මනුජස්ස පමත්තචාරිනො තණ්හා වඩ්ඪති මාලුවා විය
සො ප්ලවති හුරාහුරං ඵලමිච්ඡං’ව වනස්මිං වානරො.
පමා වැ වසන පුරුෂයාට තෘෂ්ණාව (රුකට) මාලුවා වැලක් මෙන් ඔහුගේ විනාශය පිණිස වැඩෙයි. ඒ තෘෂ්ණාවශග පුද්ගල තෙම වනයෙහි පල කැමැති (වැ රුකින් රුකට පනන) වඳුරකු මෙන් භවයෙන් භවයට දිවැ යන්නේ ය.
යං එසා සහතී ජම්මී තණ්හා ලොකෙ විසත්තිකා
සොකා තස්ස පවඩ්ඪන්ති අභිවට්ඨං’ව බීරණං.
අරමුණෙහි ඇලෙන ලාමක වූ මේ තෘෂ්ණාව යමකු මැඩැ පවතී ද, ඒ පුඟුලාහට මහවැස්සෙන් තෙමුනු හොට තණ (වැඩෙන්නා) සේ ශෝකයෝ වඩනාහු ය.
යො චෙ තං සහතෙ ජම්මිං තණ්හං ලොකෙ දුරච්චයං
සොකා තම්හා පපතන්ති උදබින්‍දූ’ව පොක්ඛරා.
ලාමක වූ ඉක්මිය නොහැකි වූ මේ තෘෂ්ණාව යමෙක් වනාහි මැඩ පවතී ද, ඔහු කෙරෙන් ශෝකයෝ පොකුරුපතින් දියබිඳු සේ ගිලිහෙන්නාහු ය. (පහ වන්නාහු ය).
තං වො වදාමි භද්දං වො යාවන්තෙත්‍ථ සමාගතා
තණ්හාය මූලං ඛණථ උසීරත්‍ථො’ව බීරණං
මා වො නලං’ව සොතො’ව මාරො භඤ්ජි පුනප්පුනං.
යම් පමණ කෙනෙක් මෙහි රැස් වූහු ද, ඒ තොප හැම දෙනාට වැඩෙක් වේ වා. ඒ කාරණයෙන් තොප හැම දෙනාහට මේ අවවාදය කියමි. එ නම්: සුවඳහොටමුලින් ප්‍රයෝජන ඇතියක්හු මෙන් තෘෂ්ණාවගේ මුල (හෙවත් අවිද්‍යාව) කණිවු. ගංතෙර හටගත් රණහුණ හෝ බටහුණ පඳුරක් කැණ ගෙණ යන වතුරක් මෙන් (ක්ලේශ මෘත්‍යු දිව්‍යපුත්‍ර යන ත්‍රිවිධ වූ) මාර තෙම නැවැත නැවැත තොප නහමක් බිඳී වා.
යට ගිය දවස කසුප් බුදුරජුන් පිරිනිවන් පා වදාළ කල්හි කුලදරු දෙබෑ කෙනෙක් ගෙන් නික්ම උන්වහන්සේගේ ශ්‍රාවකයන් සමීපයෙහි පැවිදි වූහ. උන් දෙන්නා අතුරෙහි වැඩි මහල්ලා ශොධන නම් වී ය. බාලයා කපිල නම් ය. මවු තෙමෝ සාදිනී නම්. බාල බුහුන නමින් තාපනා ය. ඈලා ද මෙහෙණන් කෙරෙහි පැවිදි වූහ. මෙසේ පැවිදි වූ උන් අතුරෙහි දෙබෑයෝ ආචාර්‍ය්‍යඋපාද්ධ්‍යායනට කළමනා වත් පිළිවෙත් කොට දවසක් ගුරුන් වෙත එළැඹැ “ස්වාමීනි! මේ ශාසනයෙහි ධූර කොතෙක් දැ?”