අත්‍ථම්හි ජාතම්හි සුඛා සහායා
තුට්ඨි සුඛා යා ඉතරීතරෙන
පුඤ්ඤං සුඛං ජීවිතසඞ්ඛයම්හි
සබ්බස්ස දුක්ඛස්ස සුඛං පහාණං.
කටයුත්තක් උපන් කල්හි (එය සපයන්නට සමත්) යහළුවෝ සුවයහ. හීන වූ ද ප්‍රණීත වූ ද, මඳ වූ ද බොහෝ වූ ද, (තමා සතු පසයෙකින් උපදනා) යම් සතුටෙක් ඇද්ද, එය සුව ය. මරණය ළං වූ කල්හි මහත් කොට කළ පින සුව ය. සියලු සසර දුක දුරැ ලීම (හෙවත් රහත්බව) සුව ය.
සුඛා මත්තෙය්‍යතා ලොකෙ අථො පෙත්තෙය්‍යතා සුඛා
සුඛා සාමඤ්ඤතා ලොකෙ අථො බ්‍රහ්මඤ්ඤතා සුඛා.
ලොවැ, මවු කෙරෙහි මොනොවට පිළිපැදීම සුව ය. නැවැත පියා කෙරෙහි මොනොවට පිළිපැදීම සුව ය. ලොව මහණුන් කෙරෙහි මොනොවට පිළිපැදීම සුව ය. නැවැත (බුදු පසේබුදු රහත් යන) ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණයන් කෙරෙහි මොනොවට පිළිපැදීම සුව ය.
සුඛං යාව ජරා සීලං සුඛා සද්ධා පතිට්ඨිතා
සුඛො පඤ්ඤාය පටිලාභො පාපානං අකරණං සුඛං.
ශීලය (තරුණයනට ද වෘද්ධියනට ද එක සේ හොබනා බැවින්) ජරා වයස දක්වා සුව ය. (ලොවී ලොවුතුරා) සැදැහැව නිසල වැ පිහිටියා සුව ය. (ලොවී ලොවුතුරා) නුවණ ලැබීම් සුව ය. පව් නොකිරීම සුව ය.
එක් කලෙක රජදරුවෝ, මිනිසුන් තළා පෙළා මිනිසුන් අයත් වස්තුව පැහැර ගණිමින් එකාධිකාරයෙහි පිහිටා රාජ්‍යය කළහ. බුදුරජානන් වහන්සේ ඒ රාජ්‍යයන්හි නොයෙක් ලෙසින් ගැහට කොට බලාත්කාරකම් කොට අල්ලා පෙළන තළන මිනිසුන් දැක උන් කෙරෙහි කරුණායෙන් රාජ්‍යය කරන්නවුන්ට මිනිසුන් නො තළා නො පෙළා නො මරා නො හඬවා නො පරදවා නො දිනවා නො සොස්වා පිටුවහල් නො කොට දැහැමින් සෙමෙන් රාජ්‍යය කරන්නට නො හැකි දැ”යි සිතා වදාළ සේක. පවිටු මරු බුදුරජුන්ගේ මේ අදහස දැන “ශ්‍රමණ ගෞතම තෙමේ දැහැමින් සෙමෙන් රාජ්‍යය කරවනු කැමැත්තේ ය, රාජ්‍යය නම්, පමාවට තැන් ය, එහෙයින් ශ්‍රමණ ගෞතම එය කරවතොත් මට ඔහු අල්ලා ගත හැකි ය, ඒ නිසා මෙහිලා ඔහු උත්සාහවත් කරමි”යි බුදුරජුන් වෙත ගියේ ය. ගොස්, “ස්වාමීනි! භාග්‍යවතුන් වහන්සේ රාජ්‍යය කරවත්වා, ස්වාමීනි! සුගතයන් වහන්සේ මිනිසුන් නො හඬවා නො තළා දැහැමින් සෙමෙන් රාජ්‍යය කරවත්වා”යි කියා සිටියේ ය. ඉක්බිත් බුදුරජානන් වහන්සේ “තෝ මෙහිලා මා පිළිබඳ කුමක් දක්නෙහි ද? තෝ කුමක් නිසා මට මෙසේ කියා දැ?”යි අසා වදාළ විට “ස්වාමීනි! භාග්‍යවතුන් වහන්සේ කැමැති වන සේක් නම් හිමවත් පර්‍වතය සුවර්‍ණපර්‍වතයක් කිරීමෙහි සමර්‍ත්‍ථ වන සේක, මමත් මිල-මුදලින් කළ යුතු හැම දෙයකට උදවු දෙන්නෙමි, එහෙයින් රාජ්‍යය කරවහු”යි කියාලී ය. ඉක්බිති බුදුරජානන් වහන්සේ,
“පබ්බතස්ස සුවණ්ණස්ස ජාතරූපස්ස කෙවලි,
ද්විත්තාපි නාලමෙකස්ස ඉති විද්වා සමං චරෙ.
