3-2 අප්‍රසිද්ධභික්‍ෂුවකට සැලකූ ප්‍රසිද්ධ උපාසිකාවක්

දුන්නිග්ගහස්ස ලහුනො යත්‍ථකාමනිපාතිනො

චිත්තස්ස දමථො සාධු චිත්තං දන්තං සුඛාවහං.

නිගන්නට (මට්ටු කැරැ ගන්නට) නොපිළිවන්, ලඝු වූ (වහා ඉපිද වහා බිඳෙන සුලු), (යුතු හෝ අයුතු) යම් කැමැති අරමුණෙක ගෙන සුලු වූ සිත (අරී මඟින්) නිපොපි කිරීම මැනැවි. මේ සිත දැමුනේ (නිපොපි කැරුනේ) මඟපල සුව ද නිවන් සුව ද එළවන්නේ ය. (එහෙයිනි)

කොසොල් රජුට අයත් රටෙක කන්‍දක්පාමුල කන්දක් ඇසුරු කොට පිහිටි ඇලගමු නම් ගම්වරයෙක් වූයේ ය. එහි විසූ මිනිසුන්ගේ ගණන ද ඉතා බොහෝ ය.

එ දවස එක් දිනෙක සැටක් පමණ භික්‍ෂූන් වහන්සේලා බුදු රජුන් වෙතින් රහත්බව දක්වා කමටහන් උගෙණ මාතික නම් ගමට පිඬු සිඟා වැඩියෝ ය. එ ගමැ අධිපති තෙමේ ද මාතික නමින් ම ප්‍රසිද්ධ ව විසී ය. ඔහුගේ මවු තොමෝ ඒ භික්‍ෂූන් දැක වැඩමවා ගෙණවුත් සිය ගෙයි වඩා හිඳුවා නොයෙක් අග්‍ර රසයෙන් යුත් කැඳබත් වළඳවාලා ‘සවාමීනි! හාමුදුරුවන් වහන්සේලා කො තැනැ වඩින්නා හු දැ’ යි ඇසූ ය. ‘උපාසිකා! අපි විසුම් පහසු තැනක් බලා යන්නෙමු’ යි කීවිට උපාසිකා තොමෝ ‘මේ හාමුදුරුවන් වහන්සේලා වස් වසන්නට පහසු සුදුසු තැනක් සොයා යන්නේ ය’ යි සිතා පාමුල වැටී වැඳ ‘ස්වාමීන් වහන්සේලා යම් ලෙසකින් මේ තෙමස මෙහි වස් එළැඹැ වැඩ වසන්නෝ නම්, මම තිසරණසහිතපඤ්චසීලයෙහි පිහිටා පෙහෙවස් රකින්නෙමි’ යි කිවු ය. භික්‍ෂූන් වහන්සේලා ද ‘අපි මේ උපාසිකාවගෙන් සිවුපසය ලබා වැඩි වෙහෙසට නො පැමිණ සසරදුකින් නිදහස් වන්නමෝ’ යි උපාසිකාවගේ ආරාධනාව පිළිගත්හ.

ආරාධනාව පිළිගත්බව දත් උපාසිකා තොමෝ ඒ භික්‍ෂූන්ට විසීමට වෙහෙරක් පිළියෙල කොට දුන්නී ය. උන්වහන්සේලා එහි විසූහ. දිනෙක ඔවුහු එක් තැන් ව ‘ඇවැත්නි! නො පමා විය යුතු ය, පමාවීම අපට නො සුදුසු ය, පමාවීමට මේ කල් නො වේ, සියගෙවල් සේ අපට අට මහා නරකයෝ හරිණලදදොර ඇත්තෝ ය, අපි ජීවමාන බුදුරජුන් වෙතින් කමටහන් උගෙණ ආවෝ වෙමු, බුදුවරයන් ගේ පසු පස ඉතා ලංව සිටියමෝ ද, කපටි කමින් නම් උන්වහන්සේලා සතුටු කරන්නට නො හැක්කෝ ය, හොඳ පැවැත්මෙන් හා නො කපට අදහසින්ම ය උන්වහන්සේලා සතුටු කළ යුත්තෝ, එහෙයින් අප කවුරුන් නො පමා විය යුතුය, අද අද ම ප්‍රමාදය හැර දමා අප්‍රමාදයට බැසිය යුතු ය, සවස මහතෙරුන්ට උවැටන් කරණ වේලෙහි ද, උදෑසන පිඬු සිඟා යන වේලෙහි ද එක් තැන් විය යුතු ය, අන් හැම වේලකම හැම මොහොතකට වෙන් ව හිඳ බවුන් වැඩිය යුතු ය’ යි නියම කොට ගෙණ නැවැතත් ‘යම් මහණක්හට අපහසුවක් වී නම්, ඒ වේලෙහි ඔහු ගෙඩිය ගසා දැන් වූ කල්හි ඔහුට බෙහෙත් කරන්නට කවුරුත් රැස් විය යුතු ය’ යි ද කතා කර ගත්හ.

