වාචානුරක්ඛී මනසා සුසංවුතො
කායෙන ච අකුසලං න කයිරා
එතෙ තයො කම්මපථෙ විසොධයෙ
ආරාධයෙ මග්ග ඉසිප්පවෙදිතං.
යමෙක් (චතුර්විධ වාග්දුශ්චරිත දුරැ ලීමෙන්) වචස රක්නා සුලු වේ ද, ත්‍රිවිධ මනෝදුශ්චරිත දුරැ ලීමෙන් මනසින් මොනවට හැවුරුනේ වේ ද, කයිනුත් (ත්‍රිවිධ කායදුශ්චරිත සංඛ්‍යාත) අකුසල් නො කරන්නේ ද, (කායදුශ්චරිතාදි) මේ තුන් කර්‍මපථ පිරිසිදු කරන්නේ ද; ඒ (පුද්ගල තෙම බුද්ධාදි) ඍෂින් විසින් පිළිවිදුනා ලද ආර්‍ය්‍යමාර්‍ගය සිද්ධ කරන්නේය (ආර්‍ය්‍යමාර්‍ගයට පැමිණෙන්නේ ය.)
එක් දවසක් ලක්‍ෂණ ස්ථවිරයන් වහන්සේ සමග ගිජ්ඣකූට පර්‍වතයෙන් බස්නා වූ මහාමෞද්ගල්‍යායන මහාස්ථවිරයන් වහන්සේ එක් තැනක දි සිනා පහළ කළහ. ඒ දුටු ලක්‍ෂණ ස්ථවිරයන් වහන්සේ “ඇවැත්නි! සිනා පහළ කළහු කුමක් නිසා?” යි ඇසූ කල්හි “ඇවැත්නි! ඔබවහන්සේගේ ප්‍රශ්නයට පිළිතුරු දීමට මේ කාලය නො වේ, එය බුදුරජුන් ඉදිරියෙහි දී මාගෙන් අසන්නැ”යි කියා ලක්‍ෂණ ස්ථවිරයන් වහන්සේ සමඟ ම රජගහනුවර පිඬු සිඟා ගොස් එයින් වැළකුනාහු වෙළුවනාරාමයට පැමිණ බුදුරජුන් වැඳ සිටියහ. එ වේලෙහි ලක්‍ෂණ ස්ථවිරයන් වහන්සේ මග බැස එද්දී මුගලන් තෙරුන්ගෙන් ඇසූ ප්‍රශ්නය බුදුරජුන් ඉදිරියෙහි දී නැවැතත් ඇසූහ. “ඇවැත්නි! ලක්‍ෂණ ස්ථවිරතුමනි! මට සිනා ආයේ ප්‍රේතයකු දැකීමෙනි, උගේ ඇඟපත තුන් ගවු පමණ ය, මිනිස් සිරුරක් වගේ ය, ඔලුව ඌරුඔලුවක් වැනි ය, කටේ නඟුටෙක් තුබුනේ ය, එයින් පණුවෝ කඩා හැලෙත්, මා නම් එබඳු සතකු මෙයට කලින් දැක නැත, ඌ දැකීමෙන් මට සිනා ගියේ ය”යි මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ දන්වාලූ කල්හි බුදුරජානන් වහන්සේ “මහණෙනි! මාගේ ශ්‍රාවකයෝ චක්‍ෂුර්භූතයහ, මෙබඳු දැකුම් දැකීමෙහි ඇස් ඇතිව සිටිත්, මම ද මේ ප්‍රේතයා එදා බෝමැඩ දී ම දිටිමි, ඒ වග මම එදා නො කීයෙම් මිනිසුන් නො අදහන බැවිනි, ඒ මා කියන්න නො පිළිගැණීම නො පිළිගන්නවුනට අහිතකර බැවින් ඔවුනට අනුකම්පායෙන් මම එදා එය නො කීමි, දැන් එහි සාක්කිකරු වශයෙන් මුගලන් තැන ඉදිරිපත් ව සිටුනා බැවින් මුගලන් කියන එ පුවත ඇත්තැ”යි වදාළ සේක. එහි දී භික්‍ෂූන් වහන්සේලා “ස්වාමීනි! ප්‍රේතයකු වන්නට ඔහු එදා කුමක් කෙළේ දැ?”යි ඇසූ කල්හි “එසේ නම් මහණෙනි! එය මෙසේ දනිවු”යි වදාරා ඔහු පෙර කළ කම් දක්වා වදාළ සේක.
