20-4 අනාත්මදර්‍ශනය වැඩූ පන්සියයක් දෙනා වහන්සේ

සබ්බෙ ධම්මා අනත්තා’ති යදා පඤ්ඤාය පස්සති

අථ නිබ්බින්‍දති දුක්ඛෙ එස මග්ගො විසුද්ධියා.

සියලු පස් කඳහු (තමා වසයෙහි නොපවත්නා හෙයින්) අනාත්මහ යි යම් කලෙක විවසුන් නුවණින් දක්නේ ද, එ කල්හි මේ දුකෙහි (ස්කන්‍ධපරිහරණයෙහි) කළකිරෙන්නේ ය. (එසේ කළකිරුනේ සත්‍යප්‍රතිවේධය කරන්නේ ය.) එහෙයින් මේ සංස්කාරයන්හි කලකිරීම, නිර්‍මල බවට (නොහොත් නිවනට) මඟ ය.

දවසක් පන් සියයක් ‍භික්‍ෂූන් වහන්සේලා බුදුරජානන් වහන්සේ වෙත ගොස් කමටහන් උගෙණ වන වැද යෝග කරන්නට පටන් ගත්හ. එහෙත් රහත් වන්නට නො හැකි වූ උන්වහන්සේලා නැවැත කමටහන් විශේෂ කොට උගන්නට බුදුරජුන් වෙතට පැමිණියහ. බුදුරජානන් වහන්සේ “මොවුනට හිතසුව දෙන කමටහන කිමැ”යි බලා වදාරණ සේක් මොවුන් කසුප් බුදුරදුන් දවස විසිදහසක් අවුරුදු සංස්කාරයන් පිළිබඳ අනාතමලක්‍ෂණයෙහි යෝග කොට සිටුනා බව දැන “මොවුනට හිතසුව දෙනුයේ අනාත්ම ලක්‍ෂණ වැඩීම ය, එහෙයින් අනාත්මලක්‍ෂණ දක්වා එක් ම ගාථාවක් දෙසිය යුතු ය” යි “මහණෙනි! සියලු ස්කන්‍ධයෝ තමා යටතෙහි තමා කැමති සේ නො පවත්නා බැවින් අනාත්මහ”යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක.

සබ්බෙ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති,

අථ නිබ්බින්‍දති දුක්ඛෙ එසමග්ගො විසුද්ධියාති.

නිර්‍වාණ - ප්‍රඥප්ති සහිත වූ සියලු ධර්‍මයෝ ආත්මරහිතහ යි යම් කලෙක නුවණින් දකී ද, එකල්හි දුකෙහි කළකිරෙයි. මෙය නිවනට මග ය.

සබ්බෙ ධම්මා අනත්තා ඉති = නිර්‍වාණ - ප්‍රඥප්ති සහිත වූ සියලු ධර්‍මයෝ ආත්මරහිතහ යි.

යදා පඤ්ඤාය පස්සති = යම් කලෙක නුවණින් දකී ද.

අථ නිබ්බින්‍දති දුක්ඛෙ = එකල්හි දුකෙහි කළකිරෙයි.

එසො මග්ගො විසුද්ධියා = මෙය නිවනට මග ය.

මෙහි “සබ්බෙ ධම්මා” යි වදාළෝ පඤ්චස්කන්‍ධය යි. “සබ්බෙ ධම්මා ති පඤ්චක්ඛන්‍ධා ව අධිප්පෙතා” යනු අටුවා. මෙහිදු “සබ්බෙ සඞ්ඛාරා අනත්තා” යි වදාළේ නම් නිර්‍වාණය හා සත්ත්‍වපුද්ගලප්‍රඥප්තිය ආත්මසහිත දැයි සැකයෙක් උපදනේ ය. එය වළකනු සඳහා මෙසේ වදාළ සේක. “පඤ්චස්කන්‍ධයට අයත් කිසිවෙක් නො දිරාවා, නො ද මැරේවා” යි කිසිවක්හටත් තම කැමැත්ත සේ තම යටතෙහි පවත්වා ලන්නට නො හැකි ය. මෙසේ තම යටතෙහි නො පවත්නා බැවින් පංචස්කන්‍ධය ආත්මත්‍වයෙන් ශුන්‍ය ය. අස්වාමික ය.

