මුඤ්ච පුරෙ මුඤ්ච පච්ඡතො මජ්ඣෙ මුඤ්ච භවස්ස පාරගූ
සබ්බත්‍ථ විමුත්තමානසො න පුනං ජාතිජරං උපෙහිසි.
අතීත පස්කඳ කෙරෙහි තෘෂ්ණාව හරු. අනාගත පස්කඳ කෙරෙහි තෘෂ්ණාව ද හරු. වර්‍තමාන පස්කඳ කෙරෙහි තෘෂ්ණාව ද හරු. මෙසේ තුන් භවයේ පර තෙරට ගිය හෝ හැම ප්‍රත්‍යයසමුත්පන්නධර්‍ම කෙරෙන් මිදුනු සිත් ඇත්තෙහි, නැවත ජාතියට ජරාවට නො පැමිණෙන්නෙහි.
පන්සියයක් නළුවෝ අවුරුද්දෙන් සමසක් ම රජගහා නුවරට පැමිණ එක්තැන සත්දවස බැගින් කෙළිනළු දක්වා බොහෝ රන් රිදී ලබාගෙණ යත්. තවත් ඒ අතරතුර කෙලිනළු බලන්නවුන් විසින් විටින් විට උන් ඉදරියට දමන මිලමුදල්වල පමණෙක් ද නැත. මිනිස්සු මැසි පිට මැසි බැඳ හිඳ කෙළිනළු බලත්. එහිදී එක් නළුදුවක් හුණදණ්ඩකට නැගී ඒ මත්තෙහි පෙරැළි පෙරැළී කෙළවරට නැග අහසෙහි සක්මන් කරමින් නටන්නටත් ගී කියන්නටත් පටන් ගත්තා ය. එ වේලෙහි උස් මැස්සක් මත නැගී යහළුවන් සමග නැටුම් බලමින් උන් උග්ගසේන සිටුපුත් තෙමේ ඇයගේ අත්පා සැලීම් අත්පා විසුරුවීම් ආදිය දැක ඇය කෙරෙහි උපන් ආලය ඇති ව ගෙට ගොස් ඇය ගැණ සිතමින් “මේ නිළිය ලැබෙතොත් ඉදිරියට ජීවත් විය හැකි ය, නැත මෙහි ම මැරෙමි”යි කෑම් බීම් වළකා ඇඳ වැතිර නිදි ගත්තේ ය. මවු පියෝ එසේ නිදන පුතු දැක වෙතට ගොස් “පුතා! ඇයි නිදහි? උඹට කුමක් වුවමනා දැ”යි ඇසූහ. එවිට හේ “අර නැටුම්හලෙහි අත්පා විදහමින් නැටූ නිළිය බිරිය කොට මෙහි පමුණුවා ගන්නට ලැබෙතොත් ඉදිරියට ජීවත් විය හැකි ය, නො ලැබෙතොත් ජීවත්වනු අපහසු ය”යි සිතේ නැගි අදහස නො සඟවා කී ය. “ඇයි, පුතේ! එසේ කියහි? එසේ හිතන්නට කියන්නට එපා, අපි උඹට අපේ කුලයට අපේ පොහොසත් කමට සරිලන කුල කතක බිරිය කොට පාවා දෙන්නෙමු, ඒ නිසා ටිකක් ඉවසන්නැ”යි මවු පියන් කී විට සිටුපුත් එයට කන් නො දී “නිළිය ම ඕනෑ ය” යි කියමින් නිදන්නට වන. එහිලාත් බොහෝ කරුණු කියාත් මෙහි වරද ඔහුට ඒත්තු ගැන්වීමෙහි අපොහොසත් වූ ඔහුගේ පියා යහළුවකු ගෙන්වා කහවණු දහසක් දී “එදා අර නැටුම්හලෙහි අහසට නැග නැටූ නළුදුව ගෙණවුත් මාගේ පුතුට බිරිය කොට පාවා දෙන්නැ”යි කියා යහළු නළුදුවගේ පියා වෙත යැවී ය. ඔහු නළුදුවගේ ගෙට ගොස් උග්ගසේනගේ අදහස් නළුදුවගේ පියා ඉදිරියෙහි කියා