යි විචාරා ග්‍රන්‍ථධුර - විදර්‍ශනාධුර විසින් ධුර දෙකෙකැ යි කියූ කල්හි වැඩි මහල්ලා “විදර්‍ශනා ධුරය පුරමි”යි පස් අවුරුද්දක් ගුරුන් වෙත රැඳී රහත්බව තෙක් කමටහන් උගෙණ වන වැද උත්සාහ කොට රහත්බවට පැමිණයේ ය. බාලයා “මම තරුණයෙමි, මහලු ව ගිය කල්හි විදර්‍ශනා ධුරය පුරන්නෙමි”යි ග්‍රන්‍ථධුරය පටන් ගෙණ තෙවළා දහම් උගත්තේ ය. පර්‍ය්‍යාප්තිය නිසා ඔහු පිරිවරින් මහත් විය. මහත් වූ පිරිවර නිසා ලාභසත්කාරත් මහත් ව උපන. හෙතෙමේ උගත් කම නිසා හටගත් මදයෙන් මත් ව ලාභාශායෙන් මැඩුනේ අතිපණ්ඩිතමානයෙන් අනුන් විසින් කියූ කැපය නො කැපය යි ද, නො කැපය කැපය යි ද කියන්නේ ය. එසේ ම නිවරද වරද ය යි ද, වරද නිවරද ය යි ද කියන්නේ ය. මෙසේ කියත්, ප්‍රියශීලී භික්‍ෂූන් විසින් “ඇවැත්නි, කපිල! මෙසේ නො කියව” යි ධර්‍මවිනය පෙන්වා අවවාද කරණු ලබන්නේ ද “තෙපි කුමක් දන්නහු? තෙපි හිස් මිටි වැනියහු”යි ඈ කියා ඔවුනට ගරහමින් අවමන් කරමින් හැසිරෙන්නේ ය.
එකල්හි ඔහුගේ සහෝදර ශොධන තෙරුන්ට ද මේ වග සැලකළහ. ශොධන ස්ථවිර තෙමේ ඔවුන් කී කතාව අසා කපිලයන් වෙතට ගොස් “කපිල! තාගේ කතාව වරද සහිත ය, තොප වැන්නවුන්ගේ ධර්‍ම විනයානුකූල පැවැත්ම ශාසනයෙහි ආයුෂය ය, එහෙයින් මනා පැවැත්ම හැර දමා කැප දැය බැහැර කරමින් අකැප දැය කැප ය යි ගණිමින් පැසුළු දනා නො මග යවමින් නො හැසිරෙව, එසේ නො කියව”යි අවවාද කෙළේ ය. කපිල තෙමේ සහෝදරයාගේ අවවාද ද නො පිළිගත්තේ ය. ඒ දුටු ශොධන ස්ථවිර තෙමේ නැවැත නැවැතත් දෙතුන් විටක් එසේ ම අවවාද කොට අවවාද නො පිළිගත්තහු දැක “මෙ තෙමේ මා කියන්න නො පිළිගන්නේ ය”යි සිතා “ඇවැත්නි! කපිල මා කළ අවවාද නො පිළිගණිහි නම් ඕනෑ හැටියක් කොට පෙණී සිටුව”යි කියමින් යන්නට ගියේ ය. අන්‍ය වූ ප්‍රියශීලී භික්‍ෂූන් වහන්සේලා ද ඔහු හා තුබූ ආශ්‍රය අත් හළහ. එතැන් පටන් කපිල තෙමේ පිළිකුල් හැසිරීම් ඇතියේ පිළිකුල් හැසිරීම් ඇත්තන් පිරිවරා ගෙණ වසනුයේ දවසක් පොහෝගෙයි පා මොක් උදෙසමි යි තල් වැට ගෙණ ධර්‍මාසනයෙහි හිඳ “ඇවැත්නි! මෙහි රැස් වූ භික්‍ෂූන්ට පාමොක් වණපොත් දැ?’ යි විචාරා ‘මොහුට මෙයට පිළිවදන් දීමෙන් කවර වැඩෙක් දැ”යි නිහඬව හුන් භික්‍ෂූන් දැක “ඇවැත්නි! ධර්‍මය කියා එකෙක්, විනය ය කියා එකෙක් නැත, එහෙයින් ප්‍රාතිමෝක්ෂය ඇසුව ද නො ඇසුව ද වැඩෙක් නැතැ”යි ආසනයෙන් නැගී සිටියේ ය.
