උට්ඨානෙනප්පමාදෙන සඤ්ඤමෙන දමෙන ච
දීපං කයිරාථ මෙධාවී යං ඔඝො නාභිකීරති.
(කායික මානසික වීර්‍ය්‍ය සංඛ්‍යාත) උත්‍ථානයෙන් ද, (සුසිරිත් දහම්හි) සිහි ඇති බව යැ යි කියන ලද අප්‍රමාදයෙන් ද, (සිවු පිරිසිදු සිල් යැ යි කියන ලද) කායවාක් සංයමයෙන් ද, (සදොරට හමු වූ අරමුණෙහි ලෝභ දේවේෂ මෝහ නො උපදවා යෝනිසෝමනස්කාරය පැවැත්මය යි කියන ලද) ඉන්‍ද්‍රිය දමනයෙන් ද, (විවසුන් නුවණින් යුත්) ප්‍රාඥ තෙම, යම් ප්‍රතිෂ්ඨාවක් (කමෝඝාදී වූ) කෙලෙස් මහවතුර නො නසා ද (නසාපිය නො හේ ද), ඒ (රහත්පල නැමැති) ප්‍රතිෂ්ඨාව කරන්නනේ ය.
රජගහානුවර ධන සිටුකුලය යි ප්‍රසිද්ධ වූ එක් කුලයෙක් වූයේ ය. එහි යොවුන් මදයෙන් මත් වූ කාන්තාවක් වූ ය. පුරුෂයන් කෙරෙහි තදින් ලොල් වූ ඕ තොමෝ මවුපියන් විසින් සමහල් ගෙයි මතුමාලෙහි ලා රකිනු ලබන්නී ය. එහෙත් ඕ තොමෝ එහි සිටි දැස්සකු හා රහසේ කාමසේවනය කොට ‘අප දෙන්නා අතින් සිදු වූ මේ වැරැද්ද මවුපියන් විසින් දන්නා ලද්දේ නම්, මා කෑලිවලට කපා දමනු ඇතැ’ යි බිය වූ වා, මගවියදම් හා ගෙයි තුබූ තවත් වටිනා ඇඳුම් කැඩුම් ආභරණ ද පොදි ගසා ගෙණ ‘කො තැනෙක හෝ ගොස් දිවි යවන්නෙමි’ යි දැස්සහු හා පැන ගියා ය. එක් ඈත ගමකට ගොස් එහි වසන ඇයගේ කුසෙහි දරුගැබක් හටගත්තේ ය. දරුගැබ මෝරා ගිය කල්හි ඕතොමෝ තම පුරුෂයාට අඬ ගා ‘දැන් දරුගැබ හොඳට ම මෝරා ගොස් තිබේ, අද හෙට ම වාගේ දරුවා බිහිවිය හැකි ය, කාත් කවුරුත් නැති මේ තැන එය සිදු වී නම්, අප දෙන්නාට ම වන්නේ මහත් ගැහටක, ඒ නිසා කොයි එකක් වුවත් කමක් නැත, ගෙදර යමු’ යි කිවූ ය. ‘මම එහි ගියෙම් නම්, මා මරා දමනු වරදින්නේ නැතැ’ යි සිතූ ඒ පුරුෂ තෙමේ, ‘අද යමු, හෙට යමු’ යි දවස් කිහිපයක් එහි ම ඉක්මවා හැරියේ ය. එකල්හි ඕ තොමෝ ‘මූ යන හැඩෙක් නො පෙණේ, වන්නෙක් වේවා, මවු පියෝ, ගුරුවරු, දරුවන්, සිසුන් කෙරෙහි යම් යම් වේලෙහි කිපුනෝ ද, එකාන්තයෙන් හැම දා හිතවත්හු ය, දරුවන් ගේ සිසුන්ගේ හිතවැඩ කැමැත්තෝ ය, මොහු යේ නම් යේවා, නො යේ නම් නො යේවා, මා යා යුතු ය’ යි සිතා පුරුෂයා, ගෙන් බැහැර ගිය කල්හි ගෙයි තුබූ බඩුමුට්ටු තැන්පත් කොට තමන් ගෙදර යනබව අසල් වැස්සන්ට දන්වා මගට බැස ගියා ය. මේ අතර ගෙදර ආ ඒ පුරුෂ තෙමේ ඇය නො දැක අසල් වැස්සන් විචාරා වහා දුව ගොස් අතරමගදී ඇය හා එකතු විය. ඒ ඇසිල්ලෙහි ඕ තොමෝ දරුවකු වැදූ ය. කුලගෙට යෑම එයින් අත් හිටවා දෙදෙන ම එක්සිත් ව පෙරළා මුලින් වුසූ තැනට ම ආහ. උපන් දරුවාට අතර මගදී උපන් බැවින් පන්ථක යි නම් කළහ. මාස කිහිපයක් ගිය තැන ඇය කුස තවත් දරු ගැබෙක් හට ගත්තේ ය. ඒ අවස්ථාවේ දී ද ගැබෙන් සැහැල්ලු වන්නට ගෙදර බලා මග බැස යන්නෝ පළමු සේ අතර මගදී ම දරු උපන් බැවින් කුල ගෙට යෑම අත හැර ආපසු හැරී හුන් තැනට ම ආහ. ඒ දරු උපතත් අතර මගදී ම සිදු වූ බැවින් පළමු උපන් දරු මහාපන්ථක නම් කොට දෙවන දරුට චූලපන්ථක යි නම් තැබූහ.
දිනක් මහාපන්ථක තෙමේ එහි කුඩා ගම්දරුවන් කියන ‘ලොකු අජපා, බාප්පා, මුත්තා, මුත්තනී, නැද්ද, මාමා, ලොකු අම්මා, බාලම්මා’ යනාදී වූ නෑකම් අසා, ගෙට අවුත් ‘අම්මේ! අපට නෑයෝ නැත්දැ’ යි ඇසී ය. එවිට ඕ තොමෝ ‘පුත! නුඹලාට මෙහි නෑයෝ නැත, නුඹලාගේ මුත්තා රජගහානුවර මහාධන සිටු තෙමේ ය, අනික් නෑයෝත් එහි බොහෝය’ යි කිවු ය. ‘එහෙනම් අම්මේ! අපි එහි යමු’ යි කී කල්හි ඕ තො මෝ කිසිත් නො බැණ සිටියා ය. නැවැත නැවැතත් මහාපන්ථක තෙමේ එහි යන්නට මැනියන්ට බල කෙළේ ය. ඒ අතර දිනෙක ඕ තොමෝ ස්වාමියාට අඬ ගා ‘මේ ලමයි නෑයන් බලන්නට යන්නට ඕනෑ ය යි මට නිතර කරදර කරති, කොහොම ද දවසක් මේ ලමයි දෙදෙනාත් ගෙණ එහි ගොස් එන්නට යමු ද, මේ දරුවන්ට නෑයන් හඳුන්වා දිය යුතු නො වේ ද, හැම දා මෙසේ වල් වැදී ඉන්නට පිළිවන් ද, යමු ද හෙට’ යි කිවු ය. ‘සොඳුර! මට නම් එහි නො යා හැකි ය, මම ඔයා නම් එහාට ඇර ලන්නෙමි” යි කීවිට ‘මොක ද ඔවුහු අප මරා කත් ද, ඔවුන් අපට, තරවටු කරාවි, ඉතින් මොක ද තරවටු කළාට, අප කළ වැරද්දට’ යි කියා ලමයින් දෙදෙනාත් වඩා ගෙණ ස්වාමියාත් සමග මගට බැස්සා ය. රජගහානුවර දොරට පැමිණි ඔවුහු එහි වූ එක් අම්බලමෙක නවාතැන් ගෙණ පසු දා තමන් ලමයිනුත් ගෙණ ආ බව දෙමවුපියන්ට දන්වා යැවූහ. මවුපියෝ ඒ අසා ‘සසර උපදින්නවුන්ට දූ පුත් නො වූවෝ නැත, මූලා මහා අපරාධකාරයෝ ය, අපේ ඇස්වලට මුන් පෙණීම නො ඉවසනු හැකි ය, ඒ නිසා මෙහි ඊමෙන් වැඩෙක් නැත, මේ මුදල් ටික ගෙණ පහසු තැනක ගොස් දිවි රැක ගණිවු, ලමයින් දෙදෙනා මෙහි එවවු’ යි මුදල් ටිකක් දී පණිවුඩකරුවකු ඔවුන් වෙත යැවූහ. ඔවුහු මවුපියන් එවූ මුදල් ගෙණ ලමයින් පණිවුඩ කරු අතට දී පෙරළා හුන් තැනට ගියහ.
