20-2 අනිත්‍යානුදර්‍ශනය වැඩූ පන්සියයක් භික්‍ෂූන් වහන්සේලා

සබ්බෙ සඞ්ඛාරා අනිච්චා’ති යදා පඤ්ඤාය පස්සති

අථ නිබ්බින්‍දති දුක්ඛෙ එස මග්ගො විසුද්ධියා.

සියලු සංස්කාරයෝ අනිත්‍යයහ යි යම් කලෙක විවසුන් නුවණින් දක්නේ ද එ කල්හි මේ (ස්කන්‍ධපරිහරණය යැයි කියන ලද) දුකෙහි (මුදුන් පත් වුට්ඨානගාමිනීවිපස්සනා වශයෙන්) කළකිරෙන්නේ ය. (එසේ කලකිරුණේ දුඃඛපරිඥානාදි විසින් සත්‍යප්‍රතිවේධය කරන්නේ ය. එ හෙයින්) මේ සංස්කාරයන් කෙරෙහි නිර්වේදය, නිර්‍මල වීමට (නොහොත් නිවනට) මඟ ය.

දවසක් පන් සියයක් භික්‍ෂූන් වහන්සේලා බුදුරජානන් වහන්සේ වෙත ගොස් කමටහන් උගෙණ වන මැද කමටහන්හි යෝග කරන්නාහු රහත් වන්නට නො හැකි ව නැවැත කමටහන් විශේෂ කොට උගන්නෙමු’යි බුදුරජුන් වෙත ආහ. එකල්හි බුදුරජානන් වහන්සේ “මොවුන්ට සත්ප්‍රාය වනුයේ කිනම් කමටහනැ”යි බලා වදාරණ සේක් “මොවුන් කසුප් බුදුරජුන් දවස අවුරුදු විසි දහසක් මුළුල්ලෙහි සංස්කාරයන් පිළිබඳ අනිත්‍යලක්‍ෂණයෙහි යෝග කොට සිටුනා බැවින් මොවුනට අනිත්‍යලක්‍ෂණය වැඩීම සත්ප්‍රාය වන්නේ ය, එහෙයින් අනිත්‍යලක්‍ෂණ දක්වා මොවුනට එක් ම ගාථාවක් දෙසිය යුතු ය”යි දැක “මහණෙනි! කාමභවාදියෙහි වූ සියලුම සංස්කාරයෝ ඉපද නැසෙන බැවින් අනිත්‍යයහ”යි වදාරා මේ ධර්‍ම දේශනාව කළ සේක.

සබ්බෙ සඞ්කාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති,

අථ නිබ්බින්‍දති දුක්ඛෙ එසමග්ගො විසුද්ධියාති.

සියලු සංස්කාරයෝ අනිත්‍යයහ යි යම් කලෙක නුවණින් දකී ද එකල්හි, දුකෙහි කළ කිරෙයි. ‍මෙය නිවනට මග වේ.

සබ්බෙ සඞ්ඛාරා අනිච්චා ඉති = සියලු සංස්කාරයෝ අනිත්‍යහ යි.

සබ්බ යනු කියනලදී. - කාම - රූප - අරූප යන භවත්‍රය යෙහි පහළ වූ රූපාරූපස්කන්‍ධයෝ ය සඞ්ඛාර. ඔවුහු නම්: සඞ්ඛතසඞ්ඛාරයෝ ය. “පච්චයෙහි සඞ්ඛරීයන්තීති සඞ්ඛරාති ලද්ධනාමා පඤ්චක්ඛන්‍ධා” යනු සඞ්ඛාරයන්නෙහි අරුත් හෙලි කරමින් ස්කන්‍ධපඤ්චකය නො අඩුව ලැබෙන පඤ්චවොකාර භවය මුල් කොට කියන ලද්දේ ය. “කාමභවාදීසු උප්පන්නා බන්‍ධා” යනු එය ම ව්‍යක්ත කරන්නේ ය. එකවොකාර - චතුවොකාරභව යන් පිළිබඳ ස්කන්‍ධයෝ ද මෙහි ම ඇතුළත් වෙත්. මෙහි ආදිශබ්දය එය කියන්නේ ය. [1]

පූර්‍ව - අපර දෙකෙළවර ඇති බැවින්, නිති නො පවත්වනා බැවින්, කල් ‍නො පවත්නා බැවින්, ඇසිල්ලක් ම පවත්නා බැවින් නිත්‍ය නො වෙත් නු යි අනිත්‍යයහ. “ආදිඅන්තවන්න්තකො අනිච්චන්තිකතො තාවකාලිකතො බණපරිත්තතො ච න නිච්චානි අනිච්චා” යනු අටුවා.

යදා පඤ්ඤාය පස්සති = යම් කලෙක නුවණින් දකී ද.

මෙහි පඤ්ඤා යනු වදාළෝ පඤ්චස්කන්‍ධයෙහි හෙවත් සංස්කාර ධර්‍මයන්ගේ අනිත්‍යාදිලක්‍ෂණ තතු අරුත් විසින් දත යුත්තේ විදර්‍ශනාඥානයෙනැ යි දක්වනු පිණිස ය. පඤ්චස්කන්‍ධය නාම විසින්, රූප විසින්, ධාතු විසින්, ආයතන විසින්, ඉන්‍ද්‍රිය විසින්, ප්‍රත්‍යය විසින්, ප්‍රත්‍යයොත්පන්න විසින් වෙන් වෙන් කොට ගෙණ නො වඩා ගත් නො මෝරවා ගත් නුවණින් සංස්කාරධර්‍මතත්‍වය ඇති සැටියෙන් අවබෝධ කට නො හැකි ය. එහෙයින් ‘විදර්‍ශනා නම් කිමැ’යි පොතපතෙහි දැක් වූ විස්තර විසින් කියයුතු වුවත් මෙහිලා එය කළ නො හැකි ය. ඒ තරමට විදර්‍ශනාකථාව දීර්‍ඝ ව සිටුනී ය. එහිලා මෙහි එන්නී ඉතා කෙටි කතාවකැ යි දැන විස්තරකථාව දනු පිණිස විසුද්ධමග්ග පටිසම්භිදාමග්ගාදිය බැලිය යුතු ය.

විදර්‍ශනා නම්: පඤ්චස්කන්‍ධයෙහි හෙවත් නාම - රූපධර්‍මයන් ගේ එකෙනෙකට වෙනස් ව සිටි, එකෙනෙකට අසාධාරණ ව සිටි ලක්‍ෂණ හා, ඒ හැම එකක්හු කෙරෙහි සාධාරණත්‍වයෙන් සිටි අනිත්‍යාදිලක්‍ෂණ දැනීම ය. මේ දැනීම පඤ්චස්කන්‍ධය, සත්ත්‍ව - පුද්ගල - ස්ත්‍රී - පුරුෂ - ගෘහ - පර්‍වත - වෘක්‍ෂ - ලතාදියට නගා ගෙණ, පෙරළා ගෙන ඒ විසින් දැනීමට වඩා විශිෂ්ට බැවින් දුක් තරණය කිරීමට හිත බැවින් විදර්‍ශනා යි කියනු ලැබේ. සත්ත්‍ව පුද්ගලාදි - ප්‍රඥප්තිමාත්‍රයෙහි සම්මුතියෙහි පිහිටි සාමාන්‍ය ලෝකයාගේ නාම-රූපධර්‍ම, සත්ත්‍ව - පුද්ගලාදිවශයෙන් ගැණීම එහි මුළාබව නිසා වන්නේ ය. ඒ වනාහි සාමාන්‍ය දර්‍ශනයෙක් වේ. විදර්‍ශනා නම් නො වේ.

“පඤ්චක්ඛ‍න්‍ධෙ අනිච්චාදිවසෙන විවිධා පස්සතීති = විපස්සනා, අනිච්චාදිවසෙන විවිධෙහි ආකාරෙහි ධම්මෙ පස්සතීති = විපස්සනා” යනු විසින් ‍විදර්‍ශනා නම් කිමැ යි ඉතා සැකෙවින් කියන ලද්දේ ය. ‍ඒ මේ විදර්‍ශනාඥානය සිල් ඇති ව සිටිය ද ලෞකිකය ගැණ කාමවස්තූන් ගැණ සිතමින් බලමින් පතමින් කල් ගෙවන්නන් විසින් ලැබිය හැකි නො වේ. ඒ පිණිස පිළිවෙළින් සීලවිසුද්ධි - චිත්තවිසුද්ධි - දිට්ඨිවිසුද්ධි - කඞ්ඛාවිතරණවිසුද්ධි - මග්ගාමග්ගඤාණවිසුද්ධි - පටිපදාඤාණදස්සනවිසුද්ධි - ඤාණදස්සනවිසුද්ධි යන සප්තවිශුද්ධීන් අතුරෙහි පූර්‍වාවස්ථායෙහි සීලවිසුද්ධිය පටන් පටිපදාඤාණදස්සනවිසුද්ධිය කෙළවර කොට සිටි ෂට්විශුද්ධීන් ගෙන් විශුද්ධියට පිරිසිදු බවට පැමිණිය යුතු ය. ඔහුට ම ය මාර්‍ගාධිගමාවාස්ථායෙහි ඤාණදස්සනවිසුද්ධියෙන් ද විශුද්ධිය ලැබෙන්නී. මේ සත්වන විශුද්ධියෙන් පිළිවෙළින් විශුද්ධ වන්නේ ම මගින් මග කෙලෙස් නසා ලනුයේ ම නිවන් දක්නේ ය.

මෙහි ලා පළමු කොට සීලවිසුද්ධියෙන් කය - වචන දෙක මුළුමනින් පිරිසිදු කර ගතයුතු ය. ශීලයෙන් ගුණයනට තැන් විය යුතු ය. සිල් නැත්තේ ගුණවත් නො වේ. ඒ මේ ශීලවිශුද්ධිය යන්තමකින් නො විය යුතු ය. ශීලවිශුද්ධියෙන් පිරිසිදු බවට නො පැමිණියේ චිත්තවිශුද්ධි ආදියෙන් පිරිසිදුබවට යන්නේ ය, යනු නො වන්නේ ය. කය - වචන ‍පිරිසිදු නො වූවහුගේ සිත පිරිසිදු නො වන බැවිනි.

ශීලය නම්: කය - වචන දෙක්හි සංවර ය යි. එය පංචසීල - අට්ඨාඞ්ගසීලාදීන්ගේ වශයෙන් වනුයේ නන්වැදෑරුම් ය. පිළිවෙළින් ප්‍රණීත - ප්‍රණීතතර - ප්‍රණීතතම වශයෙන් නැගී යන්නේ ය. සිල් අතුරෙහි ශ්‍රේෂ්ඨ වනුයේ සිවු පිරිසිදු සීලය යි. ඒ ම සීලවිසුද්ධිය යි දතයුතු යි. “තත්‍ථ සීලවිසුද්ධි නාම සුපරිසුද්ධං පාතිමොක්ඛසංවරාදි චතුබ්බධං සීලං” යනු කීයේ එහෙයිනි. ඒ යට කියන ලදි. [2]

කාමච්ඡන්‍දාදිනීවරණධර්‍මයන් ඔබාලීමෙන් යටපත් කිරීමෙන් ලැබෙන චිත්තසමාධිය, චිත්තවිසුද්ධි නම්. “චිත්තවිසුද්ධි නාම සඋපචාරා අට්ඨ සමාපත්තියො” යි ඒ ආයේ ය. ඒ මේ සමාධිය උපචාර - අර්‍පණා විසින් දෙවැදෑරුම් ය. උපචාර නම්: අර්‍පණාවට පැමිණීමට කලින් අර්‍පණාවට ලං ව සිටි සමාධිය යි. හේ කාමාවචර ය. රූපාවචර - අරූපාවචරසමාධි ය යි ගැණෙන අෂ්ටසමාපත්තිය අර්‍පණාසමාධි නම්. විස්තර යට කියන ලදි. [3]

මෙසේ මුලභූත වූ සීලවිසුද්ධියෙහි හා චිත්තවිසුද්ධියෙහි පිහිටා අනතුරුව නාම - රූපධර්‍මයන්ගේ ඇති තතු පිරිසිඳ දැනීම නම් වූ දිට්ඨිවිසුද්ධිය සැපයිය යුතු ය. දිට්ඨිවිසුද්ධි නම්: නාම - රූපධර්‍මයන්ගේ ඇති තතු නියම විසින් පිරිසිඳ දැනීම ය. “නාමරූපානං යථාවදසස්සනං දිට්ඨිවිසුද්ධි නාම” යනු විසින් එය කීහ. මේ වනාහි නාම - රූපධර්‍මයන්ගේ ඇති තතු ‍දැනීමෙන් දෙසැට මිසදිටු බිඳ හරිණ නුවණ ය.

විදර්‍ශනාවට කරුණු වූ ෂට් විශුද්ධීන් අතුරෙහි මූලභූත වූ සීලවිසුද්ධි - චිත්තවිසුද්ධි දෙකට අනතුරු ව ලැබෙන ශරීරභූත වූ විශුද්ධි සතරෙහි ප්‍රථමවිශුද්ධිය සේ ගැණෙන දිට්ඨිවිසුද්ධිය සපයනු කැමැති යොගීන් අතුරෙහි කෙනෙක් භාවනාකර්‍මයෙහි යෙදුනෝ පඤ්චොපාදානස්කන්‍ධය, නාම - රූප විසින්, කෙනෙක් පඨවි ආදී චතුර්විධ ධාතු විසින්, කෙනෙක් අෂ්ටාරශධාතු විසින්, කෙනෙක් ද්වාදශායතන විසින්, ‍කෙනෙක් පඤ්චස්කන්‍ධ විසින් නුවණින් පිරිසිඳ බලන්නාහ.

පඤ්චස්කන්‍ධය, මෙසේ නාම - රූප විසින්, චතුර්විධ ධාතු විසින්, අෂ්ටාරශධාතු විසින්, ද්වාදශායතන විසින්, පඤ්චස්කන්‍ධ විසින් බැලීම ඉතා කෙටියෙන් බැලීම ය. බැලීමැ යි කීයේ නුවණින් පිරිසිඳීම ය. පිරිමැදීම ය.

එහි ඉතා කෙටියෙන් පිරිසිඳිනුයේ පඤ්චස්කන්ධය, නාම - රූප විසින් දෙකඩ කොට ‘මේ නාමය රූපය නො වේ, මේ රූපය නාම නො වේ, නාමය රූපයෙන් අනෙකෙක, රූපය නාමයෙන් අනෙකෙක, නාම - රූප දෙකෙන් අන්‍ය වූ ආත්මයෙක් ජීවයෙක් සත්ත්‍වයෙක් පුද්ගලයෙක් නැතැ යි පිරිසිඳින්නේ ය. නාම - රූප දෙක්හි එසේ නිෂ්ඨාවට යන්නේ ය.

විස්තර විසින් පිරිසිඳිනුයේ එක් එක් ධාතුව, එක් එක් ස්කන්‍ධය, එක් එක් ආයතනය, එකක් එකක් විසින් චක්ඛුආදි ධාතු හා ඔවුනට අයත් ඵස්සාදිනාම, කෙසාදිරූප, වෙන් කොට දැන ඒ එක් එක් නාමයක්, එක් එක් රූපයක් ලක්ඛණ - රස - පච්චුපට්ඨාන - පදට්ඨාන විසින්, කම්ම - චිත්ත - උතු - ආහාරසමුට්ඨාන විසින්, කලාප විසින් පිරිසිඳින්නේ ය. විස්තරකථාව විශුද්ධිමාර්‍ගයෙහි දැක්ක හැකිය.

අරමුණට නැමෙන ලක්‍ෂණ ඇති ධර්‍මසමූහය නාම නම්. සෙසු චෛතසිකයන් හා එක්වට ඉපදීම එක්වට නැසීම එක් ම අරමුණෙක උනුන් හා එක් ව විසීම කෘත්‍ය නම්. උනුන් කෙරෙන් වෙන් නො වීම ඵල නම්. ප්‍රතිසන්‍ධිවිඥානය පදට්ඨාන නම්. “නමන ලක්ඛණං නාමං, සම්පයොගරසං, අවිනිබ්හොගපච්චුපට්ඨානං විඤ්ඥාණ පදට්ඨානං” යි ඒ කීහ. “මනොපුබ්බඞ්ගමා” යන්නට කළ පරිකථාව බලනු.

නැසෙන වැ‍නසෙන වෙනස් වන සැහැවි ඇති ධර්‍මසමූහය රූප නම්. ඔවුනොවුන් හා එකමුතුබවක් නැති බැවින් අඹරා වියලා ගත් පිටි මෙන් විසිර යෑම කෘත්‍ය නම්. අරමුණු නො ගැණීම ඵල නම්. ප්‍රතිසන්‍ධිවිඥානය පදට්ඨාන නම්. “රුප්පනලක්ඛණං රූපං, විකිරණරසං අබ්‍යාකතපච්චුපට්ඨානං විඤ්ඤාණපදට්ඨානං” යනු ආගමිකකථා ය. මෙහි “කො ඉමං පඨවිං විජෙස්සති” යන්නට කළ පරිකථාව බලනු.

දිට්ඨිවිසුද්ධිය ශරීරභූත වූ විශුද්ධි සතරින් ප්‍රථමවිශුද්ධිය බැවින් එය උපචාර සහිත වූ අෂ්ටසමාපත්තිලාභී ශමථයානිකයා විසින් සම්පාදනය කළ යුතු බව “තං සම්පාදෙතුකාමෙන සමථයානිකෙන තාව ඨපෙත්‍වා නෙවසඤ්ඤානාසඤ්ඤායතනං, අවසෙස රූපාරූපාවචරජ්ඣානානං අඤ්ඤතරතො වුට්ඨාය විතක්කාදීනි ඣානඞ්ගානි, තං සම්පයුත්තා ච ධම්මා ලක්ඛණ රසාදිවසෙන පරිග්ගහෙතබ්බා” යන මෙයින් පැහැදිලි වන්නේ ය. ඒ දිට්ඨි විසුද්ධිය සපයනු කැමැති ශමථයානිකයා විසින් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය හැර අවශෙෂ වූ රූපාවචර - අරූපාවචරධ්‍යානයන් අතුරෙන් එක්තරා ධ්‍යානයකින් නැගී විතර්‍කාදී වූ ඒ ඒ ධ්‍යානාඞ්ග හා ඒ හා යෙදුනු ස්පර්‍ශාදිධර්‍ම, ලක්‍ෂණ - රසාදිවශයෙන් පරිග්‍රහ කට යුතු ය, යන අරුත්.

මෙසේ ධ්‍යානාඞ්ග හා තත්සම්ප්‍රයුක්තධර්‍ම පිරිසිඳ දැන ඒ හැම එකෙක් අරමුණට නැමෙන බැවින් නාම ය යි ද, සිත්හි කළ යුතු ය. අනතුරුව පුරුෂයෙක්, තම ගෙය තුල සිටි සර්‍පයකු දැක ඌ ලුහු බැඳ යනු‍යේ ඌ වසන තැන් දක්නේ යම්සේ ද, එසේ ඒ යොගී තෙමේ ඒ නාමධර්‍ම පිරික්සනුයේ නාම ධර්‍මයන්ගේ නිඃශ්‍රයස්ථානය වූ හෘදයවස්තුරූපය දක්නේ ය. ඉක්බිති හෘදයවස්තුරූපයට නිඃශ්‍රය වූ සෙසු උපාදායරූපයන් ද නුවණින් දැක මේ සියලු උපාදායරූප නැසෙන වැනසෙන බැවින් රූප ය යි සිත්හි කරන්නේ ය. පිරිසි‍ඳෙන්නේ ය. නුවණින් පිරිමදින්නේ ය. මෙසේ අරමුණට නැමෙන සැහැවි ඇති බැවින් නාමැ යි ද, නැසෙන වැසෙන සැහැවි ඇති බැවින් රූපැ යි ද නාම - රූප දෙක යථාර්‍ත්‍ථ විසින් ඇති සැ‍ටියෙන් සැකෙවින් නිශ්චය කරන්නේ ය. නුවණින් පිරිමදින්නේ ය. මේ කීයේ සමථයානිකයා අරූපමුඛයෙන් විදර්‍ශනාවට බැස ගන්නා සැටි යි.

ශුද්ධවිදර්‍ශනායානිකයා හෝ මේ ශමථයානිකයා චතුර්ධාතුව්‍ය වස්ථා කිරීමෙහි දී චතුර්ධාතුනිශ්චය කිරීමෙහි දී ‘තදගති ඇතියේ පඨවීධාතු ය, යනාදීන් ඒ ඒ ධාතුපරිග්‍රහමුඛයන් අතුරෙන් එක්තරා මුඛයෙකින් පඨවී ආදි ධාතු සතර ලක්‍ෂණරසාදීන්ගේ වශයෙන් වෙන් වෙන්ම සැකෙවින් හෝ විස්තර විසින් පරිග්‍රහ කළ යුතු ය. පිරිසිඳිය යුතු ය. එසේ පරිග්‍රහ කරත්, ඇති සැටියෙන් පඨවී ආදි ධාතුන් පැහැදිලි ව වැටහී ගිය පසු පළමු කොට හෙතෙමේ කර්‍මයෙන් හට ගත් කෙශයෙහි පඨවී - ආප - තෙජ - වායු - වණ්ණ - ගන්‍ධ - රස - ඔජා - ජීවිත - කායප්පසාද යි කයදසක වශයෙන් ලැබෙන රූපදසය හා, කර්‍මයෙන් හට ගත් කෙශයෙහි භාවරූපයත් ලැබෙන බැවින් භාවදසක වශයෙන් ගන්නා රූප දසය ද යන රූප විස්ස ද, කෙශයෙහි, ආහාරයෙන් හට ගත් අවිනිබ්භෝග (සුද්ධට්ඨක) රූප අට ය, සිතින් හට ගත් අවිනිබ්භෝගරූප අට ය, යන මෙ කියූ රූප සූවිස්ස දැ යි මෙ හැම එකතුව රූප සූසාළිසක්, කර්‍ම - චිත්ත - ඍතු - ආහාරයෙන් හට ගත් එක් ම කෙශයෙහි ලැබෙන්නේ ය. එසේ කර්‍මාදී සතරින් හට ගත් ලොමාදී වූ අන් තෙවිසි කොටස්හි ද එකක් එකක් පාසා හැම කොටසෙක ම රූප සූසාළිස සූසාළිස බැගින් ලැබෙන්නේය යි දක්නේ ය. මේ චතුසමුට්ඨානිකකෙසාදී වූ සූවිසි කොටස්හි යොගීහු විසින් පිරිසිඳින ලද, නුවණින් පිරිමදින ලද රෑපසඞ්ඛ්‍යාව එක්දහස් සපණසෙක් වන්නේ ය.

මේ දෙතිස් කොටසින් ඉතිරි වූ අනෙක් කොටස් අට අතුරෙහි යෙද - අස්සු - ඛෙල - සිඞ්ඝානිකා යන සිවු කොටසෙහි සෙදයෙහි සොළොසෙක, අස්සුයෙහි සොළොසෙක යන ඈ ලෙසින් උතු - චිත්ත සමුට්ඨාන ඔජට්ඨමක රූප විසින් එක්ක පාසා රූප සොළොස සොළොස බැගින් රූප සූසැටෙක් ලැබෙන්නේ ය. මෙතෙමේ මෙ ද මෙසේ නුවණින් දක්නේ ය. එහි සෙද නම්: ඩහදිය ය. අස්සු නම්: කඳුළු ය, ඛෙල නම්: කෙල ය. සිඞ්ඝානිකා නම්: සොටු ය.

උදරිය - කරීම - පුබ්බ - මුත්ත යන සිවු කොටස උතුසමුට්ඨාන බැවින් මේ එක් එක් කොටසෙහි උතුසමුට්ඨානසුද්ධට්ඨකය බැගින් රූප දෙතිසෙක් වන්නේ ය. මෙතෙමේ මෙ ද මෙසේ නුවණින් දක්නේ ය. එහි උදරිය නම්: කුක්‍ෂිගත ආහාර ය. කරීස නම්: මල ය. පුබ්බ නම්: සැරව ය. මුත්ත නම්: මුත්‍ර ය. උතු-චිත්තසමුට්ටෘනික වූත් උතුසමුට්ඨානික වූත් මේ කොටස් අටෙහි යොගීහු විසින් පිරිසිඳින ලද, නුවණින් පිරිමදින ලද රූප සඞ්ඛ්‍යාව සයානුවෙක් වේ.

මෙසේ මේ දෙතිස් කොටසෙහි ලැබෙන රූප, එකතු ව එක් දහස් එක් සිය දෙ පණසෙකි. චතුසමුට්ඨානිකයෙහි මෙතෙක, ද්විසමුට්ඨානිකයෙහි, එකසමුට්ඨානිකයෙහි මෙතෙකැ යි මෙසේ කර්‍මාදී සතරින් හටගත් කෙශාදී වූ දෙතිස් කොටසෙහි ලැබෙන රූප නිරවුල් ව වෙන් වෙන් ව පැහැදිලි ව පෙණී ගිය කල්හි අනෙකුදු තේජෝ කොටස් සතර හා වායු කොටස් සය දැ යි යන දසය ප්‍රකට වන්නේ ය.

එහි සන්තාපන - ජීරාපන - පරිදහන - පාචකතෙජොධාතු කොටස් අතුරෙහි, අනුභව කළ ආහාර පැසවන ‍පාචකතේජෝධාතු නම් වූ කර්‍මයෙන් හට ගත් තේජෝධාතු කොටසෙහි ඔජාව අටවැනි කොට ඇති ඔජට්ඨමකරූප අට හා, කම්මසමුට්ඨානජීවිතින්‍ද්‍රිය රූපය යන රූප නවය පිහිටියේ ය.

සන්තාපනතේජෝධාතු කොටසෙහි සිතෙන් හට ගන්නා ඔජට්ඨමකරූප අට, ඍතුයෙන් හට ගන්නා ඔජට්ඨමකරූප අට, ආහාරයෙන් හට ගන්නා ඔජට්ඨමකරූප අට, කර්‍මයෙන් හට ගන්නා ජීවිතනවක යන රූප තෙතිස පිහිටියේ ය. ජීරාපන - පරිදහන තේජෝධාතු දෙ කොටසෙහි එකක් එකක්හු කෙරෙහි පිහිටියේ ද මේරූප තෙතිස ම ය. මෙතෙමේ මෙ ද නුවණින් දක්නේ ය.

සවැදෑරුම් වූ වායු කොටස් අතුරෙහි, චිත්තජ ආශ්වාස - ප්‍රශ්වාස වායු කොටසෙහි සිතින් හට ගන්නට ඔජට්ඨමකරූප අට හා, ශබ්දය දැ යි යන රූප නවය වූයේ ය. ඉතිරි උද්ධඞ්ගම - අධොගම - කුච්ඡිසය - කොට්ඨාසය - අඞ්ගමඞ්ගානුසාරී යන වායු කොටස් ‍පසෙහි ද එකක් එකක්හු කෙරෙහි පිහිටියෝ ද සන්තාපනාදිතේජෝධාතු කොටස් තුණෙහි පිහිටි රූපයෝ ම ය. මෙතෙමේ මෙ ද මෙසේ නුවණින් දක්නේ ය. එහි සනිත්පන නම්: සිරුර තවන්නේ ය. ජීරාපන නම්: සිරුර දිර වන්නේ ය. පරිදහන නම්: සිරුර දවන්නේ ය. පාචක නම්: අනුභව කළ ආහාර පැස වන්නේ ය. උද්ධඞ්ගම නම්: උඩ බලා නගින්නේ ය. අධොගම නම්: යට බලා යන්නේ ය. කුච්ඡිසය නම්: කුසතුළ බඩවැලින් පිටත හැසිරෙන්නේ ය. කොට්ඨාසය නම්: බඩවැල් ඇතුළත සිටියේ ය. අඞ්ගමඞ්ගානුසාරී නම්: සිරුරෙහි අවයව ක්‍රියා කර වන්නේ ය. මෙ තේජෝ-වායු දොකොටසෙසහි යොගීහු විසින් පිරිසිඳින ලද, නුවණින් පිරිමදිනි ලද රූපසඞ්ඛ්‍යාව දෙසිය දෙයසූවකි.

මෙසේ මේ යොගීහට විස්තර විසින් පඨවී කොටස් දෙ විස්ස ය, ආපෝ කොටස් දස ය, තේජෝ කොටස් සතර ය, වායු කොටස් සය, යි දෙ සාළිස් අයුරෙන් භූතරූප සතර හා උපාදායරූප සූවිස්ස ප්‍රකට ලෙසින් නුවණට හසු වූ කල්හි චක්ඛු - සෝත - ඝාන - ජිහ්වා - කාය - හදයවත්‍ථු යන මේ සවැදෑරුම් වස්තු හා, චක්ඛු - සෝත - ඝාන - ජිහ්වා - කායද්වාර යන ද්වාර පස දැ’යි මොවුන්ගේ වශයෙන් චක්ඛුදසක - සෝතදසක - ඝානදසක - ජිහ්වාදසක - කායදසක යන දසක බස ද, හදයවත්‍ථුදසකය දැ’යි අන්‍ය වූත් සැටරූප කෙනෙක් නුවණෙහි නැගී සිටිත. ප්‍රකට ව වැටහෙත්.‍ මෙතෙමේ සියලු රූප නැසෙන වැනසෙන සැහැවි ඇතැ යි එක් කොට ගෙණ මේ රූපැ යි නුවණින් බලන්නේ ය. පිරිමදින්නේ‍ ය.

