දිසො දිසං යන්තං කයිරා වෙරී වා පන වෙරිනං
මිච්ඡාපණිහිතං චිත්තං පාපියො න තතො කරෙ.
සොරෙක් සොරකු දැක ඔහුට යම් නපුරක් කෙරේ ද, බද්ධ වෛර ඇතිපුද්ගලයෙක් වෙර බඳුනකු දැක ඔහුට යම් අවැඩක් කෙරේ ද, වරදවා පිහිටුවන ලද සිත එයට වඩා ඔහු පවිටකු කරන්නේ ය.
අනේපිඬුමහසිටානන්හට ගවයන් රක්නා ධනවත් නන්ද නම් එඬේරෙක් සිටියේ ය. ඔහු කෙනියජටිලයා පැවිදි වෙසයෙන් හැසුරුනා සේ එඬේරකමින් රාජබලිපරිහරණය කරමින් ස්වකීය ධනය රැක බලා ගණියි. කලින් කල අනේපිඬු සිටානන්හට පස් ගොරස ගෙණ යන්නේ එහිදී බුදුරජුන්ගෙන් බණ අසා පැහැද උන්වහන්සේට තමන්ගේ ගෙට වඩින්නට ආරාධනා කෙළේ ය. එහෙත්, උන්වහන්සේ එහි නො වැඩ ඔහුගේ නුවණ මෝරන තුරු කල් බලමින් හුන් සේක. ඒ අතර ක්‍රමයෙන් නුවණ මේරුනේ ය. බුදුරජානන් වහන්සේ භික්‍ෂුසංඝයාත් ගෙණ චාරිකාවෙහි වඩිනා සේක් ඔහුගේ ගෙට නො දුරෙහි වූ එක්තරා ගසක් මුල වැඩ හුන් සේක. නන්ද තෙමේ බුදුරජුන් තමන් ගේ ගෙට නො දුරෙහි ගසක් මුල වැඩහිඳින බව දැන බුදුරජුන් වෙත ගොස් වැඳ පිළිසඳර කතා කොට බුදුරජුන් පවරා සත් දවසක් ම භික්‍ෂුසඞ්ඝයාට පංචගොරසය දුන්නේ ය. අවසානයෙහි සත්වන දා බුදුරජානන් වහන්සේ ධර්‍මදේශනා කළ සේක. ඒ අවසන්හි ඔහු සෝවන් වී බුදුරජුන්ගේ පාත්‍රය ගෙණ උන්වහන්සේගේ පසු පසැ ගියේ ය. එසේ බොහෝ දුර ගිය ඔහුට ‘නවතින්නැ’ යි වදාළ විට නැවතුනේ ය. ඒ වේලෙහි ම ඔහු එක්තරා වැද්දකු විසින් විද්දා වූ ඊ පහරකට අසුවී මැරී වැටුනේ ය. භික්‍ෂූන් වහන්සේලා ඒ දැක බුදුරජුන්ට ලංව ‘ස්වාමීනි! නන්ද තෙමේ වැද්දකුගේ ඊ පහරකට අසුවී මළේ ය, ඔබ වහන්සේගේ පසුපසැ නො ගියේ නම්, ඔහුට මේ අනතුර සිදු නො වන්නේ ය’ යි කියා සිටියහ. ‘මහණෙනි! මා ආවත් නාවත් මා පසේ ගියත් නො ගියත් ඔහුට ඒ මරණය වන්නේ ම ය, මෙයින් නිදහස් වීමට උපායයෙක් ඔහුට නැත, ඔහු සතර දිගට, සතර අනුදිගට ගියේ ද මැරුම් කන්නේ ය, මෙය හොරුන් කරන්නෙක් සතුරන් කරන්නෙක් නො වේ, මෙය කරන්නේ ඒ ඒ සත්වයන් විසින් වරදවා පිහිටු වන ලද දූෂිත වූ සිත ය’ යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක.
දිසො දිසං යන්තං කයිරා වෙරී වා පන වෙරිනං,
මිච්ඡාපණිහිතං චිත්තං පාපියො නං තතො කරෙති.
සොරෙක් එ බඳුවූ ම සොරකු දැක ඔහුට යම් විපතක් කරන්නේ ද බද්ධවෛර ඇත්තෙක් එබඳු වූ ම බද්ධවෛර ඇත්තකු දැක ඔහුට යම් අවැඩක් කරන්නේ ද, වරදවා තැබූ සිත, ඔහු එයට වඩා ඉතා පවිටකු කරන්නේ ය.