.
යො දුක්ඛමද්දක්ඛි යතො නිදානං
කාමෙසු සො ජන්තු කථං නමෙය්‍ය,
උපධිං විදිත්‍වා සඞ්ගොති ලොකෙ
තස්සෙව දන්තු විනයාය සික්ඛෙ”
යන මේ ගාථාව වදාරා මරු තැති ගන්වා “පවිට! තාගේ අවවාදය අනෙකෙක, තා සමග මාගේ අන් කතාවක් නැත, මෙසේ අවවාද කරමි”යි දන්වා මේ ධර්‍මදේශනාව කළ සේක.
අත්‍ථමහි ජාතම්හි සුඛා සහායා
තුට්ඨි සුඛා යා ඉතරීතරෙන,
පුඤ්ඤං සුඛං ජීවිතසඞ්ඛයම්හි
සබ්බස්ස දුක්ඛස්ස සුඛං පහානං.
.
සුඛා මත්තෙය්‍යතා ලොකෙ
අථො පෙත්තෙය්‍යතා සුඛා,
සුඛා සාමඤ්ඤතා ලොකෙ
අථො බ්‍රහ්මඤ්ඤතා සුඛා
.
සුඛං යාව ජරා සීලං සුඛා සද්ධා පතිට්ඨිතා,
සුඛො පඤ්ඤාය පටිලාභො පාපානං අකරණං සුඛන්ති.
කටයුත්තක් උපන් කල්හි යහළුවෝ සැප වෙත්. තමා සතු දැයෙකින් යම් සතුටෙක් වේ ද, එය සැප ය. මරණාසන්නකාලයෙහි පිණ සැප ය. සියලු දුක් නැසීම සැප ය.
ලෝකයෙහි මව කෙරෙහි මනා පිළිපැදීම සැප ය. නැවැත පියා කෙරෙහි මනා පිළිපැදීම සැප ය. ලෝකයෙහි මහණුන් කෙරෙහි මනා පිළිපැදීම සැප ය. නැවැත රහතුන් කෙරෙහි මනා පිළිපැදීම සැප ය.
ජරාව තෙක් සීලය සැප ය. ශ්‍රද්ධාව පිහිටියා සැප ය. නුවණ ලැබීම සැප ය. පව් නො කිරීම සැප ය.
“අත්‍ථම්හි ජාතම්හි සුඛා සහායා = යම් කිසි වැඩක් ඇති කල්හි යහළුවෝ සැපයහ.
පැවිද්දකුට සිවුරු මැසීම්, පා පිළිස්සීම් ආදී වූත්, අධිකරණ සන්සිඳවීම් ආදී වූත් කටයුත්තක්, ගිහියකුට සීසෑම්, වෙණෙඳාම්, ආදී වූත්, බලවත් පක්‍ෂ ගෙණ මැඩලීම් ආදී වූත් කටයුත්තක් ඇති විටක, යම් කෙනෙක් ඒ ඒ කටයුතු සපයන්නට සාදා දෙන්නට සන්සිඳවන්නට උන් උන්ට උපකාර කරන්නට පොහොසත් වෙත් ද එබඳු සහායයෝ යහළුවෝ සැප වෙත්. [1]
තුට්ඨි සුඛා යා ඉතරීතරෙන = තමා සතු දැයෙකින් යම් සතුටෙක් වේ ද, එය සැප ය.
