2-7 සක්දෙව්රජතුමා

අප්පමාදෙන මඝවා දෙවානං සෙට්ඨතං ගතො

අප්පමාදං පසංසන්ති පමාදො ගරහිතො සදා.

සක්දෙව් තෙම මාඝමාණවක කාලයෙහි පුරුදු කළ අප්‍රමාද හේතුයෙන් (දෙව්ලොවැ) දෙවියනට උතුම් බවට (රජ බවට) පැමිණියේ ය. (එහෙයින්) (බුද්ධාදි පණ්ඩිතයෝ) නොපමාබව පසසත්. පමාබව වනාහි හැම කල්හි ම (බුද්ධාදීන් විසින්) ගරහන ලද්දේ ය.

විශාලාමහානගරවරය, අප බුදුරජුන් දවස හැම සැපතකින් පිරී ගත්තේ ලිච්ඡවිරජදරුවනට වාසස්ථාන වූයේ ය. එ දවස එහි විසූ එක් ලිච්ඡවි රජෙක් මහාලි නමින් ප්‍රසිද්ධ විය. එහි දිනෙක බුදුරජුන් දෙසූ ‘සක්කපඤ්හ’ සූත්‍ර දේශනාව අසා ‘බුදුරජානන් වහන්සේ සක්දෙව්රජු විඳින සැපත මහත් කොට වදාරණ සේක, මෙය දැක වදාරන්නක් ද, නැත, නො දැක වදාරන්නක් දැ’ යි සිතා ‘සක්දෙව් රජු හඳුනන්නහු ද, නැත, නො හඳුනන්නහු දැ’ යි අසමි’ යි බුදුරජුන් වෙත ගොස් වැඳ පසෙකට වී හිඳ මෙසේ ඇසී ය.

මහාලි

:-

ස්වාමීනි! භාග්‍යවතුන්වහන්ස! ඔබවහන්සේ විසින් සක්දෙව්රජ තෙමේ දක්නාලද ද?

බුදුරජ

:-

ඔව්, දක්නා ලද්දේ ය.

මහාලි

:-

ස්වාමීනි! ඒ නො විය හැකි ය, ඔබහන්සේ විසින් දක්නා ලද්දේ සක්දෙව්රජ නො වේ, සක්දෙව්රජ වැන්නෙක් ය, සක්දෙව්රජ දකිනු පහසු නැත.

බුදුරජු

:-

මහාලි! අසන්න, මා කියන කතාව, මම සක්දෙව්රජුත් හඳුනමි, සක්දෙව්රජ වන සැටිත් දනිමි, යම්කිසි ධර්‍ම කෙනකුන් සමාදන් ව ගැණීමෙන් ශක්‍ර වූයේ ද, ඒ ධර්‍මත් මම දනිමි, මහාලි! පෙර මොහු මිනිසෙක් වූයේ නමින් මඝ නම් විය, එහෙයින් ඔහුට අද ඇතැම් කෙනෙක් ‘මඝවා’ යි කියත්, එ දවස ම ඔහු නගරයක් ගමක් පාසා දානශාලා කරවා දන් දුන්නේ ය, එහෙයින් ඔහු අද ‘ පුරින්‍දද’ යි හඳුන්වනු ලැබේ, දන් දුන්නේ ද යන්තමකට නො වේ, ඉතා හොඳට සකස් කොට ම දුන්නේ යි, ‘ සක්ක’ යි කියන්නේ එහෙයිනි, ඔහු එදා මිනිස්කාලයේ ආවාසයක් කරවා පිදී ය, ඒ නිසා ඔහුට ‘වාසව’ යන නම ලැබුනේ ය, මහාලි! සක්දෙව්රජ මොහොතක් තුළදී කරුණු දහසක් වටහා ගැණීමෙහි පොහොසත්ය, එහෙයින් ඔහු ‘සහස්සක්ක’ නම් වී ය, ඔහුට සුජාතා නම් අසුර කන්‍යාවක් භාර්‍ය්‍යා වූවා ය, එහෙයින් ‘සුජම්පති’ නම් වේ. ‘දෙවින්‍ද’ යි කියන්නේ තව්තිසාවැසි දෙවියන්ගේ අධිපතියා බැවිනි, මහාලි! ඔහු පෙර සක්දෙව්බව ලැබමට හේතු වූ පණ තිබෙන තුරු ම මවුපියන් රැක බලා ගැනිම, කුලදෙටුවන් පිදීම, මොළොක්බස් බිණීම, කේලාම් නො කීම, පහ වූ මසුරුමල ඇති ව දීමෙහි ඇලීසිටිම, හැමවිට ඇත්තකීම, කිසිත් කරුණෙක නො කිපීම යන මේ සප්තව්‍රතපදය මැනැවින් සම්පූර්‍ණ කෙළේ ය, මොන කරුණක් නිසා වත් ඔහු මේ සතින් බැහැර නො වී ය, මොනවට එය රැක්කේය, මේ ධර්‍ම සත මැනැවින් නො කඩ කොට රැකි බැවින් ඔහු ශක්‍රභාවය ලැබී ය.

මහාලි

:-

ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! මම ඔහු පිළිබඳ ඉකුත් තොරතුරු අසනු රිසියෙමි, ඔහු ඒ කළ හැටි කරුණාකර මට වදාරනු මැනැවි.

බුදුරජ

:-

හොඳයි’ කියමි, අසව;

යි වදාළ සේක.

“යටගිය දවස මගධරට මචල නම් ගම්වරයෙක් තුබුනේ ය, එහි මඝ නම් තරුණ පුරුෂයෙක් වාසය කෙළේ ය, ඔහු ගමෙහි වැඩ කරණ තැනකට ගියේ නම්, පළමු කොට කරණුයේ තමන්ට නැවතී සිටින්නට, අතින් පයින් කුණුරොඩු තණපරඬලා බැහැර කොට බිම්පෙදෙසක් සමතලා කොට ගැණීම ය, මේ ඔහුගේ සිරිත ය, දිනෙක ඔහු වැඩ කරණ තැනට ගොස් බිම්පෙදෙසක් සකස් කොට එහි සිට ගත්තේ ය, අනෙකෙක් එහි පැමිණ එ තැනින් ඒ තරුණයා පන්නා හැර තෙමේ එතැනැ සිට ගත්තේ ය, ඒ වේලෙහි ම ඔහු අනිකාට නො කිපී නො බැණ කිසිත් නො කියා තමන්ට අන් තැනක් පිළියෙල කොට ගත්තේ ය. එ තැනත් අනෙකෙක් පැහැර ගත, එ වේලෙහි ද නො කිපී නො බැණ අන් තැනක් සකස් කොට ගත්තේ ය, අනෙකකු එතැනත් පැහැර ගත් කල, අන් තැනක් පිළියෙල කොට එතැන සිට ගත්තේ ය, මෙසේ කිහිපවිටක් ම ඔහු පිළියෙල කොට ගත් තැන්, අන්හු විසින් පැහැර ගන්නා ලද ද, ඒ කිසිවකු කෙරෙහි නො ද කිපුනේ ය, නො ද ගැටුනේ ය, හෙතෙමේ එ තැන්හි සිටියවුන් බලා සතුටුව ‘අනේ! සාධු! සියල්ලෝ යහතින් සිටිති, සුවසේ සිටිති, මට පින්, මේ වැඩේ සැප දෙන එකක්, මෙයින් මට සැප ලැබේ, තව තවත් මිනිසුන්ට සතුටින් සිට ගන්නට බිම් පෙදෙස් පිරිසිදු කර දිය යුතු ය’ යි සිතා පසු දා කැති පොරෝ උදලු කුන්තානි කූඩා ආදිය ගෙණ ගොස් ඒ ඒ තැන කමත් පමණ තැන් පිළියෙල කෙළේ ය,

