න වාක්කරණමත්තෙන වණ්ණපොක්ඛරතාය වා.
සාධුරූපො නරො හොති ඉස්සුකී මච්ඡරී සඨො.
(ඡින්නස්වර භින්නස්වර ගද්ගදස්වර කාකස්වර නො ව ගම්භීර ස්වරතාදි වශයෙන්) ලක්‍ෂණ සම්පන්න තෙපුල් ඇති පමණෙකින් හෝ ශරීර වර්‍ණය යහපත් බැවින් හෝ (පරලාභාදියෙහි) ඊර්‍ෂ්‍යා ඇති, (ආවාසමාත්සර්‍ය්‍යාදි පස් වැදෑරුම්) මසුරු බැවින් යුත්, (කෛරාටික පක්‍ෂය භජනය කිරීමෙන්) වංචක වූ මිනිස් තෙම සාධු වූ ස්වරූප ඇත්තේ නො වෙයි.
යස්ස චෙ තං සමුච්ඡින්නං මූලඝච්චං සමූහතං
ස වන්තදොසො මෙධාවී සාධුරූපො’ති වුච්චති.
යමක්හු විසින් වනාහි මේ (ඊර්‍ෂ්‍යාදි) දෝෂජාතය මුලින් සිඳිනා ලද ද, (අවිද්‍යාදි ක්ලේශමූලය හා සමග රහත්මඟනැණින්) නසන ලද ද, වැමෑරු කෙලෙස් දොස් ඇති, (ධර්මොජස් ප්‍රඥායෙන් යුක්ත වූ) ඒ පුද්ගල තෙම සාධුස්වරූප ඇත්තේ යැ යී කියනු ලැබේ.
එක් කලෙක තමන්ට බණදහම්, උගන්වාලීමෙන් ධර්‍මාචාර්‍ය්‍ය ව සිටි උගතුනට පුදසැලකිලි හා ඔවුන්ගේ සිවුරු රැඳීම් ඈ වතාවත් කරණ මහණුන් හා හෙරණුන් දුටු ඇතැම් තෙරහු, “අපි පදබ්‍යඤ්ජනයෙහි පමණක් දක්‍ෂ වම්හ, එහෙත් අර්‍ත්‍ථ විසින් කිසිත් දැනුමෙක් අපට නැත, එහෙයින් අපි බුදුරජුන් වෙතට ගොස් ‘ස්වාමීනි! අපි පදබ්‍යඤ්ජනයෙහි පමණක් දක්‍ෂ වෙමු, එය මිහිරි ලෙස හඬ නගා කියන්නට අපට පිළිවන, ඒ මුත් ධර්‍මාර්‍ත්‍ථයෙහි නම් දැනුමෙක් නැත. ධර්‍මාර්‍ත්‍ථයන් අන් කවුරුන් වත උගත් නමුත් මොවුන් වතෙ ගොස් එබණ පිරිසිදු කොට කියවා නො ගෙණ සජ්ඣායනා නො කරවු’යි ඒ ග්‍රන්ථධුර පුරණ මහණුන්නට නියම කොට වදාරණු මැනවැ’යි දන්වා සිටිමු, එසේ කළ කල්හි අපට ලාභ සත්කාර ලබෙන ඇතැ”යි කියා ගෙණ බුදුරජුන් වෙත ගොස් වැඳ එකත් පස්හි සිට එසේ කීහ.
බුදුරජානන් වහන්සේ ඔවුන්ගේ එබස් අසා “මේ ශාසනයෙහි ප්‍රවෙණි වශයෙන් නම් එසේ කිය හැකි ය, මොවුහු වනාහි ලාභ සත්කාරයෙහි ගිජු වූවෝ”යි දැන වදාරා, “මම තෙපි හොඳට මිහිරි ලෙසින් කියන්නට දන්නහු පමණින් වදන්හි සොඳුරුබව ඇති පමණින් යහපත් සැහැවි ඇතියහු’යි නො කියමි, යමක්හු විසින් ඊර්‍ෂ්‍යාදි අසද්ධර්‍ම, රහත්මගින් සිඳ හරිණ ලද නම් මෙතෙමේ ම යහපත් සැහැවි ඇතැ”යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක.