දැන් ලමයි මුත්තනුවන් ලඟ වැඩෙති. වූලපන්ථක ඉතා ලදරු ය. මහාපන්ථක මුත්තනුවන් හා බණ අසන්නට විහාරයට යයි. නිතර නිතර පන්සල් යන මහාපන්ථකන්ගේ සිත පැවිද්දට නතු විය. දිනක් ඔහු ‘මුත්තනුවෝ මට අවසර දෙත් නම්, මම පැවිදි වෙමි’ යි මුත්තනුවන්ට කී ය. ‘පුත! කුමක් කියහි, මාගේ පැවිද්දට වඩා නුඹගේ පැවිද්ද දෙවියන් සහිත ලෝකයට හිත වේ, හැක්කෙහි නම් කොතරම් හොඳ ද, මම එයට මුළුමනින් ම සතුටු වෙමි” යි ඔහු මහා පන්ථකයන් බුදුරජුන් වෙතට පැමිණ විය. බුදුරජානන් වහන්සේ උන් බලා සිට, තට පුතෙක්, මේ ලමයා කොයින් ලැබුනේ දැයි ඇසූහ. ‘එහෙයි! ස්වාමීනි! මේ මාගේ මුනුපුරා, දුවගේ පුතා, මොහු මා වෙතට අවුත් ටික දවසක් වෙනවා, දැන් පැවිදිවන්නට කැමැති යි, මේ දරු පැවිදි කර වදාරන්නැ’ යි සිටු තෙමේ කී ය. එවිට බුදුරජානන් වහන්සේ පැවිදි කරන්නට එක් පිණ්ඩචාරිකභික්‍ෂුනමක්හට නියම කළහ. උන්වහන්සේ තචපංචක කර්‍මස්ථානය කියවා ඒ දරු පැවිදි කළහ. මෙසේ පැවිදි වූ මහාපන්ථක තෙමේ කල් නො යවා ම බුදුදහම් උගත්තේ විසිවයසට පැමිණ උපසම්පදාව ලැබී ය. එ තැන් සිට වඩාලාත් යෝනිසෝමනසිකාරයෙහි යෙදෙමින් ගැටෙමින් රහත්බව ද ලැබී ය. මෙ තැන් සිට ධ්‍යානසුඛයෙන් හා ඵලසුඛයෙන් කල් යවන මහාපන්ථක භික්‍ෂු තෙමේ, ‘මේ මා ලත් සැපය චුලපන්ථකයාටත් දිය හැකි දැ’ යි සිතා දිනක් මුත්තනුවන් වෙත ගොස් ‘සීයේ! සීයා අවසර දෙන්නේ නම් මම චූලපන්ථක පැවිදි කරමි” යි කියා සිටියේ ය. ගත් කටට ම ‘පැවිදි කරන්නැ’ යි සිටු තෙමේ කී ය. ඔහු බුදුසසුනෙහි ඉතා පහන් ව සිටියේ ය. එහෙත් ‘මේ දරු නුඹගේ කිනම් දුවගේ දැරු’ යි විචාළවිට දාසයකු හා පැනගිය දූගේ දරුය යි කීමෙහි ලජ්ජා ඇත්තේ විය. එහෙයින් ඔවුනට ඉතා සතුටින් පැවිදි වන්නට අවසර දුන්නේ ය. මහාපන්ථක තෙමේ සීයාගේ අවසරය පරිදි චූලපන්ථක පැවිදි කරවා. සීලයෙහි පිහිටෙවේ ය. චූලපන්ථක පැවිදි වූයේ ද දන්ධ විය. එහෙයින් ඔහුට:-
“පදුමා යථා කොකනදං, සුගන්‍ධං
පාතො සියා ඵුල්ලමවීතගන්‍ධං,
අඞ්ගීරසං පස්ස විරොචමානං
තපන්තමාදිච්චමිවන්තලික්ඛෙ”
යන මේ ගාථාව සිවුමසක් ගෙවාත් උගන්නට නො හැකි විය.
මෙ තෙමේ වනාහි පෙර කසුප් සම්බුදුරජානන් වහන්සේගේ කාලයෙහි පැවිදි ව නුවණැත්තෙක් ව සිටියේ උගන්නා දන්ධ භික්‍ෂුවක්හට කවටකම් කෙළේ ය. ඒ මහණ තෙමේ එයින් හටගත් ලජ්ජා ඇත්තේ නො ද උගත්තේ ය. නො ද හදාළේ ය. ඒ අකුශල කර්‍මයෙන් චූලපන්ථක තෙමේ පැවිදිවූයේ ද දන්ධ විය. පළමු උගත් පදය අන් පදයක් උගන්නට කලින් ම නැසී යයි. යට කියූ ගාථාව උගන්නට මොහුට සිවුමසකිනුත් නො හැකි විය. මහාපන්ථකස්ථවිර තෙමේ ‘පන්ථක! නුඹට මේ සසුනෙන් වැඩෙක් නැත, නුඹ මේ සසුනට නො සුදුසු ය, සිවුමසක් ගෙවාත් නුඹට මේ එක් ගාථාවක් උගන්නට නො හැකි විය, මෙසේ කල පැවිදිකිස කෙසේ මුදුන් පැමිණේ ද, මෙහි නිකම් ඉඳීම හොඳ නැත, එහෙයින් වෙහෙරින් බැහැර යන්නැ’ යි කීයේ ය. එහෙත් චූලපන්ථක තෙමේ බැහැර නො ගියේ ය. බුදු සසුන්හි ස්නේහ ඇත්තේ ගිහිබව නො කැමැත්තේ ය. මෙකල, එහි භත්තුද්දෙසක වූයේ, මහාපන්ථක තෙමේ ය.