මෙසේ මේ කපිල තෙමේ කසුප් බුදුරජුන්ගේ පර්‍ය්‍යාප්තශාසනය පසු බැස්ස වී ය. ශොධන ස්ථවිරයන් වහන්සේ ද පිරිනිවියහ. කපිල ආයු කෙළවර මැරී ගොස් අවීචිමහානිරයයෙහි උපන. ඔහුගේ මව හා බුහුන හා දෙදෙන කපිලයා වැනිව ප්‍රියශීලී භික්‍ෂූන්ට ඇණුම් බැණුම් ගැරහුම් කොට සිට මැරී ගොස් නිරයයෙහි උපන්හ. ඒ කාලයෙහි පන් සියයක් පමණ පුරුෂයො ගම් පැහැරීම් ඈ නො පණත්කම් කරමින් සොරකමින් දිවි පවත්වෙන්නෝ දනවු වැසි මිනිසුන් විසින් ලුහුබඳනා ලදුව වන වැද එහි ද කිසිත් පිළිසරණක් නො දක්නාහු වන වැසි මහණකු දැක වැඳ “ස්වාමීනි! අපට පිහිටවනු මැනැවැ”යි කියා සිටියහ. එකල්හි ඒ ස්ථවිර තෙමේ “මිනිසුනට සීලය තරම් අන් පිහිටෙක් නැත, එහෙයින් තොපි සියල්ලෝ පන්සිල් සමාදන් වහු”යි කී ය. ඔවුහු ද පන්සිල් සමාදන් වූහ. නැවැත ස්ථවිර තෙමේ “තෙපි දැන් සිල්වත්, එහෙයින් දිවි ගිය ද සිල් පද නොයික්මවා එය රැක ගණිවු, කිසිවකු කෙරෙහි නපුරු සිතිවිලි නො උපදවා මෙත් සිතින් වසවු”යි අවවාද කෙළේ ය. ඔවුහු “යහපතැ”යි ඒ අවවාද පිළිගත්හ. ඒ අතර ඔවුන් ලුහු බැඳ ආ දනවුවැස්සෝ එතැනට ගොස් ඈත මෑථ සොයන්නෝ ඒ සොරුන් දැක උන් අල්ලා ඇණ කොටා මරා දැමූහ. එකකුත් ඉතිරි නො කළහ. මැරුම් කෑ ඔවුහු සියල්ලෝ සමාදන් ව ගත් සිල් බෙලෙන් දෙව්ලොව උපන්හ. එහි සොරදෙටු, දෙටු දෙව්පුත් වී ය. ඔවුහු අනුලොම් පිළිලොම් විසින් එක් බුද්ධාන්තරයක් ගෙවා දෙව්ලොව සැරිසරා අප බුදුරජුන් දවස සැවැත් නුවර දොර සමීපයෙහි වූ පන්සියයක් පමණ කෙවුල් ගෙවල් ඇති කෙවුල් ගමක උපන්හ. දෙටු දෙව්පුත් දෙටු කෙවුළාගේ ගෙයි උපන්නේ ය. අන්හු අන් කෙවුල් ගෙවල උපන්හ. මොවුන් හැමගේ මවුකුස පිළිසිඳ ගැණුම හා මවුකුසින් බිහිවීම එක් ම දවසෙහි සිදු වූයේ ය. කෙවුල් දෙටු තෙමේ “මෙගම අද උපන් දරුවෝ තවත් වෙත් දැ”යි සොයා තවත් දරුවන් ඉන්නා බව අසා “ඔවුන් මා පුතුට යහළුවන් විය යුතු ය”යි ඒ දරුවන් හදා වඩා ගන්නට ඔවුන්ගෙ මවු පියනට ඇඳුම් කැඩුම් කෑම් බීම් ඈ හැම දෙයක් දෙවූයේ ය. ඔවුහු වැලිකෙළියෙහි පටන් යහළු වූවෝ පිළිවෙළින් වැඩි විය පැමිණියහ. දෙටු කෙවුළාගේ පුත් ම ඔවුන්ගේ ප්‍රධානියා විය.
