ධනපාලකො නාම කුඤ්ජරො කටුකප්පභෙදනො දුන්නිවාරයො.
බද්ධො කබලං න භුඤ්ජති සුමරති නාගවනස්ස කුඤ්ජරො.
ධනපාලක නම් (මාතෘපෝෂක) ඇත් තෙම දෙකන් සිලින් වැහෙන තීව්‍ර වූ මද ඇත්තේ, කිසිවක්හු විසින් නොවැළැකිය හැකි වූයේ, (ඇත්හලට ගෙණවුත් විසිතුරු තිරයෙන්) පරික්‍ෂිප්ත කරණ ලදුයේ, (රජහු එළැවූ නොයෙක් රසවුලෙන් යුත්) රාජ භෝජනය පවා (මාතෘවියෝගයෙන් දුඃඛිත බැවින්) නො කන්නේ ය. ඒ ඇත් තෙම (මව වසන) නාගවනය ම සිහි කරන්නේ ය.
එදා, සැවැත් නුවර අටලක්‍ෂයක් පමණ මුදලින් පොහොසත් වූ බමුණෙක් විසූයේ ය. ඒ බමුණු, වැඩි විය පැමිණි තමන් ගේ පුතුන් සතර දෙනාට තමනට කැපෙන බමුණු කුලවලින් ම සරණ පාවාදීලා එකෙකාට ලක්‍ෂය බැගින් සාරලක්‍ෂයක් දායා ද කොට ද දුන්නේ ය. ටික දවසක් ගිය තැන ඔහුගේ අඹු ද කලුරිය කළා ය. එකල්හි පුත්තු සතර දෙන එක් තැන් ව “යම්ලෙසකින් පියා අන් අඹුවක ගෙණායේ නම් ඇය කුසැ උපදිනවුනටත් අපට මෙන් දායාද දෙන්නේ ය, එසේ වී නම් අපගේ කුලයත් බිඳ වැටෙන්නේ ය. අපට ම ලැබෙන්නට තිබෙන ඉතිරි සාරලක්‍ෂයත් නො ලැබී යන්නේ ය, එහෙයින් අපි ම පියාට උවටැන් කරමු”යි නියම කොට ගෙණ ඒ සතර දෙන ඉතා ආදරයෙන් සැලකිලි දක්වා කවමින් පොවමින් ඇඳුම් පැලඳුම් රෙදිපිළී සපයා දෙමින් නෑවීම් සේදීම් අත්පා මැඩීම් තෙල් ගැල්වීම් හිස පීරීම් ඈ කරමින් ටික දවසක් උවැටන් කළහ.
දවසක් බමුණු දාවල නිදා හිඳ නැගිට සිටි කල්හි ඔවුහු සිවු දෙන බමුණාට ලංව අත් පා මඩිමින් එකෙකා වෙන වෙන ම ගෙයි විසීමෙහි දොස් කියා “අපි ඔබවහන්සේට මේ දැන් කරණ ලෙසට දිවි තිබෙන තුරු උවැටන් කරන්නෙනමු, ඔබ අතේ ඉතිරි ව තිබෙන මුදල් දෙන්නැ”යි ඉල්ලා සිටියහ. බමුණා ද පුතුන් අදහා ගෙණ උන්ගේ බසට රැවටී එකෙකාට ලක්‍ෂය ලක්‍ෂය බැගින් වෙත තුබූ සාරලක්‍ෂයත් අඳින්නට පොරොවන්නට පිළී දෙකක් ලඟ තබා ගෙණ අන් සියලු වතුපිටි ගේදොර ඇඳ පුටු රන් රිදී තඹ පිත්තල හැළි වළන් ආදියත් සිවු කොටසක් කොට බෙදා දුන්නේ ය.
