24-2 ඊරියකගේ පෙරැළිය

යථාපි මූලෙ අනුපද්දවෙ දළ්හෙ

ඡින්නො’පි රුක්ඛො පුනරෙව රූහති

එවම්පි තණ්හානුසයෙ අනූහතෙ

නිබ්බත්තති දුක්ඛමිදං පුනප්පුනං.

යම්සේ වෘක්‍ෂයක්හුගේ මූලය උපද්‍රවයකට නොපැමිණ ස්ථිරත්‍වයට පත් කලැ ඒ වෘක්‍ෂය සිඳින ලද්දේ නමුදු යලිත් වැඩේ ද, එසේ මැ තෘෂ්ණාවගේ අනුශය සිඳ නොපියන ලද කල මේ දුඃඛජාතය නැවත නැවතත් උපදී.

යස්ස ඡත්තිංසති සොතා මනාපස්සවනා භූසා

වාහා වහන්ති දුද්දිට්ඨිං සඞ්කප්පා රාගනිස්සිතා.

යම් කිසිවකුහට සතිස් වැදෑරුම් තෘෂ්ණාශ්‍රෝතසින් සමන්‍විත වූ මනාප වූ රූපාදි අරමුණෙහි ස්‍රවණය වන්නාවූ තෘෂ්ණා තොමෝ බලවත් වැ උපදී ද, අඥ වූ ඒ පුද්ගලයා රාගය ඇසුරු කළාවූ විතර්‍කයෝ බලවත් වූවාහු අපායට පමුණුවතී.

සවන්ති සබ්බධි සොතා ලතා උප්පජ්ජ තිට්ඨති

තඤ්ච දිස්වා ලතං ජාතං මූලං පඤ්ඤාය ඡින්‍දථ.

තෘෂ්ණාප්‍රවාහයෝ හැම තන්හි පවත්නාහු වෙති. ලතා නම් වූ තෘෂ්ණා තොමෝ සදොරෙහි ඉපද රූපාදි අරමුණෙහි පවතී. වනයෙහි ජාත වූ ඒ තෘෂ්ණාලතාව දැක මාර්‍ගප්‍රඥාවෙන් මුලින් මැ සිඳ ලවු.

සරිතානි සිනෙහිතානි ච සොමනස්සානි භවන්ති ජන්තුනො

තෙ සාතසිතා සුඛෙසිනො තෙ වෙ ජාතිජරූපගා නරා.

රූපාදි අරමුණෙහි විසිර ගියාවූ තෘෂ්ණාස්නේහයෙන් ගැල්වුන සොම්නස්හු තෘෂ්ණාවශික සත්ත්‍වයාහට වෙති. ඒ පුද්ගලයෝ පස්කම් සුව ඇසුරු කළාහු සැප සොයන සුල්ලෝ වෙති. එබඳු සත්ත්‍වයෝ ජාතිජරාව්‍යාධිමරණයනට ඒකාන්තයෙන් පැමිණෙත් මැ යැ.

තසිණාය පුරක්ඛතා පජා පරිසප්පන්ති සසො’ව බාධිතො

සංයොජනසඞ්ගසත්තා දුක්ඛමුපෙන්ති පුනප්පුනං චිරාය.

තෘෂ්ණාව විසින් පිරිවරන ලද්දාවූ සත්ත්‍වයෝ බඳනා ලද සාවකු මෙන් බිය වෙති. සංයෝජනසඞ්ගයෙන් බැඳුනාහු බොහෝ කල් නැවත නැවතත් දුකට පැමිණෙති.

තසිණාය පුරක්ඛතා පජා පරිසප්පන්ති සසො’ව බාධිතො

තස්මා තසිණං විනොදයෙ භික්ඛු ආකඞ්ඛී විරාගමත්තනො.

තෘෂ්ණාව විසින් පිරිවරණ ලද (හෙවත් වළඳනාලද) මේ සත්හු (වැද්දා විසින්) බඳනා ලද සාවකු මෙන් බිය පත් වන්නාහ. එහෙයින් රාගවිගමනය (නිවන) කැමති වන මහණ තෙම තෘෂ්ණාව රහත්මඟ නැණින් ප්‍රහීණ කරන්නේ ය.

