කුසො යථා දුග්ගහිතො හත්‍ථමෙවානුකන්තති
සාමඤ්ඤං දුප්පරාමට්ඨං නිරයායුපකඩ්ඪති.
කිසි කර තණයෙක් වරදවා ගන්නා ලද්දේ (නො පිටට අදනා ලද්දේ) එය ගත් අත ම යම් සේ සිඳී ද, එ පරිද්දෙන් ම මහණදම ද (ඛණ්ඩශීලතාදි වශයෙන්) වරදවා ගන්නා ලද්දේ, නරකයට ඔහු ඇද හෙළයි (නිරයෙහි උපදවයි).
යං කිඤ්චි සිථිලං කම්මං සංකිලිට්ඨං ච යං වතං
සඞ්කස්සරං බ්‍රහ්මචරියං න තං හොති මහප්ඵලං.
(පසු බැස බැස) ලිහිල් කොට කරන ලද යම් කුශල කර්‍මයෙක් ඇද්ද, (අගෝචරයෙහි හැසිරීමෙන්) සකිලිටි වූ යම් ව්‍රතයෙක් (ශීලයෙක්) වේ ද, (ලාභාපේක්‍ෂායෙන් කළ) සකිලිටි වූ යම් (ධුතාංග) ව්‍රතයෙක් ඇද්ද, (රැස් වන සඞ්ඝයා දැක මට දඬුවම් කරන්නට රැස් වූහ යි) සැකයෙන් යුතු ව හැසිරීමට කරුණ වූ (හෝ අනුන් විසින් සැක කටයුතු වූ පැවතුම් ඇති) යම් බඹසරෙක් ඇද්ද, ඒ සියල්ල (ප්‍රතිසන්‍ධිප්‍රවෘත්ති විපාක වශයෙන්) මහත්ඵල ඇත්තේ නො වේ.
කයිරා චෙ කයිරාථෙනං දළ්හමෙනං පරක්කමෙ
සඨිලො හි පරිබ්බාජො භිය්‍යො ආකිරතෙ රජං.
(එහෙයින්) ඉදින් කුශලයක් කරන්නේ නම් එය කරන්නේ ම ය. ඒ කුශලකර්‍මය ද තර කොට ම (අවස්ථිත සමාදාන ඇතිව ම) කරන්නේ ය. යම් හෙයකින් ඛණ්ඩාදිභාවයට පමුණුවන ලද ශ්‍රමණධර්‍මය වඩා ලා ම (බොහෝ කොට ම) රාගාදි රජස ඔහු සතන්හි වත් කරන්නේ ද, එහෙයිනි.
එක් උපසපන් මහණෙක් නො දැන තණගසක් බිඳ දැමූයේ පසු ව කකුස් උපදවා අන් උපසපන් මහණක්හු වෙත ගොස් “යමෙක් නො දැන තණගසක් බිඳ දැමී නම්, එයට කිනම් වරදෙක් සිදු වේ දැ”යි අසා තමා නො දැන ගසක් සිඳ දැමූ බව දන්වා සිටියේ ය. එවිට ඒ මහණ ‘තමුන්නාන්සේ තණගසක් සිඳලීමෙන් කුමක් සිදු වේය යි සිතු වහු ද? මෙහි දෙසා ගන්නා තරම් වරදෙක් නැතැ”යි විචාළ මහණහුට කියා තෙමේත් දෑතින් තණ දෙමිටක් කඩා ගත්තේ ය. සෙසු මහණෝ එපුවත බුදුරජුන්ට දන්වාලූහ. එවිට උන්වහන්සේ ඒ මහණහුට නොයෙක් ලෙසින් ගරහා මේ ධර්‍ම දේශනාව කළ සේක.
කුසො යථා දුග්ගහිතො හත්‍ථමෙවානු කන්තති,
සාමඤ්ඤං දුප්පරාමට්ඨං නිරයාය උපකඩ්ඪති.
.
යං කිඤ්චි සිථිලං කම්මං සඞ්කිලිට්ඨඤ්ච යං වතං,
සඞ්කස්සර බ්‍රහ්මචරියං න තං හොත මහප්ඵලං.
.
කයිරො චෙ කයිරාථෙතං දළ්හමෙනං පරක්කමෙ,
සඨිලො හි පරිබ්බාජො භීය්‍යො ආකිරතෙ රජන්ති.
වැරදි ලෙසට අතට ගත් කුසතණ පත යම් සේ අතම කපා ද, එමෙන් වරදවා ගත් මහණකම (ඒ මහණකම් කළ පුද්ගලයා) නිරයට ඇද දමන්නේ ය.
ලිහිල් කොට කරණ ලද යම් කුශල කර්‍මයෙක් වේ ද, සකිලිටි වූ යම් ව්‍රතයෙක් වේ ද, සැකයෙන් හැසිරිය යුතු වූ යම් බඹසරෙක් වේ ද ඒ සියල්ල මහත්ඵල නො වේ.
