3-9 සොරෙය්‍ය සිටුතුමා

න තං මාතා පිතා කයිරා අඤ්ඤෙ වාපි ච ඤාතකා

සම්මාපණිහිතං චිත්තං සෙය්‍යසො නං තතො කරෙ.

ඒ කරුණ සිය මව නො ද කරන්නී ය. පිය තෙම නො ද කරන්නේ ය. සෙසු නෑයෝ නො ද කරන්නා හ. මොනොවට පිහිටුවන ලද සිත ඒ කුශලක්‍රියාවන්හි පිහිටීම් හේතුවෙන් ඒ පුද්ගලයා වඩා උතුමකු කරන්නේ ය.

ස්වාමිදරු වූ බුදුරජානන් වහන්සේ සැවැත්නුවරැ දෙව්රම් මහවෙහෙර වැඩවසන එක් දවසෙක සොරෙය්‍ය සිටු පුත් තෙමේ යහළුවකුත් සමග සැප පහසු ඇති රියෙක නැගී මහපිරිවරින් වතුර නෑමට නුවරින් නික්ම ගියේ ය. එ වේලෙහි මහාකාත්‍යායන මහාස්ථවිරයන් වහන්සේ පිඬු සිඟා යන්නට නුවරින් පිටත සිට සිවුරු පෙරවූහ. සිටුපුත් උන්වහන්සේන්ගේ රන්වන් සිරුර දැක ‘මේ ස්ථවිර තෙමේ මාගේ අඹුව වන්නේ නම්, නැත, මා බිරියගේ සිරුරුපැහැය මුන්වහන්සේගේ සිරුරුපැහැය සේ වන්නේ නම් යෙහෙකැ’ යි සිතී ය. එ කෙණෙහි ම ඔහුගේ පිරිමි ඇඟ අතුරු දහන් ව ගොස් ගෑණු ඇඟක් පහළ විය. එයින් හටගත් ලජ්ජා ඇති ඔහු රියෙන් බැස පලා ගියේ ය. පිරිවර ජන තෙමේ මේ කිසිත් නො දැන ‘මේ කිමැ’ යි අසන්නට විය. රියෙන් බැස ගිය ඕ තොමෝ තක්සලානුවරට යන මගට බැස්සා ය. යහළුවා ද ඇය ගිය අතක් නො දන්නේ ය. සියල්ලෝ වතුර නා ගෙවලට ගියහ. ගෙවල වැස්සෝ ‘සිටුපුත් කොහි දැ’ යි ඇසූහ. ‘වතුර නා ගෙට ආයේය යි සිතූම්හ’ යි ඔවුහු කීහ.

එකල ඔහුගේ මවුපියෝ ඒ ඒ තැන සොයා බලා නො දක්නෝ මළේය යි සිතා මළබත් දානය දුන්හ. ගෑණුබවට පැමිණ පැන ගිය ඕ තොමෝ තක්සලා යන කරත්තයක් පස්සේ ගියා ය. කරත්තයෙහි හුන් මිනිස්සු ඇය දැක ‘අපගේ කරත්තය පස්සේ එන මේ තරුණිය කවූ දැ යි නො දනුම්හ’ යි කීහ. ඕ තොමෝ මෙසේ පයින් ටික දුරක් ගොස් ඇඟිල්ලක තුබූ මුද්දක් ගලවා දී කරත්තයක යන්නට ඉඩ ලබා ගත්තා ය. ඒ කරත්තයෙහි යන සෙස්සෝ ‘තක්සලාවෙහි අපගේ සිටුපුත්‍රයාහට භාර්‍ය්‍යාවක් නැත, මේ වග ඔහුට කිය යුතු ය, එවිට අපටත් පඬුරු මොකවත් ලබා ගත හැකි ය’ යි සිතා එහි ගොස් ‘සවාමීනි! නුඹවහන්සේට කැපෙන ගැළපෙන සත්‍රීරත්නයක් අප විසින් ගෙණන ලද්දේ ය, ඇය පිළිගණු මැනැවැ’ යි දන්වා සිටියහ. සිටුපුත් තෙමේ, එය අසා සතුටු ව ඇය කැඳවා බලා ‘මෝ මට ම ගැළපෙන වයස් ඇත්තී ය, රූපලක්‍ෂණයෙන් යුක්ත ය, දුටු පමණින් සිත් සතුටු කරන්නී ය’ යි සිතා බලවත් ස්නේහයෙන් සිය බිරිය කර ගත්තේ ය.

මේ සසර, පුරුෂයෝ සත්‍රීහුත්, ස්ත්‍රීහු පුරුෂයෝත් නො වූ විරූවෝ නැත්තාහ. පුරුෂයෝ පරඹුවන් සේවනය කොට මිය ගොස් ලක්‍ෂගණන් අවුරුදු නරකයෙහි දුක් විඳ කලෙක මනුෂ්‍ය ව උපදින්නෝ නම්, අත්බව් සියයක ම ගෑණු ව උපදින්නෝ ය.

