අප්පමාදරතො භික්ඛු පමාදෙ භයදස්සි වා
අභබ්බො පරිහාණාය නිබ්බාණස්සෙව සන්තිකෙ.
නොපමාබව්හි ඇලුනු, පමායෙහි බිය දක්නා සුලු මහණ තෙම (ශමථ විදර්‍ශනා කෙරෙත් හෝ මර්‍ගඵලාධිගමය කෙරෙන් හෝ) පිරිහීමට අයෝග්‍ය ය. හේ නිවන වෙතැම වෙයි.
එක්තරා අචස්ථාවෙක සම්මා සම්බුදු රජානන් වහන්සේ සැවැත්නුවර දෙව්රම්මහවෙහෙරැ චතුර්විධබ්‍රහ්මවිහරණයෙන් යුක්ත ව වැඩ වාසය කරණ සේක. ඒ කාලයෙහි සැවැත්නුවරට නො දුරෙහි වූ නියම්ගමෙක ඉපිද වැඩුනු කුලපුත්‍රයෙක් බුදු සසුනෙහි පැවිදි ව ලැබූ උපසම්පදා ඇති ව නිගමතිස්ස යන නමින් ප්‍රසිද්ධ විය. ‘නිගමතිස්ස ස්ථවිරයන් වහන්සේ අප්පිච්ඡතා ගුණයෙන් යුක්ත ය, ලද දෙයින් සතුටු වන්නාහ, මහත් විවේකයෙහි ඇලුනාහ, පටන්ගත් වීර්‍ය්‍යය ඇත්තාහ ’ යි ද ගම්රට පැතිර ගියහ. උන්වහන්සේ මෙසේ පතළා වූ ගුණ ඇති සේක් නෑයන් වසන ගමෙහි ම නිතර පිඬු සිඟා යන්නාහ. අනාථපිණ්ඩිකාදී වූ සිටුවරුන්ගේ දන් පිළිගන්නට, පසේනදිකොසොල් රජුගේ අසදෘශදානයට, සැවැත්නුවරට නො ද වැඩි සේක. අනික් දෙනා වහන්සේ ‘මේ නිගමතිස්ස ස්ථවිරයෝ හැම දා නෑ කුලයන් හා එක් ව වෙසෙති, අනාථපිණ්ඩිකාදීන් දන් දෙන තැනකට වත් කොසොල්රජු ගේ අසදෘශදානයට වත් නො ද එති ’ යි උනුන් හා කතා කොට එය බුදුරජානන් වහන්සේට ද දන්වා සිටියාහ.
එවිට බුදුරජානන් වහන්සේ නිගමතිස්ස තෙරුන් ගෙන්වා ‘මහණ! තමුසේ මෙසේ කරහු සැබෑ දැ ’ යි අසා වදාළ සේක. ‘තිලෝගුරු හිමියනේ! මම එසේ නො කරමි, නෑයන් හා එක් ව විසීමෙක් මාගේ නැත, මම මේ මිනිසුන්ගෙන් බත්ටිකක් සිඟා ගෙණ වළඳා ජීවත් වෙමි, ඒ බත රළු වුවත් මිහිරි වුවත් මට කම් නැත, ඒ ගැන මාගේ තැකීමෙක් නැත, දැහැමිලෙසින් මට සෑහෙන පමණට බත්ටිකක් ලැබුනු විට, ඉන් එහාට බත් සෙවීමෙක් නැත, මම වැඩිපුර සොයන්නට, මිහිරි දේ සොයන්නට කො තැනකත් නො යමි, ලද දෙයින් සතුටු වෙමි, මා පිය බුදුරජානන් වහන්ස! මෙසේ මුත් නෑයන් හා එක්වීමෙක් මාගේ නැතැ ’ යි කී විට බුදුරජානන් වහන්සේ ප්‍රකෘතියෙන් ම ඔහුගේ අදහස දන්නා සේක් සාධුකාර දී ‘මහණ! මා වැනි ගුරුවරයකු ලත් තමුසේගේ මේ අප්පිච්ඡතාගුණය එතරම් පුදුම නො වේ, මේ ගුණය, මා අයත්, මාගේ පරපුර බැවිනැ ’ යි වදාළ සේක. ඉක්බිති භික්‍ෂූන් විසින් ආරාධිත වූ බුදුරජානන් වහන්සේ නිගමතිස්ස ස්ථවිරයන් වහන්සේගේ පූර්‍වචරිතය මෙසේ වදාළ සේක.
