2-1 සාමාවතී මාගන්‍දියාදීන්ට සිදුවූ විපත

අප්පමාදො අමතපදං පමාදො මච්චුනො පදං

අප්පමත්තා න මීයන්ති යෙ පමත්තා යථා මතා.

(සුචරිතධර්‍ම විෂයයෙහි) නොපමා බව (සිහි නොමුළා බව) නිර්‍වාණාධිගමයට කරුණු ය. (සුචරිතධර්‍ම විෂයෙහි) පමා බව (පමා වූවහු ඉපදීමටත් එයින් මරණයටත් පැමිණෙන බැවින්) මරණයට කරුණු ය. (කල්‍යාණධර්‍මයෙහි) නො පමා වූවෝ නො මියෙති. යම් කෙනෙක් ධර්‍මයෙහි පමා වෙත් ද, ඔහු (ජාත්‍යාදියෙන් නොමිදුණු බැවින්) මළවුන් වැනි වෙත්.

එතං විසෙසතො ඤත්‍වා අප්පමාදම්හි පණ්ඩිතා

අප්පමාදෙ පමොදන්ති අරියානං ගොචරෙ රතා.

නුවණැත්තෝ අප්‍රමාදයෙහි වූ මේ ගුණය වෙසෙසින් දැන අප්‍රමාදයෙහි සතුටු වෙති. ආර්‍ය්‍යයන්හට ගෝචර වූ බෝධිපාක්‍ෂිකධර්‍මය නව ලෝකෝත්තර ධර්‍මය යන මෙහි අලුනෝ වෙත්.

තෙ ඣායිනො සාතතිකා නිච්චං දළ්හපරක්කමා

ඵුසන්ති ධීරා නිබ්බාණං යොගක්ඛෙමං අනුත්තරං.

ධ්‍යාන වඩන සුලු, සතතයෙන් පැවැති වීර්‍ය්‍යය ඇති, නිතර පැවැති දැඩි පැරැකුම් ඇති ඒ ප්‍රාඥයෝ කාමාදි යෝගයන්ගෙන් නිර්‍භය වූ අනුත්තර වූ නිර්‍වාණය ස්පර්‍ශ කරති.

යටගිය දවස මේ මහත් දඹදිව ‘අල්ලකප්ප’ නම් රටෙක් වූයේ ය. එහි රජය කළ රජතෙමේ ද ‘අල්ලකප්ප’ නමින් ප්‍රසිද්ධ විය. එ දවස ම දඹදිව ‘වෙඨකදීපක’ යි රටෙක් ද විය. එහි රජතෙමේ ද ‘වෙඨකදීපක’ නම් වූයේ ය. ඒ දෙදෙන කුඩා කාලයෙහි එක් ම ගුරුකුලයෙක ශිල්ප උගත්හ. එහෙයින් ඔවුහු දෙ දන එකෙකා කෙරෙහි මහත් ස්නේහ ඇත්තෝ වූහ. කල් ගියතැන සිය පියන්ගේ ඇවෑමෙන් දිගින් දස යොදුන් පමණැති ඒ ඒ රටෙහි රජකම් ලැබූහ. එතැන් සිට යහළුකම් වඩාලාත් දියුණු කරන්නට කලින්කල එක් තැන් ව ප්‍රියභාෂණයෙහි යෙදුනු මේ දෙදෙන, උපදින මහලු වන මැරෙණ මිනිසුන් ගැණ සිත සසර කලකිරී පැවිදි වන්නට තීරණය කොට ගෙන රජකම් අඹුදරුවන්ට භාර දී ඉසි පැවිද්දෙන් පැවිදි ව තපස් කරන්නට හිමාලය වනයට ගියහ.

එහි දී දිනෙක ‘අපි රජකම් ඈ සියල්ල හැර දමා ආවමෝ, මෙසේ දිවි ගෙවන්නට නො වෙමු, පැවිදි වීමෙහි අපගේ අදහස් මුදුන් පමුණුවා ගන්නට නම් මෙසේ එක් තැන් ව කල්ගෙවීම සුදුසු නො වේ, ඒ පිණිස කළ යුත්තේ, එකලා ව හිඳ, බවුන් වැඩීම ය, එවිට ය අපි පැවිද්දෝ වන්නමෝ, දැන් නො පැවිද්දෝ වන්නමෝ ය අපි, අද සිට අපි වෙන් ව එකෙකාගෙන් ඈත් ව වසමු, තමුසේ අර පෙණෙන කන්දෙහි නවාතැන් ගන්න, මම මේ කන්දෙහි වසමි, පසළොස් දවසකට වරක් පෝයදිනයෙහි එක් වෙමු’ යි නියම කර ගත් ඔවුහු නැවැත ‘මේ එකතු වීම ද හොඳ නැත, එද ගණසංගණිකාවක් ය, ගණසඞ්ගණිකාව තපස් කරන්නන්ට හිත නො වේ, ඔබ, ඔබ වසන කන්දෙහි පහනක් දල්වන්න, මම මෙහි පහනක් දල්වමි, ඒ ලකුණන් අප දෙන්නා ඇති නැති බව අපට දත හැකි ය’ යි කතා කොට එසේ කළහ.

ඉන් ටික දවසකට පසු, වේඨදීපක තවුස් තෙමේ කලුරිය කොට, මහානුභාවසම්පන්නදිව්‍යරාජයෙක් ව උපන්නේ ය. එ තැන් සිට ඔහු විසූ කන්දෙහි පහන් දැල්වීමෙක් නො වූයේ ය. අල්ලකප්ප තෙමේ ඒ සලකුණෙන් වෙඨදීපකයන් කලුරිය කළබව දත්තේ ය. දෙවි ව උපන් වේඨදීපක තෙමේ තමන් ලත් දිව ඉසුරු බලා, ‘මේ කිනම් කමකින් ලද දැ’ යි බලනුයේ ගෙය අත් හැර ගොස් කළ තපශ්චරණය එයට හේතු වූ බව දුටුයේ ය. නැවැත ඔහු ‘තමන් හා එක්ව තපස් කළහු බලමි’ යි සිතා දිව අත්බව හැර මග යන්නකුගේ වේසයෙන් අල්ලකප්පයා ලඟට ගොස් වැඳ පැත්තකට වී සිටියේ ය. අල්ලකප්ප තෙමේ ‘නුඹ කොහි සිට එහි දැ?’ යි ඔහුගෙන් ඇසී ය. ‘ස්වාමීනි! මම මගියෙක්, එන්නේ බොහෝ ඈත සිට, මෙතැන වසන්නහු ඔබ වහන්සේ ?, වසන්නහු එකලා ව? අන් කවුරුත් මෙහි නැත් දැ?’ යි දෙවි රජුන් ඇසූ කල්හි, තවුස් තෙමේ ‘අර පේණ කන්දෙහි මාගේ යහළුවෙක් තපස් කළා, පසුගිය පෝය දා සිට ඒ කන්දෙහි පහන් දැල්වුණේ නැත, එහෙයින් ඔහුට කුමක් වී දැ යි කියන්නට මම නො දනිමි, නො මළේ නම් ගම්රට බලා යන්නට ඇතැ’ යි කී ය. එවිට දෙව්රජ තෙමේ. ‘ඔව්, ස්වාමීනි! ඒ මම, ඔබ වහන්සේන්ගේ යාළුවා, කලුරිය කොට දෙලොව උපන්මි, ඔබ තුමන් දැක ගන්නට මෙහි ආමි, ඉතින් මට කියන්නහු කුමක් ද?, මෙ තැන විසීම කරදර ද?, කියන්නැ’ යි. කීයේ ය. තවුස් තෙමේ ‘කරදර බොහෝ ය, අලිඇතුන් නිසා. මම වෙහෙසට පත්වෙමි, මා හැම ද අවසන් කළ විට, අලිඇත්තු පැමිණ පයින් පහර දී පස් නගා ලන්නෝය, මල මූ දමන්නෝ ය, කොළ අතු කැබලි කඩා ලන්නෝ ය, වැට කටු බිඳින්නෝ ය, මොර දෙන්නෝ ය, මෙසේ කොට උන් ගිය පසු නැවැත මම බිමැ පස් සම කොට කුණු කසළ ඇද දමා හැමද ඇට කටු බඳින්නෙමි, මේ නිසා මට ඇති කරදර ඉතා මහත් ය’ යි කී ය. දෙව්රජ ‘හොඳයි! ස්වාමිනි! මම ඒ සියලු කරදර වළකාලමි, ඔබ වහන්සේ යහතින් තපස් රකින්නැ’ යි කියා තවුසාට, හත්ථිකවීණාවක් හා හත්ථික මන්ත්‍රයක් ද දී, වීණායෙහි, තැත් තුනක් දක්වා, මන්ත්‍රය තෙ පරිදි කොට උගන්වා, ‘මේ තැත ගසා, මේ මන්ත්‍රය කියූ විට, ඇතු ආපසු නො බලා ම හැරී යන්නෝ ය, මේ තැත ගසා, මේ මන්ත්‍රය කියූ විට, නායක ඇතා පිට එළවන්නේ ය. එහෙයින් ඔබ වහන්සේට කැමැත්තක් කරන්නැ’ යි කියා වැඳ ගියේ ය. එතැන් සිට තවුස් තෙමේ අලි ඇතුන් ආ විට තැත ගසා මන්ත්‍රය කියා උන් පන්නා හැර, සුවසේ වාසය කරයි.

එ දවස කොසඹෑනුවර ‘පරන්තප’ නම් රජෙක් රජය කෙළේ ය. දිනෙක ඔහු ගැබ්බරැති සිය මෙහෙසිය හා උදෑසන්හි හිරු රැස් විඳිමින් ඉඩ පහසු තුබූ තැනෙක හුන්නේ ය. ඒ වේලෙහි මෙහෙසිය, රජුගේ ලක්‍ෂයක් වටිනා රතු කමිබිලිය පොරොවා, එසේ ම ලක්‍ෂයක් වටිනා රජුගේ මුද්ද ගලවා තම ඇඟිල්ලක බහා රජු ලඟ ම හුන්නී ය, අහස පියාඹා යන ඇත්කඳලිහිණියෙක් කම්බිලිය පොරොවා හුන් මෙහෙසිය දැක මස්වැදැල්ල කැ යි සිතා, බිමට බැස්සේ ය. රජ තෙමේ පියා පහරණ හඬ අසා බිය පත් ව එ තැනින් වහා නැගිට දුව ගොස් මාලිගාව තුළට වැද ගත්තේ ය. ගැබ්බරෙන් හා බියසුලු බැවින් යා ගත නො හැකි වූ මෙහෙසිය, ඇත්කඳලිහිණි තෙමේ, තමන්ගේ නිය පඳුරෙහි රඳවා ගෙණ අහසට නැංගේ ය. ඇත්කඳලිණියකුට ඇතුන් පස් දෙනකුන්ගේ බලය ඇත්තේ ය. එහෙයින් කැමැති බරක් ඌට ගෙණ යා හැකි ය. මේ මහාබලැති පක්‍ෂියා විසින් ඩැහ ගෙණ යන ඒ රජමෙහෙසිය මරණ බියෙන් බිය වූවා, ‘මම කෑ මොර ගැසීම් නම්, එ හඬ මූට බිය උපද වන්නේ ය, එවිට මූ මා බිම හෙලන්නේ ය එයින් මා මැරෙණු ඒකාන්ත ය, කො තැනක හෝ හිඳ මූ මා කන්නට සැරසෙනු ඇත, එතැන දී මොර දී මූ පලවා හරිමි’ යි සිතා ඒ දුක ඉවසා සිටියා ය.

හිමාලයවනයෙහි මණ්ඩපයක් සේ මඳක් උසට වැඩී ගිය නුගගසෙක් විය. මේ ඇත්කඳලිහිණියා නොයෙක් අන්දමේ සතුන් ඩැහ ගෙණ ගොස් අනුභව කරන්නේ, මේ ගසෙහි හිඳ ය. ඌ, රජ මෙහෙසිය ද, එහි ගෙණ ගොස් ගසවෙළෙප් අතර තබා ආ මග බැලී ය. ඒ ඔවුන්ගේ සිරිති, එ කෙණෙහි මෙහෙසිය ‘දැන් මු පලවා හැරිය යුතු වේලාවැ’ යි සිතා දෙ අත් ඔසොවා, අල්ල ගසා, මොර ගැසූ ය. ලිහිණියා ද බියෙන් වහා පැන ගියේ ය. ඉරු බැස්සේ ය. මෙහෙසියට විලිරුදා ද හට ගැණින. සිවු දිගින් වැසි වසින්නට වන. කුඩාකල සිට කිසිදු දුකක් නො ලැබ සුවසේ වැඩුනු හැදුනු මැයට ‘බිය නොවව’ යන වචන පමණකුත් නො ලැබුනේ ය. එදා මුලු රැයෙහි ම නින්දෙක් නො වී ය. පාන් විය. වැස්ස නැවතින. අරුණ නැගුනේ ය. මෙහෙසිය ද ගැබ්බරින් සැහැල්ලු වූ ය. වැසි නැවතීම, අරුණ නැගීම, ගැබ්බරින් සැහැල්ලුවීම යන මෙතුන එක විට ම සිදු විය. එහෙයින් ඒ උපන් පුතුට ඕතොමෝ ‘උදේන’ යි නම් තැබූ ය.

අල්ලකප්ප තවුසාගේ තවුස්කිළිය පිහිටියේ ද මේ නුග ගස අසල ය. තවුස් තෙමේ වැසි දවස්හි පලවැල ගෙණෙන්නට වනයට නො ගොස් අසල වූ ඒ නුගගසමුලට. ගොස් පක්‍ෂීන් කා දැමූ සතුන්ගේ ඇට කැබලි ගෙණවුත් කොටා හොද්දක් සාදා බොන්නේය. එදා ද, වැසි දවසක් වූ බැවින් ඇටකැබලි ගෙනෙන්නට නුගගස යටට ගියා වූ තවුසාට, ඇටකැබලි එකතු කරන විට, ගසඋඩ දරු හඬෙක් ඇසින. තවුසා උඩ බැලි ය. එවිට ගස වෙළෙප් අතර ඉතා අපහසුවෙන් හුන් මෙහෙසිය දැක ‘තී කවරියක් දැ?’ යි ඇසී ය. ඕ ‘මම මිනිස් ගැණියක්මි’ යි කිවු ය. ‘මෙහි ආවා කෙසේ දැ?’ යි ඇසූ විට, ඇත්කඳලිහිණියකු ගෙණා බව කිවු ය. ‘ගසින් බසින්නැ’ යි තාපස තෙමේ කීයේ ය. ‘ජාතිභේදයට බිය ඇත්තී වෙමි’ යි ඈ කී කල්හි ‘තීගේ ජාතිය කිමැ’ යි ඔහු ඇසී ය. ‘මම ක්‍ෂත්‍රිය ජාති ඇත්තියකැ’ යි කී විට ‘මමත් එසේ වෙමි’ යි කීයේ ය. ‘එසේ නම්, ක්‍ෂත්‍රියමායම් කියන්නැ’ යි ඕ තොමෝ කිවු ය. තවුස් තෙමේ ඒ කීයේ ය. එයට පසු ‘දරුවා ගසින් බස්සා ගන්නැ’ යි මෙහෙසී තෙමෝ කිවු ය. ඔහු එක් පසකින් ගසට නැග, ඇගේ අත නො අල්වා ම, දරුවා ගසින් බස්වා ගත්තේ ය. ඕ ද ගසින් බැස්සා ය. තවුස් තෙමේ මෙහෙසියත් ඇයගේ සිඟිති දරුවාත් පන්සලට ගෙණ ගොස් ශීලභේදයකට නො පැමිණ ම උන් කෙරෙහි අනුකම්පාවෙන් උන් රැක බලා ගත්තේ ය. කැලේ හැවිද මැස්සන් නැති මීවද සොයා ගෙණවුත් ඇල් හාලින් කැඳ උයා, ඒ මී සමග ඔවුනට දෙයි. මෙහෙසිය මෙසේ ටික දිනක් ගෙවා, ‘මම නම් ආ මගත් නො දනිමි, යන මගත් නො දනිමි, මොහු හා මාගේ ඒ තරම් තද බැඳුමෙකුත් තව ම නැත, මොහු අප හැර යම් තැනක ගියේ නම්, අපට වන්නේ මහත් විනාශයෙක, එහෙයින් මොහුන්ගේ සිල් බිඳ දමා, මා හා දරු හැර නො යන ලෙසක් කළයුතු ය’ යි සිතා සිය සිරුරෙහි වැසිය යුතු, සැඟවිය යුතු තැන් පෙන්ව පෙන්වා හැඳ පොරොවමින් අත් පා මඩිමින්, කෙළි කවටකම් කරමින් තවුසා පොළොඹවා, එක් පැදුරෙහි වැතිර නිදා ඔහුගේ සිල් බිඳ දැම්මා ය. එ තැන් සිට ඔවුහු අඹු සැමියන් සේ කල් ගෙවූහ.

දවසෙක තාපස තෙමේ නැකත්තරු බලන්නේ, කොසඹෑනුවර පරන්තප රජුගේ ජන්මනක්‍ෂත්‍රයට වූ දරුණු පීඩාවක් දැක, ‘සොඳුර! කොසඹෑ නුවර පරන්තප රජු මළේ ය’ යි කී ය. ඕ තොමෝ ඇඬූ ය. ‘ඇයි ඔබ වහන්සේ පරන්තප රජු ගැණ එසේ කියහු? උන් හා අමනාපයෙක් දැ?’ යි ඇසූ ය. ‘සොඳුර! මම එසේ කියන්නෙම්, නැකත්තරු ගැණ බලා ය, රජුගේ ජන්මනක්‍ෂත්‍රයට ලොකු පීඩාවක් ඇතිබව මට පෙණේ, එහෙයින් රජු කලුරිය කළ යුතු ම ය, යි තවුසා කී විට ඈ වඩාලාත් හඬන්නට වූ ය. ‘ඇයි සොඳුර! හඬහි? තිට උන්ගෙන් ඇති කාරිය කිමැ?’ යි ඇසූ විට, පරන්තප රජු තමන්ගේ ස්වාමියා බව කීවා ය. “සොඳුර! උපන් සත්වයාට මරණය නියත ය, එය වළකාලනු බැරි ය, මරණය එන්නේ ඉපදීමත් සමගය, නො හඬව” යි කී විට, ‘හිමිය! මම ඒ දනිමි, මා හඬනු ඒ පිණිස නො වේ, මේ මාගේ පුතා කුලසතු වූ රාජ්‍යයට එක ම හිමියා ය, එක ම සුදුස්සා ය, මා පුත් එහි වූයේ නම්, අද සේසත් නංවා රජය කරන්නේය, එය කාටත් වළකනු බැරිය, වූයේ ලොකු සැපතකින් පිරිහීම ය, හැඬෙන්නේ ඒ නිසා ය’ යි මෙහෙසී තොමෝ කීවා ය.

තාපස තෙමේ ‘වේවා එසේ, සොඳුර කනස්සලු නො වන්න, නො අඬන්න, මම ඔබගේ පුතුට ඒ රජය ලබා දෙමි’ යි කියා ඒ කුඩාදරුට තමන්ට දෙවියන් දුන් හත්ථිකන්ත වීණාව හා හත්ථිකන්තමන්ත්‍රයත් දී, ‘ඇතුන් එන්නට. කලින් ගසට නැග, උන් ආ කල මේ තැත ගසන්න, එවිට ඌලා පැන යති’ යි කීයේ ය. ඒ ලමයා තාපසයා කියූ ලෙසින් කොට අවුත් ඒ බව තාපසයාට දැන්වී ය. පසුදා තාපස තෙමේ ‘අද මේ මන්ත්‍රය කියා, මේ තැත ගසන්න, එවිට සියලු ඇත්තු පසු පස බල බලා දුව යති’ යි කී ය. ඔහු එසේ කොට අවුත් තාපසයාට දැන්වීය. තෙවනදා තාපස තෙමේ ‘මේ මන්ත්‍රය කියා මේ තැත ගසන්න, එවිට නායක ඇතාම පිට එළවමින් ඉදිරියට ඒ ය’ යි කීයේ ය. එදාත් ඔහු එසේ කොට අවුත්, දන්වා සිටියේ ය. ඉක්බිති තාපස තෙමේ මෙහෙසියට කතා කොට, ‘නුඹගේ පුතුට ලියුමක් දෙන්න, ඔහු එය ගෙණ එහි ගොස් කොසඹෑනුවර රජ වන්නේ ය’ යි කීයේ ය. ඕ පුතුට අඬගා ලඟට ගෙණ ‘පුත! නුඹ කොසඹෑනුවර පරන්තප රජුගේ එක ම පුතා ය, පසු ගිය දා ඔබ පියරජු මළේ ය, ඒ රජයේ හිමියා ඔබ ය, එහෙයින් දැන් එහි ගොස් ඒ රජය ගන්නැ’ යි කියා එහි මැති ඇමැති සෙනෙවි ආදීන්ගේ නම් ගමුත් කියා දී ‘යමකු එය නො පිළිගත හොත්, මේ කම්බිලිය හා මුද්ද දක්වන්නැ’ යි කම්බිලිය හා මුද්ද දී පිටත් කර යැවූ ය. තාපසයා ද ‘ගහක පාත අත්තේ හිඳ මන්ත්‍රය කියා තැත ගැසූවිට නායක ඇතා නුඹට පිට දී එන්නේ ය, ඔහු පිටට නැග ගොස් රාජ්‍යය ගන්නැ’ යි කීයේ ය. කුමාර තෙමේ මවු පියන් වැඳ මන්ත්‍රය කියා තැත ගසා ඇතු ගෙන්වා ඌ පිට නැග, ‘මම කොසඹෑනුවර පරන්තප රජුගේ පුතා ය, මා පියා මැරී ටික දවසෙක් ගත විය, ඒ රජය අයිති මට ය, ඒ රජය, මට ගෙණ දෙන්නැ’ යි කණට කොඳුරා ඇතුට කීයේ ය. ඇත් තෙමේ ඇත් හඬ නඟා දහස්ගණන් ඇතුන් රැස් කොට, නැවැත ඇත්හඬ නගා ම මහලු ඇතුන් පිටත් කර යවා, ඉතා තරුණ ඇතුන් නවතා ගත්තේ ය. කුමාර තෙමේ දහස්ගණනක් තරුණ ඇතුන් පිරිවරා ගෙණ, පසල් ගමකට ගොස් ‘මම පරන්තප රජුගේ පුත්‍රයා ය, සම්පත් කැමැත්තෝ මා හා එක්වෙත්වා’ යි මිනිසුන් රැස් කරගෙන, ඔවුනට සංග්‍රහ කරමින් ගොස් නුවර වට කොට, රජය හෝ දෙවු, නැත, යුද්ධ කරමු යි ලියුම් යැවී ය. රටවැසෝ ‘රජයත් නො දෙමු, යුඬත් නො කරමු, රජු ඉන්ද දීම මෙහෙසිය ඇත්කඳ ලිහිණියකු විසින් ඩැහැගෙන යන ලද්දී ය, ඈ ඇති නැති බව අපි නො දනිමු, ඒ දන්නාතුරු රජය දෙනු නො හැකි ය, යුද්ධ කරණුත් නො හැකි ය’ යි පිළිතුරු යැවූහ. එවිට කුමාර තෙමේ ‘මම ඇයගේ පුතා, මැති ඇමැති සෙනෙවියන්ගේ නම් මේ ය, මේ පියා පෙරැවූ කම්බිලි ය, මේ ඇඟිල්ලෙහි දැමූ මුද්ද’ යි රට වැස්සට දන්වා සිටියේ ය. එයින් නිසැක වූ රටවැස්සෝ ඔහු පරන්තපරාජ්‍යයෙහි අභිෂික්ත කළහ.