ආනන්ද ස්ථවිරයන් වහන්සේ ද කල්ප ලක්‍ෂයක් පිරූ පැරුම් ඇති ආර්‍ය්‍යශ්‍රාවකයෙක් ව සසර සැරිසරා එන්නෝ එක් අත් බවෙක කඹුරු කුලයක උපන්නෝ පරඹුවන් සේවනය කොට නිරයෙහි ඉපිද දුක් විඳ ඉන් ච්‍යුත ව මිනිස්ලොව උපන්නෝ කර්‍මාවශේෂවශයෙන් තුදුස් අත්බවෙක අනුන්ට අඹුව ගැහැණි ව උපන්හ. සියක් අත් බවෙක අණ්ඩච්ඡෙදයට පැමිණියහ.

ගැහැණු වනාහි දානාදිපුණ්‍යකර්‍ම කොට ගැහැණු බවෙහි ආලය හැර, අප කළ මේ පිණ පිරිමිබවලැබීම පිණිස පවතීවා, යි සිතින් ඉටා ගෙණ කලුරිය කළෝ නම්, පිරිමි ව උපදින්නෝ ය. හිමියා දෙවි කොට සලකා හිමියා කෙරෙහි මනා කොට පිළිපැදීමෙන් ද පිරිමිබව ලබන්නෝ ය.

මේ සිටු පුත් තෙමේ මහාකාත්‍යායන තෙරුන් කෙරෙහි නො මගින් සිතා, මේ අත්බවේදී ම ගැහැණු බව ලැබූයේ ය. තක්සලානුවර සිටුපුත් සමග එකතු ව වැස ඇයගේ කුසෙහි දරු ගැබක් පිහිටියේ ය. ඈ දස මසකට පසු පුතකු ලබා, ඔහු පයින් ඇවිදින කල්හි තවත් පුතකු ලැබුවා ය. ඇයගේ කුසෙහි උපන් දරු දෙදෙන ය, සොරෙය්‍ය සිටු කල, ඔහුට දාව උපන් දරු දෙදෙන ය යි දරුවෝ සිවු දෙනෙක් වූහ. ඇයගේ පෙර යහළු වූ ඒ සිටුපුත් තෙමේ බරකරත්ත පන් සියයක් ගෙණ සොරෙය්‍යනුවරින් සැප පහසු ඇති කරත්තයක නැගී තත්සලා නුවරට ගියේ ය. ඒ වේලෙහි ගෙයි උඩුමහලේ ජනේලයක් හැර පාර බලමින් සිටි ඈ, ඔහු දැක හැඳින වැඩකාරියක යවා ගෙන්වා උඩු මහලේ ම හිඳුවා සැලකිලි කළා ය. එවිට සිටුපුත් ‘සොඳුර! ඔබ, මිට පෙර කිසි දිනෙකත් අප විසින් නො දක්නා ලද්දෙහි නමුත් අපට බොහෝ සත්කාර කරන්නෙහි ය, ඔබ අප හඳුනන්නෙහි දැ’ යි ඇසී ය. ‘එසේ ය, මම ඔබ හඳුනන්නෙමි, ඔබ සොරෙය්‍ය නුවර වැසියෙක් නොවෙහි දැ’ යි ඇසූ විට ‘සොඳුර! ඔව්, මම සොරෙය්‍ය වැසියෙක්මි’ යි පිළිතුරු දින.

ඉක්බිති ඕ තොමෝ, මවුපියන්ගේ ද බිරින්දගේ ද දරුවන්ගේ ද සැපදුක් විචාළා ය. ඔහු ඒ හැමදෙනාගේ සුවදුක් කියා ‘ඔබ ඔවුන් හඳුනන්නෙහි දැ’ යි ඇසී ය. ඈ ‘එසේ ය, හඳුනමි, ඔවුන්ට එක් පුත්‍රයෙක් ඇත, ඔහු කොහි දැ’ යි ඇසූ ය. ‘සොඳුර! එහි විස්තර බොහෝ ය, අපි දවසක් ඔහු සමග කරත්තයකට නැගී නාන්නට ගියෙමු, එහි දී ඔහු නො පෙණී ගිය බැවින් අපි වට පිට සොයා බැලීමු. එහෙත් දක්නට නො ලැබුනේ ය, එවිට අපි ඒ වග ඔහුගේ මවුපියන්ට දැන්වීමු, ඔවුහු ද සොයා බලා මළේ වනැ යි මතකබත් දනක් දුන්හ’ යි කී ය. එ වේලෙහි, ඈ, ‘ඒ මම වෙමි’ යි කී විට ඔහු වට පිට බලා ‘කුමක් කියහි ද, මාගේ ඒ යහළුවා දෙව්කුමරකු වැනි පුරුෂයෙකි’ යි කී ය. නැවැතත් ඈ ‘ඒ මම වෙමි’ යි කිවු ය. ඇය කිහිපවිටක් මෙසේ කී කල්හි එසේ නම් මේ සිදු වූයේ කුමක් දැ’ යි ඇසී ය. ‘අප එදා නාන්නට ගිය දා ඒ අසල සිට සිවුර පෙර වූ මහාකත්‍යායන ස්ථවිරයන් වහන්සේ දක්නා ලද්දෝ ද, මම උන්වහන්සේ දිහාව බලා ‘මේ ස්ථවිර තෙමේ මාගේ බිරිඳ වන්නේ නම්, නැත, මාගේ බිරිඳගේ සිරුරු පැහැය මුන්වහන්සේගේ සිරුරු පැහැය සේ වන්නේ නම් යෙහෙකැ’ යි සිතීමි, ඒ මොහොතේ ම මාගේ පිරිමි ඇඟ නැති වී ගියේ ය, මේ ගෑණු ඇඟ ලැබුනේ ය, මම මහත් ලජ්ජාවෙන් කිසිවකුටත් නො දන්වා පලා ගොස් මෙහි ආවෙමි’ යි ඕ තොමෝ කිවු ය.

