24-7 කෙල්ලකගේ බසට රැවටුණු මහණෙක්

විතක්කපමථිතස්ස ජන්තුනො තිබ්බරාගස්ස සුභානුපස්සිනො

භිය්‍යො තණ්හා පවඩ්ඪති එස ඛො දළ්හං කරොති බන්‍ධනං.

කාමවිතර්‍කාදි අකුශලවිතර්‍කයෙන් මැඩුනු, දැඩි කාමරාග ඇති, අරමුණු ශුහ වශයෙන් බලන සුලු වූ සත්ත්‍වයාහට බොහෝ කොට ම තෘෂ්ණාව වැඩේ. මේ පුද්ගල තෙම වනාහි තෘෂ්ණාබන්‍ධනය තර කරන්නේ ය.

විතක්කුපසමෙ ච යො රතො අසුභං භාවයති සදා සතො

එස ඛො ව්‍යන්තිකාහිති එස ඡෙච්ඡති මාරබන්‍ධනං.

යමෙක් අකුශලවිතර්‍කව්‍යුපශමයැ යි කියන ලද දශඅශුභාලම්බනයෙහි උපන් ප්‍රථමධ්‍යානයෙහි ඇලුනේ වේ ද, හැම කල්හි ම සිහි ඇතියේ ඵ් අශුභධ්‍යානය වඩා ද, මෙ තෙම වනාහි තෘෂ්ණාව ක්‍ෂය කරන්නේ ය. මෙ තෙම මාරබන්‍ධනය (හෙවත් ත්‍රෛභූමකවෘත්තය) සිඳැ ලන්නේ ය.

තරුණ භික්‍ෂු නමක් ලහගෙයි දී තමන්ට ලැබුනු ලහයෙන් ලහකැඳක් ලබා ගෙණ වළඳන්නට අසුන්හලට ගොස් එහි පැන් නො තුබුනු බැවින් පැන් ගෙණ එන්නට ලඟ තුබූ ගෙයකට ගියේ ය. එහි සිටි තරුණ කෙල්ලක්, ඒ මහණහු දැක උන් කෙරෙහි උපන් ස්නේහ ඇතියා පැන් දී “ස්වාමීනි! නැවැතත් පැන් වුවමනා විටක මෙහි වඩිනු මැනැවැ”යි කියා සිටියා ය. ඒ මහණ එතැන් පටන් පැන් වුවමනා හැම දවසෙහි ම එහි යන්නේ ය. කෙල්ල ද ඔහුගේ පාත්‍රය ගෙණ පාත්‍රය පුරවා පැන් දෙන්නී ය. මෙසේ කල් යත් අතරතුරෙහි කැඳත් පිළියෙල කොට දීලා නැවැත දවසෙක ගෙයි ම වඩා හිඳුවා බතුත් පිළියෙල කොට වළඳවා මහණහු වෙත හිඳ “ස්වාමීනි! අපේ මේ ගෙයි මිනිසුනට දිවි යවන්නට වුවමනා හැම දැයෙක් ඇත්තේ ය, කෑම් බීම් ඇඳුම් කැඩුම් මිලමුදල් ආදියෙන් මෙහි කිසි අඩුවෙක් නැත, අපට අයත් ඉඩ කඩම් වතුපිටි කුඹුරු හේන් ද බොහෝ ය, නැත්තේ ඒවා රැක බලා ගෙණ නිසි සේ තව තවත් දියුණු කොට වැඩ ගන්නා පිරිමියෙක් පමණැ”යි කීවා ය. මහණ තෙමේ කෙල්ලගේ මේ කතාව අසා කිහිප දවසක් යත් ම සසුනෙහි නො ඇලී ගියේ ය. සිවුරු හැර යන්නට සිතමින් කල් ගෙවී ය.

දවසක් ආගන්තුකව පැමිණි භික්‍ෂූන් වහන්සේ මේ මහණහු දැක “ඇවැත්නි! වැහැරී ගියෙහි කුමක් නිසා? මස් ලේ වියලී ඇට නහර ඉල්පුනු සිරුරු ඇතියෙහි ඇයි දැ?”යි විචාළාහු ය. “ස්වාමීනි! මට දැන් සසුනෙහි ඇල්මෙක් නැත, මම එහි කළකිරී සිටිමි, නොයෙක් අදහස් මා සිත නැගෙන්නේ ය, රෑට නිදීමෙක් නැත, කෑම් බීම් පවා මට රුචි නො වේ ය”යි කීයේ ය. එවිට ඒ භික්‍ෂූන් වහන්සේලා ඒ මහණ, ඔහුගේ ආචාර්‍ය්‍යොපාද්ධ්‍යායයන් වෙතට පමුණුවාලූහ. ආචාර්‍ය්‍යොපාද්ධ්‍යායයයෝ ඔහු බුදුරජුන් වෙතට ගෙන ගොස් ඒ කාරණය උන්වහන්සේට සැලකොට සිටියහ. බුදුරජානන් වහන්සේ “මහණ! තමුසේ සසුනෙහි කළකිරුණහු සැබෑ දැ?”යි අසා වදාළ කල්හි “එසේ ය, ස්වාමීනි!”යි ඔහු පිළිවදන් දුන්නේ ය. “මහණ! තමුසේ මා වැනි ධාර්මික වීර්‍ය්‍යවත් බුදුවරයකුගේ සසුනෙහි පැවිදි ව සෝවනැ යි හෝ සෙදගැමි යි ‍හෝ කියවා නො ගෙණ කුමක් නිසා උකටැළියෙකැ යි කියවා ගත්තහු ද? තමුසේ කළහු සැහැසි කමෙකැ”යි වදාරා “උකටළී වන්නට කරුණු කිමැ?”යි විචාළ සේක. “ස්වාමීනි! තරුණ කෙල්ලක් අපේ ගෙයි මිනිසුනට යහතින් ජීවත් වන්නට වුවමනා හැම දැයෙක් ම ඇත්තේ ය, කෑම් බීම ඇඳුම් පැළඳුම් යාන වාහන මිල මුදල් ඈ කිසිවකින් අපට අඩුවෙක් නැත, අඩු නම් ඒවා රැක බලා ගෙණ නිසිසේ වැඩ ගන්නට දන්නා පිරිමියෙක් පමණැ යි මා වෙත හිඳ මට කීවා ය, එයින් මාගේ සිත ඇය කෙරෙහි නැමී ගියේ ය, ඇලී ගියේ ය, සසුන කෙරෙහි තුබූ ඇලීම බැඳීම එයින් නැති ව ගියේ ය” යි කී කල්හි “මහණ! ඒ තරුණ කෙල්ලගේ කතාවත් කිරියාවත් ගැණ පුදුම වන්නට ඉඩෙක් නැත, ඈ, පෙර මුළු දඹදිව දුනුවායන්ට අග්‍ර වූ ධනුග්ගහ පණ්ඩිතයා හැර දමා ඒ ඇසිල්ලෙහි දුටු හොරකු කෙරෙහි පෙම් බැඳ ධනුග්ගහ ජීවිතක්‍ෂයට පමුණුවාලූ ය”යි වදාළ සේක. එකල්හි “ස්වාමීනි! එ පුවත අපට පැහැදිලි කර දෙනු මැනැවැ”යි භික්‍ෂූන් විසින් ආරාධිත වූ බුදුරජානන් වහන්සේ ඒ අතීතප්‍රවෘත්තිය ගෙණ හැර දැක්වූ සේක.

