22-4 පරඹුවන් කරා ගිය ඛේම

චත්තාරි ඨානානි නරො පමත්තො

ආපජ්ජති පරදාරූපසෙවී.

අපුඤ්ඤලාභං න නිකාමසෙය්‍යං

නින්‍දං තතියං නිරයං චතුත්‍ථං.

පරඹුන් සෙව්නා සුලු, පමා වූ පුරුෂ තෙම පළමු වන අකුසල ප්‍රතිලාභය ද, දෙවෙනි වූ නිකාමශ්‍යාව (කැමැති සේ වැදෑ හීම) නො ලැබීම ද, (හෙවත් මඳ නිදි ඇති බව ද), තෙවෙනි වූ මෙ ලොව ලබන නින්‍දාව ද, සතර වනු නිරයෙහි ඉපැද්ම ද යන දුක් කරුණු සතරට පැමිණෙයි.

අපුඤ්ඤලාභො ච ගතී ච පාපිකා

භීතස්ස භීතාය රතී ච ථොකිකා

රාජා ච දණ්ඩං ගරුකං පණෙති

තස්මා නරො පරදාරං න සෙවෙ.

ඔහුට අකුශලප්‍රතිලාභය ද, එයින් වන (නරකෝප්පත්තිසංඛ්‍යාත) ලාමක විපාක ගතිය ද වේ. බියපත්හුගේ බියපත් ස්ත්‍රිය හා සංසර්‍ගයෙන් උපදනා කාමරතිය ද ස්වල්ප වේ. රජ ද ගරු වූ දඬුවම් පණවයි. එහෙයින් පුරුෂ තෙම පරඹුවන් නො සෙව්නේ ය.

ඛේම නම් සිටුපුත්, අනේපිඬු සිටුහුගේ බෑනනුවෝ ය. හෙතෙමේ දුටුවන් පහදවන රූ ඇත්තේ ය. ස්ත්‍රීහු ‍බොහෝසෙයින් ඔහු දැක කාමවේගයෙන් කුල්මත් වූවෝ සියතතු දරා ගැණීමෙහි අපොහෙසත් වූහ. ඛේම තෙමේ ද පරඹුවන් කෙරෙහි ඇලුලේ නිතර එවුන් කරා ගියේ ය. දිනක් පරඹුවන් කරා යන මොහු රාත්‍රියෙහි රාජපුරුෂයන්ට හසු විය. රාජපුරුෂයෝ ඔහු අල්ලා ගෙණ ගොස් රජුට දැක් වූහ. රජ තෙමේ “මේ නිසා මොහුට දඬුවමක් කෙළෙම් නම් එහ මහසිටුහට ලජ්ජාවට කරුණු වන්නේ ය”යි කිසිත් විනිශ්චයක් නො කොට මුදා හැරියේ ය. එහෙත් ඛේම තෙමේ පරඹුවන් කරා යෑම අත් නො හළේ ය. ඉන් පසුත් දෙතුන් විටක් ම මොහු අල්ලා රජු ඉදිරියට පැමිණ වූහ. එහෙත් රජ තෙමේ ඒ හැමවරම කිසිත් නො බැණ පිටත් කොට හැරියේ ය. මහසිටුතෙමේ මේ පුවත අසා ‍ඔහු ද රැගෙණ බුදුරජුන් වෙත ගොස් මෙය දන්වා “ස්වාමීනි! මොහුට බණ ටිකක් දේශනා කරණු මැනැවැ”යි ඇයැද සිටියේ ය. බුදුරජානන් වහන්සේ පරඹුවන් ගැණීමෙන් එලොව මෙලොව දෙක්හි වන දරුණු විපාකයන්ගේ බිහිසුණු බව දක්වමින් මේ ධර්‍ම දේශනාව කළ සේක.

චත්තාරි ඨානානි නරො පමත්තො

ආපජ්ජති පරදාරූපසෙවී,

අපුඤ්ඤලාභං න නිකාමසෙය්‍යං

නින්‍දං තතීයං නිරයං චතුත්‍ථං.

