න මුණ්ඩකෙන සමණො අබ්බතො අලිකං භණං
ඉච්ඡාලොභසමාපන්නො සමණො කිං භවිස්සති.
ව්‍රතරහිත (ශීලව්‍රත ධුතාංගව්‍රත විරහිත වූ), බොරු කියන පුඟුල් තෙම හිස මුඬු පමණෙකින් ශ්‍රමණ නම් නො වෙයි. (අසම්ප්‍රාප්ත අරමුණෙහි) ඉච්ඡායෙන් ද, (සම්ප්‍රාප්ත අරමුණෙහි) ගේධයෙන් ද සමන්‍විත වූයේ කෙසේ නම් ශ්‍රමණ වේ ද, (හේ ශ්‍රමණ නම් නො වෙයි සේ යි.)
යො ච සමෙති පාපානි අණුංථූලානි සබ්බසො
සමිතත්තා හි පාපානං සමණො’ති පවුච්චති.
යමෙක් වනාහි අණු වූ ද මහත් වූ ද, අකුසලයන් සර්‍වප්‍රකාරයෙන් (රහත්මඟ නැණින්) මුළු මනින් සංහිඳුවා ද, අකුසල් සංහිඳු වූ බැවින් ශ්‍රමණ යැ යි කියනු ලැබේ.
වාදයට අඬ ගසා වාද නො කොට සැඟවී ගන්නා හත්‍ථක තෙමේ “තෙපි අසුවල් වේලෙහි අසුවල් තැනට එවු’ වාද කරන්නෙමු”යි කලින් ම එහි ගොස් මද වේලාවක් රැඳී සිට “බලවු” තීර්‍ත්‍ථකයෝ මට බියෙන් මෙතෙක් මෙහි නො ආහ, මොවුන්ගේ නො පැමිණීම ම පරාජය” යි වාදයෙන් බැහැර ව අනෙකෙකින් අනෙක වසමින් පැන යන්නේ ය. බුදුරජානන් වහන්සේ “හත්‍ථක, වාදයට අඬ ගසා වාද නො කොට පැන යන්නේ ය”යි අසා හත්‍ථක කැඳවා “ඇත්ත ද හත්‍ථක! තමුසේ වාදයට අඬ ගසා වාද නො කොට පැන යන්නහු?”යි විචාර “ඇත්තැ”යි කී කල්හි “කුමක් නිසා මෙසේ කරහු? මෙබඳු බොරු කියන්නේ හිස මුඩු කිරීම් පා සිවුරු දැරීම් පමණෙකින් හැසිරෙන්නේ මහණෙක් නම් නො වේ, යමෙක් කුදු මහත් හැම පවක් සන්සිඳුවා සිටියේ ද මෙතෙමේ ම මහණැ”යි මේ ධර්‍මදේශනාව කළ සේක.
න මුණ්ඩකෙන සමණො අබ්බතො අලිකං භණං,
ඉච්ඡාලොහසමාපන්නො සමණො කිං භවිස්සති.
.
යො ච සමෙති පාපානි අණුං ථුලානි සබ්බසො,
සමිතත්තා හි පාපානං සමණොති පවුච්චතිති.
ව්‍රත ගුණ රහිත වූ බොරු කියන පුද්ගල තෙමේ හිස මුඩු කිරීමේ පමණෙකින් මහණෙක් නො වේ. ඉච්ඡාවට හා ලොභයට පමිණියේ කෙසේ මහණෙක් වේ ද.
යමෙක් වනාහි කුඩා වූ ද මහත් වූ ද පව්කම් මුළුමනින් සන්සිඳ වූ බැවින් ම හේ මහණැ යි කියනු ලැබේ.
