කුම්භූපමං කායමිමං විදිත්‍වා නගරූපමං චිත්තමිදං ඨපෙත්‍වා.
යොධෙථ මාරං පඤ්ඤායුධෙන ජිතඤ්ච රක්ඛෙ අනිවෙසනො සියා.
මේ ශරීරය කුඹල්බඳුනක් වැනි යැ යි දැන, මේ විදර්‍ශනාචිත්තය ස්ථිර නුවරක් සේ තබා, ප්‍රඥා නැමැති ආයුධයෙන් ක්ලේශමාරයා පහරින්නේ ය. උපදවන ලද තරුණ විදර්‍ශනාව රක්නේ ය. සමාපත්තිය ගෙය කොට ගෙණ එහි නො වසන්නේ ය.
සැවැත්නුවරැ වැසි පන්සියයක් භික්‍ෂූන් වහන්සේලා බුදුරජානන් වහන්සේ වෙතින් රහත්බව දක්වා කමටහන් උගෙණ ‘මහණ දම් පුරන්නෙමු’ යි යොදුන් සියයක් පමණ වූ දිග් මහ මග ගෙවා එක් ජනාකීර්‍ණ වූ ගමකට පැමිණියහ. එ ගම්වැස්සෝ උන්වහන්සේලා දැක අසුන් පණවා වඩා හිඳුවා රසවත් කැඳ බත් ආදිය මැනැවින් වළඳවා ‘කො තැනක වඩින්නහු දැ’ යි ඒ භික්‍ෂූන්ගෙන් විචාළාහු ය. ‘වස් විසුමට පහසු ඇති තැනක් සොයා බලා යන්නෙමු’ යි ඔවුන් කී කල්හි, ඒ මිනිස්සු ‘ස්වාමීනි! ස්වාමීන් වහන්සේලා මේ තෙ මස මෙහි වසනු මැනැව, අපි ඔබ වහන්සේලා වෙත සරණයෙහි පිහිටා සිල් සමාදන් වන්නෙමු’ යි කීහ. භික්‍ෂූහු ඔවුන්ගේ ඒ ආරාධනාව ඉවසූහ. මිනිස්සු ඒ බව දැන එක් නොදුරු වන ලැහැබෙක රෑතැන් දිවාතැන් වැසිකිළි කැසිකිළි පැන්පොකුණු ආදිය පිළියෙල කොට භික්‍ෂූන් වහන්සේලා එහි පිටත් කළහ. වන ලැහැබෙහි අරක් ගත් දෙවියෝ ‘සිල්වත් භික්‍ෂූන් වහන්සේලා මේ වනලැහැබෙහි මෙසේ වසද්දී අඹුදරුවනුත් ගෙණ, ගස් නැගී විසීම අපට නො සුදුසු ය’ යි බිමට බැස, මේ හිමිවරු අද රෑ පමණක් මෙහි වැස හෙට මෙතැනින් යනු ඇතැ’ යි සිතූහ.
භික්‍ෂූහු පසු දා ගමට වැද පිඬු සිඟා ගෙණ, වනලැහැබ තුළට ම පැමිණියහ. එවිට දෙවියෝ ‘මේ සඞ්ඝයා වහන්සේ කවුරුන් විසින් නමුත් හෙටටත් ආරාධනා කරණ ලද්දෝ වන්නාහ, ඒ නිසා නැවැත මෙහි ආහ, අදත් ඉඳ හෙට නික්ම යනු ඇතැ’ යි සිතූහ. මේ ලෙසින් සිත සිතා ඔවුහු අඩමසක් ගස් නො නැග ම හුන්හ. නැවැත ‘මේ හිමිවරු මේ තෙමස ම මෙහි වසන්නන් සේ ය පෙණෙන්නෝ, එසේ නම්, අපට ගස් නැගී හිඳිනු නො සුදුසු ය, තෙ මසක් ම මේ ලෙසට අඹුදරුවනුත් ගෙණ බිම ඉඳීමත් නො කළැකිය, එහෙයින් කිසිවක් කොට මේ භික්‍ෂූන් පිටමං කරන්නට ඕනෑ ය’ යි සිතා රෑ තැන් දිවාතැන් ආදී වූ ඒ ඒ තැන්හි ද, සක්මන් කෙළවර ද, හිස් සුන්සිරුර දක්වමින් යක්‍ෂ රාක්‍ෂෂාදීන්ගේ භයජනකශබ්ද ද අස්වන්නට වූහ. එයින් භික්‍ෂූන් වහන්සේලා අතර කැසි කිඹිසිලි ආදී වූ රෝග හටගත්තේ ය. ඒ භික්‍ෂූන් වහන්සේලා ‘ඇවැත්නි! ඔබවහන්සේ ලෙඩින් පෙළෙන්නහු සේ පෙණෙත්, හටගෙණ ඇති ලෙඩේ කුමක් දැ’ යි එකිනෙකාගෙන් ඇසූහ. මට කැස්ස, මට කිබිසිලි යෑම’ යි මේ ලෙසින් තම