.

අපුඤ්ඤලාභො ච ගතී ච පාපිකා

භීතස්ස භීතාය රතී ච ථොකිකා,

රාජා ච දණ්ඩං ගරුකං පණෙති

තස්මා නරො පරදාරං න සෙවෙති.

පරඹුවන් සෙවුනාසුලු පමා වූ මිනිස් තෙමේ අකුසල් ලැබීම, කැමැති සේ නො නිදීම, තෙවන වූ නින්‍දාව, සිවුවන වූ නිරයෙහි ඉපැත්ම යන දුක් කරුණු සතරට පැමිණේ.

අකුසල් ලැබීම ද, ලාමකගතිය ද (ඔහුට) වේ. බියපත් වූවහුගේ බියපත් ස්ත්‍රිය සමග කරණ කාමරතිය ද ස්වල්ප වේ. රජ තෙමේ ද බරදඬුවම් පණවයි. එහෙයින් මිනිස් තෙමේ පරඹුවන් සේවනය නො කරන්නේ ය.

චත්තාරි ඨානානි = කරුණු සතරකට.

නරො පමත්තො = පමා වූ මිනිස් තෙමේ. [1]

ආපජ්ජති = (කරුණු සතරකට) පැමිණේ.

පරදාරූපසෙවී = පරඹුවන් සෙවුනා සුලු. [2]

“පුඤ්ඤපටික්ඛාති = අපුඤ්ඤාති” පිණට ප්‍රති‍පක්‍ෂවූවෝ අපුඤ්ඤ නම් වෙත්. යම් කිසි ධර්‍මශක්තියකින් සත්‍වසන්තානය අපවිත්‍ර කෙරේ නම් ඒ ධර්‍මශක්තිය අපුඤ්ඤ නම් වේ. අකුසල නමින් කියැවෙනුයේ ද මේ ය.

න නිකාමසෙය්‍යං = කැමැතිසේ නිදි නො ලැබීමට. නො නිදීමට.

පමාවූවහුට, සිහියෙන් තොර වූ වහුට තමා කැමැති සේ සුවසේ නිදි නො ලැබෙන්නේ ය. හේ නින්දට ගියේ නපුරු සිහින දක්නේ ය. හේ නින්දට ගියේ නපුරු සිහින දක්නේ ය. නන් දොඩන්නේ ය. හඬ නගන්නේ ය. පෙරැළෙන්නේය. තතනනුයේ ය. බියවනුයේ ය.

නින්‍දං තතියං = තෙවන වූ නින්‍දාවට.

ගැරහීම, අවමන් කිරීම, නුගුණකීම, බැණීම, නින්‍දා ය. මේ වනාහි ලෝකධර්‍මයෙකි. ලෝකධර්‍ම අටෙකි. නින්‍දාව ඉන් එකෙකි. නින්‍දාවෙන් මිදුනෙක් ලෝකයෙහි නැත. එහෙත් නින්‍දාවට බිය විය යුතු ය. කරුණු ඇති ව හෝ කරුණු නැති ව නින්‍දා කිරීම ගැරහීම ලෝකයාගේ ස්වභාවය යි. එහිදී නො සැලිය යුතු ය. [3]

නිරයං චතුත්‍ථං = සිවුවැනි වූ නරකයට. [4]

සිහිනුවණින් තොර ව වසන අනුන් අයත් ගෑණුන් හා කාමසේවනය කරන පවිටු මිනිසා ඒ හේතුයෙන් අකුසල් සිදුකර ගැණීම, තමා කැමැති සේ නිදි නො ලැබීම, මෙ‍ ලොවදී ම ගැරහුම් ලැබීම නිරයෙහි ඉපැත්ම යන මේ දුක් සතරට පැමිණෙන්නේ ය යි මෙයින් වදාළ සේක.

අපුඤ්ඤලාභො ච = අකුසල් ලැබීම ද.

ගති ච පාපිකා = ලාමක උපත ද.