“මහණෙනි! එක් කලෙක මේ මහණ තෙමේ චුල්ලධනුග්ගහ නම් පණ්ඩිත විය. මෙ තෙමේ තක්සලා නුවර දිසාපාමොක් මහ ඇදුරු වෙත ගොස් ධනුශ් ශිල්පය මැනැවින් උගත්තේ ය, මොහුගේ ඉගෙණුමෙහි තුටු පහටු වූ දිසාපාමොක් ඇදුරු සිය දුවනිය මොහුට පාවා දුන්නේ ය, එදා මොහුට බිරිය වූවා මේ කෙල්ලය, මෙ තෙමේ එදා මේ කෙල්ල ගෙණ බරණැසට යන ගමනේ දී එක් වල්කඩෙක දී තමන් අත තුබූ ඊතල පණසකින් සොරුන් බණස් දෙනකු මරා දැමී ය, ඊතල අවසන්වූ බැවින් එහි සිටි, සොරදෙටු මරාගත නො හැකි වූ මෙ‍ තෙමේ සොරදෙටු අල්ලා බිම හෙලා බිරියට කතා කොට ‘සොඳුර! කඩුව ගෙණ එව’යි කී ය. ඕ තොමෝ කඩුව ගෙණැවිත් තම හිමියාට නො දී සොරදෙටු දුටු ඇසිල්ලෙහි ම පෙම් බැඳ බිම වැටී හුන් සොරදෙටු අතට කඩු මිට දී කඩු කොපුව පමණක් හිමියා අත තැබූ ය, කඩුව ගත් සොරදෙටු ධනුග්ගහ පණ්ඩිත වූ මේ මහණ මරා හෙලූයේ ය, ඉන් පසු සොරදෙටු මැය ගෙණ යනුයේ අතරමග දී ගඟක් දැක එහි ඉවුරෙහි නැවතී සිට, මෑ මා ලවා පෙර පුරුදු හිමියා මැරවූවා සේ ම අන් එකකු දැක ඌ කෙරෙහි පෙම් බැඳ මා ද මරවන්නී ය, එහෙයින් මැයගෙන් මට වැඩෙක් නැතැ’යි සිතා ‘සොඳුර! මා මේ බඩු එ තෙරට ගෙණ ගොස් තබා ඔයා ගෙණ යන්නට එනතුරු මෙහි රැඳී සිටුව’යි ඇය ඇඳ තුබූ රෙදි කඩ උනා අන් රෙදි පිළිත් පලන් අබරණත් එහි බහා පොට්ටනියක් කොට බැඳ ගෙණ පීනා මෙගොඩට පැමිණ ඈ හැර දමා ගියේ ය. ඇඳ තුබූ රෙදිකඩටත් අහිමි වූ ඒ ගෑණිය නිරුවතින් අසල තුබූ කැලෑරොදකට වැදී හුන්නී ය,

ඒ වේලෙහි සක්දෙවි, මැය දැක පඤ්චශිඛ - මාතලී දෙව් පුතුන් කැඳවා, අසවල් ගඟ අසල කැලෑරොදෙහි සැඟවී ඉන්නා ගැහැණිය වෙහෙසන්න වුව මැනව, එහෙයින් පඤ්චසිඛ උකුසු වෙසක් ගන්න, මාතලී මත්ස්‍ය වෙශයක් ගන්න, මම කැණහිල් වෙසක් ගෙණ කටින් දඩමස් කැටියක් ඩැහැගෙණ ගං ඉවුරට යන්නෙමි, එවිට පඤ්චසිඛ උකුසු වෙසින් අහසෙහි එහා මෙහා පියාඹන්න, මම කට තුබූ දඩමස් කැටිය හැර දමා මසු ඩැහැ ගන්නට යන්නෙමි, පඤ්චසිඛ මා හැර දැමූ මස් කැටිය උකුසු වෙසින් අවුත් ඩැහැ ගණුව, මාතලී වහා දියට පැන යව’යි කීයේ ය, මෙසේ නියම කොට ගෙණ තිදෙන ම අවුත් ඒ ගැහැණියගේ ඉදි‍රියෙහි පෙණී ගියහ, කැණහිල් මස් කැටිය ඩැහැ ගෙණ ගං ඉවුරෙහි යන කල්හි ගොඩට පැන සැලෙන ගැහෙන මසු දැක කට තුබූ මස් කැටිය බිම හෙලා මසු අල්ලා ගන්නට පැන්නේ ය, මසු දියෙහි ගැලුනේ ය, උක්ස්සා මස් කැටිය ඩැහැ ගෙණ අහසට නැංගේ ය, කැණහිල් මසු හා මස් කැටිය හා දෙක ම නො ලැබ කලබල වී ගඟ අසබඩ හුන් ගෑණියගේ මූණ බලන්න වන, ඕ තොමෝ කැණහිල් දැක සිනාසෙන්නට වූ ය, ඒ දුටු කැණහිල් ‘ මෙ‍ තැන නැටීමෙක් ගී කීමෙක් කෙළිනළුවෙක් නැත, කුමක් නිසා සෙන්නෙහි දැ?”යි ඇයගෙන් විචාළේ ය, ‘තා කටින් ඩැහැ ගෙණ ආ මස් කැටිය බිම දමා මසු අල්ලා කමි’යි ගිය බැවින් මස් කැටිය තට නැති විය, මස් කැටිය උකුසා ගසා ගෙණ ගියේ ය, මසු දියට පැන්නේ ය, මෙය දුටු මට සිනා ආයේ වැනැ’යි ඈ කීවා ය, එවිට, තී මට සිනාසෙහි, තී පළමු දීග කෑ සැමියාත් තිට නැති විය, නැවැත ගත් අළුත් හිමියාත් නැති විය, දැන් දෙන්නාම නැති ව එකලාව ඉන්නා තී මට සිනාසෙහි, මේ කම් කරණ ලද්දේ තී විසිනා’යි ඇයට නින්දා කොට සක්දෙවි දෙව්ලොවට ගියේ ය”යි චුල්ලධනුග්ගහජාතකය මෙසේ වදාළ සේක.

“මහණ! එදා චුල්ලධනුග්ගහ පණ්ඩිත වූවහු තමුසේ ය. ඒ ගෑණිය මෙදා මේ කෙල්ල ය, කැණහිල් වෙසින් අවුත් ඇයට නිග්‍රහ කළ සක්දෙවි මම වෙමි” යි ද වදාරා මෙසේ ඒ ගෑණිය, දුටු ඇසිල්ලෙහි එකකු කෙරෙහි පෙම් බැඳීමෙන් මුළු දඹදිව විසූ අග්‍ර පණ්ඩිතයකු ජීවිතයෙන් තොර කළා ය, මහණ! ඒ ගැහැණිය ඇරැබ උපන් තාගේ තෘෂ්ණාව සිඳහරුව”යි අවවාද කොට මත්තෙහි දහම් දෙසන සේක් මේ ධර්‍මදේශනාව කළ සේක.

විතක්කපමථිතස්ස ජන්තුනො තිබ්බරාගස්ස සුභානුපස්සිනො

භීය්‍යො තණ්හා පවඩ්ඪති එස ඛෙ දළ්හං කරොති බන්‍ධනං.

.

විතක්කූපසෙමෙ ච යො රතො අසුහං භාවයති සදා සතො,

එස ඛො ව්‍යන්තීකාහිති එස ඡෙජ්ජති මාරබන්‍ධනත්ති.

විතර්‍කයන් විසින් මඩනාලද සිත් ඇති දැඩි කාම රාග ඇති ශුභ වහයෙන් බලන සුලු වූ සත්ත්‍වයාහට තෘෂ්ණාව බොහෝ සෙයින් වැඩෙයි. මෙ තෙමේ වනාහි තෘෂ්ණාබන්‍ධනය දැඩි කෙරෙයි.

යමෙක් විතර්‍කයන් සන්සිඳවීමෙහි ඇලුනේ වේ ද, හැම කල්හි සිහි ඇතියේ අශුභය වඩා ද, මෙ තෙමේ වනාහි තෘෂ්ණාව නසන්නේ ය. මෙ තෙමේ මාරබන්‍ධනය සිඳින්නේ ය.

කාම - ව්‍යාපාද - විහිංසා විතර්‍කයෝ මෙහි විතක්ක නම්. වස්තු - කාමක්ලේශයන් පැතීම් විසින් උන් හා එක් වූ කල්පනාව කාම හැඟීම කාමවිතර්‍ක. “කාමපටිසංයුත්තො විතක්කො = කාම විතක්කො, යො හි කිලෙසකාමසහිතො හුත්‍වා වත්‍ථුකාමෙසු පවත්තති” යනු අටුවා. “මේ සත්ත්‍වයෝ නැසෙත්වා හෝ වැනසෙත්වා හෝ මුල් සිඳී යෙත්වා හෝ” යි අන්හු කෙරෙහි උපදනා ව්‍යාපාදය හා එක් වූ කල්පනාව ව්‍යාපාද විතර්‍ක. “ව්‍යාපාදපටිසංයුත්තො විතක්කො = ව්‍යාපාදවිතක්කො, ඉමෙ සත්තා භඤ්ඤන්තු වා උච්ඡිජ්ජන්තු වා විනස්සන්තු වා මා වා අහෙසුන්ති චින්තනකාලෙ පන සත්තෙසු උප්පජ්ජති” යනු එහි සාධක. අතින් පයින් කැටිත් කැබිලිතියෙන් දඬුයෙන් මුගුරෙන් සැතින් රැහැණින් යන එක්තරා එකෙකින් හෝ අන් අන් එකෙකින් හෝ සත්ත්‍වයන් වෙහෙසට පත්කිරීමෙහිලා උපදනා කල්පනා විහිංසාවිතර්‍ක. “විහිංසාපටිසංයුත්තො විතක්කො = විහිංසාවිතක්කො, ඉධෙකච්චො පාණිනා වා ලෙඩ්ඩුනා වා දණ්ඩෙන වා සත්‍ථෙන වා රජ්ජුයා වා අඤ්ඤතරඤ්ඤතරෙන වා සත්තො විහෙඨෙති, තදා සත්තෙසු උප්පජ්ජති” යනු ආගම ය.

