දූරෙ සන්තො පකාසන්ති හිමවන්තො’ව පබ්බතො
අසන්තෙත්‍ථ න දිස්සන්ති රත්තිං ඛිත්තා යථා සරා.
(උත්සන්න කුසල් මුල් ඇති, භාවිත භාවනා ඇති) සාධූහු දුරැ සිටියාහු ද, හිමවත්පව්ව මෙන් බුදුනුවණට ප්‍රකට වෙති. මෙහි (මේ ලොව ම ගරු කොට සිතන) අඥාන පුද්ගලයෝ රෑ විදුනා ලද ඊයක් මෙන් නො පැණෙත්.
උග්ග නුවර වැසි උග්ග නම් සිටුපුත් තෙමේ, අනේපිඩුසිටු බාලකල බටන් ඉතා ලගින් ඇසුරු කළ ඔහුගේ හොඳ ම මිතුරෙක් විය. මේ දෙදෙන එක් ම ඇදුරුකුලයෙහි ශිල්ප උගත්හ. ඒ කාලයෙහි එහි දී ඒ දෙදෙන “අප කවදා හෝ වයසට පැමිණ දෙමවුපියන්ගේ නියමය ලෙස, ඔවුන් කියන ලෙසට බිරියන් ගෙණ පවුල් දිවි ගෙවත්, අප නිසා දූ පුතුන් උපන්නොත් මගේ පුතුට තමුසේගේ දුවත්, තමුසේගේ පුතුට මාගේ දුවත් ආවාහ - විවාහ වශයෙන් කරකාර බැන්ද යුතු ය”යි ගිවිස ගත්හ. ශිල්ප නිමවා සියරට ගිය ඔවුහු වැඩිවිය පැමිණියාහු තම තමන්ගේ නුවර සිටුතනතුරු ද ලැබූහ.
මේ අතර එක් දවසෙක උග්ග සිටු තෙමේ වෙණඳාම් පිණිස ගැල් පන් සියයක බඩු පටවා ගෙණ සැවැත් නුවර අනාථපිණ්ඩික සිටු මැදුරට ගියේ ය. එ වේලෙහි අනාථපිණ්ඩික සිටු තෙමේ සිය දුවනිය වූ චූලසුභද්‍රාවට කතා කොට, “දුව! මේ ඇවිත් සිටින්නේ ඔබගේ පියා, උග්ග සිටුතුමා, මොහුට කළ යුතු හැම දෙයක් ඔබට භාර යි, කළයුතු හැම දෙයක් අඩු නැතිව ඔබ විසින් ම කළ යුතු ය”යි නියම කෙළේ ය. චූලසුභද්‍රා ද ‘යහපතැ’යි පිළිගෙණ සිටානන් පිණිස බත් මාලු එළවලු හැම එකක් තමන්ගේ අතින් ම උයා පිළියෙල කරන්නී ය. මල් ගඳ විලවුන් පිළියෙල කොට තබන්නී ය. කෑම ගන්නා වේලාව ලං වූ කල්හි නානදිය පිළියෙල කරවා දී නාන තැන් පටන් සියලු වතාවත් කරන්නී ය. උග්ග සිටු තෙමේ ඇයගේ ආචාරසම්පත්තිය දැක පහන් වූයේ දවසක් එහි අනාථපිණ්ඩික සිටු හා පිළිසඳර කතායෙහි යෙදී හුන්නේ “අපි එදා ලදරුකාලයෙහි ශිල්ප උගන්නා අවදියේ මේ අන්දමේ නියමයක් කර ගත්ත මෝ වෙමු”යි එදා කර ගත් ඒ ගිවිසුම සිහි කරවා තම පුතුට චූලසුභද්‍රාව බිරිය කොට දෙන ලෙසට ඉල්ලා සිටියේ ය.