තමන්ට වැළඳී තිබූ කරමින් අසනීප කියා ‘සක්මන් කෙළවර දී සිරුරු නැති ඔළුවක් දිටිමි, මම ඔළුව නැති සිරුරක් දිටිමි, මම වැසිකිළිය අසල දී අමනුෂ්‍යශබ්දයක් ඇසීමි’ යි එකිනෙකා කී කල්හි කවුරුත් ‘අපට මේ ස්ථානය හිතකර නො වේ, අපහසුකම් බොහෝ ය, එහෙයින් බුදුරජුන් වෙත යමු’ යි කවුරුත් සම සිත් ව බුදුරජුන් වෙත ගොස් වැඳ සිටියහ. උන්වහන්සේ ‘මහණෙනි! තමුසේලා මෙ පමණ ඉක්මනින් පෙරළා මෙහි ආවහු කිමැ’ යි ඇසූහ. ‘ස්වාමීනි! එහි කරදර බොහෝ ය, අප ඉදිරියෙහි නන් වැදෑරුම් බිහිසුණු. අරමුණු පහළ වේ, සිරුරු නැති හිස්, ඔලු නැති සිරුරු දක්නට ලැබෙත්, අපි බොහෝ දෙනෙක් මේ නිසා ලෙඩ රෝග ඇත්තෝ වීමු, එහෙයින් එ තැන හැර දමා මෙහි ආම්හ’ යි සැලකළහ.
බුදුරජානන් වහන්සේ ඒ භික්‍ෂූන්ට ‘එහි ම යවු’ යි කී කල්හි ද භික්‍ෂූහු එහි යෑමට නො හැකි බව කීහ. ‘මහණෙනි! යවු, නො බිය වවු, තමුසේලා මුලින් යද්දී හිස් අතින් ගියහු ය, මේ වර ආයුධයක් ගෙණ යවු’ යි ‘මෙත්ත සුත්‍රය’ උගන්වා නැවැත ‘මහණෙනි! විහාරයෙන් පිටත වනලැහැබ පටන් සජ්ඣායනය කරමින් වනයතුළට ඇතුළු වවු’ යි නියම කළ සේක. ඔවුහු ‘එසේය’ යි බුදුරජුන් වැඳ එ තැනින් නික්ම මෙත්සුත පිරිවහමින් ගොස් වනයතුළට පිවිසියහ. වනලැහැබෙහි අරක් ගෙණ හුන් දෙවියෝ මෙත්සිත් ලබා පෙර ගමන් කොට පා සිවුරු ඉල්ලූහ. අතපය මිරිකීමට, අවසර ඉල්ලූහ. ඒ ඒ තැන රැකවල් ගත්හ. උණු දෙයක් දියෙහි ලූ කලක් සේ ඒ සියලු උවදුරු සංසිඳුනේ ය. අමනුෂ්‍ය ශබ්දයෙක් කො තැනත් නො වුයේ ය. එහෙයින් භික්‍ෂූන්ගේ සිත් එකඟ විය. ඔවුහු රෑතැන් දිවාතැන්හි හිඳ විදර්‍ශනාවෙහි සිත් බහා ආත්මභාවයෙහි ඛයවය පිහිටුවා ‘මේ ආත්මභාවය බිඳෙන සුලු ය, අස්ථිර ය, කුලල් බඳුනක් සේ’ යි විදසුන් වැඩූහ. බුදුරජානන් වහන්සේ ගඳකිළියෙහි වැඩ හුන් සේක් ඔවුන් විදර්‍ශනාව පටන් ගත්බව දැන ඔවුන් අමතා ‘මහණෙනි! ඔව්, ආත්මභාවය බිඳෙන සුලු ය, අස්ථිර ය, කුලල් බඳුනක් බඳු ය’ යි වදාරා ආලෝකයක් පතුරුවා යොදුන් සියයකින් ඈත වැඩ සිටි සේක් ද, ඉදිරියෙහි හුන්නකු සේ සවණක් රැස් විහිදුවා පෙනෙන රූපයෙන් යුක්ත ව මේ ධර්‍මදේශනාව කළ. සේක:
කුමභූපමං කායමිමං විදිත්‍වා
නගරූපමං චිත්තමිදං ඨපෙත්‍වා,
යොධෙථ මාරං පඤ්ඤායුධෙන
ජීතඤ්ච රක්ඛෙ අනිවෙසනො සියාති.
මේ සිරුර මැටිබඳුනක් බඳුය යි දැන් මේ සිත, මැනැවින් රැකි නුවරක් සේ තබා, නුවණ නැමැති ආයුධයෙන් කෙලෙස් මරුට පහර දෙන්නේ ය. එසේ මරුට පහර දී දිනා ගන්නා ලද්ද ද රැක ගන්නේ ය. සමාපත්ති ආලය නොමැත්තෙක් වන්නේ ය,
කුම්භූපමං = මැටි බඳුනක් වැනි කොට.
