උට්ඨානකාලම්හි අනුට්ඨහානො
යුවා බලී ආලසියං උපෙතො
සංසන්නසඞ්කප්පමනො කුසීතො
පඤ්ඤාය මග්ගං අලසො න වින්‍දති.
වීර්‍ය්‍ය කරන්නට සුදුසු කල්හි වීර්‍ය්‍ය නොකරණ මහණ තෙම ප්‍රථම යෞවනයෙහි සිටියේ ද, කායබලසම්පන්න වූයේ ද, ඉදින් ආලස්‍යයෙන් යුක්ත වූයේ නම් (බඩ පුරා බත් වළඳා පියා කිසි ද මහණදමක් නොකොට වැද හෝනේ ම වේ ද), (කාමවිතර්‍කාදී තුන් විතර්‍කයන් විසින්) මොනොවට යට ගලන ලද සම්‍යක්සංකල්ප චිත්ත ඇති, කුසීත වූ ඒ මහ මැලියා ප්‍රඥායෙන් දැක්ක යුතු ආර්‍ය්‍යමාර්‍ගය නො ලබන්නේ ය. (නැතහොත් ලොවී ලොවුතුරු ප්‍රඥාවට උපායක් නොලබන්නේ ය.)
බුදුරජානන් වහන්සේ දෙව්රම් මහාවෙහෙර වැඩ වසන එක් කලෙක සැවැත් නුවර වැසි පන්සියයක් කුලපුත්‍රයෝ උන් වහන්සේ වෙත පැවිදි ව කමටහන් කියවා ගෙණ කමටහන් වඩන්නට වනයට ගියහ. ඔවුනතුරෙන් එකෙක් එහි ම රැඳුනේ ය. කමටහන් වඩන්නට වනයට ගිය ඒ භික්‍ෂූන් වහන්සේලා එහි මහණදම් වඩන්නෝ, රහත්බවට පැමිණ ඒ තමන් පිළිවිදි ගුණුය බුදුරජුන්ට දන්වන්නට වනයෙන් නික්ම පෙරළා සැවැත් නුවරට පැමිණියහ. සැවැත් නුවරින් යොදුනක් පමණ ඈත්හි එක් ගම් පෙදෙසක පිඬු සිඟා හැසිරෙණ ඒ භික්‍ෂූන් දුටු එක් උපාසකයෙක් කැඳබත් ආදියෙන් සඞ්ග්‍රහ කොට අනුමෙවෙනි බණක් අසා ප්‍රසන්න ව පසුදාටත් දානය පිණිස ඔවුනට ආරාධනා කොට සිටියේ ය. එදා එහි කැඳබත් වැළඳූ ඒ භික්‍ෂූන් වහන්සේලා එදා ම සැවැත් නුවරට ගොස් පා සිවුරු තැන්පත් කොට තබා සවස බුදුරජුන් වෙත පැමිණ වැඳ සිටියහ. බුදුරජානන් වහන්සේ ඔවුන් ගැණ තමන් වහන්සේගේ සිතෙහි නැගි සතුට ප්‍රකාශ කරණ සේක් ඔවුන් සමග බොහෝ වේලාවක් පිළිසඳර කතාවෙහි යෙදී වැඩ හුන් සේක. කමටහන් වඩන්නට නො ගොස් එහි රැඳි ගත් මහණ, එහි සිටියේ “මොවුන් සමග පිළිසඳර කතා කරණ බුදුරජුන්ගේ මුඛය ඒ පිණිස නො පොහොනේ ය, මා මගපල නො ලබා සිටුනා බැවින් මා හා කතා නො කරණ සේක, අද ම රහත්බවට පැමිණ බුදුරජුන් පිළිසඳර කතාවට ඇද ගන්නෙමි”යි සිතී ය. එහි බුදුරජුන් වෙත පිළිසඳර කතාවෙහි යෙදී හුන් ඒ භික්‍ෂූන් වහන්සේලා “ස්වාමීනි! අපි කමටහන් වඩා වනයෙන් නික්ම එන්නමෝ එන මග දී උපාසකයකු විසින් හෙට දානය පිණිස පවරණ ලද්දමෝ වෙමු, එහෙයින් හෙට උදය අප එහි යා යුතු ය, එයට අපට අවසර දී වදාරණ සේක්වා”යි දන්වා සිටියහ.
