2-5 මහාකාශ්‍යප මහාස්ථවිරයන් වහන්සේ සත්‍වයන්ගේ චුතිය හා උත්පත්තිය බැලීම

පමාදං අප්පමාදෙන යදා නුදති පණ්ඩිතො

පඤ්ඤාපාසාදමාරුය්හ අසොකො සොකිනිං පජං

පබ්බතට්ඨො’ව භුම්මට්ඨෙ ධීරො බාලෙ අවෙක්ඛති.

ප්‍රඥා වූ ආර්‍ය්‍යශ්‍රාවක තෙම යම් කලෙක කුසල්හි (සිහි ඇති බව යැ යි කියන ලද) අප්‍රමාදයෙන් ප්‍රමාදය (සිහිමුළාව) දුරු කෙරේ ද, එකල්හි (දිවැස්නුවණැ යි කියන ලද) ප්‍රාඥප්‍රාසාදයට නැගී, (අනාගාමි මගින් උදුරා හළ ශෝකශල්‍ය ඇති බැවින්) ශෝක රහිත වූ ප්‍රඥා වූ ඒ රහත් තෙම නො උදුරා හළ ශෝක ඇති බැවින් ශෝකී වූ ප්‍රජාව (හෙවත් චුත වන උපදනා ශෝක සහිත සත්ත්‍ව සමූහය) බලන්නේ ය. බිම සිටියවුන් (සුවසේ බලන) පර්‍වත මුදුනෙක්හි සිටි එකක්හු මෙන් (නොසුන් තෘෂ්ණා ඇති බැවින් චුත වන උපදනා) බාලජනයන් දිවැසින් සුව සේ දක්නේ ය.

මහාකාශ්‍යප මහාස්ථවිරයන් වහන්සේ, පිප්ඵලිගුහායෙහි වැඩ වසන දවසෙක රජගහනුවරැ පිඬු සිඟා ගොස්, පිණ්ඩපාතයෙන් හැරී අවුත්, දිය-ගොඩ-කඳු-හෙල් ඈ තන්හි මැරී උපදින්නා වූ ප්‍රමත්ත අප්‍රමත්ත සත්වයන් ගැණ දිවැස යොමා ආලෝකය පතුරුවා බලන්නට වූහ. දෙව්රම්මහවෙහෙරැ වැඩහුන් බුදුරජානන් වහන්සේ, ‘මා පුත් කසුප් දැන් මේ වේලෙහි කොයිලෙසකින් වාසය කෙරේදැ’ යි දිවැසින් බලා වදාළ සේක. එවිට උන්වහන්සේට මහසුප් තෙරුන් සත්වයන්ගේ චුති-උත්පත්ති දෙක බලමින් ඉන්නා බව පෙණී ගියේය. සත්වයන්ගේ චුති-උත්පත්ති දෙක බුද්ධ ඥානයෙනුදු නො පිරිසිඳින ලද්දේ ය, මවුකුසැ පිළිසිඳ ගෙණ මවුපියන් නො දන්වා මැරී යන සත්වයන්ගේ ගණනෙක් නැත, කසුප්! තමුසේට එය විෂය නො වන්නේ ය, තමුසේ ඒ අතේ දැනීම මද ය, මැරී යන්නන් හා ඉපැදෙන්නන් දැකීම බුදුවරුන්ට ම විෂය වූවක් ය’ යි බුදුරජානන් වහන්සේ ආලෝකය පතුරුවා ඉදිරිපිට සිටියකු සේ මේ ධර්‍ම දේශනාව කළ සේක.

පමාදං අප්පමාදෙන යදා නුදති පණ්ඩිතො,

පඤ්ඤාපාසාදමාරුය්හ අසොකො සොකි නිම්පජං,

පබ්බතට්ඨො, ව භුම්මට්ඨෙ ධීරො බාලෙ අවෙක්ඛතී’ ති.

නුවණැති පුරිස් තෙමේ යම් දවසෙක අප්‍රමාදයෙන් ප්‍රමාදය දුරු කෙරේ ද, එ දවස ඔහු ප්‍රඥා නැමැති ප්‍රාසාදයට නැගී, සෝකරහිතව සෝක කරණ සුලු සත්වයන් දකියි. නුවණැති පුරිස් තෙමේ බිම සිටින්නන් දක්නා කඳු මුදුනක සිටියකු සේ අඥජනයන් දකියි.

පමාදං - ප්‍රමාදය. [1]

අප්පමාදෙන - අප්‍රමාදයෙන්, [2]

යදා - යම් කලෙක.

නුදති - දුරු කෙරේ (ද).

