උට්ඨානවතො සතිමතො සුචිකම්මස්ස නිසම්මකාරිනො
සඤ්ඤතස්ස ච ධම්මජීවිනො අප්පමත්තස්ස යසො’භිවඩ්ඪති.
උත්‍ථාන (සංඛ්‍යාත වීර්‍ය්‍ය) යෙන් යුක්ත වූ, (කුදු මහත් කටයුත්තෙහි) එළඹ සිටුනා සිහි ඇති, නිර්දෝෂ කායකර්‍මාදිය ඇති, (සියලු කටයුතු) පරීක්‍ෂා කොට කරන සුලු වූ, සංයත වූ කායවාක්කර්‍ම ඇති, ධාර්‍මමික ජීවිකායෙන් ජීවත් වන්නාවූ, (කෘෂිවණික්කර්‍මාන්ත රාජසේවාදියෙහි) අප්‍රමත්ත වූ, පුරුෂයාගේ (ඓශ්චර්‍ය්‍ය භොග පරිවාර සම්මාන සංඛ්‍යාත වූ ද කිත්තිවර්‍ණ සංඛ්‍යාත වූ ද) යශස (ඔදවැඩි) මුහුද මෙන් වඩනේ ය.
රජගහ නුවර රාජගෘහ නමින් ප්‍රසිද්ධ වූ සිටුවරයෙක් වාසය කෙළේය. ඔහුගේ ගෙයි අභිවාතක නම් රෝගයෙක් හට ගැණින. ඒ රෝගය යම් ගෙයක හට ගැණිනි නම්, එහි පළමු කොට මැරෙන්නෝ මැසි මදුරු ආදී තිරිසන් සත්වයෝ ය. සියල්ලන්ට පසුව මැරෙන්නෝ ගෙය අයිතිකාරයෝ ය. මේ ඒ රෝගයේ සැටි ය. එහෙයින් මෙහි ද, කුඩා කුඩාවුන් මැරීගිය පසු සිටානන්ට හා සිටු ඇඹේනියට මේ රෝගය වැළඳින. මෙසේ රෝගාතුර වූ ඔවුහු ලඟ සිටි පුතු දැක කඳුලු හෙල හෙලා, ‘පුත, මේ රෝගයෙන් බේරී ගන්නට ඇති එක් ම උපාය ගේ බිත්තිය බිඳ එයින් බැහැර යෑම ය, ඒ නිසා නුඹ අප ගැණ නො සලකා ගේ බිත්තිය බිඳ බැහැරට ගොස් පණ රැක ගන්න, සතියක් දෙකක් බැහැර ගෙවා අවුත් අන්න අතැන තැන්පත් කොට ඇති මිලමුදල් සියල්ල ගෙණ යහතින් කල් දවස යවන්න, අපි මෙයින් ඒකාන්තයෙන් මැරෙන්නමෝ ය, එ තැනැ සතළිස් කෝටියක තරම් මිලමුදල් ඇත, අප ගැණ බලා නො සිටින්නැ’ යි කීහ. සිටුපුත් තෙමේ මවුපියන්ගේ මේ බැගෑපත් කතාව අසා හඬ හඬා බිත්තිය බිඳ ගෙන් නික්ම කඳු හෙල් බොහෝ ඇති එක් පෙදෙසකට ගොස් එහි නවාතැන් ගත්තේ ය.
ඔහු එහි දොළොස් අවුරුද්දක් ගෙවා නැවැත රජගහ නුවරට අවුත් ගේ තුබූ තැනට ගොස් බලා මිල මුදල්වලට හානියක් නො වූ බව දැන ‘මම මෙහෙන් පිටවී ගියෙම් මේ රැවුල එන්නටත් කලින් ය, එහෙයින් මෙහි ඉන්න කිසිවකු ගැණ මට දැනුම් නැත, එසේම මූලාද මා නො හඳුනති, මම මේ මිලමුදල්, දැන් මෙ තැනින් නගා ගෙණ ජීවිකාව කරන්නට පටන් ගත්තෙම් නම්, හිඟන්නකු නිධානයක් ගොඩනගා ගන්නා ලදැ යි මා අල්ලා වෙහෙස කරන්නේ ය, ඊට මීට වඩා හොඳ ය, මේ හැටියට ම ජීවත්වීමැ’ යි සිතා ඇඳ සිටි වතින් ම කුලී වැඩ සොයමින් පාරට බැස්සේ ය. එ නුවර කුලී වැඩ කරණ කිහිප දෙනෙක් ඌ දැක අඬ ගසා ‘ඕය්! තමුසේට අපට කුලීවැඩක් දිය හැකි ය, කරන්නට පිළිවන් නම්, කෑම වියදමට සෑහෙන කුලියක්ය එයට ලැබෙන්නේ. වැඩි මුදලක් දෙන්ට නො හැකි ය, සතුටු නම් කියවු’ යි කීහ. එයට ඔහු ‘මට දෙන වැඩය කුමක් දැ’ යි ඇසී ය. ‘හුඟක් උදෑසනින් නින්දෙන් නැගිට මේ ගෙවල නැවතී ඉන්න කම්කරුවන් වෙතට ගොස් උන් හැම කෙනකුන් නින්දෙන් නැගිට්ටවා බරකරත්ත බඳින්නන්ට, බරකරත්ත බඳින්නට, ඇතුන්ට හා අසුන්ට තණ ගෙණෙන්නන්ට, තණ ගෙණ එන්නට, කොළ කපා ගෙණ එන්නන්ට කොළ කපා ගෙණ එන්නට, කැඳ බත් උයන ගෑණුන්ට, කැඳ බත් උයන්නට, දිය අදින්නන්ට, දිය අදින්නට දර ගෙනෙන්නන්ට, දර ගෙනෙන්නට, පණිවිඩ ගෙණ යන්නන්ට, පණිවිඩ ගෙණ යන්නට නියම කිරීමැ’ යි ඔවුහු කීහ. ඔහු එය පිළිගත්තේ ය. එවිට කුලීකරුවෝ ඔහුට එහි විසීමට කුඩාගෙයක් දුන්හ. එතැන් පටන් ඔහු එය කෙළේ ය.
