21-9 එකවිහාරික ස්ථවිරයන් වහන්සේ

එකාසනං එකසෙය්‍යං එකො චරමතන්‍දිතො

එකො දමයමත්තානං වනන්තෙ රමිතො සියා.

(ගණසඞ්ගණිකායේන් ද ක්ලේශ සඞ්ගණිකායෙන් තොර වැ) හුදෙකලා ඉඳීම සෙව්නේ ය. (මාහැඟි යහන්හි නුමුදු සිහි එළවා මූලකර්‍ම ස්ථානයෙන් යෙදී හෝනා) ඒකශය්‍යාව සෙව්නේ ය. (පිඬු සිඟා ජීවත් වන බැවින්) අකුසීත වැ (සිවු ඉරියවුහි ම) හුදෙකලා ව පවතිමින් හුදෙකලා වැ තමා දමනය කරණ මහණ තෙම ගැඹුරු වෙනෙහි ම ඇලුනෙක් වන්නේ ය. (හුදෙකලා වැ වැස මිස ආකීර්‍ණවිහාරී වැ තමා දමනය කරන්නට නො පිළිවන් බැවිනි.)

එකවිහාරික ස්ථවිරයන් වහන්සේ එකලා ව ම නිදන්නේ ය, එකලා ව ම හිඳින්නේ ය, එකලා ව ම සක්මන් කරන්නේ ය, එකලා ව ම සිටින්නේ ය, යි සිවු පිරිස් අතර ප්‍රකට වූයේ ය. එකල්හි භික්‍ෂූන් වහන්සේලා; “ස්වාමීනි! මේ මහණ තනි ව ම නිද යි, තනි ව ම හඳි යි, තනිය ම සක්මන් කර යි, තනි ව ම සිටී ය”යි බුදුරජානන් වහන්සේට දන්වා සිටියහ. එයැසූ බුදුරජානන් වහන්සේ “සාධු, සාධු”යි ඒ මහණහුට සාධුකාර දී “මහණහු නම් විවේකයෙන් කල් දවස ගෙවන්නකු විය යුතු ය”යි විවේකයෙහි අනුසස් දක්වා මේ ධර්‍මදේශනාව කළ සේක.

එකාසනං එකසෙය්‍යං එකො චරමතන්‍දිතො,

එකො දමයමත්තානං වනන්තෙ රමිතො සියාති.

එකලා ව හිඳීම සෙවුනේ ය. එකලා ව හොවීම සෙවුනේ ය. නො මැලි ව එකලා හැසිරෙමින් එකලා ව හැසිරෙමින් එකලා ව තමා දමනය කරන්නා වූ මහණ තෙමේ ගමින් දුර වනයෙහි ඇලුනේ වන්නේ ය.

එකාසනං = එකලා ව හිඳීම (සෙවුනේය) තනි ව හිඳින්නේ ය.

ගණසඞ්ගණිකායෙන් දුරු වූයේ ද ක්ලේශසඞ්ගණිකායෙන් දුරු නො වූයේ එකලා ව හුන්නේ නො වේ. භික්‍ෂූන් දහසක් මැද වුව ද මුල් කමටහන නො හැර එය මෙනෙහි කරමින් ම හිඳීම එකාසන නම් වේ. “භික්ඛුසහස්සමජ්ඣෙපි හි මූලකමට්ඨානං අවිජහිත්‍වා තෙනෙව මනසිකාරෙන නිසින්නස්ස ආසනං එකාසනං නාම” යනු අටුවා.

එකසෙය්‍යං = එකලා ව හොවීම (සෙවුනේය) තනි ව නිදන්නේ ය.

ජනසමූහයෙන් වෙන් ව එකලා ව නිදන්නේ නො වේ. ලොවාමහාපාය වැනි මහා පහයෙක දහස් ගණන් භික්‍ෂූන් මැද පණවන ලද විසිතුරු පසතුරුණු ඇති කොට්ට මෙට්ට වලින් යුත් මාහැඟි යහනෙක සිහි එළවා මුල් කමටහන මෙනෙහි කරමින් දකුණැලයෙන් හොවීම එකසෙය්‍ය නම් වේ. “ලොහපාසාදසදිසෙපි ච පාසාදෙ භික්ඛුසහස්සමජ්ඣෙ පඤ්ඤත්තෙ විචිත්තපච්චත්‍ථරණූ පධානෙ මහාරහෙ සයනෙ සතිං උපට්ඨපෙත්‍වා දක්ඛිණෙන පස්සෙන මූලකම්මට්ඨානමනසිකාරෙන නිපන්නස්ස භික්ඛුස්ස සෙය්‍යා එකසෙය්‍යා නාම” යනු අටුවා.