“පෙර කසුප් බුදුරජුන් දවස ස්ථවිර දෙනමක් එක් ගමෙක විසූහ. ඒ දෙනමගෙන් එක් නමක් වයසින් සැට වයස් ඇත්තේ ය, එක් නමක් නවපණස් වස් ඇත්තේ ය, එකුන් සැට වස් ඇත්තේ අනෙකාගේ පා සිවුරු ගෙණ හෙරණකු මෙන් සියලු වත් පිළිවෙත් කරමින් කල් යැවී ය, මෙසේ එක් ම මවු කුස උපන් සොහොයුරන් සේ සමගියෙන් කල් ගෙවූ ඔවුන් වසන තැනට බණදහම් කීමෙහි සමත් ස්ථවිර නමක් පැමිණියේ ය, ඔහු එතැනට පැමිණි දිනය මිනිසුන් රැස් ව බණ අසන දවසෙක් වී ය, එහි විසූ ස්ථවිර දෙනම ඔහුට සඞ්ග්‍රහ කොට වත් දක්වා ‘සත්පුරුෂයන් වහන්ස! අද අපට බණක් වදාරණු මැනැවැ’යි ආරාධනා කළහ, හෙතෙමේ එය පිළිගෙණ බණ දෙසී ය, ස්ථවිර දෙනම බණ අසා අපට ධර්‍මකථිකයෙක් ලැබිනැ යි සතුටු ව පසුදා ධර්‍මකථිකයාත් කැටු ව අසල් ගමට වැඩ සිඟා වළඳා කෙළවර ‘ඇවැත්නි! ඊයේ බණ හමාර කළ තැන සිට සුලුවෙන් බණක් වදාරණු මැනැවැ’යි එ ගම මිනිසුනට ද බණ ඇස්සූහ, බණ ඇසූ මිනිස්සු බණට පැහැද පසුදාටත් ආරාධනා කළහ, මෙ පරිද්දෙන් ඒ ස්ථවිර දෙනම මෙසේ ධර්‍මකථිකයාත් කැටු ව අවට ගොදුරුගම්හි ද පිඬු පිණිස හැසුරුණාහ, මිනිසුනට බණ ද කියවූහ, ඒ අතර ධර්‍මකථික තෙමේ ‘මේ දෙදෙන ම ඉතා මොළොක් ය, මා කෙරෙහි මිනිසුන්ගේ පැහැදීම ද ඇත, මෙහි කන්නට බොන්නට ද තිබේ, අපහසුවෙක් නැත, එහෙයින් මේ දෙදෙනා පන්නා හැර මෙ තැන අල්ලා ගන්නෙමි’යි සිතා එදා සවස වත් පිරිත් කියන වේලෙහි තෙරුන් පැමිණ වත් විරිත් කියා ගියකල්හි මදක් එහි රැඳී සිට මහ තෙරුන් වෙතට ගොස් ‘ස්වාමීනි! කියයුත්තෙක් ඇතැ’යි කියා ‘කියන්නැ’යි කී කල්හි මදක් කල්පනා කොට ‘ස්වාමීනි! මේවා කීම ඒ තරම් සුදුසු නැත, කතායෙහි බොහෝ වැරදි ඇතිවිය හැකි ය’ යි කිසිත් නො කියා ම බැහැර ගියේ ය, අනික් තෙරුන් ලඟට ගොස් එසේ ම කියා කියන්නට සිතූ කතාව නො කියා ම ගියේ ය, පසුදාත් එසේ ම කෙළේ ය, තෙවන දිනයෙහි ඒ ස්ථවිර දෙනමට මොහුගේ මේ කතායෙන් මහත් කුහුලෙක් උපන,
