23-1 මාගන්‍දිය අල්ලස් දී කළ ගැහැට

අහං නාගො’ව සඞ්ගාමෙ චාපතො පතිතං සරං.

අතිවාක්‍යං තිතික්ඛිස්සං දුස්සීලො හි බහුජ්ජනො.

යම් හෙයකින් ලෞකික මහ ජන තෙම ශීලසංවරයෙන් විනිර්මුක්ත ද එ හෙයින් දුන්නෙන් ගිලිහී තමන් වෙරැ හුණු ශරප්‍රහාරයන් ඉවසන ඇතකු මෙන් මම් (මෙරමාගේ) රළු බස් ඉවසමි.

දන්තං නයන්ති සමිතිං දන්තං රාජා’භිරූහති

දන්තො සෙට්ඨො මනුස්සෙසු යො’තිවාක්‍යං තිතික්ඛති.

බොහෝ දෙනා රැස් වන තැනකට දැමුනු සතකු පමුණුවත්, රජ ද දැමුනු ඇතකු හෝ අසකු පිට නගී. යමෙක් රළු බස් ඉවසා ද හෙ තෙම සිවු අරියමගින් දාන්ත වූයේ මිනිසුන් අතුරෙහි උතුම් වෙයි.

වරමස්සතරා දන්තා ආජානීයා ච සින්‍ධවා

කුඤ්ජරා ච මහානාගා අත්තදන්තො තතො වරං.

අශ්වතරයෝ ද දැමුනාහු මැ උතුම් වෙත්. අජානේය නම් අශ්වයෝ ද දැමුනාහු උතුම් වෙත්. සෛන්‍ධව අශ්වයෝ ද දැමුනාහු මැ උතුම් වෙත්. ඇත්තු ද දැමුනාහු මැ උතුම් වෙත්. ඔවුන් හැම දෙනාට වඩා තමා දමනය කරණ ලද්දේ උතුම් වෙයි.

අප්‍රමාද වර්‍ගයෙහි එන මාගන්‍දිය කථායෙහි කියූ පරිදි මාගන්‍දී තොමෝ කිසිවක් කර ගත නො හී ශ්‍රමණගෞතමයාහට කළ යුත්ත කරන්නෙමි’යි නුවර වැස්සන්හට “ශ්‍රමණගෞතම නුවර තුළට වැද හැසිරෙණු දුටුවොත් ඔහු අල්ලා ඔහු ඉදිරිය‍ට ගොස් දැසිදැස්කම්කරුවන් හා එක් ව ඇණුම් බැණුම් කොට නුවරින් පන්නා හරිවු’යි අල්ලස් දුන්නී ය.

තුනුරුවන්හි නො පහන් අල්ලසට ගිජු වූ මිසදිටුවෝ නුවරට වන් බුදුරජුන් දැක, ලුහුබැඳ පසුපස්සේ යමින් “සොරෙක්, බාලයෙක්, මූඪයෙක්, ඔටුවෙක්, ගොනෙක්, කොටළුවෙක්, තිරිසනෙක් වෙහි, තට සුගතියක් නැත, දුගතිය ම කැමැති විය යුතු ය”යි දශ ආක්‍රෝශ වස්තුවෙන් ආක්‍රෝශ කරන්නට පරිභව කරන්නට පටන් ගත්හ. ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ එයසා බුදුරජුන්ට ලංව “ස්වාමීනි! මෙනුවරුන් කරණ මේ ඇණුම් බැණුම් ඉවසනු බැරි ය, එහෙයින් අන් නුවරකට වඩිනා සේක්වා”යි දන්වා සිටි කල්හි “ආනන්‍ද! යන්නමෝ කොතැනක දැ?”යි අසා වදාළ සේක. “ස්වාමීනි! කොතැනක හෝ අන් නුවරකට යමු”යි කීහ. “හා හොඳයි, ආනන්‍ද! එහිදීත් මිනිසුන් ඇණුම් බැණුම් කළොත් එතැනදී කොතැනක යන්නමෝ දැ?”යි අසා වදාළ විට ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ එවරත් අන් නුවරකටැ,යි කීහ. “ආනන්‍ද! එසේ යනු නො හැකි ය, එය කළ නො හැකි ය, සුදුසු ද නො වේ, යම් තැනක අධිකරණයෙක් උපන්නේ නම් එහි දී ම ඒ අධිකරණය සන්සිඳවා ඉන්පසු අන් තැනකට යා යුතු ය”යි වදාරා “ආනන්‍ද! ඇණුම් බැණුම් කරන්නෝ කවුරුහ?”යි ඇසූහ. “ස්වාමීනි! දැසිදස් කම්කරු පටන් හැම කෙනෙක් ම ඇණුම් බැණුම් කරති”යි කීහ. “ආනන්‍ද! යුදබිමට වන් ඇතු සිවු දිගින් එන සියලු ඊ පහර ඉවසිය යුතු ය, එය ඌ අයත් ය, එමෙන් බොහෝ දුසිල් මිනිසුන් විසින් කරණ කියන ඇණුම් බැණුම් ඉවසීම මා අයත් ය”යි වදාරා තමන් වහන්සේ ඇරැබැ දහම් දෙසන සේක් මේ ධර්‍මදේශනාව කල සේක.