කපිල, එක් බුද්ධාන්තරයක් අවීචිමහානරකයෙහි පැසී නො ගෙවී ඉතිරි ව තුබූ කර්‍මයාගේ විපාක වශයෙන් ඒ කාලයෙහි අචිරවතී ගඞ්ගායෙහි රන්වන් වූ පළමු ව සිල් රැක පසුව බොරු කියා හැසුරුණු බැවින් තදින් දුගඳ හමන මුව ඇති මාළුවෙක් ව උපන්නේ ය. දවසක් ඒ කෙවුල් දරුවෝ මසුන් අල්ලන්නට දැල් කඹ ආදිය ගෙණ ගඟට ගොස් එහි දැල් දැමූහ. මේ කපිල මසු ඒ දැලෙහි බැඳුනේ ය. දැල ගොඩට ඇද ගත් කල්හි එහි බැඳී හුන් මසු දැක කෙවුල් ගම් වැස්සෝ “අපගේ දරුවන් පළමු කොට දැමූ දැලට රන්වන් මසෙක් බැඳුනේ වන, මේ නිසා රජු ද අපට බොහෝ මිල මුදල් තෑගි බෝග දෙනු ඇතැ”යි හඬ නගා කියන්නට වූහ. ඔවුහු මසු බඳුනෙක දමා දිය වක්කර බඳුන ඔසොවා ගෙණ රජ මාලිගාවට ගෙණ ගියහ. රජු ද බඳුන ඔසොවා ගෙණ ආවුන් දෙස බලා “කිමැ?”යි විචාළ කල්හි “දේවයන් වහන්ස! මසෙකැ”යි කීහ. රජු එහි හුන් රන්වන් මසු දැක “මේ මසු රන්වන් වූයේ කුමක් නිසා?යි මෙය දන්නාහු බුදුරජානන් වහන්සේ ය”යි බඳුන පිටින් මසු ගෙන්වා ගෙණ බුදුරජුන් වෙත ගියේ ය. මසු කට හරිත් ම මුළු දෙව්රම් වෙහෙර දුගඳින් පිරී ගියේ ය. ඉක්බිති රජ තෙමේ “ස්වාමීනි! මේ මසු රන්වන් වන්නටත් කටින් දුගඳ හමන්නටත් හේතු කවරේ දැ?”යි ඇසී ය. “මහරජ! මූ පෙර කසුප් බුදුරජුන්ගේ සසුනෙහි කපිල නමින් ප්‍රසිද්ධ වූ ත්‍රිපිටක ධර්‍මයෙහි නුවණැති උගත් මහණෙක් වී ය, එයින් මහත් පිරිවර ඇතියේ ලාභාශායෙන් මැඩුනේ තමන් කියන බස් නො ද පිළිගන්නවුනට ඇණුම් බැණුම් ගැරහුම් කරමින් උන්වහන්සේගේ සසුන ද පිරහෙළූයේ ය, හේ ඒ පාපකර්‍මයෙන් අවීචියෙහි ඉපද පැසී නො ගෙවී ඉතිරි වූ පාපකර්‍මයාගේ විපාක වහයෙන් දැන් මත්ස්‍යයෙක් ව ඉප ද සිටුනේ ය, යම්හෙයකින් මූ එදා බොහෝ කලක් බුදුවදන් අන්හට කියැ වූයේ ද; එකල්හි බුදුරජුන්ගේ ගුණ කීයේ ද, එහෙයින් මූ රන්වන් වූයේ ය, එදා සිල්වත් මහණුන්ට ඇණුම් බැණුම් ගැරහුම් කළ බැවින් ඒ පාප කර්‍මයෙන් දැන් මුගේ කටින් දුගඳ හමන්නේ ය, මහරජ! මේ වග මූ ලවා ම කියවම් දැ”යි අසා වදාළ කල්හි “ස්වාමීනි! යහපති, කියවාලනු මැනැවැ”යි කී ය. ඉක්බිති බුදුරජානන් වහන්සේ “තෝ කපිලයෙහි?” “ස්වාමීනි! එසේ ය මම කපිලයෙමි, කොහි සිට ආයෙහි? ස්වාමීනි! අවීචිමහානිරයෙහි ඉපද සිට, තාගේ දෙටුබෑ වූ සාධන කොහි? ස්වාමීනි1 