හැම උදෑසනක මහරෑ නින්දෙන් නැගිට, පාරදිගේ යමින් ‘නැගිටිවු, ගණිවු, යොදවු, උයවු, යවු’ යි මොහු නගන හඬ ඇසූ බිම්සර රජ තෙමේ, ‘මේ හඬ මහා ධනවතකුගේ ය’ යි එහි සිටියවුනට කීයේ ය. බීම්සර රජ තෙමේ උනුන්ගේ හඬින් උනුන්ගේ තතු කීමෙහි ශාසත්‍රය දැන සිටියේ ය. එහි සිටි එක් මෙහෙකරු ගැහැණියක් ‘රජ තුමන්ගේ මේ කීම ඇත්ත දැ යි සොයා බලමි’ යි සිතා මෙහෙකරුවකු එහි පිටත් කළා ය. ඔහු එහි ගොස් අවුත් ‘මේ හඬ නගන්නා, කුලීකරුවන්ගේත් කුලී වැඩ කරණ හිඟන්නෙක් ය’ යි කීවේ ය. රජ තෙමේ කිසිත් නො බැණ නිහඬ ව සිටියේ ය. පසුදා උදෑසනත් මේ හඬ අසා, ‘මෙ හඬ නම්, ධනවතකුගේ ම ය’ යි කී ය. ඊට පසුදා උදෑසනත් එසේ ම කී ය. මෙසේ දෙතුන් දිනක් කී පසු මේ මෙහෙකරු ගැහැණිය ‘රජතුමා මේ තෙමේ හිඟන්නෙකැ, යි කීම නො පිළිගනියි, මේ හඬ ධනවතකුගේ ම ය යි කියයි, මෙය නිකමට කියන්නක් නො විය යුතු ය, ඒ නිසා මේ ගැන තව ටිකක් දුරට සොයා බැලිය යුතු ය’ යි සිතා රජු වෙත ගොස් ‘දේවයන් වහන්ස! මට වියදම් පිණිස රුපියල් දහසක් පමණ දෙවා වදාරණ සේක් නම්, මම මාගේ දුවත් සමග ගොස් කාරණය හොඳහැටි සොයා බලා මේ කියන මිනිහා ලඟ මිල මුදල් තිබේ නම්, ඒ සියල්ල මෙහි ගෙණ එන්නෙමි’ යි දන්වා සිටියා ය. එවිට රජ තෙමේ ඇයට ඇය ඉල්ලූ මුදල දෙවී ය.
ඈ එය අතට ගෙණ දුවට රෙදි මාල්ලක් අන්දවා ඇයත් ගෙණ රජවාසලින් නික්ම මහ පාරට බැස ගොස් කුලීකරුවන් වසන කඩමණ්ඩියට පැමිණ, එහි කුඩා ගේකට ඇතුල් ව, එහි හුන් මැහැල්ලකට ‘අපි මග යන්නමෝ ය, එන්නමෝ ද දුර සිට ය, දිනක් දෙදිනක් පමණ මෙහි නැවතී ගන්නට අපටත් ටිකක් ඉඩ ලබා දෙන්නැ’ යි කි වූ ය. එවිට ගෙයි වැස්සෝ, ‘මේ අපගේ ගේ ඉතා කුඩා ය, පෙණෙන්නේ නො වේ ද, කී දෙනෙක් මෙහි ඉඳිත් ද, තවත් කෙනෙක්හට මෙහි ඉඩ තිබේ ද, මෙහි ඉඩ දෙන්නට පිළිවෙළක් නැත, අන්න අර පෙනෙන ගෙයි ඉන්නේ එකක් ය, ඒ නිසා තව දෙතුන් දෙනකුට ඉන්නට වුවද, එහි ඉඩ පහසු තිබේ, එහි යන්නැයි කීහ. ඈ දූත් ගෙණ කුම්භඝෝෂකයා වසන්නා වූ ගෙට ගොස් ඔහුගෙන් නවාතැන් ඉල්ලූ ය. ඔහු ‘මෙහි ඉඩ පහසු නැතැ’ යි ඉල්ලීමට ඉඩ නො දුන්නේ ය. එවිට ඈ ‘ඇයි, ඔහොම කියනු, අපි මගියෝ වම්හ, අදට පමණක් අපට ඉඩ දෙන්න, හෙට ඉතා උදෑසනින් ම අපි පිටත් ව යන්නෙමු’ යි නැවැත නැවැතත් ඉල්ලා සිටියා ය. කුම්භඝෝෂක එවර කිසිත් නො බැණ නිහඬ විය. ඈලා ද ඔහුගේ විරුද්ධත්වය ගැණ නො සලකා එහි ම රැඳුනාහ. පසුදා කුම්භඝෝෂකයා වනයට යන වේලේ වැඩිමහලු ගැහැණිය ‘පුතේ! නුඹ වනයේ සිට ආ පසු නුඹ කැමැති නම් කෑමට මොකුත් උයා පිහා තබන්නට අපට පිළිවන, හැබැයි, අපලඟ එයට වුවමනා හාල් දුරුමිරිස් ආදී වූ කිසිවක් නැත, ඒ නිසා සහල් දුරු මිරිස් ලුණු ලූනු ආදිය සෑහෙන පමණට අපට දීලා යන්නැ’ යි කිවූ ය. කුම්භඝෝෂක තෙමේ ‘එයින් කමක් නැතැ’ යි ගමනට සූදානම් වී ය. මැහැල්ලිය නැවැත නැවැතත් ඇවිටිලි කළා ය. එවිට ඔහු සහල් දුරු මිරිස් ආදිය වුවමනා පමණට ඈට දී වනයට ගියේ ය.
එකල ඕ තොමෝ කුම්භඝෝෂකයා දුන් ඒ සහල් හා තුනපහේ පැත්තක තබා කඩපිළට ගොස්, තම අත තුබූ මුදල් දී, අලුත් හැළිවළං හා හොඳහාල් තුණපහේ ගෙණ අවුත් රජුට කෑම උයන හැටියට බත් හා එළවළු තුන හතරක් ද හොද්දක් හා මාළුවක් ද උයා පිළියෙල කොට තැබූ ය. බත් කන වේලේ කුම්භඝෝෂක වනයෙන් හැරී ආයේ මූණ කට සෝදා පිළියෙල කොට තුබු කෑම කෑයේ ය. එයින් ඔහුගේ මුලදී තුබු තදගතිය බුරුල්ව ගියේ ය. ඒ බව දත් මැහැල්ලිය ‘පුතේ! අප ඉතා දුර බැහැර සිට ආ බැවින්, ඇගපතේ ඇති අමාරුව තව ම මග නො ඇරුණේ ය, පුතා කරුණා කොට අපට තව දෙතුන් දවසක් නැවතී යන්නට ඉඩ දෙන්නැ’ යි කිවු ය. ඔහු එයට ඉඩ දුන්නේ ය. ඈලා ද එහි නැවතී ගෙණ දෙතුන් දිනක් ම පළමු සේ ඔහුට කෑම පිළියෙල කොට දුන්හ. කුම්භඝෝෂක ද මුලින් දැක් වූ සියලු තදගති අත් හැර ඔවුන් කෙරෙහි ඉතා මොළොක් බවක් දැක්වී ය. නැවැත මැහැල්ලිය තවත් කිහිප දිනක් එහි නවතින්නට කුම්භඝෝෂකයාගෙන් අවසර ලබා ගත්තා ය. දැන් කුම්භඝෝෂකයාගේ මොවුන් හා වෙනසෙක් නැත්තේය, එහෙයින් ඔවුහු එහි වසන්නෝ සියගෙයි වසන්නවුන් සේ ය. ඒ තරමට ඔවුන් අතර හොඳ හිත බැඳුම තදබද විය.