ධර්‍මකථික තෙමේ වැඩිමහල් තෙරුන් වෙතට ගොස් “ස්වාමීනි! දැන්විය යුත්තෙක් ඇත, එහෙත් එය ඔබවහන්සේට දන්වාලන්නට කැමැත්තෙක් නැත, නො දන්වා සිටීමට ද නො හැකි ය, මෙය මා සිත තදින් පෙළා ලන්නේ ය’යි කියා යන්නට සූදානම්වත් ම ඒ මහලු තෙරුන් විසින් ඇවිටිලි කරණ ලදුයේ ‘කිමෙක් ද ස්වාමීනි! කුඩා තෙරුන් වහන්සේ ඔබවහන්සේ හා සම්භෝග ඇත්තාහු දැ?”යි ඇසී ය, ‘සත්පුරුෂය! කුමක් නිසා මෙසේ අසා ද? අපි එක් ම මවුකුස විසූ දෙදෙනෙකු වැනියම්හ, අප දෙදෙනා අතුරෙහි එකකු ලත් දැය අනෙකා විසිනුදු ලැබූ දැයෙක් ම විය, මා විසින් මෙතෙක් කල් මොහුගේ අගුණයෙක් නම් නො දක්නා ලද්දේය යි මහලු තෙරුන් කී විට ‘ඒ එසේ දැ?’යි ඇසී ය, ‘ඔවු, කිසිදාකත් ඒ තෙරුන්ගේ අගුණයෙක් දක්නට නො ලැබිනැ, යි මහලු තෙරුන් නැවැතත් කී කල්හි ධර්‍මකථික තෙමේ, ‘ස්වාමීනි! ඒ බාල ස්ථවිර, මා මෙහි ආදා සිට ‘මේ වහලු තෙරුන් වහන්සේ ලජ්ජීයහ, ප්‍රියශීලයහ, ඔබවහන්සේ කුලපුත්‍රවහු ය, යි සිතා ඔහු හා එක් ව සම්භෝග කරතොත් සිහි නුවණින් යුතුව ම මනා පරීක්‍ෂායෙන් ම කරන්නැ’යි මට නිතර කියන්නේ ය, එහෙයින් ඔහුගෙන් ගැහැටක් නො වනලෙසට වැඩ කරන්නට වග බලා ගැන්නැ’යි දන්වා සිටියේ ය, මහලු තෙරුන් වහන්සේ එ බස් අසා කරුණු නො විමසා දැඩිව කිපුනාහු පොලු පහරින් බිඳී යන කුලල් බඳුනක් සේ බාල තෙරුන් කෙරෙහි බිඳී ගියහ, මේ ධර්‍මකථිකයා, බාල තෙරුන් වෙතට ද ගොස් මෙසේ ම කී ය, බාලතෙරුන් වහන්සේ ද එ බස් අසා මහලු තෙරුන් කෙරෙහි කිපී ගත්හ,
මෙ තෙක් මේ දෙදෙනා වහන්සේ අතර භේදයෙක් නො වී ය, හැම එකක් එක් ව ම කළහ, ගමට පිඬු පිණිස ගියෝ ද, එක් ව ම ගියහ, වෙන් ව ගිය දවසෙක් නො වී ය, මෙදා සිට ඒ දෙන ම වෙන් වෙන් ව පිඬු සිඟා ගියහ, දවසක් බාල තෙරුන් වහන්සේ පිඬු සිඟා ගොස් පෙරාතු ව අවුත් උවැටන්හලෙහි සිටියහ, වැඩි මහලු තෙරුන් වහන්සේ පසු ව එහි ආහ, ඒ වේලෙහි බාලතෙරුන් වහන්සේ පිඬු සිඟා ගෙණ එන මහතෙරුන් දැක ‘මම ඉදිරියට ගොස් මුන්වහන්සේගේ පා සිවුරු පිළිගණිම් දැ’යි සිතා ‘නො පිළිගණිමි’යි අදහස් කළෝ ද වේවා, කමෙක් නැත, මම පෙර සේ මා විසින් කළයුතු වතාවත නො පිරිහෙලා කරන්නෙමි, යි සිත මොළොක් කොට තෙරුන් කරා ගොස් ‘ස්වාමීනි! පා සිවුරු දුන මැනැවැ’යි ඉල්ලා සිටියහ, එවිට මහතෙරුන් වහන්සේ ‘නො හික්මුණු මහණ! තෝ මාගේ පා සිවුරු පිළිගැණීමට නො සුදුස්සෙහි, යා බැහැරැ’යි අසුරක් ගැසූහ, ‘ඔවු, ස්වාමීනි! මමත් ඔබවහන්සේගේ පා සිවුරු පිළිගැණීමට තරම් නො වෙමි, පා සිවුරු නො ද පිළිගණිමි යි ද සිතූයෙමි, එසේ සිතා ද ටිකකින් නමුත් මට වැඩිමාලු නිසා ඒ අදහස් වෙනස් කොට මෙසේ පා සිවුරු ගන්නට ආයෙමි’යි බාලතෙරුන් කී කල්හි ‘තෝ සිතූයෙහි, මේ වෙහෙරෙහි මාගේ ඇලිමෙක් ඇතැ?