රතියා ජායතී සොකො රතියා ජායතී භයං
රතියා විප්පමුත්තස්ස නත්‍ථි සොකො කුතො භයං.
(පංචකාමගුණ) රතිය නිසා ශෝකය උපදී. රතිය නිසා භය හටගනී. රතියෙන් මිදුනු සිතැත්තහුට කිසි ශෝකයෙක් නැත. බියෙක් කොයින් ද?
ලිච්ඡවීහු එක් උත්සව දවසෙක උනුන් නන්වන් පිළී හැඳ නන්වන් අබරණින් නොයෙක් ලෙසින් සැරසී උයන්කෙළි පිණිස යන්නට නුවරින් නික්ම ගත්හ. බුදුරජානන් වහන්සේ ද එ දවස නුවර පිඬු සිඟන්නට වඩනා සේක් උන් දැක භික්‍ෂූන් අමතා “මහණෙනි! අර එන ලිච්ඡවීන් දුටුවහු ද? තමුසේලා විසින් තව්තිසා වැසි දෙවියෝ පෙර නො දක්නා ලද්දෝ නම් ඒ එන ලිච්ඡවීන් බලවු” යි වදාරා පිඬු පිණිස නුවරට පිවිසි සේක. ලිච්ඡවීහු ද උයන් කෙළියට යන්නෝ එක් වෙසඟනක ද ගෙණ ගොස් ඇය නිසා ඊර්‍ෂ්‍යාවෙන් මඩනා ලද්දාහු කලහ උපදවා උනුන් ඇණ කොටා ගෙණ එ උයන ලේ ගඟක් මෙන් කළහ. ඇණුම් කෙටුම් ලැබ ලෙයින් වැකුණු සිරුරු ඇතියවුන් මැසිවල තබා ඔසොවා ගෙණ ගියහ. බුදුරජානන් වහන්සේ ද කළ බත් කිස ඇතිසේක් නුවරින් නික්ම වැඩියාහ. භික්‍ෂූන් වහන්සේ ද එසේ මැසිවල තබා ඔසොවා ගෙණ යන ඔවුන් දැක “ස්වාමිනි! අද උදෑසන ම නන්වන් අබරණ ලා හොඳට සැරසී තව්තිසා වැසි දෙවියන් මෙන් උයන් කෙළි කෙළනට නුවරින් නික්ම ගිය ලිච්ඡවීහු දැන් මේ වෙසඟනක නිසා මහත් ව්‍යසනයට පැමිණියෝ වෙති” යි කී කල්හි “මහණෙනි! ශෝකයෙක් හෝ භයෙක් හෝ ඇණ කොටා ගැණුමෙක් හෝ ගෙල වැල ලා ගැණුමෙක් හෝ වස විෂ කෑමෙක් හෝ වන්නේ නම් ඒ වන්නේ සාංසාරික සත්ත්‍වසංස්කාරයන් කෙරෙහි නො මනා ඇලීම නිසාය” යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක.
රතියා ජායති සොකො රතියා ජායති භයං,
රතියං විප්පමුත්තස්ස නත්‍ථි සොකො කුතො භයන්ති.
ඇලීම් හේතුවෙන්ම ශෝකය උපදී. ඇලීම හේතුකොට භය උපදී. ඇලීමෙන් මිදුනහුට ශෝකයෙක් නැත. බියෙක් කොයින් වේද.
රතියා ජායති සොකො = ඇලීම නිසා ශෝකය උපදි.
රතියා ජායති භයං = ඇලීම නිසා බිය උපදි.
රතියා විප්පමුත්තස්ස = ඇලීමෙන් මිදුනහට.
නත්‍ථි සොකො කුතො භයං = ශෝකයෙක් නැත. බියෙක් කොයින් වේ ද.
රති නම්: ඇලීම ය. විශේෂ විසින් රූප - ශබ්ද - ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍ය යන කාම වස්තූන්හි ඇලීම රති යි වදාරණ ලදි. [1]
ශෝකයටත් බියටත් කරුණු වන්නී මේ පඤ්චකාම ගුණ රතියයි. එමතු ද නො වේ. මෙතැන්හි ඇලීම සත්ත්‍වයනට නන් වැදෑරුම් විපත්වලට කරුණුව සිටියේ ය. අපාදුකට ද මෙය හේතු වන්නේ ය. මෙහි ඉච්ඡා විඝාත දුක්ඛයෙහිලා කළ ධර්‍මකථාව ද බැලිය යුතු ය. අනැගැමිමග නුවණින් මෙය නසා සිටියවුනට නම් මේ නිසා වන කිසි ශෝකයෙක් නො වන්නේ ය. කොතැනින්ද බියෙක් ද නැත. එහෙයින් කාමවස්තූන්හි ඇලුම් ගැලුම් බැඳුම් නසාලන්නට වැර වැඩිය යුතු ය.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවන් ඵලාදියට පැමිණියාහු ය.
ලිච්ඡවී වස්තුව නිමි.
2-4 ‘මා කාමරතිසන්‍ථවං’ යනු බලනු. ↑