එහි පැමිණි හැම කෙනෙක් ඒ ඒ තැනැ සිට ගත්, සීතවේලෙහි ඔවුනට ගිනි දල්වා දුන්නේ ය, මෙයින් මේ තරුණයා මෙහි වඩාත් උනන්දු විය, ‘සිත්කලු තැන, පිරිසිදු තැන, කාටත් ප්‍රිය ය, කාගේත් සිත් ගන්නේ ය, ඒ නිසා මම මෙතැන් සිට මංපෙත් පිළියෙල කොට දෙමි’ යි සිතා ඉතා අලුයම නින්දෙන් නැගිට කැඳ වතුර ටිකක් බී උදෑසනින් ම කැති උදලු ආදියත් ගෙණ, ගෙන් නික්ම මංපෙත් සමකරමින් හැසිරෙන්නට වන, එකල අනෙකෙක් මූ දැක ‘යහළුවේ! මේ කුමක් කෙරෙහි දැ’ යි ඔහුගෙන් ඇසී ය, ‘දෙව්ලොව යෑමට මගක් පිළියෙල කරමි’ යි ඔහුට පිළිතුරු දින, ‘මමත් ඔබට උපකාර කරමි’ යි ඔහු කීවිට, ‘හොඳයි’ ඒක අප දෙදෙනාට ම හොඳයි, දෙව්ලොව කාගේත් සිත් ගන්නා තැනක්’ යි දෙදෙන ම එකතු ව, මං පෙදෙස් පිළියෙල කරන්නට පටන් ගත්හ, ඒ දෙදෙනා දුටු තවත් බොහෝ දෙනෙක් ඔවුන් හා එක්වූහ, මෙසේ එක්වූවෝ තෙතිස් දෙනෙක් වූ හ, මේ තෙතිස් දෙන මංපෙත් පිළියෙල කරමින් යොදුන දෙ යොදුන පමණ තැන් යන්නෝ ය, මෙසේ මංපෙත් පිළියෙල කරමින් යන ඔවුන් දුටු ගම්මුලාදෑනියා ‘මොකක් ද මුන් කරණ මේ වැඩේ, මුන්ට පිස්සු, නිකරුණේ කල් ගෙවති, කළ යුත්තේ ප්‍රයෝජන ඇති වැඩෙකි, අපහසුවක් නැති ව මුන්ට කැලයෙන් ඌරු ගෝන මුව සා, ආදී වූ සතුන් මරා මස් ගෙණ ආ හැකි ය, අතර මග දී බොන්නට රා අරක්කුත් ලබාගත හැකි ය, එ විට මටත් එයින් ප්‍රයෝජන ගත හැකි ය, මටත් ප්‍රයෝජන වන එබඳු දේ මුන් ලවා කරවිය යුතු ය’ යි සිතා ඔවුන් කැඳවා ‘තෙපි කුමක් කරමින් හැසිරෙහු දැ’ යි ඇසී ය, රජයෙහි මෙහෙකරණ බොහෝ ගම්මුලාදෑනීහු ගම් රට වනසති, ගම්වැසි මිනිසුන් දුසිරිතෙහි පොළොඹවති, අල්ලස් ගැණීම් ආදී පාපක්‍රියාවන්ගෙන් ගම් රට දූෂණය කරති, උනුන් අතර නඩුහබ ඇති කරති, අනුන්ගේ දුකෙහි කිසිත් කම්පනයක් නො දක්වති, පවෙහි තැති ගැන්මෙක් මොවුනට නැත,

එ විට ඔවුහු ‘රාළහාමි! අපි කරන්නමෝ දෙව්ලොව යෑමට මගකැ’ යි කීහ. ‘ගිහිගෙයි වසන්නන් විසින් කළ යුත්තේ මේ වැඩ නො වේ, ගිහිගෙය ගැණ සිතා ක්‍රියා කළ යුතු ය, හොඳට කෑ යුතු ය, පිය යුතු ය, ඇන්ද යුතු ය, නැටුම් ගැයුම් කළ යුතු ය, දඩයම් කළ යුතු ය, සූදු කෙළිය යුතු ය, මේවා ගිහියා අයත් වැඩ ය, ගිහියා විසින් කළ යුත්තේ මේ ය’ යි ගම්මුලාදෑනියා කීයේ ය, ඔවුහු ගම්මුලාදෑනියාගේ කීම් නො ද පිළිගත්හ, එබව දත් ඔහු මුන් කෙරෙහි කිපී, මුන් මරවන්නට සිතා රජු කරා ගොස් ‘දේවයන් වහන්ස! කාණ්ඩ ගැසී ගම් පහරණ හොරු සමූහයෙක් රට තුළ දක්නට ලැබේ, රජයට විරුද්ධ ව හැසිරෙන්නන් සේ ය පෙණෙන්නෝ, අද හෙට ම ඔවුන් නො නැසුවොත් මහත් විපත් සිදු විය හැකි ය, රට දෙකට බෙදී යා හැකි ය, දැන වදාරන සේක්වා’ යි කියා සිටියේ ය, රජ තෙමේ ‘ඔපිසර! ආරක්‍ෂකභටයන් ගෙණ ගොස් උන් අල්ලා ගෙණෙව’ යි නියම කෙළේ ය, ඔහු එසේ කෙළේ ය, රජයට විරුද්ධ ව නැගී සිටින සොරුන් ය යි හඟවා තුබූ බැවින් රජ තෙමේ අධිකරණයට නො පමුණුවා ම උන් ඇතු ලවා පාගවා මරන්නට අණ කෙළේ ය,

