24-8 මරු නැගූ මහාහඬ

නිට්ඨං ගතො අසන්තාසී වීතතණ්හො අනඞ්ගණො

අච්ඡින්‍දි භවසල්ලානි අන්තිමො’යං සමුස්සයො.

යම් මහණෙක් නිෂ්ඨාවට (රහත්පලයට) පැමිණියේ වේ ද, (රාගාදි සන්ත්‍රාස නැති හෙයිනුත් ජීවිතාශා ප්‍රහීණ කළ හෙයිනුත් සිංහාදීන් ගෙන් වන සන්ත්‍රසයක් ද නැතියෙන්) නො තැති ගන්නා සුලු වේ ද, පහ වූ තෘෂ්ණා ඇත්තේ වේ ද, එහෙයින් ම රාගාදි අඞ්ගණ රහිත වේ ද (හෙවත් නිඃක්ලේශ වේ ද), භවගාමී සියලු ක්ලේශශල්‍යයන් උදුරා හැරැ පී ද, ඔහුගේ මේ අන්තිම ආත්මභාවය යි.

වීතතණ්හො අනාදානො නිරුත්තිපදකොවිදො

අක්ඛරානං සන්නිපාතං ජඤ්ඤා පුබ්බාපරානි ච

ස වෙ අන්තිමසාරීරො මහාපඤ්ඤො මහාපුරිසො’ති වුච්චති.

යම් මහණෙක් රහත්මඟින් පහ කළ භවතෘෂ්ණා ඇත්තේ ද, ස්කන්‍ධකාදියෙහි ආත්ම අත්මීය වශයෙන් ගැනුම් නැත්තේ ද, නිරුක්තිපදයන්හි (හෙවත් සිවු පිළිසැඹියාහි) දක්‍ෂ ද, අක්‍ෂරසමුදායයත් පුර්‍වාපරාක්‍ෂරයන් (යෙදෙන සැටි)ත් දන්නේ ද, කෙළවර අත්බව්හි සිටි හෙ තෙම ඒකාන්තයෙන් මහාප්‍රාඥයැ යි ද (සියලු කෙලෙසුන්ගෙන් මිදුනු හෙයින්) මහාපුරුෂයැ යි ද කියනු ලැබේ.

බොහෝ ගණනක් තෙරවරු දවසක් දෙව්රම් මහාවෙහෙරට පැමිණ රාහුල තෙරුන් නිදි ත් තැනට ගොස් උන්වහන්සේ නිදි ගත් තැනින් නගා හැර එතැන් ගෙණ නිදි ගත්හ. රාහුල ස්ථවිරයන් වහන්සේ එතැනින් නැගිට ‍ගොස් නිදන්නට තැනක් ‍සොයනුවෝ සුදුසු තැනක් නො දැක බුදුරජුන්ගේ ගඳකිළි පිල්කඩෙහි නිදි ගත්හ. උපසම්පත්තියෙන් අවුරුද්දක් පමණකුත් නො ඉක්මවා සිටි උන්වහන්සේ රහත් කෙනෙක් වූහ. මේ අතර වසවත් මරු ගඳකිළි පිල්කඩෙහි හොත් ආයුෂ්මත් රාහුල තෙරුන් දැක “මෙතෙමේ මහණ ගොයුම්හුගේ රිදෙන ඇඟිල්ලක වැනි ය, ගඳ කිළියෙන් පිටත පිළෙහි නිදන්නේ ය, තෙමේ ගඳකිළිය තුළ නිදන්නේ ය, ඇඟිල්ල රිදවාපූ කල්හි මහණ ගොයුම් ද රිදවන ලද්දේ වනැ”යි සිතා මහත් ඇත් වෙසක් ගෙණ අවුත් තෙරුන්ගේ හිස හොඬින් වෙළා මහත් හඬින් මොර දුන්නේ ය. බුදුරජානන් වහන්සේ ගඳකිළියෙහි වැඩ හුන් සේක් ම හඬ තළන්නහු මාරයා බව දැන “මාරය! තා වැනි දහසක් දෙනා විසිනුදු මාගේ පුතුට බියක් උපදවන්නට නො හැකි ය, මාගේ පුතු නො තැති ගන්නේ ය, පහ වූ තෘෂ්ණා ඇතියේ ය, මහාවැර අතියේ ය, මහා නුවණැතියේ ය”යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක.

නිට්ඨං ගතො අසන්තාසී වීතතණ්හො අනඞ්ගණො,

අච්ඡින්‍දි භවසල්ලානි අන්තිමොයං සමුස්සයො.

.

වීතතණ්හො අනාදානො නිරුත්තපදකොවිදො,

අක්ඛරානං සන්නිපාතං ජඤ්ඤා පුබ්බපරානි ච,

සවෙ අන්තිමසාරීරො මහාපඤ්ඤො මහාපුරිසොති වුච්චතීති.

(යමෙක්) නිෂ්ඨාවට ගියේ වේ ද, නො තැති ගන්නා සුලු වේ ද, පහ වූ තෘෂ්ණා ඇත්තේ වේ ද, එහෙයින් ම රාගාදිඅඞ්ගණ නැත්තේ වේ ද, භවගාමී වූ ඒ සියලු කෙලෙස්හුල් සිඳ හළේ ද, (ඔහුගේ) මේ අන්තිම ආත්මභාවය යි.

යමෙක් පැහූ තෘෂ්ණා ඇත්තේ වේ ද, ආත්ම ආත්මීය වහයෙන් ගැණුම් නැත්තේ වේ ද, නිරුක්තිපදයන්හි දක්‍ෂ වේ ද, අක්‍ෂරයන්ගේ සමුදාය හා පූර්‍වාපරාක්‍ෂරයන් දන්නේ වේ ද අන්තිමශරීරයෙහි පිහිටි හෙතෙමේ එකාන්තයෙන් මහාප්‍රාඥ යි ද මහාපුරුෂ යි ද කියනු ලැබේ.

නිට්ඨං ගතො = (යමෙක්) නිෂ්ඨාවට ගියේ ද. කෙළවරට පැමිණියේ වේ ද.

මෙහි ‘නිෂ්ඨා’ නම්: අර්‍හත්ඵලය යි. “ඉමස්මිං සාසනෙ අරහත්තං නිට්ඨා” යනු අටුවා. අර්‍හත්‍වය නිෂ්ඨා යි කියනු ලබනුයේ අර්‍හත්ඵලලාභයෙන් සසර ඉපැත්ම කෙළවරවන බැවිනි. අර්‍හත් ඵලයට පැමිණියේ නැවැත කවදාකත් සසර නො ද උපදනේ ය. මෙතෙමේ මාර්‍ගක්‍ෂණයෙහි නිෂ්ඨාවට යන්නේ, අර්‍හත්ඵලලක්‍ෂණයෙහි අවසන් කළ කිස ඇති බැවින් සියලු අයුරින් නිෂ්ඨාවට ගියේ වේ. “එවං මග්ගක්ඛණෙ නිට්ඨං ගච්ඡන්තො අරහත්තඵලක්ඛණෙ පරියොසිතකිච්චතාය සබ්බාකාරෙන තීසු රතනෙසු නිට්ඨං ගතො” යි පොතෙහි ආයේ ය.