ඉදින් යම් කුශල කර්‍මයක් කරන්නේ නම් (එය හොඳින් ම) කරන්නේ ය. ඒ කුශල කර්‍මය තර කොට ම කරන්නේය. යම්හෙයකින් සිථිල වූ මහණකම බොහෝ සෙයින් රාගාදිරජස් වගුරුවා ද එහෙයිනි.
කුසො = කුසතණපත.
සියුම් මුවහත් ඇති කිසි තණපතෙක් ‘කුස’ යි ගණු ලැබේ. තල්පතක් හෝ ගත වරද නැත. “යං කිඤ්චි තිඛිණධාරං තිණං, අන්නමසො තාලපණ්නම්පි” යනු අටුවා.
දුග්ගහිතො = වැරදි ලෙසට අතට ගන්නා ලද්දේ.
හත්‍ථං එව අනුකන්තති = අත ම කපා හරී ද.
හත්‍ථ නම්: එක් ශරීරාවයවයෙකි. යමෙකින් ගණී නම් ඒ ‘හත්‍ථ’ යි කියනු ලැබේ. “හරන්ති අන්නොති = හත්‍ථො” යනු විවෘතියි. කර්‍මෙන්‍ද්‍රියයෙකි.
සාමඤ්ඤං = ශ්‍රමණභාවය. මහණකම.
ශික්‍ෂාත්‍රය සංගෘහිත ශාසන ධර්‍මයට මුල් වනුයේ ශීලවිසුද්ධිය බැවින් මෙහිලා ශීලවිශුද්ධිය, ශීලවිපත්ති ආදියට නො හසු කොට රක්නා ශීලය ‘සාමඤ්ඤ’ යි කියනු ලැබේ. මේ මහණකම දිවි නො තකා මැනැවින් රැකියේ ම ප්‍රධාන විසින් ගැණෙන මාර්‍ග-ඵල සඞ්ඛ්‍යාත ශ්‍රමණ භාවයට පැමිණීමෙන් දුක් කෙළවර කරන්නේ ය. [1]
දුප්පරාමට්ඨං = වරදවා ගන්නාලද වැරදි ලෙසින් රැකි.
සීලවිපත්ති - ආචාරවිපත්ති - දිට්ඨිවිපත්ති - ආජීවවිපත්ති යන විපත්තීන්ගෙන් විපතට පත් ශීලය, ශ්‍රමණභාවය ‘දුප්පරාමට්ඨ’ නම් වේ.
සීලවිපත්ති නම්:- උපසපන් භික්‍ෂූන් විසින් දිවි හැර රැකිය යුතු වූ ප්‍රථම - ද්විතීය ආපත්තිස්කන්‍ධ දෙක්හි වූ සිකපද මැඩ ඇවැතුනට පැමිණීම ය. “පඨමා හි ද්වෙ ආපත්තික්ඛන්‍ධා සීලවිපත්ති නාම” මෙය මෙහි අදහස් කරණ ලද ය. උවසු උවැසි හෙරණ හෙරණින් විසින් නො කටයුතුය යි වදාළ, එහිලා දැක් වූ සිකපද මැඩීම ද සීලවිපත්ති යි.
ආචාරවිපත්ති නම්:- කායවාක් දුශ්චරිතයන්හි යෙදීම ය. ඉතිරි ආපත්තිස්කන්‍ධ පසෙහි වූ සිකපපද නො රැකුම ය. “අවසෙසා පඤ්ච ආපත්තික්ඛන්‍ධා ආචාරවිපත්ති නාම”. කවුරුන්ගේ හෝ නො මනා හැසිරීම ආචාරවිපත්තියි.
දිට්ඨවිපත්ති නම්:- “රූපං අත්තතො සමනුපස්සති” යනාදි විසින්, “නත්‍ථි දින්නං” යනාදි විසින් හා “සස්සතො ලොකො ඉදමෙව සච්චං සොඝමඤ්ඤං” යනාදී විසින් ආ දෘෂ්ටිය යි. “රූපං අත්තතො සමනුපස්සතීති ආදිනයප්පවත්තා දිට්ඨි ච, නත්‍ථි දින්නන්ති ආදිනයප්පවත්තා දිට්ඨි ච, සස්සතො ලොකො ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති ආදිනයප්පවත්තා දිට්ඨි ච දිට්ඨිවිපත්ති නාම”
ආජීවිපත්ති නම්:- ආජීවය හේතු කොට පැණ වූ සිකපද ඉක්මවා යෑම ය. “ආජීවහෙතු පඤ්ඤත්තා නි ඡ සික්ඛාපදානි ආජීවවිපත්ති නාම”. සාමාන්‍ය විසින් වැරදි දිවිපෙවෙත ආචාර විපත්ති යි.
නිරයා ය උපකඩ්ඪති = නිරයට අදනේ ය. නරකයෙහි උපදවන්නේ ය.
වැරදි හැටියට අතට ගත්, සියුම් මුවහත් ඇති කුසතණපත අතට ගත්තහුගේ අත කපන්නා සේ, වැරදිලෙසින් රැකි මහණ කම ද වැරදිලෙසින් රැකි මහණකමින් මහණැයි කියා ගන්නා මහණහු නිරයට ඇද දමන්නේ ය. ඒ නො වැළකිය හැකි ය.