යි, මෙතැන් සිට තා හා එක් ව විසීමෙක් නැතැ’යි මහලු තෙරුන් වහන්සේ දැඩි ව කියා සිටියහ, ඉක්බිති බාල තෙරුන් වහන්සේ ‘ස්වාමීනි! මා මේ වෙහෙර අත්පත් කොට ගෙණ මෙහි රැඳී සිටිනු ඇතැ’යි ඔබවහන්සේගේ හැඟීම ය, මා සිත් තුළ එබඳු කැත කමෙක් නැත, මම පැවිදි වූයෙම් විහාර පන්සල් ගොඩ නගා ගෙණ දායකයන් බඳවා ගෙණ ගෝලබාලයන් හදා වඩා ගෙණ මිලමුදල් රැස් කරමින් පවුල් රකිමින් වෙළහෙළදම් කරමින් මහණකමට නො සරිලන සේ ජීවත්වීමට නො වෙමි, මෙන්න ඔබවහන්සේගේ වෙහෙරැ,යි පාසිවුරු ගෙණ නික්ම ගියහ, මහා ස්ථවිර තෙමේ ද ඒ වේලෙහි ම පා සිවුරු ගෙණ මගට වටහ, මෙසේ නික්ම යන ඒ දෙදෙන එක් මග නො ගොස් දෙමගකින් ගියහ, එක් නමක්, පැසුළුදොරින් ද, එක් නමක් පැදුම්දොරින් ද නික්ම ගත්හ, ධර්‍මකථික තෙමේ ‘ස්වාමීනි! මෙසේ නො කරණු මැනැව, මෙසේ නො වඩිනු මැනැවැ’යි බොරුවට පෙරැත්ත කරණුයේ ‘අහක යව’යි ඒ දෙනම කී කල්හි ඒ වෙහෙර රැඳී ගත්තේ ය. පසුදා අසල දායක ගමට පිඬු සිඟා ගිය ඔහුගෙන් එහි මිනිසුන් ‘ස්වාමීනි! අපගේ අනික් ස්වාමීන් වහන්සේලා දෙනම කොයි දැ’යි විචාළ කල්හි ‘උපාසකයෙනි! ඒ දෙනම උන් උන් කොලාහල කොට නො වඩිනු මනැවැ’යි මා කියද්දීත් පා සිවුරු ටිකත් ඇරගෙණ පන්සල හැරදමා ගියහ’යි කී ය, ඔවුනතුරෙහි සිටි නුවණමද මිනිස්සු ධර්‍මකථිකයා කියූ තොරතුරු සැබවැ’යි පිළිගත්හ, නුවණැති මිනිස්සු ‘අපි මෙතෙක් කල් උන්වහන්සේලා අතර කිසිත් අමනාපයක් කිසිත් වරදක් සිත් නො ගත් කිසිවක් නො දුටුවෙමු’ මේ ධර්‍මකථිකයා නිසා ඒ දෙනමට යම්කිසි බියක් ගැහැටක් විය යුතු ය’යි සිතා දොම්නසට පැමිණියහ,
මෙසේ පන්සල හැරදමා ගිය උන්වහන්සේලා දෙනමගේ සිතට සැනසිල්ලෙක් නෙ වී ය, ගිය ගිය තැන ගැහැට විඳින්නට සිදු විය, මෙසේ වෙන් වෙන් ව ගිය ඒ දෙනම අතුරෙහි වැඩිමහලු තෙර ‘අනේ, මෝඩකමේ තරම, ඒ ඇසිල්ලෙහි දුටු ආගන්තුක මහණහුට මා මා සම්භෝග නො කරන්නැ’යි කියන ලද්දේ නො වේ දැ’යි නිතර නිතර සිතමින් කල් යැවී ය, බාල තෙර ද සිහි කල්පනා නැති මේ මහලු තෙරුන් සිහි කල්පනා