සිටියේ ය. එ වේලෙහි ඔහු “මාගේ දුව කහවණුවලට දෙන කෙල්ලක් නො වේ, කහවණුවලට ඇය නො දෙමි, ඔහුට මැය නො ලැබ ජීවත් විය නො හැකි නම්, දෙන්නෙමි, හැබැයි අප සමග විසිය යුතු ය, අප සමග හැසිරිය යුතු ය, එසේ අප සමග හැසිරෙන්නට කැමැති නම් දුව දීමට කැමැත්තෙමි”යි නළුදුවගේ පියා කී ය. මගුල්කපු පෙරළා ගොස් එබව උග්ගසේනගේ පියාට දැන්වී ය. මවුපියෝ මගුල්කපු කී කතාව උග්ගසේනට දැන් වූහ. උග්ගසේන ඔවුන් හා හැසිරෙන්නට කැමැති බව කී කල්හි ඔහුගේ යහළුවෝත් නෑදෑයෝත් ගමන වළකාලන්නට නොයෙක් ලෙසින් කරුණු කීහ. ඒ කියූ කිසිවක් නොපිළිගෙණ උග්ගසේන නළුගෙට ගොස් එහි නවාතැන් ගත්තේ ය. නළු ද තම දුවට බිරිය කොට ඔහුට පාවා දී ඔහු හා ම ගම් නියම්ගම් රජදනවුහි නළුසිප් දක්වමින් හැසුරුණේ ය. මද දවසක් යත් ම නළුදුවට උග්ගසේන නිසා පුතෙක් උපන්නේ ය. ඕ තොමෝ හඬන පුතු නළවන්නී “ගැල්රකින්නාගේ පුතා, බඩුඅදින්නාගේ පුතා, කිසිවක් නො දන්නහුගේ පුතා, බත් බුදින්නාගේ පුතා, නො හඬා ඉන්නැ”යි කියමින් පුතු නළවන්නී ය. උග්ගසේන ද ගැල් ලිහා ගොනුන් මුදාහළ තැනට ගොනුන්ට දෙන්නට තණ ගෙණ යන්නේ ය. ශිල්ප දැක් වූ තැන්වලදී ලැබුනු බඩු මුට්ටු කර තබා අදින්නේ ය. දරදිය ගෙට ගෙණෙන්නේ ය. හැළිවළන් පිඟන් කෝප්ප සෝදන්නේ ය. උයන්නේ ය. පිහන්නේ ය. ඒ නිසා ම නළුදුව, ගැල් රකින්නාගේ පුතා නො හඬා ඉන්න, යනාදිය කියමින් පුතු නැළවූවා ය.
උග්ගසේන, තමන් ගැණ තම බිරිය මෙසේ ගී කියා පුතු නළවන බව අසා දවසක් බිරිය අමතා “ඔයා කියන දරුනැළවිලි ගී මට රිදවන පිණිස ගොතා කියන දරුනැළවිලි නො වේ දැ”යි ඇසී ය. “ඔවු, ඒවා ඔයා ගැණ ගොතා ගත් ඒවා”යි කී විට “එසේ නම් මම ඔයා හැර යමි, ඔයාට මා ප්‍රිය නො වන බව පෙණේ”යි උග්ගසේන කී ය. එවිට “ඔයා මා හැර ගියත් නො ගියත් මට කම් නැත. ගියත් කමෙක් නැත, නො ගියත් කමෙක් නැත, මෙය මාගේ වුවමනාවට කන දීගයෙක් නො වේ, ඔහේගේ ඇවිටිල්ල නිසා මෙය සිදු විය, මා නො ලැබුනොත් දිවි නසා ගන්නාබව ඔහේ කීයේ නො වේ ද, මාගේ ඉල්ලීමක් නිසා මෙය කෙරුණේ නො වේ, එහෙයින් ඕනෑ තැනක ගියාට මගෙන් වරදක් නැත, කිසිවක් නො දන්නා මෝඩයෙකුගෙන් මට වැඩෙක් නැතැ”යි කියා පළමු සේ ම දරුනැළවිලි කියා පුතු නැළ වූ ය. මේ නළු