උග්ගසිටු තෙමේ මිසදිටු ගත්තේ සැදැහ නැත්තේ ය. එහෙයින් අනාථපිණ්ඩික සිටුතෙමේ මේ පුවත බුදුරජානන් වහන්සේට දන්වා සිටියේ ය. උන් වහන්සේ, උග්ගසිටුහුටග් හේතුසම්පත් දැක, ‘යහපතැ’යි අනුමත කළ කල්හි සිටුබිරිය සමගත් කතා කොට චූලසුභද්‍රාව, උග්ගසිටු පුත්හට කරකාර බැඳ දෙන බවට ගිවිස ගත්තේ ය. මෙසේ ගිවිස ඒ පිණිස දවස් නියම කොට විශාඛාව කරකාර බැඳ දී යවන ධනඤ්ජය සිටුහු මෙන් සියදුවනියට මහත් සත්කාර කොට ලඟට කැඳවා “දුව! නැදිමයිලන් ලඟ වසන්නිය විසින් ඇතුළත ගිනි පිටතට නො දිය යුතු” යනාදීන් ධනඤ්ජය සිටුහු විසින් විශාඛාවට අවවාද කළ ලෙසින් ම ඒ අවවාද දසය ම කියා දී “තොප විසින් මාගේ දුවනිය අතින් යම් කිසි වරදෙක් වූයේ නම් එය විනිශ්චය කොට පිරිසිදු කළ යුතු ය”යි කෙළෙඹියන් අටදෙනෙකු ඇපකරුවන් කොට ඇය ශරණ යන දවසෙහි බුදුපාමොක් මහා සඟනට මහදන් දී පෙර අත්බැව්හි සිය දුවනිය කළ පින්කම්වල ඉෂ්ටඵලය ලෝකයාට ප්‍රකට කොට දක්වන්නා සේ මහත් වූ ලාභ සත්කාරයෙන් යුක්ත කොට දුවනිය කරකාර බැඳ දුන්නේ ය.
ඇය මඟුල්පෙරහරින් උග්ග නගරයට පැමිණි කල්හි නැදිමයිලන් සමග එ නුවරවැසි මහාජන තෙමේ ඇයට පෙරගමන් කෙළේ ය. ඕ තොමෝ ද තමන්ගේ ශ්‍රීසම්පත්තිය පළට කරන්නට විශාඛාව මෙන් මුළු නුවර වැස්සන්ට තමන් පෙණෙන සේ මගුල් රියෙන් නුවරට පිවිස නුවරුන් විසින් එවූ පඬුරු තෑගි බෝග පිළිගෙණ උනුන්ට ගැළපෙන පරිදි ඒවා එකෙනෙකාට යවන්නී මුළු නුවර තමන්ගේ ගුණයෙන් එකට බැඳුනක් කළා ය. මගුල් දවස්හි නැදිමයිලෝ අචෙලකයනට සත්කාර කරන්නෝ “මෙහි අවුත් අපගේ ශ්‍රමණයන් වහන්සේට වඳින්නැ”යි ඇයට දන්වා යැවූහ. ඕ තොමෝ ලජ්ජායෙන් නග්නයන් දක්නට නො හැකි ව යන්නට නො කැමැති වූ ය. එහෙත් නැදිමයිල්හු නග්ලයන් එහි ආ හැම දවස්හි “වඳින්නට එන්නැ”යි දන්වා යවන්නාහ. ඕ තොමෝ ඔවුන්ගේ බස් පිළිගෙන එක දවසකුත් නග්නයන් දක්නට නො ගියා ය. නැදිමයිලෝ කිපියාහු, කෙළෙඹියන් අටදෙන කැඳවා “මැය මේ ගෙයින් බැහැර කරවු”යි කියා සිටියහ. කෙළෙඹියෝ චූලසුභද්‍රාවගේ නිදොස්බව සිටුහට දැන්වූහ. සිටු තෙමේ “මෝ තොමෝ මාගේ ශ්‍රමණයන් ලජ්ජා නැත්තවුනැයි සලකා නො වඳින්නී ය”යි සිටුබිරියට ද දැන්වීය. සිටුබිරිය, “අපගේ ලේළිය තමන්ගේ මහණුන් පිළිබඳ ගුණය මහත් සේ කියා, ඔවුනට මහත් සේ පසසායි” ඇය ඉදිරියට කැඳවා
“කෙබඳු ඔබ මහණහු - දැඩි සේ ඔවුන් පසසා,
කෙබඳු සිල් ඇතියෝ - කෙබඳු හැසුරුම් ඇතියහ?
පුළුවුත් මෙ මාහට - කියවු සිල් සමහැසුරුම්”
යි පිළිවිසූ ය.
ඉක්බිති සුභද්‍රා තොමෝ ඇයට බුදුරජුන්ගේ හා බුදුසව්වන්ගේ ගුණ කියා ලන්නී,
“සන්හුන් ඉඳුරැති - සන්හුන් සිතැත්තෝ වෙති,
උන්ගේ ගමන් සන්හුන් - සිටුම් ඈ හැම සන්හුන්.