ත්‍රිලක්‍ෂණය සංස්කාර පිළිබඳ ය. සඞ්ඛතභාවයෙන් බැහැර වූ කිසි පදාර්‍ත්‍ථයක ත්‍රිලක්‍ෂණය දැක්ක නො හැකි ය. නිර්‍වාණයත් ප්‍රඥප්තියත් සඞ්ඛත නො වේ. ‍එහෙයින් එ දෙක ම විදර්‍ශනාවට අරමුණු නො වේ. නිර්‍වාණයෙහි හා ප්‍රඥප්තියෙහි ආත්ම - අනාත්ම දෙක ම නො නැගිය හැකි ය. එහෙත් නිර්‍වාණාවබෝධය පිණිස් සඞ්ඛතයන් අරමුණු කොට ත්‍රිලක්‍ෂණභාවනාසඞ්ඛ්‍යාතවිදර්‍ශනා භාවනාව වැඩිය යුතු ය. සීමාරහිතව සියලු සංස්කාර, අනාත්ම වශයෙන් වැඩීමෙන්, වඩන්නේ කාම - රූප - අරූප ලෝකයෙහි තෘෂ්ණාදෘෂ්ටිරහිත වන්නේ ය. ඔහු පිළිබඳ අහංකාර - මමංකාරයෝ නැතිව යන්නාහ. අසාධාරණඥානයෙන් ඔද වැඩි වන්නේ ය. හේතු - ඵල ධර්‍ම දක්නේ ය. විදර්‍ශනාභාවනායෙන් මේ අනුසස් සය ලැබෙන බව බුදුරජානන් වහන්සේ වදාළ සේක. මේ වදාළ සැටි: “ඡ භික්ඛවෙ! ආනිසංසෙ සම්පස්සමානෙන භික්ඛුනා අලමෙව සබ්බසඞ්ඛාරෙසු අනො‍ධිං කරිත්‍වා අනත්තසඤ්ඤං උපට්ඨාපෙතුං, කතමෙ ඡ? සබ්බලොකෙ ච අත්තම්ම යො භවිස්සාමි, අහංකාරා ච මෙ උපරුජ්ඣිස්සන්ති, මමං කාරා ච මෙ උපරුජ්ඣිස්සන්ති, අසාධාරණෙන ඤාණෙන සමන්නාගතො භවිස්සාමි, හෙතු ච මේ සුදිට්ඨො, හෙතු සමුප්පන්තා ච ධම්මා” යි.

යම් කළෙක යමක්හු පිළිබඳ ව්‍යුත්‍ථානගාමිනී විදර්‍ශනාප්‍රඥාව සංස්කාරයන් අනාත්ම විසින් දකී ද, එකල්හි නිවන අරමුණු කොට ඔහුට උපදනා මාර්‍ගචිත්තය ‘සුඤ්ඤතාවිමොක්ඛ’ නම් වේ. අනාත්මලක්‍ෂණය ඇසුරු කොට නැගෙන පහළ වන විදර්‍ශනාප්‍රඥාව “කුශලාකුශල කර්‍ම රැස් කරණුයේ විපාක විඳිනුයේ මාගේ ආත්මය”යි මෙසේ පැවැති දැඩි හැඟීම දුරු කරමින් සංස්කාර පිළිබඳ ආත්මශුන්‍යත්‍වය ආත්මයක් නැති බව ම පුන පුනා බලන බැවින් ‘සුඤ්ඤතානුදස්සනවිමොක්ඛ මුඛ’ යි හඳුන්වනු ලැබේ. [1]

මෙහි ද ‘පඤ්ඤාය’ යන්නෙන් ගණු ලබන්නී ව්‍යුත්‍ථාගාමිනී විදර්‍ශනාප්‍රඥා ය.

ධර්‍මදේශනාවගේ අවසානයෙහි ඒ භික්‍ෂූහු රහත් බවෙහි පිහිටා ගත්හ. ධර්‍මදේශනා තොමෝ පැමිණ සිටි පිරිසට ද වැඩ සහිත වූ ය.

අනාත්මලක්‍ෂණ වස්තුව නිමි.

  1. 14-6 ‘අත්තානං චෙ පියං ජඤ්ඤා’ යනු බලනු.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.