අහං නාගොව සඞ්ගාමෙ චාපාතො පතිතං සරං,

අතිවාක්‍යං තිතික්ඛිස්සං දුස්සීලො හි බහුජ්ජනො.

.

දන්නං නයන්ති සමිතිං දන්නං රාජාහිරූහති,

දන්නො සෙට්ඨො මනුස්සෙසු යොතිවාක්‍යං තිතික්ඛති.

.

වරමස්සතරා දන්නා ආජානීයා ච සින්‍ධ වා,

කුඤ්ජරා ච මහානාගා අත්තදන්තො තතො වරන්ති.

යම් හෙයකින් බොහෝ වූ මහාජන තෙමේ දුශ්ශීල වේ ද, (එහෙයින්) යුදබිම දී දුන්නෙන් ගිලිහී අවුත් ඇඟ හුනු ඊතරලය (ඉවසන) ඇතකු මෙන් මම (අනුන් කියන) රළුබස් ඉවසන්නෙමි.

දැමුනු ඇතු හෝ අසු සමිතියට පමුණු වත්. රජ තෙමේ ද දැමුනු ඇතුට හෝ අසුට නගි යි. යමෙක් රළුබස් ඉවසා ද දැමුනා වූ හෙතෙමේ මිනිසුන් අතුරෙහි ඉතා උතුම් වේ.

අශ්වතරයෝ ද ආජානීය අශ්වයෝ ද සෛන්‍ධවයෝ ද කුඤ්ජර නම් වූ මහාඇත්තු ද දැමුනාහු ම උතුම් වෙත්. ඒ හැමට වඩා තමා දැමුනේ ම උතුම් වේ.

අහං නාගො ඉව සඞ්ගාමෙ චාපාතො පතිතං සරං අතිවාක්‍යං තිතික්ඛිස්සං = යුදබිම දී දුන්නෙන් ගිලිහී අවුත් (ඇඟ වැදුනු) ඊතලය (ඉවසන) ඇතු මෙන් මම රළුබස් ඉවසන්නෙමි.

නාග යනු මෙහි ඇතුන් කෙරෙහි වැටේ. මුන්ගේ ඉපැත්ම බොහෝ සෙයින් කඳුහෙල් සමීපයෙහි වන බැවින් ඇත්තු ‘නාග’යි හඳුන්වනු ලැබෙත්. නාග යනු අනික් ශබ්දයක් හා සමස්ත ව පර ව සිටියේ ශ්‍රේෂ්ඨාර්‍ත්‍ථය කියන්නේ ය. පුරුෂ ශ්‍රේෂ්ඨ තෙමේ පුරිසනාග නම්.

