2-8 කන්දක් උඩදී රහත් වූ උතුමෙක්

අප්පමාදරතො භික්ඛු පමාදෙ භය දස්සි වා

සංයොජනං අණුං ථූලං ඩහං අග්ගීව ගච්ඡති.

නොපමාබව්හි ඇලුනු, පමායෙහි බිය දක්නා සුලු, මහණ තෙම(උද්ධාමභාගිය වශයෙන්) කුඩා වූ ද, (ඕරම්භාගිය වශයෙන්) මහත් වූ ද, සංයෝජන සියල්ල ලැව්ගින්නක් සෙයින් (රහත්මග නුවණ ගින්නෙන්) දවමින් යන්නේ ය.

නමින් ප්‍රසිද්ධියට නො පැමිණි එක් ස්ථවිරයන් වහන්සේ නමක් බුදුරජානන් වහන්සේ වෙතින් කමටහන් උගෙන වනයට ගොස් රහත්බවට පැමිණෙන්නට උත්සාහ කළ සේක. එහෙත් උන්වහන්සේ රහත්බවට පැමිණෙන්නට අපොහොසත් වූහ. එ හෙයින් ‘නැවැතත් කමටහන් කියවා ගන්නෙමි යි වනයෙන් නික්ම බුදුරජුන් වෙත එන්නෝ අතරමග දී හැමතින් බුරබුරා නැගි මහත් ලැව්ගින්නක් දැක, වහවහා ගොස් ගස්කොළන් නැති කන්දක් උඩ නැගී වනය දවා පෑතිර යන ඒ ලැව්ගින්න බලා ‘මේ ගිනිකඳ ලොකු කුඩා දර පරඬලා දවමින් යම්සේ. පැතිර යේ ද, එමෙන් ආර්‍ය්‍යමාර්‍ගඥාන නැමැති ගින්නෙන් කුදු මහත් සසර බැඳුම් දවා යා යුතු වන්නේ ය යි අරමුණු ගත්හ. එ වේලෙහි තිලෝගුරු සම්මා සම්බුදුරජානන් වහන්සේ ගඳකිළියෙහි වැඩහුන් සේක. උන්වහන්සේ එහි දී ඒ ස්ථවිරයන් වහන්සේ ගේ සිතේ පැවැත්ම දැන, ‘මහණ! ඒ එසේ ය තමුසේගේ සිතුවිල්ල ඉතා යහපත් ය, සත්‍වයන්ගේ සිත තුළ හටගන්නා ලොකු කුඩා සංයෝජන මේ වෙනෙහි වූ ලොකු කුඩා දරකැබලි වැනි ය, එහෙයින් සත්‍වයන්ගේ ඇතුළත උපදින ඒ ලොකු කුඩා සංයෝජන, ආර්‍ය්‍යමාර්‍ගඥාන නැමැති ගින්නෙන් දවා නැවැත ඔවුනට ඉපදීමට ඉඩ නො තැබිය යුතුය ’ යි ආලෝකයක් පතුරුවා ඒ භික්‍ෂූන් වහන්සේගේ ඉදිරිපිට සිටියහු සේ පෙණන සේක් මේ ධර්‍මදේශනාව කළ සේක.

අප්පමාදරතො භික්ඛු පමාදෙ භයදස්සි වා,

සංයොජනං අණුං ථූලං ඩහං අග්ගි’ව ගච්ඡතී’ති.

නො පමාබවෙහි ඇලුනු පමාබවෙහි බිය දක්නා සුලු මහණ තෙමේ ලොකු කුඩා දරකෝටු දවමින් පැතිර යන ගින්නක් සේ ලොකු කුඩා සංයෝජන දවමින් නිවනට යන්නේ ය.

අප්පමාදරතො = නො පමාබවෙහි ඇලුනු.

මෙහි එන ‘භික්ඛු’ යන්නට විශේෂණ ව සිටියේ ය. අප්‍රමාද ප්‍රතිපත්තියෙන් කල් දවස ගත කරන්නේ ය ‘අප්පමාදරත’ නම්.

භික්ඛූ = මහණ තෙමේ.

පමාදෙ භයදස්සි වා = පමාවෙහි බියදක්නා සුලු.

මෙ ද, භික්ඛූ, යන්නට විශේෂණ වේ නිරයෙහි ඉපැම මුල්කොට ඇති පමාබවෙහි බිය දක්නේ, නොහොත්, නිරයෙහි ඉපැදුම් ආදියට මුල් වූ බැවින් පමා බව බිය විසින් දක්නා සුලු වූයේ ය, ‘පමාදෙ භයදස්සී’නම්.

සංයොජනං = සංයෝජනයන් සසර යෙදුම්, සසරබැඳුම්.