පණ්ඩිතො - පණ්ඩිත තෙමේ. නුවණැත්තේ. [3]

‘යතො ඛො ආනන්‍ද! භික්‍ඛු ධාතුකුසලො ච හොති ආයතනකුසලො ච පටිච්චසමුප්පාදකුසලො ච ඨානාඨාන කුසලො ච එත්තාවතා ඛො ආනන්‍ද! පණ්ඩිතො භික්ඛූ ‘ති අලං වචනාය’ යනු වදාළෝ ද, භික්‍ෂුවගේ පණ්ඩිතකම කිමැ යි. පැහැදිලි කරණු සඳහා ය. ධාතුකුසල, ආයතනකුසල, පටිච්චසමුප්පාදකුසල, ඨානාඨාන කුසල යන සිවු වැදෑරුම් පාණ්ඩිත්‍යයෙන් යුක්ත වූයේ පණ්ඩිත නම් වේ යනු, එහි කෙටි තේරුම ය. සිවු වැදෑරුම් ධර්‍ම පිළිබඳ දක්‍ෂභාවයෙහි පිහිටියේ පණ්ඩිත නමින් හඳුන්වනු ලැබේ යනු ද කීයේ, මෙහි කී ධර්‍මසතරෙහි දක්‍ෂභාවය ම පාණ්ඩිත්‍යය යි ගැණීමෙනි. ‘චතුසු කොසල්ලෙසු ඨිතස්සෙතං නාමං’ යනු එහි පාළිය ය.

පඤ්ඤාපාසාදං - ප්‍රඥා නැමැති ප්‍රාසාදයට.

‘පඤ්ඤාපාසාදං’ යනු සමස්තපදයෙකි. අත්‍යුද්ගතාර්‍ත්‍ථයෙන් ප්‍රඥාව ම ප්‍රඥාප්‍රාසාද නමි. මෙහි උපමානය වූ ප්‍රාසාදයාගේ අත්‍යුද්ගතාර්‍ත්‍ථය, උපමෙය වූ ප්‍රඥාව කෙරෙහි ආරෝපිත කොට ඒ උභයවස්තූන් අතරෙහි භේදයක් නො මැති සේ ගන්නා ලද්දේ ය. එහෙයින් මෙය රූපකැ’ යි ආලඞ්කාරිකයෝ කියති. මේ එය කියූ සැටි:-

“තද්‍රෑපකමභෙදොය උපමානොපමෙයයොඃ” යි.

පඤ්ඤා, සංස්කාරස්කන්ධයෙහි ගැණෙන සංස්කාරයෙකි. සිතුවිල්ලෙකි. මෝ මුළුමනින් යහපත් ය. කිසිවිටෙකත් අයහපතට නපුරට වැටෙන සිතුවිල්ලෙක් නො වේ. “පකට්‍ඨෙන ජානාති’ති පඤ්ඤා, පඤ්ඤාපනට්‍ඨෙන = පඤ්ඤා, පජානාති එතායාති පඤ්ඤා, පජානනං-පඤ්ඤා” යනු විවරණකරුවන්ගේ විවරණයෝ ය. ප්‍රකර්‍ෂයෙන් දනීනුයි පඤ්ඤා; යථාස්වභාවය දන්වන බැවින් පඤ්ඤා; මෙයින් යථාස්වභාවය ප්‍රකර්‍ෂයෙන් දනීනු යි පඤ්ඤා; ප්‍රකර්‍ෂයෙන් දැනීම පඤ්ඤා, යි මුලින් කියු විවරණ වාක්‍යයන්ට කෙටියෙන් සිංහලයෙන් අරුත්කීම ය. මේ හැම විවරණයෙක භාවය එකෙක් ම ය.

පඤ්ඤා යන්නෙන් කියන ප්‍රකර්‍ෂජානනය නම්, අන් කිසි තැනෙක දැනීමෙක් නොව, රූප - වේදනා - සංඥා - සංස්කාර - විඥාන යන ස්කන්ධ පස බෙදිය හැකි හැම අතකට බෙදා, කැඩිය හැකි හැම අතකට කඩා, බැලිය යුතු හැම අතකින් බලා, ඒ හැම බෙදුමක් ම, කැඩුමක් ම, බැලුමක් ම, ලක්ඛණ රස - පච්චුපට්ඨාන - පදට්ඨානාදීන්ගේ වශයෙන්, බලා, එහි නියම තතු නියම අරුත් දැනීම ය.

දැනීම දෙන, දැනීම කරණ, තවත් ශක්තිමාත්‍ර දෙකක් පොත පතෙහි දක්වා ඇත්තේ ය. ඒ නම්, සංඥා-විඥාන දෙක ය. එ දෙක ම දෙන්නේ ඉතා සුලු දැනීමක් ය. නො පැතුරුණු දැනීමක් ය. නො ගැඹුරු දැනීමක් ය. මෙ දෙකට, ස්කන්ධයන්ගේ ඇති තතු දන්නට මොන ලෙසකිනුත් නො හැකි ය. එහි සංඥාව, ඒ ඒ වස්තුන්, යම්තමකින් හඳුනා ගන්නී ය. විඥානය ඒ ඒ වස්තූන් විෂයයෙහි එයට වඩා, යම්තමක් වැඩි වූ දැනුමක් ලබා දීමෙහි පොහොසත් වන්නේ ය. ප්‍රඥාව, එසේ නො වේ. එය හැම එකෙකම ඇති තතු, නියම තතු දන්නී.

