19-4 ලකුණ්ටකභද්දිය ස්ථවිරයන් වහන්සේ

න තෙන ථෙරො සො හොති යෙනස්ස පලිතං සිරො

පරිපක්කො වයො තස්ස මොඝජිණ්ණො’ති වුච්චති.

යම් වයෝවෘද්ධ කාරණයෙකින් ඔහුගේ හිස පලිත වේ ද (හිස නර ව යේ ද) (ඒ නර නැගි) කරුණින් හේ ස්ථවිර නම් නො වෙයි. ඔහුගේ වයස මුහුකළ බවට පැමිණියේ වෙයි. හේ (ඇතුළත ශීලාදී ස්ථවිර කරණ ධර්‍ම නැති හෙයින්) තුච්ඡ ජීර්‍ණ යැ යි කියනු ලැබේ.

යම්හි සච්චං ච ධම්මො ච අහිංසා සංයමො දමො

ස වෙ වන්තමලො ධීරො ථෙරො ඉති පවුච්චති.

යම් පුඟුලක්හු කෙරෙහි වනාහි (සොළොස් අයුරින් පිළිවිදුනා ලද) සත්‍යය ද (ප්‍රඥායෙන් පිළිවිදුනා ලද) නව ලොවුතුරා දහම් ද, අහිංසාව ද (හෙවත් මෛත්‍රී කරුණා මුදිතා උපේක්‍ෂා ද), කායවාක් සංයමය ද (හෙවත් පාතිමොක්ඛ සීලය ද) යන මේ ගුණ ඇද්ද, (රහත් මං නැණින්) වැමෑරු රාගාදී මල ඇති, ධෘතිසම්පන්න වූ ඒ මහණ තෙම (සස්නෙහි ස්ථවිර භාවය කරණ මේ ගුණවලින් යුක්ත බැවින්) ස්ථවිර යැ යි කියනු ලැබේ.

ලකුණ්ටක භද්දිය ස්ථවිරයන් වහන්සේ බුදුරජානන් වහන්සේට උපස්ථානයට ගොස් පෙරළා එන කල්හි වනවැසි තිස් නමක් පමණ භික්‍ෂූන් වහන්සේලා අතර මග දී ඒ තෙරුන් දුටුවෝ ද උන් හා කිසිත් නො බැණ බුදුරජුන් වෙතට ගොස් වැඳ එකත් පස්හි හිඳ ගත්හ. එකල්හි බුදුරජානන් වහන්සේ ඔවුන්ට රහත් වන්නට තුබූ හේතුසම්පත් දැක “මහණෙනි! තමුසේලා මෙහි එද්දී දැන් මෙතැනින් නික්ම ගිය භික්‍ෂු නම දුටුවහු දැ?”යි අසා වදාළ සේක. “ස්වාමීනි! නො දුටුම්හ” යි කී විට “ඇයි, කුමක් නිසා නො දුටහ” යි විචාළ සේක. “ස්වාමීනි! අපි මග ගිය කුඩා නමක් දුටුම්හ, අප දුටු ඒ නම, කුඩා සාමණේර නමකි, මහතෙර නමක් නො වේ”යි භික්‍ෂූන් කී කල්හි “මහණෙනි! තමුසේලා දුටු ඒ නම හෙරණෙක් නො වේ, මහතෙර නමකැ”යි වදාළ සේක. “ස්වාමීනි! අප දුටු ඒ නම ඉතා ම කුඩා ය, ඉතා ම මිටි ය, කුඩු ලදරුවකු තරම් ය” යි කී විට “මහණෙනි! තමුසේලාගේ ඇදහීම වැරදි ය, ඒ ඒ අය කඳ බඩින් මහත් වූ තරමින් මහලු වූ තරමින් තෙර අසුනෙහි හුන් තරමින් මම ඔවුන් ස්ථවිර ය යි නො කියමි, යමෙක් සිවු සස්දහම් පිළිවිද දැන මහ ජනයා මැද අහිංසක ව සිටී නම්, කාහටත් යමකුගෙන් ගැහටෙක් කරදරයෙක් පෙළීමෙක් නො වේ නම් අණින්නාට නො අණි නම්, දොඩන්නාට නො දොඩා නම්, බණින්නාට නො බණි නම්, ගසන්නාට නො ගසා නම් මෙතෙමේ ස්ථවිර නමැයි කියමි”යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක.

න තෙන ථෙරො හොති යෙනස්ස පලිතං සිරො,

පරිපක්කො වයො තස්ස මොඝජිණ්ණොති වුච්චති.

.

යමහි සච්චං ච ධම්මො ච අහිංසා සඤ්ඤමො දමො,

සවෙ වන්තමලො ධීරො ථෙරො ඉති පවුච්චතීති.

යම් කරුණෙකින් ඔහුගේ හිස ඉදී ගියේ වේ ද, ඒ හිස කෙස් ඉදී ගිය හේතුවෙන් ස්ථවිර නම් නො වේ. ඔහුගේ වයස මූකුරා ගියේ වේ. ඔහු හිස් මහල්ලා යි කියනු ලැබේ.

යමෙකු කෙරෙහි සත්‍යය ද ධර්‍මය ද අහිංසාව ද සංයමය ද දමනය ද යන මෙ කියූ ගුණයෝ වෙත් ද, වමාරා දැමූ කෙලෙස්මල ඇති ධාරණ ප්‍රඥා ඇති හෙතෙමේ එකාන්තයෙන් ස්ථවිරය යි කියනු ලැබේ.

න තෙන ථෙරො හොති යෙන අස්ස පලිතං සිරො = යම් කරුණෙකින් කෙස් ඉදීගිය හිස ඇත්තේ වේ ද ඒ හේතුවෙන් ස්ථවිර නම් නො වේ.

මහලුබැව් නැමැති යම්කිසි කරුණෙකින් අතපය දිරුම් කඩට ගිය පමණෙකින් ඇස්-කන්-නාස් ඈ ඉඳුරන් දුබල වූ පමණෙකින් හැට හැත්තෑ වයස් ඉක්ම වූ පමණෙකින් හිස නර නැගි පමණෙකින් ස්ථවිර නොවේ.

ථෙර නම්: ස්ථවිරභාවය කරන්නා වූ ගුණයන්ගෙන් යුක්ත වූයේ ය. තමන්ගේ ශ්‍රමණභාවයෙහි ස්ථිරභාවයට පැමිණියේ ය. ප්‍රාතිමෝක්ෂසංවරාදී වූ ස්ථිරභාවය කරන්නා වූ ධර්‍මයන්ගෙන් පිරී ඉතිරී ගියේ ය. සේ අටුනා:- “ථිරභාවප්පත්තො ථෙරකාරකෙහි ගුණෙහි සමන්නාගතො, ථෙරොති. අත්තනො සමණධම්මෙ ථීරභාවප්පත්තො, පාතිමොක්ඛසංවරාදිථිරකාරකෙහි ධම්මෙහි සමන්නාගතො” යනු. උපසම්පත්තියනේ දසවස් ඉක්මවා සිටි මෙ කියූ ගුණයුත් මහණතෙමේ විනයෙහි ලා ස්ථවිරැ යි කියනු ලැබේ. ස්ථවිරභාවය වදාරණ බුදුරජානන් වහන්සේ ස්ථවිරභාවය කරණ ධර්‍ම මෙසේ වදාළ සේක:- “ඉධ භික්ඛවෙ! භික්ඛු සීලවා හොති පාතිමොක්ඛසංවරසංවුතො විහරති, ආචාරගොචර සම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවි සමාදාය සික්ඛති සික්ඛාපදෙසු, බහුස්සුතො හොති සුතධරො සුතසන්නිචයො, යෙ තෙ ධම්මා ආදිකල්‍යාණා මජ්ඣෙකල්‍යාණා පරියොසාන කල්‍යාණා සාත්‍ථා සව්‍යඤ්ජනා කෙවලපරිපුණ්ණා පරිසුද්ධං බ්‍රහ්මචරියං අභිවදන්ති, තථාරූපාස්ස ධම්මා බහුස්සුතා හොන්ති ධතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා, චතුන්නං ඣානානං අභිවෙතසිකානං දිට්ඨධම්මසුඛවිරාරානං නිකාමලාභි අකිච්ඡලාභී අකසිරලාභී, ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්‍වා උපසම්පජ්ජ විහරති” යි.

“මහණෙනි! මේ ශාසනයෙහි මහණ සිල්වත් වෙයි, ප්‍රාතිමෝක්ෂසංවරශීලයෙන් සංවෘත ව වෙසෙයි, ආචාරයෙන් හා ගොචරයෙන් යුක්ත වෙයි, අණුමාත්‍ර වරදෙහි බිය දක්නා සුලු වෙයි, සිකපද මොනවට සමාදන් ව ගෙණ වෙසෙයි, මේ ශාසනයෙහි මහණ බහුශ්‍රැත වෙයි.
ශ්‍රැතධර වෙයි, රැස් ‍කොට ගත් ශ්‍රැත ඇත්තේ වෙයි, ආදිකල්‍යාණ මද්ධ්‍යකල්‍යාණ පර්‍ය්‍යවසාන කල්‍යාණ වූ අර්‍ත්‍ථසහිත වූ ව්‍යඤ්ජනසහිත වූ කෙවලපරිපූර්‍න වූ පරිශුද්ධබ්‍රහ්මචර්‍ය්‍යය පවසන යම් ඒ ධර්‍මයෝ වෙත් ද, එබඳු වූ ධර්‍මයෝ මේ මහණහු විසින් බෙහෙවින් අසන ලද්දාහු දරණ ලද්දාහු වචනයෙන් පුරුදු කරණ ලද්දාහු සිතින් පුනපුනා දකනා ලද්දාහු ප්‍රඥායෙන් අවබෝධ කරණ ලද්දාහු වෙත්, අධිචිත්තය ඇසුරු කොට සිටි මෙලොව සැපවිහරණ ඇති චතුර්විධධ්‍යානයන් කැමැති සේ ලබන සුලු වෙයි, සුව සේ ලබන සුලු වෙයි, මහත් කොට ලබන සුලු වෙයි, ආස්‍රවයන්ගේ ක්‍ෂය කිරීමෙන් ආස්‍රවරහිත වූ චේතෝවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය මෙ‍ ලොව දී ම තමා විසින් විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වෙසෙයි,, යනු එහි අරුත්.

මෙ ද මෙහිලා දතයුතුය ‍:-

“‍යො උද්ධතෙන චිත්තෙන සම්ඵඤ්ච බහු භාසති,

අසමාහිතසඞ්කප්පො අසද්ධම්මරතො මගො,

ආරා සො ථාවරෙය්‍යම්හ පාපදිට්ඨි අනාදරො.

.

යො ච සීලෙන සම්පන්නො සුතවා පටිභානවා,

සඤ්ඤතො ථිරධම්මෙසු පඤ්ඤායත්‍ථං විපස්සති,

පාරගූ සබ්බධම්මානං අඛිලො පටිභානවා.

.

පහීණජාතිමරණො බ්‍රහ්මචරියස්ස කෙවලී,

තමහං වදාමි ථෙරොති යස්ස නො සන්ති ආසවා,

ආසවානං ඛයා භික්ඛු සො ථෙරොති පවුච්චතීති”

යමෙක් විසිරුණු සිතින් බොහෝ කොට නිසරුබස් බෙණේ ද, එකඟ නො වූ සඞ්කල්ප ඇති අසද්ධර්‍මයෙහි ඇලී සිටියා වූ මෘගයකු වැනි වූ ලාමකදෘෂ්ටි ඇති ආදර රහිත වූ හෙතෙමේ ස්ථාවරභාවයෙන් දුරුව සිටියි.

යමෙක් ශීලයෙන් යුක්ත වූයේ ශ්‍රැතවත් වූයේ ප්‍රතිභාන ඇතියේ ස්ථාවරධර්‍මයෙහි සංයත වූයේ මගනුවණින් සත්‍යර්‍ත්‍ථය වෙසෙසින් දක්නේ ද, ස්කන්‍ධාදී වූ සියලු ධර්‍මයන්හි පරතෙරට ගියේ වේ ද රාගාදී වූ හුල් නැත්තේ වේ ද, වැටහෙන නුවණ ඇත්තේ වේ ද,

ප්‍රහීණ කළ ජාතිමරණ ඇත්තේ වේ ද, බඹසරින් පිරිපුන් වූයේ ද, යමක්හට ආස්‍රව නැත්තේ ද, ඔහු මම ස්ථවිරැයි කියමි. ආස්‍රවයන් ක්‍ෂය කිරීමේ හේතුවෙන් ඒ මහණ ස්ථවිරැ යි කියනු ලැබේ, යනු අරුත්.

සිරො යන විභක්ත්‍යන්තපදයෙන් මුදුනෙහි පිහිටි කෙස් කියනු ලැබේ. එසේ කියනු ලබනුයේ ස්ථාන නාමයෙන් ස්ථානීන් ගන්නා බැවිනි. මෙහි ගැණෙනුවෝ මුදුනෙහි පිහිටි ඉදී ගිය කෙශයෝ ය. පලිත යනු යෙදුනේ ඉදී ගිය බව කියනු පිණිස ය. ජරාවෙන් මැඩුනු එයින් ම සුදු වූ කෙශයෝ පලිත නම් වෙත්. “ජරාකතා සුක්කකෙසාදයො පලිතං නාම” යනු ආප්ත වචන යි.

වයො යන්නෙන් ප්‍රථම - මද්ධ්‍යම - පශ්චිම වයස් කොට්ඨාස කියැ වේ. වය ශබ්දය මෙහි සිටියේ ආයු කොටස් කියනු සඳහා ය. එහෙයින් මනෝගණික වේ. මෙහි පිරිහීම් අරුතෙක් ද ඇත්තේ ය. එහි ලා මනෝගණයෙහි නො වේ. “වයො ඉති අයං සද්දො පරිහානිවාචකො චෙ තදා පුරිසනයෙ සබ්බථා පවි‍ට්ඨො, ආයුකොට්ඨාසවාචකො චෙ මනොගණකපක්ඛිතත්තා පුරිසනයෙ එකදෙසෙන පවිට්ඨො” යනු ශාබ්දික වචනයි.

නිකමට මහලු වූයේ දිරීමට ගියේ මොඝජිණ්ණ නම්. ඇතුළත සීලාදී ගුණ කිසිත් නැති හෙයින් වයසින් පමණක් මහලු වූයේ ය. දිරා ගියේ ය. හිස් මහල්ලා ය. ගුණනුවණින් මහලු නො වූයේ ය.