‘අයියෝ! ඇයි එසේ කෙළෙහි, ඇයි මට නො කීයෙහි, තෙරුන් වහන්සේ කමා කරවා ගත්තෙහි දැ’ යි ඔහු ඇසී ය. ‘කමා නො කරණ ලද්දෝ’ ය, උන්වහන්සේ වැඩ ඉන්නා තැන මහත්මයා දන්නේ දැ’ යි ඈ ඇසූ ය. මේ නුවර ම ඇසුරු කොට ගෙණ උන්වහන්සේ වැඩ වෙසෙති’ යි සිටු පුත්‍රයා කී විට ‘ඒ හාමුදුරුවන් වහන්සේ පිඬු සිඟා වඩින වේලෙහි මෙහි වඩින සේක් නම්, මම උන්වහන්සේට දන් පිළිගන්වන්නෙමි’ යි කිවු ය. සිටුපුත් තෙමේ ‘එසේ නම් දන් පිළියෙල කරව, මම උන්වහන්සේ කමා කරවන්නෙමි’ යි තෙරුන් වසන තැනට ගොස් වැඳ පසෙකට වී ‘ස්වාමීනි! හෙට මාගේ දානය පිළිගන්නා සේක්වා’ යි ආරාධනා කෙළේ ය. ස්ථවිරයන් වහන්සේ ‘ඔබ ආගන්තුකයෙක් නො වෙහි දැ’ යි ඇසූ විට මාගේ ආගන්තුකභාවය නො විචාරණ සේක්වා, හෙට මාගේ දානය පිළිගන්නා සේක්වා’ යි නැවැතත් ඔහු කී ය. ස්ථවිරයන් වහන්සේ ආරාධනය ඉවසූහ. ගෙයි ද මහාසත්කාර පිළියෙල කරණ ලද්දේ ය. තෙරුන් වහන්සේ පසු දා ගෙදරට ම වැඩි සේක. සිටුත්, තෙරුන් වඩා හිඳුවා ප්‍රණීත ආහාරපාන වළඳවා ඒ ගෑණිය තෙරුන් පාමුල හිඳුවා ‘ස්වාමීනි! මාගේ යෙහෙළියට කමන්නැ’ යි කී ය. ස්ථවිරයන් වහන්සේ ඒ මක්නිසා දැ’ යි ඇසූ විට ‘මෑ ඉස්සර මාගේ යහළුවෙක, දිනක් ඔබවහන්සේ දැක මේ තෙරුන් වහන්සේ මාගේ බිරිය වන සේක් නම්, නැත, මාගේ බිරියගේ සිරුරු පැහැය මුන් වහන්සේගේ සිරුරු පැහැය සේ වන්නේ නම් හොඳය’ යි සිතූ ය, ඒ සිතුවිල්ල සමග ම පිරිමි බව නැති ව ගොස් ගැහැණු බව පහළ වි ය, එහෙයින් මෙයට කමා වන්නැයි කීයේ ය.