ලක්‍ෂණ විසින්, ඒ ඒ ධර්‍මයන්හි, වස්තූන්හි, පදාර්‍ත්‍ථයන්හි නියම තතු දැනීම ය මෙහි ලක්‍ෂණ. කෘත්‍යය විසින්, ඒ ඒ ධර්‍ම වස්තු පදාර්‍ත්‍ථ වසා සිටි මොහඳුර නැසීම ය, මෙහි කෘත්‍යය. කිසි තැනෙක නො මුළාවීම ය, මෙහි ප්‍රත්‍යුපස්ථාන ය. එකඟ කමය, මෙයට ලංව සිටියේ. චිත්ත-චෛතසිකධර්‍ම ආලෝකවත් කිරීම හා ඒ ඒ වස්තූන්හි නො පැකිළ පවත්නා දැනීම ද මෙහි තවත් ලක්‍ෂණයෙකි. අරමුණු එලිය කිරීමත් මෙහි කෘත්‍යයක් කොට ගත හැක්ක.

ප්‍රඥාවගේ ප්‍රභේද බොහෝ ය. ඒ කියන්නට මොනලෙසකින්වත් අපට පිළිවන් කමෙක් නැත්තේ ය. පොතපතිත් දැනගත් පමණ ද, සාමාන්‍යයන්ගේ දැනීම සඳහා කියන්නට ද මෙහි ඉඩ නැත. එහෙයින් එන්නේ මෙහි ඉතා ටිකෙක් ම ය.

ලෞකික - ලෝකෝත්තර විසින්, ප්‍රඥාව දෙ පරිදි ය. එහි, මහද්ගතලෝකෝත්තරඅර්‍පණාසමාපත්තිවීථින්හි පරිත්ත හෝ පෘථග්ජනගෝත්‍ර මැඩ, නැත, මහද්ගතආර්‍ය්‍යගෝත්‍ර වඩමින් නැගෙන ගෝත්‍රභූචිත්තය අවසාන කොට, කාමාවචරාදිලෞකික චිත්තයන් හා එක් ව යෙදුනු ප්‍රඥාව ලෞකිකැ යි ගැණේ. ‘තීසු භූමිසු කුසලව්‍යාකතා පඤ්ඤා ලොකියා පඤ්ඤා’ යි බුදුරජානන් වහන්සේ එහිලා වදාළ සේක.

අටවැදෑරුම් මගපල සිත් හා යෙදුනු ප්‍රඥාව ලෝකෝත්තර ප්‍රඥා නමි. මෙන්න බුද්ධ වචනය:- ‘චතුසු මගෙ‍්ගසු චතුසු එලෙසු පඤ්ඤා ලොකුත්තරා පඤ්ඤා’ යනු.

මෙහි ගාථාවෙහි එන ‘පඤ්ඤාපාසාදං, යන්නෙන් බුදුරජානන් වහන්සේ දක්වා වදාළෝ, නානාභේදගතප්‍රඥාවන් අතුරෙහි දිබ්බචක්ඛුඤාණය ය. මේ උන්වහන්සේ එය විස්තර කළ සැටි:-

“ඉධ තථාගතො දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උප්පජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණෙ‍්ණ දුබ්බණෙ‍්ණ සුගතෙ දුග්ගෙත යථා කම්මූපගෙ සත්‍තෙ පජානාති, ඉමෙ, වත භොන්තො සත්තා කායදුච්චරිතෙන සමන්නාගතා චවීදුච්චරිතෙන සමන්නාගතා මනාදුච්චරිතෙන සමන්නාගතො අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්මසමාදානා, තෙ කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා, ඉමෙ වා පන භොන්තො සත්තා කායසුචරිතෙන සමන්නාගතා වචීසුචරිතෙන සමන්නාගතා මනොසුචරිතෙන සමන්නාගනා අරියානං අනුපවාදකා සම්මාදිට්ඨිකා සම්මාදිට්ඨිකම්ම සමාදානා තෙ කායස්ස හෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නා’ති ඉති දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උප්පජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණෙ‍්ණ දුබ්බණෙ‍්ණ සුගතෙ දුග්ගතෙ යථා කම්මූපගෙ සත්තෙ පජානාතී ‘ති යා තත්‍ථ පඤ්ඤා පජානතා -පෙ- අමොහො සම්මාදිට්ඨි, ඉදං තථාගතස්ස සත්තානං චුතූපපාතං යථාභූතං ඤාණං” යි.