.
යට ලූ දෙ ඇස් ඇති - පමණ දැන බණනාසුලු,
මගේ මහණහු මෙබඳු - (ලොවට පින්කෙත වූවෝ,)
.
කාවිසිමුනිතිදොර - සුදුය නො කැලැති සුවිසුදු,
මගේ මහණහු මෙබඳූ - (ලොවට පින්කෙත් වූවෝ)
.
ඇතුළත පිටත සුදු - නිමල් සක්මුතුකැලුමැත්,
සුදුගුණෙන් පිරිපුන් - එබන්දහ මා සමණහු.
.
ලැබුමෙන් උඩඟු ලෝ - නො ලැබුමෙන් ඇද වැටුනේ,
ලැබුම් නො ලැබුම් දෙක්හි - එක්වැනිය මා සමණහු,
.
යසසින් උඩඟු ලෝ - ඇද වැටුනේ ය අයසින්,
යස අයස දෙක්හි - එක්වැනිය මා සමණහු,
.
තුතියෙන් උඩඟු ලෝ - ගැරහුමෙන් ඇද වැටුනේ,
තුති ගැරහුම්හි මා - සමණහු සම ව සිටියෝ.
.
සැපෙන් උඩඟුය ලෝ - දුකින් ඔදබිඳ වැටුනේ,
නො කැපියහ සැපදුකැ - එබන්දහ මා සමණහු”
යනාදීලෙසින් කියා නැන්දනිය සතුටු කළා ය.
එකල්හි නැන්දනිය “ලේළි! ඔබගේ මහණුන් අපටත් දක්වාලන්නට හැකි දැ?”යි ඇසූ කල්හි “හැකි ය” යි කිවු ය. නැවැත නැන්දනිය “එසේ නම් අපි පමණක් ම ඔවුන් දකිමු ද, එසේ පිළිවෙලක් කරව”යි කී කල්හි සුභද්‍රා තොමෝ ‘යහපතැ’යි බුදුපාමොක් මහසඟනට මහදන් සරහා පහය මතුමහලෙහි සිට දෙව්රම දිසාවට මූණ දී මැනවින් පසඟ පිහිටුවා වැඳ බුදුගුණ සිහි කොට සුවඳකැවූ මලින් දුමින් පුදා “ස්වාමීනි! හෙට දන් පිණිස බුදුපාමොක් බික්සඟුන් පවරමි, මේ සලකුණෙන් මාගේ බුදුරජානන් වහන්සේ දන් පිණිස පැවරූබව දන්නා සේක්වා”යි සමන්මල් අටමිටක් අහසට වීසි කළා ය. ඒ මල් අහසින් ගොස් සිවු පිරිස් මැද දහම් දෙසමින් වැඩහුන් බුදුරජානන් වහන්සේ මතුයෙහි මල් වියනක් ව සැදී සිට ගත. එ කෙණෙහි ම අනේපිඬු සිටු තෙමේ ද බණ අසා අවසන්හි පසුදා දානය පිණිස ආරාධනා කෙළේ ය. “සිට! හෙට පිණිස දානයෙක් මාවිසින් ඉවසන ලදැ”යි වදාළ කල්හි “ස්වාමීනි! මට කලින් මෙහි ආවෝ නැත, ආරාධනා කළෝ කවුරු දැ”යි ඇසීය, “සිට! චූලසුභද්‍රාව විසින් පවරණ ලදැ”යි වදාළ විට සිටු තෙමේ “ස්වාමීනි! සුභද්‍රාව මෙයට එක් සිය විසියොත්නකින් ඔබ්බෙහි වසන්නී ය”යි කී ය. “ඔව්, සිට! සත්පුරුෂයෝ ඉතා දුර සිටියෝ ද අබිමුව සිටින්නන් සේ පෙණෙති”යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක.
දූරෙ සන්තො පකාසෙන්ති හිමවන්තොව පබ්බතො,
අසන්තෙත්‍ථ න දිස්සන්ති රත්ති ඛිත්තා යථා සරාති.
සත්පුරුෂයෝ දුරැ සිටියාහු ද හිමවත් පව්ව මෙන් පළට වෙති. මෙහි අසත්පුරුෂයෝ රෑ විදුනා ලද ඊයක් මෙන් නො පැණෙත්.