ගිහියෝ තමන් වෙත වූ තමන් සතු වතුපිටිවලින් ඉඩකඩම් වලින් මිලමුදල්වලින් සෑහීමට නො ගොස් ගෙවල් බිඳීම් මංපැහරීම් ඈ කෙරෙත් ද, පැවිද්දෝ දැහැමි ව ලත් සිවුපසයෙන් සෑහීමට නො ගොස් වෙදකම් කිරීම්, නැකැත් කීම්, කපුකම් කිරීම්, දෙව් දැස්සන් යක් දෙස්සන් වීම් ආදී වූ අනෙසනයන්හි යෙදෙත් ද, ඒ ගිහිපැවිද්දෝ කිසිදාකත් ඒ නො පණත්කම්වලින් සැපයක් නම් නො ලබත්. ස්වල්ප වූ හෝ මහත් වූ හෝ තමා සතු තමා වෙත ඇති දැයෙන් උපදනා සතුට ම ගිහි පැවිද්දන්ට සැප වේ. තුට්ඨි නම්: සතුට ය. එය දොළොස් වැදෑරුම් ය. [2]
පුඤ්ඤං සුඛං ජීවිතසඞ්ඛයම්හි = මරණය ලං වූ කල්හි තමන් කළ පිණ සැප වේ.
මෙලොව දිවි යවන්නවුනට ද, මෙලොව දිවි යවා මෙයින් ච්‍යුත ව පරලොව යන්නවුන්ට ද, පරලොව ගියහුට ද පිණම පිහිට වන බැවින් පිණ සැප වේ. [3] මෙහි පංචම තරඞ්ගයෙහි සත්සිය එක්සැටවන පිටුවෙහි එන පටිසන්‍ධි විස්තරය බලනු.
සබ්බස්ස දුක්ඛස්ස සුඛං පහානං = සියලු දුක් නැසීම සැප වේ.
මෙහි “දුක්ඛස්ස පහානං” යි වදාළෝ අර්‍හත්‍වය යි. සියලු සසර දුක් නැසී යනුයේ අර්‍හත්‍වයෙනි. [4]
සුඛා මත්තෙය්‍යතා ලොකෙ = ලෝකයෙහි මව කෙරෙහි මනා සේ පිළිපැදීම සැප වේ.
අථො පෙත්තෙය්‍යතා සුඛා = නැවැත පියා කෙරෙහි මනා සේ පිළිපැදීම සැප වේ.
මත්තෙය්‍යතා - පෙත්තෙය්‍යතා නම්: මවුපියන් කෙරෙහි සම්‍යක්ප්‍රතිපත්තිය යි. මෙදෙකින් ගැණෙනුයේ මවුපියන් කෙරෙහි කළයුතු වූ උවැටන ය. මවුපියෝ දූ පුතුන් තමනට උවැටන් නො කරණබව දත්තෝ නම් තමන් සතුදැය පොළොවෙහි සඟවා තබත්. අන්හට හෝ දෙන්නෝ ය. මෙසෙයින් දූ පුත්හු මෙලොවින් පිරිහෙන්නෝ ය. ලෝකයාගෙන් නින්‍දා ලබන්නෝ ය. මවුපියන්ගේ දායාදයට අහිමි වන්නෝ ය. මරණින් මතු ගූථ නරකයෙහි උපදින්නෝ පරලොවින් පිරිහෙන්නෝ ය.
