අකතං දුක්කතං සෙය්‍යො පච්ඡා තපති දුක්කතං
කතං ච සුකතං සෙය්‍යො යං කත්‍වා නානුතප්පති.
දුෂ්කෘතය (අකුශලය) නො කරණ ලද්දේ ම උතුමි. අකුශල කර්‍මය තෙම පසු ව සිහි කළ විටක් පාසා මෙ ලොවැ විපිළිසර තැවිල්ලෙන් ද පර ලො වැ අපායතාපයෙන් ද තවන්නේ ය. එ හෙයින් යමක් කොට පසු වැ නො තැවේ ද, එසේ වූ කුශල කර්‍මය තෙම කරණ ලද්දේ උතුමි.
සිය සැමියා ගෙයි වසන දාසිය අඹු කොට හැසිරෙණු දුටු එක්තරා ගෑණියක් ක්‍රෝධයෙන් නැගී ගියා ඒ දැස්ස අල්ලා ගෙණ ඇයගේ අතපය බැඳ කන් නාස් කපා ගෙට පැමිණියවුනට නො ද පෙණෙන අයුරු ගබෙක දමා දොර වසා තමා කළ ඒ සැහැසිකම වසා ගන්නට “හිමි! බණ අසන්නට විහාරයට යමු”යි හිමියාත් ගෙණ විහාරයට ගොස් බණ පිරිස් මැදට වැද හුන්නී ය. ඒ වේලෙහි ඇයගේ නෑයෙක් එහි පැමිණියේ ගෙයි කිසිවකුන් නො දැක වසා තුබූ දොර ඇර බැලී ය. එහි දී දැස්සට කරණ ලද ඒ අපරාධ දුටු ඔහු අතපය ලිහා ඇය එයින් මුදා හැරියේ ය. ඕ ද බැඳුමෙන් මිදුනී ඉතා අපහසුවෙන් දුක්වේදනායෙන් පෙළෙමින් විහාරයට ගොස් බණ පිරිස මැදට වැද එපුවත බුදුරජානන් වහන්සේට දන්වා සිටියා ය. බුදුරජානන් වහන්සේ දැස්සගේ කීම අසා “මා කළ මේ දුශ්චරිතය, අපරාධය අන්‍යයෝ නො දනිති යි ස්වල්මාත්‍ර වූ ද දුශ්චරිතයෙක් නම් නො කටයුතු ය, අනුන් නො දනිතත් අනුන්ගේ දැනුම ගැණ නො සලකා කළ යුත්තේ සුචරිතයෙක් ම ය, දුශ්චරිතය සඟවා කරණ ලද්දේ නමුත් පසු ව දව රෑ දෙක්හි සිහියට නැග දුශ්චරිතය කළහුගේ සිත තවන්නේ ය, පෙළන්නේ ය, කළ සුචරිතය ඉතා කුඩා වුවු ද එයින් උපදනේ සතුටෙක් ම ය”යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක.
අකතං දුක්කතං සෙය්‍යො පච්ඡා තපති දුක්කතං,
කතඤ්ච සුකතං සෙය්‍යො යං කත්‍වා නානුතප්පතීති.
අකුශලය නො කරණ ලද්දේ උතුම් ය. අකුශලය පසුව (කළහුගේ සිත) තවයි. යමක් කොට පසුව නො තැවේ ද, එබඳු කුශලය කරණ ලද්දේ ම උතුම් වේ.
අකත දුක්කතං සෙය්‍යා = අකුශලය නො කරණ ලද්දේ උතුම් ය. නො කළ අකුශලය උතුම් ය.
අපායයෙහි ඉපැත්මට කරුණු වන කුදු මහත් පව්කම්, වරද සහිත ක්‍රියා ‘දුක්කත’ නම්. පවක්ම් සතුන් මැරීම් ඈ විසින් නන් වැදෑරුම් ය. [1]
පච්ඡා තපති දුක්කතං = අකුශලය පසුව සිත තවන්නේ ය.
යමෙක් මොන හේතුවෙකින් හෝ අකුශලයක් වැරදි වැඩක් කෙළේ නම් එය සිහිවත් ම ඒ පාපකාරී පුද්ගලයා නිතර තැවෙන්නේ ය. නිතර දැවෙන්නේ ය. [2]
කතඤ්ච සුකතං සෙය්‍යා = කුශලය කරණ ලද්දේ ම උතුම් ය.
යං කත්‍වාන අනුතප්පති = යමක් කොට නො පසු තැවේ ද.
යමක් කොට පසුතැවිල්ලට නො ද පැමිණේ නම් එබඳු වූ සුගතිගතියෙහි ඉපැත්මට කරණු වන කුදුමහත් පින්කම්, වැරදි නැති ක්‍රියා ‘සුකත’ නම්. සතුන් මැරීම් ඈ පව්කමින් වැළකීමෙන් හා දන්පින් කිරීමෙන් දිවි ගෙවන්නහුට කවදාවත් කොතැන දීත් තැවීමෙක් දැවීමෙක් නො වන්නේ ය. ඒ කළ පින්කම් සිහිවත් ම සතුටින් පිණා යන්නේ ය. එලොව මෙලොව දෙක්හි ම සතුටු වන්නේ ය. එහෙයින් පින්කම් කිරීම උතුම් වේ. [3]
මෙහි ‘තපති’ යන ක්‍රියාපදය ‘අනු’ යන්නකින් වැඩී ඇත්තේ ය. එකල්හි ‘අනුතපති’ යි එක් ම ක්‍රියායෙක් වේ. ඒ හා න යනු ද එක් කොට ‘නො තැවේ’ යි අරුත් කියන්නේ ය. ‘න’ යනු නිපාතයි. වැළකීමෙහි වේ. ‘අනු’ යනු උපසර්‍ගයි. ‘පසු’ යනු අරුත්හි වේ. ‘න අනුතපති’ යන්නට නො පසු තැවේ’යි අරුත් දෙනුයේ එහෙයිනි.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි ඒ උපාසකයාත් ඒ ගෑණිත් දෙදෙන ම සෝවන්පලයට පැමිණියාහු ය. දැස්ස ද දාසභාවයෙන් මුදා ධම!යෙහි හැසිරෙන්නියක කළහ.
ඊර්‍ෂ්‍යායෙන් මැඩුනු ස්ත්‍රියගේ කථාවස්තුව නිමි.