පමාදමනුයුඤ්ජන්ති බාලා දුම්මෙධිනො ජනා
අප්පමාදඤ්ච මෙධාවී ධනං සෙට්ඨං’ව රක්ඛති.
දෙලෝ වැඩ නොදන්නා අනුවණ සත්ත්‍වයෝ ප්‍රමාදයෙහි යෙදී පවත්නාහ (ප්‍රමාදයෙන් දවස් යවන්නාහ). නුවණැත්තේ අප්‍රමාදය (කුලවංශාගත) උතුම් ධනයක් මෙන් රක්නේ ය.
මා පමාදමනුයුඤ්ජෙථ මා කාමරතිසන්‍ථවං
අප්පමත්තො හි ඣායන්තො පප්පොති විපුලං සුඛං.
ප්‍රමාදය නහමක් පුරුදු කරන්නේ ය (ප්‍රමාදයෙහි යෙදී නො වසන්නේ ය). (වස්තුකාම ක්ලේශකාම දෙක්හි රතිය යි කියන ලද) තෘෂ්ණාසංසත්‍වයෙහි නහමක් යෙදෙන්නේ ය. එළඹ සිටි සිහි ඇති (නොපමා වූ), භාවනා කරන පුද්ගල තෙමේ මහත් නිවන් සුවයට පැමිණෙන්නේ ය.
අප බුදුරජානන් වහන්සේ වැඩ වසන දවස, සැවැත් නුවර නැකත් කෙළියක් වූ ය. එය කළෝ එනුවරැ වැසි නූගත් අය ය. ඔවුහු ඒ නැකත් කෙළියෙහි සියලු ඇගපත ගොම තවරා ගෙණ, නො සැබිබස් බෙණමින්, දෙ මං තුන් මං සතර මං හන්දිගානේ, කඩක් පිළක් ගෙයක් දොරක් නො හැර යමින්, කෙළි දෙළෙන් කල් යවති. එසේ වියරුවැටුනවුන් සේ නො සැබි බස් බෙණෙමින් තැනැ තැනැ ඇවිදින ඔවුනට ලජ්ජාමාත්‍රයකුදු ඇති බවෙක් නො පැණේ. ඒ තරමට ඔවුහු විළිබියරහිත ව හැසිරෙති. ගෙවල මිනිස්සු, උන් කියන ඒ නො සැබිබස් ඉවසනු නො හැක්කෝ, හැකි පමණින් මිලමුදල් දී වහා පිටත් කර හරිති.
මෙ දවස සැවැත්නුවර පස් කෙළක් පමණ ආර්‍ය්‍යය ශ්‍රාවකයෝ වාසය කළහ. ඔවුහු ‘බුදුරජානන් වහන්සේ මේ නැකත්කෙළි පවතින කාලය තුළ භික්‍ෂුසංඝයා වහන්සේත් සමග විහාරයෙහි වැඩ වාසය කරණ සේක්වා’ යි දන්වා යවා තුමූ කැඳබත් ආදිය පිළියෙල කොට විහාරයට යවා, කොතැනකත් නො ගොස් ගෙවල ම විසූහ. නැකත්කෙළිය අවසන් වූ අටවනදිනයෙහි ආර්‍ය්‍යශ්‍රාවකයෝ, එක් ව බුදුපාමොක් මහසඟන නුවර තුළට වැඩමවා ගෙණ, මහදන් දී එකත් පසෙකට වී ‘ස්වාමීනි! අපි මේ සත් දවස ගත කළෝ බලවත් සිත් තැවුල්ලෙනි, ඔවුන් කියූ අසභ්‍යවචන මොන රුසියකුටත් නො ඉවසිය හැකි ය, ඒ තරමට ඒ වචන දරුණු ය, නුවරක තබා ඈත පිටිසර ගමකවත් එබඳු වචන ඇත ද යනු