22-9 දෙව්රම්වෙහෙරට ගිය ලමයි

අවජ්ජෙ වජ්ජමතිනො වජ්ජෙ චාවජ්ජදස්සිනො

මිච්ඡාදිට්ඨිසමාදානා සත්තා ගච්ඡන්ති දුග්ගතිං.

නිරවද්‍ය ධර්‍මයන් පිළිබඳ වැ මෙය සාවද්‍ය යැ යි හටගත් බුද්ධි ඇති, සාවද්‍ය ධර්‍මයෙහි නිරවද්‍ය යැ යි දක්නා සුලු වූ, මෙ බඳු විපරීත ලබ්ධිය පිළිගෙණ හැසිරෙණ සත්ත්‍වයෝ දුගතියට පැමිණෙත්.

වජ්ජං ච වජ්ජතො ඤත්‍වා අවජ්ජං ච අවජ්ජතො

සම්මාදිට්ඨිසමාදානා සත්තා ගච්ඡන්ති සුග්ගතිං.

සාවද්‍ය ධර්‍මයන් සාවද්‍ය වශයෙන් ද නිරවද්‍යාධර්‍මයන් නිරවද්‍ය ධර්‍ම වශයෙන් ද තත් වූ පරිදි දැන අවිපරීත වු ලබ්ධිය පිළිගෙණ හැසිරෙන සත්ත්‍වයෝ සුගතියට පැමිණෙත්.

අන්‍යතීර්‍ත්‍ථක ශ්‍රාවකයෝ තම තමන්ගේ පුත්‍රයන් සම්‍යග්දෘෂ්ටික උපාසකයන්ගේ පුත්‍රයන් සමග කෙළිසෙල්ලම් කරණවුන් දැක, ඔවුන් කෙළිසෙල්ලම් කොට ගෙවලට ආකල්හි ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන් නො වඳින ලෙසටත් ඔවුන් වසන වෙහෙරට නො යන ලෙසටත් දිවුරවා ගත්හ. ඒ කුඩා දරුවෝ දවසක් දෙව්රම් වෙහෙර පිටත දොර කොටුව අසල සෙල්ලම් කරන්නෝ හටගත් පවස් ඇති ව සම්දිටු ගත් දරුවකුහට “මිත්‍රය! හටගත් පවස් ඇත්තමෝ ය, දෙව්රම් වෙහෙර පැන් පොකුණෙන් අපට බොන්නට පැන් ටිකක් ගෙණැවිත් දෙන්නැ”යි කියා එ දරු විහාරයට යැවූ හ. ඔහු විහාරයට ගොස් බුදුරජුන් දැක වැඳ තමන් ආ කාරණය උන්වහන්සේට දැන්වී ය. බුදුරජානන් වහන්සේ “දරු! ඔයා පැන් බී ගොස් පැන් බොන්නට එ දරුවන් මෙහි එවන්නැ”යි වදාළ සේක. සම්දිටුදරු පැන් බී ගොස් පැන් බොන්නට බලාපොරොත්තුවෙන් සිටි දරුවන් සියලු දෙනා විහාරයට පිටත් කර යැවී ය. ඔවුහු නො පැකිළ විහාරයට ගොස් පැන් බීහ. බුදුරජානන් වහන්සේ ඔවුන් කැඳවා ඔවුනට ගැළපෙණ වැටහෙන බණක් වදාරා නො සැලෙන සැදැහැතියෙන් කොට සරණ සිල්හි පිහිටුවා වදාළ සේක. ඔවුහු ගෙවලට ගොස් මෙ පුවත මවුපියන්ට දැන්වූහ. මවුපියෝ “අපගේ දරුවෝ මිසදිටු ගත්හ”යි දොම්නසට පැමිණ හඬා වැලපෙන්නට වූහ. එ දුටු අසල් වැසි නුවණැති මිනිස්සු උනගේ දොම්නස දුරලන්නට නොයෙක් ලෙසින් බණ කීහ. කරුණු කියා පෑහ. එයැසූ ඔවුහු “තම දරුවන් හැම දෙනා ශ්‍රමණ ගෞතමයාට භාර දෙමු”යි නියම කොට ගෙණ නෑ සමූහයාත් කැටුව එවුන් විහාරයට කැඳවා ගෙණ ගියහ. එ වේලෙහි බුදුරජානන් වහන්සේ ඔවුන්ගේ අදහස් බලා ධර්‍මදේශනා කරණ සේක් මේ ධර්‍මදේශනාව කළ සේක.