මෙසේ උන්වහන්සේලා කතිකා කොට වසන්නෝ එක් දිනෙක උපාසිකා තොමෝ ගිතෙල් උක්සකුරු ආදිය ගෙන්වා ගෙණ දැසිකම්කරුවන් පිරිවරා සවස් වේලෙහි විහාරයට ගියා ය. ගොස් වෙහෙර මැද භික්‍ෂූන් නො දැක ‘ස්වාමීන් වහන්සේලා කො තැනැ වැඩියාහු දැ’ යි එහි සිටි මිනිසකු අතින් විචාළා ය. ‘තම තමන්ගේ රෑතැන් දිවාතැන්හි වසත්’ යි කී කල්හි ‘උන් වහන්සේලා මේ වේලේ දකින්නට කුමක් කළ යුතු දැ’ යි නැවැත ඇසූ ය. ‘උපාසිකාව, ගෙඩිය ගැසූ කල උන්වහන්සේලා මෙහි රැස් වෙත්’ යි කීවිට මිනිසකු ලවා ගෙඩිය ගැස්සුවා ය. ගෙඩි හඬ ඇසූ භික්‍ෂූන් වහන්සේලා ‘කිසිවක්හට අපහසුවෙකැ’ යි සිතා වහ වහා ස්වකීයස්ථානයන්ගෙන් නික්ම අවුත් වෙහෙර මැද රැස් වූහ. එක් මගින් ආ දෙදෙනෙක් ඒ පිරිසෙහි නො වූහ.

උපාසිකා තොමෝ එක් එක් තැනින් එක් එක් භික්‍ෂුනම එනබව දැක ‘මාගේ ස්වාමීන් වහන්සේලා අතර කොලාහලයක් වියයුතු ය’ යි සිතා භික්‍ෂූන් වැඳ ‘ස්වාමීනි! ස්වාමීන් වහන්සේලා අතර කොලාහලයෙක් දැ’ යි ඇසූ ය. ‘මෑනියෙනි! අපි කොලාහල කරන්නෝ නො වෙමු’ යි කීහ. ‘කොලාහලයෙක් නො වේ නම්, කුමක් හෙයින් සියල්ලන් එකතු ව මාගේ ගෙට වැඩම කරන්නා සේ නො වැඩ එක් එක් තැනැ හිඳ තනි තනි ව ආවහු දැ’ යි විචාළා ය. එවිට භික්‍ෂූන් වහන්සේලා ‘උපාසිකාවෙනි! අපි සියලු දෙන තනි තනි ව හිඳ මහණදම් කරන්නෙමු’ යි කීහ. එවිට ඕ තොමෝ ‘පුතුනි! මහණදම නම් කිමැ’ යි ඇසූ ය. ‘සිල් නො බිඳ සිල්වත් ව ද්වත්තිංසාකාරය සජ්ඣායනා කිරීම, කමටහන් වැඩීම, ආත්මභාවයෙහි විනාශය දැකීම, සිතැ එහි පිහිටුවීම යනාදිය ය මහණකමැ’ යි භික්‍ෂූන් කී කල්හි ‘පුතුනි! මෙය ඔබවහන්සේලා විසින් ම කළ යුත්තෙක් ද, අප විසින් නො කළ යුතු ද, නො කොට හැකි ද, අපට නො වටී දැ’ යි ඇසූ ය. ‘සිල්රැකීම, භාවනා කිරීම, ආත්මභාවයෙහි අනිත්‍ය දුඃඛ අනාත්මයන් බැලීම, එහි සිත පිහිටුවා ධ්‍යාන වැඩීම කවරකුහටත් තහනමක් නැත්තේ ය, කා විසිනුත් කළ යුතු ය, කා විසිනුත් කට හැකි ය’ යි භික්‍ෂූන් වහන්සේ ලා කීහ. එවිට උපාසිකා තොමෝ ‘ස්වාමීනි! එසේ නම් මටත් ද්වත්තිංසාකාරය උගන්වනු මැනැව, අත්බවේ විනාශය බලන සැටි උගන්වනු මැනැවැ’ යි ඉල්ලා සිටියා ය. භික්‍ෂූන් වහන්සේලා ඇයට එය ඉගැන්නූහ.