දිනක්, ජීවක කෝමාරභච්ච තෙමේ මල්ගඳ විලවුන් ද ගෙණ, අඹවන උයන් ගොස්, බුදුරජුන් ගඳින් මලින් පුදා, බුලත්, පිළිගන්වා, බණත් අසා, අවසන්කොට, බුදුරජුන් වැඳ, අවසර ගෙණ, මහාපන්ථක තෙරුන් වෙත ගියේ ය. එහි ගොස් උන්වහන්සේ වැඳ ‘ස්වාමීනි! මෙහි බුදුරජුන් වෙත හාමුදුරුවන් වහන්සේලා කී නමක් වැඩ වෙසෙත් දැ’ යි ඇසී ය. ‘පන්සියයෙකි’ යි උන්වහන්සේ කීහ. ‘එසේ නම් ස්වාමීනි! හෙට ඒ හැම දෙනා වහන්සේ අප නිවසට දානය පිණිස වඩිනු මැනැවැ’ යි. ඔහු ආරාධනා කෙළේ ය. එවිට මහාපන්ථක ස්ථවිර තෙමේ ‘වෙදමහතානෙනි! මාගේ මලනු වූ චූලපන්ථක, මහාඅඥානයෙක්ය ඔහුට අපගේ මේ සසුනෙන් වැඩෙක් නො වේ, ඒ නිසා ඔහු අත හැර අනික් දෙනා වහන්සේ උදෙසා මම මේ ආරාධනාව පිළිගණිමි, ඒ හැටියට සූදානම් වන්නැ’ යි ඔහුට කී ය. ඒ අසල සිටි චූලපන්ථක තෙරුන්ට මේ කතාව ඇසුනේ ය. එයින් ‘මෙතෙක් දෙනා උදෙසා මේ ආරාධනාව පිළිගත් මාගේ සහෝදර තෙමේ, මා හැර දානය පිළිගත්තේ ය, එකතින් මාගේ සහෝදරයා මා කෙරෙහි බිඳුනේ වන, ඉතින් මට දැන් මේ සසුනෙන්, මේ පැවිද්දෙන් වැඩෙක් නැත, ගිහි ව දන්පින්කම් කරමින් ජීවත් වෙමි’ යි සිතා පසුදා උදෑසන සිවුරු හරින්නට නික්ම ගියේ ය.
එදින උදෑසන තිලෝගුරු සම්මා සම්බුදුරජානන් වහන්සේ ලොව බලා වදාළ සේක. එවිට උන්වහන්සේට චූලපන්ථක සිවුරු හැර දමන්නට නික්ම යන බව පෙණී ගියෙන් උන්වහන්සේ ගඳකිළියෙන් නික්ම දොරකොටුව අසල, චූලපන්ථක යන මග සක්මන් කරමින් වැඩ සිටියහ. චූලපන්ථක, උන්වහන්සේ දැක වෙත එළැඹැ වැඳ වැටී සිටි විට, ‘චූලපන්ථක! තමුසේ මේ වේලෙහි කොහි යහු දැ’ යි ඇසූහ. ‘තිලෝගුරු හිමියෙනි, සිවුරු හරින්නට, මාගේ සහෝදරයා මා සසුනෙන් බැහැර කරයි, මට සසුනෙන් වැඩක් නැතැ යි කියයි, මාගේ ජීවිතය නිසරු කොට දක්වයි, එ හෙයින් මම සිවුරු හරින්නට යමි’ යි කීයේ ය. බුදුරජානන් වහන්සේ, ‘ චූලපන්ථක! තාගේ පැවිද්ද මාගේ ය, එය මහාපන්ථකට අයත් නැත, සහෝදරයා එසේ කීයේ නම්, මා වෙත නො ආවහු කුමක් හෙයින් ද, මෙහි එව, තමුසේට ගිහිකමෙන් වැඩෙක් නැත, මා ලඟ වසන්නැ’ යි ශ්‍රී හස්තයෙන් ඔලු ව අතගා කැඳවා ගෙන ගොස්, ගඳ කිළි දොරකඩ හිඳුවා, ‘චූලපන්ථක! පෙර දිගට මූණ දී මේ රෙදිකඩ ‘රජොහරණං, රජොහරණං’ යි පිරිමදිමින් හිඳුව’ යි ඍද්ධියෙන් මැවූ රෙදි කඩක් දුන්හ. ඉන් පසු බුදුරජානන් වහන්සේ කල් දැන්වූ කල්හි, භික්‍ෂු සංඝයාත් ගෙණ ජීවකයාගේ ගෙට වැඩ, පණවා තුබූ බුද්ධාසනයෙහි වැඩහුන් සේක. චුලපන්ථක තෙමේ ද ඉරට මූණ ලා හිඳ, බුදුරජුන් දුන් ඒ රෙදිකඩ, ‘රජොහරණං, රජොහරණං’ යි පිරිමැද්දේ ය. ටික වේලාවක් එසේ කරත්, ‘රෙදිකඩ කිලිටි විය. එවිට චූලපන්ථකයාගේ සිතට ‘තම අත්බව නිසා ඉතා පිරිසුදු ව තුබූ රෙදිකඩ ඉතා ඉක්මනින් කිලිටි බවට පැමිණියේය’ යි වැටහින. එය සිතට නගා ගත් ඔහු, ‘ඒකාන්තයෙන් සංස්කාරයෝ අනිත්‍යයහ’ යි ඛය වය පිහිටුවා විදසුන් වැඩී ය. බුදුරජානන් වහන්සේ, චුලපන්ථකගේ සිත විදර්‍ශනාවට නැංග බව දැන, ‘චූලපන්‍ථක! තමුසේ මේ රෙදිකඩ ම මෙසේ කිලිටි විය යි නො සිතහු, තා ඇතුළත බොහෝ රාගාදි රජස් ඇත්තේ ය, ඒ රජස් වහා දුරු කරහු’ යි ආලෝකයක් යවා, ඉදිරියෙහි වැඩ සිටියා සේ, පෙණිපෙණී;
“රා මේ රජස් වේ - දුහුවිලි රජස් නො ම වේ,
රජස් යි මෙහි කියූ මේ - රාහට අදිවදන් වේ.
.
පහකළරජස් ඇති - මුනි උතුමන්ගෙ සසුනේ,
ඒ මහණහු තුමූ මේ - රජසැර වෙසෙත් වෙසෙසින්.
.
දොස් මේ රජස් වේ - දුහුවිලි රජස් නො ම වේ,
රජසැ යි මෙහි කියූ මේ - දොස්හට අදිවදන් වේ.
.
පහකළ රජස් ඇති - මුනි උතුමන්ගෙ සසුනේ,
ඒ මහණහු තුමූ මේ - රජසැර වෙසෙත් වෙසෙසින්.
.
මොහො මේ රජස් වේ - දුහුවිලි රජස් නො ම වේ,
රජසැ යි මෙහි කියූ මේ - මොහහට අදිවදන් වේ.
.
පහකළ රජස් ඇති - මුනි උතුමගෙ සසුනේ,
ඒ මහණහු තුමූ මේ - රජසැර වෙසෙත් වෙසෙසින්”
යි වදාළ සේක. මේ දේශනාවගේ අවසානයෙහි චූලපන්ථක ස්ථවිර තෙමේ, පිළිසිඹියාවන් ලබා රහත් බවට පැමිණියේ ය. ඒ හා ම තෙවළා දර වූයේ ය.
