හනන්ති භොගා දුම්මෙධං නො වෙ පාරගවෙසිනො
භොගතණ්හාය දුම්මෙධො හන්ති අඤ්ඤෙ’ව අත්තනා.
(වස්ත්‍රාදි උපභෝග වස්තුහු ද දාසිදාසාදි පරිභෝග වස්තුහු ද යන) සියලු භෝගයෝ අනුවණයා නසන්නාහ. නිවන් නැමැති පරතෙර සොයන සුලු නුවණැත්තවුන් නො නසන්නාහ. අඥාන පුද්ගල තෙමේ භෝගයන්හි උපන් තෘෂ්ණාවෙන් (පව් කොට) අනුන් නසන්නක්හු මෙන් තමා නසන්නේ ය. (තමා අපායෙහි හෙළන්නේ ය).
අපුත්තක සිටු, කලුරිය කළ බව ඇසූ කොසොල් රජ තෙමේ ඔහුගේ ධනයට හිමිකම් කියන දරුමලුන් කිසිවක්හු නො වූ බැවින් සිටු අයත් සියලු ධනය රජසතු කොට ගෙණ එන්නට අන් කෙළේය. නිලධරයෝ රජුගේ අණ පරිදි අපුත්තක සිටු අයත් සියලු ධනය ගෙන අවුත් රාජකීය භාණ්ඩාගාරයෙහි ලා තැන්පත් කළහ. ඉන් පසු රජ තෙමේ බුදුරජුන් වෙත ගොස් වැඳ සිටි කල්හි උන් වහන්සේ “මහරජ! මේ මහදවල් කොහි සිට එන්නහු දැ?”යි අසා වදාළ සේක. “ස්වාමීනි! සැවැත් නුවර සිටු කලුරිය කෙළේ ය, ඔහුට දරුමල්ලෝ නැත, ඔහුගේ ධනයට හිමිකම් කියන කෙනෙක් ද නැත, මම ඔහු අයත් සියලු දේපල රජය සතු කොට ගන්වා භාණ්ඩාගාරයෙහි තැන්පත්කරවා අවසන් කොට බුදුරජානන් වහන්සේ දැක වැඳ යන්නට මෙහි ආයෙමි” යි කී ය. (මෙහි විස්තර කතාව සූත්‍රයෙහි ආලෙසින් දතයුතු ය.)
“ස්වාමීනි! අපුත්තක සිටු, රන්මලායෙහි ලා කෑමට නන් අග රස බොජුන් තමන් වෙත එළවා තැබූ කල්හි ‘මිනිස්සු මෙලෙසට අනුභව කෙරෙත් ද, තෙපි මේ ගෙයි මා හා මෙසේ සෙල්ලම් කරහු දැ’යි කෑම්බීම් ගෙණවුත් තැබූවන්ට සැරවැර කොට පලවා හැර, ‘මිනිසුන් කන්නේ මෙසේ ය’යි කියමින් කාඩි හොදි හා හැනූ නිවුඩු හාලෙන් පිසූ බත් අනුභව කරන්නේ ය, මන වඩන රෙදි පිළී යාන වාහන සෙරෙප්පු කුඩ එළවා තැබූ කල්හි ඒ එළවා තැබූවන් පන්නා හැර, හන වැහැරි ඇඳ පරණ දිරූ කරත්තයක නැගී පත් කුඩයක් හිස දරා ගමන් බිමන් කරන්නේ ය”යි රජ තෙමේ බුදුරජානන් වහන්සේට දන්වා සිටියේ ය.