උපාසිකා තොමෝ. එතැන් සිට ද්වත්තිංසාකාරය නිතර සජ්ඣායනා කරයි. නිතර සිත එහි යොදයි. ආත්මභාවයෙහි ඛය වය පිහිටුවා බලයි. මෙසේ මහත් ඕනෑ කමකින් කම්මැලි කම් දුරලා ද්වත්තිංසාකාරය මෙනෙහි කරණ ඕ තොමෝ ඒ භික්‍ෂූන්ට පෙරාතුව ම තුන් මග තුන් පලයට පැමිණියා ය. ඒ හා ම ඕ තොමෝ සිවු පිළිසැඹියාවන් හා ලෞකිකාභිඥාවන් ද ලැබූ ය. අනතුරු ව ඕ තොමෝ මගපලසුවයෙන් නැගිට දිවැසින් බලා ‘කවර කලෙක මාගේ පුතුන් විසින් මේ ධර්‍මය අවබෝධ කරණ ලද දැ’ යි විමසන්නී, ඒ හැම දෙනා රාගද්වේෂමෝහසහිතයන් බව, ඔවුනට ධ්‍යාන විදර්‍ශනාමාත්‍රයකුත් නැති බව දැන එවර ‘කිමැ මාගේ පුතුනට රහත් බවට වාසනාව තිබේ දැ’ යි බැලූ ය. එවිට ඔවුනට රහත්බවට වාසනාව ඇති බව දැන, නැවැත ඒ ඒ සත්ප්‍රායයන් ගැණ බලන්නී, ආහාරසත්ප්‍රාය නැතිබව දුටුවා ය.

දැන එ තැන් සිට ඕ තොමෝ භික්‍ෂූන් වහන්සේලාට නන් වැදෑරුම් වූ කැඳබත් හා තවත් කෑ යුතු වූ කයසිත පිණවන නානාග්‍රරසයෙන් යුත් බොජුන් කැවිලි පෙවිලි, කිරි, පැණි ආදී වූ හැම රසවත් ඔද වඩන ආහාරපාන සපයා භික්‍ෂූන් වහන්සේලා ගෙට වැඩමවා පැන් පිළිගන්වා ‘ස්වාමීනි! මෙහි ඔබවහන්සේලාට කැමැති සේ යමක් යමක් රුචි නම්, එය ගෙණ වළඳනු මැනැවැ’ යි ඒ පිළියෙල කොට තුබූ බොජුන් පිළිගැන්නූ ය. ඕ තොමෝ එ තැන් සිට භික්‍ෂූන් වහන්සේලාට රුචි වූ ඔජස්කරආහාරපාන සපයා දුන්නී ය. භික්‍ෂූන් වහන්සේලා ද සිත් වූ පරිදි තම තමන්ට රුචි දෙය වළඳති. ඒ හා ම ද්වත්තිංසාකාරය ද වඩන්නා හ. ඉතා හොඳ ආහාරපාන ලැබීමෙන් එකඟ වූ සිත් ඇති ඒ භික්‍ෂූන් වහන්සේලා වැඩි දවස් නො යවා ම රහත් වූහ. ‘වාසනාවකි, උපාසිකා තොමෝ අපට පිහිට වූ ය, යම් ලෙසකින් මේ ලෙසට අපට කෑම් බීම් නො ලැබුනේ නම්, අපට මගපල ලැබීමෙක් මෙතරම් ඉක්මනට නො වන්නේ ය, දැන් ඉතින් අපි වස් අවසන් කොට බුදුරජුන් දක්නට යන්නෙමු’ යි සිතා වස් අවසන් කළහ. වස් පවරා උපාසිකාව අමතා ‘උපාසිකාවෙනි! අපි බුදුරජුන් දක්නට යන්නට කැමැත්තෙමු’ යි කීහ. එවිට ඕ තොමෝ ‘හොඳයි, ස්වාමීනි! වඩින්න, නැවැතත් මා ගැන සිහිපත් කරන්නැ’ යි ප්‍රියවචන කියා ඒ භික්‍ෂූන් පිටත් කර යැවූ ය.