සම්මා සම්බුදුරජානන් වහන්සේ දවසක් රජගහ නුවරට පිඩුසිඟා වැඩිය සේක. ඒ වැඩිය ගමනේ දී එහි ඌරුපැටියක දැක සිනා පහළ කළ සේක. සිනා පහළ කිරීමේ දී උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් නිකුත් වූ දන්තකාන්තිමණ්ඩලය දුටු ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ “ස්වාමීනි! කුමක් හෙයින් බුදුරජානන් වහන්සේ සිනා පහළ කළ සේක් දැ?”ය ඇසූහ. “ආනන්‍ද! අර ඌරුපැටියා දකිහි දැ’යි අසා වදාළ කල්හි “එසේය, ස්වාමීනි! දකිමි”යි පිළිතුරු දුන්හ. “ආනන්‍ද! ඔය ඌරුපැටියා කකුසඳ බුදුරජුන්ගෙ සසුන් පවත්නා කල්හි එක් අසුන්හලක් අවට බත්උළු කුණුරොඩු ඇහිඳ කන කිකිළියක් ව ඉප ද සිටියා ය. එහි දී මෝ තොමෝ එක් යෝගාවචර මහණකු විදසුන් කමටහන් පිරිවහන හඬ අසමින් හුන්නී එයින් ච්‍යුත ව ගොස් රජගෙදරක රජදුවක් ව උපන්නී ය. නම උබ්බරී ය. ඕ තොමෝ එහි දී අසුචිපිඩෙක කැටි ව හුන් පණු රැසක් දැක එහි පුළවක සංඥාව උපදවා භාවනා කොට ප්‍රථමද්ධ්‍යානය ලබා ගත්තා ය. ඕ එහි ද ආයු ඇති තාක් දිවි ගෙවා එයින් ච්‍යුත ව බඹලොව උපන්නී ය. එහි ද ආයු ගෙවා එයින් ච්‍යුත ව භවගති වශයෙන් පෙරැළි පෙරැළී එන්නී දැන් මෙහි ඊරියක් ව ඉප ද සිටින්නී ය. මෑගේ මේ පෙරැළිය දැකීමෙන් මට සිනා නැගිනැ”යි වදාළ සේක. එයසා එහි අනඳ තෙරුන් ප්‍රධාන කොට සිටි භික්‍ෂූන් වහන්සේලාට මහත් සංවේගයෙක් උපන. බුදුරජානන් වහන්සේ ඔවුනට තව තවත් සංවේග උපදවමින් භව තෘෂ්ණායෙහි දොස් දක්වමින් ඇතුළු වීථියෙහි වැඩ සිට ගෙණ මේ ධර්‍මදේශනාව කළ සේක.

යථාපි මූලෙ අනුපද්දවෙ දළ්හෙ

ඡින්නොපි රුක්ඛො පුනරෙව රූහති,

එවම්පි තණ්හානුසයෙ අනූහතෙ

නිබ්බතත්ති දුක්ඛමිදං පුනප්පුනං

.

යස්ස ඡත්තිංසති සොතා මනාපස්සවණා භුසා,

වාහා වහන්ති දුද්දිට්ඨිං සඞ්කප්පා රාග නිස්සිතා.

.

සවන්ති සබ්බධි සොතා ලතා උබ්භිජ්ජ තිට්ඨති,

තං ච දිස්වා ලතං ජාතං මූලං පඤ්ඤාය ඡින්දථ.

.

සරිතානි සිනෙහිතානි ච සොමනස්සානි භවන්ති ජන්තුනො

තෙ සාතසිතා සුබෙසිතා තෙ මෙ‍ ජාතිජරූපගා නරා.

.

තසිනාය පුරක්ඛතා පජා පරිසප්පන්ති සසොව බාධිතො,

සංයොජනසඞ්ගසත්තා දුක්ඛමුපෙන්ති පුන්ප්පුනං චිරාය.

.

තසිනාය පුරක්ඛතා පජා පරිසප්පන්ති සසොව බාධිතො,

තස්මා තසිනං විනොදයෙ භික්ඛු ආකංඛී විරාගමත්ත‍නොති.