මේ උදේනරජුගේ උත්පත්තිකථාව ය.

……

දඹදිව ‘අජිත’ නම් රටෙක් විය. එහි එක් අවදියක, දුර්භික්‍ෂයෙක් හට ගත්තේ ය. එහෙයින් එහි ජීවත් වන්නට නො හැකි වූ ‘කොතුහලික’ නම් ඇති මිනිසෙක් ‘කාපී’ නම් වූ සිය පුතුත් ‘කාළී’ නම් වූ සිය බිරියත් ගෙණ කොසඹෑනුවරට යන්නට සිනා, අතැ තුබූ මිල මුදල් ආදිය මගවියදම් පිණිස ගෙණ මගට බැස ගියේ ය. මොහු මෙසේ මග බැස ගියේ අහිවාතක රෝගයට බියෙනැ යි ද සමහරු කියත්. මෙසේ මගැ යන මොවුන්ගේ අත තුබූ මගවියදම් අතරමග දී අවසන් වී ගියේ ය. එහෙයින් ඔවුහු බඩගින්නෙන් දිගට ම පෙළෙන්නට වූහ. පුතු වඩන්නට ද මවුපියෝ අපොහොසත් වූහ. එවිට කොතූහලික තෙමේ ‘සොඳුර! බඩගින්නෙන් තදින් පෙළන මේ වේලේ අපි පුතු කෙසේ උසුලා ගෙණ යමු ද, අප නො මැරී ජීවත් වුවොත් පුතකු ලැබීම අසීරු නො වේ, ඒ නිසා මූ මෙහි දමා යමු’ යි කී ය. පියාගේ හදවතට වඩා, මවුගේ හදවත සැබවින් ම මොළොක් ය. එබැවින් කාළී තොමෝ ‘මා පණ තිබෙන තුරු ඒ වැඩේ නම් කරණු නො හැකි ය’ යි ඒ වැළකූ ය. ‘එසේ නම් කුමක් කරමු දැ?’ යි ඔහු ඇසී ය. ‘වරින් වර අපි දෙදෙන පුතු වඩා ගෙණ යමු’ යි කාළිය කීවා ය. ඔහු එය පිළිගත්තේ ය.

කාළිය පුතු උසුලන්නී මල්දමක් සේ ඔසොවා උරහිස තබා උසුලන්නී ය. තම වාරයෙහි වුව ද, පුතු ඉසිලීම කොතූහලිකයාට මහත් වධයෙක් විය. බඩගින්නටත් වඩා ඔහු එයින් පෙළුනේ ය. එවිට ඔහු නැවැතත් ‘සොඳුර! මේ මොන ගැහැටෙක් ද, අත පය පණ නැති කල දරුවන් වඩන්නමෝ කෙසේ ද, නොමැරී ඉතිරි වුවොත් අපට දරුවකු ලැබීම අපහසු නො වේ, ලොකු වැඩෙක් නො වේ, ඒ නිසා මූ මෙහි බහා යමු’ යි කී ය. එවරද කාළිය එය වැළකූ ය. කොතූහලික තෙමේ නැවැත නැවැතත් එය ම කියා සිටියේ ය. කාළිය නිහඬ වූවා ය. වරින් වර උනුන් අතට යෑමෙන් විඩාවට පැමිණි දරු ද පියා අත ඉන්ද දී නින්දට වැටුනේ ය. කොතූහලික තෙමේ පුතු නිදන බව දැන, මවු ඉදිරියෙහි යවා, ටික දුරක් ගොස් ගසක් යට කොළ ගොඩක් මත්තෙහි පුතු නිදි කරවා, ගියේය. මවු තොමෝ හැරී බැලුවා පුතු නො දැක ‘මාගේ පුත් කොහි දැ’ යි ඇසූ ය, ‘ගසක් යට නිදි ගැන්වීමි’ යි කී වීට ‘මා නො නසව, පුතු නැති ව මම ජීවත් නො වෙමි, පුතු ගෙණෙන්නැ’ යි කියමින් පපුවට ගස ගසා හඬන්නට වූ ය. කොතූහලිකයා දුව ගොස් පුතු ගෙණ ආ යේ ද අතර මගදී පුතු මළේ ය. මේ පුතු හැර දැමීමේ පවින් මොහු භවයෙහි සත්වරක් ම හැර දැමුනේ ය. එහෙයින් පාප කර්‍මය සුලු ය යි කිසිවිටෙකත් නො සැල කිය යුතුය.

මෙසේ මග බැස යන මේ දෙදෙන එක් ගොපලු ගෙදරකට පැමිණියෝ ය. එ දවස එහි දෙනුන් පිළිබඳ මගුලෙක් විය. ගොපලු ගෙදර එක් පසේ බුදු කෙනෙක් නිතර වළඳති. එදා ද උන්වහන්සේ වැඩමවා දන් වළඳවා මගුල් කෙළේ ය. ඒ පිණිස එහි කිරිබත් පිළියෙල කොට තිබුණේ ය. ගොපලු තෙමේ මුන් දෙන්නා දැක, ‘කොහි සිට ආවහු දැ’ යි විචාරා, තොරතුරු දැන, උන් කෙරෙහි මහත් කුළුණෙන් උන්ට ගිතෙල් ටිකකුත් සමග කිරිබත් දෙවී ය. එවිට කාළිය ‘හිමිය! කිරිබත් කන්න, ඔබ ජීවත් වූ කලය, මම ජීවත් වන්නෙම්, ඔබගේ ජීවිතයට අනතුරෙක් වී නම්, එයින් ම මාගේ ජීවිතය ද නැසෙන්නේ ය, දින ගණනක් ම ඔබ වහන්සේ බඩ ගින්නෙන් පෙළෙන්නහු ය, එහෙයින් සෑහෙන පමණින් ගිතෙලුත් සමග කිරිබත් කන්නැ’ යි කිරිබත් හා ගිතෙල් ඔහු ඉදිරියෙහි තබා තොමෝ ටිකක් ගෙණ කෑවා ය. කොතූහලිකයා ඒ සියල්ල ඉතිරි නො කොට කෑයේය. සත් අට දවසක් ම බඩගින්නෙන් පෙළුනු ඔහුගේ ආහාරාශාව එයින් නො සන්සිඳින.

ගොපලු තෙමේ උන්ට කිරිබත් ගිතෙල් දෙවා තෙමේත් කන්නට පටන් ගත්තේ ය. කොතූහලික තෙමේ කිරිබත් කන ගොපොල්ලා දෙස බලමින් හුන්නේ, ගොපොල්ලා විසින් පුටුව යට නිදා හුන් බැල්ලියට දුන් කිරිබත් පිඩ දැක, ‘අය්යෝ! මේ බැල්ල කොතරම් පින් ඇත්තියක් ද, මෑ නිතර මෙබඳු රසත් ආහාර ලබන්නී, නො වේ දැ’ යි සිතුයේ ය. එදා රෑ ම, කෑ ඒ කිරිබත දිරවා ගත නො හී කොතූහලිකයා කලුරිය කොට ඒ බැල්ලගේ කුස උපන්නේ ය. ඔහු බිරිය, සැමියාගේ සිරුර පුළුස්සා දමා, එහි ම කුලීවැඩ කොට සහල් නැළියක් සපයා ගෙණ ඒ උයා පසේබුදුරජුන්ට පිළිගන්වා, ‘මේ පිණ ඔබ වහන්සේගේ මෙහෙකරුට, මාගේ හිමියාට ලැබේවා’ යි පින් දුන්නී ය. එසේ කොට නැවැත ඈ ‘මා මෙහි ම විසිය යුතු ය, නිතර බුදුරජානන් වහන්සේ මෙහි වැඩමවන සේක, දෙන්නට දෙයක් නැත ද, දවස ගානේ උන්වහන්සේට වඳිමින් වතාවත් කරමින් පින් දහම් රැස් කර ගත හැකි ය’ යි සිතා එහි ම කුලීවැඩ කරමින් කල් ගෙව්වා ය. බැල්ල ද සමසක් සත් මසක් තරම් කල් ඉක්මවා බලු පැටවකු වැදූ ය. ගොපොල්ලා ඌට දෙනකගේ කිරි දුන්නේ ය. එහෙයින් ඌ නොබෝ දිනකින් ම වැඩී ගියේ ය. පසේ බුදුරජානන් වහන්සේ ගොපලු ගෙදර වළඳන්නාවූ සෑම දවසක ම උට බත් පිඩක් දෙන සේක. එහෙයින් ඌ බුදුරජුන් කෙරෙහි ස්නේහ කෙළේ ය. ගොපොල්ලා දවසට දෙවරක් බුදුරජුන්ට උවැටන් කරන්නට යයි. යන්නේ අතර මග නපුරු වන සතුන් ඇතැ යි සිතෙන තැන්හි දඬු කඩකින් ගස් කොළන්වලට හා පොළොවට ගසා මහත් සේ හඬ නගා වන සතුන් පලවා හරි යි. බලු පැටවා ද ඔහු සමග යයි.

දවසක් ගොපොල්ලා පසේ බුදුරජුන් වසන පන්සලට ගොස් ‘ස්වාමිනි! මට එන්නට ඉඩ නැති දාට මේ බල්ලා මෙහි එවන්නෙමි, ඒ සලකුණෙන් අප ගෙට වඩිනු මැනැවැ’ යි ආරාධනා කෙළේ ය. උන් වහන්සේ එය ඉවසූහ. එබඳු දිනෙක ගොපොල්ලා ‘යන්න, පුත! පසේබුදුරජුන් මෙහි වැඩමවා ගෙණ එන්නැ’ යි බල්ලා යැවී ය. ඌ ඒ කී සැටියේ ගෙයින් දොරට පැන යන්නේ ගොපොල්ලා අතරමගදී ගස් කොළන්වලට හා පොළොවට ගසන තැන්වල නැවතී සිට තුන් තුන්වර බුරා වන සතුන් පලා ගියහ යි සිතා පන්සලට යයි. ගොස් පසේබුදුන් වසන පන්සල දොරකඩ සිට, තෙවරක් බුරා, තමන් ආ බව දන්වා, පසෙකට වී හිඳියි. පසේබුදුරජුන් වේලාව සලකා පන්සලෙන් නික්ම වඩිනා කල්හි, බල්ලා බුරමින් උන්වහන්සේගේ ඉදිරියෙහි යයි. බුදුරජානන් වහන්සේ, ඌ විමසනු පිණිස අතරතුරේ දී අන් මගට ද බස්නා සේක. බල්ලා උන්වහන්සේගේ ඉදිරියෙහි හරහට සිට වළක්වනු ලබන්නෝ ද, නො නැවතී බල්ලා පයින් ඈත් කොට වඩිනා සේක. එවිට ඌ සිවුරෙහි කොණ කටින් අල්ලා ඇද බුදුරජුන් නියම මගට පමුණුවා ගණියි. මෙසේ ඒ බලු තෙමේ බුදුරජුන් කෙරෙහි මහත් ස්නේහයක් උපදවා වෙසෙ යි.

කලක් ගිය තැන, බුදුරජුන් පෙරවූ සිවුර දිරුම් කඩට ගියේ ය. ඒ දුටු ගොපලු තෙමේ උන්වහන්සේට සිවුරු පිණිස වස්ත්‍රයක් පිදී ය. ‘උපාසකය! සිවුරක් එකකුට කරණු බැරි ය. ඒ පිණිස පහසු ඇති තැනකට යා යුතු ය, එහෙයින් සිවුර කරන්නට පහසු ඇති තැනකට ගොස් සිවුර කර ගෙන එමි’ යි බුදුරජුන් වදාළ විට, ‘ස්වාමිනි! මෙතැනින් කොතැනකත් නො වඩිනු මැනැවි. මෙහි ම හිඳ සිවුර කර ගනු මැනැවැ’ යි ගොපොලු තෙමේ කීයේ ය. ‘උපාසකය! තනි මට සිවුරක් මසනු බැරි ය, එයට වැඩි දවසෙක් ගත වන්නේ ය’ යි කීවිට ගොපලු තෙමේ ‘ස්වාමිනි! එසේ නම්, පහසු ඇති තැනකට ගොස්, සිවුර කරගෙණ, වහා මෙහි වඩිනු මැනැව, වැඩි දවසක් පිටත නො වසනු මැනවැ’ යි කී ය. බල්ලා ද මේ කතාව අසා හුන්නේ ය. පසේ බුදුරජානන් වහන්සේ ගොපොල්ලා නවතා අහසට නැග ගන්ධමාදන පර්‍වතය බලා වැඩි සේක. අහසැ වඩනා බුදුරජුන් දෙස බලමින් බුර බුරා හුන් බල්ලාගේ හදවත, උන්වහන්සේ නො පෙණි ගිය තැනේ දී දෙකට පැළී ගියේ ය.

“තිරිසන්නු නො ඇද ගති ඇත්තෝ ය. අවඞ්ක අදහස් ඇත්තෝ ය. මිනිස්සු සිතෙහි අනෙකක් තබා, කටින් අනෙකක් කියති. එහෙයින් මිනිස්සු ඇද ගති ඇත්තෝ ය. ඇද අදහස් ඇත්තෝ ය”

මෙසේ ඒ බලු කලුරිය කොට තව්තිසා දෙව්ලොව උපන. දැන් දෙවඟනන් දහසක් විසින් පිරිවැරුණේ දෙව්සැප විඳියි. කණට කොඳුරා කතා කරන විට එහඬ, දොළොස් යොදුන් තැන පැතිර සිටි යි. පියවි හඬ, දස දහස් යොදුන් පමණැති මුළු දෙව්නුවර වසා පැතිර ගණියි. එහෙයින් මොහු ඝෝෂක දේවපුත්‍ර යි පළ විය. මේ වනාහි පසේබුදුන් කෙරෙහි ස්නේහයෙන් බැඳී කරණ ලද බිරීමෙහි ඵලය වේ. මඳ වූ ද පින්කමෙහි විපාක මහිමය බලනු මැනැවි.

ඝෝෂකදේවපුත්‍ර තෙමේ, ඒ දෙව්ලොව වැඩි කල් නො යවා එයින් චුත වී ගියේ ය. ආයුපිරිහීම - පින්පිරිහීම - ආහාරපිරිහීම - කිපීම යන මේ කරුණු සතර, දෙව්ලොවින් දෙවියන්ගේ ගිලිහීමට කරුණු වේ. යමෙක් මහත් පිණක් කළේ ද, ඔහු දෙව්ලොව ඉපිද ආයු තිබෙන තුරු එහි සිට මතු මතු උත්පත්තියට යයි. මෙසේ වනුයේ ආයුපිරිහීමෙනි. මඳ පිණක් කළේ, ඒ පිණ, රජකොටු ගෙයක ලු තුන් නැළි සතර නැළි තරම් ධාන්‍ය සේ, අතරදී ම ගෙවී යයි. එහෙයින් මඳ පිණක් කොට දෙව්ලොව උපන් අතරදී ම කලුරිය කරයි. පින් පිරිහීමෙන් චුතවීම මේ ය. කම් සැප වළඳන්නේ සිහි මුළා ව ගොස් අහර නො ගැණීමෙන් විඩාපත් සිරුර ඇත්තේ, කලුරිය කරයි. මේ ය ආහාරපිරිහීමෙන් චුතවීම. අනෙකෙක් අනෙකකුගේ සැපත නො ඉවසන්නේ, කීපී කලුරිය කරයි. මේ ය. කිපීමෙන් චුතවීම.

මේ ඝෝෂකදෙවි තෙමේ කම්සැප වළඳන්නේ, සිහි මුළා ව ගොස් ආහාර නො ගැණීමෙන්, දෙවිලොවින් ගිලිහී ගියේ ය. ඉන් ගිලිහී පිළිසිඳ ගත්තේ, කොසඹෑනුවර වෙසඟනක කුසේ ය. ඕ වැදූ දිනම ‘මෙ කිමැ’ යි දාසිය විචාරා, පුතෙකැ යි කී විට, ‘මු කුල්ලක බහා ගෙණ ගොස් කුණු ගොඩක ලව’ යි කිවු ය. දාසිය එසේ කළා. වෙසඟනෝ දූලා ම රකිති. වඩති. පුතුන් නො රකිත්. නො වඩත්. දූලා ම ඈලාගේ ගණිකාවෘත්තිය රකින බැවිනි එසේ දූලා ම රකින්නෝ. වඩන්නෝ.

කුණුගොඩැ ලූ ලදරු, බලු කපුටෝ වටකර ගත්හ. එහෙත් බලු කල, පසේබුදුන් කෙරෙහි ස්නේහයෙන් කළ බිරීමෙහි අනුසසින් මුන් අතර එකෙකුත් ඒ ලදරුට ලංවීමෙහි අපොහොසත් විය. ඒ අතර මිනිසෙක් මේ බලුකපුටු රැස්වීම දැක, මේ කිමැ යි එහි ගොස් කුණුගොඩැ හුන් ලදරු දැක, උන් කෙරෙහි ස්නේහ උපදවා ‘මට පුතෙක් ලැබිනැ’ යි මහත් සතුටින් ඒ ලදරු ගෙන ගියේ ය. ඒ අතර දවසෙක කොසඹෑනුවර සිටානෝ රජමැදුරට යන්නෝ, අතරමගදී පෙරෙවිබමුණා දැක, ‘ගුරුතුමනි! ඔබ වහන්සේ අද නැකත් තරු හේ ම බැලුවහු දැ?’ යි ඇසූහ. ‘ඔව්! බැලුවා, එයින් අපට වැඩෙක් නැතැ’ යි පෙරෙවි තෙමේ කී ය. නැවැත, සිටානන් ‘අපේ ජනපදයට වන වැඩ අවැඩ කෙසේ දැ?’ යි ඇසූ විට ‘සිටු තුමනි! අද මෙනුවර උපන් දරු නම් කවදා නමුත් මෙහි ප්‍රධාන සිටු වනු ඇතැ’ යි ඔහු කී ය. මෙ දවස සිටුගේ භාර්‍ය්‍යයා තොමෝ දරුගැබ් ඇත්තී වූ ය. සිටානෝ පුරුෂයකුට අඬගා ‘තෝ ගොස් මා බිරිය වැදූ දැ යි දැන එව’ යි කීහ. ඔහු ගොස් සොයා බලා නො වැදූ බව දැන අවුත් ඒ බව සිටානන්ට දැන්වී ය. රජු බැහැ දැක වහා පෙරළා ගෙට ආ සිටානෝ, දාසිය කැඳවා, දහසක් දී, ‘පල, මෙනුවර අද උපන් දරු සොයා බලා මෙහි ගෙණෙව’ යි කීහ.

ඕ ඒ සොයා යන්නී එහි එක් ගෙයකට ගොඩ වැදී ‘මේ දරු කවදා උපන්නේ දැ?’ යි එහි සිටි ගැහණිය අතින් විචාළා ය. ඕ තොමෝ ‘මේ දරු අද උපනැ’ යි කිවු ය. එවිට දාසී තොමෝ ‘මේ දරු මට දෙන්න’ මෙන්න මුදල් යි කහවණු එකේ පටන් දහස දක්වා වැඩි කොට, අන්තිමේ දී දහසක් දී දරු ගෙණ අවුත් සිටානන්ට දැක්වූ ය. ඔහු ‘යම් ලෙසකින් මට දුවක් ලැබුනී නම්, මේ කොලුට ඈ පාවා දී මෙහි ම රඳවා, සිටු තනතුරට හිමියකු කරන්නෙමි, පුතෙක් ලැබුණේ නම්, මූ මරා ලන්නෙමි’ යි මිලට ගෙණා ඒ දරු භාර ගෙණ ටික දිනක් පොෂණය කෙළේ ය. ඒ අතර සිටු බිරිය පුතකු වැදූ ය. ‘මු නැති කල මා පුතුට සිටු තනතුර ලැබෙන්නේ ය, එහෙයින් මූ මරා දැමිය යුතු ය’ යි සිතා සිටානෝ දාසියට ‘කෙල්ල! මේ දරු ගෙණ ගොස්, ගාලෙන් ගොනුන් පිටත එන වේලෙහි ගාල් දොර මැද හරහට නිදි කරව, එවිට ගොන් දෙනුන් මූ පාගා මරා ලනු ඇත, ඒ දැන එව’ යි කීහ. ඕ තොමෝ දරු ඔසොවා ගෙණ ගොස්, සිටු කී ලෙසට ගාල් දොර අරින්නට කලින්, ඌ ගාල් දොර හරි මැද හරහට තැබූ ය. අන් දවස සියලු ගොනුන්ට පසුව ගාලෙන් පිටතට එන ප්‍රධාන ගොනා, එදා හැමට පළමු නික්ම අවුත් ඒ කුඩා දරු පා සතර අතර කොට සිටියේය. සෙසු ගොන්නු පිටත එන්නෝ, මේ මහගොනුගේ ඇඟ දෙපස හැපිහැපී එලියට බැස්සෝ ය. ගොපොල්ලා ‘මේ ගොනා වෙන දා නික්මෙන්නේ හැම ගොනුන්ට පසු ය, අද හැමට පළමු නික්ම ගාල් දොර අවුරා සිටියේ ය, ‘මේ කිමැ’ යි ගොස් බලනුයේ, ගොනුගේ පා අතර නිදා හුන් ලදරුවා දැක ‘මට පුතෙක් ලැබිනැ’ යි සතුටු ව ගෙට ගෙණ ගියේ ය. දාසිය එ පුවත සිටුට දැන්වූ ය. ‘කෙල්ල! වහා එහි ගොස්, මේ දහස ඔහුට දී ඒ කොලු මෙහි ගෙණෙව’ යි සිටානෝ දාසියට කීහ. දාසී දහස ගෙණ එහි ගොස්, එය ගොපොල්ලාට දී, කොලු ගෙණ, සිටුට දැක්වූ ය. එවිට සිටානෝ ‘බොල! මූ ගෙණ ගොස් කරත්ත පාර මැද නිදි කරව, එවිට අලුයම මෙනුවරින් වෙළඳාමට පිටත්ව යන කරත්තවල බැඳි ගොනුන්ට පෑගී මූ මැරෙණු ඇත, නැත, කරත්ත රෝදවලට හසු වන්නේ ය, ඒ තොරතුරු දැන අවුත් මට කියව’ යි දාසියට කීහ. ඕ එසේ කළා. එදා ගැල් දෙටුවා ඉදිරියෙහි ගියේ ය. ඔහුගේ කරත්තයෙහි බැඳි ගොන්නු, දරු හුන් තැනට පැමිණ, වියකර බිම හෙලූහ. නැවැත නැවැත විය බැඳ දක්කන ලද්දෝ ද එක අඩියකුත් ඉදිරියට නො ගියහ. මෙසේ කරත්, පාන් විය. ඉක්බිති ගැල්දෙටු තෙමේ ‘ගොනුන්ගේ මේ නො හික්මුම කිමැ’ යි බලනුයේ, මග හරහට නිදා හුන් දරු දැක සැලී ගියේ, ‘මට පුතෙක් ලැබිනැ’ යි සතුටු ව ඔහු ගෙණ ගෙට ගියේ ය. දාසිය ඒ වගතුග සිටුට දැක්වූ ය. නැවැතත් සිටු තෙමේ දහසක් දී දාසිය යවා දරු ගෙන්වා, මූ අමු සොහොනෙහි දමව, එහි දී මූ බලු සිවලුන්ට බත් වන්නේ ය, නැත, අමනුෂ්‍යයන්ට බිලිවනු ඇතැ’ යි කියා දරු දාසිය ලවා අමු සොහොනෙහි දැම්මවී ය. ඕ තොමෝ එසේ කොට පසෙක ඉඳ බලා සිටියා ය. බල්ලෙක්, කවුඩෙක්, අමනුෂ්‍යයෙක් දරුට ලං නො වීය. පුදුමයෙකි, මේ දරු මෙසේ මරණින් ගලවන්නට මවු පිය ඈ කිසි කෙනෙක් එහි නො වූහ. එහෙත් රැකුනේ ය. රැකුනේ බලු ව උපන් කාලයෙහි පසේබුදු රජුන් කෙරෙහි ස්නේහයෙන් කළ බිරීමේ අනුසසින් ය.