භික්‍ෂූන් වහන්සේලා සැවැත්නුවරැ ජෙතවනාරාමයට ගියහ. ගොස් බුදුරජුන් වැඳ එකත් පසෙක හුන්හ. එ කල්හි බුදුරජානන් වහන්සේ ‘මහණෙනි! සැපදුක් කෙසේ ද, ආහාරපාන හොදින් ලැබුනේ දැ’ යි ඇසූහ. ‘ස්වාමීනි! සැපදුක් ගැණ කියයුතු යමෙක් නැත, කෑම් බීම් හොඳට ලැබුනේ ය, මාතිකා මවු වූ උපාසිකා තොමෝ, අපේ සිත් දැන අපට කෑම් බීම් පිළියෙල කර දුන්නී ය, අපට මේ නම් අහරක් ලැබේ නම් හොඳ යි සිතුනු සැටියේ, ඒ ආහාරපාන අප සිතු ලෙසින් ම පිළියෙළ කර දුන්නී ය’ යි ඒ උපාසිකාවගේ ගුණ කීහ. එ වේලෙහි එහි සිටි එක්තරා මහණෙක් ඈ පිළිබඳ මේ ගුණකථාව අසා එහි යනු කැමැති ව බුදුරජුන් වෙතින් කමටහන් ගෙණ ජෙතවනයෙන් නික්ම ගොස් ඒ ගමට පැමිණ, පැමිණි දිනයේ ම ‘මේ උපාසිකා තොමෝ සිතූ සිතූ දෙය දන්නී ය, මම ද මගැ ඊමෙන් විඩාවට පත් ව සිටිමි, වෙහෙර හමදින්නට නො හැක්කෙමි, වෙහෙර හමදින්නට මිනිසකු එවන්නී නම් හොඳ ය’ යි සිතී ය. උපාසිකා තොමෝ ගෙයි හුන්නී ඔහුගේ සිතිවිල්ල දැන ‘යව, විහාරය, අතු පතු ගා පිළිදැගුම් කොට එව’ යි මිනිසකු පිටත් කළා ය.

නැවැත ඒ මහණ තෙමේ හකුරු පැන් බොනු කැමැති ව ‘හකුරුපැනක් සාදා එවන්නී නම් යහපතැ’ යි සිතී ය. ඕ තොමෝ එය ද වහා පිළියෙල කොට යැවූ ය. නැවැත ‘හෙට උදයට මට අවුලුපතුත් සමග සිනිඳු කැඳක් එවා’ යි සිතී ය. ඕ, එය ද සිතූ පරිදි පිළියෙල කොට යැවූ ය. මහණ, එය වළඳා ‘මට දැන් කෑයුතු දෙයක් එවන්නී නම් යහපතැ’ යි සිතී ය. උපාසිකා එය ද පිළියෙල කොට යැවූ ය. ‘මේ උපාසිකා තොමෝ මා සිතූ සිතූ දෙය පිළියෙල කොට එව්වා ය, ‘මට මැය දකින්නට ලැබේ නම් වාසනාවෙකි, එ හෙයින් ඉතා රසවත් පිණි බොජුනකුත් ගෙන්වා ගෙණ එන්නී නම් යහපතැ’ යි සිතී ය. උපාසිකාව ‘මාගේ පුත් මා දකිනු කැමැත්තේ ය, එහි මා එනු බලාපොරොත්තු වන්නේය’ යි ඔහු සිතූ ලෙසට රසවත් කෑමක් පිළියෙල කොට ගෙන්වා ගෙණ විහාරයට ගොස් ඒ මහණහුට දුන්නී ය. හෙ තෙමේ එය වළඳා ‘උපාසිකාවෙනි, මාතිකමාතා යි කියනු ලබන්නී ඔබ තුමිය දැ’ යි ඇසූයේ ය. ‘එහෙයි, ස්වාමීනි! මාතිකමාතා මමැ’ යි ඕ කිවු ය. ‘තී පරසිත් දන්නී වෙහි දැ’ යි ඇසූ විට ‘කුමක් හෙයින් මා අතින් එය විචාරන්නෙහි දැ’ යි ඕ තොමෝ ඇසූ ය. ‘මා සිතූ සිතූ සියල්ල තී එසේ කළා වෙහි ය, එ හෙයින් විචාරමි’ යි. කීයේ ය. එවිට උපාසිකාව ‘පරසිත් දන්නා භික්‍ෂූන් වහන්සේලා බොහෝ වෙති’ යි කිවු ය. මහණ තෙමේ ‘උපාසිකාවෙනි! මම අනිකක් හු ගැන නො විචාරමි, තී ගැන විචාරමි’ යි කීයේ ය. එසේ කී කල්හිත් උපාසිකා තොමෝ ‘පරසිත් දනිමි’ යි නො දන්වා ‘පුත්‍රය! පරසිත් නො දන්නෝ මෙසේ කරත් දැ’ යි ඇසූ ය. ඉක්බිති ඒ භික්‍ෂු තෙමේ ‘මේ කර්‍මය අතිසාහසිකය, පෘථග්ජනයෝ යහපත් දෙයත් අයහපත් දෙයත් සිතති, එ හෙයින් යම් ලෙසකින් මම අයුතු දෙයක් ගැන සිතන්නෙම් නම්, මෝ තෙමෝ බඩු සහිත සොරා කෙස්වැටියෙන් අල්ලා ගන්නියක සේ මා වෙහෙසට පත් කරන්නී ය, එ හෙයින් මා මෙ තැනින් පලා, යා යුතු ය’ යි සිතා ‘උපාසිකාවෙති, මම යන්නෙමි’ යි දන්වා සිටියේ ය.

