දූරඞ්ගමං එකචරං අසරීරං ගුහාසයං
යෙ චිත්තං සඤ්ඤමෙස්සන්ති මොක්ඛන්ති මාරබන්‍ධනා.
(යොදුන් දහසෙකින් දුර වූ ද අරමුණු ගන්නා බැවින්) දුරට යන්නා වූ ම, හුදෙකලා හැසිරෙන (එක් විට දෙසිතක් නො ඉපද එක් සිතක් ම උපදනා බැවින් එකක් ව ම හැසිරෙන), (අරූපී ධර්‍ම බැවින් පැහැ සටහන් නැත්නු යි) අශ්රිර වූ, (ශරීර නැමැති) ගුහායෙහි පවත්නා වූ සිත යම් කෙනෙක් සංවරයෙහි පිහිටුවද්ද, ඔහු මාරබන්‍ධනයෙන් (ත්‍රෛභූමක වෘත්තයෙන්) මිදෙන්නාහු ය.
සැවැත්නුවර වැසි සැදැහැවත් එක් කුලපුත්‍රයෙක් බුදුරජානන් වහන්සේ වෙත පැමිණ බණ අසා පැවිදි ව ලැබූ උපසම්පදා ඇත්තේ සඞ්ඝරක්ඛිත ස්ථවිරැ යි ප්‍රසිද්ධ වූයේ, කිහිප දිනකට පසු රහත් බවට ද පැමිණියේ ය. සඞ්ඝරක්ඛිත ස්ථවිරයන් වහන්සේගේ මලනු තෙමේ තම පුතුට සඞ්ඝරක්ඛිත යි නම් කළේ ය. හෙ තෙමේ භාගිනෙය්‍යසඞ්ඝ රක්ඛිත යි ප්‍රසිද්ධ වූයේ ය. සුදුසු වයසෙහි දී ඔහු තෙරුන් වෙතට පැමිණ පැවිදි උපසපන් බව් ලබා ගෙණ එක්තරා ගමෙක වූ වෙහෙරක වස් වසනු පිණිස ගියේ ය. එහි දී ඔහුට වස් කෙළවර සත් රියන් පමණ වූත් අට රියන් පමණ වූත් වැසිසළු දෙකක් ලැබුන්නේ ය. ‘අට රියන් පමණ වූ රෙදිකඩ උපාද්ධ්‍යායයන් වහන්සේට දෙන්නෙමි, සත් රියන් රෙදි කඩ මාගේ ප්‍රයෝජනයට ගන්නෙමි’ යි සිතා වස් පවරා උපාද්ධ්‍යායයන් දකින්නට එන්නේ, අතර මග දී පිඬු සිඟා ගෙණ තෙරුන් විහාරයට පැමිණෙන්නට කලින් ම වෙහෙරට ගියේ ය. එහි දී තෙරුන් දාවල වැඩ හිඳින තැන හැමද පිරිසිදු කොට පාදෝනා දිය එළවා තබා අසුනකුත් පණවා තෙරුන් එන මග බලා සිටියේ ය. ලඟ එන්නා වූ තෙරුන් දැක ඉදිරියට ගොස් පාසිවුරු පිළිගෙන ‘ස්වාමීනි! වැඩ හිඳිනු මැනැවැ’ යි තෙරුන් වඩා හිඳුවා තල්වැට ගෙණ පවන් සලා පා සෝදා රෙදිකඩ ගෙණවුත් තෙරුන්ගේ පාමුල්හි තබා මෙය පිළිගෙන වදාරා පරිභෝග කරණු මැනැවැ’ යි පවන් සල සලා සිටියේය.