මුන් අතුරෙහි වැඩි මහලු පුත් කීපදවසක් කියූ ලෙසට උවැටන් කෙළේ ය. දවසක් ගඟට ගොස් නාලා එන බමුණු දුටු වැඩි මහලු ලේළිය දොරකට සිට බමුණා එහි නවතා ගෙණ “ඇයි, මෙහි? අපේ එක්කෙනා වැඩි මහලු පුත්යි ඔහුට අන් තිදෙනාට වඩා සියයක් ලක්‍ෂයක් තබා තුට්ටුවක් පමණකුත් දුන්නෙනහි ද? හැම එකාට දුන්නේ ලක්‍ෂය ලක්‍ෂය බැගින් නො වේද? ඇයි, මෙහි? අනික් පුතුන්ගේ ගෙවලට යන මග නො දනිහි දැ?”යි බමුණු එතැනින් පන්නා හැරියා ය. බමුණා ද කිපී බැණ වැදී දෙවන පුතුගේ ගෙට ගියේ ය. එහිදී ද කිහිප දවසකට පසු දෙවන පුතුගේ බිරිය ද “දැන් මෙහි උන්නා ඇති, සැලකුම් කාටත් එකවගේ ය, අපට අමුතුවෙන් දැයක් දුන්නේ ද නැත, ඇයි, මෙතෙක් දවස් මෙහි? යන තැනක යන්නැ”යි බමුණා එතැනින් ද පන්නා හැරියා ය. තෙවන සිවුවන දෙපුතුන්ගේ අඹුවෝත් බමුණා පිටමං කළහ.
මෙසේ එක පුතකුගෙනුදු පිහිටක් නො ලත් බමුණා කන්නට බොන්නට ඉන්නට මගක් නො මැති ව අළු ගාගත් සිරුරු අවයව ඇති ව පිරිවැජි පැවිද්දෙන් පැවිදි ව පිඬු සිඟා ගෙණ කන්නේ ය. කල් යෑමෙන් දිරුම් කඩට ගියේ කටුක අමිහිරි කෑම් බීම් වලින් හා කඩ පිළ අතැන මෙතැන වැටී දුකසේ නිදීමෙන් මැලවී ගිය සිරුරු ඇතියේ වී ය. දවසක් සිඟා කා අවුත් කඩපිළක වැඩී නිදා නැගිට තමන් ගැණ සිතන්නට වන. දිගින් දිගට තමන් ගැණ සිතූ ඔහුට පුතුන්ගෙන් නම් පිහිටක් නො වන බව පෙණී ගියේ ය. එකෙණෙහි ම ඔහුට “ශ්‍රමණගෞතම අනුන් දැක කරබාගන්නෙක් නො වේ, බැම හකුළා ගන්නෙක් නො වේ, මූණ බලා කතා කරන්නේ ය, මිහිරිකතා ඇත්තේ ය, සැපදුක් විචාරන්නේ ය, එහෙයින් ශ්‍රමණ ගෞතමයන් වෙත ගියොත් පිළිසඳරක් ලබා ගත හැකිය” සිත් විය. එදා පාන් වූ සැටියේ ම බමුණා අඳින වත හා පොරෝණා වත හිඟ දවටා ගෙණ සිඟණ පොළොත්තත් රැගෙණ හැරමිටි වාරුවෙන් බුදුරජුන් වෙත ගියේ ය. බුදුරජානන් වහන්සේ තමන් වෙත ආ බමුණු හා පිළිසඳර කතා කොට “බමුණ! බොහෝසේ දිරුම් කඩට ගියෙහි, ඇයි? ඇයි, රෙදිවැරලි?”යි අසා වදාළ සේක. “භවත් ගෞතමයන් වහන්ස! මට පුත්තු සතර දෙනෙකි, ඔවුහු තම අඹුවන් ලවා මට ඇණුම් බැණුම් ගැහැට කරවා උන්ගේ ගෙවලින් පන්නා දැමූහ”යි කී විට බුදුරජානන් වහන්සේ “එසේ නම් මහාජනයා රැස් වන තැන් බලා ගොස් එතැන්හි තාගේ පුතුන් ද අවිත් සිටියොත් මේ ගී ඉගෙණ කියව”යි ගී කීපයක් උගන්වා වදාළ සේක. මේ ඒ ගී:
“උපන් යම්‍කෙනකුන් - කරණ කොට තුටු වූයෙම්,
මෙහි යම් කෙනෙක්හට වැඩ - පැතූයෙම් දැන් ඔවුහු.