දිසො දිසං යන්තං කයිරා = සොරෙක් සොරකුට යම් ඒ අවැඩක් කරන්නේ ද.
එක්තරා එකක්හු ගේ අඹුදරු දැසි දස් කෙත් චත් ගෙරි මීවුන් ඈ සියලු සැපත පැහැර ගත් මිත්‍රද්‍රොහී වූ සොරෙක් නැවැත එසේ ම තමාගේ ද සැපත පැහැර ගත් සොරකු දැක ඔහුගෙන් පළි ගැනීමට ඔහුගේ ද අඹුදරු දැසි දස් ඈ සැපත් පැහැර ගැණුම් වසයෙන් අවැඩ කරන්නේ ය. මෙය නූගත් මිනිසුන්ගේ සිරිති. පළිගැණීම නුවණැත්තන් විසින් ගරහන ලද්දේ ය. එය මිනිසුනට අවැඩ පිණිස වන්නේ ය.
‘අන්‍යයන් ප්‍රිය නො කරන්නා ය, යන තේරුම පිට හෝ අන්‍යයන් විසින් ප්‍රිය නො කරණු ලබන්නා ය’ යන තේරුම පිට හෝ සොරා දිස යි කියනු ලැබේ. ‘පරෙ දෙස්සති න පටියායතී පරෙහි දෙස්සියති පියො න කරීයතී ති = දිසො’ යනු අරුත් පැවසීම ය.
වෙරී වා පන වෙරිනං = වෛර ඇත්තේ වෛර ඇත්තකුට අවැඩ කරන්නේ ය.
සිතෙහි හටගන්නා නො සතුට සැඩබව වෙර නම්. ඒ ඇත්තේ වෛරී නම් වේ. [1] සොරෙක් හෝ බද්ධවෛර ඇත්තෙක් හෝ තමාට අවැඩ කළහුගෙන් පළිගැණීමට, යම් නපුරක් අවැඩක් කෙරේ නම්, එක ම අත්බවක ඔහුගේ අඹුදරු දැසි දස් කෙත් වත් ගෙරි හරක් ඈ සැපත පැහැර ගණියි. ධනය හෝ පැහැර ගනියි. ජීවිතය හෝ නසයි.
මිච්ඡාපණිහිතං චිත්තං = වරදවා තැබූ සිත.
දශ අකුශල කර්‍මපථයෙහි යෙදූ සිත වරදවා තැබු සිත නම් වේ. ශීලාදිගුණධර්‍මයන්හි පිහිටා සුදුසු කර්‍මස්ථානයක නො යෙදූ දරදඬු සිත හෝ මිච්ඡාපණිහිතචිත්ත’ නම්.
පාපියො නං තතො කරෙ = එයට වඩා ඔහු ඉතා පවිටකු කරන්නේ ය.
මේ අත්බවේදී ම එසේ වූ සිත් ඇත්තහු පරිභව වධබන්ධනාදී වූ නන්වැදෑරුම් දුකට පමුණුවන්නේ ය. පරලොව නොයෙක් සියදහස් ජාතීන්හි සතර අපායයෙහි හෙළා හිස ඔසොවා ගන්නට නො දෙන්නේ ය.
එහෙයින් බුදුරජානන් වහන්සේ වදාළෝ ය මෙසේ.
‘චිත්තං භික්ඛවෙ! අභාවිතං අකම්මනියං හොති’ මහණෙනි! නො වැඩූ සිත කටයුතුවලට සුදුසු නො වේ.
‘චිත්තං භික්ඛවෙ! අභාවිතං මහතො අනත්ථාය සංවත්තති’ මහණෙනි! නො වැඩු සිත මහත් අනර්‍ත්‍ථ පිණිස පවතී.
‘චිත්තං භික්ඛවෙ! අභාවිතං අපාතුභූතං මහතො අනත්ථාය සංවත්තති’ මහණෙනි! නො වැඩූ විදසුන් ඈ අරමුණු කොට පහළ නො වූ සිත මහත් අනර්‍ත්‍ථ පිණිස පවතී.