පෙර එක් අත්බවෙක, රජබවට පත් මේ චූලපන්ථක ස්ථවිර තෙමේ, නුවර පැදකුණු කරණුයේ නළලින් ගැලූ ඩහදිය ඇඳ තුබු සළුවකින් පිස දැම්මේ ය. සුළුව කිලිටි විය. ‘මේ සිරුර නිසා පිරිසිදු ව තුබූ සළුව කිලිටි වී ය’ යි සිතත්, ඔහුට අනිත්‍ය සංඥාව උපන. ඒ හෙයින් මේ අත්බවේ දී රහත්බව ලබන්නට රාජොහරණය ම ඔහුට කරුණු විය. ජීවක තෙමේ, බුදුරජුන්ට දන් වළඳනු පිණිස පැන් එළ වී ය. උන්වහන්සේ ‘ජීවකය! විහාරයෙහි තවත් උන්නාන්සේලා ඇත්තාහු නො වෙත් දැ’ යි ශ්‍රී හස්තයෙන් පාත්‍රය වැසූහ. ඒ දුටු මහාපන්ථක ස්ථවිර තෙමේ, ‘ස්වාමීනි! එහි උන්නාන්සේ ලා නැතැ’ යි කී ය. එවිට බුදුරජානන් වහන්සේ ‘ජීවක! විහාරයෙහි තවත් උන්නාන්සේලා ඇතැ’ යි වදාළහ. ජීවක තෙමේ ‘එකෙණෙහි විහාරයෙහි භික්‍ෂූන් ඇති නැති බව දන එව’ යි පුරුෂයකු යැවී ය. චූලපන්ථක ස්ථවිර තෙමේ ‘මාගේ සහෝදරයා විහාරයෙහි උන්නාන්සේලා නැතැ යි කියයි, එ හෙයින්, විහාරයෙහි උන්නාන්සේලා ඇති බව මොහුට දන්වමි’ යි මුළු අඹ උයන භික්‍ෂූන්ගෙන් පිරුණක් කොට දැක් වී ය. එහි ඇතැම්හු සිවුරු කපති. ඇතැම්හු මසති. ඇතැම්හු පඬු පොවති. ඇතැම්හු පාත්‍ර සෝදති. ඇතැම්හු හමදිති. ඇතැම්හු කුණු කසළ බැහැර කෙරෙති. ඇතැම්හු හදාරති. ඇතැම්හු දහම් දෙසති. ඇතැම්හු පිඬු සිඟා යන්නට පිළියෙල වෙති. මෙසේ එකිනෙකට නො සම වූ කටයුතුවල යෙදුනු භික්‍ෂූන් දහසක් මවා පෑවේ ය. විහාරයට ගිය පුරුෂයා විහාරයෙහි බොහෝ භික්‍ෂූන් ඇති බව දැක, ආපසු හැරී ගොස්, මුළු අඹ උයන භික්‍ෂූන්ගෙන් පිරී ඇති බව දැන්වී ය. චූලපන්ථක ස්ථවිර තෙමේ එහි හැඩහුරු කමින් තමා වැනි භික්‍ෂූන් දහසක් මවා, කල් දන්වන තුරු ඒ අඹ උයනෙහි වැඩ හුන්නේ ය.
ඒ අතර බුදුරජානන් වහන්සේ විහාරයට වැඩ ‘ශාස්තෘ තෙමේ චූලපන්ථකයා කැඳව යි කියව’ යි ඒ පුරුෂයාට වදාළ සේක. ඔහු ගොස් එසේ කී ය. එවිට ‘මම චූලපන්ථක, මම චූලපන්ථක’ යි. කියමින් දහස් දෙනෙක් ඉදිරියට ආහ. ඒ පුරුෂයා ගොස් ‘සියල්ලන් ම චූලපන්ථක යි කියති’ යි දැන් වී ය. ‘එසේ නම් දැන් ගොස්, ‘යමෙක් මා චූලපන්ථක යි කියා ද, ඔහු අතින් අල්ලා ගන්න, එවිට සෙස්සන් අතුරුදන් වෙතී’ යි වදාළ සේක. ඔහු එහි ගොස් ‘චූලපන්ථක මම’ යි කියා ඉදිරියට ආවුන්ගෙන් පළමු කියන ලද්දහුගේ අත අල්ලා ගත්තේ ය. එකෙණෙහි එහි වූ සෙස්සෝ අතුරුදන් වූහ. චූලපන්ථක ස්ථවිර තෙමේ අත් ගත් පුරුෂයා සමග එහි වැඩියේ ය. බුදුරජානන් වහන්සේ දන් වළඳා අවසන්හි ‘චූලපන්ථකගේ පාත්‍රය ගන්න, ඒ තැන, තට බණ කියනු ඇතැ’ යි ජීවකයාහට දැන්වූහ. ඔහු එසේ කෙළේය. ස්ථවිර තෙම් සිංහනාද කරණ තරුණ සිංහයකු සේ තුන්පිටකය අළලා අනුමෝදනා බණ වදාළේ ය. බුදුරජානන් වහන්සේ හුනස්නෙන් නැගිට භික්‍ෂුසංඝයාත් ගෙණ විහාරයට වැඩ භික්‍ෂූන් වත් කොට අවසන් කළ කල්හි ගඳකිළිය ඉදිරියෙහි සිට භික්‍ෂුසංඝයාට අවවාද දී කමටහන් වදාරා භික්‍ෂූන් පිටත් කොට ගඳකිළියට ඇතුල් ව දකුණැලයෙන් සිංහසෙය්‍යාවට පැමිණි සේක.
