අචිරං වතයං කායො පඨවිං අධිසෙස්සති
ඡුද්ධො අපෙතවිඤ්ඤාණො නිරත්‍ථං’ව කලිඞ්ගරං.
මහණ, තාගේ මේ කය නොබෝ කලෙකින් ඒකාන්තයෙන් පහ වූ සිතැති ව, ඉවත ලන ලදු ව, දිරා ගිය දඬු කඩක් මෙන් පොළොව මත හෝනේ ය.
සැවැත්නුවරැ වැසි එක් කුලපුත්‍රයෙක් බුදුරජුන්ගෙන් බණ අසා පැවිදි ව ලැබූ උපසම්පදා ඇත්තේ ‘තිස්ස’ යි ප්‍රසිද්ධ වූයේ ය. මදකලක් ගිය පසු උන්වහන්සේගේ සිරුරෙහි රෝගයෙක් හට ගත්තේ ය. පළමු කොට සිරුරෙහි අබ ඇට තරම් බිබිලි නැංගේ ය. ඒ බිබිලි පිළිවෙළින් මුං ඇට තරම් ව කඩල තරම් ව ඩෙබර තරම් ව නෙල්ලි තරම් ව බෙලිගැට තරම් ව මහත් ව ගොස් අන්තිමේ දී පැළී ගියේ ය. සිරුර ආස්සදයක් සේ පිළිදැගුම් නො කොට හැකි බවට පත් විය. හඳනා පොරෝණා සිවුරු ද ලේ සැරවෙන් තෙමී ගියේ ය. ගෝලබාලයෝ ද පිළිදැගුම් කරන්නට බැරි ව උන්වහන්සේ අත් හළහ. එයින් උන්වහන්සේ අනාථභාවයට පැමිණ ඇද වැටී නිදි ගත්හ. මෙසේ සිරුර කුණුවී ගිය බැවින් පූතිගත්ත ස්ථවිරැ,යි පසු ව ප්‍රසිද්ධ වී ගියේ ය.
බුදුවරයෝ වනාහි, දවසට දෙවරක් ලෝකය බලා වදාරති. ඒ වනාහි බුදුවරුන් විසින් අත් නො හළ ධර්‍මතාවයක් වේ. ලෝකය බලා වදාරන විට, සක්වළැ මුවවිට පටන් ගන්‍ධකුටි අභිමුඛයට නුවණ පතුරුවා බලන සේක. සවස ලොව බලන විට ගඳකිළිය පටන්, සක්වළැ මුවවිට දක්වා නුවණ පතුරුවා බලන සේක. මේ ධර්‍මතාවය ලෙසින් ලෝ බලා වදාරන අපගේ ස්වාමිදරු වූ බුදුරජානන් වහන්සේගේ නුවණට තිස්ස ස්ථවිරයන් වහන්සේ පෙණී ගියහ. එවිට බුදුරජානන් වහන්සේ තිස්ස තෙරුන් තුළ රහත්වීමට තුබූ බලවේගය දැක ‘මේ නම ගෝලබාලයන් විසින් අත් හැර දමන ලද්දේ ය, දැන් මා මිසක් අන් පිහිටෙක් මොහුට නැතැ’ යි ගඳකිළියෙන් නික්ම විහාරචාරිකාවෙහි වඩින සේක් ගිනිහල්ගෙට වැඩ සැළියක් ගෙණ සෝදා එහි වතුර වත්කොට ලිප උඩ තබා වතුර උණු කරමින් එතැන ම වැඩ සිටි සේක. වතුර රත් වූ බව දැන තිස්ස තෙරුන් හුන් තැනට වැඩ ඒ තෙරුන් නිදා හුන් ඇඳෙහි කෙළවරක් උස්සා ගත් සේක. ඒ දුටු භික්‍ෂූහු ‘ස්වාමීනි! අනේ, පැත්තකට වනු මැනැවි, අපි ඔසොවා ගන්නෙමු’ යි ඇඳ දෙ කෙළවරින් ඔසොවා ගෙණ ගිනිහල්ගෙට ගෙණ ගියහ.
