18-10 මෙණ්ඩක සිටානෝ

සුදස්සං වජ්ජමඤ්ඤෙසං අත්තනො පන දුද්දසං

පරෙසං හි සො වජ්ජානි ඔපුණාති යථා භූසං

අත්තනො පන ඡාදෙති කලිං’ව කිතවා සඨො.

අනුන්ගේ අණුමාත්‍ර වූ වරද සුව සේ දැක්ක හැක්ක. තමාගේ වූ කලි මහත් වූ වරද ද දැක්ක නොහෙන්නේ ය. ඒ අනුන්ගේ වරද සොයන පුද්ගල තෙම මඳ වූ ද අනුන්ගේ දෝෂයන් උස් තැනෙක සිට රොඩු බොල් පොළන එකක්හු මෙන් පොළන්නේ ය (නගා පාන්නේ ය). තමාගේ වූ කලි මහත් වරද පවා වසන්නේ ය. (පැටි කරන්නේ ය, වළහන්නේ ය). කොළ පැලැලි ආදියෙන් සිරුර මුවහ කරණ වංචක ලිහිණිවැද්දා මෙනි.

තිලෝගුරු සම්මා සම්බුදු රජානන් වහන්සේ අඞ්ගුත්තරාප දනව්වෙහි සැරි සරණ සේක් මෙණ්ඩක සිටු, ඔහුගේ බිරිය වූ චන්‍ද්‍රපදුමා, පුතනු වූ ධනඤ්ජය සිටු, ලේළිනිය වූ සුමනා, මිනිබිරිය වූ විසාඛා, දාස වූ පුණ්ණ යනු මොවුනට තුබූ සෝවන් පලයට පැමිණීමෙහි පුණ්‍යසම්පත්තිය දැක භද්දිය නගරයට වැඩ දෑසමන් වෙනෙහි වැඩ විසූ සේක. මෙණ්ඩක සිටු බුදුරදුන් භද්දිය නගරයට වැඩ දෑසමන් වෙනෙහි වැඩ වසන බව දැන ගත්තේ ය.

මෙණ්ඩක සිටුහුගේ පහය පිටිපස අට කිරියක් පමණ වපුරණ තැන ඇතුන් තරමට අසුන් තරමට ගොනුන් තරමට ගනරන්මුවා එළුවෝ පොළොව පළා ගෙණ පිටින් පිට පැහැර පැන නැගී සිට ගත්හ. ඔවුන්ගේ මුවතුළ පස් පැහැයකින් විසිතුරු වූ හූවට බහන ලද්දේ ය. ගිතෙල් තලතෙල් මීපැණි උක්හකුරු ඈ යමකින් හෝ ඇඳුම් කැඩුම් රන් රිදී මුතු මැණික් ඈ යමකින් හෝ වැඩක් ඇති කල්හි ඔවුන්ගේ මුවතුළින් හූවට බැහැර කරත්. එවේලෙහි එක් එළුවකුගේ මුවෙන් පමණකුත් දඹදිව් වැස්සනට පොහොනා පමණට ගිතෙල් තලතල් මීපැණි උක්හකුරු ඇඳුම් කැඩුම් රන් රිදී මුතු මැණික් බැහැරට එන්නේ ය. එතැන් සිට ඒ සිටු තෙමේ මෙණ්ඩකසිටු යි ප්‍රසිද්ධ විය. මේ මහත් පුණ්‍යර්ද්ධිය ලැබීමට ඔහු පෙර කළ කුශලකර්‍මය මෙසේ දත යුතු ය.