ඒ අතර එළු එඬේරෙක් දහස් ගණනක් එළුවන් ගෙණ තණ බිමට යන්නේ, ඒ සොහොනට ආයේ ය. එළුදෙනක් කොළපත් කමින් හැසිරෙන්නී ගසක් යට හොත් ඒ දරු දැක, දෙ දණ බිම ඇණ කිරි පොවන්නට පටන්ගත්තා ය. එඬේරා මේ කිසිත් නො දැන එළුවන් ගෙණ යන්නට හඬ නගා උත්සාහ කළ ද, මේ එළුදෙන් තොමෝ එ තැනින් නො නික්මුනී ය. එවිට එඬේරා තම අත තිබූ කෙවිටෙන් ගසා ඇද ගණිමි යි සිතා එතැනට ගියේ, දරු දැක, මහත් වූ ස්නේහයෙන් ‘පුතකු ලදිමි’ යි ඌ වඩා ගෙන ගෙට ගියේ ය. ඉක්බිති දා සිය සිටුගෙට ගොස් මේ තොරතුරු සිටානට කිවු ය. සිටු තෙමේ තවත් දහසක් දී දාසිය යවා දරු ගෙන්වා, ‘මූ ගෙණ ගොස් හොරුන් හෙලන කඳු මුදුනට නැගී බිම හෙලව, එවිට මූ කන්දෙහි වැදී කඩ කඩ ව යන්නේ ය, එබව දැණ එව’ යි දාසියට කීවේ ය. ඈ එසේ කළා. ඒ කන්ද අසල කන්ද ඇසුරු කොට ගෙණ වැඩුණු උණ පඳුරෙක් විය. එහි මුදුන ඝන වූ ඔළිඳවැලෙන් වැසී සිටියේ ය. කඳුමුදුනෙන් හෙන ඒ කුඩා දරු එහි රැඳුනේ ය. එ දවස එක් නළාකාරයෙක් උණ දඬු කපන්නට සිය පුතු සමග ඒ කඳුපාමුලට ගියේ, උණ දඬු කපන්නට පටන් ගත්තේ ය. ඔවුන් හුණදඩු කපා අදින විට, එහි මුදුන රැඳී හුන් දරු හඬන්නට වන. නළකරු එහි මුදුනට නැංගේ, දරු දැක වඩා ගෙණ බිමට බැස ‘පුතෙක් ලැබිනැ’ යි සතුටු ව ගෙට ඇරගෙණ ගියේ ය. දාසිය ගොස් මේ සියලු තොරතුරු සිටානන්ට කිවු ය. එවර ද සිටු තෙමේ දහසක් යවා ඒ කුඩා දරු ගෙන්වා ගත්තේ ය. සිටානන් මෙසේ දහස් ගණන් දී මරන්නට තැත් කරද්දී දරු තෙමේ වයසින් වැඩුන්නේ ය. ඝෝෂක නමින් ද හැඳුනුනේ ය. ඔහු සිටානන්ට ඇස ඇණුනු කටුවක් සේ විය. ඇස හැර බලන්නට ද සිටු තෙමේ අපොහොසත් විය. දරු මරන්නට නැවැතත් උපාය සොයන්නට පටන් ගත්තේ ය.

දවසක් සිටු තෙමේ, සිටුගෙට වලත් සපයාගෙණ එන්නාවූ කුඹල්කරු වෙත ගොස් කතාවට බැස ‘තෝ මෙහි වලන් පලහන පෝරණයෙහි ගිනි දල්වන්නෙහි කවදා දැ?’ යි ඇසී ය. ‘සෙටැ’ යි කුඹල්කරු කී ය. ‘මට තා ලවා කරවා ගතයුතු වැඩෙක් තිබේ, එය රහසක්, මෙන්න දහසක්, මෙය ගණින්, වැඩේ අවසන් වූවායින් පසු’ යි සිටානන් කී පසු, කුඹල්කරු තෙමේ ‘මොකක් ද ස්වාමීනී! රහස?, කියන්න ඔබ වහන්සේ වෙනුවෙන් ඕනෑ ම දෙයක් මම කරමි, කියන්න, බියවන්න එපා, තමුන්නාන්සේ වෙනුවෙන් මගේ දිවි ගියා වේ, උපකාරය වුවමනා තැනට උපකාර කරන්නට මම දනිමි, නො සඟවා කියන්නැ’ යි කීයේය. ‘ඔව්, මම දන්නවා, උඹ එහෙම මිනිහා බව, මේක ලොකු ම රහසෙක්, ඒ නිසා ය උඹ ලඟට ආවේ, කාටත් නො දැනෙන ලෙසට කරගන්නට, මට අවජාතපුත්‍රයෙක් සිටියි, ඌ කෙසේ නමුත් මරා දැමීමට ය මාගේ අදහස, එහෙයින් ඌ තා සමීපයට එවන්නෙමි, ආ විට අල්ලා කෑලිවලට කපා, වලන් පලහන පෝරණයෙහි දමා පුළුස්සන්න, මේ දහස අත්තිකාරම්, අන් සැලකිලි සියල්ලක් වැඩේ අවසන් වූවාට පසු’ යි සිටානන් කී විට, ‘හා! ඕක මොකක් ද, මම ඔබ වහන්සේගේ වැඩේ ඉතා රහසි ව කාටත් නො දැනෙන ලෙසට කරමි, ඒ ගැණ සැක නූපදවනු මැනැවි, ලමයා එවන්නැ’ යි කුඹලා කීයේ ය.

සිටානෝ පසු දා ඝෝෂකයා ගෙන්වා, ‘පුත! ඊයේ මා අපට වලන් සපයා ගෙණ එන කුඹළාට වැඩක් කියා ඇත, නුඹ දැන් එහි ගොස් ඌට කියා ඒ වැඩේ කරවා ගෙණ එන්න, මෙහෙන් කාවත් දැන් එහි නො ගිය හොත් ඒ වැඩේ කරවා ගැණීම අත පසු වේ. ඒ නිසා දැන් එහි ගොස් එන්නැ’ යි ඝෝෂකයා පිටත් කළහ. ඝෝෂක ද. ‘යහපතැයි කියා ගෙයින් නික්ම යන්නේ, සිටුගේ අනික් පුතු සෙල්ලම් කරන තැනට ගියේ ය. ඔහු, ඝෝෂක දැක, ‘අය්යා මේ කොයි යන්නේ දැ?’ යි ඇසී ය. ‘මම තාත්තාගේ පණිවුඩයක් ගෙණ අපට වලන් සපයන කුඹල් ගෙදර යමි’ යි ඔහු කී ය. ‘අයියේ! මම එහි යන්නම්, මේ ලමයා දැනට මගෙන් මසු ලක්‍ෂයක් දිනා ගෙණ තිබේ, ඒ නිසා අය්යා මුන් සමග සෙල්ලම් කරන්න! මම කුඹල්ගෙදර යන්නම්, මට ඒ ලක්‍ෂය දිනා දෙන්නැ!’ යි එහි සෙල්ලම් කරමින් සිටි ඒ සිටුපුත් තෙමේ කියා සිටියේ ය. ඝෝෂක ‘මල්ලී මට බැහැ, මා එහි නො ගිය හොත් පියා මට තළනු නො අනුමාන ය, මම එයට බිය වෙමි’ යි කී විට; සිටුපුත් තෙමේ ‘අයියා! බිය නො වන්න! මම එය බලා ගන්නම්, පණිවුඩය ගෙණ ගොස් දීලා පියා කියූ ඒ වැඩේ කුඹලා ලවා හොඳට කරවා ගෙණ එන්නම්, අය්යා මුන් සමග සෙල්ලම් කරන්න! මගෙන් මුන් දිනාගත් ඒ ලක්‍ෂය මට දිනා දෙන්නැ’ යි ඇවටිලි කෙළේ ය.

ඝෝෂක, ගුළකෙළියෙහි දක්‍ෂයෙකි. ඇවටිල්ල එහෙයිනි. අන්තිමේ දි ඝෝෂක තෙමේ ‘එහෙනම් මල්ලී! කුඹගෙදර ගොස්, කුඹලා හමු ව, ඊයේ කියූ ඒ වැඩේ පමා නො කොට අද හෙට ම කරගෙණ එන්නැයි පියා කියූ බව, කුඹලාට කියන්නැ!’ යි කියා සිටුපුත්, කුඹල්ගෙදරට පිටත් කොට යවා තෙමේ සෙල්ලම් කෙළේ ය. සිටුපුත් තෙමේ කුඹල්ගෙදරට ගොස් ඝෝෂකයා කියූ ලෙසට පියාගේ පණිවුඩය කුඹලාට කීයේ ය. එවිට කුඹලා මොහොතකුත් පමාව නො සිට, ඒ කුඩා ලමයා ගෙට ඇද ගෙණ ගොස් මරා වෑයකින් කෑලි කොට, වලන් පලහන පෝරණයෙහි දමා පිළිස්සී ය. ඝෝෂක, දවස මුළුල්ලේ එහි සෙල්ලම් කොට සවස ගෙදර ගියේ ය. සිටු තෙමේ ඝෝෂක දැක, ‘මොක ද, පුතේ! නුඹ කුඹල්ගෙදර නො ගියෙහි දැ?’ යි ඇසී ය. ‘මල්ලී ගියා, මා එහි යන විට සෙල්ලම් පිටියේ දී මල්ලී හමු වුනා, පණිවුඩය ඔහු ගෙන යන බව කියා මට සෙල්ලම් කරන්නට කිව්වා, ඒ වේලාවෙහි දී මල්ලී ලක්‍ෂයකින් පැරදී සිටියා, ඒ ලක්‍ෂය නැවැත දිනා දෙනැ යි මට ඇවටිලි කළා, සෙල්ලම් කරන්නට බෑ කියද්දීත් ඔහු මට සෙල්ලම් කරන්නැ යි කරදර කළා, ඒ නිසා මම සෙල්ලම් කළා, මල්ලී කුඹගෙදර ගියා’ යි ඝෝෂක කීවිට සිටු තෙමේ ගැසෙන්නට විය. හැඬුනේ ය. වෙව්ලන්නට වන. සිරුරෙහි ලේ උණු විය. සිහි මුළා ව ගියේ ය. ‘කුඹළ! කුඹළ! හා, මා නො නසව! හා! මා නො සව!’ යි කියමින් හඬ හඬා කුඹල්ගෙය බලා දුව ගියේ ය. කුඹළා දුව එන සිටු, දුරදීම දැක, ‘මොක ද ස්වාමිනි! හඬ හඬා?, නො හඬන! නො හඬන්න, මම ඒ වැඩේ හරියට ම කළා, බිය නො වන්නැ!’ යි කීයේ ය. සිටානන් මේ නිසා විඳින ලද සෝකය ඉ මහත් ය. මැරෙණ තුරු ම ඔහු එය වින්දේ ය. “අපරාධ නො කළ අයට, අපරාධ කරන්නේ, මෙලොව ම මහත් දුකට පැමිණේය” යි බුදුරජානන් වහන්සේ,

“දඬුවමට නුසුදුසු - නො දැහැවියවුන් කෙරෙහී,

දේ ද දඬුවම් යමෙකෙක් - කා ඈ දඬුවමින් හේ,

.

දසවැදෑරුම් දුක් - කරුණෙන් එක්තරා එක්,

කරුණකට (මෙලොවම) වහා - පැමීණේ (නියමයයි ඒ)

.

කැකුළු විඳුමට හෝ - නැසුමකට හෝ පින්ගුණ,

සිරුරු බිඳුමට හෝ බර - ලෙඩකට සිත්විකෙව් හෝ,

.

රජඋවදුරට හෝ - රුදුරු ගැරහුම් ලැබුමට,

නෑ දන නැසුමකට හෝ - සැපත් නැසුමට (පැමිණේ),

ඔහු අයත් ගේ දොර - ගිනි ගෙන හෝ දැවේ යලි,

මරණින් මතුයෙ නිරයේ - උපදී නුවණ නැත්තේ”

යි වදාළ සේක.

මෙ තැන් සිට සිටු තෙමේ ඇස හැරපියා ඝෝෂකයාගේ මූණ නො බැලී ය. ඔහු එහි අපොහොසත් විය. ටික දවසෙක් ගත විය. ඝෝෂකයා මරවන්නට ම ය සිටානන්ගේ සිත. එහෙයින් ඔහු ‘මූ කෙසේ මරවම් දැ’ යි සිතන්නේ, ‘ගම්රකින මුදලිතැන ලවා මරවමි’ යි සිතා ඔහුට, ලියුමක් ලිවීය.

කොසඹෑනුවර සිටුමැදුරේ දී ය.

ප්‍රාණය පූර්‍වක නිවේදන ය යි.

මා පියමාමණ්ඩි!

-

මට අවජාත පුත්‍රයෙක් ලැබී සිටියි. මේ ලියුම රැගෙන එන්නේ ඌය. මූ ජීවත්වනු දැක්මට මම නො කැමැත්තෙමි. එහෙයින් මූ මෙසේ එවීමි. මාමණ්ඩී ඉතා රහසේ මූ මරා වළලා ඒ බව මට දන්වා එවූ පසු කළයුතු සැලකුම් එකකුත් නො හැර මම කරන්නෙමි. මෙය ඉටුවිය යුතුම ය. මෙය මට කරණ ලොකු වැඩෙති.

-

ඒ වගත් මෙසේ දන්වන්නේ,

කොසඹෑනුවර සිටුතෙමේ ය.

මේ ලියුම, ඝෝෂකයාට අඬගා ඔහු ඇඳි රෙද්දේ දාවලු කෙළවර බැඳ, ‘පුතා! මේ ලියුම රැගෙණ ගොස් අපේ ගම්රකින මුදලිතැනට දෙන්නැ’ යි කියා ඔහු එහි පිටත් කෙළේය. ඝෝෂකයා අකුරු නො දනි යි. ලදරු කල පටන් මරවන්නට තැත් කළ සිටු තෙමේ ඔහුට අකුරු උගන්වා ද. ඝෝෂක තෙමේ තම මරණ ලියුම දාවලු කෙළවර බැඳ ගෙණ ගෙයින් නික්මෙන්නේ ‘පියානෙනි! මට මග වියදම් පිණිස මිලමුදල් නැතැ’ යි කී ය. ‘පුතා! මග වියදම් වුවමනා නො කර යි, ගම ඉන්නෝ මා යහළු සිටාන කෙනෙකි, ඒ සිටුමැදුරට යන්න! එහි දී පුතාට උදෑසනට මොකවත් කාලා බීලා යා හැකි ය, මගවියදම් වුවමනා නැතැ’ යි සිටානන් කී කල්හි ඔහු පියා වැඳ අවසර ගෙන ගියේ ය. ටික දුරක් මග ගෙවා ගොස්, සිටානන් කියූ ඒ ගමට පැමිණ, සිටුගෙය සොයා දැනගෙන එහි ගොඩ වැදුනේ ය. ඒ වේලෙහි සිටු භාර්‍ය්‍යයා තොමෝ පිටත පිළෙහි සිටියා, ‘කොහි සිට ආවා දැ?’ යි ඝෝෂකයාගෙන් ඇසූ ය. ‘ඇතුල් නුවර සිට ආවෙමි’ යි ඔහු කී ය. ‘තාත්තා කවූ දැ?’ යි ඇසූ විට ‘ඔබ තුමන්ලාගේ යහළු වූ කොසඹෑනුවර සිටු’ යි කී විට ‘ඝෝෂක උඹ දැ?’ යි ඇසූ ය. ‘ඔව්, ඝෝෂක නම් මමැ’ යි ඔහු පිළිතුරු දින.

සිටු බිරියට ඝෝෂකයන් දුටු ඇසිල්ලෙහි මහත් වූ පුත්‍රස්නේහයෙක් උපන. මේ සිටුහට සිටින්නී එක ම දුවක. ඕ වයසින් සොළොස් හැවිරිදි ය. දුටුවන් පහදවා සිත් ගන්නා රූ ඇත. ඈ රක්නට පණිවුඩ ගෙණ යන දාසියක් නිල කොට සිටියා. ඇගේ රැක්මෙහි මෝ සිටියා සත්මහල්පායෙහි උඩමාලෙහි සිරි යහන්ගබඩාවෙහි ය. ඝෝෂකසිටු මැදුරට පැමිණ සිටි වේලෙහි මේ සිටුකුමරිය, සිය දැස්ස කිසියම් කාරියක් සඳහා කඩපිළට යැවූ ය. කඩපිළට යන ඇය දුටු සිටුභාර්‍ය්‍යා තොමෝ ඇයට අඬ ගා ‘කොහි යා දැ?’ යි ඇසූ ය. ‘ආර්‍ය්‍යාවෙති! පුංචිනෝනාගේ වුවමනාවක් සඳහා කඩපිළට යමි’ යි කී කල්හි ‘පොඩ්ඩක් වරෙන්! තව ටිකකින් එහි යා හැකි යි, මේ මාපුතුට ඉන්නට පුටුවක් සූදානම් කරපන්! පා සෝදා තෙල් ගාපන්! ඇඳක ඇතිරිලි එලා පිළියෙල කරපන්’ යි කිවු ය. ඕ එසේ කොට, කඩපිළට ගොස්, කුමරියගේ වුවමනා වත් සිදුකර ගෙණ, මඳක් කල් ගෙවා, උඩමහලෙහි කුමරිය වෙත ගියා ය.

එවිට සිටු කුමරිය ඇයට තදින් තරවටු කළා. ‘මම කුමක් කරම් ද, ලොකු නෝනා මට අඬ ගා කතාකොට ඝෝෂක සිටු කුමරුට ඉන්නට පුටුවක් සූදානම් කොට, කුමරුගේ පා සෝදා තෙල් ගා ඇඳක් ඇතිරිලි එලා පිළියෙල කර යන්නැයි මට කිව්වා, මම ඒ සියල්ල කොට කඩපිළටත් ගොස් නෝනා මහත්මයාගේ වුවමනාවත් සිදු කර ගෙණ ආමි, පමා වූවා ඒ නිසා ය, මා කෙරෙහි අමනාප නො වනු මැනැවැ’ යි දාසිය කිවූ ය. ඝෝෂක යන නම ඇසූ සැටියේ සිටු කුමරිය ගැස්සී සිටියා ය. උඩ බිම බැලූ ය. කිසිවක් කියා ගත නුහුනා ය. ඝෝෂක යන්න කණ වැටුනු ඇසිල්ලෙහි, ඈ සිත හටගත් ආලය, ඇගේ සිවිමස් නහර බිඳ ගොස්, ඇටමිදුලුවල වැදී සිටියේ ය. ඝෝෂකයා කොතුහලික ව උපන් ජාතියේ උට අඹු වූවා මේ සිටුකුමරී තොමෝ ය. එදා මේ තොමෝ සිටුගෙයක බැලමෙහෙ කොට, බැල පිණීස සහල් නැළියක් ලබාගෙණ එය පිසැ පසේ බුදුරජානන් වහන්සේ නමකට පුජා කළා ය. මේ ඒ දානයාගේ අනුභාවය ය. මෙයින් ඕ සිටු කුලයෙහි උපන්නී. එදා මුන් දෙන්නා, අතර තුබූ ඒ ස්නේහය, මෙදාත් මෙසේ ඉස්මතු වූයේ, උන් දෙන්නා යට කොට සිටියේ ය.

“පෙර සමග විසුමෙන් - වත්මන්හි හිතයෙන් හෝ,

මෙසේ ඒ පෙම් උපදී - දියැ උපුල් හට ගණු මෙනි”

යි බුදුරජානන් වහන්සේ වදාළ සේක.

මදක් නිසල ව කල්පනායෙන් සිටි සිටු කුමරිය ‘කෝ දැන් ඔහු?’ යි දාසිය අතින් විචාළා ය. ‘ඇඳෙහි නිදි’ යි යනු දැස්සගේ පිළිතුර විය. ‘අත මොකවත් තිබේ දැ?’ යි නැවැත ඇසූය, ‘ඔව්! ඇඳ තිබෙන රෙද්දේ දාවලු කෙළවර එල්ලූ ලියුමක් තිබේ, වෙන මොකවත් නැතැ’ යි ඕ තොමෝ කිව්වා ය. ඉක්බිති සිටුකුමරිය ‘ලියුම ගෙන බලමි’ යි උඩුමහලින් බැස, ඝෝෂකගේ නිදි බලා හිමින් සීරුවේ නිදාහුන් ඇඳ ලඟට ගොස්, ලියුම දාවල්ලෙන් ලිහා ගෙන, තම කාමරයට වැදී දොර වසා ජනේලය හැර ලියුම කියවා බලා, ‘අනේ! මෝඩයෙක්, මා අතට මේ ලියුම නො ලැබිනි නම්, මොහු ඉවරැ’ යි යනු තමන්ට ම කියා ගෙණ ලියුම ඉරා දමා අන් ලියුමක් ලියූ ය.

කොසඹෑනුවර සිටුමැදුරේදී ය.

ප්‍රණය පූර්‍වකනිවේදනය යි.

මා ප්‍රිය මාමණ්ඩි!

-

මේ ලියුම ගෙණෙන්නේ මාගේ පුතා ය. නම ඝෝෂක ය. මා අයත් ගම් කෙත්වලින් බඩුමූට්ටු ගෙන්වා මාමා වසන ගමේ ම දෙමහල් ගෙයක් කරවා, එය වට කොට තාප්පයක් බැඳ මුරකරුවන් ද සිටුවා රැකවල් ඇති කොට මොහුට භාර දෙන්න. ඉන් පසු ගම් සියයෙන් පඬුරු පාක්කුඩම් ගෙන්වා, ජනපද සිටානන්ගේ දූ භාර්‍ය්‍යාව කොට දී මගුල් කොට මට දන්වා එවන්න. මට දැන්වූ පසු ඔබට කළ යුතු හරිය මම කරමි.

-

ඒ වගත් මෙසේ දන්වන්නේ,

කොසඹෑනුවර සිටුතෙමේ ය.

