18-9 බණ ඇසූ උපාසක

නත්‍ථි රාගසමො අග්ගි නත්‍ථි දොසසමො ගහො

නත්‍ථි මොහසමං ජාලං නත්‍ථි තණ්හාසමා නදී.

රාගය හා සම ගින්නෙක් නැත. ද්වේෂය හා සම ඩැහැගැන්මෙක් නැත. මෝහය හා සම දැලෙක් නැත. තෘෂ්ණාව හා සම නදියෙක් නැත.

දවසක් තෙරුවන් සරණ ගිය පස් දෙනෙක් බණ අසනු කැමැති ව විහාරයට ගොස් බුදුරජුන් වැඳ එකත් පසෙක හුන්හ. බුදුරජහු වනාහි “මෙතෙමේ රජ ය, මෙ‍ තෙමේ බමුණු ය, මෙ තෙමේ ගැහැවිය, මෙ තෙමේ සුදුරු ය, මෙ තෙමේ පොහොසත් ය, මෙ තෙමේ දුප්පත් ය, මෙ තෙමේ නිලධර ය, මෙ‍ තෙමේ රාජ පුරුෂ ය, මෙ තෙමේ නෑ ය, මෙ තෙමේ නො නෑය, මෙ තෙමේ හිතවත් ය, මෙ තෙමේ අහිත ය, මෙ තෙමේ දොස් කියන්නේ ය, මෙ තෙමේ පසසන්නේ ය, මොහුට හොඳට බණ කියන්නෙමු, මොහුට යන්තම් බණක් කියන්නෙමු”යි චින්තාමාත්‍රයක් නම් කවදාත් කිසි කරුණක් නිසාත් නො ද උපද වන්නාහු ය. යම් කිසි කරුණක් අරැබැ දහම් දෙසන සේක් ධර්‍මගෞරවය පෙරටු කොට අහස්ගඟ බිමට බාන්නක් මෙන් ඉතා විසිතුරු කොට ම දෙසන සේක.

මෙසේ දහම් දෙසන අප බුදුරජුන් හමුවෙහි උන් ඒ පස් දෙනා අතුරෙහි එකෙක් හුන්නේ ම නිදි ගත්තේ ය. එකෙක් ඇඟිල්ලෙන් බිම කණිමින් හුන්නේ ය. එකෙක් බැහැරට ගොස් ගසක් සොලවමින් හුන්නේ ය. එකෙක් උඩ බලා හුන්නේ ය. එකෙක් අන් අතක සිත නො යවා බණ ඇසී ය. ‍එ වේලෙහි බුදුරජුන් වෙත පවන් සලමින් සිටි ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ ඔවුන් එහි හුන් ආකාරය දුටහ.

ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ

:-

ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! භාග්‍යවතුන් වහන්සේ මේ උපාසකයන්ට මහා මෙඝගර්‍ජනාවක් සේ දහම් දෙසද්දිත් මොවුන්ගෙන් එකෙක් නිදන්නේ ය, එකෙක් බිම කණින්නේ ය, එකෙක් ගසක් සොලවන්නේ ය, එකෙක් උඩ බලා හිඳින්නේ ය, එකෙක් නම් බණ අසන්නේ ය.

බුදුරජාණන් වහන්සේ

:-

ආනන්‍ද! තමුසේ මේ උපාසකයෝ කවරහ’යි දන්නහු ද?

ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ

:-

නැත, ස්වාමීනි! නො දනිමි.

බුදුරජාණන් වහන්සේ

:-

ආනන්‍ද! මොවුන් අතුරෙහි යමෙක් මෙහි නිදන්නේ ද, ඔහු දෑ පන් සියයක් සර්‍ප යෝනියෙහි ඉපද දරණ ගසා එ මතුයෙහි හිස තබා නිදිගත්තේ ය, දැනුත් ඒ පුරුද්දෙන් මෙසේ නිදන්නේ ය, එහෙයින් ඔහුගේ කණට මාගේ බණ නො ද වදින්නේ ය.

ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ

:-

ස්වාමීනි! ඒ දෑ පන් සියය පිළිවෙළින් වූයේ ද, නැත, අතරින් අතර ජාතියක් හැර ජාතියක් සර්‍ප ව උපන්නේ ද?