‘ලොවැසි මිනිස්සු (ප්‍රධාන විසින්) කායාදීත්‍රිවිධදුශ්චරිතයෙන් යුක්ත වෙති, බුද්ධප්‍රත්‍යෙකබුද්ධාදී ආර්‍ය්‍යයනට ඇණුම් බැණුම් ගැරහුම් ආදිය කරන්නෝ ය, මිසදිටු ගන්නෝ ය, මිසදිටුකම් සමාදන් ව ගන්නෝය, එහෙයින්, ඔවුහු මරණින් මතු දුගතියෙහි උපදිති, ඇතැම් කෙනෙක් කායාදිත්‍රිවිධ සුචරිතයෙන් යුක්ත වෙති, ආර්‍ය්‍යයනට උපවාද නො කරන්නෝ ය, සම්දිටු ගන්නෝය, සම්දිටුකම් සමාදන් ව ගන්නෝ ය, එහෙයින් මරණින් මතු සුගතියෙහි උපදිති’ යි මෙසේ මැරෙණ - උපදින - හීන - ප්‍රණීත - සුවර්‍ණ - දුර්‍වර්‍ණ - සුගති දුර්‍ගතියට යන, කර්‍මානුරූප ව ඒ ඒ ගතිවල ඉපිද සුවදුක් විඳින සත්වයන්, තථාගත තෙමේ දිබ්බචක්ඛුඤාණයෙන් දැන වදාරණ සේකැ’ යි. ඒ කියූ ලෙසින් සත්වයන් පිළිබඳ චුතිඋත්පත්ති දන්නා නුවණ චුතූපපාතඤාණ නම් වේ, යනු එහි කෙටි සිංහල ය.

‘පාසාද’ නම් දෙවියන් හා රජුන් උදෙසා ගඩොලින් ගොඩ නැගූ භවනයෝ ය. ‘දෙවානං නරපතීනං ච ඉට්ඨකාමයං භවනං’ යනු ඒ කියයි. මන නුවන් පහදවන බැවින් මෙ කී භවනයෝ පාසාද යි කියනු ලැබෙති . ‘පසීදන්ති නයනමනානි අත්‍රෙති පාසාදො’ යනු අර්‍ත්‍ථවිවෘතියි. සිවුරැස් ගෙය ද පාසාද යි කියන ලද්දේ ය ‘චතුරස්සො පතිස්සයවිසෙසො පාසාදො’ යනු ඒ කියූ සැටි යි. තවත් කෙනෙක් දික් වූ සිවුරැස් ගෙය පාසාදැ යි කියති. මේ ඒ කියුම:- ‘ආයතචතුරස්සපාසාදොති’

මෙහි ලා දිබ්බචක්ඛුඤාණය හා ප්‍රාසාදය අභේදයෙහි ලා ගත්හ. ‘පඤ්ඤා එව පාසාදො = පඤ්ඤාපාසාදො’ යනු කීයේ එහෙයිනි.

ආරුය්හ = නැග. ලබා. උපදවා.

ප්‍රඥාප්‍රාසාදයට නැගීම නම්, මෙහි දිබ්බචක්ඛුඤාණය ලැබී ම ය. ඒ ලබන්නට කැමැති ආදිකර්මිකයා විසින් භූතකසිණ සතර, වර්‍ණකසිණ සතර යන අටවැදෑරුම් කසිණ අතුරෙහි යම් කිසි කසිණයක් අරමුණු කොට නැඟී සිටි අභිඥාපාදකචතුර්‍ත්‍ථධ්‍යානය හැම අතකින් අභිනීහාරක්‍ෂම කොට, හෙවත් සිත මෙහෙයීමට සුදුසු කොට තේජෝකසිණ, ඔදාතකසිණ, ආලෝකකසිණ යන තුන් කිසුණු අතුරෙහි එක්තරා කසිණයක් දිබ්බචක්ඛුඤාණයට ලං කොට හෙවත් ඒ කසිණයෙහි උපචාරධ්‍යානය වැඩියක් පුහුණු කොට අරමුණ වැඩිය යුතු ය. එහි අර්‍පණා නො ඉපදවිය යුතු ය. මේ කියූ තුන් කසිණයන් අතුරෙහි මෙයට වඩා යෝග්‍යවනුයේ ආලෝකකසිණය ය. ඒ නිසා ඒ ආලෝකකසිණය හෝ අනික් කසිණ දෙදෙනා අතුරෙන් එකක් හෝ අරමුණු කොට විශුද්ධිමාර්‍ගයෙහි කසිණනිද්දෙසයෙහි කියූ පරිද්දෙන් උපචාරද්ධ්‍යානය ඉපදවීම් වශයෙන් උපදවා ගත යුතු ය. එය වඩනා සැටි ද එහි ම කියන ලද්දේ ය. කසිණපටිභාග නිමිත්තය යි කියන ඒ ආලෝකය, වැඩු ප්‍රදේශය තුළ පිහිටි, වැඩු තැන්හි ම ඇතුළත් වූ රූප බැලිය යුතු ය. බැලිය හැකි ය. ඉන් පිටත්හි වූ රූප නො දැක්ක හෙන්නේ ය. ඒ රූප බලත් ම ඔහුගේ පරිකර්‍මවාරය ඉක්ම යෙයි. එහි වූ ආලෝකය අතුරුදහන් වේ. ආලෝකය අතුරුදහන් වීමෙන් රූප ද නො පෙනී ය යි. මෙහි පරිකර්‍මැ යි කීයේ කසිණය අරමුණු කොට පවත්නා උපචාරද්ධ්‍යානය ය. ඒ උපචාරද්ධානය පිටත්හි වූ රූප දකින්නාට නූපදනේ ය. මෙසේ පරිකර්‍මවාරය ඉකුත් ව ගොස් ආලෝකය අතුරුදන් වීමෙන් රූප නො පෙණී ගිය පසු, ඒ යෝගියා විසින් නැවැත පාදකද්ධ්‍යානයට සමවැද, එයින් නැගිට, කසිණාලෝකය පැතිර විය යුතු ය. මෙසේ කිරීමෙන් අනුක්‍රමයෙන් කසිණාලෝකය ශක්තිමත් වේ. කසිණාලෝකය ශක්තිමත් වූ කල්හි ඒ පැතිර සිටි ප්‍රදේශයෙහි පිහිටි හැම රූපයෙක් ම පෙණී යන්නේ ය. යෝගී තෙමේ, ‘කසිණාලෝකය යම් තරම් ප්‍රදේශයක පැතිරේවා’ යි සිතා ද, වෙන් කර ගණී ද, ඒ ප්‍රදේශයෙහි ආලෝකය පැතිර සිටින්නේ ය. දවසක් මුළුල්ලෙහි නමුත් බලන්නා හට රූප පෙණී යන්නේ ය.