යම්‍ සේ මුල, උවදුරකට නො පත් කල්හි (එහෙයින් ම) දැඩිව සිටි කල්හි අගින් කපා දැමූ රුක නැවැතත් හට ගණී ද, එසේ ම තෘෂ්ණා අනුශ්‍රය මුලුසුන් නො කළ කල්හි මේ දුක නැවැත නැවැතත් උපදි.

යමක්හට සතිස් වැදෑරුම් වූ තෘෂ්ණාස්‍රෝතසින් යුක්ත වූ මන වඩන්නා වූ රූපාදී වූ අරමුණෙහි වැගිර පවත්නා වූ තෘෂ්ණාව බලවත් වේ ද, නුවණ නැති ඒ පුද්ගලයා රාගය ඇසුරු කළ විතර්‍කයෝ බලවත් වූවාහු අපායයට පමුණුවත්.

තෘෂ්ණාප්‍රවාහයෝ සියලු තන්හි වැගිරෙත්. තාෂ්ණා ලතා තොමෝ නැගී සිටියි. හටගත් ඒ තෘෂ්ණා ලතාව දැක ප්‍රඥායෙන් මුල සිඳිවු. අරමුණෙහි වගුළා වූ ද තෙත් වූ ද සොම්නස්හු සත්ත්‍වයාහට වෙත්. ඔවුහු තුමූ පස්කම් සැපය හා ගිය සතුට ඇසුරු කළාහු සැප සොයන සුල්ලෝ වෙත්. එබඳු සත්ත්‍වයෝ එකාන්තයෙන් ජාති - ජරාවනට පැමිණෙන්නෝ වෙත්.

තෘෂ්ණායෙන් පිරිවරණ ලද සත්ත්‍වයෝ බඳනාලද සාවකු මෙන් බියපත් වෙත්. සංයෝජන හා සඞ්ගවලින් බැඳුනාහු බොහෝ කලක් නැවැත නැවැත දුකට පැමිණෙත්.

තෘෂ්ණායෙන් පිරිවරණ ලද සත්ත්‍වයෝ බඳනා ලද සාවකු මෙන් බියපත් වෙත්. එහෙයින් නිවන කැමැති වන මහණ තෙමේ තෘෂ්ණාව දුරු කරන්නේ ය.

යථා අපි මූලෙ අනුපද්දවෙ දළ්හෙ = යම් සේ රුක් මුල උවදුරු නැති ව දැඩි ව පිහිටා ගත් කල්හ.

මෙහි ‘මූලැ’ යි කියන ලද්දේ රුක් මුල් ය. අටුවාව කියන ලෙසට සිවු දෙසට ඇදී ගිය මුල් සතර හා කෙළින් ම පොළොව යටට ඇදී ගිය මුදුන් මුලත් යන මුල් පස ම මෙහි මූල ශබ්දයෙන් ගත යුතු ය. යම් කිසිවක් නිසා රුක නො වැටී පොළොව පිහිටා සිටී නම් එය මූල ය. “මූලති පතිට්ඨාති රූහති රුක්ඛො එතෙනාති = මූලං” යනු අර්‍ත්‍ථ නිරූපණය යි.

ඒ මේ මූල ශබ්දය ‘යාව මජ්ඣන්තිකෙ කාලෙ ඡායා එරති නිවාතෙ’ යනාදී තන්හි නක්‍ෂත්‍ර විෂයයෙහි ද, ‘පණ්ණානි පතන්ති එත්තාවතා රුක්ඛමූලන්ති’ යනාදී තන්හි සමීපයෙහි ද, ‘මූලානි උද්ධරෙය්‍ය අන්තමසො උසීරනාළමත්තානිපි’ යනාදී තන්හි මූලමූලයෙහි ද, ‘ලොහො අකුසලමූලං’ යනාදී තන්හි හේතුයෙහි ද, ‘කම්මමූලං කිණිත්‍වාන’ යනාදී තන්හි පඬුරෙහි ද හෙන්නේ ය. මෙහි රුක් මුලෙහි නැගී සිටියේ ය.