පිරිනිවියෝ ය ඔහු, තාගේ මව වූ සාධනී කො තැන? ස්වාමීනි! ඇයත් නිරයේ, තාගේ කනිටු බුහුන තාපනා? ඈත් නිරයේ, දැන් කොතැන යන්නෙහි? ස්වාමීනි! නැවැතත් අවීචියටැ”යි ඔහු ලවාම මෙසේ කිය වූ සේක. කපිල බුදුරජුන්ගේ ඇසීම්වලට මෙසේ පිළිතුරු දී විපිළිසරන් මැඩුනේ ඒ දියබඳුනෙහි හිස ගසා එතැන ම මැරී ගොස් නැවැතත් නිරයෙහි උපන්නේ ය. මහාජන තෙමේ සංවේගයට පැමිණියේ ය. ලොම් නැගුනු සිරුරු ඇත්තේ වී ය. භාග්‍යවතුන් වහන්සේ එවේලෙහි එහි රැස් වූ මහාජනයාගේ සිත් හැසිරීම් බලා එතැනට සුදුසු පරිදි “ධම්මචරියං බ්‍රහ්මචරියං එතදාහු වසුත්තමං” යන සූත්‍රනිපාතයෙහි කපිල සූත්‍රය වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක.
මනුජස්ස පමත්තචාරිනො තණ්හා වඩ්ඪති මාළුවා විය,
සො පලවති හුරාහුරං ඵලමිච්ඡංව වනස්මිං වානරො.
.
යං එසා සහතෙ ජම්මි තණ්හා ලොකෙ විසත්තිකා,
සොකා තස්ස පවඩ්ඩන්ති අභිවට්ඨංව බීරණං.
.
යො චෙ තං සහතී ජම්මිං තණ්හං ලොකෙ දුරච්චයං,
සොකා තම්හා පපතන්ති උදබින්‍දුව පොක්ඛරා.
.
තං වො වදාමි භද්දං වො යාවන්තෙත්‍ථ සමාගතා,
තණ්හාය මූලං ඛණථ උසීරත්‍ථොව බීරණං,
මා වො නලංව සොතොව මානො භඤ්ජි පුනප්පුනන්ති.
පමාව හැසිරෙණ සුලු මිනිසාට තෘෂ්ණා තොමෝ මාළුවා වැලක මෙන් වැඩේ. හෙතෙමේ වනයෙහි ගෙඩි කනු කැමැති වන වඳුරකු මෙන් භවයෙන් භවයට පැන දුවන්නේ ය.
ලාමක වූ විසත්තිකා නම් මේ තෘෂ්ණා තොමෝ ලෝකයෙහි යමකු මැඩලා ද ඔහුට නැවැත නැවැත (වැස්සෙන්) තෙමනලද බෙරු තණ මෙන් ශෝකයෝ වැඩෙත්.
ලෝකයෙහි යමෙක් ලාමක වූ නො ඉක්මවිය හැකි වූ මේ තෘෂ්නාව මැඩලා ද ඔහු කෙරෙන් ශෝකයෝ පොකුරුපතින් (ගිලිහෙන) දියබිඳු මෙන් ගිලිහී වැටෙත්.
යම් පමණ දෙනෙක් මෙහි රැස් වූවාහු ද ඒ තොපට වැඩෙක් වේවා. එහෙයින් තොපට කියමා. සුවඳහොටමුලින් ප්‍රයෝජන ඇතියේ යම් සේ බෙරුතණ සාරා ද එමෙන් තෘෂ්ණාවගේ මුල උදුරවු. සැඩපහර, හුණබට පඳුරක් මෙන් මාර තෙමේ තොප නැවැත නැවැත නො මඩීවා.
මනුජස්ස පමත්තචාරිනො = පමාව හැසිරෙණ සුලු මිනිසාට
මනුජ යනු, මිනිස්හට නමෙකි. සත්ත්‍වයන් පිළිබඳ හිතාහිත දන්නේ මනුජ නැමැයි කියනලදි. මේ ඒ කීම:- “මන්ති ජානාති සත්තානං හිතාහිතන්ති = මනුජො” යනු. ආදිකල්පික මනු ගෙන් උපන් බැවිනුදු ‘මනුජනම් වී ය’ යි ද කියනු ලැබේ.
