අනවට්ඨිතචිත්තස්ස සද්ධම්මං අවිජානතො
පරිප්ලවපසාදස්ස පඤ්ඤා න පරිපූරති.
(දහවෙයියා රැසෙක හිඳු වූ කණුවක් මෙන් කලෙක නිවටු ව ද කලෙක තවුස් ව ද කලෙක ගිහි ව දැ යි යන ආදි වශයෙන්) අනවස්ථිත සිත් ඇති, (බෝපැකි) දහම් නොදන්නා, (අචල ප්‍රසාදයෙහි නො පිහිටි හෙයින් හෝ සැදැහැ මඳ හෙයින්) ඉපිලෙන සැදැහැ ඇත්තාහට (කාමාවචරාදි ප්‍රභේද ඇති) ප්‍රඥාව නො පිරෙයි.
අනවස්සුතචිත්තස්ස අනන්වාහතචෙතසො
පුඤ්ඤපාපපහීණස්ස නත්‍ථි ජාගරතො භයං.
රාගයෙන් නොතෙත් වූ සිතැති, ද්වේෂයෙන් නොපැහැරුණු සිතැති, (රහත්මඟින්) කුසල් අකුසල් ප්‍රහීණ කළ, (ශ්‍රඬාදී පංච ජාගර ධර්‍මයෙන් යුක්ත බැවින්) නො නිදන රහත්හට කෙලෙසුන්ගෙන් බියෙක් නැත.
සැවැත්නුවරැ වැසි එක් කුල පුත්‍රයෙක් ගාලෙන් පලා ගිය ගොනකු සොයමින් වනයට ගියේ ය. එහි පෙරවරුයෙහි තැන තැන සොයා ඇවිද ඉරමුදුන් වේලෙහි ගොනා දැක අල්ලා බැඳ ගෙණ ඌ ගවයන් සිටි තැනට යැවී ය. තෙමේ බඩගිනි ඉවසාගත නො හැකි ව ‘බත් ටිකක් කමි’ යි අසල තුබූ වෙහෙරකට ගියේ ය. ගොස් භික්‍ෂූන් වැඳ එකත් පසෙක හුන්නේ ය. එ වේලෙහි එහි ඉඳුල් ලන බඳුනෙහි වළඳා ඉතිරි වූ බත් තුබුනේ ය.
භික්‍ෂූන් වහන්සේලා බඩසයින් පෙළුනු ඔහු දැක ‘මේ තැටියෙහි තිබෙන බත් ගෙණ කව’ යි තැටිය තුබූ තැන පෙන් වූහ. බුදුරජානන් වහන්සේගේ කාලයෙහි භික්‍ෂූන් වහන්සේට නොයෙක් අන්දමේ මාලුපිණීයෙන් යුත් බත් ලැබුනේ ය. ඔහු ඒ තැටියෙන් බත් ගෙණ කාලා පැන් බීලා අත් සෝදා ගෙණ භික්‍ෂූන් වෙත ගොස් වැඳ ‘ස්වාමීනි! අද දානයට පැවරූ තැනකට වැඩියෝ දැ’ යි ඇසී ය. ‘නැත, අපට සැම දා ම මේ ලෙසට කෑම් බීම් ලැබේ’ යි භික්‍ෂූන් වහන්සේලා කීහ. ‘අපි රෑ දාවල මහත් ආයාසයෙන් මහත් වීර්‍ය්‍යයෙන් රැකී රක්‍ෂා කරන්නමෝ නමුත්, කිසි දිනක හිත බඩ පුරා මේ අන්දමේ රසවත් මාලුපිණිවලින් යුත් බතක් කන්නට මොන ලෙසකිනුත් අපට නො ලැබේ, මේ හාමුදුරුවරු දිනපතා හැම වේලේම මෙසේ රසට ගුණට වළඳන්නෝ ය, මමත් මහණවෙමි’ යි සිතා භික්‍ෂූන් වෙත ගොස් මහණකම ඉල්ලා සිටියේ ය. භික්‍ෂූන් වහන්සේලා ඔහු පැවිදි කළහ.
පැවිදි වූ ඔහු උපසපන්බව් ඇත්තේ, වත් පිළිවෙත් කරමින් බුදුරජුන්ට උපන් ලාභසත්කාර වළඳන්නේ, කිහිපදිනකින් ම තර බාරු සිරුරු ඇත්තේ විය. එහෙත් පිඩු සිඟා යෑම කරදරයෙකැ යි සිතූ ඔහු ‘මහණකමින් වැඩෙක් නැතැ’ යි ටික දිනක් හොඳට කා බී සිවුරු හැර ගියේ ය. නැවැත ගෙයි කටයුතුවලට බැසීමෙන් ඔහුගේ සිරුර වෑරී ගියේ ය. එවිට ‘මේ ගිහිකමෙන් වැඩෙක් නැතැ’ යි ඔහු නැවැත ද ගෙය හැර දමා පැවිදි වූයේ ය. සිරුර තරබාරු වූ සැටියේ නැවැතත් සිවුරු හැරියේ ය. මොහු පැවිදිව සිටින්නේ භික්‍ෂූන් වහන්සේලාට නොයෙක් අතින් උපකාර කරන්නේ ය. නැවැතත් කිහිප දිනකින් වෙහෙරට ගොස් මහණකම ඉල්ලී ය. භික්‍ෂූහු ඒ වරත් උපකාර පිණිස ඔහු පැවිදි කළහ. මෙසේ මෙතෙමේ ස වරක් පැවිදි ව සිවුරු හැර ගියේ ය. එහෙයින් මොහු චිත්ත වශික ව හැසිරේය යි ඔහුට ‘චිත්තහත්‍ථ’ යි නම් කළහ.