එවිට ‘කො තැනැ වඩින්නෙ හි දැ’ යි උපාසිකාව ඇසූය. ‘මම් බුදු රජුන් වෙත යන්නෙමි’ යි හෙ තෙමේ කීයේ ය. ‘මෙහි ම වැඩ හිඳිනු මැනැවැ’ යි කී කල්හි ඔහු ‘මෙහි හිඳිනු නො හැකි ය, යන්නට ම ඕනෑ ය’ යි එ තැනින් නික්ම බුදු රජුන් වෙත ගියේ ය. බුදුරජානන් වහන්සේ ‘මහණ! මොක ද මෙහි ආයෙහි, තට එහි වසන්නට ඉඩ නො ලැබුනේ දැ’ යි අසා වදාළ කල්හි ‘ස්වාමීනි! මට එහි වසනු නො හැකි ය’ යි හෙ තෙමේ කී ය. ‘ඇයි, වසනු නො හැකි’ යි ඇසූ කල්හි ඒ උපාසිකා තොමෝ සිතූ සිතූ සියල්ල දන්නී ය, පෘථග්ජනයෝ හොඳත් නො හොඳත් දෙක ම සිතති, යම් ලෙසකින් මට නරකක් නපුරක් සිතුනේ නම්, එවිට ඕ, බඩු සහිත සොරු කෙස්වැටියෙන් අල්ලා ගන්නියක සේ මා වෙහෙසට පමුණුවනු ඇතැයි සිතා එතැනින් නික්ම ආයෙමි’ යි. ඒ භික්‍ෂු තෙමේ කීයේ ය. බුදුරජානන් වහන්සේ ‘මහණ! තට එහි ම විසීම හිතකරය’ යි වදාළ කල්හි ‘ස්වාමීනි! මට එහි වසන්නට නම් නො හැකි ය, මම එහි නො යමි’ යි කීයේ ය. බුදුරජානන් වහන්සේ ‘එසේ නම්, තට එකක් පමණක් රැකිය හැකි දැ’ යි ඇසූහ. එවිට ‘ස්වාමීනි! ඒ කිමැ’ යි ඔහු ඇසී ය. ‘තෝ තාගේ සිත පමණක් රකුව, සිත එක් අරමුණෙක නො තැබිය හැකි බැවින් දුකසේ රැකිය යුතු ය, තෝ තමන්ගේ සිතට නිග්‍රහ කරව, අන් කිසිවක් ගැන නො සිතව, මේ සිත ඉතා දුකින් වෙහෙසී ගෙණ නිග්‍රහ කළ යුත්තෙකැ’ යි වදාරා බුදුරජානන් වහන්සේ මේ ධර්‍මදේශනාව කළ සේක:-

දුන්නිග්ගහස්ස ලහුනො යථාකාමනිපාතිනො [1]

චිත්තස්ස දමථො සාධු චිත්තං දන්තං සුඛාවහන්ති.