‘කෙන ජලෙන උම්භීයති පූරීයතී ති = කුම්භො’ ජලයෙන් පුරවනු ලබන්නේ කුම්භ නම්. සිරුර බිඳෙන සුලු බැවින් කුම්භයට උපමා කරණ ලද්දේ ය.
ඉමං කායං = මේ සිරුර.
නාමකාය - රූපකාය යි කය දෙ පරිදි ය. මෙහිලා ගැනෙන්නේ රූපකාය ය. ‘කෙසාදිසමුහසඞ්ඛාතං කායං’ යනු අටුවා ය. නින්දිත වූ කෙසාදීන්ගේ සමූහය හෝ ඔවුන්ගේ ම උත්පත්ති ස්ථාන බැවින් හෝ රූපකාය තෙමේ කාය නම්. ‘අඞ්ගපච්චඞ්ගානං කෙසාදීනං ච සමූහට්‍ඨෙන එවං කුච්ඡිතානං ජෙගුච්ඡානං ආයො, උප්පත්තිදෙසොතිපි කායො’ යනු එයරුත් කීම ය. මෙහි වචනාර්‍ත්‍ථ දැක්වීම මෙසේ ය:- ‘ආයන්ති එත්‍ථාති = ආයො කෙ ආයන්ති කුච්ඡිතා කෙසාදයො ඉති, කුච්ඡිතානං ආයොති පි - කායො’ යනු අර්‍ත්‍ථ විසින් සතර මහාභූතයන්ගේ වශයෙන් පවත්නා භූතොපාදායධර්‍මපුඤ්ජය, කාය යි දත යුතු ය. ඒ මේ කාය තෙමේ පඨවිකාය - ආපොකාය - තෙජොකාය - වායොකාය - කෙසකාය - ලෝමකාය - ඡවිකාය යනාදීන්ගේ වශයෙන් බහුවිධ ය.
කෙසාදිසමූහය යි කියනු ලබන මේ ශරීරය අතිශය දුර්‍වල ය. අස්ථිර ය. එහෙයින් කල් නො පවත්නේ ය. එහෙයින් ම ය මේ සිරුර මැටි බඳුනක් වැනි ය යි වදාළෝ, ‘අයං භික්ඛවෙ! චතුමහාභූතමයො රූපකායො භිදුරො භෙදනසීලො භෙදනසභාවො ඛණෙ ඛණෙ විද්ධංසනසභාවො ති’ යන මේ දේශනාප්‍රදෙශයෙන් ද එබව ම වදාළෝය. ‘මහණෙනි! සතර මහාභූතයන් විසින් කළ මේ රූපකාය තෙමේ නැසෙන සුලු ය’ යනු එහි කෙටි තේරුමය.
“පුබ්බලොහිතසම්පන්නං බහුස්ස කුණපස්ස ච,
නරවීරකතං වග්ගු සමුග්ගමිව චිත්තිතං”
සැරවයෙන් හා ලෙයින් පිරුණු බොහෝ කුණපයෙන් ද පිරුණු ශරීරය නරවීරයකු විසින් කරන ලද සිත්කලු සුමුගුවක් සේ සිතියම් කරණ ලද ය.
“අල්ලවම්මපටිච්ඡන්නො නවද්වාරො මහාවණො,
සමන්තතො පග්ඝරති අසුචි පූතිගන්‍ධියො”
තෙත් වූ සමකින් වැසුනු නව දොරක් ඇති මහාවණයක් බඳු මේ සිරුර හැම පැත්තකින් වැගිරේ. හැම අතින් අපිරිසිදු ය. කුණු ගඳ ඇත්තේ ය.
“දුග්ගන්‍ධො අසුචි කායො කුණපො උක්කරූපමො,
නින්‍දිතො චක්ඛුභූතෙහි කායො බාලාභිනන්‍දිතො”
දුර්‍ගන්‍ධ වූ අසුචිසමූහයක් වූ කුණපයක් වූ කසළ ගොඩක් බඳු වූ මේ සිරුර නුවණැත්තන් විසින් නින්දා කරන ලද්දේ ය. අඥයන් විසින් සතුටු වන ලද්දේ ය.
“දිපාදකොයං අසුචි දුග්ගන්‍ධොබහුපද්දවො,
නානාකුණපපරිපූරො විස්සවන්තො තතො තතො”
දෙපා ඇති මේ සිරුර අපවිත්‍ර ය. දුගඳ ය. බොහෝ උවදුරු ඇත්තේ ය. නොයෙක් කුණපයෙන් පිරුණේ ය. ඒ ඒ තැනින් කුණු වහනය කරන්නේ ය.