ස්ථවිරයන් වහන්සේ ‘එසේ නම් නැගී සිටුව, තිට කමනෙමි’ යි වදාළ සැටියේ ම ගැහැණුබව අතුරුදහන් ව පිරිමි බව පහළ විය. ඒ ඇසිල්ලෙහි ම තක්සලා සිටුපුත් තෙමේ කතා කොට ‘මිත්‍රය! මේ දරුවෝ ඔබ කුස විසූ බැවින් ද, මා නිසා උපන් බැවින් ද අප දෙදෙනා ම අයත් වෙති, එහෙයින් කො තැනක වත් නො ගොස් මෙහි ම වසමු, නො කළකිරෙව’ යි කී ය. ‘යහළුව! මම මේ එක ම අත්බවේ පළමු ව පිරිමි ව නැවැත ගැහැණි ව නැවැතත් පිරිමි ව මෙසේ විකාරයට පැමිණියෙමි, මා නිසා පළමු ව උපන් දරුවෝ දෙදෙනෙකි, මේ දැන් මෙහි දී මාගේ කුසින් උපන් දරුවෝ දෙදෙනා ය, බලන්න, එක අත්බවේ මෙසේ විකාරයට පැමිණියෙමි, ඉතින් තවත් ගිහි ව ඉන්නට නො සිත ව, මම මුන්වහන්සේ වෙත පැවිදි වන්නෙමි, මේ දරුවෝ ඔබට භාරයහ, මොවුන්ගේ දියුණුව පිණිස සියලු දෙය නො පමාව කරන්නැ’ යි දරුවන් අල්වා සිඹ ඇඟ පත අත ගා ආදරය කොට පියාට භාර දී ගෙන් නික්ම ගොස් තෙරුන් වෙත පැවිදි විය. ස්ථවිරයන් වහන්සේ පැවිදි උපසපන් කොට ඔහු කැටිව ම චාරිකාවෙහි වඩින සේක් සැවැත් නුවරට ගියහ. මේ නවක භික්‍ෂුවට සොරෙය්‍ය ස්ථවිරැ යි නම් විය.

දනවුවැස්සෝ මේ පුදුම සිදුවීම අසා කැළඹී පුදුමයට පැමිණ ඒ භික්‍ෂුව කරා ගොස් ‘ස්වාමීනි! පුදුම සිදුවීමක් අපට දැන ගන්නට ලැබුනේ ය, ඒ කෙසේ දැ යි ඇසූහ. ‘උපාසකයෙනි! සැබෑ ය’ යි කී කල්හි ඔවුහු නැවැතත් ‘මෙහෙම දේත් සිදුවන්නේ ද, ඔබවහන්සේගේ කුසැ දරුවෝ දෙදෙනෙක් උපන්හ, ඔබ වහන්සේ නිසාත් දරුවෝ දෙදෙනෙක් උපන්හ, මුන් අතුරෙහි කවරකුට ඔබවහන්සේ වැඩියෙන් ස්නේහ කරන්නහු දැ’ යි ඇසූහ. ‘මම මා කුස විසූ දරු දෙදෙනා කෙරෙහි වැඩියෙන් ස්නේහ කරමි’ යි උන්වහන්සේ කීහ. මේ පුවත අසා නිතර නිතර බොහෝ දෙන තෙරුන් වෙත පැමිණෙති. පැමිණෙන සියලු දෙන ම ‘කවුරුන් කෙරෙහි වැඩියක් ස්නේහ කරන්නහු ද, කවුරුන් කෙරෙහි වැඩියක් ස්නේහ කරන්නහු දැ’ යි අසත්. ස්ථවිරයන් වහන්සේ ‘මා කුසැ විසූ දරු දෙදෙන කෙරෙහි වැඩියක් ස්නේහ කරමි’ යි කියා, නැවැත දවසෙක ‘කිසිවක්හු කෙරෙහි ස්නේහ නැත්තේ වෙමි’ යි කීහ. එවිට මිනිස්සු ‘භික්‍ෂුව බොරු කියයි, පළමු දා කුසැ විසූවන් කෙරෙහි වැඩියක් ස්නේහ කරමියි කියා අද කිසිවක්හු කෙරෙහි ස්නේහ නැත්තේ වෙමි යි කියා, මේ මහණ බොරු කියයි, රහත් වූ බව කියා යි කියන්නට වූහ.

බුදුරජානන් වහන්සේ මොවුන්ගේ මේ කතාව ඇසූහ. අසා ‘මා පුත් බොරු නො කියා, මා පුත් රහත් බවක් නො කියා ඔහු මනා කොට පිහිට වූ සිතින් මාර්‍ගදර්‍ශනය ලත් දා පටන් කිසිවක් හට ස්නේහ නො කරයි, දූපුතුන්ට යම් යම් සැපත් ලබාදීමෙහි මවු පියෝ පොහොසත් නො වෙති, මේ සත්වයන්ගේ ඇතුළත පැවැති මනා කොට පිහිට වූ සිත, මවුපියන්ට ලබාදෙනු නො හැකි සියලු සැපත් ලබා දෙන්නේය’ යි වදාරා මේ ධර්‍ම දේශනාව කළ සේක:-

න තං මාතා පිතා කයිරා අඤ්ඤෙවා පි ච ඤාතකා,

සම්මාපණිහිතං චිත්තං සෙය්‍යසො නං තතො කරෙති.

යම් කාරණයෙක් සත්වයාහට සගමොක් සුව ගෙණ දෙන්නේ ද ඒ කාරණය මවු නො කරන්නී ය. පියාත් නො කරන්නේ ය. සෙසු නෑයෝත් නො කරන්නෝ ය. දශකුශලකර්‍මපථයෙහි මනා කොට පිහිට වූ සිත ම, ඒ හේතුවෙන් සත්වයා අතිශය උත්තමයකු කරන්නේ ය.