අනුපද්දෙවෙ = උවදුරකට නො පත් කල්හි. මෙහි උවදුරු නම්: කැපීම්, පැළීම්, පිළිස්සීම්, පණුවන් කෑම් ඈය. වෙත පැමිණ පෙළන්නේ ය යනු උපද්දව යන්නෙනහි අරුත්. එබඳු පෙළීමෙක් නැතියේ අනුපද්දව. මෙහි කී කැපීම්, පෙළීම් ඈ රුක්මුල් කඳ කොළ ඈ පිළිබඳ උවදුරු ය. රාග - ද්වේෂ - මෝහාදී උපද්‍රව මෙහිලා නො ගැණේ.

ඡින්නො අපි රුක්ඛො පුන එව රූහති = අගින් කැපූ ද රුක නැවැත හට ගණී(ද) නැවැත වැඩේ(ද).

කැපීම්, පැළීම්, පිළිස්සීම්, පණුවන් කෑම් ඈ උවදුරකට නො පත් මුල ශක්තිමත් වූ යම්කිසි නුග ඇසතු ඈ වනදෙටු රුකෙක් මුල් ඉතිරි වන සේ පොළොව මතු පිටින් කපා හරිණලද්දේ නම් නැවැත ඒ රුක රිකිළි හට ගෙණ අතුපතරින් වැඩී යන්නේ ය. එසේ නැවැත වැඩී යනු, මුල් නො සිඳ මුල් තබා පොළොව මතුපිටින් රුක කපා දැමූ බැවිනි. ඒ ය මේ පාදයෙන් දක්වා වදාළෝ.

එවං අපි තණ්හානසයෙ අනූහතෙ= එසේ ම තෘෂ්ණානුශය මුළුමනින් නො නැසූ කල්හි.

තණ්හා ම තණ්හානුසය නම්. කාමරාග - භවරාග - පටිඝ - මාන - දිට්ඨි - විචිකිච්ඡා - අවිජ්ජා යී අනුසයෝ සත්වැදෑරුම් වෙත්. “අනුසෙන්තීති = අනුසයා” යන විවරණය විසින් කාරණයක් ලැබ කාරණයක් ඇති කල්හි උපදින ධර්‍ම අනුසය යි ගත යුතු ය. “අනු අනු සෙන්තීති = අනුසයා” යන විවරණය විසින් මගනුවන් ලබනා තුරු ම විනාශයට නො ගොස් කාරණයක් ඇති කල්හි නැවැත නැවැත උපදින ධර්‍ම අනුසය යි ගත යුතු ය. මෙහි උපදින ධර්‍මැ’යි කීයේ ස්වරූප වශයෙන් ඉපදීමක් නිසා නොව ඉපදීමට සුදුසුබව ගැණීමෙනි. පර්‍ය්‍යුත්‍ථාන - ව්‍යතික්‍රම අවස්ථාවනට නො පැමිණ සිතෙහි නිදන ලෙසින් හෝ පවත්නෝ අනුසයෝ ය. අනුසය - පරියුට්ඨාන - වීතික්ක විසින් ක්ලේශයන් පිළිබඳ අවස්ථා තුනෙක් වේ. මගනුවණින් කෙලෙස් නසනතුරු නො සිඳී කරුණක් එළැඹ සිටි කල්හි නැගී එන, එතෙස් සිතෙහි නිදන ලෙසින්, ලැග සිටින ලෙසින් පවත්නා අවස්ථාව අනුශයාවස්ථා ය. ලෞකික ගුණ කොතෙක් ලැබුව ද ක්ලේශයන්ගේ අනුශයාවස්ථාව නො සිඳි පවත්නී ය. සිතෙහි ඒ ඒ කෙලස් ජවන් සමග එක්ව පවත්නා අවස්ථාව පර්‍ය්‍යුස්ථානාවස්ථාව ය. කායාඞ්ග - වාචාඞ්ගචලනය කරන අවස්ථාව ව්‍යතික්‍රමාවස්ථාව ය. මේ සත් වැදෑරුම් අනුසයන් අතුරෙහි තණ්හානුසය වශයෙන් ගැණෙනුයේ කාමරාග - භවරාග යන අනුසය දෙක ය. අටුවා කතාවන්හි “ථාමගතට්ඨෙන කාම රාගාදයො සත්ත, තෙහි ථාමගත්තා පුනප්පුනං කාමරාගාදීනං උප්පත්තිහෙතුභාවෙන අනුසෙත්ති යෙවාති අනුසයා, සත්තසන්තානෙ අනු ‍අනුසෙන්ති පවත්තන්තීති අනුසයාති ලද්ධනාමා කාරණභාවෙ උප්පජ්ජනාරහා ථාමගතා යො කිලෙසා, තෙ පාපධම්මා. ථාමගතට්ඨෙන අප්පහීනට්ඨෙන ච අනුසෙන්තීති අනුසයා” යි, අනුසය යනු පැහැදිලි කළහ. මෙ කියූ තණ්හානුසය නැසිය යුත්තේ අර්‍හනමාර්‍ග ඥානයෙනි. එ නුවණින් තණ්හානුසය නො නැසූ කල්හි යන අරුත ‘අනූහතෙ’ යන්නෙන් ගැණේ.