සඞ්ඝරක්ඛිත ස්ථවිරයන් වහන්සේ ඔහුට සඞ්ඝරක්ඛිත ය! මට ඇඳීමට පෙරවීමට තුන් සිවුරු තිබේ, මෙය තමුසේ ම ප්‍රයෝජන ගණුව’ යි කීහ. ‘ස්වාමිනි! මෙය ලැබූ දා ම හාමුදුරුවන් වහන්සේට ම දෙන්නෙමි’ යි මා නියම කර ගන්නා ලද්දේ ය, එහෙයින් මෙය පරිභෝග කරණු මැනැවැ’ යි නැවැත ද ඉල්ලා සිටියේ ය. ‘සඞ්ඝරක්ඛිත! තමුසේගේ අදහස් එසේ විය හැකි ය, මට තුන් සිවුර ම තිබේ. මෙය තෝ ම ප්‍රයෝජන ගණුව’ යි මහතෙරුන් වහන්සේ එවර ද කීහ. ‘ස්වාමීනි, එසේ නො කළ මැනැව, හාමුදුරුවන් වහන්සේ මෙය ප්‍රයෝජනයට ගන්නා විට මට මහත් ඵලයෙක් වන්නේ ය, එහෙයින් පිළිගත මැනැවැ’ යි භාගිනෙය්‍ය සඞ්ඝරක්ඛිත ස්ථවිර තෙමේ නැවැත නැවැතත් ඉල්ලා සිටියේ ය. එහෙත් මහතෙරුන් වහන්සේ ඒ පිළිගැණීමට සතුටු නො වූහ. තෙරුන්ට පවන් සලමින් සිටි භාගිනෙය්‍ය සඞ්ඝරක්ඛිත ස්ථවිර තෙමේ ‘මම ගිහිනෑකමින් තෙරුන්ගේ බෑනනු වෙමි, දැන් අතැවැසි වෙමි, එහෙත් මුන්වහන්සේ මා හා එකතු වන්නට නො කැමැති සේක, මා අයත් දෙය ප්‍රයෝජන ගැණීමට නො කැමැති සේක, මා අයත් දෙය ප්‍රයෝජන ගන්නට නො කැමැති ය, එසේ මුන්වහන්සේ මා අයත් දෙය ප්‍රයෝජනයට ගන්නට නො කැමැති සේක් නම්, මට මේ මහණකමින් ඇති ප්‍රයෝජනය කුමක් ද, සිවුරු හරින්නෙමි’ යි සිතා නැවැත ‘ගිහිගෙය ඉතා දුකින් නගා තැබිය යුත්තකි, එහි කම්කටොලු ඉතා බොහෝ ය, එහෙයින් ගිහි ව කෙසේ ජීවත් වන්නෙම් දැ’ යි සිතී ය.
ඒ හා ම ඔහු ‘අට රියන් පමණ වූ මේ රෙදිකඩ විකොට එළුදෙනක ගන්නෙමි, ඒ එළුදෙන වැදූ විට එළුපැටවුන් හදා වඩා විකොට මුදල් රැස් කරන්නෙමි, මුදල් රැස් කොට අඹුවක ගෙණෙන්නෙමි, ඈ පුතකු වැදූ කල ඔහුට මාගේ මාමාගේ නම තබා කුඩා කරත්තයක් සාදා පුතා හා අඹුව එහි නංවා ගෙණ මාමා බැහැ දකින්නට එන්නෙමි, එන ගමනේ අතර මග දී ‘පුතා ගෙණ එව, මම වඩා ගන්නෙමි’ යි අඹුවට කියන්නෙමි, එවිට ඈ ‘පුතුගෙන් ඇති ප්‍රයෝජනය කුමක් ද, කරත්තය දක්කව’ යි මට කියා පුතු වඩා ගෙණ යන්නී ය, වඩා ගෙණ යනු නො හැකි වූ කල්හි කරත්තපාරෙහි පුතු හෙළන්නී ය, එවිට කරත්තරෝදය පුතුගේ ඇඟ උඩින් යන්නේ ය, තී මට පුතු වඩා ගෙණ යන්නට නො දී කරත්ත පාරෙහි හෙළා මා නැසුවා ය, යි කෙවිටෙන් ඇගේ හිසට ගසන්නෙමි’ යි සිතන්නේ පවන් සලමින් ම තෙරුන්ගේ හිසට තල්වැටෙන් ගැසුවේ ය, තෙරුන් වහන්සේ ‘සඞ්ඝරක්ඛිත තෙමේ මා හිසට ගැසූයේ කුමක් නිසා දැ’ යි විමසන්නෝ ඔහු සිතූ සියල්ල දැන ‘සංංඞ්ඝරක්ඛිත! බිරියට ගසනු නො හැකි හෙයින් ද මා හිසට ගැසුයෙහි මේ මහලු තරුන්ගේ අතැ ඇති වරද කිමැ’ යි ඇසූහ. ඉක්බිති හෙතෙමේ ‘මට වූයේ මහවරදෙකි, මහවිපතකි, උපාද්ධ්‍යායයන් වහන්සේ මා සිතූ සියල්ල දත් සේක, මට මහණ කමින් වැඩෙක් නැතැ’ යි තල්වැට දමා පැන ගියේ ය.
