, සංකොචනපච්චුපට්ඨානං, අත්තසම්පත්තිපදටඨානං’
‘කුච්ජිතං කතං = කුකතං’ රැස්කළ දුශ්චරිතය හා රැස් නො කළ සුචරිතයත් දෙකම පිළිකුල් කටයුතු බැවින් කුකත නම්. ඒ කුකතය අරමුණු කොට අපායගාමී වූ අකුසල් මා විසින් රැස් කරන ලදැ යි සිතීමෙහි දී හටගැණෙන විපිළිසර වූ චිත්තොත්පාදයත්, ස්වර්‍ගමෝක්‍ෂ දෙකට කරුණු වූ කුසල් මා විසින් නො කරණ ලදැ යි සිතීමෙහි දී නැගෙන විපිළිසර වූ චිත්තොත්පාදයත් යන චිත්තොත්පාද දෙක කුකත යි ගැණේ.. කුකත නම් වූ චිත්තොත්පාද දෙක්හි වූ ස්වභාවය කුක්කුච්ච නම්.
කුක්කුචය, කළ නො කළ විවිධ දුශ්චරිතසුචරිතයන් අනුව ශෝක කිරීම ලකුණු කොට සිටියේ ය. කෘත්‍යය, කළ නො කළ දුශ්වරිත සුචරිතයන් නැවැත නැවැත සිහිකරමින් ශෝක කිරීම යි. පච්චුපට්ඨානය, නැවැත නැවැත ශෝක කිරීමෙන් විපිළිසරවීම යි. පදට්ඨානය, කළ නො කළ දුශ්චරිත සුචරිතය යි. ‘පච්ඡානුතාපන ලක්ඛණං කුක්කුච්චං, කතාකතානුසොචනරසං, විප්පටිරිසාර පච්චුපට්ඨානං, කතාකතපදට්ඨානං’
අන්‍යයෝ යට කීසේ දත යුත්තාහ. මේ අටළොස් සංස්කාරයෝ දෝසමූලික වූ ප්‍රථම අකුශලවිඥානයෙහි යෙදෙති. එමෙන් දෙවන දෝසමූලිකඅකුශලවිඥානය හා ද සම්ප්‍රයෝගයට යෙති. මේ දෙවන සිතෙහි වන්නා වූ විශේෂය නම්, සසංස්කාරිකභාවය හා ඉස්සා-මච්ඡරිය-කුක්කුච්ච, යන නියතයන් කෙරෙහි ථීනමිද්ධයන්ගේ සම්භවයත් ය.
මෝහමූලික අකුශලවිඥාන දෙ දෙනා අතුරෙහි විචිකිච්ඡා සම්ප්‍රයුක්තඅකුශලවිඥානය සමග පළමු කොට ඵස්ස-චේතනා-විතක්ක-විචාර-විරිය-ජීවිත-චිත්තට්ඨිති-අහිරික-අනොත්තප්ප-මෝහ-විවිකිච්ඡා, යන ස්වරූපයෙන් ආවා වූ එකොළස ද, යෙවාපනක’ වශයෙන් ආ උද්ධච්ච-මනසිකාර දෙක ද යන තෙළෙස සම්ප්‍රයෝගයට යන්නේ ය. ‘තත්ථ චිත්තට්ඨීතීතිපවත්තිට්ඨිති මත්තො දුබ්බලො සමාධි’ යන මෙයින් එහි චිත්තට්ඨිති යි කියන ලද්දේ ප්‍රවෘත්තිස්ථිති මාත්‍ර වූ දුර්‍වල සමාධිය, යි කියන ලදී. චිත්තපරම්පරාවගේ නො සැලී සිටීමෙහි ලා උපකාරවීමට, මෙයට ශක්තියක් නැත. මේ වනාහි චිත්තයාගේ පැවැත්මට ප්‍රත්‍යය මාත්‍රයෙක් ම වේ. එහෙයිනි පවත්තිට්ඨිති’ යි කීයේ. දුර්‍වලසමාධිය යි කියේත් එහෙයිනි. මෙය මාර්‍ගාඞ්ගාදිභාවයට නො යයි. අධිමෝක්‍ෂය නැති බැවිනි.
විචිකිච්ඡාව සැකෙවින් යටැ කියන ලද ය. ඕ සැකකිරීම ලකුණු කොට සිටියා ය. ‘මේ වේ ද, මේ නො වේ ද, යනාදීන් සැකකිරීම් වශයෙන් හටගැන්ම හෝ ලක්‍ෂණ යි. කෘත්‍යය, අරමුණෙහි චිත්තයාගේ චංචලභාවය යි. සැලෙනගතිය යි. පච්චුපට්ඨානය, අරමුණෙහි එක් කෙළවරක් නො ගෙණ නොයෙක් ලෙසින් ගැණීම යි. පදට්ඨානය, අනුවණින් මෙනෙහි කිරීමයි. ‘සංසයලක්ඛණා විචිකිච්ඡා, කම්පනරසා, අනිච්ඡයනපච්චුපට්ඨානා, අනෙකසංගාහ පච්චුපට්ඨානා වා, අයොනිසොමනසිකාර පදට්ඨානා’
‘පටිපත්ති අන්තරායකරා එසා’ යි කියූ බැවින් විචිකිච්ඡාව ප්‍රතිපත්තීන්ට අන්තරායකරධර්‍මයෙකැ යි දතයුතු ය.
විචිකිච්ඡාසම්ප්‍රයුක්තචිත්තයෙහි කියූ ධර්‍මයන් අතුරෙහි විචිකිච්ඡාව හැර, අනික් දොළොස් සංස්කාරයෝ උද්ධච්චසම්ප්‍රයුක්ත චිත්තය හා සම්ප්‍රයෝගයට යෙති. මෙහි විෂේශය නම්, විචිකිච්ඡාව නැති බැවින් අධිමෝක්‍ෂයාගේ ලැබීම යි. ඒ හා ම තෙළෙස් සංස්කාර කෙනෙක් ම යෙදෙති. මෙහි අධිමෝක්‍ෂයාගේ ලැබීම කරණ කොට සමාධිය බලවත් වේ. උද්ධච්චසම්ප්‍රයුක්තචිත්තයෙහි උපදින උද්ධච්චය, රූප වශයෙන් ම මෙහි ආයේ ය. අධිමෝක්‍ෂ මනස්කාරයෝ ආවෝ යෙවාපනක වශයෙනි. අකුශලසංස්කාරයන්ගේ හැටි සැකෙවින් මෙසේ ය.
අව්‍යාකෘතසංස්කාරයන් අතුරෙහි පළමු කොට විපාක අව්‍යාකෘතයෝ අහේතුක-සහේතුක වශයෙන් දෙ වැදෑරුම් වෙති. එහි අහේතුක විපාක විඥානයන් හා සම්ප්‍රයුක්ත වූ සංස්කාරයෝ අහේතුකයහ. ඔවුන් අතුරෙහි ද කුශලාකුශල චක්‍ෂුර්විඥානයන් හා සම්ප්‍රයුක්තවූවෝ ඵස්ස-චේතනා-ජීවිත-චිත්තට්ඨිති යි ස්වරූපවශයෙන් ආවා වූ සතරදෙන හා යෙවාපනක වශයෙන් ආ මනසිකාර, යි පස්දෙනෙක් වෙති. සෝතවිඤ්ඤාණ-ඝාණවිඤ්ඤාණ-ජිවහාවිඤ්ඤාණ-කායවිඤ්ඤාණ යන මොවුන් හා සම්ප්‍රයෝගයට ගියෝ මෙකී පස් දෙන ම ය. එස්ස-චේතනා-ජීවිත-චිත්තට්ඨිති-මනසිකාර යන පසත් විතක්ක-විචාර-අධිමොක්ඛ යන තුනත් දෙවැදෑරුම් වූ කුශල විපාක - අකුශලවිපාකමනෝධාතු සඞ්ඛ්‍යාත සම්ප්‍රත්‍යෙෂණ චිත්තයන් හා සම්ප්‍රයුක්ත වෙත්, ඒ අට ම අහේතුක මනෝවිඤ්ඤාණ ධාතුසඞ්ඛ්‍යාතසන්තීරණ තුන හා ද යෙදේ. විශේෂය නම්, ඒ ත්‍රිවිධ මනෝවිඤ්ඤාණධාතූන් අතුරෙහි සෝමනස්සසහගත සන්තීරණ අහේතුකමනෝවිඤ්ඤාණධාතු චිත්තයෙහි ප්‍රීතිය අධිකවීම යි. එයින් අන්‍ය වූ සහේතුකවිපාකවිඤ්ඤාණය හා සම්ප්‍රයුක්ත වූ සංස්කාරයෝ සහේතුකසංස්කාරයෝ ම වෙති. ඔවුන් අතුරෙහි අට වැදෑරු වූ කාමාවචරවිපාකවිඤ්ඤාණයන් හා සම්ප්‍රයුක්ත වූ සංස්කාරයෝ, අට වැදෑරුම් වූ කාමාවචර කුසල-විඤ්ඤාණයන් හා සම්ප්‍රයුක්තවූ සංස්කාරයන් හා සමාන වෙති. විශේෂය නම්, අනියතයන් අතර වූ කරුණා-මුදිතා දෙක සත්වයන් ම අරමුණු කොට ඇති බැවින් විපාකචිත්තයෙහි ඔවුන් නො ලැබීම ය. කාමාවචර විපාකයෝ, ඒකාන්තයෙන් කාමාවචරාරම්මණික වෙති. කරුණා-මුදිතාවන් පමණක් නො ව විරතීහු ද කාමාවචර චිත්තයෙහි නො ලැබෙති.
රූපාවචර-අරූපාවචර-ලොකුත්තර විපාකවිඤ්ඤාණයන් හා සම්ප්‍රයුක්ත වූ සංස්කාරයෝ, ඒ රූපාවචරාදිවිපාකවිඤ්ඤාණයන්ගේ කුසලවිඤ්ඤාණයන් හා යෙදී සිටින සංස්කාර හා සමාන වෙති. ක්‍රියා අව්‍යාකෘතසංස්කාරයෝ ද, අහේතුක-සහේතුක භේදයෙන් දෙවැදෑරුම් ය. ඔවුන් අතුරෙහි අහේතුකක්‍රියා විඤ්ඤාණයන් හා සම්ප්‍රයුක්ත වූ සංස්කාරයෝ අහේතුක වෙති. ඒ අහේතුකක්‍රියාවිඤ්ඤාණයන් හා හා යෙදුනු සංස්කාරයෝ, කුසලවිපාක මනෝධාතු-අහේතුකමනෝවිඤ්ඤාණ ධාතු දෙක හා යෙදෙන සංස්කාර හා සමාන වෙති. ක්‍රියා සංස්කාරයන් අතර අහේතුක ක්‍රියාමනෝධාතුව හා සම්ප්‍රයුක්ත වු සංස්කාරයෝ කුසලවිපාක මනෝධාතුව හා යෙදුනු සංස්කාර හා සමාන වෙති. හසිතුප්පාද මනෝවිඤ්ඤාණධාතුව හා සම්ප්‍රයුක්ත වූ සංස්කාරයෝ, සෝමනස්සසහගතසන්තීරණවිඤ්ඤාණය හා යෙදෙන සංස්කාරයන් හා සමානයහ. වොත්ථපනචිත්තයෙහි යෙදෙන සංස්කාර, උපෙක්ඛා සහගතසන්තීරණචිත්තයෙහි යෙදුනවුන් හා සමාන ය. මනෝ විඤ්ඤාණධාතුයුගලයෙහි වීර්‍ය්‍යය අධික වේ. වීර්‍ය්‍යස්වභාවය ප්‍රකට හෙයින් බලප්‍රාප්ත වූ සමාධිය වන්නේ ය. මේ මෙහි වෙනස යි.
සහේතුක ක්‍රියාවිඤ්ඤාණයන්හි වූ සංස්කාර, සහේතුක නම් වේ. කාමාවචරක්‍රියාවිඤ්ඤාණ අට හා යෙදුනු සංස්කාර, විරති තුන හැර, කාමාවචරකුසලවිඤ්ඤාණ අටෙහි වූ සංස්කාර හා සමාන ය. මෙහි විරතීන් හැරය යි කීයේ සමුච්ඡේදවිරති තුන හේතු කොට රහතුන් වහන්සේට විරමණය සිද්ධවන හෙයින් ක්‍රියා සිත්හි විරතීන් නො ලැබෙන බැවිනි. නවවැදෑරුම් රූපාවචර-අරූපාවචරක්‍රියා සිත්හි යෙදෙන සංස්කාරධර්‍ම, ආරම්මණප්‍රවෘත්ති ආකාරයෙන් ඔවුන්ගේ කුසලවිඤ්ඤාණයන්හි යෙදුනු සංස්කාර සමාන වේ. අව්‍යකෘතසංස්කාරැයි සැකෙවින් මේ කීයේ.
‘විජානාතීති ඛො භික්ඛවෙ! තසමා විඤ්ඤාණන්ති වුච්චති කිං ච විජානාති -පෙ- අලොකිතම්පි විජානාති, විජානාතීති ඛො භික්ඛවෙ! තස්මා විඤ්ඤාණන්ති වුච්චති’ යනු දේශනා යි. අරමුණු වෙසෙසින් හඳුනා ද, දැන ගණී ද ඒ අරමුණු හඳුනාගන්නා ශක්තිය විඤ්ඤාණ යි කියනු ලැබේ. අරමුණු ගැණීමෙහි පොහොසත් වූ ධර්‍මශක්තිය, වෙසෙසින් ඉතා හොඳින් අරමුණු දැනීම කෙරේ ය යන අර්‍ත්‍ථයෙන් විඤ්ඤාණ නම් වේ. විඤ්ඤාණං-චිත්තං-මනො යන පදත්‍රය අර්‍ත්‍ථවශයෙන් එකාර්‍ත්‍ථ ඇත්තේ ය. එහෙත් ව්‍යඤ්ජනනානාත්වය මෙන් අර්‍ත්‍ථනානාත්වයෙක් එහි නැත්තේ ද නො වේ.
අරමුණු දැන ගන්නා ලක්‍ෂණයෙන් එක් වැදෑරුම් වූ විඤ්ඤාණය ජාතිවශයෙන්, කුසල-අකුසල-අව්‍යාකත වශයෙන් තෙවැදෑරුම් ය. එහි කුශලාර්‍ත්‍ථයෙන් සමාන වූ ධර්‍මකොට්ඨාසය, කුසලජාති නම් වේ. සෙසු ජාති දෙකත් මෙසේ ය.
කුශලශබ්දය, ආරෝග්‍ය - අනවද්‍ය - ඡෙක - සුඛවිපාක යන අර්‍ත්‍ථසතරෙහි වැටේ. ‘කච්චිනු භොතො කුසලං කච්චිනු භොතො අනාමයං’ යනාදි තන්හි ආරොග්‍යාර්‍ත්‍ථයෙහි ආයේය. ‘කතමො පන භන්තෙ! කායසමාචාරො කුසලො සො ඛො මහාරජ! කායසමාචාරො අනවජ්ජොති ච, පුනචපරං භන්තෙ! එතදනුත්තරියං යථා භගවා ධම්මං දෙසෙති කුසලෙසු ධම්මෙසු’ යනාදි තන්හි අනවද්‍යාර්‍ත්‍ථයෙහි වැටේ. ‘කුසලො ත්‍වං රථස්ස අඞ්ග පච්චඞ්ගානං, කුසලා නච්චගීතස්ස, සික්ඛිතා චාතුරිත්ථියෝ’ යනාදි තන්හි ආයේ දක්‍ෂාර්‍ත්‍ථයෙහි ය. සුඛවිපාකාර්‍ත්‍ථයෙහි ආයේ ‘කුසලානං භික්ඛවෙ! සමාදානහෙතු කුසලස්ස කම්මස්ස කතත්තා උපවිතත්තා’ යනාදි තන්හි ය. මෙහිලා ආරෝග්‍ය - අනවද්‍ය - සුඛවිපාක යන අර්‍ත්‍ථ තුනෙහි කැමතිවනු ලැබේ.
‘කුචඡිතෙ පාපකෙ ධම්මෙ සලයන්ති චලයන්ති කම්පෙන්ති විද්ධංසෙන්තීති = කුසලා, කුච්ඡිතෙන වා ආකාරෙන සයන්තීති = කුසා, තෙ අකුසලසඞ්ඛාතෙ කුසෙ ලුනන්ති ඡින්‍දන්තීති = කුසලා, කුච්ඡිතානං වා සානතො තනු කරණතො ඔසාන කරණතො ඤාණං කුසං නාම, තෙන කුසෙන ලාතබ්බාති = කුසලා, යථා වා කුසා උභයභාගගතං කිලෙස පක්ඛං ලුනන්ති තස්මා කුසා විය ලුනනති ති = කුසලා”
ශ්‍රද්ධාවෙන් අශ්‍රද්ධාවත් අමෝහයෙන් මෝහයත් යනාදි පිළිවෙළින් තදඞ්ගප්‍රහාණයෙන් අකුශලචෛතසිකධර්‍මයන් පහකරණ හෙයින්, නින්දිතලෙසින් සිත්සතන්හි හෝනා අරුතින් රාගාදිපාපධර්‍ම, කුස යි කියනු ලැබේ. ඒ කුස නම් වූ පාපධර්‍මයන් ශ්‍රද්ධාප්‍රඥාදි ගුණධර්‍මයන් විසින් සිඳලන හෙයින්, රාගාදි පාපධර්‍මයන් තුනී කරන හෙයින් ඤාණය කුස යි කියනු ලැබේ, ඒ කුසසඞ්ඛ්‍යාත ඤාණයෙන් ඔවුන් සිඳ අවසන් කරණ හෙයින්, අතට ගත් කුසතණපතින්, අත් දෙ පැත්ත කැපී යන්නාක් මෙන් ශ්‍රද්ධාදි කුශලධර්‍මයන් විසින් උපන්නා වූ ද, උපදින්නා වූ ද සියලු කෙලෙසුන් සිඳලන හෙයින් මෙකී චිත්තජාතිය කුසල නම් වේ.
තවද මේ චිත්තශක්තිය කායවාක්ආදිදුශ්චරිතයන් නසයි. ද්වෙශාදිපාපධර්‍මයන් සිඳලයි. ප්‍රාණඝාතාදිපාපයන් වනසයි.