වරක් ගිහි ව වරක් පැවිදි ව දවස් යවන මොහුගේ බිරිඳ ගර්‍භනී වූ ය. දිනක් මොහු සත්වනවර වනයෙහි වැඩට යෙදූ නගුල් වියදඬු ආදී වූ සාන උපකරණ අරගෙණ ගෙට අවුත්, ඒ උපකරණ තැන්පත් කොට තබා ‘සිවුර ගන්නෙමි’ යි කාමරයට ඇතුල් විය. ඒ වේලෙහි බිරිය වැතිර නිදි ගත්තා ය. ඇය ඉණ ඇඳි රෙදිකඩ ද ඇයගේ සිරුරෙන් පහව තුබුනේ ය. කටදෙකොණින් කුණු කෙළ වැගුරුණේ ය. නැහයෙන් ‘සුරු, සුරු’ යන හඬ නික්මුනේ ය. බිරිය දුටු හැටියේ ඇය ඉදිමී ගිය මළ සිරුරක් සේ ඔහුට වැටහින. ‘අනේ, මේ තමා අනිත්‍ය ය, මේ තමා දුක, මට මෑ නිසා පැවිදි ව සිටිනු බැරි වී ය’ යි සිතන්නට වූ ඔහු සිවුරු කොණ ගෙණ බඩ බඳිමින් ම ගෙයින් නික්ම ගියේ ය. අසල ගෙයි හුන් ඔහුගේ නැන්දනී තොමෝ සිවුරු කොණ බඩ බඳිමින් යන ඔහු දැක ‘මූ කුඹුරෙන් ආ හැටියේ ම ගෙයි මඳකුත් නො නැවතී සිවුරෙන් බඩ බඳිමින් වෙහෙර දිහාවට යන්නේ ය, කුමක් හෙයින් එසේ යන්නේ දෝ යි බලන්නට ගෙට ඇතුල් වූවා, නිර්‍වස්ත්‍ර ව නිදන දුව දැක මැය වැද හෙව නිදන සැටි දැක කළකිරී ගියේය’ යි දැන ‘කාලකණ්ණිය! නැඟිට පිය, තීගේ මිනිහා තී නිදන සැටි දැක කළකිරී ගියේ ය, අද සිට තිට ඔහු නැත්තේ ය, වෙන මිනිහෙකු සොයා ගන්නට තිට සිදු වන්නේය’ යි හඬ නගා කි වු ය.
‘අම්මා! නිකම් ඉන්න පැත්තකට වන්න, ඔයා ටික දිනකින් ආපසු එන්නේ ය, ඔයාට මා හැර යන්නට නො හැකි ය, කෑකෝ නො ගසන්නැ’ යි ඕ තොමෝ කිවු ය. බිරිය දැක කළකිරී, ගෙන් නික්ම ගිය තැනැත්තේ ද ‘අනිත්‍යය, දුකය’ යි කියමින් සිතමින් යන්නේ සෝවන්පලයට පැමිණියේ භික්‍ෂූන් වෙත ගොස් වැඳ මහණකම ඉල්ලා සිටියේ ය. ‘තා පැවිදි කරන්නට අපට නො හැකි ය, තට මහණකමෙන් වැඩෙක් නැත, තාගේ හිස කරගලක් වැනි ය’ යි භික්‍ෂූන් කී කල්හි ‘ස්වාමීනි! මා තව එක් වරක් පැවිදි කරණු මැනැවැ’ යි තදින් කියා සිටියේ ය. භික්‍ෂූහු ඔහු එවර ද උපකාර සලකා පැවිදි කළහ. ඔහු සත්වන වර ලැබූ මේ පැවිද්දෙන් ටික දවසකට පසු සිවුපිළිසැඹියාවන් ලබා රහත් වූයේ ය. භික්‍ෂූන් වහන්සේලා ද ‘චිත්තහත්‍ථය! තා පැන යන කාලය දන්නෙහි තෝ ම ය, මේ වර සිවුරු හැරීම කල් යන හැඩැ’ යි කීහ. ‘ස්වාමීනි! ඒ එදා, අද සසර ඇලුම් සසර බැඳුම් නැති කෙළෙමි, එහෙයින් දැන් ඉතින් ගිහිගෙට නො යමි’ යි චිත්තහත්‍ථස්ථවිරයන් වහන්සේ කීහ. එවිට භික්‍ෂූන් වහන්සේලා බුදුරජුන් වෙත ගොස් ‘ස්වාමීනි! මේ තෙරුන්නාන්සේ තමන් රහත් වූ බවක් හඟවත්, බොරු කියත්’ යි කී කල්හි බුදුරජානන් වහන්සේ ‘මහණෙනි! ඒ එසේ ය, මේ මා පුත් සැලෙන සිත් ඇති අවදියේ දහම් නො දන්නා අවදියේ අතැන මෙතැන යෑම් ඊම් කෙළේ ය, දැන් ඔහුට පිණුත් නැත, පවුත් නැත, ඒ දෙක ම පහව ගියේ ය’ යි වදාරා මේ ධර්‍මෙදශනාව කළ සේක:-
අනවට්ඨිතචිත්තස්ස සද්ධම්මං අවිජානතො,
පරිපලවපසාදස්ස පඤ්ඤා න පරිපූරති.
.
අනවස්සුතචිත්තස්ස අනන්‍වාහතචෙතසො,
පුඤ්ඤපාපපහීනස්ස නත්‍ථි ජාගරතො භයන්ති.
චපල වූ සීත් ඇති සදහම් නො දන්නා වූ ඉපිලෙන සැදැහ ඇත්තහුට නුවණ නො පිරේ.