ඒ ඒ දෘෂ්ටිගතිකයන් විසින් තම තමන්ගේ ලබ්ධි වශයෙන් පණවා ගත් නිෂ්ඨා ද ඇත. බ්‍රාහ්මණයන්ගේ ලබ්ධියෙහි බඹලොව නිෂ්ඨා ය. තාපසයන්ට ආභස්සර ය නිෂ්ඨා ය. පරිව්‍රාජකයනට සුභකිණ්හය නිෂ්ඨා ය. ආජීවකයනට අනන්තමානස ය නිෂ්ඨා ය. මෙසේ ලබ්ධි විසින් නිෂ්ඨා ගෙණ හැර දක්වා ඒ නිෂ්ඨා අතුරෙහි අර්‍හත්ත්‍වය ද දැක්වූහ. “බ්‍රාහ්මණානං හි බ්‍රහ්මලොකො නිට්ඨා, තාපසානං අභස්සරා, පරිබ්බාජකානං සුභකිණ්හා, ආජීවකානං අනන්තමානසොති එවං පරිකප්පිතො අසඤ්ඤිභවො” යනු අර්‍ත්‍ථකථා ය. රාග දවෙෂ මොහයන්ගෙන් රත් වූ දූෂිත වූ මූඪ වූ බාහිරකයනට නිෂ්ඨාවක් වන්නී නම් බලු කැණහිල් ආදීනට ද නිෂ්ඨා වන්නීය.

අසන්තාසී = නො තැති ගන්නා සුලු වූයේ ද.

තම සිත් තුළ නගින රාගද්වේෂාදී සන්ත්‍රාසයක් නැති බැවින් ද ජීවිතාශාව නැසූ බැවින් ද සිංහ ව්‍යාඝ්‍රාදීන්ගෙන් කිසි දාකත් නො තැති ගන්නේ ‘අසන්තාසී’ නම්. “අබ්හන්තරෙ රාගසන්තාසාදීනං අභාවෙන අසන්තසනකො” යනු එහිලා දත යුතු ය. තව ද නො ලැබීමෙන් යශස් පිරිහීමෙන් හැරහුම් ලැබීමේ දුකට වැටීමෙන් නො තැති ගන්නේ ද අසන්තාසී ය. මේ එය කියූ සැටි: “අලාභෙන අයසෙන නින්දාය දුක්ඛෙන අසන්තාසි නාම” යනු. මෙයින් පෙණෙනුයේ නිෂ්ඨාවට ගියහු අෂ්ටලෝකධර්‍මයනට අයත් මෙ කියූ ධර්‍මයන්ගෙන් නො තැති ගන්නා බව ය.

චිත්තණ්හො = පහ වූ තෘෂ්ණා ඇත්තේ වේ ද.

කාමතණ්හා - භවතණ්හා - විභවතණ්හා යන ත්‍රිවිධ තෘෂ්ණාව පහ කොට සිටියේ වීතතණ්හ. [1]

අනඞ්ගණො = රාගාදී අඞ්ගණ නැත්තේ වේ ද.

අනඞ්ගණ සූත්‍රයෙහි තමන් බලාපොරොත්තු වන දැය නො ලැබීමෙන්, තමන්ගේ අදහස් ඉටු නො වීමෙන් සිතේ පහළ වන කෝපය හා නො සතුට අඞ්ගණ නමැ යි ආයේ ය. [2]

අච්ඡින්‍දති භවසල්ලානි = භවගාමී වූ කෙලෙස්හුල් සිඳ හළේ ද.

රාග - දොස -මොහ - මාන - දිට්ඨි - සෝක - දුච්චරිත විසින් හුල් සතෙකි. “සත්ත සල්ලානි රාගසල්ලං දොසසල්ලං මොහසල්ලං මානසල්ලං දිට්ඨිසල්ලං සොකසල්ලං දුච්චරිතසල්ලන්ති” යනු දේශනා ය.

රාගය ම රාගසල්ල නමි. පෙළීම දනවන බැවින් ඇතුළත විදින බැවින් බැහැරලීම නො පහසු බැවින් රාගාදීහු සල්ල යි කියනු ලැබෙත්. “‍රාගොව පීළාජනකතාය අන්තො තුදන්තාය දුන්තීහරණතාය සල්ලඤ්චාති රාගසල්ලං” යනු අටුවා. යමක්හුගේ සි‍ත්හි රාගාදීහු වෙත් නම්, ඒ හේතුයෙන් ඔහු දව රෑ දෙක්හි පෙළෙන්නේ ය. රිදුම් ලබන්නේ ය. මෙසේ සත්ත්‍වයා පෙළන රාගාදී වූ හුල් උදුරා බැහර ලනුයේ රහත්මග නුවණ ය. මේ හුල් රහත්මග නුවණින් සිඳහළ යුතු ය.

යමෙක් වනාහි වර්‍තමාන ජීවිතයෙහි නිෂ්ඨාවට පැමිණියේ නො තැති ගන්නා සුලු වූයේ පහ කළ තෘෂ්ණා ඇතියේ රාගාදි අඞ්ගණ රහිත වූයේ භවයෙහි උපත දෙන කෙලෙස් හුල් සිඳ හළේ ද හෙතෙමේ ඉදිරියෙහි උපත නො ලබන්නේ ය.

විතතණ්හො = පහ කළ තෘෂ්ණා ඇත්තේ ද.

අනාදානො = ආත්ම - ආත්මීය වශයෙන් ගැණුම් නැත්තේ ද.

එක ද සංස්කාරයකුත් ‘මම ය, මාගේ ය’යි තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නො ගන්නේ ‘අනාදාන’ නම්. “බන්‍ධාදීසු නිග්ගහණො” යනු අටුවා. “අප්පටිසන්‍ධිතො අනාදානොති” කියූ බැවින් භවයෙහි පිළිසිඳ ගැණීම් නැත්තේ අනාදානැ යි දතයුතු ය.

නිරුත්තිපදකොවිදො = නිරුක්තිපදයෙහි දක්‍ෂ වූයේ ද.

අත්‍ථ - ධම්ම - නිරුත්ති - පටිභාන යන පටිසම්භිදා සතරෙහි දක්‍ෂ වූයේ ‘නිරුත්තිපදකොවිද’ නම්.