.
සියඹුවන් බසිනි - මුසපත් ව ගිය බැවිනි,
හූරන් බියෙන් හඬවන - බලු සේ මා හඬවති.
.
නො සත් ලමු වූ ඒ - දරුවෙස් දැරූ රකුසේ
පිත! පිත! කියත් දැන් මට - මහලු මා හැර සිටිති.
.
උන් පිත් මහල්ලා - පිරිබොවෙහි නො ද නිසි වූ
ජිණු අසකු සේ අහරින් - හළෝ ගෙන් ගෙට හිඟනේ.
.
දරුවෝ මගේ ඒ - අකීකරු වෙත් මට දැන්,
සැරයටි කඩ ම පිහිට ය - උන්ට වැඩියෙන් වැඩදා.
.
මේ සැරයටි දඩුව - බල්ලන් ගොනුන් රළු වූ
පන්නා හැරීමෙන් මා - රකී නිතරම විපතින්.
.
අඳුරෙහි පෙරටු වේ - ගැඹුරු දියැ මට පිහිට ය,
නො වැටී සිටින්නෙම් මම - සැරයටි පිහිට ලැබුමෙන්”
බමුණා බුදුරජුන් වෙතින් මේ ගී කීපය උගෙණ බමුණන් රැස්වන දිනයන්හි ඒ ඒ තැන රැස්වීම්වලට ගොස් පුතුන් සියලු දෙනා ද මාහැඟි ඇඳුම් ආයිත්තම් ඇඟලා සැරසී බමුණන් මැද මාහැඟි අසුන්හි හිඳිනවුන් දුටු විට දැන් මේ ගී කීමට කාලය, යි අත් දෙක ඔසොවා “පින්වත්නි! මම තමුන්නාන්සේලා ඉදිරියෙහි ගී කීපයක් කියන්නට කැමැත්තෙමි” යි කිය යි. “හා! හොඳයි, කියන්න, අසනු කැමැත්තෙමි” යි රැස්ව හුන්නවුන් කියන ලදුයේ නම් හිටිවන ම බුදුරජුන් වෙතින් උගත් ගී කීපය බමුණා හඬ නඟා කියන්නේ ය.
ඒ කාලයෙහි “යමෙක් මවුපියන් සතු දේපල කමින් මවුපියන් පොෂණය නො කරන්නේ නම් ඔහු එල්ලුම් ගස් යැවිය යුතු ය” යි මහාජනයා අතර සම්මත වූ ව්‍යවස්ථායෙක් වී ය. මෙය දැන සිටි ඒ බ්‍රාහ්මණ පුත්‍රයෝ දවසක් තම පියා කියූ මේ ගී අසා තැති ගත්තෝ එහිදී ම තම පිය බමුණුගේ පාමුල වැඳ වැටී “පියේ! අපට දිවි දුන මැනැ වැ”යි ඉල්ලා සිටියහ. දූ දරුවන් මවුපියනට කොතරම් ගැහැට කළත් දූ දරුවන්ගේ විපතෙහි මවුපියෝ තැවෙන්නාහ. හඬන්නාහ. වැලපෙන්නාහ. මොළොක් සිත් ඇතියෝ වන්නාහ. බමුණු ද දූ පුතුනට වන්නට යන විපත දැක උණ් කෙරෙහි මොළොක් සිත් ඇති ව “පින්වත්නි! මාගේ පුතුනට කිසි ගැහැටක් නො කරණු මැනැව, ඔවුහු කෑම් බීම් ඇඳුම් කැඩුම් දෙමින් කවමින් පොවමින් නාවමින් මා පොෂණය කරණ බව කියති”යි කීයේ ය. එවිට සභායෙහි සිටි මිනිස්සු “තෙපි අද පටන් තමාගේ පියාට නො සලකන්නහු නම් තොප සිවුදෙනා එල්ලුම් ගස් යවන්නට සිදුවනු ඇත, එහෙයින් පියාට හොඳින් උවටැන් කරවු”යි දන්වා