ඉක්බිති බුදුරජානන් වහන්සේ ඔරුවක් ගෙන්වා උණුදිය එහි වත්කොට භික්‍ෂූන් ලවා තිස්ස තෙරුන් පෙරවූ සිවුරු ගෙන්වා උණු දියෙහි ලා පොඩි කරවා සෝදවා මඳඅව්වෙහි ලා වියළ වූ සේක. නැවැත ඒ තෙරුන් ලඟ ම වැඩ සිට උණුදිය ඇඟ වත් කරමින් ඇඟ උළා නෑ වූ සේක. ඒ අවසානයෙහි අව්වෙහි ලූ සිවුරුද වේලී තුබුනෙන් ඒ ගෙන්වා හන්දවා ඇඳ තුබූ සිවුරු ගෙණ සෝදවා එය ද අව්වෙහි දැම්ම වූ සේක. ඇඟෙහි වතුර වියලී යන විට ඒ ද වියලින. ඉක්බිති තිස්ස ස්ථවිර තෙමේ එකක් හැඳ එකක් පොරවා ගෙණ සැහැල්ලු සිරුරු ඇති ව එකඟ වූ සිතින් ඇඳෙහි සයන කෙළේ ය. ඉක්බිති බුදුරජානන් වහන්සේ තිස්ස තෙරුන්ගේ හිස්දොර වැඩ සිට ‘මහණ! තාගේ මේ සිරුර පහ වූ සිත් ඇත්තේ උපකාර නැති ව දඬුකඩක් සේ පොළොවෙහි හෝනේ ය’ යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක:-
අචිරං වතයං කායං පඨවිං අධිසෙස්සති,
ඡුද්ධො අපෙතවිඤ්ඤාණො නිරත්‍ථං ව කලිඞ්ගරන්ති,
මේ කය, එකාන්තයෙන් නොබෝ කලකින් පහ වූ සිත් ඇත්තේ (එහෙයින්ම) බැහැර ලන ලද්දේ, වැඩක් නැති දිරා ගිය දරකඩක් සේ පොළෝ මතුපිට හෝනේ ය.
අචිරං = නොබෝ කලකින්. කල් නො යවා.
එදා කෙසේ වුව ද, අද නම් මිනිසක්හුගේ පරමායුෂය පමණ කළ හැක්කේ පමණ කළ යුත්තේ සැට වසක් කොට ය. අතරතුර මෙයට වඩා හවුරුදු ගෙවා මැරෙන්නෝ ද, මෙහි නො වන්නෝ නො වෙති. අද පරමායුෂය සැට වසකින් පමණ කළ යුත්තේ ය යි කිය යුත්තේ බොහෝ සේ පැවැත්ම අනුව ය. යමෙක් සැට වසක් හෝ එයට වැඩි තරම් වසක් හෝ ජීවත් වන්නේ නමුදු, ඒ ජීවිත කාලය එතරම් දීර්‍ඝ වූවෙක් නො වේ. අචිරං’ යන්නෙන් එය දැක්වූ සේක.
අයං කායො වත = මේ කය ඒකාන්තයෙන්. නියමයෙන් ම. නොවෙනස්වම. [1]
පඨවිං අධිසෙස්සති = පොළොවෙහි හෝනේ ය. පොළොව මතුයෙහි නිදන්නේ ය.
මෙහිලා ‘කො ඉමං පඨවිං විජෙස්සති’ යන්නට කළ පරිකථාව බැලිය යුතු ය. මෙහි පඨවි’ යන්නෙන් පස්පොළොව ගැණේ. ‘අධි පූර්‍ව වූ සි + සයෙ’ යන ධාතුහුගේ යෝගයෙහි ආධාරාර්‍ත්‍ථයෙහි පඨවිං’ යි ද්විතීයාවිභක්තිය වූවා ය.
ජුද්ධො = බැහැර ලන ලද්දේ.
අපෙතවිඤ්ඤාණො = පහවූ සිත් ඇත්තේ.
සිත නැති සිරුරෙන් වැඩෙක් නැත්තේ ය. එහෙයින් දමා බැහර ලෑ යුතු ම ය.
නිරත්‍ථං ඉව කලිඞ්ගරං = වැඩක් නැති දිරා ගිය දඬු කඩක් සේ.