බුදුරජානන් වහන්සේ මවුපිය උවැටන මහත් සේ පැසසූහ. මහත් තැන තැබූහ. එහිලා මෙය දත යුත්තේ ය: සැවැත් නුවර එක් සිටුපුත්‍රයෙක් බුදුරජුන්ගෙන් බණ අසා පැහැද පැවිදි වූයේ ය. මොහුගේ මේ පැවිද්දෙන් මොහුගේ මවුපියෝ අනාථ වූවාහු සිඟාකමින් අනුන්ගේ ගෙවල පිළිකණුවල දවස් යැවූහ. මෙය දත් ඒ මහණ “මම දොළොස් අවුරුද්දක් වන වැද වෑයම් කොටත් මාර්‍ග ඵලයක් ලබන්නට නො හැකිවීමි, මට පැවිද්දෙන් වැඩෙක් නැත, සිවුරු හැරදමා ගොස් මවුපියන් රැක බලා ගන්නෙමි”යි සිතා දෙව්රමට ගියේ ය. එහි දී ඔහුට බුදුරජානන් වහන්සේ මාතෘපොෂක සූත්‍රයෙන් බණ වදාළ සේක. මහණ, ඒ බණ අසා “මම ගිහි ව මවුපියන් රැක බලා ගන්න සිතා ආයෙම් නමුත් බුදුරජානන් වහන්සේ ගිහි වුවත් පැවිදි වුවත් මවුපියන් පිළිදගින්නට හැකි ය යි වදාළ බැවින් පැවිදි ව සිට ම මවුපියන් පිළිදගින්නෙමි”යි සිතා පසුදා පිඬු සිඟා ගොස් ලැබුනු කැඳ බත් ආදිය මවුපියන්ට ගෙණ ගොස් දුන්නේ ය. ඉන්නට තැනක් ද පිළියෙල කොට දී දවරෑ දෙක්හි මවුපියන් පිළිදැග්ගේ ය. ඔහු, ඔහුට ලැබෙන හැම දැයක් මවුපියන්ට දෙන්නේ ය. වැඩියෙන් යමක් ලැබුනොත් තෙමේත් වළඳන්නේ ය. රෙදිපිළීයක් ලැබුනොත් එය මවුපියන්ට දී තමා ඔවුන් හැඳ පොරොවා බැහරට දමන රෙදිකඩ එක්කොට මසා පඬු පොවා හඳින්නේ ය. මෙසේ ඒ මහණ නො කා නො බී කළ ඒ මවුපිය උවටැනෙන් පෙළුනේ වැහරී ගියේ ය. එය දත් අන් මහණෝ ඔහුට ගරහා මෙය බුදුරජුන්ට දන්වා ලූහ. උන් වහන්සේ ඒ මහණ ගෙන්වා “යහපතැ”යි සාධුකාර දී “මහණ! තමුසේ යමක්හට උපස්ථාන කරහු නම් ඔවුහු තමුසේගේ කවුරු දැ?”යි අසා “මවුපියෝ”යි කී කල්හි නැවැතත් තුන් විටක් සාධුකාර දී වදාළ සේක. “මහණ! තමුසේ මා ගියමග ගියහු කදිම ය, මමත් පෙර මවුපියන් පිළිදැග්ගෙමි”යි වදාළ බුදුරජානන් වහන්සේ මහානිපාතයෙහි සුවණ්ණ සාමජාතකය දෙසූ සේක. මවු පිය උවටැනෙහි අනුසස් දක්නට සුතනුජාතක - නන්‍දිමිගජාතක - ගිජ්ඣජාතාකාදිය බැලිය යුතු ය.
“යො මාතරං වා පිතරං වා මච්චො ධම්මෙන පොසති,
දෙවාපි නං තිකිච්ඡන්ති මාතාපෙත්තිහරං නරං.
.
යො මාතරං වා පිතරං වා මච්චො ධම්මෙන පොසති,
ඉධ චෙව නං පසංසන්ති පෙච්ච සග්ගෙ පමොදති.”