රාගයෙන් තෙත් නො වූ සිත් ඇති, ද්වේෂයෙන් නො පහරණ ලද සිත් ඇති, පින් පව් නැසූ කෙලෙස් නින්දෙන් නො නිදන්නහුට බියෙක් නැත්තේ ය.
අනවට්ඨිතචිත්තස්ස = නො පිහිටි සිත් ඇති. චපල වූ සිත් ඇති.
යම් කිසිවෙක් අසුපිට තැබූ කොමඩු ගෙඩියක් සේ ද, දහවියා ගොඩක සිටුවා ලු කණුවක් සේ ද, කෙස් නැති හිසෙක තැබූ කොළොම් මලක් සේ ද, කිසි තැනෙක ස්ථිර ව නො පිහිටා ද, කලෙක බුද්ධශ්‍රාවකයෙක් වේ ද, කලෙක අචෙලකයෙක් වේ ද, කලෙක ආජීවකයෙක් වේ ද, කලෙක නිගණ්ඨයෙක් වේ ද, කලෙක තාපසයෙක් වේ ද, හෙතෙමේ ය, අනවට්ඨිතචිත්ත. අස්ථිර වූ සිතැතේ ය හේ.
“චිත්තං නාමෙතං කස්ස චි නිබද්ධං වා ථාවරං වා නත්‍ථි, සො පන පුග්ගලො අස්සපිට්ඨෙ ඨපිථුකුම්භණ්ඩකං විය ච ථූසරාසිම්හි කොට්ඨිතඛාණුකො විය ච ඛල්ලාටසීසෙ කදම්බපුප්ඵං විය ච කත්‍ථ චි න සණ්ඨහති, කදා චි බුද්ධසාවකො හොති, කදා චි අචෙලකො, කදා චි ආජීවකො, කදා චි නිගණ්ඨො, කදා චි තාපසො, එවරූපො පුග්ගලො අනවට්ඨිතචිත්තො නාම” යනු අටුවා ය.
සද්ධම්මං = සත්තිස් බොධිපාක්‍ෂිකධර්‍මය..
‘අරියානං ගොචරෙ රතා’ යන්නට කළ පරිකථාව බලනු.
අවිජානතො = නො දන්නා වූ.
පරිපලවපසාදස්ස = ඉපිලෙන සැදැහ ඇත්තහුට.
ශ්‍රද්ධාව (ඇදහීම) සිවුමග පිළිබඳ නො වූවා ද, සැලෙන්නීය. එසේ ම ස්වල්ප වූවා ද, යන්තමකට වූවා ද සැලෙන්නී ය.
පඤ්ඤා න පරිපූරති = ප්‍රඥාව නො පිරේ.
ප්‍රඥාවෙහි භේද මහත් ය. ප්‍රඥාවෙහි විවිධ අවස්ථා ඇත්තේ ය. රූප - වේදනා - සඤ්ඤා - සඞ්ඛාර - විඤ්ඤාණ යන ස්කන්‍ධ පස අතුරෙහි සංස්කාරස්කන්‍ධය, සංස්කාර පනසකින් යුක්ත ය. ඒ පනසෙහි මේ ප්‍රඥාව ද එකෙකි. ඒකාන්තශොභනචෛතසිකයෙකි. මෙය, යට කියන ලද්දේ ය.
ඒ මේ ශොභනචෛතසික ය,
‘පඤ්ඤාපනට්ඨෙන = පඤ්ඤා’ ඒ ඒ ධර්‍මයන් පිළිබඳ යථාස්වභාවය, ඇති සැටිය, නියම තේරුම දන්වන අරුතින් ‘පඤ්ඤා’ නම් වේ.
පජානාති එතායාති = පඤ්ඤා’ ඇති තතු, ඇති සැටියෙන් අවබෝධ කිරීමට ඉවහල් වන බැවින් පඤ්ඤා’ නම් වේ.
පජානනං = පඤ්ඤා’ ප්‍රකර්‍ෂජානනය, ඒ ඒ ධර්‍මයන්ගේ ඇති තතු ඉතිරි නො කොට එහි පතුලට ම බැස දැනුම පඤ්ඤා’ නම් වේ. ඒ ඒ ධර්‍මයන් පිළිබඳ ඇති තතු, අවබෝධ කරන්නී ප්‍රඥා තොමෝ ය. ඒ ලකුණෙන් මෝ එකවිධ වූ වාද, භේද විසින් නොයෙක් භේද ඇත්තී ය.
පජානනා - විචයො - පවිචයො - ධම්මවිචයො - සල්ලක්ඛණා - උපලක්ඛණා - පච්චුපලක්ඛණා - පණ්ඩිච්චං - කොසල්ලං - නෙපුඤ්ඤං - වෙහව්‍යා - උපපරික්ඛා - මෙධා - පරිනායිකා - විපස්සනා - සම්පජඤ්ඤං - පතොදො - පඤ්ඤින්‍ද්‍රියං - පඤ්ඤාබලං - පඤ්ඤාසත්‍ථං - පඤ්ඤාපාසාදො - පඤ්ඤාආලොකො - පඤ්ඤාපජ්ජොතො - පඤ්ඤාරතනං - අමොහො - සම්මාදිට්ඨි යනාදී නම්වලින් මේ ප්‍රඥාව ත්‍රිපිටකධර්‍මයෙහි එන්නී ය. මෙයට මෙසේ පර්‍ය්‍යායනාම බොහෝ ඇතත් ඤාණ’ යනු ම අතිප්‍රසිද්ධ ය. භේද විසින් මෝ පළමු කොට ම බෙදෙන්නී ලෞකික ලෝකෝත්තර විසිනි.