මෙසේ රූපධර්‍ම නුවණින් පිරිමදින ලද යොගීහට ඉනික්බිති ද්වාරවශයෙන් දෙපස් විඤ්ඤාණ ය, මනෝධාතු තුන ය, අටසැටක් මනෝවිඤ්ඤාණධාතුය යන එක් අසූවක් ලෞකික සිත් ද, ඒ එක් අසූවක් සිත් සමග නො වෙනස් ව එකට හට ගත්තා වූ ඵස්ස - වේදනා - සඤ්ඤා - චේතනා - පීවිතින්‍ද්‍රිය - එකග්ගතා - මනසිකාර යන චෛතසික ද ප්‍රකට වන්නාහ. එකල්හි හෙතෙමේ ඒ සියලු රූපධර්‍ම නැමෙන සැහැවි ඇතැ යි එක් කොට දක්න් ය. චතුර්ධාතු ව්‍යවස්ථාමුඛයෙන් විස්තර විසින් නාම - රූප දෙක මෙසේ නිශ්චය කරන්නේ ය. විශේෂයෙක් වේ. ඒ නම්: විදර්‍ශනායානිකයාහට හෝ ශමථයානිකයාහට මග-පලසිත් පිරිසිඳීමට අසුනොවන බව ය. එසේ වනුයේ ඔවුන් අවබෝධ කිරීම් වශයෙන් නො ද පැමිණි බැවිනි. “ලොකුත්තරචිත්තානි පන නෙව සුද්ධවිපස්සකස්ස න සමථයානිකස්ස පරිග්ගහං ගච්ඡන්ති අනධිගත්තතාති” යනු විසින් ඒ කීහ. මේ වනාහි චතුර්ධාතුව්‍යවස්ථා කිරීම් වශයෙන් නාම - රූප දෙක ව්‍යවස්ථා කිරීම ය.

අනෙකෙක් “මේ අත්බැව්හි චක්ඛුධාතු - රූපධාතු - චක්ඛුවිඤ්ඤාණ ධාතු ඇතැ”යි මේ ඈ ලෙසින් නුවණින් සලකා බලා ලෝවැස්සන් විසින් ‘ඇස’යි ගෙණ ඇති සුදුකළුමඩලින් විසිතුරු වූ දිගින් හා පළලින් යුත් ඇස්වළෙහි නහරවැලින් බැඳුනු මස්පිඩ නො ගෙණ උපාදායරූප අතුරෙහි එන චක්ඛුප්පාසාදය ම චක්ඛුධාතු යි ව්‍යවස්ථා කරන්නේ ය. එහි දී චක්ඛුප්පාසාදය ම චක්ඛුධාතු යි ව්‍යවස්ථා කරන්නේ ය. එහි දී චක්ඛුප්පසාදයට නිඃශ්‍රය වූ පඨවී ආදි මහාභූත සතර, එහි පිරිවර වූ වණ්ණ - ගන්‍ධ - රස - ඔජා යන රූප සතර, පරිපාලක වූ ජීවිතින්‍ද්‍රියරූපය යන සහජාතරූප නවය හා, එහි පිහිටි කායදසකය හා ඉර්‍ත්‍ථභාවදසක - පුම්හාවදසක යන දසක දෙකෙන් එක් දසකයක් දැ යි යන කර්‍මජරූප විස්ස, ආහාර සමුට්ඨානඔජ‍ට්ඨමකය, චිත්තසමුට්ඨානඔජට්ඨමක ය, උතුසමුට්ඨානඔජට්ඨමකය, යන අනුපාදින්නක වූ අකර්‍මජ වූ රූප සුවිස්ස දැ යි චක්ඛුප්පසාදය හැර සෙසු රූප තෙපණස චක්ඛුධාතු ය, යි ඔහු විසින් නිශ්චය කරණු ලැබේ. සෝතධාතු ආදියෙහි ද මේ ක්‍රමය ‍ම වේ.

කායධාතුයෙහි ඒ රූප තෙපණසින් චක්ඛුදසකය හැර අනික් රූප තෙසාළිස ගන්නේ ය. මෙහි ලා සමහර කෙනෙක් උතු සමුට්ඨානඔජට්ඨමක - චිත්තසමුට්ඨානඔජට්ඨමක යන කලාප දෙකට ශබ්දයත් එකතු කිරීමෙන් නවයක් නවයක් කොට පන්සාළිස් රූපකෙනකුන් ගණිත්. මෙසේ මේ පඤ්චප්පසාදය හා ඔවුන්ට ගොදුරු වූ රූප - ශබ්ද - ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍ය යන දස රූපය දසධාතු නම්. සෙසු සෙළොස් සුඛුමරූප ධම්මධාතු නම් වේ.

චක්ඛුප්පසාදය නිසා රූපය අරමුණු කොට පවත්නා සිත, චක්ඛුවිඤ්ඤාණධාතු නම් වන්නා සේ සෝතප්පසාදය නිසා ශබ්දය අරමුණු කොට පවත්නා සිත, සෝතවිඤ්ඤාණධාතු,යි මේ ඈ ලෙසින් පඤ්චප්පසාදරූප නිසා කුසල් - අකුසල් විසින් ලැබෙන ද්විපඤ්චවිඤ්ඤාණය, පඤ්චවිඤ්ඤාණධාතු නම්. මනෝධාතු සිත් තුන, එක් ම මනෝ ධාතු නම්. මේ සියලු එක් සැටක් වූ ලෞකික සිත් සත්තවිඤ්ඤාණධාතු නම්. මේ එක් අසූවක් සිත් හා යෙදුනු ස්පර්‍ශාදිචෛතසික ධම්මධාතු නම් වේ.

චක්‍ෂුරාදී වූ පස හා රූපාදී වූ පස ද යන රූප දසය හා ධර්‍මධාතුවට අයත් ධර්‍ම අතුරෙහි සොළොස් සුමුඛ රූප ද යන අඩ එකොළොස රූප නම්. ධර්‍මාලම්බනයට අයත් දෙ පණස් චෛතසික හා නිර්‍වාණය, නාම බැවින් නො ගැණේ. චක්ඛුවිඤ්ඤාණධාතු-ඝානවිඤ්ඤාණධාතු-ජිහ්වාවිඤ්ඤාණධාතු-කායවිඤ්ඤාණධාතු-මනෝධාතු-මනෝවිඤ්ඤාණධාතු යන මෙ සත හා ධර්‍මධාතුයෙන් අඩක් වූ දෙ පණස් චෛතසිකය, නිර්‍වාණය යන අඩකින් අටක් වූ කාමධාතු දැ යි මෙසේ අ‍ටළොස් ධාතු වශයෙන් නාම-රූප දෙක ව්‍යවස්ථා කරන්නේ ය.

අනෙකෙක් චක්ඛුධාතුයෙහි කියූ ලෙසින් රූප තෙ පණස හැර පියා චක්ඛුප්පසාදමාත්‍රය ම චක්ථායතනැ යි ගෙණ එහි කී පරිදි අනික් සෝත-ඝාන-ජිහ්වා-කායධාතූන්, සෝතායතන-ඝානායතන-ජිහ්වායතන-කායායතන වශයෙන් ද, ඔවුනට විෂය වූ රූප-ශබ්ද-ගන්‍ධ-රස-ස්ප්‍රෂ්ටව්‍ය යන පස, රූපායතන-සද්දායතන-ගන්‍ධායතන-රසායතන-ඵොටබ්බායතන වශයෙන් ද, ලෞකික සත්ත විඤ්ඤාණධාතූන් මනායතන වශයෙන් ද සිතට නගා ගෙණ, අඩ්ඪ එකාදස ආයතන, රූප ය යි ද, දියඩ්ඪ ආයතන, නාම ය යි ද ද්වාදසායතන වශයෙන් නාම-රූප දෙක ව්‍යවස්ථා කරන්නේ ය.‍ මේ වනාහි ද්වාදශායතන වශයෙන් ව්‍යවස්ථා කිරීම ය.

අනෙකෙක් ‘මේ ශරීරයෙහි කම්ම-චිත්ත-උතු-ආහාර යන සතරින් හට ගත් පඨවි-ආපෝ-තේජෝ-වායෝ යන මහාභූතරූප සතර ය, ඒ සතර ඇසුරු කොට සිටි, වණ්ණ-ගන්‍ධ-රස-ඔජා යන සතර ය, චක්ඛුප්පසාද-සෝතප්පසාද-ඝානප්පසාද-ජිහ්වප්පසාද-කායප්පසාද යන රූප පස ය, හදයවත්‍ථු රූපය, භාව රූපය, ජිවිතින්‍ද්‍රිරෑපය, චිත්තයෙන් හා ඍතුයෙන් හට ගත් ශබ්දය යන මේ සතළොස් නිප්ඵන්නරූපයෝ අනිත්‍යාදි විසින් පිරිමැදීමට සුදුසු වූවෝ, කර්‍මාදී සතරින් නිපන්නෝ, නැසෙන වැනසෙන සැහැවි ඇති බැවින් රූප නම් වෙත්. කායවිඤ්ඤත්ති-වචීවිඤ්ඤත්ති-ආකාසධාතුරූපයාගේ ලහුතා-මුදුතා-කම්මඤ්ඤතා-උපචය-සන්තති-ජරතා-අනිච්චතා යන දස රූපයෝ අනිත්‍යාදි විසින් පිරිමැදීමට සුදුසු නො වෙත්. මොවුහු රූපයන්ගේ ආකාර-විකාර හා රූපාන්තර පිරිසිඳීම් පමණ වූවාහු නිප්ඵන්නරූප නම් ද නො වෙත්. නැසෙන වැනසෙන සැහැවි නැති බැවින් රූපරූප නම් ද නො වෙත්. එහෙත් රූපයෙන්ගේ ආකාර-විකාර අන්තර පරිච්ඡෙද මාත්‍ර බැවින් රූපලෙසින් ගණනට යෙති,යි මේ සත් විසි රූපය, රූපස්කන්‍ධ ය යි ද, මුලින් කියූ එක් අසූවක් සිත් හා යෙදී සිටි වේදනාව, වේදනා ස්කන්‍ධ ය යි ද, ඒ සිත් හා ම යෙදී සිටි, සංඥාව, සංඥාස්කන්‍ධ ය යි ද, සෙසු ස්පර්‍ශාදිචෛතසික, සංස්කාරස්කන්‍ධ ය යි ද, සතර අරූපස්කන්‍ධ නාම ය යි ද ගෙණ පඤ්චස්කන්‍ධමුඛයෙන් නාම-රූප දෙක ව්‍යවස්ථා කරන්නේ ය. මෙහි කියූ දශවිධ අනිෂ්පන්නරූපයෝ අනිත්‍යාදි වශයෙන් විදර්‍ශනා කිරීම පිණිස නො පවත්නෝ ද ආකාර-විකාර ලක්‍ෂණමාත්‍රිකවූවෝ රූපැ යි ගණු ලැබෙත්. මේ වනාහි පඤ්චස්කන්‍ධ වශයෙන් නාම රූප දෙක ව්‍යවස්ථා කිරීම ය.

අනෙකෙක් නැසෙන වැනසෙන සැහැවි ඇති පඨවී ආදී සතර මහාභූතරූප හා ඒ අසුරු කො‍ට පවත්නා සෙසු උපාදායරූප සූවිස්ස, මේ අත්බැව්හි රූපැ යි ගන්නේ ය. එසේ ම මනායතනය හා ධර්‍මායතනයෙහි එක දෙශයක් වූ දෙ පණස් චෛතසික ද, නිර්‍වාණය ද නාමැ යි ගන්නේ ය.‍ මෙසේ ගෙණ මේ නාමය ද, මේ රූපය ද, නාම-රූපැ යි සැකෙවින් නාම-රූප දෙක ව්‍යවස්ථා කරන්නේ ය. මේ වනාහි සැකෙවින් නාම-රූප දෙක ව්‍යවස්ථා කිරීම ය.

මෙසේ ශුන්‍යතාදී වූ විමෝක්ෂ මුඛයෙන් රූප පිරිසිඳ දැන අරූප පිරිසිඳින කල්හි ඒ අරූපධර්‍ම ඉතා සියුම් බැවින් නොවැටහෙනු හැකි ය. එකල්හි රූපධර්‍ම ම පුන පුනා මෙනෙහා කළ යුතු ය. රූපධර්‍ම පුන පුනා මෙනෙහි කරණ කල්හ, යම් යම් ලෙසකින් රූපධර්‍ම පිරිසිදු ව නිවරවුල් ව වැටහේ ද, ඒ ඒ ලෙසින් රූපධර්‍ම ඇසුරු කොට සිටි අරූපධර්‍ම ද නිරායාශයෙන් වැටහෙනු ඇත.

කැඩපතකින් මූණ බලන්නක්හට කැඩපත අපිරිසිදු බැවින් මූණ පැහැදිලි ව නො‍ පෙණේ නම්, නැවැත එය පිරිසිදු කොට මූණ බලන කල්හි ඉතා පිරිසිදු ලෙසින් මූණ පෙනෙන්නේ ය.

තෙල් කැමැත්තක්හු තල අඹරා පිටි කොට ඒ පිටි බඳුනෙක දමා දිය ඉස වරක් දෙකක් පෙළූ පමණින් තෙල් නො ලැබුන ද එය බැහැර නො දමා නැවැත නැවැත උණුදිය ඉස මැඩීමෙන් තෙල් ලබා ගත හැකි ය.

දිය පිරිසිදු කරන්නට ඉඟිනි ඇට දිය කළ ය තුළ බහා වරක් දෙ වරක් ‍එය අතින් ගෙණ කළයෙහි ගැටූ පමණින් දිය පහන් නො වූව ද නැවැත නැවැත ගැටීමෙන් බොරමඩ පහ ව ගොස් දිය පහන් වන්නේ ය.

එපරිද්දෙන් විදර්‍ශකයා විසින් මෙහි ලා වීර්‍ය්‍යය නො හැර රූපය ම නැවැත නැවැත පිරිමදින කල්හි මෙනෙහි කරණ කල්හි පිරිසිදු කළ කැඩපතෙහි මූණ පෙණෙන්නා සේ තලපිටි නැවැත නැවැත පෙළත්, තෙල් ලැබෙන්නා සේ ඉඟිනි ඇට නැවැත නැවැත ගටත්, දිය පහන් වන්නා සේ විදර්‍ශකයාගේ සම්මර්‍ශනඥානයට පටහැනි ව සිටි කෙලෙස් යටපත් වීමෙන් සිත පහන් වූ කල්හි රූපධර්‍ම හා රූපධර්‍ම ඇසුරු කොට සිටි අරූපධර්‍ම ද පහන්ව නිරවුල් ව වැටහෙන්නෝ ය.

යන්ත්‍රයෙහි උක් දඬු බහා වරක් දෙකක් පෙළා නො නැවැතී පැණි ලැබෙන තුරු ම යන්ත්‍රය ක්‍රියා කරවන්නා සේ, බඩු පැහැර ගත් සොරකු අල්ලා වරකින් දෙකෙකින් තොරතුරු විචාරා නො දත හැකි පමණින් සොරු අත් නො හැර සොරු තළා පෙළා තොරතුරු දැන ගන්නා සේ, රියට නො පුරුදු නො දැමුනු ගොනකු රියෙහි බැඳ වරකින් දෙ වරකින් නො දැමුන ද එහිලා නැවැත නැවැත උත්සාහ කරන්නා සේ, යම් කිසි මාළුපිණියක් ගින්නෙන් පිසන්නකු එය පැසෙනතුරු ම නැවැත නැවැත ගිනි දල්වන්නා සේ, යට කියූ ලෙසින් විදර්‍ශකයා විසින් රූපධර්‍ම පිරිසිඳිය යුතු ය. මෙනෙහි කළ යුතු ය. පරිග්‍රහ කටයුතු ය.

මෙසේ ඉතා පිරිසිදු ලෙසින් කළ රූප පිරිසිඳීම් ඇතියහුට අරූපධර්‍ම, ස්පර්‍ශ වශයෙන් හෝ, වේදනා වශයෙන් හෝ, විඥාන වශයෙන් හෝ වැටහෙන්නේ ය. ‘පෘථිවි ධාතුව කැකුළු බව ලකුණු කොට සිටියේ ය’ යනාදි ලෙසින් ධාතූන් පිරිසිඳින කල්හි ඇතැම් එකක්හට ස්පර්‍ශය පළමු කොට අරමුණු වන්නේ ය. ඒ හා යෙදී සිටි වේදනාව වේදනාස්කන්‍ධ ය යි ද, සංඥාව සංඥාස්කන්‍ධ ය යි ද, ස්පර්‍ශය හා චේතනාව සංස්කාරස්කන්‍ධ ය යි ද, සිත විඥානස්කන්‍ධ ය යි ද, වැටහෙනු ඇත.

එසේ ම ‘කෙශයෙහි කැකුළු බව පඨවී ධාතුය - ආශ්වාස - ප්‍රශ්වාස දෙක්හි පඨවී ධාතුව කැකුළුබව ලකුණු කොට ඇත්තේ ය’ යි ස්පර්‍ශය පළමු කොට අරමුණු වන්නේ ය. ඒ හා යෙදුනු වේදනාව වේදනාස්කන්‍ධ ය යි ද, සංඥාව සංඥාස්කන්‍ධ ය යි ද, ස්පර්‍ශය හා චේතනාව සංස්කාරස්කන්‍ධ ය යි ද, සිත විඥානස්කන්‍ධ ය යි ද වැටහෙන්නෝ ය. මෙසේ අරූපධර්‍මයෝ ස්පර්‍ශ වශයෙන් වැ‍ටහෙත්.

එකක් හට ‘පඨවි ධාතුව කැකුළු බව ලකුණු කොට සිටියේ ය, ඒ පඨවි ධාතු අරමුණෙහි රස විඳින්නා වූ වේදනාව වේදනාස්කන්‍ධ ය යි ද, ඒ හා යෙදුනු සංඥාව සංඥාස්කන්‍ධ ය යි ද, ඒ හා යෙදුනු ස්පර්‍ශය හා චේතනාව සංස්කාරස්කන්‍ධ ය යි ද, සිත විඥානස්කන්‍ධ ය යි ද, වැටහෙනු ඇත.

එසේම කෙශයෙහි පඨවි ධාතුව කැකුළුබව ලකුණු කොට ඇත්තේ ය - ආශ්වාස - ප්‍රශ්වාස දෙක්හි පඨවි ධාතුව කැකුළු බව ලකුණු කොට ගත්තේ ය, ඒ අරමුණු කොට පවත්නා එහි රස විඳුනා වේදනාව වේදනාස්කන්‍ධ ය යි ද, සංඥාව සංඥාස්කන්‍ධ ය යි ද, ස්පර්‍ශය හා චේතනාව සංස්කාරස්කන්‍ධ ය යි ද, ඒ හා යෙදුනු සිත විඥානස්කන්‍ධ ය යි ද වැටහෙන්නෝ ය. මෙසේ අරූපධර්‍මයෝ වේදනා වශයෙන් වැටහෙත්.

එකක්හට ‘පඨවි ධාතුව කැකුළු බව ලකුණු කොට සිටියේ ය’යි අරමුණු දැන ගන්නා විඥානය විඥානස්කන්‍ධ ය යි ද, ඒ හා යෙදුනු වේදනාව වේදනාස්කන්‍ධ ය යි ද, සංඥාව සංඥාස්කන්‍ධ ය යි ද, ස්පර්‍ශ චේතනා සංස්කාරස්කන්‍ධ ය යි ද වැටහෙත්.

එසේ ම ‘කෙශයෙහි පඨවී ධාතුව කැකුළු බව ලකුණු කොට ඇත්තේ ය - ආශ්වාස - ප්‍රශ්වාස දෙක්හි පඨවී ධාතුව කැකුළු බව ලකුණු කොට ඇත්තේ ය’යි අරමුණු දැන ගන්නා විඥානය: විඥානස්කන්‍ධ ය යි ද, ඒ හා යෙදුනු වේදනාව වේදනාස්කන්‍ධ ය යි ද, සංඥාව සංඥාස්කන්‍ධ ය යි ද, ස්පර්‍ශ - චේතනා සංස්කාරස්කන්‍ධ ය යි ද වැටහෙත් මෙසේ අරූපධර්‍මයෝ විඥාන වශයෙන් වැටහෙත්.

මෙපරිද්දෙන් ‘කර්‍මයෙන් හට ගන්නා කෙශයෙහි පඨවී ධාතුව කැකුළුබව ලකුණු කොට ඇත, යනාදී ක්‍රමයෙන් දෙසාළිස් ධාතු කොටස් හි සතර සතර ධාතු වශයෙන්, සෙසු චක්ඛු දාතු ආදී රූප පිරිසිඳීම් මුඛයන්හි ද සියල නයභේදය දැන එයට අනුව අර්‍ත්‍ථ උගත යුතු ය.

මෙසේ පිරිසිදු ලෙසින් නිරවුල් ව රූප පිරිසිඳීම් ඇත්තහුට අරූපධර්‍ම, ස්පර්‍ශ - වේදනා - විඥාන යන තුන් අයුරින් පැහැදිලි ව වැටහෙන බැවින් රූපපරිග්‍රහය ඇත්තා වූ ම ඔහු විසින් නාම පරිග්‍රහයෙහි නාම පිරිසිඳීමෙහි ද උත්සාහවත් විය යුතු ය. ඉන් අන්හු විසින් එහිලා උත්සාහ නො කටයුත්තේ ය. මෙ‍සේ ස්පර්‍ශාදීන්ගේ වශයෙන් දතයුතු ධර්‍මයන්හි සිහිය එළඹ සිටි කල්හි චතුර්විධ අරූපස්කන්‍ධ, නාමැ යි ද, ඔවුනට අරමුණු වූ මහාභූත රූප සතර හා ඒ මහාභූතරූපයන් නිසා පවත්නා සූවිසි උපාදාය රූප, රූපැ යි ද හෙතෙමේ නිෂ්ඨාවට යන්නේ ය. පිරිසිඳින්නේ ය. වටහා ගන්නේ ය. එහි නුවණ බැස ගන්නේ ය.

යෝගී තෙමේ මෙහි මෙසේ සතරධාතු - අටළොස් ධාතු - දොළොස් ආයතන - පස් වැදෑරුම් ස්කන්‍ධ විසින් සියලු ත්‍රෛභූමක ධර්‍ම කඩුවකින් සුමුගුවක් විවෘත කරන්නකු සේ එකට බැඳී තුබූ තල් කඳක් පළන්නකු සේ නාමය ද, රූපය ද දෙපරිද්දෙකින් නියම කොට ගෙණ නාම රූප මාත්‍රයෙන් මතු අන්‍ය වූ සත්ත්‍වයෙක් පුද්ග‍ලයෙක් දෙවියෙක් බ්‍රහ්මයෙක් නැතැ යි නිමාවට යන්නේ ය. මෙ තෙමේ ඇති සැටියෙන් නාම - රූප නියම කොට සත්ත්‍ව - පුද්ගල මුළාව දුරු කරන්නට නො මුළා බැව්හි සිත පිහිටු වන්නට ‘මේ ධර්‍මස්වභාවය නාම - රූප මාත්‍රයෙක් ම ය, සත්ත්‍වයෙක් පුද්ගලයෙක් නැත්තේ ය’යි නිශ්චයට බසින්නේ ය. අර්‍ත්‍ථ ව්‍යක්තිය පිණිස මෙ ද දන්නේ ය.

“යථාපි අඞ්ගසම්භාරා හොති සද්දො රථො ඉති,

එවං බන්‍ධෙසු සනෙත්සු හොති සත්තොති සම්මුති”

‘අවයව සමූහය එක් වූ කල්හි රියය යන ශබ්ධයෙන් නැගී එන්නේ යම්සේ ද, එ පරි‍ද්දෙන් රූපාදිස්කන්‍ධ ඇති කල්හි සත්ත්‍ව යන සම්මුතිය ලෝකයා අතර වන්නේ ය’ යනු අරුත්.

තවද මෙ ද දතයුතු ය:- “සෙය්‍යථාපි ආවුසො කට්ඨං ච පටිච්ච වල්ලිං ච පටිච්ච මත්තිකං ච පටිච්ච තිණං ච ආකාසො පරිවාරිතො අගාරන්න්‍චෙ ව සඞ්ඛං ගච්ඡති, එවමෙව ඛො ආවුසො අට්ඨිං ච පටිච්ච නහාරුං ච පටිච්ච මංසං ච පටිච්ච චම්මං ච පටිච්ච ආකාසො පරිවාරිතො රූපනේත්‍වෙච යඞ්ඛං ගච්ඡති” යනු. ‘කාෂ්ඨය නිසා වැල් නිසා මැටි නිසා තණ නිසා අහස පිරිවරණ ලදුයේ ගේය කියන්නා සේ ඇට නිසා නහර නිසා මස් නිසා සම නිසා අහස පිරිවරණ ලදුයේ ශරීරය යි ව්‍යවහාරයට එන්නේ ය’ යනු එහි කෙටි තේරුම ය.

මෙහිලා මෙ ද දත යුතු ය:-

“දුක්ඛමෙව හි සම්භොති දුක්ඛං තිට්ඨති වෙති ච,

නාඤ්ඤත්‍ර දුක්ඛා සම්භොති නාඤ්ඤත්‍ර දුක්ඛා නි‍රුජ්ඣති” යනු.

‘ලෝකයෙහි දුක ම හටගණියි. දුක ම පවති. දුක ම නිරුද්ධ වේ. දුක හැර දුකින් පිට කිසිවෙක් නැත්තේ ය. දුක හැර කිසිවෙක් නිරුද්ධ නො වේ, යන අරුත්.

මෙසේ බුදුරජානන් වහන්සේ නොයෙක් ලෙසින් පරමාර්‍ත්‍ථ විසින් නාම - රූප දෙක ම දක්වා වදාළ සේක. සත්ත්‍ව - පුද්ගලාදීන්ගේ වශයෙන් සම්මුතිමාත්‍රය මුත් සත්ත්‍වයකු පුද්ගලයකු නො ද දැක් වූ සේක.

අකුරු - සක් - මැදිරි - නැබ - රියහිස් ඈ අවයව එක් අයුරකින් පිහිටි කල්හි රථ යන ව්‍යවහාරය මතු ව ආයේ ද, එහි එක් එක් අවයවය වෙන් වෙන් කොට බලන කල්හි එහි රථයක් නො වන්නා සේ ගල් - ගඩොල් - වැලි - සුණු - දැවදඬු ඈ ගෘහොපකරණ එක් අයුරකින් පිහිටි කල්හි ගේ යන ව්‍යවහාරය මතු ව ආයේ ද, එහි එක් එක් අවයවය වෙන් වෙන් කොට බලන කල්හි එහි ගෙයක් නම් නො වන්නා සේ, මහපට ඇඟිලි ඈ එක් අයුරකින් තුබූ කල්හි මිට යන ව්‍යවහාරය නැගී ආයේ ද, මහපට ඇඟිලි ඈ විදහා ගත් කල්හි මිටක් නම් නො වන්නා සේ, දෙණ හා තත් එක් කොට බැඳි කල්හි වීණා යන ව්‍යවහාරය නැගී ආයේ ද, එ දෙක එක් කොට නො බැඳි කල්හි වීණාවක් නම් නො වන්නා සේ, ඇත් - අස් - රිය - පාබළයන් එක් වූ කල්හි ‍ සේනා යන ව්‍යවහාරය මිනිසුන් කෙරෙහි වැද සිටියේ ද, ඇත් - අස් - රිය - පාබළයන් වෙන් වෙන් ව සිටි කල්හි සෙනාවක් නම් නො වන්නා සේ, පවුරු - ගේදොර - ගෝපුර ඈ එක් තැනක වූ කල්හි නුවර යන ව්‍යවහාරය මිනිසුන් අතර පැතිර ගියේ ද, පවුරු - ගේදොර - ගෝපුර ඈ නො වූ තැන නුවරක් නම් නො වන්නා සේ, කඳ - අතු - කොළ ඈ එක් අයුරකින් සැදී ගත් කල්හි රුක යන ව්‍යවහාරය මුවතුඩ රැඳුනේ ද, ඒ එකෙකක් වෙන් වෙන් කොට ගත් කල්හි රුකක් නම් නො වන්නා සේ, නාම - රූප දෙක එක් වූ තැන සත්ත්‍ව - පුද්ගල විසින් පවත්නා සම්මුතියෙහි ලා පෙණී සිටියේ ද, එ දෙක වෙන් වෙන් කොට නාම - රූපාදීන්ගේ වශයෙන් පරමාර්‍ත්‍ථ විසින් සොයා බලන කල්හි සත්ත්‍ව - පුද්ගල ව්‍යවහාර බිඳ වැටෙන්නේ ය. නාම - රූප මාත්‍රය ම මුත් සත්ත්‍වයෙක් පුද්ගලයෙක් නැත්තේ ය යන තීරණයට වැටෙන්නේ ය. මෙහි ‘මම වෙමි’යි මාන වශයෙන් “මම”යි ආත්ම වශයෙන් ගැණීමට තැනක් හසු නො වන්නේ ය. පරමාර්‍ත්‍ථ විසින් නාම - රූප ම දක්නහුගේ ඒ දැකීම “යථාභූතදස්සන”යි කියනු ලැබේ. මේ පරමාර්‍ත්‍ථ තත්ත්‍වය හැර පියා යමෙක් ‘සත්ත්‍වයෙක් ඇතැ’යි ගන්නේ නම් හෙතෙමේ ‘සත්ත්‍ව’ ගත් ඒ නාම - රූපයන්ගේ විනාශය හෝ අවිනාශය පිළිගන්නේ ය. විනාශය පිළිගන්නේ උච්ඡෙදදෘෂ්ටියෙහි ද, අවිනාශය පිළිගන්නේ ශාශ්වතදෘෂ්ටියෙහි ද වැටෙන්නේ ය. සත්ත්‍වයා ශාශ්වතැ යි ගන්නේ භවයෙහි ගැලී යන්නේ ය. උච්ඡෙදැ යි ගන්නේ ධර්‍මතත්ත්‍වය ඉක්මවා යන්නේ ය.