සැක සහිත ය, අසන්නන්ගේ කන් පැළී යන තරම් ය ඒවා, එහෙත් ඒවා කියන්නන්ටත් අසන්නන්ටත් ලජ්ජාවක් නම් නො වූ ය, එහෙයිනි අපි මේ සත් දවස තුළ විහාරයෙහි ම වැඩ වෙසෙත්වා යි දන්වා එව්වමෝ, අපිත් ගෙන් පිටත කොතැනකත් නො ගියෙමු’ යි කීහ. බුදුරජානන් වහන්සේ ඔවුන්ගේ ඒ කතාව අසා, ‘නුවණ නැත්තන්ගේ වැඩ ඔවැනි ය, කිසිවක් නුගත් අයට, කරන්නට කියන්නට බැරි නපුරෙක් නො සැබිබසෙක් නැත්තේ ය, පව්කම් කරණු, නුවණ නැති නිසා ය, නුවණ නැති මිනිහා ඇස් තුබුන ද අන්ධයෙක් ය, ඔහුට, කළ නො කළ යුතු දේ, හොඳ නො හොඳ, යුතු අයුතු කිසිවෙක් නො වැටහෙන්නේ ය, විළිබියෙක් ඔවුනට නො උපදනේ ය, විළිබිය උපදින්නට නම්, ආත්මදමනයට හිත වූ බුද්ධවචනය උගත යුතු ය, නැත, කොතරම් ශිල්පශාස්ත්‍රඥානයක් ලැබුව ද අශික්‍ෂිත ය, විළිබිය රහිත ය, දරදඬු ය, තිරිසනුන් වැනි ය, යම් තරම් අපරාධයෙක් වේ නම්, ඒ හැම වන්නේ බණදහම් නො උගත් එයට අනුව නො හැඩ ගැසුනු මිනිසුන් අතින් ය, බුදු දහම් දැනීමත්, ශිල්ප ශාසත්‍ර දැනීමත් එකෙක් නො වේ, එය දෙකෙක, මිනිහකු හොඳ වන්නට හික්මෙන්නට, රටට ගැළපෙන්නට බුදුදහම් ම උගත යුතු ය, එසේ නැති මිනිසා සමාජයට ශාපයෙකි, නුවණැත්තෝ වනාහි හරැති ධනයක් රකින්නකු සේ අප්‍රමාදය මොනවට රැක, හැම ගුණ දහමක් වඩා අමාමහ නිවන් සැප ලබන්නෝය’ යි මේ ධර්‍මදේශනාව කළ සේක.
පමාදමනුඤ්ජන්ති බාලා දුම්මෙධිනො ජනා,
අප්පමාදඤ්ච මෙධාවි ධනං සෙට්ඨී ව රක්ඛති.
.
මා පමාදමනුයුඤේජථ මා කාමරතිසන්‍ථවං,
අප්පමත්තො හි ඣායන්තො පප්පොති විපුලං සුඛන්‍ති.
මෙලොව පරලොව දෙක්හි වැඩ නො දත් නුවණ නැති මිනිස්සු, ප්‍රමාදයෙහි යෙදෙත්. ධර්‍මෞජස් ප්‍රඥාවෙන් යුත් මිනිසා, ධන රකින සිටුවරයකු සේ අප්‍රමාදය රකියි.
ප්‍රමාදයෙහි නො යෙදෙවු. තෘෂ්ණාවෙන් බැඳී කාමයෙහි නො ඇලෙවු. නො පමා බවෙහි පිහිටි, ශමථවිදර්‍ශනාභාවනා කරණ මිනිස් තෙමේ, මහත් වූ නිවන් සුවයට පැමිණේ.
පමදං = ප්‍රමාදය. සිහියෙන් තොර බව. [1]
අනුයුඤ්ජන්‍ති = යෙදෙත්.
