19-7 බැහැරි සසුන්හි පැවිදි වූ බමුණෙක්

න තෙන භික්ඛු හොති යාවතා භික්ඛතෙ පරෙ

විස්සං ධම්මං සමාදාය, භික්ඛු හොති න තාවතා.

යම් පමණෙකින් අනුන් සිඟා ද (හෙවත් යම් කාරණයෙකින් අනුන් ගේ දොර දොරැ සිට සිඟා ද) එ කරුණින් භික්‍ෂු නම් නො වෙයි. විෂම වූ පාපධර්‍ම සමාදන් වැ (නො හොත් දුගඳ වහනය කරණ කායකර්‍මාදිය සමාදන් ව) වසන්නේ ඒ (දොර දොරැ සිටැ සිඟන) පමණෙකින් භික්‍ෂු නම් නො වේ.

යො’ධ පුඤ්ඤඤ්ච පාපඤ්ච බාහෙත්‍වා බ්‍රහ්මචරියවා

සඞ්ඛාය ලොකෙ චරති ස වෙ භික්ඛූ’ති වුච්චති.

මෙ සස්නෙහි යම් මහණෙක් කුසල් ද අකුසල් ද යන දෙකම (මඟබඹසරින්) දුරු කොට, මඟබඹසර ඇත්තේ (ස්කන්‍ධාදි) ලෝකයෙහි සර්‍ව ධර්‍මයන් නුවණින් සලකා හැසිරේ ද (හෙවත් මොහු ආධ්‍යාත්මික ස්කන්‍ධයහ මොහු බාහ්‍යස්කන්‍ධයහ යි සියලු ධර්‍මයන් දැන වෙසේ ද), හෙ තෙම ඒකාන්තයෙන් (මඟනුවණින් බුන් කෙලෙස් ඇති හෙයින්) භික්‍ෂු යැ යි කියනු ලැබේ.

බැහැරි සසුන්හි පැවිදි ව ගත් එක්තරා බමුණෙක් පිඬු සිඟා ජීවත් වනුයේ “ශ්‍රමණ ගෞතම තෙමේ පිඬු සිඟා වළඳා ජීවත් වන තමන්ගේ ශ්‍රාවකයන් භික්‍ෂූ යි හඳුන් වන්නේ ය, මා ද පිඬු සිඟා යන බැවින් මම ද භික්‍ෂු නම් වෙමි” යි සිතා දවසක් බුදුරජුන් වෙත ගොස් “භවත් ගෞතමයන් වහන්ස, මම ද පිඬු සිඟා ගෙණ වළඳා ජීවත් වෙමි, එහෙයින් මාත් භික්‍ෂූ යි හඳුනා ගණු මැනැවැ”යි දන්වා සිටියේ ය. එකල්හි බුදුරජානන් වහන්සේ “බ්‍රාහ්මණ! මම පිඬු සිඟීම් පමණින් යමක්හට භික්‍ෂු යි නො කියමි, විෂම වූ පාපධර්‍ම සමාදන් ව ගෙණ පවත් වනුයේ භික්‍ෂු නම් නො වේ, යමෙක් වනාහි නුවණින්, මේ ආද්ධ්‍යාත්මිකසංස්කාර ය, මේ බාහිර සංස්කාර ය”යි සියලු සංස්කාරයන්ගේ නියම තතු දැන දවසරින්නේ නම් හෙතෙමේ භික්‍ෂු නම් වේ ය”යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක.

න තෙන භික්ඛු සො හොති යාවතා භික්ඛතෙ පරෙ,

විස්සං ධම්මං සමාදාය භික්ඛු හොති න තාවතා.

.

යොධ පුඤ්ඤඤ්ච පාපඤ්ච බාහිත්‍වා බ්‍රහ්මචරියවා,

සඞ්ඛාය ලොකෙ චරති සවෙ භික්ඛූති වුච්චතීති.

යම් පමණකින් අනුන්ගේ ගේ දොර සිට සිඟා ද, එපමණින් භික්‍ෂු නම් නො වේ. විෂම වූ පාපධර්‍ම, නොහොත් දුඟඳ හමන කාය කර්‍මාදිය සමාදන් ව ගෙණ වසන්නේ එපමණින් භික්‍ෂු නම් නො වේ.

මේ සසුනෙහි යම් මහණෙක් පින් ද පව් ද දුරු කොට බඹසර ඇතියේ ලෝකයෙහි සියලු ධර්‍මයන් නුවණින් සලකා ගෙණ හැසිරේ ද හෙතෙමේ භික්‍ෂූ යි කියනු ලැබේ.