පැන දුවන ඔහු අල්ලා ගත් භික්‍ෂූන් වහන්සේල්ලා ඔහු බුදුරජුන් වෙතට ඇද ගෙණ ගියහ. බුදුරජානන් වහන්සේ ඒ භික්‍ෂූන් දැක ‘මහණෙනි! තමුසේලා කුමක් නිසා මෙහි ආවහු ද, තොප විසින් භික්‍ෂුනමක් මෙහි පමුණු වන ලද්දේ කුමක් නිසා දැ’ යි ඇසූහ. ‘ස්වාමීනි! මේ මහණ කළකිරී පැන යන්නේ අප විසින් අල්ලා ගන්නා ලදු ව ඔබ වහන්සේ වෙතට ගෙණ ආවෙමු’ යි ඒ භික්‍ෂූන් කී කල්හි ‘මහණෙනි! එසේදැ’ යි නැවැත අසා වදාළ සේක. ‘ස්වාමීනි! එසේ ය’ යි ඒ භික්‍ෂූහු දැන්වූහ. එවිට බුදුරජානන් වහන්සේ ‘තා විසින් මෙබඳු සාහසිකකර්‍මයක් වැරදි වැඩෙක් කරන ලද්දේ කුමක් නිසා ද, තෝ එක් බුදු කෙනෙකුන්ගේ සසුනෙහි පැවිදි වූයේ නො වෙහි ද, එසේ පැවිදිව ද සෙදගැමි මගට පැමිණියෙකැ යි හෝ අනගැමිමගට පැමිණියෙකැ යි හෝ රහත්මගට පැමිණියෙකැ යි හෝ කියවා ගැන්මෙහි අසමර්‍ත්‍ථ වූයෙහි ය, කුමක් නිසා මෙබඳු බැරෑරුම් වැරදි වැඩක් කෙළෙහිදැ’ යි විචාළ සේක.
භාගිනෙය්‍ය සඞ්ඝරක්ඛිත ස්ථවිර තෙමේ ‘ස්වාමීනි! මම කළකිරුනේ වෙමි’ යි කී ය. ‘කුමක් හෙයින් කළකිරුණෙහිදැ’ යි ඇසූ කල්හි වැසිසළු ලත් දා පටන් තෙරුන්ට තල්වැටින් ගැසීම දක්වා සිදු වූ සියලු තොරතුරු කියා ‘මම මේ නිසා පැන ගියෙමි’ යි දන්වා සිටියේ ය. බුදුරජානන් වහන්සේ ‘සඞ්ඝරක්ඛිත! තෝ කිසිත්, නො සිතව, සිත වනාහි ඉතා ඈත්හි වූ ද අරමුණු පිළිගන්නා සැහැවි ඇත්තෙකි, එහෙයින් රාගද්වේෂමෝහ බන්‍ධනයෙන් මිදෙන්නට මහන්සි දරව’ යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක:-
දූරඞ්ගමං එකචරං අසරීරං ගුහාසයං,
යෙ චිත්තං සඤ්ඤමෙස්සන්ති මොක්ඛන්තිමාරබන්‍ධනාති.
දුර යන්නා වූ ද මේ සිත, යම් කෙනෙක් සංවරයෙහි පිහිටුවත් ද, ඔවුහු තුමූ මාරබන්‍ධනයෙන් මිදෙන්නාහු ය.
