16-2 පුතු මළ සෝකයෙන් හැඬූ බමුණා

පියතො ජායතී සොකො පියතො ජායතී භයං

පියතො විප්පමුත්තස්ස නත්‍ථි සොකො කුතො භයං.

ප්‍රිය වූවන් නිසා ශෝකය උපදී. ප්‍රිය වූවන් නිසා භය උපදී. ප්‍රිය වූවන් ගෙන් මිදුනු සිතැත්තහුට කිසි ශෝකයෙක් නැත. බියෙක් කොයින් ද?

සැවැත් නුවර වැසි එක් කෙළෙඹියෙක් සිය පුතු මළ සෝකයෙන් මැඩුනේ පුත්‍ර ශෝකය දරා ගත නො හැකි ව දිනපතා සොහොනට ගොස් හඩා වැලපෙන්නේ ය. සම්මා සම්බුදුරජානන් වහන්සේ අලුයම් වේලෙහි ලොව බලා වදාරණ සේක් ඒ කෙළෙඹියාහට ඇති සෝවන් මග ලැබීමෙහි හේතුසමපත් දැක පිණ්ඩපාතයෙහි හැසිරීමෙන් හැරී වැඩි සේක් එක් පැසුළු මහණකු ද ගෙණ ඔහුගේ ගෙට වැඩි සේක. කෙළෙඹි, බුදුරජුන් වැඩිය බව අසා “මෙහි වැඩියෝ මා සමග පිළිසඳර කතාවටැ” යි සිතා බුදුරජුන් ගේ තුළට වැඩමවා එහි අසුනක් පණවා වැඩ හිඳුවා වෙත එළැඹ වැඳ පසෙකට වී හුන්නේ ය. එකල්හි බුදුරජානන් වහන්සේ “උපාසකය! දුකට පැමිණියෙහි කුමක් නිසා දැ” යි අසා වදාළ සේක. “ස්වාමීනි! මම දුකට පැමිණියෙම් පුත්‍රවියෝග දුඃඛයෙනැ” යි කී කල්හි “උපාසක! පුත්‍රවියෝගය දුකට කරුණක් නො වේ, එහෙයින් එහිලා දුක් ඇත්තෙහි නො වන්න, මරණය එකකුට දෙන්නකුට එක් තැනෙක දෙ තැනෙක වන්නේ නො වේ, සත්ත්‍වයෝ යම්තාක් භවයෙහි උපදිත් නම්, ඒ තාක් සියලු දෙනාහට මරණය නියමයෙන් ම වන්නේ ය, හැමදා එකසේ පවත්නා නිත්‍ය වූ එක් සංස්කාරයෙකුදු ලොව නැත්තේ ය, එහෙයින් මරණ සැහැවි ඇත්තේ මළේ ය, මැරෙන්නේ ය, බිඳෙන සැහැවි ඇත්තේ බිඳුනේ ය, බිඳෙන්නේ ය, යි දව රෑ දෙක්හි හැම කෙනකුන් විසින් සිහි කළ යුතු ය, නුවණැති පැරැන්නෝ පුතු මළ කල්හි ද මරණ සැහැවී ඇත්තේ මළේ ය, බිඳෙන සැහැවි ඇත්තේ බිඳුනේ ය, යි ශෝක නො කොට මරණ සිහිය ම සිත්හි ලා වැඩූහ” යි වදාළ සේක. එකල්හි. “ස්වමීනි! කවුරු කවර කලෙක එසේ කළාහු ද? වදාරණු මැනැවැ” යි කෙළෙඹියා විසින් අයදනා ලද සේක් ඒ පවසනු පිණිස:-

“(මිනිසා) දිරූ සැව - හැර යන සපුන් මෙන් සිය,

තුනු හැර යේ එසේ ගත - දිවියෙන් තොරව ගිය කල.

.

දැවෙනුයේ සෑයෙහි - නො දනි වැළපුම් නෑයන්,

එබැවින් මූ නිසා - සෝ පත් නො වෙම් නිසිලෙස.

.