“ස චෙ ඉමස්ස කායස්ස අන්තො බාහිරතො සියා,
දණ්ඩා නූන ගහෙත්‍වාන කාක සොණෙ ච වාරයෙ”
යම් ලෙසකින් මේ සිරුරෙහි ඇතුළත පිටත් හි වූයේ නම්, එකල මුගුරක් ගෙණ බලුකවුඩුහිවලුන් වළකන්නේ ය.
“අන්නං පානං ඛාදනීයං භොජනං ච මහාරහං,
එකද්වාරෙන පවිසිත්‍වා නවද්වාරෙහි සන්‍දති”
එක් දොරකින් මෙහි ඇතුල් වූ ප්‍රණීත වූ ආහාරපානාදීහු නව දොරකින් වැගිරෙත්.
“අන්නං පානං ඛාදනීයං භොජනං ච මහාරහං,
භුඤ්ජති සපරිවාරො නික්ඛාමෙත්තා නිලීයති”
ප්‍රණීත වූ ආහාරපානවර්‍ග පිරිවර සහිත ව හිඳ අනුභව කරයි. එය නික්ම වන්නේ සැඟ වෙයි.
“අන්නං පානං ඛාදනීයං භොජනං ච මහාරහං,
එකරත්තිපරිවාසා සබ්බං භවති පූතිකං”
මෙහි පිවිසි ආහාරපානවර්‍ග එක් රැයක් පරණවීමෙන් කුණු’වේ.
“ඉතො පක්ඛිත්තමෙතස්මිං එත්තො යාති ච පූතිකං,
ජනා තුච්ඡං විහඤ්ඤන්ති දෙහස්මිං උභතො මුඛෙ”
මේ සිරුරෙහි මෑතින් ලන ලද්ද, ඈතින් කුණු බවට යයි. ජනයෝ දෙ පසින් මුව ඇති සිරුරෙහි නිකරුණේ වෙහෙසෙත්.
“යථා අග්ගිම්හි පක්ඛිත්තං හොති සබ්බම්පි ඡාරිකං,
යථා දෙහෙපි පක්ඛිත්තං හොති සබ්බං කරීසකං”
ගින්නෙහි ලූ සියල්ල ම හළු වන්නා සේ සිරුරෙහි බහා ලූ සියල්ල එසේ අසුචි වන්නේ ය.
“න චාපක්ඛිපිතුං සක්කා පක්ඛිත්තං රක්ඛිතුම්පි ව,
දුප්පමුඤ්චෙ මිදං දුක්ඛං නරානං සතතාගතං”
සිරුරෙහි අහර නො බහාලන්නට ද නො හැකි ය. බහා ලන ලද්ද රකින්නට ද නො හැකි ය. මිනිසුන්ට මෙය නිරතුරු පැමිණි මුදා ලිය නො හැකි දුකෙක.
“බහුධම්මසමොධානො බහුපච්චයනිස්සිතො,
බහුසාධාරණො කායො බහුපද්දවපීළිතො”
සිරුර රූපධර්‍ම රැස් වූ තැනෙකි. බොහෝ හේතුන් ඇසුරු කොට ඇත්තේ ය. බොහෝ දෙනාට සාධාරණ ය. බොහෝ උවදුරුවලින් පෙළුනේ ය.
“සචෙපි අන්තොගතභාගරාසී
චරෙය්‍ය කාමං බහි නික්ඛමිත්‍වා,
දණ්ඩං ගහෙත්‍වා පන කාකසොණෙ
නිවාරයෙ අඤ්ඤමකුබ්බමානො”
ඉදින් ඇතුළත්හි වූ කොටස් රැස එකාන්තයෙන් පිටතට නික්ම හැසිරෙන්නේ නම්, දණ්ඩක් ගෙන අනිකක් නො කරමින් කවුඩන් හා බල්ලන් වළකන්නේ ය.
“න විජ්ජතෙ දුක්ඛමනත්තනිච්චං
සරීරතො පූති මසාරමඤ්ඤං,
එතාදිසෙ චාපි කරොන්ති ඡන්‍දං
තතො කිමඤ්ඤං පන මොඝකිච්චං”
සිරුරට වඩා දුකක්, අනාත්ම අනිත්‍යවස්තුවක් කුණුවූවක් අසාරවූවක් නැත. මෙබඳු සිරුරෙහි පවා අනුවණයෝ ආලය කෙරෙත්. එයට වඩා අන්‍ය වූ සිස් වැඩෙක් කිම ඇත්තේ ද,
“විරූපමඤ්ඤං අසුචිං න දෙහතො
භයස්ස මූලං විපරීතචෙතසා,
උපෙන්ති දුක්ඛං කටුකං තහිං රතා
නරොරචක්කෙ විය ගිද්ධමානසො”
සිරුරට වඩා විරූපයෙක් අපවිත්‍රයෙක් බියට මුලෙක් නැත්තේ ය. පෙරළුනු සිතින් ඒ සිරුරෙහි ඇලුනු සත්‍වයෝ උරචක්‍රයෙහි ගිජු සිත් ඇති මිනිසකු සේ කර්‍කශ වූ දුකට පැමිණෙත්.