කුම්භඝෝෂකයා වනයට ගිය එක් දවසක මැහැලිගැහැණි තොමෝ මුවහත් ඇති පිහියක් ගෙණ ඔහු නිදන ඇඳෙහි තැනැ තැනැ ලනුපට කිහිපයක් කපා දැම්මා ය. ඔහු සවස වනයෙන් අවුත් බත් කා නිදන්නට ඇඳෙහි වැතිර ගත් කල්හි ඉතිරි ලනුපට ද කැඩී බිමට පාත් විය. එවිට වහා නැගිට බලා ‘මේ ඇඳෙහි ලනු කඩා දැම්මේ කවුදැ’ යි ඇසී ය. ‘පුතේ! අහල පහල ගෙවල කුඩාලමෝ නිතර අවුත් එපා ය කියද්දීත් ඇඳෙහි වැතිර ගණිති, ඇඳ උඩ එහා මෙහා පෙරළෙති, කොයි හැටි කියූවත් මේ ලමෝ ඒ නො සලකති’ යි කීවිට කුම්භඝෝෂක තෙමේ ‘උඹලා නිසා ය මේ කරදරය මට සිදු වූයේ, මෙයට කලින් කො තැනක යනත් මම යන්නේ දොර වසා දමා ය, දැන් නිදන්නේ කෙසේ දැ’ යි කීයේ ය. ‘පුතේ! අපි කුමක් කරමු ද, කොල්ලන් වළකනු බැරිය, දැන් ඔබ ලනුපට දෙක තුන එකට අල්ලා ගැට ගසා පැදුර එලා ගෙණ නිදන්නැ’ යි මැහැල්ලිය කිවු ය. ඔහු එසේ කෙළේ ය. පසුදාත් කුම්භඝෝෂකයා වනයට ගිය කල්හි මැහැල්ලිය ඇඳෙහි ලනුපට කපා හැරියා ය. එදාත් ඔහු නිදන්ට වන් කල්හි ලනු කැඩී බිමට පාත් වීය. මැහැල්ලිය වහා නැගිට ලනුපට ගැට ගසා දුන්නා ය. කුම්භඝෝෂක තෙමේ එදා ද මැසිවිලි කී ය. ඊට පසුදාත් ඕ තොමෝ එසේ කළා ය. එදා කුම්භඝෝෂක තෙමේ තදින් කිපී ගියේ ය. මැහැල්ලිය එදාත් ඔහු අස්වසා ගත්තාය.
පසුදා ඔහු වනයට ගියේ ය. ඒ අතර ඇඳෙහි ලනුපට එකක් දෙකක් ඉතිරි කොට සියලු ලනුපට කපා හැරියා ය, එදා ඔහු එහි හුන් කල්හි සියලු ලනුපට කැඩී ගියේ ය. ඔහුගේ හිසත් දෙ දණත් එකට හැපුනේ ය. කුම්භඝෝෂක වහා නැගිට. ‘අයියෝ! මේ මොන වධයෙක් ද, මේවා හැමදා ඉවසිය හැකි ද, නිදන්නට තුබූ ඇඳ කබලත් විනාශ කළහු ය, දැන් කොහි යම් ද, කුමක් කරම් දැ’ යි කෑකෝ ගසන්නට වන. ඉක්බිති ඒ ස්ත්‍රිය ‘පුතා! දැන් කුමක් කරමු ද, අසල ගෙවල වැසි කොල්ලන්ගේ මුරණ්ඩුකම් අපට වළකා ලන්නට නො හැකි ය, අප ගැණ අමුත්තක් නො සිතන්න, දැන් මේ අවේලාවේ කො තැනකත් යෑම හොඳ නැතැ’ යි කියා දුවට කතා කොට, ‘දූ! අය්යාට නිදන්නට තැනක් පිළියෙල කරන්නැ’ යි කිවු ය. ඕ තොමෝ, තමන් නිදා හුන් පැදුරේ පැත්තෙකට වී ‘අය්යා! මෙහි එන්න, මේ පැදුරේ නිදන්නැ’ යි අඬ ගැසූ ය. මහලු ගැහැණිය ද ‘යන්නැ’ යි ඔහුට බල කළා ය. කුම්භඝෝෂක ද ඇය හා එක් ව නින්දට ගොස් ඒ ඇසිල්ලේ ම ඇය හා කාමසන්ථවය ද කෙළේ ය. එකෙණහි ඕ තොමෝ අඬන්නට වූ ය. ‘හඬන්නී කුමක් නිසා දැ’ යි මෑනියන් ඇසූ විට ‘දැන් මොහු මට මෙබන්දක් කෙළේය’ යි කිවු ය. ‘එසේ වේවා, දැන් කුමක් කරමු ද, උඹටත් හිමියෙක් වුවමනා ය, මොහුටත් අඹුවක් වුවමනා ය, දැන් ඒ දෙක ම හරිය’ යි ඕ තොමෝ මේ දෙදෙනා අඹුසැමියන් කළා ය. එතැන් සිට ඔවුහු එක් ව වාසය කළෝ ය.
ටික දිනකින් පසු ඒ මහලු සත්‍රී තොමෝ ‘කුලී කරුවන් වසන කඩමණ්ඩියේ පාර දෙපස හැම ගෙයක් සරසා සැණකෙළි පැවැත්විය යුතුය, යමකු එසේ නො කළොත්, ඔහු දඩ ගෙවිය යුතු වන්නේ ය යි දැන්වීමක් කරණු මැනැවැ’ යි රජුට දන්වා යැවූ ය. රජ තෙමේ එසේ කෙළේ ය. ඉන් පසු ඒ මහගෑණිය ‘පුතේ! කුලී කරුවන් වසන මේ කඩමණ්ඩියේ සියලු ගෙවල සැණකෙළි පවත්වන්නැ, යි රජතුමන් අණ කොට තිබේ. එහෙයින් ඒ අණ අප විසින් ද පිළිපැදිය යුතු ය, කුමක් කරමු දැ’ යි කිවු ය. ‘අම්මේ! මම කුලී වැඩ කොට යන්තමක් ලැබ ජීවත් වන්නෙක්මි, රජ අණත් පිළිපැදිය යුතු ය, මේ ගැන අප කුමක් කරමු දැ’ යි කුම්භඝෝෂකයා කී විට ‘පුතේ! නුඹ කියන කාරණය ඇත්ත ය, එසේ නමුත් රජ අණ නො කොට මග හරින්නට නො හැකි ය, එ හෙයින් මෙය කෙසේ නමුත් කළ යුතු ය, ගෙවල මිනිස්සු නය ගණිති, කොහොම නමුත්, නයෙන් නිදහස් විය හැකි ය, ඒ නිසා කො තැනකින් නමුත් මුදල් ටිකක් නයට ඉල්ලා ගෙණ එන්නැ’ යි ඕ තොමෝ කියා සිටියා ය.