නැති කමේ තරම් පෙන්වමින් දුටු ඇසිල්ලක් ඇති ඒ අළුත් මහණහුට මා හා සම්භෝග නො කළ යුතු ය’යි මාගේ තරම් දැන දැනත් කීයේ නො වේ දැ’යි සිතන්නට වන, මෙසේ දවරෑ දෙක්හි සිත් තැවුලෙන් මිරිකුනු ඒ දෙනමට හැදෑරීම් සිහිකිරීම් ඈ කිසිවෙක් නො වී ය, ඒ දෙදෙන පසු කාලයෙහි දවසෙක පැසුළු දිග එක් වෙහෙරකට ගියහ, එහි දී ඔවුනට වස්නට එක් ම ආවාසයෙක් ලැබින, වැඩිමහලු තෙරුන් ගෙට ඇතුල් ව ඇඳෙහි වැතිර ගත් කල්හි අනික් ස්ථවිර තෙමේ ද ගෙට ඇතුල් වී ය,
එ වේලෙහි මහතෙර, ඒ තෙරුන් හැඳින හඬන්නට විය, බාල තෙර මහතෙරුන් ද හැඳින ගෙණ කියම් දෝ නො කියම් දෝ’යි සිතා ‘අනුන් කියන බස් එක එල්ලේ නො ඇදහිය යුතු ය’යි වැඩිමහලු තෙරුන් වැඳ ‘ස්වාමීනි! මම මෙතෙක් කල් ඔබවහන්සේගේ පා සිවුරු ගෙණ සන්තිකාවචරව හැසුරුණෙමි, මෙතෙක් දවස් ඔබවහන්සේ මාගේ කයින් වචනයෙන් සිතින් කෙරුණු නො සරුප් වැඩක් දුටුවහු දැ?’යි ඇසී ය, ‘නො දුටුවෙමි’යි මහතෙර කී ය, එසේ නම් ධර්‍මකථිකයාහට ‘මේ උන්නාන්සේ සමග සම්භෝග නො කරන්නැ’යි කුමක් නිසා කීවහු දැ?’යි ඇසූ කල්හි ‘මම එසේ නො කීමි, මටත් ඒ උන්නාන්සේ ඔය නම සමග සම්භෝග නො කරන්නැ යි කීහ’ යි කී ය. ඒ දෙනම එ වේලෙහි ම ‘අප දෙනම බිඳහරිණු කැමැති ව මේ මහණහු විසින් මෙසේ කියන ලදැ’යි දැන උනුන් වරද දෙසා ගත්හ, අවුරුදු බොහෝ ගණනක් අස්වැසිලි නො ලැබූ ඒ දෙන ම එ දවස සමගිව ධර්‍මකථිකයා විහාරයෙන් නෙරපනු පිණිස විහාරයට පෙරළා ගියහ, එ වේලෙහි එහි හුන් ධර්‍මකථිකයා තෙරුන් දැක පා සිවුරු පිළිගන්නට ඉදිරියට ගියේ ය, එකල්හි ඒ තෙරවරු ‘තෝ මේ වෙහෙර වසන්නට නො සුදුස්සෙහි’යි වැරෙන් කීහ. ධර්‍මකථික එහි රැඳෙන්නට නො හැකිව එ තැනින් බැහැර ගියේ ය, අවුරදු විසිදහසක් පිරූ මහණදම, ඔහු අපායයෙහි නො හෙළා රඳවා ගන්නට අපොහොසත් වී ය, ආයු කෙළවර කළුරිය කොට අවීචියෙහි උපන්නේ එහි එක් බුද්ධාන්තරයක් පැසී දැන් ගිජ්ඣකූට පර්‍වත ප්‍රාන්තයෙහි ප්‍රේතයෙක් ව ඉපද දුක් විඳී ය”යි මෙසේ බුදුරජානන් වහන්සේ ඔහු පෙර කල කම් ගෙණ හැර දක්වා “මහණහු විසින් නම් විශේෂයෙන් කය වචන සිත යන තුන් දොරින් සිදුවන හැම පව් ම හැර පියා සන්හුන් වියයුතු ය”යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක.