යම්හි සච්චං ච ධම්මො ච අහිංසා සඤ්ඤමො දමො = යමකු කෙරෙහි සත්‍යය ද ධර්‍මය ද අහිංසාව ද සංයමය ද දමනය ද (යන ගුණයෝ වෙත් ද)

සොළොස් අයුරෙකින් ප්‍රතිවේධ කටයුතු වූ සිවු සස්දහම් සච්ච නම්. චතුර්විධමාර්‍ගඥානයෙන් දුඃඛාදිචතුර්විධආර්‍ය්‍යසත්‍යයන් පිළිවිද දැනීම, පරිඤ්ඤා - පහාන - සච්ඡිකිරියා - භාවනා යි සිවු අයුරෙකින් වනුයේ ය. ඒ සිවු අයුර එක් එක් මගක් පිළිබඳ වන කල්හි සොළොස් අයුරු වේ. [1] නුවණින් සාක්‍ෂාත් කළ බැවින් නවවිධලෝකෝත්තර ධර්‍මය ධම්ම නම්. “ඤාණෙන සච්ඡිකතත්තා නවවිධලොකුත්තරො ධම්මො ධම්මො නාම” යනු අටුවා. [2]

අහිංසා නම්: කිසිවක්හට හිංසා නො කිරීම ය. අහිංසා ශීර්‍ෂයෙන් මෙහි දක්වන ලද්දෝ චතුර්විධඅප්‍රාමාණ්‍යයෝ ය. මෙත්තා - කරුණා - මුදිතා - උපෙක්ඛා යන මො‍වුහු ය ඔවුහු. “අහිංසාති අහිංසනසභාවො දෙසනාමත්තමෙතං චතුබ්බිධාපි අප්පමඤ්ඤා භාවනා” යනු අටුවා.

එහි මෙත්තා නම්: “හැම දෙන සුවපත් වෙත්වා” යන ඈ විසින් හැම සතුන් කෙරෙහි හිතරුත පැතීම ය. අන්හු පිළිබඳ දියුණු ව කැමැති වන අයුරෙන් නුවණ පෙරටු කොට සිත්හි උපදනා ධර්‍මශක්තිය, සෙනහස, මෛත්‍රිය යි.

“මිජ්ජතිති = මෙත්තා, සිනියහතිති අත්‍ථො” යනු එහි අර්‍ත්‍ථ විසින් කීහ. “මිත්තෙ භවා මිත්තස්ස වා එසා පවත්තීතිපි = මෙත්තා” යනු ද දන්නේ ය.

ස්වරූපාර්‍ත්‍ථ විසින් අන්හු කෙරෙහි හිත අදහසින් පවත්නා අද්වේෂචෛතසිකය මෙත්තා ය. මෙය සූවිසි වැදෑරුම් කාමාවර සිත්හි ද, පසළොස් වැදෑරුම් රූපාවචර සිත්හි ද දොළොස් වැදෑරුම් අරූපාවචර සිත්හි ද අට වැදෑරුම් ලෝකෝත්තර සිත්හි ද යන එකුන් සැටක් සිත්හි හා විස්තර විසින් එකානූවක් සිත්හි ද යෙදේ. ‍ද්වේෂයට පටහැනි ව සිටියේ ය.

මෙත් වඩනු කැමැත්තහු විසින් කුදු මහත් පළිබෝධයෙන් දුරු ව කමටහන් ගෙණ බත් කිස කොට බත්මත සන්සිඳුවා විවේකස්ථානයෙක පැණ වූ අසුනෙක සුවසේ හිඳ මුලින් ම ද්වේෂයෙහි දෝසයත් ඉවසීමෙහි ආනිසංසයත් සිහි කළ යුතු ය. මේ භාවනායෙන් කළ යුත්තේ ද්වේෂය දුරු කිරීම හා ඉවසීම ලබා ගැණීම ය. දොස් වශයෙන් නො දුටු කිසිවක් දුරු කරන්නට හෝ අනුසස් වශයෙන් නො දුටු කිසිවක් ලබා ගන්නට හෝ නො හැකි ය. එහෙයින් “දුට්ඨො ඛො ආවුසො දොසෙන අභිභුතො පරියාදින්නචිත්තො පාණම්පි හන්ති” = ද්වේෂයෙන් දූෂිත වූ එයින් ම වැඩුනා වූ හාත්පසින් මැඩ ගන්නා ලද්දා වූ සිත් ඇති තැනැත්තේ සතුන් මැරීම් ඈ පව්කම් කරන්නේ ය, යි වදාළ පරිදි ද්වේෂයෙහි දොස් දැක්ක යුතු ය.

එසේ ම “ඛන්තී පරමං තපො තිතික්ඛා, ඛන්තිබලං බලාණීකං තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං, ඛන්න්‍යා භීය්‍යො න විජ්ජති” = ඉවසීම පරම තපස් ය, ඉවසීම බල කොට ඇති ඉවසීම බල ඇණි කොට ඇති ඔහු, මම බ්‍රාහ්මණැ යි කියමි, ඉවසීමට වඩා උසස් ගුණයෙක් නැත්තේ ය, යි වදාළ පරිදි ඉවසීමෙහි අනුසස් දැක්ක යුතු ය.

මෙසේ දොස් දැක ද්වේෂයෙන් සිත මුදාලන්නට හා, අනුසස් දැක ඉවසීමෙහි සිත යොදා ලන්නට හා මෛත්‍රී භාවනාව පටන් ගත යුතු ය. එහිලා පළමු කොට මුන් මුන් කෙරෙහි මෙත් වැඩිය යුතු ය, මුන් මුන් කෙරෙහි මෙත් නො වැඩිය යුතු ය, යනාදී විසින් ඒ ඒ පුද්ගලයන් පිළිබඳ දොස් හා අනුසස් දත යුත්තේ ය.

එහි අප්‍රිය - අතිප්‍රියසහාය - මද්ධ්‍යස්ථ - වෛරී යන මේ සිවු දෙනා කෙරෙහි පළමු කොට මෙත් නො වැඩිය යුතු ය යි දක්වන ලද්දේ ය. සීමා විසින් ලිඞ්ග විසභාගයන් කෙරෙහි හා මළවුන් කෙරෙහි මෙත් නො වඩන්නේ ය. අප්‍රියයා ප්‍රිය තන්හි තැබීමෙහි, අතිප්‍රියසහායයා මද්ධ්‍යස්ථතන්හි තැබීමෙහි, මද්ධ්‍යස්ථයා ප්‍රිය තන්හි තැබීමෙහි සිත පෙළෙන්නේ ය. වෛර ඇත්තන් සිහි කරත් ම ක්‍රෝධය උපදනේ ය. ස්ත්‍රීන්ට පුරුෂයෝ, පුරුෂයන්ට ස්ත්‍රීහු ලිඞ්ග විසභාගයෝ ය. මෙසේ ලිඞ්ගයෙන් විසභාග ව සිටියවුන් කෙරෙහි මෙත් වඩන්නාහට වැඩෙනුයේ රාගය යි. මෛත්‍රිය නො වේ.

පෙර එක් ඇමැතියෙක් ‘කවුරුන් කෙරෙහි මෙත් වඩම් දැ?’යි කුලුපග මහණකු අතින් විචාළේ ය. ඒ මහණ විශේෂයක් නො පෙන්වා ‘ප්‍රියයකු කෙරෙහි මෙත් වඩව’යි කී ය. ඔහුට සිය බිරිය තරම් ප්‍රිය වූ අනෙකෙක් නො වී ය. බිරිය ම ප්‍රිය ය. එහෙයින් ඔහු සිය බිරිය කෙරෙහි මෙත් වැඩී ය. එහි දී උපන් රාගයෙන් අන්‍ධ ව බිරිය වෙත යෑමට කැමැති ව දොරකඩ සොයා ගත නො හැකි ව බිත්තිය බිඳ ගෙණ යන්නට සිතා බිත්තියට පහර දුන්නේ ය. කරුණු මෙසේ බැවින් ප්‍රියයා කෙරෙහි සීමා විසින් පළමු කොට මෙත් වැඩීම නො කට යුතු ය.

මළවුන් කෙරෙහි මෙත් වැඩීමෙන් උපචාර - අර්‍පණා සමාධීහු නො ලැබෙත්. එක් නවක භික්‍ෂු නමක් තම ඇදු‍රන් කෙරෙහි මෙත් වඩනුයේ, එය සඵල නො වන බව දැක මහතෙරුන් කරා ගොස්, “ස්වාමීනි! මම මෛත්‍රීධ්‍යානසමාපත්තිය හොඳට පුහුණු ය, එයට සමවැදෙන්නට නො හැකි ය, කරුණු කිමැ?”යි විචාළේ ය. එකල්හි මහාස්ථවිරයන් වහන්සේ “ඇවැත්නි! ඔභ ගත් නිමිත්ත ජීවත් ව ඇද්දැ?යි සොයා බලව”යි කීහ. ඔහු නිමිත්ත සොයා බැලී ය. එවිට සිය ඇදුරන් අපවත් වූ බව දුටුටය්, ඒ නිමිත්ත හැර දමා අන් තැනක මෙත් වැඩීමෙන් අර්‍පණාව ලබා ගත්තේ ය. එහෙයින් පළමු කොට මළවුන් කෙරෙහි ද මෙත් වැඩීම නො කට යුතු ය.

මෙත් වඩන්නහු විසින් පළමු කොට “මම සුවපත් මි, මම නිදුක් මි”යි හෝ “මම වෛර නැත්තෙම් මි, මම ව්‍යාපාද නැත්තෙම් මි, උවදුරු නැත්තෙම් මි, සුවසේ ආත්මභාවය පරිහරණය කරමි” යි හෝ පුන පුනා තමන් කෙරෙහි මෙත් වැඩිය යුතු ය. මෙසේ මේ මෙත් වැඩීම, “මහණෙනි! මහණ තෙමේ මෙත් සහගිය සිතින් කෙසේ එක් දිශාවක් පතුරුවා වෙසේ ද, ප්‍රියමනාප වූ එකක දැක මෙත් කරන්නා සේ සියලු සතුන් කෙරෙහි මෙත් පතුරු වන්නේ ය” යන අර්‍ත්‍ථවත් “කථඤ්ච භික්ඛවෙ! භික්ඛු මෙත්තාසහ‍ගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහරති, සෙය්‍යථාපි එකං පුග්ගලං පියං මනාපං දිස්වා මෙත්තායෙය්‍ය, එවමෙව සබ්බ සත්තෙසු මෙත්තාය ඵරති” යන විභඞ්ගපාලි ප්‍රදෙශය හා

අනොධිසො ඵරණ වශයෙන් “සියලු සත්ත්‍වයෝ සියලු ප්‍රාණීහු සියලු භූතයෝ සියලු පුද්ගලයෝ සියලු ආත්මභාවයෙහි ඇතුළත් වූවෝ අවෛර - අව්‍යාපාද - අනීඝයෝ වෙත්වා, සුව ඇත්තෝ ආත්ම භාව පරිහරණය කෙරෙත්වා” යන අර්‍ත්‍ථවත් “කතමෙහි පඤ්චහි ආකාරෙහි අනොධිසො ඵරණා මෙත්තාචෙතොවිමුත්ත් භාවෙ තබ්බා? සබ්බෙ සුත්තා - පෙ - සබ්බෙ පාණා -පෙ- සබ්බෙ භූතා -පෙ- සබ්බෙ පුග්ගලා -පෙ- සබ්බෙ අත්තභාවපරියාපන්තා අවෙරා හොන්තු අව්‍යාපජ්ජා හොන්තු අනීඝා හොන්තු සුඛී අත්තානං පරිහරන්තු” යන පටිසම්භිදා පාලිප්‍රදෙශය හා,

“සියලු සත්ත්‍වයෝ සුව ඇත්තෝ වෙත්වා, උවදුරු නැත්තෝ වෙත්වා, සුවපත් ආත්මභාව ඇත්තෝ වෙත්වා” යන අර්‍ත්‍ථවත් “සුඛිනො වා ඛෙමිනො හොන්තු සබ්බෙ සත්තා භවන්තු සුඛිතත්තා” යන කරණීය මෙත්ත සූත්‍ර ප්‍රදෙශය හා විරෝධයෙක් නො වන්නේ ද? එහි තමන් කෙරෙහි මෙත් වැඩීමෙක් නො වදාරණ ලද්දේ නො වේ ද? යන මේ ප්‍රශ්නයෙහි ලා මෙසේ දතයුතු ය:- සැබව, එහි තමන් කෙරෙහි මෙත් වැඩීමෙක් නො වදාරණ ලද්දේ ය. එහෙත් එහි හා මෙහි හා විරෝධයක් ද නැත්තේ ය. එහි මෛත්‍රී භාවනා විධි, අර්‍පණා විසින් දක්වන ලද ය. මෙහි තමන් සාක්‍ෂ්‍ය කොට දක්වන ලද ය. අවුරුදු සියයක් දහසක් නමුදු “මම සුවපත් මි” යනාදීන් විසින් තමන් කෙරෙහි මෙත් වඩන්නහුට අර්‍පණා නම් නො ලැබේ. එසේ මෙත් වැඩීමෙන් “මම යම් සේ සුවපත් වනු කැමැත්තෙම් ද, දුකට පිළිකුල් කරම් ද, ජීවත්වනු කැමැත්තෙම් ද, නො මැරෙණු කැමැත්තෙම් ද, එසේ අන්‍යසත්ත්‍වයෝත් කැමැත්තාහ”යි තමන් සාක්‍ෂ්‍ය කොට තැබීමෙන් ඔහුට අනුන් කෙරෙහි හිතසුව කැමැතිබව උපදින්නේ ය. එහි,

“සබ්බා දිසා අනුපරිගම්ම චෙතසා

නෙවජ්ඣගා පියතරමත්තනා ක්වචි,

එවං පියො පුථු අත්තා පරෙසං

තස්මා න හිංසෙ පරං අත්තකාමො”

යනු දේශනා ය. “සිතින් සියලු දිගුන් සොයා බැලු ව ද ඒ කිසි දිගෙක තමාට වඩා ප්‍රියතරයකු නො ලැබී ය, තම තමන්ගේ ආත්මභාව ඔවුනොවුනට වෙන් වෙන් ව ප්‍රිය වේ, එහෙයින් තමහට වැඩ කැමැත්තේ අන්හට හිංසා නො කරන්නේ ය.” යනු එහි අරුත්.