ගෑණිය තමාගේ රූ සපුවත් වත්පොහොසත් කමත් නිසා සිටුපුත් සිය ගෙයි වැඩකරු කොල්ලකු තරම් කොටත් නො සිතූ ය. ඒ වේලෙහි “මැයට මේ මානය කුමක් නිසා වී දැ”යි සිතන උග්ගසේන “ශිල්ප දන්නා නිසා මේ උපන, වේවා, මමත් ශිල්ප උගන්නෙමි”යි සිතා මාමණ්ඩිය වෙත ගොස් ඔහු දන්නා තාක් ශිල්ප උගෙණ ගම් නියම්ගම් ඈ හි ශිල්ප දක්වමින් පිළිවෙළින් රජගහා නුවරට පැමිණියේ ය. එහි දී “අදින් සත් දවසක් ගිය තැන උග්ගසේන සිටුපුත් නුවර වැස්සන්ට ශිල්ප දක් වන්නේ ය”යි දැන්වීම් පළකරවී ය. නුවර වැස්සෝ මැසි පිට මැසි බන්දවා සත්වනදා එහි රැස් වූහ. උග්ගසේන ද එදා හැටරියනක් පමණ දිගැති උණ ගසකට නැගී එහි මුදුන සිට ගත්තේ ය.
එදවස බුදුරජානන් වහන්සේ ලොව බලා වදාරණ සේක් උග්ගසේන දැක “ඔහුට ඉදිරියෙහි වන්නේ කිමැ”යි බැලූ සේක. එකල්හි “හෙට උග්ගසේන ශිල්ප දක්වමි යි උණගසක් මුදුනට නගින්නේ ය, ඔහු බලන්නට මිනිස්සු ද එහි රැස් වන්නාහ, මම එහි දී සිවුපැදිගයක් දේශනා කරන්නෙමි, එය ඇසීමෙන් සුවාසූ දහසක් දෙනාට ධර්‍මාවබෝධය වන්නේ ය, උග්ගසේනත් රහත්බැව්හි පිහිටා ගන්නේ ය”යි දැන වදාළ බුදුරජානන් වහන්සේ පසුදා කල් බලා භික්‍ෂුසඞ්ඝයාගෙන් පිරිවරණ ලදු ව රජගහා නුවරට පිඩු සිඟා, වැඩිය සේක. උග්ගසේන, බුදුරජුන් ඇතුල් නුවරට වැඩම වන්නට පෙරාතුව ම කෙළිනළු බලන්නට එහි රැස්වූවන්ට මහා හඬ නගන්නට ඇඟිලි පා ඉඟි කොට අණගස මතුයෙහි සිට අහසෙහි ම සත් වරක් කරණම් ගසා බැස උණදඬු මතුයෙහි ම සිට ගත්තේ ය. බුදුරජානන් වහන්සේ නුවරට ඇතුල්වන සේක් එහි රැස්ව හුන් පිරිස උග්ගසේන වෙත නො බලා තමන් වහන්සේ දෙස ම බලන ලෙසට ඉටා වාදළ සේක. ඒ අතර උග්ගසේන, ඒ පිරිස දෙස බලා පිරිස තමන් දෙස නො බලනබව දැන දොම්නසට පැමිණ “අවුරුද්දකට වරක් සමසකට වරක් දක්වන මේ කෙළිනලු නො බලා මිනිස්සු බුදු රජුන් දෙස ම බලන්නාහ. මාගේ මේ කෙළිනළු දැක්වීම හිස් වැඩෙ කැ”යි සිතී ය. බුදුරජානන් වහන්සේ ඔහුගේ සිත දැන මුගලන් මහතෙරුන් අමතා “මුගලන! යන්න, සිටුපුත්හට කෙළිනළු දක්වන්න කියව”යි වදාළ විට උන්වහන්සේ ගොස් උණගස යට සිට සිටුපුත් අමතා,
“මහ බලැති නළුපුත් - උග්සෙන් බලව මෙපිරිස,
එ බැවින් රඟ කිරීමෙන් - මහදන සතුටු කරවා”
යි කියා සිටියහ.