බුදුරජානන් වහන්සේ මෙය මෙසේ වදාළ සේක: “ද්වීහි භික්ඛවෙ! දිට්ඨිගතෙහි පරියුට්ඨිතා දෙවමනුස්සා ඔලීයන්ති එකෙ, අතිධාවන්ති එකෙ, චක්ඛුමන්තොව පස්සන්ති, කථඤ්ච භික්ඛවෙ! ඔලීයන්ති එකෙ? භවරාමා භික්ඛවෙ! දෙවමනුස්සා භවරතා භවසම්මුද්දිතා තෙසං භවනිරොධාය ධම්මෙ දෙසියමානෙ චිත්තං න පක්ඛන්‍දති, නප්පසීදති, නාධිමුච්චති, එවං ඛො භික්ඛවෙ! ඔලීයන්ති එකෙ. කථඤ්ච අතිධාවන්ති එකෙ? භවෙනෙව ඛො පනෙකෙ අට්ටීය මානා හරායමානා ජිගුච්ඡමානා විභවං අභිනන්‍දන්ති, යතො කිර භො අයං අත්තා කායස්ස භෙදා උච්ඡිජ්ජිස්සති, විනස්සති, න හොති පරම්මරණා එතං සන්තං එතං පණීතං එතං යථාවන්ති. එවං ඛො භික්ඛවෙ! අතිධාවන්ති එකෙ. කථඤ්ච භික්ඛවෙ! චක්ඛුමන්තො පස්සන්ති ඉධ භික්ඛවෙ! භික්ඛු භූතං භූතතො පස්සති, භූතං භූතතො දිස්වා භූතස්ස නිබ්බිදාය විරාගාය නිරොධාය පටිපන්නො හොති. එවං ඛො භික්ඛවෙ! චක්ඛුමන්තො පස්සන්ති”යි මේ මෙහි අරුත්: “මහණෙනි! ශාශ්වත - උච්ඡෙදදෘෂ්ටි දෙකින් මැඩුනු දෙවි මිනිසුන් අතුරෙහි ඇතැම් කෙනෙක් භවයෙහි ගැලී යෙත්, ඇතැම් කෙනෙක් අතිධාවනය කෙරෙත්. ඇති තතු පිරිසිඳ දන්නා වූ නුවණැස් ඇත්තාහු ම නියම තතු දකිත්. මහණෙනි! කෙසේ ඇතැම් කෙනෙක් භවයෙහි ගැලී යෙත් ද? මහණෙනි! ඇතැම් දෙවි මිනිස් කෙනෙක් භවයෙහි සතුටු වූවාහු භවයෙහි ඇලුනාහු භවයෙහි තදින් ඇලුනාහු වෙති, ඔවුනට භවනිරෝධය පිණිස දහම් දෙසන කල්හි සිත එහි නො බසියි, නො පහදියි, නො පිහිටයි, නිශ්චයට නො පැමිණෙයි, මහණෙනි! ඇතැම් දෙවි මිනිස් කෙනෙක් කෙසේ අතිධාවනය කෙරෙත් ද? ඇතැම් කෙනෙක් භවයෙන් ම පෙළෙන්නාහු ලජ්ජිත වන්නාහු පිළිකුලට පැමිණියාහු විභව නම් වූ උච්ඡෙදය කැමැති වෙත්, යම් හෙයකින් මේ ආත්මය මරණින් පසු සිඳී යේ ද වැනසේ ද මරණින් මතු නො වේ ද, මේ උච්ඡෙදය ශාන්ත ය, මේ සිඳී යෑම ප්‍රණීත ය, මේ සිඳී යෑම නියම තත්ත්‍වය යි. මහණෙනි! මෙසේ ඇතැම් දෙවි මිනිස්සු අතිධාවනය කෙරෙත්. මහණෙනි! කෙසේ නුවණැස් ඇත්තාහු ම දකිත් ද? මහණෙනි! මේ ශාසනයෙහි මහණ තෙමේ පඤ්චස්කන්ධය පඤ්චස්කන්ධ වශයෙන් දැක පඤ්චස්කන්ධයෙහි කළකිරීම පිණිස නො ඇලීම පිණිස නිරුද්ධිය පිණිස පිළිපන්නේ වෙයි, මහණෙනි! නුවණැස් ඇත්තාහු මෙසේ දකිත්” යනු.

නූලෙන් ක්‍රියා කරවන දැව රූකඩය සිස් වූයේ දිවි නැතියේ උත්සාහ නැතියේ ක්‍රියා නැතියේ ද, දැව හා නූල් එකතු වීමෙන් යනුයේ සිටිනුයේ උත්සාහ ඇතියකු දිවි ඇතියකු ක්‍රියා ඇතියකු සේ පෙණේ ද, එසේ මේ නාම - රූප දෙක ද සිස් වූයේ දිවි නැතියේ උත්සාහ නැතියේ ක්‍රියා නැතියේ ද එ දෙක එක්වීමෙන් යනුයේ සිටිනුයේ උත්සාහ ඇතියකු දිවි ඇතියකු ක්‍රියා ඇතියකු සේ පෙණෙන්නේ ය.

“නාමං ච රූපං ච ඉධත්‍ථි සච්චතො

නහෙත්‍ථ සත්තො මනුජො ච විජ්ජති,

සුඤ්ඤං ඉදං යන්තමිචාභිසඞ්ඛටං

දුක්ඛස්ස පුඤ්ජො තිණ්කට්ඨසාදිසො”

සත්‍ය විසින් මේ සිරුරෙහි නාමය හා රූපය ඇත්තේ ය. මේ සිරුරෙහි සත්ත්‍වයෙක් ද නැත. මිනිසෙක් ද නැත. මේ සිරුර දැවදඬුයෙන් කළ රූකඩයක් සේ හිස් ය. දුක් ගොඩෙකි. තණ හා දරකෝටු සමාන ය.

බට දඬු මිටි දෙකක් එකකට එකක් හේත්තු කොට ඇද නො වැටෙන සේ තුබූ කල්හි එකකට එකෙක් ආධාරව සිටියේ ඇද නො වැටේ ද, එකක් වැටුනු කල්හි අනෙකත් ඇද වැටේ ද, එමෙන් පංචවොකරභවයෙහි නාම - රූප දෙක උනුන් නිසා පවත්නේ ය. එකකට එකෙක් රුකුල් දී සිටුනේ ය. එකකු වැටෙන කල්හි අනෙක ද වැටේ. මේ මෙහි ව්‍යක්ති ය.

“යමකං නාමරූපංච උභො අ‍ඤ්ඤොඤ්ඤනිස්සිතා,

එකස්මිං භිජ්ජමානස්මිං උභො භිජ්ජන්ති පච්චයා” යනු.

දඬුකඩකින් බෙරයට ගැසූ කල්හි බෙරය නිසා ශබ්දය පවත්නේ ය. එහෙත් බෙරය අනෙකෙක. ශබ්දය අනෙකෙක. බෙරය හා ශබ්දය මුසු නො වේ. බෙරය ශබ්දය නො වේ. ශබ්දය බෙරය නො ‍වේ. බෙරය ශබ්දයෙන් හිස් ය. ශබ්දය බෙරයෙන් හිස් ය. එමෙන් වස්තු - ද්වාර - ආලම්බන යන රූපයත් නිසා නාමධර්‍ම පවත්නා කල්හි රූපය අනෙකෙක. නාමය අනෙකෙක. නාම - රූපදෙක උනුන් හා මුසු නො වේ. නාමය රූපයෙන් හිස් ය. රූපය නාමයෙන් හිස් ය. නාමය රූපය නො වේ. රූපය නාමය නො වේ. එහෙත් බෙරය නිසා ශබ්දය පවත්නා සේ රූපය නිසා නාමය පවත්නේ ය.

“න චක්ඛුතො ජායරෙ එස්සපංචමා

න රූපතො නො ච උභින්නමන්තරා,

හෙතුං පටිච්ච පහවන්ති සඞ්ඛතා

යථාපි සද්දො පහටාය භෙරියා”

ස්පර්‍ශ - වේදනා - සංඥා -‍ චේතනා - චිත්ත යන පස, ඇසින් නො උපදී. රූපයෙන් උපදනේ ද නො වේ. ඇස - රූප දෙදෙනා අතු‍රෙනුදු උපදනේ ද නො වේ. ඇස-රූප-ආලෝක-මනසිකාර යන හේතුව නිසා සඞ්ඛතධර්‍ම උපදි. බෙරයට ගැසූ කල්හි ශබ්දය උ‍පදන සේ උඵදි.

“න සොතතො ජායරෙ ඵස්සපඤ්චමා

න සද්දතො නො ච උභින්නමන්තරා,

හෙතුං පටිච්ච පභවන්ති සඞ්ඛතා

යථාපි සද්දො පහටාය භෙරියා”

ස්පර්‍ශ-වේදනා-සංඥා-චේතනා-චිත්ත යන පස, කණින් නොඋපදී. ශබ්දයෙන් උපදනේ ද නො වේ. කණ-ශබ්ද දෙදෙනා අතුරෙනුදු උපදනේ නො වේ. කණ-ශබ්ද-කන්සිදුර-මනසිකාර යන හේතුව නිසා සඞ්ඛතධර්‍ම උපදී. බෙරයට ගැසූ කල්හි ශබ්දය උපදනා සේ උපදී.

“න ඝානතො ජායරෙ ඵස්සපඤ්චමා

න ගන්‍ධතො නො ච උභින්නමන්තරා,

හෙතුං පටිච්ච පභවන්ති සඞ්ඛතා

යථාපි සද්දො පහටාය භෙරියා”

ස්පර්‍ශ-වේදනා-සංඥා-චේතනා-චිත්ත යන පස, නැහැයෙන් නො උපදි. ගන්‍ධයෙන් උපදනේ ද නො වේ. නාසිකා - ගන්‍ධ දෙදෙනා අතුරෙනුදු උපදනේ නො වේ. නැහැය - ගඳ - වායු මනසිකාර යන හේතුව නිසා සඞ්ඛතධර්‍ම උපදී. බෙරයට ගැසූ කල්හි ශබ්දය උපදනා සේ උපදි.

“න ජිහ්වතො ජායරෙ ඵස්සපඤ්චමා

න රසතො නා ච උභින්නමන්තරා

හෙතුං පටිච්ච පභවන්ති සඞ්ඛතා

යථාපි සද්දො පහටාය භෙරියා”

ස්පර්‍ශ-වේදනා-සංඥා-චේතනා-චිත්ත යන පස, දිවෙන් නො උපදි. රසයෙන් උපදනේ ද නො වේ. දිව-රස දෙදෙනා අතුරෙනුදු උපදනේ නො වේ. දිව-රස-කෙල-මනසිකාර යන හේතුව නිසා සඞ්ඛතධර්‍ම උපදි. බෙරයට ගැසූ කල්හි ශබ්දය උපදනා සේ උපදි.

“න කායතො ජායරෙ ඵස්සපඤ්චමා

න ඵස්සතො නො ච උභින්නමන්තරා,

හෙතුං පටිච්ච පභවන්ති සඞ්ඛතා

යථාපි සද්දො පහටාය භෙරියා”

ස්පර්‍ශ-වේදනා-සංඥා-චේතනා-චිත්ත යන පස, කයින් නො උපදි. ස්පර්‍ශයෙන් උපදනේ ද නො වේ. කාය-ස්පර්‍ශ දෙදෙනා අතුරෙනුදු උපදනේ නො වේ. කය - පැහැසිය යුත්ත - තදබව - මනසිකාර යන හේතුව නිසා සඞ්ඛතධර්‍ම උපදි. බෙරයට ගැසූ කල්හි ශබ්දය උපදනා සේ උපදි.

“න වත්‍ථුරූපා පභවන්ති සඞ්ඛතා

න චා පි ධම්මායතනෙහි නිග්ගතා,

හෙතුං පටිච්ච පභවන්ති සඞ්ඛතා

යථාපි සද්දො පහටාය භෙරියා”

හෘදයවස්තුරූපයෙන් සඞ්ඛතධර්‍මයෝ නො උපදිත්. ඒ සඞ්ඛතධර්‍මයෝ ධර්‍මායතනයෙනුදු නො නික්මෙත්. හේතුව නිසා හට ගණිත්. බෙරයට ගැසූ කල්හි ශබ්දය උපදනා සේ උපදිත්.

නාමය තෙද නැත්තේ ය. තම තෙදින් පවතින් නො හැක්කේ ය. නො කන්නේ ය. නො බොන්නේ ය. කතා නො කරන්නේ ය. ඉරියවු නො ද පවත් වන්නේ ය. රූපය තෙද නැත්තේ ය. තම තෙදින් පවතිනු නො හැක්කේ ය. කනු කැමැති බවෙක් නැත්තේ ය. බොනු කැමැති බවෙක් නැත්තේ ය. කතා කරණු කැමැති බවෙක් නැත්තේ ය. ඉරියවු පැවැත්වීමෙහි කැමැති බවෙක් නැත්තේ ය. නාමයට කනු කැමැති බව, බොනු කැමැති බව, කතා කිරීමෙහි කැමැති බව, ඉරියවු පැවැත්වීමෙහි කැමැති බව ඇති කල්හි රූපය කන්නේ ය. බොන්නේ ය. කතා කරන්නේ ය. හිඳින්නේ ය. සිටින්නේ ය. ඇවිදින්නේ ය. නිදන්නේ ය.

උත්පත්තියෙන් අන්‍ධ වූවෙක් දෙපා කොර වූවකු හා එක් ව ගමනක් යනු කැමැත්තේ, අන්‍ධයා කොරාට කතා කොට “යහළුව! මට පයින් යා හැකි ය, එහෙත් මග තොට ඇති උස් පහත් තැන් වළගොඩැලි - කණු කටු බැලීමට මට ඇස් නැත්තේ ය”යි කී ය. එ කල්හි කොරා ද “යහළුව! මට ඇස් ඇත්තේ ය, ඇසින් බැලිය හැකි ය, එහෙත් යෑමට ඊමට මට පා නැත්තේ ය”යි කී ය. මෙසේ කතාවට වැටුනු ඒ දෙදෙන දවසක් එක් ව තුටු පහටු ව අන්‍ධයා, කොරා තම කර පිට තබා ගත්තේය. කොරා ද අන්‍ධයාගේ කර පිට හිඳ ‘වම හැර දකුණට යව, දකුණ හැර වමට යව’යි අන්‍ධයාට කියන්නේ ය. අන්‍ධයා කොරා කියන ලෙසට කොරාත් කර තබාගෙණ වරක් වම හැර දකුණට යන්නේ ය. වරක් දකුණ හැර වමට යන්නේ ය. මෙහි අන්‍ධයාත් කොරාත් දෙදෙන ම තෙද නැතියෝ ය. දුබලයහ. තම තමන්ගේ තෙදින් බලයෙන් යනු නො හැක්කෝ ය. දෙදෙන එක් ව උනුන් නිසා යන්නෝ ය. මෙහිලා දෙදෙනම සමයහ. එකෙක් එකකුට යටත් නො වේ. එ මෙන් නාමය ද තෙද නැත්තේ තමා තෙදින් නො උපදනේ ඒ ඒ ක්‍රියාවන්හි නො පවත්නේ ය. රූපය ද තෙද නැත්තේ තමා තෙදින් නො උපදනේ ඒ ඒ ක්‍රියාවන්හි නො පවත්නේ ය. එහෙත් උනුන් නිසා ඉපැත්ම හා පැවැත්ම හා වන්නේ ය.

“න සකෙන බලෙන ජායරෙ

නො පි සකෙන බලෙන තිට්ඨරෙ

පරධම්මානුවත්තිනො

ජායරෙ සඞ්ඛතා අත්තදුබ්බලා”

නාම රූප ධර්‍මයෝ ස්වකීය බලයෙන් නො උපදිත්. ස්වකීය බලයෙන් නො සිටිත්. අන් දහම් අනුව පවත්නාහුය. තුමූ දුබලයහ.

“පරපච්චයතො ච ජායරෙ

පර ආරම්මණතො සමුට්ඨිතා,

ආරම්මණප්පච්චයෙහි ච

පරධම්මෙහි ච මෙ පභාවිතා”

නාම රූප ධර්‍මයෝ අන්‍ය ධර්‍මයක්හුගේ හේතුයෙන් උපදිත්. අන්‍ය ධර්‍මයක්හුගේ අරමුණු විසින් පරා අයත් දහම් එල්බ ගෙණ නැගී සිටිත්. මේ සඞ්ඛත ධර්‍මයෝ ආරම්මණ - හේතූන්ගෙන් ද, තමා කෙරෙන් වෙන් වූ ධර්‍මයන්ගෙන් ද උපදනාහු වෙත්.

“යථාපි නාවං නිස්සාය මනුස්සා යන්ති අණ්ණවෙ,

එවමෙව රූපං නිස්සාය නාමකායො පවත්තති”

යම්සේ නැව නිසා මිනිස්සු මුහුදෙහි යෙත් ද, එපරිද්දෙන් රූපය නිසා නාමකය පවතී.

“යථාව මනුස්සෙ නිස්සාය නාවා ගච්ඡති අණ්ණවෙ,

එවමෙව නාමං නිස්සාය රූපකායො පවත්තති”

යම් සේ මිනිසුන් නිසා නැව මුහුදෙහි යේ ද, එපරිද්දෙන් නාමය නිසා රූපකය පවතී.

“උභො නිස්සාය ගච්ඡන්ති මනුස්සා නාවා ච අණ්ණවෙ,

එවං නාමඤ්ච රූපඤ්ච උභො අ‍ඤ්ඥොඤ්ඤනිස්සිතා”

මිනිස්සු හා නැව හා ඒ දෙපක්‍ෂය නිසා ම මුහුදෙහි යන්නාහ. එපරිද්දෙන් නාමය හා රූපය ද යන දෙදෙන උනුන් නිසා පවත්නාහ.

මෙසේ නානා නයින් නොයෙක් ක්‍රමයෙන් නාම-රූප විනිශ්චය කරන්නහුගේ පංචස්කන්‍ධවිෂ‍යයෙහි බොහෝ කලක් පැවැති සත්ත්‍වසංඥාව ය‍ටපත් ව නො මුළාබැව්හි පිහිටි නාම-රූපයන් ගේ ඇති තතු දැනීම දිට්ඨිවිසුද්ධි ය යි සැකෙවින් දතයුතු ය. නාමරූපවවත්‍ථාන - සඞ්ඛාරපරිච්ඡෙද යනු විසිනුදු මෙය බණ පොතපතෙහි කියන ලද්දේ ය. විස්තර දන්න විශුද්ධිමාර්‍ගය බැලිය යුතු ය. මෙහි කියන ලද්දී ඉතා කෙටි කතාවක් ය.

දිට්ඨිවිසුද්ෂියෙහි දී පිරිසිඳ දත් නාම-රූපධර්‍මයන්ගේ ඉපැත්මට හා පැවැත්මට අත දී සිටුනා හේතූන් සොයා බැලීමෙන් අතීත-වර්‍තමාන-අනාගතස්කන්‍ධයන්හි හා බුද්ධාදී වූ අටතන්හි උපදනා සැකය තරණය කොට සිටි නුවණ ‘කඞ්ඛාවිතරණවිසුද්ධි’ නම්.

මේ ඒ ආප්ත ය:- “තස්සෙව පන නාමරූපස්ස පච්චයපරිග්ගහණෙන තිසු අද්ධාසු කඞ්ඛං විතරිත්‍වා ඨිතං ඤාණං කඞ්ඛාවිතරණවිසුද්ධි නාම” යනු.

වෙදකමෙහි දක්‍ෂ වූ එහි පළපුරුදුකම් ඇති වෙදා, ‍රොගියකු බලා ඔහුට පිළියම් නියම කරන්නට පෙරාතුව රෝගය හටගැණීමෙහි හේතු සොයන්නේ ය. අනුකම්පා ඇති මිනිසෙනක් මගතොට වැටී උඩුකුරු ‍ව හෝනා කුඩා දරුවකු දැක ඔහුගේ ‘මවුපියෝ කවුරු දැ’යි සොයන්නේ ය. එමෙන් කඞ්ඛාවිතරණවිසුද්ධිය සපයනු කැමැති යොගීහු විසින් දිට්ඨිවිසුද්ධිය සැපයීමේ දී ‘මේ නාමය, මේ රූපය’යි නිශ්චය කර ගත් නාම-රූප ධර්‍මයන්ගේ ඉපැත්මෙහි හා පැවැත්මෙහි හේතු සෙවිය යුතු ය. සත්ත්‍ව පුද්ගලාදීන්ගේ වශයෙන් ලෝකයා පිළිගත් සම්මුති විසින් නගා ගත් මේ නාම-රූප, හැමදා හැමතැන හැමදෙනාට එකසේ නො වන්නේ ය. නාම - රූප පිළිබඳ වෙනස්කම් නොයෙක් ලෙසින් දක්නට ඇත්තේ ය. නාම-රූපයන්ගේ ඉපැත්ම හා නැවැත්ම හේතු රහිත වූයේ නම් එබඳු වෙනස්කම් නාම-රූපයන් පිළිබඳව ඇති විය නො හැකි ය. උත්පත්තිහේතූන්ගේ වෙනස්කම නිසා ම එයින් උපදනා ඵලධර්‍ම වූ නාම-රූපයන්ගේ ද වෙනස්කම වන්නේ ය. එහෙයින් නාම-රූප හේතූන්ගෙන්ම ඇතිවිය යුතු ය. නාම-රූප දෙක හැර ඊශ්වර ප්‍රකෘතිපුරුෂාදී වූ මැවුම් කරුවෙක් ද මෙහි නැත්තේ ය. මැවුම්කරුවකු විසින් නාම -රූප මවනලද නම් ඒ නාම-රූප ඔහුගේ කැමැත්ත අනුව පැවැතිය යුතු ය. මෙහි එසේ මැවුම්කරුවකුගේ කැමැත්තට අනුව පැවැත්මෙක් ද නැත්තේ ය. මැවුම්කරුවකු කියතොත් ඔහු ද නාම-රූපමාත්‍ර ම ය. එහෙයින් ඊශ්වරාදිහේතුවකිනිදු නාම-රූපයන්ගේ හට ගැන්මෙක් නැත්තේ ය. නො ද උපදින්නේ ය. නාම -රූපයන්ගේ ඉපැත්මෙහි හා නැවැත්මෙහි හේතු නැත්තේ නො වේ. හේතු ඇත්තේ ය. ඒ සෙවිය යුතුය යි කඞ්ඛාවිතාරණ විසුද්ධිසම්පාදකයොගී තෙමේ නාම-රූප පිළිබඳ හේතුප්‍රත්‍යය සොයන්නේ ය.

පළමු කොට රූපකාය පිළිබඳ හේතු සොයන්නේ ‘මේ කය, උපුල්-පියුම්-හෙළපියුම්-හෙල්මැලි ආදීන්ගේ ඇතුළත නො උපදනේ ය, මුතු-මැණික් උපදනා තැනක හෝ නො උපදනේ ය, උපදනේ මවුකුස ආමාශය-පක්වාශය යන මෙ දෙක අතර උදරපටලයට පිටුපා පිටකටුවට මූණ ලා අතුණු-අතුණුබහනින් දැවටී තෙමේත් දුගඳ ඇතියේ පිළිකුල් සහිත වූයේ එසේ ම දුගඳ ඇති පිළිකුල් වූ ඉඩ පහසු නැති පීඩා සහිත වූ තැනෙක, කුණුමසෙහි මළකුණෙහි කුණුකොමුයෙහි ගම්දොර ‍ගවරවළෙහි අසුචිවළෙහි උපදනා පණුවකු සේ ය, එසේ උපදනා මේ රූප කායයට අවිද්‍යා-තෘෂ්ණා-උපාදාන-කර්‍ම යන මේ සතර, උපදවන හෙයින් හේතුහු වෙති, මෙහි ලා ආහාරය රුකුල් දෙන බැවින් ප්‍රත්‍යය වේය යි මේ ධර්‍ම පස හේතුප්‍රත්‍යය වෙති, ඔවුනතුරෙනුදු අවිද්‍යා-තෘෂ්ණා-උපාදාන යන මෙ තුන මේ කයට ලදරුහට මහක මෙන් ආධාරව සිටිති, ආහාරය පුතු වඩන කිරි මවක මෙන් දරා සිටුනේ ය’යි මෙසේ රූපකායයාගේ ප්‍රත්‍යය පරීක්‍ෂා කරන්නේ ය.

මෙසේ රූපකාය පිළිබඳ ප්‍රත්‍යයන් පරීක්‍ෂා කොට නුවණින් විමසා බලා නැවැත මෙතෙමේ “චක්ඛුඤ්ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඡාණං”යි වදාළ බැවින් ‘චක්‍ෂුඃප්‍රසායද නිසා රූපාලම්බනය නිසා චක්‍ෂුර්විඥානය උපදි’යි යනාදී ක්‍රමයෙන් නාමකාය පිළිබඳ ප්‍රත්‍යයපරීක්‍ෂායෙහි යෙදෙන්නේ ය. එසේ නාමකායපරීක්‍ෂායෙහි යෙදුනු මෙතෙමේ නාමකාය පිළිබඳ ප්‍රත්‍යයන්ද දැක නාම-රූපධර්‍මයන්ගේ ඉපැත්ම හා පැවැත්ම මෙසේ ය යි නිශ්චයට බසින්නේ ය. ඉනික්බිති ‘මේ නාම-රූපයන්ගේ දැන් පැවැත්ම මෙසේ වනුයේ අතීතයෙහි ද එසේ වී ය, අතීතයෙහි ද නාම - රූපධර්‍ම හේතුප්‍රත්‍යයය නිසා ම පැවැත්තේ ය, අනාගතයෙහි ද හේතුප්‍රත්‍යයය නිසා ම පවත්නේ ය’යි දකින්නේ ය. මෙසේ නුවණින් දක්නා වූ ඔහු වෙතින්;

අහොසිං නුඛො අහං අතිතමද්ධානං = මම යටගිය දවස වූයෙම් දෝ?

න නුඛො අහොසිං අතීතමද්ධානං = මම යටගිය දවස නො වූයෙම් දෝ?

කින්නුඛො අහොසිං අතීතමද්ධානං = මම යටගිය දවස කවරෙක් වූයෙම් දෝ?

කථන්නුඛො අහොසිං අතීතමද්ධානං = මම යටගිය දවස කෙසේ වූයෙම් දෝ?

කිං හුත්‍වා කිං අහොසිං නුඛො අහං අතීතමද්ධානං = මම යටගිය දවස කවරෙක් ව සිට කවරෙක් වූයෙම් දෝ?යි මෙසේ පූර්‍වාන්ත සඞ්ඛ්‍යාතඅතීතපඤ්චස්කන්‍ධය අරබයා උපදනා පස් වැදෑරුම් සැක ය ද,

භවිස්සාම නුඛො අහං අනාගතමද්ධානං = මම මතු එන දවස වන්නෙම් දෝ?

න නුඛො භවිස්සාමි අනාගතමද්ධානං = මම එන දවස නො වන්නෙම් දෝ?

කින්නුඛො භවිස්සාමි අනාගතමද්ධානං = මම එන දවස කවරෙක් වන්නෙම්‍ දෝ?

කථන්නුඛො භවිස්සාමි අනාගතමද්ධානං = මම එන දවස කෙසේ වන්නේම් දෝ?

කිං හුත්‍වා කිං භවිස්සාමි නුඛො අහං අනාගතමද්ධානං = මම එන දවස ක‍වරෙක් ව සිට කවරෙක් වන්නෙම් දෝ?යි මෙසේ අපරාන්තසඞ්ඛ්‍යාතඅනාගතස්කන්‍ධපඤ්චකය අරබයා උපදනා පස් වැදෑරුම් සැකය ද,

අහන්නුඛොස්මි = මම වෙම් දෝ?

නො නුඛොස්මි = මම නො වෙම් දෝ?

කින්නුඛොස්මි = මම කවරෙක් වෙම් දෝ?

කථන්නුඛොස්මි = මම කෙසේ වෙම් දෝ?

අයන්නුඛො සත්තො කුතො ආගතො = මේ සත්ත්‍ව තෙමේ කොතැන සිට මෙහි ආයේ දෝ?

සො කුහිං ගාමී භවිස්සති = හෙතෙමේ නැවැත කොතැනක යන්නේ වන්නේ දෝ?යි මෙසේ වර්‍තමානස්කන්‍ධපඤ්චකය අරබයා උපදනා සවැදෑරුම් සැකය දැ යි සොළොස් වැදෑරුම් සැකය පහව යන්නේ ය.