කරුණු මෙසේ බැවින් තමන් සාක්‍ෂ්‍ය කොට තබා අනුන් කෙරෙහි මෙත් වැඩිය යුතුය යනු වදාරණ ලද්දේ ය. තමන් කෙරෙහි පළමු කොට මෙත් වඩා අනතුරු ව සුවසේ මෙත් පවත්වනු පිණිස තමාට ප්‍රිය වූ මන වඩන්නා වූ ගුරු ඇඳුරු ඈ එකෙක් වේ නම්, ඔහු පිළිබඳ දාන - ප්‍රියවචනාදී වූ ප්‍රිය මනාප වූ කරුණු ද ශීල - ශ්‍රැතාදී වූ ගුණ ද සලකා “ඒ සත්පුරුෂයෝ සුවපත් වෙත්වා, නිදුක් වෙත්වා” යනාදීන් විසින් මෙන්, මෙත් වැඩිය යුත්තේ ය. මෙබන්දන් කෙරෙහි මෙත් වැඩීමෙන් අර්‍පණා ලැබිය හැකි ය.

මෙත් වඩන්නහු විසින් මෙතෙකින් සතුටට නො පැමිණ සීමසංභේදය කරණු කැමැති ව අනතුරු ව අතිප්‍රියමිත්‍රයා කෙරෙහි, අනතුරුව මද්ධ්‍යස්ථයා කෙරෙහි, අනතුරුව වෛර ඇත්තහු කෙරෙහි දැයි එක් එක් කොටසෙහි සිත මොළොක් කොට කර්‍මයට යොග්‍ය කොට මෙත් වැඩිය යුතු යි. යමක්හට වෛර ඇත්තෝ නො වෙත් නම්, වෛරීපුද්ගලයා කෙරෙහි මෙත් වඩමි යි උත්සාහ නො කළ යුතු ය. වෛරීපුද්ගලයා කෙරෙහි මෙත් වැඩිය යුතු ය යි, කීයේ වෛරීපුද්ගලයන් ඇත්තහුට ය. වෛරීපුද්ගලයා කෙරෙහි මෙත් වඩත් ම ඔහු කළ අපරාධ විරුද්ධකම් සිහිවීමෙන් ක්‍රෝධය උපදී නම්, පළමු කියන ලද්දවුන් අතුරෙන් යමකු කෙරෙහි මෛත්‍රීධ්‍යාන උපදවා එයින් නැගී සිට නැවැත මෙත් සිතින් ඔහු කෙරෙහි නැගි ක්‍රෝධය දුරු කරගත යුතු ය. එසේත් ක්‍රෝධය නො සන්සිදේ නම්, කකචොපමාදීන්ගේ අනුසාරයෙන් ක්‍රෝධය දුරු කරන්නට නැවැත නැවැත උත්සාහ කළයුතු ය. (ක්‍රෝධය දුරුකර ගැණීමෙහිලා විශුද්ධිමාර්‍ගයෙහි විස්තර විසින් දැක් වූ කරුණු උගෙණ ඒ ලෙසින් ක්‍රෝධය සන්සිදවා ගතයුතු ය.)

මෙත් වඩන්නහුගේ සිත්හි වෛරීපුද්ගලයන් නිසා නගිනා ක්‍රෝධය සන්සි‍ඳෙන කල්හි ප්‍රිය - අතිප්‍රියසහාය - මද්ධ්‍යස්ථයන් කෙරෙහි මෙන්, වෛරීපුද්ගලයන් කෙරෙහි ද මෙත් සිත නගින්නේ ය. එකල්හි පුන පුනා මෙත් වඩා සීමසම්භේදය කළ යුතු ය. තමා කෙරෙහි, ප්‍රියයා කෙරෙහි, අතිප්‍රියයා කෙරෙහි, මද්ධ්‍යස්ථයා කෙරෙහි සමසිත් ඉපදවීම සීමසම්භේදය දතයුතු ය.

තෙමේ ය, ප්‍රිය ය, මද්ධ්‍යස්ථ ය, සතුරු ය යන සිවුදෙන එක් තැනක වසන කල්හි සොරු රැලක් එහි පැමිණ “මරා ගෙලලේ ගෙණ බිල්ලට දෙන්නට මුන් සිවුදෙනාගෙන් එකකු අපට දෙව”යි මෙත් වඩන්නහුගෙන් ඉල්ලා සිටි කල්හි මෙත් වඩන්නහුට “අසුවලා ගෙණ යෙත්වා”යි සිතිවිල්ලෙක් උපන්නේ නම් සීමසම්භේදය වූයේ නො වේ. “මුන් හැර මා ගෙණ යෙත්වා”යි සිත් වී නම් එහි ද සීමසම්භේදයක් නො වේ. “තමා හෝ අන් එකකු හෝ ගෙණ යෙත්වා”යි අදහස් වී නම් ඔහු කෙරෙහි හිත කැමැත්තෙක් මෙත් වඩන්නහු තුළ නැත්තේ ය. ඒ සිවු දෙනා අතුරෙන් එකකුත් දිය නො හැකි ය, යි සිත් උපන්නේ නම් සිවු දෙනා කෙරෙහි ම සමසිත් ඇත්තේ නම් සීමසම්භේදය වූයේ වේ. පොතපතෙහි මෙය මෙසේ කීහ:

“අත්තනි හිතමජ්ඣත්තෙ අහිතෙ ච චතුබ්බිධෙ,

යදා පස්සති නානත්තං හිතචිත්තොව පාණිනං,

න නිකාමලාභී මෙත්තාය කුසලීති පවුච්චති.

.

යදා චතස්සො සීමායො සම්හින්නා හොන්ති භික්ඛුනො,

සමං ඵරති මෙත්තාය සබ්බං ලොකං සදෙවකං,

මහාවිසෙසො පුරිමෙන යස්ස සීමා න ඤායති” යනු.

තමා කෙරෙහි, ප්‍රියයා කෙරෙහි මද්ධ්‍යස්ථයා කෙරෙහි අප්‍රියයා කෙරෙහි යන සිවු දෙනා කෙරෙහි යම් කලෙක යමෙක් ප්‍රිය ය, මැදහත් ය යනාදී විසින් වෙනස්බවක් දකී ද හුදෙක් හේ සත්ත්‍වයන් කෙරෙහි හිතසිත් ඇත්තේ ම ය,යි කියනු ලැබේ. නියම විසින් මෛත්‍රිය කැමැති පරිදි ලබුයේ ය, කුසල් ඇත්තේ ය, යි නො ද කියනු ලැබේ.

යම් කලෙක තෙමේ ය, හිතවත් ය, මද්ධ්‍යස්ථ ය, වෛරී ය යන සිවු තන්හි මහණහු විසින් සීමා බිඳින ලද ද එකල්හි හෙතෙමේ දෙවියන් සහිත ලෝකයෙහි සමසේ මෙත් පතුරු වන්නේ වේ. යමක්හට “මේ මම, මේ හිතවත්” යනා දී විසින් සීමා නො හැ‍ඟේ ද, හෙතෙමේ පළමු සීමා දක්නහුට වඩා මහත් භාවනාවිශේෂ ඇත්තෙක් වන්නේ ය, යන අරුත්.

සීමසම්භේදය හා සමකාලයෙහි ම මෙසේ මෙත් වඩන්නහු විසින් නිමිත් හා උපචාරය ලදුයේ වේ. සීමසම්භේදය කළ කල්හි සීමසම්භේද විසින් පැවැති ‍ඒ ශමථනිමිත්ත සේවනය කරණුයේ බහුල කරණුයේ වඩනුයේ නිදුකින් ම අර්‍පණාවට පැමිණෙන්නේ ය. මෙත් වඩන්නේ මෙපමණෙකින් පඤ්චාඞ්ගවිප්‍රහීණ වූ පඤ්චාඞ්ගසමන්‍වාගත වූ ත්‍රිවිධකල්‍යාණයෙන් හා දශ ලක්‍ෂණයෙන් යුක්ත වූ මෛත්‍රීසහගත ප්‍රථමද්ධ්‍යානය ලැබූයේ වේ. ප්‍රථමද්ධ්‍යානය ලැබූ පසු සීමසම්භේද විසින් පැවැති ශමතනිමිත්ත ම සෙවුමෙන් වැඩුමෙන් බහුල කිරීමෙන් පිළිවෙළින් චතුෂකනයයෙහි ද්විතීය - තෘතීයද්ධ්‍යානයන්ට ද, පඤ්චකනයයෙහි ද්විතීය - තෘතීය - චතුර්‍ත්‍ථද්ධ්‍යානයන්ට ද පැමිණෙන්නේ ය. හෙතෙමේ ප්‍රථමද්ධ්‍යානාදීන් අතුරෙහි කිසියම් ධ්‍යානයක සිට මෛත්‍රීසහගත සිතින් එක් දිශාවක් පතුරුවා වසන්නේ ය. එසේ ම දෙවන - තෙවන - සිවුවන දිසා ද, උඩ - යට - සරස ද සියලු තන්හි සියලු සතුන් හීන - මද්ධ්‍යමාදී වූ කිසිත් භේදයක නො ලා තමන් හා සමත්‍වයෙන් ගෙණ සත්ත්‍වයන් ඇති සියලු ලෝකය පැතිරවීම් විසින් මහත් වූ, භූමි විසින් මහද්ගත වූ, අපමණ සතුන් අරමුණු කිරීම් විසින් අප්‍රමාණ වූ, වෛර නැත්තා වූ, දොම්නස් නැත්තා වූ මෛත්‍රීසහගතචිත්තයෙන් පතුරුවා වසන්නේ ය. මේ විකුබ්බණය ලබන්නෝ ප්‍රථමද්ධ්‍යානාදි වශයෙන් අර්‍පණාවට පැමිණියෝ ම ය. විකුබ්බණ නම්: මෙහි ඔධිසො - අනොධිසො මෙත්තාභාවනා ය. මෙත් පැතිරවීම ය. එක් එක් දිසා, වෙන් කොට ගැණීමෙන් සීමා වෙන් කොට මෙත් පැතිරවීම ඔධිසො - ඵරණමෙත්තා ය. කිසිත් භේදයක් නො කොට සියලු සතුන් ආත්මසමතායෙන් ගෙණ මෙත් පැතිරවීම අනොධිසොඵරණ මෙත්තා ය.

පටිසම්භිදායෙහි, අනොධිසොඵරණමෙත්තාචේතෝවිමුත්තිය පස් අයුරෙකින් ද, ඔධිසොඵරණමෙත්තාචේතෝවිමුත්තිය සත් අයුරෙකින් ද, දිසාඵරණමෙත්තාචේතෝවිමුත්තිය දස අයුරෙකින් ද දක්වන ලද ය.

එහි පස්වැදෑරුම් අනොධිසොඵරණමෙත්තාචෙතොවිමුත්තිය මෙසේ දන්නේ ය:- සියලු සත්ත්‍වයෝ, සියලු ප්‍රාණීහු, සියලු භූතයෝ, සියලු පුද්ගලයෝ, සියලු ආත්මභාවපර්‍ය්‍යාපන්නයෝ වෛර නැත්තෝ වෙත්වා, නීරෝග වෙත්වා, නිදුක් වෙත්වා, සුව ඇත්තාහු ආත්මභාවය පරිහරණය කෙරෙත්වා’යි මේ සත්ත්‍වගණය මෙසේ සත්ත්‍ව - ප්‍රාණි - භූත - පුද්ගල - ආත්මභාවපර්‍ය්‍යාපන්න යි වෙන් වෙන් කොට ගෙණ ඔවුන් කෙරෙහි “සබ්බෙ සත්තා අවෙරා හොන්තු -පෙ- සුඛී අත්තානං පරිහරන්තු”යි වෙන් වෙන් ව යොදා මෙත් වැඩීම අනොධිසොඵරණමෙත්තාචේතෝවිමුත්තිය යි.

රූපාදීස්කන්‍ධයන්හි ඡන්‍දරාග විසින් ඇලුනු බැවින් සත්ත්‍ව. ආශ්වාස-ප්‍රශ්වාස දෙකෙන් ජීවත් වන බැවින් ප්‍රාණි. කර්‍ම - ක්ලේශ දෙකෙන් උපන් බැවින් භූත. නිරයෙහි හෙන බැවින් පුද්ගල. ශරීරයෙන් යුක්ත බැවින් ආත්මභාවපර්‍ය්‍යාපන්න.

සත්ත්‍ව යනු‍ සේ ම සෙසු වචන ද රූඪී විසින් සියලු සත්ත්‍වයනට ව්‍යවහාර කරණු ලැබේ. සත්ත්‍වයන් කෙරෙහි නැගෙන ජන්තු - ජීව යනාදි අන්‍ය වචන ඇත ද ප්‍රකට වශයෙන් පවත්නා මේ නාමවචන පස ම ගෙණ අනොධිසොඵරණමෙත්තාචේතෝවිමුත්තිය දක්වන ලදි. යමකු විසින් ඒ වචන, වචන මාත්‍ර විසින් නො ගෙණ අර්‍ත්‍ථ විසින් ගන්නා ලද්දේ නම්, ඔහුට අනොධිසොඵරණය නො ලැබෙන්නේ ය. වෙන් වෙන් විසින් අරුත් නො ගෙණ මෙහි කියූ ලෙසින් අනොධිසොඵරණමෙත්තාව පැතිර වියයුතු ය.

මෙහි “සියලු සත්ත්‍වයෝ වෛර නැත්තාහු වෙත්වා” යනු එක් අර්‍පණාවකි. “සියලු සත්ත්‍වයෝ නීරෝග වෙත්වා” යනු එක් අර්‍පණාවකි. “සියලු සත්ත්‍වයෝ සුව ඇත්තාහු ආත්මභාවය පරිහරණය කෙරෙත්වා” යනු එක් අර්‍පණාවකි. සෙසු ප්‍රාණී - භූත - පුද්ගල - ආත්මභාවපර්‍ය්‍යාපන්නයන්හි ද මෙසේ “වෛර නැත්තාහු වෙත්වා” යනාදීහු වෙන් වෙන් ව යෙදෙන්නෝ ය. එකල්හි එකකු කෙරෙහි අර්‍පණා සතර බැගින් අර්‍පණා විස්සෙක් ලැබෙන්නේ ය.

සියලු ස්ත්‍රීහු, සියලු පුරුෂයෝ, සියලු ආර්‍ය්‍යයෝ, සියලු අනාර්‍ය්‍යයෝ, සියලු දෙවියෝ, සියලු මනුෂ්‍යයෝ, සියලු විනිපාතිකයෝ වෛර නැත්තෝ වෙත්වා, ‍නීරෝග වෙත්වා, නිදුක් වෙත්වා, සුව ඇත්තාහු ආත්මබාවය පරිහරණය කෙරෙත්වා’යි මේ සත්ත්‍වගණය මෙසේ ස්ත්‍රී - පුරුෂ - ආර්‍ය්‍ය - අනාර්‍ය්‍ය - දෙව - මනුෂ්‍ය - විනිපාතික යි වෙන් වෙන් කොට ගෙණ ඔවුන් කෙරෙහි “අවෙරා හොන්තු” යනාදි සතර වෙන් වෙන් ව යොදා මෙත් වැඩීම ඔධිසොඵරණමෙත්තාචෙතොවිමුත්තිය යි දන්නේ ය.