න යනු නිපාත යි. මුණ්ඩක නම්: මෙහි හිස මුඩු කිරීම ය. හිස මුඩු කොට සිටි පුද්ගල ද මුණ්ඩක යි ගැණේ. හිස රැවුළු සිඳ හැරීම ශාසනික භික්‍ෂූන්ගේ පිළිවෙතෙකි. එ ද සිතෙහි නගිනා මානමදාදී කෙලෙස් යටපත් කර ගැණිමට ඉවහල් ව සිටුනා බැවින් සසුන් පිළිවෙතෙක් වේ. සිරුරෙහි විවර්‍ණත්‍වයට කරුණු වන්නේ ය. භික්‍ෂූන් විසින් ශරීරයෙහි විවර්‍ණත්‍වයට කරුණු වන්නේ ය. භික්‍ෂූන් විසින් ශරීරයෙහි විවර්‍ණත්‍වය නිතර සිහි කළ යුතුය යි වදාළෝ ද මානමදාදීන් යටපත් කරණු සඳහා ය. “වෙවණ්ණියම්හි අජ්ඣූපගතොති පබ්බජිතෙන අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං” යනු දේශනා ය. “කෙසමස්සුඔරොපණෙන සරීරවෙවණ්ණියං වෙදිතබ්බං” යනු අටුවා ය. එක්වර හිස රැවුළු සිඳ හැරීම ශ්‍රමණයන්ගේ යුතුකම ය. හිසකෙස් සිඳීම තබා, රැවුළු පමණක් සිඳීම බෞද්ධසංස්කෘතිය නො වේ. ශාසනානුලොමික නො වේ. යුතුකම ද නො වේ. එහෙත් එ දෙක එක්වර සිඳ හැරිය ද එම පමණින් මහණෙක් ද නො වේ.
සමණො = මහණෙක්. [1]
අබ්බතො = ව්‍රතරහිත වූ. ව්‍රතරහිත වූයේ හෝ.
මෙහි වත නම්: චතුපාරිසුද්ධිසීලය හා ධුතාඞ්ගධර්‍මයෝ ය. එහෙයින් ඒ සිවු පිරිසිදු සිල් රැකීම හා දුහඟපිරීම නො කරණුයේ අබ්බත නම්. “සීලවතෙන ධුතවතෙන විරහිතො” යනු අටුවා. [2]
අලිකං භණං = බොරු කියන්නා වූ. බොරු කියන්නේ හෝ.
බුදුරජ |
:- |
රාහුල! අර පෙණෙන දිය බඳුනෙහි ඉතිරිව තිබෙන දියත්ත දක්නහු ද? |
රාහුල |
:- |
ස්වාමීනි! එසේය. දකිමි. |
බුදුරජ |
:- |
රාහුල! යම් කෙනෙක්හට දැන දැන බොරු කීමෙහි ලජ්ජායෙක් නො වේ නම් ඔවුනට ඉතිරි ව ඇත්තේ ඒ දිය බඳුනෙහි රඳා තිබෙන දියත්ත පමණ වූ ඉතා ටික වූ මහණකමෙකි. |
ඉක්බිති බුදුරජානන් වහන්සේ බඳුනෙහි තුබූ දියත්ත බැහැරට දමා නැවැත රාහුල තෙරුන් මෙසේ ඇමතූ සේක. |
||
බුදුරජ |
:- |
රාහුල! බැහැරට දැමූ අර පෙණෙන දියත්ත රාහුලට පෙණේ ද? |
රාහුල |
:- |
ස්වාමීනි! එසේය. බැහැර දැමූ ඒ දියත්ත මට පෙණේ. |
බුදුරජ |
:- |
රාහුල! යම් කෙනෙක්හට දැන දැන බොරු කීමෙහි ලජ්ජායෙක් නො වේ නම් ඔවුන්ගේ මහණකම බැහැර දැමූ දියත්ත සේ බැහැර දමන ලද ය. |
ඉක්බිති බුදුරජානන් වහන්සේ ඒ දියබඳුන යටිහුරු කොට නැවැත රාහුල තෙරුන් හා කතාවට බට සේක. |
||
බුදුරජ |
:- |
රාහුල! යටිහුරු කළ දිය බඳුන දක්නහු? |
රාහුල |
:- |
එසේය, ස්වාමීනි! |