එ විට මඝ තෙමේ ‘පින්වත්නි! නො බියවවු, දැන් අපට පිහිට වන්නේ මෙත් වැඩීම ය, ඒ නිසා රජු කෙරෙහි, මුලාදැනියා කෙරෙහි, ඇතු කෙරෙහි නො ද කිපෙවු, උන් හැම දෙන කෙරෙහි හා තමන් කෙරෙහි සමසිත් ඇත්තෝ වවු, එය ය අපට පිහිටැ’ යි අවවාද කෙළේ ය, ඇත් උන් පාගා මරන්නට ආයේ ද, උන් වෙත ලංවන්නට අපොහොසත් විය, ඉදිරියට තබන පා පස්සට ම ඇදී යන්නේ ය, ඇත් ගොව්වෝ ඇතු මෙහෙයවීමෙහි අසමර්‍ත්‍ථ වූහ, රජුට එ බව දැන් වූහ, රජ තෙමේ ‘උන් හැමදෙනා කළාලයකින් වසා ඇතු ඉදිරියෙහි සිටුවා අනික් දෙනා එ තැනින් ඈත් ව සිට ඇතු මෙහෙයවු’ යි නියම කොට හැරියේ ය, ඔවුහු එසේ කළහ, එහෙත් ඇත් තෙමේ තමන් සිටි තැනින් අඩියක් පමණකුත් ඉදිරියට පා තැබීමෙහි අපොහොසත් ව, සිටි තැන ම නො සැලී සිට ගත්තේ ය,

රජ තෙමේ එ ද දැන ‘මෙහි යම්කිසිවක් විය යුතු ය’ යි සිතා ඔවුන් කැඳවා ‘තෙපි කුමක් හෙයින් රට වනසහු ද, කුමක් නිසා කාණ්ඩ ගැසී රට පෙළහු ද, මා තොපට නො දුන්නේ කුමක් ද, මේ රට, මා සේ තොප විසිනුත් රැකිය යුතු නො වේ දැ’ යි ඇසී ය, ‘දේවයන් වහන්ස! මේ කුමක් වදාරහු, දුප්පත් අපට පින්වත් දේවයන් වහන්සේගෙන් නො ලැබුනෙක් නැත, හැම දෙයක් ලැබේ, ඇයි! මෙසේ වදාරහු’ යි උන් ඇසූවිට රජ තෙමේ ‘තෙපි ගම්රට පෙළහු ය, කාණ්ඩ ගැසී සොරකම් කරහු ය, රජයට විරුද්ධ ව හැසිරෙහු ය, යි ඔපිසර තැන දක්වා තිබේ ය’ යි කී ය, ‘පින්වත් දේවයෙනි, අපි සොරහු නො වම්හ, සග සැප ලැබීමේ මං සොය සොයා ඇවිදින්නමෝ ය, අපි ඒ පිණිස කටයුතු කරන්නමෝ ය, අපි මහාජනයා උදෙසා මංපෙත් පිළියෙල කරමින් පැන් පොකුණු කණිමින් හැසිරෙන්නමෝ ය, මේ දුටු ඔපිසර මහතා ඒ නො ඉවසා අප ලවා වැරදි වැඩ කරවන්නට සිතා ඒ පිණිස අප ඉදිරියෙහි නොයෙක් කරුණු කියා පෑය, ඔපිසර මහතා කියූ ඒ කිසිවක් අපි නො කෙළෙමු, එයින් කෝපයට පත් ඔහු අප මරවන්නට සිතා ඔබවහන්සේ ඉදිරියෙහි මෙසේ බොරු කියා ඇතැ’ යි ඔවුහු දැන්වූහ, රජ තෙමේ සංවේගයට පැමිණ ‘මේ ඔපිසර තැන තිරිසනෙකි, හොඳ නො හොඳ නො දත්තෙකි, උඹලාගේ ගති ගුණ කිසිවක් ඔහුට නො දැනුනේ ය, මමත් ඌ කීවා අදහා ගත්තෙමි, ඔපිසර කෙරෙහි තුබු ඇදහීම නිසා මමත් වැඩිදුර කල්පනා නො කෙළෙමි, ඒ නිසා මා කෙරෙහි අමුත්තක් නො සිතවු’ යි කියා අඹුදරුවන් සහිත වූ මුලාදැනියා ඔවුන්ට දාසමෙහෙවර පිණිස දී ‘වැඩ ගන්නැ’ යි කියා ඇතු ද දුන්නේ ය, ඔවුන් විසූ ගම්වර ද ඔවුන්ට නින්දගම් කොට දුන්නේ ය,

මෙසේ රජුගෙන් ප්‍රසාද ලැබු ඒ තෙතිස් දෙන ‘අප කළ යහපත් වැඩවල ඵලය මෙහිදී ම අපි ලැබීමු’ යි තුටු පහටු ව එකෙකා ඇතු පිට නැගී යන්නෝ ‘අප වඩාත් පින්කම් කළයුතු ය’ යි සිවු මං හන්දියක මහාජනයාගේ ප්‍රයෝජනය පිණිස ඉඩ කඩ ඇති ඉතා සිත්කලු අම්බලමක් දක්‍ෂ වඩුවකු ලවා කරවූහ, එහෙත් එහි පින් ගෑණුන්ට නො ද දුන්හ,

මඝයාට නන්දා, චිත්තා, සුධම්මා, සුජාතා යි අඹුවන් සිවු දෙනෙකි, උන් අතුරෙහි සුධම්මා තොමෝ වඩුවා හා කතා කොට ‘මා මේ ගොඩ නගන හලෙහි ප්‍රධාන කරව’ යි අල්ලස් දුන්නී ය, වඩුවා ‘යහපතැ’ යි අල්ලස ගෙණ කැලයට ගොස් කිණිහිරිගහක් කපා ගෙණ අවුත් වුවමනා පමණට එයින් කැබැල්ලක් කපා වෙන් කොට සැස වියලා යතු ගා විද කැණි මඬලක් සාදා එහි ‘සුධම්මා’ යන අකුරු ද කපා රෙදිකඩක් ඔතා තැබී ය, ගොඩනැගිල්ලෙහි වැඩ නිමවා කැණිමඩල සවි කරණ දිනයෙහි ‘හා! අපට මතක නැති වූවක් තිබේ ය’ යි වඩුවා කී කල්හි ‘ඒ කුමක් දැ’ යි ඔවුහු ඇසූහ, මුළුපරාල වද්දන වහළමුදුනෙහි සවිකරණ ලී කැබැල්ලැ’ යි කී විට ‘අපි ඒ පිණිස ලීයක් කපා ගෙණෙන්නෙමු’ යි කීහ. ‘දැන් අලුතෙන් කපා ගෙණ එන ලී කැබැල්ලකින් ඒ කරණු බැරි ය, කපා වියලා ගත් පරණ ලී කැබැල්ලකින් ම ඒ කළ යුතු ය’ යි වඩුවා කීයේ ය, ‘එසේ නම් දැන් කුමක් කළ යුතු දැ’ යි ඔවුන් ඇසූ විට ‘වැඩ අවසන් කොට තැබූ කැණිමඩලක් තිබෙන තැනකින් සොයා ගෙණ එවු’ යි කීයේ ය. ඔවුහු සොයා බැලූහ, සුධර්‍මාවගේ ගෙයි වැඩ අවසන් කළ කැණිමඬලක් තිබෙන බව අසා එහි ගොස් මුදලට එය ඉල්ලූහ, සුධර්‍මා තොමෝ මුදලට එය නො දෙන බවත් පිණට නම් දෙන බවත් කිවූ ය, ‘මුදලට මුත් පිණට නම් එය වුවමනා නැතැ’ යි ඔවුන් කී කල්හි, වඩුවා ‘තමුසේලා කුමක් කියහු ද, දැන් අලුත් කැණිමඬලක් මොන ලෙසකිනුත් පිළියෙල කරගන්නට නො හැකි ය, මෙය මුදලට හෝ පිණට ගත්තහු නම්, ගොඩනැගිල්ලේ වැඩ අද ම අවසන් කළ හැකි ය, මුදලට නො දෙන්නී නම් පිණට වත් එය ගන්න! ගෑණු නැත්තේ කොහි ද, බඹලොව පමණක්ය ගෑණු නැත්තේ, එය කාරියක් නො වේ, මේ කැණිමඬල පිණට ගන්න! එවිට අපේ කාරිය මුදුන් පැමිණේ ය’ යි කීයේ ය, ඔවුහු එය පිණ ට ගත්හ,

