3-1 මේඝිය ස්ථවිරයන් වහන්සේ

ඵන්‍දනං චපලං චිත්තං දුරක්ඛං දුන්නිවාරයං

උජුං කරොති මෙධාවී උසුකාරො’ව තෙජනං.

නොයෙක් අරමුණෙහි සැලෙන, (එක් අරමුණෙක නොපිහිටන හෙයින්) චපල වූ (අනවස්ථිත වූ), රක්නට දුෂ්කර වූ, (දුසිරිත් කෙරෙන් වළක්වන්නට දුෂ්කර වූ) සිත නුවණැත්තේ ඍජු කරන්නේ ය. හීවඩුවා හීදංඩක් ඇද මැඩ ඉදි කරන්නාක් මෙනි.

වාරිජො’ව ථලෙ ඛිත්තො ඔකමොකත උබ්භතො

පරිඵන්‍දතිදං චිත්තං මාරධෙය්‍යං පහාතවෙ.

උදක සංඛ්‍යාත වාසස්ථානයෙන් නගන ලද, ගොඩ බිම තබන ලද මසකු මේ (අභාවිත) සිත (නොයෙක් අරමුණෙහි පරිභ්‍රමණ වශයෙන්) සැලෙන්නේ ය. (එහෙයින් ම) මරධෙයය ( ක්ලේශවෘත්තය) පහ කටයුතු යි.

ස්වාමිදරු වූ සම්මා සම්බුදු රජානන් වහන්සේ එක් කලෙක වාලිකානුවර අසල වාලිකාපව්වෙහි කරවනලද මහාවිහාරයෙහි වැඩ වාසය කරණ සේක. එකල බුදුරජානන් වහන්සේට උපස්ථාන කළෝ, මේඝියස්ථවිරයන් වහන්සේ ය. දිනක් බුදුරජුන් වෙත එළැඹ සිටි උන්වහන්සේ බුදුරජුන් වැඳ ‘ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! මම පිඬු පිණිස ජන්තුග්‍රාමයට යනු කැමැත්තෙමි, ඊට අවසරැ’ යි අවසර ඉල්ලා සිටියාහ. බුදුරජානන් වහන්සේ ඔහුට ඒ පිණිස අවසර දුන්හ. ඉක්බිති මේඝියස්ථවිරයන් වහන්සේ පෙරවරුයෙහි සකසා හැඳ පෙරවැ පා සිවුරු ගෙණ ජන්තුග්‍රාමයට පිඬු පිණිස වැඩියහ. එහි පිඬු සිඟා පිණ්ඩපාතයෙන් හැරී අවුත් පස්වරුයෙහි කිමිකාලාගංඉවුරට වැඩියෝ ය. කෙණ්ඩා විඩා දුරු කරන්නට එහි ඔබිනොබ හැසිරෙන්නෝ, සිත්කලු අඹඋයනක් දැක ‘මේ උයන සිත් ගන්නේ ය, ජනසමාජයෙන් ඈත්ව මහණදම් පුරන්නහුට ඉතා කදිම තැන ය, බුදුරජානන් වහන්සේ මට අවසර දෙන සේක් නම්, මම මහණදම් පුරන්නට මෙහි එන්නෙමි’ යි සිතා බුදුරජුන් වෙත ගොස් වැඳ ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! අවසර, මම පෙරවරුයෙහි හැඳ පෙරවැ පාසිවුරු ගෙණ ජන්තුග්‍රාමයට පිඬු සිඟා ගියෙමි, සිඟා අවසන් කොට විඩා සංසිඳු වන්නට සිතා පස්වරුයෙහි කිමිකාලාගංඉවුරට පැමිණියෙමි, එහි ටිකක් එහා මෙහා යන්නේ අඹ උයනක් දුටුයෙමි, ඒක නම් මහණදම් පුරන්නට ඉතා කදිම තැන ය, සිත්කලු ය, බුදුරජානන් වහන්සේ අනුදන්නා සේක් නම්, මහණදම් කරන්නට මෙහි එමි, යි මට සිත් විය, එහෙයින් බුදුරජානන් වහන්සේ අනුදන්නා සේක් නම්, මම එහි යන්නෙමි’ යි දන්වා සිටියහ.

එවිට බුදුරජානන් වහන්සේ බලා වදාරන සේක්, මේඝිය තෙරුන්ගේ නුවණ මෝරා නො ගියබව දැන ගමන වළකන්නට ‘මේඝිය! පොඩ්ඩක් බලාපොරොත්තු වන්න, තමුසේ ගියාම මම තනි වෙමි, අනික් නමක් එනතුරු ටිකක් නවතින්නැ යි වදාළ සේක. (මෙ තෙමේ ගොස් කටයුතු නො සිදු වූ කල්හි නිරාශඞ්ක ව ප්‍රේමවශයෙන් නැවැත එන්නේ ය යි දැන මොහුගේ සිතෙහි මොළොක්ඛව උපදවන්නට මෙසේ වදාළ සේක) මේඝියස්ථවිරයන් වහන්සේ දෙවනු ද ‘ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! ඉදිරියෙහි කළ යුතු කිසිවක් බුදුපියානන් වහන්ස්ට නැත, වැඩූමග නැවැත නො වඩන සේක, ප්‍රහීණ කළ කෙලෙසුන්ගේ නැවැත ප්‍රහාණයකුත් නැත, ස්වාමීනි! මට එසේ නො වේ, ඉදිරියෙහි කළ යුතු වැඩ මට ඇත්තේ ය, මා ආර්‍ය්‍යමාර්‍ගය අවබෝධ නො කළ බැවින් ආර්‍ය්‍යමාර්‍ගයාගේ වැඩීම කැමැති විය යුතු ය, එහෙයින් බුදුරජානන් වහන්සේ අවසර දෙන සේක් නම්, මම මහණදම් කරන්නට ඒ අඹ උයනට යන්නෙමි’ යි කීහ. බුදුරජානන් වහන්සේ එ වරද ‘මේඝිය! පොඩ්ඩක් ඉන්න, මම තනි වෙමි, අනික් නමක් එනතුරු’ යි වදාළ විට, මේඝියස්ථවිරයන් වහන්සේ තෙවන වරත් පළමු ලෙසින් කරුණු කියා යන්නට අවසර ඉල්ලූහ. බුදුරජානන් වහන්සේ ඒ තෙවනවර ‘මේඝිය! මහණදම් කරමි යි කියන්නහුට අපි අන් කුමක් කියමු ද, තමුසේ ම එයට කල් දත යුතු ය’ යි වදාළ විට හුනස්නෙන් නැගිට බුදුරදුන් වැඳ පැදකුණු කොට අඹඋයනට ගොස් එහි එක්තරා ගස්මුලෙක දිවාවිහරණය පිණිස වැඩහුන්හ.

මේඝියතෙරුන් දිවාවිහරණයට හුන් එ තැන, තමන් පිළිවෙළින් ජාති පන්සියයක් ම රජ ව උයන් කෙළි කෙළිමින් නන් වැදෑරුම් නළඟනන් පිරිවරා හුන් තැන විය. එ හෙයින් ඒ තැන හුන් තෙරුන්ට තම මහණදම් අතුරුදහන් ව ගියා සේ ද, රජවෙස් ගෙණ නළඟනන් පිරිවරා සේසතයට මාහැඟි රජඅසුනෙහි හුන්නහු සේ ද වැටහින. එ කෙණහි ඔහු සිතැ කාමවිතර්‍කයෙක් උපන. ඒ හා ම උන්වහන්සේ, බඩු සහිත ව අල්ලා ගත් සොරුන් දෙ දෙනකුන් ඉදිරියට පමුණුවා සිටියවුන් සේ දුටහ. එ කෙණෙහි උන් අතුරෙන් එකක්හට වධය නියමකිරීම් වශයෙන් ව්‍යාපාදවිතර්‍කය උපන. එකක්හට හිරදඬුවම් නියමකිරීම් වශයෙන් විහිංසාවිතර්‍කය උපන. එකල මේඝියස්ථවිරයන් වහන්සේ වැල්ගොඩකින් වෙළුනු ගසක් සේ ද, මීමැස්සන් විසින් වට කර ගත් මී කඩන්නකු සේ ද, අකුශලවිතර්‍කයන් විසින් වට කොට ගන්නා ලදහ. ‘මම ගිහි ගෙයින් නික්ම මේ සසුනෙහි පැවිදි වූයේ ශ්‍රද්ධාවෙන් ම ය, එසේ වුවත් ලාමකඅකුශලවිතර්‍කයෝ මා වට කොට ගත්හ, දැන් මෙහි මහණදම් කරන්නට නො හැකි ය, දීර්‍ඝදර්ශී වූ බුදුරජානන් වහන්සේ ඒකාන්තයෙන් මේ දැන වදාරා මාගේ ගමන වැළකූ සේක, එහෙයින් උන්වහන්සේට මෙය දැන්විය යුතු ය දන්වමි’ යි හුන් තැනින් නැගිට බුදුරජුන් වෙත එළැඹැ ‘ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! මා අඹඋයනෙහි දිවාවිහරණය පිණිස හුන් හැටියේ ම ලාමකඅකුශලවිතර්‍කයෝ මා වට කොට ගත්හ, එවිට මට ‘මම පැවිදි වූයෙම් ශ්‍රද්ධාවෙන් ම ය, එහෙත් ලාමකඅකුශලවිතර්‍කයෝ මා වට කොට ගත්හ යි මට සිත් වී ය’ යි දන්වා සිටියහ.

ඉක්බිති බුදුරජානන් වහන්සේ තමන් වෙත පැමිණි මේඝිය තෙරුන් අමතා, ‘ඔය තැන විසින් කරණ ලද්ද ඉතා බැරෑරුම් ය, එය සුලු වැඩෙක් නො වේ, බලගතු ය, මේඝිය තව ටිකක් නවතින්න, මම තනි වෙමි, අනික් නමක් එනතුරු පොඩ්ඩක් ඉවසන්නැයි කියද්දිත් මා තනි කොට හැරදමා ගියහු ය, එසේ ගිය මහණ, සිතට යටත්වීම යුතු නැත, සිත ඉතා සැහැල්ලු ය, එය තම වසඟයට ගත යුතු ය’ යි දක්වන්නට මේ ධර්‍මදේශනාව කළ සේක:-

ඵන්‍දනං චපලං චිත්තං දූරක්ඛං දුන්නිවාරයං,

උජු කරොති මෙධාවී උසුකාරො ව තෙජනං,

.

වාරිජො’ව ථලෙ ඛිත්තො ඔකමොකතඋබ්භතො,

පරිඵන්‍දතිදං චිත්තං මාරධෙය්‍යං පහාතවෙ’ති.

සැලෙන්නා වූ චපල වූ නො රැකිය හැක්කා වූ නො වැළකිය හැක්කා වූ සිත, නුවණැත්තේ හීවඩුවකු හීදණ්ඩක් ඍජු කරන්නා සේ ඍජු කරයි.

(මසුන් ) වසන තැන් වූ ජලයෙන් ගොඩ දැමූ මසකු සේ මේ සිත, ත්‍රෛභූමකවෘත්තය පහ කරන්නට වෑයම් කරණ කල්හි ඉතා තදින් සැලෙයි. නොහොත් මාරධෙය්‍ය යි කියන ලද ක්ලේශවෘත්තය නො හැර සිටි මේ සිත, උදකාලයෙන් නගා ගොඩ දැමූ මසකු සේ සැලෙන්නේ ය. එ හෙයින් මාරධෙය්‍යය පහකට යුතු ය.

ඵන්‍දනං = සැලෙන්නා වූ.

‘රූපාදිසු ආරම්මණෙසු විප්ඵන්‍දමානං’ මිනිසුන්ගේ සිත නිරතුරුව ම නන් අරමුණු කරා දුවයි. සිත අරමුණුවල ඉටු, අනිටුබවක් නොසලක යි. නො වැඩුනු නො දැමුනු සිත එක අරමුණක නො පිහිටයි. රූප-ශබ්ද-ගන්‍ධ-රස-ස්ප්‍රෂ්‍ටව්‍ය යන අරමුණු ගැණීමෙහි සෑදී පෑදී සිටියි. ගත් අරමුණෙහි සෑහීමකට නො යෑමෙන් එ කෙණෙහි ම අන් අරමුණක් වහා ගනියි. මේ සිතේ සැටි යි.

චපලං = චපල වූ. අස්ථිර වූ.

‘එකිරියාපථෙන අසණ්ඪහන්තො ගාමදාරකො විය එකසමිං ආරම්මණෙ අසණ්ඨහනතො චපලං’ එක් ඉරියව්වෙක නො පිහිටුනා ගම්දරුවකු සේ, එක අරමුණෙක නො පිහිටා සිටින බැවින් සිත චපල ය. අස්ථිර ය. තමන් ගත් අරමුණෙහි ගත් අයුරින් ක්‍ෂණයක් පමණකුත් පිහිටා සිටීමට සිතට බැරි ය.

චිත්තං = සිත. විඥානය

පංචස්කන්‍ධය අතුරෙන් එක් ස්කන්‍ධයෙන් ‘චිත්තංයන මෙයින් ගැණේ. වේදනා - සංඥා - සංස්කාර යන චෛතසික ධර්‍මයන්ගේ පැවැත්ම සිත මුල් කොට වන්නේ ය. රූපකන්ධය ද ක්‍රියාවෙහි සමර්‍ත්‍ථ වන්නේ සිත ඇති කල්හි ම ය. එහෙයින් සිත ප්‍රධාන වේ. මනින්ද්‍රිය-මනායතන-විඤ්ඤාණ-හදය-චෛත යනාදී වූ නම්වලිනුදු මෙය පොතපතෙහි එන්නේ ය.

‘ආරම්මණං චින්තෙතී ති = චිත්තං’ අරමුණු සිතන්නේ සිත නම්. රූප-ශබ්ද-ගන්‍ධ-රස-ස්ප්‍රෂ්ටව්‍ය-ධර්‍ම යන මේ ය අරමුණු. මේ අරමුණු දැන ගන්නේ ය සිත, සියලු සිත් පිළිබඳ ව පොදුවේ සාමාන්‍යයෙන් මෙසේ කිය හැකි ය.

‘චින්තෙන්ති වා එතෙන කරණභූතෙන සම්පයුත්තා ධම්මාති - චිත්තං’ මේ කරණ කොට, මේ නිසා ස්පර්‍ශාදිචෛතසික ධර්‍මයෝ ද අරමුණු සිතති. ස්පර්‍ශාදිසම්ප්‍රයුක්තධර්‍මයන්ගේ අරමුණු සිතීමට, දැනීමට උපකාරකභාවයෙන් සිටියේ සිත නම්. සිත ඒ ඒ කටයුතු දැනීමට උපකාරභාවයෙන් පවත්නේ ය.

පරමාර්‍ත්‍ථධර්‍මයෝ ක්‍රියාමාත්‍රයෝ ය. උන් කෙරෙහි ද්‍රව්‍යයක් නො ලැබිය හැකි ය. එහෙයින් මෙහිලා කර්‍තෘකරණාර්‍ත්‍ථ විසින් නිරුක්ති දැක්වීම අප්‍රධාන ය. සිතීමෙහි, දැනීමෙහි සිත ප්‍රධාන බව දක්වන්නට කර්‍තෘත්‍වය සිතට නැගී ය. චිත්තසම්ප්‍රයුක්ත ධර්‍මයන්ගේ ද සිතීමෙහි දී ඊට අනුකූල ව පැවැත්ම දක්වන්නට සිතට කරණත්‍වය නැගී ය.

‘චින්තනමත්තං = චිත්තං’ අරමුණුසිතීම සිත නම්. පරමාර්‍ත්‍ථ ධර්‍ම ක්‍රියාමාත්‍ර බැවින් පරමාර්‍ත්‍ථධර්‍ම කෙරෙහි මේ ම ප්‍රධාන වේ.

‘විචිත්තකරණං = චිත්තං’ විසිතුරු කරණ බැවින් සිත නම්. ලෝකයෙහි ඇතිතාක් සියලු විසිතුරු දේවල ඉපැත්ම සිත කරණකොට ම වන්නේ ය. සිතියම් කරණු කැමැති සිත්කරුහට සිතියමක් කරනු කැමැති විට පළමු කොට ඒ පිළිබඳ සිත උපදනේ ය. ඒ පිණිස ඉරිගැසීම් ආදී වූ ක්‍රියා සිතින් ම පහළ වේ. ඉන් පසු තමන් කැමැති සේ එහි සායම් ගෑම් ආදිය කරයි. මෙසේ සිතා ඉරි ගසා සායම් යොදා අවසන් කළ විට විසිතුරු සිතියමෙක් පහළ වේ. මේ විසිතුරු සිතියමෙහි පහළ වීමට උපකාර වූයේ සිත ය.

‘දිට්ඨං වො භික්ඛවෙ! චරණං නාම චිත්තන්ති’ මහණෙනි! තමුසේලා විසීන් චරණ නම් සිතියම දක්නා ලද ද?

‘එවං භන්තෙ!’ ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! එසේ ය! දක්නා ලද්දේය.

‘තම්පි ඛො භික්ඛවෙ! චරණෙන චිත්තෙන චිත්තඤ්ඤෙව චිත්තතරං’ මහණෙනි! ඒ චරණ නම් සිතියම ද සිතින් ම විසිතුරු කරණ ලද්දේ ය.

‘තෙන පි ඛො භික්ඛවෙ! චරණෙන චිත්තෙන චිත්තඤ්ඤෙව චිත්තතරං’ මහණෙනි! සිත ම ඒ චරණ නම් සිතියමට වඩා ඉතාවැඩියක් විසිතුරු ය, යනු සිතේ ඇති විසිතුරුබව දක්වන්නට බුදුරජානන් වහන්සේ වදාළ සේක. මේ ඒ පිණිස ම උන්වහන්සේ වදාළ දේශනාවක්:-

‘නාහං භික්ඛවෙ! අඤ්ඤං එකනිකායම්පි සමනුපස්සාමි යං එවං චිත්තං, යථයිදං භික්ඛවෙ! තිරච්ඡානගතා පාණා තෙ පි ඛො භික්ඛවෙ! තිරච්ඡානගනා පාණා චිත්තෙනෙව චිත්තීකතා, තෙහිපි ඛො භික්ඛවෙ! තිරච්ඡානගතෙහි පාණෙහි චිත්තඤ්ඤෙව චිත්තතරං’ යනු.

‘මහණෙනි! මේ තිරිසන්ගතප්‍රාණීහු යම්සේ විසිතුරු වූවෝ ද එසේ විසිතුරු වූ යම් එකෙක් වේ ද, එබඳු වූ අන් එක් ම සමූහයකුදු මම බුදුනුවණින් නො දකිමි, මහණෙනි! ඒ තිරිසන් ගියෝ ද සිතින් ම විසිතුරු කරණ ලදහ, මහණෙනි! ඒ තිරිසනුන්ටත් වඩා සිත ම විසිතුරු ය’ යනු එහි කෙටි තේරුම ය.

චරණ නම් සිතියමැ යි වදාළෝ නොයෙක් ලෙසින් විසිතුරු වූ දිව්‍යවිමානාදිය සිතියම් කොට ‘පින් කරන්නෝ මේ ලෙසින් විසිතුරු වූ සමපත්තියෙන් පිරී ඉතිරී ගියා වූ දෙව්විමන් ආදියෙහි උපදින්නාහ’ යි දන්වමින් ගම් නියම්ගම් රජදනවුහි ගෙණ යන සිතියම ය. මේ චරණ සිතියම සිතින් ම කරණ ලද බැවින් එයට වඩා සිත ම ඉතා විසිතුරු ය. සිතේ විසිතුරුබව නිසා සංඥාව ද විසිතුරු ය. ඒ නිසා තෘෂ්ණාව ද විසිතුරු ය. තෘෂ්ණාව විසිතුරු නිසා කුශලාකුශලකර්‍ම විසිතුරු ය. කර්‍මයාගේ විසිතුරු බව හේතු කොට දිව්‍ය මනුෂ්‍යාදිලෝක ද විසිතුරු ය.

‘අත්තනො චිත්තත්තාය වා = චිත්තං’ තමන්ගේ ම විසිතුරු බැවින් සිත නම්,

සිත, ලෝභය හා යෙදුනු විට ලෝභමූලික යි ද, ද්වේෂය හා යෙ දුනු විට දෝසමූලික යි ද, මෝහය හා යෙදුනු විට මෝහමුලික යි දැ යි තෙමේ විසිතුරු ය. කාමලෝකය පිළිබඳ කල්හි කාමාවචරැ යි ද, රූපලෝකය පිළිබඳ කල්හි රූපාවචරැ යි ද, අරූපලෝකය පිළිබඳ කල්හි අරූපාවචරැ යි ද විසිතුරු ය, මෙසේ ම වස්තු ආලම්බන ක්‍රියාදිවශයෙන් ද විසිතුරු ය. ‘භූමි වත්‍ථු ආරම්මණකිරියාදිචිත්තතාය පනෙතං චිත්තං’ යනු එහි අටුවා ය.

‘චිතං කම්මකිලෙසෙහි = චිත්තං’ කර්‍මක්ලේශයන් විසින් කැටි කළ බැවින් සිත නම්.

කුසල් අකුසල්කම් විසින්, අවිද්‍යා තෘෂ්ණා උපාදාන යන කෙලෙසුන් විසින් කැටි වූයේ ය සිත. කර්‍මක්ලේශයන් විසින් රැස් කරණ ලද්දේ ය. කෙලෙස් සහාය කොට ඇති කර්‍මයෙන් ඵලභාවයෙන් නිපැදුනේ ය යන අරුත් ය. ‘තං හි කිලෙසසහායකෙන කම්මුනා ඵලභාවෙන නිබ්බත්තිතං’ යි මණිසාරමංජුසාවෙහි කියන ලද ය.

‘චිතං තායති වා = චිත්තං’ කර්‍මක්ලේශයන් විසින් ඵලභාවයෙන් නිපදවන ලද පාලනය කෙරේණු යි සිත නම්. ‘කම්මකිලෙසෙහි චිතං සඤ්චිතං අත්තභාවං තායති රක්ඛතී ති = චිත්තං’ යනුත් ඒ සඳහා කීහ. කර්‍මක්ලේශයන් විසින් රැස් කරණ ලද ආත්මහාව පරම්පරාව රක්‍ෂා කෙරේණු යි සිත නම් වේ යනු අරුත් ය.

‘විනොති. අත්තසන්තානං = චිත්තං’ ආත්මභාවය යි ගැණෙන ජවනචිත්තපරම්පරාව රැස් කෙරේණු යි සිත නම්.