න තං මාතා පිතා කයිරා = මවු නො කරන්නී ය. පියාත් නො කරන්නී ය.

යම් තැනැත්තියක් තොමෝ දූ පුතුන් විසින්, සිතින් නිතර ප්‍රිය කරුණු ලබන්නී ද, දූ පුතුන්ට කෑම් පීම් ආදියෙන් සංග්‍රහ කරන්නී ද ඕ ය මාතා ‘පුත්තං මානෙති පූජෙතීති = මාතා’ යනු අරුත් විවරණ ය.

මෝ තොමෝ නිතර දූ පුතුන් පතන්නී ය. ඒ පිණිස ඉටු දෙවියන් පුදන්නී ය. කවර ඍතුවෙක, කවර මසෙක, කවර නැකතෙක, කවර දවසෙක උපන් දරුවෝ දීර්‍ඝායුෂ ඇත්තෝ ද, යනාදිය සොයමින් බලමින් කල් ගෙවන්නී ය. දරුවකු කුසැ පිළිසිඳ ගත් කල්හි ඒ දරුගැබ රැක්මට බොහෝ වෙහෙසෙන්නී ය. ඒ පිණිස බොහෝ දුක් ගන්නී ය. දස මසකට අඩු නො වන තරම් කලක් නොයෙක් දුක් ගැහැට විඳිමින් දරුවා ප්‍රසූත කරන්නී ය. එ තැන් සිට හෘදයලොහිතය පොවමින් අත් පා වඩමින් ලෙහි හොවා පෝෂණය කරන්නී ය. කන බොන සැටි අඳින පලඳින සැටි යුතු අයුතු කම් වරද නිවර ද කියා දී හික්ම වන්නී ය. දූ පුතුන්ගේ දියුණුව පිණිස රන් රිදී මුතු මැණික් වස්ත්‍රාභරණාදිය සපයා තබන්නී ය. දූ පුතුන්ගේ විපතෙහි තදින් දුක් වන්නී මවු තොමෝ ය. දූ පුතුන්ගේ සැපතෙහි තදින් සතුටු වන්නීත් මවු තොමෝ ය. දූ පුතුගේ අභිවෘද්ධිය ඉත සිතින් පතන්නීත් මවු තොමෝ ය මෝ තොමෝ දූ පුතුන් කෙරෙහි මෙත්තා - කරුණා - මුදිතා-උපෙක්ඛා යන චතුර්විධ බ්‍රහම විහරණය පතුරුවමින් වසන්නී ය. මෝ තොමෝ, අම්මා - අම්බා - ජනනී - ජනෙන්තී - ජනිකා - සුභදා - පොසොන්තී - තොසෙන්තී, යනාදී නම් වලිනුදු පොතපතෙහි හඳුන් වනු ලබන්නී ය.

‘අමීයතෙ පූජීයතෙති = අම්මා’ දූ පුතුන් විසින් පුදනු ලබන්නී අම්මා නම්.

‘පුත්තෙන අමීයතෙ ගමීයතෙති = අම්බා’ දූ පුතුන් විසින් පූජා සත්කාර ගෙණ එළැඹෙනු ලබනී අම්බා නම්,

‘ජනයතීති ජනනී’ දූ පුතුන් බිහි කරන්නී උපදවන්නී ජනනී නම්. ‘ජනෙත්තී’ යනු ද එම අරුති. ‘ජනිකා’ යනුත් එම අරුති.

‘තෙන දොහළිනී හොති සුහදා තෙන වුච්චති’ කුසැ පිහිටි’ දරු ගැබ හේතු කොට දොළ දුක හටගත් කල්හි කුස උපන් දරු කෙරෙහි ස්නේහ උපදින්නේය. එහෙයින් සුහදා නම්.

‘පොසෙතීති පොසෙනතී’ තන කිරෙන් දූ පුතුන් පොෂණය කරන්නීය යන අරුත්.

දූ පුතුන් රකින්නේ පිතා ය. ‘පුත්තං පාති රක්ඛතීති = පිතා’ යනු අරුත් විවරණය. තාතා-ජනක, යන නම් ද පියා කෙරෙහි නැඟේ.

‘තායතී ති = තාතො’ රකින්නේ තාත නම්.

‘ජනෙතී ති = ජනකො’ උපදවන්නේ ජනක නම්,

මව මෙන් පියා ද දූ පුතුන්ගේ දියුණුව පිණිස වෙහෙසෙන්නේ ය. දුර කතර ගොස් දූ පුතුන් පිණිස ධනය රැස්කරන්නේ පිය තෙමේ ය. මව මෙන් පියා ද හොඳ නරක කියා දී දූ පුතුන් හික්ම වන්නේ ය. පියා ද, දූ පුතුන් කෙරෙහි චතුර්විධ බ්‍රහ්ම විහරණයෙන් යෙදී වසන්නේ ය. මවු පිය දෙදෙන ම දූ පුතුන් ගේ අභිවෘද්ධිය සම ව පතන්නෝ ය. ‘බහූපකාරා භික්ඛවෙ! මාතාපිතරෝ පුබ්බානං ආපාදකා පොසකා ඉමස්ස ලොකස්ස දස්සෙතාරො’ යනු බුද්ධ වචනයි.