මෙතෙමේ විදර්ශී බුදුරජුන්ගේ කාලයෙහි අවරොජ නම් කෙළෙඹියාගේ බෑනා වූයේ මාමා හා සමාන නම් ඇතියේ අවරොජ නම් විය. එදවස ඔහුගේ මාමා බුදුරජානන් වහන්සේට වැඩ හිඳිනු පිණිස ගඳකිළියක් කරන්නට පටන් ගත්තේ ය. ඒ දුටු බෑනා මමා වෙත ගොස් “මාමේ! අපි දෙදෙන ම එකතු ව මේ ගඳකිළිය කරමු”යි කී කල්හි “බෑනා! මට එයට එකඟ වන්නට නො හැකි ය, මම අන්කෙනකු හා එක් ව මේ ගඳකිළිය කරන්නට නො කැමැත්තෙමි, මම මෙය එකලා ව ම කරන්නෙමි”යි ඔහුගේ ඉල්ලීමට ඉඩ නො දුන්නේ ය. “හොඳයි, වේවා මාමා මෙතැන ගඳකිළිය ගොඩ නගා අවසන් කළ පසු මමත‍් මෙහි කුඤ්ජර නමින් ශාලාවක් කරවන්නෙමි”යි සිතා ඔහු වනයට කම්කරුවන් යවා ඔවුන් ලබා එයට නිසි වූ දැවදඬු ගෙන්වා තමන් අදහස් කළ පරිදි එහි කුඤ්ජරශාලාව කර වී ය. එහි එක් කණුවක් රුවන් ඔබ්බවා ක් කණුවක් රිදී ඔබ්බවා, එක් කණුවක් මැණික් ඔබ්බවා කර වීය. මෙසේ එහි කණු තලාඳ මුදුන්යට උළුවහු කවුළුදොර පරාල වහල්උළු යන හැම එකෙක් රන් ඔබ්බවා ම කරවන ලද්දේ ය. එහි මතුයෙහි කරවනලද කොත තබන කපාලය ගනරන්මුවා ය. දිය බැහැර යන කොටුව හා කොත් කැරැල්ල පබළුමුවා ය. කුඤ්ජරශාලාව මැද රුවන් මණ්ඩපයක් කරවා ධර්‍මාසනයක් පිහිටුවා ලීය. එහි පා හා විට්ටම් සතර ගනරන්මුවා ය. රන්මුවා එළුවන් සතර දෙනකු ධර්‍මාසනයෙහි පාඅලු කොට පාසතර යට තැබී ය. රන්මුවා එළුවන් දෙදෙනකු පා පුටුව යට ද, රන්මුවා එළුවන් සදෙනකු මණ්ඩපය වටා ද තැබී ය. ධර්‍මාසනය පළමු කොට හූවලින් ද ඒ මැද රන්කෙඳි වලින් ද වියවා මුදුන පටහුයින් වියැවී ය. එහි හේත්තුපුවරුව සඳුන් ලීයෙන් කරවන ලද්දේ ය. මෙසේ කුඤ්ජර ශාලාවෙහි සියලු වැඩ අවසන් කරවා ශාලාව පිළිබඳ පුද උලෙළ කරණුයේ බුදුරජුන් ප්‍රධාන අටසැට දහසක් භික්‍ෂූන් පවරා සිවුමසක් මහදන් දී අවසාන දිනයෙහි ඒ හැම දෙනාවහන්සේට තුන් සිවුරු ද පිදී ය. හැම දෙනාවහන්සේට බාල ව සිටි මහණහු ලත් තුන් සිවුරු දහසක් අගනේ විය.

මෙසේ මෙතෙමේ විදර්ශී බුදුරජුන්ගේ කාලයෙහි පින්කම් කොට ඒ අත්බවෙන් ච්‍යුත ව දෙව්මිනිසුන් අතර සැරි සරණුයේ මේ කල්පයෙහි බරණැස් නුවර මහාසම්පත් ඇති සිටුගෙයක ඉපද නමින් බරණැස්සිටු යි ප්‍රසිද්ධ වී ය. ඔහු එක් දවස් රජුට උවටැන් සඳහා යනුයේ පෙරෙවි බමුණා දැක “ගුරුන්නාන්සේ! කොහොම ද, නැකත් මෙහොත් බලහු දැ?”යි ඇසීය. “ඔව්, පරීක්‍ෂා කොට බලමි, නැකැත් මොහොත් බලනු මිසක් අපට ඇති අන් කාරිය කිමැ”යි පෙරෙවි බමුණා කී කල්හි “එසේ නම් අපගේ මේ රටට වන වැඩ අවැඩ බලා කියන්නැ”යි කී ය. බමුණා ද නැකැත් මොහොත් බලා “එක් බියක් වන්නට ඉඩ ඇතැ”යි කී ය. ඒ වන්නට තිබෙන බිය කිමැ?”යි ඇසූ කල්හි “සිට! දුර්භික්‍ෂයෙන් හට ගන්නා බියක් විය හැකි ය”යි කී ය. “ඒ කවදා වන්නේ දැ”යි විචාළ විට “මෙයින් අවුරුදු තුනක් ගිය තැන විය හැකිය”යි බමුණා කීයේ ය.