භවයාගේ නො සිඳ පැවැත්මට කරුණු වන සිත භවාඞ්ග නමින් කියැ වේ. එය ඉතා පිරිසිදු ය. නිර්‍මල ය. ‘පභස්සරමිදං භික්ඛවෙ! චිත්තං’ යනු සාධකසූත්‍ර යි. ඒ මේ භවාඞ්ගචිත්තය චක්ඛුප්පසාදාදියෙහි රූපාදී වූ අරමුණු වැදීමෙන් සැලී යන්නේ ය. එයට භවාඞ්ඝචලනැ යි කියනු ලැබේ. ඇස් හමුවට ආ රූ සටහන චක්ඛුප්පසාදරූපය ගටයි. ඒ ගැටීම් නිසා චක්ඛුප්පසාදය ඇසුරු කොට පවත්නා මහාභූතරූපයන්ගේ සැලීමෙන් පිළිවෙළින් ඒ හා එක් ව පවත්නා අනෙක් රූපයන්ගේ ද සැලීම වේ. මේ භවාඞ්ග චලනය වන සැටියි. භවාඞ්ගචිත්තය මෙසේ සැලී ගිය කල්හි ‘මේ කිමැ’ යි විමසන්නකු සේ අරමුණු ගැන සොයන බලන සිත ආවජ්ජනා නමින් ඉදිරියට එයි. එයට පසු ඒ හා ම අරමුණු දකින සිත දස්සන නාමයෙන්, අනතුරු ව අරමුණු පිළිගන්නා සිත සම්පටිච්ඡන නාමයෙන්, අනතුරු ව අරමුණු තීරණය කරණ සිත, සන්තීරණ නාමයෙන්, අනතුරු ව අරමුණු ස්ථිර කරණ සිත, වොත්‍ථපන නාමයෙන් ක්‍රමයෙන් ඉපැදී නැසී යත්. මින් පසු උපායමනස්කාරාදීවශයෙන් ලබන ලද ප්‍රත්‍යය ඇති ජවනචිත්තය අරමුණු රස විඳීම් වශයෙන් සත් වරක් අරමුණෙහි දුවයි. ඉන් පසු තදාරම්මණ නමින් සිත් දෙකක් උපදී. මේ සියල්ලට පසු නැවැත සිත මුලින් කී ප්‍රකෘතිඅවස්ථාවට වැටේ. භවාඞ්ගග වේ. මේ තමාගේ පරම්පරාව රැස් කරණ සැටි යි.

‘විචිත්තාරම්මණං = චිත්තං’ විසිතුරු වූ නන් වැදෑරුම් වූ අරමුණු ඇත්තේනුයි සිත නම්. ‘විචිත්තං අනෙකප්පකාරං විසදිසං වා ආරම්මණං යස්සා ති විචිත්තාරම්මණං, සබ්බචිත්තං’ විසිතුරු වූ නන් වැදෑරුම් වූ හෝ සම වූ හෝ රූපාදී වූ අරමුණු ඇත්තේ සිත නම් වේ යනු එහි තේරුම ය. මෙයින් සියලු සිත් ගැණේ.

‘ආරම්මණවිජානනලක්ඛණං චිත්තං’ සිත ලක්‍ෂණ විසින් අරමුණු දැනගැණීම ලකුණු කොට සිටියේ ය.

‘පුබ්බඞ්ගමරසං’ වේදනාදිචෛතසිකධර්‍මයන්ට පෙරටු ව යන බව කෘත්‍යය කොට සිටියේ ය.

‘සන්‍ධානපච්චුපට්ඨානං’ චක්ඛු, සෝත, ඝාණ, ජිව්ශා, කාය, මන යන දොරටු සයෙන් දතයුතු වූ සියලු අරමුණු සිතින් ම දන්නේ ය. පසු පසු උපදින සිත පළමු පළමු උපන් සිත හා අතර නො තබා ගැළපීම, අනන්තරප්‍රත්‍යයවශයෙන් ගැළපීම වැටහෙන අයුර මෙහි පච්චුපට්ඨානය වේ.

‘නාමරූපපදට්ඨානං’ සිත නාම රූප දෙක ආසන්නකාරණය කොට සිටියේ ය. පංචවොකාරභවයෙහිදී නාම රූප දෙක ම සිතට ආසන්නකාරණය වේ. චතුවොකාරභවයේ දී නාමය පමණක් ම ආසන්නකාරණය වේය යි දත යුතුය.

මෙහි මුලින් දැක් වූ ආරම්මණවිජානනලක්ඛණය සාමාන්‍ය ලක්‍ෂණ, ස්වභාවලක්‍ෂණ විසින් දෙ පරිදි ය. එහි පරමාර්‍ත්‍ථධර්‍ම විෂයයෙහි සාධාරණභාවයෙන් පවත්නා උත්පාද, ස්ථිති, භඞ්ග යන අවස්ථාවන්ගෙන් හා අනිත්‍ය, දුඃඛ, අනාත්ම යන ලක්‍ෂණත්‍රයයෙන් යුක්ත ව පැවැත්ම සාමාන්‍යලක්‍ෂණ නම් වේ. පරමාර්‍ත්‍ථ ධර්‍මවිෂයයෙහි පවත්නා ක්‍රියාමාත්‍රය ස්වභාවලක්‍ෂණ නම් වේ.

කෘත්‍ය යි කියු රසය, කෘත්‍යරස, සම්පත්තිරස යි දෙ පරිදි ය. එහි ඒ ඒ ධර්‍මයන් විසින් කරණ කෘත්‍යය කෘත්‍යරස නම් වේ. ඒ ඒ ධර්‍මයන් පිළිබඳ සම්පූර්‍ණභාවය සම්පත්තිරස නම් වේ.

පච්චුපට්ඨානය, ඵලපච්චුපට්ඨාන, උපට්ඨානපච්චුපට්ඨාන යි දෙ පරිදි ය. ‘මේ ධර්‍මය විසින් මෙ නම් ඵලයක් උපදවනු ලබා’ යි දැනුම ඵලපච්චුපට්ඨාන නම් වේ. ‘මේ ධර්‍මය මෙ වැනි පිළිබිඹුවකැ’ යි දැනුම උපට්ඨානපච්චුපට්ඨාන නම් වේ.

මෙසේ සිටි මේ සිත කාමාවචරභූමි, රූපාවචරභූමි, අරූපාවචරභූමි, ලෝකෝත්තරභූමි යි භූමිභේදයෙන් සිවු වැදෑරුම් ය. මෙයින් කාමාවචරභූමියෙහි ලෝභය මුල් කර ගත් (ලොභමූලික) සිත් අටෙක් ලැබේ. මෙන්න ඒ අට:-

  1. සොමනස්සසහගතදිට්ඨිගතසම්පයුත්තඅසඞ්ඛාරිකචිත්තය.
  2. සොමනස්සසහගතදිට්ඨිගතසම්පයුත්තසසඞ්ඛාරිකචිත්තය.
  3. සොමනස්සසහගතදිට්ඨිගතවිප්පයුත්තඅසඞ්ඛාරිකචිත්තය.
  4. සොමනස්සසහගතදිට්ඨිගතවිප්පයුත්තසසඞ්ඛාරිකචිත්තය.
  5. උපෙක්ඛාසහගතදිට්ඨිගතසම්පයුත්තඅසඞ්ඛාරිකචිත්තය.
  6. උපෙක්ඛාසහගතදිට්ඨිගතසම්පයුත්තසසඞ්ඛාරිකචිත්තය.
  7. උපෙක්ඛාසහගතදිට්ඨිගතවිප්පයුත්තඅසඞ්ඛාරිකචිත්තය.
  8. උපෙක්ඛාසහගතදිට්ඨිගතවිප්පයුත්තසසඞ්ඛාරිකචිත්තය.

මෙහි 1 - 2 - 3 - 4 යන අඞ්කවලින් දැක්වෙන සිත් සතර සුඛ වේදනාවෙන් යුක්තබව ‘සෝමනස්ස’ යන්නෙන් ද, ඒ මානසික සුඛ වේදනාව හා එකුප්පාද, එකනිරෝධ, එකාරම්මණ, එකවත්‍ථුක යන සිවු අයුරකින් යෙදීම ‘සහගත’ ශබ්දයෙන් ද කියයි. දිට්ඨිගත ශබ්දයෙන් කීයේ. මේ සිත් මිසදිටු හා පෙර පසු නො වී එකුප්පාදාදීන් හා යෙදීම ය. අඞ්ඛාරිකයන්නෙන් පූර්‍වප්‍රයෝග රහිතබව කියන ලද්දේ ය. ඒ ඒ පූර්‍වප්‍රයෝගය තෙමේ තියුණු බවැ යි කියන සැරසීම් වෙසෙසින් සිත සරසන්නේ ය. එහෙයිනි ‘සංඛාර, නම්. ‘සඞ්ඛාරොති චිත්තං තික්ඛභාවසංඛාතෙන මණ්ඩනවිසෙසෙන සජ්ජතීති = සඞ්ඛාරො’ යනු එහි අරුත් පැවසීම ය. තව ද ඒ ඒ කටයුතුවලදී පසු බස්නාහට අනුබල දීම් වශයෙන් තමා කෙරෙහි පැවති පූර්‍වප්‍රයෝගය සංඛාර නම්. ඒ මේ සැරසීම, අනුබලදීම යම් සිතෙක නො වූයේ ද, ඒ සිත අසඞ්ඛාරික නම් වේ. යම් සිතෙක ඒ වූයේ නම් ඒ සසඞ්ඛාරික වේ.

1 - 2 අඞ්කවලින් කියන සිත් දෙක, මිසදිටුවෙන් යුක්ත ය. 3 - 4 අඞ්කවලින් කියන දෙ සිත, මිසදිටුව හා නො යෙදුනේ ය. ඒ බව විප්පයුත්තශබ්දයෙන් කියන ලද්දේ ය. 1 - 3 අඞ්කවලින් කියන දෙ සිත, පුර්‍වප්‍රයෝගසඞ්ඛ්‍යාත වූ සැරසීමෙන් නො යෙදුනේ ය. 2 - 4 අඞ්කවලින් කියන දෙ සිත, පූර්‍වප්‍රයෝගය හා හැනී සිටියේ ය.

5 - 6 - 7 - 8 යන අඞ්කවලින් දැක්වෙන සිත් සතර, උපේක්‍ෂාවෙන් යුක්තබව ඒ හා යෙදී සිටි උපෙක්ඛා යන්නෙන් කියයි. උපෙක්ඛා නම් මධ්‍යස්ථානුභවනලක්‍ෂණ වූ වේදනාව ය. සුඛ දුක්ඛ වේදනාවන්ට නො බැස ඒ වේදනා දෙක මැද සිටි වේදනාව ය.

ඒ සිත් සතරෙහි ද 5 - 6 අඞ්කයන්ගෙන් දැක්වෙන දෙ සිත මිසදිටුවෙන් යුක්ත ය. අනික් දෙ සිත, මිසදිටුව හා නො හැනී සිටියේ ය. 5 - 7 අඞ්කයන්ගෙන් දැක්වෙන දෙ සිත, පූර්‍වප්‍රයෝග සහිත ය. අනික් දෙ සිත, පූර්‍වප්‍රයෝගරහිත ය.

දැන් මෙසේ දත යුතුය:- මෙහි පළමු සිත, සොම්නස් සහගිය මිසදිටුවෙන් යුත් තමන් කෙරෙහි හෝ මෙරමා කෙරෙහි පැවැති පූර්‍වප්‍රයෝගයෙන් උත්සාහයෙන් තොර ව උපදනේ ය.

දෙවන සිත, සොම්නස් සහගියේ මිසදිටුවෙන් යුක්ත වූයේ පූර්‍වප්‍රයෝගයෙන් වෙන් වූයේ ය.

තෙවන සිත, සොම්නස් සහගියේ මිසදිටුව හා නො හැනී සිටියේ ය. පූර්‍වප්‍රයෝගරහිත වේ.

සිවුවන සිත, සොම්නස් සහගියේ මිසදිටුව හා නො හැනී සිටියේ පූර්‍වප්‍රයෝගසහිත වේ.

පස්වන සිත, මැදහත් වේදනාවෙන් හා මිසදිටුවෙන් යුක්තවූයේ පූර්‍වප්‍රයෝගරහිත ව සිටියේ ය.

සවන සිත, මැදහත් වේදනාවෙන් හා මිසදිටුවෙන් යුක්ත ව පූර්‍වප්‍රයෝගසහිත ව සිටියේ ය.

සත්වන සිත, මැදහත් වේදනාවෙන් යුක්ත ය. මිසදිටුවෙන් වියුක්ත ය. පූර්‍වප්‍රයෝගරහිත ය.

අටවන සිත, මැදහත් වේදනාවෙන් යුක්ත ව මිසදිටුවෙන් වෙන් ව අනුබල ලබා සිටියේ ය.

සෝමනස්සසහගතපටිසන්‍ධිචිත්තයකින් පිළිසිඳ ගැණීම, ඉටු අරමුණ, නො ගැඹුරු නුවණ යන මේ ය සොම්නස් වේදනාවට කරුණු. උපෙක්ඛාසහගතපටිසන්‍ධිචිත්තයකින් පිළිසිඳ ගැණීම, මැදහත් විසින් ඉටුඅරමුණක් ලැබීම, ගැඹුරු නුවණ යන මේ ය මැදහත් වේදනාවට කරුණු. ශාස්වතොච්ඡෙදදෘෂ්ටියෙහි අඞ්ග සය හා මිසදිටු ගත්තවුන් සේවනය කිරීම, මිසදිටුවට කරුණු ය. මෙ දෙකින් වෙන්වීම, මිසදිටුවෙන් වෙන්වීමට කරුණු ය. සුදුසු කාල ය, සුදුසු නවාතැන ය, සුදුසු ආහාර ය, සුදුසු වස්ත්‍රාදි ය, සුදුසු මිත්‍ර ය, යන මොවුන් ලැබීම්, අසංඛාරිකභාවයට කරුණු ය. මෙයින් යමක් අඩුව ගිය කල්හි ලැබෙනුයේ සසංඛාරිකභාවය යි.

කාමසේවනයෙහි වරදෙක් නැතැ යි මිසදිටු පෙරටු කොට. තුටුපහටු වූයේ, අනෙකකු විසින් උත්සාහවත් නො කළ, ස්වභාවයෙන් තීක්‍ෂණ වූ සිතින් ම පස්කම් සේවනය කෙරේද, දිට්ඨමංගලාදිය හෝ සාර වශයෙන් පිළිගනී ද, එකල පළමු අකුසල් සිත උපදනේ ය.

අනෙකකු විසින් උත්සාහවත් කරණ ලද සිතින් පංචකාම සෙවනාදිය කෙරේද, එ කල්හි දෙවන අකුසල් සිත උපදනේ ය.

මිසදිටු ව පෙරදැරි නො කොට හුදෙක් තුටුපහටු වූයේ, ස්වභාව තීක්‍ෂණ වූ අනුත්සාහිතචිත්තයෙන් මෙවුන්දම් සේවනය කෙරේ ද, අනුන් පිළිබඳ සැපතෙහි බලවත් ලොහය කෙරේ ද, අනුන් අයත් බඩු පැහැර ගනී ද, එකල තෙවන අකුසල් සිත උපදනේ ය.

මඳක් උත්සාහවත් වූ සිතින් මෙවුන්දම් සේවනය කෙරේ ද අනුන් අයත් සැපතෙහි දැඩි ලෝභය කෙරේ ද, අනුන් අයත් බඩු, පැහැර ගණී ද, එකල සිවුවන අකුසල් සිත උපදනේ ය.

කාමමිත්‍ථ්‍යාචාරාදී වූ පව්කමක් කරන්නේ මැදහත් බවෙන් යුක්ත ව කෙරේ ද, මිසදිටු ගත්තේ ද, ලා හෙළා කෙරේ ද, එකල පස්වන අකුසල්සිත උපදන්නේ ය.

මැදහත්බවෙන් යුතු ව මිසදිටු ගෙණ තමා විසින් හෝ මෙරමා විසින් මෙහෙය වන ලදු ව කාමමිත්‍ථ්‍යාචාරාදී වූ පව්කම් කරන්නේ ද, එකල සවන අකුසල්සිත උපදනේ ය.

මැදහත්බවෙන් යුතු ව මිසදිටු නො ගෙණ උත්සාහිත ව කාම මිත්‍ථ්‍යාචාරාදී වූ පව්කම් කරන්නේ ද, එකල සත්වන අකුසල් සිත උපදනේ ය.

මැදහත්බවෙන් යුතු ව මිසදිටුවෙන් වෙන් ව අනුන්ගේ මෙහෙයීමෙන් හෝ තෙමේ පසු බැස අනුත්සාහිත ව පව්කම් කරන්නේ ද, එකල අටවන අකුසල් සිත උපදනේ ය.

සතුන්මැරීම, රළුබස්බිණීම, ව්‍යාපාදය යන ත්‍රිවිධඅකුශල කර්‍මපථයන් හැර ඉතිරි වූ සප්තවිධඅකුශලකර්‍මපථයන් අතුරෙන් එක් එක් අකුශලකර්‍මපථයෙහි අට අට බැගින් සිත් ස පණස්සෙක් වේ. ඒ ස පණස ස වැදෑරුම් රූපාදිආරම්මණයන්ගේ වශයෙන් ගිණු කල්හි තුන්සිය සතිසෙක් වේ. නැවැත ඡන්ද, විරිය, චිත යන ත්‍රිවිධ අධිපතීගේ වශයෙන් ගිණු කල්හි එක් දහස් අටෙක් වේ. කායකර්‍ම, වාක්කර්‍ම, මනඃකර්‍ම යන කර්‍මත්‍රිකයාගේ වශයෙන් ගිණූ කල්හි තුන්දාස් සූවිස්සෙක් වේ. මේ ක්‍රමයෙන් කාලදේශාදීන්ගේ වශයෙන් ද ගිණූ කල්හි මෙහි ප්‍රමාණයක් නො කියැකි ය.

කාමාවචර භූමියෙහි ද්වේෂය මුල් කරගත් (දෝසමූලික) සිත් දෙකෙකි. මෙන්න ඒ දෙක:-

  1. දොමනස්සසහගතපටිඝසම්පයුත්තඅසඞ්ඛාරිකචිත්තය.
  2. දොමනස්සසහගතපටිඝසම්පයුත්තසසඞ්ඛාරිකචිත්තය.

මෙහි පෙණෙන දෝමනස්ස යන්නෙන් මානසිකදුක්ඛ වේදනා ව කියැ වේ. පටිඝ යන්නෙන් ද්වේෂය කියැ වේ. අරමුණෙහි හැපෙන ගැටෙන බැවින් ද්වේෂය පටිඝ නම, ‘පටිහඤ්ඤතී ති = පටිඝො’ යනු නිරුක්ති යි. සෙස්ස පෙර කියූ සේ ය.

මෙහි පළමු සිත, මානසිකදුක්ඛවේදනාවෙන් හා ප්‍රතිඝයෙන් යුක්ත වුයේ, පූර්‍වප්‍රයෝගරහිත වේ.

දෙවන සිත, මානසිකදුක්ඛවේදනාවෙන් හා ප්‍රතිඝයෙන් යුක්ත වූයේ, පූර්‍වප්‍රයෝගසහිත වේ.

තමන් නො කැමැති අරමුණු ලැබීම, නව ආඝාතවස්තූන් අතුරෙන් යම්කිසි වස්තුවක් හා ගැටීම, දොම්නසට හා පටිඝයට. කරුණු ය.

ප්‍රාණඝාතාදී වූ පාපයක් කරණ විට දොම්නසින් හා පටිඝයෙන් යුක්ත ව තමන්ගේ හෝ අනුන්ගේ මෙහෙයීමකුත් නැති ව කෙරේ ද, එකල දෝසමූලිකප්‍රථමචිත්තය උපදී. ප්‍රාණඝාතාදී වූ පාපයක් දොම්නසින් හා පටිඝයෙන් යුක්ත ව අනුන්ගේ මෙහෙයීමෙන් හෝ තමන්ගේ පසු බැසීමෙන් හෝ කරණ කල්හි ද්වේෂය මුල් කර ගත් දෙවන සිත උපදී.

මෙහි අකුශලකර්‍මපථ, අධිපති, කාල, දෙස, ආරම්මණ, ආදි භේදයන්ගෙන් භේදයට ගියේ, පමණ නො කොට හැකිය භේද විසින් මේ දෙ සිත.

කාමාවචරභූමියෙහි මෝහය මුල්කර ගත් (මෝහමූලික) සිත් දෙකෙකි. මෙන්න ඒ දෙක:-

  1. උපෙක්ඛාසහගතවිචිකිච්ඡාසම්පයුත්තචිත්තය.
  2. උපෙක්ඛාසහගතඋද්ධච්චසම්පයුත්තචිත්තය.

ඒ ඒ ධර්‍මයන් පිළිබඳ යථාතතත්‍වය සෙවීමෙහි දී ඒ සොයන්නහුගේ වෙහෙසීමට කරුණු වූ සැකය ‘විචිකිච්ඡා නම්. යම් ස්වභාවයෙක් තෙමේ මත්තෙහි කම්පිත වේ ද, ඒ ස්වභාවය ‘උද්ධත’ නම් වේ. මෙයින් අරමුණුවල නො සංසුන් වූ සිත හෝ එයින් යුත් පුද්ගලයා ගැණේ. නො සංසුන් වූ සිතේ සැටි මෙයින් දක්වන ලද්දේ ය. සෙස්ස පෙර කියූ සේ ය.

මෙහි පළමු සිත, උපේක්‍ෂාවෙන් හා විචිකිත්සාවෙන් යුක්ත වූයේ, දෙවන සිත, උපේක්‍ෂාවෙන් හා ඖද්ධත්‍යයෙන් යුක්ත ය. මේ දෙ සිතෙහි සංස්කාර භේදයෙක් නැත්තේ ය.

“මුළ්හතාචෙව සංසප්ප වික්ඛෙපාචෙකහෙතුකං,

සොපෙක්ඛං සබ්බදා නො ච භින්නං සඞ්ඛාරභෙදතො,

න හි තස්ස සභාවෙන තික්ඛතුස්සාහනීයතා,

අත්‍ථි සංසප්පමාණස්ස වික්ඛිපන්තස්ස සබ්බදා”

යන මෙයින් එහි හේතු කියන ලද්දේ ය.

අරමුණෙහි මුළාවන බැවින්, අරමුණෙහි සැකය හා අරමුණෙහි වික්‍ෂිප්තභාවය ඇති බැවින්, එක් හේතුවක් ඇති සිත, සියලු අරමුණෙහි උපේක්‍ෂාවේදනාවෙන් යුක්ත වේ. ඒ එකහේතුක සිත් අසඞ්ඛාර සසඞ්ඛාර භේදයෙන් වෙනස් නො වේ. බුද්ධාදී වූ අරමුණෙහි හැපෙන බැවින් හා අරමුණෙහි විසුරුණු බැවින් ද ඒ එකහේතුක වූ සිතට යම් හෙයකින් ස්වභාවයෙන් තියුණු බවක්, උත්සාහ කටයුතු බවක්, කිසිත් අරමුණක නැත්තේ ද එහෙයින් ඒ සිත් සංස්කාර භේදයෙන් වෙනස් නො වේ.

මෙහි පළමු සිත, උපේක්‍ෂාවෙන් හා විචිකිච්ඡාවෙන් යුක්ත වූයේ, දෙවන සිත, උපේක්‍ෂාවෙන් හා උද්ධච්චයෙන් යුක්ත වූයේ ය.

අකුශලකර්‍මපථ, ආරම්මණ, අධිපති, කර්‍ම, කාල, දෙශාදීන්ගේ වශයෙන් මේ දෙ සිතෙහි ද ප්‍රමාණයක් නො දැක්විය හැකි ය.