අඤ්ඤෙ වාපි ච ඤාතකා = සෙසු නෑයෝත් නො කරන්නාහු ය.

මවුපසින් හා පියපසින් පැවත එන්නෝ නෑයෝ ය. මවු පසෙහි හා පියපසෙහි සත්වන මුත්තනු දෙදෙන පටන් ඔබ්බෙහි පැවත එන්නෝ ය. ‘මාතිතො වා පිතිතො වා යාව සත්තමා පිතා මහායුගා සම්බන්ධා’ යනු ඒ කියූ සැටි ය. මෙහි කියූ ‘පිතා මහායුගා’ යන්නෙන් ඒ දෙපසෙහි ම වූ සත් වන මුත්තනුවන් දෙදෙනාගෙන් ඔබ්බෙහි වූ පූර්‍වපුරුෂයෝ ද නෑයන් ලෙස ගත යුත්තාහ’ යි මින් කියැ වේ. මුත්තා-මී මුත්තා-මාමා-නැන්දා-මහම්මා-කුඩම්මා යනාදී වූ සමානපක්‍ෂ ඇත්තෝ ද නෑයෝ ය. අඹු සැමි දෙදෙනාගේ පක්‍ෂද්වයෙහි වූවෝ ‘ඤාති’ යන්නෙනුත් මවුපිය දෙපක්‍ෂයෙහි වූවෝ ‘සාලොහිතා’ යන්නෙනුත් ගන්නට ද කියත්. ‘ඤාතී ති සස්සුසසුරපක්ඛිකා, සාලොහිතා ති එක ලොහිතබද්ධා පිති පිතාමහාදයො’ යනු පොතෙහි ආයේ ය. මේ සියල්ලෝ දත යුතුය යන අරුතින් ඤාති නම් වෙති. මොවුහු අපගේ ය යි දන්නා ලබන්නෝ ය ඤාති. මේ ගාථාවෙහි දැක්වෙන, ඤාතකා, යන පදයෙන් මෙ කී දෙපක්‍ෂයෙහි ම වූ නෑයෝ ප්‍රධාන අප්‍රධාන විසින් ගණු ලබත්.

මවු පියාදී කෙනෙක් දූ පුතුනට දායාද දෙන්නෝ, එක ම ජාතියක, කිසිත් කර්‍මාන්තයක් නො කොට යන්තමකින් යැපෙන්නට ම දෙති. විශාඛා මහා උපාසිකාවගේ මවු පියෝ පවා මහත් උපභෝග පරිභෝග වස්තු ඇත්තෝ නමුත් ඇයට එක් ම අත් බවෙක යෙහෙන් යැපෙන පමණක් ම දුන්හ. සිවු දිවයිනෙහි සක්විති රජසිරි පමණකුදු දීමෙහි පොහොසත් මවු පිය කෙනෙක් නැත. ඒ එසේ බැවින් ස්වර්‍ගසම්පත් ධ්‍යානසම්පත් දීමෙහි පොහොසත් මවුපියෝ කො තැනෙක වෙත් ද, ලෝකෝත්තර සම්පත් දීමෙහි නො පොහොසත්බව කිය යුතු ම නැත. චක්‍රවර්ති සම්පත් ස්වර්‍ගසම්පත් ධ්‍යානසම්පත් ලෝකෝත්තරසම්පත් දීමෙහි මවු පියාදීන් නො පොහොසත් බව, ‘න තං මාතා පිතා කයිරා අඤ්ඤ වා පි ච ඤාතකා’ යන මෙයින් වදාළ සේක.

සම්මාපණිහිතං චිත්තං = මනා කොට පිහිට වූ සිත.

දශකුශලකර්‍මපථයෙහි පිහිටි සිතය, සම්මාපණිහිතචිත්ත වනුයේ දශකුශලකර්‍මපථයෙහි යෙදූ සිත මනා කොට පිහිටියේ නම් වේ.

සෙය්‍යසො නං තතො කරෙ = ඒ හේතුවෙන් ඒ පුද්ගලයා උතුමකු කරන්නේ ය.