මේ කතාවට කන්දී සිටි ඔවුන්ගේ යහළු මහණ, එදා මුළු රැය සක්මන් කරණුයේ නිදිබරින් සක්මන් කෙළවර තුබූ ගල් පෝරුවක් මත වැටුනේ ය. වැටුනු ගමනේ ම කළවා ඇටයක් කැඩී ගියේ ය. මහණ, මහහඬින් කෑගැසී ය. ඔහුගේ සහායක භික්‍ෂූහු ඒ කෑ ගැසීම අසා හැඳින ඒ ඒ තැනින් දුව ආහ. පහන් දල්වා බලා ඔහුට කළයුතු කටයුතු ද කළහ. මෙසේ කරත් ම ඉරුද නැඟී ගියේ ය. හොඳට ම පාන් විය. උපාසකයාගේ ආරාධනාවට යන්නට ඉඩ නො ලැබූහ. බුදුරජානන් වහන්සේ “මහෙණෙනි! ඇයි, නො ගියහු ද උපාසකයාගේ ආරාධනාවටැ”යි අසා වදාළ කල්හි “ස්වාමීනි! එසේ ය, නො ගියෙමු”යි ඒ තොරතුරු දැන් වූහ. “මහණෙනි! මේ මහණ, මෙසේ තමුසේලාගේ ලාභයට අන්තරාය කරන්නේ දැන් පමණක් ම නො වේ, පෙරත් මෙසේ කෙළේ ය” යි වදාළ විට “ස්වාමීනි! එය වදාරණු මැනැවැ”යි ඇයද සිටියහ. එකල්හි බුදුරජානන් වහන්සේ
“පළමු කළයුතු දැය - පසු ව කරණට කැමැතී,
මිනිසා තැවේ පසුදා - වරණදඬු බිඳියහු සේ”
යනු විසින් එපුවත වදාළ සේක.
“ඒ භික්‍ෂූහු, එදා මාණවකයෝ වූහ, අලස මාණවක, මේ මහණ තෙමේ ය, තථාගත තෙමේ ඇදුරු වී ය”යි බුදුරජානන් වහන්සේ මෙසේ ද වදාරා නැවැත “මහණෙනි! යමෙක් උත්‍ථාන වීර්‍ය්‍යය කළයුතු කාලයෙහි කටයුතු සඳහා නැගී සිටිය යුතු කාලයෙහි උත්‍ථානවීර්‍ය්‍යය, නැගී සිටීම නො කෙරේ ද යටපත් කළ සම්‍යක්සඞ්කල්පනා හා සිත් ඇත්තේ වේ ද කුසීත වේ ද ඒ මහණ තෙමේ ධ්‍යානාදිවිශේෂයක් නො ලබන්නේ ය”යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක.
උට්ඨානකලම්හි අනුට්ඨහානො
යුවා බලි ආලසියං උපෙතො,
සංසන්තසඞ්කප්පමනො කුසීතො
පඤ්ඤාය මග්ගං අලසො න වින්‍දතිති.
වීය්‍යය කළයුතු කල්හි වීර්‍ය්‍යය නො කරණුයේ තරුණ වූයේ ද, කාය බල ඇත්තේ ද, අලස බැවින් යුක්ත වූයේ නම් යට කොට පියන ලද සම්‍යක්සඞ්කල්පනා හා සිත් ඇති කුසීත වූ අලසයා ප්‍රඥායෙන් දැක්ක යුතු වූ නොහොත් ප්‍රඥාව ලබන්නට උපායයක් නො ලබන්නේ ය.
උට්ඨානකාලම්හි = වීර්‍ය්‍යය කිරීමට සුදුසු කාලයෙහි.
අනුට්ඨහානො = වීර්‍ය්‍යය නො කරණුයේ. නො නැගී සිටිනුයේ.
යුවා = තරුණ වූයේ ද.
බලී = කාය බල ඇතියේ ද.