න වාක්කරණමත්තෙන වණ්ණපොක්ඛරතාය වා,
සාධුරූපො නරො හොති ඉස්සුකි මච්ඡරී සඨො.
.
යස්ස චෙතං සමුච්ඡින්නං මූලඝච්චං සමූහතං,
සවන්නදොසො මෙධාවී සාධුරූපොති වුච්චතීති.
ලක්‍ෂණසම්පන්නවචනමාත්‍රයෙන් හෝ ශරීරවර්‍ණය යහපත් බැවින් හෝ ඊර්‍ෂ්‍යා ඇති මසුරුබැවින් යුත් කපටි වූ මිනිස් තෙමේ මනා සැහැවි ඇත්තේ නො වේ.
යමක්හු විසින් වනාහි මේ ඊර්‍ෂ්‍යාදී වූ දොස්රැස මුලින් සිඳින ලද ද මනා කොට සිඳින ලද ද වැමෑරූ කෙලෙස් ඇති නුවණැති හෙතෙමේ මනා සැහැවි ඇත්තේය යි කියනු ලැබේ.
න වාක්කරණමත්තෙන = ලක්‍ෂණසම්පන්නවචනමාත්‍රයෙන් හෝ හොඳට කතාකළ පමණින්.
න කාරය, මෙහි එන හොති යනු හා සම්බන්‍ධ වන්නේ ය. “වාක්කරණමත්තෙන” යන්නට අර්‍ත්‍ථකථායෙහි “වචීකරණමත්තෙන ලක්ඛණසම්පන්නවචනෙන” යි අරුත් දෙන ලද්දේ ය. එසේ අරුත් දෙන ලද්දේ මේ දේශනාවට ලක් වූ භික්‍ෂූන්ගේ හා බුදුරජානන් වහන්සේගේ අදහස් ලෙසිනි. නැත, හුදෙක් වදන් පමණක් කියැවෙන ‘වාක්කරණ’ යන්නට එබඳු අරුත් කීමෙක් නො වෙන්නේ ය. පරාණසන්නහෙයි ඡින්නස්වර, භින්නස්වර, ගද්ගදස්වර, කාකස්වර නො ව ගම්භීරතාදි වශයෙන් ලක්‍ෂණසම්පන්න තෙපුල් ඇති පමණින්,යි මෙම කියන ලද්දේ ය. යුක්තස්ථානයෙහි යෙදුනු ශිථිල - ධනිතාදිඛ්‍යඤ්ජනසම්පත්තියෙන් හා ස්ථාන - කරණ - ප්‍රයත්නයෙන් නිසිසේ නැගි අක්‍ෂරසම්පත්තියෙන් පරිපූර්‍ණ වූ වචන ම ගම්භීරතාදිගුණ සෙවුනේ ය. එබඳු ‘වදන් පමණින්’ යනු අරුත්.
වණ්ණපොක්ඛරතාය වා = සිරුරු පැහැය යහපත් බැවින් හෝ සිරුරුපැහැය සිත් ගන්නා පමණින්.
වණ්ණපොක්ඛරතා නම්: සිරුරෙහි සුන්‍දරභාවය යි. “වණ්ණපොක්ඛරතායාති වණ්ණසුන්‍දරතාය” යනු අටුවා. වණ්ණපොක්ඛරතා යන්න වඩාත් පහදා ලන්නට අභිරූපා - දස්සනීයා - පාසාදිකා යනු යෙදින. ඉතා උස් නො වූයේ, ඉතා මිටි නො වූයේ අභිරූප. ඉතා කෙට්ටු නො වූයේ, ඉතා තර නො වූයේ දස්සනීය. ඉතා කලු නො වූයේ, ඉතා සුදු නො වූයේ පාසාදික. මෙ කියූ ලක්‍ෂණයෙන් යුත් සිරුර හා සිරුරු පැහැය දුටුදුටවන්ගේ සිත් ඇද ගණුයේ සොඳුරු බැවින් යුක්ත ය. ඒ වර්‍ණ සෞන්දර්‍ය්‍යයෙන් හෝ යන අරුත්.