බුදුරජ |
:- |
රාහුල! යම් කෙනෙක්හට දැන දැන බොරු කීමෙහි ලජ්ජායෙක් නො වේ නම් ඔවුන්ගේ මහණකම යටිහුරු කරණ ලද්දේ ය. |
ඉක්බිති බුදුරජානන් වහන්සේ දියබඳුන උඩුහුරු කොට නැවැත රාහුල තෙරුන්ගෙන් මෙසේ අසා වදාළ සේක. |
||
බුදුරජ |
:- |
රාහුල! උඩුහුරු කළ දියෙන් හිස් වූ දිය බඳුන තමුසේ දක්නහු? |
රාහුල |
:- |
ස්වාමීනි! එසේය. |
බුදුරජ |
:- |
රාහුල! යම් කෙනෙක්හට දැන දැන බොරු කීමෙහි ලජ්ජායෙක් නො වේ නම් ඔවුන්ගේ මහණකම මුළුමනින් ම හිස් ය. සිවුරු දැරීම් පමණින් හිසරුවුළු සිඳ හැරි පමණින් මහණෙක් නො වේ. රාහුල! යම් කෙනෙක්හට දැන දැන බොරු කීමෙහි ලජ්ජායෙක් නො වේ නම් ඔහුට නො කළැකි පාපයෙක් ඇතැ යි මම නො කියමි. එහෙයින් රාහුල! හිනාවටවත් කෙළිකවට කමටවත් බොරු නොකිය යුතුය. රාහුල! බොරු නො කියන්නෙමි,යි තදින් තසිට ගෙණ හික්මෙන්න. |
කරුණු මෙසේ බැවින් බොරු කියන්නා මහණෙක් නො වේ ය යි වදාළ සේක. ගිහිගෙයි සිටියේ ද බොරු කියන්නේ නම් දෙලොවින් පිරිහෙන්නේ ය. [3]
ඉච්ඡාලොභසමාපන්නො = ඉච්ඡාවට හා ලොභයට පැමිණියේ.
ඉච්ඡා නම්: අරමුණු කැමැතිවීම ය. ඕ අතට නො පත් අරමුණු පිළිබඳ ය. ඉච්ඡායෙන් අතිච්ඡාවට, අතිච්ඡායෙන් මහිච්ඡාවට පැමිණෙන්නේ ය. [4]
ලොභ නම්: සත්ත්‍වයන් රූපශබ්දාදී වූ අරමුණුවල රැඳවීමෙහි ඇලවීමෙහි ශක්තිය යි. මෙය අතට පත් අරමුණු පිළිබඳ ය. “අසම්පතෙත්සු ආරම්මණෙසු ඉච්ඡාය පත්තෙසු ලොහෙන සමන්නාගතො” යනු අටුවා. [5]
සමණො කිං භවිස්සති = කෙසේ මහණෙක් වේ ද. කිම මහණෙක් වේ ද.
ශීලාදීව්‍රතරහිත වූ බොරු කියන පුද්ගල තෙමේ හිසමුඩු කිරීමෙන් පමණක් මහණෙක් නො වේ. හුදෙක් හිසමුඩු කිරීමෙන් උකුණන් නො හටගන්නා බව හා දුගඳ නො හමනා බව වන්නේ ය.
යො ච සමෙහි පාපානි අණුං ථූලානි සබ්බසො = යමෙක් වනාහි කුදු - මහත් පව්කම් මුළුමනින් සන්සිඳුවා ද.
යො යනු අනියාමිතවචනයි. කවරෙක් හෝ වේවා යි කිය හැකි වුව ද මෙහිලා ප්‍රධාන විසින් පැවිද්දෙක් ම ගැණෙන්නේ ය.
සමිතත්තා හි පාපානං සමණො ඉති පවුච්චති = පව් සන්සිඳ වූ බැවින් ම මහණැයි කියනු ලැබේ.
පව් සන්සිඳීම සෝවන් ඈ මගනුවණින් පිළිවෙළින් වන්නේ ය. පව් සන්සිඳ වූයේ ම මහණෙක් වන්නේ ය. හි යනු අවාධාරණාර්‍ත්‍ථයෙහි ය.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවන්ඵලාදියට පැමිණියාහු ය.
හත්‍ථක වස්තුව නිමි.