‘යටගිය දවස හිමාලයවනයෙහි ගංඉවුරක ඉඹුල්වනයෙක් පිහිටා තුබුනේ ය, එහි දහස් ගණන් ගිරාපක්‍ෂීහු වාසය කළහ, උන් අතරෙහි විසූ එක් ගිරාරජෙක් තමන් විසූ ගසෙහි ගෙඩි. අවසන් වූ කල්හි එහි ගිරඬ කොළ පතුරු ආදී වූ යමක් ඉතිරි ව තුබුනේ නම්, ඒවා කා ගඟින් පැන් බී අප්පිච්ඡතා සන්තුට්ඨිතා ගුණයන්ගෙන් යුක්ත ව අන් තැනක නො ගොස් එහි ම වසයි, මෙසේ කල් යවන මේ ගිරාරජුගේ අප්පිච්ඡතා සන්තුට්ඨිතා. ගුණයන්ගෙන් ශක්‍රභවනය සැලී ගියේ ය, එකල සක්දෙව් රජ ඒ ගිරවා දැක විමසා බලන්නට ඌ හුන් ඒ ඉඹුල්ගස වියලවා හැරියේ ය, ඉඹුල්ගසෙහි කඳ පමණක් ඉතිරි කෙළේ ය, එහි ද හැම තැනැ ලොකු කුඩා සිදුරු විය, හුළං හමනා විට එයින් ශබ්දය නිකුත් වේ, සිදුරුවලින් කුඩු කඩා හැළේ, ගිරාරජ තෙමේ ඒ කුඩු අනුභව කොට පැන් බී අන් තැනක නො ගොස් අවු සුළං ගැණ නො සලකා ඉඹුල්කඳඋඩ හිඳියි, එවිට සක්දෙව් රජ තෙමේ ‘මූ ඉතා උසස් අප්පිච්ඡභාවය ඇත්තෙකැ ’ යි දැන මිත්‍ර ධර්‍මයෙහි ගුණ කියවා වරයක් දී ඉඹුල්ගෙඩි, අමාගෙඩි කොට එමි ’ යි සිතා හස්රජෙක් ව සුජාතාවන් ඉදිරියෙහි කොට ඉඹුල්වනයට ගියේ ය, එහි නො දුරු තැනක ගසක අත්තක හිඳ ඌ හා කතාවට පටන්ගෙණ ‘නිල්වන් කොළවලින් ගැවසුනු ගෙඩිවලින් කිසිත් අඩුවක් නැති නොයෙක් ගස් ඇත්තේ ය, එසේ ගෙඩිවලින් බර වූ ගස් තිබියදී කුමක් නිසා වියලී ගිය කොළපුවෙක මේ ගිරවාගේ සිත ඇලුනේ දැ ’ යි ඇසී ය, (ජාතකය ජාතක පාළියෙහි එයි. අර්‍ත්‍ථොත්පත්තිය පමණකි වෙනස්) යි.
තිලෝගුරු සම්මා සම්බුදු රජානන් වහන්සේ මේ ධර්‍මදේශනා ව මෙසේ ගෙන හැර දක්වා ‘මහණෙනි! ඒ කාලයෙහි ශක්‍රයා වූයේ මේ ආනන්‍ද තෙමේ ය, ගිරාරජ වූයේ මම ය, අප්පිච්ඡතා තොමෝ මාගේ පරපුරය, මා වැනි ගුරුවරයකු ලත් මේ නිගමතිස්ස තැනගේ අප්පිච්චතාව පුදුම එකෙක් නො වේ, මහණහු මේ නිගමතිස්ස තැන වැනි අප්පිච්ඡතාවය ඇත්තකු විය යුතු ය, මෙ බඳු භික්‍ෂු තෙමේ මාර්‍ගයන්ගෙන් පිරිහීමට සුදුසු නො වේ, මෙ තෙමේ මාර්‍ග ඵලයන්ගෙන් නො පිරිහේ, මෙ බඳු මහණ තෙමේ එකාන්තයෙන් නිවන සමීපයෙහි ම ය ’ යි මේ ධර්‍මදේශනා ව කළ සේක:-
අප්පමාදරතො භික්ඛු පමාදෙ භයදස්සී වා,
අභබ්බො පරිහානාය නිබ්බාණස්සෙ ව සන්තිකෙ ති.
නො පමාබවෙහි ඇලුනු පමාබවෙහි බිය දක්නා සුලු මහණ තෙමේ පිරිහීමට නො සුදුසු ය. (ඔහු) නිර්‍වාණයාගේ සමීපයෙහි ම වේ.
අප්පමාදරතො = නො පමා බවෙහි ඇලුනු.
භික්ඛු = මහණ තෙමේ
පමාදෙ භයදස්සී වා = පමා බවෙහි බිය දක්නා සුලු.
අභබ්බො පරිහානාය = පිරිහීමට නො සුදුසු ය.
නො පමා බවෙහි ඇලුනු පමාබවෙහි බිය දක්නා සුලු මහණ තෙමේ ශමථ-විදර්‍ශනා මාර්‍ග-ඵලයන්ගෙන් පිරිහීමට සුදුසු නොවේ. අප්‍රමාදගුණයෙන් යුත් මහණ තෙමේ ශමථ-විදර්‍ශනාධර්‍මයෙන් හෝ මාර්‍ගඵලාධිගමයෙන් හෝ පිරිහීමට යොග්‍ය නො වේ.