ඔහු පිළිබඳ යම් - ගතියෙක් ඇද ඒ ලෙස්,

ගියේ සිය තුනු හැර - ඒ සත් මෙලොවින මෙසේ”

යි පංචක නිපාතයෙහි එන මේ උරග ජාතකය විස්තර විසින් වදාරා “තෝ කළයුතු කර්‍මාන්ත හැරදමා කෑම් පීම් නැති ව මෙසේ හඩා වැළපෙහි ද, එසේ නො කොට පෙර නුවණැත්තෝ මරණානුස්මෘති භාවනා බලයෙන් ශෝකය දුරු කොට කැම් පීම් ද ගත්හ, ගෙයි කළමනා කටයුතු ද කළහ, එහෙයින් මාගේ පිය පුත් මළේය යි නො සිතව, සිහි නො කරව, සිත්තුළ උපදින්නා වූ ශෝකයෙක් හෝ බියෙක් හෝ වන්නේ ද, එ ශෝකය හා බිය ප්‍රියයකු නිසා ම උපදීය” යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක.

පියතො ජායති සොකො පියතො ජායති භයං,

පියතො විප්පමුත්තස්ස නත්‍ථි සොකො කුතො භයන්ති.

ප්‍රියයන් නිසා ශෝකය උපදි. ප්‍රියයන් නිසා භය උපදි. ප්‍රියයන් ගෙන් මිදුනහුට ශෝකයෙක් නැත. බියෙක් නැත.

පියතො ජායති සොකො = ප්‍රියයන්ගෙන් ශෝකය උපදි.

සංසාරවට්ටය මුල් කොට ඇති ශෝකය ඉපදෙනුයේ ප්‍රිය වූ සත්ත්‍වයන් ප්‍රිය වූ සංස්කාරයන් නිසා ය. ඇතැම් කෙනෙක්හට තමතමන්ගේ සිතැඟි අනුව ඇතැම් සත්ත්‍වයෝ ද ඇතැම් වස්තූහු ද ප්‍රිය ද අප්‍රිය ද වෙත්. එකක්හට ප්‍රිය වන්නෙක් අනෙකක්හට ප්‍රිය නො වන්නට හැක්කේ ය. සංසාරගත සත්ත්‍වයන්ගේ ස්වභාව ධර්‍මය මෙබඳු ය. කෙලෙස් නො නැසූ හැම සත්ත්‍වයන් කෙරෙහි පවත්නා සාමාන්‍යගතිය මේ ය. එහෙයින් සත්ත්‍වයන් හට ශෝකයෙක් උපදනේ නම්, ඒ උපදනේ තම තමන් ප්‍රියත්වයෙන් ඉෂ්ටත්වයෙන් ගන්නා සත්ත්‍වසංස්කාරයන් නිසා ය. [1]

පියතො ජායති භයං = ප්‍රියයන්ගෙන් බිය උපදී.

ප්‍රියත්වයෙන් ගන්නා සත්ත්‍ව සංස්කාරයන් නිසා සත්ත්‍වයනට ශෝකය උපදනා සේ බිය ද උපදනේ ප්‍රියත්වයෙන් ගන්නා සත්ත්‍ව සංස්කාරයන් නිසාය. [2]

පියතො විප්පමුත්තසස = ප්‍රියයන්ගෙන් මිදුනහුට.

පංචවිධවිමුක්තීන්ගෙන් මුළුමනින් තම සිත මුදාගෙණ සිටුනා රහතුන් වහන්සේ ය විප්පමුත්ත. උන්වහන්සේට ය යන අරුත්.

නත්‍ථි සොකො කුතො භයං = ශෝකයෙන් නැත. බියෙක් කොයින් වේ ද.

කිසි සත්ත්‍වයකු නිසා කිසි සංස්කාරයක් නිසා ශෝකයෙක් බියෙක් නො වන්නේ රහතුන් වහන්සේට ය.

ධර්‍මදේශනාවගේ අවසානයෙහි කෙළෙඹි තෙමේ සෝවන් ඵලයෙහි පිහිටියේ ය. පැමිණ සිටියවුන්ට ද ධර්‍මදේශනාව වැඩ සහිත වූ ය.

අන්‍යතරකුටුම්බික වස්තුව නිමි.

  1. 14-6 ‘දුක්ඛං’ යනු බලනු.

  2. 14-6 ‘භයතජ්ජිතා’ යනු බලනු.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.