න හි එතෙහි යානෙහි ගච්ඡෙය්‍ය අගතං දිසං
යථාත්තනා සුදන්තෙන දන්තො දන්තෙන ගච්ඡති.
මහණ තෙම (පූර්‍වභාගයෙහි ඉන්‍ද්‍රිය දමනයෙන්) දැමුනු, (අපර භාගයෙහි අරීමඟ වැඩීමෙන්) මනා වැ දැමුනු සිතින් දාන්ත වූයේ, සිහිනෙනුදු නොගිය විරූ (දාන්තභූමි වූ) නිවන දෙසට යම්සේ යේ ද, එසේ මේ (ඇත් අස් ආදි) යානවලින් යෑ හැකි නො වන්නේ ය.
පෙර ඇතැදුරෙක් වූ මහණෙක් දවසක් තවත් මහණුන් ද කැටුව අචිරවතී ගංඉවුරට ගියේ එහිද ඇතුන් හික්මවන්නකු දුටුයේ ය. තමන් අදහස් කළ කරුණු ඇතුට උගන්වාලන්නට නො සමත් වූ ඇතරුවා දුටු ඒ මහණ තමන් ලඟ සිටි මහණුන් අමතා “ඇවැත්නි! මේ ඇතු හික්මවන්නා ඇතුගේ අසවල් තැනට හෙණ්ඩුවෙන් විදින්නේ නම් ඔහුට තමන් අදහස් කළ කරුණු වහා ම ඇතුට උගන්වා ගත හැකි ය”යි කීයේ ය. ඇතුරුවා ද මේ මහණහු කියූ ඒ කතාව අසා සිට එසේ කොට ඇතු හික්මවා ගත්තේ ය. එහි සිටි සෙසු මහණෝ පෙරළා අවුත් මේ පුවත බුදුරජාන් වහන්සේට සැලකළහ. උන්වහන්සේ ඒ මහණ ගෙන්වා “මහණ! තා මෙසේ කීයේ හැබෑදැ?”යි අසා වදාළ කල්හි “ස්වාමීනි! හැබෑ ය” යි පිළිතුරු දුන්නේ ය. ඉක්බිති බුදුරජානන් වහන්සේ “මොඝ පුරුෂය! තට දැමුනු ඇත් යානයෙන් හෝ ඉන් අන් යානයකින් හෝ ඇති ඵලය කුමක්ද, තෝ මේ යානයන්ගෙන් මෙතෙක් නො ගිය විරූ තැනට යන්නට සමර්‍ත්‍ථ නො වූයෙහි ය, එහෙයින් ඇතු දමන්නට ගුරුහරුකම් කියා පෑමෙන් තට ඇති වැඩේ කුමක් ද, තා විසින් කළ යුත්තේ තමා දැමීම ය, තමා හික්මවා ගැණීම ය, එසේ කරන්නැ”යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක.
න හි එතෙහි යානෙහි ගච්ඡෙය්‍ය අගතං දිසං,
යථාතත්තනා සුදන්තෙන දන්තො දන්තෙන ගච්ඡතීති.
දැමුනු පුරුෂ තෙමේ, දැමුනු ඉතා හොඳින් දැමුනු සිත කරණකොට නො ගිය විරූ දෙසට යම්සේ යේ ද, එසේ මේ යානයන්ගෙන් නො ම යන්නේ ය.
න හි එතෙහි යානෙහි ගච්ඡෙය්‍ය අගතං දිසං = මේ ඇත් - අස් ඈ යානයන්ගෙන් නො ගිය විරූ නිවන් දෙසට නො ම යන්නේ ය.
එතෙහි, යන්නෙහි ප්‍රකෘතිය ‘එත’ යනු ය. එය භාෂායෙහි යෙදෙනුයේ මදක් ඈත්හි එහෙත් ඇසට පෙණෙන වස්තූන් දැක්වීම පිණිස ය. ‘ඉම’ ශබ්දය ලඟ කියන්නේ ය. ‘එත’ ශබ්දය එයට වඩා මඳක් ඈත කියන්නේ ය.
“එතසද්දෝ සමීපවචනො, ඉමසද්දො අච්චන්තසමීපවචනො” යනු ශාබ්දික වචනයි.
යමකින් යේ නම් ඒ යාන. වාහන යොග්ග යනාදීහු ද යානාර්‍ත්‍ථයෙහි යෙදෙන්නෝ ය. ඇත් - අස් ඈ යානයන්හි වැටෙත් වහන් ද මෙහි ඇතුළත් ය. “යානං හත්‍ථාදි, අන්තමසො උපාහනං උපාදාය” යනු කීයෝ එහෙයිනි.
මෙහි නිවන “අගතං දිසං” යි වදාළ සේක. කිසිම පුද්ගලයකු විසින් සිහිනෙනුදු නො ගිය විරු තැන ‘අගත’ නම්. “කෙනචි පුග්ගලෙන සුපිනන්තෙනපි අගත පුබ්බත්තා අගතන්ති සඞ්ඛාතං නිබ්බානදිසං” යනු අටුවා.
යථා අත්තනා සුදන්තෙන දන්තො දන්තෙන ගච්ඡති = දැමුනු පුරුෂ තෙමේ ඉතා හොඳින් දැමුනු සිත කරණකොට යම්සේ යේ ද.
ප්‍රථමාර්‍ධය හා එක් කොට අරුත් ගන්නේ ය. දන්තෙන = පූර්‍වවස්ථායෙහි ඉන්‍ද්‍රිය දමනයෙන් දැමුනු, සුදන්තෙන = අපරභාග = යෙහි ආර්‍ය්‍ය මාර්‍ග භාවනායෙන් ඉතා හොඳින් දැමුනු, අත්තනා = සිත කරණකොට, දන්තො = දැමුනු නුවණැත් පුද්ගල තෙමේ දන්ත භූමියට යමසේ යන්නේ ද ඇත් - අස් ඈ කිසිත් යානයකින් ඒ නො ගිය විරූ දන්ත භූමියට කිසිවකුටත් යා නො හැකි ය.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවන් ඵලාදියට පැමිණියාහු ය.
හස්තාචාර්‍ය්‍යපූර්‍වක භික්‍ෂු වස්තුව නිමි.