එහි ගෝත්‍රභූචිත්තය කෙළවර කොට ඇති කාමාවචර-රූපාවචර-අරූපාවචර යන ලෞකිකචිත්තයන් හා එක් ව යෙදුනු ප්‍රඥාව ලෞකික ප්‍රඥා නම්. මේ කියූ සැටි: ‘තීසු භූමිසු කුසලව්‍යාකතෙ පඤ්ඤා, ලොකියා පඤ්ඤා’ යනු.
අට වැදෑරුම් මග පල සිත් හා යෙදුනු ප්‍රඥාව ලෝකෝත්තර ප්‍රඥා නම්. මේ කියූ සැටි: ‘චතුසු මග්ගෙසු චතුසු එලෙසු පඤ්ඤා, ලොකුත්තරා පඤ්ඤා’ යනු.
සුතමයඤාණ - සීලමයඤාණ - භාවනාමයඤාණ - ධම්මට්ඨිතිඤාණ - සම්මසනඤාණ - උදයබ්බයානුපස්සනාඤාණ - භඞ්ගානුපස්සනාඤාණ - භයතුපට්ඨානඤාණ - ආදීනවානුපස්සනාඤාණ - නිබ්බිදානුපස්සනාඤාණ - මුඤ්චිතුකම්‍යතාඤාණ - පටිසඞ්ඛානුපස්සනාඤාණ - සංඛාරුපෙක්ඛාඤාණ - සච්චානුලොමිකඤාණ - ගෝත්‍රභූඤාණ - සෝතාපත්තිමග්ගඤාණ - සෝතාපත්තිඵලඤාණ - සකදාගාමීමග්ගඤාණ - සකදාගාමීඵලඤාණ - අනාගාමීමග්ගඤාණ - අනාගාමීඵලඤාණ - අරහත්තමග්ගඤාණ - අරහත්තඵලඤාණ - විමුත්තිඤාණ - පච්චවෙක්ඛණඤාණ - නිරෝධසමාපත්තිඤාණ - ඉද්ධිවිධඤාණ - දිබ්බසෝතඤාණ - චෙතොපරියඤාණ - පුබ්බෙනිවාසානුස්සතිඤාණ - දිබ්බචක්ඛුඤාණ - ආසවක්ඛයකරඤාණ - දුක්ඛසච්චඤාණ - දුක්ඛසමුදයසච්චඤාණ - දුක්ඛනිරෝධසච්චඤාණ -දුක්ඛනිරෝධගාමිනීපටිපදාසච්චඤාණ - අත්‍ථපටිසම්භිදාඤාණ - ධම්මපටිසම්භිදාඤාණ - නිරුත්තිපටිසම්භිදාඤාණ - පටිභානපටිසම්භිදාඤාණ - ඉන්‍ද්‍රියපරොපරියත්තඤාණ - ආසයානුසයඤාණ - යමකපාටිහීරඤාණ - මහාකරුණාසමාපත්තිඤාණ - අනාවරණඤාණ - සබ්බඤ්ඤුතඤාණ - ඨානාඨානඤාණ - විපාකඤාණ - සබ්බත්‍ථගාමිනීපටිපදාඤාණ - අනෙකධාතුනානාධාතුඤාණ - නානාධිමුත්තිකඤාණ - සංකිලෙසඤාණ -වොදානඤාණ - වුත්‍ථානඤාණ - චුතූපපාතඤාණ - මහාපඤ්ඤා - පුථුපඤ්ඤා - විපුලපඤ්ඤා - ගම්භීරපඤ්ඤා - අසාමන්තපඤ්ඤා - භූරිපඤ්ඤා - බාහුල්ලපඤ්ඤා - සීඝපඤ්ඤා - ලහුපඤ්ඤා - හාසුපඤ්ඤා - ජවනපඤ්ඤා - තික්ඛපඤ්ඤා - නිබිබෙධිකපඤ්ඤා යන මේ කියූ ප්‍රඥාවෝ ලෞකික-ලෝකෝත්තරභේදයෙහි ඇතුළත් වෙති.
දහම් අසන්නා වූ කාලයෙහි දහම් අසන්නහුගේ සිත්හි පහළ වන නුවණ සුතමය නම්. කොටින්. කය-වචන යන දොරටු සංවරණයෙහි හික්මවාලීමෙහි පැවැති නුවණ සීලමය නම්. කොටින්.
චිත්තචෛතසිකයන් එක් අරමුණෙක ලා පිහිටුවීමැ යි කියන සමාධියෙහි පැවැති නුවණ භාවනාමය නම්. කොටින්.
ඒ ඒ ධර්‍මයන් වෙන් වෙන් කොට සලකා ගැණීමෙහි පැවැති නුවණ ධම්මට්ඨිති නම්. කොටින්.
පඤචස්කන්‍ධය කලාප කලාප වශයෙන් සලකා ගැණීමෙහි නුවණ සම්මසන නම්. කොටින්.
සංස්කාරධර්‍මයන් ගේ ඉපැත්ම හා නැසුම දැනීම උදයබ්බයානුපස්සනා නම්. කොටින්..
සංස්කාරධර්‍මයන්ගේ බිඳීම දැනීම භඞ්ගානුපස්සනා නම්. කොටින්,
සංස්කාරධර්‍මයන් භය වශයෙන් දැකීම භයතුපට්ඨාන නම්. කොටින්.
සංස්කාරධර්‍මයන්ගේ දොස් දැනීම ආදීනවානුපස්සනා නම්. කොටින්.
සංස්කාරධර්‍මයන් කළකිරීම් වශයෙන් දැකීම නිබ්බිදානුපස්සනා නම්, කොටින්.
සංස්කාරධර්‍මයන් කෙරෙන් මිදෙනු කැමැති බව මුඤ්චිතුකම්‍යතා නම්. කොටින්.