කු, යි නාමරූපපරම්පරාවට නමෙකි. රාගාදිකෙලෙසුන්ගේ පැවැත්මට ආධාරවන හෙයිනි. එහෙයින් රාගාදී වූ කෙලෙසුන් කුස යි කියති. ඒ ආධාර කොට පවත්නා බැවිනි. ආධාරාධෙය වශයෙන් පවත්නා නාමරූපධර්‍ම හා රාගාදීක්ලේශධර්‍ම සිඳලන මේ චින්තකොට්ඨාසය කුසල යි කියනු ලැබේ.
ආරෝග්‍ය-අනවද්‍ය -සුඛවිපාකාර්‍ත්‍ථයනට ප්‍රතිපක්‍ෂ වූ පටහැනි ව සිටියා වූ ධර්‍ම සමූහය අකුසල නම් වේ.
කුසලභාවයෙන් හෝ අකුසලභාවයෙන් නො වදාළ සමූහය අව්‍යාකත නම් වේ. ඒ මේ අව්‍යාකතයෝ අවිපාකස්වභාවය ලක්‍ෂණ කොට සිටියෝ ය. විපාක උපදවන්නෝ, කුශලාකුශලයෝමය. අව්‍යාකතයෝ විපාක නො උපදවති.
මොවුන් අතුරෙහි කුශලය තෙමේ, කාමාවචර - රූපාවචර - අරූපාවචර - ලොකුත්තර යි භූමිභේදයෙන් සිවු වැදෑරුම් ය. යම්කිසි තැනෙක් යම්කිසි ධර්‍මයක්හුගේ හට ගැණීමට සථාන වේ නම්, ඒ ස්ථානය ඒ ධර්‍මයට භූමි වේ. එය ස්ථානවශයෙන් හා අවස්ථාවශයෙන් ලැබේ. ලෝකෝත්තරධර්‍ම හටගන්නා භූමියක් නැත. ලෝකෝත්තරධර්‍ම යම් අවස්ථාවෙක හට ගණී නම්, ඒ අවස්ථාව ලෝකෝත්තරධර්‍මයන්ගේ භූමිය යි. කාම - රූප - අරූපයන්ට ස්ථානවශයෙන් හා අවස්ථා වශයෙන් භූමිසම්භවය වේ.
අස්සක් මුල්ලක් නො හැර කාමවස්තූන්ගෙන් පිරී සිටි වස්තු කාම ක්ලේශකාමයන්ගෙන් නො තොර වූ ස්ථාන, කාම භූමි නම් වේ. ගණනින් ඒ එකොළොසෙකි. එහි ගැලෙන හැසිරෙන සිත් කොටස කාමාවචර නම් වේ. රූපතෘෂ්ණාවන්ගේ පැවැත්මට ස්ථාන වූයේ රූපභූමි නම් වේ. ගණනින් ඒ සොළොසෙකි. එහි හැසිරෙන ගැලෙන සිත් කොටස රූපාවචර නම් වේ. අරූපරාගයට ස්ථාන වූයේ අරූපභූමි නම් වේ. ගණනින් සතරෙකි. එහි හැසිරෙන සිත් කොටස අරූපාවචර නම් වේ. උපාදානස්කන්ධයෙන් නැගී සිටි සතරමගපලසිත් ලෝකෝත්තර නම් වේ.
එහි ඔවුන් අතුරෙහි කාමාවචරකුසලය තෙමේ, සොමනස්ස-උපෙක්ඛා-ඤාණ-සඞ්ඛාර භේදයෙන් අට වැදෑරුම් ය.
රූපාවචරකුසලය තෙමේ, විතක්ක-විචාර-පීති-සුඛ-එකග්ගතා යන ධ්‍යානාඞ්ගභේදයෙන් පස් වැදෑරුම් ය. එහි පළමු සිතෙහි පසෙක, දෙවැන්නෙහි සතරෙක, තෙවැන්නෙහි තුනෙක, සිවුවැන්නෙහි දෙ කෙක, පස්වැන්නෙහි දෙකෙකැයි මෙසේ ධ්‍යානාඞ්ගයන්ගේ ලැබීම වේ.
අරූපාවචරකුසලය තෙමේ, කිසුණුඉගුළුඅහසය, ඒ අහසෙහි පැවැති විඤ්ඤාණ ය, ඒ විඤ්ඤාණයාගේ අභාව ය, තුන්වන ආරුප්පවිඤ්ඤාණ ය යන ආරම්මණයන්ගේ සමතික්‍රමණයෙන් සිවු වැදැරුම් ය.
ෂට්විශුද්ධීන්ගේ පරම්පරාවශයෙන් පැමිණිය යුතු වූ ලෝකෝත්තරකුශලය තෙමේ චතුර්විධමාර්‍ගයන්ගේ වශයෙන් සිවු වැදෑරුම් ය. විස්තර චිත්තවර්‍ගයෙහි කියන ලද ය. මෙසේ කුසලවිඤ්ඤාණය එක් විසිවැදෑරුම් වේ.
අකුසලය තෙමේ, භූමිවශයෙන් කාමාවචරය. ලොභ-දොස-මොහ මූලයන්ගේ වශයෙන් තෙවැදෑරුම් ය. ලෝභය මුල් කොට උපන්නා වූ සිත සොමනස්ස-උපෙක්ඛා-දිට්ඨිගත-සංඛාර භේදයෙන් අටවැදෑරුම් ය. දෝසය මුල් කොට උපදනා සිත දොමනස්ස-පටිඝ-අසඞ්ඛාර-සසඞ්ඛාර භේදයෙන් දෙ වැදෑරුම් ය. මෝහය මුල් කොට උපදනා සිත උපෙක්ඛා-විචිකිච්ඡා-උද්ධච්ච භේදයෙන් තෙවැදෑරුම් ය. දොමනස්සාදිපද සමග සහගත-සම්පයුත්ත ශබ්දයන් සුදුසු සේ යොදා අරුත් ගත යුතු ය. මෙසේ අකුසල විඤ්ඤාණය දොළොස්වැදෑරුම් ය. විස්තර චිත්තවර්‍ගයෙහි ආයේ ය.
අව්‍යාකෘතය තෙමේ, විපාක-ක්‍රියා යි ජාතිභේදයෙන් දෙවැදැරුම් ය. විපාකය තෙමේ කාමාවචර-රූපාවචර-අරූපාවචර-ලෝකෝත්තර, යි භූමි භේදයෙන් සිවු වැදෑරුම් ය. නැවැත කාමාවචරය, කුසලවිපාක-අකුසලවිපාක වශයෙන් දෙපරිදි ය. එහි ද කුසලවිපාකය, අහේතුක-සහේතුක වශයෙන් දෙවැදැරුම් ය. එහි අලෝභාදිවිපාක හේතූන්ගෙන් තොර වූ කුසලවිපාකවිඤ්ඤාණය තෙමේ, අහේතුක ය. එය චක්ඛු-සෝත-ඝාණ-ජිව්හා-කාය විඤ්ඤාණ පස, සම්ප්‍රත්‍යෙෂණ කෘත්‍යය ඇති මනෝධාතු, සන්තීරණාදි කෘත්‍යය ඇති උපෙක්ඛා සහගත මනෝවිඤ්ඤාණධාතු, සෝමනස්සහගත මනෝවිඤ්ඤාණධාතු යන තුන හා එකතු ව අටෙක් වේ.
චක්ඛුවිඤ්ඤාණය, චක්ඛුප්පසාදය ඇසුරු කොට රූප හැඳින ගැණීම ලකුණු කොට සිටියේ ය. කෘත්‍යය, රූපාලම්බනමාත්‍රයක් අරමුණු කොට ගැණීම යි. පච්චුපට්ඨානය, රූපයට අභිමුඛවීම යි. පදට්ඨානය, රූපය අරමුණු කොට ඇති ක්‍රියාමනෝධාතුචිත්තයාගේ පහවීම යි. ‘චක්ඛුසන්නිස්සිතරූපවිජානනලක්ඛණං චක්ඛුවිඤ්ඤාණං, රූපමත්තාරම්මණරසං, රූපාභිමුඛභාවපච්චුපට්ඨානං, රූපාරම්මණාය ක්‍රියාමනොධාතුයා අපගමපදට්ඨානං’
සෝතවිඤ්ඤාණ - ඝාණවිඤ්ඤාණ - ජිව්හාවිඤ්ඤාණ - කායවිඤ්ඤාණ යන මොවුහු, ඒ ඒ ප්‍රසාද රූපයන් ඇසුරු කොට ශබ්දාලම්බනාදිය දැන ගැණීම ලකුණු කොට ඇත්තාහ. තමතමන්ට ගොදුරු වන ශබ්දාලම්බනාදිය පමණක් ගැණීම කෘත්‍යය කොට සිටියෝ ය. ශබදාලම්බනාදියට අභිමුඛවීම පච්චුපට්ඨාන යි. ශබදාදිය අරමුණු කොට ඇති ක්‍රියාමනෝධාතු චිත්තයන්ගේ පහවීම පදට්ඨාන යි. ‘සද්දාදිවිජානනලක්ඛණානි සොත ඝාණ ජිව්හා කායවිඤ්ඤාණානි, සද්දාදිමත්තාරම්මණරසානි, සද්දාදිඅභිමුඛභාවපච්චුපට්ඨානානි, සද්දාදිආරම්මණාදීනං ක්‍රියාමනො ධාතූනං අපගමපදටඨානානි’
ක්‍රියාමනෝධාතුචිත්තය, චක්‍ෂුර්විඥානාදියට අනතුරුව රූපාදි අරමුණු හැඳිනීම ලකුණු කොට ඇත්තේය. කෘත්‍යය, රූපාදි අරමුණු පිළිගැණීම යි. පච්චුපට්ඨානය, රූපාදි අරමුණු පිළිගන්නා ස්වභාවයෙන් නුවණට අභිමුඛව වැටහීම යි. පදට්ඨානය, චක්‍ෂුර්විඥානාදීන්ගේ පහවීම යි. ‘රූපාදිවිජානනලක්ඛණා මනොධාතු රූපාදිසම්පටිච්ඡනරසා, තථාභාවපච්චුපට්ඨානා, චක්ඛුවිඤ්ඤාණාදි අපගමපදට්ඨානා”
අහේතුකවිපාක වූ ෂඩාලම්බනයන් හැඳිනීම ලකුණුකොට ඇති දෙවැදෑරුම් වූ සන්තීරණාදි කෘත්‍යය ඇති මනෝවිඤ්ඤාණ ධාතු තොමෝ, අරමුණු තීරණය කිරීමාදිය කෘත්‍යය කොට ඇත්තී, තථාභාවය පච්වුපට්ඨානය කොට සිටියා. හෘදයවස්තුව පදට්ඨානය කොට ඇත්තීය. සෝමනස්ස-උපෙක්ඛා යෝගයෙන් හා ද්විට්ඨාන පංචට්ඨාන භේදයෙන් ද මෙහි භේදය වේ. මේ දෙදෙනා අතරෙහි එක් සිතෙක් එකාන්ත ඉෂ්ටාලම්බනයෙහි පවත්නා බැවින් සෝමනස්ස වේදනායෙන් යුක්ත ව සන්තීරණ-තදාරම්මණ වශයෙන් පංචද්වාරයෙහි හා ජවනාවසානයෙහි ද පවත්නා බැවින් ස්ථාන දෙකක් ඇත්තේ වේ. අනික් සිත ඉෂ්ටමද්ධ්‍යස්ථාලම්බනයෙහි පවත්නා බැවින් උපෙක්ඛාවේදනාවෙන් යුක්ත ව සන්තීරණ-තදාරම්මණ-පටිසන්ධි-භවඞ්ග-චුති වශයෙන් ස්ථාන පසක් ඇත්තේ වේ.
අට වැදෑරුම් වූ මේ අහේතුක විපාකවිඤ්ඤාණය තෙමේ, නියතාරම්මණ-අනියතාරම්මණ වශයෙන් දෙ පරිදි වේ. උපෙක්ඛා-සුඛ-සෝමනස්ස වේදනාවන්ගේ වශයෙන් තෙ පරිදි වේ. චක්‍ෂුරාදි චිඥානපඤ්චකය, නියතාරම්මණික ය. වක්‍ෂුර්විඥානය රූපයත්, ශ්‍රොත්‍රවිඥානය ශබ්දයත්, ඝ්‍රාණවිඥානය ගන්ධයත්, ජිව්හා විඥානය රසයත්, කායවිඥානය ස්පර්‍ශයත් අරමුණු කරගන්නා බැවිනි. අනික් සිත් තුන අනියතාරම්මණික ය. මනෝධාතුචිත්තය පස්වැදෑරුම් වන රූපාදී වූ අරමුණුවල පවත්නේ ය. මනෝවිඥානධාතු දෙදෙන රූපාදි ෂඩාලම්බනයෙහි පවත්නාහ. මෙහි කායවිඥානය සුඛවේදනාව හා යෙදුනේ ය. ස්ථාන දෙකක් ඇති මනෝවිඥානධාතු තොමෝ සෝමනස්සවේදනාව හා යෙදුනී ය. අනික් සියල්ල උපෙක්ඛාවේදනාවෙන් යුක්ත ය. කුසලවිපාකඅහේතුක අට සැකෙවින් මෙසේ ය. විස්තර අනික් පොතපතින් දතයුතු ය.
අලෝභාදීවිපාකහේතූන් හා යෙදුනේ සහේතුක ය. එය කාමාවචරකුසලචිත්තය මෙන් සෝමනස්ස - උපෙක්ඛවේදනා යෝගයෙන් හා ඤාණසම්පයුත්ත - ඤාණවිප්පයුත්ත - අසඞ්ඛාරික - සසඞ්ඛාරිකයෝගයෙන් අට වැදෑරුම් වේ. මෙහි ඥානසම්ප්‍රයුක්ත විපාක සතර, අලෝභ - අදෝස - අමෝහ යන හේතු තුනකින් ද යුක්ත වන බැවින් සහේතුක යි ද කියත්. මේ වනාහි කාමාවචර භාවයෙනි හීනප්‍රණීතාදී වශයෙන්, ඉපදීම් වශයෙන් මහා කුසලයන්ට සමාන වූයේ ද, ධර්‍මවශයෙන්, අරමුණුවශයෙන්, පවත්නා අයුරෙන් මහා කුසලයන්ට සමාන නො වේ. මහාකුසලය, දන්දීම් ආදි වශයෙන් ස වැදෑරුම් අරමුණුවල පවත්නාක් මෙන් මේ විපාක අටදෙන කාය විඤ්ඤත්තිය නො උපදවන බැවින් එසේ නො පවතිත්. එහෙත් ඔවුහු පටිසන්ධි - භවඞ්ග - චුති - තදාරම්මණ වශයෙන් කාමාවචර ධර්‍මයන්ට ඇතුළත් වූ සවැදෑරුම් අරමුණුවල පවතිත්, මොවුන්ගේ අසංඛාරික - සසඞ්ඛාරිකභාවය ආගමනාදීවශයෙන් දත යුතු ය. සම්ප්‍රයුක්තධර්‍මයන්ගේ විශේෂයක් නැති කල්හි කැටපත් ආදියෙහි පෙණෙන මුඛනිමිත්ත මෙන් විපාකය උත්සාහරහිත ය. කුසලය, මුඛය මෙන් උත්සාහසහිත ය.
අකුසලවිපාකය තෙමේ, අහේතුකම ය. කුසලවිපාකහේතු යි කියූ අලෝභාදීධර්‍මයන් අකුසලවිපාකයන්ට ප්‍රතිපක්‍ෂබැවින් සහේතුක වූ අකුසලවිපාක කෙනෙක් නො ලැබෙති. චක්ඛු-සෝත ඝාණ-ජීවහා-කාය යි කියූ විඥාන පස ය, අරමුණු පිළිගන්නා කෘත්‍යය ඇති බැවින් සම්පටිච්ඡන යි කියූ මනෝධාතුය, අරමුණු තීරණය කරණ බැවින් සන්තීරණ යි කියූ මනෝවිඤ්ඤාණධාතුය, යි ඒ සත් වැදෑරුම් වේ. එය ලක්‍ෂණාදි වශයෙන් කුසලවිපාකාහේතුයෙහි කී පරිදි යි.
හුදෙක් කුසලවිපාකයෝ ඉෂ්ටඉෂ්ටමද්ධ්‍යස්ථාලම්බන ඇත්තෝ ය. අකුසලවිපාකයෝ අනිෂ්ටඅනිෂ්ටමද්ධ්‍යස්ථාලම්බන ඇත්තෝ ය. ඔවුහු උපෙක්ඛා - සුඛ - සෝමනස්සභේදයෙන් තෙපරිදි වෙති. මොවුහු දුක්ඛ - උපෙක්ඛාවශයෙන් දෙපරිදි ය. කායවිඥානය දුඃඛ සහගත ය. සෙස්සෝ උපෙක්ඛාසහගතයහ. ඔවුනතුරෙහි උපෙක්ඛාවේදනා තොමෝ හීන ය. දුක්ඛවේදනා මෙන් ඉතා තියුණු නො වේ. මෙසේ කාමාවචරවිපාකවිඤ්ඤාණය සත් වැදෑරුම් වූ අකුසලවිපාකයන්ගේ ද යට කියූ සොළොස් වැදෑරුම් වූ කුසල විපාකයන්ගේ ද වශයෙන් තෙවිසි වැදෑරුම් වේ.
රූපාවචරවිපාකවිඤ්ඤාණය, කුසලය මෙන් පස්වැදෑරුම් ය. කාමාවචරකුසලය වනාහි සමාපත්තිවශයෙන් ජවනවීථියෙහි පවතී. විපාකවිඤ්ඤාණය, උපපත්තිභූමියෙහි පටිසන්ධි - භවඞ්ග - චුති වශයෙන් පවතී.
අරූපාවචරවිපාකවිඤ්ඤාණය, කුසලය මෙන් සිවුවැදෑරුම් ය. ප්‍රවෘත්තිභේදය, රූපාවචරයෙහි කී පරිදි යි. කුසලය, සමාපත්තිවීථියෙහි ජවන්වශයෙන් ද, විපාකය, පටිසන්ධි-භවඞ්ග-චුතිවශයෙන් ද පවතී.
ලෝකෝත්තරවිපාකය වනාහි, සිවුවැදෑරුම් වූ මාර්‍ගසම්ප්‍රයුක්ත චිත්තයන්ගේ ඵලය බැවින් ඒ විසින් සිවුවැදෑරුම් වේ. ඵලය මාර්‍ග වීථි විසින් ද, සමාපත්තිවීථි විසින් දැ යි දෙපරිද්දකින් පවතී.