නිබ්බන්ති දුක්ඛං ඉදං පුනප්පුනං = මේ දුක නැවැත නැවැත උපදී.

ඒ ඒ භවයෙහි ජාති - ජරා - ව්‍යාධි - මරණාදී වූ දුක් අතර නො තබා උපදනේ ය. ජාති - ජරා ආදීන්ගේ භවයක් පාසා මෙසේ ඉපැත්ම වනුයේ මුළුමනින් ම තෘෂ්ණාව නො නැසූ බැවිනි.

යස්ස ඡත්තිංසති සොතා මනාපස්සවණා භුසා = යමක් හට ස්‍රෝතස් සතිසකින් යුක්ත වූ මන වඩන්නා වූ රූපාදී අරමුණෙහි වැගිර සිටියා වූ තෘෂ්ණාව බලවත් වේ ද.

මෙහි චක්ඛු - සෝත - ඝාන - ජිව්හා - කාය - මන යන ආද්ධ්‍යාත්මිකායතනයන් විෂය කොට සිටි කාමතණ්හා විසින් සයෙක, භවතණ්හා විසින් සයෙක, විභවතණ්හා විසින් සයෙකැ යි බෙදෙන තෘෂ්ණාවිචරිත අටලොස හා, එසේ ම රූප - සද්ද - ගන්‍ධ - රස - ඵොට්ඨබ්බ - ධම්ම යන බාහිරායතනයන් විෂය කොට සිටි කාමතණ්හා විසින් සයෙක, භවතණ්හා විසින් සයෙක, විභවතණ්හා විසින් සයෙකැ යි බෙදෙන තෘෂ්ණාවිචරිත අටළොස දැ යි යන සතිස ‘ඡත්තිංතසතිසොත’ යෝ ය. වේගයෙන් ගලා බස්නා සැඩ පහර සොත නමින් කිය වේ. මෙ කියූ තණ්හාවිචරිතයෝ තද්ගතික තත්සමාන බැවින් ‘සොත’යි කියනු ලැබෙත්.

රූප - ශබ්ද - ගන්‍ධාදී වූ සිත් ගත් මන වඩන අරමුණෙහි වැගිරෙන්නී පවතින්නී වෑහෙන්නී ‘මනාපස්සවණ’ නම්. තෘෂ්ණා ය “මනාපෙස්සු රූපාදීසු ආරම්මණෙසු ආසවති පවත්තතීති මනාපස්සවණා” යනු අටුවා. මෙසේ සතිස් වැදෑරුම් වූ තෘෂ්ණා විචරිතයන්ගෙන් යුක්ත වූ මන වඩන අරමුණෙහි නිතර වෑහෙන තෘෂ්ණාව යන්තමකින් නො ව බලවත් ව වෑහෙන බව ‘භුසා’ යන මෙයින් කියැ‍ වේ.

වාහා වහන්ති දුද්ධට්ඨිං සඞ්කප්පා රාගනිස්සීතා = රාගය ඇසුරු ‍කළ විතර්‍කයෝ බලවත් වූවාහු නුවණ නැති ඒ පුද්ගලයා අපායයට පමුණුවත්.