යනු ද මෙහිලා දතයුතු ය. යම් මිනිසෙක් දැහැමින් සෙමෙන් මව හෝ පියා හෝ දැහැමින් පොෂණය කෙරේ නම් ඔහුට දෙවියෝ ද ගරුබුහුමන් කරන්නෝ ය. උවදුරුවලින් රැක ගන්නෝ ය. එසේ ම ඔහුට මෙලොව ද ම පසසන්නෝ ය. මරණින් මතු දෙව්ලොව උපදින්නෝ ය, යනා එහි කෙටි අරුත්.
මවුපිය උවටැනෙහි අනුසස් ඉතා බොහෝ බැවින් දූ පුතුන් විසින් ඉතා අලුයම නැගී සිට මුවදෝනා දිය හා දැහැටිදඬු දී නැවැත කවා පොවා නාවා හිස තෙල් ගා ඇඳුම් කැඩුම් දී නිතර දෙවේලෙහි සොයා බැලිය යුතු ය. වැඳුම් පිදුම් කළ යුතු ය. මෙසේ මවු පිය උවටැනෙහි යෙදී ගත් දූ පුත්තු එලොව මෙලොව දෙක්හි ම යහපත දකින්නෝ ය. එහෙයින් මවුපියන් කෙරෙහි මනාව පිළිපැදීම සැපය, යි ද, උතුම් මඟුලෙකැ, යි ද වදාළ සේක.
මෙ ද දත යුතු ය: “ද්වින්නාහං භික්ඛවෙ න සුප්පතිකාරං වදාමි, මාතුච්ච පිතුච්ච, එකෙන භික්ඛවෙ අංසෙන මාතරං පරිහරෙය්‍ය, එකෙන අංසෙන පිතරං පරිහරෙය්‍ය, වස්සසතා යුකො වස්සසතජීවී. සො ච නෙසං උච්ඡාදනපරිමද්දන්නහාපන සම්බාහනෙන, තෙපි තත්‍ථෙව මුත්තකරීසං චජෙය්‍යුං, නත්‍වෙව භික්ඛවෙ මාතාපිතුන්නං කතං වා හොති පතිකතං වා” යනු හා,
මහණෙනි! මවට හා පියාට ප්‍රත්‍යුපකාර කිරීම පහසු ය යි මම නො කියමි. අවුරුදු සියයක් ආයු ඇති ව අවුරුදු සියයක් ජීවත්වන්නෙක් එක් උරහිසක මවත් එක් උරහිසක පියාත් නංවා ගෙණ බිම නො තබා ම පිළිදගින්නේ වේ ද, හේ ම මවුපිය දෙදෙනාගේ සිරුරු ඉළීම් පරිමැදීම් නෑවීම් මිරිකීම්වලින් උවැටන් කරන්නේ ද, මවුපියන් දෙඋරහිසමත හිඳ ම මල මූ පහකරත්, එය ඉවසන්නේ ද ඒ කිසිවකින් මවුපියන්ට උපකාර ප්‍රත්‍යුපකාර කට හැකි නො වේ, යනු එහි කෙටි අදහස ය.
“ඉමිස්සා ච භික්ඛවෙ මහාපඨවියා පහූතසත්තරත්නාය මාතා පිතරො ඉස්සරාධිපච්චෙ රජ්ජෙ පතිට්ඨාපෙය්‍ය, නත්‍වෙව භික්ඛවෙ මාතාපිතුන්තං කතං වා හොති පතිකතං වා. තං කිස්ස හෙතු: බහුකාරා භික්ඛවෙ මාතාපිතරො පුත්තානං ආපාදකා, පොසකා, ඉමස්ස ලොකස්ස දස්සෙතාරෙං” යනුත්.
මහණෙනි! බොහෝ සත්රුවන් ඇති මේ මහාපොළොවෙහි මවු පියන් සක්විති රජයෙහි පිහිටු වන්නේ නමුත් මවුපියන්ට උපකාර කරණ ලද්දේ හෝ ප්‍රත්‍යුපකාර කරණ ලද්දේ හෝ නො වේ ම ය. කුමක් හෙයින? යත්: මවුපියෝ දූ පුතුනට බොහෝ උපකාර ඇතියහ. දූ පුතුන් වඩන්නෝ ය. පොෂණය කරන්නෝ ය. මේ ලෝකය දක්වන සුල්ලෝ ය.