අනෙකෙක් = නාමකායය පිළිබඳ සාධාරණ-අසාධාරණ විසින් දෙවැදෑරුම් වූ ප්‍රත්‍යය ය ද, රූපකායය පිළිබඳ කර්‍මාදී විසින් සිවු වැදෑරුම් වූ ප්‍රත්‍යය ද බලන්නේ ය. චක්‍ෂුරාදී සදොර ද රූපාදී ආලම්බන සය ද නාමයට සාධාරණප්‍රත්‍යය වෙති යි ද, කුශල-අකුශල-විපාක-ක්‍රියා භේදයෙන් සර්‍වප්‍රකාර වූ නාමය, චක්‍ෂුරාදී ද්වාරයෙන් රූපාදී වූ සවැදෑරුම් අරමුණෙහි පවත්නේ ය. යෝනිසෝමනසිකාර - සද්ධම්මසවණාදිය කුශලයට ම අසාධාරණප්‍රත්‍යය වෙති යි ද, අයෝනිසෝ මනසිකාර-අසද්ධම්මසවණාදිය එයට විපරීත වූ අකුශලයට අසාධාරණප්‍රත්‍යය වෙති යි ද, භවඞ්ගාදිය ක්‍රියා චිත්තයට අසාධාරණප්‍රත්‍යය වෙති යි ද බලන්නේ ය.

රූපයට කර්‍ම-චිත්ත-ඍතු-ආහාර ප්‍රත්‍යය සතරෙක් වේ. ඔවුනතුරෙහි කර්‍මය අතීත වූයේ ම උත්පත්තක්‍ෂණයෙහි කර්‍ම සමුත්‍ථානරූපයට ප්‍රත්‍යය වේ ය යි ද, ඍතු-ආහාර දෙක ඍතුජ ආහාරජ රූපයනට ස්ථිතික්‍ෂණයෙහි ප්‍රත්‍යය වේ ය යි ද බලන්නේ නාම -රූපයන් පිළිබඳ ප්‍රත්‍යය පිරිසිඳින්නේ ය. මෙතෙමේ මෙසේ ප්‍රත්‍යය වශයෙන් නාම - රූපයන්ගේ පැවැත්ම බලා මේ නාම - රූප වර්‍තමානයෙහි පවත්නා සේ අතීතයෙහි ද ප්‍රත්‍යය වශයෙන් පැවැත්තේ ය යි නුවණින් බලන්නේ ය. මෙසේ බලන්නා වූ ඒ යොගී තෙමේ ප්‍රත්‍යයයන්ගෙන් වන නාම - රූපයන්ගේ පැවැතුම් දැක පෙර කියූ සේ තුන් කල්හි ම වූ සැකයෙන් මිදෙන්නේ ය. විචිකිච්ඡාව පහව යන්නී ය.

අනෙකෙක් නාම - රූපසඞ්ඛ්‍යාතසංස්කාරයන්ගේ දිරායෑම ද දිරාගියවුන්ගේ මරණය ද බලා ‘මේ සංස්කාරයන්ගේ දිරීම හා මැරීම ජාතිය ඇති කල්හි ම වන්නේ ය, ජාතිය කර්‍මභවය ඇති කල්හි ම වන්නී ය, කර්‍මභවය කාමොපාදානාදිය ඇති කල්හි ද, කාමොපාදානාදිය තෘෂ්ණාව ඇති කල්හි ද, තෘෂ්ණාව සුඛ-දුඃඛ-උපේක්ෂා වේදනා ඇති කල්හි ද, වේදනාව ස්පර්‍ශය ඇති කල්හි ද චක්‍ෂුරාදිෂඩායතන ඇති කල්හි ද, ෂඩායතන නාම-රූප ඇති කල්හි ද, නාම-රූප ප්‍රතිසන්‍ධිවිඥානය ඇති කල්හි ද, ප්‍රතිසන්‍ධිවිඥානය කුශලාකුශලකර්‍මසඞ්ඛ්‍යාත සංස්කාර ඇති කල්හි ද, සංස්කාර අවිද්‍යාව ඇති කල්හි ද, වන්නේ ය,යි ප්‍රතිලෝමප්‍රතීත්‍යසමූත්පාද වශයෙන් නාම-රූපයන් පිළිබඳ ප්‍රත්‍යය නිශ්චය කරන්නේ ය. එකල්හි හෙතෙමේ සැකයෙන් මිදෙන්නේ ය. විචිකිච්ඡාව පහව යන්නීය.

අනෙකෙක් ‘අවිද්‍යාව නිසා සංස්කාරයෝ, සංස්කාරයන් නිසා විඥාන ය, විඥානය නිසා නාමරූප, නාමරූප නිසා ෂඩායතන, ෂඩායතන නිසා ස්පර්‍ශය, ස්පර්‍ශය නිසා වේදනාව, වේදනාව නිසා තෘෂ්ණාව, තෘෂ්ණාව නිසා උපාදාන, උපාදාන නිසා භවය, භවය නිසා ජාතිය, ජාතිය නිසා ජරා-මරණ-ශෝක-පරිදේව දුඃඛදෞර්‍මනස්‍ය-උපායාසයෝ වෙත්, යි අනුලෝමප්‍රතීත්‍යසමූත්පාද වශයෙන් නාමරූපයන් පිළිබඳ ප්‍රත්‍යය නිශ්චය කරන්නේ ය. මෙසේ ප්‍රත්‍යය නිශ්චය කරණුයේ සැකයෙන් මිදෙන්නේ ය. විචිකිච්ඡාව පහව යන්නී ය.

අනෙකෙක් ‘යටගිය ජාතියෙහි කර්‍ම රැස්කරණ කාලයෙහි දුඃඛාදීන්හි මුළාවීඹ නම් වූ අවිද්‍යාව, කුශලාකුශලකර්‍ම රැස්කිරීම නම් වූ පූර්‍වචේතනා සඞ්ඛ්‍යාතසංස්කාරය, උත්පත්තිභවයෙහි ඇලීම නම් වූ තෘෂ්ණාව, ‘මේ කර්‍මය රැස් කොට අසවල් තැන සැප විඳින්නෙමි, උපච්ඡෙදයට පැමිණෙන්නෙමි,යි ඈ විසින් පැවැති කර්‍ම භවයට ප්‍රත්‍යය වූ දැඩිගැණීම නම් වූ උපාදානය, අපරචෙනා සඞ්ඛ්‍යාතසප්තමජනවෙතා නම් වූ කර්‍මභවය යන පූර්‍වකර්‍මභවයෙහි වූ මේ පස් දෙන, මේ ජාතියෙහි පිළිසිඳ ගැණීමට ප්‍රත්‍යය වෙති යි ද, මෙහි අතීතභවය හා වර්‍තමානභවය ගැළපීම් වශයෙන් උපන් බැවින් ප්‍රතිසන්‍ධි නම් වූ විඥානය, ඒ හේතුවෙන් වන රූපාරූපධර්‍මයන්ගේ පහළවීම නම් වූ නාමරූපය, චක්‍ෂුඃප්‍රසාදා දී වූ ආයතනය, අරමුණු පැහැසීම් විසින් උපදනා ස්පර්‍ශය, ඒ හා උපන් විපාකවේදනාව යන මේ පස, මේ උත්පත්තිභවයෙහි පෙර කළ කර්‍මහේතුයෙන් වෙති යි ද, මේ ජාතියෙහිදු අවිද්‍යාදී වූ පස, මත්තෙහි පිළිසිඳ ගැණීමට ප්‍රත්‍යය වෙති යි ද, මෙසේ කම්මවට්ට විපාකවට්ට විසින් නාමරූපයන්ගේ ප්‍රත්‍යය බලන්නේ ය. එහි කම්මවට්ටය, දිට්ඨධම්මවෙදනීය-උපපජ්ජවෙදනීය-අපරාපරියවෙදනීය-අහොසිකම්ම යි විපාක දෙන කාලයාගේ වශයෙන් සිවුවැදෑරුම් ය. විපාක දෙන ක්‍රම විසින් යග්ගරුක-යබ්බහුල-යදාසන්න-කටත්තාකම්ම යි සිවුවැදෑරුම් ය. කෘත්‍ය විසින් ජනක-උපත්‍ථම්භක-උපපීළක-උපඝාතක යි සිවුවැදෑරුම් ය. [4]

මෙසේ ද්වාදශවිධකර්‍මයන්ගේ කර්‍මභේදය හා විපාක‍භේදය ද බුදුවරුන්ගේ කර්‍මවිපාකඥානයට තතු සේ පෙණෙන්නේ ය. එය ශ්‍රාවකයන් හා අසාධාරණ ය. ශ්‍රාවකයනට විෂය නො වේ. විදර්‍ශකයා විසින් කර්‍මාන්තර ය ද විපාකාන්තරය ද ලෙශමාත්‍රයකින් නමුදු දතයුතු බැවින් විදර්‍ශකයා පිණිස මේ මුඛමාත්‍රයෙක් මෙහි දැක්වුනේ ය. මේ ද්වදශවිධකර්‍මය, කම්මවට්ටයෙහි බහා නාම රූපයන්ගේ ප්‍රත්‍යය නුවණින් පිරිමදිනුයේ කම්මවට්ට-විපාකවට්ට වශයෙන් ප්‍රත්‍යයයන්ගේ නාමරූපයන්ගේ පැවැත්ම දැක ‘මේ කර්‍මය දැන් පවත්නා ලෙසින් අතීතයෙහි ද කම්මවට්ට-විපාකවට්ට විසින් පැවැත්තේ ය, අනාගතයෙහි ද කම්මවට්ට-විපාකවට්ට වශයෙන් ප්‍රත්‍යය නිසා පවතින්නේ ය යි ද කර්‍මය ද, කර්‍මවිපාකය ද, කර්‍මව්‍රතය ද, විපාකව්‍රතය ද, කර්‍මප්‍රවෘත්තිය ද, විපාක ප්‍රවෘතිතිය ද, කර්‍මසන්තතිය ද, විපාකසන්තතිය ද, ක්‍රියා ද, ක්‍රියා ඵල ද, කර්‍මයෙන් විපාකයෝ පවතිත්, විපාකය කර්‍මයෙන් හට ගණියි, එහෙයින් නැවැත ඉපැත්ම වෙයි, ලෝකය මෙසේ පවති,යි සලකන්නේ ය. මෙසේ නුවණින් මේ තත්ත්‍වය සලකන්නහුගේ පූර්‍වාන්තාදිය නිසා පෙර කියූ සේ ‘මම වීම් ද?’යනාදී නයින් පැවැති සොළොස් වැදෑරුම් සැකය පහව යන්නේ ය. සියලු භව-යෝනි-ගති-ඨිති-සත්තාවාසයන්හි හේතුඵලසම්බන්‍ධයෙන් පවත්නා නාම-රූප මාත්‍රය ම ඔහුට වැටහෙන්නේ ය. මෙතෙමේ සත්ත්‍ව පුද්ගල ආත්ම විසින් ගතයුත්තෙක් ඇතැ යි නො දක්නේ ය. දානාදීක්‍රියාවන් මුත් ආත්ම පුද්ගල වශයෙන් ගත යුත්තක් නො වන බැවින් ඒ ඒ ක්‍රියා කරනන්නකු, විපාක ස්කන්‍ධයන්ගේ පැවැත්ම හැර විපාක විඳින්නකු නො දක්නේ ය. ‘කාරණය ඇති කල්හි කාරක යි ද, විපාකයන්ගේ පැවැතිම ඇති කල්හි ඵල විඳින්නේ ය’ යි ද ව්‍යවහාරමාත්‍රයෙන් නුවණැත්තෝ ව්‍යවහාර කරති,යි මනා කොට නුවණින් දක්නේ ය.

කම්මවට්ට - විපාකවට්ට වශයෙන් නාමරූපයන්ගේ ප්‍රත්‍යය පිරිසිඳ දැනීමෙන් තුන් කල්හි වූ ස්කන්‍ධයන්ගේ පැවැත්මෙහි පහව ගිය සැක ඇති ව සිටි ‍ඒ යොගියා විසින් අතීත-අනාගත-ප්‍රත්‍යුත්පන්න වූ සියලු ධර්‍මයෝ ච්‍යුති-ප්‍රතිසන්‍ධි වශයෙන් දන්නාලද්දාහු වෙත්. මේ ඔහුගේ ඤාතපරිඤ්ඤා ය.

මෙතෙමේ “අතීතභවයෙහි කර්‍මය නිසා උපන් ස්කන්‍ධයෝ ඒ භවයෙහි දී ම නිරුද්ධ වූහ, අතීතභවයන්හි දී කරණ ලද කර්‍මයන් නිසා මේ භවයෙහි අන්‍ය වූ ම ස්කන්‍ධයෝ පහළ වූහ, අතීතභවයෙන් මේ භවයට ආ එක ද ධර්‍මයෙක් නැත්තේ ය, මේ භවයෙහි ද කර්‍මයන් නිසා උපන් ස්කන්‍ධයෝ මේ භවයෙහි ම නිරුද්ධ වෙත්, අනාගතභවයෙහි අන්‍ය වූ ස්කන්‍ධයෝ පහළවන්නාහ. මේ භවයෙන් පුනර්‍භවයට එක ද ධමර්‍යෙක් නො යන්නේ ය, එහෙයින් ධර්‍මයන්ගේ භවයෙන් භවයට යෑමෙක් නම් නැත්තේ ය” යි දන්නේ ය.

ගුරුමුඛයෙන් හැදෑරූ මන්ත්‍රාදිය අතැවැසියාගේ මුඛයට ඇතුල් නො වේ. එහෙත් ඒ නො ඇතුල්වීමෙන් අතැවැසියාගේ හැදෑරීම නො පවත්නේ නො වේ. පවත්න් ම ය. දූතයා විසින් බෙන ලද මන්ත්‍රොදකය රොගියාගේ උදරයට නො වදින්නේ ය. ඒ නො වැදීමෙන් ඔහුගේ රෝගය නො සන්සි‍ඳෙන්නේ නො වේ. සන්සි‍ඳෙන්නේ ම ය. කැටපතක් ඉදිරියෙහි සිට කරණ මුහුණ සැරසීම කැටපතෙහි පෙණෙන මුවපිළිබිඹුවට නො ද යන්නේ ය. එහෙත් කැටපතෙහි ඒ සැරසීම නො පෙණෙන්නේ නො වේ. පෙණෙන්නේ ම ය. එක් පහන්වැටියක පහන්සිළුව අන් පහන් වැටියකට යන්නේ නො වේ. එහෙත් ඒ හේතුයෙන් ඒ පහන් වැටියෙහි පහන්සිළුව නො දැල්වෙන්නේ නො වේ. දැල්වෙන්නේ ම ය. එ පරිද්දෙන් අතීතයෙන් මේ භවයට ද, මේ භවයෙන් පුනර්‍භවයට ද කිසිදු ධර්‍මයෙක් යන්නේ නො වේ. එහෙත් අතීත භවයෙහි ස්කන්‍ධ-ආයතන-ධාතුප්‍රත්‍යයයෙන් පුනර්‍භවයෙහි ද, මේ භවයෙහි ස්කන්‍ධ-ආයතන-ධාතුප්‍රත්‍යයයෙන් පුනර්‍භවයෙහි ද ස්කන්‍ධ-ආයතන-ධාතුහු නො උපදින්නාහු නො වෙත්.

මෙසේ ච්‍යුති-ප්‍රතිසන්‍ධි වශයෙන් දක්වන ලද සියලු ධර්‍ම ඇති ඒ යොගීහුගේ, නුවණ සියලු අයුරින් නාමරූපයන් පිළිබඳ ප්‍රත්‍යයපරීක්‍ෂා කොට සිටියේ තහවුරු බවට පැමිණියෙ වේ. ඔහු කෙරෙන් අතීත-අනාගත-වර්‍තමානස්කන්‍ධයන් පිළිබඳ ව පවත්නා සොළොස්වැදෑරුම් සැකය පහ ව යන්නේ ය. එ පමණක් නො ව බුද්ධ-ධම්ම-සංඝ-සික්ඛා-පුබ්බන්ත-අපරන්ත-පුබ්බන්තාපරාන්ත-පටිච්චසමුප්පාද යන අට තැන්හි වූ සැකය ද ප්‍රහීණ වන්නේ ය. දෙසට මිසදිටු ද යටපත් වන්නී ය. මෙසේ නොයෙක් ක්‍රමයෙන් නාමරූපධර්‍මයන්ගේ ප්‍රත්‍යයපරීක්‍ෂායෙන් තුන් කල්හි පැවැති සැකය තරණය කොට සිටි නුවණ කඞ්ඛාවිතරණවිසුද්ධි ය යි දත යුතු ය. ධම්මට්ඨිතිඤාණ - යථාභූතඥාණ - සම්මාදස්සන යන නම් වලින් ද මෙය හඳුන්වනු ලබන්නී ය.

“අවිජ්ජාපච්චයා සඞ්ඛාරා පච්චයසමුප්පන්තා, උභොපෙතෙ ධම්මා පච්චයසමුප්පන්නාති පච්චයපරිග්ගහෙ පඤ්ඤා ධම්මට්ඨිති ඤාණං” යි ආ බැවින් අවිද්‍යාව හෙත්‍වාදිවශයෙන් සංස්කාරයන්ට ප්‍රත්‍යය වේ. සංස්කාර, ප්‍රත්‍යයයෙන් හට ගත් බැවින් ප්‍රත්‍යය සමුපත්පන්න වේ. අවිද්‍යාව ද ආස්‍රවාදිප්‍රත්‍යයයෙන් උපදනා බැවින් අවිද්‍යා - සංස්කාර දෙක ම ප්‍රත්‍යයයසමුපත්පන්නය යි පිරිසිඳ දැනීම් වශයෙන් පැවැති නුවණ, ධම්මට්ඨිතිඤාණ නම් වේ.

අනිත්‍ය විසින් මෙනෙහි කරණුයේ, නිමිත්ත නම් වූ පඤ්චස්කන්‍ධය ඇති සැටියෙන් දක්නේ ද, ඔහුගේ දැකීම සම්මාදස්සන නමි. වර්‍තමානස්කන්‍ධයන්හි ප්‍රත්‍යක්‍ෂයෙන් දක්නා ලද ධර්‍මයට අනුව යෑමෙන් අතීත-අනාගත-ස්කන්‍ධයන්හි ද යුක්ති වශයෙන් එළවා සියලු සංස්කාර, අනිත්‍ය වශයෙන් බැලීමෙන් යට දැක් වූ ෂොඩශවිධ විචිකිත්සාස්ථානයෙහි හා බුද්ධාදී වූ අෂ්ටස්ථානයෙහි හා ද්වාෂෂ්ටිදෘෂ්ටිස්ථානයෙහි හා පැවැති සැකය පහව යන්නේ ය.

දුඃඛ විසින් මෙනෙහි කරණුයේ, පවත්ත නම් වූ උපාදාන-ස්කන්‍ධයාගේ පැවැත්ම ක්ලේශාභිසංස්කාරයන් විසින් පවත්වාලන බැවින් අතිශයින් දුඃඛ යි දක්නේ ද, ඔහුගේ ඒ දැකීම සම්මාදස්ස නමි. වර්‍තමානස්කන්‍ධයන්හි ප්‍රත්‍යක්‍ෂ වශයෙන් දක්නා ලද ධර්‍මයට අනු ව යෑමෙන් අතීත-අනාගතස්කන්‍ධයන්හි ද යුක්ති වශයෙන් එළවා සියලු සංස්කාර, දුඃඛ වශයෙන් බැලීමෙන් යට දැක් වූ ෂොඩෂවිධ වූත් අෂ්ටවිධ වූත් සංශයස්ථානයෙහි හා ද්වාෂෂ්ටිවිධ වූ දෘෂ්ටිස්ථානයෙහි පැවැති සැකය පහව යන්නේ ය.

අනාත්ම විසින් මෙනෙහි කරණුයේ, සංස්කාරනිමිත්ත හා පවත්ත නම් වූ උපාදින්නස්කන්‍ධය ද තතු සේ දක්නේ ද, ඔහුගේ ඒ දැකීම සම්මාදස්සන නමි. වර්‍තමානස්කන්‍ධයන්හි ප්‍රත්‍යක්‍ෂ වශයෙන් දක්නා ලද ධර්‍මයට අනුව යෑමෙන් අතීත-අනාගතස්කන්‍ධයන්හි ද යුක්ති වශයෙන් එළවා බැලීමෙන් සියලු සංස්කාර, අනාත්ම වශයෙන් බැලීමෙන් යථොක්ත ස්ථානයන්හි පැවැති සැකය පහව යන්නේ ය.

මෙසේ නොයෙක් ක්‍රමයෙන් නාම-රූප දෙදෙනාගේ ප්‍රත්‍යය පරීක්‍ෂායෙන් අතීත-අනාගත-වර්‍තමානස්කන්‍ධයන්හි වූ සැකය තරණය කොට සිටි නුවණ, කඞ්ඛාවිතරණවිසුද්ධි ය යි කියන ලද්දේ ය. මෙ නුවණින් යුක්ත වූ භාග්‍යවත් විදර්‍ශක තෙමේ බුදුසසුනෙහි ලද අස්වස් ඇතියේ ලද පිහිට ඇතියේ නියතගති ඇතියේ ‘චුල්ලසොතාපන්න’ නම් වේ.

‘මේ මග ය, මේ මග නො වේ ය’යි මග නො මග දැන ගැණීම් විසින් ලැබෙන නුවණ, ‘මග්ගාමග්ගදස්සනවිසුද්ධි’ නම් වේ. එය මෙසේ කීහ. “අයං මග්ගො අයං න මග්ගොති එවං මග්ගං ච අමග්ගං ච ඤත්වා ඨිතං ඤාණං මග්ගාමග්ගදස්සන විසුද්ධි නාම” යනු විසිනි.

එහි මග නම්: ලෝකෝත්තරමාර්‍ගය යි. නො මග නම්: අධිමානවස්තු යි. සීලවිසුද්ධියෙන් කයත්, චිත්තවිසුද්ධියෙන් සිතත් පිරිසිදු කර ගත්තහුගේ නුවණ, දිට්ඨි-කඞ්ඛාවිතරණ විසුද්ධීන්ගෙන් තවත් දුරට පිරිසිදු වූ කල්හි ඔහුට පෙර කවරදාකත් නො දුටුවිරූ ආලෝකයක් දක්නට ලැබෙන්නේ ය. ඒ හා ම ඔහුගේ සිතෙහි ප්‍රීති-ප්‍රශ්‍රබ්ධි ආදී ධර්‍මසමූහයෙක් නැගී සිටින්නේ ය. මෙසේ දක්නට ලැබෙන සිතෙහි නැගී සිටින ආලෝක ප්‍රීති ආදි ධර්‍ම, අධිමානවස්තු නම් වේ. මේ අධිමාන වස්තුසඞ්ඛ්‍යාතආලෝකාදිය ‘මෙතෙක් නො ලැබූ ඤාණදස්සන විසුද්ධිය ලැබීමි’යි යන වැරදි හැඟීමට කරුණු වන බැවින් නො මග නම් වේ. මෙසේ ඤාණදස්සනවිසුද්ධිය ලැබීමෙහි විදර්‍ශකයාගේ මග නො මග දෙක පිරිසිඳ දන්නා නුවණ ‘මග්ගාමග්ග ඤාණ’ නම්. ඒ ම, මග නො මග දෙක්හි උපදනා බලවත් මුළායෙන් හා ලොභයෙන් විදර්‍ශකයා නගා සිටුවන බැවින් පිරිසිදු බවට පමුණු වන බැවින් ‘මග්ගාමග්ගඤාණදස්සනවිසුද්ධි’ යි කියනු ලැබේ.

පටන් ගත් විදර්‍ශනා ඇත්තහුට මේ ආලෝකාදිය පහළ වූ කල්හි මග නො මග දන්නා නුවණක් පහළ වන බැවින්, හෙතෙමේ අතීතා‍දිභේද විසින් භේදයට ගිය සියලු සංස්කාරධර්‍මයන් කලාප විසින් මිටි මිටි කොට නයවිදර්‍ශනාව පිණිස පළමුකොට පිළිවෙළින් යෝග කරන්නේ ය. යෝග කළ යුතු ය. කඞ්ඛාවිතරණවිසුද්ධියට අනතුරුව එයට ලං කොට මෙය දෙසන ලද්දේ විදර්‍ශනාවට ද චක්ඛුදසකාදි වසයෙන් මිටි මිටි කොට කලාප විසින් පිරිමැදීම් මුල් වන බැවිනි.

මෙහි තවත් ක්‍රමයෙක් වෙයි. ඒ නම්: පරිඥාවන්ගේ වශයෙන් යෝග කිරීම ය. පරිඥා තුනෙකි. ඤාතපරිඤ්ඤා - තීරණපරිඤ්ඤා - පහාණපරිඤ්ඤා විසින්. එහි ‘රූප ය නැසෙන වැනසෙන ලකුණු ඇත්තේ ය, වේදනාව විඳීම ලකුණු කොට සිටියා ය, යනාදී වශයෙන් ස්කන්‍ධ - ධාතු - ආයාතනාදී ධර්‍ම, ඒ ඒ ධර්‍මයනට අයත් ලක්‍ෂණ විසින් ඇති සැටියෙන් පිරිමැදීම සැලකීම දැනීම ඤාතපරිඤ්ඤා ය.

‘රූපය හැමදා එකසේ පවත්නේ නො වේ, එය හැම මොහොතෙහි වෙනස් ව යන්නේ ය, නිති පැවැත්මෙක් නැත්තේ ය, වේදනාව ද එසේ ය, යනාදී ලෙසින් රූපාදිධර්‍ම පිළිබඳ සාධාරණ පොදු ලක්‍ෂණ වූ අනිත්‍ය - දුඃඛ - අනාත්ම යන ලකුණු අරමුණු කිරීමෙන් උපන් දැනීම තීරණපරිඤ්ඤා ය.

රූපාදී වූ ත්‍රෛභූමක ධර්‍මයන් කෙරෙහි නිත්‍ය - ශුභ - සුඛාදි සංඥාවන් දුරු කිරීම් බැහැරලීම් වශයෙන් පැවැති ස්වභාවය, ලක්‍ෂණය අරමුණු කොට සිටි විදර්‍ශනාප්‍රඥාව පහාණපරිඤ්ඤා ය. විස්තර පටිසම්භිදාමග්ග, විසුද්ධිමග්ග දෙක්හි ආයේ ය.

විදර්‍ශක තෙමේ තමන් ලැබූ කඞ්ඛාවිතරණවිසුද්ධියෙන් පසු කලාපසම්මර්‍ශනයෙහි පටන් යෝග කරන්නේ ය. කලාපසම්මර්‍ශන නම්: කාම - රූප - අරූප යන තුන් බිමට අයත් අතීත - අනාගත - වර්‍තමාන ධර්‍මයන් බණපොතෙහි කියූ ලෙසින් සුදුසු පරිදි මිටි මිටි කොට හකුළා ගෙණ සිතින් පිරිමැදීම ය. මේ පිරිමැදීම ඔවුන්ගේ අනිත්‍යාදිලක්‍ෂණත්‍රයය පිරිසිදු ව නුවණට හසුවන තුරු ඔවුන් පිළිබඳ නිත්‍ය - ශුභ - සුඛාදිසංඥාවන් දුර ගසා යන තුරු එකින් එක හෝ මිටි මිටි කොට හෝ අනිත්‍යාදිලක්‍ෂණ මෙනෙහි කිරිම් වශයෙන් වන්නේ ය.

අනිත්‍යාදි වශයෙන් පිරිමැදිය යුතු ධර්‍ම නම්: ස්කන්‍ධ - ද්වාර - ආරම්මණ - විඤ්ඤාණ - ඵස්ස - වේදනා - සඤ්ඤා - චේතනා - තණ්හා - විතක්ක - විචාර - ධාතු - කසිණ - කායකොට්ඨාස - ආයතන - ධාතු - ඉන්ද්‍රිය - කාමාදිධාතු - භව - ඣාන - අප්පමඤ්ඤා - සමාපත්ති - පටිච්චසමුප්පාදඞ්ග යන මේ ය.

එහි ස්කන්‍ධ පසෙකි. ආරම්මණ සයෙකි. විඤ්ඤාණ සයෙකි. ඵස්ස සයෙකි. සඤ්ඤා සයෙකි. චේතනා සයෙකි. තණ්හා සයෙකි. විතක්ක සයෙකි. විචාර සයෙකි. ධාතු සයෙකි. කසිණ දසයෙකි. කාය කොට්ඨාස දෙතිසෙකි. ආයතන දොළොසෙකි. ධාතු අටළොසෙකි. ඉන්ද්‍රිය දෙවිස්සෙකි. ධාතු තුනෙකි. භව නවයෙකි. ඣාන සතරෙකි. අප්පමඤ්ඤා සතරෙකි. සමාපත්ති සතරෙකි. පටිච්ච සමුප්පාදඞ්ග දොළොසෙකි. මුළුල්ල දෙසිය එකෙකි.

මෙ කියූ ධර්‍ම අනිත්‍යලක්‍ෂණයෙන් යුක්ත වන බැවින් අනිත්‍ය ය. දුඃඛලක්‍ෂණයෙන් යුක්ත වන බැවින් දුඃඛ ය. අනාත්මලක්‍ෂණයෙන් යුක්ත වන බැවින් අනාත්ම ය.