අතන්‍දිතො එකො චරං = නො මැලි ව එකලා ව හැසිරෙමින්, හැසිරෙණුයේ.

කෙණ්ඩාබලයෙන් පිඩු සිඟා ගෙණ දිවි ගෙවන බැවින් නො මැලි ව සිවු ඉරියව්වෙහි එකලාව ම හැසිරෙමින්.

තන්‍දි නම්: අලසබවය. නිර්‍දෙශයෙහි එය මෙ‍ සේ ආයේ ය. “තන්‍දින්ති යා තන්‍දි නන්‍දියනා තන්‍දිමනකතා ආලස්‍යං ආලස්‍යා යනා ආලසායිතත්තං” යි. යම් තන්‍ද්‍රායෙක් තන්‍ද්‍රාකරයෙක් තන්‍ද්‍රායෙන් මඩනාලද බවෙක් ආලස්‍යයෙක් අලසබවෙක් ආලස්‍යාකාරයෙක් ආලස්‍යයෙන් මඩනාලද සිත් ඇති බවෙක් වේ ද, ඒ ය තන්‍දි, යනු අරුත්. ථීනමිද්ධනීවරණයාගේ ඉපැත්මට හේතුවන ධර්‍ම අතුරෙහි මේ තන්‍දි නම් වූ අලසබවට වඩා බලගතු අන් එක ද ධර්‍මයකුත් බුදු ඇසින් නො දුටුබව ද බුදුරජානන් වහන්සේ වදාළ සේක. මේ ඒ වදාළ සැටි:- නාහං භික්ඛවෙ! එකධම්මම්පි සමනුපස්සාමි යෙන අනුප්පන්නං වා ථිනමිද්ධං උප්පජ්ජති, උප්පන්තං වා ථිනමිද්ධං භිය්‍යොභාවාය වෙපුල්ලාය සංවත්තති, යථයිදං භික්ඛවෙ! අරති තන්‍දි විජම්හිකා භත්තසම්මදො චෙතසො ච ලිනත්තං, ලීනවිත්තස්ස භික්ඛවෙ! අනුප්පන්නං වෙච ථීනමිද්ධං උප්පජ්ජති, උප්පන්නං ච ථීනමිද්ධං භීය්‍යොභාවාය වෙපුල්ලාය සංවත්තති” යනු.

මෙහි අරති නම්: ප්‍රාන්තසෙනාසනයන්හි හෝ ශමථ - විදර්‍ශනාදි අදිකුශලධර්‍මයෙක නො ඇලීම ය. තන්‍දි නම්: අලසබව ය. අලස බැවින් මැඩුනු සිත් ඇතිබව ය. විජම්හිකා නම්: ඇඟමැලිකැඩීම ය. භත්තසම්මද නම්: වැළඳුවහුට වන බත්මත ය. සිරුර කටයුත්තෙහි ලා නො සුදුසුබව ය. ලීනත්ත නම්: සිතෙහි හැකිළීම ය. අරමුණෙහි නො පැතිර සිටි ගති ය.

මෙ ද මෙහිලා දන්නේ ය.:-

එක් දවසක් දෙවියෙක් බුදුරජුන් වෙත පැමිණ මෙසේ කී ය:

“නිද්දා තන්‍දි විජම්හිකා අරති භත්තසම්මදො,

එතෙන නප්පකාසති අරියමග්ගො ඉධ පාණිනං” යි.

නිදීම - අලසබව - ඇඟමැලිකැඩීම - නො ඇලීම - බත්මත යන මොවුන් නිසා මෙලොව සත්ත්‍වයනට ආර්‍ය්‍යමාර්‍ගය පැහැදිලි නො වේ, යන අරුත්. එකල්හි බුදුරජානන් වහන්සේ ඔහුට මෙසේ වදාළ සේක:

“නිද්දං තන්‍දිං විජම්හිකං අරතිං භත්තසම්මදං,

විරියෙන නං පණාමෙත්‍වා අරියමග්ගො විසුජ්ඣති” යි.

නිදීම - අලසබව - ඇඟමැලිකැඩීම - නො ඇලීම - බත්මත යන මොවුන් වීර්‍ය්‍යයෙන් දුරු කිරීමෙන් ආර්‍ය්‍යමාර්‍ගය පිරිසිදු වන්නේ ය, යන අරුත්. අරති - නන්‍දි විජම්හිකා - භත්තසම්ම ද - චිත්තලිනත්ත යන මෙතැන් අක්‍ෂර විසින් වෙනස් වෙනස් ව ගියේ ද ආශය විසින් අලසබව ම කියා ලන්නේ ය.