ලියුම අකුළා කවරයක බහා දාවලු කෙළවර බැන්දා ය. ඝෝෂක නින්දෙන් නැගිට, මූණ කට සෝදා බත් කා එතැනින් පිටත්ව ගියේ, පසුදා උදය එගමට පැමිණියේ ය. එහිදී මුදලි තැන ඔහුට හමු විය. ඔහු, ඝෝෂක, ගෙට කැඳවා ගෙණ ගොස්, කන්නට බොන්නට දී සංග්‍රහ කොට, පැමිණිමේ තොරතුරු ඇසී ය. ‘මාගේ පියා ඔබට දෙන්නැ යි ලියුමක් දුන්නා, මෙන්න ඒ ලියුමැ’ යි ලියුම ඔහුට දුන්නේ ය. මුදලි ලියුම කියවා බලා ‘මාගේ ස්වාමියා මා කෙරෙහි කොතරම් ස්නේහ ඇත්තේ ද, තමන්ගේ වැඩිමහල්පුතුට මගුලක් කර දෙන්නැ’ යි මට දන්වා එවා තිබේ, මෙහිලා දැන් පමාවිය යුතු නො වේය’ යි සිතා ඒ ඒ ගම්වල විසූ ගැහැවියන්ට ‘වහා දැව දඬු එවන්නැ’ යි දන්වා යැවී ය. ඔවුහු දැව දඬු එවූහ. මුදලි තෙමේ සිටානන් දන්වා එවා තුබූ ලෙසට ගෙය ගොඩ නංවා, තාප්ප බන්දවා මුර කරුවන් සිටුවා, පඬුරු පාක්කුඩම් ගෙන්වා ගබඩා පුරවා, ජනපදසිටුකුමරිය ගෙණවුත් භාර්‍ය්‍යයා කොට දී කළයුතු සියල්ල අවසන් කොට මේ සියලු තොරතුරු සිටානන්ට දන්වා යැවී ය.

සිටු තෙමේ ගැසෙන්නට වන. ඇඟ රත් වී ගියේ ය. සිහි නැති විය. නන් දෙඩවී ය. ‘අය්යෝ! මොක ද මේ මා සිතන කරණ කියන එකෙකුත් සිදු නො වේ, සිදු වන්නේ නො සිතන නො කියන නො කරණ දේ ය’ යි සිතු සිටුහුගේ සිතෙහි හටගත් ශෝකය, පුතු මළ ශෝකයත් සමග දැඩි ව ගොස් ඇඟ ලේ උණු වී අතීසාරයෙන් පෙළෙන්නට වූයේ ය. ඝෝෂක භාර්‍ය්‍යා තොමෝ මේ දැන, මුරකරු ගෙන්වා, ‘කොසඹෑනුවර සිටු මැදුරෙන් යමකු, පණිවුඩ ගෙන ආවොත්, ඔහු පළමු කොට මා වෙත කැඳවා ගෙණ එන්නැ’ යි නියම කළා ය. කොසඹෑනුවර සිටු තෙමේ ලෙඩ ඇඳ වැතිර හිඳ ‘දැන් මේ කොල්ලා මාගේ දේපලවල හිමියා වන්නේ ය, මේ දේපල මාගේ පරපුරෙන් ගිලිහී යන්නේ ය, මූට මේවා අත් නො වන ලෙසක් කළ යුතු ය’ යි සිතා, ලඟ සිටි මුලාදෑනියකුට කතා කොට ‘කාවත් යවා මාපුත් ඝෝෂක මෙහි ගෙන්වන්න! ඌ දකිනු කැමැත්තෙමි’ යි කීයේ ය. මුලාදෑනියා සිටානන්ගේ සියලු තොරතුරු කියා, පණිවුඩ කරුවකු ඝෝෂක වෙත යැවී ය. ඔහු එහි ගියේ ය. දොරකඩ සිටි මුරකරු, පණිවුඩකරු දොරකඩ නවතා, ගොස් ඝෝෂක භාර්‍ය්‍යාවට, කොසඹෑනුවරින් පණිවුඩයක් ගෙණ මිනිසකු අවුත් සිටිනා බව දැන්වී ය. ඕ තොමෝ ඔහු ගෙන්වා ‘ආයෙහි කුමක් නිසා දැ?’ යි ඇසූහ. ‘ආර්‍ය්‍යාවෙනි! සිටුතුමා ගිලන් වූයේ ය, ඝෝෂක කුමරු දකිනු රිසියෙන් ඔහු කැඳවා ගෙණ එන්නැ යි කිය යි, එහෙයින් මම මෙහි ආමි’ යි පණිවුඩ කරු කීවිට ‘ඕයි! සිටුතුමා හුඟක් ම ගිලන් වූයේ දැ’ යි ඇසූ ය. එවිට ඔහු ‘එතරම් ම ගිලන් වූයේ නො වේ, කායශක්තියේ අඩු කමකුත් එතරම් ම නැත, තව ම ආහාර ගණී ය’ යි කී ය. සිටුභාර්‍ය්‍යා තොමෝ මේ කිසිවක් ඝෝෂකට නො දන්වා පණිවුඩය ගෙණ ආවහුට, වියහියදම් දෙවා, ‘මා දැන් වූ විට යා හැකිය, එතෙක් මෙහි හිඳුව’ යි කීවා ය. ඔහු එහි නතර විය.

සිටු තෙමේ නැවැත මුලාදැනියාට අඬගා ‘ඝෝෂක වෙත කාවත් යැවී දැ?’ යි ඇසී ය. ‘ස්වාමිනි! ඔබ වහන්සේ කියූ සැටියේ ම මිනිසකු එහි යැවීමි, එහෙත් තව ම ඔහු නො ආයේය’ යි කී විට, එහෙනම් ඉක්මනට තව එකකු යවනැ’ යි කී ය. වෙන එකකු යැවී ය. සිටු භාර්‍ය්‍යා තොමෝ ඔහු ද එහි නවතා ගත්තී ය. මේ අතර සිටුගේ රෝගය බලවත් විය. එක් මලබඳුනක් මලමගට ලං කොට තබා, එහි කලින් තුබූ බඳුන අස් කරයි, ඒ තරමට රෝගය නැගී සිටියේ ය. සිටු තෙමේ නැවැතත් මුලාදෑනියාට අඬගා කතා කොට ‘පුතු වෙතට කෙනකු යැවී දැ’ යි ඇසී ය. ‘යැව්වා! තවම ඔහුත් ආවේ නැතැ’ යි කී විට, ‘තව එකකු යව’ යි කී ය. මුලාදෑනියා තව එකකු යැවීය.

තෙවනවර ඝෝෂකයා වෙත පණිවුඩ ගෙණ ආවහු අතින් සිටු භාර්‍ය්‍යයා තොමෝ සිටානන්ගේ තොරතුරු ඇසූ ය. ‘ආර්‍ය්‍යාවෙනි! දැන් නම් සිටුතුමා බලවත් සේ ගිලන්ව වෙසෙ යි, කෑම් බීම් කිසිවක් නො ගණි යි, ඇඳෙන් නො නැගිටි යි, මල යෑම අතර නො තබා ම සිදු වේ, කොයි වේලේ කරදරයෙක් වේ දැ යි නො කියැකි ය, රෝගය ඒ තරමට බල ගතු ය’ යි ඔහු ‍කී විට, ඕ තොමෝ ‘දැන් තම යි යා යුතු කාල ය’ යි සිතා ඝෝෂකට කතා කොට ‘ස්වාමිය! පියා රොගාතුරව සිටී ය යි දන්වා එවා තිබේ, අප දැන් එහි යා යුතු ය, හිස් අතින් යෑම නුසුදුසු ය, එහෙයින් ගම්වලින් ලැබෙන යමකුත් ගෙණ යමු’ යි කිවු ය. ඔවුහු දෙදෙන සහල්-තිරිඟු-කුරක්කන්-මෙනේරි-දුරු-මිරිස්-අබ-කෙසෙල්කැන්-ගිතෙල්-මී ආදී නොයෙක් දේ ගෙන්වා ගැළක පුරවා ගෙණ පිටත් ව ගියහ. මදක් දුර ගොස්, සිටු භාර්‍ය්‍යා තොමෝ ‘ස්වාමිය! පියා ඉන්නේ මරණයට ලංව ය, දැඩිසේ ගිලන් ව ඉන්නා බව දන්වා එවා තිබේ, අප වහා එහි යා යුතු ය, මේ පඬුරු පාක්කුඩම් ගෙණ යෑම ඒ ගමනට බාධා කර ය, එහෙයින් මේවා තබා යමු’ යි ගෙණ ආ ඒ සියල්ල ආ පසු තම කුලගෙට යවා, ‘ස්වාමිය! ඔබ එහි ගිය විට, පියා නිදන ඇඳේ පා කොණ සිටින්න! මම හිස ලඟ සිටින්නෙමි, එසේ සිට පියාගේ වගතුග සොයා බලමු’ යි කිවු ය. ඝෝෂක ද ‘යහපතැ’ යි පිළිගත්තේ ය. තමන් හා ගිය සෙස්සන්ට ගෙය වට කොට ගෙය ඉදිරිපස හා පසු පස රැකවල් ගෙන සිටින්නට ඕ තොමෝ නියම කළා ය. ඝෝෂක ගෙට ඇතුල් ව පියාගේ ඇඳ පා මුල සිටියේ ය. සිටුභාර්‍ය්‍යාව හිස අද්දර සිටියා ය.

සිටු තෙමේ ඒ වේලෙහි උඩුකුරු ව සයනය කෙළේ ය. මුලාදෑනියා පා මිරිකමින් සිටියේ, ‘ඝෝෂක කුමරු ඇවිත් සිටී ය’ යි කීය. ‘කෝ, කවුදැ?’ යි සිටානන් ඇසූ විට ‘මේ පා මුල ඉන්නේ ය’ යි පෙන්වී ය. සිටු තෙමේ ඇස් ඇර බලා, අයකැමියා ගෙන්වා මගේ ධනය කෙතෙක් දැ’ යි ඇසී ය. ‘ස්වාමීනි! මුදල් පමණක් සතළිස් කෝටියකි, උපභෝග පරිභෝග බඩු, ගම්, කෙත්, දෙපා, යාන වාහන මේ මේ පමණ ය’ යි අය කැමියා දැන්වී ය. ඒ අසා සිටු තෙමේ ‘මාගේ මෙතෙක් ධනය මම ඝෝෂකයාට නො දෙමි” යි කියන්නට ගියේ ද, ‘ඝෝෂකයාට දෙමි’ යි කියවුනේ ය. ඒ අසා සිටි සිටුභාර්‍ය්‍යාව ‘මොහු මෙය නැවැතත් කීයේ නම්, අනිකක් කියන්නේ ය’ යි සිතා ශෝකයෙන් මැඩුනියක සේ හිස කෙස්, විහිදුවා හඬමින් ‘පියේ! මේ කියනු කිම; ඔය වචනය අසන අපි කාලකණ්ණි වම්හ, අනේ! පියේ! අපි ආවමෝ මිල මුදල් වතුපිටි ගේ දොර හරකබාන ගන්නට නො වෙමු, අපට වුවමනා පියාගේ ජීවිතය ය, අනේ! පියේ! ඇයි; ඔහොම කියනු, තව කල් ජීවත්වන්න පියේ! අනේ! පියේ! යි කියමින් ඇඳ උඩ වැටී, නැවැත එබන්දක් කියන්නට බැරිවන සේ සිටානන්ගේ පපුව මැද ඔලු ව හපමින් හඬන්නට වූවා ය. සිටු තෙමේ කලුරිය කෙළේ ය.

ඉක්බිති ඝෝෂක තෙමේ තමන්ගේ පියා මළ බව උදේන රජුට දන්වා යැවී ය. රජ තෙමේ සිරුරු කිස කරවා, ‘සිටානන්ට දූ පුත්හු වෙත් දැ? යි ඇසී ය. ‘දේවයන් වහන්ස! ඔහුට පුතෙක් සිටි යි, ඔහුය ඝෝෂක, සිටු තෙමේ ඔහු අයත් සියලු දේ ම පුතුට පවරා දී මළේ’ යි නිලධරයෝ කීහ. රජ තෙමේ ඝෝෂක ගෙන් වී ය. එ දවස මහාවැසි දවසෙකි. රජමිදුලෙහි තැන තැන දිය රැඳී තුබුනේ ය. ඝෝෂක රජමැදුරට ගියේ ය. ගියේ ඒ ඒ තැන තුබූ දිය කඩිතිවලින් පැන පැනය. රජ තෙමේ ඝෝෂක දිය කඩිතිවලින් පැන පැන එනු දුටුයේ ය. ඝෝෂක රජුගේ ඉදිරියට ගොස්, වැඳ සිටි කල්හි ‘ඝෝෂක නුඹ දැ?’ යි ඇසී ය. ‘දේවයන් වහන්ස! එසේ ය’ යි ඔහු කී ය. ‘ඝෝෂක! පියා මළැයි ශෝක නො කරව! තාගේ පියා සතු වූ සිටුතනතුර තට දෙමි’ යි රජ තෙමේ ඔහු සනසා ‘යන්නැ’ යි කියා පිටත් කෙළේ ය. රජ ගෙයින් නික්ම යන ඝෝෂක තෙමේ දිය කඩිතිවල බැස ගියේ ය. ඒ දුටු රජ තෙමේ එ වේලෙහි ම ඔහු ආපසු ගෙන් වී ය. ගෙන්වා ‘දරුව! නුඹ රජගෙට එන්නෙහි දිය කඩිතිවලින් පැන පැන ආයෙහි ය, පෙරළා යන්නෙහි එහි බැස හිමින් සීරුවේ යන්නෙහි ය, එසේ ආයෙහි, යන්නෙහි කිමැ’ යි ඇසී ය. ‘දේවයන් වහන්ස! ඔබ වහන්සේ වෙත ආ මම ඒ වේලෙහි කොල්ලෙක්මි, කොල්ලෝ බොහෝ සෙයින් සෙල්ලමට කැමැත්තෝ ය, එහෙයින් මෙහි එද්දී මම සෙල්ලම් කරමින් ආමි, දැන් එසේ නො වෙමි, ඔබ වහන්සේ විසින් මම සිටු තනතුරට නියම කරණ ලද්දේ වෙමි, දැන් කොල්ලෙක් නො වෙමි මම, එහෙයින් අන් දවස්හි මෙන් දැන් හැසිරීම ගමන බිමන මට තරම් නො වේ ය’ යි සිතා පෙරළා යන ගමනේ දිය කඩිතිවල බැස බැස හිමින් සීරුවේ ගියෙමි’ යි ඝෝෂකයන් කී කල්හි, රජ තෙමේ ‘මෙතෙමේ ධෛර්‍ය්‍යසම්පන්න පුරුෂයෙක, සිටු තනතුරට හොබනේ ය, එහෙයින් මොහුට සිටු තනතුර දැන් දියයුතු ය’ යි සිතා ඝෝෂකගේ පියා අයත්වූ ගම්බිම් ආදී වූ හැම දෙයක් දී තවත් තමන්ගෙන් ද නොයෙක් මාදිලියේ පඬුරු පාක්කුඩම් දෙමින් සිටු තනතුර ද දුන්නේ ය. නළලැ සිටුපට බැන්දේ ය.

එකල ඝෝෂක තෙමේ රියකට නැගී නුවර පැදකුණු කෙළේය. රියට නැගී යන ඝෝෂක සිටු බැලු බැලූ දිග සැලෙන්නට වන. එය මගුල් ලකුණක් බව දත් සිටුභාර්‍ය්‍යා තොමෝ කාලිය හා කතා කරමින් හුන්නී, ‘තීගේ පුතුට මෙතෙක් මහත් සම්පත් අත්වූවා මා නිසා ය’ යි කිවු ය. ‘ඇයි, එසේ කියන්නී?’ යි කාලිය ඇසූ ය. ‘මෙයා, තමන්ගේ මරණලියුම, තමන් ඇඳි රෙද්දේ කොණක බැඳගෙණ අපගේ ගෙට ගොඩ වැදුනා, මම රෙදි කොණ බැඳ තුබූ ඒ ලියුම මොහුට නො දැනෙන සේ නින්දෙහි දී ලිහා බලා ඉරා දමා, ‘දෙමහල් ගෙයක් ගොඩ නගා, එහි පදිංචි කරවා ගම් බිම් දී රැකවල් තබා මා භර්‍ය්‍යා කොට දෙන්නැ’ යි අන් ලියුමක් ලියා එය මොහුට නො දැනෙන සේ රෙදි කොණ බැඳ තබා, මේ යස ඉසුරු ලබන්නට මග සැලැස්සුවා’ යි. සිටු භාර්‍ය්‍යා තොමෝ කිවූ ය. ‘ඔබ ගේ දැනුම ඔපමණෙක්ම නේ ද? සිටු තුමා මොහු මරවන්නට නො කළ දෙයක් නැත, සිටුතුමන්ගේ මියගිය පුතු උපන් දා සිට ඔහු ගැන සිතා මොහු මරවන්නට සිටු තුමා නොයෙක් උපක්‍රම යෙදුවා, ඒ පිණිස වියදම් කරන ලද මුදල ද ඉතා විශාල ය’ යි. කාලිය කී විට, සිටුභාර්‍ය්‍යාව ‘සිටු විසින් කරණ ලද්දේ ඉතා සැහැසි වැඩෙකැ’ යි කියමින් හුන්නී නුවර පැදකුණු කොට එන ඝෝෂකයා දැක ‘මොහු විසින් මේ සම්පත් ලද්දී මා නිසා ය’ යි සිතා සිනාසුනා ය.

ඝෝෂක තෙමේ ඒ දැක ‘කුමක් නිසා සිනාසුනා දැ යි ඇසී ය. ‘එක් කරුණක් ගැන සිහිවීමෙනැ’ යි ඕ තොමෝ කිවූ ය. ‘ඒ කියව’ යි ඝෝෂක කී ය. එහෙත් ඕ තොමෝ එය නො ද කිවු ය. ඝෝෂක තෙමේ ගුගුලේ ය. ‘නො කියහි නම්, තී දෙපලු කරමි’ යි කඩුව එලියට ඇද්දේ ය. සිටුභාර්‍ය්‍යයාව බිය වූවා ‘ඔබ තුමන් මේ සම්පත් ලද්දී මා නිසා ය යි සිතා සිනාසුනෙමි’ යි කීවා ය. ‘මොනවා කියහි, මාගේ පියා ඔහු සතු දේපල මට පවරා දුන්නේ ය, තී මෙහි ලා කුමක් කෙළෙහි?’ යි ඝෝෂකයා ඇසූ විට, ‘ඔබ වහන්සේගේ පියා ඔබ මරවන්නට නො කළ උපක්‍රමයක් නැත, අන්තිමේ දී ඔබ, මරා සඟවන්නට කියා, ලියුමක් ලියා, ඔබ ඇඳි රෙද්දේ කොණක බැඳ, භෝග ගම් රැක බලන මුදලි තැනට දෙන්නැ යි කියා ඔබ එහි පිටත් කර හැරියේ ය, එහි යද්දී ඔබ නවාතැනට අප ගෙට පැමිණියෙහි ය, රෙදි කොණේ බැඳ තුබූ ඒ ලියුම, මම නිදාගත් ඔබට නො දැනෙන්ට ලිහා ගෙණ කියවා බලා ඉරා දමා, ඔබට මා භාර්‍ය්‍යා කොට දී හැම දෙයක් ම සලසා දෙන ලෙස අන් ලියුමක් ලියා, රෙදි කොණ බැඳ තැබීමි, ඔබ ඒ ලියුම මුදලිතැනට ගෙන ගොස් දී මේ හැම සැපතක් ලැබූයෙහි ය’ යි සිටුභාර්‍ය්‍යාව කිවු ය. ඝෝෂක ඒ නො පිළිගෙණ, කාලිය අතින් ‘මෑ කියන්න ඇත්ත දැ?’ යි ඇසී ය. ‘සිටුතුමනි! ඔබ ආර්‍ය්‍යාව කීවා ඇත්ත ය, එහි එකෙකුත් බොරු නො වේ, සිටුතුමන්ගේ, මිය ගිය පුතු, උපන්දා සිට ඔබ මරන්නට ම ඔහු උත්සාහ කෙළේ ය, එහෙත් ඒ සියල්ල වැරදී ගියේ ය, ඒ පිණිස වියදම් කළ මුදල ද ටික නො වේ, දහස් ගණනෙකි ඒ, මම ම, පියාගේ අණින්, ඔබ ගෙණ ගොස් මැරෙන්නට අමු සොහොන් ඇති කිහිප තැනෙක අත් හැර දමා ආමි, එහෙත් ඒ හැම තැනේදී ම, ඔබ රැකුනෙහි ය, මේ ලෙසින් සත් තැනෙකදී ම මරණින් ගැලවුනෙහි ය, අන්තිමේදී ඔබට පිහිටවූවා ඔබ ආර්‍ය්‍යාව ය, ආර්‍ය්‍යාව කීවා ඇත්ත ය’ යි. කාලිය සියලු තොරතුරු කිවූ ය. ඝෝෂක ඒ අසා ‘මා කළ වැඩේ ඉතා බැරෑරුම් ය, මෙසේ මරණයෙන් මිදුනු මට ප්‍රමත්තජීවිතය නො සුදුසු ය, අප්‍රමත්ත වෙමි’ යි සිතා දවස් පතා දහස බැගින් වියදම් කොට අඳ ගොළු බිහිරි දුගී මගී යදියනට දන්වැට තැබී ය. මිත්‍රකෙළෙඹි තෙමේ ඒ කටයුතු යොදා දුන්නේ ය,

ඝෝෂක උත්පත්ති කථාව ය.

……

මෙ දවස දඹදිව භද්‍රවතී නම් නුවරක් වූයේය. එහි සිටු තෙමේ භද්දවතිය නම් ය. භද්‍රවතී නුවරැ වැසි වෙළෙන්දෝ වෙළඳාම් පිණිස කොසඹෑනුවරට යති. කොසඹෑනුවරැ වැසි වෙළෙන්දෝ වෙළඳාම් පිණිස භද්‍රවතී නුවරට යති. කොසඹෑනුවරැ වැසි ඝෝසිත සිටු තෙමේ භද්‍රවති නුවර සිට ආ වෙළඳුන්ගෙන් භද්දවතිය සිටුගේ සම්පත් වයස් ඈ තොරතුරු අසා ඔහු හා යහළුබව කැමැති ව ඒ වෙළඳුන් අතම භද්දවතිය සිටුහට තෑගි බෝග යැවූයේ ය. භද්දවතිය සිටු තෙමේ කොසඹෑනුවරින් ආ වෙළඳුන්ගෙන් කොසඹෑනුවර සිටුගේ සම්පත් වයස් ඈ තොරතුරු අසා ඔහු හා යහළු වන්නට සිතා, ඒ වෙළඳුන් අතැ ම තෑගි බෝග යැවූයේ ය. මෙසේ ඔවුහු, උනුන් නො දැක ම, ඇති කර ගත් යහළුකම් ඇත්තෝ වූහ.

පසු දවසක, භද්දවතිය සිටුගෙදරැ අහිවාතක නම් රෝගයෙක් හට ගැණුනේ ය. එය ඉතා බිහිසුණු ය. ඒ රෝගයෙන් මුලින් ම මැරෙන්නෝ ගෙයි ඉන්නා මැස්සෝ ය. අනතුරු ව පිළිවෙළින් මී, කුකුළු, ඌරු, ගෙරිසරක්, දැසි දස් ආදීහු මැරෙති. එහි ඉන්නා සියලු කුඩා සතුන් මැරී ගිය පසු ය ගෙයි වැසි මිනිස්සු මැරෙන්නෝ. මේ රෝගය හටගත් විට, යම් කෙනෙක් ගෙයි මැද බිත්තිය බිඳ ගෙයින් පිට වී යත් ද, නො මැරී ඉතිරි වන්නෝ ඔවුහු පමණක් ම වෙති. භද්දවතිය සිටු තෙමේ මෙ ය දන්නේ ය. එහෙයින් ඔහු, රෝගය හට ගෙණ ගෙයි හුන් කුඩා සතුන් මැරී යනු දැක, අඹුව හා දුවත් ගෙණ, ගෙයි බිත්තිය බිඳ මග වියදම් ටිකක් ද ඇති ව ගෙයින් පිට වී, සොසිතසිටු ගැණ සිහි කොට කොසඹෑනුවරට යන්නට මගට බැස්සේ ය. මගට බැස යත්, අතැ තුබූ ඒ මගවියදම් සියල්ල අවසන් විය. ඔවුහු අවුසුළන් සාපිපාසායෙන් තදින් පෙළෙන්නට වූහ. ඉතා දුකින් කොසඹෑනුවරට පැමිණ, අසල තුබූ පොකුණක දිය නාලා නුවරදොරකඩැ තුබූ අම්බලමකට ඇතුල් ව හුන්හ.