ආලසියං උපෙතො = අලස බැවින් යුක්ත වූයේ නම්. අලස බවට පැමිණියේ නම්.
උට්ඨානකාල නම් ධාර්මික වූ එලොව මෙලොව දෙකට හිතවූ කාර්‍ය්‍යකරණයෙහිලා නැගී සිටුනා වීර්‍ය්‍යය කටහැකි කාල ය යි උට්ඨානසම්පදා යි බණ පොතෙහි ආයේ ද මේ නැගී සිටුනා වීර්‍ය්‍ය යි. “ඉධ ව්‍යග්ඝපජ්ජ! කුලපුත්තො යෙන කම්මට්ඨානෙන ජීවිතං කප්පෙති, යදි කසියා, යදි වණිජ්ජාය, යදි ගොරක්ඛෙන යදි ඉස්සත්‍ථෙන, යදි රාජපොරිසෙන, යදි සිප්පඤ්ඤතරෙන, තත්‍ථ දක්ඛො හොති අනලසො, තත්‍රෑපායාය විමංසාය සමන්තා ගතො, අලං කාතුං අලං සංවිධාතුං අයං වුච්චති ව්‍යග්ඝපජ්ජ උට්ඨානම්පදා” යනු මේ බණ පොතෙහි ආ සැටියි. මේ ලෝකයෙහි යම් කිසිවෙක් ගොවිතැනින් හෝ වෙළඳාමෙන් හෝ ගෙරි රැකීමෙන් හෝ යම් කර්‍මාන්තයකින් හෝ ධනුශ්ශිල්පයෙන් හෝ රාජ සෙවායෙන් හෝ යන එක්තරා ශිල්පයකින් ජීවිකාව කෙරේ ද, එහි ලා දක්‍ෂ වේ ද, අලස නො වේ ද මේ කාලයෙහි මේ කරන්නට වටනේ ය, යි දැනීමෙහි උපාය වූ නුවණින් යුක්ත වූයේ ද එසේ නුවණින් දැන ගොවිතැන් කිරීම් ඈ දැහැමි කටයුතුවල යෙදූ උත්සාහය යොදන උත්සාහය, උත්‍ථානවීර්‍ය්‍යය, උත්‍ථානසම්පදා ය, යි කියන ලදි.
ඒ මේ උත්‍ථානවීර්‍ය්‍යය කළයුතු කාලයෙහි ඒ නො කරණුයේ අනුට්ඨහාන නම්. මෙ තෙමේ වීර්‍ය්‍යයෙන් තෙද ගැණුනේ නො වේ. උත්‍ථානවීර්‍ය්‍යවත් නො වූ මෙ තෙමේ පැවිද්දෙක් වූයේ ගුරුවර මවුපිය නෑදෑ හිත මිතුරන්ගේ බල කිරීමෙන් මෙහෙයන ලදු ව ඉඳහිට සමහර විටෙක පැවිදිකම් කරන්නේ ය. ගිහියෙක් වූයේ සමහර විටෙක ගිහිකම් කරන්නේ ය. එ ද කැමැත්තෙකින් නො වන්නේ ය. මෙහෙයීමෙන් වන්නේ ය.
යොවුන් බැව්හි සිටියේ යුවා. බණපොතෙහි යොවුන් වයස මෙසේ දැක්වූහ: “අයං භවං පුරිසො දහරො හොති යුවා සුසු කාළකෙසො භද්‍රෙන යොබ්බන්නෙ සමන්තාගතො පඨමෙන වයසා” යි. මෙහි එන දහරො යුවා සුසුකාළකෙසො භද්‍රෙන යොබ්බන්නෙ පට්ඨමෙන වයසා යන පදයන්ගෙන් දැක්වුනේ එක් ම යොවුන් වයස ය. දහරො = තරුණ වූයේ. යුවා = යොවුන් බැවින් යුක්ත වූයේ. සුසුකාළකෙසො = අතිශයින් කළු කෙස් ඇතියේ. පඨමෙන වයසා = ප්‍රථම වයස වූ, භද්‍රෙන යොබ්බන්නෙ = යහපත් යොවුන් බැවින්, යනු එ පදයන්ගේ අරුත්. මෙහි පළමුවන වයස නම් තෙතිස් වසෙකැයි අටුවායෙහි කියන ලද්දේ ය. එයින් යුක්ත වූයේ යුවා ය.