ඒ අතර සවස් වරුවෙහි භික්‍ෂූන් වහන්සේලා එක් තැන් ව හිඳ ‘මහාපන්ථක තෙමේ චූලපන්ථකයාගේ අදහස් නො දත් බැවින් සිවු මසක් ගෙවාත් එක් ගාථාවකුත් උගන්වාලන්ට අපොහොසත් විය, මොකවත් නො දත් මෝඩයෙකැ යි චූලපන්ථකයා පන්සලෙන් ද පිටමං කෙළේ ය. බුදුරජානන් වහන්සේ තමන් ධර්‍මරාජන් බැවින්, එක වරුවකින් ම ඔහුට පිළිසිඹියාවන් සමග රහත් බව දුන්හ, තෙවළා දහම් ද නො ඉතිරි කොට ඔහු දත්තේ ය, බුදුරදුන්ගේ බලය කොතරම් මහත් ද, කොතරම් පුදුම දැ’ යි කතා කරන්නට වූහ. භික්‍ෂුන් මෙසේ කතා කරණ අතර, ඒ කතාව දත් බුදුරජානන් වහන්සේ ‘මා එහි යා යුතුය’ යි සිංහසෙය්‍යාවෙන් නැඟිට, අඳනය ඇඳ පටිය බැඳ සුගත්මහ සිවුර පොරොවා, සුවඳගඳකිළියෙන් නික්ම, උතුම් මතැතක්හුගේ නොහොත් සිංහරාජයකුගේ විලාසයෙන් අනන්ත වූ බුද්ධානුභාවයෙන් එතැනට වැඩ, මණ්ඩලමාලමධ්‍යයෙහි මැනැවින් සරසා පිළියෙල කොට තුබූ බුද්ධාසනයෙහි නීලපීතාදී වූ සවණක් රැස් විහිදුවමින් මුහුදු කුස කළඹවමින් යුගඳුරුපවුමුදුනෙහි බබලන ලහිරු සේ වැඩ හුන් සේක. එකෙණෙහි එහි රැස් ව හුන් භික්‍ෂූන් වහන්සේලා කිසිත් නො බැණ නො කිවිස නො කාරා නිහඬවූහ. බුදුරජානන් වහන්සේ පිරිස දෙස බලා, ‘මේ පිරිස ඉතා හොබනේ ය, එකක්හුගේත් නැත අත් හෙල්ලීමෙක්, පා හෙල්ලීමෙක්, කෑරීමෙක්, කිවිසීමෙක්, සියල්ලෝ බුදුන් කෙරෙහි ගෞරව ඇත්තෝ ය, බුදුතෙදින් තැති ගත්තෝ ය, මා, ආයුඃකල්පයක් නමුත් නො බැණ සිටියොත් මොවුහු කතා නො කරන්නෝ ය, කතා උපදවා ලන වත, මා විසින් ම දත යුතු ය, එ හෙයින් මම පළමු කොට කතා කරමි’ යි ඉමිහිරි වූ බඹහඬින් ‘මහණෙනි! තමුසේලා දැන් මෙහි මා එන්නට පෙරාතුව කළ කතාව කුමක් ද, අඩාල කළා කි නම් කතාවක් දැ’ යි අසා වදාළ සේක. දොහොත් මුදුනේ තබා, ‘තිලෝගුරු හිමියෙනි! අපි චූලපන්ථක ස්ථවිරයන් ගැන කතා කරමින් හුන්නෙමු’ යි කී කල්හි ‘මහණෙනි! චූලපන්ථක අඥ වූයේ දැන් මේ අත්බවේ දී පමණක් ම නො වේ, පෙරත් මොහු අඥයෙක් විය, මොහුට මම උපකාරක වූ යෙම් ද, දැන් පමණක් ම නො වෙමි, පෙරත් මම මොහුට උපකාර කෙළෙමි, පෙර මම මොහුට ලෞකික ධනයක් ලබා දුනිමි, අද ලෝකෝත්තරධනයට හිමියකු කෙළෙමි’ යි. වදාළ සේක. ‘තිලෝගුරු හිමියෙනි! අද ඔහුට කළ මේ උපකාරය අපට දැන් හොඳට පැහැදිලි ය, එදා කළ ඒ උපකාරය අපි නො දනිමු, එ හෙයින් එය ද වදාරනු මැනැවැ’ යි භික්‍ෂූන් වහන්සේලා ආරාධනා කළහ.
‘මහණෙනි! යට ගිය දවස මොහු එක් අවදියක, බරණැස් නුවර උපන්නේ ය, තරුණ වියේදී සිප් උගන්නට තක්සලා වැසි දිසාපාමොක් ඇදුරන්ගේ ශිල්පශාලාවට බැඳී උගන්නට පටන්ගත්තේ ය, එහි මොහු වැනි ම පන් සියයක් තරුණයෝ එවක එහි උගත්හ, ඒ පන්සිය දෙනා අතුරෙන්, මොහු ඒ ගුරුන්ට ඉතා භක්තිමත් ව උපකාර ව සිටියේ ය, ගුරුන් පිළිබඳ දැහැටි එළවීම්, පැන් එළවීම්, කැඳබත් පිළිගැන්වීම්, දැහැත් පිළියෙල කිරීම් ගේදොර අතුගෑම්, ඇඳ ඇතිරිලි පිළියෙලකිරීම්, අසුන් පැණවීම්, පඩික්කම් සේදීම්, උණුපැන් ඇල්පැන් පිළියෙල කිරීම්, නෑවීම්, අත්පා මැඩීම් ආදී වූ කුදු මහත් හැම වතාවතක් කෙළේ ද මොහු ය. එහෙත් ප්‍රකෘතියෙන් අඥ විය, කිසිවක් උගන්නට නො හැක්කේ වී ය, ගුරුවරයෝ ද ‘මොහු අපට ඉතා හිතවත් ය. උපකාර කරන්නේ ය, වත් දක්වන්නේ ය, කීකරු ය’ යි මොහුගේ ගුණ සලකා උගන්වන්නට උත්සාහ කළෝ ද, එහි අපොහොසත් වූහ, එහි කලක් වාසය කළ මොහුට එක් ගාථා පදයකුත් උගන්නට බැරි විය, එයින් කළකිරී ගම් බලා යන්නට සිතා දිසාපාමොක් ඇදුරන් වෙත ගොස් ගමනට අවසර ඉල්ලා සිටියේ ය, එවිට ඇදුරුතෙමේ ‘මූ මට ඉතා හිතවත් ය, උපකාරක ය, මොහු උගතකු කරන්නට ය මාගේ බලාපොරොත්තුව, උත්සාහය, එහෙත් ඒ කරණු නො හැක්ක, කෙසේ නමුත්, මා විසින් මොහුට ප්‍රත්‍යුපකාරයෙක් කළ යුතු ම ය, වැඩ වන්නට මන්ත්‍රයක් සාදා දෙමි’ යි සිතා කැලයට ගෙණ.. ගොස්, ‘ගැටෙහි, ගැටෙහි, කුමක් හෙයින් ගැටෙහි, මම ද තා දනිමි, දනිමි’ යි මන්ත්‍රය සාදා කටපාඩම් කර වී ය, සියක් වරටත් වඩා කිය වී ය, නැවැත ‘කට පාඩම් දැ’ යි අසා, ‘එසේය’ යි කී විට ‘අඥයා විසින් මහන්සියෙන් පුහුණු කළ ශිල්පය නො නැසේ ය’ යි සිතා, මගවියදම් දී ‘යව, මේ මන්ත්‍රය නිසා ජීවත් වෙව, මේ තට ඇත, මන්ත්‍රය අමතක වන්නට නිතර පාඩම් කරව’ යි පිටත් කොට හැරියේ ය, මෑනියෝ මොහු ගෙදර ආවිට ‘මා පුතු සිප් උගෙණ ආයේ වනැ’ යි කෑම්බීම් පිළියෙල කොට දී සත්කාර කළහ,