මෙසේ සියලු විපාකවිඤ්ඤාණ, තෙවිසිවැදෑරුම් වූ කාමාවචර විපාකවිඤ්ඤාණයන්ගේ වශයෙන් ද, පස්වැදෑරුම් වු රූපාවචර විපාකවිඤ්ඤාණයන්ගේ වශයෙන් ද, සිවුවැදෑරුම් වු අරූපාවචර විපාකවිඤ්ඤාණයන්ගේ වශයෙන් ද, සිවුවැදෑරුම් වූ ලෝකෝත්තර විපාකවිඤ්ඤාණයන්ගේ වශයෙන්දැ යි සතිස්වැදෑරුම් වේ.
ක්‍රියාවිඤ්ඤාණ, කාමාවචර-රූපාවචර-අරූපාවචරභූමිභේදයෙන් තෙපරිදි ය. නැවැත එහි කාමාවචරය, සහේතුක-අහේතුක භේදයෙන් දෙපරිදි වේ. අලෝභාදික්‍රියාහේතුවිරහිතවූයේ අහේතුක ය. එය, මනෝධාතු-මනෝවිඤ්ඤාණධාතු භේදයෙන් දෙවැදෑරුම් වේ. මනෝධාතුව, චක්‍ෂුර්විඥානාදීන්ගේ පෙරමුණෙහි හැසිරෙමින්, රූපාදී වූ අරමුණු හැඳින ගැණීම ලකුණු කොට සිටියා ය. කෘත්‍යය, චිත්තපරම්පරාව අරමුණුවලට නැගීම ය. පච්චුපට්ඨානය, රූපාදී වූ අරමුණුවල අභිමුඛවීම ය. පදට්ඨානය, භවඞ්ග සන්තතිය සිඳීම ය. ‘චක්ඛුවිඤ්ඤාණාදි පුරෙචරරූපාදිවිජානනලක්ඛණා මනොධාතු, ආවජ්ජනරසා, රූපාදිඅභිමුඛභාවපච්චුපටඨානා, භවඞ්ගවිච්ඡෙදපදට්ඨානා’ ඕතොමෝ, සියලු අරමුණෙහි උපෙක්ඛා. සහගතම ය.
ක්‍රියාමනෝවිඤ්ඤාණධාතු තොමෝ, සාධාරණ-අසාධාරණ විසින් දෙපරිදි ය. සෙඛ-අසෙඛ-පුථුජ්ජන සියල්ලන්ට උපදනී සාධාරණ ය. හසිතෝත්පාදක්‍රියාචිත්තය, රහතුන් වහන්සේට ලැබෙන්නක් බැවින් ඒ අසාධාරණ ය. සාධාරණ වූ උපෙක්ඛාසහගත අහේතුක ක්‍රියාවිඤ්ඤාණය, සවැදෑරුම් අරමුණු හැඳිනීම ලකුණුකොට සිටියා ය. කෘත්‍යය වශයෙන්, පංචද්වාර මනෝද්වාරයන්හි ව්‍යවස්ථාපිත ආවර්‍ජනකෘත්‍යය ඇත්තේ ය. තථාභාවය පච්චුපට්ඨාන යි. අහේතුක විපාකමනෝවිඤ්ඤාණධාතූන්ගේ ද, යම්කිසි භවාඞ්ගයක්හුගේ ද යන අන්‍යතරයක්හුගේ පහවීම පදට්ඨාන යි. “සාධාරණඋපෙක්ඛා සහගතාහෙතුකකිරියාසළාරම්මණවිජානනලක්ඛණා, කිච්චවසෙන පඤ්චද්වාරමනොද්වාරෙසු වොත්ථපනාවජ්ජනරසා, තථාභාවපච්වුපට්ඨානා අහෙතුකවිපාකමනොවිඤ්ඤාණධාතු භවඞ්ගානං අඤ්ඤතරාපගමපදටඨානා”
හසිතෝත්පාද නම් වූ අසාධාරණසෝමනස්සසහගතාහේතුකක්‍රියාචිත්ත ය, සවැදෑරුම් වූ අරමුණු හැඳිනීම ලකුණු කොට සිටියේ ය. කෘත්‍යය වන්නේ, අට්ඨිසංඛලිකප්‍රේතරූපාදි වස්තුන් කෙරෙහි රහතුන් වහන්සේගේ සිනා පහළකිරීම යි. තථාභාවය පච්චුපට්ඨාන යි. හදයවත්ථු පදට්ඨාන යි. ‘අසාධාරණසොමනස්සසහගතාහෙතුකක්‍රියාසළාරම්මණවිජානනලක්ඛණා, කිච්චවසෙන අරහතං අනුළාරෙසු වත්ථුසු හසිතුප්පාදනරසා, තථාභාවපච්චුපට්ඨානා, එකන්තතො හදයවත්ථුපදට්ඨානා’ කාමාවචරඅහේතුකක්‍රියාචිත්තය මෙසේ තුන් වැදෑරුම් ය.
සහේතුකකාමාවචරක්‍රියාචිත්තය ද, අටවැදෑරුම් වූ කුසලචිත්තය මෙන් සොමනස්සාදිභේදයෙන් අටවැදෑරුම් ය. වෙනස වන්නේ, හුදෙක් කුසලචිත්තය සෙඛයන්ට හා පුථුජ්ජනයටත්, ක්‍රියාචිත්තය, රහතුන්. වහන්සේටත් ඉපදීම ය. මෙසේ සහේතුක. වශයෙන් භේද වූ කාමාවචරක්‍රියා එකොළොසෙක් වේ. රූපාවචර අරූපාවචරක්‍රියා, ඒ කුසල්සිත් සේ පස්වැදෑරුම් ද, සිවුවැදෑරුම් ද වේ. මේ කුසල-ක්‍රියා දෙ කොටසෙහි වෙනස වන්නේ, සෙඛ පුථුජ්ජනයන්ට ඉපදීමෙන් විපාක දීමෙහි පොහොසත්බව හා රහතුන් වහන්සේට එසේ නො වන බවත් ය. මෙසේ තුන් බිම්හි සියලු ක්‍රියාවිඥානය විසි වැදෑරුම් වේ.
පටිසන්ධි-භවඞ්ග-ආවජ්ජන-දස්සන-සවන-ඝායණ-සායන-ඵුසන-සම්පටිච්ඡන-සන්තීරණ-වොත්ථපන-ජවන-තදාරම්මණ, චුතිවශයෙන් තුදුස් අයුරකින් පවත්නා වූ විඤ්ඤාණයෝ, එක්විසි කුසලවිඤ්ඤාණය-දොළොස් අකුසලවිඤ්ඤාණය-සතිස් විපාකවිඤ්ඤාණය-විසිවැදෑරුම් වූ ක්‍රියාවිඤ්ඤාණය යි එකුන්අනූවෙක් වෙති. මෙකී විඤ්ඤාණයන් ප්‍රතිසන්ධි ආදී වූ ඒ ඒ කෘත්‍යයන්හි පවත්නා සැටි විසුද්ධිමග්ගාදියෙන් දත යුතු ය. පොත දිග්ගැසෙන බැවින් ඒ මෙහි නො ආයේ ය.
අතීත-අනාගත-ප්‍රත්‍යුත්පන්න-අද්ධ්‍යාත්ම-බාහ්‍ය-ඖදාරික-සූක්‍ෂම-හීන-ප්‍රණීත-දූර-සත්තික යන අවකාශ එකොළොසෙහි ලා බෙදී ගියා වූ රූපරාශිය පිඬු කොට රූපසකන්ධය යි ද, එහි ම වූ වේදනා රාශිය වේදනාස්කන්ධය යි ද, සංඥාරාශිය සංඥා ස්කන්ධය යි ද, චේතනා රාශිය සංස්කාරස්කන්ධය යි ද කියනු ලැබේ.
සකලචතුසමුට්ඨානිකරූපය, රුපස්කන්ධය යි ද, අටවැදෑරුම් වූ කාමාවචර කුසල්සිත් මුල් කොට ඇති එකුන් අනූවක් සමග එක් ව උපන්නා වූ වේදනාව, වේදනාස්කන්ධය යි ද, සංඥාව, සංඥාස්කන්ධය යි ද, ඵස්සාදීහු, සංස්කාරස්කන්ධය යි ද, එකුන් අනුවක් සිත්, විඥාන ස්කන්ධය යි ද, තවත් ක්‍රමයකින් මෙය දැක්විය හැකි ය.
ඛන්ධශබ්දය වනාහි, නොයෙක් අර්‍ත්‍ථයන්හි වැටෙන්නෙකි. ‘සෙය්‍යථාපි භික්ඛවෙ! මහාසමුද්දෙ -පෙ- මහාඋදකක්ඛන්‍ධො ත්‍වෙව සංඛං ගච්ඡති’ යනාදියෙහි ආයේ රාශ්‍යර්‍ත්‍ථයෙහි ය. ‘ගවක්ඛන්‍ධො බලක්ඛන්‍ධො පුඤ්ඤක්ඛන්‍ධො’ යනාදියෙහි ගුණයෙහි වැටේ. ‘අදදසා ඛො භගවා මහන්තං දාරුක්ඛන්‍ධං ගඞ්ගාය නදියා’ යනාදි තන්හි ආයේ ප්‍රඥප්තියෙහි ය. ‘යං චිත්තං මනො -පෙ- විඤ්ඤාණං විඤ්ඤාණක්ඛන්‍ධො’ යනාදි තන්හි රූඪිවශයෙන් ආයේ ය. මෙහි ලා රාශ්‍යර්‍ත්‍ථය යෙදේ. එහෙයින් පඤ්චස්කන්‍ධය, සමූහභාවය ලකුණු කොට සිටියේ ය. කොට්ඨාසාර්‍ත්‍ථය ද මෙහි නො යෙදෙන්නේ නො වේ. රූපකොට්ඨාසය යි කිය හැකි බැවිනි.
ඉතාසැකෙවින්. කියූ මේ ස්කන්ධකථාවෙහි ප්‍රකීර්‍ණකථාව සැකෙවින් මෙසේ ය:- සමුග්ගම - පුබ්බාපර - අද්ධානපරිච්ඡේද - එකුප්පාදනානානිරොධ - නානුප්පාදඑකනිරොධ - එකුප්පාදඑකනිරෝධ - නානුප්පාදනානානිරෝධ - අතීතානාගතපච්චුප්පන්න - අජඣත්තිකබාහිර - ඔලාරිකසුබුම - හීනප්පණීත - දූරසන්තික - පච්චය - සමුට්ඨාන - පරිනිප්ඵන්න - සඞ්බත යි සොළොස් අයුරකින් එය බෙදී ගියා ය.
එහි සමුග්ගම යි කීයේ, පඤ්චස්කන්ධයාගේ හටගැන්ම ය. ගබ්භසෙය්‍යකසමුග්ගමය-ඔපපාතිකසමුග්ගමය යි ඒ දෙපරිදිය. ගැබැ හෝනා සත්වයන් පිළිසිඳ ගන්නා කාලයෙහි ස්කන්ධපංචකය පෙර පසු නො වී එකට හටගණියි. ඒ අවස්ථාවෙහි පහළ වන කලලරූපය, කුඩාමැස්සකු විසින් පිවයුතු බිඳක් පමණ වේ ය යි. මෙහි එක් ආචාර්‍ය්‍යවාදයෙකි. තෙලෙහි ලා නගාගත් ඉදිකටු අගක රැඳීසිටි තෙල්බිඳක් තරම් ය යි අනික් ආචාර්‍ය්‍යවාදයෙකි. තෙලෙහි ලා නගා ගත් කෙස් අගක රැඳි තෙල්බිඳක් පමණය යි තවත් එකෙකි. මේ දිවයිනැ වැසි මිනිසකුගේ කෙස්ගසක් අටට පැළූ කල්හි, ඉන් එක් කොටසෙක් උතුරුකුරුදිවයිනැ වැසි මිනිසකුගේ කෙස්ගසක් පමණ ය යි ද, ඒ කෙසක් තෙලෙහි ලා නගා ගත් කල්හි, එ අගැ රැඳි පහන් තෙල්බිඳ පමණ ය යි තවත් එකෙකි. මෙහිලා ආ මේ හැම ආචාර්‍ය්‍යවාදයක් ම බැහැර කොට, කලලරූපය, හිමාලය වන පෙදෙසැ උපන් ඉතා සියුම් ලොම් ඇති එළුවකුගේ ලොමක්, පහන් තෙලෙහි ලා නගා ගත්විට, එහි අගැ රැඳි තලතෙල්බිඳ තරම් ය යි කියන ලද්දේය. මෙය ඉතා පහන් ය. නො කැළඹුනේ ය. පහන් තලතෙල්බිඳක් බඳු පැහැ ඇත්තේ ය. ඒ මෙසේ වදාළ සේක:-
“තිලතෙලස්ස යථාබින්දු-සප්පීමණ්ඩො අනාවිලො,
එවං වණ්ණපටිභාගං-කලලං සම්පවුච්චති” යි.
මෙසේ ස්වල්ප වූ මේ රූප සමූහයෙහි වසතුදශක-කායදශක-භාවදශක යි දශක තුනෙක් ඇත්තේ ය.
එහි වස්තුදශකය, පඨවි-ආපෝ-තේජෝ-වායෝ-වණ්ණ-ගන්ධ-රස-ඕජා-ජීවිතින්ද්‍රිය-හදයවත්ථු යන කොටස් දසයෙන් යුක්ත ය. කායදශකය, වස්තුදශකයෙහි මුලින් කී නව කොටසත් කායප්පසාදයත් යන දස කොටසින් යුක්ත ය. භාවදශකය, ස්ත්‍රීභාව-පුම්භාව යි දෙපරිදි ය. ස්ත්‍රියට ස්ත්‍රීන්ද්‍රියය ගේ වශයෙනුත් පුරුෂයා හට පුරුෂෙන්ද්‍රියයගේ වශයෙනුත් මේ ලැබේ. සත්‍රීභාවය හෝ පුරුෂභාවය පඨවී ආදී වූ නව කොටස හා යෙදී සිටියේ, භාවදශක යි කියනු ලැබේ.
මෙසේ හැබැ හෝනා සත්වයනට පිළිසිඳ ගන්නා අවදියෙහි උඩත් පිරිසයින් කර්‍මජරූප තිසෙක් ලැබේ. මේ තිස ම කර්‍මයෙන් හටගන්නේ, රූපස්කන්ධ යි ද කියනු ලැබේ.
ප්‍රතිසන්ධිචිත්තය හා එක් ව උපදනා වේදනා-සංඥා-සංස්කාර තුන වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංස්කාරස්කන්ධ යි ගැණේ. ප්‍රතිසන්ධිචිත්තය, විඥානස්කන්ධ නම් වේ. ගැබැ හෝනා සත්වයනට පිළිසිඳ ගන්නා කෙණෙහි ම පංචස්කන්ධයෝ පරිපූර්‍ණ ව ලැබෙත්. නපුංසකප්‍රතිසන්ධියෙහි භාවදශකය නො ලැබේ. එහි වන්නේ දශක දෙකක්හුගේ වශයෙන් කර්‍මජරූප විස්සෙකි.
ඔපපාතිකසත්වයනට පිළිසිඳ ගන්නා කාලයෙහි යට කියූ දශක තුන චක්ඛුදසක-සෝතදසක-ඝාණදසක-ජිව්හාදසක යන දශක සතරත් එකතු ව දසක සතෙක් ලැබේ. එහි චක්ඛුදසකය නම්, චක්ඛු-ජීවිත-පඨවි-ආපෝ-තේජෝ-වායෝ-වණ්ණ-ගන්ධ-රස-ඔජා යන මේ දසය යි. චක්ඛු යන්න වෙනුවට ඒ අස් කොට අනික් නවය හා, සෝත-ඝාණ-ජිව්හා යනු යෙදීමෙන් සෝතදසක, ඝාණ දසක, ජිව්හාදසක, යි කියනු ලැබේ. මෙහි ද නපුංසකයාහට භාව දසකය නැත. මෙසේ සම්පුර්‍ණ වූ ආයතන ඇති ඔපපාතික සත්වයන්ට ලැබෙන සම සත්තෑවක් කර්‍මජරූපත් නපුංසක සත්වයාගේ වශයෙන් ලැබෙන සම සැටක් කර්‍මජරූපත් රූපස්කන්ධය යි කියති. වේදනා ස්කන්ධාදීහු ද යටකී සේ වෙති. ප්‍රතිසන්ධික්‍ෂණයෙහි ම ඔපපාතිකයනටත් ස්කන්ධයෝ පරිපුර්‍ණ ව ලැබෙත්. මේ ස්කන්ධයන් පිළිබඳ සමුග්ගමය යි.
පුබ්බාපර යන්නෙන් කියැවෙනුයේ නාම-රූප දෙකින් කුමක් පළමු ව හටගණී ද, පසුව හටගන්නේ කුමක් ද යන වග යි.
මවුකුසැ හෝනා සත්වයන්ගේ පෙර පසු නො වී උපන් ස්කන්ධ අතුරෙහි, පළමු කොට රූපය තෙමේ, රූපය පළමු කොට උපදවයි. නාමය තෙමේ, රූපය නො උපදවයි. ‘රූපං රූපමෙම සමුට්ඨාපෙති න අරූපං’ යනු ආචාර්‍ය්‍යවචන යි. පිළිසිඳ ගන්නා වූ සිතට රූප ඉපදවීමෙහි ශක්තියක් නැත්තේ ය. එබැවින් සකල සත්වයන්ගේ ප්‍රතිසන්ධිචිත්තය, රහතුන් වහන්සේගේ චුතිචිත්තය, ද්විපඤ්චවිඤ්ඤාණය හා, අරූපචිපාක සිත් සතරත් යන සොළොස් වැදැරුම් වූ විපාකචිත්තයෝ රූපය නො උපදවති. ඔවුන් අතුරෙහි ප්‍රතිසන්ධි චිත්තය, නිඃශ්‍රය වූ වස්තුරූපයාගේ දුබල බැවින් නො පිහිටි බැවින්, හේතුවිකල බැවින්, ආගන්තුක බැවින් යන මේ කරුණෙන් රූපය නො ද උපදවයි,
ප්‍රතිසන්ධිචිත්තය හා සමග පැවැති හෘදයවස්තුරූපය තෙමේ, පිළිසිඳ ගන්නා ඇසිල්ලෙහි ඉතා දුර්‍වල වේ. හෘදයවස්තුරූපයාගේ ඒ දුර්‍වලත්වය හේතු කොට ප්‍රතිසන්ධිචිත්තයට රූප උපදවනු නො හැකි ය. මහාප්‍රපාතයක වැටෙන පුරුෂයකුට අනිකකුහට උපකාරයක් කළ නො හැක්කේ යම්සේ ද, එ මෙන් ප්‍රතිසන්ධිචිත්තය, කර්‍ම ශක්තියෙන්, බහාලන ලද බැවින් නො පිහිටිය බැවින් එයට රූප ඉපදවීමෙහි ශක්තියක් නැත. ප්‍රතිසන්ධිචිත්තය, හෘදයවස්තුරූපය සමග පෙරපසු නො වී උපන්නේ නමුත් හෘදයවස්තු රූපය පෙරාතු ච ඉපිද එයට ප්‍රත්‍යය වන්නට අසමර්‍ත්‍ථ වේ. ඉදින් සමර්‍ත්‍ථ නම්, ප්‍රතිසන්ධිචිත්තය රූප උපදවන්නේ ය.