ඉක්බිති බුදුරජානන් වහන්සේ “මහරජ! ඔය අපුත්තක සිටු පෙර තගරසිඛී පසේ බුදුරජුන් පිඬු සිඟා ආ වේලෙහි පිණ්ඩපාතය දෙන්නට බිරියට නියම කොට තෙමේ හුනස්නෙන් නැගිට බැහැර ගිය කල්හි ඔහුගේ බිරිය සැදැහැතියා ‘මා මේ ගෙට ආවායින් පසු මොහුගේ කටින් දෙන්නැ’යි යන බසක් ඇසුවා අද ය, එයින් අද මාගේ මනදොළ පිරී ගියෝ වනැ’යි පසේ බදුරජුන්ගේ පාත්‍රය ගෙණ එය පිණී බොජුනෙන් පුරවා බුදුරජුන්ට පිළිගැන්නූ ය, පිණ්ඩපාතය දෙන්නැ යි කියා ගෙයින් බැහැර ගිය සිටු මග රැක සිට පිණ්ඩපාතය ගෙණ යන බුදුරජුන් වෙත ලං ව ‘ශ්‍රමණය! මොකවත් ටිකක් ලද දැ,යි අසමින් පාත්‍රය දෙස බලා විපිළිසරට පැමිණ මේ අගනා ආහාරපාන ටික දැසි දස්සනට හෝ වැඩකරුවනට දෙන ලද නම් මට උන්ගෙන් හොඳට වැඩ ගන්නට තුබුනේ ය, මෙතෙමේ මෙය ගෙණ ගොස් කාබී නිදි ගන්නේ ය, මා කළේ මෝඩකමෙකැ’යි සිතී ය, මෙතෙමේ පෙර සසර සැරිසරණ කාලයෙහි මළා වූ සහෝදරයෙකුගේ ලදුරු පුතකු තම ඇඟිල්ල එල්බ ඇවිදුනා දවසෙක ‘මේ අපගේ තාත්තාගේ කරත්ත ය, මේ ගොනාත් තාත්තාගේ, යනාදී විසින් කියූ බස් අසා මූ කුඩා දවසෙහි මෙසේ නම්, වැඩි විය පැමිණි කල්හි ගෙයි ඇති දේපල මිල මුදල් රන් රිදී කවරක්හට වේ දැ’යි අසහනයට පැමිණ එදරු කැලෑවකට ගෙණ ගොස් ගහක් මුලදී බොටුව අල්ලා අඹරා මූලපලා අලයක් පෙති ගසන්නා සේ පෙති ගසා මරා එහි දමා ගියේ ය, මහරජ! මෙ තෙමේ තගරසිඛී බුදුරජුන්ට දුන් පිණ්ඩපාතදානයාගේ විපාක විසින් සත් වරක් කාම ස්වර්‍ගයෙහි උපන, ඒ කර්‍මයාගේ විපකාවශෙෂ විසින් ම මේ සැවැත් නුවර ම සත් වරක් සිටු තනතුරු ලැබී ය, මහරජ! මෙතෙමේ පිණ්ඩපාතය දී පසුව දුන් පිණ්ඩපාතය බලා ‘අයියෝ, මේ අගනා ආහාරපාන ටික දැසි දස්සනට හෝ වැඩකරුවනට දෙන ලද නම් මට උන්ගෙන් හොඳට වැඩ ගන්නට තුබුනේ ය’යි විපිළිසරයට පැමිණියේ ද ඒ විපාකයෙන් හොඳට කන්නට බොන්නට හොඳට අඳින්නට ඉන්නට මහත් පස්කම් සැප විඳින්නට මොහුගේ සිත නො නැමුනේ ය, මහරජ! මේ සිටු ධනහේතුවෙන් තමාගේ එක් ම සහෝදරයාගේ පුතු මරා දැමීමේ හේතුවෙන් අවුරුදු කෙළ ගණනක් නිරයෙහි පැසුනේ ය, ඒ කර්‍මයාගේ විපාකාවශෙෂ විසින් මේ ජාතියත් සමග ජාති සතෙක ම පිළිවෙළින් දූපුතුන් නො ලැබී ය, එහෙයින් මෙසේ ඔහු අයත් දේපල රාජසන්තක වී ය, මහරජ! මේ සිටුගේ පෙර පින් ගෙවී ගියේ ය, අළුත් පිණක් ද නො කෙළේ ය, මහරජ! මෙතෙමේ අද මහාරොරුවනිරයෙහි පැසෙන්නේ ය” යි වදාළ සේක.