යං කිඤ්චි සිථිලං කම්මං = ලිහිල් කොට යම් කුශල කර්‍මයෙක් වේ ද.
“දෙම් ද, නො දෙම් ද, කෙරෙම් ද, නො කෙරෙම් දැ”යි පසු බැස බැස සිත සිතා කරණ දානාදිකුශල කර්‍ම ලිහිල් කොට කරණ ලද කුශලකර්‍මැ යි ගැණේ. [2]
සඞ්කිලිට්ඨං ච යං වතං = සකිලිටි වූ යම් ව්‍රතයෙක් වේ ද.
ශීලව්‍රත - ධූතාඞ්ගව්‍රත විසින් ව්‍රත ය දෙපරිදි ය. එහි ශීලව්‍රතය වෙසඟනන් වසන තැන්, මළසැමියන් හෝ නොරට සැමියන් ඇති ගෑණුන් වසන තැන්, දීග නො ගොස් ගෙයි ම මහලු ව ඉන්නා ගෑණුන් වසන තැන්, නපුංසකයන් වසන තැන්, මෙහෙණන් වසන තැන් යන නො එළැඹිය යුතු තැන්හි හැසිරීමෙන් ශීලව්‍රතය කිලිටි වන්නේ ය.
ධූතාඞ්ගව්‍රතය කිලිටි වනුයේ “මේ නිසා ලෝකයා මට සැලකීම් දක්වන්නේ ය”යි ලාභාශාවෙන් ආරණකාදී වූ ධුතාඞ්ග රැකීමෙනි. [3]
සඞ්කස්සර බ්‍රහ්මචරියං = සැකයෙන් හැසිරිය යුතු වූ යම් බඹසරෙක් වේ ද.
පොහෝ පවුරුණු ආදී වූ සඞ්ඝකර්‍ම කරන්නට රැස් වූ භික්‍ෂු සඞ්ඝයා දැක “එකාන්තයෙන් මොවුහු මාගේ හැසිරීම දැක සඟ පිරිසෙන් බැහැර කරණු පිණිස උත්ක්‍ෂෙපණීය කර්‍මය කරන්නට රැස්වූවාහු වෙති”යි මෙසේ තමා විසින් ශඞ්කායෙන් යුක්තව හැසිරිය යුතු හෙයින් හෝ යම් කිසිවක්හු විසින් විහාරයෙහි කරණ ලද අනාචාරයක් දැක “මේ අනාචාරය අසවල් මහණහු විසින් කරණ ලද්දේ වනැ”යි අනුන් විසින් සැකයෙන් හැසිරිය යුතු වූ මහණකම ‘සඞ්කස්සර බ්‍රහ්මචරිය’ නම්. මෙහි වූ ‘සාමඤ්ඤං, බ්‍රහ්මචරියං’ යන දෙපදයෙන් ම කියැ වෙනුයේ මහණකම ය. [4]
න තං හොති මහප්ඵලං = ඒ සියල්ල මහත්ඵල නො වේ.
සිථිල කොට කළ කුශලකර්‍මය, සකිලිටි වූ ව්‍රතය, සැකයෙන් හැසිරිය යුතු වූ විනය දහමට නො සරුප් වූ ශ්‍රමණභාවය යන මේ සියල්ල ප්‍රතිසන්‍ධි ප්‍රවෘත්ති විපාක විසින් මහත්ඵල ඇත්තේ නො වේ. එ හෙයින් ම ඔවුන් සගන්නන්හට ද ඵලයෙක් නො වන්නේ ය.
කයිරා චෙ කයිරාථ එතං = ඉදින් (කුශල කර්‍මයක්) කරන්නේ නම් එය (මනාකොට ම) කරන්නේ ය.
දළ්හං එතං පරක්කමෙ = එය තර කොට ම කරන්නේ ය.
සඨිලො හි පරිබ්බාජො = යම් හෙයකින් ඛණ්ඩාදිභාවයට ගිය මහණකම. [5]
භීය්‍යො ආකිරතෙ රජං = බොහෝ කොට රාගාදිරජස් වගුරුවාද (එහෙයිනි)
යම්කිසි කර්‍මයක් කරන්නහු විසින් ඒ කර්‍මය කිසිත් හේතුවකින් නො පසු බැස ම නො නැවතීම දැඩිව ගෙන මනාකොට ම කළ යුතු ය. අතරතුර ඇවැත්වලට පැමිණීම් ඈ විසින් නො මනාකොට කරණලද මහණකම සිත්තුළ පවත්නා රාගාදී වූ රජස් කෙලෙස් බැහැර කිරීමෙහි අපොහොසත් වේ. එබඳු මහණකම ඔහු මතුයෙහි තව තවත් අන්‍ය වූත් කෙලෙස් රජස් වගුරු වන්නේ ය.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවන්පාදියට පැමිණියාහු ය. ඒ මහණ ද ආයතිසංවරයෙහි පිහිටා පසුව විදර්‍ශනා භාවනා වඩා රහත්බවට පැමිණියේ ය.
දුර්‍වචභික්‍ෂු වස්තුව නිමි.