සත්‍වයන් සසරදුක හා යොදන බඳින, සත්‍වයන් සසරෙහි ගල්වන දහම් ය සංයෝජන. සක්කායදිට්ඨි - විචිකිච්ඡා - සීලබ්බත පරාමාස - කාමරාග - ව්‍යෘපාද - රූපරාග - අරූපරාග - මාන - උද්ධච්ච - අවිජ්ජා යන මේ දසය සංයොජනැ යි ගැණේ. මොවුන්ගේ ශක්තිය බලාය, සංයොජනැ යි කීවෝ. ‘යස්ස සංවිජ්ජතී තං පුග්ගලං වට්ටස්මිං සංයොජෙති බන්‍ධතීති = සංයෝජනං’ සංයෝජනයෝ යමකුට වෙත් නම්, ඒ පුද්ගලයා සසර යොදන්නෝ ය, බඳින්නෝ ය, ඒ සංයෝජනයෝ. ‘වට්ටස්මිං සත්තෙ සංයොජෙති බන්‍ධතීති = සංයොජනං’ සත්‍වයන් සසරදුකෙහි දැඩිකොට යොදන්නේ බඳින්නේ සංයෝජන නම්, ‘සංයොජනන්ති = බන්ධනං’ යනු කීයේ එහෙයිනි. තව ද ‘සංයොජනන්ති වට්ට දුක්ඛෙන සද්ධිං සන්‍ධානං’ යන මෙයින් ද කීයේ ඒය.

‘තානි සංයොජන්ති ඛන්‍ධගතිභවාදීහි බන්‍ධගතිභවාදයො කම්මං වා ඵලෙන තස්මා සංයොජනානීති වුච්චන්ති’ යි තවත් මදක් සංයෝජන යන්නෙහි අරුත හෙළි කළහ. ඔවුහු ස්කන්‍ධගතිභවාදිය, ස්කන්‍ධගතිභවාදිය හා යොදත්. කර්‍මය හෝ ඵලය සමග යොදත්. එහෙයින් සංයොජනැ යි කියනු ලැබෙත්, යනු එහි අරුත් ය.

සත්‍වයන්ගේ සසර ඉපැත්මට හේතු වූවෝ, සත්‍වයන් සසරැ යොදන්නෝ සංයෝජනයෝ ය, යනු මේ සියලු වාක්‍යයන්ගේ කෙටි තේරුම් ය. සියලු තන්හි අදහස එකෙක් ම ය. සත්‍වයන්ගේ ස්කන්‍ධ ධාරණයත් අපායාදීගතිවල ඉපැමත් එකවොකරාදි භවයන්හි විසීමත් යම් ධර්‍මශක්තියකින් සිදු වෙත් නම් ඒ සිද්ධියට හේතු වූ වෝ සංයෝජනයෝ ය.

අණුං = කුඩා වූ

මෙයින් රූපරාග-අරූපරාග-මාන-උද්ධච්ච-අවිජ්ජා යන පස ගැණේ. උද්ධම්භාගීය යි කියනු ලබන්නේ ද මේ පංචකය ය. රූපාරූපභවයෙහි උපතට හේතු වන්නේ මේ පසය. එහෙයිනි උද්ධම්භාගීය යි කියන්නේ. ‘උද්ධං වුච්චති රූපාරූපධාතු’ රූපලෝක-අරූපලෝක දෙක ‘උද්ධං ’ යි කියනු ලැබේ. එහෙයින් රූපාරූපලෝකයන්හි වූවෝ, එහි උපතට හේතු වූවෝ ‘උද්ධම්භාගීය නම් වෙති. මේ සංයෝජන පස, ඉතිරි සංයෝජන පස සේ බල ගතු නො වන බව ‘අණුං යන මෙයින් වදාළ සේක. ‘ථූලං යන මෙයින් ගැණෙන සංයෝජන සිඳහැරීමෙන් ම ඉතා දුකසේ කට යුතු ය. ඔවුන් සිඳහැරීමෙන් පසු මොවුන් සිඳහැරීම් නිදුකින් කළ හැකි ය. මොවුන්ගේ සිඳහැරීම එකාන්තසිද්ධ ය. කාමලෝකයෙහි උපත නැති කළ උතුමන් පිළිබඳය මේ සංයෝජන පස. ආර්‍ය්‍යපුද්ගලපක්‍ෂයෙහි ලා ගැණෙති මේ උත්තමයෝ.

ථූලං = ලොකු වූ. මහත් වූ.