මිනිසෙක් හුළුඅත්තක් ගෙණ රෑ ගමනක් යයි. මගට බැස යනවිට, හුළු අත්ත නිවෙයි. එකල කිසිවෙක් ඔහුට නො පෙණී යයි. මගැ පිහිටි සම විසම තැන් ආදී කිසිවකුත් නො පෙණෙයි. එකල ඔහු නිවීගිය හුළුඅත්ත, බිම උළා නැවැතත් දල්වා ගණියි. එයින් හුළුඅත්ත මහත් සේ ඇවිලී යයි. මුලින් තිබූ ආලෝකයටත් වඩා මහත් ආලෝකයක් එයින් ලැබෙයි. නැවැත නැවැතත් නිවුනු කල ඔහු එසේ කොට හුළුඅත්ත දල්වයි. මේ අතර හිරු උදාවෙයි. හිරු උදාවූ කල්හි හුළුඅත්තෙන් වැඩෙක් නැතැ යි එය හැර දමා ගමන් කරයි.

මේ උපමායෙහි, පරිකර්‍මඅවස්ථායෙහි පහළවන කසිණාලෝකය, හුළුඅත්තෙන් ලැබුනු ආලෝකය සේ සැලකිය යුතු ය. රූප බලන්නාහට, පරිකර්‍මයාගේ වාරය ඉක්ම යෑමෙන් ආලෝකය අතුරුදහන් වූ කල්හි රූපයන්ගේ නො දැක්ම, හුළුඅත්ත නිවී ගිය කල්හි මගැ තුබූ සම විසම තැන් නො දැක්ම සේ සැලකිය යුතු ය. නැවැත නැවැත පාදකද්ධ්‍යානයට සමවැදීම, හුළුඅත්ත, බිම ඉලීම සේ සැලකිය යුතු ය. පුන පුනා. පරිකර්‍ම කරන්නා වූ යෝගාවචරයාට ඉතා බලවත් සේ ආලෝකයාගේ පැතිරීම, ආලෝකයාගේ නැගීම, හුළුඅත්තේ මුලින් පැවැති ආලෝකයට වඩා මහත් ආලෝකයක් නැඟී පැතිරී යෑම සේ සැලකිය යුතු ය. තහවුරු බවට ගිය ආලෝකය, වෙන් කොට ගත් ප්‍රදේශයෙහි පැතිර සිටීම හිරු උදාවීම සේ සැලකිය යුතු ය. නො පැතිරගත් ආලෝකය හැර පැතිරගත් ශක්තිමත් ආලෝකයෙන් දවස පුරා රූප දැකීම, හුළුඅත්ත හැර දමා හිරු එළියෙන් රූප දැකීම සේ සැලකිය යුතු ය. දිබ්බචක්ඛුඤාණයට පිරියම් කරණ අවස්ථාවෙහි පිරියම් කරන්නහුගේ මසැසට නො හමුවන කුක්‍ෂිගතරූප, හෘදයවස්තුගතරූප, පොළොව යට පැවැති රූප, බිත්ති පවු පවුරු ආදියෙන් මුවහ වූ රූප, පිට සක්වළෙහි සිටි රූප, යන සියලු රූපවිශේෂ, මසැසින් දක්නා කල්හි මෙන්, නුවණැසට හමු වෙයි. මෙසේ මෙකී රූප මසැසින් දන්නා ලබන්නා සේ නුවණැසින් දක්නා ලැබේ ද එකල දිබ්බ චක්ඛු ඤාණය උපනැ යි දත යුතුය.