වාචානුරක්ඛී මනසා සුසංවුතො
කායෙන ච අකුසලං න කයිරා,
එතෙ තයො කම්මපථෙ විසොධයෙ
ආරාධයෙ මග්ගං ඉසිප්පවෙදිතන්ති.
(යමෙක්) තමා වචසින් රක්නා සුලු වේ ද, මනසින් මොනවට හැවුරුණේ වේ ද, කයිනුත් අකුසල් නො කරන්නේ ද, මේ ත්‍රිවිධ කර්‍මපථය පිරිසිදු කරන්නේ ද, හෙතෙමේ ඍෂීන් විසින් ප්‍රකාශ කරණ ලද ආර්‍ය්‍යමාගය සිද්ධ කරන්නේ ය.
වාචානුරක්ඛී = තමා වචසින් රක්නාසුලු වේ ද.
මුසාවාද - පිසුණවචන - ඵරුසවචන - සම්ඵප්පලාප යන චතුර්විධ වාග්දුශ්චරිතය නො කොට හැරීමෙන් යමෙක් පිරිසිදුව සිටියේ නම් වාග්ද්වාරයෙන් කෙරෙණ මේ පව්කම්වලින් වැළකී සිටියේ නම්, හේ වාචානුරක්ඛී ය [1] චෙතිය - තක්කාරු - වණ්ණරොහ - සන්‍ධිභෙද ජාතකාදිය බැලිය යුතුය.
මනසා සුසංවුතො = මනසින් මොනවට හැවුරුණේ වේ ද.
අභිජ්ඣා - ව්‍යාපාද - මිච්ඡාදිට්ඨි යන ත්‍රිවිධ මනෝ දුශ්චරිතයෙන් වැළකුණේ මනසා සුසංවුත ය. [2] සුවණ්ණහංස - මහාවාණිජ - එකපණ්ණක- තිලමුට්ඨි ජාතකාදිය බැලිය යුතු ය.
කායෙන ච අකුසලං න කයිරා = කයින් ද අකුසල් නො කරන්නේ ය.
ප්‍රාණඝාත - අදත්තාදාන - කාමමිත්‍ථ්‍යාචාර යන ත්‍රිවිධ කාය දුශ්චරිය නො කොට හැරීමෙන් එයින් වැළකුනේ කයින් අකුසල් නො කරණුයේ ය [3] . මතකභත්ත - සීලවිමංස - ලොහකුම්භි - මහානාරදකස්සප ජාතකාදිය බැලිය යුතු ය.
එතෙ තයො කම්මපථෙ විසොධයෙ = මේ ත්‍රිවිධකර්‍මපථය පිරිසිදු කරන්නේ ද.