පටිසම්භිදා = නම් කිමැ යි පහදා දෙන විභඞ්ගාර්‍ත්‍ථකථාවෙහි “පටිසම්භිදා = පභෙදා” යනු ආයේ ය. පටිසම්භිදා යන්නෙන් ප්‍රභේදය යන අරුත දෙන බව මෙයින් පෙණේ. පටිසම්භිදා යන මෙපදය කෙනෙක් පටි, සං, පූර්‍ව විද, ඤාණෙ, යන ධාතුවෙන් ද, කෙනෙක් පටි, සං, පූර්‍ව භිද, විදාරණෙ, යන ධාතුවෙන් ද නිපදවත්. “පටිසබ්භිජ්ජතීති = පටිසම්භිදා” යන අර්‍ත්‍ථ සමර්‍ත්‍ථනයෙන් සමර්‍ත්‍ථනය කරණුයේ මෙය ‘භිද-විදාරණෙ’ යන ධාතුවෙන් නිපන් බව ය. විභාග කෙරේ නුයි හෝ, විභාගයට පැමිනේ නුයි හෝ, විභාග කරණු ලැබේ නුයි හෝ යනු එහි අරුත්. “සභාවනිරුත්තිං විභාවෙන්තං එව තං තං සද්දපච්චවෙක්ඛානානන්තරං තං තං පභෙදනිච්ඡයහෙතුබාවතො නිරුත්තිං භින්‍දන්තං පටිභිජ්ජන්තං එව උප්පජ්ජති” යනු එහිලා සාධක විසින් දක්වන්නාහුය. මෙය මෙහිලා වඩා ව්‍යක්තව සිටියේ ද, ‘විද-ඤාණෙ’ යන ධාතුවෙන් නිපදවා ගැණීමෙහි ය. එසේ නිපදවා ගැන්මෙහි ද අර්‍ත්‍ථවිරෝධයෙක් නො ලැබේ.

එහි “අත්‍ථො ඤාණං = අත්‍ථපටිසම්භිදා” යි වදාළ බැවින් අර්‍ත්‍ථයන්ගේ ප්‍රභේදය සලකා ගැන්මෙහි අරුත් මතුකර ගැන්මෙහි සමර්‍ත්‍ථ වූ නුවණ ‘අත්‍ථපටිසම්භිදා’ නම් වේ. අටුවොයෙහි ලා මෙය මෙසේ කීහ. “අත්‍ථප්පභෙදස්ස සල්ලක්ඛණවිභාවනවවත්‍ථානකරණසමත්‍ථං අත්‍ථෙ පභෙදගතං ඤාණං = අත්‍ථපටිසම්භිදා” යනු විසින්. අර්‍ත්‍ථප්‍රභේදයාගේ හෙවත් ඵලවිශේෂයාගේ සැලකීම, ප්‍රකට කිරීම, නියම කිරීම යන මෙහි සමර්‍ත්‍ථ වූ අර්‍ත්‍ථයෙහි හෙවත් ඵලයෙහි ප්‍රභේද විසින් පැවැති නුවණ ‘අත්‍ථපටිසම්භිදා’ යනු එහි අරුත්.

අත්‍ථ නම්: නිබ්බත්තක - ඤාපක - සම්පාපක යන හේතූන් අනුව ගිය නුවණින් අවබෝධ කරණු ලබන හේතුඵලය යි. “හෙතු ඵලං හි යස්මා හෙතු අනුසාරෙන අරීයති අධිගමීයති පාපුණීයති, තස්මා අත්‍ථොති වුච්චති” යනු අර්‍ත්‍ථකථා ය.

ඒ මේ අර්‍ත්‍ථය, ප්‍රතයයොත්පන්නධර්‍ම - නිර්‍වාණ - භාෂිතාර්‍ත්‍ථ - විපාක - ක්‍රියා විසින් පස්වැදෑරුම් ය. “පභෙදතො පන යං කිඤ්චි පච්චයසමුප්පන්තා නිබ්බානං භාසිතත්‍ථො විපාකො ක්‍රියාති, ඉමෙ පඤ්ච ධම්මා අත්‍ථොති වෙදිතබ්බො” යනු විසින් එය ‍පොතෙහි ආයේ ය.

මෙහි ප්‍ර‍ත්‍යයොත්පන්නධර්‍ම නම්: දුඃඛාදී වූත් ජාති ජරා මරණාදී වූත් හේතුඵල ධර්‍මයෝ ය. නිර්‍වාණ නම්: දුකට හේතු වූ තෘෂ්ණාදීන්ගේ අනුත්පාදනිරෝධයෙන් ලැබෙන සන්සිඳීම ය. භාෂාතාර්‍ත්‍ථ නම්: සුත්ත - ගෙය්‍ය - වෙය්‍යා කරණාදී වූ නවාඞ්ග ශාස්තෘශාසනයාගේ අර්‍ත්‍ථ ය ය. විපාක - ක්‍රියා නම්: කුශලාකුශල විපාක සිත් හා ක්‍රියා සිත් ය.

මෙසේ මේ පස්වැදෑරුම් වූ අර්‍ත්‍ථසඞ්ඛ්‍යාතඵලය ප්‍රත්‍යවේක්ෂා කරන්නහුට එම අර්‍ත්‍ථසඞ්ඛ්‍යාතඵලයෙහි ප්‍රභේද විසින් ප්‍රතිවේධය සිද්ධ කරණ නුවණ ‘අත්‍ථපටිසම්භිදා’ නම්. “තං අත්‍ථං පච්චවෙක්ඛන්තස්ස තස්මිං අත්‍ථෙ පභෙදගතං ඤාණං අත්‍ථපටිසම්භිදා” යනු එහි ලා දතයුතු ය.

“ධම්මෙ ඤාණං = ධම්මපටිසම්භිදා” යි වදාළ බැවින් ධර්‍මයන්ගේ ප්‍රභේදය සලකා ගැන්මෙහි, ධර්‍ම මේ මේ ය යි මතු කර ගැන්මෙහි සමර්‍ත්‍ථ වූ නුවන ‘ධම්මපටිසම්භිදා’ නම් වේ. අටුවායෙහි මෙය මෙසේ කීහ: “ධම්මප්පභෙදස්ස සල්ලක්ඛණවිභාවනවවත්‍ථානකරණ සමත්‍ථං ධම්මෙ පභෙදගතං ඤාණං ධම්මපටිසම්භිදා” යනු විසින්. හේතුප්‍රභේදයාගේ හෙවත් හේතුවිශේෂයාගේ සැලකීම, ප්‍රකට කිරීම. නියම කිරීම යන මෙහි සමර්‍ත්‍ථ වූ හේතුයෙහි ප්‍රභේද විසින් පැවැති නුවණ ‘ධම්මපටිසම්භිදා’ යනු එහි අරුත්.

ධම්ම නම්: සැකෙවින් ප්‍රත්‍යය ය. ඒ ධම්මසඞ්ඛ්‍යාත ප්‍රත්‍යය, යම්හෙයකින් ඒ ඒ අර්‍ත්‍ථ සඞ්ඛ්‍යාත ඵලය නිපදවා ද, පවත්වා ද, පමුණුවා ද එහෙයින් ධර්‍මැ යි කියනු ලැබේ. මේ මෙය කියූ සැටි: “ධම්මොති සඞ්ඛෙපතො පච්ච‍යො, සො හි යස්මා තං තං විදහති පවත්තෙති පාපෙති ච තස්මා ධම්මොති වුච්චති” යි.