දැවදඬුවලින් වැඩ ගන්නා වූ මිනිස්සු වනයට ගොස් ඇද නැති දැවදඬු ඇදනැති සැටියෙනුත් ඇදඇති දඬු ඇදඇති සැටියෙනුත් කපා, ගැට මොට සැස වැඩට ගෙණ, ගැට මොට සිදුරු ඇති දැවදඬු වනයෙහි, දමා යෙති. ඊට පසු අන් කෙනෙක් එහි ගියාහු ද, ඒ දැවදඬු බලා තමන්ට වැඩට ගත හැකි වූවක් ම ගෙණ යෙති. අන් සියල්ල පොළොවෙහි ම දිරා යෙයි. වනයෙන් ගෙන ආ දැවදඬුවලින් ඇඳ, පුටු, මේස, අල්මාරි ආදී වූ යම් කිසි ගෘහොපකරණ සාදා ගණිති. එහෙත් මේ. සිරුරෙහි එක් කොටසකුත් ඇඳ පුටු සාදා ගැණීම් ආදී කිසිම වැඩක් පිණිස නො පවත්නේ ය. එහෙයින් මේ සිරුර පහ වූ සිතැත්තේ, පලක් නැති දිරා ගිය දර කඩක් සේ යි වදාළ සේක. එය මෙසේ කීහ අටුවායෙහි:-
“දබ්බසම්හාරත්‍ථිකා හි මනුස්සා අරඤ්ඤං පවිසිත්වා උජුං උජුකසන්තානෙන, වඞ්කං වඞ්කසන්තානෙන, ඡින්දිත්වා දබ්බ සම්භාරං ගණ්හන්ති, අවසෙසං පන සුසිරඤ්ච පූතිකඤ්ච ගණ්ඨි ජාතං ච ඡින්දිත්වා තත්ථෙව ඡඩ්ඩෙන්ති, අඤ්ඤෙ දබ්බත්ථිකා ආගන්ත්වා තං ගහෙතා නාම නත්ථි, ඔලොකෙත්වා අත්තනො උපකාරං එව ගණ්හන්ති, ඉතරං පඨවිගතං එව හොති, තං පන තෙන තෙන උපායෙන මඤ්චපටිපාදකං වා පාද කඨලිකං වා ඵලකපීඨං වා කාතුං සක්කා පි භවෙය්‍ය, යො පන, ඉමස්මිං පනත්තභාවෙ ද්වත්තිංසාය කොට්ඨාසෙසු එක කොට්ඨාසොපි මඤ්චපටිපාදකවසෙන අඤ්ඤෙන වා උපකාර මුඛෙන ගය්හූපගො නාම නත්ථි, කෙවලං නිරත්‍ථං ව කලිඞ්ගරං, අයං අපගතවිඤ්ඤාණො කතිපාහස්සෙව පඨවියං සෙස්සති”
“ආයු උස්මා ච විඤ්ඤාණං යදා කායං ජහන්ති මං,
අපවිද්ධො තදා සෙති යථාකට්ඨං අචෙතනං”
රූපජීවිතේන්ද්‍රිය කර්‍මජතේජෝධාතුව විඥානය යන මෙ තුන මේ සිරුර හැර දමා පහව යේ ද, එ කල්හි බැහැර ලූ මේ සිරුර සිත් පිත් නැති දරකඩක් සේ ශයනය කරයි.
“භොගබන්ධුපරිච්චත්තො පතිතො කම්මබන්ධනා,
එකකො කපණො සෙති ඡඩ්ඩිතබ්බො ලහුං තදා”
මේ සිරුර උපභෝග පරිභෝග ඥාති මිත්‍රාදීන් විසින් කරන ලද්දේ කර්‍ම නැමැති බන්ධනයෙන් වැටුනේ, දීන වූයේ, වහා ම බැහැර ලිය යුත්තේ එකලා ව ශයනය කෙරේ.
“ජෙගුච්ඡවිවටද්වාරො සජීවාකාරනිස්සටො
අවිස්සාසපුරෙක්ඛාරො අවමඞ්ගලසජ්ජිතො’
‘ගුථපිණ්ඩො ව සඞ්කාරකූටාදීසු නිරත්ථකො,
කායො අපෙතවිඤ්ඤාණො අනපෙක්ඛෙහි ඡඩ්ඩිතො”
පිළිකුල් වූ ඇරුණු නව දොරක් ඇති දිවි තොර වූ අවිශ්වාස ජනයන් විසින් පිරිවරා ගත් අවමඟුලෙන් සැදුනු, පහ වූ සිත් ඇති, එහෙයින් ප්‍රයෝජන නැති මේ ශරීරය තෙමේ කසළගොඩ ආදියෙහි වූ අසුවි පිඩක් සේ බලාපොරොත්තු නැත්තන් විසින් බැහැර ලන ලද්දේය.