වඩුවා කැණිමඬල සවි කොට ගොඩ නැගිල්ලේ වැඩ මුළුමනින් අවසන් කළේ ය, ඔවුහු අම්බලම කොටස් තුනකට බෙදූහ, එක් කොටසක් පොහොසතුන් පිණිස ය, එක් කොටසක් දුප්පතුන් සඳහා ය, එක් කොටසක් ලෙඩුන්ට ය, ඒ හැම කොටසෙක ඉඳුම් හිටුම් ද පිළියෙල කළහ, එසේ කොට නැවත ඔවුහු තෙතිස් දෙන එහි පැමිණියනට හිඳ ගණු පිණිස ඒ ඒ තැන ලෑලි තෙතිසක් ද පිළියෙල කොට තැබුහ, ‘ආගන්තුක ව එහි පැමිණි යමෙක් යමක්හු විසින් පිළියෙල කොට තැබූ ලෑලිකඩෙක හුන්නේ නම්, ඔහු ඒ ලෑලිකඩ තැබූ තැනැත්තහුගේ ගෙට ගෙණ එන්නැ’ යි. ඇතුට නියම කළහ, ඇතු විසින් ඒ ඒ ගෙට පමුණුවන ලබන ඒ ඒ ආගන්තුකයන් පිළිබඳ පා මිරිකීම්, පිට මිරිකීම්, කැම් පීම් පිළියෙල කොට දීම් සෙනසුන් පණවා දීම් ඈ සියල්ල ඒ ඒ ලෑලි කඩ තැබුවන් විසින් ම කළ යුතු ය, එ තැන් සිට ඇත් තෙමේ යමෙක් එහි පැමිණ යමක්හුගේ ලෑලි කඩෙක හුන්නේ නම්, ඔහු ඒ ලෑලිකඩ තැබූ තැනැත්තහුන්ගේ ගෙට පමුණුවාලයි, ලෑලිකඩ තැබූ තැනැත්තේ එ දවස ඒ ආගන්තුකයාගේ සියලු කටයුතු මැනැවින් කරයි, මඝ තෙමේ අම්බලමට නො දුරු තැනෙක කොබෝලීලගසක් සිටුවා ගසේ මුල ගල්ලෑලක් පිහිටුවාලී ය, අම්බලමට ඇතුල්වූවෝ කැණිමඩල බලා අකුරු දැක මේ අම්බලම සුධර්‍මා නමැ යි කියති, ඒ තෙතිස් දෙනාගේ නම් නො කිය වේ,

නන්දා තොමෝ, ‘මොවුහු අම්බලම කරවන්නෝ අපට පින් නො දුන්නෝ ය, සුධර්‍මා තොමෝ තමන්ගේ දක්‍ෂ කමින් පිණෙහි කොටසක් ලබා ගත්තා ය, දැන් මා විසිනුත් කිසිවක් කළ යුතු ය, කුමක් කරම් දැ’ යි සිතා ‘අම්බලමට පැමිණියවුන්ට බිමට පැන් හා නෑමට වතුර තිබිය යුතු ය. එ හෙයින් මා විසින් පොකුණක් කැණවිය යුතු ය’ යි පොකුණක් කැණ වූවා ය, චිත්‍රා තොමෝ ‘සුධර්‍මා කැණිමඬලක් දුන්නී ය, නන්දා පොකුණක් කරවු ය, මා විසිනුත් යම් කිසිවක් කළ යුතු ය’ යි සිතා මල්උයනක් කරවූ ය, මේ මල්උයන මල් ගන්නා පල ගන්නා අසුවල් ගස නැත්තේ ය යි නො කියැකි තරමට මල්රුක් පලරුක්වලින් පිරී සිටියේ ය, සුජාතා ව ‘මම මඝයාගේ මාමාගේ දූ ය, පාදපරිචාරිකා ය, එ හෙයින් මොහු කරණ කර්‍ම මාගේ ය, මා කරණ කර්‍ම මොහුගේය’ යි සිතමින් කිසිවක් නො කොට ඇඟපත සරසමින් දවස් ගෙවූ ය, මඝ තෙමේ ද තමන් කළ නොයෙක් පින්කම් අතර මවුපියන් රැකුම, කුලදෙටුවන් පිදුම, ඇත්තකීම යනාදි සප්තව්‍රතපදය ද අඩු නැති ව පුරා මැරී ගොස් තව්තිසා දෙව්ලොව සක්දෙව්රජ ව උපන, වඩුවා විස්කම් දෙව්පුත් විය,