දිබ්බචක්ඛුඤාණය ම රූපදැකීමෙහි සමර්‍ත්‍ථ වේ. එය පහළවන්නට පෙරාතු ව පැවැති සිත්, රූපදැකීමෙහි සමර්‍ත්‍ථ නො වේ. දිබ්බචක්ඛුඤාණය පෘථග්ජනයාට හිතකර නො වේ. පෘථග්ජන තෙමේ ‘යම් පමණ තැනක් ආලෝකවත් වේවා’ යි ඉටා ද එ පමණ තැනැ පෘථිවි සමුද්‍ර පර්‍වතාදිය බිඳ ගෙණ විනිවිද ගෙණ ආලෝකවත් වේ. මෙසේ ඒ ඉම් කොට ඉටු ප්‍රදේශයෙහි සිටි භයානක යක්‍ෂ රාක්‍ෂසාදිරූප දක්නා වූ පාථග්ජනයාහට භය උපදින්නේ ය. එ හෙයින් ඔහු චිත්තවික්‍ෂේපයට ද පැමිණෙන්නේ ය. ධ්‍යානභාවනාවෙන් පිරිහී උමතු බවට යන්නේ ය. එහෙයින්, ඔහු විසින් කළ යුත්තේ, දිබ්බචක්ඛුඤාණය ලදැයි සෑහීමට නො ගොස් විදර්‍ශනාභාවනාවෙහි උත්සාහවත් ව චතුස්සත්‍යාවබෝධයෙහි, අප්‍රමත්තයකු වී ම ය.

මේ සඳහා යෝග වඩන කල්හි, රූපය අරමුණු කොට මනෝද්වාරාවර්‍ජනචිත්තය ඉපිද නිරුද්ධ ව යයි. එවිට ඒ රූපය ම අරමුණු කොට ජවන්සිත් සතරෙක් හෝ පසෙක් උපදියි. මේ චිත්ත වීථියෙහි ද පූර්‍වභාගයෙහි වූ ආවර්‍ජනාදි චිත්තයෝ සචිතර්‍ක. සවිචාර වූවාහු කාමාවචර වෙති. චිත්තවීථියෙහි අවසානයෙහි වූ රූප දකින සිත, චතුර්‍ත්‍ථධ්‍යානයෙන් යුක්ත වූයේ, රූපාවචර වේ. රූප දකින මේ සිත සමග හටගත් නුවණ ‘චුතූපපාතඤාණ’ නම්. ‘දිබ්බචක්ඛුඤාණ ‘ යනු තවත් එයට නමෙකි.

ඉතා කොටින් මෙහි කියූ දිබ්බචක්ඛුඤාණය ලැබිය හැක්කේ ඒ සඳහා සම්පූර්‍ණ කළ යුතු වූ ප්‍රතිපදා සම්පුර්‍ණ කොට සිටි කල්හි ය.

අසොකො = සෝක රහිත වූයේ සෝක නැත්තේ.

‘සොක’ නම් ඥාතිව්‍යසනාදියෙන් පහස්නා ලද්දහුගේ, මැඩුනහුගේ, පෙළුනහුගේ සිතෙහි වන්නා වූ තැවිල්ලය. “සොකො නාම ඤාතිබ්‍යසනාදිහි ඵුට්ඨස්ස චිත්තසන්තාපොයි’ ඒ කීහ. මෙය විස්තර විසින් වදාරන බුදුරජානන් වහන්සේ ‘ඤාති බ්‍යසනෙන වා ඵුට්ඨස්ස භොගබ්‍යසනෙන වා ඵුට්ඨස්ස, රොග බ්‍යසනෙන වා ඵුට්ඨස්ස සීලබ්‍යසනෙන වා ඵුට්ඨස්ස, දිට්ඨිබ්‍යසනෙනවා ඵුට්ඨස්ස, අඤ්ඤතරඤ්ඤතරෙන වා දුක්ඛ ධම්මෙන ඵුට්ඨස්ස අඤ්ඤතරඤ්ඤතරෙන වා බ්‍යසනෙන සමන්නාගතස්ස සොකො සොචනා සොචිතත්තං අන්තො සොකො අන්තො පරිසොකො අන්තොදාහො අන්තො පරිදාහො චෙතසො පරිජ්ඣායනා දොමනස්සං සොකසල්ලං” යි වදාළ සේක. ඥාති ව්‍යසනයෙන් හෝ භෝගව්‍යසනයෙන් හෝ රෝගව්‍යසනයෙන් හෝ ශීලව්‍යසනයෙන් හෝ දෘෂ්ටිව්‍යසනයෙන් හෝ මිත්‍රාමාත්‍යාදි ව්‍යසනයෙන් හෝ සෝකය ඉපැමට හේතු වූ අන් එක්තරා එකකින් හෝ පහස්නා ලද්දහුගේ මඩනා ලද්දහුගේ සිත්තැවිල්ල ශෝකය යනු, මෙහි ඉතා කෙටි තේරුමය.

හිතයට නො වැටෙන, හිතසුව නසන සිදුවීම් ව්‍යසන නැමැ යි කීහු ‘හිතසුඛං ඛිපති විද්ධංසෙතීති = බ්‍යසනං, යනු බ්‍යසන

යන්නෙහි අරුත් පැහැදිලි කිරීම ය. චොරභය රෝගභයාදියෙන් වන ඥාතීන්ගේ විනාශය, පිරිහීම, ඥාතිබ්‍යසන නම්, සෙස්සද මේ ලෙසින් සලකන්නේ ය.