පමත්තචාරී නම්: සිහියෙන් තොරබව ලකුණු කොට සිටි පමායෙන් ප්‍රමත්ත ව දවසරිනුයේ ය. එබඳු පුද්ගලයාහට ධ්‍යානයෙක් නැත. විදර්‍ශනා මාර්‍ගඵල ද නැත්තේ ය. [1]
තණ්හා වඩ්ඪති මාළුවා විය = තෘෂ්ණාව මාළුවා වැල මෙන් වැඩේ.
රුකෙක එතී දැවටී වැඩෙන මාළුවා වැල තමන් විසින් වෙළා ගත් රුකෙහි විනාශය පිණිස වන්නා සේ සදොර උපදනා රූප තෘෂ්ණාදී වූ සවැදෑරුම් තෘෂ්ණාව විස්තාර ව ගියා ප්‍රමත්තව හැසිරෙණ සිහිනුවණින් තොර මිනිසාගේ විනාශය පිණිස වැඩේ. [2]
සො ප්ලවති හුරාහුරං ඵලං ඉච්ඡං ඉව වනස්මිං වානරො = හෙතෙමේ වනයෙහි ගෙඩි කනු කැමැති වන වඳුරකු මෙන් භවයෙන් භවයට පැන දුවන්නේ ය.
හුරං යනු, නිපාතයි. මේ, ඒ නිපාත දෙකක් එක් වූ තැනෙකි. පරලොව කියන්නේ ය. අරුත් විසින් සප්තමීවිභක්ත්‍යර්‍ත්‍ථයෙහි ය. එහෙයින් භවයෙක්හි භවයෙක්හි කිව ද, භවයෙන් භවයට යි කිව ද එක සේ ය.
වඳුරු, වානර නම්. මිනිස් රූසටහන් ඇති බැවින් ‘වානර’ යි කියනු ලැබේ. “නරො වියාති වානරො, වාසද්දො ඉවත්‍ථෙ” යනු එහිලා කීහ. තව ද වාන නම්: ගමන යි. ඒ වාන සඞ්ඛ්‍යාත ගමන යමක්හට ඇත්තේ නම් හේ ‘වානර’ යි ද කියනු ලැබේ.
රුක්පල කැමැති වූ වඳුරු වෙනෙහි වසනුයේ රුකක අත්තක් අල්ලා ගෙණ ම හිඳින්නේ ය. පළමු අල්ලා ගත් අත්ත අත හරිණුයේ අන් අත්තක් අල්ලා ගෙණ ය. අත්තක් අල්ලා නො ගෙණ නම් නො හිඳින්නේ ය. හිඳිනු නො හැක්කේ ය. එමෙන් තෘෂ්ණා වශික මනුෂ්‍ය තෙමේ ද භවයෙන් භවයට යනු යේ තෘෂ්ණායෙන් රූපාදී වූ යම්කිසි අරමුණක් ගැණීමෙනි. අරමුණක් නො ගෙණ නම් භවයොහි උත්පත්තියේ නො වේ. “හුරාහුරං ධාවති භන්ත චිත්තො” යන මෙයට කළ අර්‍ත්‍ථකථාවිස්තරයෙන් ද එබව පැහැදිලි ය. ඒ මෙසේ ය: “අනවට්ඨිතවිත්තො කදාචි රූපෙ කදාචි සද්දෙති ආදිනා තස්මිං තස්මිං ආරම්මණෙ අස්සාදාදිවසෙන අපරාපරං පරිබ්භමති” යනු. සිහි නුවණින් නො පිහිටි සිත් ඇතියේ කිසිවිටෙක රූපයෙහි කිසිවිටෙක ශබ්දයෙහි යනාදී ලෙසින් ඒ ඒ අරමුණෙහි තෘෂ්ණාදීන්ගේ වහයෙන් පරිභ්‍රමණය කරන්නේ ය, යනු එහි අරුත්.