ද්විපඤ්චවිඤ්ඤාණයත් පඤ්චවෝකාරභවයෙක රහතුන් වහන්සේගේ චුතිචිත්තයත් පුරෙජාතප්‍රත්‍යය ලද්දේ, කවර හෙයකින් රූප නො උපදවා ද? යනු මෙහි ලා නැගෙන ප්‍රශ්නයෙකි. යම්කිසි පඤ්චවෝකාරභවයෙක හෘදයවස්තුරූපය තෙමේ, පෙරාතු ව ඉපිද ප්‍රත්‍යය වන්නට සමර්‍ත්‍ථ වූයේ ද, එසේ චක්‍ෂුරාදීන්ගේ ප්‍රවෙණිය ගැළපී යේ ද, හෙවත් එකක් ඇතිවිට ම අනිකක්හුගේ නිරෝධය වේ ද, අතර දක්වා සිඳීයාමෙක් නො වේ ද, ඒ පඤ්චවොකාර භවයෙහි ද සිත ධ්‍යානාඞ්ගයන්ගෙන් නො පිරිහුනේ ම රූපය උපදවයි. නො එසේ වූයේ නො උපදව යි යනු එයට පිළිතුරු යි.
ප්‍රතිසන්ධිචිත්තය, උත්පාදක්‍ෂණයෙහි පුරේජාතප්‍රත්‍යය නො ලත් හෙයින් රූප නො උපදවතත්, උත්පාදක්‍ෂණයෙහි වූ හෘදයවස්තුරූපයෙහි ලත් පුරේජාතප්‍රත්‍යය ශක්තිය ඇත්තේ ස්ථිති-භඞ්ගක්‍ෂණ දෙක්හි රූපය උපදවා ද? යනු ප්‍රශ්නයෙකි. ස්ථිති භඞ්ගක්‍ෂණ දෙක්හි සිත රූප උපදවා නම්, ප්‍රතිසන්ධිචිත්තයත් රූප උපදවාය, යි කියයුතු ය. කියයුත්තේ, ඒ ක්‍ෂණදෙක්හි ද සිත රූප නො උපදවන බව යි.
නයිහතුකැකුළෙක් පොළොවෙන් මතු වන්නේ, පස් සුණු ටිකක් ගෙණ ම මතු වන්නේ ය. එ මෙන් සිත ද, පූර්‍වයෙහි හටගත් හෘදයවස්තුරූපය ඇසුරු කොට උත්පාදක්‍ෂණයෙහි පඨවි-ආපෝ- තේජෝ-වායෝ-වණ්ණ-ගන්ධ-රස-ඔජා, යන අවිනිබ්භෝග රූපය ගෙණ ම උපදනේ ය. ප්‍රතිසන්ධිචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි හෘදය වස්තුරූපය තෙමේ, පුරෙජාත ව ප්‍රත්‍යය වන්නට අසමර්‍ත්‍ථ වේ. මෙසේ ප්‍රත්‍යයන්ගේ විකලත්‍වයෙන් ද ප්‍රතිසන්ධිචිත්තය රූප නො ද උපදවයි.
නො ගියවිරූ පෙදෙසකට ගිය ආගන්තුකපුරුෂයෙක් එහි වූ අනිකකුහට ‘තොපට බත් පැන් ගඳ මල් ආදිය දෙමි” යි කියන්නට අපොහොසත් වේ. තමන්ට එපෙදෙස විෂය නො වන බැවිනුත්, තමන් එහි අපොහොසත් බැවිනුත් තමන් ආගන්තූක බැවිනුත් ය, එසේ කියන්නට අසමර්‍ත්‍ථ වනුයේ. එමෙන් ප්‍රතිසන්ධිචිත්තය ද, ආගන්තුක වූයේ රූප නො උපදවයි. තවද සමතිස් කර්‍මජරූප, චිත්තජරූපයන්ගේ ස්ථානය ගෙණ සිටි බැවින්, ප්‍රතිසන්ධිචිත්තය රූප නො උපදවයි. රහතුන් වහන්සේගේ චුතිචිත්තය වෘත්තදුඃඛමූලය සන්හුන් කළ බැවින් රූප නො උපදවයි. රහතුන් වහන්සේ ගේ සියලු භවයන්හි වෘත්තදුඃඛමූලය සන්සිඳුනේ වේ. උන්වහන්සේට පුනර්‍භවසන්තතියක් නැත. සෝතාපන්නයාගේ වෘත්තදුඃඛමූලය අත්බැව් සතක් තිබිය දී සන්සිඳෙයි. එහෙයින් ඔහුගේ චුති චිත්තය තෙමේ අත්බැව් සතෙක්හි රූප උපදවයි. සකෘදාගාමී පුද්ගලයාගේ චුතිචිත්තය, අත්බැව් දෙකක රූප උපදවයි. අනාගාමීහුගේ චුතිචිත්තය, රූප උපදවනුයේ එක් අත්බවෙක්හි ය.
ද්විපඤචවිඤ්ඤාණයෙහි ධ්‍යානාඞ්ග - මාර්‍ගාඞ්ගසම්ප්‍රයුක්තහේතු නැත. චිත්තාඞ්ග දුර්‍වල බැවින් ද්විපඤ්චවිඤ්ඤාණය රූප නො උපදවයි. අරූපභවයෙහි ඉපැද වියයුතු වූ රූපයක් නැති බැවින් අරූපාවචරවිපාකයෝ රූප උපදවත්. කාමාවචර වූ කුසල් සිත් අටය, දෝස මූලික දෙ සිත හැර අනික් අකුසල්සිත් දසය, ක්‍රියා සිත් නවය, අරූපාවචර වූ කුසල්සිත් සතර හා ක්‍රියා සිත් සතරය, මාර්‍ග සිත් තුන හා පලසිත් සතරය යන දෙ සාළිස් චිත්තයෝ අරූපභූමියෙහි රූප නො උපදවත්. මෙසේ ප්‍රතිසන්ධිචිත්තය රූප නො උපදවා.
පළමු කොට රූප උපදවනුයේ ඍතුව යි. ඍතු නම් පිළිසිඳ ගන්නා ඇසිල්ලෙහි හටගත් සමතිස් කර්‍මසමුත්‍ථානරූපයන්ගේ අභ්‍යන්තරයෙහි වූ තේජෝධාතුව යි. ඒ තේජෝධාතුව ප්‍රතිසන්ධිය පිළිබඳ ස්ථිතික්‍ෂණයට පැමිණ අට වැදෑරුම් වූ අවිනිබ්භෝගරූපය උපදවයි. ඍතු ව හිමිහිට කෙරෙණ නිරෝධය ඇත්තෙකි. සිත යුහුව කෙරෙණ නිරෝධය ඇත්තෙකි. ඍතු ව තිබියදීම සොළොස් සිත් කෙනෙක් ඉපිද නිරුද්ධ වෙත්. ඒ සොළොස් සිත් අතර පිළිසඳ ගන්නා සිතට අනතුරුවූ ප්‍රථමභවාඞ්ගචිත්තය, උත්පාදක්‍ෂණයෙහි ම අවිනිබ්භෝගරූප අට උපදවයි. ශබ්දය උපදනා කාලයෙහි ඍතු-චිත්තයෝ ශබ්දනවක නම් වූ රූපකලාපය උපදවත්. චිත්තයාගේ ස්ථිතික්‍ෂණයට පැමිණි කබලීකාරාහාරය ද අවිනිබ්භෝග රූපය උපදවයි. මවුගැබ හෝනා සත්වයාට කබලීකාරාහාරය ලැබෙන්නේ මවගෙනි. ඒ කීහ මෙසේ:-
“යඤ්චස්ස භුඤ්ජතී මාතා-අන්නං පානං ච භොජනං,
තෙන සො තත්‍ථ යාපෙති-මාතු කුච්ජිගතො නරො” යි.
ඔජා තොමෝ, ස්ථිතික්‍ෂණයට පැමිණියා, අවිනිබ්භෝගරූප උපදවා. මව විසින් කන බොන ආහාර පානයන්ගේ ඔජාව මවුකුසැ උපන් සත්වයාගේ සිරුරෙහි පිහිටන්නී, සත්දිනක් හෝ තුදුස් දිනක් ගත වූ පසු ය. යම් දවසෙක ඒ ඔජාව මවුකුසැ උපන් සත්වයාගේ සිරුරෙහි පිහිටා ද, එකල්හි ඕ තොමෝ අවිනිබ්භෝගරූප උපදවයි. ප්‍රකෘතියෙන් කෑම බීම ඇති තැනෙක උපන් කෑ යුතු දෙය කන පිය යුතු දෙය බොන ඕපපාතිකයනට ද ස්ථිතික්‍ෂණයට පැමිණ ඔජා තොමෝ රූප උපදවයි.
කෑම බීම නැති, වන පෙදෙසෙකැ ඉපිද මහත් සාදුකින් පෙළෙන ඔපපාතිකසත්වයකු මුඛයෙහි කෙල පෙරළ පෙරළා ගිලින කල්හි ස්ථිතික්‍ෂණයට පැමිණි ඔජා තොමෝ රූප උපදවා. මෙසේ පස්වැදෑරුම් වූ රූප කොටස් අතුරෙහි තේජෝධාතුවත් කබලීකාරාහාරයත් යන දෙක රූප උපදවයි. රූප-චිත්ත-කර්‍ම-චේතනා, යි. කියන රූපජනක ප්‍රත්‍යයයන් අතුරෙහි රූපය තෙමේ, උත්පාද-භඞ්ගක්‍ෂණ දෙක්හි දුබල වේ. බලවත් වනුයේ සථිතික්‍ෂණයෙහි ය. එහෙයින් ඒ සථිතික්‍ෂණයෙහි රූප ඉපදවීම කරයි. සිත, ස්ථිති භඞ්ගක්‍ෂණ දෙක්හි දුර්‍වල වේ. උත්පාදක්‍ෂණයෙහි බලවත් වේ. සිත රූප උපදවනුයේ ඒ ක්‍ෂණයෙහි ය. කර්‍මචේතනාව, නිරුද්ධවූවා ම ප්‍රත්‍යය වේ. අතීතභවයෙහි කප්කෙළලක්‍ෂයකින් මත්තෙහි ද රැස් කළා වූ කර්‍මය, මේ වර්‍තමානභවයෙහි ප්‍රත්‍යය වේ. වර්‍තමාන භවයෙහි රැස් කළා වූ කර්‍මය, අනාගතභවයෙහි කප්කෙළලක්‍ෂයක්හුගේ අවසන්හි ද ප්‍රත්‍යය වන්නේ ය. මේ ස්කන්ධයන් පිළිබඳ පුබ්බාපර නියමය යි.
අද්ධානපරිච්ඡේද යි කීයේ කාලනියමය යි. රූපය තෙමේ, සෙමින් සෙමින් කෙරෙන බිදීම් ඇත්තේ ය. නාමය තෙමේ, වහා බිඳෙන්නේ ය. රූපධර්‍මයක් පවත්නා කාලය තුළ සිත් සොළසක් ඉපිද නිරුද්ධ වේ. සතළොස්වන සිත සමග ඒ රූපධර්‍මය බිඳී යයි. ‘පල නෙලා ගණිමි’ යි සිතා, යම් කිසිවකු විසින් ගසකට පොලු පහරක් ගැසූ කල්හි ගෙඩිත් කොළත් එකවිට නැටිවලින් ගැළ වී බිම වැටේ. එහිදී බර බැවින් පළමු කොට ගෙඩි බිමැ වැටේ. සැහැල්ලු බැවින් කොළ පසුව බිමැ වැටේ. පොලු පහරින් එකවිට ගෙඩිත් කොළත් නැටිවලින් ගැළවී ගියාක් මෙන් පිළිසිඳ ගන්නා කාලයෙහි රූපාරූපධර්‍මයන්ගේ එකවිට පහළ වීම දත යුතු ය. බර බැවින් පළමු කොට ගෙඩි බිම වැටෙන්නා සේ රූපය පවත්නා කල්හි ම සොළොස්වැදෑරුම් වූ චිත්තයන්ගේ ඉපිද නිරුද්ධවීම සැලකිය යුතු ය. රූපය සතළොස්වන සිත සමග නිරුද්ධ වී යෑම, සැහැල්ලු බැවින් කොළ පසුව බිම හෙන්නා සේ ය. එහෙත් රූපය තෙමේ, නාමය හැර, නාමය තෙමේ රූපය හැර, පවතින්නට අසමර්‍ත්‍ථ වේ.
නාමරූපධර්‍මයන්ගේ පැවැත්ම සම පමණ වේ. කොට පා ඇති පුරුෂයකු හා දිග් පා ඇති පුරුෂයකු එකතුව යන කල්හි දිග් පා ඇති පුරුෂයා යම් තරම් කලකින් එක් පියවරක් නගා තබා ද, කොට පා ඇති පුරුෂයාත් එතරම් කලකින් ම පියවර ලඟ පියවර නගා තබා සොළොස් පියවරකින් ගමන් කෙරෙයි. දිග් පා ඇති පුරුෂ තෙමේ, කොට පා ඇති පුරුෂයාගේ සොළොස් පියවර, තමාගේ පිය ඇද නගා එක් ම පියවරක් කෙරෙයි. මෙසේ ඇතිවිට එකෙක් අනිකා ඉක්මවා යන්නට අසමර්‍ත්‍ථ වේ. දෙදෙනාගේ ම ගමන සම ප්‍රමාණ වේ. මෙ ද එ පරිදි ය. නාමය කොට පා ඇති පුරුෂයා සේ ද, රූපය දිග් පා ඇති පුරුෂයා සේ ද දත යුතු ය. දිග් පා ඇති පුරුෂයා එක් පියවරක් නගා තබන කාලයෙහි කොට පා ඇති පුරුෂයා සොළොස් පියවරක් නගා තැබීම මෙන් රූපය පවත්නා කල්හි ම නාමධර්‍මයන් කෙරෙහි ඇතුළත් සොළොස් වැදෑරුම් වූ චිත්තයන්ගේ ඉපිද බිඳී යෑම ද, කොට පා ඇති පුරුෂයාගේ සොළොස් පියවරෙහි, දිග පා ඇත්තහු තම පිය ඇද නගා එක් පියවරක් කිරීම මෙන් රූපය සතළොස්වන සිත සමග බිඳී යෑම ද, උන් දෙන්නා උනුන් නො හැර පියා සම සේ ගමන් කිරීම මෙන් නාමය රූපයත්, රූපය නාමයත් නො හැර පියා සම පමණින් පැවැත්ම ද දත යුත්තේ ය. මේ අද්ධානපරිච්ඡේදය යි.
එකුප්පාදනානානිරෝධ යි කීයේ, එක් ව ඉපදීම හා වෙන් ව මිදීයෑම ය. පළමු කොට උපදිනුයේ ප්‍රතිසන්ධි චිත්තය යි. අනතුරුව දෙවැන්න පටන් සොළොස්වැන්න තෙක් උපදින්නෝ භවාඞ්ගචිත්තයෝ ය. ඒ එක් එක් සිතකට උත්පාද-ස්ථිති-භඞ්ග වශයෙන් ක්‍ෂණ තුන තුන ඇත්තේ ය. ඒ සොළොස් සිතෙහි තුන් තුන් ක්‍ෂණයන්හි සමතිස් සමතිස් කර්‍මජරූපයෝ හට ගණිති. සමතිස් කර්‍මජරූපයන් අතුරෙහි ප්‍රතිසන්ධිචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි පහළ වූ කර්‍මජරූපය සතළොස් වැනි වූ භවාඞ්ගචිත්තයාගේ උත්පාද ක්‍ෂණයෙහි ම බිඳී යයි. ප්‍රතිසන්ධිචිත්තයාගේ ස්ථිතික්‍ෂණයෙහි පහළ කර්‍මජරූපය, සතළොස්වන චිත්තයාගේ ස්ථිතික්‍ෂණයෙහි ම බිඳෙයි. ප්‍රතිසන්ධිචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි පහළ වූ කර්‍මජරූපය සතළොස්වන චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ම නිරුද්ධ වෙයි. මෙ පරිද්දෙන් දෙවන භවාඞ්ගචිත්තය පටන් තම තමන් අයත් සතළොස්වන සිත හා යොදා මේ ක්‍රමය දතයුතු ය. මේ තික සොළොසෙහි තික අටසාළිසෙක් වේ. මේ කියන ලද්දී අටසාළිස් කර්‍මජ රූපයන්ගේ ප්‍රවේණිය යි. මෝ රෑ දාවල් දෙක්හි ගලා බස්නා මහාගංවතුරක් සේ හැම දෙනකු පිළිබඳ ව නො සිඳ පවතී. මේ එකුප්පාදනානානිරෝධය යි.