එ දවස තව්තිසාදෙව්ලොව අසුරයෝ විසූහ, ඔවුහු අලුත උපන් මොවුන් දැක ‘අලුත් දෙව්පුත්හු උපන්හ’ යි ඔවුනට සුදුසු සේ පැන් පිළියෙල කළහ, සක්දෙව් තෙමේ ඒ දැක, ‘මේ පැන් මා පිරිසෙහි කිසිවකු විසින් නො පිය යුතු ය’ යි නියම කෙළේ ය, අසුරයෝ ම ඒ පැන් බීහ, එයින් ඔවුහු මත් වූහ, සක්දෙව් තෙමේ ‘මේ සාධාරණරාජ්‍යයෙන් මට වැඩක් නැතැ’ යි සිය පිරිසට දන්වා මත් ව වැටී සිටි අසුරයන් පාවලින් ගන්වා මහාමූදෙහි දැම්ම වී ය, ඔවුහු යටිකුරු හිස් ඇති ව මුහුදෙහි වැටුනාහ, එ කෙණෙහි ඔවුන්ගේ පින් බලෙන් මහමෙර පල්ලෙහි අසුර විමන පහළ වූයේ ය, සිත්පළොල් රුක ද එහි ම හටගැණුනේ ය, දෙවියන් හා අසුරයන් අතර යුද්ධයේ දී අසුරයන් පැරද ගිය කල්හි ය දස දහසක් යොදුන් පමණ වූ තව්තිසාදෙව්ලොව පහළ වූයේ, ඒ දෙව් නුවර පෙර අපර දෙ දිග දොරටු අතර පරතරය යොදුන් දස දහසක් පමණ වේ, දකුණු උතුරු දෙ දිග අතර පරතරය ද එ පමණ ම ය, නගරය දොරටු දහසකින් සැදුම් ලද්දේ ය, උයන් පොකුණු ආදියෙන් සිත් ගන්නේ ය, නුවර මැද යොදුන් සත් සියයක් උස් වූ වෛජයන්ත නමින් ප්‍රාසාදයෙක් නැගී සිටියේ ය, ලෙලදෙන ධජපතාකාදියෙන් පිරී සිටි ඒ ප්‍රාසාදය නැගී සිටියේ, පෙර අත්බවේ දී අම්බලම කළ පිණේ එක්තරා විපාකයක් වශයෙනි,

ඒ පහයෙහි රන් යටලීවල මැණික්දද, මැණික් යටලීවල රන් දද, පබලු යටලීවල මුතුදද, මුතු යටලීවල පබලුදද, සත්රුවන් යටලීවල සත්රුවන් දද නිතර ලෙල දුන්හ, හැම දදයෙක් ම යොදුන් තුන්සියයක් පමණ දිග ය, යොදුන් සත් සියයක් උස් වූ මෙම පහය සත්රුවණින් ම කැරුණෙක් ව සිටියේ ය,

කොබෝලීලගස සිටුවීමේ විපාක විසින් අවට යොදුන් සියයක් පැතිර ගත් පරසතුරුක පහළ විය,

ගල්ලෑල්ල සවි කළ පිණේ විපාක විසින් පරසතුරුක්මුල පඬුඇඹුල්අසුන නැගී සිටියේ ය, එය සැට යොදුනක් දිග ය, පණස් යොදුනක් පළල ය, පසළොස් යොදුනක් ඝනය, බඳුවද මල්පැහැය බඳු පැහැය ඇත්තේ ය, හුන් කල සිරුරෙන් අඩක් එහි ගැලී සිටි යි, හිඳ නැඟී සිටි කල සමතල ඇත්තේ වේ.

මඝ මාණවක දවසෙහි, වැඩ ගත් ඇත් තෙමේ ඓරාවන නම් දිව්‍යපුත්‍ර ව උපන්නේ ය, දෙව්ලොව තිරිසන්නු නැත, එ හෙයින් ඒ දිව්‍යපුත්‍ර තෙමේ උයන් කෙළියට යන කල්හි ඒ අත්බව හැර දමා එක් සිය පණස් යොදුන් වූ ඇත්වෙසක් ගන්නේ ය, ඔහු මේ තෙතිස් දෙනාට තෙතිස් කුඹක් මවාපායි, ඒ මත්තෙහි දොළොස් යොදුන් පමණ වූ රත්නමණ්ඩපයෙක් වෙයි, එහි අතරින් අතර යොදුන් පමණ උස් වූ සප්තරතනමය ධ්වජයෝ වෙති. කෙළවර කිකිණිදැල් එල්බේ, මණ්ඩපය මැද, සක්දෙව් රජ පිණිස යොදුනක් පමණ වූ මිණිපළඟෙක් මැවුනේ ය, තෙතිස් කුඹු අතරෙහි එක් එක් කුඹෙහි දත් සත සත වේ, ඒ එක් එක් දත පණස් පණස් යොදුන් පමණ දික් වේ, එක් එක් දතෙහි පොකුණු සත සත වේ, එක් එක් පොකුණෙහි නෙළුම්පඳුරු සත සත වේ, එක් එක් නෙළුම්පඳුරෙහි මල් සත සත වේ, එක් එක් මලෙහි පෙති සත සත වේ, එක් එක් පෙත්තෙහි දෙවකන්‍යාවෝ සත් සත් දෙන නටති, මෙසේ හාත්පස පණස් යොදුන් පමණ වූ තැනැ ඇත් දත්හි ම නාට්‍ය මණ්ඩපයෙක් වේ, මෙසේ මහත් සැපත් විඳිමින් සක්දෙව් තෙමේ දවසරින්නේ ය,

සුධර්‍මා තොමෝ කලුරිය කොට එහි ම උපන, සුධර්‍මා නම්, දිව්‍යසභාවක් ඇයට පහළ වූ ය, ඕ නව සියයක් යොදුන් පමණ ය, ඒ දිව්‍යසභාවට වඩා සිත්කලු වූ අන් තැනෙක් එහි නැත්තේ ය, මසකට, අට වරක් එහි දහම් ඇසීම වේ,

නන්දා තොමෝ කලුරිය කොට එහි ම උපන, නන්දා නම් පොකුණ පහළ වූවා ඇයගේ පිණට ය, යොදුන් පන් සියයක් දිග පළල ය ඒ පොකුණ, චිත්‍රා උපන්නී ද එහි ම ය, පන් සියයක් යොදුන් පමණ වූ සිතුලියවනය පහළ වූයේ ඇය කළ පිණට ය, සුජාතා කලුරිය කොට එක් කඳුරැලියෙක කණ කෙකිණක් ව උපන, ඇයට දෙව්ලොව ඉපදීමට පිණෙක් නො වී ය,