“සුසාදිසඤ්ඤිනො දෙහෙ සලභාවහුතාසනෙ,
මොහෙන පටිපජ්ජන්තා සොචන්ති සුචිරං කලි”
ගින්නෙහි ඇලුනු පලඟැටියන් සේ සිරුරෙහි ශුභසුඛාදිසංඥා ඇති ව මෝහයෙන් පිළිපදින සත්‍වයෝ බොහෝ කලක් ශෝක කෙරෙත්.
“ඉමං හි සුභතො කායං ගහෙත්‍වා තත්‍ථ මුච්ඡිතා,
බාලා කරොන්තා පාපානි දුක්ඛා න පරිමුච්චරෙ”
මේ සිරුර ශුභ වශයෙන් ගෙන එහි මුසපත් වූ අඥජනයෝ පව් කරන්නාහු දුකින් නො මිදෙන්නාහ.
“අජඤ්ඤං ජඤ්ඤසඞ්ඛාතං අසුභං සුභසම්මතං,
නානාකුණපපරිපූරං ජඤ්ඤරූපං අපස්සතො”
අපවිත්‍ර වූ ශරීරය නුවණ නැත්තන් විසින් පවිත්‍රය යි කියන ලද්දේ ය. අශුභ වූ ශරීරය ශුභය යි දන්නා ලද්දේ ය. නොයෙක් කුණපයෙන් පිරුණු සිරුර නුවණින් නො බලන්නහුට පවිත්‍ර වූ ස්වරූප ඇත්තෙක් වේ.
“ධිරත්‍ථු මං ආතුරං පුතිකායං
ජෙගුච්ඡියං අසුභං ව්‍යාධිධම්මං,
එත්‍ථප්පමත්තා අධිමුච්ඡිතා පජා
හාපෙන්ති මග්ගං සුගතූපපත්තියා”
මේ සිරුරෙහි තදින් මුසපත් වූ සත්‍වයෝ දෙව්ලොව ඉපදීමට හේතු වූ මග පිරිහෙලත්. එබඳු වූ ආතුර වූ පිළිකුල් කටයුතු වූ ශුභ නො වූ ව්‍යාධිස්වභාව වූ මේ කුණු සිරුරට නින්‍දා වේවා.
“නහාරුචම්මෙහි සමාවිනන්‍ධිතෙ
මනොනිලාපායුතුසම්පවත්තිතෙ,
ජරාරුජාමච්චුමලාදිපූරිතෙ
කිමෙත්‍ථ ගය්හං සුචිතො ච සාරතො”
නහරින් සමින් හාත් පසින් වෙළුනු චිත්ත වාත ජල ආයු උතු යන මොවුන් විසින් පවත්වන ලද ජරාව්‍යාධි මරණයෙන් හා මල මූ ආදියෙන් පිරුණු මේ සිරුරෙහි පිරිසිදු වශයෙන් සාර වශයෙන් ගත හැක්කේ කිමෙක් ද.
“දුම්මිත්තො දුබ්භරො කායො දුක්ඛො දුප්පරිහාරියො,
දුත්තිකිච්ඡො දුරදානො දුප්පූරො දූසකො සදා”
මේ සිරුර හැම කල්හි පාපමිත්‍රයකු වැනි ය. දුකින් පොෂණය කළ යුතු ය. දුක ය. දුකින් පරිහරණය කළ යුතුය. පිළියම් නො කොට හැකි ය. සාරැ යි ගත නො හැකි ය. එසේ ම පිරිය නො හැකි ය. පිරිසිදු බව දූෂණය කරන්නේ ය.
“නිච්චෙතනො නිරුස්සාහො නිසාරො නීවගොචරො,
නික්කිලෙසපරිච්චත්තො කායො නිග්ගුණසෙවිතො”
මේ සිරුර චේතනා රහිත ය. වීර්‍ය්‍යය රහිත ය. සාරයක් නැත්තේ ය. නීවයන්ට ගොදුරු ය. නික්ලේශීන් විසින් හැර දමන ලද්දේ ය. ගුණහීන වූ අඥජනයන් විසින් සේවනය කරණ ලද්දේ ය.
“නායං මිත්තො න ඤාතී ච න ච කස්ස චි සන්තකො,
නිජ්ජීවාසුචිමත්තොව කෙවලං කම්මසම්භවො”
මේ සිරුර මිතුරෙක් නො වේ. නෑයෙක් ද නො වේ. කිසිවකුටත් අයත් නො වේ. හුදෙක් කර්‍මයෙන් හටගත්තේ ය. දිවි රහිත ය. අපවිත්‍රමාත්‍රයෙක.