සැවැත් නුවර වැසි තිසක් පමණ කුලපුත්‍රයෝ දවසක් බුදුරජුන් වෙත පැමිණ වැඳ එකත් පස් ව හිඳ බණ අසා පැවිදි ව නැවැත උපසපන්බව ද ලබා කමටහන් ගෙණ පිටත් ව ගියහ. ඔවුනතරෙහි කුටුම්බියපුත්‍ර නම් වූ තිස්ස ස්ථවිර තෙමේ කුසීත වූයේ හළවැර ඇතියේ රසයෙහි බැඳුනේ මෙසේ සිතී ය: “මම වල් වැද කමටහන් වඩන්නට පිඩු සිඟා යන්නට අපොහොසත්මි, එහෙයින් මට මේ වනගමනින් වැඩෙක් වන්නේ නො වේ, මම මෙහි ම රැඳී රසට මසට මොකවත් කා බී ඉන්නෙමි”යි කමටහන් වඩන්නට නො ගොස් එහි ම රැඳුනේ ය. තවත් එබඳු ම කිහිප දෙනෙක් ඒ තෙරුන් හා ගමැ රැඳුනාහ. ඒ තිස් නමගෙන්, වන වැද විදර්‍ශනා වඩා රහත් වූ කීපදෙනා වහන්සේ තමන් ලැබූ ඒ මහත් ගුණය බුදුරජානන් වහනසේ ට දන්වා ලමු”යි බුදුරජුන් වෙත ගොස් වැඳ එකත් පස් ව හිඳ තම තමන් ලැබූ ගුණ විශේෂයන් උන්වහන්සේට දන්වා සිටියහ. එකල්හි බුදුරජානන් වහන්සේ ඔවුනට පැසසූහ. කුටුම්බිය ස්ථවිර තෙමේ බුදුරජුන්ගේ ඒ ස්තුතිකථාව අසා “මමත් මහණදම් කරමි”යි තමන්ගේ පිරිවෙණට වැද රාත්‍රියෙහි අධික කොට වැඩූ වීර්‍ය්‍යයෙන් වෙහෙසට පත් ව මැදියම් රැයෙහි පුවරුවක් මත නින්දට වැටුනේ එයින් පෙරැළී බිම වැටී කලවේ ඇට කැඩී වේදනායෙන් පෙළෙන්නට වූයේ ය. ඔහුට අනුව වැටුනු අනික් දෙනා වහන්සේට ද කුටුම්බියපුත්‍රයනට උවටැන් කරන්නට වූ බැවින් වනයට යා ගත නොහැකි වූහ. බුදුරජානන් වහන්සේට උවටැන් කරණ වේලෙහි එහි පැමිණි ඔවුන්ගෙන් උන්වහන්සේ “මහණෙනි! තමුසේලා ඊයෝ කමටහන් වඩන්නට වනයට යන බව කියා ගියහු නො වහු දැ?”යි අසා වදාළ කල්හි “එසේ ය, ස්වාමීනි! එහෙත් අපට සහාය වූ කුටුම්බියපුත්ත, නො වේලේ අධික වේගයෙන් මහණදම් කරණුයේ නින්දෙන් පෙරළී බිම වැටී කලවේ ඇට බිඳ ගත්තේ ය, උන් නිසා අපට වනයට යා ගත නො හැකි වීය”යි දන්වා සිටියහ. එවිට බුදුරජානන් වහන්සේ “මහණෙනි! මෙ තෙමේ සුදුසු වේලෙහි වීර්‍ය්‍යය නො‍ කොට සිට නො කල්හි යෙදූ අධිකවීර්‍ය්‍යය හේතු කොට තමුසේලාගේ ගමනට අන්තරාය කළේ අද පමණක් නොවේ ය”යි වදාරා ඒ අතීත පුවතද ගෙණ හැර දැක්වූ සේක.

