සෙය්‍යො අයොගුළො භුත්තො තත්තො අග්ගිසිඛූපමො
යඤ්චෙ භුඤ්ජෙය්‍ය දුස්සීලො රට්ඨපිණ්ඩං අසඤ්ඤතො.
සිල් නැති, කාය වාක් සංයම නැති පුද්ගල තෙම (රටවැස්සන්) සැදැහැයෙන් දුන් අහර (‘මමත් මහණෙකිමි’ යි පිළින කොට) වළඳන්නේ ය යන යමක් ඇද්ද, එයට වඩා දිලියුණු ගිනිසුලක් බඳු වූ යවට වළඳන ලද්දේ උතුමි.
බුදුරජානන් වහනසේ විසල්පුර මහාවනයෙහි කූටාගාරශාලායොහි වැඩ වසන එක් දවසෙක බොහෝ ගණනක් භික්‍ෂූහු වග්ගුමුදා ගංතෙර වස් එළඹුනාහ. ඒ වස් කාලයෙහි මුළු වැදෑරට දුර්භික්‍ෂයෙන් තදින් පෙළෙන්නට වන. එහි මිනිසුනට කෑම් බීම් ඇඳුම් කැඩුම් සපයා ගැණීම ද අපහසු විය. වස් විසූ ඒ භික්‍ෂුහු ද එයින් පෙළෙන්නට වූහ. එකල්හි ඔවුහු දිවි පවත්වා ගැණීම පිණිස ගිහින්ගේ වැඩ කරන්නට පණිවුඩ ගෙණ යන්නට මෙහෙවර කරන්නට සිතා නැවැත ඒ හැමට වඩා නැති සිල් පෙන්වා නැති ගුණ හඟවා එකෙකා ඒ ඒ ධ්‍යානලාභීන් කොට එකෙකා සෝවන් ය, සෙදගැමි ය, අනැගැමි ය, රහත් ය, යි දක්වා මිනිසුන් රවටා දිවි ගැලවීම පහසු ය යි කතිකා කොට එසේ කරන්නට පටන් ගත්හ. රටවැසි මිනිස්සු ද මුන් කියූ ඒ හැම කතාවක් සත්‍ය ය යි පිළිගෙණ “අපට වූයේ ලාභයෙක, මෙහි වස් එළැඹැ වසන භික්‍ෂූහු සිල්වත්හ, කලණදහම් ඇතියහ, මෙයට පෙර මෙ බඳු ගුණවත් භිකෂූහු මෙහි වස් නො එළැඹියාහු ය.”යි තමන් නො කා නො බී මවුපියන්ට අඹුදරුවන්ට හිතමිතුරන්ට සහ ලේ නෑයන්ට නො දී ඉතා අමාරුවෙන් සපයා ගත් දැය රසට මිහිරට උයා පිහා මොවුනට ගෙණ ගොස් දෙන්නාහ. ඒ කෑ බී ඔවුහු ටික දවසක් ගිය තැන පැහැ ඇතියෝ පිණා ගිය ඉඳුරන් ඇතියෝ පහන් මුවපැහ ඇතියෝ පහන් සිවිපැහැ ඇතියෝ වූහ. ඒ භික්‍ෂූහු මෙසේ රසට මිහිරට හොඳින් කා බී වැඩී වස නිමවා බුදුරජුන් දක්නට විසල්පුර මහාවනයෙහි කූටාගාරශාලාවට ගොස් බුදුරජුන් වැඳ එකත් සෙක හුන්හ. එකල්හි බුදරජුන් විසින් සුවදුක් විචාළ ඔවුහු “ස්වාමීනි! අපි සැපසේ වුසූම්හ, අපට රසට මිහිරට පිළියෙල කළ කෑම් බීම් අඩු නැතිව ලැබින, කෑම් බීම් වලින් වෙහෙසට පත් නො වූම්හ, එහෙයින් අපි සමග ව වාදවිවාද නැති ව වුසූම්හ”යි කියා සිටියහ.