සිටියහ. එවේලෙහි ම ඔවුහු පියා කර පිට හිඳුවා ගෙණ ගෙට ගොස් සිරුර තෙල් හා ඇඟ උළා සුවඳසුණු ගා නාවා රෙදි පිළී අන්දවා තම අඹුවන්ට “අද පටන් මේ පියාට හොඳින් සැලකිල්ලෙන් උවටැන් කළ යුතු ය, පියාට කළ යුතු වතාවත් කිසිවක් අඩු නො කොට කලට වේලාවට කළ යුතු ය, ඒ කිසිවක් අඩුව ගියොත් තෙපි දඬුවම් ලැබිය යුතු වන්නහු ය”යි කීහ. එතැන් සිට ඈලා ඔහුට කටට රසට මිහිරට කෑම පිළියෙල කොට දුන්හ.
බ්‍රාහ්මණ ද මිහිරි කෑම් බීම් හා සැපපහසුකම් ඇති ඉඳුම්හිටුම් ලබා කිහිප දවසක් ඉකුත් ව යත් ම තරව ගිය සිරුරු ඇතියේ දැකුම්කලු ඉඳුරන් ඇතියේ හයිබල ඇතියේ තමාගේ ඇඟපත දෙස බලා “මට මේ සියල්ල ලැබුණේ ශ්‍රමණ ගෞතමයන් නිසා ය”යි පඬුරු පිණිස පිළී සඟළක් පිළියෙල කොට ගෙණ බුදුරජුන් වෙත ගියේ ය. ගොස් කළ පිළිසඳර ඇත්තේ එකත් පසෙක හිඳ ඒ පිළී සඟළ බුදුරජුන්ගේ පාමුල් හි තබා “අපි බ්‍රාහ්මණයෝ වම්හ, ගුරුන් පිදිමෙහි නියැලුනෝ වම්හ, ශ්‍රමණ ගෞතම මට ගුරු ව සිටියේ ය, එහෙයින් මේ ගුරු පූජාවක් ගෙණ ආයෙමි, මේ ආචාර්‍ය්‍යධනය පිළිගත මැනැවැ”යි අයැද සිටියේ ය. බුදුරජානන් වහන්සේ ඔහුට අනුකම්පා පිණිස එය පිළිගෙණ බණ වදාළ සේක. බණ කෙළවර බ්‍රාහ්මණ තෙමේ ශරණශීලයෙහි පිහිටා “භවත් ගෞතමයන් වහන්ස! මාගේ දරුවෝ දිනපතා මට බත්සළාක සතරක් දෙන්නෝ ය, එයින් දෙබතෙක් මට සෑහෙන්නේ ය, දෙබතක් ඔබ වහන්සේට දෙමි”යි කී ය. එකල්හි බුදුරජානන් වහන්සේ “බ්‍රාහ්මණ! හොඳයි, අපි අප කැමැති තැනකට යන්නමෝ වම්හ”යි වදාරා බමුණා පිටත් කොට යවා වදාළ සේක. බමුණා ගෙට ගොස් පුතුන් අමතා “පුතෙනි! ශ්‍රමණගෞතම මාගේ හොඳ යාළුවා, තොප මට දෙන නිති බත් සතරින් දෙකක් මම ඔහුට දුනිමි, ඔහු තොපගේ ගෙවලටත් පැමිණියොත් ඔහුට කළ යුතු සඞ්ග්‍රහයෙහි නො පමාවහු”යි දන්වා සිටියේ ය. ඔවුහු ද “යපහතැ”යි එය පිළිගත්හ. පසුදා බුදුරජානන් වහන්සේ පිඬු සිඟා වඩනා සේක් වැඩිමහල් පුතුගේ ගෙදොරට වැඩි සේක. ඔහු බුදරජුන් දැක, පාත්‍රය ගෙණ ගෙට වැඩම කරවා මාහැඟි පලඟෙක වඩා හිඳුවා මිහිරට පිළියෙල කළ බත් මාළු පිළිගැන් වී ය. බුදුරජානන් වහන්සේ මෙසේ පිළිවෙලින් අනික් පුතුන් තිදෙනාගේ ගෙවලට ද වැඩි සේක. ඔවුහු ද එසේ ම සත්කාර කළහ.