සාධුරූපො නරො හොති ඉස්සුකී මච්ඡරී සඨො = ඊර්‍ෂ්‍යා ඇති මසුරු වූ කපටි වූ මිනිස් තෙමේ යහපත් ගති ඇත්තේ නො වේ.
යමක්හට නිවරද වූ තමන් හා අනුන් නො පෙළන කාය සාමචාර - වාක්සාමචාර - මනස්සමාචාර ඇත්තේ නම් හේ සාධු රූප ය.
ඉස්සුකී නම්: ඊර්‍ෂ්‍යා ඇත්තේ ය. මෙරමා සැපත් නො ඉවසීම මැකීම ලකුණු කොට සිටි චිත්තගතියෙන් යුක්ත වූයේ ය. “පර සම්පත්තිඛීයනලක්ඛණාය ඉස්සාය සමන්තාගතො” යනු එහි ව්‍යක්තිය යි. සත්ත්‍වයන් කෙරෙහි හා සත්ත්‍වයන් පිළිබඳ ගුණයන් කෙරෙහි දොෂාරොපණය කරන්නී ද ඊර්‍ෂ්‍යා ය. මෝ අන්හු ලබන පූජාසත්කාර - යසපිරිවර දැකීමෙන් උගත්කම් දැකීමෙන් කෑම්බීම් ඇඳුම් පැලඳුම් යාන වාහන ගේදොර දැකීමෙන් ආරොහපරිණාහාදිය දැකීමෙන් සිතතුළ උපදනී ය. යමක්හුගේ සිතෙහි මෝ උපදනී නම්, එය ඔහුට හිතපිණිස නො වන්නී ය. ඔහු ඒ හේතුවෙන් එලොව හා මෙලොව හා දෙලොවින් පිරිහෙන්නේ ය. [1]
“ඉධ පන මාණව! එකච්චො ඉත්‍ථි වා පුරිසො වා ඉස්සා මනකො හොති, පරලාභස්ක්කාරගරුකාරමාන්නවන්‍දනපූජනාසු ඉස්සති උපදුස්සති ඉස්සං බන්‍ධති, සො තෙන කම්මෙන එවං සමත්තෙන සමාදින්නෙන කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති, සචෙ මනුස්සත්තං ආගච්ඡති, යත්‍ථ යත්‍ථ පච්චාජායති, අප්පෙසක්කසංවත්තනිකො පරලාභසක්කාරගරුකාරමාන්නවන්‍දනපූජනාසු ඉස්සති උපදුස්සති, ඉස්සං බන්‍ධති” යනු දේශනා ය.
“මාණවකය! මේ ලෝකයෙහි ඇතැම් - ගෑණු පිරිමි ඊර්‍ෂ්‍යායෙන් කැලඹුනු සිතැති ව මෙරමා ලබන ලැබුම් සැලකිලි ගරු බුහුමන් වැඳුම් පිදුම් දැක ඒ ඉවසනු නො හැකි ව සුසුම් ලනුවෝ ඊර්‍ෂ්‍යායෙන් උපක්‍රෝශ කරන්නෝ ය. ඔවුහු ඒ ඊර්‍ෂ්‍යා සඞ්ඛ්‍යාත අකුශලකර්‍මයෙන් මරණින් මතු නිරයෙහි උපදින්නෝ ය, ඉදින් නිරයෙහි නො ඉපද මිනිසත්බවට ආවෝ නම් කිසිත් ආනුභාවයක් නැති හැම බලයෙකින් පිරිහුණු නිස්තෙජස්කයෝ වන්නාහ” යනු එහි කෙටි අදහස ය.