එවිට ඔහු අමාරුකම් දක්වා ගොස් පියසතු ධනය සඟවා තුබූ තැනින් කාටත් නො දැනෙන ලෙසට රුපියලක් ගෙණ ආයේ ය. මහගෑණිය එය රජුට යවා තමන් ලඟ තුබූ මුදලින් සැණකෙළිය කළා ය. එයට පසු ද ඕ තොමෝ රජු ලවා සැණකෙළි පවත්වන්නට අණ කර වූ ය. කුම්භඝෝෂක තෙමේ ඒ හැම වරම ධනය තුබූ තැනින් රුපියල් දෙක තුනක් ගෙණවුත් නැන්දම්මාට දුන්නේ ය. ඕ ද ඒ මුදල් රජු වෙත යවා තමන් අත තුබූ මුදලින් උත්සව කළා ය. නැවැත කිහිප දිනකට පසු ‘රාජසේවකයන් එවා, මොහු රජගෙට ගෙන්වා ගන්නා සේක්වා’ යි දන්වා යැවූ ය. රජ තෙමේ රාජසේවකයන් යැවී ය. ඔවුහු ගොස් කුම්භඝෝෂකයා සොයා ‘තමුසේ කැඳවා ගෙන එන්නට රජ තෙමේ අපට නියම කෙළේ ය, එහෙයින් දැන් එහි යා යුතු ය’ යි කීහ. ඔහු බිය පත් ව ‘තමුසේලා මොනවා කියහු ද, රජ තෙමේ මා ගැණ නො දනියි, මට යනු නො හැකි ය’ යි කී ය. රාජසේවකයන් ඔහු අතින් පයින් අල්ලා අදිනු දැක මහළු ස්ත්‍රිය ‘ඕය්! තමුසේලා මා බෑනනුවන්ගේ අතින් පයින් අදින්නෝ කුමක් හෙයින් ද, තෙපි කවරහු’ යි අසා ඔවුනට බැණ වැදී ‘පුතා! බිය නො වන්න, එන්න යන්නට, බිය නො වන්න, මම රජුට දන්වා මොවුන්ට දඬුවම් කරවන්නෙමි’ යි.
සනසා දුවත් බෑනාත් ගෙණ රජවාසලට ගියා ය. රාජ සේවකයෝ ද උන් පිරිවරා ගියෝ ය. කුම්භඝෝෂකයා රජු වැඳ සිටි කල්හි ‘ කුම්භඝෝෂක නම් නුඹ දැ’ යි ඇසී ය. ‘එසේය ස්වාමීනි! මම යි කුම්භඝෝෂක නම්’ යි කී විට ‘කුමක් නිසා විශාල ධනයක්, ලොකු මුදලක් සඟවා ගෙණ කන්නෙහි දැ’ යි රජතුමා ඇසී ය. ‘දේවයන් වහන්ස! මම කුලී වැඩ කරන්නෙක්, මට ධනයක් කොයින් ද, කුලී වැඩ කොට ලැබෙන දෙයින් දිවි ගෙවමි, එ ද යන්තමකිනැ’ යි ඔහු කී විට, රජතුමා ‘අප රවටන්නට නො හැකිය, මෙසේ නො කරව’ යි කී ය. ‘දේවයන් වහන්සේ නො රවටමි’ මට ධනයෙක් නැතැ’ යි නැවැතත් කීයේ ය. එවිට රජතුමා ඔහුගේ මුදල් පෙන්වා ‘මේ මුදල් කාගේ දැ’ යි ඇසී ය. කුම්භඝෝෂක තෙමේ වෙව්ලන්නට විය. මුළු සිරුරෙන් දහඩිය ගලන්නට විය. කට වියලී ගියේ ය. ‘මේ මුදල් රජුන්ගේ අතට ආයේ කොයිලෙසින් දැ’ යි සිතා වට පිට බැලී ය. එකල හොඳට හැඳ පැලඳ සැරසී ගෙයි දොරලඟ සිටි ඒ ගෑණු දෙදෙනා දැක වඩාත් බිය පත් ව ‘මෑලා මා අල්ලන්නට රජු විසින් යොදන ලදැ’ යි සිතී ය. රජ තෙමේ, නැවැත ද ‘මෙසේ කරන්නෙහි කුමක් නිසා දැ’ යි ඇසී ය. ‘දේවයන් වහන්ස! මට කිසිත් පිහිටෙක් නැතැ’ යි ඔහු එයට කීයේ ය. ‘ඇයි, එසේ කියහි, මම, මා වැනි පිහිටෙක්, මාගේ පිහිට තට පමණ නො වේ දැ’ යි රජු කී විට ‘දේවයන් වහන්සේ මට පිහිට වෙත් නම්, ඒ පමණ ය’ යි කීයේ ය. එවිට ‘ඔව්, මම තට පිහිට වෙමි, බිය නො වව, මම තා රකින්නම්, කොතරම් මුදල් තා ලඟ තිබේ දැ’ යි රජතුමා ඇසී ය. ‘සතළිස් කෝටියකැ’ යි ඔහු කීයේ ය ‘දැන් වුවමනා මොනවා දැ’ යි ඇසූ විට ‘දේවයන් වහන්ස! ඒ මුදල් මෙහි ගෙන එන්නට ගැල්’ යි කී ය. රජ තෙමේ සිය ගණනක් ගැල් පිළියෙල කොට දුන්නේ ය. ඔහු ගැල ගෙණ ගොස් පොළොවේ වළලා තුබූ සියලු ධනය වළෙන් ගොඩ නගා ගැල්වල පටවා රජ වාසලට ගෙණ ආයේ ය.