“අලෙනොසරණො කායො සබ්බානත්‍ථමහාපථො,
ජරාදිපාවකාදිත්තො සබ්බදුක්ඛූපනිස්සයො”
මේ සිරුර සැඟවෙන තැනක් නො වන බැවින් අලෙන ය. එහෙයින් අසරණ ය. සියලු අනර්‍ත්‍ථයන්ට මහමගෙකි. ජරාමරණාදි ගින්නෙන් ඇවිළ ගන්නා ලද්දේ ය. සියලු දුකට හේතු ය.
“තතොව නික්ඛිත්තමලං තහිඤ්ච
භවෙය්‍ය ලිත්තං සකලෙපි දෙහෙ
ඛණෙව තස්මිං කිමිගූථගන්‍ධං
දට්ඨුම්පි දුක්ඛං පන කො ඵුසෙය්‍ය”
සිරුරෙන් නික්මුනු අසුචිය එහි ම ආලෙපකරණ ලද්දේ නම් එකෙණෙහි ම පණුවන් හා අසුචිගඳ ඇතියේ දැකීම ද දුක් වන්නේය. කවරෙක් එය ඇලීම් වසයෙන් පහසාද,
“එතාහනික්ඛිත්තලම්පිදෙහා
පහොති ඡාදෙතුමසෙසතො තං
කිමෙව වත්තුං පන මච්චුකාලා
තථාපි දෙහෙ සුචිසඤ්ඤි බාලො”
සිරුරෙන් එක් දවසක් නික්මුණු අසුවිය පවා ඒ සිරුර මුළුමනින් වසන්නට සෑහෙන්නේ ය. මරණකාලය තෙක් නික්මුනු අසුචිය පමණ විසින් කියන්නට නො හැකි ය. මෝඩ මිනිසා මේ අසුචිපිණ්ඩය පිරිසිදු ය, සාරය යි ගන්නේය.
මෙසේ නුවණැත්තන් විසින් පිළිකුල් කළ මේ සිරුර බිඳෙන සුලුබව, කල් නො පවත්නාබව යනාදී වූ ස්වභාවධර්‍මයන්ගෙන් යුක්ත බැවින් බුදුරජානන් වහන්සේ ශරීරය මැටිබඳුනක් බඳු ය යි වදාළ සේක.
විදිත්‍වා = දැන.
මේ පූර්‍වක්‍රියාපදයෙන් කියනු ලබන දැනුම සාමාන්‍ය දැනුමෙක් නො වේ. විදසුන් නුවණින් දැනුම මෙයින් කිය වේ. ශරීරයෙහි නියම තත්‍වය දත යුත්තේ විදසුන් නුවණින් ය. අන් නුවණීන් ඒ නො දත හැකි ය. ශරීරය මැටිබඳුනක් බඳු ය යි දැනීමෙහි සමර්‍ත්‍ථ වන්නී විදර්‍ශනාප්‍රඥාව ය.
නගරූපමං = (මනාකොට රැකි) නුවරක් සේ.
මනා කොට රැකි නුවර සොරුන් විසින් නො පැහැර ගත හැකි ය. ‘පැහැර ගණිමු’ යි පැමිණි සොරු සිස් වූ අදහස් ඇති ව ආමග බලා පෙරළා යති. එමෙන් විදර්‍ශනාප්‍රඥාසහිතචිත්තය කෙලෙස් සතුරන්ට තමන්ගේ වශයට නො ගත හැකි ය. එහෙයින් විදර්‍ශනාප්‍රඥාසහිත චිත්තය සුස්ථිර නගරයක් වැනි ය. මනා කොට රැකි නුවරක් සේ ය. විදර්‍ශනාප්‍රඥාව උපදවා රාගාදි ක්ලේශධර්‍මයන්ට යටත් නො වන ලෙසින් සිත පිහිටුවා ගැනීම, නුවර සුස්ථිර ව සුරක්‍ෂිත ව තැබීම ය යි දත යුතු යි.
ඉදං චිත්තං ඨපෙත්‍වා = මේ සිත තබා. [1]
යොධෙථ මාරං පඤ්ඤායුධෙන = ප්‍රඥා නැමැති ආවුධයෙන් මරුට පහර දෙන්නේ ය.
ක්ලේශමාර - ස්කන්‍ධමාර - අභිසංස්කාරමාර - මෘත්‍යුමාර - දේවපුත්‍රමාර යි මාරයෝ පස්දෙනෙක් බෞද්ධ පොතපතෙහි එති. එහි රාගාදික්ලේශසමූහය, ක්ලේශමාර නම්. රූපූපාදානක්ඛන්‍ධ -
වෙදනූපාදානක්ඛන්‍ධ - සඤ්ඤූපාදානක්ඛන්‍ධ - සඞ්ඛාරූපාදානක්ඛන්‍ධ - විඤ්ඤාණූපාදානක්ඛන්‍ධ යන මේ පස ස්කන්‍ධමාර නම්. පුඤ්ඤාභිසඞ්ඛාර - අපුඤ්ඤාභිසඞ්ඛාර - ආනෙඤ්ජාභිසඞ්ඛාර යන මේ තුන අභිසංස්කාරමාර නම්. ස්කන්‍ධයන්ගේ බිඳීමෙන් වන මරණය මෘත්‍යුමාර නම්. පරනිර්මිතවශවර්තිදිව්‍යලෝකයෙහි එක් පෙදෙසක වසමින් සිය පිරිසෙහි ඉසුරුබව පවත්වන මහානුභාවසම්පන්න දිව්‍යපුත්‍ර තෙමේ දේවපුත්‍රමාර නම්. මේ පස් වැදෑරුම් මරුන් අතුරෙහි ලා මෙහි ගැණෙන්නේ රාගාදී වූ කෙලෙස්මරු ය.