මෙසේ සත්ත්‍වගණය සතට බෙදා ගත් කල්හි එහි එකෙක අර්‍පණා සතර බැගින් අර්‍පණා අටවිස්සෙක් ලැබෙන්නේ ය. මෙහි ස්ත්‍රී - පුරුෂ යනු ලිඞ්ග විසින්, ආර්‍ය්‍ය - අනාර්‍ය්‍ය යනු ආර්‍ය්‍ය පෘථග්ජන විසින්, දෙව - මනුෂ්‍ය - විනිපාතික යනු උත්පත්ති විසින් කියන ලද්දේ ය.

“පෙරදිග සියලු සත්ත්‍වයෝ, සියලු ප්‍රාණීහු, සියලු භූතයෝ, සියලු පුද්ගලයෝ සියලු ආත්මභාවපර්‍ය්‍යාපන්නයෝ වෛර නැත්‍‍තෝ වෙත්වා, නීරෝග වෙත්වා, නිදුක් වෙත්වා, සුව ඇත්තාහු ආත්මභාවය පරිහරණය කෙරෙත්වා” යන මේ ලෙසින් පැළදිග - උතුරුදිග - දකුණු දිග - පෙරඅනුදිග - පැළඅනුදිග - උතුරුඅනුදිග - දකුණුඅනුදිග - ය‍‍ටදිග - උඩදිග යි දිගුන් වෙන් කොට ඒ දිග්හි වසන සියලු සත්ත්‍වාදීන් කෙරෙහි “අවෙරා හොන්තු” යනාදී සතර වෙන් වෙන් කොට යොදා මෙත් වැඩීම දිසාඵරණමෙත්තාචෙතොවිමත්තිය යි දත යුතු ය.

මෙසේ දිගුන් වෙන් කොට සත්ත්‍වාදීන් ද වෙන් කොට ගෙණ මෙත් වඩනා කල්හි එකෙකා කෙරෙහි ‘වෛර නැත්තාහු වෙත්වා’ යනාදී විසින් සතර සතර බැගින් දසදිසායෙහි වූවන් ලක් කොට අර්‍පණා දෙසියයෙක් ලැබෙන්නේ ය.

“පෙරදිග සියලු ස්ත්‍රීහු, සියලු පුරුෂයෝ, සියලු ආර්‍ය්‍යයෝ, සියලු අනාර්‍ය්‍යයෝ, සියලු දෙවියෝ, සියලු මනුෂ්‍යයෝ, සියලු විනිපාතිකයෝ වෛර නැත්තෝ වෙත්වා, නීරෝග වෙත්වා, නිදුක් වෙත්වා, සුව ඇත්තාහ ආත්මභාවය පරිහරණය කෙරෙත්වා” යන මේ ලෙසින් සෙසු නව දිසායෙහි ද යොදා ගන්නේ ය. මෙහි ද දස දිසායෙහි ලා ස්ත්‍රී - පුරුෂාදී වූ සත් දෙනා කෙරෙහි වෙන් වෙන් ව ‘වෛර නැත්තෝ වෙත්වා’ යනාදී විසින් මෙත් වඩත්, එකකු නිසා අර්‍පණා අටවිස්සෙක් ලැබෙන්නේ ය. මෙසේ දස දිසායෙහි වූවන් ගෙණ මෙත් වඩනා කල අර්‍පණා දෙසිය අසූවෙක් ලැබෙන්නේ ය. මුළුල්ල හාරසිය අසූවෙක් වේ. පටිසම්භිදායෙහි අර්‍පණා පන්සිය අටවිස්සෙක් දක්වන ලද්දේ ය.

මෙහි ඉතා කොටින් කියූ අර්‍පණා අතුරෙහි යම්කිසිවකුගේ වශයෙන් මෙත්තාචේතෝවිමුත්තිය වඩනුයේ නම් ඔහු “සුඛං සුපති” යනාදීන් දක්වන ලද අනුසස් එකොළොස ලබන්නේ ය. මේ ඒ අනුසස් එකොළොස:

සුඛං සුපති = සෙසු දෙනා නිදත්, දකුණැලයෙන් නො නිදා ඈත මෑත පෙරළෙමින් සුරු සුරු යන හඬ නගමින් දුකසේ නිදන්නෝ ය. මෙත් වඩනුයේ එසේ නො නිදා සුවසේ නිදන්නේ ය. නින්දට වදනේ ද සමවතට සමවැදුනකු සේ වන්නේ ය.

සුඛං පටිබුජ්ඣති = සෙසු දෙන තතනමින් හැපෙමින් පෙරළෙමින් දුක සේ නින්දෙන් නැගිටින්නෝ ය. මෙත් වඩනුයේ එසේ නො නැගිට පිපෙන පියුමක් සේ විකාර නැති ව නින්දෙන් නැගී සිටින්නේ ය.

නා පාපකං සුපිනං පස්සති = සිහින දක්නේ ද නපුරු සිහින ලාමක සිහින නො දකියි. සෑ වඳින්නකු‍ සේ බණ අසන්නකු සේ යහපත් සිහිනයක් ම දකියි. සෙසු දෙන තමා සොරුන් විසින් පිරිවරා ගත්තකු සේ වගවලසුන් විසින් උපද්‍රතයකු සේ කඳු බෑවුම්හි ඇද වැටෙන්නකු සේ දකින්නෝ ය. මෙසේ මෙත් වඩනුයේ පවිටු සිහින නො දක්නේ ය.

මනුස්සානං පියො හොති = මෙත් වඩනුයේ උරෙහි ලූ මුත්හරක් සේ හිස පලන් මල්දමක් සේ මිනිසුනට ප්‍රිය වේ. මිනිසුන්ගේ මන වඩන්නේ වේ.

අමනුස්සානං පියො හොති = මෙත් වඩනුයේ විසාඛ තෙරුන් මෙන් අමනුෂ්‍යයනට ප්‍රිය වේ. විසාඛ ස්ථවිරයන් වහන්සේ දඹදිව පැළලුප් නුවර විසූ කෙළෙඹියෙකි. ඔහු ‘ලක්දිව සෑ මලින් සරසනලද ය, කසාවතින් බබලන්නේ ය, රිසි තැනක හිඳින්නට හැකි ය, උතුසප්පාය - සෙනාසනසප්පාය - පුග්ගලසප්පාය - ධම්මසවනසප්පාය යන මේ සියල්ල සුලභ’යි අසා තමන් අයත් සියලු දැය දූ පුතුනට දී එක් කහවණුවක් පමණක් ගෙණ එය රෙදි කොණෙක ගැට ගසා ගෙණ ගෙන් නික්ම නැව්තොටට අවුත් නැවක් එනතුරු එහි රැඳී සිටියේ ය. වෙළඳාමෙහි දක්‍ෂ වූ ඔහු නැව්තොට ඒ ඒ තැනින් බඩු ලබා ගෙණ විකුණා මාසයක් තුළ දී කහවණු දහසක් උපයා ගත්තේ ය. එසේ එහි මසක් පමණ රැඳී කහවණු දහසක් උපයා ගත් ඔහු නැව් නැග අවුත් ලක්දිවට බැස මහාවිහාරයට ගොස් මහතෙරුන් වෙතින් මහණකම ඉල්ලා සිටියේ ය. භික්‍ෂූන් වහන්සේලා මහණ කරන්නට ඔහු සීමාවට කැඳවා ගෙණ ගියහ. එහි දී ඔහු තම හිණ තුබූ ඒ දහස බැඳි පියල්ල බිම හෙලී ය. “මේ කිමැ?”යි ඇසූ විට “කහවණු දහසෙකැ”යි කී ය. එකල්හි භික්‍ෂූන් වහන්සේලා “පින්වත! පැවිද්දාට මිල මුදල් පරිහරණය නො සුදුසු ය, නො පිළිවන, මේ වේලෙහි ම එයට කළ යුත්තක් කරව”යි කී විට ඔහු, “විසාඛයන් පැවිදි වන තැනට පැමිණියෝ හිස් අතින් නො‍ යෙත්වා”යි කහවණු පොදිය සීමාමාලකයෙහි විසුරුවා හැර පැවිදි උපසපන් බැව් ලබා පස් වසක් නිස සමාදන් ව ගෙණ උභයමාතෘතකා පුහුණු කොට පවරා තමන්ට හිත වූ කමටහනක් ගෙණ එක් එක් වෙහෙරෙහි සිවුමස සිවුමස සමවත් පුරමින් හැසුරුණේ ය. එසේ හැසිරෙණුයේ එක්තරා වනලැහබක් දැක එහි රුක්මුලෙක හිඳ සමවතට සමවැද සමවතින් නැගී තමන් තුළ වූ ගුණ සිහි කරත් ම නැගුනු ප්‍රීතිසෞමනස්‍යයෙන් මෙසේ උදන් ඇනී ය. මේ ඒ උදානය:-

“යාවතා උපසම්පන්නො යාවතා ඉධමාගතො,

එත්‍ථන්තරෙ ඛලිතං නත්‍ථි අහො ලාභා තෙ මාරිස”

යම් දවසක උපසපන් වීම් ද, යම් දවසක මෙහි ආයෙම් ද මේ අතර මා අතින් කිසිවරදෙක් සිදු නො වී ය. නො දුක! එය තට මහත් ලාභයෙකි.

දවසක් සිතුල්පවුවෙහෙර බලා යන මේ මහණ, දෙමංහන්දියකට පැමිණ ‘කිනම් මගකින් යා යුතුදැ’යි සිතමින් එහි නැවතී සිටියේ ය. එකල්හි දෙවියෙක් “ස්වාමීනි! මේ මගින් වඩිනු මැනැවැ”යි අත දිගු කොට මග දැක් වී ය. ඒ මහණ ඒ මගින් සිතුල්පව්වට ගොස් සිවු මසක් එහි වැස “හෙට උදෑසන මින් බැහැර යන්නෙමි”යි සිතා නිදි ගත්තේ ය. සක්මන් කෙළවර තුබූ මිදෙල් රුක විසූ දෙවියා හිණිපෙතමත්තෙහි හිඳ හඬන්නට වන. ස්ථවිරයන් වහන්සේ “හඬන්නේ කවරැ?”යි ඇසූ විට “ස්වාමීනි! මම මිදිල දෙවතා”ය කී ය. “ඇයි, හඬහි?”යි ඇසූ විට “ඔබවහන්සේ හෙට මෙතැනින් වඩින නිසා”යි කී ය. “මා මෙහි වසත්, තට ඇති කාරිය කිමැ?”යි ඇසූ විට “ස්වාමීනි! ඔබවහන්සේ මෙහි වසන සේක් නම්, අමනුෂ්‍යයෝ උනුන් කෙරෙහි මෛත්‍රිය ඇත්තෝ වෙති, ඔබවහන්සේ මෙතැනින් ගිය සේක් නම්, ඔවුහු කලහ කරන්නෝ ය, නපුරු බස් කියන්නෝ ය”යි කී ය. එවිට ස්ථවිරයන් වහන්සේ “මා මෙහි විසීමෙන් තොපට වැඩෙක් පහසුබවෙක් වේ නම්. ඒ මැනැවැ”යි තවත් සිවු මසක් එහි වැස, ඒ සිවු මසත් ගෙවා නැවැත යන්නට සැරසෙත් ම පළමුසේ මිදෙල්රුක්වැසි දෙවියා හඬන්නට වන. ‍එවර ද උන්වහන්සේ ගමන හැර දමා එහි රැඳුනාහ. මෙපරිද්දෙන් විසාඛ ස්ථවිරයන් වහන්සේ සිතුල්පවුවෙහෙරෙහි ම වැස එහිදී ම පිරිනිවියහ. මෙත් වඩනුයේ අමනුෂ්‍යයනට ප්‍රිය වනුයේ මෙසේ ය.

දෙවතා රක්ඛන්ති = දූ පුතුන් රක්නා මවුපියන් සේ දෙවියෝ මෙත් වඩන්නහු රකිත්.

නාස්ස අග්ගි වා විසං වා සත්‍ථං වා කමති = මෙත් වඩන්නහුගේ සිරුරෙහි උත්තරා උපාසිකාවගේ සි‍රුරෙහි මෙන් ගිනි නො වදියි. සංයුත්තභාණකවුල්ලසීව තෙරුන්ට මෙන් විස නො කැවේ. සඞ්කිච්ච සාමණේරයන්ට මෙන් දඬුමුගුරු ආයුධ නො වදියි.

ගවදෙනක වසුට කිරි පොවමින් සිටිය දී වැද්දෙක් ඇය දැක දිගමිට ඇති උල්පිහියකින් ඇයට ඇන්නේ ය. එය දෙනගේ සිරුර වැදී තල්කොළයක් සේ ඇකිළගියේ ය. ඒ හාස්කම උපාචාර බලයෙකින් අර්‍පණාබලයෙකින් වූයේ නො වේ. හුදෙක් වසු කෙරෙහි පැවැති ස්නේහයෙහි බලයෙන් ම වූයේ ය. එහෙයින් මෙත් වැඩුම මේ සා මහත් ආනුභාව ඇතැ යි දත යුත්තේ ය.

තුවටං චිත්තං සමාධියති = මෙත් වඩන්නහුගේ සිත වහා සමාහිත වේ. ඒ සිත පිළිබඳ සමාහිතභාවයෙහි ලැසිබවෙක් නැත්තේ ය.

මුඛවණ්ණො විප්පසීදති = නටුවෙන් ගිලිහී වැටුන් තල්ගෙඩියක් සේ මෙත් වඩන්නහුගේ මුහුණ ඉතා පහන් වේ.

අසම්මූළ්හො කාලං කරොති = මෙත් වඩන්නහුට සිහිමුළායෙන් වන මරණයෙක් නැත. නො මුළාව ම නිදිගත් වන ම කලුරිය කරන්නේ ය.