අවුරුදු විසින් සොළොස් වන අවුරුද්දෙහි මුල සිට තිස්වන අවුරුද්දෙහි කෙළවර තෙක් මෙයතර කාලය තරුණ කාල ය යි කෙනකුන් ගන්නා අතර, තව කෙනෙක් සොළොස් වන අවුරුද්දෙහි මුල සිට පන්තිස් වන අවුරුද්දෙහි කෙළවර තෙක් තරුණ කාල ය යි ගණිත්. මෙලෙසින් නියමිත වූ වයස් කාලයෙහි සිටියේ යුවා නම්. “ෂොඩශවර්‍ෂාතත්‍රිංශදවර්‍ෂපර්‍ය්‍යන්තවයස්කො යුවා, ආෂොඩශාද්හවෙදබාලඃපංචත්‍රිංශාදයුවා නරඃ” යනු ග්‍රන්‍ථා ගත ය.
කායබල ඇතියේ බලී ය. ප්‍රථම යෞවනයෙහි සිටියේ ය. “බලමෙතස්ස අත්‍ථිති = බලී” යනු විවෘති යි. බල යනුවෙන් මෙහි ගැණෙනුයේ කායබලය යි.
අලසබව ආලසිය නම්. එයින් යුක්ත වූයේ එයට පැමිණියේ උපෙත ය. බඩපුරා කා බී කිසිත් නො කොට මැලිකමින් දවස ගෙවනුයේ ය.
සංසන්තසඞ්කප්පමනො = යට කොට පියන ලද, යටපත් කළ සම්‍යක්සඞ්කල්පනා හා සිත් ඇති.
මිත්‍ථ්‍යාවිතර්‍කයන් විසින් හැම අතකින් ඔබා දැමූ යටපත් කළ නෙක්ඛම්මසඞ්කප්පාදී වූ සම්‍යක්සඞ්කල්පනා හා සිත් ඇතියේ ය. සංස්න්නසඞ්කප්පමන. කාම - ව්‍යාපාද - විහිංසා යන විතර්‍කයෝ මිත්‍ථ්‍යාවිතර්‍කයෝ ය. මොවුහු යමක්හුගේ සිත්හි උපදිත් නම්, ඒ සිතෙහි සම්‍යක්සඞ්කල්පනාවන්ට නැගී සිටීමට අවසරයෙක් නැත්තේ ය. මිත්‍ථ්‍යාවිතර්‍කයන් විසින් ඒ සිත පාපයට නතුකරණ බැවැනි.
කුසීතො = කුසීත වූ. [1]
පඤ්ඤාය මග්ගං = ප්‍රඥාවට උපායයක්. නුවණ ලැබීමට මඟක්. [2]
අලසො න වින්‍දති = අලසයා නො ලබන්නේ ය.
අලස පුද්ගල තෙමේ ප්‍රඥායෙන් දැක්ක යුතු වූ ආර්‍ය්‍යමාර්‍ගය ලෞකික - ලෝකෝත්තර විසින් බෙදෙන නුවණ ලැබීමට උපාය නො ලබන්නේ ය. උත්පත්තියෙන් අලස වූයේ අලස බැවින් අතිශයින් මැඩුනේ සිටි තැන සිටින්නේ ම ය. හුන් තැන හුන්නේම ය. හේ තමන්ගේ උත්සාහයෙන් ඉරියවු වෙනස් කිරීමට ද නො හැක්කේ ය. ලැව් ගිනි නැගී වන පෙදෙස් දැවෙන විට ද මෙ තෙමේ පලා නො යන්නේ ය. අලසබව ඒ තරමට මහත් ය. මොහුට වඩා තරමකින් නැගී සිටි උත්සාහ ඇත්තේ ද අලසයාමැ යි කියන ලදී.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවන් ඵලාදියට පැමිණියාහු ය.
ප්‍රධානකර්‍මකතිෂ්‍යස්ථවිර වස්තුව නිමි.