“යටගිය දවස අප මහාබෝසත් තෙමේ ගන්‍ධාර රට තක්සලා නුවර දිසාපාමොක් ඇදුරු ව මාණවකයන් පන් සියයක් හට ශිල්ප ඉගැන් වීය. එහි දවසක් වලට ගොස් දර කඩන මාණවකයන් අතුරෙහි කුසීත මාණවකයෙක් ලුණුවරණ ගසක් දැක මල් ගසෙකැයි සිතා ඇසිල්ලක් ‍නිදා හිඳ දර කඩා ගෙන යෙමි යි උතුරුසළුව අතුට එහි වැතිර ගොරවමින් නිදන්නට වන. සෙසු දෙනා දර කඩා මිටි බැඳ ගෙණ යන්නාහු නිදි ගත්තහුට පයින් ඇණ නැගිටුවා ගියහ. ඔහු නින්දෙන් නැගිට නිදිගැට නො යාදීම ගසට නැගී අත්තක් ගෙණ තමා දෙසට ඇද බින්දේ ය, එවිට බිඳී ආ අත්තෙහි කෙළවර ඇසෙහි වැදී ඇස හිල් විය, එක් අතකින් ඇස වසා‍ ගෙණ අනික අතින් තෙත් දර කඩා මිටි කොට බැඳ වහා ගෙණ ගොස් බහා තුබූ දර මිටි මත්තෙහි බැහූයේ ය, එ දවස එක් ගමෙක මිනිස්සු බමුණන් ලබා ශාන්ති කරවා ගෙණ දක්‍ෂිණාවක් දෙම්හ යි ඇදුරන් පැවරුහ. ඇදුරු තෙමේ මාණවකයන් අමතා ‘හෙට දක්‍ෂිණාවක් පිණිස යා යුතු ව තිබේ, එහෙයින් උදෑසන ම කැඳ පිසවා ගෙණ වළඳා ගොස් තොපට ලැබෙන කොටසුත් අපම පැමිණෙන් කොටසුත් ඇ ගෙණ එවු’යි කී ය, එයැසූ මාණවකයෝ කෙල්ල බුබුදුවා අපට කැඳ පිස දෙව යි කීහ, කෙලි ද කැඳ පිසිනු පිණිස දර ගන්නී මතුයෙහි තිබු ලුනුවරණ දඬු ගෙණ ගින්නෙහිලා දල්වන්නී දල්වාගත නො හැකි වූ ය, ඉරද නැංගේ ය, එවිට මාණවකයෝ ඉතා දහවල් වූ බැවින් යා නො හැකි යි ඇදුරන් වෙත ගියහ, ඇදුරු ‘නොගියහු දැ?’යි විචාල විට ‘නො ගියෙමු’යි කීහ, කරුණු කිමැ’යි විචාළ විට ‘ස්වාමීනි! අසුවල් කුසීත මාණවකයා දරට ගොස් ලුණුවරණ ගසක් යට නිදා හිඳ පසුව නැගිට ගසට නැගී ඇසත් හිල් කොට ගෙණ ලුණුවරණ දර ගෙණවුත් අප බහා තුබූ දර මතුයෙහි බහා තුබුනේ ය, කැඳ පිසන්නී වියලි දරැයි සිතා ගින්නෙහි ලා පිසන්නී ඉර උදාවන තුරු ගිනි මොලොවා ගත නො හැකි වූ ය, මේ නිසා ගමන වළකිනැ’යි කීහ, ඇදුරු යමෙක් පළමු කළමනා දෙය පසුව කළමනායි සිතා පරීක්‍ෂා නො කොට අමු ලුණුවරණ දර කඩා ගෙණ ආ මේ මාණවකයා මෙන් පසු තැවීමට පැමිණ ශෝක කරන්නේ ද ඔහු එලොව මෙලොව දක්හි හැම සැපතින් පිරිහෙන්නේය”යි කීයේ ය. මේ ඒ යටගිය කතා පුවත ය.

අතන්‍දිත නම්: එලොව මෙලොව දෙක්හි හැමසැපතින් පිරිහීමට හේතුවක් වූ අලසබව කම්මැලිකම හැර වැර යොදා නැගී සිටියේ ය.

“අත්තහිතපටිපත්තියං යථාබාලං පරහිපටිපත්තියං ච උට්ඨාන වන්තො අතන්‍දිතා” යි අටුවා බැවින් ආත්මහිත සම්‍යක්ප්‍රතිපත්තියෙහි පරහිත ප්‍රතිපත්තියෙහි ශක්තිය වූ පරිදි ශක්තිය ඇති පරිදි නැගී සිටුනා උත්සාහය ඇතියේ අතන්‍දිත යි ගතයුතු වෙත්. ඒ මේ උත්‍ථානවීර්‍ය්‍යය ශීලසම්පදාදීනට කරුණු වූ වීර්‍ය්‍යසම්පදා යි කියන ලදි. “අතන්‍දතාති ඉමිනා සීලසම්පදාදීනං කාරණභූතං විරියසම්පදං දස්සෙති” යන මෙයින් කීයේ ඒ ය.