උත්තරිං අප්පටිවිජ්ඣන්නො බ්‍රහ්මලොකූපගො හොති = මෙත් සමවතින් මත්තෙහි රහත්බවට පැමිණෙන්නට නො හැකි වී නම් මෙයින් ච්‍යුත ව නිදා පිබිදියා සේ බඹලොව උපදින්නේ ය. “ඉධ භික්ඛවෙ! එකච්චො පුග්ගලො මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං එරිත්‍වා විහරති, තථා දුතියං - තථා තතියං - තථා චතුත්‍ථිං, ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බා වන්තං ලොකං මෙත්තාසහගතෙන චෙතසා විපුලෙන මහග්ග තෙන අප්පමාණෙන අවෙරෙන අබ්‍යාපජ්ඣෙන එරිත්‍වා විහරති, සො තදස්සාදෙති, තං නිකාමෙති, තෙන ච විත්තිං ආපජ්ජති, තත්‍ථ ඨිතො තදධිමුත්තො තබ්බහුලවිහාරී අපරිහීනො කාලං කුරුමානො බ්‍රහ්මකායිකානං දෙවානං කප්පො ආයුප්පමාණං, තත්‍ථ පුථුජ්ජනො යාවතායුකං ඨත්‍වා යාවතකං තෙසං දෙවානං ‍ආයුප්ප මාණං තං සබ්බං බෙපෙත්‍වා නිරයම්පි ගච්ඡති, තිරච්ඡාන යොනිම්පි ගච්ඡති, පෙත්තිවිසයම්පි ගච්ඡති, භගවතො හිත සාවකො තත්‍ථ යාවතායුකං ඨත්‍වා යාවතකං තෙසං දෙවානං අයුප්පමාණං, තං සබ්බං ඛෙපෙත්‍වා තස්මිංයෙව භවෙ පරිනිබ්බායති, අයං ඛො භික්ඛවෙ! විසෙසො අයං අධිප්පායො ඉදං නනාකරණං සුතවතො අරියසාවකස්ස අස්සුතවතා පුථුජ්ජනෙන යදිදංග තියා උප්පත්තියා සති” යනු සාධක සූත්‍රයි.

මහණෙනි! මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් මෙත්සහ ගිය සිතින් එක් දිසාවක් පැහැස වෙසෙයි. එසේ දෙවන දිසාව තෙවන දිසාව සතරවන දිසාව දැ යි මෙසේ උඩ - යට - සරස හැම තැන සියලු සතුන් ආත්මසමතායෙන්, මුළුලොව විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ වෛර නැත්තා වූ දොම්නස් රහිත වූ මෙත්සහගිය සිතින් පැහැස වෙසෙයි. හෙතෙමේ ඒ ධ්‍යානය රස විඳ ගණියි. ඒ ධ්‍යානය කැමැති වෙයි. ඒ ධ්‍යානයෙන් සතුටට පැමිණෙයි. ඒ ධ්‍යානයෙහි සිටියේ ඒ ධ්‍යානයෙහි ඇලුනේ ඒ ධ්‍යානයෙහි බහුල විහරණ ඇතියේ ඉන් නො පිරිහුනේ කලුරිය කරණුයේ බ්‍රහ්මකායික‍ දෙවියන්ගේ සහභාවයට පැමිණෙයි. මහණෙනි! බ්‍රහ්මකායික දෙවියන්ගේ ආයුඃප්‍රමාණය කල්පයෙකි. එහි පෘථග්ජන තෙමේ ආයු ඇති තාක් සිට ඒ දෙවියන්ගේ ආයුඃප්‍රමාණය යම් පමණ වේ ද ඒ හැම ගෙවා නිරයට ද තිරිසන් යෝනියට ද ප්‍රේතවිෂයට ද උත්පත්ති වශයෙන් පැමිණෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක තෙමේ වනාහි එහි ආයු ඇති තාක් සිට ඒ දෙවියන්ගේ ආයුඃප්‍රමාණය යම් තරම් වේ නම්, එහැම ගෙවා ඒ භවයෙහි ම පිරිනිවෙයි. මහණෙනි! ගතිය හා උප්පත්තිය හා ඇති තාක් අශ්‍රැතවත් පෘථග්ජනයා හා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකයාගේ මේ වෙනස වේ, යනු එහි සිංහලයි.

බ්‍රහ්මොත්තම වූ බුදුරජුන් විසින් වදාළ මේ මෙත් බඹවිහරණය ඉතා සැකෙවින් මෙසේ දත යුත්තේ ය.

හිතාකාරප්පවත්තිලක්ඛණා මෙත්තා = මෛත්‍රිය සත්ත්‍වයන් කෙරෙහි හිත ආකාරයෙන් පැවැත්ම ලකුණු කොට සිටියා ය.

හිතූපසංහරණරසා = සත්ත්‍වයන් කෙරෙහි හිතඑළවීම කෘත්‍යය කොට සිටියා ය.

ආඝාතවිනයපච්චුපට්ඨානා = වෛර දුරු කිරීම වැටහීම කොට සිටියා ය.

සත්තානං මනාපභාවදස්සනපදට්ඨානා = සත්ත්‍වයන් කෙරෙහි මනාපබව දැක්ම ආසන්න කාරණය කොට සිටියා ය.

ව්‍යාපාදූපසමො එතිස්සා සම්පත්ති == ව්‍යාපාදයාගේ සන්සිඳීම මෙහි සමපත්තිය යි.

සිනෙහසම්භවො විපත්ති = තෘෂ්ණාස්නේහයාගේ ඉපැත්ම විපත්තිය යි.

මෙත් බඹවිහරණය රාගය ආසන්න සතුරු ව සිටියේ ය. මෛත්‍රිය හා රාගය ගුණ දැක්මෙහි ලා සමාන බැවිනි. ඒ රාග සතුරු තෙරෙම් ස්වල්ප වූ ද සිහිමුළායෙන් මෛත්‍රිය දුරු කොට ඒ අරමුණෙහි උපදනට නිසි බැවින් වහා එයට අවකාශ ලබන්නේ ය. එහෙයින් රාගසතුරාගෙන් මෛත්‍රිය මැනැවින් රැක ගත යුතු ය. පුරුෂයාට කඳුහෙල් වනගහන ඇසුරු කළ දූර සතුරා මෙන්, මෙත් බඹවිහරණයට ව්‍යාපාදය දූරසතුරු ය. මෛත්‍රිය හා ව්‍යාපාදය ස්වභාව විසින් ම අසමාන බැවිනි. ව්‍යාපාදයෙන් බිය රහිත ව ලද පිහිට ඇති මෛත්‍රිය ව්‍යාපාදයට මැඩ ලිය නො හැකි සේ රැක ගත යුතු ය. මෛත්‍රිය හා ව්‍යාපාදය කිසි කලෙක එක් තන්හි පිහිට නො ලබන්නේ ය.

කරුණා නම්: මෙරමා දුක් විඳුනා කල්හි සාධූන්ගේ හෘදයෙහි හට ගන්නා සැලීම ය. අනුන් පිළිබඳ දුක් දැක එය බැහැර කරණු කැමැත්තෙන් නො ඉවසිම් විසින් සිතෙහි උපදනා ධර්‍මශක්තිය, වෙනස්බව කරුණා ය. “පරදුක්ඛෙ සති සාධූනං හදයකම්පනං කරොතීති = කරුණා” යනු එහි අර්‍ත්‍ථ විසින් කීහ. තවද “කිණාති වා පරදුක්ඛං හිංසති විනාසෙතීති = කරුණා” මෙරමා දුක හිංසා කරන්නී විනාශ කරන්නී කරුණා. “කිරයති වා දුක්ඛිතෙසු ඵරණවසෙන පසාරීයතීති = කරුණා” දුකට පැමිණියවුන් කෙරෙහි පැතිරවීම් විසින් විසුරුවා හරින්නී දිග හරින්නී කරුණා.

මෙය ටීකානය විසින් පඤ්චමද්ධ්‍යානවර්ජිතරූපාවචර සිත් දොළොසෙහි ද, සොම්නස් සහගිය මහාකුසල - මහාක්‍රියා සිත් අටෙහි දැ යි යන සිත් විස්සෙහි ද, අර්‍ත්‍ථකථානය විසින් උපේක්ෂාසහගත මහාකුසලමහාක්‍රියා සිත් අටෙහි දැ යි අටවිසි සිත්හි යෙදේ.

කරුණාව වඩනු කැමැත්තහු විසින් කරුණාරහිත බවෙහි දොස් හා කරුණාසහිත බවෙහි අනුසස් සලකා භාවනාව පටන් ගත යුතු ය. එසේ කරුණාභාවනාව පටන් ගන්නහු විසිනුදු පළමු කොට ප්‍රිය පුද්ගලාදීන් කෙරෙහි කරුණාව නො වැඩිය යුතු ය. එසේ කීයේ ප්‍රියයා ප්‍රිය තන්හි ද අතිප්‍රියයා අතිප්‍රිය තන්හි ද මද්ධ්‍යස්ථයා මද්ධ්‍යස්ථ තන්හිද අප්‍රියයා අප්‍රිය තන්හි ද වෛර ඇත්තහු වෛරී තන්හි ද සිටුනා බැවිනි. ලිඞ්ගවිසභාගයන් කෙරෙහි හා කලුරිය කළවුන් කෙරෙහි ද කරුණාව නො වැඩිය යුතු ය. එසේ කියනු ඔවුන් මෙයට තැන් නො වන බැවිනි.

“කථඤ්ච භික්ඛවෙ! භික්ඛු කරුණාසහගතෙන චෙතසා ‍එකං දිසං එරිත්‍වා විහරති, සෙය්‍යථාපි නාම එකං පුග්ගලං දුග්ගතං දුරුපෙතං දිස්වා කරුණායෙය්‍ය, එවමෙව සබ්බෙ සත්තෙ කරුණාය ඵරති” යි විහඞ්ගයෙහි වදාළ බැවින්, පළමු කොට කරුණා කළ යුතු සැහැවි ඇති ඉතා දුක්පත් දිළිඳු සිඳලු අත්පා ඇති කබලක් ඉදිරියෙහි තබා ගෙණ අම්බලමක වැද හෝනා අතින් පයින් කඩා හැලෙන පණුවැදලි ඇති බැගෑහඬින් හඬන පව් කළ මිනිසකු දැක “අනේ! මේ මිනිස් එකාන්තයෙන් දුකට පැමි‍ණියේ ය, මොහු මේ දුකින් මුදා ගන්නෙම් ඉතා යෙහෙකැ”යි කරුණාව වැඩිය යුතු ය. ඉදින් එවැන්නකු නො ලත් කල්හි සුව විඳින පව් කරණ පුද්ගලයා නැසිය යුත්තකු හා සම තැන තබි, සම කොට සිතා කරුණාව වැඩිය යුතු ය.

පැහැර ගත් බඩු අතේ ඇති ව අල්ලා ගත් සොරු නසාලන්නැ යි රජුගෙන් අණලත් රාජපුරුෂයෝ සොරු බැඳ‍ ගෙණ සන්‍ධියෙහි සන්‍ධියෙහි සිය ගණන් පහර දෙමින් වධකස්ථානයට ගෙණ යන්නෝ ය. එසේ මරන්නට ගෙණ යන ඔහු දුටු මිනිස්සු ඔහුට කන බොන දැය ද බුලත් පුවක් ඈ ද දෙති. සොරු ‍ඒ දුන් දැය ගෙණ කමින් බොමින් සුව ඇත්තකු සේ යස ඉසුරු ඇත්තකු සේ වධස්ථානයට යන්නේ ය. එහෙත් කිසිවෙක් මූ සුව ඇත්තෙක, යස ඉසුරු ඇත්තෙකැ’යි නොසිතන්නේ ය. ‘එකාන්තයෙන් මේ බැගැපත් මිනිස්, දැන් මරණයට පැමිණෙන්නේ ය, නගන පියෙන් පියට මොහුට මරණය ලං වන්නේ ය’යි මිනිස්සු ඔහු කෙරෙහි කරුණාව උපද වන්නෝ ය. එපරිද්දෙන් කරුණාකර්‍මස්ථානය ගත්තහු විසින් සැපවත් වූ ද පුද්ගලයා කෙරෙහි කරුණාව වැ‍ඩිය යුතු ය. මේ මිනිසා දැන් සුවසේ සෑදී පෑදී පස්කම්සුව වළඳන්නේ ද, කළ පින් කමක් නැති බැවින් මතු අපා‍යයෙහි ඉපිද කටුක දුක් විඳීය, යි ඔහු කෙරෙහි ද කරුණාව වැඩිය යුතු ය. අනතුරු ව වෛරීන් කෙරෙහි ද ක්‍රමයෙන් කරුණාව වැඩිය යුතු ය. එහි දී වෛරීන්‍ කෙරෙහි ද්වේෂය උපදී නම්, මෛත්‍රියෙන් එය සන්සිඳවා ගත යුතු ය. කළ කුසල් ඇත්තෙක් වේ නම්, ඤාති - රෝග - භෝග ව්‍යසනාදීන් අතුරෙන් කිසිවකින් යුක්තය, යි දැක හෝ අසා, නැත, ‘සසර දුක් නො ඉක්ම වූ බැවින් එකාන්තයෙන් දුක් ඇත්තේ ම ය’යි හැම අතකින්ම කරුණාව උපදවා යට කියූ පරිදි තෙමේ ය, ප්‍රිය පුද්ගල ය, මද්ධ්‍යස්ථ ය, වෛරී ය යන සිවු දෙනා කෙරෙහි සීමසම්භේදය කොට ඒ නිමිත්ත ම සෙවුමෙන් බලමින් බහුල කරමින් මෛත්‍රියෙහි ලා කියූ සේ ත්‍රික - චතුෂ්කද්ධ්‍යාන විසින් අර්‍පණා ලැබිය යුතු ය.

මෙහි ද පංචවිධ අනොධිසොඵරණා සප්තවිධ ඔධිසොඵරණා දසවිධ දිසාඵරණා‍ චේතෝවිමුත්ති ද ‘සුඛං සුපති’ යනාදී විසින් කියූ අනුසස් ද යට මෛත්‍රීකථායෙහි කියූ ලෙසින් දත යුතු ය.

දුක්ඛාපනයනාකාරප්පවත්තිලක්ඛණා කරුණා = කරුණාව දුකට පත් සත්ත්‍වයන්ගේ දුක්දුරු කරණ අයුරෙන් පැවැත්ම ලකුණු කොට සිටියා ය.

පරදුක්ඛාසහනරයා = මෙරමා දුක් නො ඉවසීම කෘත්‍යය කොට සිටියා ය.

අවිහිංසා පච්චුපට්ඨානා = අන්හට හිංසා නො කිරීම වැටහීම කොට සිටියා ය.

දුක්ඛාභිභූතානං අනාථභාවදස්සනපද්ට්ඨානා = දුකින් පෙළුන වුන්ගේ අසරණබව දැක්ම ආසන්නකාරණය කොට සිටියාය.

විහිංසූපසමො තස්සා සම්පත්ති = විහිංසාවගේ සන්සිදීම මෙහි සමපත්තිය යි.

සොකසම්භවො විපත්ති = ශෝක හටගැණීම විපත්තිය යි.