‘චිත්තං භික්ඛවෙ! අභාවිතං අබහුලීකතං මහතො අනත්ථාය සංවත්තති’ මහණෙනි! නො වැඩූ බහුල වශයෙන් නො වැඩූ සිත මහත් අනර්‍ත්‍ථ පිණිස පවතී.
‘චිත්තං භික්ඛවෙ! අභාවිතං අබහුලීකතං දුක්ඛාවහං හොති’ මහණෙනි! නො වැඩූ බහුල වශයෙන් නො වැඩූ සිත දුක් එළවන්නේ ය.
‘චිත්තං භික්ඛවෙ! අදන්තං මහතො අනත්ථාය සංවත්තති’ මහණෙනි! නො දැමුනු සිත මහත් අනර්‍ත්‍ථ පිණිස පවතී.
‘චිත්තං භික්ඛවෙ, අගුත්තං මහතො අනත්ථාය සංවත්තති’ මහණෙනි! අගොපිත වූ සිත මහත් අනර්‍ත්‍ථ පිණිස පවතී.
‘චිත්තං භික්ඛවෙ! අරක්ඛිතං මහතො අනත්ථාය සංවත්තති’ මහණෙනි! කො රැකි සිත මහත් අනර්‍ත්‍ථ පිණිස පවතී.
‘චිත්තං භික්ඛවෙ! අසංවුතං මහතා අනත්ථාය සංවත්තති’ මහණෙනි, නො හික්ම වූ සිත මහත් අනර්‍ත්‍ථ පිණිස පවතී.
‘චිත්තං භික්ඛවෙ! අදන්තං අගුත්තං අරක්ඛිතං අසංවුතං මහතො අනත්ථාය සංවත්තති’ මහණෙනි! නො දැමූ අගොපිත වු නො රැකි නො හික්මුනු සිත මහත් අනර්‍ත්‍ථ පිණිස පවතී.
නැවැත උන්වහන්සේ මේ කාරණය ම උපමා ගෙන හැර දැක්වීමෙන් මෙසේ ව්‍යක්ත කළ සේක. මේ එය.
“සෙය්‍යථාපි භික්ඛවෙ! සාලිසූකං වා යවසූකං වා මිච්ඡාපණිහිතං හත්ථෙන වා පාදෙන වා අක්කන්තං හත්ථං වා පාදං වා භෙච්ඡති, ලොහිතං වා උප්පාදෙස්සතීති නෙතං ඨානං විජ්ජති, තං කිස්ස හෙතු, මිච්ඡාපණිහිතත්තා භික්ඛවෙ! සූකස්ස, එවමෙව ඛො භික්ඛවෙ! සො වත භික්ඛු ම්ච්ඡාපණිහිතෙන චිත්තෙන අවිජ්ජං හෙච්ඡති, විජ්ජං උප්පාදෙස්සති, නිබ්බානං සච්ඡිකරිස්සතීති නතං ඨානං විජ්ජති, තං කිස්ස හෙතු, මිච්ඡාපණිහිතත්තා භික්ඛවෙ! චිත්තස්ස” යි.
මහණෙනි! වැරදි ලෙසට තැබූ හැල් වී නණ්ඩුවක් හෝ යව නණ්ඩුවක් හෝ අතින් හෝ පයින් මැඩුනේ අත හෝ පය එයින් බිඳෙන්නේ ය, ලේ ගලන්නේ ය, යනු නො විය හැකි ය. මෙය මෙසේ නො විය හැක්කේ ය. එසේ නො විය හැක්කේ හැල් වී නණ්ඩුව හෝ යව නණ්ඩුව උඩු අක් කොට නො තබා, යට පැත්තට හරවා තැබූ බැවිනි. මහණෙනි! එමෙන් වැරදි ලෙසට පිහිට වූ සිතින් අවිද්‍යාව බිඳින්නට අර්‍හන්මාර්‍ගඥාන විද්‍යාව උපදවන්නට, නිවන් අවබෝධ කරන්නට නො හැකිය. නො හැක්කේ සිත වැරදි මග යෙදූ බැවිනි, යනු එහි කෙටි තේරුම ය.
බොහෝ සෙයින් සත්වයන්ගේ අපායොත්පත්තියට කරුණු වනුයේ වැරදිමගැ යෙදූ සිත ය. වැරදිමගැ යෙදූ සිතැත්තකුට අපායොත්පත්තියෙන් නරකයෙහි ඉපැත්මෙන් නිදහස්වනු නො හැකි ය. මේ ඒ දේශනාව.