එක් දවසක් චන්‍දන දෙව්පුත් බුදුරජුන් වෙත පැමිණ “මෙහි කවරෙක් රෑ දෙවෙහි අනලස් ව චතුරොඝය තරණය කෙරේ ද? කවරෙක් යට පිහිටක් නැති මතු එල්බීමක් නැති ගැඹුරෙහි නො ගිලේ දැ?”යි ඇසී ය. මේ එහි පාලිය.

“කොසූධ තරතී ඔඝං රත්තින්‍දිවමතන්‍දිතො,

අප්පතිට්ඨෙ අනාලම්බෙ කො ගම්භීරෙ න සීදති” යනු.

බුදුරජානන් වහන්සේ ඔහුට:-

“සබ්බදා සීලසම්පන්නො පඤ්ඤවා සුසමාහිතො,

ආරද්ධවිරියො පහිතත්තො ඔඝං තරති දුත්තරං.

.

විරතො කාමසඤ්ඤාය රූපසඤ්ඤොජනාතිගො,

නන්‍දිරාගපරික්ඛීණො සො ගම්භීරෙ න සීදති” යි

පිළිතුරු දුන් සේක.

හැමදා සිල්වත් වූ නුවණැති එකඟ වූ සිත් ඇති ඇඹූ වැර ඇති නිවන් පිණිස මෙහෙය වූ සිත් ඇති පුද්ගල තෙමේ තරණයට දුෂ්කර වූ චතුරොඝය තරණය කරන්නේ ය.

කාමසංඥායෙන් වැළකුනු රූපසංයෝජන ඉක්මවා ගිය ගෙවී ගිය නන්‍දිරාගය ඇති හෙතෙමේ ගැඹුරෙහි නො ගිලෙන්නේ ය, යනු එහි අරුත්.

මෙ ද මෙහිලා දතයුතුය:-

“අප්පලාභොපි චෙ භික්ඛු සලාභං නාතිමඤ්ඤති,

තං වෙ දෙවා පසංසන්ති සුද්ධාජීවං අතන්‍දිතං” යනු.

ප්‍රත්‍යයලාභී වූ ද මහණ තෙමේ ඉදින් ගෙ පිළිවෙලින් සිඟා ලත් තමාගේ ලාභය හෙළා නො දක්නේ ද පිරිසිදු වූ ජීවිකාව ඇති කෙණ්ඩාබලයෙන් ජීවත් වන බැවින් අකුසීත වූ ඒ මහණහුට එකාන්තයෙන් දෙවියෝ ද පසසත්, යනු අරුත්.

අත්තානං එකො දමයං = තමා එකලා ව ම දමනය කරන්නා වූ මහණ තෙමේ.

රාත්‍රිස්ථාන - දිවාස්ථානයන්හි එකලා ව වෙසෙමින් කමටහන් මෙනෙහි කිරීමෙහි යෙදී කෙලෙසුන් නසා මගපල පසක් කිරීම, තමා දමනය කිරීම නම් වේ. මෙසේ කමටහන් වඩා කෙලෙසුන් නසන්නේ දමයන්ත නම්. “ජඞ්ඝාබලං නිස්සාය ජීවිතකප්පන්නෙ අකුසීතො හුත්‍වා චතුරිරියාපථෙසු එක්කො ච විචරන්තො රත්තිට්ඨානදිවාට්ඨානෙසු කම්මට්ඨානං අනුයුඤ්ජිත්‍වා මග්ගඵලාධිගම‍වසෙන එකොව හුත්‍වා අත්තානං දමෙන්තා” යනු අටුවා.

වනත්තෙ රමිතො සියා = ගැඹුරු වනයෙහි ඇලුනේ වන්නේ ය.

වනත්ත නම්: ස්ත්‍රීපුරුෂාදීන්ගේ ශබ්ද නැති වනයෙහි දුර සෙනසුන යි. ආත්මදමනය කරන්නහු විසින් එකලා ව හිඳීම එකලා ව හොවීම එකලා ව සිටීම එකලා ව හැසිරීම කළ යුතු ය. ජනසමූහයෙන් වෙන් විය යුතු ය. කෙලෙසුනට යටත් නො විය යුතු ය. නො මැලි ව පිඬු සිඟා ලද දැයෙකින් යැපෙමින් රසමසෙහි නො ගිජු ව වනසෙනසුනෙහි සිත් එළවා විසිය යුතු ය. ආකීණී විහරණ ඇත්තහුට ආත්මදමනය නො කට හැකි ය.

ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවන්ඵලාදියට පැමිණියාහු ය. එතැන් පටන් එකවිහාරිකභාවය ම පැතී ය.

එකවිහාරිකස්ථවිර වස්තුව නිමි.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.