මෙහි ව්‍යාපාදවිහිංසවිතර්‍කයෝ සත්ත්‍වයන් කෙරෙහි හා සංස්කාරයන් කෙරෙහි සත්ත්‍වසංස්කාරයන් එල්බ ගෙණ උපදනාහ. කාමවිතර්‍කය, ප්‍රියමනාප වූ සත්ත්‍වයන් හෝ සංස්කාරයන් ගැණ වැරදි ලෙසින් සිතා මතා බලන්නහුට උපදනේ ය. අප්‍රිය වූ අමනාප වූ සත්ත්‍වයන් ගැණ හෝ සංස්කාරයන් ගැණ කිපී බලන අවස්ථායෙහි පටන් එවුන් නැසෙන තෙක් ම ව්‍යපාද විතර්‍කය ඉපද සිටුනේ ය. විහිංසා විතර්‍කය සංස්කාරයන් කෙරෙහි නො උපදී. කාමවිතර්‍කාදීන්ගේ හා කාමසඞ්කප්පාදීන්ගේ අරුත් විසින් වෙනසෙක් නැත්තේ ය. කාමිවිතක්ක - කාමසඞ්කප්ප යි කියන ලදුයේ අරුත් විසින් එකෙක් ම ය.

මෙ කියූ විතර්‍කයෝ තිදෙන මිනිසා නියම තතු දන්නා නුවණින් බැහැර කොට අන්‍ධයකු කරන්නෝ ය. නුවණැස නැති කරන්නෝ ය. අඥයකු කරන්නෝ ය. කර්‍මස්වකතාප්‍රඥා - ධ්‍යානප්‍රඥා - විදර්‍ශනාප්‍රඥා යන ත්‍රිවිද ප්‍රඥාවන් නසන්නෝ ය. දුඃඛපක්‍ෂයෙහි වූ කෙලෙස් නිවාලනු පිණිස නො පවත්නෝ ය. බුදුරජානන් වහන්සේ මෙය මෙසේ වදාළ සේක. “තයො මෙ භික්ඛවෙ අකුසලවිතක්කා අන්‍ධකරණා අචක්ඛුකරණා අඤ්ඤාණකරණා පඤ්ඤානිරොධිකා විඝාතපක්ඛිකා අනිබ්බානසංවත්තනිකා”යි.

ජන්තුනො = සත්ත්‍වයා හට.

කියන ලද්දේ ය. ‘විතක්කපමථිතස්ස, තිබ්බරාගස්ස, සුභානුපස්සිනො’ යන තෙපදයෙන් එය වෙසෙසෙන්නේ ය. එහෙයින් එය විශෙෂ්‍ය නම් වේ.

තිබ්බරාගස්ස = දැඩි රාගය ඇති.

තිබ්බරාග නම්: මෙහි ප්‍රිය වූ රූප - ශබ්ද - ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍යධර්‍ම යන අරමුණුවල දැඩි ඇල්මෙන් බැඳුනේ ය. මෙ කියූ ධර්‍මයන්ගේ යටට ම ගිලී සිටියේ ය. මැඩුනේ ය.

සුභානුපස්සිනො = ශුභ විසින් බලන සුලු.

සිත් ගන්නා අරමුණුවල ස්ත්‍රී-පුරුෂාදි නිමිති හා අතුල් මැනැව, පතුල් මැනැව, පියොවුරු මැනැව, මූණ හොබනේ ය, උදරය කදිම ය, දත් කාන්තිමත් ය, යනාදි ලෙසින් කුඩා නිමිති ද ගෙණ එහි ම සිත හසුරුවමින් එය ම යහපතැ යි ගන්නේ සුභානුපස්සී නම්. [1]

භීය්‍යො තණ්හා පවඩ්ඪති = තණ්හාව බොහෝ සේ වැඩේ.

එසො ඛො දළ්හං කරොති බන්‍ධනං = මෙතෙමේ වනාහි තෘෂ්ණා බන්‍ධනය දැඩි කරන්නේ ය.

ත්‍රිවිධ විතර්‍කයෙන් තදින් මැඩුනා වූ ප්‍රිය රූපාදී වූ අරමුණෙක දැඩි ව ඇලුනා වූ ස්ත්‍රී-පුරුෂාදි නිමිති හා අතුල් පතුල් තන බඩතුර මූණ දත් තොල් ඇස් නාස් ඈ කුඩා නිමිතිත් යහපතැ යි එක්වන් දක්නා සුලු වූ සත්ත්‍වයාහට ධ්‍යානාදීන් අතුරෙහි එකකුත් නො වැඩෙතුදු සදොර උපදනා තෘෂ්ණාව තදින් වැඩෙන්නී ය. මෙබඳු සත්ත්‍වතෙමේ තව තවත් තෘෂ්ණාබන්‍ධනය දැඩි කරන්නේය යි වදාළ සේක.

විතක්කුපසමෙ යො රතො = යමෙක් විතර්‍කයන් සන්සිඳවීමෙහි ඇලුනේ වේ ද.

මෙහි ‘විතක්කුපසමැ’යි ගණු ලබනුයේ දශඅශුභය අරමුණු කොට උපන් ප්‍රථමද්ධ්‍යානය ය. ප්‍රධාන විසින් එය විතර්‍කයන් සන්සිඳවීමෙහිලා කරුණු වන බැවින් එසේ ගැණෙන්නේ ය. එය විතක්කුපසම ද වේ.

අසුභං භාවයති සදා සතො = හැම කල්හි සිහි ඇතියේ අශුභය වඩා ද.

මෙහි අසුභ නම්: ප්‍රධාන විසින් ප්‍රථමද්ධ්‍යානය ය. අශුභ දශයෙකි. උද්ධුමාතක - විනීලක - විපුබ්බක - විච්ඡිද්දක - වික්ඛායිතක - වික්ඛිත්තක - හතවික්ඛිත්තක - ලොහිතක - පුළවක - අට්ඨික විසින්. මෙහි කෙටිකතාවක් ප්‍රථම තරඞ්ගයෙහි ‘අසුභානු පස්සීං’ යනු ලක් කොට දක්වන ලද්දේ ය.

එහි මරණින් පසු සුළන් පිරුණු සමක් මෙන් අනුක්‍රමයෙන් නැගුනු ඉදිමී ගිය මළසිරුර උද්ධුමාත නමි. උද්ධුමාතය ම උද්ධමාතක. පිළිකුල් බැවින් කුත්සිත වූ උද්ධුමාතය හෝ උද්ධුමාතක නම්‍ වේ. මෙහි වූ ක ප්‍රත්‍යය ස්වාර්‍ත්‍ථයෙහි හෝ කුත්සිතාර්‍ත්‍ථයෙහි ය. එබඳු ඉදිමුනු මළසිරුර බලා මාගේ සිරුර ද මෙබඳු සැහැවි ඇත්තේය යි අනිතය විසින් නුවණින් සලකා කරණ භාවනාව උද්ධුමාතකඅසුබභාවනා ය.

සුදු රතු පැහැ ආදියෙන් මුසු වූ පැහැ ඇත්තා වූ හෝ පෙර තුබූ පැහැයෙන් පෙරැළී ගිය පැහැ ඇත්තා වූ හෝ මළසිරුර විනීල නමි. විනීලය ම පිළිකුල් බැවින් විනීලක. උස් වූ මස් ඇති තැන රතු පැහැ ඇත්තා වූ ද සැරව රැස්ව සිටි තැන සුදු පැහැ ඇත්තා ව ද බොහෝ සෙයින් නිල් පැහැති තැන නිල්පට පෙරවියාක් වැනි වූ මළසිරුර විනීලක නම් වේ. බොහෝ සෙයින් නිල් වූ ඒ මළසිරුර බලා මාගේ සිරුර ද මෙබඳු සැහැවි ඇත්තේය යි නුවණින් සලකා කරණභාවනාව විනීලකඅසුභභාවනා ය.