මේ කාලයෙහි දිනෙක බරණැස්රජ තෙමේ ‘මා අතින් කෙරෙණ වරද ඇත්තේ දැ’ යි සිතන්නේ, තම අත එබඳු කිසිත් වරදක් නො දැන, ‘තම වරද තමාට නො පෙණේ, එය පෙණෙනුයේ අනුනට ය, එ හෙයින් නුවරැ ඇවිද ආ යුතු ය’ යි සිතා, අප්‍රසිද්ධ වේශයෙන් ඉතා රහසේ නුවරට වැද, ‘සවස බත් කා අවසන් කොට, මිනිස්සු නොයෙක් දේ කතා කෙරෙති, ඒ අතර සමහර විට ආණ්ඩුව ද විවේචනය කෙරෙති, යම් ලෙසකින් මා කරන රාජ්‍ය පාලනය නො දැහැමි නම්, එය ද ඔවුන්ගේ කතාවට අසුවිය හැකි ය. එහිදී මා ඇතුළු රාජ්‍යනිලධරයන්ට තළා පෙළා කතා කරනු ඇත, බණිනු දොඩනු ඇත, මාගේ ආණ්ඩුව දැහැමි නම්, මිනිසුන් සිත් ගෙණ තිබේ නම්, රජයට ඔවුහු දිගාසිරි පතන්නෝ ය’ යි සලකා ඒ දන්නට, ඒ ඒ ගෙවල පිළිකණු ගානේ හැසුරුණේ ය, මෙ දා රාත්‍රියෙහි උමංහොරු ගෙවල් දෙකකට, එක උමගකින් ඇතුල් වන්නට සිතා ගෙවල් දෙකක් අතර උමගක් හාරති, රජ තෙමේ ඔවුන් දැක ගෙට මුවා වී සිටියේ ය, හොරු උමගින් ගෙට ඇතුල් ව බඩුමුට්ටු සොයා බලන්නට වූහ, දිසාපාමොක් ඇදුරු වෙතින් මන්ත්‍රය උගත් තරුණයා ද සිටියේ මේ ගෙය තුළ ය, ඔහු එ වේලෙහි නැගිට, ‘ගැටෙහි, ගැටෙහි, කුමක් හෙයින් ගැටෙහි, මම තා දනිමි, දනිමි’ යි තමන් විසින් උගත් මේ මන්ත්‍රය අමතක වේ ය යන සිතින් පාඩම් කියන්නට වන, හොරු මේ අසා බිය පත් වූහ, ‘මුන් අපි දක්නා ලද්දමෝ ය, වැරදුනේය වැඩේ, වහා යමු’ යි තමන් ඇඳ තුබූ රෙදි පවා අමතක ව එහි දමා, හමු හමු වූ තැනින් පලා ගියහ, රජ තෙමේ ද පැන යන සොරුන් දැක, මන්ත්‍ර පිරිවහණ හඬ ද අසා පෙරළා මාලිගාවට පැමිණියේ ය,
පසු දා උදෑසන නින්දෙන් නැගිට, කැඳ අවුළුපත් වළඳා අවසන් කොට, රජ තෙමේ, රාජසේවකයකු ගෙන්වා, ‘අසවල් කඩ මණ්ඩියේ හොරුන් විසින් උමං කරන ලද ගෙයක් ඇත, එහි තක්සලානුවරින් සිප් උගෙණ ආ තරුණයෙක් වාසය කරන්නේ ය, ඔහු මෙහි කැඳවා ගෙණ එව’ යි නියෝග කෙළේ ය, සේවක තෙමේ එහි ගොස් ඔහු රජවාසලට කැඳවා ගෙණ ආයේ ය,
රජ |
:- |
පුත! තක්සලානුවරැ දිසාපාමොක් වෙතින් සිප් උගෙණ ආ තරුණයා නුඹ ද? |
තරුණයා |
:- |
එසේ ය, දේවයන් වහන්ස! |
රජ |
:- |
එය අපටත්? |
තරුණයා |
:- |
හොඳ යි, දේවයන් වහන්ස! දිය හැකියි. |
රජ |
:- |
දෙන්නෙහි? |
තරුණයා |
:- |
මා වාඩි ගන්නා අසුනට සමාන අසුනක වාඩි ගත් විට. |
රජ තෙමේ සම අසුනක වාඩි වී මන්ත්‍රය උගෙණ, ඔහුට ‘ගුරු පඬුරු’ යි කහවණු දහසක් දුන්නේ ය.
රජුගේ සේනාපති තෙමේ, දිනෙක ඇම්බැට්ටයා අතින් ‘තෝ රජුන්ගේ රැවුල කපන්නෙහි කවදා දැ’ යි ඇසී ය, ‘හෙට හෝ අනිද්දා ඒ පිණිස යන්නෙමි’ යි ඔහු කී ය, ‘රහසෙක්, මේ කහවණු දහස ගණු, කාහටත් නො කියනු, මට වැඩෙක් තිබේ, එය ලොකු ම වැඩෙක්, තා හැර එය අන් කාහටත් කරණු නො හැකි ය, ලොකු ම රහසෙක්, කළොත් අප දෙන්නාට ම හරි’ යි සේනාපතියා කීවිට ‘ඒ කිමැ’ යි ඔහු ඇසී ය, සෙනාපති තෙමේ රජු- කාටත් නො කියනු, තවත් දෙන්නම්, රජු- කළොත් හරි, රජකම, සේනාපතිකම නො වරදින්නේ ය, තට රජකම, නැත, තට සේනාපතිකම, මට රජකම’ යි වචන ගිලිමින් වචන හැර දම දමා ගොත ගසමින් ‘රජුන්ගේ රැවුල කපන්නට ගියා ම, රැවුල කැපීමට සේ, රජුට ලං ව දැළිපිහිය හොඳට මුවහත් කොට, රජුගේ බෙල්ල කපා දමව’ යි කීයේ ය, ඔහු එය ‘යහපතැ’ යි පිළිගත්තේ ය, රැවුල කපන්නට ගොස්, පළමු කොට, රැවුල සුවඳදියෙන් තෙමා දැළිපිහිය මුවහත් කොට නළල අල්වා, ‘ දැළිපිහිය මොට ය, මුව අත මදි ය, එකපාරට ම බෙල්ල කපා දමන්නටැ’ යි නැවැත පැත්තක හිඳ, පිහිය මුවහත් කෙළේ ය, මේ අතර රජ තෙමේ තමන් උගත් ‘ඝට්ටෙසි, ඝට්ටෙසි, කිං කාරණං ඝට්ටෙසි, අහම්පි තං ජානාමි, ජානාමි’ යන මන්ත්‍රය, පාඩම් කියන්නට පටන් ගතු, ඒ කණ වැටුනු ඇම්බැට්ටයාගේ ඇඟපතින් ඩහදිය ගලන්නට වන, ඔහු ‘මේ රහස රජ දැන සිටී ය’ යි බිය පත් ව කරය බිම දමා පාමුල ඇද වැටුනේ ය,
රජහු ශූරයෝ ය, දක්‍ෂයෝ ය, අනුන් අදහස් ඉඟියෙන් ගමනින් කතායෙන් හැසිරීමෙන් ඇසින් කටින් මූණින් දත හෙන්නෝ ය, එහෙයින් රජු ‘ඇම්බැට්ටය! රජ තෙමේ මා නො දනී ය යි තෝ නො සිතව’ යි කී විට, ‘දේවයන් වහන්ස මට කමන්න, මට දිවි දෙන්න, මා අත වරදෙක් නැතැ’ යි ඔහු කී ය, එවිට රජ තෙමේ ‘බිය නොව, ඇත්ත කියව, කාරණය කියව’ යි කීයේ ය, ඔහු ‘දේවයන් වහන්ස මෙහිලා මා පෙළඹූයේ සෙනාපතියා ය, ඔහු මට කහවණු දහසක් දී රැවුල කපන්නට සේ, රජුට ලං වී, රජු ගේ ගෙල සිඳ දමව, එවිට තට සේනාපතිපදවිය දෙමි, මම රජවෙමි යි කී ය’ යි කීයේ ය, එකල රජ තෙමේ ‘මාගේ ගුරුවරයා නිසා දිවි බේරුණේ ය, මාගේ ජීවිතයේ අයිතිකරු මාගේ ඒ ගුරුවරයා ය’ යි සිතා, සෙනාපති කැඳවා, ‘මගෙන් තට නො ලැබුනේ කුමක් ද, මම තට හැම දෙයක් දුන්නේ නො වෙම් ද, කුමක් නිසා මා කෙරෙහි වැරදි සිතිවිල්ලක් ඉපද වූයෙහි ද, දැන් තා දක්නට මා සිත්හි කැමැත්තෙක් නැත, රටින් පිට වෙව’ යි ඔහු රටින් පිටවහල් කොට, ගුරුවරයා කැඳවා, ‘ඔබතුමන් නිසා මම අද දිවි ලදිමි, එ හෙයින් මාගේ ජීවිතය ඔබ අයත් ය, මෙ තැන් සිට මේ මාගේ රටෙහි සෙනාපතිධුරය ඔබවහන්සේට පවරමි, එහි නියම ලෙසින් පවතිනු මැනැවැ යි ඔහුට සෙනාපති ධුරය දුන්නේ ය, ‘මහණෙනි! ඒ තෙමේ ය මේ චූලපන්ථක, දිසාපාමොක් මම ය’ යි. බුදුරජානන් වහන්සේ චූලපන්ථක තෙරුන් පිළිබඳ ඒ යටගියාව මෙසේ වදාළ සේක. නැවැත ද ‘මහණෙනි! චූලපන්ථක, එදාත් අඥ විය මෙසේ, එදා මොහුට උපකාර කළේ ද මම ය, ලෞකිකධනයෙහි පිහිට වූයේ ද මම ය, අද තමුසේලාට පෙණන සේ මේ තැන, ලෝකෝත්තර ධනයෙහි පිහිටා ගත්තේ ද මා නිසා ය, මාගේ වහළෙන් ය’ යි වදාරා නැවැත, චුල්ලසෙට්ඨි ජාතකය ද ගෙණහැර දක්වා-
“නුවණැති මිනිස්තෙම - ටික මුදලකින් නමුදු,
මද ගිනි පිඹ මොලවමින් - මහගිනිගොඩක් කරණෙව්,
සුදුසු තැන කාබල - නැණ බල යොදා නිරතුරු,
නොවළහ තමන් ඉසුරෙහි - පිහිටුවාලයි නැත සැක”
යි පැහැදිලි කොට, ‘එදා මේ චූලපන්ථක චුල්ලන්තෙවාසික නමින් පෙණී සිටියේ ය, මම ය චුල්ලසෙට්ඨි වූයෙමි’ යි චුල්ලසෙට්ඨි ජාතකය ගැළපූ සේක.