‘පමාද’ යන්න, ‘ යුඤ්ජන්‍ති’ යන ක්‍රියාපදය හා එක් ව සිටි ‘ අනු’ යන්නෙහි බලයෙන් ‘පමාදං’ යි ද්විතීයාවිභක්තියෙන් සිටියේ ය. තවත් ක්‍රියාපදයෙහි අර්‍ත්‍ථය, ‘එක්වන් යෙදෙති, නිරතුරු යෙදෙති’ යි ද වඩාලා කිය හැකි ය.
බාලා = අඥ වූ. මෙලොව පරලොව නො දන්නා වූ.
ජනා යන්න බලා සිටියේ ය. විස්තර ඉදිරියෙහි එන්නේ ය.
දුම්මෙධිනො = නුවණ නැති. ධාරණ ප්‍රඥාව හා විදර්‍ශනාප්‍රඥාව නැති. [2]
ජනා යනු බලා සිටියේ ය. සියුම් වූ ධර්‍මාර්‍ත්‍ථයන් වහ වහා ඇද ගන්නා වූ සියලු කෙලෙසුන් තළන පෙළන හිංසා කරණ ප්‍රඥාව යම් කෙනෙකුන්ට නැත්තේ ද ඒ සියල්ලෝ ‘දුම්මෙධි’ නම් වෙති.
ජනා = ජනයෝ.
කුසල් අකුසල් උපදවන්නෝ ය ජනයෝ. ‘බාලා - දුම්මෙධිනො’ යන දෙ පදයට විශෙෂ්‍යව සිටියේ ය. එහෙයින් මෙහි වූ ජනා’ යන්නෙන්, අකුසල් උපදවන්නෝම ය ගත යුතු. “කුසලා කුසලං ඡනෙතීති = ජනො” යනු අරුත් විදැහීම ය.
අප්පමාදං ච = අප්‍රමාදය (ද) නො පමා බව (ද) [3]
‘ච’ යනු, භාෂායෙහි නාම - නිපාත විසින් යෙදේ. එයින් මෙහි යෙදුනේ නිපාත විසිනි. එ ද සමුච්චය - ව්‍යතිරෙක - විකල්ප - අවධාරණ - වාක්‍යාරම්භ - ආකර්‍ෂ - පද පූරණයෙහි වැටේ. මෙන්න කෝෂකාරයන් එය කී සැටි:-
‘සමුච්චයෙ බ්‍යතිරෙක විකප්පත්‍ථාවධාරණෙ,
වාක්‍යාරම්භානුකඩ්ඪනෙ පදපූරෙ ච දිස්සති’ යි.
‘මිත්තාමච්චා ච භත්තා ච පුත්තදාරා ච බන්‍ධවො’ යනාදියෙහි සමුච්චයෙහි, ‘යො ච බුද්ධ ච ධම්මං ච’ යනාදියෙහි ව්‍යතිරේකයෙහි, ‘ආරොහිම්හි ච’ යනාදියෙහි විකල්පයෙහි, ‘ඝණ්ටො ච’ යනාදියෙහි අවධාරණයෙහි, ‘පඨමසඞ්ගීති නාමචෙසා’ යනාදියෙහි වාක්‍යාරම්භයෙහි, ‘පුබ්බො ච’ යනාදියෙහි අනුකර්‍ෂයෙහි, ‘යථා ච වන්‍දෙ බුද්ධස්ස පාදපඞේකරුහම්පි ච’ යනාදියෙහි පදපුරණයෙහි වැටේ. තව ද මේ චකාරය සමාහාරාදිඅර්‍ත්‍ථයන්හි ද හෙන්නේ ය.
මෙධාවී - නුවණැත්තේ.
ධනං = ධනය.
රන් - රිදී - මුතු - මැණික් - වෙරළු - විදුරු - පබලු යන ධන සත කුලවංශාගතවශයෙන් මෙහි අදහස් කරණ ලද්දේ ය. එහි ම ලා වජිර - මහානීල- ඉන්ද්‍රනීල - මරකත - වෙළුරිය - පදුම රාග - ඵුස්ස රාග - කක්කෙතන - පුලොක = විමල - ලොහිතංක - ඵළික - පවාළ - ජොතිරඞ්ග - ගොමුත්තක - ගොමෙද - සොගන්‍ධික -මුත්තා - සංඛ - අඤ්ජනමූල - රාජවට්ට - අමතංසක - පියක - බ්‍රහ්මය යි මැණික් සූ විස්සෙක් ගණු ලැබේ.