“සබ්‍රහ්මකානි භික්ඛවො තානි කුලානි, යෙසං පුත්තානං මාතා පිතරො අජ්ඣාගාරෙ පූජිතා හොන්ති, සපුබ්බාචරියකානි භික්ඛවෙ තානි කුලානා, යෙසං පුත්තානං මාතාපිතරො අජ්ඣාගාරෙ පූජිතා හොන්ති, සාහුනෙය්‍යකාති භික්ඛවෙ තානි කුලානි, යෙසං පුත්තානං මාතාපිතරො අජ්ඣාගාරෙ පූජිතා හොන්ති” යනුත්.
මහණෙනි! දූ පුතුන් විසින් මවුපියෝ සියගෙයි පුදන ලද්දාහු වෙත් ද ඒ කුලයෝ බ්‍රහ්මයා සහිතය හ, පූර්‍වාචාර්‍ය්‍යයන් සහිතය හ, ආහුනෙය්‍යයන් සහිතය හ, යනු එහි ඉතා කෙටි සිංහලය යි.
“බ්‍රහ්මාති මාතාපිතරො පුබ්බාචරියානි වුච්චරෙ,
ආහුනෙය්‍යා ච පුත්තානං පජාය අනුකම්පකා.
.
තස්මා හි නෙ නමස්සෙය්‍ය සක්කරෙය්‍යාථ පණ්ඩිතො,
අන්තෙන අථ පානෙන වත්‍ථෙන සයනෙන ච
උච්ඡාදනෙන නහාපනෙන පාදානං ධොවනෙන ච
.
තාය නං පරිචරියාය මාතාපිතුසු පණ්ඩිතා,
ඉධ චෙව නං පසංසන්ති පෙච්ච සග්ගෙ ච මොදති”
මවුපියෝ දූ පුතුනට බ්‍රහ්මයහ හි ද පූර්‍වාචාර්‍ය්‍යයහ යි ද ආහුනෙය්‍යයහ යි ද දූ පුතුනට අනුකම්පා කරන්නාහ යි ද කියනු ලැබෙත්.
එහෙයින් නුවනැත්තේ ඔවුන් නමදනේ ය. නැවැත ආහාරයෙන් පානයෙන් වස්ත්‍රයෙන් යහනින් ඇඟ ඉළීමෙන් නෑවීමෙන් පා දෙවීමෙන් සඞ්ග්‍රහ කරන්නේ ය.
මවු පියන් කෙරෙහි වූ ඒ මෙහෙ කිරීමෙන් නුවණැත්තෝ ඒ දූ පුතුන් පසසත්. ඔවුහු පරලොව ගියෝ ස්වර්‍ගයෙහි ද සතුටු වෙත්, යනු මෙහි අදහසි.
ශ්‍රද්ධා නැති මවුපියන් ශ්‍රද්ධාසම්පත්තියෙහි, මසුරුවූවන් ත්‍යාගසම්පත්තියෙහි, නුවණ නැත්තවුන් ප්‍රඥාසම්පත්තියෙහි පිහිටු වන්නේ ම මවුපියන් කළ උපකාරයට උපකාර කළේත් ප්‍රත්‍යුපකාර කළේත් එයට අධිකව උපකාර කළේත් වන්නේ ය යි දතයුතු ය.
සුඛා සාමඤ්ඤතා ලොකෙ = මහණුන් කෙරෙහි මනා සේ පිළිපැදීම සැප වේ.
