නගරං යථා පච්චත්තං ගුත්තං සන්තරබාහිරං
එවං ගොපෙථ අත්තානං ඛණො වො මා උපච්චගා
ඛණාතීතා හි සොචන්ති නිරයම්හි සමප්පිතා.
ප්‍රත්‍යන්තයෙහි (හෙවත් රට කෙළවරැ පිහිටි) (ද්වාරප්‍රාකාරාදිය තර කිරීමෙන්) ඇතුළත හා සහිත කොට, (දොරටු අටලු පදනම් අගල් ආදිය තර කිරීමෙන්) පිටත සහිත කොට (නොහොත් ඇතුළතින් පිටතින්) සොරුන් නොවැද්ද හැකි සේ රක්නා ලද නුවරෙක් යම් සේ ද, එ පරිද්දෙන් ම ආත්මය (හෙවත් සිත) රකිවු. යම් හෙයකින් ක්‍ෂණසම්පත් ඉක්මියාහු නිරයෙහි පිහිටියෝ (නිරයෙහි උපන්නෝ) ශෝක කෙරෙත් ද, එ හෙයින් (දුෂ්ට ක්‍ෂණයෙන් මිදුනු) ක්‍ෂණසම්පත්තිය ඒකාන්තයෙන් තොප නහමක් ඉක්මේවා.
බොහෝ ගණනක් ආගන්තුක භික්‍ෂූහු පිටිසර ගමෙක වස් එළැඹැ එහි මුල් මසැ සුවසේ විසූහ. දෙවන මසැ සොරු අවුත් ඔවුන්ගේ ගොදුරුගම පැහැර ගම් වැසි මිනිසුන් බොහෝ ගණනක් බලාත්කාරයෙන් බැඳගෙණ ගියහ. සෙසු මිනිස්සු එතැන් පටන් සොරුන්ගේ පැමිණීම වළකාලනු පිණිස එගම දොර පවුරු අටලු ආදියෙන් සකස් කරන්නාහු භික්‍ෂූන්ට සුදුසු පරිදි මැනැවින් උපස්ථාන කරන්නට ඉඩකඩ නො ලැබූහ. භික්‍ෂූහු ද අපහසුවෙන් වස් කාලය ගෙවා වස් හමාර කොට බුදුරජුන් දැකීමට සැවැත් නුවර ජෙතවනාරාමයට ගොස් බුදුරජුන් වැඳ එකත් පස්හිහුන්හ. එකල්හි බුදුරජානන් වහන්සේ ඔවුන් හා කළ පිළිසඳර කතා ඇති සේක් “මහණෙනි! කොහොම ද, සුවස් විසූහු දැ?”යි අසා වදාළ සේක. “ස්වාමීනි! වස් තෙමසින් පළමු මස, නම් සුවසේ විසූම්හ. දෙවන මසැ සොරු අවුත් ගම පැහැර ගෙණ ගියහ, එතැන් පටන් එහි ඉතිරි ටික දෙන ගම රැකුම්හි යෙදුනාහු අපට උපස්ථාන කිරීමට ඉඩ කඩ නො ලැබූහ, එහෙයින් එතැන් සිට තරමක අපහසුවෙන් අපි කල් ගෙවූම්හ”යි ඒ භික්‍ෂූන් දන්වා සිටි කල්හි “මහණෙනි! එය ලොකුවට සැලකිය යුත්තෙක් නො වේ, පහසුවෙන් සැපයෙන් හැමදා වසන්නට කාටත් නො ලැබෙන්නේ ය, මහණෙනි! ඒ මිනිස්සු යම්සේ ගම රැක ගැණීමෙහි යෙදුනාහු ද, එපරිද්දෙන් මහණහු විසිනුදු ආත්මභාවය රැක ගන්නට වටී ය”යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක.
නගරං යථා පච්චන්තං ගුත්තං සන්තරබාහිරං,
එවං ගොපෙථ අත්තානං ඛණො වෙ මා උපච්චගා,
ඛණාතීතා හි සොචන්ති නිරයම්හි සමප්පිතාති.
පසල්හි පිහිටි නුවරෙක් ඇතුළත පිටත සහිතව රක්නා ලද්දේ යම්සේ වේ ද එසේ තමා රකිවු යම්හෙයකින් ක්‍ෂණසම්පත් ඉක්මවා ගියාහු නරකයෙහි උපන්නාහු ශෝක කෙරෙත් ද එහෙයින් ක්‍ෂණය තෙමේ එකාන්තයෙන් (තොප) ඉක්ම නො යේවා.
නගරං = නුවරෙක්. [1]
පච්චන්තං = රට කෙළවර පිහිටි. පිටිසර.
හැදුනු වැඩුනු හොඳ සිරිත් විරිත් නැති ම්ලෙච්ඡයන් වසන දෙශය ‘පච්චන්ත’ නමි. මැදුම් දෙසින් පිටත්හි වූ දෙශය යි. “විසිට්ඨාචාරරහිතො මිලක්ඛදෙසො, මජ්ඣිමදෙසස්ස බහිද්ධාභාගෙ ජාතො” යනු කෝෂයි.
ගුත්තං = රක්නා ලද.
සන්තරබාහිරං = ඇතුලත පිටත සහිතව.