බිඳී පැළී සිදුරුව ගිය තැන්වලින් වැගිරෙණ සැරව ඇති මළසිරුර විපුබ්බ නමි. විපුබ්බය ම පිළිකුල් බැවින් හෝ නින්‍දිත බැවින් විපුබ්බක නම් වේ. නව දොරින් වැගිරෙණ සැරව ඇති මළසිරුර බලා මාගේ සිරුර ද එබඳු සැහැවි ඇත්තේය යි නුවනින් සලකා කරණ භාවනාව විපුබ්බකඅසුභභාවනා ය.

මැදින් දෙපළු ව වෙන් ව ගිය මළසිරුර විච්ඡිද්ද නමි. විච්ඡිද්දය ම පිළිකුල් බැවින් හෝ නින්‍දිත බැවින් විච්ඡිද්දක නම් වේ. මෙබඳු සැහැවි ඇති මළසිරුර බලා මාගේ සිරුර ද මෙබඳු සැහැවි ඇත්තේය යි නුවණින් සලකා කරණ භාවනාව විච්ඡිද්දකඅසුභභාවනා ය.

බලු කැණහිල් ආදීන් විසින් කනලදු ව නොයෙක් අයුරින් තැන තැන විසිරුණු අවයව ඇති මළසිරුර වික්ඛිත්ත නමි. වික්ඛිත්තය ම පිළිකුල් බැවින් හෝ නින්‍දිත බැවින් වික්ඛිත්තක නම් වේ. අත්, අන් තැනෙක, පා අන් තැනෙක, හිස, අන් තැනෙකැ යි මෙසේ ඒ ඒ තැන විසිර ගිය මළසිරුර බලා මාගේ සිරුර ද මෙබඳු සැහැවි ඇත්තේ ය යි නුවණින් සලකා කරණ භාවනාව වික්ඛිත්තඅසුභභාවනා ය.

කුදු මහත් අවයවයන්හි කාකපාද සිටින සේ සතුරන් විසින් ආයුධ වලින් ඇණ කොටා පෙර කියූ සේ තැන තැන විසිර ගිය මළසිරුර හතවික්ඛිත්ත නම්. හතවිකඛිත්තය ම පිළිකුල් බැවින් හෝ නින්‍දිත බැවින් හතවික්ඛිත්තක නම් වේ. ඒ මේ හතවික්ඛිත්තකය බලා මාගේ සිරු‍ර ද මෙබඳු සැහැවි ඇත්තේ ය යි නුවණින් සලකා කරණ භාවනාව හතවික්ඛිත්තකඅසුභභාවනා ය.

ඔබිනොබ ලේ වගුරුවන ලද මළසිරුර ලොහිත නමි. ලොහිතය ම පිළිකුල් බැවින් හෝ නින්‍දිත බැවින් ලොහිතක නම් වේ. ඒ මේ ලොහිතකය බලා මාගේ සිරුර ද ‍මෙබඳු සැහැවි ඇත්ත් ය යි නුවණින් සලකා කරණ භාවනාව ලොහිතකඅසුභභාවනා ය.

කා වැගිරෙණ නොයෙක් පණු සමූශයෙන් අවුල් වූ මළසිරුර පිළිකුල් බැවින් හෝ නින්‍දිත බැවින් පුළවක නම් වේ. ඒ මේ පුළවකය බලා මාගේ සිරුර ද මෙබඳු සැහැවි ඇත්තේ ය යි නුවණින් සලකා කරණ භාවනාව පුළවකඅසුභභාවනා ය.

සිරුරෙහි වූ හැම ඇට, පිළිකුල් බැවින් හෝ නින්‍දිත බැවින් අට්ඨික නම් වේ. ඇටසැකිල්ලෙක් හෝ එක් ම ඇටයෙක් මෙයින් ගැණෙන්නේ ය. ඒ මේ අට්ඨිකය බලා මාගේ සිරුර ද මෙබඳු සැහැවි ඇත්තේ ය යි නුවණින් සලකා කරණ භාවනාව අට්ඨිකඅසුභභාවනා ය.

මෙ කියූ මේ අශුභකර්‍මස්ථාන අතුරෙහි උද්ධුමාතකය වඩනු කැමැති යෝගාවචරයා විසින් ඒ පිළිබඳ කරුණු මැනැවින් ඉගැන්විය හැකි කල්‍යාණමිත්‍රආචාර්‍ය්‍යවරයකු වෙත ගොස් මැනැවින් ඒ කරුණු උගත යුතු ය. සොහොනට යන සැටි සැලකීම, මළ සිරුර හාත්පස නිමිති සැලකීම, එකොළොස් අයුරකින් නිමිත් ගැණීම, යන එන මග සැලකීම ආදී එහි ලා පිළිපැදිය යුතු සැටි එකකුත් නො හැර හැම සැටියෙක් ම උගත යුතු ය. අසුභනිමිත්ත උගත්හු විසින් නො මුළාවූවහු එළඹ සිටි සිහි ඇතියහු සංවර වූ ඉන්‍ද්‍රිය ඇතියහු බැහැර නො ලූ සිතින් යුක්ත වූවහු ආ මග සලකමින් උද්ධුමාතකය වෙත යා යුතු ය. උද්ධුමාතකනිමිත්ත තුබූ පෙදෙසෙහි පිහිටි ගල් තුඹස් රුක් පඳුරු වැල් ආදිය සනිමිත්ත - සාරම්මණ කළ යුතු ය. නිමිති සහිත කොට අරමුණු සහිත කොට සභාගත්‍වයෙන් සලකුණු කළ යුතු ය. එය වණ්ණ - ලඞ්ග - ඝන්ඨාන - දිසා - ඔකාස - පරිච්ඡෙද - සන්‍ධි - විවර - භින්න - ථල - සමන්ත යන එකොළොස් අයුරෙන් මැනැවින් ගන්නා ලද්දක් විමසන ලද්දක් නිශ්චය කරණ ලද්දක් කළ යුතු ය. මොහු විසින් අසුභනිමිත්ත සිහි කරමින් ම සක්මන් කළ යුතු ය. අසුභ නිමිත්ත සිහි කරමින් ම හිඳිය යුතු ය. හාත්පස නිමිති සලකුණු කර ගැණීම නො මුළාබව පිණිස වන්නේ ය. ආ ගිය මග සැලකීම කර්‍මස්ථානවීථියට මැනැවින් පිළිපැදීම පිණිස වන්නේ ය. එකොළොස් අයුරකින් වන නිමිති ගැණීම අසුභාරම්මණයෙහි සිත එළවා බැඳීම පිණිස වන්නේ ය.

වර්‍ණ වශයෙන් නිමිති ගැණීම නම්: මේ සිරුර කලුපැහැතියකුගේ, සුදුපැහැතියකුගේ, මගුරුපැහැතියකුගේ, යි වෙන් කොට වටහා ගැණීම ය. ලිඞ්ග වශයෙන් නිමිති ගැණීම නම්: ස්ත්‍රී ලිඞ්ග - පුරුෂ ලිඞ්ග වශයෙන් නො සලකා මේ සිරුර පළමු වයසෙහි සිටියකුගේ, මැදි වයසෙහි සිටියකුගේ, පැසුළු වයසෙහි සිටියකුගේ, යි නියම කොට ගැණීම ය. සංස්ථාන වශයෙන් නිමිති ගැණීම නම්: මේ මෙහි හිස් සටහන, මේ ගෙල සටහන, මේ අත් සටහන, මේ උදර සටහන, මේ කටි සටහන, මේ කෙණ්ඩා සටහනැ යි නියම කොට ගැණීම ය. දිශා වශයෙන් නිමිති ගැණීම නම්: සිරුරෙහි නැබින් යට දිශා, නැබින් උඩ දිශා යි නියම කොට ගැණීම ය. අවකාශ වශයෙන් නිමිති ගැණීම නම්: මේ අවකාශයෙහි අත්, මේ අවකාශයෙහි පා, මේ අවකාශයෙහි මැදුම් කය, නොහොත් මම මේ අවකාශයෙහි වෙමි, අසුභය මේ අවකාශයෙහි යි නියම කොට ගැණීම ය. පරිච්ඡෙද වශයෙන් නිමිති ගැණීම නම්: මේ සිරුර යට පතුලින් උඩ, කෙසගින් සරසා සිවියෙන් පිරිසිඳින ලද ය, මෙතැන් දෙතිස් කුණපයෙන් පිරුණේ ය යි නියම කොට ගැණීම ය.