සංස්කාරධර්‍මයන් අනිත්‍ය-දුඃඛ-අනාත්ම වශයෙන් සැලකීම පටිසඞ්ඛානුපස්සනා නම්. කොටින්.
සංස්කාරධර්‍මයන් කෙරෙහි මැදහත් බව සඞ්ඛාරුපෙක්ඛා නම්. කොටින්.
උදයව්‍යයාදී වූ අෂ්ටවිධවිදර්‍ශනාඥානයන්ට හා බොධිපාක්‍ෂික ධර්‍මයන්ට අනුව පවත්නා දැකීම සච්චානුලොමික නම්. කොටින්.
පෘථග්ජනගෝත්‍රය මැඩ ආර්‍ය්‍යගෝත්‍රයට බැස නිවන් අරමුණු කොට සෝතාපත්තිමග්ගඤාණයට සයාකාරයකින් ප්‍රත්‍යයභාවය සිදු කරමින් උපදනා දැනීම ගොත්‍රභූ නම්. කොටින්.
සෝතාපත්තිමග්ගචිත්තයෙහි යෙදී සිටි නුවණ සෝතාපත්තිමග්ගඤාණ නම්. කොටින්.
සෝතාපත්තිමග්ගඤාණයට අනතුරුව ඔවුන්ගේ ම විපාකය වූ නිවන අරමුණු කොට උපදින නුවණ සොතාපත්තිඵලඤාණ නම්. කොටින්.
සෙසු මග්ගඵලඤාණයෝ ද මෙසේ යුතු ය.
ඒ ඒ ආර්‍ය්‍යමාර්‍ගයෙන් නැසූ කෙලෙස් පසුව දැකීම හෝ ක්ලේශයන්ගෙන් මිදුනු බව විමුත්තිඤාණ නම්. කොටින්.
මාර්‍ගඵල විසින් නැසූ කෙලෙස් හා ඉදිරියෙහි නසන්නට ඉතිරි වූ කෙලෙස් පස් විකුම පච්චවෙක්ඛණඤාණ නම්. කොටින්.
අනාගාමීආර්‍ය්‍යයන්ගේ හා රහතුන් වහන්සේගේ නිරෝධසමාපත්තිය පිළිබඳ නුවණ නිරොධසමාපත්තිඤාණ නම්. කොටින්.
ඍද්ධි කොට්ඨාශයන් දැනීම ඉද්ධිවිධඤාණ නම්. කොටින්.
දිව කන් උපදවා ගැණුමෙහි පැවැති නුවණ දිබ්බසොතඤාණ නම්. කොටින්.
තමාගේ හා මෙරමාගේ සිත පිරිසිඳ දැනීම චෙතොපරිඤාණ නම්. කොටින්.
පෙර විසූ කඳපිළිවෙළ දැනුම් සිහිපත් කිරීම පුබ්බෙනිවාසානුස්සතිඤාණ නම්. කොටින්.
දිව ඇස උපදවා ගැණීමෙහි පැවැති නුවණ දිබ්බචක්ඛුඤාණ නම්. කොටින්.
පංචස්කන්‍ධය දුක් රැසකැ යි දැනීම දුක්ඛසච්චඤාණ නම්. කොටින්.
දුක් හටගැණීමේ හේතුව වූ තෘෂ්ණාව දැනීම දුක්ඛසමුදයසච්චඤාණ නම්, කොටින්.
පංචස්කන්‍ධදුඃඛයාගේ නො පැවැත්ම දැනීම දුක්ඛනිරොධසච්චඤාණ නම්. කොටින්.
පංචස්කන්‍ධදුඃඛයාගේ නැසීමෙහි මග දැනීම දුක්ඛනිරෝධගාමිනීපටිපදාසච්චඤාණ නම්. කොටින්.
ඵලයෙහි දැනුම අත්‍ථපටිසම්භිදා නම්. කොටින්.
හේතුවෙහි දැනුම ධම්මපටිසම්භිදා නම්. කොටින්.
නිරුක්තියෙහි දැනුම නිරුත්තිපටිසම්භිදා නම්. කොටින්.
අර්‍ත්‍ථ-ධර්‍ම-නිරුක්තියෙහි දැනුම පටිභාණපටිසම්භිදා නම්. කොටින්.
ශ්‍රද්ධාදිඉන්‍ද්‍රියයන්ගේ අඩු වැඩි කම, උස් පහත් බව දැනුම ඉන්‍ද්‍රියපරොපරියත්ත නම්. කොටින්.
සත්‍වයන් පිළිබඳ ආසය; අනුසය දැනුම ආසයානුසය නම්. කොටින්.
යමාමහපෙළහරෙහි පැවැති නුවණ යමකපාටිහීර නම්. කොටින්.
මහාකරුණාවට පැමිණීමෙහි පැවැති නුවණ මහාකරුණාසමාපත්ති නම්. කොටින්.
සංස්කාර - විකාර - ලක්‍ෂණ - නිර්‍වාණ - ප්‍රඥප්ති යන පංචවිධ ඥෙයමණ්ඩලයෙහි පැවැති නුවණ සබඤ්ඤුතඤාණ නම්. කොටින්.
සර්‍වඥතාඥානයෙහි අනාවරණය වූ දැනුම අනාවරණ නම්. කොටින්.
තැන් නො තැන් පිරිසිඳ දැනුම ඨානාඨාන නම්. කොටින්.
කර්‍මසමාදානයන්ගේ යථාභූතවිපාකදර්‍ශනය විපාකඤාණ නම්. කොටින්.
මේ පිළිවෙත නිරයට පමුණු වන්නීය, මේ පිළිවෙත සුගතියට පමුණු වන්නීය, ඈ ලෙසින් දැනුම සබ්බත්‍ථගාමිනීපටිපදා නම්. කොටින්.