සිටු තෙමේ එය අසා ගොවිතැන් බොහෝ කොට කරවා ගෙයි තුබූ මිලමුදලින් ද හැල්වී ඈ ධාන්‍ය ගෙන්වා එක් දහස් දෙසිය පණසක් කොටුගුල් කරවාලා සියලු කොටුගුල් වී වලින් පුරවා ලී ය. කොටුගුල් නො‍ පොහොනා කල්හි මහසැළි තාලි කළ කොතල ඈ පුරවා, එයිනිදු ඉතිරි වූ සියල්ල බිම වළ ගස්වා තබා එසේ කොටත් ඉතිරි වූ හරිය මැටි හා එක්කොට හනා බිත්තිවල ගැස් වී ය. බමුණා කියූ ලෙසට තුන් අවුරුද්ද ගිය තන භය හටගත්තේ ය. සිටු තෙමේ කොටුගුල්වල හා හැළි තාලි කොතල ආදියෙහි පුරවා තුබූ වී හාල් පිස අනුභව කරණුයේ වී සහල් අවසන්ව ගිය කල්හි පිරිවරජනයා කැඳවා “දරුවෙනි! තෙපි හැමදෙන පිළිවන් පිළිවන් තැනකට ගොස් කඳු බෑවුම් ඇසුරු කොට හිඳ දිවි යවා රට ආහාරපානයෙන් පිරී ගත් පසු මාවෙත එනු කැමැත්තහු එවු, නො එනු කැමැත්හු එහි ම රැඳී වතුපිටි කුඹුරු හේන් වවා වඩා ගෙණ දිවි පවත් වවු”යි කී ය. ඔවුහු තමන් අයත් හැම දැය මිටි බැඳ කර තබා ගෙණ අඹුදරුවනුත් සමග පිටත් ව ගියහ. සිටානන් කෙරෙහි ඇලී බැඳී සිටි පුණ්ණ නම් මෙහෙකරු තෙමේ සාබිය ගැණ නො සලකා සිටානන්ට පක්‍ෂ පාත ව වන්නෙක් වේවා යි සිටානන් වෙත ම රැඳී ගත්තේ ය. පුණ්ණ, සිටු, සිටුබිරිය, සිටුපුත්, සිටුලේළිය යන පස්දෙන එහි රැඳුනාහ. ඔවුහු වළ කැණ එහි තැන්පත් කොට තැබූ ධාන්‍යය ද අවසන් වූ කල්හි බිත්තිවල මැටි ගස්වා තුබූ ධාන්‍යය බිම හෙලා දියෙන් තෙමා වී වෙන් කොට ගෙණ වියලා කොටා පොළා සහල් ගෙණ එයින් යැපුනාහ. සාබිය දිගින් දිගටම පවත්නා කල්හි සිටුබිරිය, මැටි හා මුසු කොට තුබූ වී ද අවසන් වන බව දැක බිත්තිමුල්හි ඉතිරිව තුබූ වී ටිකත් බිත්තිමුල් හාරා අරගෙණ දියෙන් තෙමා සෝදා ගරා මැටිකැට හැර දමා දෙනැළියක් පමණ වී වණැ ලා කොටා එක් සහල් නැළියක් ගෙණ “සායෙහි සොරු බොහෝ ය”යි සොරබිය නිසා කළයෙක ලා පස් නො වැටෙන ලෙසට වැසුන් බැඳ පොළොව සාරා වළෙහි ලා තැබූ ය.

දවසක් සිටු‍ තෙමේ රජුට උවටැනට ගොස් අවුත් “සොඳුර! බඩගිනි යි, කන්නට මොකුත් තිබේ දැ”යි බිරියගෙන් ඇසී ය. ඕ තොමෝ තුබූ දැය නැතැ’යි නොකියා “හිමි! හාල් නැළියක් තිබේ ය”යි කිවු ය. “ඒ කොහි දැ”යි ඇසූවිට “සොරබිය නිසා පොළොව වළක් සාරා එහි තැබූ ය”යි දැන් වූ ය. “එසේ නම් එය ගෙණ ටිකක් පිසව”යි කී කල්හි “හිමි! කැඳ පිසන්නෙම් ද, නැත, බත් පිසන්නෙම් ද? කැඳ පිසන්නේ නම් ඒ හාල් දෙවරකට සෑහෙන්නේ ය, බත් පිසන්නෙම් නම් එක් වරකට සෑහෙන්නේ ය, පිසන්නෙම් කැඳ ද, බත් දැ’යි කියනු මැනැවැ”යි කීවා ය. “අපට මේ හැර අන් පිහිටෙක් නෑ නො වේ ද, බත් ම කාලා මැරෙමු, බත් ම පිසන්නැ”යි කී කල්හි ඕ තොමෝ බත් පිස කොටස් පහක් කොට සිටානන්ගේ කොටස පිඟානට බෙදා ඔහුගේ ඉදිරියෙහි තැබූ ය.