ඉක්බිති සිටු තෙමේ අඹු ව අමතා, ‘සොඳුර! සිටු හමුවන්නට මේ ලෙසට නො යා හැකි ය, දැන් අපගේ තතු, වැදූ මවගේ ද සිත් නො ගණි යි, අර දොරකඩැ දන්හල් පවත්වන්නේ මා යහළු සිටු තුමා ය, ඔහු එහි දවසකට දහස බැගින් වියදම් කොට, එන හැම යදියනට ම කෑම් බීම් දෙන්නේ ය, ඒ නිසා අප දුව එහි යවා, කෑම් බීම මොකුත් ගෙන්වා ගෙණ කා බී, මෙහි දවස් කිහිපයක් හිඳ සිරුරුවෙහෙස සන්සිඳවා ගෙණ සිටු හමුවන්නට යමු’ යි කීයේ ය. ඈ ‘ඒ යහපතැ’ යි කිවු ය. එදා ඔවුහු අම්බලමෙහි ම විසූහ. පසුදා ගෙඩිය ගසා කල් දැන් වූ විට, නන් දෙසින් අවුත් සිටි යාචකයෝ එහි ඇදී ගියහ. ඒ දුටු මහදෙන්නා දුවට කතා කොට, ‘දූ! උඹත් අර පෙනෙන දොරදන්පලට ගොස්, කැම් බිම් මොකුත් ගෙණ වරෙන්’ යි කියා තැටියකුත් දී දුව පිටත් කොට යැවූහ.

උපභෝග පරිභෝග සම්පත්තියෙන් කිසිත් අඩුවක් නැති මහා කුලයක උපන් මේ දැරිය, විපතට වැටීමෙන් යටව ගිය විළිබිය ඇත්තී, තැටියත් ගෙණ, හිඟන්නන් අතරට වැටී, දොරදන්පලට ගියා ය. කෑම් බීම් බෙදා කොටස් කොට දෙන්නෝ ‘දැරිය! උඹට කොටස් කීයක් වුවමනාදැ?’ යි ඇසූහ. ඕ තොමෝ විළිබිය හැර කොටස් තුනක් වුවමනාය’ යි කිවු ය. ඔවුහු කොටස් තුනක් දුන්හ. ඈ එය ගෙණ ගොස් මවුපියන් ගේ ඉදිරියෙහි තැබූ ය. තිදෙන ම ඒ කන්නට වාඩි වූහ. ඒ අතර මවු තොමෝ ‘හිමිය! වැරදීම, විපත, කාටත් සිදු වේ, එය වන්නේ අපට පමණක් නො වේ, ඒ නිසා ඒ ගැණ නො සිතා මේ බත් ටික ඔබ ම කන්න! ඔබ ජීවත් වූ කලය අපට ජීවත් විය හැකි, ඔබ නැසුනොත් අපේ නැසීමත් ඒ ය, ඒ නිසා මේ බත් ටික කන්නැ’ යි අවිටිලි කළා ය. දුවත් අම්මා කී සේ කියා කන්නට ම බල කළා ය. අන්තිමේ දී සිටු තෙමේ ඒ බත් සියල්ල කෑයේ දිරවා ගත නො හී පාන් වත් ම කලුරිය කෙළේ ය. ඔවුහු දෙ දෙන හඬා වැලප සිරුර දැවූහ. පසුදා සිටුදුව අහර ගෙණෙන්නට දන්පලට ගියා, කොටස් දෙකක් ඉල්ලා ගෙණ අවුත් ඒ කොටස් දෙක ම මවට අනුභව කරවු ය. මවු ද එය කා දිරවා ගත නො හැකි වූවා, එදා ම මිය ගියා ය. සිටුදුව එකලා වූවා, මවුපියන්ගේ මරණයෙන් හා බඩගින්නෙත් තදින් පෙළුනා හිඟන්නන් හා එක් ව දන් පලට ගොස් එදා එක් කොටසක් ඉල්ලා සිටියා ය. මිත්‍ර කෙළෙඹි තෙමේ ඇය හැඳින ‘වසලිය! පිට වෙව! මෙ තැනින්, අද ද ඒ තීගේ බඩෙහි පමණ දත්තෙහි, මෙතෙක් දවස් බත් කොටස් දෙක තුන බැගින් ගත්තා, පල! මෙ තැනින්’ යි තරවටු කෙළේ ය. විළිබියැති ඇයට කෙළෙඹියාගේ මේ වචන, ලයැ ඇණුනු සැත් පහරක් සේ ද, වණයෙහි ඉසින ලද කාරම් දියක් සේ ද විය. එහෙයින් ඕ තොමෝ ‘මහතානෙනි! එසේ කියනු කිමැ’ යි ඇසූ ය. ‘තී පෙරේදා බත් කොටස් තුනක් ගත්තෙහි, ඊයේ කොටස් දෙකක් ගත්තෙහි ය, අද ගත්තෙහි එක් කොටසෙක, එයින් පෙණෙන්නේ බඩෙහි පමණ දන්නා ලද්දේ අද බවැ’ යි කෙළෙඹියා කී විට ‘මහත්මයානෙනි! එසේ නො සිතනු මැනැවි, බත් කොටස් තුනක් ගන්නා ලද්දේ තනි මාගේ ප්‍රයෝජනයට නො වේ, මුල් දවසේ බත් කෑමට අපි තිදෙනෙක් සිටියෙමු, ඊයේ අපි දෙදෙනෙකි, අද මම පමණ මි’ යි ඕ තොමෝ කිවු ය. එවිට ‘ඇයි එසේ වූයේ’ යි ඔහු ඇසී ය. ඕ තොමෝ සිදු වූ සියලු තොරතුරු කෙළෙඹියාට නො සඟවා කීවා ය. ඔහු ඒ අසා දුකට පැමිණියේ ‘දුව! දුක් නො ගන්න, එදාය භද්දවතිය සිටුගේ දූ වූවා, අද සිට මාගේ දූ ය’ යි කියා ලඟට ඇද ගෙණ හිස සිඹ ගෙට කැඳවා ගෙන ගොස් තම වැඩි මහල් දූ කොට ගත්තේ ය. ඉන් පසු දිනෙක ඕ තොමෝ දන්සැලෙහි කෑ කෝ ගැසීම් අසා, ‘පියානෙනි! මෙහි දන් ගන්නට එන්නවුන් නිහඬවූවන් කොට, දන් දෙනු නො හැකි දැ යි ඇසූ ය. ‘නො හැකි ය’ යි කෙළෙඹියා කී විට ‘ඇයි, පියානෙනි! කරණු හැකි ය, දන්හල වට කොට වැටක් තරව සිටින සේ බැඳ, එකෙකාට ඇතුල්වීමට හැකි ලෙසට දොරටු දෙකක් සාදා, එක් දොරටුවකින් ඇතුළට ගෙණ කෑම් බීම් දී අනික් දොරටුවෙන් බැහැර කරනු මැනැව, එවිට හැමදෙනා නිහඬ ව කෑ කෝ නො ගසා අහර ගෙණ නික්ම යනු ඇතැ’ යි කිවු ය. ඔහු ‘ඒ යහපතැ’ යි ගෙණ එසේ කර වී ය. සාමා නම් වූ ඒ සිටුදුව, එහි වැට කර වූ තැන් සිට සාමාවතී නම් වූ ය.

දන්හලෙහි ද කෑ කෝ ගැසීම් මුළුමනින් සිඳී ගියේ ය. ඝෝසිතසිටු, තම දන්හලෙහි දන් ගන්නන් ගේ කෑ කෝ ගැසීම් අසා ‘මාගේ දන්හලෙහි කෑ කෝ ගැසීම් ය’ යි සිතා සතුටු වේ. දෙතුන් දිනක් එ හඬ නො ඇසුනු බැවින්. ඔහු එහි ආ කෙළෙඹියාගෙන් ‘දැන් දන් නො දේදැ’ යි ඇසීය. ‘ඇයි, ස්වාමීනි! එසේ අසනු? දැනුත් දිනපතා ම පෙර සේ දන් දෙනු ලැබේ ය’ යි කී විට ‘දෙතුන් දිනක් ම දන්හලෙහි කිසිත් හඬෙක් කෑ කෝ ගැසුමෙක් නො ඇසුණේ ය, වෙන දා දන් දෙන විට ඉවසන්නට නො හැකි තරමට එහි කෑ කෝ ගැසීම් බොහෝ ය, ඇයි, දැන් එසේ නැත්තේ’ යි සිටු තෙමේ ඇසී ය. ‘මම ඔවුනට නිශ්ශබ්දව දන් ගැණුමට පිළිවෙළක් යෙදීමි’ යි කෙළඹියා කීයේ ය. ‘ඇයි, මුලදී ම ඒ නො කෙළෙහි’ යි ඇසූ විට ‘එදා ඒ ගැණ දැනුමක් මට නො තිබිනැ’ යි කී ය. ‘එදා නො වූ දැනුමෙක් අද කොයින් වී දැ?’ යි සිටු තෙමේ ඇසී ය ‘මාගේ දුවනිය එය මට කියා දෙන ලදැ’ යි කී විට ‘මා නො දන්නා දුවක් තට කොයින් දැ’ යි ඇසී ය. ඉක්බිති කෙළෙඹි තෙමේ භද්දවතිය සිටු අහිවාතකරෝගය නිසා ගෙය අත්හැර ආ තැන් පටන් ඔවුන් පිළිබඳ සියලු තොරතුරු කියා ඔහුගේ දුව තමන් දූ කොට ගත් බව කියා සිටියේ ය. ‘ඇයි, මෙතෙක් දවස් එය මට නො කීයෙහි ද, භද්දවතියසිටු, මාගේ හොඳ ම යාළුවා, ඇය අයිති මට, ඈ මාගේ දූ, මෙහි කැඳවා ගෙණ එන්නැ’ යි සිටු තෙමේ කීයේ ය. කෙළෙඹියා ගෙට ගොස් සාමාවතිය කැඳවා ගෙණ ආයේ ය. එවිට සිටු තෙමේ ‘දුව! නුඹ කාගේ දූ දැ’ යි ඇසුයේ ය. ‘ මම භද්දවතිය සිටුගේ දූ ය’ යි ඇය කී කල්හි සිටු තෙමේ ‘දුව! නුඹ මෙ තැන් සිට මාගේ දූ, අමුත්තක් නො සිතා සිතට නො ගෙණ මෙහි ඉන්න! උඹ ගේ සියලු සැපදුක් සොයන්නේ මම, වුවමනා හැම දෙයක් මට කියන්න, හැම දෙයක් මම කරමි’ යි ඇය ලඟට ගෙණ හිස සිඹ සනසා ඇයට මෙහෙවර කරණු පිණිස ගෑණුන් පන් සියයක් පාවා දී තම වැඩි මහල් දූ කොට ගත්තේ ය.

දිනෙක එ නුවර නැකත්කෙළියක් විය. අන් දවස්හි ගේ දොරින් කො තැනත් නො යන කුලකාන්තාවෝ ඒ නැකත් දිනයෙහි සිය පිරිවරත් කැටුව පාගමනින් ම ගංතොටුපොලවලට ගොස් ස්නානය කරති. එදා සාමාවතී තොමෝ ද සිය මෙහෙවර කරණ ගෑණුන් හා එක් ව නාන්නට ගංතොටට ගියා ය. ගියා ද රජගේ අසල මගිනි. උදේන රජ තෙමේ උඩුමහලැ සී මැදුරු කවුළුව ලඟ සිට නුවර දෙස බලා සිටියේ, ඈලා දැක ‘මේ නිළියෝ කවුරුන් වෙත ඉන්නෝ දැ’ යි ඇමතියන්ගෙන් ඇසී ය. ‘දේවයන් වහන්ස! මෑලා නිළියෝ නො වෙති, ඝෝසිත සිටානන්ගේ දූ වූ සාමාවතිය හා ඇයගේ මෙහෙවර කරණ පන්සියයක් ගෑණුය’ යි උන් කී විට, සාමාවතිය දැකීමෙන් හටගත් ස්නේහය ඇති රජ තෙමේ,

කොසඹෑනුවර උදේනරජමැදුරේ දී ය.

සිටාන!

-

ඔබගේ දූ මාගේ අගබිසෝ තනතුරෙහි තැබීමට මම අදහස් කරගත්තා. එ බැවින් අද හෙට ම ඇය මෙහි එවිය යුතු බව මෙයින් නිවේදනය කරණු ලැබේ.

-

ඒ වගත් මෙසේ දන්වන්නේ,

උදේනරජතුමා ය.

යි මෙසේ ලියා ඝෝසිත සිටානන් වෙත යැවී ය. ලියුම කඩා බැලූ ඝෝසිත සිටු තෙමේ,

කොසඹෑනුවර ඝෝසිත සිටුගෙදර දී ය.

ඉතා යටත් ව ලියමි,

දේවයන් වහන්ස!

-

දේවයන් වහන්ගේ ඉල්ලීම ඉටු කරන්නට නො හැකි බව මා දන්වනු ලබන්නේ ඉතා යටත්ව ය.

-

මෙයට, ඔබගේ කීකරු, මෙහෙකරු,

ඝෝසිත.

යි ලියා එයට පිළිතුරු යැවී ය. රජ තෙමේ ලියුම බලා,

කොසඹෑනුවර උදේනරජමැදුරේ දී ය.

සිටාන!

-

මාගේ ඉල්ලීම ඉටු නො කිරීම තට හිත පිණිස නො වේ. එහෙයින් එය ඉටු කළ යුතුම ය. සාමාවතිය කල් නො යවාම මෙහි එවිය යුතු බව මෙයින් ද දන්වනු ලැබේ.

-

ඒ වගත් මෙසේ දන්වන්නේ,

උදේන රජතුමා ය.

යි මේ ලියුම ඝෝසිත සිටානන් වෙත යැවී ය. ඝෝසිත සිටු තෙමේ මෙය බලා එයට පිළිතුරු විසින් මෙසේ ලියා යැවී ය.

කොසඹෑනුවර ඝෝෂිත සිටුගෙදර දී ය.

ඉතා යටත්ව ලියමි.

දේවයන් වහන්ස!

-

දේවයන් වහන්සේ දෙවන වර එවා වදාළ ලියුමට ද පිළිතුරු වශයෙන් දැන්විය යුත්තේ මා දූ නො එවිය හැකි බවම ය. තවද අපි ගැහැවියෝ වම්හ. රජ දරුවෝ අපගේ දැරියන්ට වෙසෙ දී කතා කරති. එයට අපි බිය ඇත්තෝ වෙමු. මෙයට කමා කරණ සේක්වා යි.

-

මෙයට,

ඔබගේ කීකරු, මෙහෙකරු,

ඝෝසිත.

මෙයින් කෝපයට පත් රජ තෙමේ සිටු ගෙට ගොස් සිටානන් හා සිටු භාර්‍ය්‍යාව අතින් ඇද ගෙණ ගෙයින් පන්නා හැර ගෙයි දොර ජනෙල් වසා සීල් තබා ආයේ ය. දිය නාලා පෙරළා පැමිණි සාමාචතී තොමෝ ගෙයින් පිටත සිටි පියා දැක ‘පියානෙනි! මේ කිමැ’ යි ඇසූ ය. ‘දුව! නුඹ රජ මැදුරට එවන්නැ “යි කියා රජ තෙමේ මට ලියුම් දෙකක් එවී ය, ඒ දෙකට ම ඒ නො කළැකි යි මම ලියා යැවීමි, එයින් ඇවිසුනු රජ තෙමේ මෙහි අවුත් අප ගෙයින් එලියට ඇද දමා ගේ සීල් තබා ගියේ ය’ යි සිටානන් කී විට ‘ඔබ තුමන් දන්වා යැවූ සැටි හොඳ මදි ය, තරමක් එය බැරෑරුම් ය, දන්වා යැවිය යුතුව තුබුනේ, පිරිවර ගෑණුත් සමග ගන්නහු නම් එවිය හැකි බව ය’ යි ඕතොමෝ කිවු ය. ‘දුව! නුඹ කැමැති නම් මම් එසේ කරමි’ යි කියා සිටු තෙමේ සාමාවතී කී ලෙසින් රජුට දන්වා යැවී ය. රජ තෙමේ සාමාවතිය පිරිවර ගෑණුන් හා ගෙවා අභිෂික්ත කොට සිය අග මෙහෙසිය කෙළේය. සෙසු ගෑණු සාමාවතියට ම පිරිවර කොට දුන්නේ ය.

මේ සාමාවතියගේ උත්පත්තිකථාව යි.

……

උදේන රජුට ‘වාසුලදත්තා’ යි තවත් අන් බිසවක් වූ ය. ඕ තොමෝ චණ්ඩපජ්ජෝත රජුගේ දූ ය. චණ්ඩපජ්ජෝත තෙමේ රජය කළේ ද, උදේන නුවරෙහි ම ය. ඔහු දිනක් උයන් ගොස් එන්නේ, තමන්ගේ සම්පත් සිහි කොට, ‘මෙබඳු මහත් සැපතක් අන් කවරකුට වේ දැ’ යි කීයේ ය. එහි සිටි මිනිසුන් ‘ඔබ වහන්සේන්ගේ මේ සැපත, උදේන රජුන්ගේ සැපතට මොන ලෙසකිනුත් ලං විය නො හැකි ය, උදේන රජුගේ සැපත ම ඉතා මහත් ය’ යි කී විට ‘එසේ නම් ඔහු අල්ලා ගණිමු’ යි කී ය. ‘දේවයන් වහන්ස! ඔහු අල්ලා ගනු නො කළැකි ය, ඔහු හස්තික්‍රාන්ත නම් පුදුම ශිල්පයක් දනී, හස්තික්‍රාන්ත මන්ත්‍රය කියා, හස්තික්‍රාන්ත වීණා ව වයා ඔහු සමහර විටෙක ඇතුන් පන්නා හරි යි, සමහර විටෙක ඇතුන් ගෙන්වා ගණි යි, ඔහු තරම් ඇත් වාහන ඇත්තෙක් ඒ අතින් බලවතෙක් මේ රටේ කො තැනත් නැත, එහෙයින් ඔහු අලා ගණු පහසු නැතැ’ යි රාජ පුරුෂයෝ කීහ. ‘ඒ කෙසේ වුවත් ඔහු අල්ලා ගත යුතු ම ය’ යි රජු කී කල්හි ඔවුහු ‘දේවයන් වහන්ස! ඔබ වහන්සේගේ අදහස ඕනෑකම ඔහු අල්ලා ගන්නට නම්, ලී දඬුවලින් ඇතකු සාදවා යන්ත්‍ර ද යොදා උදේන රජු ඉදිරියට ඒ දඬුමුවා ඇත යවනු මැනැවි, ඇත් වාහනයක් හෝ අස් වාහනයක් කො තරම් ඈත සිටිය ද, ඔහු ගොස් අල්ලා ගණු සිරිත ය, අප යවන මේ දඬුමුවා ඇතු, නියම ඇතෙකැ යි සිතා ඔහු මේ දඬුමුවා ඇතු අල්ලන්නට එන්නේ ය, ඒ ආවිට අපට උදේන රජු පණ පිටින් අල් ලා ගත හැකි ය’ යි කීහ. රජ තෙමේ ‘ඒ යහපතැ’ යි ඔවුන් කී ලෙසට දඬුමුවා ඇතකු සාදවා යන්ත්‍ර යොදා පිටත රෙදි ඔතා සිතුවම් කොට උදේනරජුගේ නුවර අසල එක්තරා විල් ඉවුරෙක තැබ්බ විය. දඬු ඇතුගේ බඩැතුළ සැටක් පුරුෂයෝ උදේන රජුගේ ඊම බලා හුන්හ. තැනැ තැනැ ඇත් ලඩ ද බැහූහ.

වනයේ හැසිරෙන මිනිහෙක් ඒ ඇතු දැක කරුණු නො විමසා ‘අපගේ රජුට සුදුසු ඇතෙකැ’ යි සිතට ගෙන වහා ගොස් ‘දේවයන් වහන්ස! සියලු සිරුර සුදු පැහැති කෙනෙක් කුළ වැනි මහ ඇත් රජෙක් මට මුණ ගැසුනේ ය, මෙයට කලින් මා එබඳු ඇතකු කවදාවත් දැක නැත, ඌ සුදුසු ඔබ වහන්සේට ම ය’ යි දන්වා සිටියේ ය. උදේනරජ ඌ අල්ලන්නට ඒ මිනිහා හා පිරිසත් ගෙණ ඇතකුට ම නැඟී නික්ම ගියේ ය. උදේන රජුන්ගේ පැමිණීම දත් චරපුරුෂයෝ වහා දුවගොස් එබව වණ්ඩපජ්ජොත රජුට දැන් වූහ. චණ්ඩපජ්ජෝත රජ වහා එහි ගොස් සිය පිරිස මග දෙපස රඳවා බලා සිටියේ ය. උදේනරජ මේ කිසිත් නො දැන ඇතු ලුහුබැන්දේ ය. මන්ත්‍ර කියා වීණා වාදනය කරණ විටත් ඇත් තෙමේ ඒ හඬට නතු නො වී දුවන්නට වන. උදේන අසකු පිට නැඟී ඇතු ලුහුබැන්දේ ය. ඇතු ලුහුබැඳ යන්නා වූ රජ දුටු බලසෙනඟ පසු බැස්සේ ය. රජ තෙමේ තනි විය. මගදෙපස රැක සිටියා වූ චණ්ඩපජ්ජෝතයන්ගේ පුරුෂයෝ උදේන රජු අල්ලා චණ්ඩපජ්ජෝතරජුට පාවා දුන්හ. ඉක්බිති උදේන රජුගේ පුරුෂයෝ තමන්ගේ රජු සතුරු රජු ගේ යටතට පත් වූ බව දැන පිටත කඳවුරු බැඳ බලා හුන්හ. චණ්ඩපජ්ජෝත තෙමේ උදේන රජු පණ පිටින් අල්ලා ගෙණ ගොස් සොරුන් ලන ගුහාවක බහා රැකවල් තබා තෙදිනක් ජයපානය කෙළේ ය. මේ අතර දිනෙක උදේන තෙමේ ‘තොපගේ රජු කොහි දැ’ යි මුරකරුවන් අතින් විවාළේ ය. ඔවුහු ‘සතුරු රජෙක් අල්ලා ගන්නා ලදැ’ යි කියා අප රජ තෙමේ ජයපානය කෙරේය’ යි කීහ. උදේන ඒ අසා ‘මේ මොන වැඩෙක් ද, මෙය ගෑණියකගේ වැඩක් වැනි වැඩක්, සතුරු රජකු අල්ලා ගත් විට ඔහු හැරිය හෝ නැසිය යුතු නො වේ ද, අල්ලා යටතට ගත්තහු දුකෙහි ලා කරණ ජයපානය කුමක් ද, එය නින්දිත’ යි කී ය. ඔවුන් ගොස් මේ උදේනයන් කියූ කතාව වණ්ඩපජ්ජොත රජුට දැන් වූ කල්හි ඔහු උදේන කරා ගොස් උන් හා මෙසේ කතාවට බැස්සේ ය.

චණ්ඩපජ්ජෝත

:-

තමුසේ මෙබඳු කතාවක් කළහු සැබෑ ද?