මෙසේ කාමාවචරභූමියෙහි ලෝභය මුල් කොට ඇති සිත් අටෙක, ද්වේෂය මුල් කොට ඇති සිත් දෙකක, මෝහය මුල් කොට ඇති සිත් දෙකෙකැ’ යි අකුසල් සිත් දොළසෙකි. එය මෙසේ කීහ:-

“අට්ඨධා ලොහමූලානි දොසමූලානි ච ද්විධා,

මොහමූලානි ච ද්වෙති ද්වාදසාකුසලා සියුං” යි.

  1. උපෙක්ඛාසහගතචක්ඛුවිඤ්ඤාණය.
  2. උපෙක්ඛාසහගතසෝතවිඤ්ඤාණය.
  3. උපෙක්ඛාසහගතඝාණවිඤ්ඤාණය.
  4. උපෙක්ඛාසහගතජිව්හාවිඤ්ඤාණය.
  5. උපෙක්ඛාසහගතකායවිඤ්ඤාණය.
  6. උපෙක්ඛාසහගතසම්පටිච්ඡනය.
  7. උපෙක්ඛාසහගතසන්තීරණය.

යන මේ සිත් සත අකුසලවිපාක සිත් ය.

චක්ඛු නම්, ඇසැ යි කියනු ලබන මස් ගඩුව ඇසුරු කොට පවත්නා රූපදැකීමේ ශක්තිය යි. ‘චක්ඛති විඤ්ඤාණාධිට්ඨිතං හුත්‍වා සමවිසමං ආචික්ඛන්තං විය හොතී ති = චක්ඛු’ යම් පසාදරූපයෙක් තෙමේ චක්‍ෂුර්විඥානයට ආධාරස්ථාන වී සමවිසමභාවය කියන්නකු සේ සිටියේ ද, ඒ පසාදරූපය චක්ඛු නම්. තවත් තේරුමක් මෙසේ ය:- ‘අථ වා චක්ඛති රූපං අස්සාදෙන්තං විය හොතී ති = චක්ඛු’ යම් පසාදරූපයෙක් තෙමේ වර්‍ණායතනය (රූපය) රස බලන්නකු සේ සිටියේ ද ඒ චක්ඛු නම්. මෙහි චක්ඛති යන ක්‍රියාරූපය ‘මධුං චක්ඛති, ව්‍යඤ්ජනං චක්ඛති’ යනාදි තන්හි සේ රස විඳ ගැණීම අර්‍ත්‍ථ කොට ඇත්තේ ය. ඒ බව ‘චක්ඛු ඛො පන මාගන්‍දිය රූපාරාමං රූපරතං රූපසම්මුදිතං’ යනාදී දේශනාවන්ගෙන් භාග්‍යවතුන් වහන්සේ ද දක්වා වදාළ සේක. චක්ඛුප්පසාදය රූපාලම්බනය ම ඇලෙන තැන් කොට සිටියේ ය. රූපාලම්බනයෙහි ඇලුනේ ය. රූපාලම්බනයෙහි හටගන්නේ ය යනු, එහි කෙටි තේරුම ය.

මේ මෙසේ නම් සෝතප්පසාදාදීන්ට ද ශබ්දාලම්බනාදීන්ගේ රසවිඳගැණීම ඇති බැවින් ඒ සෝතප්පසාදාදිය ද චක්ඛු ශබ්දයෙන් වාච්‍ය විය යුතු ය. රූඪි බැවින් එසේ නො වේ. චක්ඛු යනු නගන ලද්දේ දකිනුකැමැතිබව කාමතෘෂ්‍ණාව කරුණු කොට ඇති කර්‍මයෙන් හටගත් මහාභූතරූපයන්ගේ පසාදය ලකුණුකොට සිටි චක්ඛුප්පසාදයෙහි ම ය. මයූරයන් ම පොළොවෙහි ශබ්ද කරන්නන් නො වෙතත් මයුරශබ්දය මයුරපක්‍ෂියා කෙරෙහි නගන ලද්දේ ය. තබන ලද්දේ ය. එ මෙන් චක්ඛුශබ්දය චක්ඛුප්පසාදයෙහි ම නගන ලද ය. චක්ඛුප්පසාදරූපය හා සමග හටගන්නා බැවින් බැමඅටින් පිරිසිඳිනාලද මස්ගඩුව ද චක්ඛු යි කියනු ලැබේ. ‘චක්ඛති රූපං විභාවෙතී ති = චක්ඛු’ රූපය දැන ගන්නේ චක්ඛු නම්. මේ පසාදරූපය යි.

නීලපීතාදී වූ ඒ ඒ අරමුණු අනිත්‍යාදී වූ නොයෙක් අයුරින් දන්නේ විඤ්ඤාණ නම්. ‘ආරම්මණං විජානාතී ති = විඤ්ඤාණං’ යනු නිරුක්ති යි. සිත, අරමුණුවිශේෂයන් දැන ගනී ද එහෙයින් විඤ්ඤාණ යි කියනු ලැබේ. ‘විජානාතීති ඛො ආවුසො! තස්මා විඤ්ඤාණන්ති වුච්චති’ යනු සාධක ය. විඤ්ඤාණය ගම්වැසි පුරුෂයකුගේ කහවණුවක් දැක එහි සැටි තේරුම් ගැණීම මෙන් ඒ ඒ අරමුණු ලැබුනු කල්හි එහි වූ නීලපීතාදී වූ පැහසටහන් දැන ගණියි. ලක්‍ෂණප්‍රතිවේධයට පමුණුවයි. ‘විඤ්ඤාණං පන ගාමිකපුරිසස්ස කහාපණදස්සනමිව නීලං පීතන්ති ආරම්මණඤ්ච ජානාති ලක්ඛණපටිවෙධඤ්ච පාපෙති’ යනු ආචාර්‍ය්‍ය වචන යි.

මේ චක්ඛුශබ්දයෙන් චක්ඛුප්පසාදයත් විඤ්ඤාණශබ්දයෙන් සිතත් කියනු ලැබේ. එහෙයින් උපේක්‍ෂාවේදනාව හා එකොත්පාදාදිභාවයට ගිය චක්ඛුප්පසාදය ඇසුරු කොට පවත්නා සිතැ යි මෙහි අරුත් ගත යුතුය. ‘චක්ඛුස්මිං නිස්සිතං විඤ්ඤාණං චක්ඛු විඤ්ඤාණං’ යනු එය පැහැදිලි කරයි. නුගරුක අරක් ගත් දෙවතාවා නිග්‍රොධ දෙවතා’ යි කියනු ලබන්නා සේ චක්ඛුප්පසාදය ඇසුරු කොට පවත්නා සිත වක්ඛු විඤ්ඤාණ යි කියනු ලැබේ. චක්ඛුවිඤ්ඤාණය තෙමේ චක්ඛුප්පසාදය ඇසුරු කොට රූපාලම්බනය දැන ගැණීම ලකුණු කොට ඇත්තේ ය. රූපාලම්බන මාත්‍රයක් ම අරමුණුකිරීම කෘත්‍යය කොට ඇත්තේ ය. රූපාලම්බනයෙහි ම අභිමුඛවීම වැටහීම කොට ඇත්තේ ය. රූපය අරමුණු කොට ඇති ක්‍රියාමනෝධාතුආවර්‍ජනචිත්තයෙහි පහවීම ආසන්නකාරණය කොට ඇත්තේ ය.

සෝත යන්නෙන් සෝතප්පසාදරූපය ගැණේ. ‘සද්දං සුණාති විඤ්ඤාණාධිට්ඨිතං හුත්‍වාති = සොතං’ යම් පසාද රූපයෙක් තෙමේ විඤ්ඤාණයට ආධාර ව ශබ්දශ්‍රවණය කෙරේ ද, ඒ ය සෝත. විඤ්ඤාණය පෙර කියූ සේ ය. සෝතශබ්දයෙන් සෝතප්පසාද රූපයත් විඤ්ඤාණ ශබ්දයෙන් සිතත් කියනු ලැබේ. එහෙයින් උපේක්‍ෂාවේදනා ව හා එකොත්පාදාදිභාවයට ගිය සෝතප්පසාදය ඇසුරු කොට පවත්නා සිතැ’ යි අරුත් ගත යුතු ය. ‘සොතස්මිං නිස්සිතං විඤ්ඤාණං = සොතවිඤ්ඤාණං’ යනු එය පැහැදිලි කරයි. සෝතවිඤ්ඤාණය තෙමේ සෝතප්පසාදය ඇසුරු කොට ශබ්දාලම්බනය දැන ගැණීම ලකුණු කොට ඇත්තේ ය. ශබ්දාලම්බන මාත්‍රයක් ම අරමුණුකිරීම කෘත්‍යය කොට ඇත්තේ ය. ශබ්දාලම්බනයෙහි ම අභිමුඛවීම වැටහීම කොට ඇත්තේ ය. ශබ්දාලම්බනය අරමුණු කොට ඇති ක්‍රියා මනෝධාතුපංචද්වාවර්‍ජනචිත්තයෙහි පහවීම ආසන්නකාරණය කොට ඇත්තේ ය.

ඝාණ යන්නෙන් ඝාණප්පසාදරූපය ගැණේ. ‘ඝායති ගන්‍ධො පාදානං කරොතීති ඝාණං’ යම් පසාදරූපයෙක් තෙමේ විඤ්ඤාණයට ආධාර ව ගන්‍ධාරම්මණය ලං කොට ගණී ද, ඒ ය ඝාණවිඤ්ඤාණ ය. පෙර කියූ සේ ය. ඝාණශබ්දයෙන් ඝාණප්පසාදරූපයත් විඤ්ඤාණශබ්දයෙන් සිතත් කියනු ලැබේ. එහෙයින් උපේක්‍ෂාවේදනාව හා එකොත්පාදාදිභාවයට ගිය ඝාණප්පසාදය ඇසුරු කොට පවත්නා සිතැ’ යි අරුත් ගත යුතු ය. ‘ඝාණස්මිං නිස්සිතං විඤ්ඤාණං = ඝාණ විඤ්ඤාණං’ යනු එය පැහැදිලි කරයි. ඝාණවිඤ්ඤාණය තෙමේ ඝාණප්පසාදය ඇසුරු කොට ගන්‍ධාලම්බනය දැන ගැණීම ලකුණු කොට ඇත්තේ ය. ගන්‍ධාලම්බමාත්‍රයක් ම අරමුණුකිරීම කෘත්‍යය කොට ඇත්තේ ය. ගන්‍ධාලම්බනයෙහි ම අභිමුඛවීම වැටහීම කොට ඇත්තේ ය. ගන්‍ධාලම්බනය අරමුණු කොට ඇති ක්‍රියාමනෝධාතුආවර්‍ජනචිත්තයෙහි පහවීම ආසන්නකාරණය කොට ඇත්තේ ය.

ජිව්හා යන්නෙන් ජිව්හාපසාදරූපය ගැණේ. ‘ජීවිත නිමිත්තං රසො ජීවිතං, තං අවහයති තස්මිං නින්නතායා ති = ජිවහා’ ජීවිතයාගේ පැවැත්මට නිමිත්ත වන බැවින් රසාරම්මණය ජීවිත නම්. යම් පසාදරූපයෙක් තෙමේ ඒ රසාරම්මණයෙහි නැමී පවත්නා බැවින් රසාරම්මණය වෙතට කැඳවා ද, ඒ පසාදරූපය ජිව්හා නම්. විඤ්ඤාණය පෙර කියූ සේ ය. ජිව්හාශබ්දයෙන් ජිව්හා පසාදරූපයත් විඤ්ඤාණශබ්දයෙන් සිතත් කියනු ලැබේ. එහෙයින් උපේක්‍ෂාවේදනා ව හා එකොත්පාදාදි භාවයට ගිය ජිව්හාප්පසාදය ඇසුරු කොට පවත්නා සිතැයි අරුත් ගත යුතු ය. ‘ජිව්හාය නිස්සිතං විඤ්ඤාණං = ජිව්හාවිඤ්ඤාණං’ යනු එය පැහැදිලි කරයි. ජිව්හාවිඤ්ඤාණය තෙමේ ජිව්හාපසාදය ඇසුරු කොට රසාලම්බනය දැන ගැණීම ලකුණු කොට ඇත්තේ ය. රසාලම්බනමාත්‍රයක් ම අරමුණු කිරීම කෘත්‍යය කොට ඇත්තේ ය. රසාලම්බනයෙහි ම අභිමුඛවීම වැටහීම කොට සිටියේ ය. රසාලම්බනය අරමුණු කොට ඇති ක්‍රියාමනෝධාතුආවර්‍ජන චිත්තයෙහි පහවීම් ආසන්නකාරණය කොට ඇත්තේ ය.

දුක්ඛ යන්නෙන් දුක්ඛවේදනා ව කියනු ලැබේ. යම් වේදනාවක් කායිකසුඛය නින්‍දිත කොට නින්‍දිත ව කරන්නී ද විනාශ කරන්නී ද ඒ සුඛවේදනා ව කණින නසන වේදනා ව දුක්ඛ යන්නෙන් කියන ලද්දී ය. ‘දුක්ඛමන්ති වා = දුක්ඛං’ යම් වේදනාවක් ඉවසීමට නො හැකි ද, ඒ දුක්ඛ නම්. කාය ශබ්දයෙන් කායප්පසාදය කියනු ලැබේ. ද්වාදස අකුසලචිත්තයන්ගේ පැවැත්මට ස්ථාන වන බැවිනි. ‘ආයන්ති පවත්තන්ති එත්‍ථාති - ආයො, ‘කුච්ඡිතානං ආයොති = කායො’ යනු අරුත් පැහැදිලි කිරීම ය. ‘කුච්ඡිතානං කෙසාදීනං ආයොති = කායො’ යන අර්‍ත්‍ථය සමර්‍ත්‍ථනයෙන් සසම්භාරය ගැණේ. මෙහි කාය ශබ්දයෙන් කායප්පසාදරූපයත් විඤ්ඤාණශබ්දයෙන් සිතත් කියනු ලැබේ. එහෙයින් දුක්ඛවේදනා ව හා එකොත්පාදාදිභාවයට ගිය කායප්පසාදය ඇසුරු කොට පවත්නා සිතැ’ යි අරුත් ගත යුතු ය. ‘කායස්මිං නිස්සිතං විඤ්ඤාණං = කායවිඤ්ඤාණං’ යනු එය පැහැදිලි කරයි. කායවිඤ්ඤාණය තෙමේ කායප්පසාදය ඇසුරු කොට ඵොට්ඨබ්බාරම්මය දැන ගැණිම ලකුණු කොට ඇත්තේ ය. ඵොට්ඨබ්බාරම්මණමාත්‍රයක් ම අරමුණුකිරීම කෘත්‍යය කොට ඇත්තේ ය. ඵොට්ඨබ්බාරම්මණයෙහි අභිමුඛවීම වැටහීම කොට ඇත්තේ ය. ඵොට්ඨබ්බාරම්මණය අරමුණු කොට ඇති ක්‍රියා මනෝධාතුආවර්‍ජනචිත්තයෙහි පහවීම ආසන්නකාරණය කොට ඇත්තේය.

සම්පටිච්ඡන යන්නෙන් රූපාදී වූ අරමුණු පිළිගන්නා සැටියෙන් පවත්නා සිත කියැ වේ. ‘පංචවිඤ්ඤාණගහිතං රූපාදි ආරම්මණං සම්පටිච්ඡති තදාකාරප්පවත්තියාති = සම්පටිච්ඡනං’ යනු එයරුත් ගන්වන්නේ ය. චක්ඛුවිඤ්ඤාණ, සෝතවිඤ්ඤාණ, ඝාණවිඤ්ඤාණ, ජිව්හාවිඤ්ඤාණ, කායවිඤ්ඤාණ යන පංචවිඤ්ඤාණයෙන් ගත් රූපාදී වූ අරමුණු ඒ අයුරෙන් පිළිගන්නේ සම්පටිච්ඡන නම් වේ. එහෙයින් උපේක්‍ෂාවේදනාවෙන් යුත් රූපාදීන් පිළිගන්නා සිතැ’ යි අරුත් ගත යුතු ය.

සන්තීරණ යන්නෙන් පිළිගත් ඒ අරමුණු විමසන ලෙසින් පවත්නා සිත කියැ වේ. මෙන්න අර්‍ත්‍ථසමර්‍ත්‍ථනය:- ‘සම්මා තීරෙති යථා සම්පටිච්ඡිතං රූපාදිආරම්මණං වීමංසතීති = සන්තීරණං’ යනු. සම්පටිච්ඡන‍චිත්තයෙන් පිළිගත් රූපාදී වූ අරමුණු මොනවට විමසන සිත සන්තීරණ නම්. එහෙයින් උපේක්‍ෂාවේදනායෙන් යුත් අරමුණු විමසන්නා වූ සිතැ’ යි අරුත් ගතයුතු ය.

මේ සිත් සත, අකුශලවිපාකඅහේතුක ය. කුශලයන්ට ප්‍රතිපක්‍ෂ බැවින් අකුශල නම් වේ. එකිනෙකට විරුද්ධ වූ කුශලයන්ගේ විපාක බැවින් විපාක නම් වේ. විපාක නම් පැසීම ය. එකල කුශලාකුශලයන්ගේ පැසීම විපාක නමැ යි ගතයුතු ය.

කුශලාකුශලචිත්තයන්ගේ ස්ථිර පැවැත්මට අකුශලපාක්‍ෂික ලෝභ, දෝස, මෝහ යි හේතු තුනක් හා කුශලපාක්‍ෂික අලෝභ, අදෝස, අමෝහ යි හේතු තුනක් හා හේතු සයෙක් වේ. මේ හේතූන් අතුරෙන් එක් හේතුවක් වත් යම් සිතෙක නො යෙදුන් නම්, ඒ සිත අහේතුක නම් වේ. මේ අකුශල, විපාක, අහේතුක යන වචනතුනෙහි ඉතා ම කෙටි තේරුම් ය.

චක්ඛුවිඤ්ඤාණයාගේ ඉපදීමෙහි හේතු සතර මෙසේ දන්නේ ය. චක්ඛුප්පසාදය නො පිරිහීම, රූපාරම්මණයක් හමුවීම, ආලෝකයෙන් උපනිශ්ශ්‍රයප්‍රත්‍යය ලැබීම, මනස්කාරසහිතබව යන මේ ය ඒ. මේ කියූ සැටි:-

“අසම්භෙදෙන චක්ඛුස්ස රූපාපාථගමෙන ච,

ආලොකතිස්සයෙනාපි සමනක්කාරහෙතුනා,

පච්චයෙහි පනෙතෙහි සමෙතෙහි චතූහි පි,

ජායතෙ චක්ඛුවිඤ්ඤාණං සම්පයුත්තෙහි තං සහ” යි.

සෝතවිඤ්ඤාණයාගේ ඉපදීමෙහි හේතු සතර මෙසේ දන්නේය. සෝතප්පසාදය නො පිරිහීම, ශබ්දාරම්මණයක් හමුවීම, කන්සිදුරෙහි විවරයෙන් උපනිශ්ශ්‍රය ප්‍රත්‍යය ලැබීම, මනස්කාරසහිතබව යන මේය ඒ, මේ කියූ සැටි:-

“අසම්භෙදෙන, සොතස්ස සද්දාපාථගමෙන ච,

ආකාසනිස්සයෙනාපි සමනක්කාර හේතුනා,

පච්චයෙහි පනෙතෙහි සමතෙහි චතූහි පි,

ජායතෙ සොතවිඤ්ඤාණං සම්පයුත්තෙහි තං සහ” යි.

ඝාණවිඤ්ඤාණයාගේ ඉපදීමෙහි හේතු සතර මෙසේ දන්නේ ය. ඝාණප්පසාදය නො පිරිහීම, ගන්‍ධාරම්මණයක් හමුවීම, නැහැ සිදුරෙන් ඇද ගන්නා වායෝධාතුහුගේ උපනිශ්ශ්‍රයප්‍රත්‍යය ලැබීම මනස්කාරසහිත බව යන මේය ඒ. මේ කියූ සැටි:-

“අසම්භෙදෙන ඝාණස්ස ගන්‍ධාපාථගමෙන ච,

වායොසන්නිස්සයෙනාපි සමනක්කාරහෙතුනා,

පච්චයෙහි පනෙතෙහි සමෙතෙහි චතූහි පි,

ජායතෙ ඝාණවිඤ්ඤාණං සම්පයුත්තෙහි තං සහ” යි.

ජිව්හාවිඤ්ඤාණයාගේ ඉපදීමෙහි හේතු සතර මෙසේ දන්නේ ය. ජිව්හාපසාදය නො පිරිහීම, රසාරම්මණයක් හමුවීම, මුඛගත වූ ආපෝධාතුවගේ උපනිශ්ශ්‍රයප්‍රත්‍යය ලැබීම, මනස්කාරසහිතබව යන මේය ඒ. මේ කියූ සැටි:-

“අසම්භෙදෙන ජිව්හාය රසාපාථගමෙන ච,

ආපොසන්නිස්සයෙනාපි සමනක්කාරහෙතුනා,

පච්චයෙහි පනෙතෙහි සමතෙහි චතූහි පි,

හොති ජිව්හායවිඤ්ඤාණං සම්පයුත්තෙහි තං සහ” යි.

කායවිඤ්ඤාණයාගේ ඉපදීමෙහි හේතු සතර මෙසේ දන්නේ ය. කායප්පසාදය නො පිරිහීම, පඨවී, තේජෝ, වායෝ යන මෙ තුනෙහි පහස ලැබීම, සසම්භාරකයෙහි පඨවීධාතුහුගේ උපනිශ්ශ්‍රයප්‍රත්‍යය ලැබීම, මනස්කාරසහිත බව යන මේ ය ඒ. මේ කියූ සැටි:-

“අසම්භෙදෙන කායස්ස ඵොට්ඨබ්බාපාථසඞ්ගමා,

පඨවීනිස්සයෙනාපි සමනක්කාරහෙතුනා,

පච්චයෙහි පනෙතෙහි සමෙතෙහි චතූහි පි,

ජායතෙ කායවිඤ්ඤාණං සම්පයුත්තෙහි තං සහ” යි.

  1. උපෙක්ඛාසහගතචක්ඛුවිඤ්ඤාණය.
  2. උපෙක්ඛාසහගතසෝතවිඤ්ඤාණය.
  3. උපෙක්ඛාසහගතඝාණවිඤ්ඤාණය.
  4. උපෙක්ඛාසහගතජිව්හාවිඤ්ඤාණය.
  5. සුඛසහගතකායවිඤ්ඤාණය.
  6. උපෙක්ඛාසහගතසම්පටිච්ඡනය.
  7. සොමනස්සසහගතසන්තීරණය.
  8. උපෙක්ඛාසහගතසන්තීරණය.

යන මේ සිත් අට, කුශලවිපාකඅහේතුක සිත් ය.

මෙහි උපෙක්ඛාසහගතචක්ඛුවිඤ්ඤාණාදීන්ගේ අරුත් පෙර කියූ සේ දන්නේ ය. සුඛ යන්නෙන් සුඛවේදනාව කියැ වේ. යම් වේදනාවක් සිත කය සුවපත් කරවා ද, නොහොත් සිත කය දෙක්හි ගිලන්බව මොනවට නසන්නී ද, නොහොත් යම් වේදනාවක් සුවසේ ඉවසිය යුතු ද, ඒය සුඛවේදනා. ‘සුඛයති කායවිත්තං, සුටඨු වා ඛනති කායචිත්තාබාධං, සුඛෙන ඛමිතබ්බන්ති වා = සුඛං’ යනු අර්‍ත්‍ථකථා ය. ඒ මේ සුඛවේදනාවෙන් යුත් සිත සුඛසහගත නම් වේ.