දූරෙ සන්තො පකාසෙන්ති හිමවන්තො පබ්බතො ඉව = සත්පුරුෂයෝ දුරැ සිටියාහු ද හිමවත් පව්ව මෙන් පළට වෙති.
සන්ත නම්: රාගාදී කෙලෙසුන් සන්සිඳ වූ බුද්ධාදී වූ උත්තමයෝ ය. මෙහි වනාහි පෙර බුදුරජුන් දවස කළ මහපින්කම් බලයෙන් වූ ප්‍රාර්‍ත්‍ථනාසිද්ධි ඇති උත්සන්න වූ කුසල් මුල් හා වැඩූ භාවනා ද ඇති පින්වත්හු ගැණෙත්. “රාගාදීනං සන්තතාය බුද්ධාදයො සන්තා නාම, ඉධ පන පුබ්බබුද්ධෙසු කතාධිකාරා උස්සන්නකුසලමූලා භාවිතභාවනා සන්තොති අධිප්පෙතා” යනු අටුවා. [1]
හිමවන්ත යන්නෙන් තුන් දහසක් යොදුන් අයම්විතරැති පන් සියයක් යොදුන් උස ඇති සුවාසූදහසක් කුළින් සැදුම් ලත් පර්‍වතය ගැණේ. හිම බොහෝ බැවින් හෝ හිම වමනය කරණුයේ හෝ මේ පව්ව හිමවත් නම් වී. සම්භාවජාතකට්ඨකථායෙහි “හිමවාති හිමපාතසමයෙ හිමයුත්තාති හිමවා, ගිම්හකාලෙ හිමං වමතීති හිමවාති වුත්තං” යනු ද දක්නට ලැබේ.
ශාක්‍ය - කොළිය දෙපසින් පැවිදි වූ භික්‍ෂූන් සසුනෙහි උකටලී වූ කල්හි උන්ගේ ඒ උකටලී බව මග හරවා ලන්නට බුදුරජානන් වහන්සේ ඒ භික්‍ෂූන් හිමවතට කැඳවා ගෙණ ගොස් අහසෙහි වැඩ සිට ම ඔවුන්ට එහි විසිතුරු පෙන්වාලූ සේක. ඒ මේ හිමවත රන්පවු - රිදීපවු - මැණික්පවු - ඉඟුල්පවු - අඳුන්පවු - දියමන්තිපවු ආදී වූ නොයෙක් දහස් ගණන් පර්‍වතයන්ගෙන් පිරී සිටියේ ය. ගඞ්ගා - යමුනා - අචිරවතී සරභූ - මහී ආදී ගඞ්ගාවන්ගෙන් විසිතුරු වූයේ ය. කර්‍ණමුණ්ඩ - රථකාර - සීහප්පපාත - ඡද්දන්ත - මන්දාකිනී - කුණාල අනොතත්ත ආදී වූ විල්වලින් ශොභමාන වූයේ ය. සිංහ ව්‍යාඝ්‍ර හස්ති ආදීන්ට වාසස්ථාන වූයේ ය. උකටලී බව මග හරවා ලන්නට බුදුරජානන් වහන්සේ ඒ භික්‍ෂූන් හිමවතට කැ හෝ හිසිය ගණන් ආරාමයන්ගෙන් සිත්කලු වූයේ ය. සිය දහස් ගණන් පක්‍ෂිසමූහයාගෙන් අතුරු සිදුරු නැති ව පිරී ගත් මල්රුක් පලරුක්වලින් සැදුම් ලද්දේ ය. නනාවිධ වූ ඖෂධ වෘක්‍ෂලතායෙන් ආකීර්‍ණ වූයේ ය.
මෙසේ නොයෙක් ලෙසින් විචිත්‍ර වූ හිමවත් පර්‍වතය දුටු ඒ භික්‍ෂූන්ගේ උකටලීබව සන්සිඳී ගියේ ය. එහි දී ඔවුනට බුදුරජානන් වහන්සේ කුණාලජාතකය දෙසූ සේක. කුණාලජාතකය බැලිය යුතුයි. ‘පබ්බතො’ යනු කියන ලදි. [2]
අසන්තො එත්‍ථ න දිස්සන්ති රත්තිඛිත්තා යථා සරා = මෙහි අසත්පුරුෂයෝ රෑ විදුනා ලද ඊයක් මෙන් නො පැණෙත්.