සෙට්ඨී ඉව = සිටුවරයකු සේ.
අද මෙන් එදාත් ධන රකින්නන් අතර, ප්‍රධාන වූවෝ, ධනයෙන් ආඪ්‍ය වූවෝ, මහාධන මහාභෝග ඇත්තෝ සිටුවරයෝ වූහ. මිනිසුනට, ධනවතුන් සේ, ධන රකින්නන් සේ, පෙණී ගියෝ ද සිටුවරයෝ ය. එහෙයින් බුදුරජානන් වහන්සේ ඒ මහාජනමතයෙහි පිහිටා සිට ‘නුවණැත්තේ අප්‍රමාදය රකින්නේ, සිටුවරයා ධනය රකින්නා සේ ය’ යි වදාළ සේක.
‘සෙට්ඨී ව’ යන්න කලක සිට ම ‘සෙට්ඨං ව’ යි අප පොතපතෙහි ආයේ ය. බුරුමයෙහි කළ සවන ධර්‍ම සඞ්ගායනාව සඳහා ග්‍රන්ථ ශොධනයෙහි යෙදුනු ලඞ්කාඋත්තරිතරවිධායකසඞ්ඝසභාව ද භාෂාන්තර ඝටිතධර්‍මපද හා සසඳා බලා ‘සෙට්ඨී ව’ යනු ම ශුද්ධ පාඨය සේ පිළිගත්තා ය. ‘ධනං’ යන්නට ‘සෙට්ඨං’ යි විශේෂණයෙක් අමුතුවෙන් යෙදිය යුතු නො වේ. මනුෂ්‍ය සමාජයෙහි ඇත්තන් ධන, යන්නෙහි ලා ගැණෙන හැමෙකක් ශ්‍රේෂ්ඨ යි ගන්නා බැවිනි.
රක්ඛති = රකියි.
සාමාජිකයෝ ‘ධනය නිසා අපි කාමසම්පත්තියට පැමිණෙන්නෙමු, අඹු දරුවන් රකින්නෙමු, පරලෝ මග සලසා ගන්නෙමු’ යි ධනයෙහි අනුසස් දක්නෝ, ධනයෙහි අනුසස් දක්නා සිටුවරුන් සේ, ධනය මොනවට රකින්නෝ ය. එමෙන් නුවණැත්තේ ‘ප්‍රථමද්විතීයද්ධ්‍යානාදිය ලබන්නෙමි, මග පල ලබන්නෙමි, ත්‍රිවිද්‍යාෂඩභිඥාවන් ලබන්නෙමි’ යි අප්‍රමාදයෙහි අනුසස් දක්නේ, අප්‍රමාදය මොනවට රකියි.
මා පමාදං අනුයුඤ්ජෙථ = ප්‍රමාදයෙහි නො යෙදෙවු,
‘මා’ යනු නාම-නිපාත විසින් භාෂායෙහි ආයේ ය. ‘පුණ්ණමාපුණ්ණමී ‘ යනාදි තන්හි චන්ද්‍රමාස වාචක වේ. ‘ මාලිනී-මන්‍ධාතු’ යනාදි තන්හි ශ්‍රීවාචක ය. ‘මාතලී -මාඝො’ යනාදි තන්හි මාතෘවාචක ය. ‘මාලා’ යනාදි තන්හි භෘඞ්ගවාචක ය. ‘අපුමෙමාධවො’ යනාදි තන්හි මහෙශ්වරභාග්‍යවාචක ය. ‘මා ගමි-මා වචි-මා ගච්ඡාහි-මා මං ආයස්මන්තො කං චි අවචුත්‍ථ’ යනාදි තන්හි යෙදුනේ ප්‍රතිෂෙධාර්‍ත්‍ථවාචක ය. ඒ ය නිපාත.