පුරුෂයා හට ස්ත්‍රී ශරීරය ද, ස්ත්‍රියට පුරුෂ ශරීරය ද විසභාග වේ. විසභාගයෙහි අසුභාරම්මණය නො වැටහෙන බැවින් කෙලෙසුන්ගේ ඉපැත්මට කරුණු වන බැවින් සත්ප්‍රාය නො වේ. එහෙයින් සභාගාරම්මණයෙහි ම නිමිති ගත යුතු ය. පෙර බුදුරජුන් වෙත කමටහන් පුරුදු කළ, සොසොනිකාදිධුතාඞ්ග පරිහරණය කළ මහණ දම් වැඩූ මද කෙලෙස් ඇති කුලපුත්හට එහිලා ප්‍රතිභාග නිමිත්ත වැටහෙන්නේ ය. නො ‍වැටහෙන්නේ නම් මෙහි කියූ වර්‍ණාදිවශයෙන් නිමිති ගන්නා කල්හි ඒ වැටහෙනු ඇත්තේ ය. එසේත් නො ද වැටහෙන්නේ නම් සන්‍ධි ආදි විසින් නිමිති ගත යුත්තේ ය.

ඉදිමුනු සිරුරෙහි බොහෝ සෙයින් සන්‍ධි නො පෙණී යන බැවින් එක් සිය අසූවක් සන්‍ධි නිමිති ගැණීම පහසු නො වේ. එහෙයින් දසරු සන්‍ධි, වැලමිට සන්‍ධි, මණිබන්‍ධ සන්‍ධි යන දකුණත සන්‍ධි තුන ය, එසේ ම වමත සන්‍ධි තුන ය, එසේ ම වමත පා සන්‍ධි තුන ය යි මෙතැන් නියම කර ගත යුතු ය. එසේ නියම කර ගැණීම සන්‍ධි විසින් නිමිති ගැණීම ය. දකුණත හා දකුණැල අතර විවරය, වමත හා වමැල අතර විවරය, දෙපා අතර විවරය, බඩ හා පෙකණිය අතර හෝ උදර අතර විවරය, කන් විවරය යි මෙසේ නියම කර ගැණීම විවර විසින් නිමිති ගැණීම ය. සිරුරෙහි වළතැන්, ඇස්වළ හෝ ඇතුළු මුව හෝ ගළවළුව හෝ නැත, මම වළතන්හි වෙමි, සිරුර ගොඩ තන්හි වෙමි, සිරුර මිටි තන්හි ය, යි නියම කර ගැණීම සථල වශයෙන් නිමිති ගැණීම ය. මුළු සිරුරෙහි නුවණ මෙහෙයා ප්‍රකට ව වැටහෙන තැන නුවණින් අල්ලා ගෙණ ‘උද්ධුමාතක’ යි සිත පිහිට විය යුතු ය. එසේත් නිමිත්ත නො වැටහේ නම් උදරය කෙළවර කොට ඇති උඩු සිරුරු පෙදෙස තදින් ඉදිමෙන බැවින් එහි ‘උද්ධුමාතක’ උද්ධුමාතක යි සිත පිහිටු වීම සාමන්ත වශයෙන් නිමිති ගැණීම යි. මෙසේ මේ එකොළොස් අයුරින් නිමිති ගන්නේ අසුභාරම්මණයෙහි සිත එළවා බඳින්නේ ය. මේ යොගීහට එකල්හි ඇස දල්වා බැලීමෙන් උද්ග්‍රහ - නිමිත්ත උපදනේ ය. ඒ උද්ග්‍රහ නිමිත්තයෙහි සිත මෙහෙයීමෙන් ප්‍රතිභාග නිමිත්ත උපද‍නේ ය. එහි ‍එසේ සිත මෙහෙයීමෙන් අර්‍පණාවට පැමිණෙන්නේ ය. අර්‍පණායෙහි සිට විදසුන් වඩා රහත් වන්නේ ය.

ඒ මේ උද්ග්‍රහනිමිත්ත විරූප ව පිළිකුල් ව බිහිසුණු ව වැටහෙන අතර ප්‍රතිභාගනිමිත්ත කුස පුරා කා නිදන තරබාරු වූ අඟ පසඟ ඇති පුරුෂයකු සේ සිතෙහි නගින්නේ ය. ප්‍රතිභාගනිමිත්ත පහළවත් ම අසුභභාවනානුභාවයෙන් බැහැරි වූ කාමසංඥාව දුරු වූ බැවින් විෂ්කම්භන විසින් කාමච්ඡන්දය දුරුව යන්නේ ය. ලේ වියලී මෙන් සැරව ද නැති ය යන්නා සේ අනුනය ප්‍රහාණයෙන් ව්‍යාපාදය ද, ආරබ්ධ වීර්‍ය්‍යය ඇති බැවින් ථීනමිද්ධය ද, විපිළිසරයට පටහැනි වූ ශාන්තධර්‍මානුයෝගයෙන් උද්ධච්චකුක්කුච්චය ද, අධිගත‍විශේෂය තමාට ප්‍රත්‍යක්‍ෂ වූ බැවින් ඒ ප්‍රතිපත්තිය වදාළ බුදුරජුන් කෙරෙහි ද හා ප්‍රතිපත්තිය කෙරෙහි ද එහි ඵලය කෙරෙහි ද වූ විචිකිච්ඡාව ද යන පඤ්චනීවරණයන්ගේ ප්‍රහාණය වේ. ඒ හා ම ඔහුට ප්‍රතිභාගනිමිත්තෙහි සිත නැංවීම ලකුණු කොට සිටි විතර්‍කය ද, නිමිත්ත පිරිමැදීම කෘත්‍යය කොට සිටි විචාරය ද, විශේෂාධිගම හේතුයෙන් වන ප්‍රීතිය ද, සන්සිඳීම නිමිති කොට සිටි සුඛය ද, සුඛය නිමිති කොට සිටි එකාග්‍රතාව ද යන ධ්‍යානාඞ්ග පහළ වන්නේ ය. ප්‍රතිභාගනිමිත්තෙහි සිත හසුරු වන්නේ අර්‍පණාවට පැමිණ ඒ අර්‍පණායෙහි සිට විදර්‍ශනා වඩනුයේ අර්‍හත් ඵලය අවබෝධ කරන්නේ ය. (මේ දනු පිණිස අප්‍රමාද වර්‍ගයෙහි ‘ඣායිනො’ යන්නෙහි පරිකථාව බලනු.)

ශේෂය මෙසේ දත යුතු යි. විනීලකාදි අසුභ නිමිති උගන්නහු විසිනුදු නො මුළා වූවහු එළැඹ සිටි සිහි ඇතියහු සංවර වූ ඉඳුරන් ඇතියහු බැහැර නො ලූ සිත් ඇතියහු ආ ගිය මග සලකමින් එකලා ව නිමිති ඇති තැනට යා යුතු ය, යනාදීන් උද්ධුතමාතකයෙහි කියූ පරිදි උද්ධුමාතක පදය වෙනුවට විනීලකාදි පද සුදුසු සේ යොදා යට කියූ සේ විනිශ්චය දත යුතු ය.

එහි විනීලක අසුභනිමිත්තෙහි යෝග කරන්නහු විසින් ‘විනීලක පටික්කූල ය, විනීලකපටික්කූල ය’යි මෙනෙහි කළ යුතු ය. එකල්හි මෙහිලා ලැබෙන උග්ගහනිමිත්ත බොහෝ සෙයින් සුදු පැහැති පැල්ලම් ඇත්තක් ව සිතෙහි නැග සිටින්නේ ය. පටිභාගනිමිත්ත රතු සුදු නිල් පැහැ අතුරෙහි අධික වූ පැහැයෙක් වේ නම් ඒ වශයෙන් සිතට වැටහෙනු ඇත.

විපුබ්බක අසුභනිමිත්තෙහි යෝග කරන්නහු විසින් ‘විපුබ්බක පටික්කූල ය, විපුබ්බකපටික්කූල ය’යි මෙනෙහි කළ යුතු ය. එකල්හි මෙහිලා ලැබෙන උග්ගහනිමිත්ත සැරව ගාන්නා සේ ද පටිභාග නිමිත්ත නිසල ව සන්සුන් වූවක් සේ ද සිතෙහි නැග සිටිත්.