ඒ වේලෙහි ගන්‍ධමාදනපර්‍වතයෙහි වැඩ වසන පසේ බුදුකෙනෙකුන් වහන්සේ සමාපත්තියෙන් නැගී සිට ලොව බලා වදාරණ සේක් එදවස දඹදිව පුරා පැවති සාබියෙන්, සිටුගෙදරක පස්දෙනෙකුට එක් ම සහල් නැළියක බත් පිසා ඇති බවත්, “මේ ගෙයි වැස්සෝ සැදැහැති ද, මට සඞ්ග්‍රයක් කිරීමට මොවුනට හැකි දැ”යි විමසත් ඔවුන් සැදැහැතියන් බවත් දැක සිවුරු ගැටවටු ගන්වා පාත්‍රය ගෙණ ඒ සිටුගෙයි දොරකඩට පැමිණ තමන් දැක්වූ සේක. සමාපත්තිය තුළ දී සමාපත්තිබලය නිසා සමාපත්තික තෙමේ නො ද පෙළෙන්නේ ය. සමාපත්තියෙන් නැගී සිටි කල්හි බඩගින්න උදරපටලය දවන්නාක් මෙන් බලවත්ව නැගී සිටියි. එහෙයින් සමාපත්තියෙන් නැගී සිටියේ ම ආහාරපාන ලැබෙන තැනක් බලා වඩින්නේ ය. එදවස උන්වහන්සේට යමක් පිදූයේ සෙනවිරත් තනතුරු ඈ යම්කිසි තනතුරක් ලබා සම්පත්තියෙන්න ආඪ්‍ය වන්නේ ය.

සිටු තෙමේ ගෙදර වැඩ සිටි උන්වහන්සේ දැක පහන් සිත් ඇතියේ “පෙරත් දන් පින්කම් නො කළ බැවින් මට දැන් මෙබඳු බිහිසුණු සායකට මූණ දෙන්නට සිදු විය, මේ බත් පිඟානෙන් ද මට එක් දවසක් ම බඩගිනි නිවා ගත හැකි ය, එහෙයින් මම මේ බත් පිඟාන මුන්වහන්සේට පුදන්නෙමි, එය මට නොයෙක් කප් කෙළ ගණනක් හිතසුව එළවනු එකාන්ත ය”යි සිතා අතට ගත් බත්පත පැත්තක තබා පසේ බුදුරජුන් වෙත එළැඹැ පසඟ පිහිටුවා වැඳ ගේතුළට වැඩම කරවා අසුනෙහි වඩා හිඳුවා පා දොවා ඒ බත්පත් රන්මුවා දරණුවක තබා ගෙණවුත් බුදුරජුන්ගේ පාත්‍රයෙහි බැහී ය. එයින් අඩක් පාත්‍රයෙහි බහත් ම උන්වහන්සේ පාත්‍රය අතින් වැසූහ. එවිට සිටු තෙමේ “ස්වාමීනි! පස්‍ දෙනකුන් උදෙසා එක් සහල් නැළියකින් පිසු බතින් මේ එක් කො‍ටසෙකි මෙය නැවැත දෙකට බෙදන්නට නො හැකි ය, මට මෙලොවින් සඞ්ග්‍රහයෙක් වුවමනා නැත, මම මේ බත් සියල්ල බුදුරජුන්ට පුදනු කැමැත්තෙමි, එහෙයින් මේ බත්පත පිළිගත මැනැවැ”යි බත්පත පිළිගැන් වී ය. පිළිගන්වා “ස්වාමීනි! මෙයට පසු කිසිකලෙක උපනුපන් තැනක මෙබඳු සාබියෙක් දක්නට නො ලැබේවා, මෙතැන් පටන් සියලු දඹදිව් වැස්සනට බත්බිජුවට දෙන්නට මම සමත් වෙම්වා, ජීවිතාව පිණිස සියතින් වැඩ කිරීමෙහි ගැහැටක් නො වේවා, මේ එක් දහස් දෙසිය පණසක් කොටුගුල් සිස් කරවා පිරිසිදු කරවා ඉස් සොදා නාපියා කොටුගුල් දොරකඩ සිට මා උඩ බැලූ ඇසිල්ලෙහි රත්හැල් වී කඳුවලින් ‍මාගේ කොටුගුල් පිරී ඉතිරී‍ යේවා, එසේම උපනූපන් හැම තැන මේ බිරිය මට බිරිය වේවා, මේ පුත් මට පුත් වේවා, මේ ලේළිය මට ලේළි වේව, මේ දස් මට දස් වේවා”යි පැතී ය.

මේ පිදීම් පැතීම් දුටු ඔහුගේ බිරිය ද “මාගේ හිමි බඩසයින් පෙළෙද්දී මම කෙසේ කන්නෙම් දැ”යි තමාගේ බත් කොටසත් පසේ බුදුරජුන්ට පුදා “ස්වාමීනි! සසර උපදනා තාක් කිසි කලෙක මෙබඳු සායක් දක්නට නො ලබම්වා, බත්තලිය ඉදිරියෙහි තබාගෙණ දඹදිව් වැසි සියල්ලන්ට බත් බෙදා දී මා එතැනින් නැගී සිටිනාතුරු බත්තලිය පිරී ඉතිරී සිටියේ ම වේව, එහි අඩුබවක් නම් නො දකිම්වා, මෙ තෙමේ මට ජාති ජාතියෙහි හිමි වේවා, මෙතෙමේ මට පුත් වේවා, මෝ මට ලේළි වේවා, මෙතෙමේ මට දස් වේවා”යි ම හිමියා පැතූ සේ පැතූ ය.