චක්ඛුවිඤ්ඤාණාදී වූ කුසලාකුසලවිපාකයෝ වස්තු ආලම්බනයන්ගේ හැපීම දුර්‍වල බැවින් අනිටුඅරමුණෙහි ද ඉටුඅරමුණෙහි ද මැදහත්බවෙන් යුක්ත වූවෝ ම වෙති. (උපේක්‍ෂාසහගත වෙති.) එහි මානසිකසුඛවේදනාවක් හෝ මානසිකදුක්ඛවේදනාවක් හෝ නො ලැබේ. චක්ඛුවිඤ්ඤාණාදී වූ චතුර්විධචිත්තයන්ට නිඃශ්‍රය වස්තු වූ චක්ඛුප්පසාදාදීහු උපාදායරූපයෝ ය. එසේ ම අරමුණු වූ රූපාරම්මණාදීහු ද උපාදායරූපයෝ ය. උපාදායරූපයක් හා උපාදායරූපයක්හුගේ ගැටීම ඉතා සුලු ය. දුර්‍වල ය. එය පුලුන්පිඩක් හා පුලුන්පිඩක්හුගේ ගැටීම හැපීම සේ ය. මෙසේ හෙයින් දුර්‍වල වූ වස්තු ආලම්බනයන්ගේ හැපීමේ දී චක්ඛුවිඤ්ඤාණාදි චිත්තයෝ. උපේක්‍ෂාසහගත ම වෙති. පොත මෙය මෙසේ කියයි:-

“චක්ඛුවිඤ්ඤාණාදීනි පන චත්තාරි උභයවිපාකානිපි ව‍ත්‍ථාරම්මණඝට්ටනාය දුබ්බලභාවතො අනිට්‍ඨෙ ඉට්‍ඨෙ පි ච ආරම්මණෙ උපෙක්ඛාසහගතානෙව, තෙසං හි චතුන්නම්පි වත්‍ථුභූතානි චක්ඛාදීනි උපාදාරූපානෙව, තථා ආරම්මණභූතා නි පි රූපාදීනි උපාදාරූපකෙන ච උපාදාරූපකස්ස සංඝට්ටනං අතිදුබ්බලං පිචුපිණ්ඩකෙන පිචුපිණ්ඩකස්ස ඵුසනං විය, තස්මා තානි සබ්බථා පි උපෙක්ඛාසහගතානෙව” යි.

පඨවි, තේජෝ, වායු යන මේ භූතරූප තුන ඵොට්ඨබ්බාරම්මණය යි. එය කායවිඥානයට අරමුණු වේ. එ හෙයින් එය කායප්පසාදයෙහි හැපෙන විට කායප්පසාදය ඉක්මවා ගොස් කායප්පසාදයාගේ නිඃශ්‍රයස්ථාන වූ මහාභූතරූපයන්හි ද හැපෙයි. භූතරූපයන් හා භූතරූපයන්ගේ හැපීම අතිශය බලවති. කිණිහිරියක් උඩ පුලුන්පොදක් තබා කුළුගෙඩියකින් ගැසූ කල්හි කුළුගෙඩිය පුලුන් පොද ඉක්මවා ගොස් කිණිහිරියෙහි වදින්නා සේ ය. මෙසේ හෙයින් වස්තු ආලම්බනයන්ගේ හැපීම බලවත් බැවින් කායවිඥානය අනිටුඅරමුණෙහි දුක්ඛසහගත ය. ඉටුඅරමුණෙහි සුඛසහගත ය. මෙන්න එය කියූ සැටි:-

“කායවිඤ්ඤාණස්ස පන පොට්ඨබ්බසඞ්ඛාතභූතත්තයමෙව ආරම්මණන්ති තං කායප්පසාදෙ සඞ්ඝට්ටිතම්පි තං අතික්කමිත්‍වා තන්නිස්සයෙසු මහාභූතෙසු පටිහඤ්ඤති, භූතරූපෙහි ච භූතරූපානං සඞ්ඝට්ටනං බලවතරං, අධිකරණීමත්ථකෙ පිචුපිණ්ඩකං ඨපෙත්‍වා කූටෙන පහටකාලෙ කූටස්ස පිචුපිණ්ඩකං අතික්කමිත්වා අධිකරණීගහණං විය, තස්මා වත්‍ථාරම්මණ ඝට්ටනාය බලවභාවතො කායවිඤ්ඤාණං අනිට්‍ඨෙ දුක්ඛසහගතං, ඉට්‍ඨෙ සුඛසහගතන්ති” යි.

සමපටිච්ඡනචිත්තයෝ තමන් හා සමාන නො වූ නිඃශ්‍රය ස්ථාන ඇති චක්‍ෂුර්විඥානාදීන්ට අනතුරුව උපදිත්. එ හෙයින් සමාන වූ නිඃශ්‍රයස්ථාන ඇති සිතකින් නො ලත් අනන්තර ප්‍රත්‍යය ඇති බැවින් සමාන වූ උපත්‍ථම්භකපුරුෂයකු කෙරෙන් වෙන් වූ පුරුෂයකු සේ අතිශය බලවත් නො වූ වෝ ය. ඉටු අරමුණුවල රසය විඳින්නට අසමර්‍ත්‍ථ වෙති. මෙන්න එය කියූ සැටි:-

“සම්පටිච්ඡනයුගලං පන අත්තනා අසමානනිස්සයානං චක්ඛුවිඤ්ඤාණාදීනං අනන්තරං උප්පජ්ජතීති සමානනිස්ස යතො අලද්ධානන්තරපච්චයතාය සහාගුපත්‍ථම්භරහිතො විය පුරිසො නාතිබලවං සබ්බථා පි විසයරසං අනුභවිතුං න සක්කොතීති සබ්බථා පි උපෙක්ඛාසහගතමෙව”

කුසලවිපාකසන්තීරණචිත්තයෝ මේ ක්‍රමයට විපරීත විසින් ඉටුඅරමුණෙහි ද ඉටුමැදහත්අරමුණෙහි ද සුඛවේදනා උපේක්‍ෂා වේදනාසහගත වෙති. අනිටුඅරමුණක් තීරණය කරණ කල්හි සුඛවේදනාසහගත ය. ඉටුමැදහත්අරමුණක් තීරණය කරණ, කල්හි උපේක්‍ෂාවේදනාසහගත ය. මෙන්න ඒ කියූ සැටි:-

‘වුත්තවිපරියතො කුසලවිපාකසන්තීරණං ඉට්ඨ ඉට්ඨ මජ්ඣත්තාරම්මණෙසු සුඛොපෙක්ඛාසහගතං’ යි.

  1. උපෙක්ඛාසහගතපඤ්චද්වාරාවජ්ජනය.
  2. උපෙක්ඛාසහගතමනොද්වාරාවජ්ජනය.
  3. සොමනස්සහගතහසිතුප්පාදය.

යන මේ සිත් තුන අහේතුකක්‍රියා සිත් ය.

මෙහි පංචද්වාරාවජ්ජන යන්නෙන් එනමින් කියවෙන සිත ගැණේ. යම් සිතක් චක්‍ෂුරාදී වූ දොරටු පසෙහි ගැටුනා වූ අරමුණු මෙනෙහි කෙරේ ද, ඒ සිත පංචද්වාරාවජ්ජන නම් වේ. භූත, භවඞ්ගචිත්තපරම්පරාව භවඞ්ගචිත්තයාගේ වශයෙන් හටගැන්මට නො දී වීථිචිත්තයන්ගේ හටගැනීම පිණිස පිරිනමන්නේ ද, එය පංචද්වාරාවජ්ජන නමි. මෙන්න පොතේ ඒ කියූ සැටි:-

“චක්ඛාදිපංචද්වාරෙඝට්ටිතං ආරම්මණං ආවජ්ජෙති තත්‍ථ ආභොගං කරොති චිත්තසන්තානං වා භවඞ්ගවසෙන පවත්තිතුං අදත්‍වා වීථිචිත්තභාවාය පරිණාමෙතීති පංචද්වාරා වජ්ජනං” යි.

පංචද්වාරයන් අතුරෙහි යම් ද්වාරයෙක්හි, අරමුණක් වැටුනු කල්හි, භවඞ්ගසන්තතිය සෙල වී, පංචද්වාරයෙන් කිනම් ද්වාරයෙක මේ අරමුණ වැටුනේ දැ, යි සොයා බලන්නකු සේ උපදින සිත පංචද්වාරාවර්‍ජනචිත්ත යි දත යුතු ය. ක්‍රියාහේතුකමනෝධාතු චිත්තය යි. මේ සිත භවඞ්ගැයි කියූ මනෝවිඤ්ඤාණධාතුවෙන් උපදනේ නමුත් විශේෂ හැඟීමක් නොමැති බැවින් එසේ කියනු ලැබේ. මෙය පෙර කළ කුසල් අකුසල් දෙක්හි විපාකයෙක් ද නො වේ. අනාගතයෙහි විපාක නො ලැබෙන බැවින් කුශලාකුශලකර්‍මයෙක් ද නො වේ. හුදෙක් ක්‍රියාමාත්‍රයෙකි. මෙ ද මානසිකසුඛවේදනාවෙන් හා මානසිකදුක්ඛවේදනාවෙන් ද යුක්තවීමට ශක්ති මඳ බැවින් උපේක්‍ෂාසහගත ම වේ. චක්‍ෂුර්විඥානාදියෙහි පෙරමුණේ හැසිරෙමින් රූපාදිය දැන ගැණීම ලකුණු කොට ඇත්තේ ය. චිත්තපරම්පරාව පෙර පැවැති ආකාරයෙන් පෙරළා අනික් ආකාරයකට නැවීම කෘත්‍යය කොට ඇත්තේ ය. එසේ බව නුවණට වැටහීම කොට ඇත්තේ ය. භවඞ්ගසන්තතිය සිඳ දැමීම ආසන්න කාරණය කොට ඇත්තේ ය.

මනෝද්වාරාවජ්ජන නම්, ක්‍රියා හේතුකමනෝවිඤ්ඤාණධාතුචිත්තය යි. ආවර්‍ජන යුග්මයට අනන්තරප්‍රත්‍යය වූ භවඞ්ගචිත්තය වීතිචිත්තවන්ගේ හටගැන්මට දොරටු වන බැවින් මනෝද්වාර නම් වේ. මෙන්න එය කියූ සැටි:-

‘ආවජ්ජනස්ස අනන්තරපච්චයභූතං භවඞ්ගචිත්තං මනො ද්වාරං’ යි.

යම් සිතක්, ඒ මනෝද්වාරයෙහි දිට්ඨ සුත මුතාදීන්ගේ වශයෙන් හමුබවට පැමිණි අරමුණ මෙනෙහි කෙරේ ද, නොහොත් කියූ ලෙසට චිත්තපරම්පරාව පිරිනමන්නේ ද, ඒ සිත මනෝද්වාරාවර්‍ජන නම් වේ. ‘තස්මිං දිට්ඨසුතමුතාදිවසෙන ආපාථමාගතමාරම්මණං ආවජ්ජෙති වුත්තනයෙන වා චිත්තසන්තානං පරිනාමෙතීති = මනොද්වාරාවජ්ජනං’ යනු ඒ කියූ සැටියි.

මේ සිත ම, පංචද්වාරිකචිත්තවීථින්හිදී සන්තීරණචිත්තයෙන් විමසන ලද අරමුණ නියම කෙරේ. එ හෙයින් මෙය වොත්‍ථපනචිත්ත යි ද කියනු ලැබේ. ‘ඉදමෙව ච පංචද්වාරෙ යථා සන්තීරිතං ආලම්බනං වවත්‍ථපෙති වොත්‍ථපනන්ති වුච්චති’ යනු එහි ආචාර්‍ය්‍යකථා ය. මෙ ද කර්‍මයෙක් නො වේ. විපාකයෙක් ද නො වේ. හුදෙක් ක්‍රියාමාත්‍රයෙක. පංචද්වාරාවර්‍ජනය සේ උපේක්‍ෂා සහගත ය. අරමුණු දැන ගැණීම ලකුණු කොට ඇත්තේ ය. සන්තීරණචිත්තයෙන් විමසූ අරමුණ නියම කරන්නා සේ හට ගැණීම හා මනෝද්වාරයෙහි අරමුණ මෙනෙහි කිරීම කෘත්‍යය කොට ඇත්තේ ය. අහේතුකවිපාකමනෝවිඤ්ඤාණධාතු තිදෙන හා ආවර්‍ජනකාලයෙහි යම් කිසි භවඞ්ගුපච්ඡෙදයක් ද යන මොවුන් අතුරෙහි එක්තරා සිතක පහවීම ආසන්නකාරණය කොට ඇත්තේ ය.

ක්‍රියාහේතුක මනෝවිඤ්ඤාණධාතු චිත්තය, හසිතුප්පාද නම් වේ. මේ වනාහි මානසිකසුඛවේදනාවෙන් යුක්ත ය. සිනා උපදවන සිත, හසිතුප්පාද නම්. ‘යං හසිතං උප්පාදෙති තං චිත්තං හසිතුප්පාදං’ යනු ආප්තවචනයි. සිනාව උපදවන්නේ දෝමනස්සසහගතක්‍රියාහේතුකමනෝවිඤ්ඤාණධාතුචිත්තය යි.

මේ වනාහි රහතුන් වහන්සේට බලගතු විපාක ඇති දුගතියෙහි ඉපැත්මෙන් තොර වූ තම තමන් පිළිබඳ වූ ආත්මභාවසම්පත්තිය අරමුණු වීමෙන් තුටුපහටු ආකාරය උපදවමින් උපදනේ ය. කර්‍මයෙක් නො වේ. විපාකයෙක් ද නො වේ. ක්‍රියා මාත්‍රයෙක. මෙය ෂඩාලම්බනයන් දැනීම ලකුණු කොට ඇත්තේ ය. රහතුන් වහන්සේට සියුම් වූ අරමුණෙහි නොහොත් අට්ඨිසංඛලිකප්‍රේත රූපාදී වූ හෝ අනික් අප්‍රණීත වූ අරමුණෙහි මඳ සිනා පහළකිරීම කෘත්‍යය කොට ඇත්තේ ය. එසේබව වැටහීම කොට ඇත්තේ ය. සිනාව වනාහි සිත, හසිත, විහසිත, උපහසිත, අවහසිත, අතිහසිත යි ස වැදෑරුම් ය. [1]

සිනා පහළ කරණ සිත් තෙළසකි. සොම්නසින් යුත් ලොහය මුල් කොට ඇති අකුසල්සිත් සතර, සොම්නසින් යුත් මහාකුසල්සිත් සතර, සොම්නසින් යුත් මහාක්‍රියා සිත් සතර, හසිතෝත්පාද යන මේය ඒ. මොවුනතුරෙහි සොම්නසින් යුත් අකුසල් සිත් සතර, සොම්නසින් යුත් කුසල්සිත් සතර යන මේ අටෙන්, ලෞකිකජනයෝ සිනා පහළ කෙරෙත්. දිට්ඨිවිප්පයුත්තසෝමනස්සසහගත අකුසල්සිත් දෙකෙන් හා සෝමනස්ස කාමාවචර කුසල් සිත් සතරින් ද, ශෛක්‍ෂයෝ සිනා පහළ කෙරත්, සෝමනස්සසහගතකාමාවචරක්‍රියා සිත් සතරින් හා මේ අහේතුකහසිතෝත්පාදක්‍රියා සිතින් ද, අශෛක්‍ෂයෝ සිනා පහළ කෙරත්. ඒ කියූ සැටි මේ:-

“සොමනස්සයුතානට්ඨ කුසලාකුසලානි ච,

කිරියතො පන පඤ්චෙ ව හාසචිත්තානි තෙරස.

පුථුජ්ජනා හසන්තෙත්‍ථ චිත්තෙහි පන අට්ඨහි,

ඡහි සෙක්ඛා අසෙක්ඛා ච හසන්ති පන පඤ්චහි” යි.

‘සම්පයුත්තාහෙතුවිරහතො අහෙතුකානි ච තානි විපච්චනවිපාකුප්පාදනකිච්චරහිතත්තා තං තං ක්‍රියාමත්තභූතානි චිත්තානි චා ති අහෙතුකක්‍රියාචිත්තානි’ යන මෙයින් මොවුන් ගේ අහේතුකත්‍වය හා ක්‍රියාමාත්‍රභාවය පැහැදිලි වේ. සම්ප්‍රයුක්ත හේතූන්ගේ අභාවයෙන් අහේතුක වෙති. මුහු කිරීමෙන් හා විපාක ඉපදවීමෙන් ද තොර බැවින් ක්‍රියාමාත්‍ර වෙති.

මෙසේ අකුසලවිපාක සිත් සතෙක, කුසලවිපාක සිත් අටෙක ක්‍රියා සිත් තුනෙකැ’ යි අහේතුක සිත් අටළොසෙකි.

“සත්තාකුසලපාකානි පුඤ්ඤාපාකානි අට්ඨධා,

ක්‍රියාචිත්තානි තීනීති අට්ඨාරස අහෙතුකා”

යනු එහි සංග්‍රහය ය.

තව ද මෙහි මෙසේ දැක් වූ අකුසල්සිත් දොළොස අහේතුක සිත් අටළොස යන සමතිස් සිත්, ශ්‍රද්ධාදී වූ කිසි ම ශොභන ධර්‍මයක් හා නො යෙදෙන බැවින් අශොභනචිත්ත නම් වේ.

  1. සොමනස්සසහගතඤාණසම්පයුත්තඅසඞ්ඛාරිකචිත්තය.
  2. සොමනස්සසහගතඤාණසම්පයුත්තසසඞ්ඛාරිකචිත්තය.
  3. සොමනස්සසහගතඤාණවිප්පයුත්තඅසඞ්ඛාරිකචිත්තය.
  4. සොමනස්සසහගතඤාණවිප්පයුත්තසසඞ්ඛාරිකචිත්තය.
  5. උපෙක්ඛාසහගතඤාණසම්පයුත්තඅසඞ්ඛාරිකචිත්තය.
  6. උපෙක්ඛාසහගතඤාණසම්පයුත්තසසඞ්ඛාරිකචිත්තය.
  7. උපෙක්ඛාසහගතඤාණවිප්පයුත්තඅසඞ්ඛාරිකචිත්තය.
  8. උපෙක්ඛාසහගතඤාණවිප්පයුත්තසසඞ්ඛාරිකචිත්තය.

මේ කාමාවචර භූමියට අයත් කුසල්සිත් අටය.

මෙහි සෝමනස්ස, සහගත යන මුන් සම්බන්‍ධයෙන් කියයුත්ත කියූ සේ දන්නේ ය. යථාස්වභාවය දැනීම ඤාණ නම්. දානාදිකුශල කර්‍මයන්ගෙන් ඉෂ්ටවිපාකයක් ලැබෙන්නේ ය, යනාදිය දැනීමෙහි නුවණය ඒ, ‘ජානාති යථාසභාවං පටිවිජ්ඣතීති = ඤාණං’ යනු ඒ පැහැදිලිකිරීම ය. ලෝකයෙහි ඇත්තා වූ ඒ ඒ වස්තූන් මේ මේ යි හැඳිනීම ඤාණය නො වේ. ඒ ඒ වස්තූන් ස්කන්‍ධධාතුආයතනාදීන්ගේ වශයෙන් විභාග කොට දැනීම ඤාණ නම්. ඒ ඤාණය එකොත්පාදාදිප්‍රකාරයෙන් යෙදීම ය ඤාණසම්පයුත්ත. එසේ නො යෙදීම ය විප්පයුත්ත. අසඞ්ඛාරික-සසංඛාරික යන මෙ දෙකින් කියැවෙන විස්තරාර්‍ත්‍ථය යට සැකෙවින් කියැවුනේ ය. ඒ දතයුතු ය.

සොමනස්ස සහගතං, ඤාණසම්පයුත්තං, අසඞ්ඛාරිකං යන මේ පදත්‍රයෙන් කියන ලද්දේ ප්‍රථමකාමාවචරකුශලචිත්තය සන්තෝෂයෙන්, නියම තතු දැනීමෙන්, සවභාවතීක්‍ෂණත්‍වයෙන් යෙදී හැනී සිටුනාබව ය. එවිට සොම්නස්සහගියනුවණින් යෙදුනු ස්වභාවතීක්‍ෂණ වූ සිත, ප්‍රථමකාමාවචරකුශලචිත්තය යි.

සොම්නස්සහගියනුවණින් හා යෙදුනු ස්වභාවතීක්‍ෂණ නො වූ පූර්‍වප්‍රයෝගසහිත වූ සිත, දෙවන කාමාවචරකුශලචිත්තය යි. සොමනස්සසහගතං, ඤාණසම්පයුත්තං, සසංඛාරිකං යන විශේෂණ තුනෙන් එ බව කියන්නේ ය.

සොම්නස්සහගියනුවණ හා නො යෙදුනු පුර්‍වප්‍රයෝග රහිත වූ සිත, තෙවන කාමාවචරකුශලචිත්තය යි.

සොම්නස්සහගියනුවණ හා නො යෙදුනු පූර්‍වප්‍රයෝග සහිත වූ සිත, සිවුවන කාමාවචරකුශලචිත්තය යි.

මැදහත්බවෙන් යුත් නුවණ හා යෙදුනු ස්වභාවතීක්‍ෂණ වූ සිත, පස්වන කාමාවචරකුශලචිත්තය යි.

මැදහත්බවෙන් යුත් නුවණ හා යෙදුනු පූර්‍වප්‍රයෝගසහිත වූ සිත, සවන කාමාවචරකුශලචිත්තය යි.

මැදහත්බවෙන් යුත් නුවණ හා නො යෙදුනු පූර්‍වප්‍රයෝගරහිත වූ සිත, සත්වන කාමාවචරකුශලචිත්තය යි.

මැදහත්බවෙන් යුත් නුවණ හා නො යෙදුනු පූර්‍වප්‍රයෝග සහිත වූ සිත, අටවන කාමාවචරකුශලචිත්තය යි.

වැඩුනු ශ්‍රද්ධාව, දර්‍ශනසම්පත්තිය, ප්‍රත්‍යයසම්පත්තිය, ප්‍රතිග්‍රාහකසම්පත්තිය, ප්‍රදෙශසම්පත්තිය යන මේ කරුණු මේ සිත් සොම්නසට පමුණු වන්නේ ය, ‘එත්‍ථ ච බලවසද්ධාය දස්සනසම්පත්තියා පච්චයපටිග්ගාහකාදිසම්පත්තතියාති එවමාදීහි කාරණෙහි සොමනස්සසහගතා’ යනු එහිලා කීහ.