මේ අතර දිනෙක ශක්‍ර තෙමේ ස්වකීය භාර්‍ය්‍යාවන් ගැන විමසන්නේ සුධර්‍මා - නන්දා - චිත්‍රාවන් තමන් හා එක් ව උපන් බවත් සුජාතාවන් එක්තරා කඳුරැලියෙක කණකෙකිණි ව උපන් බවත් දුටුයේ ය, ‘අය්යෝ! මේ මෝඩිය කිසි පිණක් නො කොට දැන් තිරිසනුන් මැද ඉපිද සිටී, දැන්වත් මැය ලවා පිණක් කරවා මා වෙත පමුණුවා ගත යුතු ය’ යි සිතා දිව්‍යාත්මය හැර දමා රහස් වෙසක් ගෙණ ඇය හමුවට ගොස් ‘මෙහි කුමක් කරහි දැ’ යි ඇසී ය, එවිට ‘තෝ කවු දැ’ යි ඕ ඇසූ ය, ‘මම ගිය අත්බවේ තීගේ ස්‍වාමි වූ මඝ නම් වෙමි’ යි කී විට ‘ඔබ වහන්සේ උපන්නහු කොහි දැ, යි ඇසූ ය, ‘මම තව්තිසා දෙව්ලොව, තීගේ ඒ බුහුනනියෝත් එහි මා ලඟ, දකිනු කැමැත්තෙහිද උන්’ යි ශක්‍ර තෙමේ ඇසුයේ ය, ‘දකිනු කැමැති යි, එහි කෙසේ යම් දැ’ යි ඇය කී විට, ඔහු ඇය අතට ගෙණ දෙව් ලොවට ගෙණ ගොස් නන්දාපොකුණු ඉවුරෙ තබා අනික් තිදෙනාට ‘තොපගේ බුහුනැනි වූ සුජාතාවන් බලවු’ යි කීයේ ය, ‘ඈ කොහි දැයි ඈලා ඇසූ විට ‘ආ, නන්දාපොකුණු ඉවුරෙහි’ යි කී ය, එහි ගොස් ඇය බලා ‘අනේ! දෙවියනේ. අපේ බුහුනැනියට සිදුවී ඇති විපත, ඇඟපත සරස සරසා ඉඳීමේ විපාක, එදා යසට තුබූ කටක හැටි අද, බලවු, එය කටක් නො වේ, හොටයෙකි, කකුල්, කෙණ්ඩා, බලවු, ඒවායේ හැටි’ යි කියා කවටකම් කොට ගියහ,

එයට පසු පැමිණි සක්දෙව් තෙමේ ‘බහුනැනියෝ දක්නා ලද්දාහු ද?’ යි අසා ‘දක්නා ලදහ, ඔවුහු මට කවටකම් කොට ගියහ, මා ගෙණ ගොස් මා හුන් තැනැ ලව’ යි කී විට ඇය ගෙණ ගොස් හුන් තැනැ තබා බුහුනැනියන් හා එක් ව ඉපදීමට සෑහෙන යමක් කළ යුතු ය’ යි කීයේ ය, ‘මා විසින් ඒ සඳහා කුමක් කළ යුතු දැ’ යි ඇය ඇසූ විට ‘මා දෙන අවවාදය රකුව’ යි ඔහු කී ය, සක්දෙව් තෙමේ ඇය පන්සිල් ගන්වා ‘අප්‍රමත්ත ව පන්සිල් රකුව’ යි කියා ගියේ ය, ඕ එතැන් සිට තමා මළමසුන් ම සොයා කයි, මසුන් තමන් මරා නො කයි. ශක්‍ර තෙමේ කිහිප දවසකින් පසු ඇය විමසනු පිණිස එහි ගොස් වැලිපිට මළ මසකු සේ හොත්තේ ය, ඕ ඒ දැක මළමසෙකැ යි සිතා හොටෙන් අල්ලා ගිලින්නට වන, එකල මත්ස්‍ය තෙමේ නඟුට සැලුයේ ය, කෙකිණී තොමෝ ‘පණ ඇති මසෙකැ’ යි සිතා හැර ගියා ය, ශක්‍ර තෙමේ ටික වේලාවක් හැර පියා නැවැතත් ඇය ඉදිරියෙහි උඩ බලා හොත්තේ ය, එවර ද, කෙකිණී තොමෝ මළ එකෙකැ’ යි ගෙණ මදක් ගිලින කල්හි නඟුටකෙළවර සැලී ය, එවරත් ඕ ඌ හැර ගියා ය. මෙසේ සක්දෙව් තෙමේ ඈ තෙවරක් විමසා බලා යහපත් ව සිල්රකිනබව දැන ‘මම ශක්‍ර වෙමි, තී විමසන්නට පැමිණියෙමි, හොඳින් සිල් රකුව, හොඳින් සිල් රැක්කොත් කල් නො යවා මා ලඟ උපදිනු හැකි ය, අප්‍රමත්ත වෙව’ යි කියා ගියේ ය,

කෙකිණී තොමෝ එතැන් සිට තමන් මළ මසුන් නො ලැබීමෙන් නිරාහාර වූවා කලුරිය කොට තමන් රැකි සීලයා ගේ විපාක වශයෙන් බරණැස්නුවර කුඹල් කරුවකුට දූව උපන, මෙසේ උපත ලැබූ ඇය වයසින් පසළොස් හවුරුද්දට පැමිණි කළ ශක්‍ර තෙමේ ‘ඈ කො තැනැ උපන්නී දැ’ යි බැලී ය, බරණැස් නුවරැ කුඹළකුට දූ ව උපන්බව දැන ‘මා දැන් එහි යා යුතු ය’ යි කැකිරිගෙඩි සේ පෙණෙන සත් රුවන් රැසක් බරකරත්තයක පටවා කරත්තය පැද ගෙණ බරණැසට ගොස් ‘කැකිරි, කැකිරී’ යි කියමින් කඩමණ්ඩියෙහි ඔබිනොබ හැසුරුණේ ය, මුං උඳු ආදිය දී කැකිරි ගන්නට ආවුන්ට මුං උඳු ආදිය ගෙණ කැකිරි නො දී, ‘සිල් ඇත්තන්ට කැකිරි දෙමි’ යි ඔහු කීයේ ය, ‘මුදලාලි සිල් කෙබඳු ද, නිල් ද, කලු ද, සුදු ද, වට ද, පැතැලි ද, දිග ද, කොට ද, රස මොක දැ’ යි කැකිරි ගන්නට ආ අය ඇසූහ, ‘තෙපි සිල් නම් කිමැ’ යි නො දන්නහු, එසේ විට සිල් කෙසේ රකිහු ද, මේ කැකිරි දෙන්නේ සිල් රකින්නන්ටැ’ යි කී විට ‘මුදලාලි! මෝ මෙනුවර කුඹල් කරුවකුගේ දුවක්, මෝ නම්, සිල් රකිමි යි කිය යි, ඒ නිසා කැකිරි මෑට දෙන්නැ’ යි එහි පැමිණ සිටියෝ කීහ, එවිට ඕ ද ‘මුදලාලි! මම යි මෙනුවර සිල් රකින්නි ය, මම නො හළ පන්සිල් ඇත්තී වෙමි, නො කඩ කොට පන්සිල් රකිමි මම, එහෙයින් මට දෙව’ යි කි වු ය, මේ කැකිරි කරත්තය ගෙණෙන ලද්දේ තී පිණිස ය’ යි කියා ශක්‍ර තෙමේ බරකරත්තය ඇයගේ ගෙදරට දක්කා ගෙණ ගොස් අනෙකක්හට නො ගත හැකි කොට කැකිරි ලෙසින් ගෙන ආ සත්රුවන් සමූහය ඇයට දී තමන් ශක්‍රයා බව දන්වා ‘තිට දිවි ගැලවීමට මේ ධනය පමණ ය, එ හෙයින් නො කඩ කොට පන්සිල් රකුව’ යි නියම කොට දෙව්ලොව බලා ගියේ ය,