න තෙන භික්ඛු සො හොති යාවතා භික්ඛතෙ පරෙ = යම් පමණකින් අනුන්ගේ ගේ දොර සිට සිඟා ද, එ පමණින් භික්‍ෂු නම් නො වේ.

යමෙක් සිල් රැකුම් ඈ ගුණදහම් වැඩීම් පසෙක තබා මෙලොව උදරපූරණය පිණිස මහණ වෙස් ගෙණ අනුන්ගේ ගේ දොරදොර සිඟා යේ නම් ඒ සිඟා ගිය පමණින් භික්‍ෂු නම් නො වේ.

භික්ඛු කවරැ යි ඉදිරියෙහි දත හැක්කේ ය. ‘යාවතා, පරෙ’ යනු විස්තර විසින් යට පැවසුනේ ය.

විස්සං ධම්මං සමාදාය භික්ඛු හොති න තාවතා = විෂම වූ පාපධර්‍ම නොහොත් දුගඳ හමන කායකර්‍මාදිය සමාදන් ව ගැණීමෙන් එපමණින් භික්‍ෂු නම් නො වේ.

විස්සං = විෂමය යන අරුත් ඇතියේ ය. යම් ධර්‍මයකින් යම් ක්‍රියායෙකින් යමක්හට තමසිත සෙමෙහි තැබිය නො හැක්කේ ද ඒ ධර්‍ම, ඒ ක්‍රියා විෂම ය. සතුන් මැරීම් ඈ පව්කම් කරන්නහුට සෙමෙහි පවතිනු නො හැකිය. ඔහුගේ සිතෙහි සැනසිල්ලෙක් නැත්තේ ය. එසේ ම ඒ පාපධර්‍ම දුගඳ වහනය කරන්නේ ය. පව්කම් කරන්නේ ද දුගඳ ඇතියේ ය. ‘විස්ස’ යනු චිතකාග්නිධූමයෙහි ද වැටේ. චිතකාග්නිධූම නම් මිනීදුම් ය. ඒ දුගඳ ය. සංස්කෘතයෙහි ‘විස්‍ර’ යි කියනු ලැබේ. ධම්ම යන්නෙන් පාපධර්‍ම ගැණේ.

යො ඉධ පුඤ්ඤං ච පාපං ච බාහිත්‍වා බ්‍රහ්මචරියවා = මේශාසනයෙහි යම් මහණෙක් පින්පව් දුරු කොට බඹසර ඇතියේ.

‘බ්‍රහ්මචරියවා’ යන මෙය ‘චරිත’ යනු හැ බැදී සිටියේ ය. බ්‍රහ්මචරියවා = බඹසර ඇතියේ ය යන අරුත්. [1]

සඞ්ඛාය ලොකෙ චරති = ලෝකයෙහි නුවණින් දැන හැසිරේ ද.

ස්කන්‍ධාදිලෝකයෙහි ‘මේ ආද්ධ්‍යත්මිකස්කන්‍ධ ය, මේ බාහ්‍ය-ස්කන්‍ධය, යනාදී විසින් සියලු ධර්‍මයන් නුවණින් දැන හැසිරේ ද, මාර්‍ගඥානයෙන් බිඳ හළ කෙලෙස් ඇති ව හැසිරේ ද.

සො වෙ භික්ඛු ඉති වුච්චති = හෙතෙමේ එකාන්තයෙන් භික්‍ෂු යි කියනු ලැබේ.

සඞ්ඛාය = නුවණින් යන අරුත්. සඞ්ඛා යනු ප්‍රකෘතියි. එය ඥානපර්‍ය්‍යාය වේ. ලොක නම්: මෙහි ස්කන්‍ධලෝකය යි. [2]

විෂම වූ නොහොත් ගැරහුම් ලැබෙන කාය දුශ්චරිතාදි පාපධර්‍මයන්හි බැඳී සිටුනා පුද්ගල තෙමේ අනුන්ගේ ගේ දොරදොර සිට සිඟා කෑ පමණින් භික්‍ෂු නම් නො වේ. සසුන් වන් යම් මහණෙක් පින්පව් නසා බඹසරින් යුතුව ස්කන්‍ධාදිලෝකය නුවණින් දැන සලකා මගනුවණින් සිඳ හළ කෙලෙස් ඇතියේ නම් හේ ම එකාන්තයෙන් භික්‍ෂු නම් වේ.

ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවන්ඵලාදියට පැමිණියාහු ය.

අන්‍යතරබ්‍රහ්මණ වස්තුව නිමි.

  1. 11-9 ‘අචරිත්‍වා බ්‍රහ්මචරියං’ යනු බලනු.

  2. 6-11 ‘තෙ ලොකෙ පරිනිබ්බුතා’ යනු බලනු.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.