මෙහි කර්‍මපථ නම්:- මෙ කියූ දශවිධ අකුශලකර්‍ම කරන්නහුගේ හෝ එයින් වළකින්නහුගේ සිත්හි ඒ ඒ අවස්ථයෙහි කළ කර්‍මයට අනුරූප ව උපදනා චේතනා ය. මෙ චේතනා ම කර්‍ම නම් ද වේ. දුක් විසින් විපාක දෙන්නී අකුසල් විසින් නැගුනු චේතනා ය. සැප විසින් විපාක දෙන්නී කුසල් විසින් නැගුනු චේතනා ය. මෙසේ අකුසල් වශයෙන් නැගිය හැකි කර්‍ම නො කොට සිටියේ ම එකී කර්‍මයන්ගෙන් වැළකී සිටියේ ම කර්‍මපථ පිරිසිදු කරන්නේ ය’යි වදාළ සේක. කායාදී වූ තිදොර රැක ගන්නේ ය මෙ තෙමේ. ඉදිරියෙහි ලැබිය යුතු වූ විශේෂාධිගමයට පැමිණෙන්නේ ද මෙ තෙමේ ය.
ආරාධයෙ මග්ගං ඉසිප්පවෙදිතං ඉති = ඍෂීන් විසින් ප්‍රකාශ කරන ලද ආර්‍ය්‍යමාර්‍ගය සිද්ධ කරන්නේ ය.
මෙහි මග්ග යනු ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය සඳහා යෙදුනේ ය [4] . ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය දේශනා කිරීමෙහි සමත් වූවෝ ඍෂීහු ම ය. ඒ දෙසීමෙහි අනෙකෙක් සමර්‍ත්‍ථ නො වේ. මෙහිලා ගැණෙන ඍෂීහු නම්: “සීලාදිගුණෙ එසතීති වා, සිවං, ඉච්ඡතීති = ඉසි”යි කියූ බැවින් ශීල - සමාධි - ප්‍රඥා - විමුක්ති - විමුක්තිඥානදර්‍ශන යන පඤ්චවිධ ධර්‍මස්කන්‍ධයන් එෂණය කළ බැවින් පුරුදු කළ බැවින් බුදු - පසේබුදු - මහරහතුන් වහන්සේලා ය.
පරවාදයෙහි ‘යමෙක් සියලු වෙදමන්ත්‍රයන් දනී නම් හෝ සංසාරයෙහි පරතෙර නුවණින් දකී නම් හෝ හේ ‘ඍෂි’යි කියන ලද්දේ ය. මේ එය කියූ සැටි: “ඍෂති ප්‍රාප්නොති සර්‍වාන් මන්ත්‍රාන් ඥානෙන සංසාරපාරං වාති = ඍෂිඃ” යි.
“සප්ත බ්‍රහ්මර්ෂි දෙවර්ෂි මහර්ෂි පරමර්ෂයඃ,
කාණ්ඩවර්ෂිශ්ව ශ්‍රැතර්ෂිශ්ව රාජර්ෂිශ්ව ක්‍රමාවරාඃ”
යනු රතනකෝෂයෙහි ආයේ ය. ව්‍යාසාදීහු මහර්ෂීහු ය. භෙලාදීහු පරමර්ෂීහු ය. කණවාදීහු දෙවර්ෂීහු ය. වශිෂ්ඨාදීහු බ්‍රහ්මර්ෂීහු ය. සුශ්‍රැතාදීහු ශ්‍රැතර්ෂීහු ය. ඍතුපර්‍ණාදීහු රාජර්ෂීහු ය. ජෛමිනී ආදීහු කාණ්ඩවර්ෂීහු ය. මේ ඍෂීන් පිළිබඳ විවිධමත පරවාදයෙහි දක්නට ලැබේ. මෙහිලා ඒ දැක්විය නො හැකි ය. පරවාදයෙහි දැක්වෙන මේ ඍෂීණ්ට, ශාසනික ඍෂීන්ට ගොදුරු වන ආර්‍ය්‍ය මාර්‍ගය ගොදුරු නො වේ. ආර්‍ය්‍යමාර්‍ගය ගොදුරු වනුයේ බුද්ධාදී වූ ශාසනික් ඍෂීන්ට ම ය.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවන්ඵලාදියට පැමිණියාහු ය.
සූකරප්‍රේත වස්තුව නිමි.