රජ තෙමේ සියලු ධනය මිදුලෙහි ගොඩ ගස්වා නුවරැ වැසි සියල්ලන් රැස් කරවී ය. නුවරැ වැස්සෝ එහි රැස් වුහ. අනතුරු ව රජ තෙමේ ඔවුන්ගෙන් ‘මේ නුවරැ වැසි කිසිවක්හට මෙතෙක් ධනය තිබේ දැ යි ඇසී ය. ඔවුහු ‘නැතැ’ යි කීහ. ‘එසේ නම් මොහුට අප විසින් කුමක් කළයුතු දැ’ යි ඇසූ විට ‘දේවයන් වහන්ස! මොහු සත්කාර කළ යුත්තෙකැ’ යි නුවරැ වැස්සෝ කීහ. එකල රජ තෙමේ ඔහු සිටු තනතුරෙහි තබා සත්කාර කොට දුව ද විවාහ කොට දී ඔවුනුත් ගෙණ බුදුරජුන් වෙත ගොස් වැඳ ‘ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! මේ පුරුෂයා දෙස බලනු මැනැවි, මොහු මහත් වූ ධෛර්‍ය්‍යය ඇති සැබෑ මිනිහෙකි, මෙබඳු ධෛර්‍ය්‍යයය ඇති තව මිනිහෙක් මේ රටේ නැත යනු මාගේ කල්පනාය, සතළිස් කෝටියක් ධනය මොහුට ඇත්තේ ය, එහෙත් අහඞ්කාරය මාන්නය යනු කුමක් දැ යි මොහු නො දනියි, ඒ තරමට මොහු නිරහඞ්කාර ය, නිහතමාන ය, මෙතෙක් මහත් ධනයකට හිමි ව සිට ද මෙතෙක් ජීවත් වූයේ, දිළින්දකු සේ ය, කිලිටි කඩ මාලු හැඳ කුලීකරුවන් හා එක් ව කුලී වැඩ කරමින් දිවි ගෙවී ය, ඒ අතර මොහුගේ කට හඬින් මොහු ධනවතෙකැ යි දැන උපාය යොදා ගෙන්වා ධන ඇත්තකු බව පිළිගන්වා ඒ ධනය ගැල් යවා ගෙන්වා මහාජනයාගේ කැමැත්ත ද ඇතිව සිටු තනතුරෙහි තබා දුව ද පාවා දුන්නේ ය’ යි දන්වා සිටියේ ය. බුදුරජානන් වහන්සේ ‘මහරජ! මෙසේ ජීවත් වන්නහුගේ ජීවිතය දැහැමි ය, සොරකම් කිරීම් ආදිය මෙලොව පරලොව දෙකෙහි ම දුකට හේතු ය, එයින් කවදාත් සැපයෙක් නම් නො ලැබේ, දුප්පත්කම අනිකෙක, දැහැමි ජීවිතය අනිකෙක, දුප්පතා දැහැමි ව දිවි පවත්වා නම්, ඔහුගේ ඒ ජීවිතය නො දැහැමි පොහොසතාගේ ජීවිතයට වඩා හැම අතින් ම උසස් ය, පැසසිය යුතු ය, බුද්ධාදිආර්‍ය්‍යයෝ ඒ දැහැමි වූ ජීවිතයට ආශීර්‍වාද කෙරෙති, සම්‍යක් වීර්‍ය්‍යයෙන් ස්මෘතිමත් ව කයින් වචනයෙන් සිතින් පිරිසිදු ව නුවණැති ව විමසා කටයුතු කරණ දැහැමි ව දිවි යවන්නහුගේ යස ඉසුරු දිනපතා වැඩී යේ ය’ යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක.
උට්ඨානවතො සතිමතො සුචිකම්මස්ස නිසම්මකාරිනො,
සඤ්ඤතස්ස ච ධම්මජීවිනො අප්පමත්තස්ස යසො’භි වඩ්ඪතී ති.
උත්ථානවීර්‍ය්‍යය ඇති සිහි ඇති පිරිසිදු වූ කායකර්‍මාදිය ඇති නිතර විමසා කටයුතු කරණ සුලු හික්මුනු දැහැමි දිවිපෙවෙත් ඇති නො පමාවූවහුගේ යසස වෙසෙසින් වැඩේ.
උට්ඨානවතො = උත්ථානවීර්‍ය්‍යය ඇති. නැගී සිටි වීර්‍ය්‍යය ඇති.
‘අපමත්තස්ස’ යනු බලා සිටියේ ය. මෙලොව පරලොව දෙක්හි දියුණුව පිණිස වැඩීම පිණිස කළයුතු වූ කටයුතුවල කුසීත වීමට ඉඩ නො තබා එහි කය සිත දෙක නගා සිටුවන බලගතුවීර්‍ය්‍යය උත්ථානවීර්‍ය්‍යය නම් වේ. මෙ ඒ වදාළ සැටි:- “කතමා ච ව්‍යග්ඝපජ්ජ! උට්ඨානසම්පදා, ඉධ ව්‍යග්ඝපජ්ජ කුලපුත්තො යෙන කම්මට්ඨානෙන ජීවිතං කප්පෙති, යදි කසියා යදි වණිජ්ජාය යදි ගොරක්‍ඛෙන යදි ඉස්සත්‍ථෙන යදි රාජපොරිසෙන යදි සිප්පඤ්ඤතරෙන, තත්‍ථ දක්ඛො හොති අනලසො, තත්‍රෑපායාය වීමංසාය සමන්නාගතො අලං කාතුං අලං සංවිධාතුං අයං වුච්චති ව්‍යග්ඝපජ්ජ! උට්ඨානසම්පදා” යි. යමෙක් ලෝ වැස්සන් විසින් නින්දා නො කළ ගොවිකම් වෙණඳාම් ගෙරි රැකීම් ආදී වූ යම් කිසිවෙකින් ජීවිකාව කෙරේද, ඒ ජීවිකාකරණයට කරුණු වූ ක්‍රියාවන්හි අනලස් ව යෙදීම නො පසුබටව ක්‍රියාකිරීම උත්ථාන වීර්‍ය්‍යය යි කියූ සේය මේ.
සතිමතො - සිහි ඇති.
අප්පමත්තස්ස, යනු බලා සිටියේ ය. ‘සතිමන්තු’ යනු ප්‍රකෘතිය යි. එහි තේරුම සිහි ඇත්තේ ය, යනු යි. ප්‍රථමාවිභක්තියට නැගී එන්නේ ‘සතිමා’ කියා ය. මෙහි සිටියේ ‘අප්පමත්තස්ස’ යනු බලා ෂෂ්ඨීවිභක්තියෙනි.
කුසලචිත්තවීථියෙහි තමන් හා එක් ව යෙදෙන අවශේෂ නාමධර්‍මයන්ට අරමුණු සිහි කර ගන්නට උපකාර වන සිතිවිල්ල ‘සති’ යි කියනු ලබා. මේ එහි අරුත් අකුරු වෙන් කොට බෙදා බලා කියූ සැටි:- ‘සරන්ති තාය සයං වා සරති සරණමත්තමෙම වා එසාති = සති’ යි. යම් බඳු ශක්තිමාත්‍රයකින් අරමුණු සිහි කරත් ද, තොමෝ හෝ සිහි කෙරේ ද, සිහි කිරීමේ ශක්ති මාත්‍රය හෝ සති නමි.
මෝ තොමෝ මුළුමනින් කුසල් සිතිවිල්ලෙකි. මෙහි අපිලාපන උපගණ්හන යි ලක්‍ෂණ දෙකක් ඇත්තේ ය. අපිලාපන නම්, සිතට වැටුනු අරමුණ අමතක වන්නට නො දී සිහි කරවන ගති ය. මේ සතර සතිපට්ඨාන - මේ සතර සම්‍යක්ප්‍රධාන - මේ පඤ්චෙන්ද්‍රිය - මේ පංච බල - මේ සප්තබොද්ධ්‍යඞ්ග - මේ අෂ්ටාංගික මාර්‍ග - මේ ශමථ භාවනා - මේ විදර්‍ශනා භාවනා යන ඈ ලෙසින් සිතට ගත් ධර්‍ම අමතක වන්නට නො දී සිතෙහි ලා රැක ගන්නේ, මේ අපිලාපනයේ ශක්තියෙනි. සක්විතිරජුට කුදු මහත් සියලු දෙය මතක් කර දෙන භාණ්ඩාගාරිකඅමාත්‍යයා සේ ය මේ ලක්‍ෂණ ය. භාණ්ඩාගාරිකඅමාත්‍ය තෙමේ රජු කරා ගොස් ‘ ඔබවහන්සේගේ ඇත් සෙනග මෙ පමණ ය, අස්සෙනග මෙ පමණ ය, රියසෙනග මෙ පමණ ය, පාබලසෙනග මෙ පමණ ය, රන් මෙ පමණ ය, රිදී මෙ පමණ ය, කහවණු මෙ පමණ ය, දේවයන් වහන්සේ මේ සියල්ල සිහි කෙරෙත්වා’ යි සියලු දෙය සිහි කරවයි. එමෙන් අපිලාපන සිහිය ද කුශලධර්‍ම හා අකුශලධර්‍ම සිහි කරවයි. එහෙයින් දෙලොව හිත කැමැත්තේ, හළ යුතු දහම් හැර දමා සෙවිය යුතු දහම් සේවනය කොට දියුණුවට යන්නේ ය.