ඒ මේ ධර්‍මය, ප්‍රභේද විසින් ඵල නිපදවන හේතු ය - ආර්‍ය්‍ය මාර්‍ගය - පර්‍ය්‍යාප්තිය - කුශල ය - අකුශල ය යි පස් වැදෑරුම් ය. “‍පභෙදතො පන යො කොචි ඵලනිබ්බත්තකො හෙතු අරියමග්ගො භාසිතං කුසලං අකුසලන්ති ඉමෙ පංච ධම්මා ධම්මොති වෙදිතබ්බො” යනු විසින් පොතෙහි ආයේ ය.

මෙහි හේතු - කුශල - අකුශල යන මෙ තුන, තම තමන්ට අනුරූප වූ ඵලවිපාක උපදවන බැවින් නිබ්බත්තක හේතු විසින්, භාෂිතය, අර්‍ත්‍ථය පහදාලන බැවින් ඤාපක හේතු විසින්, ආර්‍ය්‍ය මාර්‍ගය, නිවනට පමුණු වන බැවින් සම්පාපක හේතු විසින් ගණු ලැබේ.

මෙසේ මේ පස්වැදෑරුම් වූ ධර්‍මසඞ්ඛ්‍යාතප්‍රත්‍යය ප්‍රත්‍යවේක්ෂා කරන්නහුට ඒ ධර්‍මසඞ්ඛ්‍යාතප්‍රත්‍යයයෙහි ප්‍රභේද විසින් ප්‍රතිවේධය සිද්ධ කරණ නුවණ ‘ධම්මපටිසම්භිදාං නම්. “තං ධම්මං පච්චවෙක්ඛන්තස්ස තස්මිං ධම්මෙ පභෙදගතං ඤාණං ධම්මපටිසම්භිදා” යනු අර්‍ත්‍ථකථා ය.

“නිරුත්තාභිලාපෙ පභෙදගතං ඤාණං නිරුත්තිපටිසම්භිදා” අත්‍ථපටිසම්භිදායෙහි කියූ පස්වැදෑරුම් අර්‍ත්‍ථයෙහි හා ධම්මපටිසම්භිදායෙහි කියූ පස්වැදෑරුම් ධර්‍මයෙහි හා තතු දැනුමෙහි එක්වන් උපකාරක ව සිටි ශබ්දව්‍යවහාරයෙහි ප්‍රභේදගත වූ නුවණ ‘නිරුත්ති පටිසම්භිදා’ ය. “නිරුත්තපභෙදස්ස සල්ලක්ඛණවිභාවන වවත්‍ථානකරණසමත්‍ථං නිරුත්තාභාලාපෙ පභෙදගතං ඤාණං නිරුත්ති පටිසම්භිදා” යනු අර්‍ත්‍ථකථා ය. ස්වභාවනිරුක්ති ප්‍රභේදයාගේ හෙවත් ස්වභාවනිරුක්ති විශේෂයාගේ සැලකීම, ප්‍රකට කිරීම, නියම කිරීම යන මෙහි සමර්‍ත්‍ථ වූ ස්වභාවප්‍රඥප්තීන්ගේ අභිලාපයෙහි උසුරුවීම යෙදෙන ශබ්දප්‍රභේදයෙහි පැවති නුවණ ‘නිරුත්තිපටිසම්භිදා’ නම්.

මෙහි ‘නිරුත්ති’ නම්: සියලු භාෂාවන්ගේ ප්‍රභවස්ථානය වූ සියලු භාෂාවනට මූලභූත වූ මාගධභාෂා ය. මේ ම ය සභාව නිරුත්ති. “සා පනායං සභාවනිරුත්ති මාගධභාසා, අත්‍ථනො නාමපඤ්ඤත්ති” යනු ආචාර්‍ය්‍යවචන යි. බ්‍රහ්මලෝකයන්හි මෝ හැම කල්හි නො වෙනස්ව පවත්නී ය. කල්පාරම්භයෙහි බ්‍රහ්මලොකයෙන් භුලෝකයට බට බ්‍රහ්මයෝ තම අදහස් කියාලූවෝ මේ ස්වභාවනිරුක්තියෙනි. කල් යත් මිනිස් බවට ගිය මොවුහු නොයෙක් තැන, වසන තැන් කොට ගෙණ වෙන් වෙන් ව ගියාහු ය. එයින් මුලදී එක් ලෙසින් පැවැති ස්වභාවනිරුක්ති නම් වූ මාගධ භාෂාව ද නොයෙක් ලෙසින් වෙනස් ව ගියා ය. මෙසේ එකෙනෙකට දුරස්ථ වූ ප්‍රදෙශ වාසස්ථාන කොට ගැණීමෙන් ඒ මුල් මිනිස් පරපුර හැර ලෙසකින් විවිධත්‍වයට ගියා සේ මූලප්‍රකෘතිය වූ මාගධ භාෂාව ද වෙනස් වූවා ය. එයින් බොහෝ වෙනස් කම් ඇති විවිධ භාෂාවෝ ඒ ඒ තැන්හි උපන්හ. සම්බුදුරජානන් වහන්සේ හැම කල්හි නො වෙනස්ව පවත්නා මාගධභාෂාව ම ධර්‍මාර්‍ත්‍ථයන් පවසනු පිණිස යොදා ගත් සේක. සියලු දෙනාගේ ස්වභාවිකභාෂාව බැවිනුත් දහම් දෙසීමට පහසු බැවිනුත් මාගධභාෂායෙන් ම දහම් දෙසන සේක. මේ වනාහි බුදුවරුන්ගේ ධර්‍මතායෙකි.

මාගධභාෂාසඞ්ඛ්‍යාතස්වභාවනිරුක්තියෙහි ඇතුළත් ශබ්ද අසා මේ ස්වභාවනිරුක්තිය, මේ ස්වභාවනිරුක්තිය නො වේ ය යි දැන ගන්නා බැවින් නිරුත්තපටිසම්භිදා තෙ‍මෝ ශබ්දය අරමුණු කොට වූවා, ප්‍රඥප්තිය අරමුණු කොට නො වූවා ය. මේ අටුවා: “එවමයං නිරුත්තිපටිසම්භිදා සද්දාරම්මණා ජාතා, න පඤ්ඤත්ති ආරම්මණා, කස්මා, යස්මා සද්දං සුත්‍වා අයං සභාව නිරුත්ති, අයං න සභාවනිරුත්තීති ජානාති” යනු.

