සබ්බෙ සඞ්ඛාරා දුක්ඛා’ති යදා පඤ්ඤාය පස්සති
අථ නිබ්බින්‍දති දුක්ඛෙ එස මග්ගො විසුද්ධියා.
සියලු සංස්කාරයෝ (උදයව්‍යයයෙන් පෙළෙන හෙයින්) දුක්හ යි යම් කලෙක විවසුන් නුවණින් දකී ද, එකලැ මේ ස්කන්‍ධ පරිහරණයෙහි (දුකෙහි) කළකිරෙන්නේ ය. (එසේ කලකිරුණේ සත්‍යයන් පිළිවිදුනේ ය.) මේ සංස්කාරයන් කෙරෙහි කළකිරීම, නිර්‍මල බවට (නොහොත් නිවනට) මඟය (කාරණ ය).
දවසක් පන්සියයක් භික්‍ෂූන් වහන්සේලා බුදුරජානන් වහන්සේ වෙත ගොස් කමටහන් උගෙණ වන මැද යෝග කරන්නට පටන් ගත්හ. එහෙත් රහත් වන්නට නො හැකි වූ උන්වහන්සේලා නැවැත කමටහන් විශේෂ කොට උගන්නට බුදුරජුන් වෙතට පැමිණියහ. බුදුරජානන් වහන්සේ “මොවුනට හිත සැප එළව කමටහන කමැ”යි බලා වදාරණ සේක් මොවුන් කසුප් බුදුරජුන් දවස, අවුරුදු විසිදහසක් සංස්කාරයන් පිළිබඳ දුඃඛලක්‍ෂණයෙහි යෝග කොට සිටුනා බව දැක මොවුනට හිතසුව එළවනුයේ දුඃඛ ලක්‍ෂණ වැඩීමය, එහෙයින් දුඃඛලක්‍ෂණ දන්වා එක් ම ගාථාවක් දෙසිය යුතුය”යි “මහණෙනි! කාමභවාදියෙහි වූ සියලු සංස්කාරයෝ උදය ව්‍යයයෙන් පෙළෙන බැවින් දුඃඛහ”යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක.
සබ්බෙ සඞ්ඛාරා දුක්ඛාති යදා පඤ්ඤාති,
අථ නිබ්බින්‍දති දුක්ඛෙ එසමග්ගො විසුද්ධියාති.
සියලු සංස්කාරයෝ දුඃඛහ යි යම් කලෙක නුවණින් දකී ද, එකල්හි දුකෙහි කළකිරෙයි. මෙය නිවනට මග ය.
සබ්බෙ සඞ්ඛාරා දුක්ඛා ඉති = සියලු සංස්කාරයෝ දුඃඛහ යි.
යදා පඤ්ඤාය පස්සනි = යම් කලෙක නුවණින් දකි ද.
අථ නිබ්බින්‍දති දුක්ඛෙ = එකල්හි දුකෙහි කළ කිරෙයි.
එසො මග්ගො විසුද්ධියා = මෙය නිවණට මග ය.
ස්කන්‍ධයෝ ඉපදීම් නැසීම් දෙකින් පෙළෙන බැවින් දුක් ය. ස්කන්‍ධයන්ගේ ඒ ඉපදීම හානැසීම දැකීමෙහි දැන ගැණීමෙහි පොහොසත් වූවා ව්‍යුත්‍ථානගාමිනීප්‍රඥා ය. ව්‍යුත්‍ථානගාමිනීප්‍රඥායෙන් ස්කන්‍ධයන්ගේ දුක දැන ගත්තහුට නිවන අරමුණු කොට උපදනා මාර්‍ගචිත්තය අප්පණිහිතවිමොක්ඛ නම්. සංස්කාරයන් කෙරෙහි මම ය, මාගේ ය, මේ සැපය, යනාදී විසින් පැවැති තෘෂ්ණාප්‍රණිධිය බැහැර කොට දුඃඛාකාරය දැක එය දුරු කරණ ව්‍යුත්‍ථානගාමිනී විදර්‍ශනාප්‍රඥාව අප්පණිහිතානුදස්සනවිමොක්ඛ මුඛ නම් වේ. මේ විදර්‍ශණාප්‍රඥාව ස්කන්‍ධපරිහරණය දුකැ යි දන්නී ය. එහෙයින් එහි කළකිරුණු විදර්‍ශක, චතුස්සත්‍යය ප්‍රතිවේධ කරන්නේ ය. විස්තර කතාව අනිත්‍යානුදර්‍ශනයෙහි කීලෙසින් දන්නේ ය. දුඃඛානුදර්‍ශනය ද එහි කියන ලදි. මෙහි ද ‘පඤ්ඤාය’ යන්නෙන් ගණු ලබන්නී ව්‍යුත්‍ථානගාමිනීප්‍රඥා ම ය.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි ඒ භික්‍ෂූහු රහත්බවෙහි පිහිටියහ. ධර්‍මදේශනා තොමෝ පැමිණ සිටි පිරිසට ද වැඩ සහිත වූ ය.
දුඃඛලක්‍ෂණ වස්තුව නිමි.