සිටුපුත් මහතෙරුන්ගේ මේ ප්‍රකාශය අසා තුටුසිත් ඇතියේ “බුදුරජානන් වහන්සේත් මාගේ කෙළිනළු බලනු කැමැති සේක් වනැ”යි සිතා උණගස මතුයෙහි සිටියේ ම
“මහගුණැති මහඉදු - මුගලන් සමිඳ! එබැවින්,
මෙ පිරිස් මැද ද රඟ පා - මහදන සතුටු කරවමී”
යි කී ය. මෙසේ කියා උණගස මුදුනෙන් අහසට නැගී අහසෙහි දී ම තුදුස් වරක් කරණම් ගසා බැස උණගස මුදුනෙහි සිට ගත්තේ ය. ඉක්බිති බුදුරජානන් වහන්සේ “උග්ගසේන! නුවණැත්තහු විසින් කළ යුත්තේ අතීත - අනාගත - වර්‍තමාන ස්කන්‍ධයන්හි ඇලීම හැර දමා ජාති ජරා මරණාදී වූ දුක්වලින් මිදීම ය”යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක.
මුඤ්ච පුරෙ මුඤ්ච පච්ඡතො මජ්ඣෙ මුඤ්ච භවස්ස පාරගූ,
සබ්බත්‍ථ විමුත්තමානසො න පුන ජාතිජරජ උපෙහිසීති.
අතීත පඤ්චස්කන්‍ධයෙහි පැවැති තෘෂ්ණාව මුදා හරුව. අනාගත පඤ්චස්කන්‍ධයෙහි පැවැති තෘෂ්ණාව මුදා හරුව. වර්‍තමාන පඤ්චස්කන්‍ධයෙහි පැවැති තෘෂ්ණාව මුදාහරුව. භවයෙහි පරතෙරට ගිය තෝ හැම තැන මිදුණු සිත් ඇතියෙහි නැවැත ජාතිජරාවනට නො පැමිණෙන්නෙහි ය.
මුඤ්ච පුරෙ = අතීත පඤ්චස්කන්‍ධයෙහි පැවැති තෘෂ්ණාව මුදාහරුව.
මුඤ්ච පච්ඡතො = අනාගත පඤ්චස්කන්‍ධයෙහි පැවැති තෘෂ්ණාව මුදාහරුව.
මජ්ඣෙ මුඤ්චෙ= වර්‍තමාන පඤ්චස්කන්‍ධයෙහි පැවැති තෘෂ්ණාව මුදාහරුව.
සත්ත්‍වයනට අතීත පඤ්චස්කන්‍ධය නිසා අනාගත පඤ්චස්කන්‍ධය නිසා වර්‍තමාන පඤ්චස්කන්‍ධය නිසා උපදනා ආශාව, නිකාන්තිය, එහි ගැලීම, එය පැතීම, එහි නැගී සිටීම, බැසගැණීම, පැහැසීම, උද්වේගය යන හැම තත්ත්‍වයෙක් ම හැර දැමිය යුතු ය.
භවස්ස පාරගූ = (තෝ) භවයෙහි පරතෙරට ගියෙහි ය.
භවස්ස, යන මෙපදයෙන් ප්‍රධාන විසින් කියවෙනුයේ කාමභව - රූපභව - අරූපභව යන භවත්‍රය යි. සඤ්ඤාභව - අසඤ්ඤාභව - නෙවසඤ්ඤාභව - එකවොකාර භව - චතු වොකාර භව - පඤ්චවොකාරභව යන මේ භවයෝ ද මෙහි ම සඞ්ග්‍රහයට යෙති. මේ භව සියල් එක් ව ගෙණ උප්පත්තිභවැ යි කියනු ලැබේ. මෙතැන්හි කර්‍මයෙන් හටගත් උපාදින්නස්කන්‍ධයෝ ම භව නාමයෙන් ගැණෙත්. කාමභවයෙහි පහළ වන උපාදන්නස්කන්‍ධ කාමභව නම් සෙසු රූප භවාදීන් ගැණ ද මෙසේ දතයුතු ය. ස්කන්‍ධයන් අතර කර්‍මයෙන් හටගන්නා කොටස ම උපාදින්නස්කන්‍ධ ය යි ගැණේ.