නානුප්පාදඑකනිරෝධ යි කීයේ, වෙන් ව ඉපැත් ම හා එක් ව මිදී යෑම යි. නානුප්පාදඑකනිරෝධයෙහි ආයුසංස්කාරයාගේ අවසානයෙහි ෂොඩශචිත්තයන්ගේ වාරය පැමිණි කල්හි යට සොළොස ය, මත්තෙහි සොළොස ය යි ෂොඩශක දෙකක් එකතු කළ යුතු ය. යට සොළොසෙහි ප්‍රථමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි පහළ වූ සමතිස් කර්‍මජරූපය තෙමේ, මත්තෙහි වූ සොළොසෙහි ප්‍රථම චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ම නිරුද්ධ වේ. ස්ථිති ක්‍ෂණයෙහි හටගත් සමතිස් කර්‍මජරූපය තෙමේ, ඒ මතු සොළසෙහි වූ ප්‍රථමචිත්තයාගේ ස්ථිතික්‍ෂණයෙහි නිරුද්ධ ව යයි. භඞ්ගක්‍ෂණයෙහි හටගත් සමතිස් කර්‍මජරූපය තෙමේ, ඒ මතු සොළොසෙහි වූ ප්‍රථමචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි නිරුද්ධ වේ. යට සිටි සොළසෙහි වනාහි, එසේ ම දෙවන චින්තයාගේ -පෙ- සොළොස්වන චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි පහළ වූ සමතිස් කර්‍මජරූපය තෙමේ, චුති චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ම නිරුද්ධියට පැමිණේ. යට සිටි සොළසෙහි සොළොස්වන චිත්තයාගේ ස්ථිතික්‍ෂණයෙහි හටගත් සමතිස් කර්‍මජරූපය තෙමේ, චුතිචිත්තයාගේ ස්ථිතික්‍ෂණයෙහි ම බිඳී යයි. භඞ්ගක්‍ෂණයෙහි පහළ වූ කර්‍මජරූපය තෙමේ, චුතිචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ම නිරුද්ධ වෙයි. එතැන් පටන් කර්‍මජරූපයන්ගේ පරම්පරාවක් නො පවත්නී ය. කර්‍මජරූපපරම්පරාවක් ඉන් ඔබ්බෙහි පවතී නම්, සත්වයෝ ජීවිතක්‍ෂයට පත් නො වෙති. නො දිරන්නෝ නො මැරෙන්නෝ වෙති. ‘සතතරසමස්ස භවඞ්ගචිත්තස්ස උප්පාදක්ඛණෙයෙව නිරුජ්ඣති’ යනාදි නයින් ‘එක් සිතක්හුගේ උත්පාදක්‍ෂණයෙහි උපන්නා වූ රූපය තෙමේ, අන් සිතක උත්පාදක්‍ෂණයෙහි නිරුද්ධ වේ’ යි අටුවායෙහි ආයේ ය, එහෙත් මේ අටුවාව “යස්ස කායසඞ්ඛාරො නිරුජ්ඣතී තස්ස චිත්තසංඛාරො නිරුජ්ඣතී ති ආමන්තා’ යන යමකප්‍රකරණ පාලිය හා විරුද්ධ වන්නී ය. කායසංස්කාරය නම්, සිත හේතු කොට හටගන්නා ආශ්වාසප්‍රශ්වාස වාතය යි. සිත හේතු කොට හටගන්නා රූපය, චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඉපිද යම්තාක් කල් අනික් සිත් සොළොසෙක් උපදී ද, ඒතාක් පවතී.
ඒ සොළොස් සිත් අතුරෙන් සියලු සිත්වලට පසුව උපන් සිත ඒ සමග නිරුද්ධ වේ. මෙසේ යම් සිතක් සමග උපදී ද, ඒ සිතෙහි පටන් සතළොස්වන සිත සමග නිරුද්ධියට පැමිණේ. කිසියම් සිතක උත්පාදක්‍ෂණයෙහි හෝ, ස්ථිතික්‍ෂණයෙහි හෝ නිරුද්ධ නො වේ. එසේ ම කිසියම් සිතෙක ස්ථිතික්‍ෂණයෙහි හෝ භඞ්ගක්‍ෂණයෙහි හෝ නො උපදියි. චිත්තසමුත්‍ථානරූපයන්ගේ මේ ස්වභාවධර්‍මය යි. මෙ පරිද්දෙන් නියම වශයෙන් චිත්තසංස්කාරය සමග කායසංස්කාරය එකවිට නිරුද්ධ වේ ය යි වදාළ සේක. චිත්තසමුත්‍ථානරූපයාගේ හා අනික් කර්‍මාදිසමුත්‍ථානරූපයාගේ ද ක්‍ෂණ නියමය සමාන වේ. දෙකෙහි ම ක්‍ෂණ නියමය එක හැටි ය. ක්‍ෂණ නියමය සමාන බැවින් ප්‍රතිසන්ධිචිත්තය සමග උපන් කර්‍මජරූපය එතැන් පටන් සතළොස්වන සිත සමග නිරුද්ධ වේ. පිළිසිඳ ගන්නා සිතෙහි ස්ථිතික්‍ෂණයෙහි උපන් කර්‍මජරූපය තෙමේ, අටළොස්වන සිතේ උත්පාදක්‍ෂණයෙහි නිරුද්ධ වේ. ප්‍රතිසන්ධිචිත්තයාගේ භඞ්ග ක්‍ෂණයෙහි උපන් කර්‍මජරූපය තෙමේ, අටළොස්වන සිතෙහි ස්ථිති ක්‍ෂණයෙහි නිරුද්ධියට යන්නේ ය. පශ්චිම වූ කර්‍මජරූපයාගේ බිඳීයෑමෙන් මත්තෙහි ඍතුජරූපපරම්පරාව ඉතිරි වේ. නානුප්පාද එකනිරෝධය මෙසේ ය.
එකුපපාදෙකනිරොධ යි කීයේ, එක් ව ඉපැත්ම හා එක් ව බිඳීයෑම ය. රූපය වනාහි රූපය හා සමාන ඉපදුම් ඇත්තේ ය. එසේ ම සමාන වූ බිඳුම් ඇත්තේ ය. නාමය, නාමය සමාන ඉපැදුම් බිඳුම් ඇත්තේ ය. මේ හැටියෙන් එකුප්පාදෙකනිරෝධය දතයුතු ය.
නානුපපාදනානානිරොධ යි කීයේ, වෙන් ව උපදින වෙන් ව බිඳෙනබව ය පාතලින් උඩ කෙස්අගින් යට හම කෙළවර කොට ඇති මේ සිරුරෙහි ඒ ඒ තැනැ චතුර්විධසන්තතිරූපය තෙමේ, ඝන වූ සමූහයක් සේ පවත්නේ ය. මෙසේ පවත්නා සන්තතිරූපයාගේ එකොත්පාදාදිභාවය ගණන් ගත යුතු නො වේ. ගමන් ගත් වේයන් රැසක් හෝ කුහුඹුවන් රැසක් දකින්නකුට ඒ වේරැස හෝ කුහුඹු රැස එකාබද්ධ වූ සේ පෙණේ. එහෙත් එකාබද්ධ වූයේ නො වේ. එ පරිද්දෙන් චතුසන්තතිරූපයන්ගේ ද අනික් රූපයක්හුගේ උත්පාදක්‍ෂණයෙහි අනික් රූපයකගේ ඉපදීම ද, පැවැත්ම ද, බිඳී යෑම ද වේ. අනික් රූපයකගේ ස්ථිතික්‍ෂණයෙහි අනික් රූපයකගේ ඉපදීම ද, පැවැත්ම ද, බිඳී යෑම ද වේ. අනික් රූපයකගේ භඞ්ගක්‍ෂණයෙහි අනික් රූපයකගේ ඉපදීම ද, පැවැත්ම ද, බිඳී යෑම ද වේ. මේ නානුප්පාදනානානිරෝධය යි.
අතීතානාගතපච්චුප්පන්න යන මෙයින් කියනුයේ, ගිය කාලය, එන කාලය, පවත්නා කාලය, යන කාලතුනය. ඒ වශයෙනුදු පංචස්කන්ධය දත යුත්තේ ය.
පිළිසඳ ගත් තැන් පටන් ඉකුත් වූ භවයන්හි උපන් රූපය, අනතුරු ඉකුත් වූ භවයෙහි උපන්නේ හෝ කප්කෙළසිය දහසකින් මත්තෙහි උපන්නේ හෝ අතීත වේ. චුතිය පටන් නො පැමිණි භවයන්හි මතු උපදින රූපය, අනාගතයට ආසන්න භවයෙහි උපදින්නේ හෝ කප්කෙළසියදහසකින් මත්තෙහි උපදින්නේ හෝ අනාගත වේ. චුති - පටිසන්ධි දෙකට අතර පවත්නා රූපය, පච්චුප්පන්න වේ. මෙහිලා තවත් ක්‍රමයෙක් වේ. උත්පාද-ස්ථිති-භඞ්ග වශයෙන් රූපයෙහි ක්‍ෂණ තුනෙක් වේ. මේ ක්‍ෂණ තුනට පැමිණ නිරුද්ධ වූ රූපය, ඉතා ආසන්න කාලයෙහි නිරුද්ධ වූයේ හෝ අතීත කාලයෙහි කප්කෙළ සිය දහසකින් මත්තෙහි නිරුද්ධ වුයේ හෝ අතීත නම්. මෙ ක්‍ෂණයන්ට නො පැමිණියා වූ රූපය, එක් චිත්තක්‍ෂණමාත්‍රයෙක්හි නො පැමිණියේ හෝ, අනාගත නම්. මේ ත්‍රිවිධ ක්‍ෂණයට පැමිණියා වූ රූපය තෙමේ, පච්චුප්පන්න නම්. තවත් ක්‍රමයෙක් එහි ම. අධාන-සන්තති-සමය-ඛණ වශයෙන් අතීත වේ. එමෙන් අනාගතය හා පච්චුප්පන්නය ද ලැබේ.
එක් සත්වයකු පිළිබඳ එක් ආත්මභාවයෙක ප්‍රතිසන්ධියෙන් පුර්‍වයෙහි උපන් රූපය අතීත නම්. චුතියෙන් මත්තෙහි උපන් රූපය අනාගත නම්. පටිසන්ධි-චුති දෙදෙනාතර උපන් රූපය, පච්චුප්පන්න නම්. සමානස්වභාව ඇති එක් ඍතුවකින් හටගන්නා වූ රූපය ද එක් ආහාරහේතුවකින් හට ගන්නා වූ රූපය ද පූර්‍වාපරකාලයන්හි ප්‍රවෘත්තිවශයෙන් පවත්වන්නේ නමුත් පච්චුප්පන්න නම් වේ. ඒ පච්චුප්පන්නකාලයෙන් පෙර විසභාග ඍතු ආහාරයෙන් හටගන්නා රූපය අතීත නම්. පසුව හටගන්නා රූපය අනාගත නම්, එක් චිත්තවීථියක එක් ජවනවාරයෙක්හි හා සමාපත්තිවාරයෙක්හි උපදනා චිත්තජරූපය, පච්චුප්පන්න නම්. ඒ පච්චුප්පන්නයා කෙරෙන් පෙර උපන් චිත්තජරූපය අතීත නම්. පසුව උපදනේ අනාගත නම් කර්‍මයෙන් උපදනා රූපයෙහි මෙන් සන්තතිවශයෙන් කිය යුතු වූ අතීතාදිභේදයෙක් නැත්තේ ය. ඍතු-ආහාර-චිත්තසමුත්ථාන වූ රූපයන්ට ම අනුබල දිම්වශයෙන් කර්‍මසමුත්‍ථාන රූපයාගේ අතීතාදිභේදය දත යුතු ය. මොහොත, පෙරවරු, පස්වරු, රෑ දාවල් යනාදී වූ කාලයන් අතුරෙහි පෙළ සෑදීම් වශයෙන් පවත්නා ඒ ඒ කාලය පච්චුප්පන්න නම්. එයින් පෙර පැවැති කාලය අතීත නම්. පසුව පවත්නා කාලය අනාගත නම්. උත්පාදාදික්‍ෂණ තුනට ඇතුළත් රූපය පච්චුප්පන්න නම්. එයින් පෙර උපන් රූපය අතීත නම්. පසුව උපන් රූපය අනාගත නම්. මේ එහි තවත් ක්‍රමයෙන් වේ. ඉක්මවා සිටි හේතුකෘත්‍යය හා ප්‍රත්‍යයකෘත්‍යය ඇති රූපය, අතීත නම්. නිමකරණලද හේතුකෘත්‍යය හා නිම නො කළ ප්‍රත්‍යය කෘත්‍යය ඇති රූපය, පච්චුප්පන්න නම්. හේතුකෘත්‍යයට හා ප්‍රත්‍යය කෘත්‍යයට නො පැමිණි රූපය අනාගත නම්. ස්වකීය කෘත්‍යය හා පවත්නා ක්‍ෂණයෙහි උපදනා රූපය පච්චුප්පන්න වේ. ඒ ස්වකීය කෘත්‍යක්‍ෂණයෙන් පෙර උපන් රූපය, අතීත වේ. පසුව උපදනේ අනාගත වේ.
අජඣත්තික-බාහිර යන්නෙන් ගැණෙන්නෝ ස්වපරසන්තානයන්හි වූ ස්කන්ධයෝ යි. චක්ඛු-සෝත-ඝාණ-ජිව්හා-කාය, යන පස්වැදෑරුම් රූපය, ආත්මභාවය අධිපති කොට පවත්නා බැවින් අජ්ඣත්තික නම් වේ. එයින් අන්‍ය වූ තෙවිසි රූපය, එයින් පිටත්හි වූ බැවින් බාහිර නම් වේ.
ඔළාරික-සුඛුම යනු, මහත්බව හා සියුම් බව ය. පඤ්චප්‍රසාදරූපය හා සප්තවිෂයරූපය, ස්වභාවයෙන් ස්ථුල බැවින් හා වස්තු ආරම්මණයන්ගේ ඝට්ටනය මහත් බැවින් ඔළාරික නම්. ආපෝධාතු -භාව-හෘදයවස්තු- ජීවිතෙන්ද්‍රය-ආහාර-ආකාශ-විඥප්ති-විකාර-ලක්‍ෂණ යන රූප සමූහය, සුඛම නම්.
හීනප්පණීත යන මෙය, රූපයෙහි උස් පහත් බව කියාලයි. ලාමක වූ සිත් නො ගත් රූපකොටස් හීන නම් උසස් වූ සිත්ගත් රූපකොටස් පණීත නම්.
මෙහි තවත් ක්‍රමයෙක් වේ. සම්පත්තියෙන් තොර බැවින් අනිෂ්ට වූ රුචි නො වන අරමුණ, කර්‍මහේතුවෙන් හටගන්නා රූප අතුරෙහි අකුශලකර්‍මසමුත්‍ථානරූප ය යි කියනු ලැබේ. ඒ වනාහි සැපයට කරුණු නො වන හෙයින් අනිෂ්ට වේ. දුකට හේතු බැවින් මන නො වඩන්නේ වේ. අකුශලකර්‍මසමුත්‍ථානරූපයාගේ වශයෙන් අනිෂ්ට වූ රුචි නො වූ පංචකාමකොට්ඨාසයෝ ද මෙහි ලා ගණු ලැබෙති. කුශලකර්‍මසමුත්‍ථානරූපය අනිෂ්ට වූයේ නො වේ. එය ඉෂ්ට වූයේ ම වෙයි. ඒ වශයෙනුදු පඤ්චකාමගුණයෝ බෙදන ලදහ. කර්‍මසමුත්‍ථාන රූපයන්හි ඉටු අනිටු බව යම්සේ වේ ද, ඍතුසමුත්‍ථාන රූපාදියෙහි ද ඉටු අනිටුබව එසේ ය.
සත්වප්‍රඥපතිවශයෙන් ද, පරමාර්‍ත්‍ථවශයෙන් ද, ද්වාරවශයෙන් ද, රූපධර්‍මයන්ගේ ඉටු අනිටුබව කිය යුතු ය. එහෙත් පොත දිග් ගැස්සෙන බැවින් ඒ මෙහි නො දැක්වින.
දූර-සන්තික යන මෙයින්, දූරස්ථරූපය හා සමීපස්ථරූපය කියත්. දුරස්ථරූපය නම් සුඛුමරූපය යි. අරුත් පිරිසිඳගැණීමත් ලක්‍ෂණාවබෝධයත් නො පහසු බැවිනි. යම් රූපයක අර්‍ත්‍ථාවබෝධය හා ලක්‍ෂණාවබෝධය පහසු වේ ද, ඒ මේ ඔළාරිකරූපය, සමීපස්ථ රූප නම්. තව ද දසවැදෑරුම් වූ ඖදාරිකරූපය, ලක්‍ෂණ හෙයින් සන්තිකෙරූප යි ද පසළොස් වැදෑරුම් වූ සූක්‍ෂමරූපය, අවකාශහෙයින් සන්තිකෙරූප යි ද කියනු ලැබේ. ප්‍රකෘතිගතිය නොයික්මවා කතා කරන්නන් පිළිබඳ දොළොස් රියනකින් මෙපිට පැවැති රූපය, සන්තිකෙරූප යි ගැණේ. එයින් ඔබ්බෙහි වූ රූපය, දූරෙරූප නම් වේ. ලක්‍ෂණ වශයෙන් හා අවකාශ වශයෙන් සූක්‍ෂම රූපය දූරයෙහි වන්නේ ය. අවකාශවශයෙන් සමීපයෙහි වන්නේ සන්තිකෙරූප නම් වේ. ලක්‍ෂණ වශයෙන් සන්තිකෙරූප නො වේ. ඖදාරිකරූපය, සමීපයෙහි වූයේ, ලක්‍ෂණ හෙයින් හා අවකාශ හෙයින් ය. එහෙයිනි, සන්තිකෙරූප යි කියනු. දූරස්ථානයෙහි වන්නේ, අවකාශවශයෙන්ම ය. එහෙයින් දූරෙරූප යි කියති. ලක්‍ෂණ වශයෙන් දූරෙරූප නො වේ.