කුඹල් කරුගේ දූ තොමෝ දිවිහිම් කොට මැනැවින් පන්සිල්, රැක මිනිස්බවින් චුත වූවා, අසුරභවනයෙහි නායක අසුරයාගේ දූව උපන්නු ය, අත්බැව් දෙක්හි ම මැනැවින් සිල් රැකි බැවින් යහපත් රූ ඇත්තී රන්වන් වූවා අසාධාරණ රූපශ්‍රියෙන් යුක්ත වූ ය, මේ කාලයෙහි ඈ බිරිය කොට ගැන්මට නොයෙක් අසුරයෝ ඇයගේ පියා වෙත පැමිණියෝ ය, ඇයගේ පිය වූ වේපචිත්තිඅසුරේන්‍ද්‍ර තෙමේ ‘තෙපි මාගේ දුවට නො ද සෑහෙන්නහු’ යි ඔවුන් යවා ‘මාගේ දූ ම තමන්ට කැපෙන හිමියකු සොයා ගනු ඇතැ’ යි දිනෙක අසුරයන් රැස් කරවා ‘තිට කැපෙන හිමියකු මේ අසුරයන් අතුරින් තී ම සොයා ගණුව’ යි දුවට මල්වඩමක් දුන්නේ ය, සක්දෙව් තෙමේ ඇය උපන් තැන බලන්නේ මේ තොරතුරු දැන ‘දැන් මා එහි ගොස් ඇ ගෙණ ආ යුතු ය’ යි අසුර වෙසක් ගෙණ එහි ගොස් පිරිස් කෙළවර සිටියේ ය, අසුරකන්‍යා තොමෝ ඔබනොබ බලන්නී පෙර එක් ව විසීමෙන් හටගත් පෙම් බැඳුමෙන් ‘මෙතෙමේ මාගේ හිමියා’ යි සක්දෙව් කර මල්වඩම දැම්මා ය, එ කෙණෙහි අසුරයෝ ‘අන්න හරි, අපගේ රජ මෙතෙක් කල් දූට කැපෙන හිමියකු සෙවූ සැටි, දැන් නම් දෙන්නා හොඳට ගැළපෙති, මූ මෑගේ මුත්තා සේ ය, ඌටත් වඩා මූ නාකි ය, අනේ, අපූරු යි ගැළපුම, මුත්තාගේ හා මිනිබිරියගේ දීග ය’ යි කවටකම් කරමින් ගියහ,

සක්දෙව් අසුරකත අතින් අල්ලා ගෙණ ‘මම සක්දෙව්මි’ යි හඬ නගා කියමින් අහස්කුසට නැංගේ ය, අසුරයෝ ද ‘මේ මහල්ලා විසින් අපි රවටන ලද්දෙමු’ යි ඔහු ලුහු බැඳ ගියහ. මාතලී රියැදුරු තෙමේ වෛජයන්තරථය ගෙණ අතර මඟ සිටියේ ය, සක්දෙව් තෙමේ ඇය රියට නංවා ගෙණ දෙව්නුවර බලා ගියේ ය, ඔවුන් ගුරුළන් වසන ඉඹුල් වනයට ලංවූ කල්හි බියපත් වූ ගුරුළුපැටවු හඬන්නට වන්හ, ශක්‍ර තෙමේ ‘හඬන්නෝ කවුරහු දැ’ යි අසා ‘ගුරුළු පැටවු’ යි කී කල්හි නැවැත ‘කුමක් හෙයින් හඬත් දැ’ යි ඇසී ය, ‘රිය හඬ අසා. මරණබියෙන් බියපත් ව හඬති’ යි කී විට ‘තනි මා නිසා මෙතෙක් දෙන රථවේගයෙන් සුණුව ගියහ, උන් නො නසව, රිය නවතා ලව’ යි දැන්වී ය, මාතලී තෙමේ රිය නවතාලී ය, අසුරයෝ ඒ දැක ‘මහලු සක්දෙව්, අසුරපුරයෙහි පටන් පලා ගොස් දැන් රිය නවතා ලී ය, මොහු විසින් පිහිටක් ලද්දේ වනැ’ යි නැවතී ආ මගින් ම අසුරපුරයට වන්හ, හිස් ඔසොවා නො ද බැලූහ,

සක්දෙව් තෙමේ මෙසේ සුජාතා අසුරකන්‍යාව දෙව්පුරයට ගෙණ ගොස් අඩු තුන් කෙළක් දෙවඟනන්ට ප්‍රධාන කොට තැබී ය, ඉක්බිති ඕ තොමෝ ‘දේවයන් වහන්ස! මෙහි මට මවුපියෝ නැත, සහෝදර සහෝදරියෝ නැත, මම තනි වෙමි, නෑදෑ කිසිකෙනෙක් නැත, එ හෙයින් ඔබතුමන් යන යන තැනට මා කැටිව ම යනු මැනැවැ යි ඉල්ලා සිටියා ය, සක්දෙව් තෙමේ ‘යහපතැ’ යි එය පිළිගත්තේ ය,

අසුර භවනයෙහි සිත්පළොල්ගසෙහි මල් හටගත් කල්හි ‘අපගේ පරසතුගසෙහි මල් හටගන්නා කාලය’ යි අසුරයෝ සක්දෙවිඳුන් හා යුද්ධයට යති, සක්දෙව් තෙමේ මුහුද යට නාගයන් ලවා, ඉන් උඩ ගුරුළන් ලවා, ඉන් උඩ කුම්භාණ්ඩයන් ලවා ආරක්‍ෂා කරවී ය, දෙව්පුර දොරටුවෙහි වජ්‍රායුධ ගත් අත් ඇති ශක්‍රප්‍රතිමා තැබ්බවී ය, අසුරයෝ නාගදීන් සිඳ බිඳ හැර නැගී ආවෝ ද ශක්‍රප්‍රතිමා දැක ‘ශක්‍ර තෙමේ නික්මුනේ වනැ’ යි පැන දුවති යි වදාරා ‘මහාලි! මඝ තෙමේ මෙසේ අප්‍රමාදප්‍රතිපත්තියෙහි පිළිපැද මේ සා මහත් ඉසුරට පැමිණ දෙ දෙව්ලොව රජය කරවූයේ ය, අප්‍රමාදය වනාහි බුද්ධාදිමහොත්තමයන් විසින් පසස්නා ලද්දේ ය, අප්‍රමාදය නිසා ම සියලු ලෞකික ලෝකෝත්තරගුණයන්ට පැමිණේ ය” යි මේ ධර්‍මදේශනාව ද කළ සේක.