සඞ්ගාම නම්: යුදබිම ය. චාප නම්: දුන්න ය. සර නම්: ඊතල ය. අතිවාක්‍ය නම්: අනාර්‍ය්‍යව්‍යවහාර ය. “යා වාචා ලාමක රනෙහි වුත්තා වීතික්කමදීපනී අජ්ඣාචාරවීතික්කමසාධනී, සා වාචා අරියජනෙහි වත්තබ්බමරියාදාතික්කමන්තො අතිවාක්‍යං” මැනැවින් හැදී වැඩී ගිය ආර්‍ය්‍යජනයනගේ උතුම්බස් ඉක්ම වූ පහත් මිනිසුන්ගේ, ගුණනුවණින් නො වැඩුනවුන්ගේ මමච්ඡෙදක පරා පෙළන පරොස්බස් අතිවාක්‍ය නැමැයි මෙයින් පැහැදිලි ය. [1]

“යථා සඞ්ගාමාවචරො සුදන්තො මහානාගො ඛමො සත්තිප්ප හාරාදීනං චාපතො මුඤ්චිත්‍වා අත්තනි පතිතෙ සරෙ අවහඤ්ඤමානො තිතික්ඛති, එවමෙවං අතිවාක්‍යං තිතික්ඛිස්සං සහිස්සන්ති” යනු අටුවා. යම්සේ යුද්ධයෙහි දක්‍ෂ වූ යුද පුහුණු කළ මොනවට දැමුනු මහා ඇත් තෙමේ කඩු අඩයටි තෝමර සැත් පහර ඉවසා ද, දුන්නෙන් මිදී අවුත් තමා ඇඟ වැටුන ඇඟ වැදුනු ඊතල නො සැලී නො හැපෙමින් ඉවසා ද එපරිද්දෙන් අනුන් කියන පරොස්බස්ඉවසන්නෙමි, යනු ‘තිතික්ඛිස්සං’ යනු මෙහි අරුත්. [2]

දුස්සීලො හි බහුජ්ජනො = යම් හෙයකින් බොහෝ වූ මහාජන තෙමේ දුශ්ශීල වේ ද.

දුශ්ශීල වූ මේ ලෝකීය මහාජනයා තමන්ට රිසි පරිදි කටට නැගෙන නැගෙන සේ පරොස්බස් නපුරු වචන කියා මා ගටමින් හැසිරේ නම් ඔවුන් කියන ඒ පරොස්බස් ඉවසීම එහිලා මැදහත් වීම මා අයත් ය. ලෝකීය මහාජනයා බොහෝසෙයින් දුශ්ශීල බැවිනි. [3]

දන්තං නයන්ති සමිතිං = දැමුනහු සමිතියට පමුණු වත්.

මෙහි දන්ත, යන්නෙන් ගැණෙනුවෝ මැනැවින් හික්මුනු හිමියාගේ බස් දැන හැසිරෙණ කීකරු හීලෑ ඇත් - අස් ගෙරිසරක් ආදීහු ය. සමිති නම්: බොහෝ දෙනාගේ එක්වීම් ය. බොහෝ දෙනා එක් වන තැන් ද ගැණේ. උයන් කෙළි ආදියෙහි බොහෝ දෙනා රැස් වූ තැනට යන්නෝ, හොඳට හික්මුනු හීලෑ වූ ඇත් - අස් ආදීන් යෙදූ රියෙන් යන්නෝ ය. “උය්‍යාන කීළා මණ්ඩලාදීසු හි මහාජනමජ්ඣං ගච්ඡන්තා දන්තං එව ගොණජාතිං වා අස්ස ‍ජාතිං වා යානෙ යොජෙත්‍වා නයන්‍ති” යනු අටුවා.

දන්තං රාජා අභිරූහති = රජ තෙමේ දැමුනහු පිට නගියි.

රජුන් විසින් ධනිකයන් විසින් වාහන වශයෙන් ගණු ලබන්නෝ ද කීකරු වූ කලබල නැති ඇත් අස් ආදීහු ම ය.

දන්තො සෙට්ඨො මනුස්සෙසු යො අතිවාක්‍යං තිතික්ඛති = යමෙක් රළුබස් ඉවසා ද දැමුනා වූ හෙතෙමේ ඉතා උතුම් වේ.