ස්කන්‍ධනානාත්‍වය, ආයතනනානාත්‍වය, ධාතුනානාත්‍වය, අනෙකධාතුනානාධාතුලෝකනානාත්‍වය යන මෙකී නානාත්‍වවිෂයෙහි දැනුම අනෙකධාතුනානාධාතු නම්. කොටින්.
සත්‍වයන්ගේ හීනොත්කෘෂ්ටභාවය දැනීම නානාධිමුත්තික නම්. කොටින්.
හානභාගීයධර්‍මයන්ගේ දැනීම සංකිලෙස නම්. කොටින්.
ස්ථිතිභාගීයධර්‍මයන්ගේ දැනීම වොදාන නම්. කොටින්.
ඒ ඒ සමාධියෙන් නැගී සිටීමෙහි නුවණ වුත්‍ථාන නම්. කොටින්.
සත්‍වයන්ගේ චුති උත්පත්ති දැනුම චුතූපපාත නම්. කොටින්.
මහත් වූ සීල සමාධි පඤ්ඤා විමුක්ති ඤාණ දස්සන ඨානාඨාන මහාවිහාරසමාපත්ති අරියසච්ච සතිපට්ඨාන සම්මප්පධාන ඉද්ධිපාද ඉන්‍ද්‍රිය බොජ්ඣඞ්ග අරියමග්ග සාමඤ්ඤඵල නිබ්බාණ යන ධර්‍මයන්හි පැවැති නුවණ මහාපඤ්ඤා නම්. කොටින්.
බොහෝ වූ නානාප්‍රකාර වූ ස්කන්ධ ධාතු ආයතන ප්‍රතීත්‍යසමුත්පන්නශූන්‍යතානුපලභ‍්‍යමාන ධර්‍මයන් විෂයෙහි ද සීල සමාධි ප්‍රඥාදිධර්‍මයන්විෂයෙහි ද පැවැති දැනීම පුථුපඤ්ඤා නම්. කොටින්.
මහත් වූ ධර්‍මයන් විෂයෙහි පැවැති දැනීම විපුලපඤ්ඤා නම්. කොටින්.
ගැඹුරු වූ ස්කන්‍ධාදීන් කෙරෙහි පැවැති දැනීම ගම්භීරපඤ්ඤා නම්, කොටින්.
අනිකක්හු විසින් යටපත් නො කරණු හැකි වූ පුද්ගල අසාමන්ත’ නම්. ඔහු පිළිබඳ නුවණ අසාමන්තපඤ්ඤා නම්. කොටින්. මෙහි අර්‍ත්‍ථධර්‍ම නිරුක්ති ප්‍රතිහාණාදි ධර්‍මයන් දත් හෙයින් අනිකක්හු විසින් මැඩලන්නට නො හැකිය යි දත යුතුය.
රාගාදී කෙලෙසුන් ද භවගාමීකර්‍ම ද විනාශ කිරීමෙහි පැවැති දැනීම භූරිපඤ්ඤා නම්. කොටින්.
යමෙක් ප්‍රඥාව අධිපති කොට සිටියේ ද, ඔහු පිළිබඳ නුවණ බාහුල්ලපඤ්ඤා නම්. කොටින්.
වහ වහා සිල් පිරීමෙහි පැවැති නුවණ සීලපඤ්ඤා නම්. කොටින්.
ලඝු ලඝු ව සිල් පිරීමෙහි පැවැති නුවණ ලහුපඤ්ඤා නම්. කොටින්.
යමෙක් හාස බහුල වූයේ, වෙද බහුල වූයේ, තුට්ඨි බහුල වූයේ, පාමොජ්ජ බහුල වූයේ, සිල් පුරා ද, ඉන්‍ද්‍රියසංවරය පුරා ද ඔහු පිළිබඳ නුවණ හාසුපඤ්ඤා නම්. කොටින්.
රූප-වේදනා-සඤ්ඤා-සඞ්ඛාර-විඤ්ඤාණ යන ස්කන්‍ධ පසෙහි අනිත්‍ය-දුඃඛ-අනාත්ම වශයෙන් පැතිර යන්නා වූ නුවණ ජවනපඤ්ඤා නම්. කොටින්.
වහා කෙලෙස් සිඳ ලන නුවණ තික්ඛපඤ්ඤා නම්. කොටින්.
ස්කන්‍ධයන් කෙරෙහි කළකිරීම බහුල වූවහු පිළිබඳ නුවණ නිබ්බෙධිකපඤ්ඤා නම්. කොටින්.
මෙහි දැක්වූ ඤාණ අතුරෙහි ඉන්‍ද්‍රියපරොපරියත්තඤාණය, ආසයානුසයඤාණය, යමකපාටිහීරඤාණය, මහාකරුණාසමාපත්තිඤාණය, සබ්බඤ්ඤුතඤාණය, අනාවරණඤාණය යන ඥානෂට්කය සම්බුදුවරයන්ට මුත් අන්‍යශ්‍රාවකයන්ට නො ලැබේ.
මෙහි කීවා කාමාවචරප්‍රඥාය. කාමාවචරප්‍රඥාවත් නො පිරේ නම්, නො ලැබේ නම්, අනික් රූපාවචරප්‍රඥාදීන්ගේ පිරීමෙක් ලැබීමෙක් කොයින් වේ ද [1]
අනවස්සුතචිත්තස්ස = රාගයෙන් තෙත් නො වූ සිත් ඇති.
කාමරාග - රූපරාග - අරූපරාග විසින් රාගය තෙ පරිදි ය. ඒ තෙ වැදෑරුම් වූ රාගයන් සමූලඝාතනය කොට සිටියේ අනවස්සුතචිත්ත’ නම්.