එහි අනිත්‍යලක්‍ෂණ නම්: බිඳී යෑම ය. මේ බිඳී යෑමට තුඩු දී සිටුනා පිළිසිඳ ගත් තැන් පටන් නැසීම‍ තෙක් මොහොතක් පාසා වන මේරීම - දිරීම - වියලීම - තරවීම - කොරවීම - කුදුවීම - දත් වැටීම - ඇස් අඳුරුවීම - නර නැගීම - කන් නො ඇසීම - අත පය වෙව්ලීම - ඇඟ රැලි වැටීම - කැලල් නැගීම යනාදී වූ ත්‍රෛභූමකරූපාරූපධර්‍මයන් කෙරෙහි වන වෙනස් බැව් ය කොටින්.

දුඃඛලක්‍ෂණ නම්: පිළිසිඳ ත් තැන් පටන් නිතර දවරෑහි පෙළෙන බව ය. මේරීම් - දිරීම - වියලීම යනාදී වූ මෙයින් හා ශීතයෙන් උෂ්ණයෙන් සතුරන්ගෙන් මිතුරන්ගෙන් හිමියන්ගෙන් අඹුන්ගෙන් දූන්ගෙන් පුතුන්ගෙන් රජුන්ගෙන් සොරුන්ගෙන් මවගෙන් පියාගෙන් බෑයාගෙන් බුහුනගෙන් ගුරුන්ගෙන් සිසුන්ගෙන් යන මේ ඈ නොයෙක් ලෙසින් වන පෙළීම ය. තැවීම ය. ගැටීම ය කොටින්.

අනාත්මලක්‍ෂණ නම්: තම කැමැත්තට අනු ව නො පවත්නා බව ය. තම කැමැත්තට අනුව ඉපදීමට, නො දිරීමට, නො මැරීමට, තම පඤ්චස්කන්ධය පිළිබඳ කිසිවක් තමන්ගේ යටතෙහි පැවැත්වීමට නො හැකි බව ය. ආධිපත්‍යයක් නො මැති බව ය. කරන්නකු විඳින්නකු නො ලැබීම ය. එක් ම පැවැත්මක් නැති බව ය. ගත යුතු කිසිත් හරයක් නැති බව ය කොටින්.

අනිත්‍යාදිලක්‍ෂණවත් ස්කන්‍ධාදිධර්‍මසමූහය නුවණින් පිරිමදින්නා වූ විදර්‍ශක තෙමේ මේ ධර්‍මසමූහයට අයත් එක් එක් ධර්‍මය අතීත - අනාගත - ප්‍රත්‍යුත්පන්න - ආද්ධ්‍යාත්මික - බාහිර - ඖදාරික - සූක්‍ෂම - හීන - ප්‍රණීත - දූර - සන්තික යන එකොළොස් අවකාශයකින් පිරිසිඳ අනිත්‍ය විසින් දුඃඛ විසින් අනාත්ම විසින් පිරිසිඳින්නේ ය.

එහි විදර්‍ශක තෙමේ “අතීත භවයෙහි වූ රූපයෝ වර්‍තමාන භවයට නො ද පැමිණියෝ අතීතභවයෙහි දී ම නිරුද්ධ වූවෝ අනිත්‍යයහ, අනාගත භවයෙහි උපදනා රූපයෝ ඉදිරියෙහි වන භවයකට නො ද පැමිණෙන්නෝ අනාගත භවයෙහි දී ම නිරුද්ධ වන්නෝ අනිත්‍යයහ, වර්‍තමානභවයෙහි උපදනා රූපයෝ ඉදිරි භවයට නො ද පැමිණෙන්නෝ වර්‍තමාන භවයෙහිදී ම නිරුද්ධ වන්නෝ අනිත්‍යයහ, සිය සතන්හි උපදනා රූපයෝ බැහැර නො යන්නෝ සිය සතන්හි ම නිරුද්ධ වන්නෝ අනිත්‍යයහ, බැහැර උපදනා රූපයෝ සිය සතන්හි නා වදිනුවෝ බැහැර ම නිරුද්ධ වන්නෝ අනිත්‍යයහ, ඖදාරිකරූපයෝ සූක්‍ෂමරූප භාවයට නො යන්නෝ ඖදාරිකභාවයෙන් ම නිරුද්ධ වන්නෝ අනිත්‍යයහ, සූක්‍ෂමරූපයෝ ඖදාරිකභාවයට නො යන්නෝ සූක්‍ෂමරූපභාවයෙන් ම නිරුද්ධ වන්නෝ අනිත්‍යයහ, හීනරූපයෝ ප්‍රණීත රූපභාවයට නො යන්නෝ හීනරූපභාවයෙන්ම නිරුද්ධ වන්නෝ අනිත්‍යයහ, ප්‍රණීතරූපයෝ හීනරූපභාවයට නො යන්නෝ ප්‍රණීතරූපභාවයෙන්ම නිරුද්ධ වන්නෝ අනිත්‍යයහ, දූරරූපයෝ වෙත නො පැමිණෙන්නෝ දුරැ ම නිරුද්ධ වන්නෝ අනිත්‍යයහ, සන්තික රූපයෝ දුර නො යන්නෝ වෙත ම නිරුද්ධ වන්නෝ අනිත්‍යයහ” යි මෙසේ රූපස්කන්‍ධය අවකාශ වශයෙන් එකොළසකට බෙදා අනිත්‍ය විසින් නැසෙන වැනසෙන ක්‍ෂය වන අරුත් විසින් විදර්‍ශනා කරන්නේ ය. මේ වනාහි මේ එකොළොස් අවකාශයෙහි වූ රූප ස්කන්‍ධය පිළිබඳ සම්මර්‍ශනය යි. මේ එක් සම්මර්‍ශනයෙකි.

එසේම “මම නැසෙමි’ මා සතු දැය නැසේ ය” යි සිතන මෙනෙහි කරණ කෙලෙස් නො පැහූ පුහුදුන්හට බිය උපදවන අරුතින් දුකට තැන් වන බැවින් මේ ‍එකොළොස් අවකාශයෙහි වූ රූපස්කන්‍ධය, දුඃඛ යි විදර්‍ශනා කරන්නේ ය. මෙ ද රූපස්කන්‍ධය පිළිබඳ එක් සම්මර්‍ශනයෙකි.

අනිත්‍ය වූ දුක් වූ රූපස්කන්‍ධයෙහි හරයෙක් නැත, කරන්නෙක් නැත, විඳින්නෙක් නැතැ යි, රූපස්කන්‍ධය අනාත්ම වශයෙන් නිසරු, අරුතින් විදර්‍ශනා කරන්නේ ය. මෙ ද රූපස්කන්‍ධය පිළිබඳ එක් සම්මර්‍ශනයකි.

විදර්‍ශක, මෙසේ රූපස්කන්‍ධය අවකාශ එකොළොසකට බෙදා අනිත්‍ය - දුඃඛ - අනාත්ම විසින් සම්මර්‍ශනය කරණ බැවින් රූපස්කන්‍ධයෙහි, ඒ එකොළොස් තන්හි, අනිත්‍ය විසින් එකොළොසෙක. දුඃඛ විසින් එකොළොසෙක, අනාත්ම විසින් එ‍කොළොසෙකැ යි සම්මර්‍ශන තෙතිසෙක් වන්නේ ය. වේදනා - සංඥා - සංස්කාර - විඥාන යන අනික් ස්කන්‍ධ සතරෙහි ද එකෙක, එකෙක මෙසේ සම්මර්‍ශන තෙතිස තෙතිස ලැබෙන බැවින් ස්කන්‍ධ පසෙහි සම්මර්‍ශන එක්සිය පන් සැටෙක් වන්නේ ය.

ද්වාර ආරම්මණාදී වූ ඉතිරි දෙ විසි කොටස් ද, මෙසේ කොටස් වශයෙන් එකොළොසට, එකොළොසට බෙදා අනිත්‍යාදීන්ගේ වශයෙන් වඩනා කල්හි එතැන්හි ද සම්මර්‍ශනඥානය ලැබෙන බව යට කියූ ලෙසින් දතයුතු ය. මෙහි දැක් වූ පඤ්චස්කන්‍ධාදීන් අතුරෙහි යම් කොටසෙක් වඩාත් පැහැදිලි ව වැටහේ නම්, සුවසේ පිරිමැදිය හැක්කේ නම් විදර්‍ශකයා එහි ම යෝග කළ යුතු ය. සම්මර්‍ශනය දියුණුවත් ම මුල දී නො වැටහුණු ධර්‍ම වැටහෙන්නේ ය. සම්මර්‍ශනය ද තව තවත් වැඩෙන්නේ ය. මෙසේ වැඩීමෙන් ලබා ගත් තිලකුණු දැක්ම වඩාලාත් තහවුරු කර ගැණීම පිණිස පිරිසිදු වනු පිණිස විදර්‍ශක තෙ‍ මේ:

අනිච්චතො =අනිත්‍යය අන්ත කොට ඇති බැවින්, පූර්‍වාපරඅන්ත ඇතිබැවින් අනිත්‍ය වශයෙන්, දුක්ඛතො = ඉපදීම් පෙළීම් දෙකෙන් පෙළෙන බැවින්, දුකට වස්තු බැවින් දුඃඛ වශයෙන්, රොගතො = ප්‍රත්‍යයයෙන් යැපිය යුතු බැවින්, සියලු රෝගයනට මුල් බැවින් රෝග වශයෙන්, ගණ්ඩතො = දුක්රිදුම් ඇති බැවින්, කෙලෙස් අසුචි ගලන බැවින්, ඉපදීම - දිරීම - ඉදිමීම - පැසවීම - බිඳීම යන මෙයින් යුත්ත බැවින් ගණ්ඩවශයෙන්, සල්ලතො = පීඩා උපදවන බැවින්, ඇතුළත විදුනා බැවින්, ආර්‍ය්‍යමාර්‍ගයෙන් මුත් අන් මගකින් බැහැර කළ නො හැකි බැවින් සල්ල වශයෙන්, අඝතො = ගැරහිය යුතු බැවින්, අවැඩ එළවන බැවින්, දුකට වස්තු බැවින් අඝවශයෙන්, ආබාධතො = පරහට යටත් බැවින්, ආබාධයනට පිහිට බැවින් ආබාධ වශයෙන්, පරතො = තම වශයෙහි නො පවත්නා බැවින්, ‘නො දිරිව’ නොමියේවා’ යි මෙසේ කළ නියමයනට යටත් නො වන බැවින් පරවශයෙන්, පලොකතො = ව්‍යාධි - ජරා - මරණයන්ගෙන් බි‍ඳෙන බැවින් පලෝක වශයෙන්, ඊතිතො = මහත් වූ නොයෙක් ව්‍යසන පමුණු වන බැවින් ඊතිවශයෙන්, උපද්දවතො = නො දත් මහත් අනර්‍ත්‍ථ පමුණු වන බැවින්, සියලු උපද්‍රවයනට වස්තු බැවින් උපද්දව වශයෙන්, භ‍යතො = සියලු බිය උපදවන තැන් බැවින්, නිවනට සතුරු බැවින් භය වශයෙන්, උපසග්ගතො = අනර්‍ත්‍ථ ලුහු බඳිනා බැවින්, රාග-ද්වේෂාදී වූ නොයෙක් දෝෂයන් එල්බ සිටුනා බැවින්, රාගාදීන් විසින් ඇලෙන බැවින් උපසග්ගවශයෙන්, චලතො = ජරා - ව්‍යාධි - මරණයෙන් හා අටලෝදහමින් සැලෙන බැවින් චල වශයෙන්, පභඞ්ගුතො = උපක්‍රමයෙන් හා ස්වභාව විසින් නැසෙන බැවින් පභඞ්ගු වශයෙන්, අද්ධුවතො = සියලු කල්හි, ගසක ගෙඩියක් සේ වැටෙන සැහැවි ඇති බැවින් අද්ධුව වශයෙන්, අත්තානතො = ජරා - මරණාදී වූ දුකින් හා අපායාදී වූ දුකින් නො රැකිය හැකි බැවින්, රැකුම් නැති බැවින් අත්තාන වශයෙන්, අලෙන්තො = රක්‍ෂාස්ථාන සොයන්නවුන්ට රක්‍ෂාස්ථාන නො වන බැවින්, තමාට හා රක්‍ෂාස්ථාන නො වන බැවින් ‍අලෙන වශයෙන්, අසරණතො = පැමිණි බිය දුරු කිරීමෙන් සත්නට පිහිට වීමෙහි අපොහොසත් බැවින්, තමාට හා පිහිට නො වන බැවින් අශරණ වශයෙන්, අරිත්තතො = ධුව - සුභ - සුඛ - අත්තභාවයෙන් සිස් බැවින් රික්ත වශයෙන්, තුච්ඡතො = සිස් බැවින් හා අල්ප බැවින් හා ලාමක බැවින් තුච්ඡ වශයෙන්, සුඤ්ඤතො = ස්වාමී - නිවාසී - කාරක - වෙදක - අධිට්ඨායික යන ආත්මභාවයෙන් සිස් බැවින් සුඤ්ඤ වශයෙන්, අනත්තතො = තමා ද ස්වාමිකාදිභාවයෙන් තොර බැවින් අනත්ත වශයෙන්, ආදීනවතො = දුක් බැවින්, දිළිඳු බැවින් ආදීනව වශයෙන්, විපරිණාමධම්මතො = ජරා - මරණ දෙකින් පෙළෙන බැවින් විපරිණාමධම්ම වශයෙන්, අසාරතො = දුර්‍වල බැවින්, පහසුවෙන් බිඳිය හැකි බැවින් අසාර වශයෙන්, අඝමූලකතො = පවට මුල් බැවින් අඝමූලක වශයෙන්, වධකතො = මිතුරකු වැනි සතුරකු සේ විස්වස්හි තබා සිටිනවුන් නසන බැවින් වධක වශයෙන්, විභවතො = නිත්‍ය - ශුභ - සුඛාදී වූ වැඩීම් නැති බැවින් විභව වශයෙන්, සාසවතො = ආස්‍රවයනට හේතු බැවින් සාසව වශයෙන්, සඞ්ඛත්තො = ප්‍රත්‍යයෙන් නිපදවන ලද බැවින් සඞ්ඛත වශයෙන්, මාරාමිසතො = මෘත්‍යු මාරාදීනට ගොදුරු වන බැවින් මාරාමිස වශයෙන්, ජාතිධම්මතො = උපදනා සැහැවි ඇති බැවින් ජාතිධම්ම වශයෙන්, ජරාධම්මතො = දිරීම් සැහැවි ඇති බැවින් ජරාධම්ම වශයෙන්, ව්‍යාධිධම්මතො = ලෙඩ රෝ සැහැවි කොට ඇති බැවින් ව්‍යාධිධම්මවශයෙන්, මරණධම්මතො = මැරීම් සැහැවි ඇති බැවින් මරණධම්මවශයෙන්, සොකධම්මතො = ශෝකය ස්වභාවය කොට ඇති බැවින් සෝකධම්මවශයෙන්, පරිදෙවධම්මතො = වැළපීම ස්වභාවය කොට ඇති බැවින් පරිදේවධම්ම වශයෙන්, උපායාසධම්මතො = දැඩි තැවීම ස්වභාවය කොට ඇති බැවින් උපායාසධම්ම වශයෙන්, සඞ්කිලෙසධම්මතො = තෘෂ්ණා - දෘෂ්ටි - දුශ්චරිත සඞ්ක්ලේශයන්ට ගොදුරු වන බැවින් සඞ්කිලෙසධම්මවශයෙන්, යන ප්‍රභේද විසින් මෙසේ විදර්‍ශනා කරන්නේ ය. මෙ කියූ සම සතළිස් විදර්‍ශනාවෝ අනිත්‍යාදිඅනුපස්සනා තුනෙහි ඇතුළත් ව සිටියහ.

එහි අනිච්ච - පලෝක - චල - පභඞ්ගු - අද්ධුව - විපරිණාම ධම්ම - අසාරක - විභව - සඞ්ඛත - මරණධම්ම වශයෙන් එක් එක් ස්කන්‍ධයෙහි දසය දසය බැගින් පඤ්චස්කන්‍ධයෙහි අනිච්චානුපස්සනාවෝ පණසක් වෙත්.

දුකඛ - රෝග - ගණ්ඩ - සල්ල - අඝ - ආබාධ - ඊති - උපද්දව - භය - උපසග්ග - අතාණ - අලෙන - අසරණ - ආදීනව - අඝමූල - වධක - සාසව - මාරාමිස - ජාතිධම්ම - ජරාධම්ම - ව්‍යාධිධම්ම - සෝකධම්ම - පරිදේවධම්ම - උපායාසධම්ම - සංකිලෙසධම්ම වශයෙන් එක් එක් ස්කන්‍ධයෙහි පස් විස්ස පස් විස්ස බැගින් පඤ්චස්කන්‍ධයෙහි දුක්ඛානුපස්සනාවෝ එක්සිය පස් විස්සක් වෙත්.

පර - රිත්ත - තුච්ඡ - සුඤ්ඤ - අනත්ත වශයෙන් එක් එක් ස්කන්‍ධයෙහි පස පස බැගින් පඤ්චස්කන්‍ධයෙහි අනත්තානුපස්සනාවෝ පස් විස්සක් වෙත්.

මෙසේ අනිච්චාදී වූ අනුපස්සනා තුනට ඇතුළත් වූ දෙසියයක් භේදවත් වූ අනිත්‍යාදිසම්මර්‍ශනයෙන් පඤ්චස්කන්‍ධය සම්මර්‍ශනය කරන්නා වූ විදර්‍ශකයාගේ නයවිපස්සනා නම් වූ තිලකුණු මෙනෙහි කිරීම තහවුරු වන්නේ ය. නයවිපස්සනා වසයෙනුදු වැර වඩන්නා වූ විදර්‍ශකයාහට ඒ නයවිපස්සනාව තහවුරු නො වේ නම්, උපනුපන් සංස්කාරයන්ගේ විනාශය දැකීම - ඒ විනාශය වඩාත් ආදරයෙන් දැකීම - නිතර අතර නො තබා සංස්කාරවිනාශය දැකීමෙහි යෙදීම - ආවාසාදිසතප්‍රායසේවනය - විදර්‍ශනාසමාධිහුගේ නිමිති ගැණීම - සප්තබොද්ධ්‍යඞ්ගයන් අනු ව පැවැත්ම - කායජීවිත දෙක්හි පහ වූ අපේක්ෂාව - උපනූපන් පීඩා උත්සාහයෙන් මැඩලීම - අභිමතාර්‍ත්‍ථසිද්ධිය තෙක් භාවනා කිරීම යන මේ ගුණ නවය වඩා මෙ තෙමේ ශ්‍රද්ධාදිඉන්ද්‍රියයන් තියුණු කරන්නේ ය.

මේ නව අයුරින් ශ්‍රද්ධාදිඉන්ද්‍රියයන් තියුණු කොට ගත් විදර්‍ශක, ආවාස - ගොචර - භස්ස - පුග්ගල - භොජන - උතු - ඉරියොපථ යන නො සැප වූ මෙ සත දුරු කොට සැප දැය සේවනය කරන්නේ ය. ඒ අතර, කලෙක රූපය කලෙක අරූපය සම්මර්‍ශනය කරන්නේ ය. එහි රූපසම්මර්‍ශනය කරන්නේ කාමාවචරාදිභූමිවශයෙන් ද අණ්ඩජාදියෝනි වශයෙන් ද භින්න වූ සත්ත්‍වයනට උපදනා රූප, කම්ම - කම්මසමුට්ඨාන - කම්මප්පච්චය - කම්මප්පච්චයචිත්තසමුට්ඨාන - කම්මප්පච්චයආහාරසමුට්ඨාන - කම්මප්පච්චයඋතුසමුට්ඨාන විසින් ඉපදීම - පැවතීම - නැසීම යන මෙතැන්හි ද, ආහාර - ආහාර සමුට්ඨාන - ආහාරප්පච්චය - ආහාරප්පච්චයආහාරසමුට්ඨාන ආහාරප්පච්චයඋතුසමුට්ඨාන විසින් රූපයන්නේ ඉපදීම - පැවැතීම - නැසීම යන මෙ තැන්හි ද වගවිභාග ඇති සැටියෙන් විග්‍රහ කොට සම්මර්‍ශනය කරන්නේ ය. මෙසේ සම්මර්‍ශනය කරත්, රූපයන්ගේ ඉපදීම දක්නේ ම ක්‍ෂණික ව රූපවිනාශ වන බැවින් රූපයන්ගේ නැසීම ද දක්නේ ය. ඒ හා ම එ දෙක අතර වූ පැවැත්ම ද දකී.

අනතුරු ව අරූපසම්මර්‍ශන කරන්නේ අරූපයන්ගේ හටගැණීම දක්නේ ය. මේ දැකීම එක් අසූවක් ලෞකිකචිත්තයන්ගේ ඉපදීම් වශයෙන් වන්නේ ය. අරූප නම්: නාමධර්‍ම ය. ඒ නම්: එක් අසූවක් සිත් ය. ලෝකෝත්තර සිත් මෙයට ඇතුළත් නො වේ.

පෙර අත්බැව් හි රැස් කරණ ලද කුශලාකුශලකර්‍මයන්ගේ වශයෙන් එකුන් විසි විපාක සිත් ප්‍රතිසන්‍ධියෙහි දී ඒ ඒ භවවශයෙන් උපදනේ ය. ඒ එකුන්විසි සිත් ම ප්‍රතිසන්‍ධිචිත්තයට අනතුරු චිත්තයෙහි පටන් භවාඞ්ග වශයෙන් ද, ආයුකෙළවර චුති වශයෙන් ද උපදිත්. ඔවුනතුරෙහි කාමාවචරවිපාකචිත්තය, චක්‍ෂුරාදිඅතිමහන්තාලම්බනයෙහි ද, මනෝද්වාරයෙහි විභූතාලම්බනයෙහි ද මහා විපාක අට හා සන්තීරණ තුන ද යන සිත් එකොළොසින්, එකෙක් තදාලම්බනවශයෙන් පවත්නේ ය. ස්ථිතිකාලයෙහි චක්‍ෂුඃප්‍රසාදය නො නට බැවින් රූපයන්ගේ හමුවීමෙන් ආලෝකය ඇසුරු කොට සිටි මෙනෙහි කිරීම හේතු කොට ඇති චක්‍ෂුර්විඥානචිත්තය සම්ප්‍රයුක්ත ධර්‍මයන් හා එක්ව උපදී. උපදින නිරුද්ධ වන රූප, කිසිවක් හට ප්‍රත්‍යය නො වන බැවින් ස්ථිතිඅවස්ථාවට පැමිණියා වූ ම රූපය, ස්ථිතිඅවස්ථායෙහි ම වූ චක්‍ෂුඃප්‍රසාදරූපයෙහි ගැටෙන්නේ ය. ඒ අරමුණ ගැටුනු කල්හි දෙවරක් භවඞ්ගචලන-භවඞ්ගුපච්ඡෙද විසින් භවඞ්ගය ඉපද නිරුද්ධ වන්නේ ය. ඉනික්බිති ක්‍රියාමනෝධාතු ව ම අරමුණෙහි ආවර්‍ජනකෘත්‍යය සිදු කරමින් ආවර්‍ජන නමින් පහළ වන්නේ ය. නැවැත එම රූපය ම බලමින් කුසලවිපාක වූ හෝ අකුසලවිපාක වූ චක්‍ෂුර්විඥානය ද, එයට අනතුරු ව එම රූපය පිළිගණිමින් විපාකමනෝ ධාතුව සම්පටිච්ඡන නමින් ද, ඒ රූපය ම මනා කොට තීරණය කරමින් විපාක අහේතුක මනෝවිඥාන ධාතුව සන්තීරණ නමින් ද, ඒ ම විනිශ්චය කරමින් උපේක්ෂාසහගත ක්‍රියා අහේතුක මනෝවිඥානධාතුව මනෝද්වාරාවර්‍ජන නමින් ද උපදිත්. ඉන්පසු පස් වරක් හෝ ‍සත් වරක්, කාමාවචර කුශල අකුශල ක්‍රියා චිත්තයන් අතුරෙහි එක් සිතක් හෝ දෙවන වාර වශයෙන් උපේක්ෂා සහගත අහේතුක චිත්තය හෝ ජවන වශයෙන් උපදනේ ය. අනතුරු ව කාමාවචරසත්ත්‍වයනට එකොළොස් තදාරම්මණ චිත්තයන් අතුරෙහි ජවනයනට සුදුසු පරිදි යම්කිසි සිතක් තදාරම්මණවසයෙන් උපදී. සෝත ආදී වූ සිවු දොරෙහි ද මේ මෙසේ දන්නේ ය. මනෝද්වාරයෙහි මහදගතරූපාරූප සිත් උපදී.

මෙසේ සදොරෙහි වන චිත්තයන්ගේ පැවැත්ම දැක, විදර්‍ශක තෙමේ අරූපයන්ගේ ඉපදීම බලනුයේ අරූප සම්මර්‍ශනය කරණුයේ කලෙක රූප ද නුවණින් විමසා බලා තිලකුණට නගා උදය - ව්‍යය ඥානානුසාරයෙන් ප්‍රඥාභාවනාව සපයන්නේ ය. මෙතෙමේ ම ප්‍රඥා භාවනාව සම්පූර්‍ණ කිරීමෙහි සමර්‍ත්‍ථ වේ.

අන් විදර්‍ශකයෙක් රූපසප්තක අරූපසප්තක විසින් ද සංස්කාරධර්‍ම තිලකුණට නගා සනමර්‍ශනය කරන්නේ ය. එහි ආදාන - නික්ඛෙප - වයොවුද්ධත්‍ථ ගමන - ආහාරසමුත්‍ථාන - උතුසමුත්‍ථාන - කම්මසමුත්‍ථාන - චිත්තසමුත්‍ථාන - ධම්මතාරූප යන මේ සතින් රූපය විදර්‍ශනා කිරීම රූපසප්තක විස්න සනමර්‍ශනය කිරීම නම් වේ.

ආදානනික්ඛෙප යන්නෙහි ආදාන නම්: පටිසන්‍ධිය යි. නික්ඛෙප නම්: චුතිය යි. පටිසන්‍ධි-චුති දෙකින් පිරිසි‍ඳෙන එක එක භවයෙහි වන සියලු රූපධර්‍මයෝ උත්පාද-නිරුද්ධ වශයෙන් පවත්නෝ ය. ජරා මරණ දෙකින් පෙරළෙන්නෝ ය. තාවකාලිකයහ. නිත්‍යස්වභාවයෙන් නො පවත්නාහ. එහෙයින් අනිත්‍යයහ. උපන් රූපධර්‍ම ස්ථීතියට පැමිණීම, ස්ථිතියෙහි පැවැති රූපධර්‍ම ජරායෙන් පෙළීම, ජරාවට පැමිණි රූපධර්‍ම බිඳීයෑම යන මෙයින් නිරතුරු ව පෙළෙන බැවින්, ඉවසීමට නො හැකි බැවින්, සසර දුකට කරුණු හෙයින්, සැපයට ප්‍රතිපක්‍ෂ බැවින් දුඃඛයහ. විශේෂ විසින් උපන් රූපධර්‍මයෝ ස්ථිතියට නො පැමිණෙත්වා, ස්ථිතියට නො පැමිණියෝ නො දිරත්වා, දිරූවෝ නොබි‍ඳෙත්වා, යන ස්ථිති - ජරා - භද යන මෙතන්හි කිසිවකුගේ වශවර්තිභාවයක් නො වන බැවින් ශුන්‍යයහ. මෙසේ ශුන්‍ය බැවින්, වශයෙහි නො පවත්නා බැවින්, ඊශ්වරයක්හු නැති බැවින්, වශයෙහි පවත්වන්නකු නැති බැවින්, ආත්මයක් නැති බැවින් අනාත්මයහ. මෙසේ අවුරුදු සියයෙකින් පිරිසිඳිනා ලද රූපය අනිත්‍ය-දුඃඛ-අනාත්ම යන ත්‍රිලක්‍ෂණයට නගා බැලීම ආදානනික්ඛෙප විසින් විදර්‍ශනා කිරීම ය.

වයොවුද්ධත්‍ථගමන නම්: වයස් වශයෙන් වැඩුනු රූපයාගේ විනාශය බැලීම ය. විදර්‍ශක තෙමේ අවුරුදු සියයකින් පිරිසි‍ඳෙන වයස්කාලය තෙතිස් - සූතිස් - තෙතිස් යන ගණන් විසින් තුන් කොටසක් කොට, ප්‍රථම වයස්කාලය සේ ගැණෙන අවුරුදු තෙතිසෙහි පැවැති රූප, මද්ධ්‍යමවයස් කාලය සේ ගැණෙන අවුරුදු සූතිසටත් ඒ මද්ධ්‍යමකාලයෙහි පැවැති රූප, පශ්චිම වයස් කාලය සේ ගැණෙන අවුරුදු තෙතිසටත් නො පැමිණ ඒ ඒ උපන් අවස්ථාවන්හි ම ඉදිරියට නො ගොස් නිරුද්ධ වන බැවින් අනිත්‍ය ය, අනිත්‍ය ය බැවින් දුක් ය, දුක් බැවින් අනාත්මය’යි විදර්‍ශනා කරන්නේ ය.

නැවැත මෙතෙමේ ඒ අවුරුදු සියය මන්‍දදශක - ක්‍රීඩාදශක - වර්‍ණදශක - බලදශක - ප්‍රඥාදශක - හායනදශක - ප්‍රාග්හාරදශක - ප්‍රවඞ්කදශක - මොමූශදශක - ශයනදශක යි දශක වශයෙන් බෙදා විදර්‍ශනා කරන්නේ ය.