උදේන

:-

ඔව්, මම එසේ කීමි.

චණ්ඩපජ්ජෝත

:-

ඔබ, ලඟ මන්ත්‍රයක් තිබේය යි මා අසා තිබේ. එය ඇත්ත ද? එසේ නම්, එය මට දෙන්න, දෙන්නහු නම්, ඔබ නිදහස් කොට හරිමි.

උදේන

:-

දිය හැකි යි. ගන්නා විට ගත යුතු ලෙසට ගත යුතු ය. ඒ ගන්නා වේලේ ඔබ මට වඳින්නහු ද? වඳින්නහු නම් දිය හැකි යි.

චණ්ඩපජ්ජෝත

:-

මම ඔබට නො වඳිමි. මට ඒ කරණු නො හැකි ය.

උදේන

:-

මම ඔබට මන්ත්‍රය නො දෙමි.

චණ්ඩපජ්ජෝත

:-

මම තට රජ අණ කරමි.

උදේන

:-

කරන්න, ඔබ මාගේ මේ සිරුරට අධිපති වහු, සිතට අධිපති නො වහු.

චණ්ඩපජ්ජෝත රජ තෙමේ උදේන රජුගේ මේ ශූරගර්‍ජනාව නිර්‍භය කථාව අසා ‘මෙය කෙසේ ගණිම් දැ’ යි සිතන්නේ ‘අනිකකු ලවා මෙය ගැන්වීම නො සුදුසු ය, මා දුව ලවා, ගන්වා ඇගෙන් මම උගණිමි’ යි සිතී ය. එසේ සිතා ‘ඔබට වඳින කාහටවුවත් මෙය උගන් වන්නහු දැ’ යි ඇසුයේ ය. ‘ඔව්, කාටවුවත් මට කම් නැත, මට වඳින එකකුට උගන්වමි’ යි උදේන කීයේ ය. අප රජ මැදුරෙහි එක් කුදියක් ඇත, මෙහි තිරයක් ඇද ඇය තිරය ඇතුළෙහි හිඳුවමි, ඔබ තිරයෙන් පිටතැ හිඳ ඇයට ඇසෙන්නට මන්ත්‍රය කියවු, එවිට ඇය මන්ත්‍රය ඉගෙන ගනු ඇතැ’ යි කීවිට ‘කුදියක් හෝ වේවා, පිළියක් හෝ වේවා, මට ඉන් කම් නැත, මා වඳින්නියකට මන්ත්‍රය උගන්වමි’ යි උදේන කී ය. ඉක්බිති රජ තෙමේ රජ මැදුරට වහා ගොස්, වාසුලදත්තාව ලඟට ගෙන්වා ‘දුව! ශ්වේත කුෂ්ඨය ඇඟේ පැතිර ගත් එක් මිනිහෙක් වටිනා මන්ත්‍රයක් දනි යි, එය අනෙකකුට ඉගෙන ගත නො හැකි ය, නුඹ අර තිරයතුළ හිඳ ගණිත්, ඌ තිරයෙන් පිටතැ සිට නුඹට ඇසෙන්නට මන්ත්‍රය කියනු ඇත. එවිට නුඹ එය ඉගෙණ ගණින්, ඉන් පසු නුඹගෙන් මම ඉගෙණ ගන්නෙමි’ යි කීයේ ය. රජ තෙමේ උනුන් අනුරාගයෙන් බැඳී සන්ථවය කරණු ඇත යන බියෙන් දුව කුදියක කොටත්, උදේන රජු කුෂ්ඨ ඇත්තකු කොටත් මෙසේ උන්ට කීයේ ය.

උදේන රජ තෙමේ තිරයෙන් පිටැත සිට තිරය තුළ හුන් වාසුලදත්තාවට ඇසෙන්නට මන්ත්‍රය කිහිප වරක් කීයේ ය. එහෙත් වාසුලදත්තාවට එය හරිහැටි නො කියැවෙන්නේ ය. එවිට ‘බොල! කුදිය! තීගේ තොල් ඉතා ඝන ය, කොපුල් ද එසේ ය, මේ මෙසේ කියාවා’ යි උදේන තෙමේ කී ය. ඉන් කිපුනු වාසුලදත්තාව ‘බොල! කුෂ්ඨී පුරුෂය! තෝ කුමක් කියහි, මා වැන්නෝ කුදියෝ, තෝ?’ යි ඇසූ ය. එවිට උදේන, කඩතුරා කොණ ඔසොවා බලා, ‘තී කවර තැනැත්තියක් දැ’ යි ඇසී ය. ‘මම චණ්ඩපජ්ජෝත රජුගේ දූ වාසුලදත්තාවය’ යි කී විට ‘තීගේ පියා තී කුදියක කොට කීමි’ යි කීයේ ය. වාසුලදත්තාව ඒ අස මගේ පියා මට කියු යේ තා කුෂ්ඨ ඇත්තකු කොට ය’ යි කිවු ය. ඉන් පසු ඒ දෙදෙන උනුන් කෙරෙහි බැඳුනු ආලය ඇත්තෝ එ තැනදී ම අඹු සැමියන් සේ කාම සන්ථවය කළෝ ය. එ තැන් සිට මන්ත්‍ර උගැන්මෙක් නො වී ය. ‘මන්ත්‍ර උගණිවු දැ’ යි ඇසූ හැම වරක ම වාසුලදත්තාව ‘මන්ත්‍ර උගණිමි’ යි කියයි.

මේ අතර දිනක උදේන රජ තෙමේ ඇයට ‘සොඳුර! ස්වාමි පුත්‍රයකු විසින් කළ හැකි වැඩ, කළ යුතු වැඩ මවුපියනට, සහෝදරයනට, සහෝදරියනට කරන්නට පිළිවන් කමෙක් නැත, මා කියනු අසන්න! මා මෙයින් නිදහස් කරන්නෙහි නම්, තී මාගේ අගබිසොව කරන්නෙමි, ස්ත්‍රීන් පන්සියයක් පිරිවර කොට දෙන්නෙමි’ යි කීයේ ය. ‘හොඳයි, තමුන්නාන්සේ එසේ කරන්නහු නම් මම නුඹ වහන්සේ මෙයින් මුදා හරිමි’ යි ඈ කී කල්හි ‘සොඳුර! කුමක් කියහි, මාගේ කතාවෙහි කිසිත් වෙනසෙක් නො වේ, තී ය මාගේ පණ, ඔබ අග බිසොව කරන්නෙමි, හැම සැපත් දෙන්නෙමි’ යි උදේන කී ය. වාසුලදත්තාව පිය රජු වෙත ගොස් වැඳ සිටියා ය. එහිදී ‘දුව! සිප් උගෙණ නිමවන ලද දැ’ යි ඇසූ විට, ‘පියාන! මන්ත්‍රයට උපචාර පිණිස, මහ රෑ තරුඵලියෙන් බෙහෙතක් සොයා ගත යුතුව තිබේ, එය වේලාව බලා හිඳ සොයා ගත නො හැකි ය, වේලාවෙහි වේවා, අවේලාවෙහි වේවා, වේලාව නො බලා ඒ පිණිස කෙතැනක මුත් යා යුතු ය, එයට ඉඩ පහසු ඇති විය යුතු ය, එහෙයින් දොරගුලු නො දැමු දොර කඩක් හා වේගයෙන් යා හැකි වාහනයකුත් අපට වුවමනා ය’ යි ඕ තොමෝ කිවූ ය. රජ තෙමේ ද එය සැබෑවෙකැ යි පිළිගෙණ, එක් දොරක දොරගුලු නො දමන ලෙස නියම කෙළේ ය. එක් දවසට පණස් යොදුන් දුර යන භද්දවතී නම් ඇතින්න ය, සැට යොදුන් දුර යන කාක නම් දාසය, සියක් යොදුන් දුර යන වෙලකණ්ඨි-මුඤ්ජකෙසී නම් දෙ අසුන්ය, එක් සිය විසි යොදුන් දුර යන නාලාගිරි ඇත් ය යන මේ වාහන පස ඒ රජුට අයත් වාහන විය. දුවට භද්දවතී නම් වාහනය දුන්නේ ය.

මේ රජ තෙමේ, අබුද්ධෝත්පාද කාලයෙක එක් බලවතකුට උවැටැන් කරන්නෙක් වූයේ ය. දවසෙක, මේ බලවත් තෙමේ, නුවරින් පිටතට ගොස්, දිය නා එන්නේ ය. එ දවස එක් පසේ බුදුවරයෙක් නුවර පිඬු සිඟා ගියේ ද, නුවර වැස්සන් මරු වැහී සිටි බැවින් උන්ගෙන් එක් බත් උළකුදු නො ලැබ, සිස් පාත්‍රය ගෙණ, නුවර දොරට වැඩියේ ය. එවිට, මාර තෙමේ අන් වෙසක් ගෙණ, උන්වහන්සේට ලං ව ‘ස්වාමීනි! මොකුත් ලද දැ’ යි ඇසී ය. ‘කිමෙක් ද තෝ ලබන ලෙසක් කෙළෙහි දැ’ යි උන්වහන්සේ ඇසූහ. ‘ස්වාමීනි! එසේ නම්, ආපසු එහි වඩිනු මැනැවි, ලබන ලෙසක් කරමි’ යි මාරයා කී විට, ‘මම නැවැත එහි නො යමි’ යි කීහ. මරුගේ මේ බස් ගෙන, උන්වහන්සේ පෙරළා එහි වැඩි සේක් නම්, මාර තෙමේ, නුවර වැස්සන්ගේ සිරුරෙහි වැහී, අත්ලෙහි අත්ල ගසා සිනාසෙන්නේ ය. නුවරින් පිටතැ ගොස්, දිය නාලා එන අධිපති තෙමේ, බත් උළකුත් නො ලැබ, සිස් පය ගෙණ මගැ සිටි පසේ බුදුන් දැක වැඳැ ‘ස්වාමීනි! මොනවා හෝ ටික දෙයක්වත් නො ලද්දේ දැ’ යි ඇසූයේ ය. ‘නුවරැ හැසිර නික්මුණෙමි’ යි උන්වහන්සේ ඔහුට කීහ. ‘මා විසින් ඇසූ කරුණට කිසිත් නො වදාරා අනෙකක් ම වදාරන්නාහ, මොක ද මේ, කිසිවක් නො ලද්දේ දැ’ යි සිතා, පාත්‍රයට එබී බලා කිසිත් නැති බව දැක, ගෙයි ද බත් ඇති නැති බව නො දැන පාත්‍රය ගන්නට අපොහොසත් වූ ඔහු ‘ස්වාමීනි! මදක් වැඩ සිටිනු මැනැවැ’ යි වේගයෙන් ගෙට ගියේ, ‘බත් පිස නිමියේ දැ’ යි අසා ‘නිමියේ ය’ යි කී කල්හි, තම උපස්ථායකයාට අඬගා, තා තරම් වේගයෙන් යා හැක්කෙක් නැත, එහෙයින් වහා ගොස්, පසේ බුදු රජුන්ගේ පාත්‍රය ගෙණ එව’ යි කීයේ ය. ඔහු ද වහා ගොස්, පාත්‍රය ගෙණ ආයේ ය. අධිපති තෙමේ, තමන්ට පිළියෙළ කොට තුබූ භෝජනයෙන් පාත්‍රය පුරවා, ‘වහා ගොස්, මෙය, බුදුරජුන්ට පිළිගන්වා ලව, මම තට මෙයින් පින් දෙමි’ යි භෝජන පාත්‍රය උපස්ථායකයා අතට දුන්නේ ය. ඔහු වහා ගොස්, උන්වහන්සේට එය පිළිගන්වා, පසඟ පිහිටුවා වැඳ, ‘ස්වාමීනි! වළඳන වේලාව ඉතා ලංවූවා ය, එ හෙයින් මම ඉතාවේගයෙන් ගොස්, ඉතා වේගයෙන් ආයෙමි, ඉර අවරට යන්නට පෙර දන් වළඳනු මැනැවි, ස්වාමීනි! මේ පිනෙත් යොදුන් පණසක්, සැටක්, සියයක්, එක් සිය විස්සක් යන ඈලෙසින්, වේගයෙන් යන්නට හැකි වාහන, සසර දී මට ලැබේවා, එහා මෙහා ආ ගිය මාගේ සිරුර අව්වෙන් දැවී ගියේ ය, එහෙයින් උපනුපන් හැම තැන දී මාගේ අණ, හිරුගේ තෙද වැනි වේවා, මේ පිණ්ඩපාත දානයේ පින් මාගේ ස්වාමියා විසින් මටත් පමුණුවන ලද්දේ ය, එ හෙයින් නුඹ වහන්සේ දත් ධර්‍මයට, මමත් කොටස් කරුවෙක් වෙම්වා’ යි කියා සිටියේ ය. එවිට බුදුරජානන් වහන්සේ;

“ඉස්නා ලද පැතූ - හැම දේ සමිජි වේවා,

පණුරැසි සඳෙව් සියලූ - සකප්හූ සපිරෙත්වා,

ඉස්නා ලද පැතූ - හැම වහා ඉජි වේවා,

මිණිදෝරසෙව් සියලූ - සකප්හු සපිරෙත්වා”

යි අනුමෙවෙනි බණ වදාළ සේක. මේ වනාහි පසේබුදු රජුන්ගේ අනුමෝදනාගාථා ය. මේ චණ්ඩපජ්ජෝත රජුගේ පෙර සිරිත ය. පෙර කියූ කම්බෙලෙන් ඔහුට මේ වාහන පස ලැබුනේ ය. මේ අතර දවසෙක චණ්ඩපජ්ජෝත තෙමේ, උයන් කෙළියට ගියේ ය. මෙ දින උදේන තෙමේ, ‘අද පලා යා යුතු ය’ යි එහි තුබූ ඉතා මහත් වූ ලොකු සම්පසුම්බි, හැමෙකක් කහවණුයෙන් හා රන් රුවනින් පුරවා ඒ හැම භද්දවතී නම් ඇතිනිය පිට නංවා, වාසුලදත්තාවත් ගෙණ එ තැනින් පැන ගියේ ය. ඇතුල් පුර රක්නෝ, එසේ යන්නවුන් දැක, වහා ගොස් රජුට දැන් වූහ. රජ තෙමේ, ‘වහා යවු, අල්ලා ගෙණ එවු’ යි මහත් සේනාවක් යැවී ය. උදේන තෙමේ, සෙනාව තමන් පසු පස ලුහු බැඳ එන බව දැක, කඩිමුඩියේ කහවණු මල්ලක් ලිහා බිම හෙලූයේ ය. ලුහුබැඳ ආ මිනිස්සු, කහවණු කෙරෙහි වූ ලෝභයෙන් එ තැන නතර ව කහවණු ඇහිඳ, නැවැත දුවන්නට වූහ. එවිට, උදේන, රන්මිල පුරවා තුබූ මල්ලක් ලිහා බිම හෙලී ය. මිනිස්සු, එ තැන නතර ව, රන්මිල එකතු කරන්නට වූහ. ඒ අතර උදේන තෙමේ, දුව ගොස්, නුවරින් පිටතැ පිහිටුවා තුබු තම කඳවුරට වැදුනේ ය. කඳවුරට වැදුනු උදේන රජු දුටු ඔහුගේ භට සේනාවෝ ඔහු වහා නුවරට ඇතුල් කළහ. එහි දී උදේන රජ තෙමේ, වාසුලදත්තාව අගබිසෝ තනතුරෙහි තැබී ය.

මේ වාසුලදත්තාවගේ උත්පත්තිය යි.

……

උදේනරජුට ‘මාගන්දියා’ නම් වූ තවත් අග බිසොවක් වූ ය. ඕ කුරුරට මාගන්දිය බ්‍රාහ්මණයාගේ දූ ය. මවු තොමෝත්, මාගන්දියා නම් ය. ‍මෑගේ සුලු පියාත්, මාගන්දිය නම් වූයේ ය. දැකුම්කලු රූ ඇති මාගන්දියා තොමෝ දෙවඟනක සේ වූ ය. මාගන්දියා, දීග දිය යුතු වයසට පැමිණි කල්හි පියබමුණු තෙමේ දුවට කැපෙන තරුණයකු සෙවීමෙහි යෙදුනේ ය. එහෙත්, ඔහු, දුවගේ වයසට, රුවට මහතට උසට කැපෙන තරුණයකු සොයා ගැණීමෙහි අපොහොසත් විය. නොයෙක් ගම් රටවල පිරිවර ඇති ඉසුරුමත් වූ මහත් කුලවලින් පැමිණ, ඉල්ලන ලද්දී ද, ‘තෙපි මාගේ දුවට, නො ද කැපෙන්නහු’ යි කියමින් ආ ආවුන් පිටත් කර හරියි. මෙ දවස බුදුරජානන් වහන්සේ මහකුළුණු සමවතින් නැගී ලොව බලා වදාළ සේක. එවිට, අනාගාමීඵලය ලැබීමෙහි තෙද ගැණී සිටි මාගන්දිය දෙමාල්ලෝ, උන්වහන්සේට පෙණී ගියහ. ඉක්බිති උන්වහන්සේ පා සිවුරු ගෙණ, කාහටත් නො දක්වා ගමෙන් පිටතැ ඔවුන් ගිනි පුදන තැනට වැඩි සේක. බ්‍රාහ්මණ තෙමේ උන්වහන්සේගේ රූප ශ්‍රීයෙන් අගතැන් පත් වූ ශ්‍රී දේහය බලා විස්මයට පැමිණ ‘මෙ වැනි පුරුෂයෝත් මෙලොව සිටිත් ද, අය්යෝ! මොහු වැන්නෙක් කො තැනින් ලැබිය හැකි ද, දුවගේ පිණ, මූ මාගේ දුවට කැපෙන පිරිමියා, මාගේ දුව මූට දිය යුතු ය’ යි සිතට ගෙන, බුදු රජුන්ගේ ඉදිරියට ගොස්, ‘ශ්‍රමණය! අසන්න! ඔය හිඟමන අත් හරින්න! මට යස දුවක් සිටියි, ඈ රූපයෙන් හා හැඩහුරුකමින් දෙවඟනක සේ ය, ඈ සුදුසු තමුන්නාන්සේට ම ය, තමුන්නාන්සේගේ ඔය රූසටහන් ඇගේ රූසටහන් සේ ය, තමුන්නාන්සේ ඈටත් ඈ තමුන්නාන්සේටත් හරියට ම හරිය, නො දැකිය හැකි අඹු සැමි යුවලෙක් ඈත් තමුන්නාන්සේත්, එ හෙයින් මම ඈ තමුන්නාන්සේට දෙන්නම්, දෙන්නාට දිවි තිබෙනතුරු දිචි ගෙන යෑමට සෑහෙන පමණටත් වඩා, දායාදත් දෙන්නම්, පොඩ්ඩක් මෙහි නවතින්න! මා ගෙට ගොස් එනතුරු, කො තැනකත් නො ගොස් මෙහි ම සිටින්නැ’ යි කියා වහා ගෙට ගියේ ය.

බුදුරජානන් වහන්සේ කිසිත් නො බැණ නිහඬව ම වැඩ සිටි සේක. බ්‍රාහ්මණ තෙමේ, ගෙට දුව ගොස්, ‘හා! හරි! මාගේ දුවට කැපෙන තරුණයකු සොයා ගතිමි, අඹු සැමි යුවල හරියට ම හරි, දුවට කැපෙන හොඳ පිරිමියා, ඌට මෑත්, මෑට ඌත් හොඳට ම හරි, සොඳුර! කෙල්ල සරසන්නැ’ යි දූ සරසවා ගෙණ අඹුවත් සමග බුදු රජුන් හමුවන්නට ගියේ ය. මුළු රට ම දෙදරා ගියේ ය. රට වැස්සෝ ‘මේ කිමැ’ යි ගල් ගැසී ගියහ. ඔවුහු ‘බමුණා මෙතෙක්, තම දුවට කැපෙන තරුණයෙක් නැතැ’ යි දුව කිසිවකුටත් පාවා නො දී සිට, අද දුවට කැපෙන පිරිමියෙක් ලදැ’ යි දූව සරසා ගෙණ දූ පාවා දෙන්නට යයි, දූ දෙන මේ තරුණයා අප විසින් ද බැලිය යුත්තෙකැ’ යි බමුණා සමග ම ගෙවලින් පිටත් ව ගියහ. බුදුරජානන් වහන්සේ බමුණා කී තැන නො සිට එහි සිරිපාලකුණ තබා, බමුණා එන්නට පෙරාතුව, එ තැනින් බැහැරට ගොස් අන් තැනෙක වැඩ සිටි සේක.

බුදුවරුන්ගේ සිරිපාලකුණ වනාහි, තමන් වහන්සේ ඉටා තැබූ තැනැ ම පෙණෙන්නේ ය. නැත, නො පෙණෙන්නේ ය. යමකු සඳහා එය තබන ලද්දේ නම්, ඒ ඔවුනට පෙණෙන්නේ ය, එය, නො පෙණෙනු පිණිස කිසිත් කරණු නො හැකි ය. සදෙව් ලොවැ කිසි කෙනෙක් එය මඩින්නට, පෙරළන්නට ගලවන්නට, යටපත් කරන්නට, වසන්නට පොහොසත් නො වෙති.

බැමිණි තොමෝ ‘කෝ ඔය කියන හැඩ ඇති තරුණයා?’ යි ඇසූ ය. ‘මා ගෙට යද්දී, ඔහු මෙ තැනැ සිටියා, පොඩ්ඩක් මා දූ ගෙණ එන තුරු කොතැනකත් නො ගොස් මෙ තැනැ සිටින්නැ යි මම ඔහුට කීමි, ටිකක් සොයා බලමු’ යි කියා බ්‍රාහ්මණ තෙමේ, බුදුරජුන් වැඩි තැන් බලනුයේ, පා සටහන් දැක, ‘මේ ඒ තරුණයාගේ පා සටහන’ යි බැමිණියට අඬගා පෙන් වී ය. ඕ, ත්‍රිවේදයෙගි දක්‍ෂ තැනැත්තියක බැවින්, දෙහ ලක්‍ෂණ විද්‍යාව අනු ව, ඒ පා සටහන විමසා, ‘මේ පා සටහන පස්කම් සැප විඳින තරුණයකුගේ නම් නො වේ ය’ යි;

“අයිරා රා ඇතී - මිනිස්පා මැද උස් වේ,

අයිරාදොසින් මැඩුනහු - පියග එබුනේ නො ද සැක,

අයිරා මොහැති දන - පා මුලට ඇදුනේ වේ,

මේ කෙලෙස් සෙවණැලි - පා කළ එකකුගේ වේ”

යි එහිලා ශාස්ත්‍රයුක්තිය කිවු ය. එවිට බමුණු තෙමේ, ‘හා! හරි! ඔයාගේ කතාව, ඔයා, දියබඳුනෙහි කිඹුලන්, ගෙමැද සොරුන් දකින්නියක සේ ය, කට මැත නො දොඩා නිහඬ වන්නැ’ යි කී ය. එහෙත්, බැමිණිය නැවැතත් ‘ඔයා කෙසේ කියූ ද, මේ පා සටහන පස්කම් සේවනය කරන්නකුන්ගේ නම් නො වේ ය’ යි කිවු ය. බමුණා වට පිටාව බලනුයේ, බුදුරජුන් දැක, ‘මේ ඉන්නේ මා කියූ තරුණයා’ යි බුදුරජුන් වෙතට ගොස්, ‘ඕ! කොහොම ද, මහණ! මෙන්න මා කී මාගේ ඒ දූ, තමුන්නාන්සේට අඹුව කොට දෙන්නට ගෙණ ආමි, පිළිගන්නැ’ යි කීයේ ය. ‘තාගේ දුවගෙන් මට වැඩක් ඇත නැතැ’ යි නො කියා ‘මා ගිහි ගෙයින් නික්මුනු තැන් පටන්, අජපල්නුගරුක්මුලට එනු දක්වා, මාරයා මා පසු පස එළවා ආයේ ය, එහෙත්, ඔහු, මා බැඳ ගන්නට කළ හැම උත්සාහයක් ම, සිඳ බිඳ හැර, මම ඔහුගේ විෂයය ඉක්මවා ගියෙමි, එයින් සිත් තැවිල්ලට පැමිණි මාරයා, අස්වසනු පිණිස, ඔහුගේ දූවරු මා වෙතට පැමිණ, නොයෙක් අන්දමේ නැටුම් නැටූහ, නොයෙක් වෙස්, මා ඉදිරියෙහි දැක්වුහ, නොයෙක් දේ කීහ, ඉඟිබිඟි කළහ, තොල් මැරූහ. එහෙත් ඒ එකකින්වත් මා පෙළන්නට, මා ඇදගන්නට ඈලා පොහොසත් නො වූහ’ යි වදාළ බුදුරජානන් වහන්සේ,

“තණ්හා රතී රගා - දැක මෙවුන්දම්සෙවුමෙහි,

නො ද විය සඳෙක් මා සිතැ - එ මට තා දුව කුමටයැ

මලමූදෙකෙන් පිරි - නිතර ම දුගඳ වහනා,

තා දූ පයින් පමණත් - පහසනු නො ඉස්නේ වෙමි”

යි මෙසේත් වදාළ සේක. අවසානයෙහි ඒ බමුණු දෙමාල්ලෝ, අනාගාමිඵලයෙහි පිහිටියෝ ය. එහෙත් මාගන්දියා තොමෝ ‘මුට මාගෙන් වැඩෙක් නැත්තේ නම්, ඒ බව නො කියා, මූ දැන් මා මලමූත්‍රයෙන් පිරුණියක කරයි, වේවා, මට තැනෙක් ලැබුනාවේ, එදාට මම මූට කරණ එක දනිමි’ යි බුදුරජුන් කෙරෙහි තදින් වෛර බැන්දා ය.