මා කාමරතිසන්‍ථවං = තෘෂ්ණාවශයෙන් කාමයෙහි ඇල්ම නො කරමු.
වස්තුකාම - ක්ලේශකාම විසින් කාමය දෙ වැදෑරුම් ය. එහි ලොව ඇත්තා වූ හැම රජනීයවස්තුහු, වස්තුකාමයෝ ය. මනවඩන රූප මනවඩන ශබ්ද මනවඩන ගන්ධ මනවඩන රස මනවවන ස්ප්‍රෂ්ටව්‍ය අත්‍ථරණ පාපුරණ දාසි දාස අජ එළක කුක්කුට සූකර හත්ථි ගව අස්ස වළවා වත්ථු හිරඤ්ඤ සුවණ්ණ ගාම නිගම රාජධානී රට්ඨ ජනපද කොස කොට්ඨාගාර යනාදී වූ මිනිසුන්ගේ සිත් ඇලෙන බැඳෙන වැඩෙන තැන් ය රජනීය වස්තු, මේ ඒ වදාළෝ:-
“මනාපිකා රූපා මනාපිකා සද්දා මනාපිකා ගන්‍ධා මනාපිකා රසා මනාපිකා ඵොට්ඨබ්බා අත්‍ථරණපාපුරණා දාසිදාසා අජෙළකා කුක්කුටසූකරා හත්‍ථිගවාස්ස වළවා ඛෙත්තං වත්‍ථු හිරඤ්ඤං සුවණ්ණං ගාමනිගමරාජධානියො රට්ඨං ච ජනපදොච කොසො ච කොට්ඨාගාරං ච යං කිඤ්චි රජනීයං වත්‍ථුකාමා” යි.
එහි කාමයෝ, අතීතකාම, අනාගතකාම, පච්චුප්පන්නකාම, අජ්ඣත්තකාම, බහිද්ධාකාම, අජ්ඣත්තබහිද්ධාකාම, හිනකාම, මජ්ඣිමකාම, පණීතකාම, ආපායිකකාම, දිබ්බකාම, පච්චුපට්ඨිතකාම, නිම්මිතකාම, පරනිම්මිතකාම, අනිම්මිතකාම, පරිග්ගහිතකාම, අපරිග්ගහිතකාම, මමායිතකාම, අමමායිත කාම යි නොයෙක් ලෙයින් බෙදී ගියහ.
එහි අතීතකාම නම්, පිළිසිඳ ගත් තැන් පටන් අතීත භවයන්හි, කප් කෙළ සිය දහසකින් මත්තෙහි උපන් කාමයෝ ය.
අනාගතකාම නම්, චුතිය පටන් අනාගත භවයන්හි කප් කෙළ දහසක් ගිය තැන උපදනා කාමයෝ ය.
පච්චුප්පන්නකාම නම්, චුතිපටිසන්‍ධි දෙක අතර පවත්නා කාමයෝය.
අජ්ඣත්තකාම නම්, තමන් අධිකාර කොට පැවති, සිය සතන්හි පැවැති පාටිපුග්ගලික කාමයෝ ය.
බහිද්ධාකාම නම්, ඉන්ද්‍රියබද්ධ වූ හෝ ඉන්ද්‍රියබද්ධ නො වූ හෝ එයින් පිටත්හි වූ කාමයෝ ය.
අජ්ඣත්තබහිද්ධාකාම නම්, අජ්ඣත්තකාම - බහිද්ධාකාම යන දෙපසෙහි වූ කාමයෝ ය.
හීනකාම නම්, නෙරයිකසත්වයන්ගේ කාමයෝ ය. නෙරයික සත්වයන්ගේ කාමයෝ කෙළවරට පැමිණි හීනකාමයෝ ය.