ප්‍රඥාප්‍රතිලාභයට හේතු වූ කර්‍මය, බඹලොවැ ඉපදීම, ඉඳුරන් මුහුකිරීම, කෙලෙසුන්ගෙන් දුරුවීම යන මේ කරුණු ය ඥානසම්ප්‍රයුක්තවීමට මෙයට අනුබල දෙන්නේ. මේ ඒ කියූ සැටි:- ‘පඤ්ඤාසංවත්තනිකකම්මතො අබ්‍යාපජ්ජලොකුප්පත්තිතො ඉන්‍ද්‍රියපරිපාකතො කිලෙසාදූරභාවතො ච ඤාණසම්පයුත්තා’ යනු.

ආවාසසප්පාය, උතුසප්පාය, භෝජනසප්පාය, යන මෙයින් ලත්, කයෙහි හා සිතෙහි සුදුසුබව, පෙර දන්දීම් කළ පුරුදුබව, යන මෙයින් අසංඛාරිකභාවය වන්නේ ය. ‘ආවාසසප්පායාදිවසෙන කායචිත්තානං කල්ලභාවතො පුබ්බෙ දානාදීසු කත පරියතාදීහි ච අසඞ්ඛාරිකතා’ යනු දන්නේ. මේ කියූ හේතූන්ට විපරීත වූ හේතූන් කරණ කොට උපේක්‍ෂාසහගතභාවය ද ඥානවිප්‍රයුක්තභාවය ද සසංස්කාරිකභාවය ද දතයුතු ය.

යමෙක් වනාහි දානවස්තුප්‍රතිග්‍රාහකාදීන්ගේ සම්පූර්‍ණත්‍වය හෝ සතුටට හේතු වූ අනෙකක් හෝ ලැබීමෙන් තුටුපහටු වූයේ, දීමෙහි ඵල ඇත්තේ ය, යන මේ ආදික්‍රමයෙන් හටගත් සම්‍යක්දෘෂ්ටිය පෙරටු කොට මුක්තත්‍යාගාදීන්ගේ වශයෙන් නො පසු බස්නේ අනෙකකු විසින් නො මෙහෙයවන ලද්දේ දානාදී වූ පින්කමක් කෙරේ ද, එකල ඔහුගේ සිත, සොම්නසින් යුක්ත වූයේ ඤාණය හා එක් ව ගියේ අසංස්කාරික වූයේ වේ. මේ ප්‍රථමකුසලචිත්තයාගේ උත්පත්තිය යි.

යමෙක් වනාහි කියූ ලෙසින් තුටුපහටු වූයේ, සම්‍යක්දෘෂ්ටිය පෙරටු කොට අමුක්තත්‍යාගාදීන්ගේ වශයෙන් පසු බස්නේ, අනුන් විසින් මෙහෙයන ලද්දේ දන් පින්කම් කෙරේ ද, එකල ඔහුගේ ඒ සෝමනස්සසහගතමහාකුශලචිත්තය සසංස්කාරික වේ. මේ ද්විතීයකුශලචිත්තයාගේ උත්පත්තිය යි.

යම් කලෙක නෑ මිතුරන්ගේ යහපත් පිළිවෙත් දැකීමෙන් හටගත් පුරුද්ද ඇති බාලදරුවෝ භික්‍ෂූන් දැක හටගත් සොම්නස්. ඇත්තාහු, යුහුසුලු ව අතට ගත් කිසිවක් දෙන්නාහුත් වඳින්නාහුත් වෙත් ද, එකල ඒ බාලදරුවන්ට තෘතීයකුශලචිත්තය උපදී.

යම් කලෙක ‘තෙරුන් වහන්සේ වඳි වු, පූජාකරවු’ යි මෙසේ නෑයන් විසින් මෙහෙයනලද්දාහු ඒ කියූ ලෙසින් පිළිපදිත් ද එකල ඔවුනට චතුර්‍ත්‍ථකුශලචිත්තය උපදී.

යම් කලෙක දානවස්තුප්‍රතිග්‍රාහකාදීන්ගේ අසම්පූර්‍ණත්‍වයක් හෝ සොම්නස ඉපදීමට හේතු වූ අනික් කරුණක අවිද්‍යමානත්‍වයක් ලැබ, සෙසු සිවු වැදෑරුම් වූ විකල්පයන්හි ද, සොම්නස් රහිත වූවා හු වෙත් ද, එකල්හි අනික් කුසල් සිත් සතර ඔවුනට උපේක්‍ෂා සහගත ව උපදී. මේ මොවුන්ගේ උත්පත්තික්‍රමය යි.

“කමෙන පුඤ්ඤවත්‍ථුම්හි ගොචරාධිපතීහි ච,

කම්මහීනාදිතො චෙව ගණෙය්‍ය නයකොවිදො”

යි කියූ බැවින්, මේ අට වැදෑරුම් සිත්, දශපුණ්‍යක්‍රියාවස්තුන්ගේ වශයෙන් වෙන වෙන ම දසය දසය කොට ගිණු කල්හි, අසූචක් වේ. ඒ අසූව එක් අරමුණෙක අසූව බැගින් ෂඩාලම්බනයන්ගේ වශයෙන් ගිණු කල්හි, සිත් සාරසිය අසූවක් වේ. මෙයින් දෙසිය සතළිසක් සිත් ඥානසම්ප්‍රයුක්ත ය. දෙසිය සතළිසක් ඥානවිප්‍රයුක්ත ය. ඒ දෙසිය සතළිසක් පමණ වූ ඥානවිප්‍රයුක්ත සිත් වීමංසාධිපතිධර්‍මය හා නො යෙදෙන බැවින් ඡන්‍ද-චිත්ත-විරිය යන තුන් අධිපතියන්ගේ වශයෙන් එකෙක දෙසිය සතළිස බැගින් ගිණු විට සිත් සත්සිය විස්සෙක් වේ. එ පරිද්දෙන් ඥානසම්ප්‍රයුක්ත සිත් ද, සතර අධිපතිධර්‍මයන්ගේ වශයෙන් එකෙක දෙසිය සතළිස බැගින් ගත් විට සිත් නවසිය සැටෙක් වේ. මෙසේ මෙහි සතර අධිපති ධර්‍මයන්ගේ වශයෙන් සිත් එක් දහස් ස සිය අසූවක් වේ. ඒ සිත් කායවාඞ්මනඃකර්‍මත්‍රිකයාගේ වශයෙන් එකෙක් එක් දහස් ස සිය අසූව බැගින් ගුණ කරණ ලද්දේ සිත් පන් දහස් සතළිසෙක් වේ. ඒ මේ පන් දහස් සතළිසක් විසින් ප්‍රභේදයට ගිය මහාකුසල්සිත් හීන-මධ්‍යම-ප්‍රණීතභේදයෙන් එකෙක පන් දහස් සතළිස බැගින් ගුණ කරණ ලද්දේ සිත් පසළොස් දහස් එක්සිය විස්සෙක් වේ. කාලදෙශාදිභේදයෙන් කාමාවචර කුසල්සිත්වල ප්‍රභේදය නො ගිණිය හැකි ය. මෙහිලා කුශල ශබ්දය තරමකින් නමුදු කියයුතු සේ පෙණේ. එ හෙයින් ඉතා සැකෙවින් ඒ කියන්නෙමි. ඒ මෙසේ දතයුතු ය:-

‘කුච්ඡිතෙ පාපධම්මෙ සලයන්ති කම්පෙන්ති විද්ධංසෙන්ති අපගමෙන්තීති වා = කුසලානි’ යම් සිත් කෙනෙක්, පිළිකුල් කටයුතු වූ අකුශලධර්‍මයන් ඉතිරි නො කොට ප්‍රහීණ කෙරෙත් ද ඒ සිත් කුසල නම්. මෙහි එක ම ‘සලයන්ති’ යන ක්‍රියාපදය කම්පෙන්ති, විද්ධංසෙන්ති අපගමෙන්ති යි ක්‍රියාපද තුනකින් වර්‍ණනා කරණ ලද්දේ ය. එහි කම්පෙන්ති යන්නෙන් කියූයේ, තදඞ්ගප්‍රහාණය යි. විද්ධංසෙන්ති යන්නෙන් කියූයේ විෂ්කම්භනප්‍රහාණය යි. අපගමෙන්ති යන්නෙන් කියූයේ, සමුච්ඡෙදප්‍රහාණය යි.

‘අථ වා කුච්ඡිතාකාරෙන සන්තානෙ සයනතො පවත්තනතො කුසසඞ්ඛාතෙ පාපධම්මෙ ලුනන්ති ඡින්‍දන්තීති කුසලානි’ යම් සිත් කෙනෙක්, සත්‍වසන්තානයෙහි පිළිකුල් ලෙසින් හටගන්නා බැවින් කුස යි කියූ පාපධර්‍මයන් සිඳ හරිත් ද එහෙයින් ඒ සිත් කුසල නම්.

‘අථ වා කුච්ඡිතෙ පාපධම්මෙ සානතො තනුකරණතො ඔසානකරණතො වා කුසලානි’ යම් සිත් කෙනෙක්, පිළිකුල් කටයුතු වූ පාපධර්‍මයන් තුනී කරත් ද, කෙළවර කරත් ද ඒ සිත් කුසල නම්.

‘කුසසඞ්ඛාතෙන ඤාණෙන සද්ධාදිධම්මජාතෙන වා ලාතබ්බානි සහජාතඋපනිස්සයභාවෙන යථාරහං පවත්තෙතබ්බානී ති = කුසලානි’ කුස යි කියූ නුවණින් හෝ ශ්‍රද්ධාදිධර්‍ම සමූහයෙන් හෝ සහජාතප්‍රත්‍යයශක්තියෙන් උපනිඃශ්‍රයප්‍රත්‍යයශක්තියෙන් සුදුසු පරිදි ඉපදවියයුතු සිත් කුසල නම්. එහි ප්‍රඥාවෙන් ඥානසම්ප්‍රයුක්තකුශලය, සහජාතප්‍රත්‍යයශක්තිවශයෙන් උපදවනු ලැබේ. ඥානවිප්‍රයුක්තකුශලය, උපනිඃශ්‍රයප්‍රත්‍යයශක්ති වශයෙන් උපදවනු ලැබේ. ශ්‍රාද්ධාදිධර්‍මසමූහය විසින් කුසල් සිත් සහජාතශක්තිවශයෙන් හා උපනිඃශ්‍රයශක්තිවශයෙන් උපදවනු ලබා. කුශලය නිවරද බව ලකුණු කොට, පිරිසිදු බව කෘත්‍යය කොට, සැප විපාක ඇතිබව වැටහීම කොට, යෝනිසෝමනසිකාරය ආසන්නකාරණය කොට සිටියේ ය.

කාමාවචර කුසල් සිත් ම ‘මහාකුසල්සිත්’ යි ගණිත්. එයට හේතුව ඒ කුසල්සිත්වලින් ලැබෙන විපාකයාගේ මහත්බව ය. ගුණයෝගයෙන් මහත් වූ රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර කුසල් සිත් එසේ නො වේ. ප්‍රථමද්ධ්‍යානකුශලචිත්තය ප්‍රථමද්ධ්‍යාන භූමියෙහි ම විපාක දේ. එයින් පිටත් තන්හි විපාක නො දේ. ද්වීතීයද්ධ්‍යානාදිකුශලචිත්තයෝත් ඒ තම තමන්ට අයත් භූමි වලදී ම විපාක දෙත්. අරූපාවචරකුශලචිත්තයෝ ද ඒ ඒ අරූපාවචරභූමිවල ම විපාක දෙත්. ඉන් පිටත නො යත්. ලෝකෝත්තරකුශලචිත්තයෝ තම තමන් පිළිබඳ විපාකය වූ එක එක විපාකයක් ම උපදවත්. එ හෙයින් මහාකුශලව්‍යවහාරය ඔවුනට නැත. කාමාවචරකුශලය, විපාක දීම් වශයෙන් විෂයමහත්ත්‍වයෙන් මහත්ත්‍වයට ගියේ ය. එහෙයින් මහාකුශලය යි ව්‍යවහාර කෙරෙත්. කාමාවචරකුශලය ප්‍රතිසන්‍ධි වශයෙන් කාමාවචරප්‍රතිසන්‍ධි නවයක් ද කාමසුගතිභූමි සතක් ද දෙන්නේය. ප්‍රවෘත්තිවිපාකය වනාහි අවීචිමහානරකය පටන් භවාග්‍රය සීමා කොට එක් තිස් භූමියෙහි ම සුදුසු පරිදි දෙන්නේ ය.

  1. සොමනස්සසහගතඤාණසම්පයුත්තඅසඞ්ඛාරිකචිත්තය.
  2. සොමනස්සසහගතඤාණසම්පයුත්තසසඞ්ඛාරිකචිත්තය.
  3. සොමනස්සසහගතඤාණවිප්පයුත්තඅසඞ්ඛාරිකචිත්තය.
  4. සොමනස්සසහගතඤාණවිප්පයුත්තසසඞ්ඛාරිකචිත්තය.
  5. උපෙක්ඛාසහගතඤාණසම්පයුත්තඅසඞ්ඛාරිකචිත්තය.
  6. උපෙක්ඛාසහගතඤාණසම්පයුත්තසසඞ්ඛාරිකචිත්තය.
  7. උපෙක්ඛාසහගතඤාණවිප්පයුත්තඅසඞ්ඛාරිකචිත්තය.
  8. උපෙක්ඛාසහගතඤාණවිප්පයුත්තසසඞ්ඛාරිකචිත්තය.

මේ කාමාවචරභූමියට අයත් සහේතුකකාමාවචරවිපාක සිත් අට ය.

මෙහි සොමනස්ස, ඤාණ, උපෙක්ඛා, අසඞ්ඛාරික, සසඞ්ඛාරික යන මොවුන් ගැණ කිය යුතු අරුත් කියන ලද්දේ ය. මෙහිලා ද ඒ එසේ දන්නේ ය.

මේ කාමාවචරවිපාක සිත්, කාමාවචර කුසල් සිත් සේ පුණ්‍යක්‍රියාවස්තූන්ගේ වශයෙන්, කර්‍මද්වාරයන්ගේ වශයෙන්, කායකර්‍මාදීන් හා යෙදීම් වශයෙන්, අධිපතිධර්‍මයන්ගේ වශයෙන් නො පවත්නේ ය. දන්දීම් ආදී විසින් නො හටගන්නා බැවින් කායවාග්විඥප්ති උපදවන බැවින්, විපාක දෙන ස්වභාව නැති බැවින්, ඡන්‍දාදීන් අධිපති කොට නො හටගන්නා බැවින් එසේ නො පවත්නේ ය. එ හෙයින් පුණ්‍යක්‍රියාවස්තූන්ගේ වශයෙන් ගණන් අඩු කොට ආරම්මණාදීන්ගේ වශයෙන් සුදුසු පරිදි ගිණිය යුතු ය. ආරම්මණයන්ගේ වශයෙන් ගිණූ කල්හි එක්සිය සිවු සාළිසෙක් වේ. ඒ කියූ සැටි මේ:-

“යථාපනෙතානි පුඤ්ඤක්‍රියාවසෙන කම්මද්වාරවසෙන කම්මවසෙන අධිපතිවසෙන ච පවත්තන්ති නෙවං පාපකානි දානාදිවසෙන අප්පවත්තනතො විඤ්ඤත්තිසමුට්ඨානාභාවතො අවිපාකසහාවතො ඡන්දාදීනි පුරක්ඛත්‍වා අප්පත්තිතො ච තස්මා තං වසෙන පරිහාපෙත්‍වා යථාරහං ගණනභෙදො යොජෙතබ්බො” යනු.

මේ විපාක සිත් අතුරෙහි පළමුවන දෙවන තෙවන සිවුවන සිත් සොම්නසින් යුක්ත වේ. එහි හෙතුච ඉටුඅරමුණු ලැබීම ය. පස්වන සවන සත්වන අටවන සිත් උපේක්‍ෂාවෙන් යුක්ත වේ. එහි හෙතුච ඉටු මැදහත් අරමුණු ලැබීම ය. ‘ඉමානි පි ඉට්ඨ ඉට්ඨමජ්ඣත්තාරම්මණවසෙන යථාක්කමං සොමනස්සුපෙක්ඛාසහිතානි’ යනු දන්නේ ය.

පළමුවන දෙවන පස්වන සවන සිත් ඥානසම්ප්‍රයුක්ත වේ. ප්‍රතිසන්‍ධිභවාඞ්ගච්‍යුතිවශයෙන් හටගැණෙන කල්හි, ප්‍රතිසන්‍ධිය දුන් කර්‍මයාගේ බලවත්භාවයෙන් ඒ ඥානසම්ප්‍රයුක්ත වේ.

ත්‍රිහේතුකඋත්කෘෂ්ටකුශලකර්‍මය තෙමේ ප්‍රතිසන්‍ධිය දෙන්නේ නම්, ප්‍රතිසන්‍ධිය දෙන්නා වූ කුශලකර්‍මය බලවත් බැවින් එය ඥානසම්ප්‍රයුක්තප්‍රතිසන්‍ධිය වේ. භවාඞ්ගචිත්තය හා ච්‍යුතිචිත්තය ඒ භවයෙහි ප්‍රතිසන්‍ධිචිත්තය හා සම බැවින් ඔවුන්ගේ ඥානසම්ප්‍රයුක්තවීම ද මේ කර්‍මයාගේ බලවත් භාවයෙන් ම වන්නේ ය. ඔවුන් තදාලම්බන වශයෙන් පවත්නා කල්හි ජවනයන්ට සුදුසු පරිදි උපදින හෙයින් ද ඔවුහු ඥානසම්ප්‍රයුක්ත වෙති. ඥානසම්ප්‍රයුක්තජවනයන්ට ඉක්බිති ව උපදින තදාලම්බන ද ඥානසම්ප්‍රයුක්ත ද වේ.

තෙවන සිවුවන සත්වන අටවන සිත් ඥානවිප්‍රයුක්ත වේ. ප්‍රතිසන්‍ධිභවාඞ්ගච්‍යුතිවශයෙන් හටගැණෙන කල්හි ප්‍රතිසන්‍ධිය දුන් කර්‍මයාගේ දුර්‍වලභාවයෙන් ඔවුහු ඥානවිප්‍රයුක්ත වෙති. ත්‍රිහේතුක ඔමකකර්‍මය හෝ ද්විහේතුකඋත්කෘෂ්ටකර්‍මය හෝ ප්‍රතිසන්‍ධිය දෙන්නේ නම්, ඒ කර්‍මය දුර්‍වල බැවින් ඔවුන්ගෙන් ලැබෙන ප්‍රතිසන්‍ධිභවංඞ්ගච්‍යුතීහු ඥානවිප්‍රයුක්තය හ. තදාලම්බනයන්ගේ වශයෙන් පවත්නා කල්හි, ජවනයන්ට සුදුසු පරිදි ඥානවිප්‍රයුක්ත වෙති. ජවනයන්ට ඉක්බිති ව උපදින තදාලම්බන ද ඥානවිප්‍රයුක්ත ය. මේ ඒ කියූ සැටි:-

‘පටිසන්‍ධාදිවසප්පවත්තියං කම්මස්ස බලවාබලවභාවතො, තදාලම්බනප්පවත්තියං යෙභුය්‍යෙන ජවනානුරූපතො ච කදාචි තත්‍ථාපි කම්මානුරූපතො ච ඤානසම්පයුත්තානි ඤාණවිප්පයුත්තානි ච හොන්ති’ යනු. මේ මොවුන්ගේ ඥාන සම්ප්‍රයුක්තභාවය හා ඥානවිප්‍රයුක්තභාවය යි.

පළමුවන තෙවන පස්වන සත්වන සිත් අසඞ්කාරික ය. පුර්‍ව ප්‍රයෝගයෙන් වෙන් ව එළැඹ සිටියා වූ කර්‍ම, කර්‍මනිමිත්ත, ගතිනිමිත්තහේතුවෙන් හා සත්ප්‍රායඍතුභොජනාදීන්ගේ ප්‍රතිලාභයෙන් අසඞ්ඛාරිකභාවය වේ.

දෙවන සිවුවන සවන අටවන සිත් සසඞ්ඛාරික වේ. පුර්‍ව ප්‍රයෝගය කරණ කොට හටගත් කර්‍මාදිහේතුවෙන් හා අසත්ප්‍රාය ඍතුභොජනාදිහේතුවෙන් ද සසඞ්ඛාරික වේ. ඒ කියූ සැටි:- ‘යථා පයොගං විනා සප්පයොගඤ්ච යථා උපට්ඨිතෙහි කම්මාදිප්පච්චයෙහි උතුභොජනාදිසප්පායවසෙන ච අසඞ්ඛාරිකසසඞ්ඛාරිකානි’ යනු. මේ මොවුන්ගේ අසඞ්ඛාරික සසඞ්ඛාරික භාවය යි. මේ සිත්, මහා’ යන්නකින් වෙසෙසා මහා විපාකැ’ යි කියත්. කාමාවචරවිපාකය මහාකුසලයන්ගේ විපාකය බැවින් හේතුහුගේ නාමය ඵලයෙහි ආරොපණය කොට කාරණොපචාර වශයෙන් එසේ කියත්.

  1. සොමනස්සසහගතඤාණසම්පයුත්තඅසඞ්ඛාරිකචිත්තය.
  2. සොමනස්සසහගතඤාණසම්පයුත්තසසඞ්ඛාරිකචිත්තය.
  3. සොමනස්සසහගතඤාණවිප්පයුත්තඅසඞ්ඛාරිකචිත්තය.
  4. සොමනස්සසහගතඤාණවිප්පයුත්තසසඞ්ඛාරිකචිත්තය.
  5. උපෙක්ඛාසහගතඤාණසම්පයුත්තඅසඞ්ඛාරිකචිත්තය.
  6. උපෙක්ඛාසහගතඤාණසම්පයුත්තසසඞ්ඛාරිකචිත්තය.
  7. උපෙක්ඛාසහගතඤාණවිප්පයුත්තඅසඞ්ඛාරිකචිත්තය.
  8. උපෙක්ඛාසහගතඤාණවිප්පයුත්තසසඞ්ඛාරිකචිත්තය.

මේ කාමාවචර භූමියට අයත් සහේතුකකාමාවචරක්‍රියා සිත් අටය.

සෝමනස්සභාවාදිය පෙර කියූ සේ ය. මේ මහාක්‍රියාචිත්තයෝ සසර සිඳ බිඳ දැමූ බුදු පසේබුදු මහරහතුන් වහන්සේට පමණක් උපදිති. මේ මොවුන්ගේ වෙනස්කම ය. මේ සිත් පෘථග්ජනයන්ගේ හා ශෛක්‍ෂපුද්ගලයන්ගේ සන්තානයෙහි උපදී නම්, එකාන්තයෙන් විපාක දේ ම ය. පෘථග්ජනයාට හෝ ශෛක්‍ෂයා හට සෝමනස්සසහගතඤාණසම්පයුත්තඅසඞ්ඛාරික කාමාවචර කුසල චිත්තය උපදින තැනැ රහතුන් වහන්සේට ඉපැදෙනුයේ පළමුවන කාමාවචරක්‍රියාචිත්තය ය. අනික් සිත් සතෙහි ක්‍රමය ද මෙසේ ය.