විච්ඡිද්දක අසුභනිමිත්තෙහි යෝග කරන්නහු විසින් ‘විච්ඡිද්දකපටික්කූලය, විච්ඡිද්දකපටික්කූල ය’යි මෙනෙහි කළ යුතු ය. එකල්හි මෙහිලා ලැබෙන උග්ගහනිමිත්ත මැදින් කපා හළ සේ ද පටිභාගනිමිත්ත පිරිපුන් වූවක් සේ ද සිතෙහි නැග සිටිත්. විච්ඡිද්දකය යුදබිමෙක හෝ සොරුන් වසන වෙනෙහි හෝ රජුන්, සොරුන් මරවාලන සොහොන්හි හෝ චණ්ඩමෘගයන් විසින් මිනිසුන් කා දමන වනයෙහි හෝ ලැබෙන්නේ ය. එබඳු තැනකට ගොස් නොයක් තැන වැටුනු කුණපය, එක් ම සැලකීමෙන් වැටහීමට එන්නේ නම් එසේ සැලකිය යුතු ය. නො වැටහේ නම් කුණපය සියතින් නො අල්වා වෙනෙකෙකු ලවා එක්තැන් කරවා ගත යුතු ය. සියතින් නො ඇල්ලිය යුතු ය. සියතින් ගන්නා කල්හි විශ්වාසයට පැමිණෙන්නේ ය. කිසිවෙක් ඒ පිණිස නො ලැබේ නම් යම් කිසි දඬුකඩෙකින් එකඟුල් අතර ඇතිවන සේ එය එක්තැන් කොට යට කියූ සේ මෙනෙහි කළ යුතු ය.

වික්ඛායිතක අසුභ නිමිත්තෙහි යෝග කරන්නහු විසින් ‘වික්ඛායිතකපටික්කූල ය, වික්ඛායිතකපටික්කූල ය’යි මෙනෙහි කළ යුතු ය. එකල්හි මෙහිලා ලැබෙන උග්ගහනිමිත්ත ඒ ඒ තැන කඩා කන ලද්දක් සේ ද, පටිභාගනිමිත්ත පිරිපුන් ව ගියා සේ ද සිතෙහි නැග සිටිත්.

වික්ඛිත්තක අසුභනිමිත්තෙහි විච්ඡිද්දකයෙහි කියූ සේ අඟලක් අතර කරවා ගෙණ හෝ අතර කර ගෙණ ‘වික්ඛිත්තක පටික්කූල ය, වික්ඛිත්තපටික්කූල ය’යි මෙනෙහි කළ යුතු ය. එකල්හි මෙහිලා ලැබෙන උග්ගහනිමිත්ත ප්‍රකට වූ අතර ඇත්තක් සේ ද පටිභාගනිමිත්ත පිරිපුන් සේ ද සිත්හි නැගී සිටිත්.

හතවික්ඛිත්තක අසුභ නිමිත්ත, විච්ඡිද්දක අසුභනිමිත්ත ලැබෙන තැන්හි ලැබෙන්නේ ය. එබැවින් එහි යෝග කරන්නහු විසින් කියූ එබඳු කුණපයක් ඇති තැනකට ගොස් යට කියූ සේ අඟලක් අතර කරවා ‍ගෙණ හෝ කර ගෙණ හතවික්ඛිත්තපටික්කූල ය, හතවික්ඛිත්තකපටික්කූල ය යි මෙනෙහි කළ යුතු ය. එකල්හි මෙහිලා ලැබෙන උග්ගහනිමිත්ත පහර දුන් තැන් පෙණෙන සේ ද, පටිභාගනිමිත්ත පිරිපුන් සේ ද සිත්හි නැගී සිටිත්.

ලොහිතක අසුභනිමිත්තෙහි යෝග කරන්නහු විසින් ‘ලොහිතක පටික්කූල ය, ලොහිතකපටික්කූල ය’ යි මෙනෙහි කළ යුතු ය. එකල්හි මෙහිලා ලැබෙන උග්ගහනිමිත්ත සුළඟින් සැලෙන රතු පැහැති පතාකාවක සේ ද පටිභාගනිමිත්ත නො සැ‍ලෙන්නාක් සේ ද සිත්හි නැගී සිටිත්. ලොහිතකය, යුද්ධමණ්ඩලාදියෙහි දී වැදුනු පහරින් අත්පා ආදිය සිඳී ගිය කල්හි ද, ගඩ පොළ ආදිය පැළුනු කල්හි ද එහි මුඛයෙන් වැගිරෙණ කල්හි ද ලැබෙන්නේ ය.

පුළවක අසුභනිමිත්තෙහි යෝග කරන්නනහු විසින් ‘පුළවක පටික්කූල ය, පුළවකපටික්කූල ය’ යි මෙනෙහි කළ යුතු ය. එකල්හි මෙහිලා ලැබෙන උග්ගහනිමිත්ත සැලෙන්නක් සේ ද, පටිභාග නිමිත්ත හැල්බත් පිඩක් සේ ද සිත්හි නැගී සිටිත්. පුළවකය, දෙතුන් දිනක් ඉක්මගිය පසු නවවිධ වණමුඛයෙන් පණු කැලන් කඩා හැලෙන කල්හි ද ලැබෙන්නේ ය. එය, බලු - කැණහිල් - මිනිස් - ගෙරි - මී - ඇත් - අස් - පිඹුරු ආදීන්ගේ සිරුරු තරම්ව ම හැල්බත් රැසක් සේ සිටියි. ‍එබඳු තැනකෙ හෝ ‘පුළවකපටික්කූල ය, පුළවකපටික්කූල ය’යි මෙනෙහි කළ හැකි ය. චුල්ලපිණ්ඩජාතික තිස්ස තෙරුන්ට කලුදිගා වැවේදී ඇත්කුණපයෙක මේ නිමිත්ත ලැබුනේ ය.

අට්ඨික අසුභනිමිත්ත වනාහි “සො පස්සෙය්‍ය සරීරං සීවථිකාය ඡඩ්ඪිතං අට්ඨිසංඛලිකං සමංසලොහිතං නහාරුසම්බන්‍ධං” යනාදී විසින් නොයෙක් අයුරින් දැක්වුනේ ය. එබැවින් එබන්දක් ඇති තැනකට යට කියූ සේ ගොස් හාත්පස ගස් ගල් ආදී විසින් සානිමිත්ත සාරම්මණ කොට අට්ඨිකය, ස්වභාව විසින් සලකා වර්‍ණාදී වූ එකොළොස් අයුරින් නිමිත්ත දත යුතු ය. එය, වර්‍ණ විසින් සුදු ය යි බලත් හොත් නිමිත්ත නො වැටහෙන්නේ ය. එසේ වනුයේ ඔදාතකසිණය හා මිශ්‍ර වන බැවින්. එහෙයින් එය, පිළිකුල් වශයෙන් ම බැලිය යුතු ය. ලිඞ්ග, යනු මෙහි අත් පා ආදියට ලැබෙන නමෙකි. එබැවින් අත්, පා, හිස, බඩ, බාහු, කටි, කලවා, කෙණ්ඩ යි ලිඞ්ග විසින් නියම දැන දිග, කොට, වට, සිවුරැස්, කුඩා, මහත් විසින් සණ්ඨාන වශයෙන් ව්‍යවස්ථා කළ යුතුය. දිසා - ඔකාස යට කියූ සේ ඒ ඒ ඇටවල කෙළවර විසින් පිරිසිඳීම වන්නේ ය. එය දැන ව්‍යවස්ථා කොට පැහැදිලිව වැටහෙන්නක් අරමුණු කොට ගෙණ අර්‍පණාවට පැමිණිය යුතු ය. ඒ ඒ ඇටවල උස් - මිටි තැන් ථල - නින්න වශයෙන් නියම හෙයින් දැන “මම වළතැන ය, ඇට ගොඩ තැන ය, මම ගොඩ තැන ය, ඇට වළතැන ය යි ප්‍රදෙශ වශයෙන් නියම කොට දෙ ඇට දෙ ඇට ගැළපුනු තැන් සන්‍ධි විසින් නිශ්චය කළ යුතු ය, එසේ ම ඇට අතර විවර - අවිවර ‍වශයෙන් දැන සියලු ඇට සැකිල්ලෙහි හෝ අටයෙක නුවණ යොදා “මේ තැන මේ ඇට ය” යි තීරණය කරගත යුතු ය. මෙසේත් පැහැදිලි ව නො වැටහේ නම් නළල් ඇටයෙහි සිත පිහිට විය යුතු ය. මේ අට්ඨිකයෙහි මෙන් සෙසු අසුභාරම්මණයන්හි ද එකොළොස් අයුරින් නිමිති ගැණීම යෙදෙන යෙදෙන පරිදි කළ යුතු ය.