කරුණාබ්‍රහ්මවිහරණයට ගෙහසිත දොම්නස ආසන්නසතුරු ව සිටියේ ය. විපත් දැකීම් වශයෙන් සමාන බැවිනි. විහිංසාව දූරසතුරු ය. කරුණාව හා විහිංසාව ස්වභාව විසින්ම අසමාන බැවිනි. කරුණාව හා විහිංසාව කිසි කලෙක එක් තන්හි පිහිට නො ලබන්නේ ය. මෙහි ගෙහසිත දොම්නසැ යි කීයේ කාමගුණයන් හා හැනී ගිය කාමගුණ ඇසුරු කළ දොම්නස යි. මේ දොම්නස ඉපැදෙනුයේ තමන් බලාපොරොත්තු වන කම්‍සැප නො ලැබීමෙනි.

මුදිතා නම්: සැපවත් ව සිටුනා සත්ත්‍වයන් දැකීමෙන් උන් කෙරෙහි සතුටුවීමය. මවක් දූ පුතුන්ගේ ධනසම්පත්තිය හා සුඛසම්පත්තිය ද පැහැසටහන් ආදය ද දැකීමෙන් යම්සේ සතුටු වන්නී ද, එපරිද්දෙන් සතුරු - මිතුරු - උදාසීන වූ සුවපත් ව සිටුනා සියලු සතුන් කෙරෙහි සිතෙහි උපදනා ධර්‍මශක්තිය, හැමසතුන් කෙරෙහි සතුටුවීම මුදිතා ය. ‍ඒ මේ ධර්‍මශක්තිය වැඩී ගිය දූ පුතුන් ඇති මවකගේ සිත්හි දූපුතුන් නිසා හට ගන්නා වූ මුදිතාවට සමාන ව සිටියා ය. “මොදන්ති තාය තං සමඞ්ගිනො, සයං වා මොදති, මොදනමත්තමෙව වා මුදිතා” යම් ධර්‍මශක්තියක් කරණ කොට ගෙණ ඒ ධර්‍මශක්තියෙන් ශක්තිසම්පන්වූවාහු සතුටු වෙත් ද, තෙමේ හෝ සතුටු වේ ද, සතුටුවීම් මාත්‍රය ම හෝ මුදිතා.

මේ මුදිතාචෛතසිකය, පඤ්ඤමද්ධ්‍යානවර්ජිතද්වාදශවිධ රූපාවචරචිත්තයන්හි ද මහාකුසල - මහාක්‍රියා චිත්තයන්හි ද උපදනේ ය. කරුණාව හා මුදිතාව හා දෙක උනුනට විරුද්ධ අරමුණු ඇත්තේ ය. කරුණාවට දුක්පත් සතුන්, මුදිතාවට සුවපත් සතුන් අරමුණු වන බැවින් කිසි කලෙක මේ ධර්‍ම දෙක එක සිතෙක නො යෙදෙන්නේ ය. දුකටපත් සතුන් අරමුණු කොට කරුණාභාවනාව වඩා ප්‍රථමද්ධ්‍යානය උපද වන්නහුට උපදනා ප්‍රථමද්ධ්‍යානචිත්තයෙහි කරුණාචෛතසිකය මුත්, මුදිතාචෛතසිකය නො උපදනේ ය. එසේ ම සුවපත් සතුන් අරමුණු කොට මුදිතාභාවනාව වඩා ප්‍රථමද්ධ්‍යානය උපද වන්නහුට උපදනා ප්‍රථමද්ධ්‍යානාදිචිත්තයෙහි මුදිතා චෛතසිකය මුත්, කරුණාචෛතසිකය නො උපදනේ ය.

මුදිතාව වඩන්නහු විසින් “මහත් ආනුභාව හා ඍද්ධි ඇති බ්‍රහ්මයෝ නීරෝග ව බොහෝ කලක් සතුටින් වෙසෙන්නාහ, මහත් ආනුභාව හා ඍද්ධි ඇති දෙවියෝ දෙවඟනන් පිරිවරා ගෙණ දිව සැප වළඳන්නාහ, මිනිස්ලෝවැසි රජදරුවෝ මහත් සැප විඳිමින් සතුටු වන්නාහ, මොවුන්ගෙන් අන්‍ය වූ සත්ත්‍වයෝ ද ලත් සැපතින් සතුටු වන්නාහ, අපායයෙහි ඉපිද සිටුනා සත්ත්‍වයෝ පව්කම් ගෙවා එයින් නිදහස් ව සුගතියෙහි ඉපිද සැප විඳිමින් සතුටු වන්නාහ” යන‍ මේ ඈ ලෙසින් දැකීෆමන් හා ඇසීමෙන් ඔවුන්ගේ ඒ සැපතෙහි සතුටු වෙමින් මුදිතාව ඉපද විය යුතු ය.

මුදිතාව පළමු කොට ප්‍රියයා කෙරෙහි හෝ මද්ධ්‍යස්ථයා කෙරෙහි හෝ වෛරීහු කෙරෙහි හෝ නො වැඩිය යුතු ය. ප්‍රියයා ප්‍රිය වූ තරමින් මුදිතාවට ස්ථාන නො වේ. මද්ධ්‍යස්ථ - වෛරීහු ද එසේ ය. ලිඞ්ග විසභාගයෝ කාලක්‍රියා කළෝ ද මෙයට තැන් නො වෙත්. සොණ්ඩසහාය යි කියන අතිප්‍රිය පුද්ගලයා ම මුදිතාවට කරුණු ය. අතිප්‍රියයා මුදිතමුදිත ම වේ. පළමු සිනාසී පසුව කතාව පටන් ගන්නේ ය. එහෙයින් ඔහු කෙරෙහි ම පළමු කොට මුදිතා ව වඩන්නේ ය. සුඛිත මුදිත වූ ප්‍රිය පුද්ගලයකු දැක හෝ අසා හෝ ‘මේ පුද්ගලයා එකාන්තයෙන් මුදිත ය, අහෝ! ඉතා යෙහෙකැ’යි ඔහු කෙරෙහි හෝ මුදිතාව වැඩිය යුතුය.

අතිප්‍රිය පුද්ගලයා හෝ ප්‍රිය පුද්ගලයා හෝ පසුගිය කාලයෙහි සුවපත් වූයේ ද දැන් ඔහු දුක්ඛිත නම්, දුරුපෙත නම්, ඔහුගේ ඒ යටගිය දවස තුබූ සුඛිතභාවය සිහි කොට ‘මෙතෙමේ එදා මහත් යසිසුරු ඇත්තේ මහත් පිරිවර ඇත්තේ වී ය, නිතර සතුටින් කල්‍ ගෙවී ය’යි ඔහුගේ ඒ යටගිය මුදිත ගතිය සලකා මුදිතාව වැඩිය යුතු ය. ඔහු එදා මුදිත නොවී නම්, ඉදිරියෙහි එන දවසෙහි වන ප්‍රමුදිතභාවය සලකා ‘මෙතෙමේ අනාගතයෙහි යසිසුරු ලබා ඇතුන් පිට අසුන් පිට රන්සිවිගෙට නැගී ඇවිදින්නේ ය’යි මෙසේ ඉදිරියෙහි ලබන ප්‍රමුදිතභාවය සිහිකොට මුදිතාව වැඩිය යුතු ය. ප්‍රිය පුද්ගලයා කෙරෙහි මුදිතාව වඩා නැවැත මද්ධ්‍යස්ථයා කෙරෙහි ද, නැවැත වෛරීහු කෙරෙහි ද මුදිතාව වැඩිය යුතු ය. ඉදින් වෛරීහු කෙරෙහි ක්‍රෝධය උපදින්නේ නම්, පෙර සේ මෙත් වඩා සිත සන්සිදුවා ගත යුතු ය. මෙහි කියූ මුන් කෙරෙහි ද තමා කෙරෙහි ද සමසිත් උපදවා සීමසම්භේද කොට ඒ නිමිත්තම සේවනය කරමින් බහුල කරමින් මෛත්‍රීකථායෙහි කියූ ලෙසින් ත්‍රික - චතුෂ්කද්ධ්‍යාන විසින් අර්‍පණා ලබාගත යුතු ය. එයින් පසු මතු ලැබිය යුතු පඤ්චවිධ අනොධිසොඵරණ - සත්තවිධ ඔධිසොඵරණ - දසවිධ දිසාඵරණවිකුබ්බණ ද ‘සුඛං සුපති’ යනාදී විසින් කියූ අනුසස් ද දත යුත්තේ ය.

පමොදලක්ඛණා මුදිතා = මුදිතාව පරමසම්පත්තියෙහි සතුටුවීම ලකුණු කොට සිටියා ය.

අනිස්සායනරසා = ඊෂ්‍යා නො කිරීම කෘත්‍යය කොට සිටියා ය.

අරතිවිඝාතපච්චුපට්ඨානා = පරසම්පත්ති - අධිකුශලධර්‍ම - පන්ත - සෙනාසන යන මෙහි නො ඇලුම් නසාලීම වැටහීම කොට සිටියා ය.

සත්තානං සම්පත්තිදස්සනපදට්ඨානා = සත්ත්‍වයන්ගේ සම්පත්ති දැක්ම ආසන්නාකරණය කොට සිටියා ය.

අරතිවූපසමො තස්සා සම්පත්ති = නො ඇලුම් සන්සිඳවීම මෙහි සම්පත්තිය යි.

පහාසසම්‍භවො තස්සා විපත්ති = ගෙහසිත ප්‍රෙම විසින් සතුට ඉපදවීම මුදිතාවට විපත්තිය යි.

මුදිතාබ්‍රහ්මවිහරණයට ගෙහසිත සොම්නස ආසන්න සතුරු ව සිටියේ ය. ගෙහසිත සොම්නස සම්පත් දැකීම් විසින් සමාන බැවිනි. අරතිය දූරසතුරු ය. අරතිය ස්වභාව විසින් අසමාන බැවිනි. මෙහි ගෙහසිතසොම්නසැ යි කීයේ පස් වැදෑරම් වූ කම්ගුණ ඇසුරු කළ සොම්නස ය. මේ සොම්නස ඉපැදෙනුයේ තමන් බලාපොරොත්තු වන කම්සැප ලැබීමෙනි.

උපෙක්ඛා නම්: හිත වැඩෙහිලා සතුටුවීම හිතවැඩ එළවීම දුකට පැමිණියවුන් දැක, ‘මොවුහු දුකින් මිදෙත්වා’ නො වෙහෙසුනේ වෙත්වා’ යනාදීන් විසින් පක්‍ෂයකට නො බැස ඒ ඒ සත්ත්‍වයන් විසින් කරණ ලද කර්‍මයනට අනු ව යුක්තියට අනු ව බැලීමෙන් සිතෙහි උපදනා ධර්‍මශක්තිය වූ, මැදහත් ලෙසින් බැලීම ය. “අවෙරා හොනභූති ආදව්‍යාපාරප්පහාණෙන මජ්ඣත්තහාවූපගමනෙන ච උපෙක්ඛතීති = උපෙක්ඛා” යනු දන්නේ ය.

තමන් හා එක් ව යෙදුනු සිතුවිලි සිය කිසෙහි සමාන ව පවත්වාලීමට හේතු වූ මේ උපේක්ෂාව පරමාර්‍ත්‍ථ විසින් සත්ත්‍වාලම්බනයක් හෝ සංස්කාරලම්බනයක් අරමුණු කොට, මහාකුසල - මහාවිපාක - මහාක්‍රියා යන සූවිසි සොභන සිත්හි ද, සත් විසි මහද්ගත සිත්හි ද, අටවැදෑරුම් ලෝකෝත්තර සිත්හි ද යන එකුන් සැටක් සිත්හි යෙදෙන්නේ ය. ඒ නම්, තත්‍ර මද්ධ්‍යස්ථතා චෛතසිකය යි. උපේක්ෂාවේදනාව ද උපේක්ෂා යි කියනු ලැබේ. අරමුණු ගැණ මැදහත් ව බලනුයේ උපේක්ෂා බලයෙනි. සැප දුක් දෙක්හි අවිරුද්ධ ව ඉටු අරමුණටත් අනිටු අරමුණටත් නො බරව සමව සිටුනී ය. අටලෝ දහම් හි සතුටට හෝ නො සතුටට හෝ නො ද පැමිණෙන්නී ය. ඒ මේ උපේක්ෂාව පාරමිතා විසින් ද ධර්‍මයෙහි එන්නී ය.

උපේක්ෂාව ඡළඞ්ගුපෙක්ඛා - බ්‍රහ්මවිහාරුපෙක්ඛා - බොජ්ඣඞ්ගුපෙක්ඛා - විරියූපෙක්ඛා - සඞ්ඛරූපෙක්ඛා - වෙදනූපෙක්ඛා - විපස්සනුපෙක්ඛා - තත්‍රමජ්ඣන්තුපෙක්ඛා - ඣානුපෙක්ඛා - පාරිසුද්ධිඋපෙක්ඛා යි දසවැදෑරුම් ය.

එහි “සදොරෙහි එළඹ සිටි ඉටු අනිටු අරමුණු නිසට රහතුන් වහන්සේගේ සිත්හි වූ පිරිසිදු පියවිබව නො හැරීම් විසින් පවත්නා මැදහත් බව ඡළඞ්ගුපෙක්ඛා ය. “ඉධ භික්ඛවෙ! ඛීණාසවො භික්ඛු චක්ඛුනා රූපං දිස්වා නෙව සුමනො හොති දුම්මනො” යනාදීන් විසින් ඒ ආයේ ය. සියලු සතුන් කෙරෙහි පැවැති මැදහත්බව බ්‍රහ්මවිහාරුපෙක්ඛා ය. “උපෙක්ඛාසහ‍ගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහරති” යනාදීන් විසින් වදාළෝ ඒ ය. සහජාතධර්‍මයන් කෙරෙහි මැදහත් වූ චිත්තගතිය බොජ්ඣඞ්ගුපෙක්ඛා ය. “උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං” යනාදීන් ඒ දත යුතු ය. ඉතා අධික නො වූත් ඉතා ලිහිල් නො වූත් වීර්‍ය්‍යය, මැදහත් උත්සාහය විරියුපෙක්ඛා ය. “කාලෙන කාලං උපෙක්ඛානිමිත්තං මනසි කරොති” යනාදිය එහි ලා දන්නේ ය. නීවරණාදිධර්‍මයන්ගේ ‍තතු සෙවීමෙහි තීරණයට බැස ගැණීමෙහි පැවැති මැදහත් බව සඞ්ඛාරුපෙක්ඛා ය. “අට්ඨසඞ්ඛාරුපෙක්ඛා සමාධා වසෙන, දසසඞ්ඛාරුපෙක්ඛා විපස්සනා වසෙන උප්පජ්ජන්ති” යනාදියෙන් එය කියැ වේ. නො දුක නො සැප යි ගත් අදුක්කමසුඛ වේදනාව වේදනූපෙක්ඛා ය. “යස්මිං සමයෙ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හොති උපෙක්ඛා සහගතං” යනාදිය එහිලා දේශනා ය. සංස්කාරධර්‍මයන්ගේ තතු සෙවීමෙහි පැවැති මැදහත් බව විපස්සනූපෙක්ඛා ය. “යද්ත්‍ථි යං භූතං තං පජහති උපෙක්ඛං පටිලභති” යනාදි දේශනා ඒ පිණිස ආවා ය.. තමන් හා සමග උපන් ධර්‍මයන් ඒ ඒ තමන් අයත් කෘත්‍යයන්හි යෙදෙන කල්හි එහි මැදහත් වීම් වශයෙන් පවත්නා සිතුවිල්ල තත්‍රමජ්ඣත්තුපෙක්ඛා ය. ප්‍රණීතතර තෘතියද්ධ්‍යානසුඛයෙහි මැදහත් ව බැලීම ඣානූපෙක්ඛා ය. “උපෙක්ඛකො ච විහරති” යනාදීන් වදාළෝ ඒ ය. සියලු විරුද්ධධර්‍මයන්ගෙන් පිරිසිදු වූ ප්‍රත්‍යනීකධර්‍ම සන්සිඳවීමෙහි ලා අමුතුවලා උත්සාහ රහිත වූ චිත්තස්වභාවය පාරිසුද්ධිඋපෙක්ඛා ය. “උපෙක්ඛා සති පාරිසුද්ධිං චතුත්‍ථජ්ඣානං” යනාදි දේශනායෙන් ඒ ගන්නේ ය.