මත්තෙහි විපාක නො ලබන බැවින් කුසල් නො වේ. පෙර කළ කර්‍මයක්හුගේ විපාක නො වන බැවින් විපාක ද නො වේ:

ඉටුඅරමුණු, සොම්නසින් යුත් පිළිසිඳගැණීම, නො ගැඹුරු ස්වභාවය යන මේ කරුණු මේ සිත්වල සොම්නස්බවට හේතු ය. නුවණ ලැබීමට හේතු වූ කර්‍ම, ඉඳුරන් මුහුකිරීම යන මේ, නුවණ හා යෙදීමෙහි කරුණු ය. ආවාසසප්පායාදීන්ගේ වශයෙන් සිත කය දෙක්හි සුදුසු බව අසඞ්ඛාරිකභාවයට හේතු වේ. මෙයට විපරීත වූ හේතූන් කරණ කොට උපේක්‍ෂාසහගතභාවය ද ඥාන විප්‍රයුක්තභාවය ද සසංස්කාරිකභාවය ද වේ.

මෙහි මෙසේ ඉතා සැකෙවින් කියූ මේ කුශලවිපාකක්‍රියාචිත්තයෝ වේදනාඤාණසඞ්ඛාරභේදයෙන් සූවිස්සෙකැ යි දන්නා ලදහ. වේදනාභේදයෙන් දෙ වැදෑරුම් ය. ඤාණභේදයෙන් සිවු වැදෑරුම් ය. සඞ්ඛාරභේදයෙන් අට වැදෑරුම් ය. පිඩු කොට සූ විස්සෙක.

අකුශල විපාක සතෙක, සහේතුකාහේතුකකුශලවිපාක සොළොසෙකැ යි විපාක සිත් තෙ විස්සෙකි. අකුසල් දොළොසෙක කුසල් අටෙකැ, යි කුසල් අකුසල් විස්සෙකි. අහේතුකක්‍රියා තුනෙක, සහේතුකක්‍රියා අටෙකැයි කියා සිත් එකොළසෙකි. මෙසේ සර්‍වප්‍රකාරයෙන් කාමාවචර සිත් සූ පණසෙකි. මේ එහි සංක්‍ෂිප්තසංග්‍රහය:-

“කාමෙ තෙවීසපාකනි පුඤ්ඤානි වීසති,

එකාදස ක්‍රියා චෙ ති චතුපඤ්ඤාස සබ්බථා”

  1. විතක්කවිචාරපීතිසුඛඑකග්ගතාසහිතපඨමජ්ඣානකුසලචිත්තය.
  2. විචාරපීතිසුඛඑකග්ගතාසහිතදුතියජ්ඣානකුසලචිත්තය.
  3. පීතිසුඛඑකග්ගතාසහිතතතියජ්ඣානකුසලචිත්තය.
  4. සුඛඑකග්ගතාසහිතචතුත්‍ථජ්ඣානකුසලචිත්තය.
  5. උපෙක්ඛාඑකග්ගතාසහිතපංචමජ්ඣානකුසලචිත්තය.

මේ වනාහි රූපාවචර කුසල් සිත් පස ය.

යම් ධර්‍මස්වභාවයෙක් තෙමේ තමා හා එක් ව යෙදුනු ධර්‍මයන් අරමුණට නංවා ද, ඒ විතර්‍ක නම්. ‘තත්‍ථ ආරම්මණං විතක්කෙති සම්පයුත්තධම්මෙ අභිනිරොපෙතී’ති = විතක්කො’ යනු අරුත් පැහැදිලි කිරීම ය. විතර්‍කය තෙමේ එක් ව උපන් ධර්‍මයන් අරමුණට අභිමුඛ කොට නැංවීම ලකුණු කොට සිටියේ ය. ‘සො සහජාතානං ආරම්මණාභිනිරොපණලක්ඛණො’ යනු කීයේ එහෙයිනි. පිටිසර ගම් වැසි කිසි පුරුෂයෙක්, රජු හා මිත්‍ර වූ යමකු නිසා හෝ රජු හා මිත්‍ර වූ තම නෑයකු නිසා හෝ රජගෙට යම් සේ පිවිසේ ද, එ පරිද්දෙන් විතර්‍කය නිසා සිත අරමුණට නගින්නේ ය. “යථා හි කොචි ගාමවාසී පුරිසො රාජවල්ලහං සම්බන්‍ධීනං මිත්තං වා නිස්සාය රාජගෙහං අනුපවිසති, එවං විතක්කං නිස්සාය චිත්තං ආරම්මණං ආරොහති” යනු එහි පාළිය යි. එසේ නම් විතර්‍ක රහිත වූ සිත අරමුණට කෙසේ නගී ද? යනු එහිලා ප්‍රශ්නයෙකි. විතර්‍කරහිත සිත, විතර්‍කශක්තියෙන් ම අරමුණට නඟී, යනු එහි පිළිතුර ය. ඒ පුරුෂයා රජගෙයි හැසිර පුරුදු බැවින් රාජවල්ලභ පුරුෂයා නැති ව ද, සැක නැති ව රජගෙට පිවිසෙන්නා සේ විතර්‍කසහිත වූ චිත්ත සන්තානයෙහි නිරතුරු හටගත් පුරුද්දෙන් විතර්‍කයෙන් තොරව ද, විතර්‍කරහිත වූ සිත අරමුණට නගියි. ‘යථා හි සො පුරිසො පරිචයෙන තෙන විතක්කෙන විනා පි අවිතක්කං චිත්තං ආරම්මණං අභිනිරොගති’ යනු ඒ දැන්වීම ය. තව ද අවිතර්‍ක චිත්තයන් අතුරෙහි මේ පංචවිඤ්ඤාණය විතර්‍කයෙන් තොර වූයේ ද, වස්තු-ආලම්බනයන්ගේ ගැටීමේ ශක්තියෙන් අරමුණට නගියි.

යම් ශක්තියක් සිත අරමුණෙහි හසුරුවා ද, ඒ ය විචාර ය. ‘ආරම්මණෙ තෙන චිත්තං විචාරෙතී’ති = විචාරො’ යනු අරුත් කීම ය. ‘සො ආරම්මණානුමජ්ජනලක්ඛණො’ ඒ විචාරය අරමුණු පිරිමැදීම ලකුණු කොට සිටියේ ය.

යම් ශක්තියක් කයසිත පිණවා ද, වඩා ද ඒ ය පීති ය. ‘සා සම්පියායනලක්ඛණා’ ඒ පීතිය අරමුණු ප්‍රිය කරවීම ලකුණු කොට සිටියා ය.

යම් වේදනාවක් තමන් හා එක් ව යෙදුනු ධර්‍මයන් සුවපත් කෙරේ ද, ඒ ය සුඛ ය. ‘තං ඉට්ඨානුභවනලක්ඛණං’ ඒ සුඛය කැමැති අරමුණු රසවිඳීම ලකුණු කොට සිටියේ ය.

නන් අරමුණුවල නො බැහීම් වශයෙන් මේ සිතට එක් අරමුණෙක් ඇත්තේ ද, ඒ සිත එකග්ග නම් වේ. ඒ එක් අරමුණක් ඇත්තා වූ සිතේ භාවය එකග්ගතා නම්. මෙයින් සමාධිය කිය වේ. ‘නානාලම්බනවික්ඛෙපාභාවෙන එකං ආරම්මණං අග්ගං ඉමස්සා’ති, එකග්ගං, චිත්තං, තස්ස භාවො, එකග්ගතා’ යනු දන්නේ ය. ‘සො අවික්ඛෙපලක්ඛෙණො’ ඒ සමාධිය අවික්‍ෂේපය ලකුණු කොට සිටියේ ය. සමාධියගේ බලයෙන් සම්ප්‍රයුක්තධර්‍ම සහිත වූ සිත අරමුණුවල නො විසිරැ පවතී.

මෙසේ ඉතා සැකෙවින් කියූ විතර්‍කාදී වූ පස් දෙනාගේ සමූහය ධ්‍යාන නම් වේ. මේ පස් දෙනාගේ සමූහය ම, මේ පස එක් ව කසිණාදී වූ අරමුණු අභිමුඛ කොට සිතින්නේය. ප්‍රතිපක්‍ෂ වු නීවරණාදී වූ ධර්‍මයන් දවා හලු කරන්නේ ය. ‘ඣානන්ති විතක්කො විචාරො පීති සුඛං එකග්ගතා’ යන මෙයින් එය පැහැදිලි ය.

ධ්‍යානව්‍යවහාරය ලැබූ විතක්ක, විචාර, පීති, සුඛ, ඒකග්ගතා යන පස් අඟින් යුත් කුසල්සිත පළමු කොට පැමිණිය යුතු බැවින් ප්‍රථමද්ධ්‍යානකුශලචිත්ත නම් වේ.

විචාර, පීති, සුඛ, එකග්ගතා යන සිවු අඟින් යුත් කුසල්සිත ද්විතීයද්ධ්‍යානකුශලචිත්ත නම් වේ.

සුඛ, එකග්ගතා යන දෙයඟින් යුත් කුසල්සිත චතුර්‍ත්‍ථද්ධ්‍යාන කුශලචිත්ත නම් වේ.

උපෙක්ඛා, එකග්ගතා යන දෙයඟින් යුත් කුසල්සිත පංචම ද්ධ්‍යානකුශලචිත්ත නම් වේ.

‘කස්මා පන අඤ්ඤෙසු පි එස්සාදිසු සම්පයුත්තධම්මෙසු විජ්ජමානෙසු ඉමෙයෙව පඤ්ච ඣානඞ්ගවසෙන වුත්තා’ යනු ප්‍රශ්නයෙකි. කුමක් හෙයින් අන්‍ය වූ ස්පර්‍ශාදිසම්ප්‍රයුක්තධර්‍මයන් තිබිය දී, මේ පස ම ධ්‍යානාඞ්ගවශයෙන් කියන ලද ද, යනු එහි සිංහල යි. ‘උපනිජ්ඣානකිච්චවන්තතාය කාමච්ඡන්දාදීනං උජු පටිපක්ඛභාවතො ච’ යනු එයට දුන් පිළිතුර ය. විතර්‍කාදී ධර්‍ම පස, කසිණා දී වූ අරමුණු කරා එළැඹැ බලන කිස ඇති බැවින් ද කාමච්ඡන්‍දාදීනීවරණයන්ට ඉඳුරා ප්‍රතිපක්‍ෂ බැවින් ද මෙසේ කියන ලද්දේ ය. විතර්‍කය, අරමුණෙහි සිත අභිමුඛ කොට නංවයි. විචාරය දැඩි සේ අරමුණෙහි ලුහු බැඳීම කරයි. මෙසේ මේ නැන්වීම, ගැළපීම, ප්‍රියකරවීම, වැඩීම යන කෘත්‍යය ඇති විතර්‍ක විචාර ප්‍රීති සුඛයන් විසින් අනුග්‍රහ කරණ ලද එකග්ගතා තොමෝ, ඒ ධ්‍යාන චිත්තය අරමුණෙහි මොනවට පිහිටු වන කෘත්‍යයෙන් තමාට අනුව පවත් වන්නී, එකක් බවට පැමිණ අරමුණෙහි මොනවට පිහිටුවයි. ශ්‍රද්ධාදිපඤ්චෙන්ද්‍රියයන්ගේ සමානත්‍වයෙන් සම කොට විරුද්ධ වූ නීවරණධර්‍මයන් දුරු වූ බැවින් ලීන, උද්ධත භාවයන්ගේ අභාවයෙන් මොනවට පිහිටුවයි. මේ විතර්‍කාදීන්ට කසිණාදී වූ අරමුණු බැලීම ආවෙණික ව පවතී.

කාමච්ඡන්‍දයාගේ වශයෙන් නන් අරමුණුවලින් පෙළඹුනු සිතෙහි අරමුණෙහි මනා කොට පිහිටීම එකග්ගතායෙන් සිදු වේ. එහෙයින් එකග්ගතා තොමෝ කාමච්ඡන්‍දනීවරණයට ප්‍රතිවිරුද්ධ ය. ප්‍රීතිය අරමුණෙහි සතුටු වන බැවින් ව්‍යාපාදනීවරණයට ප්‍රතිවිරුද්ධ ය. විතර්‍කය තෙමේ හේතු යුක්ති අනුගත ව කල්පනා කිරීම් වශයෙන් පවත්නා බැවින් ථීනමිද්ධනීවරණයට ප්‍රතිවිරුද්ධ ය. සුඛය සංසිඳුනු සිහිබව ඇති බැවින් උද්ධකුක්කුච්චයට ප්‍රතිවිරුද්ධ ය. විචාරය ප්‍රඥාව හා සමාන බැවින් විචිකිච්ඡානීවරණයට ප්‍රතිවිරුද්ධ ය. මෙසේ කසිණාදී වු, අරමුණු බලන කිස ඇති බැවින් නීවරණයන්ට ප්‍රතිවිරුද්ධ බැවින් මේ ධර්‍ම පස ධ්‍යානාඞ්ග වශයෙන් ගන්නා ලද්දේ ය. මේ සියල්ල පිඬු කොට සංග්‍රහ කළේ මෙසේ ය:-

“උපනිජ්ඣානකිච්චත්තා කාමාදිපටිපක්ඛතො,

සන්තෙසු පි ච අඤ්ඤෙසු පඤ්චෙව ඣානසඤ්ඤිතා” යි.

  1. විතක්කවිචාරපීතිසුඛඑකග්ගතාසහිතපඨමජ්ඣානවිපාකචිත්තය.
  2. විචාරපීතිසුඛඑකග්ගතාසහිතදුතියජ්ඣානවිපාකචිත්තය.
  3. පීතිසුඛඑකග්ගතාසහිතතතියජ්ඣානවිපාකචිත්තය.
  4. සුඛඑකග්ගතාසහිතචතුත්‍ථජ්ඣානවිපාකචිත්තය.
  5. උපෙක්ඛාඑකග්ගතාසහිතපංචමජ්ඣානවිපාකචිත්තය.

මේ රූපාවචරවිපාකසිත් පස ය.

විතර්‍කාදීහු යට කියූ සැටි වෙති. කාමාවචරකුශලයවනාහි තමන් හා අසමානවිපාක උපදවන්නේය. මහද්ගතකුශලය වනාහි හැම කල්හි ම තමන් සමාන විපාක උපදවන්නේ ය. එ හෙයින් විතක්ක, විචාර, පීති, සුඛ, එකග්ගතාසහිතවිපාකචිත්තය යන ඈලෙසින් කුශලය හා ම සමාන වන්නේ ය.

විපාක සිත් වනාහි මුලින් කියූ කුසල් සිත් උපදවා ගත්තවුන්ට ප්‍රතිසන්‍ධි, භවාඞ්ග, ච්‍යුති වශයෙන් උපදී. මේ අත්බවෙහි පඨවිකසිණාදී වූ භාවනාවකින් ප්‍රථමද්ධ්‍යානකුශලචිත්තය උපදවා ගත් තැනැත්තේ, ඒ උපදවා ගත් ධ්‍යානකුශලචිත්තය හීන ව (යන්තමකට) වඩන්නේ ධ්‍යානයෙන් නො ගිලි හී කලුරිය කෙළේ ‘බ්‍රහ්මපාරිසජ්ජ’ නම් ප්‍රථමද්ධ්‍යානභූමියෙහි උපදින්නේ ය.

ප්‍රථමද්ධ්‍යානකුශලචිත්තය ම එයට වැඩියෙන් මධ්‍ය ම තරමින් වඩන්නේ, ධ්‍යානයෙන් නො ගිලි හී කලුරිය කෙළේ ‘බ්‍රහ්මපුරොහිත’ නම් බ්‍රහ්මභූමියෙහි උපදින්නේ ය.

ප්‍රථමද්ධ්‍යානකුශලචිත්තය ම ඉතා උසස් ලෙසින් ප්‍රණීත ව වඩන්නේ ධ්‍යානයෙන් නො ගිලි හී කලුරිය කෙළේ ‘මහාබ්‍රහ්ම’ නම් බ්‍රහ්මභූමියෙහි උපදින්නේ ය. මේ භූමි තුන ම ප්‍රථමද්ධ්‍යාන භූමි ය. උත්පත්තිවශයෙන් මෙහි පළමු කොට පහළ වන සිත ‘ප්‍රතිසන්‍ධිචිත්ත’ යි කියනු ලැබේ. උපන්දා පටන් එහි වසන තාක්, චක්‍ෂුරාදීන් විසින් අරමුණු නො ගෙණ පිරිසිදු ව, සිටින තුරු ඇති වන සිත්, භවාඞ්ගචිත්ත’ නම් වේ. එයින් ච්‍යුතවීම් වශයෙන් පහළ වන සිත, ‘චුතිචිත්ත’ නම් වේ.

ද්විතීය, තෘතීයද්ධ්‍යානයන් පරිත්තවශයෙන් වැඩූයේ ‘පරිත්තාභ’ නම් බ්‍රහ්මභූමියෙහි උපදින්නේ ය. මද්ධ්‍යමවශයෙන් වැඩූයේ ‘අප්පමාණාභ’ නම් බ්‍රහ්මභූමියෙහි උපදින්නේ ය. ප්‍රණීතවශයෙන් වැඩූයේ ‘ආභස්සර’ නම් බ්‍රහ්මභූමියෙහි උපදින්නේ ය. මේ තුන් බිම ද්විතීයද්ධ්‍යානභූමි ය.

චතුර්‍ත්‍ථද්ධ්‍යානය පරිත්තවශයෙන් වැඩූයේ ‘පරිත්තසුභ’ නම් බ්‍රහ්මභූමියෙහි ද, මද්ධ්‍යමවශයෙන් වැඩූයේ ‘අප්පමාණසුභ’ නම් බ්‍රහ්මභූමියෙහි ද, ප්‍රණීත වශයෙන් වැඩූයේ සුභකිණ්ණ නම් බ්‍රහ්මභූමියෙහි ද උපදින්නේ ය මේ තුන් බිම තෘතීයද්ධ්‍යානභූමි ය.

පංචමද්ධ්‍යානය වැඩූයේ ‘වෙහප්ඵල’ නම් බඹතලයෙහි උපදින්නේ ය. එය ම සංඥාවිරාගවශයෙන් වැඩූයේ අසඤ්ඤසත්තයෙහි උපදින්නේ ය. අනාගාමීහු ශුද්ධාවාසයෙහි උපදිත්. මේ චතුර්‍ත්‍ථද්ධ්‍යානභූමි ය. ‘පඨමජ්ඣානවිපාකං පඨමජ්ඣානභූමියං පටිසන්‍ධිභවඞ්ගචුතිවසෙන පවත්තති, තථා දුතියජ්ඣානවිපාකං තතියජ්ඣානවිපාකං ච දුතියජ්ඣානභූමියං, චතුත්‍ථජ්ඣානවිපාකං චතුත්තජ්ඣාභූමියං’ මේ විපාක සිත් සියලු තැන් හි ම මුල කියූ ලෙසින් ප්‍රතිසන්‍ධි, භවාඞ්ග, ච්‍යුතිවශයෙන් පහළ වෙත්නුයි මෙයින් කීහ. ප්‍රථමද්ධ්‍යානාදිකුශලචිත්තයන්ට විපාකවශයෙන් උපදනා බැවින් මේ විපාක සිත් නම් වේ.

  1. විතක්කවිචාරපීතිසුඛඑකග්ගතාසහිතපඨමජ්ඣානක්‍රියාචිත්තය.
  2. විචාරපීතිසුඛඑකග්ගතාසහිතදුතියජ්ඣානක්‍රියාචිත්තය.
  3. පීතිසුඛඑකග්ගතාසහිතතතියජ්ඣානක්‍රියාන්චිත්තය.
  4. සුඛඑකග්ගතාසහිතචතුත්‍ථජ්ඣානක්‍රියාචිත්තය.
  5. උපෙක්ඛාඑකග්ගතාසහිතපඤ්චමජ්ඣානක්‍රියාචිත්තය.

මේ රූපාවචරක්‍රියා සිත් පස ය.

විතර්‍කාදීහු යට කියූ සැටි වෙති. පෘථග්ජනයකු විසින් හෝ ශෛක්‍ෂයකු විසින් පඨවිකසිණා දී වූ යම්කිසි භාවනාවක් වඩා චිතර්‍කාදීද්ධ්‍යානාඞ්ගයන්ගෙන්යන්ගෙන් ප්‍රථමධ්‍යානය උපදවන ලද්දේ නම් ඒ ප්‍රථමද්ධ්‍යානකුශලචිත්ත යි කියනු ලැබේ. රහතුන් වහන්සේ විතර්‍කාදිධ්‍යානාඞ්ගයන්ගෙන් යුත් ප්‍රථමද්ධ්‍යානය ම ලැබූ සේක් ද ඒ ලැබූ ප්‍රථමද්ධ්‍යානය, ප්‍රථමද්ධ්‍යානක්‍රියාචිත්තය යි. ද්විතීයද්ධ්‍යානය ලැබූ සේක් ද එය, ද්විතීයද්ධ්‍යානක්‍රියාන්චිත්තය යි. සෙස්ස ද මෙසේ යි.

“පංචධා ඣානභෙදෙන රූපාවචරමානසං,

පුඤ්ඤපාකක්‍රියාභෙදා තං පංචදසධා භවෙ”

මෙසේ කියූ රූපාවචරය තෙමේ ධ්‍යානභේදයෙන් පස් වැදෑරුම් ය. නැවැත ඒ චිත්තය වෙන වෙන ම කුශල, විපාක, ක්‍රියාභේදයෙන් පසළොස් වැදෑරුම් ය.

  1. ආකාසානඤ්චායතනකුසලචිත්තය.
  2. විඤ්ඤාණඤ්චායතනකුසලචිත්තය.
  3. ආකිඤ්චඤ්ඤායතනකුසලචිත්තය.
  4. නෙවසඤ්ඤානාසඤ්ඤායතනකුසලචිත්තය.

මේ අරූපාවචර භූමියෙහි වූ කුසල්සිත් සතර ය.

මෙහි උත්පාදාදිඅන්ත නැති කසිණුග්ඝාටිමාකාසය, ‘ආකාසානන්ත’ යන මෙයින් කියන ලද්දේ ය. මේ ඒ බව:- ‘තත්‍ථ උප්පාදාදිඅන්තරහිතතාය නාස්ස අන්තොති අනන්තං, ආකාසඤ්ච තං අනන්තඤ්චාති ආකාසානන්තං, කසිණුග්ඝාටිමාකාසො’ යනු.

අනන්තාකාස යි කිය යුතු තැන්හි විශේෂණයාගේ පරනිපාතයෙන් ආකාසානන්ත’ යි කියන ලද්දේ ය. ඒ ම සුවසේ කීම සඳහා ආකාසානඤ්ච’ යි කීහ. මේ ධ්‍යානයට අනන්ත වූ ආකාශ ප්‍රඥප්තිය ආධාරස්ථාන වන බැවින් ආකාසානඤ්චායතන යි කියන ලදී. ඒ හා යෙදුනු කුශලචිත්තය, ආකාසානඤ්චායතනකුසලචිත්ත නම්.