පුත්‍ර තෙමේ ද තමාගේ කොටසත් පුදා “මෙතැන් පටන් මේ පිණින් මෙවැනි බිහිසුණු සාගතයකට මූණදීමක් නො ලබම්වා, කහවණු දහසක් ලා බැඳි පසුම්බියක් ගෙණ දඹදිව් වැසි සියලු දෙනාට මුදල් බෙදා දෙන අතරේ දී මාගේ මුදල් පසුම්බිය මොනලෙසකිනුත් අඩු නො වේවා, පිරී සිටියේ ම වේවා, මේ දෙමවුපියෝ ම මට සසර වසනතුරු මවුපියහු වෙත්වා, මෝ ම මට බිරිය වේව, මේ තෙමේ ම දස් වේවා”යි පැතූයේ ය.

ලේළි ද තම කොටස පුදා “මෙවක් පටන් මෙබඳු දරුණු දුකකට කිසිදාකත් හසු නො වෙම්වා, එක් ම වී පැසක් ගෙණ දඹදිව වසන්නවුනට බෙදා දෙන ගමනේ දී එහි වී වල කිසිම අඩුබවෙක් නො වේවා”යි පතා ගත්තා ය.

දාසයා ද තමාට ලැබුනු කොටසත් පුදා “මෙසේ වූ දුර්භික්‍ෂයෙක් කවදාකත් නො වේවා, මා සීසාන විට මෑතින් හීවට තුනක, ඈතින් හීවට තුනක, මැදින් එක් හිවටෙකැ යි දැව ඔරුවක් පමණ වූ හීවට සත සත එකවිට ම යේවා”යි පතා ගත්තේය. දාසය මේ පිණෙන් එදවසම සෙනෙවිරත්තනතුරු ලබන්නට සමර්‍ත්‍ථ ව සිටියේ ද තම ස්වාමියා කෙරෙහි වූ ස්නේහයෙන් “මොවුහු ම මාගේ ස්වාමීහු වෙත්වා”යි පැතී ය. එහෙයින් සෙනෙවිරත්තනතුර එදවස නොලැබින.

පසේ බුදරජානන් වහන්සේ ඔවුන්ගේ පැතුම් අවසන්හි “එසේ වේවා”යි වදාරා ප්‍රත්‍යෙක බුද්ධගාථාවන්ගෙන් අනුමෙවෙනි කොට “මා විසිනුදු මොවුන්ගේ සිත් පැහැද විය යුතු ය”යි සිතා “මා ගන්‍ධමාන පර්‍වතයට යනතුරු මොවුහු මා දකිත්වා”යි ඉටා ගන්‍ධමාන පර්‍වතයට වැඩිය සේක. ඔවුහු ද ඇස්පිය නො හෙළා උන්වහන්සේ දෙස බලා සිටියහ. උන්වහන්සේ ගෙණ ගිය හාල් නැළියේ බත් පන්සියයක් පසේ බුදුවරුනට බෙදා දී වැළඳූ සේක. ඒ බත් උන්වහන්සේගේ ආනුභාවයෙන් හැමදෙනා වහන්සේට සෑහී ගීයේ ය. ඔවුහු උන්වහන්සේලා වළඳනු ද බලා සිටියහ. මැදි දහවල ඉක්ම ගිය පසු සිටු බිරිය සැළිය සෝදා වසා තැබූ ය. සිටු තෙමේ බඩගිනි ඉවසනු නො හැකි ව වැදහෙව නිදන්නට වන. සවස නින්දෙන් නැගිට “සොඳුර! බඩගිනි ඉවසනු නො හැකි ය, සැළි පතුලෙහි දම්කොඩවත් තිබේදැ”යි ඇසී ය. ඕ, සැළිය සෝදා වසා තුබූ බව නො කියා “සැළිය ඇර බලා කියමි”යි නැගිට සැළිය තුබූ තැනට ගොස් සැළිය ඇර බැලූ ය. එ වේලෙහි මේරූ දෑසමන් මොට්ටු තරම් වූ බත් ඇටවලින් සැළිය වසා තුබූ පියන් පත මතු වී තිබෙනු දැක ප්‍රීතියෙන් පිණා ගිය සිරුරු අත්තී “හිමි! නැගිටින්න, මම සැළිය සෝදා වසා තැබීමි, එය දැන් මේරූ දෑසමන් මල් මොට්ටු තරම් බත් ඇටවලින් පිරී තිබේ. පින් නම් කළ යුතු ම ය, දන් නම් දිය යුතුම ය, හිමි! නැගී සිටින්න, දන් දීමෙහි විපාක අනුන්ගෙන් අසා දැනගත යුතු නො වේ, අපි ම ඇසින් දුටුම්හ, නැගිට මූණ කට සෝදා බත් බළඳනු මැනැවැ”යි කියා සිටියා ය. මෙසේ ඕ, පළමු කොට පිය පුතුනට බත් දී ඔවුන් වළඳා අවසන් කළ කල්හි ලේළිය හා එක්ව හිඳ බත් කාලා පුණ්ණහට ද බත් දුන්නී ය. එහෙත් ඒ බතෙහි අඩු බවෙක් නො වී ය. බත් ගත් තැන් පිරී සිටියේ ය. හැන්දෙන් එක් වරක් ම බත් ගත්තා සේ පෙණින. එදා ම කොටුගුල් හැළිවළන් ආදීහු ද පෙර පිරී තුබූ සේ පිරී සිටියහ. “සිටුගේ ගෙයි බත් උපන, ඉන් ප්‍රයෝජන ඇත්තෝ අවුත් ගණිත්වා”යි මුළු නුවර ප්‍රසිද්ධ කළහ. මිනිස්සු සිටු ගෙට ගොස් බත් බිජුවට ගත්හ. දඹදිව් වැසි සියල්ලෝ ඒ සිටු පවුල නිසා දිවි ලැබූහ.