මේ කාලයෙහි දවසෙක වැඩිමහල් පුතුගේ ගෙයි මගුල් උලෙළෙක් වී ය. එකල්හි ඔහු පියබමුණු අමතා “පියේ! මේ මගුලෙහි පළමු මගුල් බත කවරක්හට දෙමු දැ?”යි ඇසී ය. “අනෙකකු ගැණ මම නො දනිමි, ශ්‍රමණ ගෞතම මගේ යාළුවා, මේ බත දීමට ඔහු හැර අන් සුදුස්සෙක් මට නො පැණේ. ඒ නිසා හෙට දානයට පන්සියයක් දෙනකුන් සමග එන්නට ශ්‍රමණ ගෞතමට ආරාධනා කරව”යි කීවිට ඔහු එසේ කෙළේ ය. පසුදා බුදුරජානන් වහන්සේ පන්සියයක් දෙනා වහන්සේත් කැටුව ඔහුගේ ගෙට වැඩි සේක. බමුණුපුත්, සියගෙය පිරිබඩ ගන්වා නොයෙක් සැරසිල්ලෙන් සැරසිලි කොට අසුන් පණවා එහි බුද්ධප්‍රමුඛසඞ්ඝයා වහන්සේ වඩා හිඳුවා දිය නො මුසු මීපැණි යොදා පිළියෙල කළ කිරිබතින් ද තවත් නොයෙක් මිහිරි අහරින් ද උන්වහන්සේලා වැළඳ වී ය. වළඳනා වේලෙහි බ්‍රාහ්මණපුත්‍රයෝ සිවු දෙන බුදුරජුන් වෙත හිඳ “භවත් ගෞතමයන් වහන්ස! අපි අපේ පියාට ඉතා හොඳින් සාත්තුසප්පායම් සපයන්නෙමු, ඉතා හොඳින් පියා පිළිදැගුම් කරන්නෙමු, පියාට කරණ සාත්තුසප්පායම් වල කිසිත් පමායෙක් නැත, අන් හැම වැඩ පසුවට තබා පියාගේ කටයුතු කරන්නෙමු, ඔහුගේ ඇඟපත මූණකට දෙස බලනු මැනැවි, ඔහු දැන් සුවපත් ව සිටුනේ ය”යි කීහ. බුදුරජානන් වහන්සේ “ඒ ඉතා යහපත, තොප විසින් කරණු ලබනුයේ ඉතා හොඳ වැඩෙක්, මවුපියන් පිළිදැගුම් කිරීම පැරණි පඬිවරුන් විසින් ඉතා සැලකිල්ලෙන් කරණ ලද, මෙලොව පරලොව දෙක්හි තමන්ට සැප පිණිස පවත්නා යහපත් ක්‍රියාවෙකැ”යි එකාදසනිපාතයෙහි එන මාතුපොසකනාගරාජ ජාතකය විස්තර විසින් වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක.
ධනපාලකො නාම කුඤ්ජරො
කටුකප්පභෙදනො දුන්නිවාරියො,
බද්ධො කබලං න භුඤ්ජති
සුමරති නාගවනස්ස කුඤජරොති.