විදර්‍ශනාප්‍රඥාව හා මාර්‍ගප්‍රඥාව ප්‍රඥායුධ නම්. සංස්කාරධර්‍මයන් අනිත්‍ය - දුඃඛ - අනාත්ම විසින් දක්නා නුවණ විදර්‍ශනාප්‍රඥා නම්. සෝතාපත්තිආදිආර්‍ය්‍යමාර්‍ග පිළිබඳ වූ නුවණ, මාර්‍ගප්‍රඥා නම්. විදර්‍ශනා ප්‍රඥා යි කියූ සංස්කාරයන් අනිත්‍යාදිවශයෙන් දක්නා නුවණින් රාගාදික්ලේශයෝ තදඞ්ගාදිවශයෙන් සංසිදී යන්නෝ ය. එසේ විදර්‍ශනාප්‍රඥාවෙන් තදඞ්ගාදිවශයෙන් සංසිඳී ගිය ඒ ඒ මාර්‍ගයෙන් වසා සිටින අවුරා සිටින ක්ලේශයෝ ආර්‍ය්‍යමාර්‍ගප්‍රඥාවෙන් මූලොච්ඡින්න වන්නෝ ය. මෙසේ විදර්‍ශනාප්‍රඥාවෙන් හා මාර්‍ගප්‍රඥාවෙන් කෙලෙස් කැපී සිඳී යන බැවින් එ දෙක ප්‍රඥායුධැ යි දක්වන ලද්දේ ය.
ජිතං ච රක්ඛෙ = දිනන ලද තරුණ විදර්‍ශනාව රකින්නේ ය.
මේ තරුණවිදර්‍ශනාව අස්ථිර වූ විදර්‍ශනාප්‍රඥාසහිතචිත්තයෙන් තදඞ්ගාදිවශයෙන් කෙලෙස් නසාලීමෙන් උපදවා ගත යුතු ය. අභාවිත අබහුලීකෘත විදර්‍ශනාප්‍රඥාව තරුණවිදර්‍ශනා ය.
කෙලෙස්සතුරන් නසා උපදවා ගන්නා ලද තරුණවිදර්‍ශනාව හිත වූ ආවාස, හිත වූ කාල, හිත වූ බොජුන්, හිත වූ පුද්ගලයන් හිත වූ දහම් ඇසීම් යනාදිය සේවනය කරමින් වළඳමින් අතරතුර සමාපත්තීන්ට සමවදිමින් එයින් නැගිට පිරිසිදු සිතින් සංස්කාරයන් මෙනෙහි කරමින් රැකියයුතු ය.
අනිවෙසනො සියා = ආලය නො මැත්තෙක් වන්නේ ය.
ලැබූ තරුණවිදර්‍ශනාව ඇත්තේ, නැවැත නැවැත සමවතට සමවැද ඉන් නැගිට පිරිසිදු සිතින් සංස්කාරයන් මෙනෙහි කරන්නේ, උපදවා ගත් තරුණවිදර්‍ශනාව රැක ගැණුමෙහි සමර්‍ත්‍ථවන්නේය. මත්තෙහි මාර්‍ගඥානලාභයෙන් සියලු කෙලෙස් මරුන් දිනන්නේ ය. නො එසේ වූයේ, සමාපත්තියෙහි ම ආලය කරමින් සිටී ද, පිරිසිදු සිතින් නැවැත නැවැත සංස්කාරයන් මෙනෙහි කෙරේ ද, එකල සිත කෙලෙස්සතුරන් විසින් යටපත් කරණ ලදු ව, ලැබූ තරුණවිදර්‍ශනාව නැසීයෑමේන් මගපල ලැබීමට අපොහොසත් වන්නේ ය.
එහෙයින් රැකියයුතු වූ තරුණවිදර්‍ශනාව, හිත වූ ආවාස භොජනාදිය සේවනය කිරීමෙන් ද, අතරතුර සමාපත්තියට සමවැද ඉන් නැගිට පිරිසිදු සිතින් සංස්කාරයන් මෙනෙහි කිරීමෙන් ද රකිනු විනා සමාපත්තියට ඇතුල් ව එහි නො විසියයුතු ය. එහි ආලය නො කටයුතුය යි දක්වන්නට ‘අනිවෙසනො සියා’ යනු වදාළෝ ය.