මෙහි කී ඥාතිබ්‍යසනාදී වූ යමකින් උපදින තැවීම, සිත හැම අතකින් දවාලන්නේ ය. එ හෙයින් මේ සූත්‍ර දේශනාවෙහි බුදුරජානන් වහන්සේ, ශෝකය කිමැ යි වදාරණු පිණිස ‘චෙතසො පරිජ්ඣායනා’ යනු වදාළ සේක. “චිත්තස්ස ඣානාකාරො සොකො හි උප්පජ්ජමානො අග්ගි විය චිත්තං ඣාපෙති පරිදහති චිත්තං මෙ ඣාමං න මෙ කිංචි පටිභාතී’ති වදාපෙති” යනු එය අටුවා කළ සැටිය. සිත දවන ආකාර වූ සෝකය තෙමේ උපදනේ ගින්නක් සේ සිත දවයි. හාත්පසින් දවයි. ‘මාගේ සිත දන ලද ය, මට කිසිවක් නො වැටහේ ය යි ශෝකයෙන් යුත් මිනිසාට කියව’ යි යනු එහි සිංහලය.

මේ වනාහි අරුත විසින් දොම්නස ම ය. ‘සො පන යං කිංචා පි අත්‍ථතො දොමනස්සමෙව හොති ‘ යනු ආචාර්‍ය්‍යයවචනයි. ‘අන්තො නිජ්ඣානලක්ඛණො සොකො’ ඇතුළත වියලීම ලකුණු කොට සිටියේ ය. සෝක ය . ‘චෙතසො පරිනිජ්ඣායන රසො’ කෘත්‍යය සිතේ දැවීම ය. ‘අනුසොචනපච්චුපට්ඨානො’ ඒ ඒ ගුණදොස් අනු ව ගොස් පසුතැවීම් වැටහීම කොට සිටියේ ය.

ශෝකය, කායික-චෙතසිකවශයෙන් දෙ පරිදි ය. සිතතුළ හටගත් ශෝකවේගයෙන් සමහර විට හෘදයෙහි මහගඩු හටගැණී මෝරා ගොස් බිඳී යන්නේ ය. එම අවස්ථාවෙහි කටින් කළු පැහැති ලේ නික්මෙන්නේ ය. මේ වනාහි කායිකශෝකයෙන් වන යන්තම් දුකෙකි. ‘මාගේ මෙතෙක් නෑයෝ විනාශයට ගියහ, මෙතෙක් භෝගයෝ විනාශයට ගියහ’ යි සිතන්නහුට බලවත් වූ දොම්නසෙක් උපදින්නේ ය. ඒ දොම්නසය චෙතසික ශෝක ය. මෙසේ මේ දෙකට වස්තුව සිටි බැවින් ශෝකය දුකැයි ද වදාළ සේක.

“සත්තානං හදයං සොකො සල්ලං විය චිතුජ්ජති,

අග්ගිතත්තො ව නාරාවො භුසං ව ඩහතෙ පුන.

.

සමාවහති ච බ්‍යාධි ජරාමරණභෙදනං,

දුක්ඛම්පි විවිධං යස්මා තස්මා දුක්ඛාති වුච්චති”

ශෝකය තෙමේ, හුලක් මෙන් සත්වයන්ගේ ලය පෙළයි. ගින්නෙන් තැවූ නරදක් සේ නැවැත නැවැත තදින් දවයි.

ශෝකය තෙමේ, යම් හෙයකින් සත්වයන් ව්‍යාධි ජරා මරණ භේද ඇති මහත් දුකට පමුණුවා ද, එයින් අන්‍යවූත් දුක් එළවාද එයින් ශෝකය දුකැ යි බුදුරජානන් වහන්සේ වදාළ සේක.

මෙසේ සිත කය දවන පෙළන ශෝකයෙන් තොර වූයේ ‘අසොක’ නම් වේ.

සොකිනිං පජං = ශෝක කරණ සුලූ සත්ව සමූහය.

මෙහි ‘පජං’ යන්නෙන් මුළුසත්වලෝකය ගැණේ. එහෙත් විශේෂ විසින් මෙහිලා ගැණෙන්නේ භවයෙහි උපතට හේතු වූ කර්‍මමූලොච්ඡින්න නො කළ අවිද්‍යාදිකෙලෙස් ඇති අඥසත්වයෝය. ඔවුහු ය කුදු මහත් තැනැ ශෝක කරණුවෝ.

පබතට්ඨො ඉව = පර්‍වතමස්තකයෙක සිටියකු සේ. කඳුමුදුනෙක සිටියකු සේ.

හන්දිවලින් පුරුක්වලින් නැගී බැඳී රැස් වී සිටියේ ‘පබ්බත’ නම්. එබඳු පුරුක් ඇත්තේ හෝ ‘පබ්බත’ නම්.

භුම්මට්ඨෙ = බිම සිටියවුන්.