මෙහි ‘දුද්දිට්ඨි’ නම්: විපන්න බුද්ධි ඇති පුද්ගල තෙමේ ය. ‘සඞ්කප්ප’ නම්: විතර්‍කයෝ ය. මේ විතර්‍කයෝ ධ්‍යානයක් විදර්‍ශනාවක් ඇසුරු නො කොට රාගය ඇසුරු කොට සිටියෝ ය. ‘රාගනිස්සිතා’ යන මේ පදයෙන් වදාළෝ ඒ බව ය. මොවුහු රූපාදී වූ අරමුණු විෂය කොට සත්ත්‍වසන්තානයෙහි පුන පුනා උපදනෝ වේගවත් හි ‘වාහා’ යන්නෙන් පැහැදිලි කලහ.

වහන්ති සබ්බධි සොතා = තෘෂ්ණා ප්‍රවාහයෝ සියලු තන්හි වැගිරෙත්.

මේ තෘෂ්ණාගඞ්ගාප්‍රවාහයෝ චක්‍ෂුර්ද්වාරාදියට හමු වන රූපාදී වූ සවැදෑරුම් අරමුණුවලින් කාමාදී වූ සියලු භවයන්ගෙන් වැගිරෙන බැවින් කාමභවාදී භවයන්හි හැම තැන පවත්නාහු වෙති. “ඉමෙ තණ්හාසොතො චක්ඛුද්වාරාදීනං වසෙන සබ්බෙසු රූපාදීසු ආරම්මණෙසු සවණතො සද්ධිං රූපතණ්හා - පෙ - ධම්ම තණ්හාහි සබ්බභවෙහි වා සවණතො සබ්බධි සවන්ති නාම” යනු සාධක කථා ය.

ලතා උබ්භිජ්ජ තිට්ඨති = තෘෂ්ණලතා තොමෝ ඉපද නැගී සිටියි.

භවයෙන් භවය වෙළන බැවින් මසන බැවින් ලතා නම් වූ තෘෂ්ණාව රූපාදිය අරමුණු කොට චක්‍ෂුරාදී වූ සදොරින් ඉපද නැගී සිටින්නී ය.

තං ච දිස්වා ලතං ජාතං මූලං පඤ්ඤාය ඡින්දථ = හටගත් ඒ තෘෂ්ණලතාව දැක ප්‍රඥායෙන් (එහි) මුල් සිඳිවු.

එසේ හටගත් ඒ තෘෂ්ණා ලතායෙහි “එත්‍ථ එසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති” යි මෙසේ දැක වෙනෙහි හටගත් වැලක් ආයුධයකින් කපන සිඳින එකකු මෙන් මාර්‍ග ප්‍රඥායෙන් මුලින් ම සිඳලිය යුතුය යනු, වදාළ සේක. ‘පඤ්ඤා’ යනු කියන ලදි. [1]

සරිතානි සිනෙහිතානි ච සොමනස්සාති භවන්ති ජන්තුනො = සත්ත්‍වයාහට වගුළා වූ ද තෙත් වූ ද සොම්නස්හු වෙත්.

තෘෂ්ණාවට යටත් වූ තෘෂ්ණාවෙන් අන්‍ධ වූ සත්ත්‍වයාහට රූපාදී වූ අරමුණෙහි පැතිරි සිටියා වූ සිවු පසයෙහි පැවැති තෘෂ්ණාස්නේහයෙන් ස්නේහවත් වූ සොම්නසුහු වන්නාහු ය.

අතිශය ප්‍රියභාවය ‘සිනෙහ’ නම්. එයින් වැකුණෝ, එයින් තෙත් වූවෝ ‘සිනෙහිතානි’යි යන මෙයින් ගණු ලැබෙත්. මෙහි ඔව්හු නම්: සෝමනස්සයෝ යි සොමනස්ස නම්: සිත පිළිබඳ සැපය යි. සිතෙහි හටගන්නා ප්‍රීතිය ය. ‘ජන්තු’ යනු යට කියන ලදි. [2]

තෙ සාතසිතා සුඛෙසිනො = සැප සොම්නස් ඇසුරු කළ ‍ඒ සත්ත්‍වයෝ සැප සොයන සුල්ලෝ වෙත්.

සාතසිතා = සැප සොම්නස් ඇසුරු කළෝ. සුඛෙසිනො= කය සිත දෙකට සැප සොයන සුල්ලෝ. “තෙ තණ්හාවසිකා පුග්ගලා සාතනිස්සිතා සුඛනිස්සිතා ච හුත්‍වා සුඛෙසිනො සුඛපරියෙසිනො භවන්ති” යනු අටුවා.