මජ්ඣිමකාම නම්, නාගසුපර්‍ණයන්ගේ කාම හැර සෙසු තිරිසන්ගතයන්ගේ කාමයෝ ය.
පණීතකාම නම්, නාගසුපර්‍ණයන්ගේ කාමයෝ ය. මේ ලෙසින් ඒ ඒ සත්වයන්ගේ වශයෙන් කාමයන්ගේ හීන මධ්‍යම ප්‍රණීතභාවය දත යුතු ය. අකනිට්ඨකදෙවියන්ගේ කාමයෝය කෙළ පැමිණි ප්‍රණීත කාමයෝ.
ආපායිකකාම නම්, සිවු අපායයෙහි උපන් කාමයෝය.
මානුසිකකාම නම්, මිනිසුන් අතර වූ කාමයෝය.
දිබ්බකාම නම්, දෙවියන් අතර වූ කාමයෝය.
පච්චුපට්ඨිතකාම නම්, නෙරයිකසත්වයන් හැර, සෙසු තුන් අපායයෙහි වූ සත්වයන් හා මනුෂ්‍යයන් පිළිබඳ වූත් චාතුම්මහාරාජික දෙවියන් පටන් තුසිත දෙවියන් පිළිබඳ වූත් කාමයෝ ය.
නිම්මිතකාම නම්, නිම්මාණරතී දෙවියන්ගේ කාමයෝ ය.
පරනිම්මිතකාම නම්, පරනිර්මිතවශවර්තීදෙවියන්ගේ කාමයෝ ය.
පරිග්ගහිතකාම නම්, මෙය මාගේ ය යි ගත් කාමයෝ ය.
අපරිග්ගහිතකාම නම්, එසේ නො ගත් උතුරුකුරු දිවයින් වැස්සන්ගේ කාමයෝ ය.
මමායිතකාම නම්, තෘෂ්ණාවශයෙන් මෙය මාගේ ය යි ගත් කාමයෝ ය.
අමමායිතකාම නම්, එසේ තෘෂ්ණාවශයෙන් නො ගත් කාමයෝ ය.
මේ සියල්ල ඉතා සැකෙවින් පිඩු කොට ගෙණ කිය යුත්තේ කාමලෝකයන්හි වූ සියලු ධර්‍ම, රූපාවචර බ්‍රහ්මලෝකයන් වූ සියලු ධර්‍ම, අරූපාවචර ලෝකයන්හි වූ සියලු ධර්‍ම, ප්‍රතිෂ්ඨාර්‍ත්‍ථයෙන් කාරණාර්‍ත්‍ථයෙන් තෘෂ්ණාවට වස්තු වූ බැවින්, තෘෂ්ණාප්‍රවෘත්ති වශයෙන් තෘෂ්ණාවට අරමුණු වූ බැවින්, බලාපොරොත්තු විය යුතුය යන අරුත් විසින්, ඇලිය යුතුය, යන අරුත් විසින් කුලමදාමද ඉපද විය යුතුය, යන අරුත් විසින් කාම නම් වන බව ය. ත්‍රෛභූමික වෘත්තය, වස්තුකාමැ යි කොටින් දත යුතු වේ. මේ වදාළ සැටි:-
“අතීතා කාමා අනාගතා කාමා පච්චුප්පන්නා කාමා අජ්ඣත්තා කාමා බහිද්ධා කාමා අජ්ඣත්තබහිද්ධා කාමා හීනා කාමා මජ්ඣිමා කාමා පණීතා කාමා ආපායිකා කාමා මානුසිකා කාමා දිබ්බා කාමා පච්චුපට්ඨිතා කාමා නිම්මිතා කාමා පරනිම්මිතා කාමා අනිමිත්තා කාමා පරිග්ගහිතා කාමා අපරිග්ගහිතා කාමා මමායිතා කාමා අමමායිතා කාමා සබ්බෙපි කාමාවචරා ධම්මා සබ්බෙපි රූපාවචරා ධම්මා සබ්බෙපි අරූපාවචරා ධම්මා තණ්හාවත්‍ථුකා තණ්හාරම්මණා කමනීයට්ඨෙන රජනීයට්ඨෙන මදනීයට්ඨෙන කාමා, ඉමෙ වුච්චන්ති වත්‍ථුකාමා” යි.