දැමුනු හික්මුනු හොඳට ගුණයෙන් වැඩුනු මිනිසුන් අතුරෙහිදු ශ්‍රේෂ්ඨ වනුයේ සිවු මගින් කෙලෙස් නැසූයේ ය. හේ ය පරොස් බස් ඉවසීමෙහි ඉතා සමත්. “මනුස්සෙසුපි චතූහි අරියමග්ගෙහි දන්තො නිබ්බිසෙවනොව සෙට්ඨො” යනු අටුවාව එය කියා.

සෙට්ඨො යනු ‘සෙය්‍යො’ යනුසේ ය. ඉට්ඨ ප්‍රත්‍යය විසින් වෙනසි. [4] මනුස්ස නම්: ස්මෘති - ශූරභාව - බ්‍රහ්මචර්‍ය්‍යාදී වූ ගුණයන්ගෙන් තෙද ගැණුනේ ය. [5]

වරං අස්සතරා දන්තා ආජානීයා ච සින්‍ධවා කුඤ්ජරා ච මහා නාගි= අශ්වතරයෝ ද ආජානීය අශ්වයෝ ද සෛන්‍ධවයෝ ද කුඤජර නම් මහා හස්තීහු ද දැමුනාහු උතුම් වෙත්.

එහි අස්සතර නම්: කොටළුව දාව වෙළෙඹ ‍කුස උපන් අශ්ව තෙමේ ය. [6] අසුන් හික්මවන්නහුගේ අදහස් දැන ඒ අනුව වහා ක්‍රියා කරණ අශ්ව, ආජානීය නම්. [7] සින්‍ධු දේශයෙහි උපන් අශ්ව, සින්‍ධව නම්. කුඤ්ජ නම් ඇත්හනු හෝ ඇත් දත් ය. හනු හෝ දත් ඇතියේ කුඤ්ජර. පොළොව සාරණුයේ හෝ කඳුමුදුන්හි ඇලුනේ හෝ කුඤ්චනාද කරණුයේ හෝ කුඤ්ජර යි ද කියනු ලැබේ. මහත් සිරුරක් ඇති ඇත්තෙමේ ය හේ. ‘කුඤ්ජර සඞ්ඛාතා මහානාගා”යි කීයේ එහෙයිනි. කුඤ්ජර ශබ්දය අනික් පදයක් හා පරව යෙදුනේ ශ්‍රේෂ්ඨාර්‍ත්‍ථය දෙන්නේ ය. මෙ කියූ අශ්වතරයෝ සෛන්‍ධවයෝ ආජානෙයයෝ කුඤ්ජර නම් මහාහස්තීහු දැමුනෝ ම හීලෑ වූවෝ ම උතුම් ය. නො දැමුනෝ උතුම් නො වෙත්.

අත්තදන්තො තතො වරං = ඒ හැමට වඩා තමා දැමුනේ උතුම් වේ.

ඔවුන් හැම දෙනාට වඩා චතුර්විධ මාර්‍ගයෙන් තමා දමනය කළමින්ස් තෙමේ ම ඉතා උතුම් වේ. මෙතෙමේ ම දුශ්ශීල දුෂ්ටලෝකයාගේ ඇණුම් බැණුම් නො සැලී නො කිපී ඉවසීමෙහි සමර්‍ත්‍ථ වන්නේ ය.

ධර්‍මදේශනාවගේ අවසානයෙහි අල්ලස් ගෙණ මාවත් කඩපිල් දෙමං තුන්මං සිවුමං හන්දිවල සිටි ඇණුම් බැණුම් කළ හැම දෙන සෝවන් පලයට පැමිණියහ.

තමන් ඇරැබැ වදාළ ධර්‍මකථා වස්තුව නිමි.

  1. 13-9 ‘එකං ධම්මං අතිතස්ස’ යනු බලනු.

  2. 14-4 ‘තපො තිතික්ඛා’ යනු බලනු.

  3. 12-6 ‘යස්ස අවචන්තදුස්සීල්‍යං’ යනු බලනු.

  4. 22-6 ‘සෙය්‍යො’ යනු බලනු.

  5. 1-13 ‘සුගතිං’ යනු බලනු.

  6. 1 ‘යුක්තිකල්පතරුව’ යනු බලනු.

  7. 14-7 ‘පුරිසාජ‍ඤ්ඤො’ යනු බලනු.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.