මෙහි ‘ගති’ යන්නෙන් මරණින් මතු කෙරෙණ සත්ත්‍වයන් පිළිබඳ උපත කිය වේ. ‘පාපිකා’ යනු එය වෙසෙසන්නේ ය. ලාමක උපත, පහත් උපත, නපුරු උපතැයි ‘ගති’ යනු, ඒ හා සම්බන්‍ධවීමෙන් අරුත් දෙන්නේ ය. නරක - තීර්‍ය්‍යක් - ප්‍රේත - අසුර යන මෙතැන්හි ලබන උපත ‘පාපිකා, ගති’ යන්නෙන් දක්වන ලද්දේ ය.

භීතස්ස භිතාය රති ච ථොකිකා = බියපත්වූවහුගේ බියපත් ස්ත්‍රිය සමග කරණ කාමරතිය ද ස්වල්ප වේ.

‘කිසිවෙක් අල්වා පහර දේ ද’ යන බියෙන්, සැකයෙන් බියපත් ව වෙවුල වෙවුලා එය නිසිතැන් නැති ව නිසි කල් නො ලැබ, එසේ ම බියපත් වූ ස්ත්‍රියක හා කාමසංසර්‍ගයෙහි යෙදෙන පුරුෂයාහට එයින් ලැබෙන කාමාස්වාදය ද සිත් සේ පවත් වන්නට නො පිළිවන් බැවින් ස්වල්පමාත්‍ර ම වේ.

රාජා ච දණ්ඩං ගරුකං පණෙති = රජතෙමේ ද බරදඬුවම් පණවයි.

ප්‍රමත්ත වූ පරඹුවන් හා පරපුරුෂයන් සේවනය කරණ පුරුෂ - ස්ත්‍රීන්ට පරලොව සිවු අපායයෙහි ඉපද දුක් විඳින්නට පෙරාතුව මෙලොව දී ම රජවරු දෙතිස් කම් කටොලු වශයෙන් පවත්නා බර දඬුවම් දෙන්නෝ ය. [5]

තස්මා නරො පරදාරං න සෙවෙ = එහෙයින් මිනිස් තෙමේ පරඹුවන් සේවනය නො කරන්නේ ය.

ධර්‍මදේශනාවගේ අවසානයෙහි ඛේම සෝවන්පලයෙහි පිහිටියේ ය. එතැන් පටන් ඔහු අතින් එබඳු ලාමක වැඩෙක් නො වී ය. මහජන තෙමේ ද මොහුගෙන් ගැහැටක් නො ලැබ සුවසේ හුන්නේ ය.

ඛේම තෙමේ පෙර කසුප් බුදුරජුන් දවස ශ්‍රේෂ්ඨ මල්ලවයෙක්ව ඉපද රන්කම් කළ පතාකා දෙකක් බුදුරජුන්ගේ ධාතු වඩා කළ රන් සෑයකට පුදා “නෑ සියලේ නෑ ගෑණුන් හැර සෙසු ගෑණු මා දැක මා කෙරෙහි ඇලෙත්වා”යි පැතී ය. මේ මොහු පෙර කළ කර්‍මය යි. ඒ පැතුම් බලයෙන් උපනූපන් තැන්හි ඔහු දුටු පරඹුවෝ ඔහු හා කාමසංසර්‍ගයෙන් නො බැඳී සිටින්නට, සිටි සේ සිටින්නට නො පිළිවන් වූහ.

ක්‍ෂේම වස්තුව නිමි.

  1. 4-3 ‘වයාසත්තමනසං නරං’/ 2-1 ‘යෙ පමත්තා’ - යනු බලනු.

  2. 1-10 ‘පාපකාරි’ යනු බලනු.

  3. 6-6 ‘නින්‍දා පසංසාසු’ යනු බලනු.

  4. 4-3 ‘දුග්ගතිංගතො’ යනු බලනු.

  5. 14-6 ‘දුක්ඛසමුප්පාදං’ යනු බලනු.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.