යං එසා සහතෙ ජම්මී තණ්හා ලොකෙ විසත්තිකා = ලාමක වූ විසත්තිකා නම් තෘෂ්ණාව ලෝකයෙහි යමකු මැඩලා ද
ජම්මී - විසත්තිකා යන දෙපදය තණ්හා යනු වෙසෙසා සිටියේ ය. මේ පදයෝ එකලා ව ද තෘෂ්ණාව කියා පාන්නෝ ය. තෘෂ්ණායෙන් මැඩුනහුට හොඳ නො හොඳ දෙක වෙන් කොට ගත නො හැකි ය. එහෙයින් තෘෂ්ණාව ‘ජම්මී’ යි කියනු ලැබේ. ලාමක බැවින් ජම්මී. හොඳ නො හොඳ තැන්, සෙවියයුතු නො සෙවිය යුතු තැන් නො විමසා හැම තැන පැතිරී සිටියා තෘෂ්ණාව විසත්තිකා නම්.
සොකා තස්ස පවඩ්ඪන්ති අභිවට්ඨං ඉව ඛීරණං = ඔහුට නැවැත නැවැත වැස්සෙන් තෙමනලද බෙරුතණ මෙන් ශෝකයෝ වැඩෙත්.
ඉතා ලාමක වූ හොඳ නො හොඳ තැන් නො විමසා හැම තැන පැතිර සිටුනා සදොර නිසා උපදනා තෘෂ්ණාව මේ ලෝකයෙහි යම් කිසි සත්ත්‍වයකු යටපත් කොට ගෙණ පවතී ද, ඒ පුද්ගලයා පිළිබඳ ශෝකයෝ නැවැත නැවැත වැඩෙත්. තෙමුණු බෙරුතණ වැඩී පැතිරී යන්නා සේ වැඩෙන්නාහ.
යො චෙ තං සහතී ජම්මිං තණ්හං ලොකෙ දුරච්චයං = ලෝකයෙහි යමෙක් ලාමක වූ නො ඉක්මවිය හැකි වූ මේ තෘෂ්ණාව මැඩලා ද. යටපත් කෙරේ ද.
සොකා තම්හා පපතන්ති උදබින්‍දූ ඉව පොක්ඛරා = පොකුරු පතින් ගිලිහෙන දියබිඳු මෙන් ඔහු කෙරෙන් ශෝකයෝ ගිලිහී වැටෙත්.
සසර උපත මුල් කොට ඇති සිතෙහි උපදනා තැවිල්ල ශෝක නම්. [3] පොක්ඛර නම්: මෙහි පියුම්පත ය. එය දියෙන් වැඩෙනුයේ දියෙහි හටගත්තේ හෝ ‘පොක්ඛර’යි කියනු ලැබේ. වීණාදොණි මුඛයෙහි හා හස්තිකරාග්‍රයෙහි ද වැටේ.
මේ ලෝකයෙහි යම්කිසි පුද්ගලයෙක් ලාමක වූත් නො ඉක්මවිය හැකි වූත් තෘෂ්ණාව නසාලන්නේ නම්, නෙළුම් කොලයෙහි වැටුනු දිය එහි නො රැඳී එයින් ගිලිහී වැටෙන්නා සේ ඒ පුද්ගලයා කෙරෙන් ශෝකයෝ ඇද වැටෙන්නාහ. පහව යන්නාහු ය.
තං වො වදාමි භද්දං වො යාවන්තො එත්‍ථ සමාගතා = යම් පමණ දෙනෙක් මෙහි රැස් වූවාහු ද, ඒ තොපට යහපතෙක් වේවා එහෙයින් තොපට කියමි.
යාවන්තො = යම් පමණ කෙනෙක්, එත්‍ථ = මෙහි, සමාගතා = රැස් වූවාහු ද, වො = ඒ තොපට, භද්දං = යහපතෙක් (වේවා), තං = එහෙයින්, වො= තොපට, වදාමි = කියමි, යනු පද විසින් අරුත්.
මෙහි වො යනු, තුම්හ ශබ්දයට වූ ආදෙශ විශේෂයෙකි. නො යන ආදෙශ විශේෂයෙහි ලා කියූ සේ දන්නේ ය. භද්ද නම්: යහපත් ය. යාවන්තො යනු, පරිමාණාර්‍ත්‍ථයෙහි ආයේ ය.