අප්පමාදෙන මඝවා දෙවානං සෙට්ඨතං ගතො,

අප්පමාදං පසංසන්ති පමාදො ගරහිතො සදාති,

මඝමානවක තෙමේ අප්‍රමාදහේතුවෙන් දෙවියන්ගේ ශ්‍රේෂ්ඨ භාවයට ගියේ ය. (එහෙයින්) නො පමා බව පසසත්. පමාබව සියලු කල්හි ගරහන ලද්දේ ය.

අප්පමාදෙන අප්‍රමාදහේතුවෙන්. [1]

මඝමානවකයා විසින් අන් දෙතිස් දෙනකුන් හා එක් ව මචල නම් ගම්හි, බිම් පෙදෙස් පිරිසිදු කිරීමෙහි පටන් පුරණලද අප්‍රමාද ප්‍රතිපත්තිය මෙයින් කිය වේ.

මඝවා = ශක්‍ර තෙමේ.

මඝ යන නම මොහුට ඇත්තේ, මඝවන්තු, නම්. ප්‍රථමා විභක්ති එකවචනයෙහි ‘මඝවා’ යි ආයේ ය. පිදිය යුතු අරුතෙනුදු ‘මඝවා’ යි කියත්.

දෙවානං = දෙවියන්ගේ

දෙවියෝ තෙ පරිදි ය. සම්මුතිදෙව - උප්පත්තිදෙව - විසුද්ධි දෙව යි. එහි සම්මුතිදෙවියෝ නම් රජහු ය. චාතුම්මහාරාජකාදීහු උත්පත්තිදෙවියෝ ය. බුද්ධාදිමහොත්තමයෝ විසුද්ධිදෙවියෝ ය. ‘සම්මුතිදෙවා නාම රාජානො, දෙවියො, කුමාරා, උප්පත්ති දෙවා නාම භුම්මදෙවෙ උපාදාය තදුත්තරිදෙවා, විසුද්ධිදෙවා නාම බුද්ධපච්චෙකබුද්ධබීණාසවා’ති, යනු පොතෙහි ආයේ ය.

මෙහිලා ගැනෙන්නෝ උත්පත්තිදෙවියෝ ය. මේ මොවුන් ගැන කී සැටි:- “දිබ්බන්ති කීළන්ති පංචහි කාමගුණෙහි, පටිපක්ඛෙ වා විජෙතුං ඉච්ඡන්ති, වොහරන්ති ච ලොකස්ස යුත්තායුත්තිං, ජොතන්ති පරමාය සරීරජුතියා, ථොමීයන්ති තබ්භාවත්‍ථිකෙහි, කාමීයන්ති දට්ඨුං සොතුං ච සොභාවිසෙස යොගෙන ගච්ඡන්ති ච යථිච්ඡිතට්ඨානං අප්පටිහතගමනෙන, සක්කොන්ති ච අනුභාවසම්පත්තියා තං තං කිච්චං නිප්ඵාදෙතුන්ති” යි. පස්කම්ගුණෙන් කෙළින්නෝ, ප්‍රතිපක්‍ෂයන් දිනන්නෝ, ලෝකය පිළිබඳ යුතු අයුතුකම් පවසන්නෝ, උතුම් සිරුරුකැලුමින් ස්තුති කරනු ලබන්නෝ, ඒ අයුරු ප්‍රයෝජන කොට ගත්තවුන් විසින් දකින්නට අසන්නට කැමැති වනු ලබන්නෝ, නො පැකිළි ගමනින් තමන් කැමැති තැනට යන්නෝ, සිය තෙදින් ඒ ඒ කටයුතු කිරීමෙහි පොහොසත් වන්නෝ දෙවියෝ ය යනු, මෙයින් කීහ.

‘දෙවානං’ යන මෙයින් ප්‍රධාන විසින් ගැණෙන්නෝ චාතුම්මහාරාජික-තාවතිංස යන දෙදෙව්ලොව වැසි දෙවියෝ ය.

සෙට්ඨතං ගතො = ශ්‍රේෂ්ඨත්‍වයට ගියේ ය.

මෙකී දෙවියන්ගේ ශ්‍රේෂ්ඨත්‍වයට ගියේ ශක්‍ර තෙමේ ය. මේ හැම දෙවියන්ට වඩා පස්කම්සැපතින්, බලපැරකුමෙන්, පින් තෙදින් නැගී සිටියේ ශක්‍ර තෙමේ ය. මේ කිසිවකින් දෙදෙව්ලොව වැසි අන් එක ද දෙවියෙක් ශක්‍රයා අබිබවා සිටීමෙහි අපොහොසත් ය. ‘දෙවානමින්‍ද’ යනු යෙදුනේ ද ඒ නිසා ය.

අප්පමාදං පසංසන්ති = නොපමා බව පසසත්.

නො පමා බව කවුරු පසසත් ද? යත්:- බුද්ධාදිමහොත්තමයෝ පසසති නො පමා බව. නො පමා බව හේතුකොට සියලු ලොවී ලොවුතුරා සැප ලැබෙන බැවින් එසේ පසසති. ‘බුද්ධාදයො පණ්ඩිතා අප්පමාදං එව ථොමෙන්ති වණ්ණයන්ති කිං කාරණා සබ්බෙසං ලොකියලොකුත්තරානං විසෙසානං පටිලාභකරණත්තා’ යනු අටුවාය.

පමාදො ගරහිතො සදා = ප්‍රමාදය තෙමේ සියලු කල්හි ගරහන ලද ය. [2]

බුද්ධාදිආර්‍ය්‍යයන් විසින් පමාබව හැම කල්හි ගරහන ලද්දේ ය. කුමක් හෙයින් ද? යත්:- පමාබව සියලු විපත්වලට මුල් වන බැවිනි. මෙන්න අටුවා පාළිය:- .

‘පමාදො පන තෙහි අරියෙහි නිච්චං ගරහිතො නින්‍දිතො කිං කාරණා සබ්බවිපත්තීනං මූල භාවතො, මනුස්සදොභග්ගං වා හි අපායුප්පත්ති වා සබ්බෙ පමාදමූලිකායෙවා ති.

ධර්‍මදේශනාවගේ අවසානයෙහි මහාලි ලිච්ඡවි තෙමේ සෝවන් පලයෙහි පිහිටියේ ය. පැමිණ සිටි පිරිසෙන් බොහෝ දෙනෙක් සෝවන් ඵලාදියට පැමිණියෝ ය.

මහාලීප්‍රශ්න වස්තුව නිමි.

  1. 2-1 ‘අප්පමාදො’ යනු බලනු.

  2. 2-1 ‘පමාදො’ යනු බලනු.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.