ඊර්‍ෂ්‍යාව සිටිය ද්වේෂය මිතුරු කොට ගෙණ ය. මෝ දෝමනස්සසහගතපටිඝසම්පයුත්තඅසඞ්ඛාර - සසඞ්ඛාර දෙසිතෙහි උප දනී ය. එහෙයිනි ද්වේෂය මිතුරු කොට සිටියා යනු.
“සැවැත් නුවර කුලගෙයක කෙළෙඹි පුත්‍රයෙක් වී ය, හේ තුනුරුවන් කෙරෙහි සැදැහැති ය, එහෙත් ඔහුගේ බිරිය සැදැහැ නැත්තී ය, නො ද පහන් ය, ක්‍රෝධයෙන් දැවෙන්නී ය, දූපුත් නැත්තී ය, නමින් මිත්තා ය, එහෙයින් කෙළෙඹි කුලවංශය සිඳී යේ ය යි අන් ස්ත්‍රියක බිරිය කොට ගෙණ ආයේ ය, ඕ තිස්සා නම් ය, තුනුරුවන් කෙරෙහි සැදැහැත්තී කෙළෙඹියාගේ සිත් ගත්තී ය, මන වඩන්නී ය, ටික දවසක් යත් ම ඕ ගැබ් ගත්තී දස මසක් ගෙවා පුතුකු වැදූ ය, පුතුට භූත යි නම් කළහ, තිස්සා එතැන් සිට ගෙයි ස්වාමදූ වූවා භික්‍ෂූන් සතර නමකට නිතර උවටැන් කළා ය, එයින් වඳ බිරිය වූ මිත්තා ඇයට ඊර්‍ෂ්‍යා කළා ය, මේ දෙදෙන දවසක් දිය නාන්ට ගියහ, එහි දී දූපුත් ඇත්තී දිය නාලා තෙත් හිසකෙස් ඇති ව එහි රැඳී සිටියා ය, කෙළෙඹි ඇය කෙරෙහි වූ ගුණදහම් සලකා බැඳුනු ස්නේහ ඇතියේ ඇය හා එහි කතා කරමින් සිටියේ ය. මිත්තා එය නො ඉවසන්නී ඊර්‍ෂ්‍යාවෙන් මැඩුනී ගෙය හැමද එකතු කොට තුබූ කුණුකසළ ගෙණවුත් තිස්සාවගේ හිසමත බැහූ ය, මෙසේ ඊර්‍ෂ්‍යායෙන් හා ක්‍රෝධයෙන් මැඩී සිටි ඕ තොමෝ ආයු ගෙවා කලුරිය කොට ප්‍රේතලෝකයෙහි ඉපද, දුක් විඳින්නී දවසක් සවස්වේලෙහි ගෙන් පිටත සිටි තිස්සාවට තමන් දැක්වූ ය, එකල්හි තිස්සාව හා ප්‍රේතිය අතර මෙස් කතාවක් උපන,
තිස්සා |
:- |
විළිවැසුම් නැතියෙහි ය, නපුරු සිරුරු පැහ ඇතියෙහි ය, මස් ලේ සිඳී යෑමෙන් කෙට්ටු වූ සිරුරු ඇතියෙහි ය, ඉල්පී ගිය නහර ඇතියෙහි ය, මෙසේ මතු වූ ඉල ඇට ඇති ව සම්නහර පමණක් ඉතිරිව ගිය තී මෙහි සිටිනෙහි කවර? |
පේතී |
:- |
පෙර ජාතියෙහි මම මිත්තා, තී තිස්සා, මම තී හා සම හිමි ඇතියා අකුසල් කොට මේ මිනිස් ලොවින් ච්‍යුත ව ප්‍රේතලෝකයෙහි උපන්මි. |
තිස්සා |
:- |
කා විසිමුනා තිදොරින් කළ අකුසලය කුමක් ද? කිනම් අකුශල කර්‍මයක්හුගේ විපාක විසින් ප්‍රේත ලෝකයට ගියා ද? |
පේතී |
:- |