භව ශබ්දය වෘද්ධි - සම්පත්ති පුණ්‍ය - ස්කන්‍ධ - අවකාශ - සංසාර - ශාස්වත යනාදී නොයෙක් අරුත්හි හෙන්නේ ය. ග්‍රන්‍ථාන්තරයෙන් ඒ දතයුතු ය.
සබ්බත්‍ථ විමුත්තමානසො න පුන ජාතිජරං උපෙහිසි = හැම තැන මිදුණු සිතැතියෙහි, නැවැත ජාතිජරාවනට නො පැමිණෙන්නෙහි ය.
මෙසේ අතීත අනාගත වර්‍තමාන ස්කන්‍ධයන්හි ආහා නිකාන්ති ආදිය හැර අභිඤ්ඤා - පරිඤ්ඤා - පහාණ - භාවනා - සච්ඡිකිරියා යන මොවුන්ගේ වශයෙන් ත්‍රිවිද භවයෙහි පරතෙරට ගියෙහි, එහෙයින් ස්කන්‍ධ ධාතු ආයතන විසින් භේදයට ගිය සියලු සංස්සකාර ධර්‍මයන්හි මිදුණු සිතැති ව වසන්නෙහි, නැවැත ජාතිජරාමරණාදී වූ දුක්වලට කවදාත් නො පැමිණෙන්නෙහි, යි වදාළ සේක.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි සුවාසූ දහසක් සත්ත්‍වයනට ධර්‍මාවබෝධය වූයේ ය.
සිටුපුත් තෙමේ උණගස මතුයෙහි සිටියේ ම පිළිසිඹියාවන් සමග රහත්බවට පැමිණ උණගසින් බැස බුදුරජුන් වෙත ගොස් මනාකොට පසඟ පිහිටුවා වැඳ පැවිද්ද ඉල්ලා සිටියේ ය. බුදුරජානන් වහන්සේ දකුණත් දිගු කොට “මහණ! මෙහි එන්නැ”යි අඬගා වදාළ ඇසිල්ලෙහි සිටුපුත් අට පිරිකර දරා ගත් සැටවස් පිරුණු මහතෙර නමක් සේ බුදුරජුන් ඉදිරියෙහි පෙණී සිටියේ ය. එකල්හි භික්‍ෂූන් වහන්සේලා “ඇවැත්නි! උග්ගසේන! සැටරියන් දිගැති උණගස මතුයෙහි සිට බිමට බස්නා විට “ඔබට බියෙක් ගැහීමෙක් තැති ගැණීමෙක් නො හට ගත්තේ දැ”යි විචාළ කල්හි “ස්වාමීනි! මට එබඳු කිසිත් බියෙක් ගැහීමෙක් නො වී ය”යි කී ය. භික්‍ෂූන් වහන්සේලා බුදු රජුන් වෙත ගොස් “ස්වාමීනි! උග්ගසේන බොරු කියා තමා පිළිබඳ රහත් බවක් කියාලන්නේ ය”යි දන්වා සිටි විට බුදුරජානන් වහන්සේ “මහණෙනි! මාගේ පුත්‍ර වූ උග්ගසේන වැනි සිඳහළ සසර බැඳුම් ඇති භික්‍ෂූහු කිසි තැනෙක බියට පත් නො වන්නාහ, තැති නො ගන්නාහ”යි වදාර බ්‍රාහ්මණවර්‍ගයෙහි එන,
“සබ්බසංයොජනං ඡෙත්‍වා යො වෙ න පරිතස්සති,
සඞ්ගාතිගං විසංයුත්තං තම්හං බ්‍රැමි බ්‍රාහ්මණන්ති”
යන මේ ධර්‍මදේශනාව කළ සේක. දේශනාවසානයෙහි බොහෝ දෙනාට ධර්‍මාවබෝධය වූයේ ය.