“ද්විහතීහච්චයෙනෙව උද්ධුමාතකතං ගතො,
විරූපො හොති සම්භීමො විජාතාය පි මාතුයා”
දෙතුන් දිනක් ඉක්ම ගිය පසු ඉදිමුනුබවට ගිය මේ සිරුර වැදු මවට ද බිය දෙන විරූප එකෙක් වන්නේ ය.
“සබ්බෙ නීලත්තමායන්ති වණ්ණා සාමාදයො තතො,
පක්කභාවං ගතො පච්ඡා දෙහනිස්සිතලෝහිතෙ”
ඉන් පසු සියලු සම්වන් ඈ පැහැය නිල් බවට යයි. නැවැත සිරුර ඇසුරු කළ ලෙය සැරව බවට ගොස්,
“සහෙවාසුචිසොතෙහි පග්ඝරන්ති කිමී තතො,
ඡාදෙන්ති සකලං දෙහං භින්නභත්තපුටං විය”
මේ සිරුරෙන් පිටතට වැගිරෙන අසුචිධාරාවන් සමග පණුවෝ වැගිරෙත්. නැවැත බත්මුළක් සේ සියලු සිරුර වසා ගණිත්.
“තථා සුචි පග්ඝරන්ති භින්දිත්වාන ඉතො චිතො,
ඡින්නබන්ධනයන්තොව ඡෙජ්ජතෙ සන්ධිබන්ධනං”
එසේ ම ඔබිනොබින් බිඳී කුණු වැගිරේ. සිඳී ගිය බැඳුම් ඇති යන්ත්‍රයක් සේ ඇටහන්දියෙහි නහර බැඳුම් සිඳී යයි.
“විතිණෙණො භවතී කායො තත්ථ තත්ථ විභාගසො,
ඛාදිතෙ සොණකාදීහි දෙහභාවම්පි නොදතී”
සිරුර ඒ ඒ තැන විසුරුනේ වේ. බලු ආදීන් විසින් කෑ කල්හි සිරුරු සටහන ද පහව යයි.
“අනිලාතපවුට්ඨීහි තතො. ජිණ්ණත්තමාගතෙ,
සබ්බෙ අන්තරධායන්ති නාමමත්තම්පි නො භවෙ”
අවු සුළඟින් හා වැස්සෙන් දිරුම් කඩට පැමිණි කල්හි සියලු අවයව අතුරුදහන් වේ. නම පමණකුත් ඉතිරි නො වේ,
“යානිමානි අපත්ථානි අලාපුනෙව සාරදෙ,
කාපොතකානි අට්ඨීනි තානි දිස්වාන කා රතී”
ශරත්කාලයෙහි ඒ ඒ තැන, දැමූ ලබුමෙන් කොබෝවන් පැහැ ඇති යම් මිනී ඇට වේ ද, ඒ මිනී ඇට දැක, කි නම් කාමරතියක් වේ ද.
“යෙ පූතිකායම්හි කරොන්ති ඡන්දං
ජාති ජරං ව්‍යාධිමථො චුතිඤ්ච,
පුනප්පුනං තෙ සමුපෙන්ති බාලා
බාලා යථා ධෙනුමුපෙන්ති වච්ඡා”
යම් කෙනෙක් මේ සිරුරෙහි ආලය කෙරෙත් ද, ඒ අඥයෝ මවු කරා කුඩාවස්සන් යන්නා සේ නැවැත නැවැත ඉපදීමට දිරීමට ලෙඩට මරණයට පැමිණෙත්.
“තතො සරීරෙ බහුපද්දවාලයෙ
පහාය එතම්හි රතිං අසෙසතො,
විචින්තයන්තො පරමං ඉමං විධිං
තරෙය්‍ය ඛිප්පං භවසාගරං බුද්ධො”
බොහෝ උවදුරුවලට තැන් වූ මේ සිරුරෙහි ආලය මුළුමනින් හැර දමා, නුවණැත්තේ මේ ලෙස සලකා වහා සසරසයුර එතර කරන්නේ ය.