එදා මම සැඬ වූවා පරොස්බස් කියා ඊර්‍ෂ්‍යා ඇතියා මසුරු බැව් ඇතියා කපටි ගෑණියක් වීමි, නපුරුබස් කියා මම මෙලොවින් ගිලිහී ප්‍රේතලෝකයට ගියා. |
තිස්සා |
:- |
එදා තී සැඬ වූ සැටි මම ද දනිමි, හොඳයි වේවා, කළ කිනම් කර්‍මයක් හේතු කොට කුණු කසළින් ගැවසුනී? |
පේතී |
:- |
එදා තී ඉස් සෝදා නාලා පිරිසිදු රෙදිපිළී හැඳ අබරණ ලා සැරැසී ගත්තා, මමත් තිට වඩා ඉතා ඉහලින් සැරසුනා, ඒ අතර මා බලා ඉන්ද දී තී හිමියා සමග තනිව කතා කරමින් සිටියා, එය දැක මාගේ සිත්හි ඊර්‍ෂ්‍යාවත් ක්‍රෝධයත් දැඩි ව උපන් බැවින් පස් ගෙණ ඒ පස් මම තීගේ හිසමත දැම්මා ඒ කළ අකුශලකර්‍මයාගේ විපාක විසින් මම දැන් පසින් වැකුණු සිරුරු ඇතියා වෙමි. |
තිස්සා |
:- |
එදා තී පස් ගෙණ මා හිසමත දැමූ සැටි මම දනිමි, එයින් දැන් වැඩෙක් නැත, නිතර සිරුර කසන්නිහි කිම? |
පේතී |
:- |
එදා අපි දෙදෙන බෙහෙත් බඩු ටිකක් සපයා ගෙණ එන්නට කැලෑවට ගියමෝ ය, තී වෙදුන් කියූ බෙහෙත් බඩු සපයා ගෙණ ආවා, මම තිට නො පෙණෙන සේ කසඹිලියා කොළ හා ගෙඩි කිහිපයක් ගෙණාවා, ඒ ගෙණ ආ කසඹිලියා කොළ හා ගෙඩි තී නිදන ඇඳෙහි තිට නො පෙණෙන ලෙසින් විසිර වීමි, ඒ කළ පාපකර්‍මය නිසා මාගේ ඇඟපත සැම තැන මේ කුෂ්ටරෝගය නැගී ඇත, නිතර ඇඟ කසින්නිම් ඒ නිසා ය. |
තිස්සා |
:- |
හරි, ඇත්ත යි, එදා තී මා නිදන ඇඳෙහි කසඹිලියා විසිර වූ බව මා දන්නවා, මොක ද, දැන් හෙළුවෙන්? |
පේතී |
:- |
එදා මෙහි මිතුරන්ගේ සමාගමයෙක් විය, නෑයන් ගේ ත් රැස්වීමෙක් ද විය, ඒ දෙකට ම මා හැර දමා තී සැමියා සමග ගියා, මට ඒ පිණිස කිසිත් දැන්වීමෙක් නො වීය, එදා මම තිගේ රෙද්දක් සොරා ගතිමි, ඒ පාපයෙන් දැන් හෙළුවෙන් සිටින්නී. |
තිස්සා |
:- |
ඇත්ත යි, තී මාගේ රෙද්දක් සොරාගත්බව මා දැන සිටියා, මොක ද තී වෙතින් තදින් අසූචිගඳ හමන්නේ, මොක ද, කළ කර්‍මය? |
පේතී |
:- |
මම එදා ඊර්‍ෂ්‍යායෙන් හා ක්‍රෝධයෙන් තිගේ සුවඳ සබන්, වටිනා මල්මාලා, ඇඟ ගල්වන විලවුන් ගෙණ ගොස් අසූචිවළෙක දැම්මා. මාගේ සිරුරෙන් නිතර අසූචිගඳ හමන්නේ ඒ කළ පාපකර්‍මය නිසා ය |
තිස්සා |
:- |
දුකට පැමිණියා කුමක් නිසා ද? |
පේතී |
:- |