අසන්ත නම්: මෙලොව ජීවිතය පමණක් උසස් කොට සලකා එය සතප්පන්නට දැහැමි ව නො දැහැමි ව වස්තුව උපයා තමන් කා බී වෙසෙන පරලොව ගැණ නො සිතන ගිහියාත්, ආමිෂයෙහි ගිජු ව ගෙදොර කන්නට බොන්නට අඳින්නට නැති බැවින් සසුන්වත් පැවිද්දාත් ය. “දිට්ඨධම්මගරුකා විතිණ්ණපරලොක ආමිසචක්ඛුකා ජීවිකත්‍ථාය පබ්බජිතා බාලපුග්ගලා අසන්තො නාම” යනු අටුවා.
එබඳු අසන්තයෝ අඥපුද්ගලයෝ පූර්‍වවාසනා නැතියෝ බුදුරජානන් වහන්සේගේ දකුණු දණමඩල ලඟ වැටී හුන්නෝ ද බුදු නුවණට නො පෙණෙන්නාහ.
කාලපක්‍ෂයෙහි තුදුස්වක්දිනය, ඝනවනලැහැබ ය, මේඝපටලය, මද්ධ්‍යමරාත්‍රිය යන මේ සිවු අගින් යුත් රැයෙහි විදිනා ලද ඊතලය විදින්නහුගේ අතින් මිදුනු ඇසිල්ලෙහි ම ඔහුට නොපෙණී යන්නාසේ ය මේ අසන්ත අඥපුද්ගලයා බුදුරජානන් වහන්සේට නො පෙණී යනුයේ. “තෙ එත්‍ථ බුද්ධානං දක්ඛිණස්ස ජාණුමණ්ඩලස්ස සන්තිකෙ නිසින්නාපි රත්තියං චතුරඞ්ගසමන්තාගතෙ අන්‍ධකාරෙ ඛිත්තසරා විය හි තථාරූපා උපනිස්සයභූතස්ස පුබ්බාහෙතුනො අභාවෙන න පඤ්ඤායන්ති” යනු අටුවා.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවාන්ඵලාදියට පැමිණියාහු ය.
සක්දෙව් රජ තෙමේ චූලසුභද්‍රාව විසින් කළ මේ ආරාධනාව බුදුරජුන් ඉවසා වදාරණ ලදැ’යි දැක විස්කම් දෙව්පුත් ගෙන්වා “කුළු ගෙවල් පන් සියයක් මවා හෙට බුද්ධප්‍රමුඛ සඞ්ඝයා වහන්සේලා උග්ග නගරයට වැඩම කරවාලව”යි අණ කෙළේ ය. විස්කම් දෙව්පුත් ඒ අණින් කුළු ගෙවල් පන් සියයක් මවා ගෙණ දෙව්රම් මහ වෙහෙර දොරටුවෙහි සිටියේ ය. බුදුරජානන් වහන්සේ සුභද්‍රාවන් කියූ ගුණ පලට වන පරිදි රහතුන් පන් සියයක් ම ගෙණ පිරිවර සහිත ව කුළුගෙවලින් උග්ග නගරයට වැඩි සේක.
පිරිවර සහිත වූ උග්ග සිටු තෙමේ ද සුභද්‍රාව කී පරිද්දෙන් ම බුදුරජුන් වඩනා මගබලා සිටියේ මහත් වූ බුද්ධානුභාවයෙන් වඩනා බුදුරජුන් දැක පහන් සිත් ඇතියේ සුවඳ මල් ආදියෙන් පුදමින් පිරිවරසහිත වූ බුදුරජුන් පිළිගෙණ වැඳ මහදන් පුදා නැවැත නැවැතත් පවරා සතියක් ම මහදන් දුන්නේ ය. බුදුරජානන් වහන්සේ ද ඔවුන්ගේ අදහස් බලා අදහසට අනුරූප පරිදි ධර්‍මදේශනා කළ සේක. උග්ගසිටු ඇතුළු වූ සුවාසූදහසක් දෙනාට එහිදී ධර්‍මාවබෝධය වූයේ ය. ඉක්බිති බුදුරජානන් වහන්සේ චූලසුභද්‍රාවට අනුග්‍රහ පිණිස “තමුසේ මෙහි නතර වවු” යි අනුරුද්ධ තෙරුන් එහි නවතා සැවැත් නුවරට වැඩි සේක. එතැන් සිට ඒ නුවර සැදැහැති පහන් මිනිසුන්ගෙන් පිරී ගත්තේ ය.
චූලසුභද්‍රා වස්තුව නිමි.