ඉක්බිති රජ තෙමේ බුදුරජානන් වහන්සේගේ මේ ප්‍රකාශය අසා “ස්වාමීනි! පුදුමයි, කණගාටු යි, බැරෑරුම් වැඩෙක්, මෙතෙක් දේපල රැසක් තිබිය දී තමා ද නො කෑ යේ ය, අන්හට නො ද දුන්නේ ය, බුදුරජානන් වහන්සේ මේ සමීප විහාරයෙහි වැඩ ඉන්ද දී ත් කිසිත් පින්කමක් නො කොට පරලොව ගියේ ය” යි කී ය. “මහරජ! ඔවු, ඔබගේ කතාව හරි, කිසිත් නො දත් අඥ පුරුෂයෝ වතුපිටි ගේ දොර මිලමුදල් රන්රිදී ආදිය ලබාත් පරලොව ගැණ නො සිතන්නෝ ය, නිවන නො සොයන්නෝ ය, නො කා නො බී නො දී රැස්කර ගත් දේපල නිසා උපන් තෘෂ්ණාව මේ මෝඩ මිනිසුන් බොහෝ කාලයක් සසරෙහි හෙළා නසාලන්නී ය”යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක.
හනන්ති භොගා දුම්මෙධං නො චෙ පාරගවෙසිනො,
භොගතණ්හාය දුම්මෙධො හන්ති අඤ්ඤෙව අත්තනන්ති.
භෝගයෝ අඥයා නසත්. පරතෙර සොයන සුලු පුද්ගලයන් නො ම නසත්. අඥ තෙමේ අනුන් නසන්නකු මෙන් භෝග තෘෂ්ණායෙන් තමා නසයි.
හනන්ති භොගා දුම්මෙධං = භෝගයෝ නුවණ නැතියහු නසත්.
මුතු මැණික් මිල මුදල් රෙදිපිළී ඇඳපුටු කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි ආදිය හා දැසි දස් ඇත් අස් ගව මහිෂ ගේ දොර ඉඩකඩම් ආදිය ‘භොග’ නම්. උපභෝග - පරිභෝග විසින් භෝගයෝ දෙපරිදි වෙත්. “උප සමීපෙ කත්‍වා භුජ්ජතෙති = උපභොගො” යනු විවෘති හෙයින් තමන් වෙත තබා ගෙණ ප්‍රයෝජන ගණු ලබන මුතු මැණික් මිල මුදල් රෙදි පිළී අබරණ ආදිය උපභෝග නම්. “පරි දූරෙ කත්‍වා භුජ්ජතෙති = පරිභොගො” යන විවෘත්තියෙහි ලා මඳක් ඈත්හි තබා ප්‍රයෝජන ගණු ලබන දැසි දස් ඇත් අස් ගව මහිෂෘදීහු පරිභොගැ යි ගැණෙත්. මෙ කියු දෙවැදෑරුම් වූ භෝගයෝ නුවණ නැති මිනිහා අපායයෙහි ලා නසත් විනාශයට පමුණුවත්. දැහැමින් හෝ නො දැහැමින් පිණෙන් හෝ ශක්තියෙන් ඉපැයුනු උපයා ගත් වස්තූන් කෙරෙහි තෘෂ්ණාවෙන් බැඳී සිටියේ දිය යුතු තැන නො දෙනුයේ කෑ යුතු තැන නො කනුයේ ඒ වස්තූන් කෙරෙහි වූ තෘෂ්ණායෙන් මරණින් මතු දුගතියෙහි උපදින්නේ ය. “භෝගයෝ නුවණ නැතියහු නසිති” යි වදාළෝ එහෙයිනි.
