16-3 විශාඛා මහා උපාසිකාවගේ දුක් සන්සිඳවිම

පෙමතො ජායතී සොකො පෙමතො ජායතී භයං

පෙමතො විප්පමුත්තස්ස නත්‍ථි සොකො කුතො භයං.

ප්‍රේමය නිසා ශෝකය උපදී. ප්‍රේමය නිසා භය හටගනී. ප්‍රේමයෙන් මිදුනු සිතැත්තහුට කිසි ශෝකයෙක් නැත. බියෙක් කොයින් ද?

විශාකා මහා උපාසිකාවට දත්තා නම් මිනිබිරියක් වූය. දත්තා-සුදත්තා යි ද ඇයට නම් වීය. ඕ උපාසිකාවන්ගේ පුතුගේ දූ ය. උපාසිකා තොමෝ ඇය සැදැහැති බැවින් තමන්ගේ තැන තබා තම ගෙට දන් පිණිස වඩිනා මහාසඞ්ඝයා වහන්සේට ඇය ලවා වතාවත් කරවූය. ඕ තොමෝ මිත්තනියගේ නියමය ලෙස මිත්තනිය සේ ම මහාසඞ්ඝයා වහන්සේට වතාවත් කරන්නේ හදිසියේ කලුරිය කළා ය. විශාඛා තොමෝ මළසිරුර තැන්පත් කොට තබා ශෝකය දරා ගත නො හැකිව දුක් ඇත්තී කඳුළු පිරි මුහුණු ඇති ව හඬමින් බුදුරජුන් වෙත ගොස් උන්වහන්සේ ඉදිරියෙහි එකත් පසෙක හුන්නී ය.

බුදුරජානන් වහන්සේ

:-

විශාඛාවෙනි! මොක ද? දුක් වූවක සේ නො සතුටු සිත් ඇතියක සේ හඬමින් මෙහි ආවා?

විශාඛා

:-

ස්වාමීනි! මාගේ මිනිබිරියක් කලුරිය කළා, ඇය මා සේ සඞ්ඝයා වහන්සේට වතාවත් කළා, හොඳින් වතාවත් කරන්නට දනීය, එහෙයින් ඇය මට ඉතා ප්‍රිය ය, වත්තසම්පන්නය ය, දැන් එබඳු අන් එකියක් දක්නට නැත, එයින් මම දුක් ඇතියා වෙමි, දුකට පත් වූවා වෙමි.

බුදුරජානන් වහන්සේ

:-

විශාඛාවෙනි! මේ සැවැත් නුවර අද ජිවත් වන මිනිස්සු කොපමණ ද?

විශාඛා

:-

ස්වාමීනි! භාග්‍යවතුන් වහන්සේ විසින් ම සැවැත් නුවර සත් කෙළක් මිනිස්සු ජීවත් වෙතියි වදාරණ ලදුයේ දනිමි.

බුදුරජානන් වහන්සේ

:-

හොඳයි; ඒ සත් කෙළ ම උපාසිකාවගේ මිනිබිරිය වගේ වන්නී නම් උපාසිකාව කැමැති ද?

විශාඛා

:-

එහෙයි, ස්වාමීනි! මම එසේ වනු දක්නට කැමැතියෙමි.

බුදුරජානන් වහන්සේ

:-

විශාඛාවෙනි! මේ සැවැත් නුවර දවසකට කී දෙනෙක් කලුරිය කෙරෙත් ද?

විශාඛා

:-

ස්වාමීනි! බොහෝ දෙනෙක් කලුරිය කරත්, ගණන කියන්නට මට නො හැකිය.

බුදුරජානන් වහන්සේ

:-

එසේ නම් උපාසිකාව නො හඬන දවසක් නො හඬන රැයක් විලාප නො කියන රෑ දාවලෙක් නෑ නො වේ ද? හැමදා ඔවුන් නිසා ශෝක කළයුතු නො වේ ද? හැඬිය යුතු නො වේ ද? හැමදා හඬමින් ශොක කරමින් දුක් ඇති ව විසිය යුතු නො වේ ද?

විශාඛා

:-

එසේය, ස්වාමීනි! දන්නා ලදි.

බුදුරජානන් වහන්සේ

:-

එසේ නම් දන්නා ලද නම් ශෝක නො කරව, ශෝකයත් බියත් දෙක ම වන්නේ ප්‍රේමය නිසාය;

යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක.

පෙමතො ජායතී සොකො පෙමතො ජායතී භයං,

පෙමතො විප්පමුත්තස්ස නත්‍ථි සොකො කුතො භයං.

ප්‍රිය භාවය හේතු කොට ශෝකය උපදී. ප්‍රිය භාවය හේතු කොට භය උපදී. ප්‍රිය භාවයෙන් මිදුනහුට ශෝකයෙක් නැත. බියෙක් කොයින් වේද?

පෙමතො ජායති සොකො = ප්‍රියභාවය හේතු කොට ශෝකය උපදි.

පෙමතො ජායති භයං = ප්‍රියභාවය නිසා බිය උපදි.

පෙමතො විප්පමුත්තස්ස = ප්‍රියභාවයෙන් මිදුනහුට.

නත්‍ථි සොකා කුතො භයං = ශෝකයෙක් නැත. බියෙක් කොයින් වේ ද?

ප්‍රිය යැයි හැඳින්වීමට යම් කිසි සෙනහයෙක් කරුණු වේ නම් ඒ ය ප්‍රේමැයි කියනුයේ. ප්‍රිය යනු නැගී ආයේ ප්‍රේමය ගැබ් කොටගෙණ ය. “පියස්ස භාවො = පෙමං” යනු දන්නේ ය. පිය ශබ්දයෙන් භාවයෙහි ඉම ප්‍රත්‍යය කොට පිය ශබ්දයට ආදේශ කිරීමෙන් පෙම යනු සිද්ධය. නපුංසක ය. “ප්‍රියස්‍යභාවඃ = ප්‍රෙමන්” යි සංස්කෘතයෙහි ආයේ ය. එහි ප්‍රිය ශබ්දයෙන් ඩිමන් ප්‍රත්‍යය කොට ප්‍රිය ශබ්දයට ප්‍ර ආදේශයෙන් සිද්ධ කරත්. පුංනපුංසක දෙක්හි ම වේ.

යමෙක් පුත්‍රදාරාදී වූ යම් යම් සත්ත්‍වයන් කෙරෙහි, මුතු මැණික් ආදී වූ කුදු මහත් යම් යම් වස්තූන් කෙරෙහි යම් යම් තරමකින් ප්‍රේමය කෙරේ නම් ඔහුට ඔවුන් කෙරෙහි හා ඒ වස්තූන් කෙරෙහි ඒ ඒ තරමින් ශෝකය හා භය උපදනේ ය. ශෝකයට හා භයට ප්‍රේමය මුල් වන්නේ ය. යමක්හට ඒ නැත් නම්, ශෝකභය ද නැත්තේ ය. එහෙයින් සංසාරය පිණිස පවත්නා ප්‍රේමය හළ යුතුය. කිසි තැනෙක ප්‍රේම නො කළ යුතුය.

ධර්‍මදේශනාව අවසානයෙහි බොහෝ දෙන සෝවන් ඵලාදියට පැමිණියාහු ය.

විශාඛා වස්තුව නිමි.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.