අපගේ ගෙයි තුබූ ධනය අප දෙදෙනාට ම සමානව තුබුනේ ය, එසේ මා වෙතත් දියයුතු දැය තිබියදීත් මා එයින් පිහිටක් කර ගත්තේ නැත, දනක් පිණක් නො කෙළෙමි, පින්දහම් නො කළ නිසා දුකට පැමිණියා. |
තිස්සා |
:- |
එදා තී මා ගැණ නො මගින් කල්පනා කළා, තිට හිත කැමතියක වැඩ කැමැතියක කොට මා ගැණ නො සිතූයෙහි ය, හැමවේලේ මට ඊර්‍ෂ්‍යාකළා, මට ක්‍රෝධ කළා, මේ එදා කළ පාප කර්‍මයන්ගේ විපාකය යි, එය ඉතා බිහිසුණු බව ඇස් ඉදිරියෙහි ම දකුව, තීගේ ගෙයි එදා මෙහෙකරන්නෝ වූවාහු ද, එසේ ම නොයෙක් ආභරණයෝ වුවාහු ද තී අයත් වූ ඒ සියල්ල දැන් අන් ගෑණු ප්‍රයෝජනයට ගණිත්, වස්තු සම්පත් සදාකාලික නො වේ, ඒ කිසි දැයෙක ඊර්‍ෂ්‍යා මාත්ර්‍ස්‍යාදිය නො කටයුතු ය, භූත නම් මේ පුතුගේ පියා කඩපිළෙහි සිට දැන් ගෙදර එනු ඇත, ඔහු ගෙදර ආ විට දිය යුතු දැයක් තිට දෙනු ද ඇත, එතෙක් බැහැර නොගොස් මෙහි ම සිටුව. |
පේතී |
:- |
මම හෙළුවෙන්, සිරුරු පැහැය දැකිය නො හැකිය, ඇඟපත වැහැරී ගොස් ය, නහර ඉල්පී තිබේ, මෙය ගෑණුන්ට මහත් ලජ්ජාවක, භූතගේ පියා මා නො දකීවා. |
තිස්සා |
:- |
එසේ නම් තී කෙසේ සුවපත් වන්නි හි? කම්සැපතින් පිරී යන්නි හි, ඒ පිණිස තිට කුමක් කුමක් දෙම් ද, බතක් බුලතක් කැවිලියක් පෙවිලියක් රෙදිකඩක් දෙම් ද, වෙන අන් කවර උපකාරයක් කරම් ද? |
පේතී |
:- |
සඞ්ඝසම්මතයෙන් සඞ්ඝයා වෙතින් භික්‍ෂූණ් සිවු නමක් ද පුද්ගල විසින් භික්‍ෂූන් සිවු නමක් දැ යි භික්‍ෂූන් අට නමක් වළඳවා ඒ දක්‍ෂිණාව මට පමුණු වන්න, එකල්හි මම සුව ඇතියා වෙමි, සියලු සැපතින් පිරී ඉතිරී යනු ඇතැ, |
යි. ඉක්බිති තිස්සා පෙතියගේ ඉල්ලීම පරිදි ඒ කාරණය සිය සැමියාට දන්වා පසුදා භික්‍ෂූන් අට නමක් වළඳවා රෙදිපිළී පූජා කොට පෙතියට පින් පැමිණ වූ ය. පින් පමුණුවාලූ කෙණෙහි ම ඇයට දිව්‍යමයආහාරපානවස්ත්‍රාභරණ හා හැම යසිසුරු ම ලැබින. එයින් ඕ දුකින් මිදුනා.
මච්ඡරී නම්: මසුරුකම් ඇත්තේ ය. සිය සැපැත් සැඟවීම ලකුණු කොට සිටි චිත්තගතියෙන් යුක්ත වූයේ ය. මසුරුකමින් යුත් පුද්ගල තෙමේ තමා සතු කිසි දැයක් අනුනට සාධාරණ වීම ගැණ සතුටු නො වන්නේ ය. කිසිවක්හට කිසිවකුත් නො දෙන්නේ ය.