මෙසේ එක් ඇටයක හෝ ඇටසැකිල්ලෙක නිමිති ගෙණ එහි යෝග කරන්නහු විසින් ‘අට්ඨිකපටික්කූලය, අට්ඨිකපටික්කූල ය’යි මෙනෙහි කළ යුතු ය. එකල්හි මෙහිලා ලැබෙන උග්ගහනිමිත්ත පෙණෙන විවර ඇති ව ද, පටිභාගනිමිත්ත පිරිපුන් ව ද සිත්හි නැග සිටිත්. එහි උග්ගහනිමිත්ත පටිභාගනිමිත්ත යන නිමිත දෙක එක් සමාන ය යි අටුවායෙහි කීම එක් ඇටයක් පිළිබඳ වූයේ නම් සුදුසු ය. එක් ඇටයෙක වුව ද උග්ගහනිමිත්ත බිය දන වන්නක් විය යුතු ය. පටිභාගනිමිත්ත සොම්නස දන වන්නක් විය යුතු ය. භාවනා විශේෂයෙන් මට සිලිටි ව වැටහී උපචාරද්ධ්‍යානය එළවන බැවිනි.

අසුභ අතුරෙහි කවරක් හෝ අරමුනු කොට ධ්‍යාන ලබා ගත් යොගී තෙමේ වීතරාගයකු සේ ලොල් බැවින් තොර ව වසන්නේ ය. මේ මෙසේ නම් එය දසවිධ කොට වදාළේ කුමක් හෙයින? යත්: එසේ වදාළේ ශරීරය උද්ධුමාතකාදී වූ ඒ ඒ ස්වභාවයනට පත්වීම් වශයෙන් හා රාග චරිත පුද්ගලයන්ගේ විභාග වශයෙනි. මළ සිරුර පිළිකුල් බවට පැමිණෙන්නේ ම උද්ධුමාතක භාවයට හෝ විනීලකාදීන් අතුරෙහි එක්තරා අවස්ථාවකට හෝ පැමිණෙන්නේ ය. උන් අතුරෙහි යම් යම් අයුරු ඇති අසුභයක් ලැබිය හැකි නම්, ඒ ඒ අසුභයෙහි උද්ධුමාතකපටික්කූලය, විනීලකපටික්කූලය යනාදී විසින් නිමිති ගත යුතු ය. අසුභය දසවිධ කොට වදාළේ මෙසේ මළසිරුර ඒ ඒ ස්වභාවයනට පැමිණෙන බැවිනි.

උද්ධුමාතකය, සිරුරු සටහන්හි විපත කියාලන්නේ සරීර සණ්ඨාන රාඟීනට සත්ප්‍රාය වේ.

විනීලකය, සි‍රු‍රු සිවි පැහියෙහි විපත කියා ලන්නේ ශරීර වර්‍ණයෙහි රාග ඇත්තවුනට සත්ප්‍රාය වේ.

විපුබ්බකය, සි‍රුරෙහි දුර්‍ගන්‍ධය කියා ලන්නේ මල් සුවඳ ඈ කැවීම් විසින් නැගුනු ශරීරගන්‍ධ රාගීනට සත්ප්‍රාය වේ.

විච්ඡිද්දකය, ඇතුළත සිදුරු ඇති බව කියා ලන්නේ සි‍රුරෙහි අඟපසඟ පිළිබඳ ඝනභාවයෙහි උපදනා රාග ඇත්තවුනට සත්ප්‍රාය වේ.

වික්ඛායිතකය, මස් වැඩියෙන් නැගී සිටි තැන්හි නැසෙන සැටි කියා ලන්නේ තන කලවා ඈහි මස් වැඩීම නිසා උපදනා රාග ඇත්තවුනට සත්ප්‍රාය වේ.

වික්ඛිත්තකය, අඟපසඟ ඒ ඒ තැන වැටීමෙන් විසිර යෑම කියාලන්නේ අඟපසඟ පිළිබඳ ලීලායෙහි රාග ඇත්තවුනට සත්ප්‍රාය වේ.

හතවික්ඛිත්තකය, අඟපසඟ වෙන් වෙන් ව කැඩී බිඳී යෑම කියාලන්නේ ශරීරාවයවයන්හි එක් ව සිටීමෙහි ලා උපදනා රාග ඇත්තවුනට සත්ප්‍රාය වේ.

ලොහිතකය, ලෙයින් වැකීමෙන් පිළිකුල් බව කියාලන්නේ සැරසීම්වලින් හටගත් ශොභායෙහි රාග ඇත්තවුනට සත්ප්‍රාය වේ.

පුළවකය, සිරුර නන්වැදෑරුම් පණුවන්ට සාධාරණ ව සිටිබව කියාලන්නේ සිරුර මම ය, මාගේ ය, යි ඇලුම් කරණවුනට සත්ප්‍රාය වේ.

අට්ඨිකය, සිරුරෙහි වූ ඇට පිළිබඳ පිළිකුල් බව කියාලන්නේ දන්තසම්පත්තියෙහි ඇලුම් ඇත්තවුනට සත්ප්‍රාය වේ. මෙසේත් රාගචරිත පුද්ගලයන්ගේ භේද විසින් අසුභය දසවිධකොට වදාරණ ලද්දේ ය.

දසවිධ වූ ම අසුභාරම්මණය පිළිකුල් ය එහෙයින් එහි සිත පිහිටුවාලීම දුෂ්කර ය. සිත පිහිටුවා ගත හැක්කේ විතර්‍ක බලයෙනි. විතර්‍කය නැත්තේ නම් සිත නො පිහිටයි. ගසා ගෙණ යන මහ සැඩ වතුර ඇති ග‍ඟෙක ඔරු පාරු නැව් ආදිය සිටවා ගත හැක්කේ රිටේ බලයෙනි. මේ ද එබඳු ය. එබැවින් දසවිධ අසුභය ම අරමුණු කොට භාවනා කිරීමෙන් ලද හැක්කේ ප්‍රථමද්ධ්‍යානය පමණි. විතර්‍ක නැති බැවින් ද්විතීයද්ධ්‍යානාදිය නො ලද හැකි ය.

පිළිකුල් වූ මේ අරමුණෙහි “මම එකාන්තයෙන් මේ ‍පිළිවෙතින් ජරාමරණයෙන් මිදී ගන්නෙමි”යි අනුසස් දක්නා බැවින් ද, නීවරණසන්තාප නසාලීමෙන් ද යොගීහට ප්‍රීතිසෞමනස්‍යය උපදනේ ය. “මම මෙයින් බොහෝ වැටුප් ලබන්නෙමි”යි මල මූ අදින්නහුට රැස් කරගත් ගූථ රාශියෙහි සතුටු සොම්නස් උපදනා සේ ද, සන්හුන් ලෙඩ රෝදුක් ඇත්තහුට වමන විරෙචනයෙහි සතුටු සොම්නස් උපදනා සේ ද මෙය දතයුතු ය.