අවජ්ජෙ වජ්ජමතිනො වජ්ජෙ චාවජ්ජදස්සිනො,

මිච්ඡාදිට්ඨිසමාදානා සත්තා ගච්ඡන්ති දුග්ගතිං.

.

වජ්ජං ච වජ්ජතො ඤත්‍වා අවජ්ජං ච අවජ්ජතො,

සම්මාදිට්ඨිසමාදානා සත්තා ගච්ඡන්ති සුග්ගතින්ති.

නිවරද කරුණෙහි වරදැ යි අදහස් ඇති වරද කරුණෙහි නිවරදැ යි දැකුම් ඇති මිසදිටු සමාදන් ව ගත් සත්ත්‍වයෝ දුගතියට යන්නාහ.

වරද වරද වශයෙන් ද, නිවරද නිවරද වශයෙන් ද, දැන සම්දිටු සමාදන් ව ගත් සත්ත්‍වයෝ සුගතියට යන්නාහ.

අවජ්ජෙ වජ්ජමතිනො = නිවරද කරුණෙහි වරදය යි ගත් අදහස් ඇති.

අවජ්ජ නම් = මෙහි දශවස්තුකසම්‍යග්දෘෂ්ටිය හා එය ඉපදීමට කරුණු වූ ධර්‍මදේශනා ය. [1]

වජ්ජෙ ච අවජ්ජදස්සිනො = වරදෙහි නිවරදැ යි දැකුම් ඇති.

වජ්ජ නම්: දශවස්තුකමිත්‍ථ්‍යාදෘෂ්ටිය හා එහි ඉපැත්මට කරුණු වූ ධර්‍මදේශනාය. [2] මෙහිලා දසමිච්ඡත්තවත්‍ථු ද ගැණේ. මිච්ඡාදිට්ඨි - මිච්ඡාසඞ්කප්ප - මිච්ඡාවාචා - මිච්ඡාකම්මන්ත - මිච්ඡාආජීව - මිච්ඡාවායාම - මිච්ඡාසති - මිච්ඡාසමාධි - මිච්ඡාඤාණ - මිච්ඡාවිමුත්ති යන මේය මිච්ඡත්තවත්‍ථු. “මට හිතසුව එළවන්නෝ වන්නාහ”යි වන බලාපොරොත්තුව එසේ නො වීමෙන් ද අශුභාදීන්හි ශුභැ යි ගත් විපරීත පැවැත්මෙන් ද උපදනා මිත්‍ථ්‍යා ස්වභාව ඇත්තෝ ‘මිච්ඡත්ත’ යි කියනු ලැබෙත්.

මිච්ඡාදිට්ඨිසමාදානා = මිසදිටු සමාදන් ව ගත්.

නිවරද කියුම් කෙරුම් සිතුම් ආදිය වරදය යි ද, වරද කියුම් කෙරුම් සිතුම් ආදිය නිවරදය යි ද ගැණීම සාමාන්‍ය විසින් මිසදිටු යි කියනු ලැබේ. එය දැඩි ව අදහා ගත්තෝ මෙහි ‘මිච්ඡාදිට්ඨි සමාදාන’ නම්.