මෙසේ බෙදුනු දශකයන් අතුරෙහි මන්‍දදශක නම්: ජීවත්වන්නහුගේ ජීවිතය පිළිබඳ මුල් දස අවුරුද්ද ය. ඒ කාලයෙහි මිනිසා ලදරුවකු සේ හැසිරෙන්නේ ය. ක්‍රීඩාදශක නම්: කෙළිසෙල්ලම් කරණ කාලය යි. මේ කාලයෙහි සෙල්ලම් කරන්නේ ය. වර්‍ණදශක නම්: සිරුරුපැහැය පහන් වන කාල ය යි. මේ කාලයෙහි සිරුරු පැහැයෙන් පැහැපත් වන්නේ ය. බලදශක නම්: ශරීරශක්තියෙන් වැඩෙන ඔදවැඩි වන කාල ය යි. මේ කාලයෙහි ශරීරශක්තියෙන් නැගී සිටින්නේ ය. ප්‍රඥාදශක නම්: නුවණින් වැඩී සිටින කාල ය යි. මේ කාලයෙහි නුවණින් වැඩී සිටින්නේ ය. හායනදශක නම්: සිරුර හා නුවණ පිරිහෙන කාල ය යි. මේ කාලයෙහි ශරීරශක්තියෙන් හා නුවණින් පිරිහෙන්නේ ය. ප්‍රාශහාරදශක නම්: සිරුර ඉදිරියට බරව නැමී සිටිනා කාල ය යි. මේ කාලයෙහි ශරීරය ඉදිරියට නැමී සිටින්නේ ය. ප්‍රවඞ්කදශක නම්: සිරුර වක ගැසෙන කාල ය යි. මේ කාලයෙහි ශරීරය නගුල් කොණක් සේ වක ගැසී යන්නේ ය. මොමූහදශක නම්: නුවණ පිරිහී සිහි මුළාවන කාල යයි මේ. කාලයෙහි කිසිවක් සිතෙහි නොරැ‍ඳෙන්නේ ය. ශයනදශක නම්: ඇඳ වැතිර හෝනා කාල ය යි. මේ කාලයෙහි නිතර ඇඳ වැතිර හෝනේ ය.

විදර්‍ශක තෙමේ ප්‍රථමදශකයෙහි පැවැති රූප, දෙවන දශකයට දෙවන දශකයෙහි පැවති රූප, තෙවන දශකයට යනාදී ලෙසින් ඒ ඒ දශකයන් හි වූ රූප ඒ ඒ දශකයන්හි ම ඉපද නිරුද්ධ වන මුත් අන් දශකයකට නො යන බැවින් අනිත්‍ය යි ද, අනිත්‍ය බැවින් දුක් යි ද, දුක්බැවින් අනාත්ම යි ද, තිලකුණු විසින් නගා විදර්‍ශනා කරන්නේ ය.

නැවැත මේ විදර්‍ශකයා විසින් ඒ අවුරුදු සියය පස්වස බැගින් විසි කොටසකට බෙදා ඒ ඒ කොටස්වලට අයත් රූප, අන් කොටසකට නො පැමිණ ඒ ඒ කොටස්හි ම ඉපද නිරුද්ධ වන බැවින් අනිත්‍ය - දුඃඛ - අනාත්ම විසින්, නැවැත අවුරුදු සියය, සිවු වස බැගින් කොටස් පස් විස්සකට, තුන් වස බැගින් කොටස් තෙ තිසකට, දෙවස බැගින් කොටස් පණසකට, එක් වස බැගින් කොටස් සියයක නැවැත එක් වසක් ගෙණ වස්සාන-හෙමන්ත-ගිම්හාන විසින් ඍතු තුනකට, වස්සාන-සරද-හෙමන්ත-සිසිර-වසන්ත-ගිම්හ විසින් ඍතු සයකට, මාස විසින් දොළොසකට, පක්‍ෂ විසින් කාලපක්‍ෂශුකලපක්‍ෂ යි දෙ පසකට, එක් දිනයක් ගෙණ රෑදාවලැ යි දෙකොටසකට, දාවල, පූර්‍වාහණ - මද්ධ්‍යාහන - සායාහන යි තුන් කොටසකට, රාත්‍රිය, ප්‍රථම - මද්ධ්‍යම ඡශ්චාම යි තුන් කොටසකට බෙදා ඒ ඒ කොටස්හි උපදනා රූප අන් කොටසකට නො පැමිණ ඒ ඒ කොටස්හි ම ඉපද නිරුද්ධ වන බැවින් අනිත්‍ය-දුඃඛ-අනාත්ම විසින් තිලකුණු මෙනෙහි කළ යුතු ය.

නැවැත ඉදිරියට යෑමෙහි පැවැති රූඵය පෙරළා ඊමට, ඉදිරිය බැලීෆමහි පැවැති රූපය ‍ඔබනොබ බැලීමට, අත් පා හැකිළී මෙහි පැවැති රූපය අත්පා දිග හැරීමට නො පැමිණ ඒ ඒ තන්හි ම නිරුද්ධ වන බැවින් අනිත්‍ය - දුඃඛ - අනාත්ම ය යි මෙනෙහි කළ යුතුය.

උද්ධරණයෙහි පැවැති ධාතූන් හා ඔවුන් නිසා පැවැති රූප යන සියලු ධර්‍ම, අතිහරණයට නො පැමිණ, අතිහරණයෙහි පැවැති රූප වීතිහරණයට නො පැමිණ, වීතිහරණයෙහි පැවැති රූප, වොස්සජ්ජනයට නො පැමිණ, වොස්සජ්ජනයෙහි පැවැති රූප සන්නික්ඛෙපනයට නො පැමිණ, සන්නික්ඛෙපනයෙහි පැවැති රූප සන්නිරුම්භයනට නො පැමිණ ඒ ඒ තන්හි ම ඉපිද නිරුද්ධ වෙති. මෙසේ ඒ ඒ තන්හි උපන් රූපයෝ අන් කොටසකට නො පැමිණ ඒ ඒ තන්හි ම පුරුක් පුරුක් ව කොටස් කොටස් ව රත් වූ යකබලෙක බහාලූ තල ඇට මෙන් තට තට යන හඬ ඇති ව බි‍ඳෙන්නාහ. එහෙයින් අනිත්‍යයහ, දුඃඛයහ, අනාත්මයහ, යි විදර්‍ශනා වඩන්නනහුගේ රූපසන්මර්‍ශනය සියුම් වේ.

එහි පය භූමියෙන් නැගීම උද්ධරණ නම්. පය ඉදිරියට යැවීම අතිහරණ නම්. පය එහා මෙහා කිරීම වීතිහරණ නම්. පය යටට හෙළීම වොස්සජ්ජන නම්. පොළොවෙහි පා තැබීම සන්තික්ඛෙපන නම්. පය උදුරණ කල පොළොව සමඟ පෙළීම සන්නිරුම්භන නම්. උද්ධරණයෙහි දී පඨවි - ආපෝ ධාතු දෙක හීන වේ. තේජෝ - වායු දෙක අධික ව බලවත් වේ. අතිහරණ - වීතිහරණ දෙක්හි ද එසේ ය. වොස්සජ්ජනයෙහි තේජෝ - වායු දෙක අඩු ව හීන වේ. පඨවි - ආපෝ ධාතු දෙක අධිකව බලවත් වේ. සන්නික්ඛෙපන - සන්නිරුම්භන දෙක්හි ද එසේ ය.

ආහාරසමුට්ඨාන නම්: ආහාරයෙන් හට ගන්නා රූපයෝ ය. ආහාරයෙන් හට ගන්නා රූප ක්‍ෂුධා සුහිත කාලයන්හි ප්‍රකට ව පෙණෙන්නේ ය. බඩසා ඇති කාලයෙහි උපදනා රූප මලානික වේ. දාගිය කණුවක් මෙන් අඟුරු පැසෙක සැඟවුන කවුඩකු මෙන් දුර්‍වර්‍ණ වේ. රළු වේ. ආහාරපානයෙන් බඩ පිරී ගිය කල්හි උපදනා රූප ප්‍රණීත වේ. පිණා ගියේ වේ. මොළොක් වේ. මනා පහස් ඇත්තේ වේ. වර්‍ණවත් වේ. විදර්‍ශක තෙමේ ඒ මේ රූප එසේ පිරිසිඳ ‍ගෙණ බඩසා කාලයෙහි පැවැති රූප, බඩ පිරී ගිය කාලයට නො පැමිණ ඒ බඩසා කාලයෙහි ම නිරුද්ධ වන්නේ ය. බඩ පිරී ගිය කාලයෙහි පැවැති රූප, බඩසා කාලයට නො පැමිණ ඒ බඩ පිරී ගිය කාලයෙහි ම නිරුද්ධ වේ. එහෙයින් ඒ රූප අනිත්‍ය ය, දුක්ඛ ය, අනාත්ම ය, යි විදර්‍ශනා කරන්නේ ය.

උතුසමුට්ඨාන නම්: ඍතුයෙන් හට ගන්නා රූපයෝ ය. ඍතුයෙන් හට ගන්නා රූප, ශීත උෂ්ණ කාලයන්හි ප්‍රකට වන්නේ ය. උෂ්ණකාලයෙහි උපදනා රූපයෝ මලානිකයහ. දුර්‍වර්‍ණයහ. රෞද්‍රයහ. ශීත කාලයෙහි උපදනා රූපයෝ ප්‍රණීතයහ. මෘදුයහ. සුවපහස් ඇත්තාහ. විදර්‍ශක තෙමේ ඒ මේ රූප, එසේ පිරිසිඳ උෂ්ණකාලයෙහි පැවැති රූප, ශීතකාලයට නො පැමිණ උෂ්ණ කාලයෙහි ම නිරුද්ධ වන්නේ ය. ශීතකාලයෙහි පැවැති රූප, උෂ්ණකාලයට නො පැමිණ ශීතකාලයෙහි ම නිරුද්ධ වන්නේ ය. එහෙයින් ඒ රූප අනිතය්‍ය, දුඃඛය, අනාත්මය, යි විදර්‍ශනා කරන්නේ ය.

කම්මසමුට්ඨාන නම්: කර්‍මයෙන් හට ගන්නා රූපයෝ ය. කර්‍මයෙන් හට ගන්නා රූප, ද්වාර වශයෙන් ප්‍රකට වන්නේ ය. චක්ඛු ද්වාරයෙහි චක්ඛුදසක - කායදසක - භාවදසක යන කලාපයන්ගේ වශයෙන් රූප තිසෙක් වේ. ඔවුනට උපකාර වූ ඍතු - චිත්ත - ආහාරයන්ගෙන් හටගන්නා වූ ශුද්ධාෂ්ටකකලාප තුනෙහි රූප සූවිස්සෙක් වේ. මෙසේ චක්ඛුද්වාරයෙහි රූප සූපණසෙක් ලැබෙන්නේ ය. සෝත - ඝාන - ජිහ්වාද්වාරයන්හි ද එසේ සිවු පණස බැගින් රූපයෝ වන්නාහ. කායද්වාරයෙහි කායදසක - භාවදසක වශයෙන් ද ඍතු - චිත්ත - ආහාරයන්ගෙන් හට ගන්නා වූ ශුද්ධාෂ්ටකකලාපයන්ගේ වශයෙන් ද රූපයෝ සිවු සාළිසෙක් වෙත්. මනෝද්වාරයෙහි වත්‍ථුදසක - කායදසක - භාවදසකයන්ගේ වශයෙන් හා ඍතු - චිත්ත - ආහාරයන්ගෙන් හටගන්නා වූ ත්‍රිවිධ ශුද්ධාෂ්ටකකලාපයන්ගේ වශයෙන් ද රූප සිවුපණසෙක් වන්නේ ය. මෙහි මනෝද්වාර නම්: සාවජ්ජනභවඞ්ගය යි. විදර්‍ශක තෙමේ ඒ මේ රූප එසේ පිරිසිඳ, චක්ඛුද්වාරයෙහි පැවැති රූප, සෝතද්වාරයට නො පැමිණ එහි ම, සෝතද්වාරයෙහි පැවැති රූප, ඝානද්වාරයට නො පැමිණ එහි ම, ඝානද්වාරයෙහි පැවැති රූප, ජිහ්වාද්වාරයට නො පැමිණ එහිම, ජිහ්වාද්වාරයෙහි පැවැති රූප කායද්වාරයට නො පැමිණ එහි ම, කායද්වාරයෙහි පැවැති රූප, මනෝද්වාරයට නො පැමිණ එහි ම නිරුද්ධ වන්නේ ය. එහෙයින් අනිත්‍යයහ, දුඃඛයහ, අනාත්මයහ, යි තිලකුණට නගා විදර්‍ශනා කරන්නේ ය.

චිත්තසමුට්ඨාන නම්: සිතින් හට ගන්නා රූපයෝ ය. චිත්තයෙන් හට ගන්නා රූප සොම්නස්ස - දොම්නස්ස විසින් ප්‍රකට වන්නේ ය. සොම්නසින් යුක්ත ව සිටුනා වේලෙහි ඔහුගේ සිරුරෙහි මොළොක් වූ සිනිඳු පිණා ගියා වූ පැහැපත් වූ රූපයෝ හට ගණිත්. දොම්නසින් යුක්ත ව සිටුනා වේලෙහි ඔහුගේ සිරුරෙහි මැලවී ගිය රළු වූ නො පැහැපත් වූ රූපයෝ හට ගණිත්. විදර්‍ශක තෙමේ ඒ මේ රූප එසේ පිරිසිඳ සොම්නස් කල්හි පැවැති රූප දොම්නස් කලට නො පැමිණ එකල්හි ම, දොම්නස් කල්හි පැවැති රූප, සොම්නස් කලට නො පැමිණ එකල්හි ම නිරුද්ධ වන්නාහ. එහෙයින් අනිත්‍යය හ, දුඃඛය හ, අනාත්මය හ, යි තිලකුණට නගා විදර්‍ශනා කරන්නේ ය.

ධම්මතා රූප නම්: සත්ත්‍වශරීරයෙන් බැහැරි වූ අනින්‍ද්‍රියබද්ධ සන්තානයෙහි උපදනා රූපයෝ ය. යකඩ - ලොහ - සුදු ඊයම් - කලු ඊයම් - රන් - රිදී - මුතු - මැණික් ආදි ප්‍රභේද අති හට ගන්නා කප පටන් උපදනා රූප සමූහය යි ඒ. අශෝකඅඞ්කුරරූපය ආදියෙහි තුනී රන් පැහැයෙන් යුක්ත ය. දෙතුන් දිනක් ගිය තැන මදක් රතු වේ. එයට අනතුරු ව තරුණ පත් බඳු පැහැය ඇතියේ අනතුරු ව මේරූ ත් බඳු පැහැය ඇතියේ, ඉක්බිති කොළ පැහැය ඇතියේ නිල්ප පැහැය ඇතියේ වේ. එ තැන් පටන් වර්‍ණාදී වශයෙන් සමාන ස්වභාව ඇති රූපය, හේතු ඵල පරම්පරා නො සිඳ පවත්නේ අවුරුද්දකින් පමණ පඬුවන් ව නටුවෙන් ගැලවී බිම හෙන්නේ ය. මෙහි ද විදර්‍ශක තෙමේ ඒ පිරිසිඳ තුනී රතු පැහැති අවස්ථායෙහි පැවැති රූපය, තද රතු පැහැති අවස්ථාවට නො පැමිණ, තද රතු පැහැති අවස්ථායෙහි පැවැති රූපය, මද රතු පැහැති අවස්ථාවට, පඬුවන් අවස්ථායෙහි පැවැති රූපය ගිලිහී වැටෙන අවස්ථාවට නො පැමිණ නිරුද්ධ වන්නෝ ය. එහෙයින් අනිත්‍යය හ, දුඃඛය හ, අනාත්මය හ, යි තිලකුණට නගා විදර්‍ශනා කරන්නේ ය. මෙ තෙමේ මෙසේ රූපසප්තක වශයෙන් පළමු කොට තිලකුණට නගා සන්මර්‍ශනය කරන්නේ ය.

නැවැත, මේ විදර්‍ශක, කලාප - යමක - ඛණ - පටිපාටි - දිට්ඨි - උග්ඝාටන - මානසමුග්ඝාටන - නිකන්තිපරියාදාන යන අරූපසප්තක විසින් විදර්‍ශනා කරන්නේ ය.

එහි කලාප නම්: ඵස්ස - වේදනා - සඤ්ඤා - චේතනා - චිත්ත යන ඵස්සපඤ්චකධර්‍මයෝ ය. එහි දී විදර්‍ශක, මේ කෙස් අනිත්‍යය, දුක් ය, අනත් ය යි විදර්‍ශනා කිරිමේ දී උපන් ඵස්සපඤ්චමක නාමධර්‍ම, අනික් අනික් කොටසකට නො පැමිණ පුරුක් පුරුක් ව කොටස් කොටස් ව රත් කබලෙක ලූ තල ඇට සේ ‘තට තට’ යන අනුකරණයෙන් විනාශ වන්නේ ය. එහෙයින් අනිත්‍යය, දුඃඛය, අනාත්මය යි සන්මර්‍ශනය කරන්නේ ය. කොටින් මෙහිලා චිත්ත - චෛතසික ධර්‍ම, සමූහ වශයෙන් කැටි කොට ගෙණ විදර්‍ශනා කිරීම කලාප විසින් කරණ සන්මර්‍ශන ය යි දතයුතු ය. චිත්ත - චෛතසික ඉතා සියුම් ය. උන් නුවණින් දැනීම ලෙහෙසි පහසු නො වේ. විදර්‍ශනාවට පහසු වනු පිණිස ඒ චිත්ත - චෛතසික, සමූහ වශයෙන් ගණිත්.

යමක නම්: නාම - රූපධර්‍මයන් යුග්ම යුග්ම වශයෙන් ගැණීම ය. රූපයක් සන්මර්‍ශනය කොට ඒ සන්මර්‍ශනය කළ සිතත් අනික් සිතකින් සන්මර්‍ශනය කිරීම ය. මෙහි දී විදර්‍ශක, යට කියූ ආදාන නික්ඛෙප රූපය අනිත්‍යය, දුඃඛය, අනාත්ම ය යි විදර්‍ශනා කොට ඒ විදර්‍ශනා කළ සිත ද අනික් සිතකින් අනිත්‍යාදී වූ තිලකුණට නගා බලන්නේ ය. එසේ රූපාරූප ධර්‍ම, යුගළ යුගළ වශයෙන් ගෙණ විදර්‍ශනා වැඩීම යමක වශයෙන් වැඩීම ය යි දතයුතු ය. වයොවුද්ධත්‍ථ නාමරූප ය, ආහාරසමුට්ඨානරූප ය, උතුසමුට්ඨානරූප ය, කම්මසමුට්ඨානරූප ය, චිත්තසමුට්ඨානරූප ය, ධම්මතාරූප ය, අනිත්‍ය - දුඃඛ - අනාත්ම විසින් විදර්‍ශනා කොට ඒ විදර්‍ශණා කළ සිත ද අන් සිතකින් විදර්‍ශනා කිරීම යමක වශයෙන් යුගළ වශයෙන් සන්මර්‍ශනය කිරීම නමි.

ඛණ නම්: එක්තරා කාලපරිච්ඡෙදයෙකි. ඒ ක්‍ෂණ වශයෙන් විදර්‍ශනා කිරීම මෙයින් ගැණේ. විදර්‍ශක, ආදානනික්ඛෙපරූප ය තිලකුණට නගා විදර්‍ශනා කොට ඒ රූප විදර්‍ශනා කළ පළමු වන සිත ද අනිත්‍ය ය, දුඃඛ ය, අනාත්ම ය යි විදර්‍ශනාවට නගා නැවැත ඒ සිත ද අනිත්‍යාදී වශයෙන් විදර්‍ශනා කරන්නේ ය. මෙසේ දෙවන, තුන්වන, සතරවන සිත දැ යි සිත් සතරක් විදර්‍ශනා කිරීම ක්‍ෂණික වශයෙන් සන්මර්‍ශනය කිරීම නම් වේ. නැවැත පෙර කියු සේ ධම්මතරූපය තෙක් ඒ හැම රූප අනිත්‍ය ය, දුඃඛ ය, අනාත්මය යි විදර්‍ශනා කොට ඒ පළමු සිත දෙවන සිතින් ද, දෙවන සිත තුන්වන සිතින් ද, තුන්වන සිත සතරවන සිතින් ද සතරවන සිත පස්වන සිතින් ද විදර්‍ශනා කරන්නේ ය. මෙසේ රූප පිරිසිඳි සිතෙහි පටන් සතර සතර සිතක් සන්මර්‍ශනය කිරීම ක්‍ෂණික වශයෙන් සන්මර්‍ශනය යි දතයුතු ය.

පටිපාටි නම්: පිළිවෙළ ය. රූප කොටසක් විදර්‍ශනා කළ සිත දෙවෙන සිතකින් දැ යි පිළිවෙළින් දසවන සිත දක්වා විදර්‍ශනා කිරීම මෙයින් කියන ලදි. ආදානනික්ඛෙප වශයෙන් සන්මර්‍ශනය කළ රූපය අනිත්‍ය - දුඃඛ - අනාත්ම විසින් වඩා ඒ වැඩූ පළමු සිත, පළමු සිත වැඩූ දෙවන සිත, දෙවන සිත වැඩූ තෙවන සිත, තෙවන සිත වැඩූ සතරවන සිත දැ යි මෙසේ පිළිවෙළින් දසවැනි සිත අනිත්‍යාදිවශයෙන් විදර්‍ශක තෙමේ එකොළොස්වන සිතින් විදර්‍ශනා කරන්නේ ය. මෙසේ සෙසු වයොවුද්ධත්‍ථගාමී රූප ය, ධම්මතාරූපය දැ යි යට කියූ රූපයන්හි විදර්‍ශනා වඩා ඒ වැඩූ සිත් ද දසවන සිත තෙක් අනිත්‍යාදිවශයෙන් වඩන්නේ ය. මෙසේ විදර්‍ශනා පිළිවෙළින් මුළු දවස ම වඩන්නට වටනේ ය. දසවන සිත තෙක් විදර්‍ශනා වැඩීමෙන් රූපකර්‍මස්ථාන හා අරූප කර්‍මස්ථාන ද ප්‍රගුණ වන්නේ ය. එහෙයින් දසවන සිත තෙක් සන්මර්‍ශනය කළ යුතු ය යි කියනලදි. මෙසේ සන්මර්‍ශනය කිරීම පිළිවෙළින් සන්මර්‍ශනය කිරීම නම් වේ.

සත්කායදෘෂ්ටිය දුරු වන තුරු විදර්‍ශනා කිරීම දිට්ඨිඋග්ඝාටන නමි. මානය දුරු වන තුරු විදර්‍ශනා කිරීම මානඋග්ඝාටන නමි. තෘෂ්ණාව දුරු වන තුරු විදර්‍ශනා කිරීම නිකන්තිපරියාදාන නමි.

යට කියූ රූපසප්තකයෙහි රූපය ද, මේ අරූපසප්තකයෙහි අරූපය ද විදර්‍ශනාවට නැගූ යොගීහු විසින් නාම-රූපයන්ගෙන් මත්තෙහි සත්ත්‍වයෙක් නො දක්නා ලදුයේ සත්ත්‍වසංඥාව උගුළුවා හරිණ ලද්දී වේ. සත්ත්‍වසංඥාව උගුළුවා හළ සිතින් සංස්කාර පරිග්‍රහය කරන්නහුට ම දෘෂ්ටියෙහි ඉපැත්මෙක් නැත්තේ ය. දෘෂ්ටිය නො ද උපදනී නම් දෘෂ්ටිය උගුළුවන ලද්දී ය. දෘෂ්ටිය උගුළුවා හළ සිතින් සංස්කාරයන් සන්මර්‍ශනය කරන්නහුට මානය නො උපදන් ය. එකල්හි මානය ඉගිළී ගියේ වේ. මානය උගුළුවා හළ සිතින් සංස්කාරයන් පරිග්‍රහ කරන්නහුට තෘෂ්ණාව නො උපදි. එකල්හි නිකාන්තිය ක්‍ෂය වූවා වේ.

තවද “සංස්කාරයෝ ම සංස්කාර විදර්‍ශනා කෙරෙති”යි මෙසේ අනිත්‍යාදීන්ගේ වශයෙන් සන්මර්‍ශනය කරන්නහුගේ ආත්මදෘෂ්ටිය, “සංස්කාරයෝ ම සංස්කාර විදර්‍ශනා කෙරෙති” යි සන්මර්‍ශනය කරන්නහුගේ මානය, “සංස්කාරයෝ ම සංස්කාර විදර්‍ශනා කෙරෙති”යි ගන්නහුගේ සියම් වූ තෘෂ්ණාව යන දෘෂ්ටි - මාන - තෘෂ්ණාවෝ උද්ඝාටනය වන්නාහ.

තව ද සංස්කාර තමා වශයෙහි නො පවත්නා බැවින් අනාත්ම ය, ඇති ව නැති වන අරුතින් අනිත්‍ය ය, ඉපදීම් - නැසීම දෙකින් පෙළෙන බැවින් දුඃඛ ය යි දක්නහුගේ දෘෂ්ටිය , සංස්කාර ඇති ව නැති වන බැවින් අනිත්‍ය ය, ඉපදීම් - නැසීම් දෙකින් පෙළෙන බැවින් දුඃඛ ය, තමා වශයෙහි නො පවත්නා බැවින් අනාත්ම ය යි දක්නහුගේ මානය, සංස්කාර ඉපදීම් - නැසීම් දෙකින් පෙළෙන බැවින් දුඃඛ ය, ඇති ව නැති වන බැවින් අනිත්‍ය ය, තමා වහයෙහි නො පවත්නා බැවින් අනාත්ම ය යි දක්නහුගේ ආත්මදෘෂ්ටිය යන මොවුහු උද්ඝාතනය වෙත්. මෙසේ සංස්කාර අනාත්ම වශයෙන් දක්නහුගේ ආත්මදෘෂ්ටිය, අනිත්‍ය වශයෙන් දක්නහුගේ මානය, දුඃඛ වශයෙන් දක්නහුගේ තෘෂ්ණාව ඉගිළී යෑමෙන් රූපකර්‍මස්ථානයත් අරූපකර්‍මස්ථානයත් දෙක ප්‍රගුණ වන්නේ ය.

යට කියූ සේ පිළිවෙළින් විදර්‍ශනා වඩන විදර්‍ශකයාගේ අනත්තානුපස්සනාව තියුණු වූ කල්හි අනිච්චානුපස්සනා - දුක්කානුපස්සනා දෙකත් එයට අනුව පවතී නම් එකල්හි ඔහුගේ දෘෂ්ටිය ඉගිළී යන්නී ය. සියලු දෘෂ්ටීහු පවත්නෝ ආත්මදෘෂ්ටිය මුල් කොට ගෙණ ය. අනත්තානුපස්සනාව ආත්මදෘෂ්ටියට ඍජු ව ප්‍රතිපක්‍ෂ ව සිටුනී ය. අනිච්චානුපස්සනාව තියුණු ව ගිය කල්හි ඉතිරි අනුපස්සනා දෙක එයට අනුව පවත්නේ ය. එකල්හි මානය ඉගිළී යන්නේ ය. අනිච්චානුපස්සනාව නිත්‍ය යි ගැණීමට ඍජු ව විරුද්ධ වන්නී ය. දුක්ඛානුපස්සනාව තියුණු වූ කල්හි ඉතිරි අනුපස්සනා දෙක එයට අනු ව පවත්නේ ය. එකල්හි නිකන්තිය දුරු වන්නී ය. දුක්ඛානුපස්සනාව නිකන්තයට ප්‍රතිපක්‍ෂ ය. මෙසේ තෙ‍ වැදෑරුම් වූ අනුපස්සනාවන්ගේ කෘත්‍ය විශේෂයෙන් දෘෂ්ටි - මාන - නිකන්තීන්ගේ උද්ඝාතයෙන් රූප කර්‍මස්ථාන - අරූප කර්‍මස්ථාන පුහුණු වූවෝ වෙත්. මෙසේ පුහුණු ව ලත් විදර්‍ශක තෙමේ අනිච්චානුපස්සනා දී වූ ‍අටළොස් මහා විදර්‍ශනාවෙන් එක දෙශයක් ප්‍රතිවේධ කිරීමෙන් ඔවුනට පටහැනි ව සිටි නිත්‍යසංඥාදිය ද මැඩ ලන්නේ ය.

එහි අනිච්චානුපස්සනායෙන් නිත්‍යසංඥාව, දුක්ඛානුපස්සනායෙන් සුඛසංඥාව, අනත්තානුපස්සනායෙන් ආත්ම සංඥාව, නිබ්බිදානුපස්සනායෙන් සප්‍රීතික තෘෂ්ණාව, විරාගානුපස්සනායෙන් රාගය, නිරොධානුපස්සනායෙන් සමුදය, පටිනිස්සග්ගානුපස්සනායෙන් භවතෘෂ්ණාව, ඛයානුපස්සනායෙන් ඝනසංඥාව, වයානුපස්සනායෙන් සංස්කාරයන්ගේ රැස්කිරීම, විපරිණාමානුපස්සනායෙන් ධුවසංඥාව, අනිමිත්තානුපස්සනායෙන් නිත්‍යනිමිත්ත, අප්පර්‍ණහිතානුපස්සනායෙන් ප්‍රණිධිය, සුඤ්ඤතානුපස්සනායෙන් ආත්මවශයෙන් අභිනිවෙශ ය, අධිපඤ්ඤාධම්මවිපස්සනායෙන් තෘෂ්ණා - දෘෂ්ටි විසින් දැඩිව ගැණීම, යථාභූතඤාණදස්සනයෙන් සම්මෝහාභිනිවෙස ය, ආදීනවානුපස්සනායෙන් අවිද්‍යාව, විවට්ටානුපස්සනායෙන් කාමසංයෝගාදී ක්ලේශ ප්‍රවෘත්තිය දුරු කරන්නේ ය.