දූරඞ්ගමං = දුර යන්නා වූ.
සිත නම්, කෙස්අගක් පමණ වූ තැන් ද පෙරදිග් ආදියෙහි ගමන් නො කෙරෙයි. එහෙත් මෙයින් වදාළෝ, පාත අජටාකාශය පටන් උඩ අජටාකාශය දක්වා මේ අතර ඉතා දුර වූත් අරමුණු පිළිගන්නේ ය, යනු යි. එහෙයින් ම සිත ‘දූරඞ්ගම’ නම් වේ. සිත ඉතාදුර වූ ඇස් කන් නාස් ආදියෙහි හැපෙන්නා වූ නන් වැදෑරුම් අරමුණු පිළිගන්නා බවට මේ කතාපුවත ම නිදසුන් ය.
‘චිත්තස්ස හි මක්කටසුත්තමත්තකම්පි පුරත්ථිමාදිදිසාභාගෙන ගමනං නාම නත්ථි, දුරෙ සන්තම්පි පන ආරම්මණං සම්පටිච්ඡතී ති දූරඞ්ගමං නාම ජාතං’ යනු අටුවා ය.
එකචරං = එකචර වූ. එකලා ව ම පවත්නා වූ. තනි ව හැසිරෙන්නා වූ.
මේ සිත කර්ණිකාවක් බැන්දා සේ එකවිට දෙතුන් සිතක් නො ඉපිද එක් සිතක් ඉපිද නිරුද්ධ වූ කල්හි ම අනික් සිතක් උපදින බැවින් ‘එකචර’ නම් වී ය.
‘සත්තට්ඨචිත්තානි පන එකතො කණ්ණිකබද්ධානි එකක්ඛණෙ උප්පජ්ජිතුං සමත්‍ථානි නාම නත්‍ථි, උප්පත්තිකාලෙ එකමෙව චිත්තං උප්පජ්ජති, තස්මිං නිරුද්ධෙ පුන එකෙකමෙව උප්පජ්ජති, තසමා එකචරං නාම ජාතං’ යනු අටුවා ය.
අසරීරං = සිරුරක් නැත්තා වූ.
‘චිත්තස්ස සරීරසණ්ඨානං වා නීලාදිප්පකාරො වණ්ණභෙදො වා නත්‍ථි ති අසරීරං’
සිතෙහි සිරුරු සටහනෙක් නැත. නීලපීතාදී වූ පැහැයකුත් නැත. පැහැසටහන් රූපීධර්‍මයන් කෙරෙහි ම පිහිටන්නේ ය. සිත අරූපීධර්‍ම බැවින් ඒ කිසිත් නො පිහිට යි. එහෙයින් සිත ‘අසරීර’ නම් වේ.
ගුහාසයං = ගුහාවක නිදන්නා වූ. ගුහායෙහි පවත්නා වූ.
හෘදයවස්තුව මෙහි ගුහා නම් වේ. එය සිරුර තුළ දෙතන මැද පිහිටියේ ය. පැහැය විසින් රත්පියුම්පෙත්තේ පිටපැත්තෙහි පැහැයට බඳු පැහැ ඇත්තේ ය. සටහන් විසින් පිට පෙති හැර යටිකුරු කොට තැබූ නෙළුම් මොට්ටුවකට බඳු සටහන් ඇත්තේ ය පිටත හොඳට මටටම් ය. ඇතුළත වැටකොළුගෙඩියක ඇතුළතට සමාන ය. නුවණැත්තන්ගේ ඒ මේ හදවත විකශිත ය. මඳ නුවණැත්තන්ගේ මුකුලිත ය. හැකුළුනේ ය. එහි තුළ දොඹ ඇටයක් පිහිටු වන තැන් පමණ වූ වළක් ඇත්තේ ය. එහි අඩපතක් පමණ ලේ ඇත්තේ ය. රාගවරිතයන්ගේ හදවත තුළ පවත්නා ඒ ලේ රත් පැහැය ගත්තේ ය. ද්වේශචරිතයන්ගේ කළු පැහැය ගත්තේ ය. මෝහචරිතයන්ගේ මස් සේදූ දිය වැනි වේ. විතර්‍කචරිතයන්ගේ කොල්ලු තම්බා ගත් දිය වැනි වේ. ශ්‍රද්ධාවරිතයන්ගේ කිණිහිරිමල්පැහැය වැනි වේ. ප්‍රඥාවරිතයන්ගේ ඉතා පහන් වේ. මෙසේ ඒ ඒ පුද්ගලයන්ගේ චරිත වශයෙන් නන් පැහැයෙන් යුත් ලේ ඇසුරු කොට සිතේ පැවැත්ම වන්නේ ය. එහෙයින් සිත ‘ගුහාසය’ නම් වී ය.