බුදුරජාණන් වහන්සේ

:-

ආනන්‍ද! කලෙක මිනිසකු ව කලෙක දෙවියකු ව කලෙක නාගයකු ව අතරතුර ඒ ඒ ජාතීන්හි ඉපද ඉපද එන්නා වූ මොහු නාග ව උපන් ජාති ම මෙතෙකැයි බුදුනුවණින් ද පිරිසිඳ දක්වන්නට නො හැකි ය, ජාතියක් හැර ජාතියක් නොව පිළිවෙළින් ම මෙතෙමේ දෑ පන් සියයක්ම නාග යෝනියෙහි ඉපද, නිදන්නේ ද, නිදීමෙන් සෑහීමට නො පැමිණියේ ය, දැනුත් නිදන්නේ එහෙයිනි,

.

ආනන්‍ද! බිම කණිමින් සිටින උපාසක දෑ පන් සියයක් ගැඩවිල් යෝනියෙහි ඉපද පොළොව සෑරී ය, ඒ පුරුද්දට දැනුත් පෙළොව සාරන්නේ ය, ඒ මුත් ඔහු ද මාගේ බණ නො අසන්නේ ය,

.

දෑ පන් සියයක් වඳුරු යෝනියෙහි ඉපද ආ උපාසක, එදා ගස් කොළන් අතුරිකිලි සොලොව සොලොවා හුන් පුරුද්දෙන් අදත් ගස් කොළන් සොලවනු විනා බණ නො අසන්නේ ය, ඔහුගේ කණට මාගේ දහම් හඬ නො වදින්නේ ය,

.

අහස බලා සිටුනා උපාසක, පෙර පිළිවෙළින් දෑ පන් සියයක් නැකැති ව උපන්නේ ය, එදා නැකැත් තරු බලා සිටි පුරුද්දෙන් අදත් අහස දෙස බලා සිටින්නේ ය, ඔහුට ද මාගේ බණින් වැඩෙක් නැත,

ආනන්‍ද! බණ අසන උපාසක, දෑ පන් සියයක් මිනිස් ව ඉපිද වෙද මන්ත්‍ර හදාරමින් ආයේ ය, ඒ ඒ ජාතීන්හි වෙද මන්ත්‍රයන්හි පරතෙරට ගිය වෙද මන්ත්‍ර හදාළ බමුණ විය, ඒ නිසා මන්ත්‍ර සසඳන්නකු මෙන් සකසා අදත් බණ අසන්නේ ය.

ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ

:-

ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! භාග්‍යවතුන් වහන්සේගේ දහම් දෙසීම තුනු සිවි ඈ සිඳ‍ ගෙණ ඇට මිදුළුවල වැදී සිටුනේ ය, එසේ වතුදු බුදුරජුන් දහම් දෙසන කල්හි කුමක් හෙයින් මොවුහු සකස් ව දහම් නො අසත් ද?

බුදුරජාණන් වහන්සේ

:-

ආනන්‍ද! තමුසේ මාගේ ධර්‍මය හැම දෙනකුට එකසේ ඇයි හැකි ය යි සිතන්නහු ද?

ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ

:-

ස්වාමීනි! හැම දෙනකුට බුදුරජුන්ගේ බණ ඇසීම අපහසු ද?

බුදුරජාණන් වහන්සේ

:-

ඔව්, ආනන්‍ද! අපහසුයි, බුද්ධ - ධම්ම - සඞ්ඝ යන මේ පද තුන, මේ සත්ත්‍වයන් විසින් නොයෙක් කප් කෙළ සිය දහසෙක්හිදු නො ඇසූ විරූ ය, බණක් අසන්නට නො හැකි වූ මේ සත්ත්‍වයෝ අග මුල නො දත හැකි සසරෙහි දිගට සැරිසරා එන්නෝ නන්වැදෑරුම් තිරිසන් කතා කරමින් අසමින් ආවාහු ද, එහෙයින් මොවුහු දැන් රා අරක්කු බොමින් කෙළිමඬුලුවල නටමින් ගයමින් ජඩ ව හැසිරෙන්නෝ ය, ඒ නිසා මොවුනට බණ දහම් අසන්නට සිත් නො උපදනේ ය, මොවුහු බණ දහම් ඇසීමෙහි අපොහොසත් වෙති.

ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ

:-

ස්වාමීනි!‍ මේ සත්ත්‍වයෝ බණ දහම් ඇසීමෙහි අපොහොසත් වෙති, යි වදාරණුවෝ කුමක් නිසා ද?

බුදුරජාණන් වහන්සේ

:-

රාගය නිසා ආනන්‍ද! ද්වේෂය නිසා මෝහය නිසා තෘෂ්ණාව නිසා, ආනන්‍ද! රාගය තරම් ගින්නෙක් කොතැනකත් නැත, රාගය මහා ගින්නෙක, රාග ගින්න, අලුත් ඉතිරි නො කොට සත්ත්‍වයන් දවාලන්නේ ය, කල්පවිනාශ කාලයෙහි සත් හිරු පහළවීම නිසා හට ගන්නා කප් නස්නා ගින්න ද කිසිවකුත් ඉතිරි නො කොට දවන්නේ නමුත් එය හැමදා පවත්නා ගින්නෙක් නො වේ, එය එක් ම කාලයෙක හට ගෙණ දැවිය යුත්ත පමණක් දවන්නේ ය, ආනන්‍ද! රාගගින්න එසේ එක් කළෙක හටගන්නෙක් නො වේ, සතත්‍වයා එයින් නො දැවෙන කාලයෙක් නැත්තේ ය, හැම දවස හැම පැය හැම මොහොත සතත්‍වයා රාගගින්නෙන් ද දැවෙන්නේ ය, එහෙයින් රාගය තරම් ගින්නෙක් නැත, එසේ ම ද්වේෂය තරම් ඩැහැගැන්මෙක් මෝහය තරම් දැලෙක් තෘෂ්ණාව තරම් ගඟක් නැත.

මෙසේ වදාළ බුදුරජානන් වහන්සේ නැවැත මේ ධර්‍මදේශනාව කළ සේක.

නත්‍ථි රාගසමො අග්ගි නත්‍ථි දොසසමො ගහො,

නත්‍ථි මොහසමං ජාලං නත්‍ථි තණ්හා සමා නදීති.

රාගය හා සම ගින්නෙක් නැත. ද්වේෂය හා සම ඩැහැගැන්මෙක් නැත. මෝහය හා සම දැලෙක් නැත. තෘෂ්ණාව හා සම නදියක් නැත.

නත්‍ථි රාගසමො අග්ගි = රාගය හා සම ගින්නෙක් නැත.

“රාගය හා සම ගින්නෙක් නැතැ”යි වදාළෝ ගින්න යම්කිසිවක් නිසා හටගන්නේ නම් පළමු කොට එය ම දවා හලු කොට හරින්නා සේ රාගය යම් කිසිවකුගේ සන්තානයෙහි නැගී ආයේ නම් ඔහු දවා ලන්නේ ද එහෙයිනි. ගින්න, හසු වන හසු වන හැම දැය දවන්නේ ය. රාගයත් රාගීහු පිළිබඳ ආයු වර්‍ණාදිය හා ධනධාන්‍යාදිය ද දවන්නේ ය. රාග ගින්නෙන් තැවී දැවී ගිය සිත් ඇති ව මරණයට පැමිණියවුන්ගේ පැමිණෙන්නන්ගේත් ගණනෙක් නැත. “රාග්ගහි දහති මච්චෙ රත්තෙ කාමෙසු මුච්ඡිතෙ” යනු ද දන්නේ ය. රාග ගින්න, රාගයෙන් රත් වූ කාම වස්තූන් හි මූඪ වූ මිනිසුන් දවා ලන්නේ ය, යනු එහි අරුත්.

අග්ගි නම්: ගින්න ය. වෛදිකයන් විසින් ගින්න දෙවියකු කොටත් සියලු වෛදික දෙවතාවුන් අතුරෙහි ඉන්‍ද්‍රදේවතාවාට දෙවන කොටත් දක්වන ලද්දේ ය. මේ මෙයට සාධකයෙක්:

“ත්‍වමගෙන සර්‍වදෙවානං ශරීරාන්තරගොචරඃ,

ත්‍වං සාක්‍ෂී මම දෙහස්ථස්ත්‍රාහි මාං දෙවසත්තම!”