එහි ඡළඞ්ග - බ්‍රහ්මවිහාර - බොජ්ඣඞ්ග - තත්‍රමජ්ඣත්තතා - ඣාන - පාරිසුද්ධි උපේක්ෂාවෝ අර්‍ත්‍ථ විසින් තත්‍රමජ්ඣත්තතා උපෙක්ඛා යි ගැණෙත්. මේ වනාහි අවස්ථාභේද විසින් ගත යුතු ය. එ‍කක්හුගේ ඒ ඒ අවස්ථායෙහි වන කුමාර - තරුණ - මහල්ලක - සෙනාපති රාජාදි භේද සේ ය. එහෙයින් යම් තැනක ඡළඞ්ගුපෙක්ඛාව වන්නී නම්, එහි අනෙක් බ්‍රහ්මවිහාරුපෙක්ඛාදීහු නො ද උපදිත්. සෙසු තැන ද මෙසේ ය. සඞ්ඛාර - විපස්සනා උපේක්ෂා ද අර්‍ත්‍ථ විසින් එකෙක් ම ය. එක් ම ප්‍රඥාව කෘත්‍ය විසින් මෙසේ දෙපරිදි ය. සංස්කාර ධර්‍මවිෂයයෙහි විපස්සනූපෙක්ඛාව නැගී සිටි කල්හි සඞ්ඛාරුපෙක්ඛාව ද නැගී සිටියා වේ. විරිය - වේදනා උපේක්ෂා දෙක උනුන් හා ද අනෙක් උපේක්ෂාවන් හා ද අර්‍ත්‍ථ විසින් වෙන් ව සිටියේ ය.

ඡළඞ්ග - විපස්සනා - සඞ්ඛාර උපේක්ෂා තුන කාමාවචර ය. බ්‍රහ්මවිහාර - ඣාන - පාරිසුද්ධි උපේක්ෂා තුන රූපාවචර ය. වේදනා - විරිය - තත්‍රමජ්ඣත්තා උපේක්ෂා තුන චාතුර්භූමක ය. බොජ්ඣඞ්ගුපෙක්ඛාව කාමාවචර හා ලෝකෝත්තර ද වේ. එහෙයින් පෘථග්ජන - ශෛක්‍ෂ්‍ය - අර්‍හත් යන පුද්ගලයන්ට ලැබෙන්නී ය.

මෙසේ භේදයට ගිය මේ දසවැදෑරුම් උපේක්ෂා අතුරෙහි සියලු සතුන් මැදහත් ව බැලීම ය යි කියූ බ්‍රහ්මවිහාරුපෙක්ඛාව මෙහි ගණු ලබන්නී ය.

උපේක්ෂාව වඩනු කැමැත්තහු පළමු කොට මෙත්තා - කරුණා - මුදිතා යන තුන් තැන්හි ලත් ත්‍රික හෝ චතුෂ්කද්ධ්‍යාන ඇත්තකු විය යුතු ය. ත්‍රික හෝ චතුෂ්කද්ධ්‍යාන ලත් ඔහු ප්‍රගුණ වූ තෘතිය හෝ චතුර්‍ත්‍ථද්ධානයෙන් නැගී ‘සියලු සත්වයෝ සුවපත් වෙත්වා’යි කරණු ලබන මෛත්‍රිය සතුන් කෙරෙහි මමත්‍වයෙන් පවත්නා බැවින් ද, කරුණාව දොම්නසට ලංව සිටි බැවින් ද, මුදිතාව සොම්නස් යෝගයෙන් ඖදාරික බැවින් ද මුලින් කියූ කරුණා - මුදිතාවන්ගේ දොස් ද උපේක්ෂාව ශාන්ත බැවින් එහි අනුසස් ද සලකා යම් ප්‍රකෘතිමද්ධ්‍යස්ථ පුද්ගලයෙක් වේ නම්, ඒ පුද්ගලයා මැදහත් ආකාරයෙන් බලා උපේක්ෂාව ඉපද විය යුතු ය. අනතුරුව ඉපදවිය යුත්තී ප්‍රිය පුද්ගලාදීන් කෙරෙහි ය. මද්ධ්‍යස්ථයා කෙරෙහි උපේක්ෂාව උපදවා නැවැත ප්‍රියයා කෙරෙහි නැවැත අතිප්‍රියයා කෙරෙහි නැවැත වෛරීහු කෙරෙහි නැවැත තමන් කෙරෙහි මැදහත් ලෙසින් සීමසම්භේදය කොට විශේෂයක් නො තබා නො සලකා ඒ නිමිත්ත ම වැඩිය යුතු ය. සෙවිය යුතු ය. බහුල කළ යුතු ය. මෙසේ කරන්නා වූ ඔහුට මේ තෘතීයද්ධ්‍යානය ලංවූ ප්‍රීතිය නැමැති සතුරා ඇත්තේ ය, චතුර්‍ත්‍ථද්ධ්‍යානය එබඳු සතුරකු නැති බැවින් ශාන්තය, යි අනුසස් සලකන කල්හි චතුර්‍ත්‍ථද්ධ්‍යානය ලැබෙන්නේ ය. මෛත්‍රී ආදියෙහි තෘතීයද්ධ්‍යානය උපදවා ගන්නහුට ම අරමුණු සමාන බැවින් චතුර්‍ත්‍ථද්ධ්‍යානය ලැබෙන බව සැලකිය යුතු ය. එයින් මතු ලැබිය යුතු විකුබ්බණ ද ආනිසංස ද මෛත්‍රියෙහි කීසේ ය.

සත්තෙසු මජ්ඣත්තාකාරප්පවත්තිලක්ඛණා උපෙක්ඛා = උපේක්ෂාව සත්ත්‍වයන් කෙරෙහි මැදහත් අයුරෙන් පැවැත්ම ලකුණු කොට සිටියා ය.

සත්තෙසු සමහාවදස්සනරසා = සත්ත්‍වයන් කෙරෙහි සමබව දැක්ම කෘත්‍යය කොට සිටියා ය.

පටිඝානුනයවූපසමපච්චුපට්ඨානා = ප්‍රතිඝය හා අනුනය සන්සිඳවීම වැටහීම කොට සිටියා ය.

කම්මස්සකතා පදට්ඨානා = සත්ත්‍වයෝ කර්‍මය ස්වකීය කොට සිටියෝ ය, ඔවුහු කවරකුගේ රුචියෙන් සුවපත් වූවාහු හෝ වෙත් ද, දුකින් හෝ මිදෙත් ද, පැමිණි සැපතින් හෝ නො පිරිහෙත් දැ’යි මෙසේ කර්‍මස්වකතාව පිළිබඳ දැක්ම ආසන්න කාරණය කොට සිටියා ය.

පටිඝානුනයවූපසමො තස්සා සම්පත්ති = ප්‍රතිඝහ හා අනුනය සන්සිඳවීම සම්පත්තිය යි.

ගෙහසිතාය අඤ්ඤාණුපෙක්ඛාය සම්භවො විපත්ති = ගෙහසිත උපේක්ෂාසහගත මෝහයාගේ ඉපැත්ම විපත්තිය යි.

උපේක්ෂා බ්‍රහ්මවිහරණයට ගෙහසිත උපේක්ෂාසහගත මෝහය ආසන්න සතුරු ව සිටියේ ය. මෙය දෝෂගුණ නො විචාරීම් විසින් සමාන බැවිනි. රාගය හා ප්‍රතිඝය දූර සතුරු ය. ස්වභාව විසින් අසමාන බැවිනි. උපේක්ෂාව හා රාග ප්‍රතිඝයෝ කිසිසේ ත් කිසි කලෙක එක් තැනක නො ලැබෙත්.

සිවු වැදෑරුම් බ්‍රහ්මවිහරණයන්ගේ සාධාරණප්‍රයෝජනය, විදර්‍ශණා සුඛය හා භවසම්පත්තිය යි. ව්‍යාපාදාදිය දුරු කිරීම එකිනෙකට අයත් වූ වෙන් වෙන් වූ ප්‍රයෝජන යි. එහි මෛත්‍රියෙහි ප්‍රයෝජනය ව්‍යාපාදාය දුරු කිරීම ය. කරුණායෙහි ප්‍රයෝජනය විහිංසාව දුරු කිරීම ය. මුදිතායෙහි ප්‍රයෝජනය අරතිය දුරු කිරීම ය. උපේක්ෂායෙහි ප්‍රයෝජනය අරතිරාග දුරු කිරීම ය. “නිස්සරණං හෙතං ආවුසො ව්‍යාපාදස්ස යදිදං මෙත්තාචෙතො විමුත්ති, නිස්සරණං හෙතං ආවුසො විහෙසාය යදිදං කරුණාචෙතොවිමුත්ති, නිස්සරණං හෙතං ආවුසො අරතියා යදිදං මුදිතාචෙතොවිමුත්ති, නිස්සරණං හෙතං ආවුසො රාගස්ස යදිදං උපෙක්ඛාචෙතොවිමුත්ති” යනු දේශනා ය. බ්‍රහ්මවිහාරයනට කත්තුදම්‍යතා ඡන්දය ආදිය වේ. නීවරණාදිය මැඩ පැවැත්වීඹ මද්ධ්‍යය වේ. අර්‍පණාව අවසානය වේ.

මොවුනට එක් සත්ත්‍වයෙක් හෝ බොහෝ සත්ත්‍ව කෙනෙක් හෝ අරමුණු වෙති. උපචාරයෙහි දී හෝ අර්‍පණාවට පැමිණි කල්හි හෝ අරමුණ වැඩෙන්නේ ය. දක්‍ෂ ගොවියා තමන් විසින් සෑයුතු තැන පිරිසිඳ සාන්නා සේ ම බ්‍රහ්මවිහාර වඩන්නේ ද පළමු කොට එක් ආවාසයක් පිරිසිඳ එහි වසන සතුන් කෙරෙහි ‘මේ ආවාසයෙහි වසන සත්ත්‍වයෝ වෛර නැත්තෝ වෙත්වා’ යනාදීන් මෙත් වඩන්නේ ය. එහි සිත මෘදු කොට කර්‍මයට යොග්‍ය කොට අවාස දෙකක් පිරිසිඳ ගන්නේ ය. පිළිවෙළින් ආවාස තුනක්, සතරක්, පසක්, සයක්, සතක්, අටක්, නවයක්, දසයක්, එක් වීථියක්, ගම් අඩක්, මුළු ගමක්, දනව්වක්, රාජ්‍යයක්, එක් දිශාවක්, එක් සක්වළක් හා එයින් මතු ද පිරිසිඳ එහි සතුන් කෙරෙහි මෙත් වඩන්නේ ය. මෙත් වඩන්නා සේ ම කරුණාදිය ද වඩන්නේ ය. අරමුණු වඩනා සැටි මෙසේ දන්නේ ය.

මෙත්තාදි බ්‍රහ්මවිහාරයන්ගේ වශයෙන් තුන් තුන් ධ්‍යානයන් උපදවා සිටියහුට ම උපේක්ෂාබ්‍රහ්මවිහාරය ඵල සහිත වේ ද, සමෘද්ධ වේ ද, අන් ලෙසකින් සමෘද්ධ නො වේ ද, එහෙයින් මෙත්තා - කරුණා - මුදිතා යන බ්‍රහ්මවිහාර තුනෙහි අමුඛ්‍යඵලය උපේක්ෂාබ්‍රහ්මවිහාරය වේ. ටැම් නො සිටුවා මහතළාඳ සඟළ නො නගා හිස් අහසෙහි කැණිමඩල පිහිටුවා ගොනැස් තබන්නට නො හැකි වේ ද, එපරිද්දෙන් මෙත්තාදී වූ මුල් බඹවිහරණ තුන වඩා තෘතියද්ධ්‍යානය නො උපදවා සිවුවන උපේක්ෂාබ්‍රහ්මවිහාරද්ධ්‍යානය උපදවන්නට නො හැකි ය.

සත්ත්‍වයන් අත ඇති යහපත් ප්‍රතිපත්තියක් බැවින් මේ විහරණ සතර ශ්‍රේෂ්ඨ ය, නිර්දෝෂය යන අරුත් විසින් ගෙණ බ්‍රහ්මවිහාර ය යි කියනු ලැබේ. මෙයින් අන්‍ය වූ කර්‍මස්ථානයෝ ආත්මහිත ප්‍රතිපත්තීහු වෙත්. මේ සතර ආත්මහිත වන්නා සේ ම පරහිත ප්‍රතිපත්තීහු ද වෙත්.

බ්‍රහ්මයෝ නීවරණ විරහිත බැවින් නිර්දෝෂ සිතැත්තෝ ම වෙසෙත් ද, මේ විහරණ වඩා දියුණු කොට ගත්තෝ ද, බ්‍රහ්මයන් මෙන් නිර්දෝෂ සිතැති ව වෙසෙත්. එබැවින් නිර්දෝෂයහ.

මෛත්‍රිය ව්‍යාපාද බහුලයාහට ද, කරුණාව විහිංසාබහුලයාහට ද, මුදිතාව අරතිබහුලයාහට ද, උපේක්ෂාව රාගබහුලයාහට ද විශුද්ධිමාර්‍ග වන බැවින් බ්‍රහ්මවිහාර සතරෙක් වී ය.