දුකසේ නිග්‍රහ කටයුතු වූ වහා ඉපිද නැසෙන සුලු වූ යම් අරමුණෙක කැමැති සේ වැටෙන සුලු වූ සිතෙහි දැමීම යහපත් ය. සිත දැමුනේ සුව එළවන්නේ ය.

දුන්නිග්ගහස්ස = දුකින් නිගතහැකි වූ. නිග්‍රහ කරන්නට නො පිළිවන් වූ.

සිතට නිග්‍රහ කිරීම නම් පහසු නො වේ. එය නුවණින් යෙදී කළ යුතු ය. යම් කිසිවිටෙක සිත උඩඟු වී නම්, එවිට ධම්මවිචය විරිය - පීති - සම්බොජ්ඣඞ්ග නො වැඩිය යුතු ය. මෙ කී ධර්‍ම වැඩීමෙන් සිතේ උඩඟු බව සංසිඳවනු නො හැක්කේ ය. උඩඟුබව සංසිඳවන්නට නම් වැඩිය යුත්තේ පස්සද්ධි - සමාධි - උපෙක්ඛා යන සම්බොජ්ඣඞ්ග තුනය. සිත ඇකිළී ගිය කල්හි ධම්මවිචය - විරිය - පීති සම්බොජ්ඣඞ්ග වැඩිය යුතු ය. පස්සද්ධි - සමාධි-උපෙක්ඛා සම්බොජ්ඣග නො වැඩිය යුතු ය. මේ කියූ ලෙසිනි සිතට නිග්‍රහ කළ යුත්තේ. එය පහසු වැඩෙක් නො වේ. ‘දුන්නිග්ගහස්ස’ යන්නෙන් වදාළෝ එය අපහසුබව ය.

ලහුනො = වහා ඉපිද වහා නැසෙන සුලු.

සිත, ඉපැදීම-සිටීම-නැසීම යන අවස්ථා තුනකින් යුක්ත ය. මෙසේ වූ සිත මොහොතක් තුළ දී කෙතෙක්වර ඉපිද නැසෙන්නේ දැ’ යි කීමට පිළිවන් සමතෙක් නැත. ‘නාහං භික්ඛවෙ! අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යං එවං ලහුපරිවත්තං, යථයිදං චිත්තං’ යනු දේශනා ය. මේ චිත්තපරිවර්‍තනයෙහි ලා උපමා දැක්වීමත් අපහසුබව ය, බුදුරජානන් වහන්සේ වදාළෝ. මෙන්න ඒ බුද්ධවචනය:- ‘යාවඤ්චිදං භික්ඛවෙ! උපමාපි න සුකරා යාව ලහුපරිවත්තං චිත්තං’ යනු.

ස්වාමීනි! නාගසෙනයන් වහන්ස! එක් අසුරුසණකට ගත වන කාලය තුළ පවත්නා චිත්තසංස්කාරයෝ යම් ලෙසකින් රූපවත් වෙත් නම්, කොපමණ මහත් රාශියක් වෙත් දැ’ යි මිලිඳුරජු විසින් නාගසෙන ස්ථවිරයන් වහන්සේ අතින් චිත්තපරිවර්‍තනයෙහි ලා ඇසූ ප්‍රශ්නයෙකි. ‘වීසාල් එක්සිය පණස්සත් අමුණු දෙතිඹකුත් එක් අසුරු සණක් තුළ ඉපිද නැසෙන සිත් ගණනට නො පැමිණේය යි උන්වහන්සේ පිළිතුරු දුන්හ.

යථාකාමනිපාතිනො = යම කැමැති අරමුණෙක හෙන සුලු වූ. වැටෙන සුලු වූ.

“එතං හි ලභිතබ්බට්ඨානං වා අලභිතබ්බට්ඨානං වා යුත්තට්ඨානං වා අයුත්තට්ඨානං වා න ජානාති, නෙව ජාතිං ඔලොකෙති, න ගොත්තං, න වංසං, යත්‍ථ යත්‍ථ ඉච්ඡති ත්‍ථ ත‍ත්‍ථෙව නිපතතී ති යථාකාමනිපාතී ති වුච්චති” යනු අටුවා ය. මේ සිත ලැබිය හැකි වූ ද නො ලැබිය හැකි වූ ද යුතු වූ ද අයුතු වූ ද කිසිවක් නො දනියි. ජාතිගෝත්‍ර කිසිවක් නො ලබයි. කොයි යම් අරමුණක් නමුත් තමාට ප්‍රිය වේ නම්, එහි වැටෙන්නේ ය, යනු ඒ පාලිප්‍රදෙශයෙහි කෙටි තේරුම ය.