තෙ වෙ ජාතිජරූපගා නරා = එබඳු සත්ත්‍වයෝ එකාන්තයෙන් ජාතිජරාවනට පැමිණෙන්නෝ වෙත්.

හුදෙක් තෘෂ්ණාවට යටත් වූ සත්ත්‍වයෝ ජාතිජරාවනට ම පැමිණෙන්නෝ නො වෙත්. ඔවුහු සසර ඇති තාක් දුක්වලට පැමිණෙන්නෝ ය යි වදාළ සේක. [3]

තසිනාය පුරක්ඛතා පජා පරිසප්පන්ති සසො ඉව බාධිතො = තෘෂ්ණාවෙන් පිරිවරණලද සත්ත්‍වයෝ බඳනාලද සාවකු මෙන් බියපත් වෙත්.

සත්ත්‍ව තෙමේ යම් චිත්ත ශක්තියක් කරණ කොට කාමවස්තූන් වැළඳීමෙහි ආහා ඇතියේ වේ ද, ඒ ආශාව ඉපදීමට කරුනු වූ චිත්ත ශක්තිය තසිනා ය. ඒ නම් තෘෂ්ණා ය. “තාසකරණෙන තසිනාති සඞ්ඛං ගතා තණ්හා” යනුන් කීයේ ඒ බව ය. තැතිගැණුම් කරණ බැවිනුදු තණ්හා, තසිනා ය.

සංයොජනසඞ්ගසත්තා = සංයෝජන හා සඞ්ගවලින් බැඳුනාහු.

දුක්ඛං උපෙන්ති පුනප්පුනං චිරාය = බොහෝ කලක් නැවැත නැවැතත් දුකට පැමිණෙත්.

දශවිධසංයෝජනයෙන් හා සප්තවිධසඞ්ගයෙන් සසර ඇලී ගිය සත්ත්‍වයෝ බොහෝ කලක් මුළුල්ලෙහි නො ගිණිය හැකි ඉතා දිගු කලක් නැවැත නැවැතත් ජාත්‍යාදිදුඃඛයනට පැමිණෙත්. [4]

තසිනාය පුරක්ඛතා පජා පරිසප්පන්ති සසො ඉව බාධිතො = තෘෂ්ණායෙන් පිරිවරණ ලද සත්ත්‍වයෝ බඳනාලද සාවකු මෙන් බියපත් වෙත්.

තස්මා තසිනං විනොදයෙ භික්ඛු ආකඞ්ඛී විරාගං අත්තනො = එහෙයින් තමනට නිවන කැමැති මහණතෙමේ තෘෂ්ණාව දුරු කරන්නේ ය.

තෘෂ්ණාව සත්ත්‍වයාහට ආ දුක් හා සැම තැන ජාති - ජරා - මරණාදී වූ දුක් දෙන බැවින් ඒ මේ ෂඩ්ද්වාරික තෘෂ්ණාව රාග විගමන නම් වූ නිවන පතන, කැමැති වන මහණ තෙමේ අර්‍හනමාර්‍ග ඥානයෙන් දුරු කරන්නේ ය.

ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවන්ඵලාදියට පැමිණියාහු ය.

ඒ ඌරුපැටියා ද එයින් ච්‍යුත ව ගොස් සුවර්‍ණභූමියෙහි රජ ගෙයක ඉප ද, එයින් ච්‍යුත ව බරණැස, එයින් ච්‍යුත ව සුප්පාරක පටුනෙහි අස්වෙණද ගෙයක, එයින් ච්‍යුත ව කාවීරපටුනෙහි බඩු විකුණන්නකුගේ ගෙයක, එයින් ච්‍යුත ව අනුරාධපුරයෙහි අධිපතියකුගේ යෙක, එයින් ච්‍යුත ව අනුරාධපුරයට දකුණෙහි පිහිට හොක්කන්ත ගම සුමන නම් කෙළෙඹියක්හට දූ ව උපන්නීය. නම සුමනා ය. ඇයගේ පියා එගම හැර ගොස් දිගාමඩුල්ලෙහි මහාමුනි නම් ගමෙහි නවාතැනි ගත්තේ ය. දුටුගැමුණු රජුගේ ලකුණ්ටක අතිම්බරු නම් ඇමැති තෙමේ යම්කිසි කටයුත්තක් සඳහා එගමට ගියේ ඒ සුමනා දැක ඇය කෙරෙහි ඇලුම් ඇති ව මහත් වූ මගුල් උළෙලක් කොට ශරණ පාවා ගෙණ මහාපුණ්ණ ගමට පැමිණියේ ය.