‘විඤ්ඤාණමෙව අනන්තං විඤ්ඤාණන්තං’ යි කියූ බැවින් අනන්ත වූ විඤ්ඤාණය ම ‘විඤ්ඤාණන්ත’ නමි. මෙයින් ප්‍රථමාරූප්‍යවිඥානය කිය වේ. ප්‍රථමාරූප්‍යවිඥානය වනාහි උත්පාදාදිපරිච්ඡෙද ඇත්තේ නමුත්, අනන්ත වශයෙන් අරමුණු කළ අහසෙහි උපදින බැවින්, තමන් අරමුණු කොට හටගත් භාවනාවන්ගේ උත්පාදාදී වූ අන්තය නො ගෙණ අනන්ත වශයෙන් පැතිර හටගන්නා බැවින් අනන්ත’ යි කියනු ලැබේ. විඤ්ඤාණන්ත යි කියයුතු තැන්හි ‘විඤ්ඤාණඤ්ච’ යි කියන ලදී. මේ ද්විතීයාරූප්‍යධ්‍යානයට ප්‍රථමාරූප්‍ය විඥානය ආධාර වන බැවින්, විඤ්ඤාණඤ්චායතන, නම් වේ. ඒ හා යෙදුනු කුශලචිත්තය, විඤ්ඤාණඤ්චායතනකුසලචිත්ත නම් වේ.

ප්‍රථමාරූප්‍යවිඥානයාගේ කිසිත් නැතිබව, ‘ආකිඤ්චඤ්ඤ’ නම්. මේ බව ‘නාස්ස පඨමාරුප්පස්ස කිඤ්චනං අප්පමත්තකං අන්තමසො, භවඞ්ගමත්තම්පි අවසිඨං නත්‍ථී’ති අකිඤ්චනං, තස්ස භාවො ආකිඤ්චඤ්ඤං’ යනු. මේ ධ්‍යානයට ප්‍රථමාරූප්‍ය විඥානයාගේ අභාවමාත්‍රය ආධාර වන බැවින් ආකිඤ්චඤ්ඤායතන’ නම් වේ.

චතුර්‍ත්‍ථාරූප්‍යධ්‍යානය, නෙවසඤ්ඤානාසඤ්ඤ යන මෙයින් ගැණේ. මහත් ලෙසින් සංඥා ව නැති බැවින් සියුම් ලෙසින් සංඥා ව ඇති බැවින් නෙවසඤ්ඤානාසඤ්ඤ’ නම්. ඒ බව ‘ඔලාරිකාය සඤ්ඤාය අභාවතො සුඛුමාය ච සඤ්ඤාය අත්‍ථිතාය නෙවස්ස සසම්පයුත්තධම්මස්ස සඤ්ඤා අත්‍ථිතාපි අසඤ්ඤං අවිජ්ජමානසඤ්ඤන්ති නෙවසඤ්ඤානාසඤ්ඤං’ යනු. මෙය මනායතනාදීන්ට ඇතුළත් බැවින් නෙවසඤ්ඤානාසඤ්ඤායතන’ නම්. ඒ හා යෙදුන කුශල චිත්තය, නෙවසඤ්ඤානාසඤ්ඤායතන’ නම් වේ.

  1. ආකාසානඤ්චායතනවිපාකචිත්තය.
  2. විඤ්ඤාණඤ්චායතනවිපාකචිත්තය.
  3. ආකිඤ්චඤ්ඤායතනවිපාකචිත්තය.
  4. නෙවසඤ්ඤානාසඤ්ඤායතනවිපාකචිත්තය.

මේ අරූපාවචර විපාක සිත් සතර ය.

මේ විපාක සිත් එහි කුසල් සිත් වැනි වේ. වෙනස විපාකවීම පම‍ණෙකි. මේ සිත් ඒ ඒ භූමීන්හි ප්‍රතිසන්‍ධි භවාඞ්ග ච්‍යුතිවශයෙන් පවතී. ඒ බව ‘පඨමාරුප්පාදිවිපාකානි පඨමාරුප්පාදිභූමිසු යථාක්කමං පටිසන්‍ධිභවඞ්ගචුතිවසෙන පවත්තන්ති’

ආකාසානඤ්චායතනධ්‍යානය උපදවාගත් තැනැත්තේ, එයින් නො පිරිහී කලුරිය කළේ ආකාසානඤ්චායතන’ නම් අරූපබ්‍රහ්මලෝකයෙහි උපදින්නේ ය. එහි ඉපදීම් වශයෙන් පහළවන ප්‍රතිසන්‍ධි චිත්තය ද, එතැන් සිට ච්‍යුත වන තෙක් ඇතිවන භවාඞ්ග චිත්තය ද, චුතවීම් වශයෙන් ඇතිවන චුතිචිත්තය ද, ප්‍රථමවිපාක චිත්තය වන්නේ ය.

විඤ්ඤාණඤ්චායතනධ්‍යානය උපදවා ගත් තැනැත්තේ, එයින් නො පිරිහී කලුරිය කළේ විඤ්ඤාණඤ්චායතන අරූපබ්‍රහ්මලෝකයෙහි උපදින්නේ ය. එහි දී මේ ද්විතීයවිපාකචිත්තය, ප්‍රතිසන්‍ධිභවාඞ්ගච්‍යුතිවශයෙන් විපාක දෙයි.

ආකිඤ්චඤ්ඤායතනද්ධ්‍යානය උපදවා ගත් තැනැත්තේ, එයින් නො පිරිහී කලුරිය කළේ ආකිඤ්චඤ්ඤායතනඅරූපබ්‍රහ්ම ලෝකයෙහි උපදින්නේ ය. එහි දී මේ තෘතීයවිපාකචිත්තය, ප්‍රතිසන්‍ධිභවාඞ්ගච්‍යුතිවශයෙන් උපදින්නේ ය.

නෙවසඤ්ඤානාසඤ්ඤායතනද්ධ්‍යානය උපදවා ගත් තැනැත්තේ එයින් නො පිරිහී කලුරිය කළේ නෙවසඤ්ඤානාසඤ්ඤායතන අරූපබ්‍රහ්මලෝකයෙහි උපදින්නේ ය. එහි දී මේ චතුර්‍ත්‍ථවිපාක චිත්තය, ප්‍රතිසන්‍ධිභවාඞ්ගච්‍යුතිවශයෙන් විපාක දෙයි.

  1. ආකාසානඤ්චායතනක්‍රියාචිත්තය.
  2. විඤ්ඤාණඤ්චායතනක්‍රියාචිත්තය.
  3. ආකිඤ්චඤ්ඤායතනක්‍රියාචිත්තය.
  4. නෙවසඤ්ඤානාසඤ්ඤායතනක්‍රියාචිත්තය.

මේ අරූපාවචරක්‍රියා සිත් සතර ය.

මෙහි කිය යුතු අරුත් යට කියැවුණේ ය. එය ඒ කියූ ලෙසින් දන්නේ ය. පෘථග්ජනයන්ට හා ශෛක්‍ෂපුද්ගලයන්ට ය ඒ සිත් උපදනේ. ක්‍රියා සිත් රහතුන් වහන්සේට පමණක් උපදී. අන්‍යයන්ට උපදිනු නැත. රහතුන් වහන්සේ විසින් උපදවනු ලබන ආකාසානඤ්චායතනද්ධ්‍යානය, උන්වහන්සේට ආකාසානඤ්චායතනක්‍රියාචිත්තය වේ. සෙසු ධ්‍යාන තුන ද උන්වහන්සේට ක්‍රියා ම වේ.

“ආලම්බනප්පභෙදෙන චතුධාරුප්පමානසං,

පුඤ්ඤපාකක්‍රියාභෙදා පුන ද්වාදසධා ඨිතං”

අරූපාවචරචිත්තය තෙමේ ආලම්බනභේදයෙන් සිවු වැදෑරුම් ය. නැවැත කුශලවිපාකක්‍රියාභේදයෙන් දොළොස් අයුරු ය.

අරූපාවචරයෝ රූපාවචරයන් සේ අඞ්ග ඉක්මවා නො උපදින්නෝ ය. උපදින්නෝ අරමුණු ඉක්ම වීමෙනි. ප්‍රථමාරූප්‍යය, පඤ්චමද්ධ්‍යානයට අරමුණු වූ කසිණනිමිත්ත උගුළුවා කිසුණු ඉගුළු අහස අරමුණු කොට උපදියි. ද්විතීයාරූප්‍යය, ඒ අහස ඉක්මවා එහි පැවැති විඤ්ඤාණය අරමුණු කොට උපදියි. තෘතීයාරූප්‍යය, ඒ විඤ්ඤාණය ඉක්මවා විඤ්ඤාණයාගේ අභාවය අරමුණු කොට උපදියි. චතුර්‍ත්‍ථාරූප්‍යය, ඒ අභාවමාත්‍රය ඉක්මවා තෘතීයාරූප්‍යය, අරමුණු කොට උපදියි.

  1. සෝතාපත්තිමග්ගචිත්තය.
  2. සකදාගාමීමග්ගචිත්තය.
  3. අනාගාමීමග්ගචිත්තය.
  4. අරහත්තමග්ගචිත්තය.

මේ ලෝකෝත්තර කුසල් සිත් සතර ය.

ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය සෝත’ නම්, නිර්‍වාණ නැමැති මහා සමුද්‍රයට පමුණු වන බැවින් ආර්‍ය්‍යමාර්‍ගය මේ නම ලබයි. සෝතාපත්ති නම්, ආර්‍ය්‍යමාර්‍ගයට හාපුරා කියා පැමිණීම ය. ‘සොතො ති වුච්චති අරියො අට්ඨඞ්ගිකො මග්ගො, තස්ස ආපත්ති ආදිතො පජ්ජනං පාපුණනං පඨමසමන්නාගමො සොතාපත්ති’ යනු ඒ වග කිය යි. ඒ ආර්‍ය්‍යමාර්‍ගයට පැමිණීමෙන් ලැබෙන මාර්‍ගචිත්තය, සෝතාපත්තිමග්ගචිත්ත’ නම් වේ. ඒ වග මේ:- ‘සොතාපත්තියා ලද්ධං මග්ගචිත්තං සොතාපත්තිමග්ගචිත්තං’ යනු. සෝතාපත්ති යන්නෙන්, මේ පමණක් නො ව ආර්‍ය්‍යමාර්‍ගයට මුලින් ම පැමිණි තැනැත්තේ ද ගැණේ. එවිට ඔහු පිළිබඳ මාර්‍ගය සෝතාපත්තිමග්ග’ නම්, ඒ ස්‍රෝතාපත්ති මාර්‍ගය හා එක් ව යෙදුනු චිත්තය, ස්‍රෝතාපත්තිමාර්‍ගය’ යි. මේ ඒ කියූ සැටි:- ‘අරියමග්ගසොතස්ස ආදිතො පජ්ජනං එතිස්සා ති සොතාපතති, පුග්ගලො, තස්ස මග්ගො, සොතාපත්තිමග්ගො, තෙන සම්පයුත්තං චිත්තං සොතාපත්තිමග්ගචිත්තං’ යනු.

පිළිසිඳගැණීම් විසින්, මිනිස්ලොවට එක් වරක් එන්නේ සකදාගාමී’ නම්. ඔහුගේ මාර්‍ගය හා එක් ව යෙදුනු සිත, සකදාගාමීමග්ගචිත්තය යි. මේ ඒ කියූ සැටි:- ‘සකිං එකවාරං පටිසන්‍ධිවසෙන ඉමං මනුස්සලොකං ආගච්ඡතී ති = සකදාගාමී, තස්ස මග්ගො, සකදාගාමිමග්ගො, සකදාගාමිමග්ගෙන සම්පයුත්තං චිත්තං සකදාගාමිමග්ගචිත්තං’ යනු.

‘ඉධ පත්‍වා ඉධ පරිනිබ්බායී, තත්‍ථ පත්‍වා තත්‍ථ පරිනිබ්බායි, ඉධ පත්‍වා තත්‍ථ පරිනිබ්බායී. තත්‍ථ පත්‍වා ඉධ පරිනිබ්බායී, ඉධ පත්‍වා තත්‍ථ නිබ්බත්‍තිත්‍වා ඉධ පරිනිබ්බායී’ යන මේ පාළියෙන් කියන පුද්ගලයන් පස් දෙනා අතුරෙන් මෙහි කියැවෙනුයේ පස්වැන්නා ය. මෙ තෙමේ වනාහි මෙයින් දෙව්ලොව උපතට ගොස්, නැවැත එක් වරක් මේ මිනිස්ලොව උපතට එන්නේ ය. මාර්‍ගය, එකචිත්තක්‍ෂණික බැවින් මාර්‍ගක්‍ෂණයෙහි මිනිස්ලොව පිළිසිඳගැණුමක් නො වන බැවින් ඵලස්ථපුද්ගල තෙමේ ම සකදාගාමී’ නම් වේ. පුද්ගලභේදය දැනගණු පිණිස මෙසේ දැක්විණ.

පිළිසිඳගැනීමට නැවැත මේ කාමලෝකයට නො එන්නේ අනාගාමී’ නම්. ඔහුගේ මාර්‍ගය හා එක් ව යෙදුනු සිත, අනාගාමී මග්ගචිත්ත නම් වේ. ‘පටිසන්‍ධිවසෙන ඉමං කාමධාතුං න ආගච්ඡතී’ති = ආනාගාමී, තස්ස මග්ගො, ආනාගාමීමග්ගො තෙන සම්පයුත්තං චිත්තං ආනාගාමීමග්ගචිත්තං’ යනු ඒ බව කීයේ ය.

අර්‍හද්ඵලය, ‘අරහත්ත’ නම්. ඒ අර්‍හද්ඵලයට පැමිණීමට කරුණු වූ මාර්‍ගය ‘අරහත්තමග්ග’ නම් වේ. ඒ අර්‍හත්මාර්‍ගය හා එක් ව යෙදුනු සිත, අරහත්තමග්ගචිත්තය යි. ‘අරහතො භාවො අරහත්තං, චතුත්‍ථඵලස්සෙතං අධිවචනං, තස්ස ආගමනමග්ගභූතො මග්ගො, අරහත්තමග්ගො, තෙන සම්පයුත්තං චිත්තං අරහත්ත මග්ගචිත්තං’ යනු එ බව කීයේ ය.

  1. සෝතාපත්තිඵලචිත්තය.
  2. සකදාගාමීඵලචිත්තය.
  3. අනාගාමීඵලචිත්තය.
  4. අරහත්තඵලචිත්තය.

මේ ලෝකෝත්තරවිපාකසිත් සතර ය.

සෝතාපත්ති යනු ඈ පෙර කී සේ දන්නේ ය. ඵල නම් විපාකය යි. මේ ඵල සිත් ඒ ඒ මාර්‍ග සිත්වලට අනතුරුව ම ලැබෙන්නේ ය. සෝවන්මගසිත ලැබූ තැනැත්තහුට ඊට අනතුරු ව උපදින්නේ සෝතාපත්තිඵලචිත්තය යි. සෙස්ස ද මෙසේ ය.

“චතුමග්ගප්පභෙදෙන චතුධා කුසලං තථා,

පාකං තස්ස ඵලත්තාති අට්ඨධානුත්තරං මතං”

ස්‍රෝතාපත්තිමාර්‍ගාදිචතුර්විධමාර්‍ගයන්ගේ ප්‍රභේදයෙන් ලෝකෝත්තරකුශලචිත්තය සිවු වැදෑරුම් ය. විපාකය වනාහි ඒ ලෝකෝත්තර සිත්හි ම විපාක බැවින් එසේ ම සිවු වැදෑරුම් ය. ලෝකෝත්තර චිත්තය අටවැදෑරුම් ය මෙසේ.

මෙහි ක්‍රියා සිත් නැත. මාර්‍ගචිත්තය එකචිත්තක්‍ෂණික බැවිනි. ලෝකෝත්තර සිත් එක් වරක් විනා දෙවරක් නො උපදියි. ඉදින් මගසිත් නැවැත නැවැත උපදනේ නම්, ඒ මගසිත් නැවැත ඉපදීමෙන්, ක්‍රියාස්වභාවය කියනු හැකි ය. නැවැත ඉපැත්මෙක් නැත. එහෙයින් ලෝකෝත්තරක්‍රියාචිත්තයන්ගේ සම්භවයෙක් නො වේ.

මෙසේ ඉතා සැකෙවින් කියූ මේ චිත්තසංග්‍රහයෙහි ජාති වශයෙන් අකුසල්සිත් දොළසෙකි. කුසල්සිත් එක් විස්සෙකි. විපාක සිත් ස තිසෙකි. ක්‍රියාසිත් විස්සෙකි. මුළුල්ල අසූනවයෙකි. මේ සිත් ම භූමිවශයෙන් කාමභවයෙහි සූ පණසෙකි. රූප භවයෙහි පසළොසෙකි. අරූප භවයෙහි දොළසෙකි. ලෝකෝත්තර භූමියෙහි අටකැ’ යි මෙසේත් භේදයට යයි.

“ද්වාදසා කුසලානෙවං කුසලානෙකවීසති,

ඡත්තිංසෙව විපාකානි ක්‍රියාචිත්තානි වීසති,

චතුපඤ්ඤාසධා කාමෙ රූපෙ පණ්ණරසීරයෙ,

චිත්තානි ද්වාදසාරුප්පෙ අට්ඨධානුත්තරෙ තථා”

ලෝකෝත්තරචිත්තය, සමාපත්තිලාභීන්ට ධ්‍යානම්ප්‍රයුක්ත ව ලැබෙන බැවින් එක එක ලෝකෝත්තරචිත්තය, ධ්‍යානපංචකය වශයෙන් ගිණූ කල්හි ලෝකෝත්තර සිත් සම සතළිසෙකි. හේ මෙසේ ය:

  1. විතක්කවිචාරපීතිසුඛඑකග්ගතාසහිතපඨමජ්ඣානසොතාපත්තිමග්ගචිත්තය.
  2. විචාරපීතිසුඛඑකග්ගතාසහිතදුතියජ්ඣානසොතාපත්තිමග්ගචිත්තය.
  3. පීතිසුඛඑකග්ගතාසහිතතතියජ්ඣානසොතාපත්තිමග්ගචිත්තය.
  4. සුඛඑකග්ගතාසහිතචතුත්‍ථජ්ඣානසොතාපත්තිමග්ගචිත්තය.
  5. උපෙක්ඛාඑකග්ගතාසහිතපංචමජ්ඣානසොතාපත්තිමග්ගචිත්තය.

සෝතාපත්තිමග්ගචිත්තය, ධ්‍යානාඞ්ගයෝගයෙන් මෙසේ පසකට බෙදන්නා සේ, සකදාගාමීමග්ගචිත්තය ද, අනාගාමීමමග්ගචිත්තය ද, අරහත්තමග්ගචිත්ත ද ධ්‍යානාඞ්ගයෝගයෙන් පසකට පසකට බෙදෙත්. එවිට මාර්‍ගසිත් විස්සෙකි. ඵලසිත් ද මෙසේ ඒ ඒ ඵල නාමයෙන් පසක් පසක් බැගින් විස්සෙක් වේ. ලෝකෝත්තර සිත් මෙසේ සතළිසෙක් වේ. මෙය කීහ මෙසේ:-

“ඣානඞ්ගයෝගහෙදෙන කත්‍වෙකෙකන්තු පංචධා,

වුච්චතානුත්තරං චිත්තං චත්තාළීසවිධන්ති ච”

එකෙකී ලෝකෝත්තරචිත්තය, ධ්‍යානාඞ්ග හා සම්ප්‍රයෝගභේදයෙන් පස් වැදෑරුම් කොට ලෝකෝත්තරසිත් සතළිස් වැදෑරුම් වේ යනු එහි තේරුම යි.

ලෝකෝත්තරචිත්තය, ධ්‍යානවශයෙන් ගනු ලබන්නේ පාදකජ්ඣාන, සම්මසිතජ්ඣාන, පුග්ගලජ්ඣාසයජ්ඣාන යන මොවුන්ගේ වශයෙනි.

ප්‍රථමද්ධ්‍යානය පාදක කොට එයින් නැගිට, සංස්කාරධර්‍මයන් අනිත්‍යාදිවශයෙන් සම්මර්‍ශනය කරන්නහුට, සෝතාපත්තිමග්ගචිත්තය උපන්නේ නම්, එය පඨමජ්ඣානසොතාපත්තිමග්ගචිත්ත’ නම් වේ. ඔහු පිළිබඳ ඵලචිත්තය ද පඨමජ්ඣාන සොතාපත්තිඵලචිත්ත’ නම් වේ. සෙස්සෙහි ද ක්‍රමය මෙසේ ය. මේ පාදකජ්ඣානයාගේ වශයෙන් ගැණෙන හැටියි.

ප්‍රථමද්ධ්‍යානය පාදක කොට නො ගෙණ, එහි ඇති විතර්‍කාදි අඞ්ගයන් අනිත්‍යාදිවශයෙන් සම්මර්‍ශනය කරන්නහුට, ලැබෙන සෝතාපත්තිමග්ගචිත්තය, ‘පඨමජ්ඣානසොතාපත්තිමග්ගචිත්ත’ නම් වේ. ඵලචිත්තය ද, මෙ නමින් ම උපදනේ ය. සෙස්ස ද මේ නයින් දන්නේ ය. මේ සම්මසිතජ්ඣානයාගේ වශයෙන් ගැණෙන සැටියි.

ප්‍රථමද්ධ්‍යානයට සම වැද එයින් නැගිට, අනික් ධ්‍යානයෙක වූ අඞ්ගයන් අනිත්‍යාදිවශයෙන් සම්මර්‍ශනය කරන්නහුට, තම අදහස් පරිදි මාර්‍ගචිත්තය පහළ වේ. සෙස්ස යට කී ලෙස ය. මේ පුග්ගලජ්ඣාසයජ්ඣානයාගේ වශයෙන් පහළවන සැටියි.

ප්‍රථමද්ධ්‍යානය හා සම්ප්‍රයුක්ත වූ කුශල-විපාක-ක්‍රියා වශයෙන් රූපාවචරසිත් තුනය, ප්‍රථමද්ධ්‍යානය හා සම්ප්‍රයුක්ත වූ මාර්‍ගඵල වශයෙන් ලෝකෝත්තර සිත් අටෙකැ යි ප්‍රථමද්ධ්‍යාන චිත්තයෝ එකොළොසෙකි. මෙයින් තුනක් ලෞකික ය. අටක් ලෝකෝත්තර ය. මෙසේ ම ද්විතීයද්ධ්‍යානචිත්තයෝ ද එකොළොසෙකි. තෘතීයද්ධ්‍යානචිත්තයෝ ද එකොළොසෙකි. චතුර්‍ත්‍ථද්ධ්‍යානචිත්තයෝද එකොළොසෙකි. අරූපාවචර සිත් දොළොස, පඤ්චමද්ධ්‍යානයට ඇතුළත් වන බැවින් පඤ්චමද්ධ්‍යානචිත්තයෝ තෙවිස්සෙකි. එහි ලෞකික සිත් පසළොසෙකි. ලෝකෝත්තර සිත් අටෙකැ යි දතයුතු යි.