අනන්‍වාහතචෙතසො = ද්වේෂයෙන් නො පහළ සිත් ඇති.
ද්වේෂය මුළුමනින් නසා සිටියේ අනන්‍වාහතචෙත’ නම්.
පුඤ්ඤපාපපහීණස්ස = පැහූ කුසල් අකුසල් ඇති. නැසූ පින් පව් ඇති.
පින් පව් දෙක, මුළුමනින් නසාලූවෝ රහතුන් වහන්සේ ය. එහෙයින් අර්‍හත්මාර්‍ගඥානයෙන් පින් පව් නසා සිටි රහතුන් වහන්සේ මෙයින් ගැණෙති.
නත්‍ථි ජාගරතො භයං = නො නිදන්නහුට බියෙක් නැත.
ශ්‍රද්ධා-වීර්‍ය්‍ය-ස්මෘති-සමාධි-ප්‍රඥා යන ඉන්‍ද්‍රියයන්ගෙන් යුක්ත සේක, රහතුන් වහන්සේ. උන්වහන්සේ කයේ ගිලන් බැවින් නිදන සේක. කෙලෙස් නින්දෙන් නම් නො නිදන සේක. රහතුන් වහන්සේ ඒ ඒ මාර්‍ගයෙන් නැසූ කෙලෙස් ඇති සේක. එහෙයින් ඒ ඒ මාර්‍ගයෙන් නැසූ කෙලෙසුන්ගේ නැවැත ඉපැත්මෙක්, පැවැත්මෙක් නැත්තේ ය. මෙසේ ජාගරණධර්‍මැ යි කියූ ඉන්‍ද්‍රියයන්ගෙන් වැඩී සිටි බැවින්, ඒ ඒ මාර්‍ගයෙන් කෙලෙස් නැසූ බැවින්, රහතුන් වහන්සේට කෙලෙසුන්ගෙන් වන බියෙක් නැත. කෙලෙස්, රහතුන් වහන්සේ ලුහු බැඳ නො යයි. ඒ ඒ මගින් නැසු කෙලෙසුන් නැවැත නැවැත වෙත නො එන බැවිනි.
“ඛීණාසවස්ස ජාගරන්තස්සෙව භයාභාවො කථිතො විය සො පන සද්ධාදීහි පංචහි ජාගරධම්මෙහි සමන්නාගතත්තා ජාගරො නාම, තස්මා තස්ස ජාගරන්තස්ස පි අජාගරන්තස්ස පි කිලෙස භයං නත්‍ථි, කිලෙසානං අපච්ඡාවත්තනතො, න හි තං කිලෙසා අනුබන්‍ධන්ති තෙන තෙන මග්ගෙන පහීණානං පුනප්පුන අනුපගමනතො, තෙනෙවාහ, සොතාපත්තිමග්ගෙන යෙ කිලෙසා පහීණා තෙ කිලෙසෙ න පුනෙති, න පච්චාගච්ඡති, සකදාගාමී-අනාගාමී-අරහත්තමග්ගෙන යෙ කිලෙසා පහීණා තෙ කිලෙසෙ න පුනෙති, න පච්චාගච්ඡතී ති” යනු වදාළෝ මේ බව දක්වනු සඳහා ය. මෙය අටුවාවේ ආයේ ය.
ධර්‍මදේශනාව, මහාජනයාහට වැඩ සහිත වූ ය. සඵල වූ ය. භික්‍ෂුහු ‘ඇවැත්නි! ක්ලේශයෝ නම් සාහසිකයහ, මහාගුණැති රහත්බවට හේතුසම්පත් ඇතුව සිටි කුලපුත්‍ර තෙමේ කෙලෙසුන් විසින් කළඹ වන ලද්දේ, සත්වරක් ගිහි ව සත්වරක් පැවිදි වූයේ ය’ යි කතාවක් ඉපද වුහ. බුදුරජානන් වහන්සේ ඒ අවස්ථාවට ගැළපෙන ගමනින් ධර්‍මසභාවට වැඩ බුද්ධාසනයෙහි වැඩ හිඳ භික්‍ෂූන් කළ කතාව කිමැ, යි අසා වදාළ සේක. භික්‍ෂූහු තමන් කළ ඒ කතාව මුළුමනින් සැලකොට සිටියහ. ‘මහණෙනි! ඔව් ක්ලේශයෝ සාහසිකයහ, යම් ලෙසකින් මේ කෙලෙස් රූපවත් කොට යම්තැනෙක දමනු හැකි නම්, එයට මේ මුළු සක්වළ ම ඉඩ මද ය, බඹලොව කුඩා ය, ඔවුනට ඉඩ ඇති තැනෙක් නැත්තේ ය, මේ කෙලෙස් මා වැනි නුවණැති ශ්‍රෙෂඨපුරුෂයකුත් කැළඹු නම්. සෙස්සන් කෙරෙහි කි නම් කතා ද, මම වනාහි තණඇට නැළි බාගයකුත් උදලු කෙටියකුත් නිසා ස වරක්, පැවිදි ව සිවුරු හැර ගියෙමි’ යි බුදුරජානන් වහන්සේ වදාළ විට භික්‍ෂූහු ‘ස්වාමීනි! ඒ කවදා දැ’ යි ඇසූහ.