නැවැත දිනෙක, භික්‍ෂූන් එක් තැන් ව, ‘චූලපන්ථක එදා සිවූ මසක් ගෙවා සිවු පැදිගයක් උගන්නට අපොහොසත් වූ යේ ද, මෙදා ඕනෑකමත් උනන්දුවත් එහිලා හැඟීමත් නො අඩුව තුබූ බැවින් එක වරුවකදී ම රහත්බැව්හි පිහිටියේ තෙවළාදර වී ය, මෙසේ ලොවුතුරා ධනයට ද හිමි වී ය’ යි කතා කරන්නට වූ කල්හි, බුදුරජානන් වහන්සේ එහි වැඩම කොට ‘මහණෙනි! මාගේ සසුන්හි පටන් ගත් වීර්‍ය්‍යය ඇති මහණ තෙමේ කල් නො යවා ම ලෝකෝත්තරධනය අත්පත් කර ගන්නේ ය’ යි දක්වා, මේ ධර්‍මදේශනාව ද කළ සේක.
උට්ඨානෙන’ප්පමාදෙන සඤ්ඤමෙන දමෙන ච,
දීපං කයිරාථ මෙධාවී යං ඔඝො නාභිකිරතී’ති.
නැගී සිටීමෙන්, අප්‍රමාදයෙන්, සීලයෙන්, ඉඳුරන් දැමීමෙන් (යන සතර කරුණක්) නුවණැති මිනිස් තෙමේ, කාමොඝාදී වූ සිවූ වැදෑරුම් කෙලෙස් මහවතුර, යම් පිහිටක් නො නසාද, ඒ පිහිට සිදුකර ගන්නේ ය.
උට්ඨානෙන = උත්‍ථාන වීර්‍ය්‍යයෙන් [1]
අප්පමාදෙන = අප්‍රමාදයෙන් [2]
සඤ්ඤමෙන = සංයමයෙන්, සීලයෙන් [3]
දමෙන = ඉඳුරන් දැමීමෙන්. ඉන්ද්‍රිය සංවර සීලයෙන් [4]
දීපං = පිහිට. රහත්පලය.
කාමොඝාදී චතුර්විධ ඔඝයන්ගෙන් යටපත් කරණු බැරි හෙයින් රහත්පලය ‘දීප’ යි කියනු ලැබේ ‘චතූහි ඔඝෙහි අනජේඣාත්ථරණීයතො දීපො’ යනු එහිලා දතයුතු ය. සැඩ පහරකින් ගසා ගෙණ යන මිනිසාට පියවි දිවයින යම් සේ පිහිට වේ ද, එසේ ඉතා ගැඹුරු එ ගොඩ මෙ ගොඩ නො දත හැකි මේ සසර සයුරෙහි වැටී කාමොඝාදී වූ කෙලෙස් මහසැඩ පහරින් ගසා යන්නහුට පිහිට වේ නු යි රහත්පලය ද්වීපයක් වැනි හෙයින් ‘දීප’ නම් වී. ‘යථා පකතිදීපො නදීසොතෙන වුය්හමානානං පතිට්ඨො හොති, එවමිදං නිබ්බාණං සංසාරමහොඝෙන වුය්හ මානානං පතිට්ඨො හොති දීපො වියොති දීපො’ යනු දතයුතුය. තව ද නික්ලේශීන්ට ප්‍රදීපයක් වැනි බව කරණ හෙයින් ප්‍රදීපයක් වැනි නුයි ද දීප නම් රහත් පල ය. ‘නික්කිලෙසානං වා පදීප සදිසභාවකරණතො දීපො වියාති දීපො’ යන මෙයින් ඒ කීහ.
මෙධාවී = නුවණැත්තේ.
‘මෙධා’ නම් නුවණ යි. ඒ ඇත්තේ ‘මෙධාවී’ නම්. විදර්‍ශනා ප්‍රඥා ය, ‘මෙධා’ නම්. සංස්කාර ධර්‍මයන් කෙරෙහි ඇති අනිත්‍ය - දුඃඛ - අනාත්ම යන ලක්‍ෂණත්‍රය දන්නා නුවණ ය විදර්‍ශනා ප්‍රඥා. මෙය ‘ධර්‍මෞජස් ප්‍රඥා’ යි ද කියනු ලැබේ. මෝ ප්‍රඥා තොමෝ කඳු මුදුනට කඩා වැටුනු හෙණ පහර කඳුමුදුන බිඳලන්නා සේ සත්‍වසන්තානගත වූ සියලු කෙලෙස් හිංසා කරන්නී ය. අවබෝධයට අපහසු වූ සියුම් වූ ධර්‍මාර්‍ත්‍ථයන් වහා ඇද දෙන්නී ය. ‘අසනි විය සිලුච්චයෙ කිලෙසෙ මෙධති හිංසති, සුඛුමම්පි අත්‍ථං ධම්මංච ඛිප්පෙමව මෙති ආදදාතීති = මෙධා’ යනු එයරුත් විදැහීම ය. විදර්‍ශනාප්‍රඥාසංඛ්‍යාත වූ මෙධා ඇතියේ ‘ මෙධාවී’ නම් වේ.
යං = යම් පිහිටක්.
මෙයින් ගන්නේ රහත්පලය යි. ඒ දෙවියන් සහිත ලෝකයට එක ම පිහිට.