එවං ගොපෙථ අත්තානං = එසේ තමා (සිත) රකිවු.
‘සොරුන්ට ඇතුල් වන්නට නො හැකි සේ දොරටු පවුරු ඈ තර කිරීමෙන් ඇතුළත හා දොරටු අටලු පදනම් අගල් ඈ තර කිරීමෙන් පිටත හා රක්නාලද නුවරක් සේ ආද්ධ්‍යාත්මිකායතනැ යි කියූ චක්‍ෂුරාදී වූ සදොරට අමුණු වන බාහිරායතනැ යි කියූ රූපාදී සාරමුණෙහි රාගාදී කෙලෙසුනට උපදනට ඉඩ නො තබා සිහියෙන් යුක්තව වෙසෙමින් තමාග් සිත රැක ගණිවු, යනු මේ වදාළ සේ ය. මේ මෙය අටුවායෙහි කී සැටි:- “යථා භික්ඛවේ! තෙහි මනුස්සෙහි තං පච්චන්තනගරං ද්වාරපාකාරාදීනි ථිරානි කරොන්තෙහි සන්තරං, ද්වාරට්ටාල උද්දාමපරිබාදීනි ථිරානි කරොන්තෙහි සබා හිරං සුගුත්තං කතං, එවං තුමේහෙපි සතිං උපට්ඨපෙත්‍වා අජ්ඣ තතිකානි චද්වරානි පිදහිත්‍වා ද්වාරරක්ඛිත සතිං අවිස්සෙජ්ජෙත්‍වා යථා ගය්හමානානි බහරානි ඡ ආයතනාහි අජඣතතිකානං උපඝ්‍යාතාය සංවත්තන්ති, තථා අග්හිතානිපි ඡිරානි කත්‍වා තෙසං අප්පවෙසාය ද්වාරරක්ඛිතං සතිං අප්පහාය විවරන්තා අත්තානං ගොපෙථ” යි.
මෙහි ප්‍රධාන විසින් “සො චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තගගාහී හොති නානුබ්‍යඤජනග්ගාහී, යත්‍වාධිකරණමෙතං චක්ඛුන්‍ද්‍රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්‍වාස්සවෙය්‍යුං, තස්ස සංවරාය පටිපජ්ජති රක්ඛති චක්ඛුන්‍ද්‍රියං, චක්ඛුන්‍ද්‍රියෙ සංවරං ආපජ්ජති, සොතෙන සද්දං සුත්‍වා - ඝානෙන ගන්‍ධං ඝායිත්‍වා ජිව්හාය රසං සායිත්‍වා - කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්‍වා - මනසා ධම්මං විඤ්ඤාය න නිමිත්තග්ගාහී හොති නානුබ්‍යඤ්ජනග්ගාහී - මනින්‍ද්‍රියෙ සංවරං ආපජ්ජති”යි වදාළ ඉන්‍ද්‍රියසංවරය ගැණේ.
ඛණො වෙ මා උපච්චගා = ක්‍ෂණය තෙමේ එකාන්තයෙන් (තොප) ඉක්ම නො යේවා.
ඛණාතීතා හි සොචන්ති නිරයම්හි සමප්පිතා = යම් හෙයකින් ක්‍ෂණසම්පත් ඉක්මවා ගියාහු නරකයෙහි උපන්නාහු ශෝක කෙරෙත් ද, එහෙයිනි.
යමෙක් මෙසේ ආද්ධ්‍යාත්මකායතනැ යි කියූ චක්‍ෂුරාදී වූ සදොරට අරමුණු වන බාහිරායතනැ යි කියූ රූපාදි වූ සාරමුණෙහි රාගද්වේෂමෝහාදී වූ කෙලෙසුනට ඉපදීමට කිසි ලෙසකින් ඉඩ නො තබා සිහියෙන් යුක්ත ව වෙසෙමින් තම සිත නො රකී නම් බුද්ධොත්පාද කාලය, මද්ධ්‍යදෙශයෙහි උත්පත්තිය, සම්‍යග්දෘෂ්ටිය, චක්‍ෂුරාදී වූ ඉඳුරන්ගේ නො විකල බව යනාදී වූ මේ සියලු දුලභක්‍ෂණයෝ ඔහු ඉක්මවා යත්. මෙ කියූ ක්‍ෂණ ඉක්ම වූවෝ යම් හෙයකින් අපායයෙහි ඉපිද බොහෝ කලක් ශෝක කෙරෙත් ද එහෙයින් අෂ්ට දුෂ්ටක්‍ෂණයෙන් මිදී දුකසේ ලත් මේ බුද්ධොත්පාද - කාලය තොප නොඉක්ම යේවා. දාන - ශීල - භාවනාදීන්ගේ වශයෙන් ප්‍රතිපත්ති පුරා තොප විසින් මේ බුද්ධොත්පාදකාලයෙන් ප්‍රයෝජන ගතයුතු ය. [2]
ධර්‍මදේශනාවගේ අවසානයෙහි ඒ භික්‍ෂූහු උපන් සංවේග ඇත්තාහු රහත් බැව්හි පිහිටියාහු ය.
ආගන්තුකභික්‍ෂු වස්තුව නිමි.