සච්චා ගච්ඡන්ති දුග්ගතිං = සත්ත්‍වයෝ දුගතියට යන්නාහ. [3]

මිසදිටු ගත්තේ මරණින් පසු අපායයෙහි උපදනේ ය. එහි අවුරුදු දහස් ගණනක් මුළුල්ලෙහි නන්වැදෑරුම් වූ කටුක දුක් විඳුනේ ය. කවදා හෝ එයින් මිදී මිනිස් ව උපදනේ නම් මිසදිටු ඇත්තේ ම වේ. නියම මග නො දන්නේ එහිදී ද පව්කම් කොට නැවැත නැවැතත් අපායයෙහි ම උපදනේ ය. ඔහුට සසරදුකින් මිදීමෙක් නැත්තේ ම ය.

ආනන්තරියකර්‍මය කළහුට අපායයෙහි ඉපද දුක් විඳීමට නියමිත කාලයෙක් ඇත්තේ ය. එහෙත් නියත මිසදිටු ගත්තහුට එහිලා කාලසීමායෙක් නැත්තී ය. සසර දුකින් මිදීමෙක් ඔහුට නැත්තේ ය. සුගතිගතියෙක ඉපැත්මෙක් නො වන්නේ ය. කල්ප විනාශයෙහි දී ආපායික සත්ත්‍වයෝ ද අපරාපරිය වෙදනීය කර්‍මයන්ගේ වශයෙන් බඹලොව උපදනාහු ද නියත මිසදිටු ගත්තහුට කල්පවිනාශයෙහි ද එසේ බඹලොව ඉපැත්මෙක් නැත. හේ කල්ප විනාශයෙහි ලොව නැසෙන විට පිට සක්වළ උපදනේ ය. එ ද නැසෙත්, අහසැ එක් පෙදෙසෙක ඉපද කම් පරිදි දුක් විඳියි. “මිච්ඡාදිට්ඨිකස්ස භිකඛවෙ ද්වින්නං ගතීනං අඤ්ඤතරා ගති පාටිකඞ්ඛා නිරයො වා තිරච්ඡානයොති වාති” යනුත් “නාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යං එවං මහා සාවජ්ජං, යථයිදං භික්ඛවෙ මිච්ඡාදිට්ඨි මිච්ඡාදිට්ඨිපරමානි භික්ඛවෙ වජ්ජානි” යනුත් වදාළෝ මිසදිටුවෙහි ඇති බිහිසුණුබව දැක්වීම සඳහා ය.

වජ්ජං ච වජ්ජතො ඤත්‍වා අවජ්ජං ච අවජ්ජතො = වරද වරද වශයෙන් ද නිවරද නිවරද වශයෙන් ද දැන.

දසවත්‍ථුකමිච්ඡාදිට්ඨි, එයට කරුණු වූ ධර්‍මදේශනා වරද වශයෙන් ද දසවත්‍ථුකසම්මාදිට්ඨි, එයට කරුණු වූ ධර්‍මදේශනා නිවරද වශයෙන් ද දැන ගෙණ අදහා ගැණීමෙන්.

සම්මාදිට්ඨිසමාදානා = සම්දිටු සමාදන් ව ගත්.

සත්තා ගච්ඡන්ති සුග්ගතිං = සතත්‍වයෝ සුගතියට යන්නාහ. [4]

ධර්‍මදේශනාවගේ අවසානයෙහි ඒ සියල්ලෝ ම තුන් සරණයෙහි පිහිටා නැවැත නැවැතත් බණ අසන්නෝ සෝවන් පලයෙහි පිහිටියාහු ය.

තීර්‍ත්‍ථශ්‍රාවක වස්තුව නිමි.

  1. 14-6 ‘අරිය මට්ඨංගිකං මග්ගං’ යනු බලනු.

  2. 1-7 ‘අනික්කසාවො’ යනු බලනු.

  3. 1-12 ‘දුග්ගතිං’ යනු බලනු.

  4. 1-13 ‘සුගතිං’ යනු බලනු.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.