ඒ එසේම ය. සිත කිසිවක් සොයා බලන්නෙක් නො වේ. ඒ ඉතා පැහැදිලි ය. අන්‍යයන් විසින් නින්‍දා කරණ ලද්දක් වුවත් තමහට ප්‍රිය නම්, සිත එහි එල්බෙන්නේ ය. තා විසින් පිළිගණු ලබන අරමුණ අන්‍යයන් විසින් නින්දා කරණ ලද්දෙක, නො ද පිළිගත්තෙක, තාගේ ජාතිගෝත්‍රයන් හා නො ගැළපෙන්නෙකැ යි කා චිසිනුත් නො වැළකියැකි ය. තමහට රුචි නම්, කවුරුන් කුමක් කියුව ද පිළිගන්නේ ය. මෙයට මහාජනයාගෙන් ලැබිය හැකි සාධක අපමණ ය.

චිත්තස්ස දමථො සාධු = සිතේ දැමීම යහපත් ය.

නන් අරමුණු කරා යන්නට නො දී හිතකර වූ එක් අරමුණෙක පිහිටුවා චතුර්විධ ආර්‍ය්‍යමාර්‍ගයෙන් සිතෙහි ඇතිතාක් කෙලෙස් මුලුසුන් කොට නැසීම, සිත කෙලෙසුන්ගෙන් මුළුමනින් ඈත්කර .ගැණිම චිත්තදමන ය යි දත යුතුය.

‘සාධුයනු යහපත් ය, යන අරුත් ඇත්තේ ය. සාධුශබ්දය ‘සාධුකං සුණොම මනසිකරොම’ යනාදි තන්හි දළ්හීකර්‍ම යෙහි වැටේ. ‘සාධු භන්තෙ භගවා සඞ්ඛිත්තෙන ධම්මං දෙසෙති’ යනාදි තන්හි ආයාචනයෙහි වැටේ. ‘සාධු භන්තෙති ඛො තෙ භික්ඛු භගවතො භාසිතං අභිනන්‍දිත්‍වා අනුමොදිත්‍වා’ යනාදි තන්හි පිළිගැණීමෙහි ආයේ ය. ‘අසාධුං සාධුනා දමෙ’ යනාදි තන්හි සජ්ජනයා කෙරෙහි ආයේ ය. ‘සාධු සාධු සාරිපුත්තො’ යනාදි තන්හි සම්පහංසනයෙහි ආයේ ය. ‘සාධු ධම්මරුචි රාජා සාධු පඤ්ඤාණවා නරො සාධු මිත්තානමද්දුබ්භො පාපානං අකරණං සුඛං’ යනාදි තන්හි සුන්‍දරයෙහි ආයේ ය. මෙහි ද සුන්‍දරාර්‍ත්‍ථයෙහි වැටේ. එහෙයිනි කීයේ ‘සියලු කෙලෙස් නැසීම යහපත්’ යි.

චිත්තං දන්තං සුඛාවහං = දැමූ සීත සුව එළවන්නේ ය.

චිත්තදමනය යහපත් යි කීයේ මේ නිසා ය. චතුර්විධආර්‍ය්‍යමාර්‍ගයෙන් සියලු කෙලෙස් නසා සිත දමනය කරන ලද්දේ නම් ඒ මේ දමනය කළ සිත, ඒකාන්තයෙන් මග පල සුව හා නිවන් සුව ඵළවන්නේ ය.

මේ ධර්‍මදේශනාවගේ අවසානයෙහි පැමිණි පිරිසෙන් බොහෝ දෙන සෝවන්ඵලාදියට පැමිණියාහු ය. ධර්‍මදේශනාව මහජනයාහට වැඩ සහිත වූ ය.