බුදුරජානන් වහන්සේ “මහණෙනි! තෙපි කෙසේ නම් වාද විවාද නැතිව සුවසේ වුසූ වහු ද? කෑම් බීම් කෙසේ ලැබූ වහු දැ?”යි අසා වදාළ කල්හි ඔවුහු එහිදී කළ කියූ සැටි නො සඟවා දන්වාලූහ. බුදුරජානන් වහන්සේ “කිම, මහණෙනි! තෙපි වැදෑරට වැසියනට සැබවක් ම කී වහු දැ?”යි අසා වදාළ විට, “නැත, ස්වාමීනි! අහර පැන් ගැහැටක් නැති ව ලබා ගැණීමෙහි අදහසින් අප වෙත නැති ගුණ ඇති ලෙසට බොරු කීම්හ”යි කීහ. “හිස් පුරුෂයෙනි! අධම පුරුෂයෙනි! තෙපි කෙසේ නම් බඩ නිසා බඩ කරුණු කොට තමන් සිල් ඇතියන් කොට උසස් ගුණ දහම් ඇතියන් කොට බොරු කී වහු ද? නැති සිල් පෙන්වා නැති ගුණ හඟවා බඩ වඩා ගැණුමට වඩා ගෙරි කපන කැත්තෙක් තොපි බඩ කපා ගත්තහු නම් කොතරම් හොඳ ද, බඩ වඩ ගැණීමට සිතා නැති සිල් පෙන්වීම නැති ගුණ ඇඟවීම මහත් පාපයෙක්, බඩ කපා ගැණීම නිසා වන්නේ මරණයට පැමිණීම හෝ මරණය වැනි දුකට පත්වීම ය, එයින් නිරයෙහි ඉපැත්මෙක් නො වන්නේ ය, මහණෙනි! මෙය එසේ මෙසේ කාරියෙක් නො වේ, රට රවටා බඩ වඩා ගැණීම් හේතුවෙන් දිවි ගලවන්නන්ට නිරයෙහි ඉපද කල්ප ගණනක් නිරයදුක් විඳින්නට සිදුවනු එකාන්ත ය, එය වළකාලනු නො හැකි ය, මහණෙනි! මේ සොරු පස් දෙනෙක් වෙත්: එකෙක් ගම්නියම්ගම් රජදනවුහි හැසිරෙමින් බොරු කියා ගිහි පැවිද්දන් රවටා සිවුරු - පඬුපා - සෙනසුන් - බෙහෙත් ගිලන්පස - ගරු සැලකිළි බුහුමන් ලබන්නේ ය. මේ පළමුවන සොරා ය. දෙවන සොරා බුදුරජුන් වදාළ තෙවළාදහම් මැනැවින් උගෙණ පුහුණු කොට එය තමාගේ ය යි කියන්නේ ය. තෙවන සොරා එහත් මහණක් හට මුල් රහිත පරිජි ඇවතින් චොදනා කරන්නේ ය. සිවුවන සොරා සඟසතු අරම් - අරම්වතු - වෙහෙර - වෙහෙරවතු - ඉඩ කඩම් - ඇඳ - පුටු - බිසි - කොට්ට - මෙට්ට - ඇඳ ඇතිරිලි - තඹ පිත්තල යකඩ බඩු - වෑ - පොරෝ - කෙටේරි - උදලු - නියන් - වැල් - හුණ දඬු - තණකොළ - මැටි - ලී බඩු - මැටිබඳුන් - තැඹිලි - පොල් - පුවක් ආදීය ගෙදරට නෑයන්ට හිතවතුන්ට දී ඔවුන් තමන් වෙතට නතු කර ගන්නේ ය. බැඳ ගන්නේ ය. පස්වන සොරා තමන් වෙත නැත්තා වූ ධ්‍යානවිමෝක්ෂාදි උත්තරි මනුෂ්‍යධර්‍ම තමන් වෙත ඇතැ යි කියන්නේ ය, මහණෙනි! මේ තෙමේ ය දරුණු ම සොරා, යමෙක් අන් පරිද්දෙකින් දිවි පවත්වන තමා අන් පරිද්දෙකින් උසස් කොට දක්වා සොරකමින් සිවුපසය ලබන්නේ නම්, ඒ ලබා ගැණීම් ලිහිණිවැද්දා ලිහිණින් රවටා මරා ගන්නාක් වැනිය”යි නොයෙක් ලෙසින් ඒ භික්‍ෂූන් ගරහා මේ ධර්‍මදේශනාව කළ සේක.