නිරුත්තිපටිසම්භිදාවට පැමිණි ආර්‍ය්‍යපුද්ගලයා වනාහි ‘ඵස්සො’ යනාදී වූ ක්‍රමානුකූල වචනයක් ඇසූ කල්හි මෙය ස්වභාවනිරුක්තිය යි ද ‘ඵස්සා’ යනු‍ හෝ ‘ඵස්සං’ යනු හෝ ඇසූ කල්හි මෙය ස්වභාවනිරුක්තිය නො වේ ය යි ද දන්නේ ය. ‘ඵස්සො’ යනු පුංල්ලිඞ්ගික ප්‍රථමෛක වචනාන්ත ය. ‘ඵසසො’ යනු ස්ත්‍රීලිඞ්ගික ප්‍රථමෛකවචනාන්ත ය. ‘ඵස්සං’ යනු නපුංසකලිඞ්ගිකප්‍රථමෛක වචනාන්ත ය. ‘ඵස්සා - ඵස්සං’ යනු අස්වභාව නිරුක්තිය යි වෙන් වෙන් වශයෙන් දැන ගැණීමට උපකාර වූ ශබ්දයන් අරමුණු කොට නිරුත්තිපටිසම්භිදා ව උපදනී ය.

නිරුත්තිපටිසම්භිදාවට පත් ආර්‍ය්‍යයන්හට මාගධභාෂායෙන් පාළියට නැගූ බුද්ධවචනයක් කණ වැටුනු පමණින් ක්‍රම සිය දහස් ගණනින් එහි අර්‍ත්‍ථය වැටහෙන්නේ ය. එසේ ම එබඳු ආර්‍ය්‍ය පුද්ගලයා අන් කිසි භාෂා ශාස්ත්‍රාදියක් නො උගත්තේ ද ශබ්දයක් ඇසූ ඇසිල්ලෙහි ඒ ශබ්දය අරමුණු කොට උපදනා මනෝද්වාරික චිත්තවීථියෙන් ශබ්දයාගේ සිද්ධිය හා ශබ්දාර්‍ත්‍ථය ද යථාර්‍ත්‍ථ විසින් ම මැනැවින් දැන ගන්නේ ය. පුහුදුනවුන් උගත් දැය නිරුත්තිපටිසම්භිදාව පිණිස නො පවත්නේ ය. එය එයට උපනිශ්‍රයප්‍රත්‍යය විසින් ප්‍රත්‍යය වන්නේ ය.

“ඤාණෙසු ඤාණං පටිභානපටිසම්භිදා” අර්‍ත්‍ථධර්‍මාදී වූ පටිසම්භිදා ඤාණයන්හි උපන් ප්‍රත්‍යුත්පන්න බුද්ධිය ‘පටිභානපටිසම්භිදා’ ය. “පටිභානප්පභෙදස්ස සල්ලක්ඛණ විභාවන වවත්‍ථාන කරණ සමත්‍ථං පටිභානෙ පභෙදගතං ඤාණං පටිභානපටිසම්භිදා” යනු අර්‍ත්‍ථකථා ය. අර්‍ත්‍ථ - ධර්‍ම - නිරුක්ති යන තෙවැදෑරුම් වූ පටිසම්භිදාඤාණයන්ගේ ප්‍රභේදය සැලකීම, ප්‍රකට කිරීම, නියම කිරීම යන මෙහි සමර්‍ත්‍ථ වූ පටිහානපටිසම්භිදායෙහි ප්‍රභේද විසින් පැවැති නුවණ ‘පටිභානපටිසම්භිදා’ ය යනු එහි අරුත්.

තවද “ඤාණෙසු ඤාණන්ති සබ්බත්‍ථකඤාණං ආරම්මණං කත්‍වා ඤාණං පච්චවෙක්ඛන්තස්ස පභෙදගතං ඤාණං පටිභානපටිසම්භිදා” යි කියූ බැවින් සියලු අර්‍ත්‍ථ ධර්‍මාදීන් අරමුණු කොට ඇති නුවණ, තෙවැදෑරුම් වූ පටිසම්භිදාඤාණය ප්‍රත්‍යවේක්ෂා කරන්නහුට ප්‍රභේද විසින් පැවැති නුවණ පටිභානපටිසම්භිදා යි පූර්‍වොක්තිය අනුව ගතයුතු ය. යම්කිසි පටිසම්භිදාඤාණයකින් ඉතිරි පටිසම්භිදා ඤාණ තුනෙහි කෘත්‍යය දනී ද, ඒ ඒ ඤාණයන්හි මේ ආකාරයෙන් පැවැති ඤාණය පටිභානපටිසම්භිදා යි මෙයින් කියන ලද ය . මෙහි ‘සබ්බත්‍ථකඤාණ’යි කීයේ අර්‍ත්‍ථධර්‍මාදීන්හි පැවැති නුවණ ය. පටිභානපටිසම්භිදා තොමෝ අන්‍ය පටිසම්භිදාඤාණයන්ගේ කෘත්‍යය දැන ගණු විනා ඔවුන් පිළිබඳ ඔවුනට අයත් කෘත්‍යයන් සිද්ධ කිරීමෙහි සමර්‍ත්‍ථ නො‍ වේ.

ප්‍රත්‍යයයන්ගෙන් නිපැදෙන ප්‍රත්‍යයසමුත්පන්නය, මාර්‍ගඵලයනට අරමුණු වූ නිවනය, බුදුවදන් පිළිබඳ අර්‍ත්‍ථය, විභාගය, ක්‍රියාය යන මේ පස්වැදෑරුම් වූ ධර්‍මය යි කියන ලද අර්‍ත්‍ථය ප්‍රත්‍යවේක්ෂාකරනුනහුට ඒ අර්‍ත්‍ථයෙහි ප්‍රභේද බවට ගිය ඤාණයාගේ කෘත්‍යය, ප්‍රත්‍යයසමුත්පන්නාදී වූ ධර්‍ම පස ප්‍රත්‍යවේක්ෂා කිරීමය යි යම් කිසි ඤාණයකින් වැටහී යේ ද, යම් ඤාණයකගේ බලයෙන් දැන ගණී ද, ඒ ඤාණය ‘පටිභානපටිසම්භිදා’ නම්. මෝ පටිසම්භිදාතොමෝ ඒ ඒ අර්‍ත්‍ථප්‍රභේදය සැලකීම, ප්‍රකට කිරීම, නියම කිරීම යනු විසින් ඒ ඒ අර්‍ත්‍ථයෙහි ප්‍ර‍භේදයට ගිය ඤාණයාගේ කෘත්‍යය මේ ය යි දැන ගන්නී ය. අත්‍ථපටිසම්භිදාව අර්‍ත්‍ථප්‍රභේදය සැලකීම ආදී වූ කෘත්‍යය සිදු කරන්නී ය.

ඵල නිපදවන හේතු ය, ආර්‍ය්‍යමාර්‍ග ය, බුද්ධවචන ය, කුශල ය, අකුශල ය යන ධර්‍ම පස ප්‍රත්‍යවේක්ෂා කරන්නහුට ඒ ධර්‍ම පසෙහි ප්‍රභේදයට ගිය ඤාණයාගේ කෘත්‍යය, ඒ ධර්‍ම පස සැලකීම, ප්‍රකට කිරීම, නියමකිරීම ය යි යම් ඤාණයකින් වැටහී යේ ද ඒ ඤාණය පටිභානපටිසම්භිදා නම්.