භාග්‍යවත් බුදුරජානන් වහන්සේ ඒ භික්‍ෂුනමට මෙසේ අවවාද කොට ‘මහණ! යව, අන් කිසිත් ගැන නො සිතා එහි ම වසන්නැ’ යි පිටත් කොට යැවූසේක. ඔහු ද බුදුරජුන් වෙතින් ලත් අවසර ඇති ව එහි ගොස් පිටත්හි වූ කිසිත් ගැන නො සිතා එහි විසී ය. උපාසිකා තොමෝ දිවැසින් බලා ‘මාගේ පුත් අවවාද දෙන ඇදුරකු ලබා නැවැත ආයේ ය’ යි දැන ඔහුට හිතකර වූ ආහාර පාන පිළියෙල කොට දුන්නී ය. මහණ තෙමේ හිතකර වූ ආහාරපාන වළඳා මහණදම් කරන්නේ කීප දිනකින් ම රහත් ව මගපලසුවයෙන් දවස් යවන්නේ ‘මහා උපාසිකාව මට පිහිට වූ ය, මම මේ මෑනියන් නිසා සසරදුකින් මිදුනෙමි’ යි සිතා, නැවැත ‘මෝ මට මේ අත්බවේදී පිහිට වූවා සැබෑ ය, සසර අනික් අත් බව්හිදීත් පිහිට වූවා ද නො වූවා දැ’ යි සලකන්නේ එකුන් සියයක් අත්බව් සිහිපත් කෙළේ ය. මේ උපාසිකාව එකුන් සියයක් අත්බව්හි තමාට බිරිය වූවා පරපුරුෂයන් කෙරෙහි තදින් ලොල් ව තමන් ජීවිතයෙන් තොර කළ බව පෙණී ගියේ ය. ස්ථවිර තෙමේ, මෙතෙක් අගුණරාසිය දැක ‘මේ උපාසිකා තොමෝ අති සාහසිකකර්‍මයක් කළා ය’ යි සිතුයේ ය.

උපාසිකාව ගෙයි හුන්නී ම ‘කිමැ මුළුමනින් මා පුතුගේ පැවිදි කිස මුදුන් පැමිණියේ දැ’ යි විමසා බලන්නී ඔහු රහත්බවට පැමිණිබව දැන නැවැතත් විමසා බලන්නී, ‘මාගේ පුත් තෙමේ, මේ උපාසිකාව මට දැන් පිහිට වූවාය, මෝ පෙරත් මට පිහිට වූවා ද නො වූවා දැ’ යි විමසමින් එකුන් සියයක් අත්බව් සිහිපත් කෙළේ ය, එහි ද මා එකුන් සියයක් අත් බව්හි දී මොහුගේ බිරිය බවට පත් ව පරපුරුෂයන් හා එකතු ව මොහුගේ ජීවිතය නැසූබව දැක, උපාසිකාව විසින් අතිසාහසික කර්‍මයක් කරණ ලදැ යි සිතුයේ ය, වේවා, සසරැ සැරි සරන මා විසින් මාගේ පුත්‍රයාට උපකාරයක් කළ විරූ දැ’ යි විමසුවා ය. එහිදී ඕ තොමෝ නැවැතත් සියක්වන අත්බව සිහිපත් කළා ය. ඒ සියක් වන අත්බවේදී මොහුට බිරිය වූ තමන් විසින් එක් ජීවිත විනාශයක දී තම ජීවිතය මොහුට පිදූ බව දුටුවා ය. එවිට ‘මා විසින් මා පුතුට මහත් උපකාරයක් කරන ලදැ’ යි ගෙයි හුන්නී ම, ‘තවත් එහාට පොඩ්ඩක් විමසා බලනු මැනැවැ’ කිවු ය. ස්ථවිර තෙමේ, දිව කණින් එය අසා සියක්වන අත්බව සිහිපත් කොට ඒ අත්බවේ දී ඇය තමන්ට දිවි පිදූ බව දැන ‘අරුමයෙකි, මේ උපාසිකාව විසින් මට මහත් උපකාරයක් කළ විරූ ය’ යි තුටු සිත් ඇත්තේ ඇයට එහිදී ම සිවුමගපල පිළිබඳ කරුණු කියා දී අනුපාදිශෙෂනිර්‍වාණධාතුවෙන් පිරිනිවියේ ය.

අන්‍යතරභික්‍ෂු වස්තුව නිමි.

  1. ‘යත්‍ථ කාමනිපාතිනො’ බොහෝ පොත්හි

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.