බුදුරජානන් වහන්සේ, මාගන්දියා තමන් වහන්සේ කෙරෙහි වෛර බඳනා බව දැන දැන, මෙසේ වදාළෝ, අනික් දෙ දෙනාට වන වැඩ සලකා ය. බුදුවරයෝ වනාහි, තමන් කෙරෙහි උනුන් උපදවන ක්‍රෝධය නො සලකති. මාර්‍ගඵලාවබෝධයට සුදුසු වූවන් දැක ධර්‍ම දේශනා කෙරෙති.

ඉක්බිති මාගන්දිය දෙමාල්ලෝ, තම දූ කැඳවා ගෙන ගොස්, චූල මාගන්දියට භාර කොට, පැවිදිව කෙලෙස් හැම බිඳ හැර රහත්බවට පැමිණියෝ ය. චූල මාගන්දිය ද, ‘මාගේ දු එසේ මෙසේ යම්තම් පිරිමියකුට දිය යුතු නො වන්නී ය, රජකුට ම සුදුසු ය ඈ’ යි කොසඹෑනුවරට ගොස්, වටිනා ඇඳුම් කැඩුම් ආයිත්තමින් මැනැවින් සරසා, උදේනරජු වෙතට ගොස්, ඔහුට පාවා දුන්නේ ය. උදේනරජ තෙමේ ඈ දැක, උපන් බලවත් ඇලුම් ඇත්තේ, පන්සියයක් ගෑණුන් පිරිවර කොට තබා අග බිසෝ තනතුරෙහි තැබූයේ ය.

මේ මාගන්දියාගේ උත්පත්තිය යි.

……

මෙසේ උදේනරජ හට සාමාවතී - වාසුලදත්තා - මාගන්දියා යි අග බිසෝවරු තිදෙනෙක් වූහ. එක් එක් බිසොවට, පන්සියයක් පන්සියයක් නළඟනෝ පිරිවර වූහ. එ දවස, කොසඹෑනුවර ඝෝෂිත - කුක්කුට - පාවාරිය යි සිටුහු තිදෙනෙක් ද වාසය කළහ. ඔවුහු හිමාලය වනයෙන් අවුත්, නුවර සිසාරා පිඬු සිඟා යන තාපසයන් පන්සියයක් දැක, ඔවුන් ගෙන්වා වඩා හිඳුවා, දන් පිළියෙල කොට වැළඳවූහ. දන් වළඳවා අවසන්හි, තවත් සාර මසක් එහි නවතින ලෙසට උන්ට ආරාධනා ද කළහ. තාපසයෝ ද ඒ පිළිගෙන එහි නතර වූහ. එසේ සාරමස ගෙවා හිමාලය වනයට යන්නට සැරසුනු තවුසන්ට සිටුවරු නැවැත වස්කාලයෙහි එන ලෙසට ද ආරාධනා කළෝ ය. තාපසයෝ හිමාලය වනය බලා ගියහ. ගොස් එහි අට මසක් ගෙවා, නැවැත, වැසිකාලය ලං වත් ම, පෙරළා, සිටුවරුන්ගේ ආරාධනාව සිහි කොට නුවරට ආහ. මෙසේ ඒ තවුසෝ, අට මසක් හිමාලයයෙහි ද, සාර මසක් සිටුවරුන් වෙත ද වාසය කෙරෙති.

එක් අවදියක මොවුහු, හිමාලයයෙන් එන්නෝ, කැලෑවෙහි හොඳට වැඩුනු ලොකු නුගගසක් දැක, එහි මුල වාඩිලා ගත්හ. දෙටු තවුස් තෙමේ, ‘මේ ගස අරක් ගත් දෙවි තෙමේ සුලුපටු එකෙක් නො වන්නේ ය, ලොකු එකකු ම විය යුතු ය මොහු, එ හෙයින්, මේ නුගයට අරක් ගෙණ සිටින දෙවි රජානන් වහන්සේ, අපට බොන්නට පැන් ටිකක් දෙන සේක්වා’ යි සිතී ය. සිතූ කෙණෙහි ම, දෙවි තෙමේ පැන් දුන්නේ ය. නැවත ඒ තවුසා, ‘නාන්නට වතුර, කන්නට කෑමක් දෙන සේක්වා’ යි ඉල්ලී ය. දෙවි තෙමේ ඒ හැම දුන්නේ ය. එ හෙයින් තවුසාට දෙවියන් දැකීමෙහි ආශාවක් උපන. ඒ ඇසිල්ලෙහි දෙවි තෙමේ ගස පළා ගෙණ, ඔවුන්ට තමන් දැක්වී ය. ඉක්බිති තවුසෝ, ‘දෙවරාජය! ඔබගේ සම්පත් මහත් ය, පුදුම ය, මේ ලබන්නට කළ පින්කම කිමැ’ යි ඇසූහ. ‘ඒ නො අසනු මැනැවැ’ යි දෙවි තෙමේ කී ය. ‘කියන්නැ’ යි තවුසෝ නැවැත නැවැතත් කියා සිටියහ. තමන් කළ ඒ පින්කම, ඉතා කුඩා එකක් බැවින් දෙවි තෙමේ ඒ කීමෙහි ලජ්ජා ඇත්තේ විය. එහෙත් තවුසන්ගේ ඇවිටිල්ල මහත්වූ බැවින්, ‘පින්වත! මම එදා අනාථපිණ්ඩික සිටානන්ගේ ගෙදර, කුලීවැඩ කළ කුලීකරුවෙක් වීමි, එහි දී මට ලැබුනු කුලියෙන්, මම යන්තමින් දිවි පැවැත් වීමි, පෝය දිනෙක, සිටු තෙමේ විහාරයේ සිට අවුත්, ගෙට වැද ගෙයි සිටි අයගෙන්, ‘අද පෝයබව මෙහි කුලීකරුට කියන ලද දැ’ යි ඇසී ය, ‘නො කීවෙමු’ යි ඔවුහු කීහ, ‘එසේ නම්, ඔහුට සෑහෙන පමණ සවසට බත් ටිකක් උයා දෙවු’ යි කී ය, එවිට, බත් පිසන්නෝ, හාල්නැළියක බත් පිසූහ, මම මුළු දවස වනයෙහි වැඩ කොට, සවස ගෙට ආමි, බත් බෙදා දෙන්නෝ, එවිට මට බත් බෙදා දුන්හ, එහෙත් වෙනදා මෙන් එදා එහි බත් ගෙණෙවු, මස් ගෙණෙවු, මාලු ගෙණෙවු, එලවලු ගෙණෙවු, පලතුරු ගෙණෙවු, පැන් ගෙණෙවු, ඉඳුල් ලන බඳුන ගෙණෙවු, යි යන කිසිත් කෑ කෝ ගැසීමක් ඉල්ලීමක් නො වූ බැවින්, එහි සිටියවුන් වැතිර නිදිගත් බැවින්, බඩගිනි තදින් තිබුන ද, මම බත් නොකා මට ම පමණක් බත් දුන්නෝ කුමක් නිසා දැ යි කල්පනා කොට, මෙහි ඉන්නා අන් අය, රෑට බත් කෑවෝ දැ යි ඇසීමි, නැතැ යි කී කල්හි, කුමක් නිසා, නො කෑවෝ දැ යි මම ඇසීමි, ඇයි නො දන්නෙහි ද, පෝයදාට මේ ගෙයි අය පෙහෙවස් සමාදන් වෙති, එ හෙයින් රෑට අහර නො ගණිත්, සිටුතුමා, කිරිදරුවන්ගේ පවා කට සෝදවා, චතුමධුර කටගා, පෙහෙවස් සමාදන් කරවයි, සුවඳ තෙල්පහන් දල්වා, තැබූ කල්හි ලොකු කුඩා හැම දෙනා, නිදන අසුන්වලට නැඟී ද්වත්තිංසාකාරය සජ්ඣායනා කරති, නුඹට අද පොහොය දවස බව කියන්නට අපට අමතක විය, නුඹට පමණක් බත් පිසුවමෝ එහෙයිනි, බත් කව’ යි ඔවුහු කීහ. එවිට, ‘මම, දැන් පෙහෙවස් සමාදන් වෙමි’ යි සිතා සිටුහුගෙන් අසන්නට කීමි, ඔහු ගොස්, සිටුහුගෙන් ඇසූහ. සිටු තුමා, එසේ නම්, දැන් අහර නො ගෙණ, කට සෝදා, උපොසථඞ්ග ඉටා, උපඩ්ඪුපොසථය ලබව’ යි කී ය, මම එසේ කෙළෙමි, මුළු දවස ම වනයේ බර වැඩ කොට, වෙහෙසට පත් ව, තද බඩ ගින්නෙන් පෙළී සිටියා වූ මාගේ සිරුරෙහි, ඇට නහර බිඳ ගෙණ වාතයෝ කිපී නැගී සිටියෝ ය, මම රැහැණක් බැඳ, රැහැන් කොණ අල්ලා ගෙණ, ඔබිනොබ පෙරළුනෙමි, එවිට සිටු තෙමේ, පහන් දල්වා, චතුමධුර ගෙණ, මා වෙත පැමිණ, අසනීපය කිමැ යි අසා, එසේ නම් මේ බේත ගණුව’ යි කී ය, ‘ඔබ වහන්සේ අනුභව කරණු මැනැවැ’ යි මා කී විට, ‘අපට අපහසුවෙක් නැත, ඔබ අනුභව කරවු’ යි කී ය, පෙහෙවස් සමාදන් වන්නේ, සියල්ල සමාදන් වන්නට නො කැමැති වීමි. සමාදන් වූයේ අඩෙකි, මා ඒ සමාදන් වූ පෙහෙවස් අඩ බිඳීයේය යන බියෙන්, ඒ අනුභව කරන්නට නො කැමති වීමි, එකල, සිටු තුමා ‘පුතා! එසේ නො කරව, මෙයින් ටිකක් කට ගා ගන්නැ’ යි කී ය, එහෙත් මම එසේ නො කෙළෙමි, ඒ රෝගයෙන් පෙළුනේ, පාන් වත් ම කලුරිය කොට, මේ නුග ගස උපන්මි, සිටු තෙමේ බුද්ධමාමක ය, ධර්‍මමාමක ය, සංඝමාමක ය, එතුමන් ඇසුරු කොට, කළ උපඩ්ඪුපොසථයාගේ විපාකය වශයෙන් මම මේ සමපත් ලැබීමි’ යි දෙවි තෙමේ කීයේ ය, බුද්ධ යන වචනය ඇසූ තවුසෝ, හුන් තැනින් නැගිට, දොහොත් මුදුන් දී බුද්ධ යනු තෙවරක් කියවා ගෙණ, ‘මේ වචනය ලෝකයෙහි නො ලැබිය හැකි එකෙකැ’ යි තෙවරක් උදන් අනා, ‘කප් සිය දහස් ගණනින් ද, නො ඇසිය හැකි මේ උතුම් වචනය තාගෙන් ඇසුවෙමු’ යි දෙවියාට ස්තුති කළහ. ඉක්බිති අතැවැස්සෝ, ‘ආචාර්‍ය්‍යතුමනි! බුදුරජුන් වෙත යමු’ යි කීහ. ‘කොසඹෑනුවර සිටුවරු තිදෙන අපට බොහෝ උපකාර කරති, හෙට ඔවුන්ගේ ගෙයි දානය ගෙණ, මේ බව ඔවුන්ටත් දන්වා යමු, හෙට වනතුරු ඉවසවු’ යි ඇදුරු තවුස් කී ය. ඔවුහු එය පිළිගත්හ.

පසුදා සිටුවරු, කෑම්බීම් පිළියෙළ කොට, අසුන් පණවා, ‘අද අපගේ තවුස් හිමිවරුන් මෙහි වඩින දිනැ’ යි බලා හිඳ එන්නවුන් දැක ඉදිරියට ගොස්, ගෙට කැඳවා ගෙණ අවුත්, වඩා හිඳුවා දන් පිළිගැන්නූහ. වළඳා අවසන්හි තවුසෝ, ‘අපි යමු’ යි සිටුවරුන්ට දැන්වූහ. එවිට සිටුහු ‘ඇයි! ස්වාමීනි! ඔබ වහන්සේලා වැසි සාරමස මෙහි අප වෙත නවතින බවට පොරොන්දුවක් දුන්නෝ නො වහු ද, ඇයි! මෙහෙ ම කියනු, කොහි වඩින්නහු ද, මෙහි නවතිනු මැනැවැ’ යි කීහ. ‘සිටු තුමනි! බුදු රජතෙමේ ලොව පහළ වුයේ ය, දහම් ලොව පහළ වූයේ ය, සඞ්ඝ තෙමේ ලොව පහළ වූයේ ය, එ හෙයින් මෙහි රැඳෙනු තරම් නො වේ, පමාවනු නො සුදුසුය’ යි කී විට ‘පොඩ්ඩක් නවතිනු මැනැවි, අපත් ගමනට සූදානම් වන තුරු’ යි සිටුවරු කීහ. ‘තමුසේලා ගමනට සුදානම් වන තුරු, අප මෙහි රැඳීම වැඩකට ඇත්තෙක් නො වේ, එය අපට ලොකුපමාවකි, තමුසේලා පසු වී එන්න, අපි යන්නෙමු’ යි ඔවුහු පිටත්ව ගියහ. ගොස්, බුදුරජුන් හමුවට පැමිණ, ස්තුති කොට වැඳ පුදා පසෙකට වී හුන්නෝ ය. බුදුරජානන් වහන්සේ, ඔවුන්ගේ අදහස් බලා ඔවුනට ආනුපුබ්බී කථාව වදාරා, දහම් දෙසූහ. ඒ අවසන්හි සියල්ලෝ, පිළිසිඹියාවන් ලබා රහත් වූහ. ‘මහණෙනි, මෙහි එවු’ යි වදාළ වචනය හා, ඍද්ධියෙන් ලත් පා සිවුරු දරන්නෝ, එහිභික්‍ෂුභාවයෙන් පැවිද්ද ලැබූහ.

සිටුවරු ද, පන්සියය පන්සියය ගැල් පිළියෙල කොට ඒ හැමෙකක, සහල්-උඳු-මුං-පොල්-පුවක්-දුරු-මිරිස්-දෙහි-දොඩම්-ගිතෙල්-මී-උක්හකුරු ආදිය හා රෙදි පිළි ආදී වූ දානෝපකරණ පටවා ගෙණ, සැවැත්නුවරට පැමිණ, ගෙණ ආ හැම එකක් පසෙක තබා, බුදුරජුන් වෙත ගොස්, වැඳ, බණ අවසන්හි සෝවන්පලයට පැමිණියහ. ඔවුහු, එහි රැඳී පසළොස් දවසක් දන් දුන්හ. මෙසේ පසළොස් දවසක් බුදුරජුන් වෙත රැඳී දන් දී අවසන් කොට, කොසඹෑනුවරට වඩින ලෙසට ආරාධනා කොට යන්නට අවසර ඉල්ලූහ. එවිට බුදුරජානන් වහන්සේ, ඔවුනට, ගමනට අවසර දී ‘තථාගතයෝ වනාහි, ශුන්‍යගාරයෙහි ඇලෙත්’ යි ද, වදාළ සේක. ‘ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! අපි ඒ දනිමු, අප දන්වා එවූ විට, කොසඹෑනුවරට වඩිනු යහපතැ’ යි කියා, කොසඹෑනුවර බලා, සැවැත්නුවරින් පිටත්ව ගියහ. ටික දිනකට පසු, එහි කොසඹෑනුවරැ ඝෝසිත සිටු ඝෝසිතාරාමය ද, කුක්කුටසිටු කුක්කුටාරාමය ද, පාවාරියසිටු පාවාරිකාරාමය ද යන මහාවිහාර කරවා, අවසන් කොට, එහි වැඩමවන්නට ආරාධනා කොට බුදුරජානන් වහන්සේට ලියුම් යැවූහ. බුදුරජානන් වහන්සේ එහි වැඩි සේක. සිටුවරු, ඉදිරියට ගොස්, උන්වහන්සේ විහාරයට වැඩමවා ගෙණ අවුත්, එකෙකා වරින් වර උවටැන් කරති. බුදුරජානන් වහන්සේ, දවස දවස එක එක විහාරයෙහි වැඩ වසති.

එ දවස ඒ සිටුවරුන්ට මල්වඩම් ගොතන සුමන නම් මල් කරුවෙක් සිටියේ ය. ඔහු දිනෙක සිටුවරුන් කරා ගොස්, ‘මම ඔබ වහන්සේලාට කලක සිට, උපකාර කරන්නෙක්මි, මමත් බුදුරජුන් වළඳවනු කැමැත්තෙමි, එහෙයින් මටත් බුදුරජුන් වළඳවන්නට දිනක් නියම කොට දුන මැනැවැ’ යි ඉල්ලී ය. එවිට සිටුවරු, ‘හා! හොඳ යි, හෙට බුදුරජුන් වළඳවන්නැ’ යි කීහ. සුමන තෙමේ, ‘යහපතැ’ යි කියා ගොස් බුදුරජුන්ට දානය පිණිස ආරාධනා කොට, දානෝපකරණ පිළියෙල කෙළේ ය.

උදේනරජුගේ අගබිසොවක වූ සාමාවතියට මල් වඩම් ගොතා දෙන්නේ ද, මේ සුමන මාලාකාර තෙමේ ය. උදේන රජ, මල් වඩම් ගන්නට සාමාවතියට දිනපතා කහවණු අටක් දෙන්නේ ය. ඛුජ්ජුත්තරා නම් සාමාවතියගේ දාසියය, මල්වඩම් ගෙණෙන්නට සුමන මාලාකාරයා වෙත යන්නී. මල්කරු බුදුරජුන් වළඳවන්නට දන් පිළියෙල කරණ දවසෙහි ද, ඕ තොමෝ මල්දම් ගෙණෙන්නට එහි ගියා ය. සුමන තෙමේ, ‘අද බොහෝ ම වැඩ, මම අද දානය පිණිස බුදුරජුන්ට ආරාධනා කළෙමි, උන්වහන්සේ දැන් මෙහි වඩින සේක, මල් දෙන්නට නො හැකි ය, මල් උන්වහන්සේට පිදිය යුතු ය, ටිකක් මෙහි නවතින්න, මේ කටයුතුවලට මට උදවු දෙන්න, බණත් අසා, ඉතිරි වන මලුත් ගෙණ ආපසු යා හැකි ය’ යි ඛුජ්ජුත්තරාවට කී ය. ඕ තොමෝ එහි නැවතුනා ය. බුදුරජානන් වහන්සේ භික්‍ෂූන් වහන්සේ සමග එහි වැඩම කොට දන් වළඳා අවසන් කළහ. ඉක්බිති මල්කරු බුදුරජුන්ගේ පාත්‍රය ගත්තේ ය. උන්වහන්සේ එහි අනුමෙවෙනි බණ දෙසූහ. ඛුජ්ජුත්තරා තොමෝ බණ අවසන්හි සෝවන් පලයට පැමිණියා ය.

ඕ තොමෝ මෙයට පෙර දවස, කහවණු අටෙන් සතරක් දීලා මල් ගෙණ, සතරක් ඉතිරිකර ගෙණ ගියා ය. එදා කහවණු අට ම දී මල් ගෙන ගියා ය. සාමාවතී තොමෝ, මල් රැස බලා, ‘දුව මොකද අද මල් හුඟක්, රජතුමන් අද මල් මිල, වෙනදාට වඩා වැඩියෙන් දෙකක් කොට දෙන ලදදැ’ යි ඇසූය. ‘ආර්‍ය්‍යාවෙනි, රජතුමන් වෙනදාට වැඩියෙන් මල් මිල දෙන ලද්දේ නො වේ, දුන්නේ වෙනදා දෙන මල් මිල ම ය, මම මෙයට පෙර හැමදා එයින් කහවණු සතරක් ඉතිරි කොට ගෙණ සතරක් දී මල්ගෙණ ආමි’ යි ඕ තොමෝ කිවූ ය. ‘මොක ද අද එසේ කළා’ යි ඇසූවිට, ‘අද බුදුරජානන් වහන්සේ, දානය පිණිස මල්කරුගේ ගෙදරට වැඩ, දන් වළදා බණ දෙසූහ, මම එහි දී උන්වහන්සේ වදාළ බණ අවබෝධ කර ගතිමි, එහෙයින් වෙනදා මෙන් නො කොට, අද මෙසේ කෙළෙමි’ යි ඛුජ්ජුත්තරා තොමෝ කීවා ය. ‘බොල කෙල්ල! දුෂ්ට දාසිය! තී මෙතෙක් ගත් කහවණු ගෙණ දෙන්නැ’ යි සැරවැර නො කොට, ‘දුව! එහිදී තී දත් දහම්, තී බී අමාපැන්, මටත් පොවාලව’ යි සාමාවතී තොමෝ කිවු ය. ‘එසේ නම් මා නාවන්නැ’ යි ඛුජ්ජුත්තරාව කී විට, සාමාවතී තොමෝ, ඇය සුවඳදියෙන් නාවා, මොළොක් සළු දෙකක් දෙවූ ය. ඕ තොමෝ, එකක් ඇඳ, එකක් පොරවා හිඳින්නට අසුනක් ගෙන එහි හිඳ විජිනිපතක් අතෙහි දරා පන්සියයක් ගෑණුන් ඉදිරියෙහි උන් අමතා බුදුරජුන් වදාළ සැටියෙන් ම බණ කීවා ය. එහි බණට කන් දී සිටි සියල්ලෝම එහිදී ම සෝවන් පලයට පැමිණියෝ ය. ඈලා සියල්ලෝ ඛුජ්ජුත්තරාවට වැඳ ‘මෑනියෙනි! අද පටන් ඔබතුමී අප කාගේත් මෑනියෝ ය, ආචාර්‍ය්‍යයාවෝ ය, මින් මතු දාසකම් කරණු බැරි ය, එහෙයින්, මෙ තැන් සිට අප හැම දෙනාගේ මවු තනතුරෙහි ගුරු තනතුරෙහි සිට, බුදුරජුන් වෙත ගොස්, බණ අසා අවුත් අපට බණ කියන්නැ’ යි ඉල්ලා සිටියහ. ඕ එසේ කරන්නී, දවස් නො යවා ම තෙවළාදර වූ ය. එවිට බුදුරජානන් වහන්සේ ඇය තමන් වහන්සේගේ බහුශ්‍රැත වූ ධර්‍ම කථිකශ්‍රාවිකාවන් අතුරෙහි ශ්‍රේෂ්ඨ ස්ථානයෙහි තැබූහ.