මේ මාත්සර්‍ය්‍ය හෙවත් මසුරුකම ආවාස - කුල - ලාභ - ධර්‍ම - වර්‍ණ යි පස් වැදෑරුම් ය. එහි ආවාසමාතසර්‍ය්‍ය නම්: අරම් - පිරිවෙන් - වෙහෙර - පන්සල් - රෑතැන් - දිවා තැන් වතු පිටි ආදිය පිළිබඳ මසුරුබව ය. මේ මසුරුකමින් යුක්ත වූයේ අන් මහණුන්ගේ පැමිණීම නො ඉවසන්නේ ය. පැමිණියහු ද නොයෙක් නැති බැරිකම් කියා පිටත් කොට යවන්නේ ය. ආවාසමාතසර්‍ය්‍යය හේතු කොට මරණින් මතු යකෙක් හෝ ප්‍රේතයෙක් ව ඒ ආවාසයෙහි ඇති තාක් කුණු කසළ හිසින් ගෙණ හැසිරෙන්නේ ය. කුලමාත්සර්‍ය්‍ය නම්: ඒ ඒ කුලයන් නිසා “මේ මාගේ උපස්ථායක කුල ය, මේ ඥාති කුල ය, මේ කුලයන් කරා අනෙකෙක් නො පැමිණෙන්නේ නම් මැනැවැ”යි කුල පිළිබඳ මසුරු බව ය. කුලමාත්සර්‍ය්‍යය හේතු කොට යම් කුලයක් පිළිබඳ මසුරුබවෙක් යමක්හට වේ නම්, ඒ කුලයෙහි අන්හට දෙන දානමානාදිය දැක “මාගේ කුලය මා කෙරෙහි බිඳී ගියේ වන, මට වූවා මහත් හානියකැ”යි සිතන්නහුගේ කටින් ලේ උතුරන්නේ ය. මලමගින් විරෙචනය වන්නේ ය. අතුනු බහන් ද කැඩි කැඩී නිකුත් වන්නේ ය. ලාභමාත්සර්‍ය්‍ය නම්: චීවර - පිණ්ඩපාත - සෙනාසන - ග්ලානප්‍රත්‍යයයන් පිළිබඳ මසුරුබව ය. මෙයින් මැඩී සිටියේ, අන් මහණුන්ට එයින් යමක් ලැබෙනු නොකැමැත්තේ ය, ලාභමාත්සර්‍ය්‍යය හේතු කොට සඞ්ඝසන්තක වූ ගණසන්තක වූ ලාභයෙහි මසුරු කම් කොට ඒ සියල්ල තමාගේ ය යි සිතා වළඳනුයේ අයත් කොට ගණුයේ මරණින් මතු යකෙක් හෝ ප්‍රේතයෙක් හෝ මහාපිඹුරෙක් හෝ වන්නේ ය. ධර්‍මමාත්සර්‍ය්‍ය නම්: තමන් දැන උගත් ධර්‍මශාස්ත්‍රාදියෙහි මසුරු බව ය. මෙයින් මැඩුනේ තමන් උගත් ධර්‍මශාස්ත්‍රය අන්හට උගන්වනු නො කැමැත්තේ ය. වර්‍ණමාත්සර්‍ය්‍ය නම්: ශරීරවර්‍ණ - ගුණවර්‍ණයන් නිසා උපදනා මසුරුබව ය. මෙයින් මැඩුනේ මෙරමා පිළිබඳ හැඩ හුරුකම් දකින්නට අසන්නට නො කැමැත්තේ ය. එසේ ම මෙරමා පිළිබඳ සිල්වත්බව සුරුබුහුටි බව ඈ අසන්නට නො කැමැත්තේ ය. උගත්කම නො ඉවසන්නේ ය. මේ හේතු කොට දුර්‍වණ වනුයේ කෙළ තොලු වන්නේ ය. වැදූ මවට ද අප්‍රිය වන්නේ ය.