උපගණ්හන නම්, ලංකොට ගැනීම ය. මේ උපගණ්හන ලක්‍ෂණයෙන් යුත් සිහිය, සක්විතිරජුගේ පරිනායකරතනය වැනි ය. පරිනායකරතනය, සක්විතිරජුට ‘මොවුහු රජුට විරුද්ධය හ, මොවුහු අවිරුද්ධය හ, මොවුහු උපකාරය හ, මොවුහු අනුපකාරය හ’ යි සලකා හිතවතුන් ලං කොට දෙන්නේ යම් සේ ද, එසේ මේ සිහිය කායකර්‍මාදිඅහිතකරධර්‍ම පන්නා හැර කායසුචරිතාදිහිතකර ධර්‍ම ලං කොට දෙන්නේ ය.
‘සති ච ඛ්වාහං භික්ඛවෙ! සබ්බත්‍ථිකං වදාමි’ “මහණෙනි! සිහිය, සියලු අර්‍ත්‍ථසිද්ධිය සිදු කරන්නී ය යි මම කියමි’ යි වදාළෝ මිනිස් ජිවිතය ප්‍රධාන විසින් එලොව මෙලොව දෙක්හි ම නගාලනු ලබන්නහු සිහිය වන බැවිනි. සිහිය අරමුණෙහි දැඩිව පිහිටි බැවින් එලිපත්තක් සේ ද, ඇස්-කන්-නාස් ආදී වූ දොරටු රක්නා බැවින් දොරටුපල්ලකු සේ ද දන්නැ” යි අටුවාව කීවා ය. “ආරම්මණෙ දළ්හපතිට්ඨිතත්තා පන එසිකා විය චක්ඛුද්වාරාදිරක්ඛණතො දොවාරිකො විය ච දට්ඨබ්බා” යනු අටුවා ය.
සිහියෙහි කෘත්‍යය, නො මුළාබව ය. ඵලය, ගුණදහම් රැකීම හා අරමුණු එළවීම ය. ලංව සිටියේ, ස්ථිරසංඥාව හා සතිපට්ඨාන ධර්‍මත් ය. ආහාරය, යෝනිසෝමනසිකාරය යි.
සිහිය, අභිජානන - කටුමිකා - ඔලාරිකවිඤ්ඤාණ - හිතවිඤ්ඤාණ - අහිතවිඤ්ඤාණ - සභාගනිමිත්ත - විසභාගනිමිත්ත - කථාභිඤ්ඤාණ - ලක්ඛණ - සරණ - මුද්දා - සඞ්ඛ්‍යා - ධාරණ - භාවනා - පොත්‍ථකනිබන්‍ධන - උපනික්‍ඛෙපණ - අනුභූත යන මේ සොළොසයුරෙන් උපදනා බව බණපොත කිය යි. එහෙයින් එහි විස්තර අනික් බණපොතෙන් දන්නේ ය.
සිහිය පිහිට විය යුතු තැන්, කායානුපස්සනා - වෙදනානුපස්සනා - චිත්තානුපස්සනා - ධම්මානුපස්සනා යි සතරෙක් වේ. මේ ස්ථාන සතරෙහි, යමෙක් සිහිය පිහිටුවා එහි සිත වැඩූයේ නම්, ඔහුට ඉන් ලැබෙන ඵලය, බුදුරජානන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයෙහි දී මැනැවින් වදාළ සේක. එය, එයින් දන්නේ ය.
යමෙකු පිළිබඳ සිහිය, බුද්ධ - ධම්ම - සඞ්ඝ - සීල - චාග - දෙවනා - මරණ - කාය - ආනාපාන - උපසම යන මෙ තැන්හි පුන පුනා වැඩේ ද, ඕ සිහිය, ‘අනු’ යන්නකින් වඩා ‘අනුස්සති” යි කියනු ලැබේ. පැවැත්විය යුතු තැන ම පවතින, සැදැහැති කුල පුතුනට ම සුදුසු සිහිය යන තේරුම ද ‘අනුස්සති’ යන්නෙහි ඇත්තේ ය.
මෝ සිහිය, තැනට ගැළපෙන සේ, සතිසම්බොජ්ඣඞ්ග - සම්මාසති - සතිබල - සතින්‍ද්‍රය යන නම්වලිනුදු හඳුන්වති, බුදුරජානන් වහන්සේ. උන්වහන්සේ ම ක්‍රමානුකූල ව වැඩූ සිහිය සිදු කොට නො දෙන යහපතක් නැතැ යි වදාළ සේක.
සුචිකම්මස්ස = පිරිසිදු කර්‍ම ඇති.
අප්පමත්තස්ස යනු බලා සිටියේ ය. මෙහි කායකර්‍ම හා වාක් කර්‍ම, කර්‍ම නම්. මනස්කර්‍ම මෙහි නො ගැණේ. සතුන් මැරීමෙන් හා, සොරකමින් හා, සදොස් මෙවුන්දම් සෙවුමෙන් හා වැළක්ම පිරිසිදු වූ කායකර්‍ම නමි. බොරුකීමෙන් හා කේලාම් කීමෙන් හා රළුබස් කීමෙන් හා නිසරු බස් කීමෙන් හා වැළක්ම පිරිසිදු වූ වාක්කර්‍ම නමි. මෙකී පිරිසිදු කායවාක්කර්‍ම ඇත්තේ ද ‘ සුවිචිකම්ම’ යන්නෙන් ගැණේ. අන් අරුත් සමස් විසිනි එසේ ගැණෙනුයේ. එය විස්තර විසින් වදාළ සැටි මෙසේ දතයුතු ය:-
“ඉධ භික්ඛවෙ! එකච්චො පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො හොති, නිහිතදණේඩා නිහිතසත්‍ථො ලජ්ජීදයාපන්නො සබ්බපාණභූතහිතානුකම්පී විහරති, අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතො හොති, දින්නාදායී දින්නපාටිකඞ්ඛී අථෙනෙන සුවිභූතෙන අත්තනා විහරති, කාමෙසු මිච්ඡාචාරං පහාය කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො හොති, යා තා මාතුරක්ඛිතා පිතුරක්ඛිතා මාතාපිතුරක්ඛිතා භාතුරක්ඛිතා භගනිරක්ඛිනා ඤාතිරක්ඛිතා ගොත්තරක්ඛිතා ධම්මරක්ඛිතා සස්සාමිකා සපරිදණ්ඩා අන්තමෙසා මාලාගුණ පරික්ඛිත්තා’පි, තථාරූපාසු නාචාරිත්තං ආපජ්ජිතා හොති” යි කායකර්‍ම.