මේ අටුවාව කියූ සැටි:
“යථා නාම යොධො සඞ්ඝාමසීසෙ බලකොට්ඨකං කත්‍වා අමිත්තෙහි සද්ධිං යුජ්ඣන්තො ජාතො වා පිපාසිතො වා හුත්‍වා සන්නාහෙ වා සිථිලෙ ආයුධෙ වා පතිතෙ බලකොට්ඨකං පවිසිත්‍වා විස්සමිත්‍වා භුඤ්ජිත්‍වා පිවිත්‍වා සන්නයහිත්‍වා ආයුධං ගහෙත්‍වා පුන නික්ඛමිත්‍වා යුජ්ඣන්තො පරසෙනං මද්දති, අජිතං ජිනාති, ජිනං රක්ඛති, සො හි සචෙ බලකොට්ඨකෙ ඨිතො එවං විස්සමන්තො තං අස්සාදෙන්තො අච්ඡෙය්‍ය, රජ්ජං පරහත්‍ථගතං කරෙය්‍ය, එවමෙව භික්ඛු පටිලද්ධං තරුණ විපස්සනං පුනප්පුන සමාපත්තිං සමාපජ්ජිත්‍වා වුට්ඨාය සුද්ධ චිත්තෙන සඞ්ඛාරෙ සම්මසන්තො රක්ඛිතුං සක්කොති, උත්තරිං මග්ගපටිලාභෙන කිලෙසමාරං ජිනාති, සචෙ පන සො සමාපත්තිමෙව අස්සාදෙති, සුද්ධචිත්තෙන පුනප්පුන සඞ්ඛාරෙ න සම්මසති, මග්ගඵලපටිවෙධං කාතුං න සක්කොති, තස්මා රක්ඛිතබ්බයුත්තකං රක්ඛන්තො අනිවෙසනො සියා, සමාපත්තිනිවෙසනං කත්‍වා තත්‍ථ න නිවසෙය්‍ය, ආලයං න කරෙය්‍ය” යනු.
යුද්ධභූමියෙහි බලකොටුවක් බැඳ සතුරන් හා යුද කරණ යුද්ධභට තෙමේ, බඩසයින් පෙළුනේ, බලකොටුවට ඇතුල් ව විඩා සංසිඳුවා කා බී අවුත් නැවැත යුද්ධ කරන්නේ, සතුරු සෙනාව පලවා හරියි. නො දිනූ දෙය දිනයි. ජය අත් පත් කෙරෙයි. ජයෙහි ස්ථිර වෙයි. එමෙන් යමෙක් තමන් ලත් තරුණවිදර්‍ශනාව සත්ප්‍රාය වූ ආවාසාදිය සේවනයෙන් හා පිරිසිදු සිතින් සංස්කාරයන් මෙනෙහි කිරීමෙන් රැක ගන්නේ ද, ඔහු කෙලෙස්සතුරන් පලවා හැර, මාර්‍ගඵලප්‍රතිලාභයෙන් ජය අත්පත් කෙරෙයි. ජයෙහි ස්ථිර ව පිහිටයි.
යම් ලෙසකින් යුද්ධභට තෙමේ, බලකොටුවට ඇතුල් ව දිනන ලද්දෙහි ආලය කරමින් විඩා සංසිඳුවා කා බී එහි සිටින්නේ ද එකල ඔහු දිනූ දෙය ද සතුරන් අතට පත් වන්නේ ය. එ මෙන් සමාපත්තියෙහි ම ආලය කරමින් ඉන් සතුටු වෙමින් සංස්කාරයන් මෙනෙහි කිරීමෙන් උපදවා ගත් තරුණවිදර්‍ශනාව නිසි සේ නො වඩා සිටින්නේ, ලැබූ තරුණවිදර්‍ශනාවෙන් ද පිරිහෙන්නේ ය. කෙලෙස්මරුන්ගේ වශයට යන්නේ ය. එ හෙයින් සමාපත්තියෙහි ආලය නො කටයුතු ය යි දක්වන ලද්දේ ය.
‘මහණෙනි! කරුණු මෙසේ බැවින් තෙපි ද එකාන්තයෙන් මෙසේ කරවු’ යි බුදුරජානන් වහන්සේ ඒ භික්‍ෂූන්ට මෙසේ දහම් දෙසූහ. ධර්‍මදේශනාවගේ අවසානයෙහි ඒ පන් සියයක් දෙනා වහන්සේ හුන් තැන හුන්නෝ ම, සිවුපිළිසැඹියාවන් ලබා රහත් ව බුදුරජානන් වහන්සේගේ රන්වන්සිරුරෙහි ගුණ කියමින් තුති පුද පවත්වමින් වඳිමින් එහි පැමිණියහ.
ආරබ්ධවිදර්‍ශකභික්‍ෂු වස්තුව නිමි.
3-1 ‘චිත්ත’ යන්නට කළ පරිකථාව බලනු. ↑