මෙහි දැක් වූ කාමවස්තුන් විෂයයෙහි යම් ඇලීමෙක්, කැමැත්තෙක්, තද ඇලීමෙක්, බැඳීමෙක්, පිපාසාවක්, ප්‍රීතියක්, දැවීමෙක්, මූර්ඡාවක්, බැසගැණිමෙක්, කිඳා බැසීමෙක්, යෙදීමෙක්, දැඩිව ගැණීමෙක්, ඇවිරීමෙක් වේ ද, එය ක්ලේශකාමැ යි දතයුතු ය. මේ මෙහි කෙටි දෙසුම:-
“කතමෙ කිලෙසකාමා, ජන්‍දො කාමො රාගා කාමො ඡන්‍දරාගො කාමො සඞ්කප්පො කාමො රාගො කාමො සඞ්කප්පරාගො කාමො, යො කාමෙසු කාමච්ඡන්‍දො කාමරාගො කාමනන්‍දි කාමතණ්හා කාමසිනෙහො කාමපරිළාහො කාමමුච්‍ඡා කාමජේඣාසානං කාමාඝො කාමයොගො කාමූපාදානං කාමච්ඡන්‍දනීවරණං” යි.
ක්ලේශකාමය විසින් පැතිය යුත්තේ ය, කැමැතිවනු ලබන්නේ ය යන අරුත් විසින් වස්තුකාමය ‘කාම’ නම්. ‘වත්‍ථුකාමො, කිලෙසකාමෙන පත්‍ථයිතබ්බො ති කාමීයතීති=කාමො’ යනු අටුවා ය. ක්ලේශකාම ය, වස්තුකාමයන් පැතීමට ඇල්ලීමට කරුණු වන බැවින් ‘කාම’ නම්. මෙන්න එහි අටුවාව:- ‘කිලෙසකාමො වත්‍ථුකාමානං පච්චාසිංසනස්ස කාරණභාවෙන කාමීයතෙ අනෙනාති = කාමො’ යනු.
එහි වස්තුකාමය රූපාදිස්කන්ධයන්හි ඇතුළත් වේ. ක්ලේශකාමය ඇතුළත් වනුයේ, සංස්කාරස්කන්ධයෙහි ය. වස්තුකාමය සවැදෑරුම් විඥානයන් විසින් දතයුතු ය. ක්ලේශකාමය: මනෝවිඥානයෙන් දතයුතුය.
මෙහි මෙසේ ඉතා කොටින් කියූ වස්තුකාම-ක්ලේශකාමයන් කෙරෙහි තෘෂ්ණා විසින් ඇල්ම ‘කාමරතිසන්‍ථව’ නම්. තෘෂ්ණා සන්ථව-මිත්‍රසන්ථව යි සන්ථවය දෙවැදෑරුම් ය. මෙහිලා තෘෂ්ණා සන්ථවය ගැණේ. තද ඇල්ම තද එක්වීම සන්ථව නම්. ‘සන්‍ථවොති සංසග්ගො’ යන මෙයින් ඒ කිය යි. නො කියැකි කලක සිට කාම වස්තූන්හි තෘෂ්ණාවශයෙන් දිගට පැවැත ආ පුරුද්ද ද සන්ථව යන්නෙන් කියැකි ය. ‘සන්‍ථවනං = සන්‍ථවො’ යනු අරුත් දැක්වීම ය.