මෙහි ලා වදාළ මේ ක්‍රමය ද සිත තබා ගත යුතු ය. තමාගේ රූපය, සන්තික ය. තමාගේ කුසතුළ හොත්තාවූ ද මෙරමාගේ රූපය, දූර ය. තමාගේ කුසතුළ හොත්තහුගේ රූපය, සන්තික ය. පිටත සිටියහුගේ රූපය, දූර ය. එක් ඇඳෙහි හොත්තහුගේ රූපය, සන්තික ය. පිටත පිළෙහි සිටියහුගේ රූපය, දූර ය. පිරිවෙණ තුළ සිටියහුගේ රූපය, සන්තික ය. පිරිවෙණෙන් පිටත සිටියහුගේ රූපය, දූර ය. සඞ්ඝාරාමය තුළ සිටියහුගේ රූපය, සන්තික ය. සඞ්ඝාරාමයෙන් පිටත සිටියහුගේ රූපය, දූර ය, යනාදි ලෙසිනි. ඒ වදාළ ක්‍රමය:
පච්චයසමුට්ඨාන රූපධර්‍මසමූහය, ප්‍රත්‍යය-සමුත්‍ථාන දෙකින් වෙන් කරණු සඳහා මේ කියන ලද්දේ ය. එහි චක්‍ෂුස්ප්‍රසාදාදී වූ අෂ්ටවිධරූපය, හෘදයවාස්තුව සමග වූයේ කර්‍මජ වේ. කෙස් රැවුල් ඇත්දත් අස්ලොම් ආදීහු කර්‍මප්‍රත්‍යයයෝ වෙති. චක්‍රරතන දිව්‍ය විමානාදීහු කර්‍මප්‍රත්‍යයඍතුසමුත්ථානයෝ ය. ආහාරයෙන් හටගන්නා ශුද්ධාෂ්ටකරූපය, ආහාරසමුත්‍ථාන වේ. ආහාරසමුත්‍ථානරූප හා කර්‍මජරූප යන දෙවැදෑරුම් වූ රූපසන්තතීන්ට ආහාරය ප්‍රත්‍යය වේ. ආහාරසමුත්‍ථානරූපය උපදවමින් කර්‍මජරූපය පාලනය කරමින් ඒ දෙකට ප්‍රත්‍යය ව සිටියේ ය. මෙහි මෙසේ ආහාරයෙන් පාලනය කෙරෙන මේ කර්‍මජරූපය, ආහාරප්‍රත්‍යය නම් වේ. විසම වූ ආහාර සේවනය කොට අව්වෙහි යන්නහුට හටගන්නා තල කැලල් කාලකුෂ්ඨාදීහු, ආහාරප්‍රත්‍යයඍතුසමුත්‍ථාන වෙති. ඍතුවෙන් උපන් ශුද්ධාෂ්ටකය, ඍතුසමුත්‍ථාන වේ. ඍතුව එහි අනික් ශුද්ධාෂ්ටකයක් ද උපදවයි. එය ඍතුප්‍රත්‍යය නමි. ඍතුව, එහි ද අනික් අටක් උපදවයි. එය ඍතුප්‍රත්‍යය ඍතු සමුත්ථාන වේ. වලා කූට ඍතුසමුත්‍ථාන යි. වර්ෂාධාරාවෝ ඍතුප්‍රත්‍යයහ. වැස්ස ඇතිකල බීජ හටගණියි. පෘථිවිගන්ධය නික්මේ. කඳු නිල්වන් වූවාක් මෙන් පෙණේ. මුහුද වැඩේ. මේ ඍතුප්‍රත්‍යය සෘතුසමුත්‍ථාන යි. සිතින් හටගත් ශුද්ධාෂ්ටකය, චිත්තසමුත්‍ථාන නමි. පසුව හටගත් චිත්ත චෛතසිකධර්‍මයෝ පළමු හටගත් මේ කයට පච්ඡාජාතප්‍රත්‍යය වශයෙන් ප්‍රත්‍යයයෝ වෙති යි කී බැවින් මෙය චිත්තප්‍රත්‍යය වේ. අහසෙහි දක්වන ඇත්රූ-අස්රු-රියරූ-සේනාරැස්වීම් චිත්තප්‍රත්‍යයඍතුසමුත්‍ථාන යි. මේ සැකෙවින් කීයේ රූපධර්‍මයන්ගේ පච්චයසමුට්ඨානය යි.
පරිනිප්ඵන්ත යන මෙයින් රූපවේදනාදිස්කන්ධපඤ්චකය, ප්‍රත්‍යයයන් විසින් පිරිසිඳිනා ලදු ව නිපද වූ බව කිය වේ. ‘පංචාපි පන ඛන්‍ධා පරිනිප්ඵත්තාව හොන්ති’ යනු කීයේ එහෙයිනි. පඤ්චස්කන්ධයෝ වනාහි, ප්‍රත්‍යයයන් විසින් නිපදවන ලද්දෝ ම ය. එසේ ම සඞ්ඛත ද වෙති. ප්‍රත්‍යයයන් විසින් සකස් කොට කරණලද බැවින් පඤ්චස්කන්ධය සඞ්ඛත වේ.
මෙසේ ප්‍රකීර්‍ණකවශයෙන් ද පඤ්චස්කන්ධය දැන නැවැත, ස්කන්ධයන් කෙරෙහි ඤාණභේදය පිණිස ක්‍රම විසින්, විශේෂ විසින්, අනූනාධික විසින්, උපමා විසින්, දෙයාකාරයකින් දැක්ක යුතු විසින්, අර්‍ත්‍ථසිද්ධි විසින්දෑ යි මෙසේත් ස්කන්ධවිභාගය දතයුතු බැවින් එහිලා ද කෙටි කතාවක් මෙහි දක්වනු ලැබේ.
උත්පත්තික්‍රම-ප්‍රහාණක්‍රමාදීන්ගේ වශයෙන් මෙහි ක්‍රමය නන් වැදැරුම් ය. ඔවුන් අතුරෙන් මෙහි ලා ගැණෙන්නේ දේශනා ක්‍රමය යි. භාග්‍යවත් බුදුරජානන් වහන්සේ සාමාන්‍යයෙන් පඤචස්කන්ධය ආත්මභාවය දැඩි ව ගන්නා විනෙයජනසමූහයා ස්කන්ධයන් ගේ ඝනබහලභාවය වෙන් කොට දැක්වීමෙන් ආත්ම දෘෂ්ටිග්‍රහණයෙන් මුදනු කැමැති සේක්, සුවසේ දැන ගැණීම පිණිස චක්‍ෂුරාදීන්ට ගොදුරු වූ ඖදාරිකරූපරාශිය පළමු කොට වදාළ සේක. අනතුරුව ඉෂ්ටානිෂ්ටරූපය විඳ ගන්නා වූ වේදනා රාශිය, අනතුරු ව වේදනාවට ගොදුරු වූ ඉෂ්ටානිෂ්ටාලම්බනයාගේ ආකාරය ගත් වන්නා වූ සංඥාරාශිය, අනතුරුව සංඥාවශයෙන් සකස් කරන්නා වූ සංස්කාර රාශිය, අනතුරු ව වේදනාදීන්ට නිඃශ්‍රය වූත් අධිපති වූත් විඥාන රාශිය දේශනා කෙරෙති’ යි දත යුතු ය.
විශේෂ විසින් යනු, ස්කන්ධයන්ගේ හා උපාදානස්කන්ධයන්ගේ විශේෂය ගෙණ කීහ. ස්කන්ධයන්ගේ හා උපාදානස්කන්ධයන්ගේ විශේෂය මෙසේ ය:- ස්කන්ධයෝ, පළමු කොට ආශ්‍රව සහිත ය, උපාදානයන්ට හිතය, යි වෙනස් නො කිරීමෙන් ද, උපාදානස්කන්ධයෝ ආශ්‍රවයන්ට හා උපාදානයන්ට අරමුණු වීම් වශයෙන් වෙනස් කිරීමෙන් ද දේශනා කරණ ලදහ. ස්කන්ධ යන්නෙන් නිවන තොර කොට ඇති සියලු ලෞකික ලෝකෝත්තරධර්‍මත්, උපාදාන ස්කන්ධ යන්නෙන් ලෞකිකචිත්තචෛතසිකධර්‍ම හා රූපධර්‍මත් ගන්නා ලැබෙති. “පඤ්චි මෙ භික්ඛවෙ! බන්ධෙ දෙසිස්සාමි, පඤ්චුපාදානක්ඛන්‍ධෙ, තං සුණාථ, කතමෙ ච භික්ඛවෙ! පංචක්ඛන්ධා? යං කිඤ්චි රූපං අතීතානාගතපච්චුප්පන්නං -පෙ- සන්තිකෙ වා අයං වුච්චති භික්ඛවෙ! රූපක්ඛන්‍ධො. යා කාචි වෙදනා -පෙ- යා කාචි සඤ්ඤා -පෙ- යෙ කෙචි සඞ්ඛාරා -පෙ- යං කිඤ්චි විඤ්ඤාණං -පෙ- සන්තිකෙ වා අයං වුච්චති භික්ඛවෙ! විඤ්ඤාණක්ඛන්‍ධො ඉමෙ වුච්චන්ති භික්ඛවෙ! පංචක්ඛන්ධාති, කතමෙ ච භික්ඛවෙ! පඤ්චුපාදානක්ඛන්ධා, යං කිඤ්චි භික්ඛවෙ! රූපං -පෙ- සන්තිකෙ වා සාසවං උපාදානීයං, අයං වුච්චති රූපූපාදානක්ඛන්ධො. යා කාචි වෙදනා -පෙ- යා කාචි සඤ්ඤා -පෙ- යෙ කෙචි සඞ්ඛාරා -පෙ- යං කිඤ්චි විඤ්ඤාණං -පෙ- සන්තිකෙ වා සාසවං උපාදානීයං, අයං වුච්චති විඤ්ඤාණූපාදානක්ඛන්ධො, ඉමෙ වුච්චන්ති භික්ඛවෙ! පඤ්චුපාදානක්ඛන්ධාති” යන මේ දේශනා පාලියෙන් මොවුන් පිළිබඳ අවිශේෂකථනය හා විශේෂකථනය මොනවට පැහැදිලි වේ.
ආශ්‍රවධර්‍මයන්ට අරමුණු වූත් අරමුණු නො වූත් ස්කන්ධයෝ පංචස්කන්ධයෙහි ද, ආශ්‍රව සහිත වූ ස්කන්ධයෝ උපාදානස්කන්ධයෙහි ද ඇතුළත් වෙති. චතුර්විධඋපාදානයන්ට අරමුණු වූ ස්කන්ධයෝම උපාදානස්කන්ධ යි ගැණෙත්.
සියලු සංස්කාරයන් සභාගවශයෙන් එක් කොට සඞ්ග්‍රහ කිරීමෙන් ද, මම ය, මාගේ ය, යි ගැණුමට වස්තූන් මෙ පමණක් ම බැවින් ද, සෙසු ශීලස්කන්ධාදියත් මෙහි ම ඇතුළත් වන බැවින් ද ස්කන්ධ පසක් ම වදාළ සේක.
නොයෙක් ප්‍රභේද ඇති සංස්කාරධර්‍මයන් සමාන කොට්ඨාශ වශයෙන් සංග්‍රහ කරණ කල්හි, රූපය, විනාශවීම්ලක්‍ෂණයෙන් සමාන වූ කොටස් එක් තැන් කොට ගැණීමෙන් එක් ස්කන්ධයෙන් වේ. වේදනාව අරමුණු රස විඳ ගැණීම ය යි කියන වෙදයිතස්වභාවයෙන් සමාන වූ කොටස් එක් තැන් කොට ගැණීමෙන් එක් ස්කන්ධයෙක් වේ. සංඥා-සංස්කාර-විඥානයන් පිළිබඳ ක්‍රමය ද මෙසේ ය. එහෙයින් ස්කන්ධ පසෙක් ම වදාරණ ලද්දේ ය. මේ රූපාදි ස්කන්ධ පස, මම ය, මාගේ ය, යි ආත්මදෘෂ්ටියෙන් ගැණීමට කරුණු වූ රූපාදිස්කන්ධපංචකය පමණ කොට ඇත්තේ ය. ‘මහණෙනි! රූපය ඇති කල්හි රූපය නිසා රූපයට ඇතුල්ව හෙවත් රූපය ලෙහි පිහිටුවීමෙන් මේ රූපය මාගේය, මේ රූපය මම වෙමි, මේ රූපය මාගේ ආත්මය වේ, යි මිත්‍ථ්‍යාදෘෂ්ටියක් උපදියි. වේදනාදීන් ඇති කල්හි ද එසේ මිත්‍ථ්‍යාදෘෂ්ටියක් උපදි’ යි වදාළ බැවින් පංචස්කන්ධය ආත්මආත්මීයාභිනිවේශයට කාරණය බව පැහැදිලි ය. ඒ මේ ආත්ම ආත්මීයාභිනික්වෙශයෙහි කාරණය, පංචස්කන්ධය ප්‍රමාණය කොට ඇති බැවින් ස්කන්ධ පසක් ම වදාළ සේක. ශීලස්කන්ධාදී වූ ස්කන්ධපංචකයත් සංස්කාරස්කන්ධයෙහි ඇතුළත් බැවින් මේ ස්කන්ධ පසෙහි ම සංග්‍රහයට පැමිණේ. එ ද ස්කන්ධ පසක් දේශනා කිරීමට කරුණු විය.
“අනෙකප්පභෙදෙසු හි සඞ්ඛතධම්මෙසු සභාගවසෙන සඞ්ගය්හමානෙසු රූපං රූපසභාගෙකසඞ්ගහවසෙන එකො ඛන්ධො හොති. වෙදනාසභාගෙකසඞ්ගහවසෙන එකො ඛන්ධො හොති. එසනයො සඤ්ඤාදීසු. තස්මා සබ්බසඞ්ඛතසභාගෙකසඞ්ගහතො පඤ්චෙව වුත්තා. එතපරමඤ්චෙතං අත්තත්තනිය ගාහවත්ථු යදිදං රූපාදයො පඤ්ච. වුත්තංහෙතං:- රූපෙ ඛො භික්ඛවෙ සති රූපං උපාදාය රූපං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති, එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තාති, වෙදනාය -පෙ- සඤ්ඤාය -පෙ- සඞ්ඛාරෙසු -පෙ- විඤ්ඤාණෙ සති විඤ්ඤාණං උපාදාය විඤ්ඤාණං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති, එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තාති, තස්මා අත්තත්තනියගාහවත්ථුස්ස එතපරමතොපි පඤ්චෙව වුත්තා. යෙපි චඤ්ඤෙ සීලාදයො පඤ්ච ධම්මක්ඛන්ධා වුත්තා, තෙපි සඞ්ඛාරක්ඛන්ධපරියාපන්නත්තා එත්‍ථෙව අවරෝධං ගච්ඡන්ති” යනු මෙහි ලා අටුවායෙහි ආයේය.
රූපොපාදානස්කන්ධය ගිලනකු සමාන වූ විඥානොපාදානස්කන්ධයට වාස්තුද්වාරආරම්මණ විසින් වාසස්ථාන වන බැවින් ගිලන් හලක් සමාන වේ. දැඩි කොට පෙළෙන බැවින් වෙදනොපාදානස්කන්ධය, ගිලන්බව හා සමාන ය. කාමසංඥාදීන්ගේ වශයෙන් රාගාදිය හා එක් වූ වේදනාවගේ හටගැණීම වන හෙයින් සංඥොපාදාන ස්කන්ධය ගිලන්බව හටගැණීමට කරුණු වූ තුන් දොස් හා සමාන ය. වේදනා නැමැති ගිලන්බවට ප්‍රධාන හේතුව වන බැවින් සංස්කාරොපාදානස්කන්ධය නො සැප වූ ආහාර විහරණාදිය සේවනය කිරීමක් බඳු ය. වේදනා නැමැති ගිලන් බැවින් නො මිදුන බැවින් විඥනොපාදානස්කන්ධය ගිලනකුට බඳු උපමා ඇත්තේ ය.
මෙය මෙසේ කීහ අටුවාවෙහි:- “ගිලානසාලූපමො රූපූපාදානක්ඛන්ධො, ගිලානූපමස්ස විඤ්ඤාණූපාදානක්ඛන්ධස්ස වත්ථුද්වාරාරම්මණවසෙන නිවාසට්ඨානතො. ගෙලඤඤූපමො වෙදනූපාදානක්ඛන්ධො, ආබාධකත්තා. ගෙලඤ්ඤසමුට්ඨානූපමො සඤ්ඤූපාදානක්ඛන්‍ධො, කාමසඤ්ඤාදිවසෙන රාගාදිසම්පයුත්තවෙදනාසබ්භාවා. අසප්පායසෙවනූපමො සඞ්ඛාරුපාදානක්ඛන්ධො, වෙදනාගෙලඤ්ඤස්ස නිදානත්තා. ගිලානූපමො විඤ්ඤාණූපාදානක්ඛන්ධො, වෙදනාගෙලඤ්ඤෙන අපරිමුත්තත්තා” යි.
තව ද සිරගෙය, කම්කටොලුය, කම්කටොලු කරන්නාය, අපරාධ කළහුය යන මොවුන් හා ද, බඳුනය, බතය, ව්‍යඤ්ජනය, බත් කරන්නාය. අනුභව කරන්නාය යන මොවුන් හා ද සමානොපමා ඇත්තෝ ය, පිළිවෙළින් පංචෝපාදානස්කන්ධයෝ.
මේ අටුවා:- ‘චාරක - තාරණ - අපරාධ - කාරණකාරක - අපරාධිකූපමා එතෙ භාජන - භොජන - බ්‍යඤ්ජන - පරිවෙසක භුඤ්ජකූපමා චාති’ යි.
සැකෙවින් පංචෝපාදානස්කන්ධය ඔසවා ගත් කඩු ඇති පස මිතුරකු සේ, මහත් බරක් සේ, මනුෂ්‍යමාංසානුභවයෙහි ගිජු වූ යක්‍ෂයකු සේ දැන අනිත්‍ය-දුඃඛ-අනාත්මවශයෙන්, ප්‍රත්‍යයොත්පන්න ධර්‍මයන්ගේ වශයෙන් හා වධකයකු වශයෙන් ද දත යුතු ය. විස්තර විසින් වනාහි, රූපස්කන්ධය පෙණපිඩක් සේ, වේදනාව දියබුබුලක් සේ, සංඥාව මිරිඟුදියක් සේ, සංස්කාරස්කන්ධය කෙසෙල්කඳක් සේ, විඥානස්කන්ධය ඉන්ද්‍රජාලයක් සේ ද දැක්ක යුතු ය.