පංචනීවරණාදික්ලේශධර්‍ම සංසිඳවනු පිණිස පඨවිකසිණාදී වූ අටතිස් අරමුණෙන් එකෙක සිත නවතා සිත බැඳ, එහි සිත දියුණු කිරීම වැඩීම ‘ශමථ ’ නම්. (විස්තර ඉදිරියෙහි ය)
ලෝකය පුරා පවත්නා සකලසංස්කාරයන් පිළිබඳ අනිත්‍ය-දුඃඛ-අනාත්ම යන ලකුණු තුනෙන් එකක් හෝ තුන ම හෝ සිතට කා වද්දා ගෙණ ඒ ගත් ලකුණෙහි සිත පුරුදු කිරීම සිත වැඩීම ‘විදර්‍ශනා ’ නම්. (විස්තර ඉදිරියෙහි එන්නේ ය.)
මේ තෙමේ ලැබු ගුණයෙන් නො පිරිහෙයි. නො පත් ගුණයන්ට පැමිණෙයි.
නිබ්බාණස්සඑව සන්තිකෙ = නිර්‍වාණයාගේ සමීපයෙහි ම වේ. [1]
ලැබූ ගුණයෙන් මුදුන් පෙත්තට නැගී නො ලැබූ ගුණ හැම එකක් ලබා ක්ලේශපරිනිර්‍වාණයාගේ හා අනුපාදාපරිනිර්‍වාණයාගේ සමීපයෙහි වන්නේය, යනු අදහසි. සියලු කෙලෙස් මුලින් සිඳලන්නට අර්‍හත්මාර්‍ගඥානයට අරමුණු වන ශාන්තධර්‍මය ක්ලේශ පරිනිර්‍වාණ නමි. සොපාදිශෙෂනිර්‍වාණැ යි කියනු ලබන්නේත් මේ ය. මෙය රහතුන් වහන්සේගේ මරණින් මතු අනුපාදාපරිනිර්‍වාණ නම් වේ. අනුපාදිශෙෂනිර්‍වාණැ යි කියනු ලබන්නේත් මේ ය. (විස්තර ඉදිරියෙහි එන්නේ ය)
නො පමාබවෙහි ඇලුනු පමාබවෙහි බිය දක්නා වූ මහණ තෙමේ පැමිණි ගුණයන්ගෙන් නො පිරිහී නො පැමිණි ගුණයන්ට පැමිණීමෙන් ක්ලේශපරිනිර්‍වාණයාගේ හා අනුපාදාපරිනිර්‍වාණයාගේ සමීපයෙහි ම වන්නේය යි වදාළ සේක.
‘එව’ යනු නිපාත යි. අවධාරණාර්‍ත්‍ථ ඇත්තේ ය.
‘පුබ්බෙව මෙ හික්ඛෙව! සම්බොධා අභිසම්බුද්ධස්ස බොධිසත්තස්සෙව සතො එතදහොසි’ යනාදි තන්හි සේ ය.
එව ශබ්දය, විශෙෂ්‍යයාකෙරෙන් පරව යෙදුනේ විශෙෂ්‍යසඞ්ගත ය. ඒ ම අන්‍යයෝග ව්‍යවච්ඡෙදක නම් වේ. ‘සුගත එව සර්‍වඥඃ’ යන මෙහි වූ එව ශබ්දය සර්‍වඥභාවය සුගතයන් වහන්සේ කෙරෙහි මුත් අන්‍ය වූ කණභක්‍ෂ-අක්‍ෂපාදාදීන් කෙරෙහි නො වන්නේ ය යි ඔවුන් කෙරෙහි සර්‍වඥභාවය වළකනලද ය. එව ශබ්දය විශේෂණයා කෙරෙන් පරව යෙදුනේ විශේෂණ සඞ්ගතය ඒ ම අයොග්‍යව්‍යවච්ඡෙදක නම් වේ. ‘නන්‍දො වීතරාග එව’ යන මෙහි වූ එව ශබ්දය නන්‍ද ස්ථවිරයන් වහන්සේගේ වීතරාගත්‍වය වළකන ලද්දේ නමුත් රාහුලභද්‍රාදීන්ගේ වීතරාගත්‍වය නො වළකන ලද ය. එව ශබ්දය ක්‍රියාපදයකින් පරව යෙදුනේ ක්‍රියාසඞ්ගත ය. ඒ ම අත්‍යන්තායෝගව්‍යවච්ඡෙදක නම් වේ. ‘නීලං සරොජං අසති එව’ යන මෙහි වූ එම ශබ්දය නිල්පියුමක්හුගේ නාස්තිත්‍වයෝගය අතිශයින් වළකන ලද ය.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි නිගමතිස්ස ස්ථවිරයන් වහන්සේ සිවුපිළිසැඹියාවන් සමග රහත් බවට පැමිණි සේක. අන් බොහෝ භික්‍ෂූහු ද සෝවන්ඵලාදියට පැමිණියෝ ය. දේශනාතොමෝ මහාජනයාට වැඩ සහිත වූය.
නිගමතිස්ස ස්ථවිර වස්තුව නිමි.
1-14 ‘ධම්මස්ස ’ යනු බලනු. ↑