දූරඞ්ගමං, එකචරං, අසරීරං, ගුහාසයං යන මේ පද සතර මෙහි සිටියේ ‘චිත්තං’ යනු වෙසෙසා ය. යෙ = යම් කෙනෙක්.
මෙයින් සත්‍රී පුරුෂ ගෘහස්ථ ප්‍රව්‍රජිතාදී වූ සියල්ලෝ ම ගැණෙති.
සඤ්ඤං එස්සන්ති = සංවරයෙහි පිහිටුවත් ද.
නො උපන් කෙලෙසුන් නො උපදවා ප්‍රමාදහේතුවෙන් උපන් කෙලෙසුන් දුරු කරමින් සිත සංවරයට පමුණුවත් ද, යනු ය මෙයින් කියූයේ. මෙහි දැක්වෙන ය ශබ්දය ත ශබ්දය අපේක්‍ෂා කරණ බැවින් ඒ දක්වන්නට සිංහලයෙහි දී පමුණුවත් ද යි ද කාරය යොදන ලද්දේ ය. නො උපන් කෙලෙස් නො උපදවා යම්කිසි ප්‍රමාදයකින් උපන් කෙලෙස් වෙත් නම්, ඔවුන් දුරු කරමින් නන්වැදෑරුම් අරමුණු කරා සිතට යන්නට ඉඩ නො දී එයින් සිත රැකුම ‘සඤ්ඤම’ නමි.
මොක්ඛන්ති මාරබන්‍ධනා = මාරබන්‍ධනයෙන් මිදෙන්නාහ.
සිත සංවරයෙහි පිහිට වූ ස්ත්‍රීපුරුෂාදී වූ සියල්ලෝම මාරබන්‍ධනයෙන් මිදෙත් යි වදාළ සේක. කර්‍මවෘත්ත - ක්ලේශවෘත්ත විපාකවෘත්ත යන ත්‍රෛභූමකවෘත්ත ‘මාරබන්‍ධන’ නමි. මාරධෙය්‍යං’ යන්නට කළ පරිකථාව බලනු.
“යෙ කෙචි පුරිසා වා ඉත්‍ථියො වා ගහට්ඨා චා පබ්බජිතා වා අනුප්පජ්ජනකස්ස කිලෙසස්ස උප්පජ්ජිතුං අදෙන්තා සති සම්මොහෙන උප්පන්නං කිලෙසං පජහන්තා චිත්තං සඤ්ඤමෙස්සන්ති, සංයතං අවික්ඛිත්තං කරිස්සන්ති, සබ්බෙ තෙ කිලෙසබන්‍ධනාභාවෙන මාරබන්‍ධනසඞ්ඛාතා තෙභූමකවට්ටා මුච්චිස්සන්ති” යන අටුවා ය.
මේ ධර්‍මදේශනාවගේ අවසානයෙහි භාගිනෙය්‍යසඞ්ඝරක්ඛිත. ස්ථවිරයන් වහන්සේ සෝවන් වූහ. පැමිණ සිටි අන් බොහෝ දෙන ද සෝවන් ඵලාදියට පැමිණියෝ ය. ධර්‍මදේශනාව මහාජනයාට වැඩ සහිත වූ ය.
භාගිනෙය්‍යසඞ්ඝරක්‍ෂිතස්ථවිර වස්තුව නිමි.