දශකුශලධර්‍මපථයෙහි පිහිට වූ සිත, ඒ සිතින් යුක්ත වූවහු ඒ හේතුවෙන් මවුපියාදීන් විසින් නො දෙනු හැකි සක්විතිසැප සගසැප දැහැන්සැප ලොවුතුරුසැප ලබා දීමෙන් ශ්‍රේෂඨයෙකු කරන්නේ ය. යහපතෙහි යෙදු සිතින් ම ශ්‍රේෂඨයකු වනු විනා අන් කිසිවකින් ශ්‍රේෂඨයකු වනු බැරිය. ලෝකෝත්තරසම්පත් ලැබීමෙන් දිව්‍යබ්‍රහ්මාදීන් විසින් පිදියයුතු වන්නේත් දශකුශල ධර්‍මයෙහි යෙදූ සිතැත්තේ ය. එහෙයින් බුදුරජානන් වහන්සේ වදාළෝය, මෙසේ:-

‘චිත්තං භික්ඛවේ! භාවිතං මහතො අත්ථාය සංවත්තති’ මහණෙනි, වැඩූ සිත මහත් අර්‍ත්‍ථ පිණිස පවතී.

‘චිත්තං භික්ඛවෙ! භාවිතං බහුලීකතං මහතො අත්ථාය සංවත්තති’ මහණෙනි! වැඩූ බහුල වශයෙන් වැඩූ සිත මහත් අර්‍ත්‍ථ පිණිස පවතී.

‘චිත්තං භික්ඛවෙ! භාවිතං බහුලීකතං සුඛාවහං හොති’ මහණෙනි! වැඩූ බහුල වශයෙන් වැඩූ සිත සැප එළවන්නේය.

‘චිත්තං භික්ඛවෙ! දන්තං මහතො අත්ථාය සංවත්තති’ මහණෙනි! දැමුනු සිත මහත් අර්‍ත්‍ථ පිණිස පවතී.

‘චිත්තං භික්ඛවෙ! ගුත්තං මහතො අත්ථාය සංවත්තති’ මහණෙනි! ගොපිත වූ සිත මහත් අර්‍ත්‍ථ පිණිස පවතී.

‘චිත්තං භික්ඛවෙ! රක්ඛිතං මහතො අත්ථාය සංවත්තති’ මහණෙනි! රක්නා ලද සිත මහත් අර්‍ත්‍ථ පිණිස පවතී.

‘චිත්තං භික්ඛවෙ! සංවුතං මහතො අත්ථාය සංවත්තති’ මහණෙනි! හික්මුනු සිත මහත් අර්‍ත්‍ථ පිණිස පවතී.

‘චිත්තං භික්ඛවෙ! දන්තං ගුත්තං රක්ඛිතං සංවුතං මහතො අත්‍ථාය සංවත්තති’ මහණෙනි! දැමුනු ගොපිත වූ රක්නා ලද හික්මුනු සිත මහත් අර්‍ත්‍ථ පිණිස පවතී.

නැවැත උන්වහන්සේ මේ කාරණය උපමා ගෙණ හැර දක්වා මෙසේ ව්‍යක්ත කළ සේක. මේ එය:- “ සෙය්‍යථාපි භික්ඛවෙ! සාලි සූකං වා යවසූක වා සම්මාපණිහිතං හත්‍ථෙන ‍වා පාදෙන වා අක්කන්තං හත්‍ථං වා පාදං වා හෙච්ඡති, ලොහිතං වා උප්පාදෙස්සතීතී ති ඨානමෙතං විජ්ජති, තං කිස්ස හෙතු, සම්මාපණිහිතත්තා භික්ඛවෙ! සූකස්ස, එවමෙව ඛො භික්ඛවෙ! සො වත භික්ඛු සම්මාපණිහිතෙන චිත්තෙන අවිජ්ජං හෙච්ඡති, විජ්ජං උප්පාදෙස්සති, නිබ්බාණං සච්ඡිකරිස්සතීති ඨානමෙතං විජ්ජති, තං කිස්සහෙතු, සම්මාපණිහිතත්තා භික්ඛවෙ! චිත්තස්ස” යි.

‘මහණෙනි! නිවැරදි ලෙසට තැබූ හැල් වී නණ්ඩුවක් හෝ යව නණ්ඩුවක් හෝ අතින් හෝ පයින් මඩින ලද්දේ අත හෝ පය එයින් බිඳෙන්නේ ය, ලේ ගලන්නේය, යනු විය හැකිය. එසේ විය හැක්කේ හැල් වී නණ්ඩුව හෝ යව නණ්ඩුව හෝ උඩුකුරු කොට තැබූ බැවිනි, මහණෙනි! එ මෙන් නිවැරදි ලෙසට පිහිට වූ සිතින් අවිද්‍යාව බිඳින්නට විද්‍යාව උපදවන්නට නිවන් පසක් කරන්නට හැකි ය, හැක්කේ සිත නිවරද මග යෙදූ බැවිනි. යනු එහි කෙටි තේරුම ය.

බොහෝ සෙයින් සත්වයන්ගේ දෙව්ලෝ ආදියෙහි ඉපැත්මට හේතු වනුයේ නිවරද මග යෙදූ සිත ය. නිවරද මග යෙදු සිතැත්තහුට දෙව්ලෝ ආදියෙහි ඉපැත්ම ඉතා පහසු ය.