‘අචිරං වතයං කායො’ යනාදීන් වදාළ ධර්‍මදේශනාව අවසානයෙහි තිස්ස ස්ථවිරයන් වහන්සේ පිළිසැඹියාවන් ලබා රහත් වූහ. අන් බොහෝ දෙන ද සෝවන් ඵලාදියට පැමිණියහ. තිස්ස ස්ථවිරයන් වහන්සේ රහත්බවට පැමිණ ම පිරිනිවි සේක. බුදුරජානන් වහන්සේ තිස්ස තෙරුන්ගේ ආදහනය කරවා ධාතූන් ගෙන්වා සෑයක් කරවූ සේක.
එක් දිනෙක, භික්‍ෂූන් වහන්සේලා ‘තිස්ස ස්ථවිර තෙමේ කො තැනැ උපන්නේ දැ’ යි බුදුරජුන් වෙතින් ඇසූහ. උන්වහන්සේ ‘තිස්ස තෙමේ පිරිනිවියේ ය’ යි වදාළවිට, නැවැතත් භික්‍ෂූහු ‘රහත්වීමට වාසනාගුණය තුබූ මෙබඳු කෙනකුගේ සිරුරෙහි ඇට බිඳී ගියේ කුමක් නිසා ද, රහත්වීමට වාසනා ගුණය ලැබූයේ කෙසේ දැ? යි ඇසූහ. ‘මේ සියල්ල ඔහු විසින් පෙර කළ කර්‍මය පරිදි සිදුවී ය’ යි වදාළ විට ‘ඔහු පෙර කළ ඒ කර්‍මය කුමක් දැ’ යි නැවැත ඇසූහ.
‘මේ තිස්ස තෙමේ කාශ්‍යප බුදුරජුන්ගේ කාලයෙහි පක්‍ෂි වැද්දෙක් ව සිටියේය, දැල් හා දුනු ගෙණ වනයට ගොස් බොහෝ පක්‍ෂීන් අල්ලා ගෙණ වුත් පොහොසතුන්ට තෑගි කොට දී ඉතිරි වන පක්‍ෂීන් විකුණයි, විකුණා ඉතිරිවූවන් මරා තබයි, මරා තැබූවෝ කුණු වී යත්, පියාසර කරන්නට නො හැකිවන සේ කුරුල්ලන්ගේ කෙණ්ඩා ඇටත් පියාපත් ඇටත් කඩා පොඩි කොට ගොඩ ගසා තබයි, එසේ ඇට කඩා තැබූවන් පසු දා විකුණයි, ඉතා වැඩි ගණනක් අල්ලා ගත් දිනවල දී තමාත් උයවා කයි, තිස්සට රසමසවුළෙන් කෑම පිළියෙල කළ එක් දවසෙක රහතුන් වහන්සේ නමක් ඔහුගේ ගෙට පිඬු සිඟා වැඩියහ, තිස්ස, ඒ තෙරුන් දැක සිත පහදා ‘මා විසින් බොහෝ පක්‍ෂීහු මරා කන ලද්දාහ, අද පින්වතුන් වහන්සේ නමක් මාගේ ගෙට වැඩි සේක. අද මෙහි රසවත් කෑම තිබේ, මුන්වහන්සේට පිණ්ඩපාතය දෙමි’ යි පාත්‍රය පුරවා පිණ්ඩපාතය දී පසඟ පිහිටුවා වැඳ ‘ස්වාමීනි! මමත් ඔබවහන්සේ ලත් ධර්‍මයෙහි මුදුන් පැමිණෙන්නෙමි’ යි කී ය. රහතුන් වහන්සේ ද ‘එසේ වේවා’ යි අනුමෝදනා කළහ, තිස්ස විසින් දුරදිග නො බලා පව්පින් නො සලකා මෙලොව පර ලොව නො දැන, එදා කළ මේ කර්‍මයාගේ විපාක විසින් තිස්සට මේ සිදු විය, කුරුල්ලන්ගේ ඇට බිඳීම නිසා තිස්සගේ සිරුර කුණු විය, ඇට පැළුනේ ය, රහතුන්ට පිණ්ඩපාතය දීම නිසා රහත් වීය’ යි බුදුරජානන් වහන්සේ එ පුවත මෙසේ වදාළ සේක.
පූතිගත්තතිස්සස්ථවිර වස්තුව නිමි.
3-6 ‘කායකම්මං’ යන්නට කල පරිකථාව බලනු. ↑