හිත එළවීම - අහිත දුරු කිරීම - සමාපත්තියෙහි සතුටු වීම - හැම තන්හි සතුටුවීමැ යි සත්ත්‍වයන් කෙරෙහි මනස්කාරය සිවු වැදෑරුම් ය. මවු තොමෝ ලදරු - ගිලන් - තරුණ - සිය කිස යෙදුනහු යන පුතුන් ‍සිවු දෙනා අතුරෙහි ලදරු පුතුගේ දියුණුව, ගිලන් පුත් ගිලන් බවෙන් මුදවා ගැණීම - තරුණ පුතුගේ තරුණ බැව්හි කල් පැවැත්ම, සිය කිස යෙදුනු පුතු බලා මැදහත්වීම යන මෙ තැන්හි යම්සේ පවතී ද, එසේ ම බ්‍රහ්මවිහාර වඩන්නනහු විසින් සියලු සතුන් කෙරෙහි මෙත්තා - කරුණා - මුදිතා - උපෙක්ඛා යන බ්‍රහ්මවිහාර වැඩිය යුතු ය. එහෙයින් මෙය මනස්කාර විසිනුදු සිවුවැදෑරුම් ය.

පළමු කොට සත්ත්‍වයන් කෙරෙහි හිත වැඩ එළවන අයුරෙන් පිළිපැද්ද යුතු ය. මෛත්‍රිය හිතාකාරයෙන් පැවැත්ම ලක්‍ෂණ කොට සිටියා ද එහෙයිනි. මෙසේ පැතූ හිත වැඩ ඇති සත්ත්‍වයන් දුකින් පෙළෙන බව දැක හෝ අසා ‘මේ පිළිවෙතින් මෙතෙමේ සතර අපායයෙහි උපදනේ ය’යි සලකා උන් දුකින් මුදා ගන්නා අයුරින් පිළිපැද්ද යුතු ය. කරුණාව සතුන් දුකින් මුදා ගන්නා අයුරෙන් පැවැත්ම ලක්‍ෂණ කොට සිටියා ද එහෙයිනි. පැතූ හිත වැඩ ඇත්තා වූ ද පැතූ දුක් පහකිරීම් ඇත්තා වූ ද ඒ ඒ සත්ත්‍වයන්ගේ සම්පත් දැක ඒ සම්පත්තියෙහි සතුටුවීම් වශයෙන් පිළිපැද්ද යුතු ය. මුදිතාව සතුටුවීම ලක්‍ෂණ කොට සිටියා ද එහෙයිනි. මෙසේ හිතාදි ආකාරයෙන් පැවැත්මෙන් මතු කළයුතු සිවුවන අයුරක් නැති බැවින් දැන් මැදහත් ලෙසින් පිළිපැද්ද යුතු ය. උපේක්ෂාව මැදහත් ව පැවැත්ම ලක්‍ෂණ කොට සිටියා ද එහෙයිනි. මෙ‍සේ හිතාදිආකාර විසින් මේ සතර පවත්නා බැවින් පළමු කොට මෙත්තා, අනතුරු ව කරුණා, අනතුරු ව මුදිතා, අනතුරු ව උපෙක්ඛා පිළිවෙළින් කියන ලද ය. මෙසේ කියන ලද්දී මේ ධර්‍මයන්ගේ පැවැත්ම බොහෝ සෙයින් මෙබඳු ආකාර ඇති බැවින් අන් අයුරකින් නො පවත්නා බැවින් හෙවත් මේ නියමයට විරුද්ධ ව උපේක්ෂාබ්‍රහ්මවිහාරය පළමු කොට වඩන්නට නො ලැබෙන බැවින් බුදුරජුන් විසින් මෙත්තා - කරුණා - මුදිතා - උපෙක්ඛා යි පිළිවෙළින් දේශනා කළ බැවින් ද වේ.

බ්‍රහ්මවිහාරයෝ මෙතෙක් දෙනා කෙරෙහි පවතිත්වා, මෙතක් දෙනා කෙරෙහි නො පවතිත්වා,යි පිරිසිඳීමක් නැත්තෝ ය. සත්ත්‍වයන් කෙරෙහි සම්‍යක්ප්‍රතිපත්තිය හේතු කොට ප්‍රමාණ රහිත ද වෙති. එහෙයින් අප්පමඤ්ඤා යි කියන ලදහ. මොවුහු අප්‍රමාණ ආලම්බනයෙහි පවත්නෝ ය. අප්‍රමාණ සත්ත්‍වයෝ මෙයට අරමුණු වෙත්. උද්ධුමාතකාදිඅසුභයෙහි ඉදිමී ගිය ඒ ඒ තැන් අරමුණු කරන්නා සේ එක් සත්ත්‍ව‍යකුගේ ද මෙතෙක් තන්හි මෙත් වැඩිය යුතු ය යි පමණ කොට නො ගෙණ සියලු සතුන් කෙරෙහි පැතිරවීම් විසින් මේ හැම වැඩිය යුතු ය.

“විසුද්ධිමග්ගාදිවසා චතස්සො

හිතාදිආකරවසා පනායං,

කාමො පවත්තන්ති ච අප්පමාණෙ

තා ගොචරෙ යෙන තදප්පමඤ්ඤා”

යනු දන්නේය.

මෙසේ අප්‍රමාණ සත්ත්‍වයන් අරමුණු කොට ඇති බැවින් එක් ම ලක්‍ෂණයෙන් යුත් බ්‍රහ්මවිහාර අතුරෙහි මෙත්තා - කරුණා - මුදිතා යන තුන සොම්නස හා නො වෙන් ව පවත්නා බැවින් චතුෂ්කනය විසින් ත්‍රිකද්ධ්‍යානිකයහ. පඤ්චකනය විසින් චතුෂ්කද්ධ්‍යානිකයහ. එසේ වනු දොම්නසින් උපදනා ව්‍යාපාද - විහිංසා - අරති යන පාපධර්‍මයන්ගේ නිර්‍ගමණයට දොරටුව වන බැවිනි. දොම්නස හා යෙදී ගත් ව්‍යාපාද - විහිංසා - අරතීන්ගේ නිර්‍ගමණයට දොරටු වූ මෛත්‍රී කරුණා මුදිතාවෝ සොම්නස් සහ ගියාහු ම වෙත්. උපේක්ෂාව වනාහි අවශෙෂ චතුෂ්කපඤ්චක ක්‍රමයෙහි චතුර්‍ත්‍ථද්ධ්‍යානික හෝ පඤ්චමද්ධ්‍යානික හෝ වන්නී ය. උපේක්ෂාසම්ප්‍රයුක්තවේදනායෙන් යුක්ත බැවිනි. සත්ත්‍වයන් කෙරෙහි මැදහත් අයුරෙන් පැවැති බ්‍රහ්මවිහාරොපේක්ෂාව උපේක්ෂාවේදනායෙන් තොර ව නො පවත්නී ය.

මෛත්‍රීචේතෝවිමුක්තිය ශුභවිමෝක්ෂය පරම කොට ඇත්තී ය. කරුණාචේතෝවිමුක්තිය ආකාසනඤ්චායතනය පරම කොට ඇත්තී ය. මුදිතාචේතෝවිමුක්තිය විඤ්ඤාණඤ්චායතනය පරම කොට ඇත්තී ය. උපේක්ෂාචේතෝ විමුක්තිය ආකිඤ්චඤ්ඤායතනය පරම කොට ඇත්තී ය. ත්‍රික - චතුෂ්කද්ධ්‍යාන වශයෙන් හා එකද්ධ්‍යාන වශයෙන් බෙදී ගිය මේ බ්‍රහ්මවිහාරයන්ගේ ශුභපරමාදි වශයෙන් උනුන් හා අසමාන වූ ආනුභාවය දත යුතු ය. මේ සිවු දෙන ශුභවිමෝක්ෂයනට උපනිශ්‍රය වන බැවින් මෙසේ වදාළ සේක.

මෙත් විහරණ ඇත්තහුට ප්‍රිය - අතිප්‍රිය - මද්ධ්‍යස්ථ - වෛරී යන මොවුහු නො පිළිකුල් ව ශුභවශයෙන් ම වැටහෙන්නෝ ය. මෙත් වැඩීමෙන් සත්ත්‍වසඞ්ඛ්‍යාත වූ යම්කිසි අරමුණක් නො පිළිකුල් ලෙසින් ගැණීම පුරුදු වූ බැවින් ඒ සියලු ම සත්ත්‍වසංස්කාරයෝ නො පිළිකුල් ලෙසින් වැටහෙත්. එබැවින් මෛත්‍රී තොමෝ සත්ත්‍වසංස්කාරයන් කෙරෙහි ඇලීම් වශයෙන් පවත්නී ය. සතුරු කෙලෙසුන් කෙරෙන් ද සිත මැනවින් මිදෙන්නේ ය. මෛත්‍රී භාවනායෙන් උපදවන ධ්‍යානය ශුභවිමෝක්ෂ නම් වූයේ එහෙයිනි. සත්ත්‍වසංස්කාරයන් පිළිකුල් ලෙසින් පුරුදු නො කළ බැවින් ස්වභාවයෙන් පිළිකුල් නො කටයුතු වූ නීලාදී වූ පරිශුද්ධවර්‍ණයෙන්හි ද සිත මෙහෙයන විට ගැහැටක් නැති ව සිත එහි වැද ගන්නේ ය. එබැවින් මෛත්‍රිය ශුභවිමෝක්ෂ නම් වූ ධ්‍යානයට උපනිශ්‍රය වේ. මත්තෙහි අන් කිසිදු විමෝක්ෂයකට උපනිශ්‍රය නො වන බැවින් මෛත්‍රිය ශුභවිමෝක්ෂය පරම කොට උතුම් කොට සිටියා යි දත යුතු ය.

බ්‍රහ්මවිහාරයන්ගේ ශුභපරමාදිභාවය සැකෙවින් මෙසේ දැන අනතුරු ව බ්‍රහ්මවිහාරයෝ දානාදී වූ සියලු යහපත් දහම් පුරාලන්නාහ යි ද දන්නේ ය.

සියලු සතුන් කෙරෙහි හිත අදහස් ඇති බැවින්, ඔවුන් දුක් නො ඉවසන බැවින්, සම්පත් පිළිබඳ චිරස්ථිතිය කැමැති බැවින්, සියල්ලන් කෙරෙහි අපක්‍ෂපාතී බැවින්, සම ව පැවැති සිත් ඇති සත්ත්‍වයෝ ‘මොහුට දියයුතු ය, මොහුට නො දියයුතු ය’ යනු විසින් කිසිවකු කෙරෙහි වෙනසක් නො කො‍ට සැපයට කරුණු වූ දන් දෙන්නෝ ය. හිංසා පීඩා දුරු කරන්නාහු සිල් සමාදන් ව ගන්නෝ ය. සිල් පුරණු පිණිස ගිහිගෙන් නික්ම පැවිදි වන්නෝ ය. සත්ත්‍වයන් පිළිබඳ හිත අහිත දෙක්හි නො මුළාවනු පිණිස ප්‍රඥාව පිරිසිදු කරන්නෝ ය. සත්ත්‍වයන්ට හිතසුව පිණිස නිතර වීර්‍ය්‍යය වඩන්නෝ ය. වීර්‍ය්‍යය විසින් ධීරභාවටය පැමිණ ද සත්ත්‍වයන්ගේ අපරාධ ඉවසන්නෝ ය. ‘මේ තොපට දෙන්නෙමු, මේ තොපට හිත වැඩ කරන්නෙමු’යි කළ පිළිණ බොරු නො කරන්නෝ ය. සත්ත්‍වයන්ට හිතසුව පිණිස ගත් නො සැලෙන අධිෂ්ඨාන ඇත්තාහ. සත්ත්‍වයන් කෙරෙහි නො සැලෙන මෙත් සිතින් පූර්‍වකාරීහු වන්නා හ. යමක්හට උපකාරයක් කොට එයට ප්‍රත්‍යුපකාරයක් නො පතන්නාහ. මෙසේ පළමු කොට බ්‍රහ්මවිහාරභාවනාවන් පුරුදු කොට ඒ ආධාරයෙන් දශපාරමීධර්‍ම පුරා දශබල - චතුර් - වෛශාරද්‍ය - ෂට්අසාධාරණඥාන - අෂ්ටාරශ බුද්ධධර්‍ම යි ප්‍රභේදගත වූ සියලු කල්‍යාණ ධර්‍ම පුරන්නාහ’යි මෙසේ මේ ‍චතුර්විධබ්‍රහ්මවිහරණයන් දානාදිසකලකල්‍යාණධර්‍ම පුරාලන බව ඉතා සැකෙවින් දතයුතු ය.

සඤ්ඤම නම්: ප්‍රාතමෝක්ෂසංවරශීලය යි. කය - වචන දෙක හික්ම වන බැවින් තමාට හා අන්හට විපත් නො වන සැ‍ටියෙන් කය - වචන හසුරුවන බැවින් එසේ කියනු ලැබේ. [3]

දම නම්: ඉන්‍ද්‍රියසංවරශීලය යි. ඇස් - කන් - නාස් ඈ ඉඳුරන් දමනය කරණ බැවින්, තමාට යටත් කරගන්නා බැවින් ඉන්‍ද්‍රිය සංවරශීලය දම නම් වේ. [4]

සො වෙ වන්තමලො ධීරො ථෙරො ඉති පවුච්චති = වමාරා දැමූ කෙලෙස් මල ඇති ධාරණප්‍රඥා ඇති හෙතෙමේ ස්ථවිරැ යි කියනු ලැබේ.

වන්තමල නම්: අර්‍හනමාර්‍ගඥාන නැමැති මුඛයෙන් නසාලූ වමාරා දැමූ කෙලෙස් මල ඇති රහතුන් වහන්සේ ය. [5]

ධීර නම්: ගිහිගෙන් නික්මුනුදා සිට රහත්මගපල ලබනතුරු ම දවරෑ දෙක්හි නිතර පැවැති වීර්‍ය්‍යයෙන් යුක්තවූයේ ය. මෙහිලා රහතුන් වහන්සේ ම ගැණෙති. [6]

ධර්‍මදේශනාවගේ අවසානයෙහි ඒ භික්‍ෂූහු රහත්බැව්හි පිහිටා ගත්හ.

ලකුණ්ටකභද්දියස්ථවිර වස්තුව නිමි.

  1. 14-6 ‘දුක්ඛං දුක්ඛසමුප්පාදං’ යනු බලනු.

  2. 8-14 ‘අපස්සං ධම්මමුත්තමං’ යනු බලනු.

  3. 2-3 ‘සඤ්ඤමෙන’ යනු බලනු.

  4. 2-3 ‘දමෙන’ යනු බලනු.

  5. 1-7 ‘වත්තකසාවස්ස’ යනු බලනු.

  6. 2-1 ‘ඵුසත්ති ධීරා’ යනු බලනු.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.