“ඉධ භික්ඛවෙ! එකච්චො මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතො හොති, සච්චවාදී සච්චසන්‍ධො ථෙතො පච්චයිකො අවිසංවාදකො ලොකස්ස, සභාගතො වා ඤාතිමජ්ඣගතො වා පූගමජ්ඣගතො වා රාජකුලමජ්ඣගතො වා අභිනීතො සක්ඛි පුට්ඨො, එහංභො පුරිස! යං ජානාසි තං වදෙහී’ති සො අජානං වා ආහ න ජානාමී’ ති ජානං වා ආහ ජානාමී’ ති අපස්සං වා ආහ න පස්සාමී’ ති පස්සං වා ආහ පස්සාමී’ ති ඉති අත්තහෙතු වා පරහෙතු වා ආමිසකිඤ්චික්ඛහෙතු වා න සම්පජානමුසාභාසිතා හොති, පිසුණං වාචං පහාය පිසුණාය වාචාය පටිවිරතො හොති. ඉධ සුත්‍වා න අමුත්‍ර අක්‍ඛාතා ඉමෙසං භෙදාය, අමුත්‍ර වා සුත්‍වා න ඉමෙසං අක්ඛාතා අමූසං භෙදාය, ඉති භින්නානං වා, සන්‍ධාතා සහිතානං වා අනුප්පාදෙතා සමග්ගාරාමො සමග්ගරතො සමග්ගනන්‍දි සමග්ගකරණං වාචං භාසිතා හොති, එරුසං වාචං පහාය ඵරුසාය වාචාය පටිවිරතො හොති, යා සා වාචා නෙළා කණ්ණසුඛා, පෙමනීයා හදයඞ්ගමා පොරී බහුජනකන්තා බහුජනමනාපා තථා රූපිං වාචං භාසිතා හොති, සම්ඵප්පලාපං පහාය සම්ඵප්පලාපා පටිවිරතො හොති, කාලවාදී භූතවාදී අත්‍ථවාදී ධම්මවාදී විනයවාදී නිධානවතිං වාචං භාසිතා කාලෙන සාපදෙසං පරියන්තවතිං අත්‍ථසංහිතං” යි වාක්කර්‍ම. මෙහි විස්තර ධර්‍මධරයන් විවාරා දතයුතු ය. පොත දිග්ගැසෙන බැවින් විස්තර මෙහි නො ආයේ ය.
නිසම්මකාරිනො = විමසා කරණසුලු
අප්පමත්තස්ස යනු බලා සිටියේ ය. “එවං ච භවිස්සති එවං කරිස්සාමී’ ති වා ඉමස්මිං කම්මෙ එවං කතෙ ඉදං නාම භවිස්සතී’ති වා එවං නිදානං සල්ලක්ඛෙත්‍වා රොගතිකිච්ඡනං විය සබ්බකම්මානි නිසාමෙත්‍වා උපධාරෙත්‍වා කරොන්තස්ස” යනු අටුවාය. ‘මෙසේ වන්නේ ය, මෙසේ කරන්නෙමි, මේ ක්‍රියාව කළ කල්හි මෙනම් දෙයක් වන්නේ ය” යි නිදානය සලකා හේතුව සොයා ව්‍යාධියට කරණ පිළියම් සේ සියලු කර්‍මයන් නුවණින් විමසා බලා කරන්නේ ‘නිසම්මකාරී’ නම්. සසුන් දියුණුව කැමැත්තහු විසින් හැම වේලේ හැම තැනදී තමන් කරණ කියන හැම එකක් නුවණින් විමසා බලා ම කළ යුතු ය. නැත, ඉන් ලැබෙන ඵලය හිත පිණිස සතුට පිණිස නො වන්නේ ය. අඞ්කුර ඉන්‍දක දේවපුත්‍රයන්ගේ කතාපුවත් බලන්නේ ය.
සඤ්ඤතස්ස ච = හික්මුනු.
අප්පමත්තස්ස යනු බලා සිටියේ ය. ‘කායාදීහි සංයතස්ස නිච්ඡිද්දස්ස’ යනු අටුවා ය. කාය - වාක් - මනස් - යන දොරටු තුන මැනැවින් “රැක සිටියේ, ‘සඤ්ඤත’ නම්. මේ එක දොරටුවකිනුත් පව් නො කරන්නේ ය මොහු. කාය - වාක් ද්වාරයන්ගේ සංයමය, හික්මීම සීලයෙන් වන කල්හි මනෝද්වාරයාගේ හික්මීම සමාධියෙන් වන්නේ ය.
ධම්මජීවිනො = දැහමින් ජීවත් වන.
අප්පමත්තස්ස යනු බලා සිටියේ ය. දැහැමි වූ ජීවිතය මෙහි ලා අගාරික-අනගාරික විසින් වෙන් කට හැකි ය. ගිහියා, අගාරික ය. අනගාරික ය, පැවිද්දා. මෙසේ ගිහිපැවිදි විසින් ජීවිතය දෙ පරිදි කොට බෙදා බැලිය යුතු ය. එහි, යම් කිසි ගිහියෙක්, තම දිවිගෙවීමෙහි ලා තුලාකූට කංසකුට මානකූට උක්කොටන වංචන නිකති සාචියෝග ඡේදන වධ බන්ධන විපරාමොස ආලොපසහසාකාර යන මේ සැහැසිකම්හි නො යෙදී , ‘පඤ්චිමා භික්ඛවෙ! වණිජ්ජා උපාසකෙන අකරණීයා’ යනු විසින් උපාසකයා විසින් නො කටයුතු කොට වදාළ, සැත්වෙණදම් - සත්වෙණදම් - මස්වෙණදම් - රහමෙරවෙණදම් - විසවෙණදම් යන සැහැසි වෙණදම්හි නො යෙදී සතුන් මැරීම් ආදී පව්කම්වලින් වැළකී සීසෑම් ගෙරිරැකීම් දැහැමි වෙණදම් ආදියෙහි යෙදී දිවිගෙවන්නේ ද, ඔහු ය ‘ධම්මජීවී’ නම්.