‘මහණෙනි, මෙලොව පහන් සිත් ඇති යම් පුද්ගලයෙක් සිත ප්‍රසන්න ව පවත්නා කල්හි, වැඩීමෙන් මොළොක් ව ගිය කල්හි වැඩී ගිය කල්හි දැමුනු කල්හි, කෙලෙස් යටපත් ව ගිය කල්හි කලුරිය කරන්නේ නම්, ඒ පුද්ගල තෙමේ ස්වර්‍ගයෙහි උපදින්නේ ය, යනු මම පිරිසිඳ දනිමි. මහණෙනි! මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ මෙසේ චිත්තප්‍රසාද හේතුවෙන් මරණින් මතු ස්වර්‍ගලෝකයට පැමිණෙන්නාහයි වදාළ සේක.

මේ ඒ දේශනාව:- “ඉදාහං භික්ඛවෙ! එකච්චං පුග්ගලං පසන්නචිත්තං එවං චෙතසා චෙතො පරිච්ච පජානාමි, ඉමම්හි චෙ අයං සමයෙ පුග්ගලො කාලං කරෙය්‍ය, යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ, තං කිස්ස හෙතු, චිත්තං හිස්ස හික්බවෙ! පසන්නං, චෙතොපසාදහෙතුච්ච පන භික්ඛවෙ! එව මිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපජ්ජන්ති” යනු.

මහණෙනි! පැහැදුනු නො කැළඹුනු නො මඩ වූ දිය විලක් සමීපයෙහි සිටි ඇස් ඇති මිනිසෙක් එහි එහා මෙහා පීනන හැසිරෙන සිටින සිප්පිබෙල්ලන් සක්බෙල්ලන් කැටගල් කැබැලිති මාලුරැල යන මේ කිසිවක්, විලෙහි දිය පහන් බැවින්, නො කැලඹුනු බැවින්, නො මඩ වූ බැවින්, දක්නේ යම්සේ ද, එසේ පහන් සිතින්, පිරිසිදු සිතින්, මනා කොට තැබූ සිතින්, ආත්මාර්‍ත්‍ථය පරාර්‍ත්‍ථය යන උභයාර්‍ත්‍ථය දක්නේ ය. දශකුශලකර්‍මපථයෙන් මත්තෙහි වූ ධ්‍යාන විදර්‍ශනා මාර්‍ග ඵල ලබන්නේ ය, යනු කියන්නට කරුණු ඇත්තේය. එබඳු සිතින් මාර්‍ගඵලාවබෝධය කරණු ඒකාන්ත ය. මේ ඒ දේශනාව:-

“සෙය්‍යථාපි භික්ඛවෙ! උදකරහදො අච්ඡො විප්පසන්නො අනාවිලො, තත්ථ චක්ඛුමා පුරිසො තීරෙ ඨිතො පස්සෙය්‍ය සිප්පිසම්බුකම්පි සක්ඛරකඨලම්පි මච්ඡගුම්බම්පි චරන්තම්පි, තිට්ඨන්තම්පි, තං කිස්ස හෙතු, අනාවිලත්තා භික්ඛවෙ! උදකස්ස, එවමෙව ඛො භික්ඛවෙ! සො වත භික්ඛු අනාවිලෙන චිත්තෙන අත්තත්‍ථං වා ඤස්සති පරත්ථං වා ඤස්සති උභයත්ථං වා ඤස්සති උත්තරිං වා මනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං සච්ඡිකරිස්සතීති ඨානමෙතං විජ්ජති, තං කිස්ස හෙතු, අනාවිලත්තා භික්ඛවෙ! චිත්තස්සාති” යනු.

තවද,

දශ කුශල කර්‍ම පථයෙහි, වැඩූ සිත කාමච්ඡන්ද නීවරණාදී ක්ලේශ ධර්‍මයන්ගෙන් වෙන් වූයේ ගල් පව්වක් මෙන් සිටියේ අෂ්ටලෝක ධර්‍මයෙන් නො සැලේ ද, රාගයාගේ ඉපැත්මට හේතු වූ ත්‍රෛභූමක ධර්‍මයන්හි නො ඇලේ ද, කෝපයාගේ ඉපැත්මට හේතු වූ ආඝාතවස්තූන්හි නො ගැටේ ද, මෙබඳු සිත් ඇත්තහු කරා දුකෙක් නො ද පැමිණේ ය යනු ද මෙහිලා දන්නේ ය.

මේ ඒ දේශනා:-

“යස්ස සෙලූපමං චිත්තං ඨිතං නානූපකම්පති,

විරත්තං රජනීයෙසු කොපනෙයෙපි න කුප්පති,

යස්සෙවං භාවිතං චිත්තං කුතො තං දුක්ඛමෙස්සති” යනු.

ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවන්ඵලාදියට පැමිණියහ. දේශනාව මහාජනයාට වැඩ සහිත වූ ය.

සොරෙය්‍යස්ථවිරවස්තුව නිමි.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.