එම්බා! අග්ගි! තෝ සියලු දෙවියන්ගේ ශරීරාවකාශය ගොදුරු කොට සිටිහි. තෝ ප්‍රත්‍යක්‍ෂයෙහි. මාගේ සිරුරෙහි සිටිහි. දෙවොත්තමය! මා රකුව. ගින්න, මිනිසුන්ගේ ගතිපැවතුම් දනීය යි වෛදිකයෝ කියත්:

“ආදිත්‍යචන්‍ද්‍රාවනිලොනලශ්ව

ද්‍යෞර්භූරාපො හෘදයං යමශ්ච,

අහඹ්ච රාත්‍රිශ්ච උභෙ ච සන්‍ධ්‍යෙ

ධර්‍මශ්ව ජානාති නරස්‍ය වෘත්තම්”

යනු ඒ කීම ය. සූර්‍ය්‍ය - චන්‍ද්‍ර - වාත - අග්නි - අහස - භූමි - ආප - හෘදය - යම - දිවා - රාත්‍රි - උභය සන්‍ධ්‍යා - ධර්‍ම යන මොවුහු මිනිසාගේ පැවැත්ම දනිත්.

තවද අග්නි, සියලු දෙවියනට පළමුව ආරාධනය කටයුතුබව කියා ඍග්වෙදයෙහි සර්‍වප්‍රථම සූක්තයෙහි “අග්නිං ඊළේ, ඊළේ අග්නිං, ඊළේ පුරෝහිතම්” යනාදිය කියන ලද්දේ ය.

වෛදිකයන් ගින්න කෙරෙහි, තමන් ගත් අරුත් දක්වන්නට ආරොපණය කළ නම් රාශියක් ඔවුන්ගේ පොතපතෙහි දක්නට ලැබේ. ඔවුන් එක් තැනෙක අග්නිය පොළොවෙහි ගින්න මෙන් අන්තරීක්‍ෂයෙහි විදුලිය මෙන් ආලෝකයෙහි හිරුමෙන් දක්වා ඇත්තේ ය. වෛදිකයන්ගේ මේ කියුම් සිතින් මවා ගත් බොරු කියුම් ය. එහෙයින් විඥයන් විසින් නො ගතයුත්තේ ය. වෛදිකයෝ ස්වභාවසිද්ධවස්තුතත්ත්‍වයක් වූ ගින්න තම තමන්ගේ යාගහොමාදියෙහි යොදා ගත්තාහු අවසානයෙහි දෙවත්‍වයට පමුණුවාලූහ. එතැන් සිට ඔවුනට ගින්න දෙවියෙක් විය. සඳ - හිරු - අහස - පොළොව - වා - දිය - යනාදීහු ද ප්‍රකෘති සිද්ධයෝ ය.

බුදුරජානන් වහන්සේ වැඩි වශයෙන් අග්ගි යනු යොදා ගත් බව දේශනායෙන් පැහැදිලි වන්නේ ය. ඉදිරියෙහි ඇති හසු හසුවන කුදු මහත් හැම දැය දවා යනුයේ අග්ගි යි අප විසින් ගතයුතු යතරුත ය. මිනිසුන්ගේ මෙලොව ජීවිතයට මෙයින් ලැබෙන වහළ ඉමහත් ය. මේ නොවේ නම් මිනිසුනට ජීවත්වනු ද නො හැකිය. වෛදිකයන් දෙවත්‍වයෙහි ලා ගත් ගින්න නො ව අනුදහනාර්‍ත්‍ථවත් ගින්න ම මෙහි අදහස් කරණලද ය. රාගයත් එසේ අනුදහනාර්‍ත්‍ථවත් බැවින් රාගය ම රාගග්ගි යයි කියනු ලැබේ [1]

නත්‍ථි දොස්සමො ගහො = ‍ද්වේෂය හා සම ඩැහැගැන්මෙක් නැත.

යක් - පිඹුරු - කිඹුල් - කොටි - වග ඈ සතුනට හැමදා මිනිසුන් ඩැහැ ගත හැකි නො වේ. ඒ වන්නේ ඉතා කලාතුරෙකිනි. එහෙත් මොවුන් විසින් ඩැහැගැන්මෙන් වන දුක ද ජාතියක් පාසා ඉදිරියට නො යන්නේ ය. එය එක් ජාතියකින් ම කෙළවර වේ. ද්වේෂ කිරීමෙන් වන දුක එසේ නො වේ. එය සසර වසන තාක් ම ‍ද්වෙෂීහු ලුහු බැඳ පසුපස එළවා යන්නේ ය. එහෙයින් ද්වේෂය තරම් ඩැහැගැන්මෙක් නැතැ යි වදාළ සේක. [2]

නත්‍ථි මොහසමං ‍ජාලං = මෝහය හා සම දැලෙක් නැත.