මෙයින් සස්කායදිට්ඨි-විචිකිච්ඡා-සීලබ්බතපරාමාස-කාමරාග-ව්‍යාපාද යන පස ගැණේ. ‘ඔරම්භාගීය’ යි කියනු ලබන්නේ ද, මේ පංචකය ය. කාමලෝකයෙහි උපතට හේතු වන්නේ මේ පස ය. එහෙයින් ‘ඔරම්භාගීය යි කියන්නේ. ‘ඔරං වුච්චති කාම ධාතු’ කාමලෝකය ‘ඔර යි කියනු ලැබේ. එ හෙයින් කාම ලෝකයෙහි වූවෝ, එහි උපතට හේතු වූවෝ ‘ඔරම්භාගීය’ නම් වෙති. මේ සංයෝජන පස ඉතිරි සංයෝජන පසට වඩා ඉතා බලගතු බව බව ‘ථූලං යන මෙයින් වදාළ සේක. සත්‍වයා සසර බැඳ තැබීමේ බලවත් ශක්තියක් මොවුන්ට ඇත්තේ ය. උද්ධම්භාගීයසංයෝජන සසර සැරිසරන සත්‍වයාගේ ගෙලෙහි ලූ රැහැණක් සේ ද, ඕරම්භාගීයසංයෝජන පයෙහි ලු රැහැණක් සේ ද දත යුතු ය. පයෙහි ලූ රැහණක් සේ ගැණෙන සංයෝජන සිඳ හැරීම ඉතා දුකින් කළ යුතු ය.

‘අජ්ඣත්තසංයොජන - බහිද්ධාසංයොජන’ යි සංයෝජන තවත් දෙ පරිද්දෙකින් පොතෙහි ආයේ ය. එහි කාමභවය ‘අජ්ඣත්ත නම්. රූපාරූපභවය ‘බහිද්ධා නම්. කාමභවයෙහි ඉපදීම හා මැරීම බොහෝ සෙයින් වන බැවින් එහි ආලය ප්‍රාර්‍ත්‍ථනාව අභිලාෂය ඉතා බොහෝ ය. ඉතා බලගතු ය. මෙසේ යම් තැනක ඉපදීම හා මැරීම බහුල ව සිදු වේ නම්, එ තැන ආලයාදිය ද බොහෝ ය. එහෙයින් කාමලෝකය ‘අජ්ඣත්ත නම් වේ.

රූපාරූපභවයෙහි ඉපදීම හා මැරීම බොහෝ නො වන බැවින් එහි ආලය ප්‍රාර්‍ත්‍ථනාව අභිලාෂය ස්වල්ප වේ. බොහෝ නො වේ. මෙසේ යම් තැනක ඉපදීම හා මැරීම බහුල ව සිදු නො වේ නම්, එ තැන ආලයාදිය ද බොහෝ නො වේ. රූපාරූපභවය ‘බහිද්ධා නම් වූයේ එහෙයිනි.

අජ්ඣත්ත නම් වූ කාමභවයෙහි ඡන්‍දරාගය තෙමේ ‘අජ්ඣත්ත සංයොජන’ නම්. රූපාරූපභවයෙහි ඡන්‍දරාගය තෙමේ ‘බහිද්ධා සංයොජන’ නම්. අජ්ඣත්තසංයෝජන යන්නෙන් ඕරම්භාගීය සංයෝජනයෝත්, බහිද්ධාසංයෝජන යනෙන් උද්ධම්භාගීය සංයෝජනයෝත් ගැණති. දශක්ලේශ, දශසංයොජනැ යි ගැනේ. දශක්ලේශ කියන ලද්දේ ය.

ඩහං අග්ගි ඉව ගච්ඡති = ගින්නක් සේ දවමින් යයි.

ගින්න කුදු මහත් දර කෝටු දැව දඬු දවමින් යන්නා සේ නො පමාබවෙහි ඇලුනු මහණ තෙමේ අප්‍රමාදයෙන් තමන් ලැබූ අර්‍හත්මාර්‍ගඥාන නැමැති ගින්නෙන් ඕරම්භාගීය-උද්ධම්භාගීය සංයෝජනයන් දවමින් නැවැත ඉපැත්මට නො සුදුසු කරමින් නිවන් පුරයට යයි. ‘යථා අයං අග්ගි තං මහන්තං ච ඛුද්දකඤ්ච උපාදානං ඩහන්තො ගච්ඡති, එවමෙව සො අප්පමාදරතො භික්ඛු අප්පමාදාධිගතෙන ඤාණග්ගිනා එතං සංයොජනං ඩහන්තො අභබ්බුප්පත්තිකං කරොන්තො ගච්ඡති’ යනු අටුවා ය. ‘ඩහං’ යනු අටුවා ය. ‘ඩහ’ යනු ඩහන්ත ශබ්දයේ ප්‍රථමා එකවචන යි.

ධර්‍මදේශනාවගේ අවසානයෙහි ඒ මහණ තෙමේ හුන් ලෙසින් ම සියලු සංයෝජන දවා සිවු පිළිසැඹියාවන් ලබා රහත් බවට පැමිණ අහසින් අවුත් බුදුරජුන්ගේ රන්වන් සිරුරට ස්තුති කොට වඳිමින් ගියේ ය.

නමින් අප්‍රකට භික්‍ෂුවගේ කථාවස්තුව නිමි.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.