දවසක් ධර්‍මසභායෙහි රැස් වූ භික්‍ෂූන් වහන්සේලා “ඇවැත්නි! මෙසේ රහත් වන්නට හේතුසම්පත් ඇති ව සිටි මහණක්හට නළු දුවක නිසා නළුවන් හා එක් ව හැසිර දිවි ගෙවන්නට වීමේ හේතුව කුමක් ද? රහත් වන්නට වාසනාව කෙසේ ලැබී දැ”යි කතා කරන්නට වූහ. ඒ අතර බුදුරජානන් වහන්සේ එහි වැඩම කොට “මහණෙනි! තමුසේලා කුමක් ගැණ කතා කරන්නහු දැ?”යි අසා උග්ගසේනයන් ගැණ ය, යි දන්වා සිටි කල්හි “මහණෙනි! ඒ නම මේ දෙකට ම සුදුසු වැඩ කෙළේ ය”යි වදාරා ඒ දක්වන්නට එහි ඉකුත් පුවත මෙසේ වදාළ සේක.
පෙර කසුපු බුදුරජුන් පිරිනිවි කල්හි උන්වහන්සේගේ දාතු ගෙන ඒ ධාතු නිදන් කරන්නට මිනිස්සු සෑයක් ගොඩ නගන්නට පටන් ගත්හ, එකල්හි බරණැස් නුවර වැසි කලුපුත්‍රයෝ කෑයුතු බිදිය යුතු දැය ගැල්වල නගා ගෙණ සෑයෙහි වැඩ කරන්නට එහි ගියහ, ඒ යන ගමනේ දී ඔවුනට පිඩු සිඟා යන මහතෙරනමක් මුණ ගැසුනේ ය, උන් අතර සිටි එක් කුලදුවක් තෙරුන් දැක තම හිමියාට කතා කොට ‘ආර්‍ය්‍යයන් වහන්සේ නමක් පිඩු සිඟා වඩනාහ, අපගේ ගැලෙහි ද කෑයුතු බිදිය යුතු බොහෝ දැය ඇත්තේ ය, වහා ඉදිරියට ගොස් උන්වහන්සේගේ පාත්‍රය ගෙණ එන්, උන්වහන්සේට වැළඳිය හැකි යමක් පිළිගන්වමු”යි කිවු ය. ඔහු ද වහා ගොස් පාත්‍රය ඉල්ලා ගෙණ අවුත් වැළඳිය හැකි නොයෙක් දැයින් පාත්‍රය පුරවා ගෙණ ගොස් තෙරුන්ට පිළිගන්වා වැඳ “ස්වාමීනි! මේ පිණෙන් අපි ඔබවහන්සේ අවබෝධ කළ ධර්‍මයට හිමි වන්නෙමුවා’යි පැතූහ, උන්වහන්සේ ද අනාගතය බලා ඔවුන්ගේ පැතීම සමෘද්ධ වන බව දැන සිනහ පහළ කළහ, උපාසිකාව එය දැක, “හිමියෙනි! හාමුදරුවන් වහන්සේ සෙන්නාහ, නටන්නකු වන්නට බැරි නැතැ’යි කීවා ය. හිමි ද ‘සොඳුර! විය හැකිය,යි කීයේ ය. මේ එවුන්ගේ පූර්‍වකර්‍මය යි, ඔවුහු එහි ආයු ඇතිතාක් දිවි ගෙවා කලුරිය කොට දෙව්ලොව ඉපද ඉන් ච්‍යුත වූහ, ඒ ච්‍යුත වීමෙහි දී උපාසිකාව නළුවන්ගේ ගෙයක මෙසේ උපත ලැබූ ය, උපාසක සිටුගෙයක උපන්නේ ය, ඔහු ‘සොඳුර! එසේ විය හැකිය’යි උපාසිකාවට පිළිවදන් විසින් කී බැවින් නළුවන් සමග ගම්නියම්ගම්හි හැසුරුණේ ය, රහත්නමක්හට දුන් පිණ්ඩපාතය නිසා රහත් වූයේ ය” යනු. නිළිය ද මාගේ හිමියාට යම් ගතියෙක් වේ නම් මාගේ ද ඒ ගතිය මැයි පැවිදිව රහත් වූය.
උග්ගසේනශ්‍රේෂ්ඨී වස්තුව නිමි.