යට කියූ අර්‍ත්‍ථපඤ්චකයෙහි හා ධර්‍මපඤ්චකයෙහි ස්වබාව නිරුක්තිශබ්දය අරමුණු කොට ප්‍රත්‍යවේක්ෂා කරන්නහුට, ඒ ස්වභාව නිරුක්ති කියා පෑමෙහි ප්‍රභේදයට ගිය ඤාණයාගේ කෘත්‍යය, ශබ්දය අරමුණු කොට අර්‍ත්‍ථධර්‍මයන් පිළිබඳ නිරුක්ති කීමය යි යම් ඤාණයකින් වැටහී යේ ද ඒ ඤාණය ‘පටිභානපටිසම්භිදා’ නම්. “යෙන ඤාණෙන තානි ඤාණානි ජානාති, ඉමානි ඤාණානි ඉදමත්‍ථජොතකානීති ඤාණෙසු ඤාණං පටිභානපටිසම්භිදා” යනු විසින් විභඞ්ග පාළියෙහි මෙය කියන ලද්දේ ය. ‘මේ ඤාණයෝ මේ අර්‍ත්‍ථ ප්‍රකාශ කෙරෙති’යි යම් ඤාණයකින් දැන ගණී ද ඒ ඤාණය පටිභානපටිසම්භිදා යි, කොටින් දතයුතු ය.

සිවුවැදෑරුම් වූ මේ පටිසම්භිදාවෝ ‍ ශෛක්‍ෂ්‍ය - අශෛක්‍ෂ්‍ය භූමි දෙක්හි ද ප්‍රභේදයට යන්නෝ ය. එහි ස්‍රෝතාපත්ත්‍යාදි මාර්‍ගඵලත්‍රයෙන් වැඩී ගිය චිත්ත‍පරම්පරායෙහි ලා ප්‍රභේද ප්‍රතිවේධයෙහි සමර්‍ත්‍ථ වූවා සෙඛපටිසම්භිදා ය. අර්‍හනමාර්‍ගඵල දෙකින් වැඩී ගිය චිත්තපරම්පරායෙහි ලා ප්‍රභේදප්‍රතිවේධයෙහි සමර්‍ත්‍ථ වූවා අසෙඛපටිසම්භිදා ය. එහි ශාරීපුත්‍ර - මෞද්ගල්‍යායන - මහාකාශ්‍යප - මහාකාත්‍යායන - මහාකොට්ඨිතා දී වූ අසූ මහාශ්‍රාවකයන්ගේ පටිසම්භිදාවෝ අසෙඛ භූමියෙහි ප්‍රභේදයට ගියහ. ආනන්‍ද - චිත්ත ගහපති - ධම්මික උපාසක - උපාලිගහපති - ඛුජ්ජුත්තරා දී වූ උපාසක - උපාසිකාවන්ගේ පටිසම්භිදාවෝ සෙඛ භූමියෙහි ප්‍රභේදයට ගියහ.

අධිගම - පරියත්ති - සවණ - පරිපුච්ඡං - පුබ්බයොග යන මෙකරුණු පසින් පටිසම්භිදාවෝ පළට වන්නාහ. එහි අධිගම නම්: මාර්‍ගඵල - පටිසම්භිදා - ත්‍රිවිද්‍යා - ෂඩභිඥා යන මොවුහු ය. පරියත්ති නම්: ත්‍රිපිටක බුද්ධ වචනය ය. සවණ නම්: සකස් ව බණ ඇසීම ය. පරිපුච්චඡා නම්: අර්‍ත්‍ථකථා ඇස්වීම ය. පුබ්බයෝග නම්: පෙර අත්බැව්හි කමටහන් වැඩීම පුරුදු පුහුණු කළ බව ය. අර්‍හත් ඵලයට පැමිණියහුගේ ත්‍රිපිටක බුද්ධ වචනය උගත්තහුගේ, සකස් කොට බණ ඇසූවහුගේ, උගත් පාලිධර්‍මයාගේ අරුත් ඇස්වූවහුගේ, ඉකුත් භවයෙහි කමටහන් වැඩීම පුරුදු පුහුණු කළහුගේ පටිසම්භිදාවෝ පළට වන්නාහ.

අධිගමය හෙවත් රහත්පලයට පැමිණීමෙන් පුනබ්බසු කෙළෙඹිපුත් තිස්ස තෙරුන්ගේ, බුදුවදන් උගැන්මෙන් තිස්සදත්ත තෙරුන්ගේ, සකස් කොට බණ ඇසීමෙන් සුධර්‍ම හෙරණුන්ගේ, බුදුවදන්හි අරුත් ඇස්වීමෙන් තිස්සදත්ත තෙරුන්ගේ පටිසම්භිදාවෝ විශද වූහ.

පිළිසැඹියා නුවණ ලබන්නහුට ඒ පිණිස වෙන ම යෙදිය යුතු කමටහනෙක් නැත්තේ ය. සෙඛයන්ගේ පටිසම්භිදාවට පැමිණීම ස්‍රෝතාපත්ත්‍යාදී වූ සෙඛඵල විමුත්තිය කෙළවර ද, අසෙඛයන්ගේ පටිසම්භිදාවනට පැමිණීම අරහත්තඵලවිමුත්තිය කෙළවර ද වන්නේ ය. බුදුරජානන් වහන්සේට රහත්පලයට පැමිණීම සමග ම දශබලඥානය ලැබෙන්නා සේ සෙඛ - අසෙඛ වූ හැම ආර්‍ය්‍යයන් වහන්සේට ම ආර්‍ය්‍යඵලයට පැමිණීම සමග ම පටිසම්භිදාවෝ ලැබෙන්නාහ.

පිළිසැඹියාවන් ගැණ දතයුතු කරුණු අතුරෙහි මෙහි දක්වන ලද්දේ ඉතා ම ටිකෙකි. එද ඉතා ම කෙටියෙනි. තවත් මෙහිලා ප්‍රභෙද - ආරම්මණ - කාල - අජ්ඣත්තබහිද්ධාරම්මණ - ඵලවිසින් දතයුතු කරුණු බොහෝ ඇත්තේ ය. එ හැම විභඞ්ග පාළි - පටිසම්භිදාමග්ග - විභඞ්ගට්ඨකථාදිය බලා දතයුතු ය. උගත යුතු ය.

අක්ඛරානං සන්නිපාතං ජඤ්ඤා පුබ්බපරානි ච = අක්‍ෂරයන්ගේ සමුදාය හා පූර්‍වාපරාක්‍ෂරයන් දන්නේ ද.