කාමාවචර අකුසල්සිත් අටෙක, රූපාවචර කුසල්සිත් පසෙක, අරූපාවචර කුසල්සිත් සතරෙක, ලෝකෝත්තර කුසල් සිත් විස්සෙකැ යි කුසල්සිත් සත් තිසෙකි. කාමාවචරඅහේතුක සිත් පසළොසෙක, සහේතුක සිත් අටෙක, රූපාවචරවිපාක සිත් සතරෙක, ලෝකෝත්තරවිපාක සිත් විස්සෙකැ,යි විපාක සිත් දෙ පණසෙකි. අහේතුක්‍රියා සිත්, තුනෙක, සහේතුක ක්‍රියා සිත් අටෙක, රූපාවචරක්‍රියා සිත් පසෙක, අරූපාවචරක්‍රියා සිත් සතරෙකැ,යි ක්‍රියා සිත් විස්සෙකි. මේ සියලු සිත් අකුසල් සිත් සමග ගිණු කල්හි මුළුල්ල එක්සිය එක් විස්සෙකැ,යි සැකෙවින් දත යුතු ය. කීහ මෙය මෙසේ:-

“සත්තතිංසවිධං පුඤ්ඤං ද්විපඤ්ඤාසවිධං තථා,

පාකමිච්චාහු චිත්තානි එකවීසසතං බුධා” යි.

කාමාවචරාදී වූ කුසල්සිත් සත් තිසෙකි. විපාකසිත් දෙ පණසෙකි. අකුසල්සිත් දොළසෙකි. ක්‍රියාසිත් විස්සෙකි. හැම, එක් සිය එක් විස්සෙකි.

‘ඵන්‍දනං චපලං චිත්තං’ යනාදී වූ ගාථාවෙහි ආ ‘චිත්තං’ යන්න ගෙණ මෙහි දක්වන ලද්දී සිත පිළිබඳ සාමාන්‍ය කථාවකි. එහෙත් මෙහි එන ‘චිත්තං’ යන විභක්ත්‍යන්තපදයෙන් ගැණෙන්නේ ශමථ-විදර්‍ශනාවශයෙන් නො වැඩු ශමථ-විදර්‍ශනා බලයෙන් තම යටතට නො ගත් කෙලෙස් සහිත සිත ය.

දූරක්ඛං = නො රැකියැකි වූ. රකින්නට අපහසු.

ශමථ - විදර්‍ශනාවන්ගේ බලයෙන් යටත් නො කළ සිත, හිත වූ අරමුණෙක පිහිටුවීම පහසු නො වේ. මේ සිත ඒ ඒ තැනින් වැට කටු බිඳ කුඹුරට වැද ගොයම් කන කුළුගොනකු වැනි ය. ‘කිට්ඨසම්බාධෙ කිට්ඨඛාදකගොණො විය එකස්මිං සප්පායාරම්මණෙයෙව දුට්ඨපනතො දූරක්ඛං’ යනු අටුවා ය.

දුන්නිවාරයං = නො වැළකියැක්කා වූ. වළකාලීම අපහසු වූ.

කෙලෙස්සහිත වූ සිත විෂභාගාලම්බන කරා නිතර දුවන්නේ ය. එසේ නිතර නරක අතට දුවන සිත කායාදිදුශ්චරිතයන්ගෙන් නො වළකාලිය හැකි ය. දිවා රෑ දෙක්හි ම කායාදිදුශ්චරිත ම කරන්නේ ය. සොයන්නේ ය. ‘විසභාගාරම්මණං ගච්ඡන්තං පටිසෙධෙතුං දුක්ඛං’ යනු අටුවා ය.

උජුං කරොති = සෘජු කෙරෙයි. ඇද නැත්තක් කෙරෙයි.

සිතෙහි ඇද නැතිකිරීම නම්, කෙලෙස් පුරුද්ද හා සියලු කෙලෙස් මුලින් උපුටා හැර, සිත කෙලෙසුන්ගෙන් මුළුමනින් සංසිඳුවා ගැණීම ය. සිතේ ඇද නැතිකම වන්නේ ශමථ-විදර්‍ශනා භාවනාබලයෙන් වූ තදඞ්ගවිෂ්කම්භණප්‍රහාණයන්ගේ වශයෙන් සිතෙහි ඇත්තා වූ කෙලෙසුන් යටපත් කොට මාර්‍ගඵලභාවනාවෙන් සමුච්ඡෙදප්‍රහාණයාගේ වශයෙන් සියලු කෙලෙසුන් මුලින් උපුටා හැර, කෙලෙස් පුරුද්දත් ප්‍රතිප්‍රශ්‍රබ්ධිප්‍රහාණයාගේ වශයෙන් විනාශ කිරීමෙන් සංසිඳවාලීමෙනි.

මෙධාවී = නුවණැත්තේ. [2]

උසුකාරො ඉ’ව = හී වඩුවකු සේ. ඊ සාදන්නකු සේ.

තෙජනං = හීය.

හීවඩු තෙමේ වනයෙන් දණ්ඩක් කපා ගෙණ වුත්, සැස පිට පොත්ත හැර, තෙල් කාඩි ගා, අඟුරුකබලෙන් රත් කොට හී අලුවෙහි ලා මැඩ, ඇද නැති කොට, අස්ලොම් විදීමට නිසි වූවක් කොට, රජ, රජඇමැති ආදීන්ට ශිල්ප දක්වා මහත් සත්කාර සම්මාන ලබන්නේ යම්සේ ද, එසේ නුවණැත්තේ, සැලෙන එක ඉරියව්වෙක නො පිහිටන නො රැකියැකි නො වැළකියැකි සිත ධුතඞ්ගධාරී ව වනයෙහි විසීම් වශයෙන් හී දණ්ඩක පිට පොත්ත වැනි දරදඬුකෙලෙස් තදඞ්ගාදිවශයෙන් දුරු කොට, ශ්‍රද්ධා නැමැති තෛලයෙන් තෙමා, කායිකචෛතසිකවීර්‍ය්‍ය නැමැති අඟුරුකබලෙන් තවා, ශමථවිදර්‍ශනා නැමැති අලුවෙහි ලා, ඇද නැති කොට කාමරූපඅරූපභූමීන් පිළිබඳ සංස්කාරයන් අනිත්‍යාදිවශයෙන් සම්මර්‍ශනය කොට, එයින් ලැබූ විදර්‍ශනාඥානයෙන්, දර දඬු වූ තදබද වූ අවිද්‍යාස්කන්‍ධය පළා, ත්‍රිවිද්‍යාෂඩභිඥානවලෝකෝත්තරධර්‍ම යන මේ ගුණවිශේෂයන් අත් පත් කොට, අග්‍රදක්‍ෂිණාර්‍හභාවය ලබන්නේ ය, යනු මෙයින් වදාළ සේක.

වාරිජො ඉව = මසකු සේ.

වාරිජ නම් මත්ස්‍ය තෙමේ ය දියෙහි උපන් බැවින්.

ථලෙ = ගොඩ බිම.

ථල (ස්ථල) නම්, දිය නැති පෙදෙස ය. ‘ථලො ති නිරූදකප්පදෙසො’ යනු දන්නේ ය.

ථල ශබ්දය, මෙහි දියෙන් යට නො වන ගොඩබිම කියන ලද්දේ නමුත්, එය පැවිද්දෙහි හා නිවනෙහි ද වැටේ. පැවිද්ද හා නිවන කියනු ලැබේ. එසේ වැටෙනු කියනු පැවිද්ද හා නිවන එපරිදි වන බැවිනි. යම්සේ ලෝකයෙහි දියසැඩපහරින් යටපත් නො වන යටපත් නො කළහැකි තැන ථල යි කියනු ලැබේ ද, එපරිද්දෙන් රාගද්වේෂ මෝහාදීන්ගේ වශයෙන් නන්වැදෑරුම් වූ කෙලෙස්දියපහරින් යටපත් නො කළ හැකි බැවින් පැවිද්ද හා නිවන ථල යි කියනු ලැබේ. ‘තිණ්ණො පාරගතො ථලෙ තිට්ඨති බ්‍රාහමණො’ යනු එහෙයින් කියන ලදි.

ඛිත්තො = දමන ලද්දා වූ. ගොඩ දමන ලද්දා වූ.

‘වාරිජො’ යන වෙසෙසන්නේ ය. අතින් හෝ පයින් හෝ දැල් ආදී වූ අනෙකෙකින් හෝ ගොඩැ දමන ලද මසකු සේ’ යි අරුත් ගත යුතු ය. ‘හත්‍ථෙන වා පාදෙන වා ජාලාදීනං වා අඤ්ඤතරෙන ථලෙ ජඩ්ඩිතො’ යනු අටුවා ය.

ඔකං ඔකතො = වාසස්ථාන වූ ජලයෙන්. දියගෙයින්.

මෙහි ‘ඔක’ ශබ්ද දෙකෙකි. එකෙක් ගෘහවාචක ය. එකෙක් ජලවාචක ය. ‘ඔකපුණ්ණෙහි චීවරෙහි’ යන තැන්හි ඔක ශබ්දය ජලයෙහි වැටේ. ‘ඔකං පහාය අනිකෙතසාරී’ යන තැන්හි ගෘහයෙහි වැටේ.

උබ්භතො = නගන ලද. ගොඩැ දැමූ.

පරිඵන්‍දති = තදින් සැලෙයි. තදින් ගැහෙයි.

ඉදං චිත්තං = මේ සිත.

පංචකාමයෙහි ඇලුනු ගැලුනු බැඳුනු පෘථග්ජනයන්ගේ නො වැඩූ සිත නො හික්ම වූ සිත මෙයින් කිය වේ.

මාරධෙය්‍යං = ත්‍රෛභූමකවෘත්තය. මරු අයත් දහම්.

කර්‍මවෘත්ත - ක්ලේශවෘත්ත - විපාකවෘත්ත යන මේ තුනය මාරධ්‍යෙය නම්. මරු අයත් දහම් නම්. එහි ‘සඞ්ඛාරභවා කම්මවට්ටං’ සංස්කාර හා කර්‍මභවය, කර්‍මවෘත්ත නම්. ‘අවිජ්ජා තණ්හූපාදානා කිලෙසවට්ටං’ අවිද්‍යා තෘෂ්ණා උපාදාන යන මොහු ක්ලේශවෘත්ත නම්. ‘විඤ්ඤාණනාමරූපසළායතනඵස්සවෙදනා විපාකවට්ටං’ විඤ්ඤාණ නාමරූප සළායතන ඵස්ස වේදනා යන මොවුහු, විපාකවෘත්ත නම්.

පුණ්‍යාභිසංස්කාර - අපුණ්‍යාභිසංස්කාර - ආනෙඤ්ජාභිසංස්කාර කායසංස්කාර - වචීසංස්කාර - චිත්තසංස්කාර යි ස වැදෑරුම් ය සංස්කාර. එහි, කාමාවචර කුසල්සිත් අට, අරූපාවචර කුසල්සිත් පස, පුණ්‍යාභිසංස්කාර නම්. අකුසල්සිත් දොළස, අපුණ්‍යාහිසංස්කාර නම්. අරූපාවචර කුසල්සිත් සතර, ආනෙඤ්ජාභිසංස්කාර නම්.

කාමාවචර කුසල්සිත් අට, අකුසල්සිත් දොළස, යන මේ විස්ස, කායසංස්කාර නම්. මේ ම වචීසංස්කාර නම් ද වේ. කුසල් අකුසල් විස්ස, රූපාවචර සිත් පස. අරූපාවචර සිත් සතර යන මේ එකුන් තිස, චිත්තසංස්කාර නම්. මෙහි මේ සියලු සංස්කාරයෝ ලෞකිකකුශලාකුශලචේතනාමාත්‍ර’ යි දත යුතු යි.

‘තත්‍ථ කතමො කම්මභවො, පුඤ්ඤාභිසඞ්ඛාරො අපුඤ්ඤාභිසඞ්ඛාරො ආනෙඤ්ජාභිසඞ්ඛාරො පරිත්තභූමකො වා මහාභූමකො වා, අයං වුච්චති කම්මභවො, සබ්බම්පි භවගාමීකම්මං කම්මභවො’ මේ දේශනාව කර්‍මභවය, මේ ය යි කිය යි. කුශලාකුශලචේතනාවන් හා ඒ චේතනාවන් හා යෙදෙන චෛතසිකධර්‍ම, කර්‍මභවය යි. පරිත්තභූමක - මහාභූමක යන මෙයින් කුශලාකුශල චේතනාවන් හා ඒ හා යෙදුනු චෛතසික ද, කාමභව - රූපභව - අරූපභවයන්ට ඇතුළති යි ද, ඔවුන්ගේ මන්‍දබහු විපාකත්‍වය ද දක්වන ලද්දේ ය. ‘සබ්බම්පි භවගාමීකම්මං කම්මභවො’ යන මෙයින් කුශලාකුශලචේතනාවන් සමග උපදනා වූ ආලෝභාදී වූ ද, ලෝභාදී වූ ද චෛතසිකධර්‍ම, සකස් කිරීමේ ස්වභාවය ඇති බැවින් කර්‍මභව නම් වේ.

මෙහි සංස්කාර, විභාග කොට දැක්වීමෙහි දී දැක් වූ පුණ්‍යාභිසංස්කාරාදීන් ම, කර්‍මභවය විභාග කොට දැක්වීමෙහිදීත් දැක් වූ බැවින් නො වෙනස්බවෙක් පෙණේ. එකදෙශයකින් නො වෙනස් බවක් ඇති නමුත් වෙනස්බවෙක් ඇත්තේ ය.

අතීතභවයෙහි රැස් කළ පුණ්‍යාභිසංස්කාරාදීහු, සංඛාර’ යන්නෙන් ද, වර්‍තමානභවයෙහි රැස් කළ පුණ්‍යාභිසංස්කාරාදීහු කම්මභව’ යන්නෙන් ද කියන ලදහ. තවද සංඛාර’ යන්නෙන් කුශලාකුශලචේතනා ද, කම්මභව’ යන්නෙන් කුශලාකුශලචේතනා හා ඒ හා යෙදෙන චෛතසික ද ගැණෙත්. මෙයින් එහි වෙනස දැක් වේ. මෙසේ මෙහි සැකෙවින් කියූ සංස්කාර හා භවගාමීකර්‍ම කර්‍මභව නමැ, යි දන්නේ ය.

අවිද්‍යා තෘෂ්ණා උපාදාන ක්ලේශවෘත්ත නමැ, යි යට කියන ලදී. එහි දුක් නො දැනීම, දුක් හටගැනීම නො දැනීම, දුක් නැතිකිරීම නො දැනීම, දුක් නැතිකිරීමේ පිළිවෙත නො දැනීම, පුර්‍වාන්තය නො දැනීම, අපරාන්තය නො දැනීම, පූර්‍වාන්තාපරාන්තය නො දැනීම, පටිච්චසමුප්පාදය නො දැනීම යනු අවිද්‍යා නමැ, යි කියන ලදී.

තෘෂ්ණා නම්, චක්‍ෂුරාදිෂඩ්ද්වාරයෙහි උපදින එක්සිය අටක් ප්‍රභේද වූ ලෝභය යි. එය රූපතණ්හා-සද්දතණ්හා - ගන්‍ධතණ්හා - රසතණ්හා - ඵොට්ඨබ්බතණ්හා - ධම්මතණ්හා යි පළමු කොට කොටස් සයකට බෙදේ. මේ ෂඩ්විධ තෘෂ්ණාවෙහි එකෙකි තෘෂ්ණාව කාමතණ්හා-භවතණ්හා-විභවතණ්හා යි තෙපරිදි වන බැවින් අටළොස් වැදෑරුම් වේ. ආද්ධ්‍යාත්මිකසන්තානයෙහි වූ රූපාදීන්හි පැවතීම් වශයෙන් අටළොසෙක, බාහිරසන්තානයෙහි වූ රූපාදීන්හි පැවැතීම් වශයෙන් අටළොසෙකැ යි ගත් කල්හි තෘෂ්ණාව සතිසකට බෙදී යයි. ඒ සතිස අතීතභවයෙහි සතිසෙක වර්‍තමානභවයෙහි සතිසෙක, අනාගතභවයෙහි සතිසෙකැ, යි එක් සිය අටක් වේ.

උපාදාන, කාමූපාදාන-දිට්ඨූපාදාන-සීලබ්බතූපාදාන-අත්තවාදූපාදානැ යි සතරෙකි. උපාදාන නම්, දැඩි කොට ගැණීම ය. මෙසේ මෙහි ඉතා සැකෙවින් කියූ අවිද්‍යා - තෘෂ්ණා - උපාදාන යන මේ තුන ක්ලේශවෘත්ත නමි.

විඤ්ඤාණ නම්, සිත යි. ඒ අවිශේෂයෙනි. කුසලවිපාකවක්ඛුවිඤ්ඤාණ - සෝතවිඤ්ඤාණ - ඝාණවිඤ්ඤාණ - ජිව්හාවිඤ්ඤාණ - කායවිඤ්ඤාණ පස හා, අකුසලවිපාකචක්ඛුවිඤ්ඤාණාදී වූ පස ද, අහේතුක සිත් පස ද, ස හේතුක සිත් අට ද, රූපාවචර සිත් පස ද, අරූපාවචර සිත් සතර දැ, යි මෙහි විඤ්ඤාණයෝ දෙ තිසෙකි. චක්ඛුප්පසාදය රූපය හා ගැටුනු කල්හි ඒ ඇසුරු කොට උපදින සිත චක්ඛුවිඤ්ඤාණ නම්. සෙස්ස ද මේ නයින් දත යුතු ය.

සිත ද, සිත සමග එකට ඉපිද නැසෙන සුලු අද්‍රව්‍ය අරූප ධර්‍ම වූ චෛතසික ද, රූපාදී වූ අරමුණුවල නැමී පවත්නා බැවින් නාම නම් වේ. වේදනා-සඤ්ඤා-සඞ්ඛාර-විඤ්ඤාණැ යි නාමය සිවු වැදෑරුම් ය. එහෙත් මෙහි නාමයෙහි ලා වේදනා-සංඥා-සංස්කාර යන ස්කන්‍ධත්‍රය පමණක් ගැණේ.

යම් ද්‍රව්‍යධර්‍මසමූහයෙක් ඉපිද බිඳෙන පෙරළෙන ගතියෙන් යුක්ත ද, ඒ ධර්‍මසමූහය රූප නම් වේ. පඨවි - ආපෝ - තේජෝ - වායෝ, චක්ඛු-සෝත-ඝාණ-ජිව්හා-කාය, වණ්ණ - ගන්‍ධ - රස - ඵොට්ඨබ්බ - ඉත්‍ථිභාව - පුම්භාව - ජීවිත - කායවිඤ්ඤත්ති - වචී විඤ්ඤත්ති - ආකාසධාතු- ලහුතා - මුදුතා - කම්මඤ්ඤතා - උපචය සන්තති - ජරතා- අනිච්චතා - ඔජා - වත්‍ථු යි අටවිසි වැදෑරුම් වේ.

චිත්ත-චෛතසික ධර්‍මයන්ගේ උපදින තැන, රැස්වන තැන, යන අර්‍ත්‍ථයෙන් හා සසර දික් කරන්නෝ ය යන අර්‍ත්‍ථයෙන් චක්ඛු ආදීහු, ආයතන නම් වෙති. චක්ඛු-සෝත-ඝාණ-ජිව්හා-කාය මනැ යි ආයතන සයෙකි.

රූපාදී වූ අරමුණුවල හැපෙන වැදෙන ස්වභාවයෙන් පැවැත්ම ඵස්ස නම් වේ. එය චක්ඛුසම්ඵස්ස-සෝතසම්ඵස්ස-ඝාණසම්ඵස්ස-ජිව්හාසම්ඵස්ස-කායසම්ඵස්ස-මනෝසම්ඵස්ස යි සැකෙවින් ස වැදෑරුම් ය. විස්තර විසින් විපාකස්පර්‍ශයෝ දෙ තිසෙක් වෙති.

අරමුණුරස විඳගැණීම වේදනා නම් වේ. චක්ඛුසම්ඵස්සජාවේදනා - සෝතසම්ඵස්සජාවේදනා - ඝාණසම්ඵස්සජාවේදනා - ජිව්හාසම්ඵස්සජාවේදනා - කායසම්ඵස්සජාවේදනා - මනෝසම්ඵස්සජාවේදනා, යි වේදනාව ස වැදෑරුම් ය. ඒ සැකෙවිනි. විස්තර විසින් විපාකවේදනා දෙ තිසෙක් වේ.

මෙසේ මෙහි ඉතාසැකෙවින් කියූ විඤ්ඤාණ - නාමරූප - සළායතන - එස්ස - වේදනා යන මේ වනාහි විපාකවෘත්ත නමැ, යි දත යුතු ය. මතු පහළ වන උත්පත්තිභවය හා ජාති ජරා මරණ ද මෙහි ම ඇතුළත් ය.

සසරෙහි ඉපැත්මට හේතුවන කුශලාකුශලකර්‍ම, කර්‍මවෘත්ත නමැ යි ද, සිතෙහි වූ ලෝභ දෝස මෝහාදී වූ ක්ලේශ, ක්ලේශවෘත්ත නමැ යි ද, කර්‍මබලයෙන් පහළ වන නාමරූපධර්‍ම, විපාකවෘත්ත නමැ යි ද, කොටින් දතයුතු ය.

පහාතවෙ = පහකරන්නට. පහකටයුතු.

මෙහි පහකිරීමැ යි කීයේ පස්කම්විසයෙහි ඇලුනු ගැලුනු සිත විදර්‍ශනාකර්‍මස්ථානයෙහි බහා කායික-චෛතසික වීර්‍ය්‍යයෙන් ඉන් නගා සිටුවීම ය.

එක් අරමුණෙක පිහිටවනු නො හැකි මේ සිත, කර්‍මවෘත්තාදි වෘත්තත්‍රය පහකරන්නට විදර්‍ශනාකර්‍මස්ථානයෙහි ලා කායික චෛතසික වීර්‍ය්‍යයෙන් තවන කල්හි තදින් සැලේ ද, නුවණැති පුරුෂ තෙමේ වීර්‍ය්‍යය නො හැර යට කියූ ලෙසින් සිත නො ඇදවුවක් කරන්නේ ය. නොහොත් මාරධෙය්‍ය යි කියූ ක්ලේශවෘත්තය නො හැර සිටි බාලපෘථග්ජනයන්ගේ නො වැඩූ මේ සිත දියෙන් ගොඩ දැමූ මසකු සේ නොයෙක් අරමුණු කරා දිවීම් වශයෙන් සැලෙන්නේ ය. එහෙයින් මාරධෙය්‍ය යි කියූ යම් ක්ලේශවෘත්තයකින් සිත සැලෙන්නේ ද, ඒ මේ ක්ලේශවෘත්තසඞ්ඛ්‍යාත මාර ධෙය්‍යය මාර්‍ගඵලාවබෝධයෙන් පහකටයුතු ය යනු භාවයි.

ගාථාදේශනාව ගේ අවසානයෙහි මේඝිය ස්ථවිරයන්වහන්සේ සෝවන් ඵලයෙහි පිහිටියාහු ය. අන් බොහෝ දෙන ද සෝවන් ඵලාදිය ලැබුවෝ වූහ.

මේඝියස්ථවිරවස්තුව නිමි.

  1. සිත මිහ විකාසි නයනං කිඤ්චාලඛ්‍ය ද්විජන්තුනං භසිතං,

    මධුරස්සරං විහසිතං සංසසිරොකම්පමුපහසිතං,

    අපහසිතං සජලක්ඛී වික්කිත්තඞ්ගං හවත්‍යතිහසිතං

    ද්වෙ ද්වෙ කථිතා තෙසං ජෙට්ඨෙ මජ්ඣෙ ධමෙ පිච කමසො.

  2. 2-3 ‘මෙධාවී’ යනු බලනු.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.