මේ අටුවා:- “සඞ්ඛෙපතො පඤ්චුපාදානක්ඛන්ධො ආසීවිසූපමෙ වුත්තනයෙන උක්ඛිත්තාසිකපච්චත්‍ථිකො, භාරසුත්තවසෙන භාරතො, තජ්ජනීයපරියායවසෙන ඛාදකතො, යමකසුත්තවසෙන අනිච්චදුක්ඛානත්තසඞ්ඛතවධකතො දට්ඨබ්බං, විත්‍ථාරතො පනෙත්ථ ඵෙණපිණ්ඩො විය රූපං, පරිමද්දනාසහනතො. උදකබුබ්බුලං විය වෙදනා, මුහුත්ත රමණීයතො. මරීචිකා විය සඤ්ඤා, විප්පලම්බනතො, කදලික්ඛන්ධො විය සඞ්ඛාරා, අසාරකතො. මායා විය විඤ්ඤාණං වඤ්චකතො” යි.
පෙණපිඩ හර නැත්තේ ය. පාත්‍රතලුතැටි ආදී කිසිවක් ඉන් නො කොට හැකි ය. ගත්තැන ම බිඳෙ යි. එ මෙන් රූපය ද නිත්‍ය ය, මම ය, මාගේ ය, යි නො ගත හැකි ය. ඒ අනිත්‍ය ය. දුක් ය. අනාත්ම ය. අශුභයෙකි. පෙණපිඩෙහි සිදුරු බොහෝ ය. නොයෙක් සන්ධිස්ථානයෝ ය දියනයි ආදී වූ සතුන්ට වාසස්ථාන වේ. එ මෙන් රූපයෙහි ද කුදුමහත්සිදුරු බොහෝ ය. නොයෙක් සන්‍ධි ස්ථානයෙන් ගැළපින. අසූකුලයෙක පණුවෝ වාසය කෙරති. මෙය ඔවුන්ට වැදුම්ගෙයත් මල මූ හෙලන තැනත් ගිලන්හලත් සොහොන්බිමත් වේ. මුල දී පෙණපිඩ ඩෙබරගෙඩිය පමණැති ව හටගෙණ ක්‍රමයෙන් පර්‍වත ශිඛරයක් පමණට වැඩී යයි. එ මෙන් රූපය ද මුලින් කලලරූපයක් ව හටගැණී පිළිවෙළින් බඹයක් පමණ ව ද, පර්‍වතකූටයක් පමණ ව ද මහත් ව යයි. මහාසත්වයන්ගේ වශයෙන් යොදුන් සියගණන් මහත් වන්නේ ද වෙයි. පෙණ පිඩ නැගුනු තැනමත් බිඳෙයි. මඳතැන් ගොසිනුත් බිඳෙයි. කො තැන නො බිඳුන ද මුහුදට පැමිණ නම් බිඳෙයි. රූපය ද කලලාවස්ථාවෙහි නැත, අර්බුදාවස්ථාවෙහි බිඳෙයි. සියක් අවුරුද්ද අතර නො බිඳුන ද සියක් අවුරුද්දට පැමිණ නම් බිඳේ ම ය.
දියබුබුල අසාර සේ වේදනාවත් අසාර ය. එයින් පුවරුවක් අස්නක් නො කොට හැකි ය. ගත් ගත් තැන ම බිඳෙයි. වේදනාචත් එබඳු ය. පල නැත්තී ය. නො ගතයුතු වන්නී ය. නිත්‍යය. ශාස්වත ය’ යි ගනට නො හැකි ය. දියබුබුල හටගන්නේත් බිඳෙන්නේත් වෙයි. කල් නො ද පවතී. වේදනාවත් එබඳු ම ය. උපදින්නීත් වෙයි. බිඳෙන්නීත් වෙයි. කල් නො ද පවතී. එක් අසුරක් ගසන කාලය තුළ කෙළලක්‍ෂගණන් වේදනාවෝ ඉපිද නිරුද්ධ වෙති. දියබුබුල, ජලතලාවත් දියබිඳුත් දියමිදුලුත් කැටි කොට ගන්නා සුළඟත් යන කරුණු සතර දියෙහි කැටි ව පොළක් ව හටගන්නේ යම්සේ ද, එ මෙන් වේදනාවත් වස්තු රූපයත් අරමුණත් කෙලෙස්මලත් ස්පර්‍ශයාගේ ඝර්‍ෂණයත් යන කරුණු සතර නිසා උපදියි.
සංඥාව නිසරු ය. මිරිඟුදිය වැනි ය. මිරිඟු දිය බොන්නට නාන්නට බඳුන් පුරවන්නට නො ගත හැකි ය. සැලෙන්නේ ය. හට ගත් රැළපකුල් මෙන් වැටහෙන්නේ ය. එ මෙන් නීලසංඥාදි ප්‍රභේද ඇති සංඥාව ද නීලාදී වූ අරමුණු රස විඳගනු පිණිස සැලෙන්නේ ය. මිරිඟුදිය, දියපිරිවැවක සේ දියපිරිගඟක සේ මහාජනයා පොළොඹවයි. එ මෙන් සංඥාවත් නිල් පැහැ ඇති මේ අරමුණු ශුභ ය, සුඛ ය, නිත්‍යය, යි මහාජනයා පොළොඹව යි.
සංස්කාරයෝ ද නිසරු ය. නිත්‍ය ය, සාර ය, යි ගන්නට නො සුදුස්සෝ ය. එහෙයින් කෙසෙල්කඳක් බඳු ය. කෙසෙල් කඳින් කිසිවක් ගෙණ කිසි වැඩක් සදහා යොදනු බැරි ය. එ මෙන් සංස්කාරයෝත් නිත්‍ය වශයෙන් ගන්නට නො හැක්කෝ ය. කෙසෙල්කඳ පතුරු රැසක් වූ සේ, සංස්කාරස්කන්ධයත් චෛතසිකරාශියක් වන්නේ ය. කෙසෙල්කඳ ලක්‍ෂණවත් ය. පිටපතුරු එක් පැහැයකිනුත්, ඇතුල්පතුරු අනික් අනික් පැහැයෙනුත් යුක්ත ය. සංස්කාරස්කන්ධයත් එමෙන් නානා ලක්‍ෂණයෙන් යුක්ත ය. පහසෙහි ලක්‍ෂණ එකෙක, චේතනාවගේ ලක්‍ෂණ අනිකෙක, යනාදී විසින් නොයෙක් නොයෙක් ස්වභාවයෙන් යුක්ත ය.
විඥානය නිසරු ය. ඒ අරුතෙන් ඉන්ද්‍රජාලමායාවක් බඳු ය. නිත්‍යාදිවශයෙන් ඇදහීම සුදුසු නො වේ. ඉන්ද්‍රජාලය ලාමක ව වහා වැටහෙන්නා සේ, විඥානය ද එයට ද වඩා ලාමක ව වහා වැටහෙන්නේ ය. ඊම, යෑම, සිටීම, හිඳීම එක සිතකින් ම කරන්නා සේ පෙනෙතත්, ඊම එක සිතකින් ද, යෑම අනික් සිතකින් දැ යි ඒ ඒ අවස්ථාවන්හි අනික් අනික් සිතෙක් ම විය. ඉන්ද්‍රජාලය යමක් ගෙණ මේ රන් ය, මේ රිදී ය යනාදී වශයෙන් ගන්වමින් මහජනයා මුළා කරන්නා සේ විඥානයත් එක සිතින් ම එන්නකු සේ යන්නකු සේ හුන්නකු සේ පෙන්වමින් මහාජනයා මුළා කරන්නේය.
විශේෂවශයෙන් වනාහි ඖදාරික වූ ස්වසන්තානගතරූපය තෙමේ ශුභාලම්බනයක් වුව ද අශුභ ය, යි කියා ම ගත යුතු ය වේදනාව දුක්ඛදුක්ඛ ය, සඞ්ඛාර දුක්ඛ ය, විපරිණාමදුක්ඛ ය යන ත්‍රිවිධ දුක්ඛයෙන් නො මිදුනු බැවින් දුකැ යි දත යුතු ය. සංඥා සංස්කාරස්කන්ධද්වය තමා වශයෙහි පවත්වන්නට නො හැකි බැවින් අනාත්ම යි ද, විඥානස්කන්ධය ඉපදීම, නැසීම යන දෙකින් යුක්ත බැවින් අනිත්‍ය, යි ද දත යුතු ය. මෙසේ නුවණැසින් බලන්නාහට ම අර්‍ත්‍ථසිද්ධිය වේ. එ ද සංක්‍ෂේප විස්තර දෙකින් ම වන්නේ ය.
උපාදානස්කන්ධ පස ඔසවා ගත්කඩු ඇති වධකයකු සේ සැකවින් බලන්නා වූ යෝගාවචර තෙමේ ස්කන්ධයන් හේතු කොට වෙහෙසට නො පැමිණේ.
‘සඞ්ඛෙපතො තාව:- පඤ්චුපාදානක්ඛන්ධෙ උක්ඛිත්තාසික පච්චත්‍ථිකාදිභාවෙන පස්සන්තො බන්ධෙහි න විහඤ්ඤති’ යන අටුවාය.
විස්තර වශයෙන් වනාහි රූපාදීන් පෙණපිඩුආදිය හා සමානත්වයෙන් දක්නේ නිස්සාර වූ ස්කන්ධයන්හි සාරය යි වරදවා ගත්තෙක් නො වන්නේ ය. ආද්ධ්‍යාත්මිකරූපය, අශුභවශයෙන් දක්නේ කබලිංකාරාහාරය පිරිසිඳ දනියි. අශුභයෙහි ශුභ ය යන විපර්‍ය්‍යාසය දුරු කරයි. කාමොඝය එතෙර කෙරෙයි, කාමයෝගය හා නො යෙදෙ යි. කාමාශ්‍රවරහිත වේ. අභිජ්ඣාකායගන්‍ථය බිඳියි. කාමොපාදානය දැඩි කොට නො ගණියි.
“විත්‍ථාරතො පන රූපාදීනි. ඵෙණපිණ්ඩාදිසදිසභාවෙන පස්සන්තො න අහාරෙසු සාරදස්සි හොති, විසෙසතො ච අජඣත්තිකරූපං අසුභතො පස්සන්තො කබලීකාරාහාරං පරිජානාති, අසුභෙ සුභන්ති විපල්ලාසං පජහති, කාමොඝං, උත්තරති, කාමයොගෙන විසංයුජ්ජති, කාමාසවෙන අනාසවො හොති, අභිජ්ඣාකායගන්‍ථං භින්‍දති, කාමූපාදානං න උපාදියති” යනු අටුවා.
වේදනාව දුක්වශයෙන් දක්නේ ස්පර්‍ශාහාරය පිරිසිඳ දනියි. දුකෙහි සැපය යන විපර්‍ය්‍යාසය බැහැරලයි. භවෝඝය තරණය කෙරෙයි. භවයෝගය හා නො යෙදෙයි. භවාශ්‍රවරහිත වේ. ව්‍යාපාදකායගන්‍ථය බිඳියි. සීලබ්බතූපාදානය දැඩි කොට නො ගණියි.
“වෙදනං දුක්ඛතො පස්සන්තො ඵස්සාහාරං පරිජානාති, දුක්ඛෙ සුඛන්ති විපල්ලාසං පජහති, භවොඝං උත්තරති, භවයොගෙන විසංයුජ්ජති, භවාසවෙන අනාසවො හොති, ව්‍යාපාදකායගන්‍ථං භින්‍දති, සීලබ්බතූපාදානං න උපාදියති” යනු අටුවා.
සංඥාස්කන්ධය හා සංස්කාරස්කන්ධය අනාත්ම වශයෙන් දක්නේ මනෝසඤ්චේතනාහාරය දැන අනාත්මයෙහි ආත්මය යන විපර්‍ය්‍යාසය දුරු කරයි. දෘෂ්ටිඔඝය තරණය කරයි. දෘෂ්ටියෝගය හා නො යෙදෙයි. දෘෂ්ටිආශ්‍රවරහිත වේ. ඉදංසච්චාභිනිවෙසකායගන්‍ථය බිඳියි. අත්තවාදූපාදානය දැඩි කොට නො ගණියි.
“සඤ්ඤෙ සඞ්ඛාරෙ ච අනත්තතො පස්සන්තො මනොසඤ්චෙතනාහාරං පරිජානාති, අනත්තනි විපල්ලාසං පජහති, දිට්ඨොඝං උත්තරති, දිට්ඨියොගෙන විසංයුජ්ජති, දිට්ඨාසවෙන අනාසවො හොති. ඉදං සච්චාභිනිවෙසකායගන්‍ථං භින්‍දති, අත්තවාදූපාදානං න උපාදියති” යනු අටුවා.
විඥානය අනිත්‍යවශයෙන් දක්නේ විඥානාහාරය පිරිසිඳ දැන අනිත්‍යයෙහි නිත්‍යය යන විපර්‍ය්‍යාසය දුරු කරයි. අවිද්‍යාඔඝය තරණය කරයි. අවිද්‍යාශ්‍රව රහිත වේ. අවිද්‍යායෝගය හා නො යෙදෙයි. සීලබ්බතපරාමාසකායගන්‍ථය බිඳියි. දිට්ඨුපාදානය දැඩි කොට නො ගණියි.
“විඤ්ඤාණං අනිච්චතො පස්සන්තො විඤ්ඤාණාහාරං පරිජානාති, අනිච්චෙ නිච්චන්ති විපල්ලාසං පජහති, අවිජ්ජොඝං උත්තරති, අවිජ්ජායොගෙන විසංයුජ්ජති, අවිජ්ජාසවෙන අනාසවො හොති, සීලබ්බතපරාමාසකායගන්‍ථං භින්‍දති, දිටඨුපාදාන න උපාදියති” යනු අටුවා.
මෙසේ මෙහි සැකෙවින් කියන ලද පඤ්චස්කන්ධය වධකාදි උපමාවනට සුදුසු සේ නගා බලා දැන ස්කන්ධධීරයන් ව ස්කන්ධභාරය බහා තැබීමෙහි උත්සාහවත් විය යුතු ය.
“එවං මහානිසංසං වධකාදිවසෙන දස්සනං යස්මා,
තමා ඛන්‍ධෙ ධීරො වධකාදිවසෙන පස්සෙය්‍ය”
යනු මෙහිලා දත යුතු ය.
ධම්මපද ගාථාවෙහි ‘පඨවී’ යි වදාළෝ මෙහි ඉතා සැකෙවින් කියූ පංචස්කන්ධය යි. ආත්මභාවය යි කීයේ ද මේ ම ය. පඨවීත් මේ ය.
විචෙස්සති = වෙසෙසින් දනියි. ප්‍රතිවේධ කරයි. ප්‍රත්‍යක්‍ෂ කරයි. මෙහි අර්‍ත්‍ථය මෙසේ පද කිහිපයකින් විවෘත වුව ද, අදහස් විසින් එකෙක් ම ය. ආත්මභාවය යි කියූ පොළොව නාම-රූප-ස්කන්ධ-ධාතු-ආයතනාදි වශයෙන් හා අනිත්‍ය, දුඃඛ, අනාත්ම වශයෙන් බෙදා බලන නුවණින් ද, සංස්කාරයන් අනිත්‍ය වශයෙන් ලක්‍ෂණට නගා බලන විදසුන් නුවණින් ද වෙසෙසින් දැනීම මෙයින් කියන ලද්දේ ය. පංචස්කන්ධය මේ දෙ නුවණින් ම පිරිසිඳ දත යුතු ය.
යමලොකං ච = යමලෝකය ද.
සතර අපාය යමලෝක යන්නෙන් ගැනේ. විස්තර කී සේ ය.
ඉමං සදෙවකං = දෙව්ලොව සහිත වූ මේ මිනිස්ලොව.
සදෙව්ලොව හා මිනිස්ලොවත් කාමස්වර්‍ග බැවින් සත් තැන ම එක් කොට මෙසේ වදාළ සේක.
ධම්මපදං සුදෙසිතං = මොනවට දෙසූ ධර්‍ම කොට්ඨාසය.
තේරුම්ගැණීමේ දී ‘ සුදෙසිතං’ යන්න මුල යොදා ගත යුතුය. එය ‘ ධම්මපදං’ යන්නට විශේෂණ බැවිනි.
බෝපැකිදම් මෙයින් කියැ වේ. සිවුසස්දම් අවබෝධ කරන්නා හෝ මාර්‍ගචිත්තොත්පාදය බොධි නම් වේ. සිවුසස්දම් අවබෝධ කරන්නාහට ඒ පිණිස උපකාර වූ ද එසේ ම මාර්‍ගචිත්තොත්පාදයට අනුගුණභාවයෙන් සිටියා වූ ද සමෘති ආදි ධර්‍ම තුදුස, බෝපැකිදම් නම් වේ. පූර්‍වභාගප්‍රතිපත්තික්‍ෂණයෙහි හා ලෝකෝත්තර ප්‍රතිපත්තික්‍ෂණයෙහි සමෘති ආදී වූ ඒ ඒ ධර්‍මයන් සතිපට්ඨාන - සම්මප්පධානාදි ක්‍රමයෙන් වඩා යෝගාවචර තෙමේ චතුස්සත්‍යය අවබෝධ කරයි. ඔහුට ඒ පිණිස මේ තුදුස් වැදෑරුම් වූ ධර්‍මයෝ උපකාර වෙති. එසේ ම ලෝකෝත්තරමාර්‍ගචිත්තයෙහි නිවන් අරමුණ එල්බ ගෙණ එකවිට යෙදෙන බැවින් මාර්‍ගචිත්තොත්පාදයාගේ බෝධන ක්‍රියාවට අනුගුණභාවයෙන් සිටිති. විස්තර කී සේ ය.
කුසලො පුප්ඵං ඉව පචෙස්සති = මල් කඩා රැස් කරණ දක්‍ෂ මාලාකාරයකු සේ ප්‍රත්‍යක්‍ෂ කරන්නේ ද?
මේ වනාහි ප්‍රථම ගාථාවෙහි අවසාන කොටස ය. ගාථාපාදය මෙසේ වුව ද, අරුත්ගැණීමේ දී ‘පුප්ඵං විවිනන්තො කුසලා ඉව කො සුදෙසිතං ධම්මපදං පචෙස්සති’ යි. පදාන්‍වය ගත යුතු ය. විචිනන්තො” යනු අතින් හෙලා ගත් පදයෙකි. එසේ කරණ ලද්දේ මෙහිලා ඒ අවශ්‍ය බැවිනි. ක’ යන්නත්, සුදෙසිතං ධම්මපදං, යන්නත් තෘතීයපාදයෙන් ඇදගත් පද දෙකෙකි. මෙ කී පද මෙසේ යෙදූවිට ‘මල් කඩා රැස්කරණ දක්‍ෂමාලාකාරයකු සේ කවරෙක් මොනවට දෙසූ ධර්‍මකොට්ඨාසය ප්‍රත්‍යක්‍ෂ කරන්නේ ද’ යන තේරුම ලැබෙන්නේ ය. පචෙස්සති’ යන්න ‘විචිනිස්සති - විජානිස්සති - උපපරික්ඛිස්සති - පටිවිජ්ඣිස්සති - සච්ඡිකරිස්සති’ යි පැහැදිලි කළහ.