සිටු තෙමේ එයින් ච්‍යුත ව දෙව්ලොව ඉපද අප බුදුරජුන් දවස දක්වා දෙව් මිනිසුන් අතර සැරි සරණුයේ මෙ දවස භද්දි නුවර සිටු ගෙයි උපන. ඔහුගේ බිරිය ද මහාසම්පත් ඇති කුල ගෙයකම උපන්නී ය. ඉපද වැඩිවිය පැමිණියා මෙණ්ඩක සිටානන් හා ශරණ ගියා ය. සිටානන් පෙර කළ කුශලකර්‍මයන් නිසා ඔහුගේ ගේ පිටිපස යට කියූ ලෙසින් රන් එළුවෝ පොළොවින් නැගී සිට ගත්හ. ඔවුන්ගේ එවක පුත් මෙදාත් ඔවුනට පුත් විය, එවක ලේළි මෙදාත් ලේළි වූ ය. එවක දාස මෙදාත් දාස විය.

දවසක් සිටු තෙමේ තමන් කළ පින් විමසනු කැමැත්තේ එක් දහස් දෙසිය පණසක් කොටුගුල් පිරිසිදු කරවා ඉස් සෝදා නාපියා දොරකඩ සිට අහස දෙස බැලී ය. එකෙණෙහි සියලු කොටුගුල් රත්හැල් වී කඳුවලින් පිරී ගත. නැවැත සිටු, සෙස්සවුන්ගේත් පින් විමසනු කැමැති ව සිටු බිරියට, පුතුට, ලේළියට, දාසයාට තමන් විමසූ ලෙසින් තම තමන්ගේ පින් විමසා බලවු’යි නියම කෙළේය.

ඉක්බිති සිටුබිරිය සියලු අබරණ ලා සැරසී මහජනයා බලා ඉන්ද දී ම සහල් නැළියක් මන්නවා ඉන් බත් පිසවාලා දොර කොටුවෙහි පුටුවක් තබා හිඳ එන් හැන්දක් ගෙණ “බත් වුවමනා අය එත්වා”යි ප්‍රසිද්ධ කරවා ආ ආවුනට බඳුන් පුරා දවස මුළුල්ලෙහි බත් දුන්නී ද, සැළියෙහි බත්වල මඳවුත් අඩු බවෙක් දක්නට නො ලැබින. ඇය පෙර බුදුරජුනට හා භික්‍ෂුසඞ්ගඝයාහට වම් අතින් හැළිය අල්ලා ගෙණ දකුණතින් හැන්ද ගෙණ පාත්‍ර පුරවා බත් දුන් බැවින් වම් අත්ල පුරා පියුම් ලකුණෙක් පිහිටියේ ය. දකුණු අත්ල පුරා සඳ ලකුණෙක් පිහිටියේ ය. වමතින් ඩබරාව ගෙණ භික්‍ෂුසඞ්ඝයාට පැන් පෙරා දෙමින් එහා මෙහා හැසිරුණි ද, එහෙයින් දකුණු පාදතලය පුරා සඳ ලකුණත් වම් පාදතලය පුරා පියුම් ලකුණත් පිහිටා ගත. මෝ චන්‍දපදුමා යි නම් ඇත්තී වූවා එහෙයිනි.