මෙසේ සනමර්‍ශනඥානයාගේ පරතෙරට පත් වූ කල්හි කෙලෙස් පහ ව යෑමෙන් ඥානයාගේ පාරිශුද්ධිය වන බැවින් විදර්‍ශක තෙමේ අනිත්‍යානුදර්‍ශනාදියට පටහැනි වූ නිත්‍යසංඥාදිය පහ කිරීමෙන් පිරිසිදු නුවණ ඇති ව සංස්කාරයන් පිළිබඳ ත්‍රි ලක්‍ෂණය මෙනෙහි කිරීමෙන් නයවිදර්‍ශනා නම් වූ කලාපසන්මර්‍ශන ඥානයට අනතුරු ව උදයව්‍යයානුදර්‍ශනඥානය ලැබීම පිණිස යෝග කරන්නේ ය.

මෙ තෙමේ ‘මේ නාම-රූප’ උත්පත්තියෙන් පෙර නූපන් නාම රූපයන්ගේ එක් තැනෙක රැස්වීමෙක් නැත්තේ ය, උපදින්නා වූ නාමරූපයෙන්ගේ එක් තැන් ව සිට ඊමෙක් ද නැත්තේ ය, නිරුද්ධ වන්නා වූ නාමරූපයන්ගේ දිශානුදිශාවන්ට යෑමෙක් හෝ නැත්තේ ය, නිරුද්ධ වූ නාමරූපයෙන්ගේ එක් තැනෙක පිහිටා සිටීමෙක් නැත්තේ ය, වීණාව වයන කල්හි උපදනා ශබ්දය ඉපදීමට පෙර එක් තැනෙක රැස් ව සිටියේ නො වේ, උපදනේ ද එක් ව සිට උපදනේ ද නො වේ. නැසී යනුයේ ද දිශාවිදිශාවන්ට යන්නේ ද නො වේ, නැසී ගියේ ද කිසි තැනක පිඩු වන්නේ ද නො වේ, එහෙත් වීණාව - උපවීණාව පුරුෂයාගේ එයට සුදුසු ව්‍යායාමය යන මෙතුන නිසා පෙර නො වූ ශබ්දයෙක් හට ගන්නේ ය, එසේ සියලු රූපාරූපධර්‍මයෝ පෙර නොවූවෝම ඇති වෙති, ඇති වූවෝ නැති වෙත්’ යි මෙසේ පළමු කොට ස්කන්‍ධයන්ගේ උදය-ව්‍යය දෙක සැකෙවින් මෙනෙහි කරන්නේ ය. එහි අදය නම්: හට ගැණීම ය. ව්‍යය නම්: නැසීම ය. එදෙක අනු ව බැලීමෙහි නුවණ, ‘උදයබ්බයානුපස්සනාඤාණ’ නම් වේ. “නිබ්බත්තිලක්ඛණං උදයො, විපරිනාමලක්ඛණං වයො, අනුපස්සනා ඤාණං” යනු එහිලා දන්නේ ය.

නැවැත මෙතෙමේ, ‘අවිද්‍යාවගේ ඉපැත්මෙන්, තෘෂ්ණාවගේ ඉපැත්මෙන්, කර්‍මයාගේ හට ගැන්මෙන්, ආහාරයාගේ හට ගැන්මෙන්, රූපයන්ගේ හට ගැන්ම වේ ය, යි මෙසේ හට ගැණීම් අරුත් විසින් රූපස්කන්‍ධයාගේ හට ගැණීම දක්නේ ය. පෙර නො වූ රූප අළුතින් ම උපදනා බව (නිබ්බත්තිලක්ඛණය) ක්‍ෂණ වශයෙන් දක්නේ රූපස්කන්‍ධයාගේ ඉපැත්ම බලන්නේ ය. අවිද්‍යා - තෘෂ්ණා - කර්‍ම - ආහාර යන ප්‍රත්‍යය හේතුයෙන් රූපයන්ගේ හට ගැණීම වේ ය, යි ප්‍රත්‍යය වශයෙන් සිවු අයුරකින් හා මේ රූපයෝ පෙර නො වූවෝ උපදනාහ, යනාදී නිබ්බන්තිලක්ඛණ විසින් ඒ අයුරකින් දැ යි පසු අයුරකින් රූපස්කන්‍ධයාගේ හට ගැණීම දක්නේ ය.

අනතුරුව මෙතෙමේ, අවිද්‍යාවගේ නිරෝධයෙන්, තෘෂ්ණාවගේ නිරෝධයෙන්, කර්‍මයාගේ නිරෝධයෙන්, කබලීකාහාරයාගේ නිරෝධයෙන් අනාගතරූප නිරෝධය වේ ය, යි මෙසේ හේතු නිරෝධයාගේ වශයෙන් බැලීමෙන් සිවු අයුරකින් හා විපරිණාමලක්ඛණය ක්‍ෂණවශයෙන් නැසී යෑම බැලීමෙන් එක් අයුරකින් දැ යි පස් අයුරකින් රූපස්කන්‍ධයාගේ බිඳී යෑම බලන්නේ ය. මෙසේ පස් අයුරකින් රූපයාගේ හට ගැණීම හා පස් අයුරකින් නැසී යෑම දැ යි දස අයුරකින් රූපස්කන්‍ධයාගේ උදය-ව්‍යය බලන්නේ ය.

අවිද්‍යාසමුදයෙන්, තෘෂ්ණාසමුදයෙන්, කර්‍මසමුදයෙන්, වේදනා සමුදය වේ ය, යි ප්‍රත්‍යය වශයෙන් බැලීමෙන් සිවු අයුරකින් හා මේ වේදනාවෝ පෙර නො වූවෝ උපදනාහ, යනාදී විසින් නිබ්බත්ති ලක්ඛණය බැලීමෙන් එක් අයුරකින් දැ යි පස් අයුරකින් වේදනා ස්කන්‍ධයාගේ හට ගැණීම බලන්නේ ය.

අවිද්‍යානිරෝධයෙන්, තෘෂ්ණානිරෝධයෙන්, කර්‍මනිරෝධයෙන්, ස්පර්‍ශනිරෝධයෙන්, වේදනානිරෝධය වේ ය, යි ප්‍රත්‍යයනිරෝධයාගේ වශයෙන් බැලීමෙන් සිවු අයුරකින් ද, විපරිණාමලක්ඛණය ක්‍ෂණ වශයෙන් නැසී යෑම බැලීමෙන් එක් අයුරකින් දැ යි පස් අයුරකින් වේදනාස්කන්‍ධයාගේ නැසී යෑම බලන්නේ ය. මෙසේ පස් අයුරකින් වේදනාවගේ හටගැණීම හා පස් අයුරකින් නැසී යෑම දැ යි දස අයුරකින් වේදනාස්කන්‍ධයාගේ උදයව්‍යය බලන්නේ ය. අවිද්‍යා - තෘෂ්ණා - කර්‍ම - ස්පර්‍ශසමුදයෙන් සංඥාසමුදය වේ ය යි පුතයය වහයෙන් බැලීමෙන් සිවු අයුරකින් හා, ‘මේ සංඥාවෝ පෙර නො වූවෝ උපදනාහ, යනාදී නිබ්බතිලක්ඛණය බැලීමෙන් එක් අයුරකින් දැයි පස් අයුරකින් සංඥාස්කන්‍ධයාගේ සමුදය බලන්නේ ය.

අවිද්‍යා - තෘෂ්ණා - කර්‍ම - ස්පර්‍ශනිරෝධයෙන් සංඥානිරෝධය වේ ය යි ප්‍රත්‍යයනිරෝධයාගේ වශයෙන් බැලීමෙන් සිවු අයුරකින් හා, විපරිණාමලක්ඛණය බැලීමෙන් එක් අයුරකින් දැ යි පස් අයුරකින් සංඥාස්කන්‍ධයාගේ නිරෝධය බලන්නේ ය. මෙසේ පස් අයුරකින් සංඥාවගේ සමුදය හා පස් අයුරකින් නිරෝධය දැ යි දස අයුරකින් සංඥාස්කන්‍ධයාගේ උදය-ව්‍යය බලන්නේ ය.

අවිද්‍යා - තෘෂ්ණා - කර්‍ම - ස්පර්‍ශසමුදයයෙන් සංස්කාරසමුදය වේ ය යි ප්‍රත්‍යය බැලීමෙන් සිවු අයුරකින් හා, ‘මේ සංස්කාරයෝ පෙර නො වූවෝ උපදනාහ, යනාදි නිබ්බත්තිලක්ඛණය බැලීමෙන් එක් අයුරකින් දැ’යි පස් අයුරකින් සංස්කාරස්කන්‍ධයාගේ සමුදය බලන්නේ ය.

අවිද්‍යා - තෘෂ්ණා - කර්‍ම - ස්පර්‍ශ නිරෝධයෙන් සංස්කාර නිරෝධය වේ ය’යි ප්‍රත්‍යයනිරෝධයාගේ වශයෙන් බැලීමෙන් සිවු අයුරකින් හා, විපරිණාමලක්ඛණය බැලීමෙන් එක් අයුරකින් දැ’යි පස් අයුරකින් සංස්කාරස්කන්‍ධයාගේ නිරෝධය බලන්නේ ය. මෙසේ පස් අයුරකින් සංස්කාරයන්ගේ සමුදය හා පස් අයුරකින් නිරෝධය දැ’යි දස අයුරකින් සංස්කාරස්කන්‍ධයාගේ උදය-ව්‍යය බලන්නේ ය.

අවිද්‍යා - තෘෂ්ණා - කර්‍ම - නාමරූප සමුදයයෙන් විඥාන සමුදය වේ ය’යි සමුදය බැලීමෙන් සිවු අයුරකින් හා, ‘මේ විඥානයෝ පෙර නො වූවෝ උපදනාහ, යනාදි නිබ්බත්තිලක්ඛණය බැලීමෙන් එක් අයුරකින් දැ’යි පස් අයුරකින් විඥානස්කන්‍ධයාගේ සමුදය බලන්නේ ය.

අවිද්‍යා - තෘෂ්ණා - කර්‍ම - නාමරූප නිරෝධයෙන් විඥානනිරෝධය වේ ය’යි ප්‍රත්‍යය නිරෝධය බැලීමෙන් සිවු අයුරකින් හා විපරිණාම ලක්ඛණය බැලීමෙන් එක් අයුරකින් දැ’යි පු අයුරකින් විඥාන ස්කන්‍ධයාගේ නිරෝධය බලන්නේ ය. මෙසේ පස් අයුරකින් විඥානයන්ගේ සමුදය හා පසු අයුරකින් නිරෝධය දැ’යි දස අයුරකින් විඥානස්කන්‍ධයාගේ උදය ව්‍යය බලන්නේ ය.

මෙසේ විදර්‍ශක තෙමේ එක් එක් ස්කන්‍ධයෙක් හි උදය වහයෙන් පසෙක, ව්‍යය වශයෙන් පසෙකැයි දසය දසය බැගින් ස්කන්‍ධ පස සම පණස් අයුරකින් දක්නේ ය.

මෙසේ දක්නා වූ විදර්‍ශකයාගේ නුවණ මේ ධර්‍මයෝ පෙර නො වූවෝ හට ගණිති, හට ගන්නෝ නැසෙති’යි අතිශයින් විශද වන්නේ ය. අවිද්‍යා දී වූ ප්‍රත්‍යයයන්ගේ වශයෙන් ද උත්පාදා දී වූ ක්‍ෂණමාත්‍ර වශයෙන් ද උදය-ව්‍යය බලන්නා වූ ඔහුට දුඃඛාදිසත්‍යභේදය අනුලොමාදිප්‍රතීත්‍යසමුත්පාදභේදය, එකත්‍වාදිනයභේදය, අනිත්‍යාදික්‍ෂණභේදය යන මෙ හැම භේදයෝ ප්‍රකට ව පෙණෙත්. යම් නුවණකින්, අවිද්‍යාදීන්ගේ හට ගැණීමෙන් ස්කන්‍ධයන්ගේ හට ගැණීම වේ, අවිද්‍යාදීන්ගේ නැසීමෙන් ස්කන්‍ධයන්ගේ නැසීම වේ’යි දක්නේ නම්, ඒ දැකීම ප්‍රත්‍යය වශයෙන් උදය-ව්‍යය දැකීම ය යි ද, යම් නුවණකින්, ඇතිවීම හා නැතිවීම දකී නම්, ඒ දැකීම ක්‍ෂණවශයෙන් උදය-ව්‍යය දැකීම ය යි ද දතයුතු ය. උත්පත්තික්‍ෂණයෙහි නිබ්බත්ති ලක්ඛණය වේ. භඞ්ගක්‍ෂණයෙහි විපරිණාමලක්ඛණය වේ.

අවිද්‍යාදී වූ ප්‍රත්‍යයයන්ගේ වශයෙන් රූපාදීන් උපදිනු දැකීමෙහිදී රූපාදීන් උපදවනුවෝ අවිද්‍යාදීහු ය’යි ප්‍රකට වන්නේ ය. මේ වනාහි දුඃඛාදිසත්‍යයන්ගේ වැටහීම ය. රූපාදීන්ගේ උදය, ක්‍ෂණ වශයෙන් දැකීමෙන් ජාතිදුක්ඛය ප්‍රකට වන බැවින් දු‍ඃඛසත්‍යය ප්‍රකට වන්නේ ය. අවිද්‍යාදීන්ගේ නිරෝධයෙන් රූපාදීන් නිරුද්ධවනු දැකීමෙන් නිරෝධසත්‍යය ප්‍රකට වන්නේ ය. ක්‍ෂණයකින් ඉපිද නැසෙනබව දැකීමෙන් දුඃඛසත්‍යය ප්‍රකට වන්නේ ය. උදය - ව්‍යය දැකීමෙන් මේ ලෞකික මාර්‍ගය’යි මාර්‍ගසත්‍යය පැහැදිලි වන්නේ ය.

‘අවිද්‍යාදිය ඇති කල්හි සංස්කාරාදීහු වෙති’යි යන මේ ආදීන් දැකීමෙන් අනුලෝමප්‍රතීත්‍යසමුත්පාදය හා අවිද්‍යාදිය නැසීමෙන් රූපාදීන්ගේ අනුත්පාදය වේ ය’යි දැකීමෙන් ප්‍රතිලෝමප්‍රතීත්‍යසමුත්පාදය ද හෙලි වන්නේ ය. ජරා - මරණ දැකීමෙන් හා ක්‍ෂණවශයෙන් උදය - ව්‍යය දැකීමෙන් ප්‍රතීත්‍යසමුපත්පන්නධර්‍ම වැටහී යන්නේ ය. උදය - ව්‍යය දෙකින් යුක්තවූවෝ ප්‍රතීත්‍යසමුත්පන්නයෝ ය. සඞ්ඛතයෝ ය.

එසේ ම මේ විදර්‍ශකයාහට එකත්‍වනය - නානාත්‍වනය - අව්‍යාපාරනය - ධර්‍මතානය යන නයක්‍රම ද වැටහෙන්නේ ය. එහි ස්කන්‍ධපරම්පරාව අතර නො කැඩී පැවැත්මත්, හේතූන්ගේ හා, හේතූන්ගෙන් හට ගන්නවුන්ගේ එක් සන්තතියක් ව පැවැත්මත් එකත්‍වනය නමි. හේතු - ඵල දෙක එකක් ම නො වනබව හා ඔවුන්ගේ ලක්‍ෂණ එකක් අනෙකට වෙනස්බව නානාත්‍වනය නමි. මෙය දක්නේ නාම - රූප බිඳි බිඳී අළුත් අළුත් නාම - රූප ඇතිවනු දක්නේ ය. කිසිවකුගේ උත්සාහයක් කර්‍තෘත්වයක් නැති ව හේතුඵල පරම්පරාවගේ පැවැත්ම අව්‍යාපාරනය නමි. කිරෙනේ දිහි ඇති වන්නා සේ ප්‍රත්‍යයයට අනුරූප ව ඵලය උපදනාබව ධර්‍මතානය නමි. එකත්‍වනයෙන් උච්ඡෙදදෘෂ්ටිය, නානාත්‍වයෙන් ශාස්වතදෘෂ්ටිය, අව්‍යාපාරනයෙන් ආත්මදෘෂ්ටිය, ධර්‍මතානයෙන් අක්‍රියදෘෂ්ටිය යන මොවුහු දුර ගසා යන්නාහු ය.

ක්‍ෂණවශයෙන් උදය - ව්‍යය දැකීමෙන් අනිත්‍යලක්‍ෂණය ද, එදෙකින් පෙළෙනබව දැකීමෙන් දුඃඛලක්‍ෂණය ද, ප්‍රත්‍යයහේතුවෙන් ඉපැත්ම දැකීමෙන් අනාත්මලක්‍ෂණය ද අවබෝධ කිරීම ලක්‍ෂණාවබෝධ නම් වේ.

මෙසේ සත්‍ය - ප්‍රතීත්‍යසමුත්පාද - නය - අනිත්‍යාදිලක්‍ෂණ ප්‍රකට ලෙසින් වැටහුනු කල්හි ඔහුට ‘පෙර නූපන් විරූ මේ ධර්‍මයෝ උපදනාහ, උපන් නාමරූපධර්‍මයෝ නිරුද්ධ වන්නාහ, නිතර අළුත් වූ ම සංස්කාරයෝ වෙති’යි වැටහෙන්නේ ය. ඉර උදාහි පිනිබිඳු සේ පොකුණෙක නැගි නැගී උඩට එන දිය බුබුලු සේ දියෙහි ඇඳි ඉරක් සේ ඉදිඅග හෙලූ අබැටක් සේ විදුලිය නැගීමක් සේ ඉතා මදකලක් සිටින්නෝ ව ද මායාවක් බිරිඟුවක් ගිනිපෙණෙලිසකක් ගන්‍ධර්‍වනගරයක් පෙනපිඩක් කෙසෙල්කඳක් යන මේ ආදීන් මෙන් අසාරලෙසින් නිස්සාරලෙසින් සංස්කාරයෝ වැටෙන්නාහ.

මෙතෙකින් මේ විදර්‍ශක තෙමේ උදයව්‍යයානුදර්‍ශණඥානය හෙවත් තරුණවිදර්‍ශනාඥානය ලැබුයේ වේ. එහෙයින් මෙතෙමේ ආරබ්ධවිදර්‍ශක නමින් හැඳින් වේ.

මෙසේ තරුණවිදර්‍ශනාඥානය ලත් ඔහුට ඉදිරියෙහි ඔභාස - ඤාණ - පීති - පස්සද්ධි - සුඛ - අධිමොක්ඛ - පග්ගහ - උට්ඨාන - ‍උපෙක්ඛා - නිකන්ති - යන විදර්‍ශනොපක්ලේශ දශයෙක් පහළ වන්නේ ය.

එහි ඔභාස නම්: විදර්‍ශනාචිත්තයෙන් උපන් ආලෝක ය යි. එය උපන් කල්හි ඇතැම් විදර්‍ශකයෙක් “මට මෙයට පෙර මෙබඳු ආලෝකයෙක් නූපන්නේ ය, එකාන්තයෙන් මම මාර්‍ගයට පැමිණියෙම් වෙමි, ඵලයට පැමිණියෙම් වෙමි”යි ආමාර්‍ගය ම මාර්‍ග ය යි ද, අඵලය ම ඵල ය යි ද ගන්නේ ය.

ඤාණ නම් නාමරූපධර්‍මයන් තීරණය කරන්නා වූ පමණ කරන්නා වූ විදර්‍ශකයාහට, හරණලද විදුරවිය මෙන් නො පැකිළෙන වේග ඇති ව තියුණු ව ඉතා විශද ව පහළ වන විදර්‍ශනාඥාන ය යි.

පීති නම්: විදර්‍ශනාප්‍රීති ය යි. එය ඛුද්දිකාදී විසින් පස්වැදෑරුම් ය. මේ පස්වැදෑරුම් ප්‍රීතිය විදර්‍ශකයාගේ මුළු සිරුර පුරාලමින් සිටුනී ය.

පස්සද්ධි නම්: විදර්‍ශනාචිත්තයෙන් උපන් කය-සිත දෙක්හි සන්සිඳීම ය. එය උපන් කල්හි විදර්‍ශකයාගේ කය - සිත දෙක, උඩඟුබව සන්සිඳී යෑමෙන් සන්සිඳුනේ වේ. ථීනමිද්ධය දුරුවීමෙන් සැහැල්ලු වේ. මානදිට්ඨි සන්සිඳීමෙන් මොළොක් වේ. සෙසු නීවරණ සන්සිඳීමෙන් කර්‍මයට යොග්‍ය වේ. අශ්‍රද්ධාදිය දුරුවීමෙන් නො ගිලන් වේ. මායාසාඨෙය්‍ය සන්සිඳීමෙන් ඍජු වේ. මේ පස්සද්ධි ආදියෙන් අනුගෘහිත වූ කය සිත ඇති විදර්‍ශක තෙමේ මිනිස්බව ඉක්මවා සිටි විදර්‍ශනාප්‍රීතිසුඛය වළඳන්නේ ය.

සුඛ නම්: විදර්‍ශනාචිත්තයෙහි උපන් සැප ය යි. එය උපන් කල්හි විදර්‍ශකයාහට මුළු සිරුර තෙමී ගියාක් මෙන් ඉතා ප්‍රණීත වූ කිසිදාකත් නො වූ විරූ සුඛයෙක් උපදනේ ය.

අධිමොක්ඛ නම්: විදර්‍ශනාචිත්තය හා එක් ව යෙදී ගත් බලවත් ශ්‍රද්ධා ය. එකල්හි විදර්‍ශකයාගේ ‍චිත්තචෛතසිකධර්‍ම අතිශය ප්‍රසන්නභාවයට පැමිණෙන්නේ ය.

පග්ගහ නම්: විදර්‍ශනාචිත්තයෙහි වූ බලවත් වීර්‍ය්‍ය ය යි. එකල්හි විදර්‍ශකයාහට විදර්‍ශනාචිත්තය හා යෙදුනු ලිහිල් නො වූ ඉතා දැඩි ද නො වූ මනා කොට ගන්නා ලද වීර්‍ය්‍යයෙක් උපදනේ ය.

උපට්ඨාන නම්: විදර්‍ශනාචිත්තය අරමුණෙහි මොනවට එළැඹ සිටීම ය. විදර්‍ශනාචිත්තය හා යෙදුනු මනා ව එළැඹ සිටි මනා ව පිහිටුවන ලද සිහි ය යි. විදර්‍ශක තෙමේ යමක් යමක් මෙනෙහි කෙරේ නම්, ඔහුට ඒ ඒ නාමරූපාදීධර්‍ම විනිවිද ගොස් දිවැස් ඇත්තහුට පරලොව සේ සිහියට නගින්නේ ය.

උපෙක්ඛා නම්: විදර්‍ශනෝපේක්ෂා ආවර්‍ජනෝපේක්ෂා ය. නාම - රූපධර්‍මයන් උදය - ව්‍යය වශයෙන් මනා ව පරීක්‍ෂා කිරීමෙන් ඒ පිළිබඳ මද්ධ්‍යස්ථභාවයෙන් පැවැති උපේක්ෂාව විදර්‍ශනෝපේක්ෂා නමි.

නිකන්ති නම්: විදර්‍ශනාචිත්තය හා යෙදුනු සියුම් වූ තෘෂ්ණා ය.

මෙ කියූ ඔභාසාදීන් අතුරෙහි යම් එකක් උපන් කල්හි විදර්‍ශක තෙමේ ‘මෙයට පෙර මට මෙබඳු ආලෝකාදියක් නූපන් විරී ය, එකාන්තයෙන් මම මාර්‍ගයට, ඵලයට පැමිණියෙමි’යි නො මගට වැටෙන්නේ ය. එකල්හි ඔහුගේ විදර්‍ශනාව නො මග ගියා වේ. හේ මුල් කමටහන හැරදමා ආලෝකාදිය ම ආස්වාදන කරමින් හිඳින්නේ ය.

මේ ඔභාසාදීන්හි එකෙක් එකෙක් ම තණ්හා - මාන - දිට්ඨි ගාහ වශයෙන් දසය දසය බැගින් බෙදුනේ සමතිසෙක් වේ. ආලෝකය ආස්වාදනය කිරීම් වශයෙන් තෘෂ්ණාව ද ‘මට මනා ආලෝකයක් උපනැ’යි ගැණීමෙන් මානය හා දෘෂ්ටිය ද උපදි. මෙසේ ආලෙකයෙහි තෘෂ්ණා - මාන - දෘෂ්ටි වශයෙන් ගැණීම් තුනෙකි. සෙසු තන්හි ද මෙසේ ය. මේ උපක්ලේශයන් එකක් එකක් ම ‘මේ මාගේ ය’යි, ‘මේ මම වෙමි’යි ද, ‘මේ මාගේ ආත්ම ය’යි ද තෘෂ්ණා - මාන - දෘෂ්ටි වශයෙන් ගන්නා අදක්‍ෂ වූ විදර්‍ශක තෙමේ මේ තැන්හි සැලෙන්නේ ය.

දක්‍ෂ වූ විදර්‍ශක තෙමේ ආලොකාදිය උපන් කල්හි “මට උපන් මේ ආලෝකය අනිත්‍ය ය, සඞ්ඛත ය, පටිච්චසමුපන්න ය, ක්‍ෂය වන සුලු ය, ව්‍යය වන සුලු ය, නැසෙන සුලු ය, නිරුද්ධ වන සුලු ය”යි පරීක්‍ෂා කොට ගන්නේ ය. එසේ ම මෙ තෙමේ ‘මේ ආලෝකය ආත්ම වේ නම් ආත්ම ය යි ගන්නට වටනේ ය, එහෙත් අනාත්ම වූ ම මේ ආලෝක ය තමා වශයෙහි නො පවත්නා බැවින් අනාත්ම ය, ඇතිව නැති වන බැවින් අනිත්‍ය ය, උදය-ව්‍යය දෙකින් පෙළෙන බැවින් දුඃඛ ය, ඥාන ප්‍රීති ආදීහු ද මාගේ නො වෙත්, මම ද නො වෙමි, මාගේ ආත්මය ද නො වෙත්”යි බලන්නේ ය. එතැන්හි ද හේ නො ද සැලෙන්නේ ය. මේ කිසිත් තැනෙක වික්‍ෂෙපයට නො ගිය විදර්‍ශකයාගේ උපක්ලේශයන්ගෙන් මිදුනු විදර්‍ශනාවීථියට පිළිපන් විදර්‍ශනාඥානය ම මග නො මග දැන ගන්නේ ය. මෙසේ විදර්‍ශකයාගේ ‘මේ මග ය, මේ නො මග ය’යි මාර්‍ග -අමාර්‍ග දැන සිටි නුවණ, මග්ගාමග්ගඤාණ දස්සනවිසුද්ධි නැමැ යි දත යුතු ය.

මෙතෙකින් මොහු විසින් දිට්ඨිවිසුද්ධියෙහිලා දුඃඛසත්‍යය ද, කඞ්ඛාවිතරණවිසුද්ධියෙහිලා සමුදයසත්‍යය ද, මග්ගාමග්ගඤාණදස්සනවිසුද්ධියෙහිලා මාර්‍ගසත්‍යය ද ව්‍යවස්ථාකරණලද ය. (විසුද්ධිමග්ග පටිසම්භිදාමග්ග බැලිය යුතුය.)

උදයබ්බයානුදස්සනඤාණය පටන් සඞ්ඛාරුපෙක්ඛාඤාණය තෙක් පැවැති අටවැදෑරුම් ඤාණයන්ගේ වශයෙන් විදර්‍ශනා වාරයාගේ මුදුනට පැමිණි ඒ සඞ්ඛාරුපෙක්ඛාඤාණය මුදුන් පැමිණි විදර්‍ශනා ය. ඒ හා නවවන සච්චානුලොමිකඤාණය ද යන මේ නවය ‘පටිපදාඤාණදස්සනවිසුද්ධි’ නම් වේ. මේ මෙය පොතෙහි ආ සැටි: “අට්ඨන්නං පන ඤාණානං වසෙන සිඛාප්පත්තා භි විපස්සනා නවමං ච සච්චානුලොමිකඤාණන්ති ආයං පටිපදා ඤාණදස්සනවිසුද්ධි නාම” යි.

උදයබ්බයානුපස්සනාඤාණ - භඞ්ගානුපස්සනාඤාණ - භයතුපට්ඨානඤාණ - ආදීනවානුපස්සනාඤාණ - නිබ්බිදානුපස්සනාඤාණ - මුඤ්චිතුකම්‍යතාඤාණ - පටිසඞ්ඛානුපස්සනාඤාණ - සඞ්ඛාරුපෙක්ඛාඤාණ - සච්චානුලොමිකඤාණ යන මේ නවය, පටිපදා ඤාණදස්සන විසුද්ධියෙහිලා ගන්නේ ය. නවලෝකෝත්තරමාර්‍ග ඥානයට පැමි‍ණීමෙහි ප්‍රතිපදාවන බැවින් මේ නවවිධඥානය ප්‍රතිපදා යි ගණු ලැබේ. මේ වනාහි අනුන් කියනු ඇසීමෙන් හෝ අනුමානයෙන් හෝ උපදනා දුර්‍වලඥානයෙක් නො වේ. ඒ ඒ ධර්‍ම පිළිබඳ යථාතත්ත්‍වය ඇසින් දක්නා සේ නුවණින් දක්නා බැවින් මෙ නුවණ ඥාන දර්‍ශන නම් වී ය. ඒ විශුද්ධි නම් වූයේ ක්ලේශමලයෙන් ඈත් ව පිරිසිදු ව සිටුනා බැවිනි. ඥානදර්‍ශනය විශුද්ධ බැවින් ම ‘ඤාණ දස්සනවිසුද්ධි’යි කියනු ලැබේ.