දසවිධ වූ අසුභය ලක්‍ෂණ විසින් එකෙක් ම ය. අසුභයාගේ ලක්‍ෂණ අපිරිසිදු බව, දුඟද බව, නින්‍දිත බව, පිළිකුල් බව යන මේ ය. මෙය මළසිරුරෙහි පමණක් ම නො වන්නේ ය. ස්ත්‍රියකගේ දත් ඇට දැකීමෙන් මිහින්තලා වෙහෙර වැසි මහාතිස්ස තෙරුන්ට සේ ඇතු පිට නැගී ගමන් ගත් රජු දැකීමෙන් සඞ්ඝරක්ඛිත තෙරුන්ට උවැටන් කළ හෙරණුන්ට සේ ජීවමානශරීරයෙහි ද වන්නේ ය. මළසිරුර සේ ම ජීවමානශරීරය ද අසුභ ය. ජීවමානශරීරයෙහි අශුභලක්‍ෂණ අමුතුවලා දැමූ සැරසිලිවලින් වැසී යන බැවින් නො ද පෙණෙන්නේ ය. එය, සැහැවියෙන් ම දත් ඇට අධික කොට ඇති තුන්සියයක් ඇටින් නැගුනේ එක්සිය අසූවක් සන්‍ධියෙන් ගැළපුනේ ය. නව සියයක් නහරින් බැඳුනේ ය. නව සියයක් මස් වැදැල්ලෙන් ඇලවුනේ ය. තෙත් මිනිස් සමින් හාත් පසින් වැළඳ ගන්නා ලද්දේ ය. සිවියෙන් වැසුනේ ය. කුදුමහත් සිදුරු ඇතියේ ය. මේදතෙල් පිරුණු සැළියක මෙන් නිතර උඩින් යටින් වැගිරෙන්නේ ය. පණුකැලන් විසින් සෙවුනා ලද්දේ ය. ලෙඩට තැන් ය. දුකට වාස්තු ය. පැළී ගිය පැරණි ගෙඩියක් මෙන් නවවිධ වණමුඛයෙන් නිතර කුණු වැගිරෙන්නේ ය. දෙ ඇසින් කබ දෙකන්බිලින් කන්කඳුරු, දෙනාස්පුටින් සොටු, මුවින් අහර පිත සෙම ලේ, අධොමාර්‍ග දෙකින් මල මූ, නවානූ දහසක් රොමකූපයෙන් අසූචිඩහදිය වැගිරෙන්නේ ය. නීලමැසි ආදීහු පිරිවරව සිටිත්. දැහැටි කෑම, මුව සේදීම, හිසතෙල් ගෑම, දිය නෑම, ඇඳුම් පෙරවුම් කිරීම යන මෙයින් පිළිදැගුම් නො කොට නිරුවත් ව නො පීරූ අවුල් වූ රළු කෙස් ඇති ව ගමින් ගම ඇවිදුනා රජුගේ ද අසුචි බැහැර ලන සැඩොලාගේ ද මෙහි වෙනසෙක් නැත්තේ ය. අපිරිසිදු බැවින් දුගඳ බැවින් නින්‍දිත බැවින් පිළිකුල් බැවින් රජකුගේ හා සැඩොලකුගේ හා වෙනසෙක් නැත්තේ ය. දැහැටි වළඳා මුව සෝදා නන්වන් පිළියෙන් විළිතැන් වසා නන්වැදෑරුම් සුවඳ විලවුන් ගල්වා මල් අබරණාදියෙන් සැරසී මම ය, මාගේ ය’යි ගත යුතු තැනට මෙය පෙරළා ගණිත්. මෙසේ ආගන්තුක අලඞ්කාරයෙන් වැසී යන බැවින් සිරුර පිළිබඳ ඇති සැටි අශුභලක්‍ෂණය නො දත් මූඪ පුරුෂයෝ අපිරිසිදු වූ දවරෑ නිතර දුගඳ වහනය කරණ මල මූ ඈ අසුචියෙන් පිරුණු ස්ත්‍රී ශරීරය රස විඳිය යුතු තැනක් කොට මාහැඟි කොට සලකා එහි හැපෙත්. එය වැළඳ ගණිත්. එයට යටත් වෙත්. මූඪ ස්ත්‍රීහු ද මෙබඳු වූ පුරුෂශරීරයෙහි හැපෙත්. එය වැළඳ ගණිත්. එයට යටත් වෙත්.

කෙස් - ලොම් - නිය - දත් - කෙළ - සොටු - මල - මූ ඈ අතුරෙහි සිරුරෙන් බැහැරට වැටුනු කිසිවකුත් කිසිකෙනෙක් අතින් පයින් තබා කෝටුවකිනුත් කැබලිත්තකිනුත් එයින් අනි කිසිවකිනුත් පහසන්නට කැමැත්තාහු නො වෙත්. එබන්දක් දැක පෙළෙත්. ලජ්ජිත වෙත්. හැකිළෙත්. පිළිකුල් කෙරෙත්. සි‍රුරෙහි ලැගුනු දැයත් බැහැරට වැටුනු දැය සේ ම පිළිකුල් වුව ද මොහඳුරෙන් වැසුනු ආත්මස්නේහයෙන් රත් වූ ස්ත්‍රී - පුරුෂයෝ, එය ඉෂ්ට ය, කාන්ත ය, නිත්‍යය, ශුභය, සුඛය, ආත්මය, යි ගණිත්. එසේ ගන්නෝ කැලේ පිපී ගිය කෑලරුක දැක එයින් නො ගිලිහුනු නො වැටුනු මල් බලා ‘මේ එල්ලෙන්නේ මස්වැදිලි’යි වෙහෙසට පත්වන දිරුම් කඩට ගිය හිවලුන් සමාන වෙත්. එබැවින් නුවණැති යොගියා විසින් ජීවමාන ශරීරය වේවා, මෘතශරීරය වේවා, අශුභලක්‍ෂණ පෙණෙන කොතැනක හෝ නිමිති ගෙණ කර්‍මස්ථානය අර්‍පණාවට පමුණුවා ගතයුතු ය. විස්තර විශුද්ධිමාර්‍ගයෙහි එන්නේ ය.

එහි මෙහිලා මෙසේ කීහ:-

“යථා හි පුප්ඵිතං දිස්වා - සිගාලො කිංසුකං වනෙ,

මංසරුක්කො මයා ලද්ධො - ඉති ගනත්‍වාන වෙගසො.

.

පතිතං පතිතං පුප්ඵං - ඩසිත්‍වා අතිලොලුපො,

නයිදං මංසං අදුං මංසං - යං රුක්ඛසමින්ති ගණහති.

.

කොට්ඨාසං පතිතං යෙව - අසුභන්ති තථා බුධො,

අගහෙත්‍වාන ගණ්හෙය්‍ය - සරීරට්ඨම්පි නං තථා.

.

ඉමං හි සුභතො කායං - ගහෙත්‍වා තත්‍ථ මුච්ඡිතා,

බාලා කරෙන්තා පාපානි - දුක්ඛා න පරිමුච්චරෙ.

.

තස්මා පස්සෙය්‍ය මෙධාවී - ජීවිනො වා මතස්ස වා

සභාවං පුතිකායස්ස සුභභාවෙන වජ්ජිතං” යි.

එකාන්ත කුශලචෛතසිකයක් වූ ස්මෘතිය යමක්හට ඇතියේ ද හේ සත නම්. [2]

සති ශබ්දයෙන් අසත්‍යර්‍ත්‍ථයෙහි ප්‍රත්‍යය ව සිද්ධ ය.

‍එසො ඛො ව්‍යන්තී කාහිති = මෙ තෙමේ වනාහි නසන්නේ ය.

“මෙ තෙමේ කුමක් නසන්නේ දැ?”යි නගිනා ප්‍රශ්නයට “භවත්‍රය පිළිබඳ තෘෂ්ණාව නසන්නේ ය” යනු පිළිතුර වන්නේ ය. කාමවිතර්‍කාදිය සන්සිඳවාලන දස අසුභය අරමුණු කොට උපන් ප්‍රථමද්ධ්‍යානයෙහි ඇලුනු, හැමකල්හි සිහි ඇති ව අශුභද්ධ්‍යානය වඩනුය් භවත්‍රය පිළිබඳ තෘෂ්ණාව නසාලන්නේ ය.

“ව්‍යන්ති කාහිති” යන මෙය “තීසු භවෙසු උප්පජ්ජනකං තණ්හං විගතන්තං කරිස්සති” යි අටුවා කළහ. ‘ව්‍යන්තී කාහිති’ යන මේ යෝගයෙන් කියනුයේ පෙර කෙළවර නො කරණ ලද්දක් කෙළවර කරන්නේ ය, යනු යි. එය “අව්‍යන්තං ව්‍යන්තං කරිස්සතීති = ව්‍යන්තී කාහිති” යි ශාබ්දිකයන් විසින් ව්‍යක්ත කරණ ලද ය. “කරිස්සති” යන ක්‍රියාපදය “කාහිති” යි මෙහි සිද්ධියට ආයේ ය. ‍ආයේ කර ධාතුවෙන් පරව යෙදුනු ‘ස්සති’ යන්නහුගේ ‘ස්ස’ යන්න ලොප් කොට හැර කර ධාතුවට ‘කාහ’ යනු ආදෙශ කොට යන්නක් ද අගාම විසින් ගැණීමෙනි.

එසො ඡෙජ්ජති මාරබන්‍ධනං = මෙ තෙමේ මාරබන්‍ධනය සිඳින්නේ ය.

කර්‍ම - ක්ලේශ විපාක යන ත්‍රෛභුමකවෘත්තය සිඳ හරිණුයේ යට කියූ ගුණ ඇති පුද්ගල තෙමේ ය. [3]

ධර්‍මදේශනාව අවසානයෙහි ඒ මහණ තෙමේ සෝවන් පලයෙහි පිහිටියේ ය. ධර්‍මදේශනා තොමෝ පැමිණ සිටි පිරිසට ද වැඩ සහිත වූ ය.

දහරභික්‍ෂු වස්තුව නිමි.

  1. 1-7 ‘සුභානුපස්සිං’ යනු බලනු.

  2. 2-2 ‘සතිමතො’ යනු බලනු.

  3. 3-1 ‘මාරධෙය්‍යං’ යනු බලනු.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.