පුත්‍ර තෙමේ හිස පටන් නා පියා කහවණු දහසක් බහා බැඳි මුදල් පසුම්බියක් ගෙණ “මුදල් වුවමනා අය එත්වා”යි ප්‍රසිද්ධ කරවා ආ ආවුනට උන් අත තිබූ මලු පුරවා සිය දහස් ගණනින් කහවණු දුන්නේ ය. එහෙත් තමන්ගේ මුදල් පසුම්බියෙහි තුබූ කහවණු දහසෙහි එකෙකිනුදු අඩුවෙක් නො වී ය.

ලේළි, මයිලනු කී ලෙසට ඇඳුම් කැඩුම් ලා අබරණින් සැරසී වී පිරූ පැසක් ගෙණ මිදුලෙහි හිඳ “බත් බිජුවට වුවමනා අය එත්වා”යි දන්වා ආ ආවුනට උන් ගෙණ ආ ගෝනි මලු පැස් පුරවා වී බෙදා දුන්නී ය. එහෙත් තමන්ගේ වී පැසෙහි අඩුවෙක් නො වී ය.

දාස, ඇඳුම් ආයිත්තම් ලා සැරසී රන්වියන්ගස්හි රනින් කළ රැහන්වලින් ගොණුන් බැඳ රන් කෙවිටක් ගෙණ ගොනුන් දෙදෙනාගේ ඇඟපත සුවඳ පසඟුල් දීලා සුවඳවත් කොට සරසා අංවල රන්කොපු බහා කුඹුරට ගෙණ ගොස් සීසාන්නට පටන් ගත්තේ ය. මෑතින් තුනක, ඈතින් තුනක, මැදන් එකෙකැයි හීවට සතක් එක්වට ම පොළොව බිඳ ගියේ ය. දඹදිව් වැස්සෝ එදවස බත් බිජුවට හා රන් අමුරන් මිල මුදල් අතුරෙහි තමන් කැමැති දැය සිටුගෙදරින් ම ලබා ගත්හ.

මෙසේ මහත් ආනුභාව ඇති සිටු තෙමේ බුදුරජානන් වහන්සේ භද්දිය නගරයට වැඩිසේකැ යි අසා පෙර ගමන් කිරීමට සූදානම් ව ගෙයින් නික්ම ගි‍යේ අතරමගදී හමු වූ තීර්‍ත්‍ථකයන් විසින් “කිම, ගැහැවිය! ‍ක්‍රියාවාදී වූ තමුසේ අක්‍රියාවාදී වූ මහණ ගොයුම් වෙතට යන්නහු දැ”යි වළකනු ලබන්නේ ද ඔවුන්ගේ කියුම් නො පිළිගෙණ බුදුරජුන් වෙත ගොස් වැඳ එකත් පසෙක හුන්නේ ය. එකල්හි ඔහුට බුදුරජානන් වහන්සේ අනුපිළිවෙළ කතාව වදාළ සේක. ඒ දේශනාවසානයෙහි සිටු තෙමේ සෝවන් පලයෙහි පිහිටා ගෙණ තීර්‍ත්‍ථකයන් බුදුරජුන්ගේ අගුණ කියා තමන් බුදුරජුන් වෙත පැමිණීම වළකාලන්නට කළ උත්සාහය දන්වා සිටියේ ය. ඉක්බිති බුදුරජානන් වහන්සේ “ගැහැවිය! මේ සත්ත්‍වයෝ තමාගේ මහත් වූ ද දෝෂය නො දක්නෝ ය, අනුන්ගේ නැත්තා වූ ද දෝෂය ඇත්තක් කොට ඒ ඒ තැන සිට රොඩු බොල් පොළා හරින්නාක් සේ පතුරුවා හරින්නෝ ය”යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක.

සුදස්සං වජ්ජමඤ්ඤෙසං අත්තනො පන දුද්දසං,

පරෙසං හි සො වජ්ජානි ඔපුණාති යථාභුසං,

අත්තනො පන ඡාදෙති කලිංව කිතවා සඨොති.

අනුන්ගේ වරද සුවසේ දක්ක හැකි ය. තමාගේ වරද වූකලී දක්නට දුෂ්කර ය. ඒ ‍එසේ ම ය. (අනුන්ගේ වරද සොයන) හෙතෙමේ අනුන්ගේ දොස් බොල් පොළා හරින්නා සේ පොළාලයි. කොළ අතු ආදියෙන් සිරුර වසාලන ලිහිණි වැද්දකු මෙන් තමාගේ වරද වසාලයි.