“කපිල මත්ස්‍යයා ගෙණ යම් පමණ කෙනෙක් මෙහි ආවාහු ද ඒ තොප හැමට වැඩෙක් ම වේවා. කපිල මත්ස්‍යයා මෙන් විනාශයට නො පැමිණෙවු. එහෙයින් මම තොපට අවවාදයක් කරමි” යනු ආශය.
තණ්හාය මුලං ඛණථ උසීරත්‍ථො ඉව බීරණං = බබුස් තණමුලින් ප්‍රයෝජන ඇත්තේ බබුස් තණ යම් සේ සාරා ද, එසේ තෘෂ්ණාවගේ මුල සාරවු. මුල උදුරා දමවු.
උසිර - බීරණ යන මෙයින් කියනු ලබනුයේ එක් ම තෘණ විශේෂයකි. ඒ නම්: අද සැවැන්දරා ය. සැවැන්දරායෙන් ප්‍රයෝජන ගණුයේ උසීරත්‍ථ නම්.
සැවැන්දරායෙන් ප්‍රයෝජන ඇතියේ උදැල්ලක් ගෙණ සැවැන්දරා මුල් උදුරන්නා සේ; තෙපි ද රහත්මගනුවණින් සංසාරයෙහි භවයෙන් භවයෙහි උත්පත්තිය දෙන තෘෂ්ණාවගේ මූළය වූ අවිද්‍යාව උදුරා දමවු, යනු ඒ මාගේ අවවාදය ය.
මා වො නලං ඉව සොතො මාරො භඤ්ජි පුනප්පුනං = (ගඟ දිය සැඩපහර ගං ඉවුර හටගත්) හුණ පඳුරක් (මැඩ ගෙණ යන්නා ) සේ මාර තෙමේ තොප නැවැත නැවැතත් නො මඩීවා.
සොත නම්: මෙහි දියසැඩපහර ය. ‘සොත’ යනු, ‘සොතා යත්නං, සොතින්‍ද්‍රියං’ යනාදී තන්හි මාංසස්‍රෝතයෙහි ද, සොතෙන සද්දං සුත්‍වා’ යනාදී තන්හි ශ්‍රෝත්‍ර විඥානයෙහි ද, ‘දිබ්බාය සොතධාතුයා’ යනාදි තන්හි ඥානස්‍රෝතයෙහි ද, ‘ දිට්ඨි සොතො’ යනාදී තන්හි දිට්ඨිකිලෙසාදී වූ පස්වැදෑරුම් ධර්‍මයෙහි ද, ‘ගඞ්ගාය නදියා වුය්හමානං දාරුක්ඛන්‍ධං’ යනාදී තන්හි දියපහරෙහි ද, ‘අරියසොතං’ යනාදී තන්හි ආර්‍ය්‍ය මාර්‍ගයෙහි ද, ‘පුරිසස්ස විඤ්ඤාණසොතං පජානාති’ යනාදී තන්හි චිත්තසන්තතියෙහි ද, හෙන්නේ ය.
මාර නම්: මෙහි කිලෙසමාර - මච්චුමාර - දේවපුත්තමාර යන මාරයෝ තිදෙන ය. [4] ගගඟබඩ හටගත් හුණපඳුරක් හෝ බට පඳුරක් හෝ උදුරා යවන වේගයෙන් ගලා බස්නා මහ ගඟ දියපහරක් සේ මාර තෙමේ තොප නැවැත නැවැත සසර උපදවමින් නො ද පෙළාවා’යි වදාළ සේක.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි කෙවුල්පුත්හු සංවේගයට පැමිණ දුක් කෙළවර කිරීම පතමින් බුදුරජුන් වෙත පැවිදි ව වැඩි දවස් නො යවා ම දුක් කෙළවර කොට නො සැලෙන විහාරසමාපත්තිධම්මපරිභෝගයෙන් එක් ම පරිභෝග ඇතියෝ වූහ.
කපිලමත්ස්‍ය වස්තුව නිමි.