අ - ඉ - උ යනාදීහු ශබ්දයෝ ය. ඔවුහු සිතෙහි හටගන්නා අදහස් අන්හට හඟවාලීමෙහි කැමැත්ත ඇති කල්හි වායෝධාතු ශක්තියෙන් උපදිති. කනට ගොදුරු වෙති. පදයනට අවයව වෙති. ඉදිරියෙහි සිටියවුනට සිය අදහස් එසේ හට ගැණෙන ශබ්ද කිහිපයක් එකවට උසුරුවීමෙන් හැඟවිය හැකි වූව ද ශබ්දයන් ඇසට ගොදුරු නො වන බැවින් ඉදිරියෙහි නො සිටියවුනට ශබ්ද කියා පෑමෙන් සිය අදහස් හැඟවිය නො හැකි ය. ඔවුනට හැඟවිය යුත්තේ ඇසට ගොදුරු වන සැටියෙන් ලියා පෑමෙනි. එහෙයින් ඒ ඒ රටවැස්සන් විසින් සිය අදහස් අනභිමුඛයනට හැඟවීමෙහි දී හට ගන්නා ඒ ඒ ශබ්ද ලියා දැන්වීම පිණිස උපදවා ගත් ස‍ඞ්කෙතයෝ අක්ඛර - අකුරු යි කියනු ලැබෙත්. මෙහි ගැණෙනුවෝ බුදුවදන් පැවසීමෙහි ලා යෙදෙන සඞ්කෙතයෝ ය. මේ සඞ්කෙතයෝ පිටකත්‍රයට පැමිණ ක්‍ෂය නො වත්නු යි යන අරුත් තබා අක්ඛර යි හඳුන්වනු ලැබෙත්. පාළියෙහි, අක්ඛර යි හඳුන්වනු ලබන ඒ සඞ්කෙත එක්සාළිසක් ලැබෙන බව “අක්ඛරපාදයො එකචත්තාළීසං” යන මේ ආරම්භයෙන් කියනු ලැබේ. අ, ආ, ඉ, ඊ, උ, ඌ, එ, ඔ, ක, ඛ, ග, ඝ, ඞ, ච, ඡ, ජ, ඣ, ඤ, ට, ඨ, ඩ, ඪ, ණ, ත, ථ, ද, ධ, න, ප, ඵ, බ, භ, ම, ය, ර, ල, ව, ස, හ, ළ, අං යන මේය ඒ එක්සාළිස. මෙසේ ‍ප්‍රමාණ විසින් එක්සාළිසක් සඞ්කෙතයෝ පිටකත්‍රයට පැමිණ ක්‍ෂය නො වෙත් ද, එහෙයින් අක්ඛර නම් වෙත්. “න ඛරන්තීති = අක්ඛරා, පමාණතො එකචත්තාළීසමත්තා පිටකත්තයම්පි පත්‍වා න ඛීයන්තීති අත්‍ථො” යි ඇදුරන් විසින් එයරුත් පැහැදිළි කරණ ලද්දේ ය.

මෙහි වෙසෙසින් පාලිභාෂීය වචන ලියා පෑ මෙහි ලා උපකාර වන සලකුණු ක්‍ෂය නො වන අරුතින් හා රළු පරළු නො වන අරුතින් අක්ඛර යි කියනු ලැබේ. “අක්ඛයට්ඨෙන අක්කරට්ඨෙන ච අක්ඛරා” යනු ආචාර්‍ය්‍ය වචනයි. යමෙක් ක්‍ෂය වේ නම්, ගෙවී යේ නම්, රළු වේ නම්, තදබවට යේ නම්, එය ‘ඛර’ නම්. “යං හි ඛයං ගච්ඡති, පරිහායති, තං ඛයන්ති වුච්චති, යම්පන ඛරං හොති ථද්ධං, තං ඛරන්ති වුච්චති” යනු ශබ්දානුශාසනා යි.

මේ අක්‍ෂර වනාහි සංස්කාර - විකාර - ලක්‍ෂණ - නිර්‍වාණ - ප්‍රඥප්ති නම් වූ ඥෙයපථයෙහි පවත්නේ ද, විනාශයට ගෙවී යෑමට නො යන්නේය. නො ද පිරිහෙන්නේ ය. මතු මතුයෙහි දක්නා ලබන්නේ ය. ඉතා සියුම් වූ ගැඹුරු වූ සඞ්කෙතයන්හි පවා පෙරැළෙනුයේ රළුබවට හෝ තදබවට නොයන්නේ ය. ඉතා මොළොක් ව අර්‍ත්‍ථ විසින් පවත්නේ ය. ප්‍රමාණ විසින් එක්සාළිසක් පමණ වූ මේ අක්‍ෂර කෙළවරක් නො දත හැකි අර්‍ත්‍ථයනට පැමිණියේ ද නාශයට නම් නො යන්නේ ය. එහෙයින් අක්ඛර නම්. අක්‍ෂර ද ඉතා විස්තාර ව සිටියේ ය. ශබ්දලක්‍ෂණ ග්‍රන්‍ථයන්ගෙන් ඒ දතයුතු ය.

මෙසේ අර්‍ත්‍ථවත් වූ ද ශබ්දශාස්ත්‍රවිධියෙන් දතයුතු වූ ස්වර - ව්‍යඤ්ජන - හ්‍රසව - දීර්‍ඝ - වර්‍ග - අවර්‍ග - ඝොෂ - අඝොෂ - ශිථිල - ධනිත - නිඃශ්‍රිත - අනිඃශ්‍රිතාදී වශයෙන් හා ස්ථාන - කරණ - ප්‍රයත්නාදිවශයෙන් විවිධභේද ඇත්තා වූ ද අක්‍ෂරන්ගේ ඒ ඒ අරුත්හි එක්ව නැගී සිටීම, අරුතට පමණ ලෙසින් එක්වීම මෙහි සන්නිපාත නම් වේ.

ශබ්දය අර්‍ත්‍ථය හා නිත්‍යසම්බන්‍ධය ඇත්තේ ය. “නිත්‍යඃ ශබ්දාර්‍ත්‍ථසම්බන්‍ධඃ” යි එය කීහ. එහි ද ප්‍රධාන වනුයේ අර්‍ත්‍ථය ය. “අක්ඛරසඤ්ඤාතො අත්‍ථො” යි ආ යුතු වුව ද, “අත්‍ථො අක්ඛරසඤ්ඤාතො” යි ආයේ ද අර්‍ත්‍ථයාගේ ම ප්‍රධානභාවය දක්වනු පිණිස ය. “අත්‍ථං හි නාථො සරණං ආවොච” යනුත් දතයුතු ය. අර්‍ත්‍ථය ප්‍රධාන බැවින් අර්‍ත්‍ථය රැකෙන සේ අකුරු යෙදිය යුතු ය. එක්තැන් කළයුතු ය. ඒ නො සලකා පූර්‍වාක්‍ෂර - පරාක්‍ෂර ගැණ නො විමසා අකුරු යොදන ලද්දේ නම්, එයින් යතාර්‍ත්‍ථය වැසී‍ ගොස් විරුද්ධාර්‍ත්‍ථ මතු වන්නේ ය. “සිථිලිධනිතාදි අක්ඛර විපත්තියං හි සති අත්‍ථස්ස දුන්නයතා හොති” යනු කීයේ එහෙයිනි.