සුදස්සං වජ්ජං අඤ්ඤෙසං = අනුන්ගේ ඉතා ස්වල්ප වූ ද වරද සුවසේ දැක්ක හැකි ය.

අනුන්ගේ වරද ඉතා කුඩා වුව ද එය සුවසේ දැක්ක හැක්කේ නුවණ මද එලොව මෙලොව නො දන්නවුනට ය. ඔවුනට අනුන්ගේ අබැටක් තරම් වූ ද වරද මහමෙර තරමට මහත් ව පෙණී යන්නේ ය. “පරස්ස අනුමත්තම්පි වජ්ජං ඛලිතං සුදස්ස’, සුඛෙන පස්සිතුං සක්කා” යනු අටුවා.

වජ්ජ යනු භෙරියෙහි හා දෝෂයෙහි නැගී සිටියි. “වජ්ජං වාදියන්ති” යන මෙහි හෙරියෙහි ද, “වජ්ජභීරුකො” යනාදියෙහි දෝෂයෙහි ද වැටෙයි. අඤ්ඤෙසං යනු අඤ්ඤ ශබ්දයෙන් පදභාවයට ආයේ ය. සර්‍වනාමයෙකි. බාලාර්‍ත්‍ථයෙහි සිටුනා කල්හි මෙය සර්‍වනාම වේ.

අත්තනො පන දුද්දසං = තමන්ගේ මහත් වූ ද වරද දැක්ක නො හෙන්නේ ය.

තමන් කයින් - වචනයෙන් - සිතින් කරණ මහවරද සුලු කොට ගැණීම නූගත් ලෝකයාගේ සිරිත ය. ඒ නො මැනැවි. වරද සුලු වුව ද සුලු කොට ගැණීම නො සුදුසු ය. වරද සුලු කොට ගැණීම, කළ වරදටත් වඩා වැඩි තරම් වරදෙකි. “අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවි” යනු වදාළෝ ඉතා කුඩා වරද ද භය වශයෙන් මහත් කොට, මහත් වරදක් කොට ගත යුතු බ ව දක්වනු සඳහා ය. එහෙයින් වරද සුලුය යි කිසිවිටෙකත් නො ගත යුතු ය. එය අනිෂ්ටවිපාක නොදෙන්නෙක් නො වේ.

පරෙසං හි සො වජ්ජානි ඔපුණාති යථාභුසං = අනුන්ගේ වරද සොයන හෙතෙමේ අනුන්ගේ ස්වල්ප වූ වරද රොඩු බොල් පොළන්නක්හු මෙන් පොළන්නේ ය:

උස් තැනක සිට රොඩු බොල් පොළාලන කල්හි ඒ රොඩු බොල් සුළඟට අසුවීමෙන් අවට සැම තැන පැතිර යන්නා සේ දවරෑහි අනුන්ගේ වරද සොය සොයා ඇවිදුනා තැනැත්තේ ඒ තමා දුටු පරා පිළිබඳ ඉතා සුලු වරද ද මහත්‍ කොට ගෙණ ගෙයක් ගානේ යමින් සැම තැන පතුරුවා ලන්නේ ය. මේ වනාහි තමාගේ මහත් වරදි සුලු කොට ගැණීමට ද වඩා දරුණු ය.

අත්තනො පන ඡාදෙති කලිං ඉව කිතවා සඨො = කොළ අතු ආදියෙන් තම සිරුර වසාලන ලිහිණි වැද්දකු මෙන් තම වරද වසාලයි.

මෙහි සිරුර කලි නම්. පක්‍ෂීන් රවටා උන් මරාලන බැවිනි. “එත්‍ථ සකුණෙසු අපරජ්ඣනභාවෙන අත්තභාවො කලි නාම” යනු අටුව. කොළ අතු ආදියෙන් සිරුර වසල ලනුයේ කිතවා. ‘සඨො’ යනු වෙසෙසා සිටියේ ය. ලිහිණි වැද්දා ස්‍ඨ නම්. ලිහිණි වැද්දා යම්‍සේ පක්‍ෂීන් අල්වා ගෙණ මරණු කැමැත්තේ සිය සිරුර කොළ අතු ආදියෙන් වසා ගෙණ සැඟවී සිටී ද, එමෙන් මෙතෙමේ තමාගේ වරද වසා ගෙණ හිඳින්නේ ය. කොළ හිඳින ලිහිණි වැද්දකු මෙන් මෙතෙමේ ඉතා මහත් වූ ද තමාගේ දෝෂය තමාගේ වරද සඟවා‍ ගෙණ හිඳින්නේ ය.

ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන‍ සෝවන් ඵලාදියට පැමිණියාහු ය.

මෙණ්ඩකශ්‍රේෂ්ඨී වස්තුව නිමි.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.