“ඉදාහං භික්ඛවෙ! එකච්චං පුග්ගලං පදුට්ඨචිත්තං එවං චෙතසා චෙතො පරිච්ච පජානාමි, ඉමම්හි චෙ අයං සමයෙ පුග්ගලො කාලං කරෙය්‍ය, යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ, තං කිස්ස හෙතූ, චිත්තං හිස්ස භික්ඛවෙ! පදුට්ඨං, චෙතො පදොසහේතුච්ච පන භික්ඛවෙ! එවමිධෙකච්චෙ සත්තා කායසස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උප්පජ්ජන්ති” යනු.
මහණෙනි! නො පැහැදුනු කැලඹුනු මඩ වූ දියවිලක් සමීපයෙහි සිටි ඇස් ඇත්තා වූ මිනිසෙක් ඒ විලෙහි එහා මෙහා පීනන හැසිරෙන සිටින සිප්පිබෙල්ලන් සක්බෙල්ලන් කැටගල් කැබිලිති මස්කැල යන මේ කිසිවක් විලෙහි දිය නො පැහැදුනු බැවින්, කැළඹුනු බැවින්, මඩ වූ බැවින්, නො දන්නේ යම් සේ ද, එසේ නො පහන් සිතින්, කැලඹුනු සිතින්, වැරදි ලෙස තැබූ සිතින්, ආත්මාර්‍ත්‍ථය පරාර්‍ත්‍ථය යන උභයාර්‍ත්‍ථය නො දක්නේ ය. දශකුශල කර්‍මපථයෙන් මත්තෙහි වූ’ ධ්‍යානවිදර්‍ශනාමාර්‍ගඵල යන උසස් ගුණයක් මොන ලෙසකින් නමුත් ලබන්නේ ය යි කියන්නට කරුණු නැත. එබඳු නොපහන් කැළඹුන වැරදිලෙස තැබු සිතින් ධ්‍යාන විදර්‍ශනා මාර්‍ගඵලාවබෝධයක් නො වන්නේම ය.
“ සෙය්‍යථාපි භික්ඛවෙ! උදකරහදො ආවිලො ලුලිතො කලලීභූතො, තත්ථ චක්ඛුමා පුරිසො තීරෙ ඨිතො න පස්සෙය්‍ය සිප්පිසම්බුකම්පි සක්ඛරකඨලම්පි මච්ඡගුම්බම්පි චරන්තම්පි තිට්ඨන්තම්පි, තං කිස්ස හෙතු, ආවිලත්තා භික්ඛවෙ! උදකස්ස, එවමෙව ඛො භික්ඛවෙ! සො වත භික්ඛු ආවිලෙන චිත්තෙන අත්තත්‍ථං වා ඤස්සති පරත්ථං වා ඤස්සති උභයත්ථං වා ඤස්සති උත්තරිං වා මනුස්සධමමා අලමරියඤාණදස්සනවිසෙසං සච්ඡිකරිස්සතී ති නෙතං ඨානං විජ්ජති, තං කිස්ස හෙතු, ආවිලත්තා භික්ඛවෙ! චිත්තස්සාති” යනු දේශනා ය.
සොරෙක් හෝ සතුරෙක් විපතක් කෙරේ නම්, එය ඒ අවස්ථාවේදී ම කරන්නේය. දශඅකුශලකර්‍මපථයෙහි යෙදූ සිත නොයෙක් සිය දහස් ගණන් ජාතිවල දී සොර සතුරන් කරණ විපත්වලට වඩා බිහිසුණු විපත් කරන්නේ ය. සොරසතුරන්ගෙන් වන විපතට වඩා වැරදි මග යෙදූ සිතින් වන විපත ඉතා බලගතු ය. බිහිසුණු ය.
මේ ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවන් ඵලාදියට පැමිණියහ. ධර්‍මදේශනාව මහාජනයාට වැඩ සහිත වූ ය. උපාසකයා විසින් අන්‍යභවයක දී කළ කර්‍මය භික්‍ෂූන් නො විචාළ බැවින් බුදුරජානන් වහන්සේ එය නො වදාළ සේක.
නන්දගෝපාල වසතුව නිමි.
1-4 ‘න හි වෙරෙන’ යන්නට කළ පරිකථාව බලනු. ↑