24-5 ඛේමා

යෙ රාගරත්තානුපතන්ති සොතං

සයං කතං මක්කටකො’ව ජාලං

එතම්පි ඡෙත්‍වාන වජන්ති ධීරා

අනපෙක්ඛිනො සබ්බදුක්ඛං පහාය.

රාගයෙන් රත් වූ (ද්වේෂයෙන් ද්විෂ්ට වූ මෝහයෙන් මූඪ වූ) යම් සත්ත්‍ව කෙනෙක් තමන් විසින් කරණ ලද දැල අනුව පවත්නා එහි ම වැද හෝනා මකුළුවා මෙන්, තමන් ම උපදවා ගත් තෘෂ්ණාස්‍රෝතයෙහි ම වැටී හෙත් ද, ප්‍රාඥයෝ වනාහි මෙය ද සිඳ පියා විවිධ කාමයෙහි නිරාලය ව සියලු දුක් දුරැ ලා නිවන් පුර යන්නාහ.

බිම්සර රජුගේ අගමෙහෙසී වූ ඛේමා තොමෝ පෙ‍ර පියුමතුරා බුදරජුන්ගේ සිරිපාමුල්හි පැතූ පැතුම් ඇතියා, දු‍ටුවන් පහදවන රූ ඇතියා වු ය. “බුදුරජානන් වහන්සේ රූපයෙහි දොස් දක්වන්නාහ”යි අසා ඕ තොමෝ බුදුරජුන් වෙත යෑමට නො කැමැතියා වූ ය. රජ තෙමේ ඇය රූප මදයෙන් මත් ව සිටුනා බව දැන වෙළුවන උයන් වැණුම් ඇතුළත් කොට ගී කීපයක් කරවා නැට්ටුවනට හා ගී ගයන්නවුනට ද දෙවා ඔවුන් ලවා ගායනා කරවී ය. තැන තැන ඒ ගී ගයනු ඇසූ ඇයට, වෙළවනට මෙයට කලින් නො දක්නා ලද්දක් සේ ද, වෙළුවන වැණුම් නො අසන ලද්දක් සේ ද වැටහින. එවිට ඕ තොමෝ “මේ උයන් වැණුම් කිනම් උයනක් සඳහා දැ”යි ඇසූ ය. “උත්තමාවෙනි! ඔබවහන්සේගේ වෙළුවන උයන සඳහාය” යි කී කල්හි එහි යනු කැමැතියා වූ ය. බුදුරජානන් වහනසේ ඛේමා බිසොව තමන් වහන්සේ වෙත එන බව දැන පිරිස මැද වැඩහිඳ දහම් දෙසන සේක් තල්වැට ගෙණ තමන් වහන්සේ වෙත සිට පවන් සලන මනා රූ ඇති දුටුවන් සිත් ඇද ගන්නා වූ කාන්තාරූපයක් මවා වදාළ සේක. ධෙමා, පිරිස මැදට පිවිසෙන්නී ම ඒ කාන්තාව දැක “සම්මා සම්බුදු රජානන් වහන්සේ රූපයෙහි දොස් වදාරති යි කියත්, උන්වහන්සේ වෙත සිට පවන් සලන මේ කාන්තාව කොතරම් හැ‍ඩහුරුකම් ඇතියා ද, රූ සපුව කාගේත් සිත් ගන්නී ය, මට මැයට සොළස් කලාවෙන් කලාභාගයකටත් ලංවන්නට නො පිළිවන, මෑ ඒ තරමට රූ සපුවෙන් උසස් ය, මවිසින් මෙයට කලින් කවදාකත් මෙබඳු කාන්තාරූපයක් නො දකනා ලද ය, මෙහිලා ඇතැම් දෙන බුදුරජානන් වහන්සේට බොරුවෙන් නිගා කරති”යි සිතා බුදුරජුන්ගේ බණකතාවටත් කන් නො දී ම ඒ කාන්තාරූපය දෙස ම බලා සිටියාය. එකල්හි බුදුරජානන් වහන්සේ ඛේමාගේ සිත් හසර බලා “ඛේමා! තී රූපයෙහි හරෙක් ඇතැ යි සිතූ ය, දැන් මැයගේ රූපයෙහි නිසරුබව බලව, ඛේමා! මේ රූපය මෝඩයන්ට ම ප්‍රිය ය, මෝඩයන් විසින් ම පතන = ලද ය, ලෙඩ ආරෙක, අපිරිසිදු ය, කුණුකසළ ගොඩෙක, ඉහලිනුත් වැගිරෙන්නේ ය, පහලිනුත් වැගිරෙන්නේ ය, පණුකැදැල්ලෙකැ”යි වදාළ සේක. මෙසේ වදාළ කල්හි ඛේමා තොමෝ සෝවන්පලයෙහි පිහිටා ගතු. නැවැතත් බුදුරජානන් වහන්සේ ඇයට “ඛේමා! රාගයෙන් රත් වූ ද්වේෂයෙන් දූෂිත වූ මොහෙයන් මුළා වූ මේ සත්ත්‍වයෝ තමන්ගේ සිත්හි අතර නො තබා දවා රෑ දෙක්හි ගලා බස්නා තෘෂ්ණ ප්‍රවාහය ඉක්මවාලන්නට නො හැකි ව එහි ලැගී බැඳී විපතට වැටෙත් ය” යි වදාරා මේ ධර්‍මදේශනාව කළ‍ සේක.

යෙ රාගරත්තානුපතන්ති සොතං

සයංකතං මක්කටකොව ජාලං,

එතම්පි ඡෙත්‍වාන වජන්ති ධීරා

අනපෙක්ඛිනො සබ්බදුක්ඛං පහායාති.