ධනපාලක නම් ඇත් තෙමේ තියුණු මද ඇතියේ නො වැළහිය හැකියේ බැඳුනේ ආහාර නො බුදියි. ඇත් තෙමේ ඇතුන් වසන වනය ම සිහි කරයි.
ධනපාලකො නාම කුඤ්ජරො = ධනපාලක නම් ඇත් තෙමේ.
කට්කප්පභෙදනො දුන්නිවාරියො = තියුණු මද ඇතියේ නො වැළහිය හැකියේ.
බද්ධො කබලං න භූඤ්ජතා = බැඳුනේ අහර අනුභව නො කෙරේ.
සුමරති නාගවනස්ස කුඤ්ජරො = ඇත් තෙමේ ඇතුන් වසන වනය සිහි කරයි.
“අප මහ බෝසත් තෙමේ එක් කලෙක ඇත් කුලයෙක උපන. ඔහුගේ මවු ඇතින්න අන්‍ධ ය. මහබෝසතත් ඇය කන්දක් පාමුල තුබූ ගල්ගුහාවක රඳවා පලාපල ගෙණවුත් දී පොෂණය කෙළේය. එකල බරණැසින් අවුත් වල් වැදුනු වැද්දෙක් මං මුළාව ගියේ මහහඬින් මොර දෙන්නට වූයේ ය. එයැසූ මහසත් එහඬ ඔස්සේ ගොස් වැද්දා සිටි තැනට පැමිණ වැද්දා පිට නංවා ගෙණ අවුත් බරණැසට යන මගට බස්වා වල් වැදුනේ ය. එ දවස බරණැස් රජුගේ මගුලැත් කලුරිය කෙළේ වන. රජ තෙමේ ‘මගුලැත් බවට සුදුසු ඇතකු ඉන්නා තැනක් සොයා බලා කියවු’යි නුවර බෙර ලැවූයේ ය. එකල්හි ඒ වැද්දා රජු කරා ගොසින් මගුලැත් බවට සුදුසු ඇත්රජකු හිමාලය කඳුපාමුල වනයෙහි ඉන්නාබව රජුට දන්වා මග තොරතුරු ද කියා මග කියාලන්නට යාහැකි බව ද දන්වාලී ය. රජ තෙමේ වැද්දා මග කියන්නා කොට ඔහු සමග ඇතරුවන් එහි යැවී ය. ඇතැරුවෝ වන වැද ඇතු අල්ලා බැඳ ගෙණ බරණැසට ගෙණ ආහ. ඇත් තෙමේ ‘මට මේ ගැහැට සිදු වූයේ මා මග කියා යැවූ වැද්දා නිසා ය’යි දතුයේ ද, ඌට කිසිත් අනතුරක් නො කෙළේ ය. මවු ඇතින්න එකලා වූවා හඬලන්නට වූ ය. රජ, මිහිරි රසැති නන් වැදෑරුම් රජ බොජුන් ඇතුට යැවී ය. එහෙත් ඇත් තෙමේ මෑනියන්ගේ වියෝගයෙන් දුකින් පෙළුනේ ඒ කිසිවක් නො ද කෑයේ ය. බැම්මෙහි සිටියේ ඇත්වනය ම සිහි කෙළේ ය. කන්නට බොන්නට මගක් නැති ව එකලා වූ මවු ඇතින්න ගැණ සිහි කරමින් කෑම් බීම් කිසිවක් නො ගත්තේ ය. මෙසේ දවස් කිහිපයක් කෑම නො කා සිටි ඇතු බැම්මෙන් මුදා හළහ. බැම්මෙන් මිදී මවු ඇතින්න වෙත ගිය ඇත් තෙමේ දවස් කිහිපයක් කන්නට බොන්නට දැයක් නැති ව සාපිපාසායෙන් පෙළුනු මෑනියන් දිවි තිබෙනතුරු මැනැවින් රැක බලා ගත්තේ ය”යි මෙහි විස්තර කතාව දන්නට මාතුපොසක ජාතකය බැලිය යුතුය.