සෙය්‍යො අයොගුළො භුත්තො තත්තො අග්ගිසිඛූපමො,
යං චෙ භුඤ්ජෙය්‍ය දුස්සිලො රට්ඨපිණ්ඩං අසඤ්ඤතොති.
හික්මීමක් නැති දුස්සීලයෙක් ඉදින් යම්හෙයකින් රටවැස්සන් විසින් සැදැහැයෙන් දෙන ලද අහර වළඳන්නේ නම් (එයට වඩා) ගින්නෙන් ඇවිළ ගත් ගිනිසිළක් බඳු වූ ලෝගුලියක් වළඳනා ලද්දේ උතුම් වේ.
සෙය්‍යො = ප්‍රශස්ත ය. උතුම් ය.
මෙ තෙමේ අතිශයින් ප්‍රශස්තය යන අරුත් හි ‘සෙය්‍යො’ යනු යෙදෙන්නේ ය. “අයඤ්ච පසත්‍ථො, අයඤ්ච පසත්‍ථො, සබ්බෙ ඉමෙ පසත්‍ථා, අයං ඉමෙසං අතිසයෙන පසත්‍ථොති = සෙය්‍යො” යනු වාක්‍ය ය ය.
අයොගුළො = යගුළ. යවට.
භූත්තොං = වළඳනාලදුයේ.
තත්තො = තැවුනු. ගිනියම් කළ. ගිනිගත්.
අග්ගිසිඛූපමො = ගිනිසිළක් බඳු. ගිනිදැල්ලක් බඳු.
යං චෙ භුඤ්ජෙය්‍ය = ඉදීන් යම්හෙයකින් වළඳා නම්.
දුස්සීලො = සිල් නැත්තාවූ පුද්ගලයෙක්. [1]
රට්ඨපිණ්ඩං = රටවැස්සන් විසින් පුදනලද අහර.
පරලොව හදහා ශ්‍රද්ධායෙන් පුජාබුද්ධියෙන් යුක්තව රට වැසියන් විසින් සිල්වතුන් කෙරෙහි පිරිනමන සිවුපසය මෙහි රට්ඨපිණ්ඩ යි ගණු ලැබේ. නෑ පරපුර හැර රට ඇසුරු කොට පැවිද්දා විසින් ලත් පිණ්ඩපාතය ද ‘රට්ඨපිණ්ඩ’ යි කියනු ලැබේ. ‘ඤාතිපරිවට්ටං පහාය රට්ඨං නිස්සාය පබ්බජිතෙන පරෙසං ගෙහතො ලද්ධත්තා පිණ්ඩපාතො රට්ඨපිණ්ඩො නාම” යනු සාධකසූත්‍ර.
අසඤ්ඤතො = කය වචන සිතින් නො හික්මුනු.
මෙහි ඉච්ඡාචාරයෙහි සිටි කොහොන්වතින් ලෝකය රවටනුයේ අසඤ්ඤත. මේ එය කියූ සැටි:- “ඉච්ඡාචාරෙ ඨිතො කුහනාය ලොකං වඤ්චකො පුග්ගලො” යි.
දුස්සීලයන් විසින් සැදැහැතියෙන් දුන් රට්ඨපිණ්ඩය වැළඳීමට වඩා ගිනියම් කළ යගුළි ගිලීම උතුම්ය යි වදාළෝ යගුළි ගිලිමෙන් වන මරණය හෝ මරණය සමාන දුක එක් අත්බැවෙක්හි ම වනු මිස එය ජාතියෙන් ජාතියට දිගට නො යන බැවිනි. දුස්සීල ව සිට අන්හු රවටා ලබා ගන්නා සිවුපසය වැළඳීම එසේ නො වේ. එය සිය දහස් ගණන් ජාතීන්හි නිරයෙහි ඉපද නන් වැදෑරුම් කටුක දුක් විඳීමට කරුණු වන්නේ ය.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවන්ඵලාදියට පැමිණියාහු ය.
වග්ගුමුදාතීරියභික්‍ෂු වස්තුව නිමි.
8-9 ‘දුස්සීලො’ යනු බලනු. ↑