සියලු දුක් ගෙවා නිවන් ලැබීමෙහි එක් ම බලාපොරොත්තු ඇති ව ගිහිබව හැර කිසිත් දැයෙක් නො ගැටී මහණදම් පිරීමෙන් පව් සන්සිඳුවීමෙහි යෙදුනෝ ශ්‍රමණයෝ ය. මෙහි උන්වහන්සේලාට සිවුපසයෙන් කරණ පුදසැලකිලි වැඳුම් පිදුම් ආදිය සාමඤ්ඤතා නම්. “සාමඤ්ඤතාති පබ්බජිතෙසු සම්මාපටිපත්ති” යනු කීයේ ඒ වග ය. [5] එසේ කරණු ලබන්නහුට ඒ පිදීම් වැඳීම් සැප පිණිස පවත්නා බැවින් මහණුන් කෙරෙහි මනා සේ පිළිපැදීම සැපය යි වදාළ සේක.
අතො බ්‍රහ්මඤ්ඤතා සුඛා = නැවැත රහතුන් කෙරෙහි මනා සේ පිළිපැදීම සැප වේ.
පව් බැහැර කළ මුළුමනින් පව් සෝදාහළ උත්තමයෝ බ්‍රාහ්මණයෝ ය. ඔවුහු නම් බුදු පසේ බුදු බුදුසව්වෝ ය. සිවුපසය පිදීමෙන් උන්වහන්සේලා පිළිදැගුම් කිරීම පොෂණය කිරීම මෙහි බ්‍රහ්මඤ්ඤතා නම්. “බ්‍රහ්මඤ්ඤතාති බාහිතපාපෙසු බුද්ධපච්චෙකබුද්ධ බුද්ධසාවකෙසු සම්මා පටිපත්තියෙව” යනු අටුවා.
සුඛං යාව ජරා සීලං = ජරාව තෙක් සීලය සැප වේ.
පන්සිල් - අටසිල් - දසසිල් ඈ හැම සීලයෙක් ජරාව තෙක් ම මහලු ව මැරෙණ තෙක් ම සැප වේ. “අනේ! මෙතෙමේ සිල්වතැ”යි දෙවියන් සහිත ලෝකයාගෙන් ලැබෙන පැසසුම් රැකුම් වැඳුම් පිදුම් ගරුබුහුමන් සීමා රහිත ය. දෙවියනට ප්‍රිය වූයේත් මිනිසුනට ප්‍රිය වූයේත් යක් රකුස් ඈනට ප්‍රිය වූයේ ත් සිල් ඇත්තේ ය. සිල්වත් තෙමේ ම සමාජයෙහි තේජස්වී ය. නො පසු බස්නේ ය. [6]
සුඛා සද්ධා පතිට්ඨිතා = ශ්‍රද්ධා ව පිහිටියා සැප වේ.
ලෞකික - ලෝකෝත්තර විසින් දෙ පරිදි වූ ශ්‍රද්ධා ව මනා ව පිහිටියා සැප වේ. [7]
සුඛො පඤ්ඤාය පටිලාභො = නුවණ ලැබීම සැප වේ.
ලෞකික - ලෝකෝත්තර ප්‍රඥාවගේ පිළිලැබීම සැප වේ. ලෞකිකකුශලචිත්තයන්හි යෙදෙන විදර්‍ශනාප්‍රඥාව ලෞකික ය. මගපල සිත්වල යෙදෙන ප්‍රඥාව ලෝකෝත්තර ය. ලෝකෝත්තර ප්‍රඥාප්‍රතිලාභයෙන් ම සසර දුක් නැසී යන්නේ ය. ලෝකෝත්තර ප්‍රඥාප්‍රතිලාභයට ලෞකිකප්‍රඥාව නිදොස් අරමුණෙහි ලා වැඩිය යුතු ය. [8]
පාපානං අකරණං සුඛං = පව් නො කිරීම සැප වේ.
පව් කිරීමට මුල් වන ලොභ - ද්වේෂ - මෝහයන් චතුර්විධමාර්‍ග ඥානයෙන් මුලසුන් කිරීම පව් නො කිරීම වේ. එය හැම සැපයකට මුල් වන්නේ ය. එහෙයින් පව් සිඳහැරීම සැපය යි වදාළ සේක.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝ දෙවියනට ධර්‍මාවබෝධය වූයේය.
මාරවස්තුව නිමි.