උදයබ්බයානුපස්සනාඤාණය එහි පළමු වැන්න ය. විදර්‍ශක තෙමේ පළමු කොට එහි යෝග කරන්නේ ය. මග්ගාමග්ගඤාණ දස්සනවිසුද්ධියෙහි ලා සැපයූ උදයබ්බයානුපස්සනාඤාණය විදර්‍ශ නොපක්ලේශයන්ගෙන් කිලිටි ව දුබල ව සිටුනා බැවින් එසේ කරන්නේ ය. උපක්ලේශයන්ගෙන් කිලිටි වූ මොට වූ උදයබ්බයානුපස්සනාඤාණය අනිත්‍යාදිලක්‍ෂණ සලකා බැලීමෙහි සමර්‍ත්‍ථ නො වේ. එහෙයින් රූපාරූපධර්‍ම පිළිබඳ වූ හැම ලක්‍ෂණයක් අවබෝධ කර ගණු පිණිස නැවැත ද විදර්‍ශක තෙමේ මෙහි යෝග කරන්නේ ය.

රූපාරූපධර්‍ම පිළිබඳ වූ ලක්‍ෂණ අතුරෙහි අනිත්‍යලක්‍ෂණය උදය - ව්‍යය මෙනෙහි නො කිරීමෙන් ද, සන්තති වශයෙන් වැසුනු බැවින් ද, දුඃඛලක්‍ෂණය සංස්කාරයන්ගේ නිතර පෙළීම මෙනෙහි නො කිරීමෙන් ද, යෑම් ඊම් ඈ ඉරියවුවලින් වැසුනු බැවින් ද, අනාත්මලක්‍ෂණය නන්වැදෑරුම් ව සිටි ඒ ඒ ධාතූන් වෙන් වෙන් කොට මෙනෙහි නො කිරීමෙන් ද, ඝනයෙන් වැසුනු බැවින් ද තතුලෙසින් නුවණට හසු නො වන්නේ ය.

පංචස්කන්‍ධයෙහි හැම මොහොතක ම අතර නො තබා ඉපිද ඉපිද නැසි නැසී ගැළපි ගැළපී යන සංස්කාරයන්ගේ අතරෙක් නො පෙණෙන්නේ ය. එහෙයින් ම ය තුබූ සංස්කාර ම දිගින් දිගට නො නැසී පවත්නා සේ පෙණෙනුයේ. සංස්කාරයන්ගේ ඉපදීම හා බිඳීම වනුයේ ඉතා වේගයෙනි. ඒ සඳහා ගත වන ඉතා සුලු කාලය මෙ පමණැ යි කියනු තබා සිතනු ද නො හැකි ය. එ දෙක ඉතා වේගයෙන් වන්නේ ය. ඉපැදෙනබව හා නැසෙනබව හා නො පෙණෙන පරිදි ක්‍ෂණිකව පවත්නා සංස්කාරයන්ගේ පරම්පරා සම්බන්‍ධය එකට ගැළපී සිටීම ‘සන්තති’ යි කියනු ලැබේ. මේ සන්තතිය බිඳ හැරීමෙහි පොහොසත් වූ තියුණු වූ නුවණට ම ඉපදීම හා බිඳීම දක්නා නුවණට ම අනිත්‍යලක්‍ෂණය හසුවන්නේ ය. සංස්කාරයන්ගේ සන්තති වශයෙන් ගැළපී සිටීම නො දත් නුවණට අනිත්‍යලක්‍ෂණය හසු නො වේ. එහෙයින් විදර්‍ශක තෙමේ සංස්කාරයන්ගේ ඉපදීම හා බිඳීම නැවැත නැවැත මෙනෙහි කරන්නේ ය.

සංස්කාරයන්ගේ ඉපදීම හා බිඳීම හා දෙක පෙළීමෙකි. එය නිතර මෙනෙහි කළ යුතු ය. දිගට එක් ම ඉරියව්වකින් ඉන්නහුට දැනෙන පෙළීම සුලු නො වේ. එහෙයින්, උපන් ඒ පෙළීම දුරු කරණු පිණිස අන් ඉරියව්වෙක් ගත යුතු ය. මෙසේ ඒ ඒ අවස්ථායෙහි උපදනා පෙළීම් වෙහෙසීම් දුරුකරණු පිණිස ගන්නා ඉරියවුවලින් දුඃඛලක්‍ෂණය වැසී යන්නේ ය. සංස්කාරයන්ගේ ඉපදීම බිඳීම පෙළීම දන්නා නුවණට ම දුඃඛලක්‍ෂණය හසු වන බැවින් විදර්‍ශක තෙමේ සංස්කාරයන්ගේ ඉපදීම හා බිඳීම නැවැත නැවැත මෙනෙහි කරන්නේ ය.

උදයව්‍යයඥානය පවත්නේ නානාධාතූන් විෂය කොට ය. ධාතූන් වෙන් කොට බැලීමෙන් ඒ නුවණ පොහොසත් වන්නේ ය. ‘ධාතූන් එක් ව සිටිති’ යි ගත්තහුට උදයව්‍යයඥානය ලබනු නො හැකි ය. ඒ මේ ඝනසංඥා ව දුරලන්නට ධාතූන් වෙන් කොට බලා එහිලා උදයව්‍යය ද බැලිය යුතු ය. එකල්හි ධාතූන් එක් ව සිටිති යි යන හැඟීම බැහැර ගොස් අනාත්මලක්‍ෂණය ඒ නුවණට හසු වන්නේ ය. එහෙයින් විදර්‍ශක තෙමේ සංස්කාරයන්ගේ ඉපදීම හා බිඳීම නැවැත නැවැත මෙනෙහි කරන්නේ ය.

සංස්කාරධර්‍ම, අනිත්‍ය දුඃඛ අනාත්ම වශයෙන් පිරිසිඳින කල්හි විදර්‍ශකයාගේ නුවණ වඩාත් තියුණු වන්නේ ය. සංස්කාරධර්‍ම වහා වැටහෙන්නේ ය. නුවණ තියුණු වන කල්හි සංස්කාර වහා වැටහෙන කල්හි සිහිය, උත්පාද-ස්ථිති-ප්‍රවෘත්තිනිමිත්තයෙහි නො සිට නිරෝධයෙහි බැස ගන්නී ය. සංස්කාරයන්ගේ මේ නිරෝධය දැකීමෙහි නුවණ භඞ්ගානුපස්සනා ය. විදර්‍ශක, උපදනා රූපධර්‍මයන්ගේ බිඳීම දැක රූපාදිය අරමුණු කොට උපදනා සිත්වල ද බිඳීම දක්නේ ය. වැසි වස්නා කල්හි දිය පිට නැගි නැගී බිඳි බිඳී යන දිය බුබුලු දක්නා සේ ‍රූපාරූපධර්‍මයන්ගේ භඞ්ගය දක්නේ ය.

මෙසේ භඞ්ගානුදර්‍ශනඥානයෙන් සංස්කාරයන්ගේ බිඳි බිඳී යෑම දුටු විදර්‍ශකයාහට සංස්කාර, බිය උපදවාලන්නවුන් සේ සිහියට නගින්නේ ය. “අතීතසංස්කාරයෝ බිඳී ගියහ, වර්‍තමාන සංස්කාරයෝ බි‍ඳෙති, අනාගත සංස්කාරයෝ බි‍ඳෙන්නාහ”යි ඔහුට වැටහෙන්නේ ය. බිඳී ගිය, බි‍ඳෙන සංස්කාර දැක හොඳට පළපුරුදුබැව් ඇති හෙතෙමේ ඒ අනු ව අනාගතසංස්කාර ද බි‍ඳෙනු ඇතැ යි නිශ්චයට බසින්නේ ය. තීරණය කරන්නේ ය. සංස්කාරයන් මෙසේ තීරණය කළ ඔහුට සංස්කාර හැම එකෙක් සිංහ-ව්‍යාඝ්‍ර-කොටි-වලස්-යක්‍ෂ-රාක්‍ෂසයන් වසන තැන් සේ පෙණෙන්නේ ය. යම් නුවණකින් එසේ දක්නා ලද ද ඒ නුවණ භයතුපට්ඨානඤාණැ යි දතයුතු ය. මේ නුවණින් තොර වූයේ ‘සංස්කාර මම ය, මාගේ ය, යි ගෙණ එහි ආලය උපද වනුයේ දුකෙහි ගැලෙන්නේ ය.

භයතුපට්ඨානඤාණයෙන් සංස්කාරයන් බිය විසින් දක්නේ, භව - ගති - යෝනි ආදී වූ කිසිත් තැනෙක පිහිටෙක් ඇතැ යි නො ද ගන්නේ ය. කිසි සංස්කාරයෙක්හි පැතීමක් නො කරන්නේ ය. භවත්‍රය ම, ගිනි අඟුරු පිරි වළක් සේ, සතරමහාභූත, වසගොර සපුන් සේ, පස්කඳ, කඩු ගත් වධකයන් සේ ආද්ධ්‍යාත්මිකායතන, හිස් වූ ගම් සේ, සප්තවිඥානස්ථිති-නවසත්ත්‍වාස, ගිනි ඇවිළ ගත්තවුන් සේ මෙසේ සංස්කාර, මහාආදීනව රාශියකින් පිරීගත් බිය විය යුත්තන් සේ දක්නේ, එහි කළ කිරෙන්නේ ය. ගත යුතු හරයෙක් නැතැ යි දෝෂ දකනේ ය. සංස්කාරයන් කෙරෙහි වූ මේ දොස් දක්නා නුවණ, ‘ආදීනවානුපස්සනාඤාණැ’යි දතයුතු ය.

ආදීනවානුදර්‍ශනඥානයෙන් සංස්කාරයන්ගේ දොස් දැකීමෙන් කළකිරුණු විදර්‍ශක තෙමේ සංස්කාරයන් කෙරෙහි නො ඇලෙන්නේ ය. ඉදිරියෙහි තවත තවත් කළ කිරෙන්නේ ය. එසේ නො ඇලීම් වශයෙන් කළකිරීම් වශයෙන් උපදනා නුවණ, ‘නිබ්බිදානුපස්සනාඤාණ’ නමි. හේ මෙසේ සංස්කාරයන් කෙරෙහි කළකිරුණේ නිවනෙහි ඇලෙන්නේ ය. ‍රජහස්, සිතුකුළු පව්වෙහි ඇලෙන්නා සේ ය. භයතුපට්ඨාන-ආදීනවානුපස්සනා-නිබ්බිදානුපස්සනා යන මෙ තුන අකුරු වශයෙන් වෙනස් වූයේ ද, අරුත් වශයෙන් වෙනස් වූයේ නො වේ. එ තුන අරුත් වශයෙක් එකෙක් ම ය. සංස්කාරයන්ගේ දොස් දැකීම් වශයෙන් එකෙක් ම වේ. තුනක් කොට බෙදා දක්වන ලද්දේ සංස්කාරයන්ගේ ආදීනවය බිය වියයුතු සේ ගැණීමෙන් හා පිළිසරණ නො වන බව දැකීමෙන් හා සතුටු නො වියයුතු ඇලුම් නො කටයුතු සේ ගැණීමෙනි.

විදර්‍ශක තෙමේ මෙසේ මේ නුවණින් වැඩුනේ සසර දුකින් මිදෙනු පිණිස සංස්කාරයන්ගෙන් මිදිය යුතු ම ය යි දක්නේ ය. එසේ දක්නා වූ නුවණ, ‘මුඤ්චිතුකම්‍යතාඥාණ’ නමි. මෙයින් ඔද වැඩුනු කල්හි විදර්‍ශකයාගේ සිත හැම සංස්කාරයකින් හැකිළී ගන්නේ ය. කූඩුවක ලූ පක්‍ෂියකුට, බැඳුමට හසු වූ වන මුවකුට, දැලට හසු වූ මසකුට, සර්‍පයකුට හසු වූ මැඩියකුට, ඉන් ඉන් මිදීම පිණිස උපදනා කැමැත්ත සේ මේ විදර්‍ශකයාහට ද භවයෙන් මිදීම පිණිස උපදනා කැමැත්ත ඉතා බලවත් වේ.

භවයෙන් මිදීමෙහි ආශාවෙන් තදබද වූ විදර්‍ශක තෙමේ මිදීමෙහි උපාය සෙවීම පිණිස නැවැත නැවැතත් සංස්කාරධර්‍ම, හැම එකක් තිලකුණට නගා බලන්නේ ය. එහිදී මෙතෙමේ, හැමදා නො පවත්නා බැවින්, තාවකාලික බැවින්, ඉපදීමෙන් බිඳීම් දෙකින් පිරිසිඳනා බැවින්, පලුදු වන බැවින්, සැලෙන බැවින්, බි‍ඳෙන සුලු බැවින්, නො තිර බැවින්, පෙරළෙන බැවින්, හරයක් නැති බැවින්, පිරිහෙන බැවින්, හේතුයෙන් හටගන්නා බැවින්, මැරෙණ බැවින් හැම සංස්කාරයෙක් අනිත්‍ය වන්නේ ය යි දක්නේ ය.

නිතර පෙළෙන බැවින්, ඉවසීමට නො හැකි බැවින්, දුකට වස්තු බැවින්, ලෙඩක් ගඩක් හුලක් වැනි බැවින්, පවට කරුණු බැවින්, ආබාධ බැවින්, ව්‍යසන බැවින්, අනර්‍ත්‍ථ කර බැවින්, බිය විය යුතු බැවින්, අනර්‍ත්‍ථ විසින් ලුහුබැඳි බැවින්, රැකුමක් නො වන බැවින්, රැකුමට තැන් නො වන බැවින්, අසරණ බැවින්, දොස් සහිත බැවින්, පවට මුල් වන බැවින්, නසාලන බැවින්, ආස්‍රවයනට හිත බැවින්, මාරාමිස බැවින්, උපදින දිරණ බැවින්, ලෙඩ රෝදුක් දනවන බැවින්, තැවිලි කරණ බැවින්, හඬවන බැවින්, වෙහෙස කරණ බැවින්, කෙලෙසන බැවින් හැම සංස්කාරයෙක් දුඃඛ වන්නේ ය යි දක්නේ ය.

සිය වසයෙහි නො පවත්නා බැවින්, නිසරු බැවින්, මද බැවින්, කරන්නකු විඳින්නකු නො වෙන බැවින් හැම සංස්කාරයෙක් අනාත්ම වන්නේ ය යි දක්නේ ය.

මෙසේ අනිත්‍ය - දුඃඛ - අනාත්ම විසින් සංස්කාරයන් ගැණ වඩ වඩාත් සිතීමෙන් සැලකීමෙන් විදර්‍ශකයාහට උපදනා නුවණ, ‘පටිසඞ්ඛානුපස්සනාඤාණ’ නමි. සංස්කාරයන් කෙරෙහි බියක් හෝ ඇල්මක් නො කොට සංස්කාරයන් මැදහත් ලෙසින් බැලීමෙන් මේ නුවණ උපදනේ ය. එහි දී විදර්‍ශකයා සංස්කාරයන්ගේ ශුන්‍යත්‍වය හිස් බව දෙ අයුරෙකින්, සිවු අයුරෙකින්, සය අයුරෙකින්, අට අයුරෙකින්, දස අයුරෙකින්, දොළොස් අයුරෙකින්, දෙසාළිස් අයුරෙකින් බලන්නේ ය. මෙසේ බලන්නහුගේ සිත මඳක් නැමුනු පියුම් පතෙක ලූ දිය මෙන් භව - යෝනි - ගති ආදියෙහි නො ඇලෙන්නේ ය.

මෙහිලා සංස්කාරයන් කරුණු කොට උපදනා භයතුපට්ඨාන - ආදීනවානුපස්සනා - නිබ්බිදානුපස්සනා - මුඤ්චිතුකාමතා යන මේ ඤාණ සතර අනුසය විසින් පවත්නා සක්කායදිට්ඨිය ඇසුරු කොට සිටියේ ය. එහෙයින් මේ සතර, සක්කයාදිට්ඨිය දුරු කිරීමෙහි සමර්‍ත්‍ථ නො වේ. පටිසඞ්ඛානුපස්සනාඤාණය ම එහි සමර්‍ත්‍ථ වන්නේ ය. එය වැඩූ කල්හි ම සක්කායදිට්ඨිය බැහැර යෑමෙන් සංස්කාරයන් ගැණ තුබූ බියත් ඇලීමත් දුරු වන්නේ ය. මම ය, මාගේ ය, යි ගැන්මෙක් ඉන්පසු නො වන්නේ ය. සංස්කාරයන් කෙරෙහි මැදහත් වන්නේ ය. හේ දිව්‍ය බ්‍රහ්මාදී වූ කිසිත් සැපතක නො ඇලෙන්නේ ය. ගින්නෙහි ලූ පියාපතක් සේ සම්කැබැල්ලක් සේ සංස්කාරයන් කෙරෙන් හැකිළී ගන්නේ ය.

සඞ්ඛාරුපෙක්ඛාඤාණය ලැබීමෙන් පසු විදර්‍ශකයාගේ සිත නිවන ශාන්ත ය, ප්‍රණීත ය යි අරමුණු කිරීම් වශයෙන් නිවනට වැද ගන්නේ ය. එහෙත් නිවන් දක්නා තුරු ම ඔහුගේ සිත නැවැත නැවැතත් සංස්කාරයන් අරමුණු කොට ම පවත්නේ ය. ඉනික්බිති මෙතෙමේ නිවන් දක්නට මුලින් කළ ශුන්‍යතාභාවනා ව හැරදමා නැවැත ද සංස්කාරයන් පිළිබඳ අනිත්‍යාදිලක්‍ෂණ සිතට නගා බලන්නේ ය. එහි දී ආද්ධ්‍යාත්මික බාහිරාදිවශයෙන් භේදයට ගිය සියලු සංස්කාරයන් එසේ වෙන් වෙන් කොටත් එක් තැන් කොටත් බලන්නේ ය.

සඞ්ඛාරුපෙක්ඛාඤාණය ලැබූ මෙතෙමේ අනතුරු ව අනුලෝමගෝත්‍රභූඤාණයන්ගේ ප්‍රතිලාභය පිනිස පෙර විමසා බලා වඩා ඇති සංස්කාරයන් පිළිබඳ ත්‍රිලක්‍ෂණයෙහි සිත හසුරු වන්නේ ය. ඒ පිණිස අමුතු භාවනායෙක් නැත. එහෙයින් එය අපහසු නො වේ. ඉතා පහසු ය. ත්‍රිලක්‍ෂණයෙහි සිත හසුරුවා බලා වඩා සිටුනා බැවිනි. සඞ්ඛාරුපෙක්ඛාඤාණය ලබා ඇති බැවින් දැන් මොහුගේ විදර්‍ශනාව මුදුන් පැමිණියා වෙයි. එහෙයින් ශිඛාප්‍රාප්ත ය. ව්‍යුත්‍ථාන ගාමිනී ය. ශිඛාප්‍රප්තාවිදර්‍ශනා - ව්‍යුත්‍ථානගාමිනීවිදර්‍ශනා යන නම් වලින් මෙය හඳුන්වනු ලැබේ. ශිඛාප්‍රාප්ත නම්: උතුම් බවට පැමිණියා යනු යි. ව්‍ය්ත්‍ථාගාමිනී නම්: මාර්‍ගය කරා යන්නී යනු යි. ව්‍යුත්‍ථානැ යි මාර්‍ගයට නමි. මාර්‍ග නම්: සෝවන් ඈ මග ය. ඇතුළත පිටත පැවැතුම්වලින් නැගී සිටිනුයේ විදර්‍ශනායෙහි බලයෙනි. සෝවන් ඈ මග කෙලෙසුන්ගෙන් හා ලෝකයෙන් මිදෙන බැවින් විමොක්ඛ යි ද කියනු ලැබේ. එය අනිමිත්තවිමොක්ඛ - අප්පණිහිතවිමොක්ඛ - සුඤ්ඤතවිමොක්ඛ යි තෙ‍ වැදෑරුම් ය. අනිච්චානුපස්සනා - දුක්ඛානුපස්සනා - අනත්තානුපස්සනා යන තෙවැදෑරුම් අනුදර්‍ශනයෝ විමොක්ඛ නම් වූ ලෝකෝත්තරමාර්‍ගයට පමුණු වන බැවින් විමොක්ඛමුඛ නම්හ.

සඞ්ඛාරුපෙක්ඛාඤාණයෙන් තිලකුණු බලන විමසන විදර්‍ශකයාගේ ශ්‍රද්ධාව බලවත්තර වේ. විර්‍ය්‍යය ද බලවත් ය. සිහිය ද මැනවින් එළඹ සිටියි. සිත සුසමාහිත වේ. සඞ්ඛාරුපෙක්ඛාඤාණය ඉතා තියුණු වේ. ඉතා ඉක්මනින් ඇසිල්ලෙකින් මාර්‍ගචිත්තය උපදින්නේ ය යි කියයුතු තරමට මෙ කියූ ශ්‍රද්ධාදීන්ගෙන් විදර්‍ශක තෙමේ පුෂ්ටිමත් ව නැගී සිටියේ සියලු සංස්කාරධර්‍ම, අනිත්‍ය - දුඃඛ - අනාත්ම විසින් පිරිමදින්නේ ය. එකල්හි විදර්‍ශකයාගේ සිත භවාඞ්ග - භවාඞ්ගචලන - භවාඞ්ගුපච්ඡෙද වශයෙන් ක්‍රමයෙන් නැගී යන්නේ ය. ඉක්බිති සඞ්ඛාරුපෙක්ඛාඤාණයෙන් පිරිමැදීම කළ පරිදි සියලු සංස්කාර අනිත්‍ය යයි හෝ දුක්ඛ යයි හෝ අනාත්ම යයි හෝ අරමුණු කරමින් මනෝද්වාරාවජ්ජනචිත්තය පහළ වන්නේ ය. ඉක්බිති එය ම අරමුණු කොට ජවන් සිත් උපදනේ ය. එහි ප්‍රථම ජවනය පරිකර්‍ම නම. දෙවන ජවනය උපචාර නම. තුන්වන ජවනය අනුලෝම නම. මේ හැම ජවනයකගේම උපතට අරමුණු වූවෝ සංස්කාරයෝම ය. මේ ජවන් සිත් තුන හා උපන් නුවණ විපස්සනාඤාණාදී වූ ඥාන අටටත් මතු ලැබෙන ගෝත්‍රභූඤාණයට හා මාර්‍ගඥානයන්ටත් අනුලොම් ව සිටුනා බැවින් අනුලෝමඤාණ නම්. අනුලෝමඤාණය ව්‍යුත්‍ථානගාමිනීවිදර්‍ශනාවගේ කෙළවර වන්නේ ය. උදයබ්බයඤාණය පටන් අනුලෝමඤාණය තෙක් ඇති ඥාන නවය පටිපදාඤාණදස්සනවිසුද්ධි යි දත යුතු ය. (විස්තර කථාව මෙහි දසවන තරඞ්ඝයෙහි දසවන කථාවස්තුයෙහි ‘සම්පන්න විජ්ජාචරණ’ යන්නට කළ පරිකථාව බලා දත යුතු යි.)

ව්‍යුත්‍ථාගාමිනී විදර්‍ශනාඥානය හැම අතකින් මුදුන් පැමිණෙනුයේ ගෝත්‍රභූඥානය ලැබීමෙනි. එය අනුලෝමඥානයට අනතුරුව ලැබෙන්නේ ය. මෙය පටිපදාඤානදස්සනවිසුද්ධියටත් ඤාණදස්සනවිසුද්ධියටත් ඇතුළත් නො වේ. ඉපැදෙනුයේ නිවන් අරමුණු කොට ය. සංස්කාර අරමුණු කොට ඉපැදෙනුයේ නො වේ. නිවන් දක්නේ වුව ද, නිවන් දැකීමෙන් වන කෙලෙස් නැසීමෙක් මෙයින් නො වන්නේ ය. පෘථග්ජනගෝත්‍රය මැඩලනු බැවින් හා ආර්‍ය්‍යගෝත්‍රයට පමුණුවන බැවින් හා මෙය ගෝත්‍රභූ නම් ය. ගෝත්‍රභූඥානයෙන් හැම අතකින් මුදුන් පැමිණියා වූ ව්‍යත්‍ථානගාමිනී විදර්‍ශනාඥානයෙන් ම සංස්කාරයන්ගේ යථාතත්ත්‍වය දතයුතු බව බුදුරජානන් වහන්සේ “සබ්බෙ සඞ්ඛාරා අනිච්චා” යනාදීන් වදාළ ගාථායෙහි එන ‘පඤ්ඤාය’ යන මෙයින් එළිපෙහෙළි කළ සේක. (විසුද්ධිමග්ග - පටිසම්භිදාමග්ග බැලිය යුතු යි)

සංස්කාරයන්ගෙන් තොර වූ නිවන් දක්නා වූ පෘථග්ජන ගෝත්‍රය මඩින්නා වූ ආර්‍ය්‍යගෝත්‍රයට පමුණු වන්නා වූ ගෝත්‍රභූචිත්තයට අනතුරුව නිවන ප්‍රත්‍යක්‍ෂ වශයෙන් දක්නා වූ සෝතාපත්තිමග්ගචිත්තය උපදනේ ය. එයට අනතුරුව ඒ හා ම එහි පලසිත් ද උපදී. මේ මාර්‍ගඥානයෙන් සිවු සස් දහම් ප්‍රත්‍යක්‍ෂ විසින් දත හෙන්නේ ය. අනතුරුව සංස්කාරයන් අරමුණු කොට පළමු කියූ සේ මනෝද්වාරාවජ්ජන - පරිකම්ම - උපචාර - අනුලෝම යන ජවන්සිත් ඉපද නිරුද්ධ වත් ම නිවන් අරමුණු කොට ගෝත්‍රභූචිත්තය නැගී සිටුනේ ය. එයින් පසු නිවන් අරමුණු කොට සකදාගාමිමග්ගචිත්තය හා පලසිත් ද උපදී. සෙසු මගපලසින් පිළිලැබුම ද මෙසේ දන්නේ ය. [5]

මෙසේ උපදින සෝතාපත්තිමග්ගඤාණ - සකදාගාමිමග්ගඤාණ - අනාගාමිමග්ගඤාණ - අරහත්තමග්ගඤාණ යන ඥානචතුෂ්කය ‘ඤාණදස්සනවිසුද්ධි’ නම් වේ.

අථ නිබ්බින්‍දති දුක්ඛෙ = එකල්හි දුකෙහි කළකිරෙයි.

මෙහි දුකැ යි වදාරණ ලද්දේ ස්කන්‍ධපරිහරණයෙහි දී සත්ත්‍වයනට විඳින්නට වන සත්ත්‍වයන් විසින් විඳිය යුතු දුක් ය. [6] ස්කන්‍ධ පරිහරණදුඃඛයෙහි කළකිරුණේ පිරිසිඳ දැනීම් විසින් දුඃඛසත්‍යය ද ප්‍රහාණ කිරීම් විසින් සමුදයසත්‍යය ද ප්‍රත්‍යක්‍ෂ කිරීම් විසින් නිරෝධසත්‍යය ද පුරුදු කිරීම් විසින් මාර්‍ගසත්‍යය ද ප්‍රතිවේධ කරන්නේ ය.

ඵසො මග්ගො විසුද්ධියා = මෙය නිවනට මග ය.

සකල සංස්කාරයන් කෙරෙහි කළකිරීම, පිරිසිදු වීමට මගැ යි මෙයින් වදාළ සේක. පිරිසිදු වීම නම්: නිවන් ලැබීම ය. යමෙක් මෙසේ නිවන් ලබා සිටියේ නම් හෙතෙමේ මුළුමනින් කෙලෙසුන් නසා සිටි බැවින් ස්කන්‍ධයන් බහා තැබූ බැවින් පිරිසිදු වූයේ ය.

ධර්‍මදේශනාවගේ අවසානයෙහි ඒ භික්‍ෂූහු රහත් බැව්හි පිහිටා ගත්හ. ධර්‍මදේශනා තොමෝ පැමිණ සිටි පිරිසට ද වැඩ සහිත වූ ය.

අනිත්‍යලක්‍ෂණ වස්තුව නිමි.

  1. 1-1 ‘ධම්මා’ /4-1 ‘කො ඉමං ජඨවිං’ /18-10 ‘සඞ්කාරා’ - යනු බලනු.

  2. 4-10 ‘සීලවතං ගන්‍ධො’ යනු බලනු.

  3. 2-1 ‘ඣායිනො’ යනු බලනු.

  4. 5-7 ‘පාපකං කම්මං’ යනු බලනු.

  5. 14-6 ‘දුක්ඛස්ස ච අතික්කමං’ යනු බලනු.

  6. 14-6 ‘දුක්ඛං’ යනු බලනු.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.