ය ශබ්දය, යන-යන්නහු-ආයු-කිර්‍තතිශබ්ද-ප්‍රශංසා-ප්‍රත්‍යය-ආගම-කාර්‍ය්‍ය-සර්‍වනාම-ව්‍යඤ්ජන-ඡන්දස්ගණ යන මෙ තැන්හි වැටේ. ‘ යන්ති යායන්ති ගච්ඡන්ති එතෙහි රාජරාජමහාමච්චා දයොති = යා’ යනු යානයෙහි, ‘යන්ති යායන්ති ගච්ඡන්ති = යා’ යනු යන්නහු කෙරෙහි, ‘දීඝො යො ආයු යෙසං තෙ ති = යා’ යනු ආයුෂයෙහි, ‘පත්‍ථමයො’ යනු කීර්ති ශබ්දයෙහි, ‘ යො සජ්ජනධීමන්තෙහි විසෙසඤ්ඤූහි සාධුකං’ යනු ප්‍රශංසායෙහි, ‘දිවා දිතො යො’ යනු ප්‍රත්‍යයයෙහි, ‘නයිමස්ස’ යනු ආගමයෙහි, ‘තපස්ස’ යනු කාර්‍ය්‍යයෙහි, ‘යො සො’ යනු සර්‍වනාමයෙහි, ‘ය ර ල ව ස හ ළ අං’ යනු ව්‍යංජනයෙහි, මනා’යො ගො යදි පණවො බ්‍යාතො’ යනු ඡන්දස්ගණයෙහි යන මෙ තැන්හි වැටේ. මෙහි වැටුන්නේ සර්‍වනාමයෙහි ය.
ඔඝො = සැඩ පහර. දිය පාර.
ඔඝ, ශබ්දය, ‘සද්ධාය තරතී ඔඝං’ යනාදියෙහි කාමොඝාදියෙහි ‘ජනො ඝො’ යනාදියෙහි සමූහයෙහි, ‘ජලොඝො’ යනාදියෙහි ජලවේගයෙහි වැටේ. මෙහි ජලවේගයෙහි වැටුණේය. එහෙත් මෙහි ගැණෙනුයේ ගඟෙක මූදෙක එන ජලවේගයෙක් නො වේ. ගැණෙන්නේ සසර සයුරෙහි දිගට ගලා එන කාම-භව-දිඨි-අවිජ්ජා යන මේ සතර යි. මේ සතර, ඔඝ යි කියනු ලබන්නේ ඔඝ වැනි බැවිනි. අවහනන-රාශි, යි අර්‍ත්‍ථ දෙකක් ඔඝ යන්නෙහි ඇත්තේ ය. අවහනන නම්, යට බැස් වීම ය. රාශි නම් සමූහ ය. ගඞ්ගා-සමුද්‍රාදියෙහි නැගෙන ඔඝයන්හි ඇති මේ දෙ අරුත ම සංසාර සමුද්‍රයෙහි නැගෙන ඔඝයන්හි ද ඇත්තේ ය. එහෙයින් ඒ ඔඝයන් හා මේ ඔඝයන් හා අරුත් විසින් සමාන ය. ජලාසයෝ, තමන් යටතට පත්, තමන්ට හසු වූ හැම සතුන් උඩු යටි කරමින් ගෙන ගොස් මහ මුහුදට පමුණු වා එහි වූ මස් කැසුබ් ආදීනට බත් කෙරෙති. එමෙන් මේ කාමොඝයෝ තමන් වසයට පැමිණි හැම සතුන් ම නිරයාදි භේද වූ දුගතියට පමුණුවති. මතු භවයකට හෝ නිවනට හෝ යන්නට නො දී යට තුන් භවයෙහි, චතුර්විධ යෝනියෙහි, පඤ්චවිධ ගතියෙහි, සප්තවිධ විඥානස්ථිතියෙහි, නවවිධ සත්‍වාවාසයෙහි උපදවාලති. මේ ය මොවුන් කරණ අවහනන ය. කාමොඝයෝ මහත් කෙලෙස් රැසක් වෙති. පස්වැදෑරුම් කාම ගුණයන්හි, පැවැති ඡන්දරාගය, අවීචියෙහි පටන් භවාග්‍රය තෙක් පැතිරී සිටියේ ය. මේ ය. මොවුන්ගේ රාශි ය. “ඔත්තරිත්‍වා සත්තෙ හරණතො ඔහනන තො වා හෙට්ඨා කත්‍වා හනනතො ඔසීදාපනතො ඔඝො වුච්චති ජලප්පවාහො’ එතෙ ච සත්තෙ ඔත්තරිත්‍වා හරන්තා වට්ටස්මිං සත්තෙ ඔසීදාපෙත්වා විය හොන්තී ති ඔඝසදිසතාය ඔඝා” යනු ආගම ය. සත්වයන් යට කොට යටභාගයට ගෙණ යන අරුතින්, යට කොට පහරණ අරුතින්, යට බස්වන අරුතින් දිය සැඩ පහර ඔඝ යි කියන්නා සේ මොවුහු ද, සත්වයන් යටපත් කොට යන්නෝ, වෘත්තදුඃඛයෙහි සත්වයන් යට බස්වන්නවුන් මෙන් වෙත් ද, එහෙයින් දිය සැඩපහරට බඳු හෙයින් ඔඝ නම් වෙති යනු එහි ඉතා කෙටි සිංහලය යි.
එහි කාමොඝ නම්, පංචවිධකාමගුණයන්හි පැවැති ඡන්දරාගය යි . ‘පංචසු කාමගුණෙසු ඡන්‍දරාගො කාමොසො නාම’
භවොඝ නම්, රූපාරූපභවයන්හි පැවැති ඡන්දරාගය හා ධ්‍යානාශා ය. ‘ රූපාරූපභවෙසු ඡන්දරාගො ච ඣාන නිකනති ච භවොඝො නාම’
දිට්ඨොඝ නම්, දෙසැට මිසදිටු ය. ‘ද්වාසඨි දිට්ඨියො දිට්ඨොඝො නාම’
අවිජ්ජොඝ නම්, සිවුසස් දහම් නො දැන්ම ය. ‘චතුසු සච්චෙසු අඤ්ඤාණං අවිජ්ජොඝො නාම’
එහි කාමෝඝය, අටවැදෑරුම් වූ ලෝභසහගත චිත්තොත්පාදයන්හි, භවෝඝය, චතුර්විධ දෘෂ්ටිගතවිප්‍රයුක්ත ලෝභසහගත චිත්තොත්පාදයන්හි, දිට්ඨෝඝය, චතුර්විධ දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත චිත්තොත්පාදයන්හි උපදනේ ය. අවිජ්ජෝඝය, සියලු අකුශල චිත්තොත්පාදයන්හි උපදනේ ය.
න අභිකීරති = නො නසයි.
‘නහි සක්‍තා අරහත්තං ඔඝෙන විකිරිතුං’ යනු මෙයට අටුවා ය. රහත්පලය ඕඝයන් විසින් වනසාලන්නට විසුරුවා හරින්න ට නො හැකි ම ය, යනු එහි තේරුම ය.
මේ ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවන් ඵලාදියට පැමිණියෝ ය. දේශනාව මහා ජනයාට වැඩ සහිත වූ ය.
චූලපන්ථකවස්තුව නිමි.