අර්‍ත්‍ථයක් නැති තැන අක්‍ෂරයන්ගේ සන්නිපාතයෙක් නම් නැත්තේ ය. අක්‍ෂරසන්නිපාතය වනුයේ විද්‍යමාන අර්‍ත්‍ථයෙහි ම ය. එහෙයින් කීය:-

“අවිජ්ජමානකෙ අත්‍ථෙ න තං සක්කා ඪපෙතවෙ,

විජ්ජමානෙ පනත්‍ථම්හි සක්කාක්ඛරෙ ඨපෙතවෙ” යි.

පර්‍ය්‍යාප්ති - ප්‍රතිපත්ති - ප්‍රතිවේධ නම් වූ ජිනශාසනයාගේ අධිගමය, එක් එක් අක්‍ෂරයෙහි හා අක්‍ෂරසන්නිපාතස්වරූප වූ ශබ්ද රූපයන් කෙරෙහි ද නිරවුල් දැනීම මුල් කොට සිටියේ ය. එහෙයින් ලෞකික - ලොකොත්තරාදිභේද ඇති වචනාර්‍ත්‍ථය අක්‍ෂර කරණ කොට ගෙණ ම ලැබිය යුතු බැවින් නුවණැත්තේ අර්‍ත්‍ථය බලා ම අකුරු යොදන්නේ ය. එසේ යෙදූ අකුරු බලා ම අකුරු නෙ හැර ම එයින් යථාර්‍ත්‍ථය ගන්නේ ය. මෙ ද මෙසේ කීහ:-

“තස්මා අත්‍ථවසෙනෙච ධීරො පෙසෙය්‍ය බ්‍යඤ්ජනං,

බ්‍යඤජනඤ්චෙ අනොක්කම්ම අත්‍ථං නීය්‍යාත පණ්ඩිතො”

යනු විසින්. බ්‍යඤ්ජනශබ්දය මෙහි අක්‍ෂරපර්‍ය්‍යාය වේ. චතුර්විධ ප්‍රතිසම්භිදාවන් අතුරෙහි අර්‍ත්‍ථප්‍රතිසම්භිදාව ආදිම වූවා ද, අර්‍ත්‍ථය ම ප්‍රධාන බැවිනි. මේ එය කියූ සැටි:

“පටිසම්භිදානමෙතාසං චතුන්නං ආදිසම්භවො,

අත්‍ථො සො ගහිතො තෙ ජිනවුත්තානුසාරිනා” යි.

ශබ්දයෙහි මුලකුර පූර්‍වාක්‍ෂර නම්. අගකුර අපරාක්‍ෂර නම්. එදෙක සඳහා “පුබ්බාපරාති” යනු යෙදුනේ ය. “පුබ්බාපරාති” යනු “ඡඤ්ඤා” යන ක්‍රියාපදයට යටත් ව සිටියේ ය. එහෙයින් පූර්‍වාපරාක්‍ෂරයන් හෙවත් පූර්‍වාපරාක්‍ෂරයන්ගේ යෙදීම දන්නේ ය, යනු අරුත්.

මෙහි පූර්‍වාක්‍ෂරයෙන් අපරාක්‍ෂරයත් අප‍රාක්‍ෂරයෙන් පූර්‍වාක්‍ෂරයත් දැන ගන්නේය. යම් ශබ්දයෙක් මුලකුර පෙණේ නම්, මැදකුරු හා අගකුරු නො පෙණේ නම්, මේ මුලකුරට මෙනම් ඇකුරු මැදකුරු හා අගකුරු විය යුතුය යි ද දන්නේ ය. මේ මෙසේ දැනීම පූර්‍වාක්‍ෂරාපරාක්‍ෂර දැනීම ය යි කියනු ලැබේ. “පුබ්බක්ඛරෙන අපරක්ඛරං, අපරක්ඛරෙන පුබ්බක්ඛරං ච ජානාති, පුබ්බක්ඛරෙන අපරක්ඛරං ජානාති නාම, ආදිමහි ‍පඤ්ඤායමානෙ මජ්ඣ පරියොසානෙසු අපඤ්ඤායමානෙසු ඉමෙසං ආදා අක්ඛරානං ඉදං මජ්ඣං ඉදං පරියොසානන්ති ජානාති, අපරක්ඛරෙන පුබ්බක්ඛරං ජානාති නාම, අන්තෙ පඤ්ඤායමානෙ ආදිමජ්ඣෙසු අපඤ්ඤායමානෙසු ඉමෙසං අන්තක්ඛරානං ඉදං මජ්ඣං අයං ආදීති ජානාති, මජ්ඣෙ පඤ්ඤායමානෙපි ඉමෙසං මජ්ඣක්ඛරා නං අයං ආදි අයං අන්තොනි ජානාති” යනු අටුවා.

සො වෙ අන්තිමසාරිරො මහාපඤ්ඤො මහාපුරිසො ඉති වුච්චති = අන්තිම ශරීරයෙහි සිටි පැසුළු සිරුරු දරණ ඒ පුද්ගල තෙමේ එකාන්තයෙන් මහාප්‍රාඥ ය, මහාපුරුෂ ය යි කියනු ලැබේ.

මුළුමනින් භාවසංයෝජන නසාලූ පුද්ගල තෙමේ ඉදිරි භවයෙහි උපතක් නො ලබනුයේ කෙළවර සි‍රුරෙහි සිටියේ ‘අන්තිමසාරීර’ නම්. “ආයති පුනබ්භවාභාවතො පච්ඡිමසරීරෙ ඨිතො අන්තිමසාරීරොති” යනු අර්‍ත්‍ථකථා ය.

මහාපඤ්ඤ නම්: මෙහි, මහත් වූ අත්‍ථ - ධම්ම - නිරුත්ති - පටිභානපටිසම්භිදාවන් හා මහත් වූ ශීලස්කන්‍ධාදිපංචවිධ ධර්‍මස්කන්‍ධයන් පිරිසිඳ දන්නා වූ ප්‍රඥායෙන් යුක්ත වූයේ ය. මේ අටුවා: “මහන්තානං අත්‍ථධම්ම නිරුත්තිපටිභානපටිසම්භිදානං සීලක්ඛන්‍ධාදීනං ච පරිග්ගහහිකාය පඤ්ඤාය සමන්තාගතත්තා මහා පඤ්ඤො” යනු.

මහාපුරිස නම්: මෙහි, අර්‍හත්ඵලවිමුක්තියෙන් විමුක්ත වූයේ ය. “විමුත්තචිත්තොඛවාහං සාරිපුත්ත වදාමි” යනු දේශනා.

ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවන්ඵලාදියට පැමිණියාහු ය. පවිටු මරු ද ශ්‍රමණ ගෞතම තෙමේ මා දනී ය යි එහි ම අතුරුදහන් වූයේ ය.

මාරවස්තුව නිමි.

  1. 14-6 ‘දුක්ඛසමුප්පාදං’ යනු බලනු.

  2. 9-9 ‘අනඞ්ගණස්ස’ යනු බලනු.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.