ආවාසමාත්සර්‍ය්‍යයෙන් මරණින් මතු ලෝකුඹු නරකයෙහි උපදින්නේ ය. කුලමාත්සර්‍ය්‍යයෙන් හිඟන්නෙක් වන්නේ ය. ලාභ මාත්සර්‍ය්‍යයෙන් ගූථනරකයෙහි පැසෙන්නේ ය. ධර්‍මමාත්සර්‍ය්‍යයෙන් කුකකුල නරකයෙහි ඉපද ගන්නේ ය. වර්‍ණමාත්සර්‍ය්‍යයෙන් අන්හු සිත් ගන්නා සිරුරු පැහැයෙන් තොර වූයේ අප්‍රිය වූ දැකුම් ඇතියේ වන්නේ ය. මේ ඊර්‍ෂ්‍යා - මාත්සර්‍ය්‍ය දෙක පහවනුයේ සෝවන්මග නුවණින් ය. මෙ දෙක පහව යන තුරු මිනිස්සු වෛරාදිපාපධර්‍මයන්ගෙන් නො ද මිදෙන්නාහ. [2]
කපටි පුද්ගල තෙමේ සඨ නම්. මෙ තෙමේ තමන් වෙත නැත්තා වූ සද්ගුණ පෙන්වා තමන් වෙත නැති උගත්කම් පෙන්වා මිහිපිට ඉන්නා එක් ම උගතා තමන් බව දක්වා ලෝකයා මුළා කොට ලාභසත්කාරාදිය සොයන්නේ ය. “අත්තනො අවිජ්ජාමානගුණප්පකායනලක්ඛණං සාඨෙය්‍යං” කපටිබව තමන් වෙත නැති ගුණ පැවසීම ලකුණු කොට සිටියේ ය. “තෙසං සමුදාහරණරසං” තමන් වෙත නැති ගුණ කියා පෑම කෘත්‍යය කොට සිටියේ ය. “සරීරාකාරෙනපි තෙසං විභූතකරණපච්චුපට්ඨානං” තමන් වෙත මහත් ගුණ ඇතැයි ලෝකයාහට හඟවන අදහසින් අත පය නො සොල්වා වට පිට නො බලා බිම බලා සෙමින් සෙමින් පා නැගීම් ආදී වූ ශරීරාකාරයෙන් ඒ නැති ගුණ ප්‍රකට කිරීම ඵල කොට සිටියේ ය. “සඨො අසන්තගුණදීපන්තො න සම්මා භාසිතා” යි කී බැවින් කපටි පුද්ගල, නැති ගුණ දක්වන බැවින් මැනැවින් කියන්නෙක් නො වේ ය යි දතයුතු ය.
යස්ස ච එතං සමුච්ඡින්තං = යමක්හු විසින් මේ දොස් රැස මනා කොට සිඳින ලද ද.
මුලඝච්චං සමූහතං = මුල් සිඳීමෙන් නසන ලද ද.
සො වන්තදොසො මෙධාවී = වැමෑරු කෙලෙස් ඇති නුවණැති හෙතෙමේ.
සාධුරූපො ඉති වුච්චති = මනා සැහැවි ඇත්තේ ය යි කියනු ලැබේ.
යමක්හු විසින් මේ ඊර්‍ෂ්‍යාදිදෝෂජාතය අහීණමාර්‍ගඥානයෙන් මුල් සහිත ව සිඳින ලද ද, හේ වන්නදොස ය. [3] ධමෞජස් ප්‍රඥා ඇතියේ මෙධාවී ය. [4] කෙලෙස් වැමෑරීම් ඈ ඇතියේ සාධුරූප ද වේ. මෙතෙමේ සක්විත් සැපත් ඈ බලා ද ගුණයෙන් නො පිරිහෙන්නේ ය. ස්ථිර ගුණ ඇතියේ ය. විටින් විට වෙනස් වන සාමාන්‍ය ගුණ ඇතියෙක් නො වේ.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවන්ඵලාදියට පැමිණියාහු ය.
සම්බහුලභික්‍ෂු වස්තුව නිමි.