සෙඛො පඨවිං විචෙස්සති = ශෛක්‍ෂ තෙමේ පොළොව දන්නේ ය.
මේ වනාහි දෙවන ගාථාවේ ප්‍රථමපාදය යි. සෝවන්මග සිටියහු පටන් රහත්මගට පැමිණියහු තෙක් වූ ආර්‍ය්‍යයෝ සත් දෙන සෙඛ නම් වෙත්. කිනම් අරුතකින් මෙතෙමේ සෙඛ නම් වේ ද? යත්:- ශෛක්‍ෂ්‍ය වූ සම්‍යක්දෘෂ්ටි ආදියෙන් යුක්ත බැවිනි. ‘කිත්තාවතා නු ඛො භන්තෙ! සෙඛො හොතීති? ඉධ භික්ඛවෙ! භික්ඛු සෙඛාය සම්මාදිට්ඨියා සමන්නාගතො හොති -පෙ- සෙඛෙන සම්මාසමාධිනා සමගන්නාතො හොති, එත්තාවතා ඛො භික්ඛු සෙඛො හොති’ යි ඒ අරුත පැහැදිලි කළ සේක, බුදුරජානන් වහන්සේ. ප්‍රධාන වශයෙන් මෙසේ වදාළෝ.
මාර්‍ග-ඵලචිත්තයන්හි යෙදෙන සම්මාවාචා-සම්මාකම්මන්ත-සම්මාආජීව යන විරතිචෛතසික තුන අධිශීල යි ද, එසේ ම මාර්‍ගඵල සිත්වල යෙදෙන සම්මාවායාම-සම්මාසති-සම්මාසමාධි යන තුන සමාධිපාක්‍ෂික හෙයින් අධිචිත්ත යි ද, මාර්‍ගඵල සිත්වල යෙදෙන සම්මාදිට්ඨි-සම්මාසඞ්කප්ප යන දෙක අධිපඤ්ඤා යි ද, ශෛක්‍ෂ්‍ය වූ සම්මාදිට්ඨි ආදී වූ මාර්‍ගාඞ්ග අට, තුනක් කොට ඒ තුනෙහි හික්මෙන්නා සෙඛ, යි වදාළ සේක. ‘සික්ඛති සික්ඛතීති ඛො භික්ඛු තස්මා සෙඛොති වුච්චති, කිඤ්ච සික්ඛති? අධිසීලම්පි සික්ඛති අධිචිත්තම්පි සික්ඛති අධිපඤ්ඤම්පි සික්ඛති, සික්ඛති සික්ඛතීති ඛො භික්ඛු තස්මා සෙබොති, වුච්චති’ යි ඒ අර්‍ත්‍ථය ම අන්ලෙසකින් මේ වදාළ සැටි යි. ‘හික්මේ නු යි සෙඛ’ නම් වේ, කිමෙක හික්මෙන්නේ ද? අධිශීල-අධිචිත්ත-අධිප්‍රඥාවන්හි හික්මෙන්නේ ය, එහෙයින් එසේ හික්මෙන්නා සෙඛ, යි කියනු ලැබේ.” යනු එහි සිංහල ය.
අප්‍රධානවශයෙන් පංචශීලය හා දශශීලය ශීල නම් වේ. මේ වනාහි සියලු කල්හි ම ලොවැ පවතී. බුද්ධෝත්පාදකාලයන්හි බුදුවරුත් ශ්‍රාවකයෝත් මහාජනයා එහි පිහිටුවති. අබුද්ධොත්පාදයන්හි පසේ බුදුවරු කර්‍මවාදී වූ දැහැමි මහණ බමුණෝ, සක්විතිරජහු මහාබොධිසත්වයෝ සමාදන් කරවති. නුවණැති මහණ බමුණෝ තුමූ ද සමාදන් වෙති. සිල් පුරා දිව්‍යලෝක-මනුෂ්‍යලෝකයන්හි ඉපිද සම්පත් විඳින්නෝ ය ඔවුහු.
පංචසීලයට අට සීලය, අට සීලයට දසසීලය, දසසීලයට පාතිමොක්ඛසංවරසීලය, පාතිමොක්ඛසංවරසීලයට මාර්‍ගඵලසම්ප්‍රයුක්ත ශීලය අධිශීල වේ.
ප්‍රදීපයන් අතර හිරු, පර්‍වත අතර, මහමෙර, අධිකත් උත්තමත් වන්නා සේ සකතලෞකිකශීලයන් අතර පාතිමොක්ඛසංවරසීලය ම අධිකත් වේ. උත්තමත් වේ. එය බුද්ධොත්පාදකාලයෙහි ම ලැබිය යුතු ය. බුදුවරයෝ ම ඒ පණවති. ඒ පිණිස දිව්‍යබ්‍රහමාදී වූ කිසි කෙනෙක් පොහොසත් නො වෙති. පාතිමොක්ඛසංවරසීලයට, වඩා අධික වන්නේත් උත්තම වන්නේත් මාර්‍ගඵලසම්ප්‍රයුක්ත ශීලය යි.
කාමාවචරචිත්තයට රූපාවචරචිත්තය, රූපාවචරචිත්තයට අරූපාවචරචිත්තය, අරූපාවචරචිත්තයට ලෝකෝත්තර චිත්තය අධිචිත්ත වේ.
තවත් ක්‍රමයකින් අෂ්ටවිධකාමාවචරකුසලචිත්තය හා ලෞකික අෂ්ටසමාපත්තිචිත්තය ද චිත්ත යි කියනු ලැබේ. අබුද්ධෝත්පාදයෙහි ද ඒ පවතී. සමාදානය පෙර කී සේ ය. විදර්‍ශනාපාදකඅෂ්ටසමාපත්තිචිත්තය, සකලලෞකික සිත් අතර අධිකත් උත්තමත් වේ. බුද්ධොත්පාදයෙහි ම ඒ ලැබේ. මෙයට වඩා මාර්‍ගඵලචිත්තය ම අධික ද උත්තම ද වේ.
කාමාවචරප්‍රඥාවට රූපාවචරප්‍රඥාව, රූපාවචරප්‍රඥාවට අරූපාවචරප්‍රඥාව, අරූපාවචරප්‍රඥාවට ලෝකෝත්තරප්‍රඥාව අධිප්‍රඥා වේ.
තවද ‘දෙනලද්ද විපාක ඇත්තේ ය’ යනාදී විසින් පැවැති කම්මස්සකතාඥාණය ප්‍රඥා නමි. ඒ වනාහි බුද්ධෝත්පාද-අබුද්ධොත්පාද දෙක්හි ම ලැබේ. සෙස්ස අධිශීලයෙහි කී සේ ය.
අඞ්කුර තෙමේ අවුරුදු බොහෝ ගණනක් මහදන් දුන්නේ ය. වෙස්සන්තරාදිපණ්ඩිතයෝ ද මහදන් දුන්හ. ඒ කුශලකර්‍ම ශක්තියෙන් ඔවුහු දෙව්ලෝ මිනිස්ලෝ දෙක්හි ඉපිද වින්දෝය නොයෙක් සැප සම්පත්, මේ මෙයට නිදසුනෙකි.
තිලකුණු පිරිසිඳින්නා වූ විදර්‍ශනාඥානය අධිප්‍රඥා නමි. එය අධිශීල-අධිචිත්තයන් සේ සකලලෞකිකප්‍රඥාවන්ට අධික ද උත්තම ද වේ. එයිනුදු මාර්‍ගඵලසම්ප්‍රයුක්තප්‍රඥාව ම අධිප්‍රඥා වන්නී ය.
‘සික්ඛනං=සික්ඛා, සා එතස්ස සීලන්ති සෙබො’ අධිශීල අධිචිත්ත අධිප්‍රඥා යන ශික්‍ෂාවන්හි හික්මීම ශික්‍ෂා නමි. ඒ ශික්‍ෂාව හෙවත් හික්මීම මොහුගේ ස්වභාවය නු යි සෙඛ නම් වේ, ඒකාන්තයෙන් හික්මුණු ගති ඇත්තේ සෙඛ යි කී සේ ය මේ.
ශීල සමාධි ප්‍රඥාවෝ සියසතන්හි උපදවා ගැණුම්වසයෙන් හික්මිය යුතු බැවින් ශික්‍ෂා නම් වෙති. මෙ කී ශික්‍ෂාත්‍රයයෙහි හික්මෙන්නේ, ආවර්‍ජනය කරන්නේ, මෙ නම් ශික්‍ෂා යි දන්නේ, දැන නැවැත නැවැත එසේ දක්නේ, දක්නාලද පරිදි ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ, එහි ම සිත නො සැලෙන සේ පිහිටුවන්නේ, ශ්‍රද්ධා, වීර්‍ය්‍යය, සමෘති, ප්‍රඥාවන්ගෙන් ඒ ඒ ශික්‍ෂාවන් අයත් කෘත්‍යය කරන්නේ දතයුත්ත මොනවට දන්නේ, දුරුකළයුත්ත දුරු කරන්නේ, වැඩිය යුත්ත වඩන්නේ, ප්‍රත්‍යක්‍ෂ කටයුත්ත ප්‍රත්‍යක්‍ෂ කරන්නේ හික්මෙන්නේ ය. ඒ මෙසේ කීහ:-
“ඉමායො තිස්සො සික්ඛායො ජානන්තො-ආවජ්ජෙන්තො-පස්සන්තො-පච්චවෙක්ඛන්තො-චිත්තං අධිට්ඨහන්තො සික්ඛති, සද්ධාය අධිමුච්චන්තො සික්ඛති, විරියං පග්ගණ්හන්තො සතිං උපට්ඨපෙන්තො-චිත්තං සමාදහන්තො පඤ්ඤාය පජානන්තො සික්ඛති, අභිඤ්ඤෙය්‍යං අභිජානන්තො සික්ඛති, පරිඤ්ඤෙය්‍යං පරිජානන්තො - පහාතබ්බං පජහන්තො - භාවෙතබ්බං භාවෙන්තො - සචඡිකාතබ්බං සචඡීකරොන්තො සික්ඛති, ආවරති සමාචරති සමාදාය සික්ඛති, තං කාරණා වුච්චති සෙබො සච්ජිකරොන්තො සික්ඛති” යි.
ශෛක්‍ෂ තෙමේ හික්මෙනුයේ අධිශීල අධිචිත්ත අධිප්‍රඥා ශික්‍ෂාවන්හි ය. ඒ බවට මේ සාධක:-
‘සෙඛො විනයාය පටිවිනයාය පහානාය වූපසමාය පටිනිස්සග්ගාය පටිප්පස්සද්ධියා අධිසීලම්පි සික්ඛෙය්‍ය අධිචිත්තම්පි සික්ඛෙය්‍ය අධිපඤ්ඤම්පි සික්ඛෙය්‍ය’ යනු.
යම් කල්‍යාණපෘථග්ජනයෙක් තෙමේ අනුලෝමප්‍රතිපදාව සම්පූර්‍ණ කරණුයේ, ශීලයෙන් සම්පූර්‍ණ වූයේ, චක්‍ෂුරාදි ඉන්ද්‍රියයන්හි වැසූ දොර ඇත්තේ බොජුනෙහි පමණ දන්නේ, නිදි දුරුකිරීමෙහි යෙදුනේ, පූර්‍වාපර රාත්‍රීන්හි බෝධිපාක්‍ෂිකධර්‍මභාවනාවෙහි යෙදුනේ අද හෝ, හෙට හෝ, එක්තරා ශ්‍රාමණ්‍යඵලයකට පැමිණෙන්නෙමි, යි වාසය කෙරේ ද, හෙතෙමේ ද සෙඛ, යි කියනු ලැබේ.
“යොපිකල්‍යාණපුථුජ්ජනො අනුලොමපටිපදාය පරිපූරකාරී සීලසම්පන්නො ඉන්ද්‍රියෙසු ගුත්තද්වාරො භොජනෙ මත්තඤ්ඤූ ජාගරියානුයොගමනුයුත්තො පුබ්බරත්තාපරරත්තං බොධි පක්ඛියානං ධම්මානං භාවනානුයොගමනුයුත්තො විහරති අජ්ජ වා ස්වෙ වා අඤ්ඤතරං සාමඤ්ඤඵලං අධිගමිස්සාමීති සොපි වුච්චති සෙඛොති” යනු එහි ලා සාධක ය.
එහෙත් ප්‍රධාන වශයෙන් සෙඛ යන්නෙන් ගැණෙන්නෝ සප්තවිධ ආර්‍ය්‍යයන් වහන්සේ ය. ‘අරියාය ජාතියා තීසු සික්ඛාසු ජාතො තත්‍ථ වා භවො ති සෙඛො’ යන මෙයින් ඒ පැහැදිලි ය.
මේ සප්තවිධආර්‍ය්‍යයන් වහන්සේ පතිලීනචර, යි ද නමෙක් වේ. ඒ ඒ අරමුණුවලින් සිත හකුළුවා ගෙණ නොහොත් චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා, කාය, මන යන ද්වාරයන්හි සිත හකුළුවා ගෙණ වාසය කෙරෙත් ද, එහෙයින් පතිලීනචර යි කියනු ලැබෙති, සප්තවිධආර්‍ය්‍යයෝ.
“පතිලීනචරා වුච්චන්ති සත්ත සෙඛා, තෙ තතො තතො චිත්තං පතිලීනන්තා පතිකුට්ටෙන්තා පතිවට්ටෙන්තා සන්නිරුම්හෙන්තා සන්නිග්ගණහන්තා සන්නිවාරෙන්තා රක්ඛන්තා ගොපෙන්නා චරන්ති විහරන්ති ඉරීයන්ති වත්තෙන්ති පාලෙන්ති යපෙන්ති යාපෙන්ති. චක්ඛූද්වාරෙ චිත්තං පතිලීනෙන්තා පතිකුට්ටෙන්තා පතිවට්ටෙන්තා සන්නිරුම්හෙන්තා සන්නිග්ගණ්හන්තා සන්නිවාරෙන්තා රක්ඛන්තා ගොපෙන්තා චරන්ති විහරන්ති ඉරීයන්ති වත්තෙන්ති පාලෙන්ති යපෙන්ති යාපෙන්ති. සොතද්වාරෙ චිත්තං-ඝානද්වාරෙ චිත්තං-ජිව්හාද්වාරෙ චිත්තං-කායද්වාරෙ චිත්තං-මනොද්වාරෙ චිත්තං පතිලීනෙන්තා පතිකුට්ටෙන්තා පතිවට්ටෙන්තා සන්නිරුම්හෙන්තා සන්නිග්ගණ්හන්තා සන්නිවාරෙන්තා රක්ඛන්තා ගොපෙන්තා චරන්ති විහරන්ති ඉරීයන්ති වත්තෙන්ති පාලෙන්ති යපෙන්ති යාපෙන්ති යථා කුක්කූටපත්තං වා නහාරුදද්දුලං වා අග්ගිම්හි පක්ඛිත්තං පතිලීයති පතිකුට්ටති පතිවට්ටති න සම්පසාරීයති, එවමෙවං තෙ තතො තතො චිත්තං පතිලීනෙන්තා -පෙ- යාපෙන්ති’ යනු මෙහිලා නිද්දේසයෙහි ආයේ ය.
ශෛක්‍ෂ තෙමේ කුමක් වලඳම් ද, කොතැනක හෝ වලඳම් ද මේ රෑ එකාන්තයෙන් දුකසේ හොවීමි, අද රෑ කොතැනක හොවිම් ද, යන වැලපිය යුතු වූ මේ සතර විතර්‍කයන් පළිබෝධ රහිත ව හැසිරෙන සුලු වූයේ දුරු කරන්නේ ය, යනු සෙඛයන්ගේ ගතිය යි.
මේ ඒ නිර්දේශය:
“කිංසු අසිස්සං කුහිං වා අසිස්සං
දුක්ඛං වත සෙත්ථ කුවජ්ජ සෙස්සං
එතෙ විතක්කෙ පරිදෙවනෙය්‍යෙ
චිනයෙථ සෙඛො අනිකෙතචාරී” යනු.
යමලොකඤ්ච=සතර අපාය ද
ඉමං සදේවකං=දෙව්ලෝ සහිත වූ මේ මිනිස්ලොව ද,
සෙඛො ධම්මපදං සුදෙසිතං කුසලො පුප්ඵං ඉව පචෙස්සති=ශෛක්‍ෂ තෙමේ මනාකොට දෙසූ ධර්‍මකොට්ඨාසය, දක්‍ෂ මාලාකාරයකු සේ ප්‍රතිවේධ කරන්නේ ය.
සත්වැදෑරුම් වූ සෙඛපුද්ගල තෙමේ, මේ ආත්මභාවපෘථිවියත් යමලොවත් දෙව්ලෝ සහිත වූ මිනිස්ලොවත්, දක්‍ෂ වූ මාලාකාර තෙමේ මල්උයනක් තුළට වැද, ලාමොට්ටුත් පණුවන් කෑ මලුත් පරවී ගිය මලුත් ගැට ගැසුණු මලුත් හැරදමා මැනැවින් වැඩි පිපී ගිය මල් කඩා රැස් කරන්නේ යම්සේ ද, එසේ මොනවට වදාළ බෝපැකිදම්කොටස නුවණින් පිළිවිද දැන ගන්නේ ය’ යි බුදුරජානන් වහන්සේ විසඳූ සේක ඒ ප්‍රශ්නය මෙසේ.
මේ ධර්‍මදේශනාවගේ අවසානයෙහි පන්සියයක් භික්‍ෂූන්වහන්සේලා සිවුපිළිසැඹියාවන් ලබා රහත්බවට පැමිණියෝ ය. දේශනාව, මහජනයාට වැඩ සහිත වූ ය.
පෘථිවිකථාවෙහි යෙදුනු පන්සියයක්දෙනා වහන්සේගේ වස්තුව නිමි.
චක්ඛුසම්ඵස්සජා වෙදනා සොතසම්ඵස්සජා වෙදනා යනාදි විස්තරය අනික් පොතපතින් දතයුතුය. ↑