රාගයෙන් රත් වූ යම් කෙනෙක්, තමන් කළ දැල අනුව සිටුනා මකුළුවා මෙන් තමන් උපදවා ගත් තෘෂ්ණා සැඩපහරෙහි වැටෙත් ද, (ඔවුහු තෘෂ්ණ සැඩ පහර ඉක්ම වන්නට නො හැකි වෙත්) නුවණැත්තෝ මේ තෘෂ්ණාස්‍රෝතස ද සිඳ දමා බලාපොරොත්තු රහිත ව සියලු දුක් පහ කොට නිවනට වදිත්.

යෙ රාගරත්තා අනුපතන්ති සොතං සයංකතං මක්කටකො ඉව ජාලං = රාගයෙන් රතු වූ යම් කෙනෙක්, තමන් කළ දැල අනුව යන එහි වැද හෝනා මකුළුවා මෙන් තමන් උපදවා ගත් තෘෂ්ණාස්‍රෝතසෙහි වැටෙත් ද, (ඔවුහු තාෂ්ණාස්‍රෝතස ඉක්ම වන්නට නො හැකි වෙත්.)

එතං අපි ඡෙත්‍වාන වජන්ති ධීරා අනපෙක්ඛිනො සබ්බදුක්ඛං පහාය = නුවණැත්තෝ මේ තෘෂ්ණා බන්‍ධනය ද සිඳ දමා වස්තුකාමක්ලේශකාමයන්හි බලාපොරොත්තු රහිත ව සියලු දුක් දුරු කොට නිවනට පැමිණෙත්.

මෙහි “සබ්බ දුක්ඛං” යි වදාළෙන් සසර වසනාතාක්, පංචස්කන්‍ධය දරණතාක් විඳිය යුතු ජාතිදුක්ඛ - ජරාදුක්ඛ - ව්‍යාධිදුක්ඛ - මරණදුක්ඛ - අප්පියසම්පයෝගදුක්ඛ - පියවිප්පයෝගදුක්ඛ - ඉච්ඡාවිඝාතදුක්ඛ යනාදී වූ පස්කඳ ඇසුරු කොට සිටි දුක් ය. පස්කඳ ම ‍දුක් වේ. එහෙයින් පස්කඳ දරණතාක් නිවන් ලබන්නට නො හැකි ය. එසේ ම සත්ත්‍වයන් විසින් පස්කඳ සතප්පවන්නට පිළිදගින්නට ගන්නා හැම දැයෙක් ම දුක් ය. එහෙයින් නිවන් ලබන්න‍ට පස්කඳත් ඒ හැම දැයකුත් හැරදැමිය යුතු ය.

මකුළුවා තමන් ඇදගත් හූ දැලෙහි මැද නැබ මඩලෙහි වැදහෙව දැල කෙළවර වැටී බැ‍ඳෙන පලඟැටියකු හෝ මැස්සකු දැක එතැනට ‍වහා දුව ගොස් ඌ අල්ලා විද උගේ ලේටික බී නැවැත ගොස් නැබ මඩලෙහි වැද හෝනේ ය. එමෙන් රාගයෙන් රත් වූ ද්වේෂයෙන් දුෂ්ට වූ මෝහයෙන් මූඪ වූ සත්ත්‍වයෝ තමන් උපදවා ගත් ඒ තෘෂ්ණාව ඉක්මවා යන්නට අපොහොසත් වෙත්. “යථා නාම මක්කටකො සුත්තජාලං කත්‍වා මජ්ඣට්ඨානෙ නාභිමණ්ඩලෙ නිපන්නො පරියන්තෙ පතිතං පටඞ්ගං වා මක්ඛිකං වා වෙගෙනාගන්ත්‍වා විජ්ඣිත්‍වා තස්ස රසං පිවිත්‍වා පුන ගනත්‍වා තස්මිං යෙව ඨානෙ නිපජ්ජති, එව මෙව රාගරත්තා දොසදුට්ඨා මොහමූළ්හා සයංකතං තණ්හාසොතං අනුපතන්ති. තෙ තං සමතික්කමිතුං න සක්කොන්ති” යනු අටුවා.

නුවණැත්තේ වනාහි මේ දෘඪ වූ තෘෂ්ණාබන්‍ධනය සිඳ හැර වස්තුකාම ක්ලේශකාමයන්හි නිරාලය ව රහත්මග නුවණින් සියලු දුක් නසා නිවන්පුර වදනාහ, යනු කීහ.

මක්කට = වඳුරු ය. මක්කටක = මකුළු ය. වඳුරා මෙන් අතුපතර තමන් ඇද ගත් හූ දැලෙහි හැසිරෙණුයේ ‘මක්කටක’ නමි. ‘මක්කටො විය සාඛායං අත්තනො තන්තමහි චරතීති = මක්කටකො” යනු විවෘතියි.

ධර්‍මදේශනාවගේ අවසානයෙහි ඛේමා රහත්බවෙහි පිහිටා ගතු. ධර්‍මදේශනා තොමෝ මහජනයාට ද වැඩ සහිත වූ ය. ඉක්බිති බුදුරජාණන් වහන්සේ රජු අමතා “මහරජ! මේ ඛේමා පැවිදි වන්නට හෝ පිරිනිවෙන්නට සුදුසු ව සිටුනී ය”යි වදාළ කල්හි “ස්වාමීනි! ඛේමා පැවිදිකරවනු මැනැවැ, පිරිනිවීමෙන් කම් නැතැ”යි දන්වා සිටියේ ය. ඛේමා පැවිදි ව අග්‍රශ්‍රාවිකාවක් වූ ය.

ඛේමා ස්ථවිරා වස්තුව නිමි.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.