අප්පමත්තො හි = අප්‍රමත්තතෙමේ වනාහි. නො පමාවුයේ වනාහි, [4]
‘හි’ යනු නිපාත යි. නාමයක් සේ ද පෙළ අටුවාවන්හි ආයේ ය. කාරණ - විශේෂාවධාරණ - පදපුරණාදියෙහි ය, නිපාත වනුයේ. ‘වුත්තං හෙතං භගවතා’ යනාදිතන්හි කාරණයෙහි, ‘ජිනවචනයුත්තං හි’ යනාදිතන්හි අවධාරණයෙහි, ‘කතීහිපිත්‍යායං, තස්මාහි’ යනාදිතන්හි පදපූරණයෙහි ආයේ ය. මෙහිද පදපූරණයෙහි වේ. කෝෂග්‍රන්ථ මෙහි විස්තර කියන්නේ ය.
ඣායන්‍තො = ධ්‍යාන කරන්නේ. [5]
පප්පොති විපුලං සුඛං = මහත් සැපයට පැමිණේ.
‘පප්පොති’ යනු ක්‍රියාපද යි. ‘ සුඛං’ යනු එහි කර්‍ම යි. ‘ විපුලං’ යනු විශේෂණ යි. එයින් කීයේ මෙහි කියන සුඛය සාමාන්‍ය එකක් නො ව, ලොවැති හැම සුඛයක් ම යට කොට සිටි සුඛයයි. සුඛය දෙපරිදි ය. වෙදයිත - ශාන්ති යි. එහි රූප - ශබ්ද - ගන්ධ - රස - ස්ප්‍රෂ්ටව්‍ය යන කාමවස්තුන් පිළිබඳ රස විඳගැණුම ‘වෙදයිත සුඛ’ නම්. මේ සුඛය, ක්‍ෂණයක් පාසා පෙරළෙන්නක් බැවින්, දුඃඛසත්‍යයෙහි ඇතුළත් වේ. ඒ ඒ සත්වයන්ගේ වශයෙන්, ඒ ඒ සත්වයන් විඳින සැටියෙන් නන් වැදෑරුම් වේ. මේ වනාහි හැම සත්වයන් විසින් විඳිනු ලබන්නේ නම් අපායයෙහි වැසි සත්වයන් විසින් ද විඳිය යුතුය. සියලු ආපායික සත්වයෝ, එක් ලෙසින් දුක් නො විඳිති. ඔවුහු ද දුක් විඳින්නෝ අකුශල කර්‍මයන්ගේ වශයෙනි. බලගතු අකුශලකර්‍ම කොට ආපායයෙහි උපන්නෝ, බලගතු දුක් විඳිති. එසේ නො උපන්නෝ, එසේ නො වෙති. කරුණු මෙසේ බැවින්, හැම සත්වයකු විඳින දුක් ද, සැප ද කර්‍මානුකූලව වෙනස් වේ. වෙදයිතසුඛය නන් වැදෑරුම් වන්නේ මේ නිසාය.
පංචස්කන්ධයාගේ නිරෝධයෙන් ලැබිය යුතු වූ සංසිඳීම ‘ශාන්ති සුබ’ නම්. රූප - වේදනාදිස්කන්ධයන්ගේ පැවැත්ම යම්තාක් කල් වේ ද, ඒතාක් සත්වයනට දුකින් නිදහසෙක් නැත. එහෙයින් මුළුමනින් සංසිඳෙන්නට පංචස්කන්ධය බහා තැබිය යුතු ය. මේ සංසිඳීම නිවනැයි ද හඳුන්වනු ලැබේ. ‘ විපුලං සුඛං’ යන මෙයින් වදාළෝ ශාන්තිසුඛ නම් වූ නිවනය. මේ සුඛය, හැම සුඛයනට වඩා උත්තරීතර ය. හැම සුඛයක් ඔබා සිටියේ ය.
මේ ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවන් ඵලාදියට පැමිණියෝ ය. ධර්‍මදේශනා තොමෝ මහාජනයාට වැඩ සහිත වූ ය.
බාලනක්‍ෂත්‍ර වස්තුව නිමි.