යටගිය දවසැ බරණැනුවර බඹදත් රජ රජය කරණ කල්හි කුද්දාල නම් පණ්ඩිතයෙක් එහි විය. ඔහු බාහිරකප්‍රව්‍රජ්‍යාවට බැස අට මසක් හිමාලයවනයෙහි විසී ය. ඒ කාලයෙහි ඔහු, වැහි වැස පොළොව තෙමී ගිය කල්හි, ‘මාගේ ගෙයි වරාඇට මනාවක් හා උදලු කෙටියක් ඇත්තේ ය, ඒ ඇට ටික නො වැපුරුවොත් නැසී යන්නේ ය’ යි ඒ බාහිරකප්‍රව්‍රජ්‍යාව හැර දමා ගෙට අවුත් උදලු කෙටිය ගෙණ බිම කොටා වරා ඇට වපුරා ඇට කටු බැඳ රැක පැසුනු කල්හි කපා පාගා ගෙණ මනාවක් පමණ ඇට සුරැකි ව තබා අන් සියල්ල කා අවසන් කොට ‘මට ගිහිකමින් වැඩෙක් නැත, තවත් අට මසක් පැවිදි ව තපස් කරමි’ යි ගෙන් නික්ම ගොස් පැවිදි වූයේ ය, මේ ලෙසින් වරාඇට මනාවත් උදළු කෙටියත් නිසා සත් වරක් පැවිදි වූ ඔහු අවසානයෙහි උදලු කෙටිය ගෙණ ගංඉවුරකට ගොස් ‘මෙය වැටෙන තැන දුටහොත් ගන්නට සිත් වන්නේ ය, ඒ නිසා නො පැණෙන තැනක දමමි’ යි. වරාඇට මනාව රෙදිකඩක ලා බැඳ ඒ ඇටපොදිය උදලුතලයෙහි එල්ලා උදලුමිටෙන් අල්ලා ගෙණ ඇස් පියා හිස වටා තෙ වරක් කරකවා ගඟෙහි බහා ඇස් හැර බලනුයේ වැටුනු තැන නො දැක ‘මා දිනන ලදැ’ යි තෙ වරක් හඬ නගා කීයේ ය.
ඒ වේලෙහි බරණැස්රජ තෙමේ, පසල්දනව්ව සංසිඳුවා අවුත් ගංඉවුරෙහි කඳවුරු බැඳ නාන්නට ගඟට බැස්සේ ය, ඔහුට මේ හඬ ඇසුනේ ය, ‘මා දිනන ලදැ’ යි යන හඬ රජුන්ගේ සිත් ගත්තේ නො වේ, එ බැවින් බරණැස්රජ තෙමේ, ඔහු ලඟට ගොස් ‘මම සතුරන් පරදවා මා දිනන ලදැ’ යි කියා දැන් ආයේ වෙමි, ඔබ, මා දිනන ලද්දේය, මා දිනන ලද්දේය යි මොර දෙන්නෙහිය, කුමක් හෙයින් එසේ කරන්නෙහි දැ, යි ඇසී ය, එවිට කුද්දාල පණ්ඩිත තෙමේ ‘තමුන්නාන්සේ පිටත හොරුන් දිනූවහු ය, මා විසින් ඇතුළත්හි වූ ලෝභ නැමැති හොරා දිනන ලද්දේ ය’ ඔබ වහන්සේ විසින් දිනන ලද්ද නැවැත නො දිනන ලද්දේ ම වේ, මා විසින් දිනූ සොරා නැවැත මා නො පරද වන්නේය, යි කීයේය. එවිට ජය තට ය, යහපතැ’ යි.
“දිනු දේ නැවැතත් - දිනන ලද නම් සතුරන්,
ඒ දිනුම නම් යහපත් - දිනුමක් නො වේ ලෙව්හි,
දිනූ නැවැතත් - නො දිනන ලද ද සතුරන්,
ඒ දිනුම නම් යහපත් - දිනුමෙක් ය මේ ලෙව්හී”
යි මෙය කීයේ ය.
කුද්දාලපණ්ඩිත තෙමේ,ඒ වේලෙහි ම ගඟ දෙස බල බලා ආපෝ කසිණය වඩා ලැබූ ධ්‍යානාභිඥා ඇත්තේ, අහස පලක් බැඳ හුන්නේ ය, බරණැස්රජ ඒ මහාපුරුෂයාගේ බණ අසා පැහැද වැඳ පැවිදි කරන්නට ආරාධනා කොට සිය පිරිස හා පැවිදි වූයේ ය, අනික් සාමන්තරජෙක් ද ඔහු පැවිදි වූ බව අසා රාජ්‍යය ගන්නට ආයේ ධනධාන්‍යයෙන් පිරී තුබූ නුවර සිස් ව ගියබව දැක මෙ වැනි මහානගරයක් හැර පැවිදි වූ රජ තෙමේ පහත් තැනක පැවිදි නො වන්නේ ය, මමත් පැවිදි වෙමි’ යි සිතා මහාපුරුෂයා කරා ගොස් සිය පිරිස හා පැවිදි විය. මේ ලෙසින් එහි රජහු සත් දෙනෙක් පැවිදි වූහ, ඔවුන් විසූ පන්සල දිග පළලින් සත් යොදුනකි, ඒ රජුන් පරිභෝග කල සියල්ල ම හැර දමන ලද්දේය, මහාපුරුෂ තෙමේ ද මෙතෙක් දෙනා හා බඹසර වැස ධ්‍යාන උපදවා බඹලොව උපන්නේ ය’ යි වදාළ බුදුරජානන් වහන්සේ මේ ධර්‍මදේශනාව කළ සේක. ‘ඒ කාලයෙහි කුද්දාල පණ්ඩිත වූයේ මම ය, කෙලෙස් නම් ඉතා දරුණුය’ යි ද දෙසූ සේක.
චිත්‍රහස්තස්ථවිර වසතුව නිමි.
2-5 ‘පඤ්ඤාපාසාද’ යන්නට කළ පරිකථාව බලනු. ↑