ධීරො = ප්‍රාඥතෙමේ. නුවණැත්තේ

මෙහි ‘ ධීර’ නම්, ඉද්ධිවිධ - දිබ්බසෝත - දිබ්බචක්ඛු - පරචිත්ත විජානන - පුබ්බෙනිවාසානුස්සති - ආසවක්ඛයකරඥාණ යන ඥානෂට්කයෙන් යුක්ත වූයේ ය. ෂඩ්ඥානය ඇත්තේ ය. ෂඩභිඥා යනුත් මේ ෂඩ්ඥානය ය. [4]

බාලෙ = අඥයන්. නුවණැත්තන් [5]

අවෙක්ඛති = දකියි. බලයි.

දැකීම දෙ පරිදි ය. ඇසින් දැකීම, නුවණින් දැකීම යි. එයින් මෙහි ‘අවෙක්ඛති’ යන්නෙන් කියැවෙනුයේ නුවණින් දැකීම ය මෙන්න අටුවාව.

“යථා නාම පොක්ඛරණිං විප්පසන්නං නවොදකං පුරාණොදකං සඞෙ‍්ඛාහෙත්‍වා තස්සොකාසං අදත්‍වා තං අත්තනො මත්‍ථකමත්‍ථකෙන පලායන්‍තං නුදති නීහරති, එවමෙව පණ්ඩිතො අප්පමාදලක්ඛණං බ්‍රෑහෙන්තො; පමාදස්සොසං අදත්‍වා යථා අප්පමාදවෙගෙන තං නුදති නීහරති අථ සො පනුණ්ණපමාදො අච්චුග්ගත‍ට්ඨෙන පරිසුද්ධං දිබ්බචක්ඛු සඞ්ඛාතං පඤ්ඤායපාසාදං තස්ස අනුච්ඡවිකං පටිපදං පූරෙන්තො තාය පටිපදාය නිස්සෙනියා පාසාදං විය ආරුය්හ පහීණසොකසල්ලතාය අසොකො, අප්පහීණසොක සල්ලතාය සොකිනං පජං සත්තකායං චවමානං ච උප්පජ්ජමානං ච දිබ්බචක්ඛුනා පස්සති යථා කිං, පබ්බතමුද්ධනිට්ඨිතො භූමියං ඨිතො උපරි පාසාදෙ වා පන ඨිතො පාසාදපරිවෙණෙ අකිච්ඡෙන අවෙක්ඛති තථා සො පි ධීරො පණ්ඩිතො මහාබීණාසවො අසමුච්ඡින්න වට්ට බීජෙ බාලෙ චවන්තෙ ච උප්පජ්ජන්තෙ ච අවෙක්ඛතී’ ති”

පොකුණට අලුතෙන් වැදෙන දිය පොකුණෙහි බොහෝ කලක් පල්ව තුබූ පැරණි දිය කළඹා ඒ පැරණි දියට ඉඩ නො දී එය මතු කොට පා කොට හරින්නේ ය. එ පරිද්දෙන් නුවණැති සමෘතිමත් මනුෂ්‍යයා අප්‍රමාදහේතුවෙන් ප්‍රමාදයට ඉඩ නො දී අප්‍රමාද වේගයෙන් ප්‍රමාදය පන්නා හරින්නේ ය. නැවැත, පන්නා හැරිය ප්‍රමාදය ඇති ඔහු පිරිසිදු වූ දිවැසැ යි කියන ප්‍රඥා ප්‍රාසාදයට, එයට සුදුසු ප්‍රතිපදා පුරන්නේ ඒ ප්‍රතිපදාවෙන් හිණි මගකින් පහයකට නගින්නා සේ නැගී පැහු සෝකහුල් ඇති බැවින් නිශ්ශෝකී ව නො පැහූ කෙලෙස්හුල් ඇති මැරෙණ උපදින සත්වයන් දිවැසින් දකියි. උස කඳුමුදුනෙක සිටියකු බිමැ සිටියවුන්, නැත, පහයමතුයෙහි සිටියකු බිම සිටියවුන් නිදුකින් පහසුවෙන් දකින්නේ ය. දකින්නේ මෙසේ අප්‍රමත්ත වූ ධෘ‍සම්පන්න වූ පණ්ඩිත වූ මහාක්‍ෂීණාශ්‍රවයන් වහන්සේ නො සිඳහැරිය සසරැ උපදවන ශක්තිය ඇත්තා වූ බාලජනයන් ප්‍රමත්තයන් දිවැසින් දකිත්.

ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවන් ඵලාදියට පැමිණියාහු ය.

ම‍කාශ්‍යපස්ථවිරවස්තුව නිමි.

  1. 3-1 ‘පමාදො’ යන්න බලනු.

  2. 2-1 ‘අප්පමාදො’ යන්න බලනු.

  3. 3-1 ‘පණ්ඩිතා’ යන්න බලනු.

  4. 2-1 ‘ධීරා’ යන්න බලනු.

  5. 2-4 ‘බාලා’ යන්න බලනු.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.