ඒ කාලයෙහි කෙළපවුමහවෙහෙර වැසි මහාඅනුල ස්ථවිරයන් වහන්සේ එහි පිඩු සිඟා වැඩිය ගමනේ, ඒ ගෙදොරට ද වැඩියාහු ඇය දැක “ඇවැත්නි! ඌරු පැටියා ලකුණුටක අතිම්බරු ඇමැතියාගේ බිරිය බවට පැමිණීම මහා පුදුමයෙකැ”යි තමන් හා කැටු ව ගිය භික්‍ෂූන්ට කීහ. එබස් ඇසූ ඕ තොමෝ ජාතිස්මරණ ඥානය ලැබ ඉකුත් ව ගිය තතු උගුළා බලා උපන් සංවේග ඇතියා හිමියාට දන්වා මහත් පෙරහරින් ගොස් පංචබලක ස්ථවිරාවන්ගේ සමීපයෙහි පැවිදි ව තිස්සමහාවිහාරයෙහිදී, සතිපට්ඨාන සූත්‍ර දේශනාව අසා සෝවන්පලයෙහි පිහිටා ගතු. පසු ව දෙමළ යුද්ධය අවසානයෙහි මවුපියන් විසූ හොක්කන්ත ගමට ගොස් එහි වසන්නී කල්ලක මහාවිහාරයෙහි දී ආශිර්විෂොපම සූත්‍ර දේශනාව අසා රහත්බවට පැමිණියා ය. ඕ තොමෝ පිරිනිවන් පානා දවසෙහි මහණ මෙහෙණන් විසින් පුණුවස්නා ලද්දී මෙහෙණන්හට මේ සියලු පුවත කියා එහි රැස් වූ භික්‍ෂුසඞ්ගයා මැද මණ්ඩලාරාම වාසී වූ ධම්මපදභාණක මහතෙරුන්ට “මම පෙර මිනිසත් බවෙන් ච්‍යුත ව කිකිළියක් ව උපන්මි, එහිදී උකුස්සකු අතින් ගෙළ සිඳීම් ලබා ජීවිතක්‍ෂයට පැමිණ රජගහනුවර උපන්නී පිරිබ්‍රාජිකාවන් වෙත පැවිදි ව සිටියා මැරී ගොස් ප්‍රථමද්ධ්‍යානභූමියෙහි උපන්මි, එහි ද කල් ගෙවා කලූරිය කොට සිටුගෙදරක ද, එහි වැඩි කල් නො ගෙවා ච්‍යුත ව ඊරියක් ව ද, එයින් ච්‍යුත ව සුවර්‍ණභූමියෙහි ද, එයින් බරණැස ද, එයින් සුප්පාරක පටුනෙහි ද, එයින් හොක්කන්ත ගම දැ,යි මෙසේ කිකිළි ව උපන් අත්බවේ සිට මෙතැනට සුගති දුගති අත්බැව් තෙළෙසක උපත ලබා දැන් සසර කළකිරී සිටියා වෙමි, එහෙයින් සියල්ලෝ මා ගැණ බලා අප්‍රමත්ත වවු”යි කියා සිවුපිරිස සංවේගයට පමුණුවා පිරිනිවියා ය.

සූකරපෝතිකා වස්තුව නිමි.

  1. 2-5 ‘පඤ්ඤාපාසාදං’ යනු බලනු.

  2. 13-9 ‘ජන්තුනො’ යනු බලනු.

  3. 14-6 ‘දුක්ඛං’ යනු බලනු.

  4. 2-8 ‘සඤ්ඤොජනං’ යනු බලනු /13-4 ‘නත්‍ථි සඞ්ගො විජානතං’ යනු බලනු.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.