තරාදියෙන් කරණ, තලියෙන් කරණ, සේරුවෙන් කරණ රැවටීම පිළිවෙළින් තුලාකූට කංසකූට මානකූට නමි. අල්ලස් ගැණුම උක්කොටන නමි. ඒ ඒ උපායයන්ගෙන් අන්හු රැවටීම වංචන නමි. යෝගවශයෙන් හෝ මායාවශයෙන් හෝ නො රන් රන් කිරීම් විසින් ප්‍රතිරූපකවස්තුන් දක්වා රැවටීම නිකති නමි, සාචියෝග නම් කුටිලයෝගය යි, සමහර කෙනෙක් අනිකක් දක්වා අනිකකට පෙරළීම සාචියෝගය යි කියති. අත්පාසිඳීම් ආදිය ඡෙදන නමි. මැරීම වධ නමි. රැහැන් ආදියෙන් බැඳීම බන්ධන නමි. හිම වැටෙන කාලයෙහි හිමෙන් සැඟවී, නැත, වන ලැහැබ් ආදියෙහි සැඟවී සිට මගැ යන මිනිසුන්ගෙන් යම් යම් දේ පැහැර ගැන්ම විපරාමොස නමි. ගම් පැහැරීම ආලොප නමි. ගෙට වැදී මිනිසුන්ගේ පපුව මත සැත් තබා බිය ගන්වා තමන් කැමැති බඩු පැහැරගැන්ම සහසාකාර නමි. සතුන් මැරීමෙන් හොරකම් කිරීමෙන් අබ්‍රහ්මචර්‍ය්‍යයෙන් බොරු කීමෙන් කේලාම්කීමෙන් රළු බස්කීමෙන් තෘණබීජ සිඳීමෙන් විකල්බොජුනෙන් නැටුම් ගැයුම් වැයුම් ඈ විසුළු දැක්මෙන් මල්ගඳ විලවුන් ඈ දැරීමෙන් උසසුන් මහසුනෙන් රන් රිදී මසු කහවණු පිළිගැන්මෙන් අමු ධාන්‍ය පිළිගැන්මෙන් අමු මස් පිළිගැන්මෙන් ස්ත්‍රි කුමාරිකා පිළිගැන්මෙන් දාසි දාසයන් පිළිගැන්මෙන් එළු බැටළුවන් පිළිගැන්මෙන් ඌරන් කුකුළන් පිළිගැන්මෙන් ඇත් අස් ගව වෙළඹුන් පිළිගැන්මෙන් කෙත් වත් පිළිගැන්මෙන් මිලයට බඩු ගණුදෙනුවෙන් තුලා කූට කංසකූට මානකූටයෙන් උක්කොටන වංචන නිකති සාචියෝගයෙන් ඡෙදන වධ බන්ධන විපරාමොස ආලෝපසහසාකාරයෙන් වැළකීම වූ චුල්ලසීලයෙන් ද, බීජගාමභූතගාමසමාරම්භයන් රැස් කොට තබා ප්‍රයෝජනයට ගැණීමෙන් නැටුම් ගැයුම් වැයුම් ඈ විසුළු දැක්මෙන් සිහිමුළාවට කරුණු වූ දූ කෙළියෙන් උසසුන් මහසුනෙන් ඇඟ ඉලීම් මැඩීම් නෑවීම් තැළීම් ඈ මෙයින් තිරිසන් කතා ඇසීමෙන් උනුන් බැණ දොඩා ගැණීමෙන් රජ ඇමති ආදීන්ගේ පණිවුඩ ගෙණ යෑමෙන් කුහන ලපනාදියෙන් වැළකීම වූ මජ්ඣිම සීලයෙන් ද, අඞ්ගවිද්‍යාදියෙන් මණිලක්‍ෂණාදිය කීමෙන් චන්ද්‍රග්‍රහාදිය කීමෙන් රජුන්ගේ යුද්ධගමනාදිය කීමෙන් මහා වැසි වැසීම් ආදිය කීමෙන් ආවාහ කැරැවීම් ආදිය කීමෙන් දෙවියන්ට භාරහාර වීම් ආදිය කීමෙන් වැළකීම වූ මහාසීලයෙන් ද, හුණදඬු දීම් ආදි අනේසනයෙන් දුරු වීමෙන් ද, දැහැමින් සෙමෙන් පිඬු සිඟා වළඳා දිවි ගෙවන පැවිද්දා ය ධම්මජිවි නම්.
අප්පමත්තස්ස= නො පමාවූවහුගේ.
මේය මේ ගාථාවෙහි විශේෂ්‍ය පද ය. ප්‍රධාන පද ය. එහි වූ අනික් හැම ෂෂ්ඨ්‍යන්තමයක් ම මෙයට විශේෂණ ව මෙය එල්බ සිටියේ ය. මෙහිලා සියදිවි දැහැමින් ගෙවන්නට සීසෑම් ගෙරි රැකීම් ආදියෙහි හා රාජසේවාවෙහි නො පසුබට ව සිහි නුවණින් යෙදී දැහැමින් දිවි යවන්නේ ‘ අප්පමත්ත’ නමැයි කිය යුතු ය.
යසො = යසස.
ආධිපත්‍යය, භෝගසම්පත්තිය, කීර්තිසම්පත්තිය, පරිවාර සමපත්තිය, ඤාතිසම්පත්තිය, සම්මානය යන මේ ආදීහු ය, යසස්. ලෞකික විසින් ජීවිතයක ඇති අඩු ලුහුඩු පුරා ලන්නේ යසස් නමි.
අභිවඩ්ඪති = වෙසෙසින් වැඩේ.
මෙහි ‘වඩ්ඪති’ යන ක්‍රියාපදය හා එක් ව සිටි අභි’ යනු උපසර්‍ගයෙකි. ගති තුනක් ඇත්තෝ ය උපසර්‍ගයෝ. ප්‍රසිද්ධාර්‍ත්‍ථ වැළකීම, ප්‍රසිධාර්‍ත්‍ථයන්ට ම අනුගත ව සිටීම, ප්‍රසිධාර්‍ත්‍ථය වෙසෙසීමය ගතිතුන. මෙහි සිටියේ ‘වඩ්ඪති’ යන ක්‍රියාපදයෙහි ප්‍රසිද්ධාර්‍ත්‍ථය වූ ‘වැඩේ’ යනු වෙසෙසා ය. වෙසෙසින් වැඩේ ය කීයේ එහෙයිනි.
‘අභි’ යන මේ උපසර්‍ගය වනාහි අභිමුඛභාව - විශිෂ්ට - ඌර්ධ්ව ක්‍රියා - සාරූප්‍ය - ආධික්‍ය - කුල - අසත්‍ය - ලක්‍ෂණාදි අරුත්හි වැටේ. අභික්කමති - අභිධම්මො - අභිරූහති - අභිරූපො - අභිවස්සති - අභිජාතො - රුක්ඛම්භිවිජ්ජොතතෙ විජජු - යනු පිළිවෙළින් ඒ යෙදී සිටි තැන් ය. තවද ඉත්ථම්භූත - වීච්ඡා - වන්දනා යන අරුත්හි ද හෙන්නේ ය. “සාධු දෙවදත්තො මාතරමභි - රුක්ඛමභි විජ්ජොතතෙ චන්‍දො - අභිවාදෙති” යනු ඒ තෙ තැන ය.
මේ ධර්‍මදේශනාවගේ අවසානයෙහි කුම්භඝෝෂක සිටු තෙමේ සෝවන් පලයෙහි පිහිටියේ ය. අන් බොහෝ දෙන ද සෝවන් ඵලාදියට පැමිණියෝ ය. මෙසේ මේ දේශනා තොමෝ මහා ජනයාට වැඩ සහිත වූ ය.
කුම්ඝෝෂකවස්තුව නිමි.