වේගයෙන් යන මෘගපක්‍ෂිමතස්‍යාදීන් හසු කොට ගන්නේ ජාල නම්. එය ඒ ඒ සතුන් බැඳ ගැණීමෙහිලා ව්‍යාධාදීන් විසින් යොදනු ලබන්නේ ය. [3]

මෝහය ද හැමතින් සත්ත්‍වයන් බඳිනා වළඳනා අරුතින් දැලක් වැනි ය. මෝහයෙන් මූඪ වූ සත්ත්‍වයෝ කෙළවරක් නො දත හැකි කලක් සසර බැඳි අපා‍යයෙහි වැටී දුක් විඳින්නෝ ය. දැලට බැඳුනු සතුනට වැද්දා අතින් කෙවුළා අතින් නිදහස් වනු නො හැකි සේ මෝහයෙන් මුළාවූවනට සසරින් නිදහසෙක් නො වන්නේ ය. එහෙයින් මෝහය තරම් දැලෙක් නැතැ’යි වදාළ සේක. [4]

නත්‍ථි තණ්හා සමා නදී = තෘෂ්ණව හා සම නදියක් නැත.

“ගඞ්ගාදීනං පුණ්ණකාලොපි ඌනකාලොපි සුක්ඛකාලොපි පඤ්ඤායති, තණ්හාය පන පුණ්ණකාලො වා සුක්ඛකාලො වා නත්‍ථි, නිච්චං ඌනාව පඤ්ඤායතීති දුපපූරියට්ඨෙන තණ්හාය සමා නදී නාම නත්‍ථි” යනු අටුවා. ලෝකයෙහි ප්‍රකෘතිසිද්ධ ගංඟාදීන්ගේ දිය පිරුණු කාලයෙක් දිය අඩුව ගිය කාලයෙක් මුළුමනින් වියලී ගිය කාලයෙක් දක්නට ලැබේ. තෘෂ්ණගඞ්ගාවට එසේ දිය පිරුණු, වියලුනු කාලයෙක් නැත්තේ ය. එය හැමදා ඌනව ම පෙණෙන්නී ය. රන් රිදී මුතු මැණික් දූ දරු ඈ කාමවස්තු කොතෙක් ලදුවත් තව තවත් පතනු සොයනු රැස් කරණු විනා සැහීමෙක් නො ලැබෙන්නේ ය.

නදී යනු ගඞ්ගාවට නමෙකි. නිතර වාතවේගයෙන් සැලෙන ජලය හඬ නගනා බැවින් එක් තැන රැස් ව සිටි ජලස්කන්‍ධය “අභික්ඛණං නදතීති = නදී” යනු විසින් නදී යි හඳුන් වනු ලැබේ. ඒ ඒ පර්‍වතයන්ගෙන් ඇද හැලෙන ජලය ගලා ගොස් ඒ ඒ තැන රැඳී සිටියේ ගං හෝ බවට පැමිණියේ ය. එබඳු ගඞ්ගාවෝ කලෙක ජලයෙන් පිරී ගන්නෝ ය. කලෙක අඩු වන්නෝ ය. කලෙක මුළුමනින් වියැලෙන්නෝ ය.

ධර්‍මදේශනාවගේ අවසානයෙහි සකසා බණ අසා හුන් ඒ උපාසක තෙමේ සෝවන් ඵලයෙහි පිහිටියේ ය. ධර්‍මදේශනා තොමෝ පැමිණ සිටි පිරිසට ද වැඩ සහිත වූ ය.

පඤ්චඋපාසක වස්තුව නිමි.

  1. 1-7 ‘අනික්කසාවො’ යනු බලනු.

  2. 1-7 ‘අනික්කසාවො’ යනු බලනු.

  3. 13-7 ‘ජලමුත්තොච’ යනු බලනු.

  4. 1-7 ‘අනික්කසාවො’ යනු බලනු.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.