මෙ කල ද දැහැමි ව හෝ නො දැහැමිව උපයාගත් භෝගයන් නිසි තැන නො දී නිසි තැන නො යොදා නො ද කමින් එහි තෘෂ්ණියෙන් බැඳී සිටුනා ධනධාන්‍යයෙන් අටු කොටු පුරවා ගත් ධනවත් ගිහිපැවිද්දෝ නො වන්නාහු නො වෙත්. මොවුහු ද අපුත්තක සිටු මෙන් භෝගයන් විසින් අපායයෙහි හෙළා නසනු ලබන්නෝ ය. භෝගයන් නිසා මෙලොව ම මොවුහු සිරගෙවල බැඳෙති. ඇණුම්, බැණුම් ලබති. රෑදාවල සොරසතුරු බියෙන් තැති ගෙණ වෙසෙති. නිදි නො ලබති. එය රැක්මෙහි කඩු ඈ ආයුද ගත් අත් ඇති ව වෙසෙත්.
‘දුම්මෙධ’ නම්:- නුවණ නැත්තේ ය. තෘෂ්ණායෙන් මැඩුනේ ම ගැණෙන්නේ ය. නුවණ නැති බැවින් ම උපභෝග පරිභෝගයන් කෙරෙහි තෘෂ්ණායෙන් බැඳී සිටින්නේ ය. කැතකම් කරන්නේ ය. [1]
නො ච පාරඟවෙසිනො = පරතෙර සොයන සුල්ලන් නො ම නසත්.
පාරඟවෙසිනො = පාරඟවෙසීහු නම්: නිවන් සොයන සුලු නුවණැතියෝ ය. පාර, යනු මෙහි නිවනට නමෙකි. නිවන සසර දුක් තැවිලි සන්සිඳවී මෙහිලා සමර්‍ත්‍ථ සිටි එක් ම තැන බැවින් ‘පාර’යි කියනු ලැබේ. “පාරෙති සක්කොති සංසාරදුක්ඛ සන්තාපං සමෙතුන්ති = පාරං” යනු ආචාර්‍ය්‍ය වචන යි. ඒ මේ පාර සඞ්ඛ්‍යාතනිර්‍වාණය සොයන සුල්ලෝ පාරගවෙසීහු ය. ඔවුහු දැහැමි ව භෝග උපයති. එසේ උපයාගත් භෝග නිසි තැන යොදති. දානාදී පින්කම් කරති. පරවැඩ පිණිස යොදති. දරුමල්ලන් නෑදෑ හිතවතුන් සතප්පති. ඔවුන් හා කා බී සතුටු වෙති. මෙලොව සැප විඳිති. අවසානයෙහි නිවන් සුව වළඳත්. එහෙයින් එබන්දන් අයත් භොයෝ එවුන් නො නසත්. ඒ එකාන්ත ය.
භොගතණ්හාය දුම්මෙදො හන්ති අඤ්ඤො ඉව අත්තනං = නුවණනැත්තේ අනුන් නසන්නකු සේ භෝග තෘෂ්ණායෙන් තමන් නසයි.
මෙහි ‘අත්තනං’ යනු ද්විතීයවිභක්ති ඒකවචනයෙන් යෙදී සිටියේ ය. ‘හන්ති’ යන ක්‍රියා පදයට කර්‍මය වේ. එහෙත් ‘අත්තනං’ යනු පාලිභාෂීය නාම මාලාවක ද්විතීයා විභක්තියෙහි ලා දක්නට නො ලැබින. ‘අත්තානං’ යන ද්විතියෛකවචනය හ්‍රස්ව කොට ගතයු යුතු ද නැත. එහෙයින් ‘අත්තනං’ යන ද්විතීයෛකවචනය දේශනා පාලියෙහිලා ගතයුතු සේ පෙණේ. මෙය ම එයට නිදසුන් ය. විමසිය යුතු ය.
අඥ තෙමේ භෝග තෘෂ්ණායෙන් කැත කමින් මැඩුනේ ප්‍රාණවධාදි වශයෙන් බොහෝ අකුසල් කරණුයේ මෙරමා නසන්නකු සේ තමා නසන්නේ ය. තමා අපායයෙහි හෙළන්නේ ය.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවන් ඵලාදියට පැමිණියාහු ය.
අපුත්‍රකශ්‍රේෂ්ඨී වස්තුව නිමි.
2-4 ‘දුම්මෙධිනො’ යනු බලනු. ↑