තියුණු මද ඇතියේ කටුකප්පභෙදන නම්. මද වැහෙන කාලයෙහි ඇතුන්ගේ දෙන් සිළු පැළී යන්නී ය. ඒ කාලයෙහි ඇතුන් අකුසු තෝමර කුන්තවලින් දමන්නට නො හැකි ය. එයින් පෙළනු ලබන්නෝ වඩාත් චණ්ඩ වෙත්. මෙසේ චණ්ඩ වන බැවින් ම ඇත්තු දුන්නිවාරිය ද වෙත්.
වැළහිය නො හැකි බවත්, කබල නම්. පිඩු පිඩු කොට කන ආහාරය යි. එය කුකුළු බිජුවට පමණැයි ද කියත්. තව ද කන්නහුගේ මුව පමණින් පිඩු කොට ගණු ලබන්න ද කබල යි කියනු ලැබේ.
“සුමරති නාගවනස්ස” යන මෙහි සමරණාර්‍ත්‍ථ ධාතුන්ගේ යෝගයෙහි කර්‍මාර්‍ත්‍ථය ෂෂ්ඨිවිභක්තියෙන් සිටියේ ය. එසේ සිටීම භාෂා ධර්‍මතාය. “මාතු සරති, මාතරං සරති, න තෙසං කොචි සරති සත්තානං කම්මප්පච්චයා” යනු තවත් නිදසුන්. මෙතැන්හි කර්‍මාර්‍ත්‍ථයෙහි දුතියා ද වන්නී ය.
පාලිශාබ්දිකයන් විසින් ‘සුමරති’ යන ක්‍රියාපදය සිද්ධකිරීමෙහි ලා ‘සර චිත්තායං’ යන ධාතුවෙන් පළමු කොට ‘සරති’ යි සිද්ධ කොට නැවැතැ එය ‘ස රති’ යි දෙකඩ කිරීමෙන් යකාරස්ථ ආකාරයට උකාරයත් ඉන් පරව මකාරාගමයත් කොට ‘සුමරති’ යි සිද්ධ කරණ ලද්දේ ය. මෙහිලා ‘සමර චිත්තායං’ යන ධාතුවෙන් ති ප්‍රත්‍යය යොදා සකාරස්ථ ආකාරයට උකාරය කිරීමෙන් මෙය සිදු කිරීම ශාස්ත්‍රිය වශයෙන් හා ආගමික වශයෙන් නො සුදුසු දැයි සලකා බැලිය යුතු ය. සමර ධාතුව සමෘ ධාතුවට නෑකම් කියන්නේ ය විමසා ගත යුතු ය. පොත්පත්හි ආ බැවින් මෙහි ‘සමරති’ යනු ‘සුමරති’යි මෙසේ යෙදුනේ ය.
බුදුරජානන් වහන්සේ තමන් වහන්සේගේ මේ පූර්විකචරිත කථාව ගෙණ හැර දක්වා බණ වදාරත් වදාරත් ම ඒ සියල්ලෝ කඳුළු පිරුනු ඇස් ඇතියෝ මෙළොක් වූ සිත් ඇතියෝ නතු කළ සිත් ඇතියෝ වූහ. එකල්හි බුදුරජානන් වහන්සේ ඔවුනට හිත වූ දහම් දැන වදාළෝ චතුස්සත්‍යය දේශනා කළ සේක.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි බ්‍රාහ්මණ තෙමේ පුතුන් සිවු දෙනාත් ලේළියන් සිවු දෙනාත් සමග සෝවන් පලයෙහි පිහිටියේ ය.
අන්‍යතරබ්‍රාහ්මණපුත්‍ර වස්තුව නිමි.