අනතුරු ව ඒ පන් සියයක් සත්‍රීහු ‘මෑනියෙනි! අපි බුදුන් දකිනු කැමැත්තම්හ, උන්වහන්සේ අපට දක්වන්න, ගඳින් මලින් සුවඳින් උන්වහන්සේ පිදිය යුතු ය’ යි කීහ. ‘රජගෙය සැහැසි ය, බිය එළවන්නේ ය, නුඹලා ගෙන් පිටත ගෙණ යන්නට නො හැකි ය’ යි ඛුජ්ජුත්තරාවන් කී විට ‘අප නො නසන්න, අපට බුදුරජුන් දක්වන්නැ’ යි ඈලා තරයේ කියා සිටියහ. ‘බුදුරජුන් දැක්මේ කැමැත්ත බලගතු නම්, බැලිය යුතු ම නම්, නුඹලා වසන කාමරවල බිත්ති පිටත බැලීමට හැකි තරම් පමණට සිදුරු කොට සුවඳමලුත් ගෙන්වා ගෙණ ඒ සිදුරු ලඟ සිට සිටුගෙවලට බුදුරජුන් වඩින වේලේ උන්වහන්සේ බලා සැනසී අත් දිගු කොට වැඳ පුදා ගණිවු, දැන් එයට වඩා දෙයක් කරන්නට ඉඩ නැතැ’ යි ඛුජ්ජුත්තරා තොමෝ කීවා ය. ඈලා එ තැන් පටන් සිදුරු ලඟ සිට යනෙන බුදුරජුන් බලා වඳිති. පුදති.

මේ අතර දවසෙක මාගන්දි‍යා තොමෝ, තමන් වසන පහයෙන් පිටතට අවුත් සක්මන් කරන්නී, ඈලා වසන තැනට ගියා, කාමර බිත්තිවල සිදුරු දැක, ‘මේ කිමැ’ යි ඇසූ ය. මාගන්දියා බුදුරජුන් කෙරෙහි වෙර බැඳ සිටින්නියක බව නොදත් ඒ සත්‍රීහු බුදුරජානන් වහන්සේ දකිනු රිසියෙන් මෙසේ කෙළෙමු” යි කීහ. ඕ තොමෝ ‘ශ්‍රමණ ගෞතමයා මෙහි‍ අයේ ද, අයේ නම් කළ යුත්ත දනිමි, නුඹලාටත් කළ යුත්ත දනිමි’ යි සිත සිතා රජු වෙත ගොස්, ‘මහරජ! සාමාවතිය හා ඇගේ පරිවාර සත්‍රීහු පර පුරුෂයන් පතති, එය ඔබ වහන්සේට ලොකු මදිකමෙකි, මෑලා නැසිය යුතු ය’ යි දන්වා සිටියා ය. එහෙත් රජ තෙමේ ඈලා එසේ කරතී’ යි නො ද පිළිගත්තේ ය. මාගන්දියා තොමෝ නැවැත නැවැතත් එසේ කියා සිටියා ය. රජ තෙමේ නො පිළිගත්තේ ය. දෙතුන් වරකුත් කියා රජු නො ඇදහූ කල්හි මාගේ වචනය නො අද හන්නහු නම්, ඈලා වසන තැනට ගොස් විමසා බලනු මැනැවැ’ යි ඕ කිවු ය. එවර රජ තෙමේ එහි ගියේ කාමරවල බිත්ති සිදුරු කොට තිබෙන බව දැක ‘මේ කිමැ’ යි අසා, තොරතුරු දැන ඈලා කෙරෙහි නො කිපී කිසිත් නො බැණ සිදුරු වස්වා සියලු කාමරවල උසින් දැල් කවුළු කරවී ය. දැල් කවුළු ලෑම මිනිසුන් අතර පළමුවෙන් ඇති වූයේ මේ කාලයෙහි ය යි පිළිගනිති.

සාමාවතියට හා සාමාවතියගේ පරිවාර ස්ත්‍රීන්ට, ගැහැට කිරීමෙහි අපොහොසත් වූ මාගන්දියා තොමෝ ‘ශ්‍රමණ ගෞතමයාට කළයුත්ත කරමි’ යි සිතා එ නුවරැ වැසි ගුණ නොදත් සැහැසි මිනිසුන්ට මිල මුදල් හා කෑම්බීම් දිලා ‘තෙපි, ශ්‍රමණ ගෞතමයා මෙ නුවරැ ඔබ නොබ හැසිරෙන විට, දැසිකම්කරුවනුත් සමග ඔහු ඉදිරියට ගොස්, ඇණුම් බැණුම් කොට මෙ නුවරින් පනා හරිවු’ යි නියම කළා ය. මිසදිටු ගත්තෝ, කවදාවත් තෙරුවන් කෙරෙහි පැහැදුම් නැත්තෝ ය. එ හෙයින්, ඔවුහු නුවරතුළට වන් බුදුරජානන් වහන්සේට, පසුපස යමින් නින්දා පරිභව කෙරෙති. එකල, ආනන්ද ස්ථවිරයන් වහන්සේ, බුදුරජුන් වෙත ගොස් වැඳ, ‘ස්වාමිනි! මෙ නුවරවැස්සෝ, අපට තදින් තළා පෙළා කතා කරති, කරණ නින්දා පරිභව ඉතා සැහැසි ය, එ හෙයින් මෙ නුවර හැර යමු’ යි කීහ. ‘ආනන්‍දය! මේ හැර කොතැන යමු දැ’ යි බුදුරජානන් වහන්සේ වදාළ සේක. ‘ස්වාමීනි! වෙන අන් නුවර කටැ’ යි ආනන්ද ස්ථවිරයන් වහන්සේ කී කල්හි, ‘ආනන්දය! එහි මිනිසුන් තළන පෙළන කල්හි කොහි යමු දැ’ යි ඇසූහ. ‘වෙන අන් නුවරකට යමු’ යි කී කල්හි, ආනන්දය! සේ කියන ලෙසට, බණින දොඩන නින්දා පරිභව කරණ මිනිසුන් වසන ගම් රට හැර ගියොත් අවසානයේ දී අපට යන්නට ගමෙක් රටෙක් ඉතිරි නො වන්නේ ය. එ හෙයින් තමුසේ කියන ලෙසට අන් තැනක යෑම නො සුදුසු ය, යම් තැනක දී යම් අධිකරණයෙක් උපන්නේ නම්, එය එහිදී ම සන්සිඳවා යා යුතු ය, උනුන් නින්දා පරිභව කළ තරමකින්, ඒ ඒ තැන්, හැරදමා යැම, යුතු නො වේ. එහි ලා කළකිරීම ද යුතු නො වේ, ආනන්දය! බණින්නේ දොඩන්නේ කවු දැ’ යි බුදුරජානන් වහන්සේ අසා වදාළ සේක. ‘ස්වාමීනී! දැසි දස් කම්කරු කෙලි කොලු පටන් හැම දෙනෙකු බණිති, දොඩති’ යි අනද තෙරුන් කී කල්හි, ‘ආනන්දය! දැනගන්න, මම යුද බිම වන් ඇතකු වැනි ය, යුදට වන් ඇතා හැම දිගින් එන සියලු කඩු තෝමර ඊතල ආදිය ඉවසන්නේ ය, ඌ එසේ එන ඒ හැම එකෙක් ඉවසිය යුතු ය, එහිලා පසු නො බැසිය යුතු ය, ඒ හැටියට ඔය දුශ්ශීලයන් විසින් පහත් මිනිසුන් විසින්, නූගතුන් විසින්, මිසදිටුවන් විසින් කරණ කියන ඇණුම් බැණුම් මම ඉවසමි, එම මට භාරැ’ යි වදාළ බුදුරජානන් වහන්සේ,

“යුදබිමෙහි දුන්නෙන් - ගිලිහී සිරුර හුනු ඊ,

ඉවසන ඇතකු සේ මම - සැහැසි රළු බස් ඉවසම්,

මහ දන යම් ලෙසකිනි - දුසිල් වේ නම් එහෙයිනි.

දැමුනු ඇත් හෝ අස් - තැනට මහදන රැස් වූ,

ගෙණ යති රජු ද දැමුනහු - පිට ම නගිනේ නො බියව,

බිණු රොස්බස් යමෙකෙක් - ඉවසාද අරිමගිනී,

දැමුනු ඔහු දැමුනූ - මිනිසුන් අතර තුම් වේ,

වෙළඹ කුස උපනස් - දමන්නහුගේ අදහස්

දත් එ අස් සිඳු අස් හා - මහැත් දැමුනෝ තුම් වෙති,

දැමුනු ඒ ඇත් ඇස් - හැමට වැඩියෙන් අරිමග,

මැනැවින් තෙමේ දැමුනේ - ඒ මය උතුම් වනුයේ?” යි

දහම් දෙසූහ. ධර්‍ම දේශනාව මහාජනයාට වැඩ සහිත වූවා ය.

බුදුරජානන් වහන්සේ මෙසේ ධර්‍මදේශනා කොට, ‘ආනන්දය! මේ බැණුම් දෙඩුම් ගණන් ගත යුතු නො වේ, ඕවාට කන්දීම හිත වැඩ පිණිස නො වන්නේ ය, ඔය බැණුම් දෙඩුම් පවත්නේ සත් දිනක් තුළ ය, අටවන දින දැන් ඔය බණින දොඩන හැම දෙනා, නිහඬ වන්නෝ ය’ යි වදාළ සේක. බුදුරජුන් පිළිබඳ අධිකරණයෝ, සත් දිනකට වැඩියෙන් නො පවත්නෝ ය.

මෙසේ ඇණුම් බැණුම් කොට, බුදුරජුන් පලවා හරින්නට අපොහොසත් වූ මාගන්දියා, ‘සාමාවතිය හා ඇයගේ පරිවාර සත්‍රීහු මේ ශ්‍රමණයාට උපස්ථාන කරති, එහෙයින් ඈලා නැසිය යුතු ය’ යි සිතා, දිනක් රජුහට සුරාපානශාලාවේ දී උපස්ථාන කොට, තමන් වසනා තැනට අවුත් එහි මෙහෙ කරණ මෙහෙකරුහට අල්ලස් වශයෙන් මිල මුදල් දී ඔහු තමන්ට නතු කොට තබා, නැවත’ සුලු පියාට, පහත පෙණෙන ලියුම ලියා යැවූ ය.

කොසඹෑනුවර, උදේනරජමැදුරේදී ය,

යටත්ව ලියමි.

පියතුමනි!

-

මෙහි අපගේ ප්‍රයෝජනය සඳහා, මළ කුකුළන් අට දෙනකු හා පණැති කුකුළන් අට දෙනකුන් ගෙණ, ඉතා කඩිනමින් මෙහි එනු මැනැවි. මෙහි ආවිට එකවර ම රජතුමන්ගේ සුරාපාන ශාලාවට නො වැද, පිටත පඩිපෙළ මත සිට, ආබව එහි සිටින මෙහෙකරු අත දන්වා යවා, මෙහි එන්නැ යි රජතුමන් දැන් වූ විට ද, රජතුමන් හමුවට නො ගොස් පළමු කොට තමන් ගෙණ ආ නො මළ කුකුළන් අට දෙන පමණක් රජුට දෙන්නැ යි මෙහෙකරු අත යවනු මැනැවි. පසුව මෙහෙකරු පැමිණ මළ කුකුළන් ඉල්ලු විට, නො මළ කුකුළන් ගෙන මළ කුකුළන් ඔහුට දෙන්න. මෙය මෙසේ ඉටුවිය යුතු බව දන්වමි.

-

මෙයට,

සෙනෙහැති,

දූ මාගන්දියා

උදේනරජබිසොව.

මාගන්දියාගේ සුලු පිය වූ මාගන්දිය බ්‍රාහ්මණ තෙමේ, ලියුම බලා එහි ලියා ඇති පරිදි මළ කුකුළන් අට දෙනකු කූඩයක ලා බැඳ ගෙණ රජ මැදුරට ගොස්, කියා තුබූ ලෙසට පිටත පඩිපෙළ මත සිට, තමන් ආ බව මෙහෙකරු අත දන්වා යැවී ය. රජ තෙමේ ‘ඔහු මෙහි ඇතුළට කැඳවා ගෙණ එන්නැ’ යි මෙහෙකරුට කී ය. මෙහෙකරු ගොස් ඒ දැන්වීය. ‘මම රජතුමන්ගේ සුරාසැල තුළට නො එමි’ යි ඔහු කියා යැවූයේ ය. එවිට මාගන්දියා තොමෝ නැවැතත් මෙහෙකරු තම සුලු පියා වෙත යැවූ ය. එවර මාගන්දිය බ්‍රාහ්මණ තෙමේ, ‘මේ කුකුළන් රජුට දෙන් නැ’ යි නො මළ කුකුළන් අට දෙන රජුවෙත යැවුයේ ය. රජතෙමේ ඒ දැක, ‘රසැති කෑමෙකැ’ යි සතුටු ව ‘මෙය පිසන්නේ කවරෙක් දැ’ යි ඇසුයේ ය. ‘මහරජ! සාමාවතියත්, ඇගේ මෙහෙවර කරණ ගෑණුත්, කිසිත් වැඩක් නො කොට, නිකරුණේ ඔබ නොබ ඇවිදිති, මේ කුකුළන් උයා එවන්නැ යි ඈලා වෙත යවනු මැනැවි, ඈලා උයා එවනු ඇතැ’ යි මාගන්දියා තොමෝ කිවුය. රජතෙමේ ද, ‘මේ කුකුළන් ඈලාට දී, දුරුමිරිස් ලා ලුණු ඇඹුල් ඇති ව හොඳට උයා එවන්නට කියව’ යි කුකුළන් අටදෙනා සාමාවතිය වෙත යැවුයේ ය. මෙහෙකරු, කුකුළන් ගෙණ, සාමාවතිය වෙත ගොස්, කුකුළන් පෙන්වා, ‘මුන් මරා දුරුමිරිස් ලා, ලුනු ඇඹුල් ඇති ව හොඳට උයා රජු වෙත එවන්නැ’ යි කීයේ ය.

කුකුළන් දුටු සාමාවතිය හා පරිවාර සත්‍රීහු හිසැ දෙයත් බැඳ ගෙණ ‘අනේ! මේ මොන පවෙක් ද; අපට සතුන් මරණු බැරි ය, ගෙණ යන්න, ගෙණ යන්න, අපි ප්‍රාණඝාත නො කරන්න මෝ ය’ යි මහහඬින් කියා සිටියාහ. මෙහෙකරු, පෙරළා කුකුළන් රැගෙණ, රජු කරා ගොස්, සාමාවතිය කියූ කතාව රජුට කීයේ ය. මාගන්දියා තොමෝ රජු වෙත සිටියා මේ කතාව අසා, ‘මහරජ! ඔබතුමන්ගේ බිසොවගේ සැටි, ඔබතුමන්ට ඇති සැලකිල්ල බලා වදාරන්න, ඔය කුකුළන් මරා අර ශ්‍රමණ ගෞතමයාට උයා යවන්නැ යි කියා යවන්න, සතුන් මරණ නො මරණ බව, එවිට ඔබ වහන්සේට ම දත හැකිය. එසේ කරණු මැනැවැ’ යි කීවා ය. රජ තෙමේ ද එසේ කියා යැවුයේ ය. මෙහෙකරු, ඒ නො මළ කුකුළන් ගෙණ යන්නකුසේ හඟවා ගොස්, නො මළ කුකුළන් මාගන්දිය බමුණුට දී, ඔහු අතැ තුබූ මළකුකුළන් ගෙණ, සාමාවතිය කරා ගොස්, ‘මෙන්න! මේ කුකුළන් කුඩා කැබලිවලට කපා, කොටා, සෝදා දුරු මිරිස් ලා ලුනු ඇඹුල් ඇති ව හොඳට උයා ශ්‍රමණ ගෞතමයාට යවන්නට රජතුමා කීයේ ය’ යි සාමාවතියට හා මෙහෙකරු ගෑණුන්ට, කියා සිටියේ ය. ඈලා ඒ බලා, මළකුකුළන් බව දැන, ‘දෙන්න, අපට ඒ කළ හැකි ය’ යි කියා, ඉදිරියට ගොස්, ගත්හ. මෙහෙකරු රජු කරා ගොස්, ‘දේවයන් වහන්ස! ශ්‍රමණ ගෞතමයාට, උයා යවන්නැ යි කී සැටියේ ම, ඉතා සතුටින් ඉදිරියට අවුත්, ඈලා කුකුළන් ඉල්ලා ගත්හ’ යි කී ය. එවිට, මාගන්දියා තොමෝ, ‘මහ රජ! ඔන්න බලන්න! උන්ගේ හැටි, රජුට ඇති ආදරය, ඔබ වහන්සේ පිණිස උයන්නැ යි කී විට ප්‍රාණඝාත නො කරමු යි. කීහ, ශ්‍රමණ ගෞතමයා පිණිස උයන විට ඈලාට ප්‍රාණඝාත කළ හැකි ය, එය පවෙක් ද නො වන්නේ ය, මෑලා පරපුරුෂයන්, පතනබව, මම කල් තබා ම, ඔබ වහන්සේට කීමි, එය ඔබ වහන්සේ නො පිළිගත්තහු ය, දැන් අදහස කෙසේ දැ’ යි ඇසූ ය. රජ තෙමේ ඒ අසා කිසිත් නො බැණ නිහඬ විය. නැවැතත් මාගන්දියා නොමෝ, ‘කුමක් කරම් දැ’ යි සිතන්නී වූ ය.

මේ කාලයෙහි රජ තෙමේ, සාමාවතී-වාසුලදත්තා-මාගන්දියා යන බිසොවුන්ගේ ප්‍රාසාදයන්හි වරින් වර එක පහයෙහි සත් දවස බැගින් කල් යවන්නේ ය. ‘අද හෝ හෙට, රජ තෙමේ කල් ගෙවන්නට සාමාවතියගේ ගෙට යන්නේ ය’ යි දැන සිටි මාගන්දියා තොමෝ ‘බෙහෙත් ගටා දළ සෝදා, විස බස්වා සර්‍පයකු ගෙණෙව’ යි සුලු පියාට කියා යැවූ ය. ඒ කී ලෙස කොට ඔහු සර්‍පයකු ගෙණ ආයේ ය. රජ තෙමේ යන යන තැන හස්ති ක්‍රාන්තවීණාව ද ගෙන යන්නේ ය. ඒ වීණාපොකුරෙහි සිදුරෙක් ඇත්තේ ය. මාගන්දියා, ඒ සිදුරෙන්, සර්‍පයා වීණාව තුළට රිංගවා සිදුර මගුටිකාවකින් වසා තැබූ ය. සර්‍ප තෙමේ, කිසිත් අහරක් නො ලැබ, දෙතුන් දිනක් වීණාව තුළ ම හුන්නේ ය. මාගන්දියා රජුගේ ඉදිරියට ගොස් වැඳ, ‘දේවයන් වහන්ස! දේවයන් වහන්සේ අද කාගේ පහයෙහි ලගින්නට යන සේක් දැ’ යි ඇසූ ය. ‘සාමාවතියගේ පහයට’ යි කී ය. ‘එහි අද නො යනු මැනැවි, මම නපුරු සිහිනයක් දුටිමි, එහි ඵලය යහපත් විය නො හැකි ය, අද එහි නො යා යුතු ය’ යි මාගන්දියා කියූ විට රජතෙමේ, ‘අද එහි යා යුතු ම ය’ යි කීයේ ය. ‘එසේ නම් දේවයන් වහන්ස! මමත් එමි’ යි කී කල්හි, ‘තීගේ එහි යෑමෙන් වැඩෙක් නැත, මෙහි නවතුව’ යි රජු විසින් වළක්වනු ලබන්නී ද, ‘අද කුමකින් කුමක් වන්නේ දැ යි නො දනිමි’ යි කියමින් රජු හා එක් ව ගියා ය. රජ තෙමේ එහි ගොස්, මුණ කට සෝදා, සාමාවතිය දුන් වස්ත්‍රාභරණ පැලඳ, මල් සුවඳ ගෙණ, සුවඳ ඇඟ ගල්වා ආහාර අනුභව කොට, වීණාව ඉහ ඉද්දර තබා සිරියන්හි නිදි ගත්තේ ය. මාගන්දියා තොමෝ, රැකවල් පිණිස ඔබිනොබ හැසිරෙන්නියක සේ, මායම් කොට, එහි කිසිවකු නැති වේලේ වීණාසිදුරෙහි ඔබා තුබු මල් ගුලාව එයින් ඉවත් කළා ය. සර්‍ප තෙමේ, දෙතුන් දිනක් ම විණාව තුළ නිරාහාර ව සිටියේ, සිදුරෙන් නික්ම හුස්ම හෙල හෙලා පෙණගොබය විදහා ගෙණ, එහි සිරියන්හි මතුයෙහි හොත්තේ ය. එ කෙණෙහි මාගන්දියා තොමෝ, ‘දේවයන් වහන්ස! සර්‍පයෙක්, සර්‍පයෙක්, වහා නැගිටින්න! යහනින් බසින්න! අය්යෝ! මේ මෝඩ රජු මා මෙහි නො ආ යුතුය යි කියද්දීත් මාගේ ඒ වචනය නො පිළිගෙණ මෙහි ආයේ ය, කාලකණ්ණිකමෙක හැටි, මෑළාත් කාලකණ්ණි ය, මෑලා රජුට හිතවත් නො වෙති, කිමැ, රජු තොපට නො සලකන්නේ ද, කෑම් බීම් ඇඳුම් පැළඳුම් යාන වාහන මිල මුදල් ආදිය නො දෙන්නේ ද, රජු මළොත් තොපට යහතින් ජීවත් විය හැකි ද, රජුගෙන් තොපට ඇති ගැහැට කරදරය කුමක් ද, මා අද නපුරු සිහිනයෙක් දක්නා ලදැ යි කියද්දීත් රජු මෙහි ආයේ, තොපට ඇති හිතවත්කම් නිසා නො වේ දැ’ යි රජුටත් සාමාවතියටත් ඇණුම් බැණුම් කළා ය. රජු ද සර්‍පයා දැක, මරණ භයින් තැති ගත්තේ වෙවුලා ගියේ ‘මෑලා මෙබඳු වැඩ කරත් ද, අය්යෝ! මෑලා පව් අදහස් ඇත්තෝ ය, මම, මෑලා පව් අදහස් දරණ බව, මාගන්දියා කියද්දීත් ඒ නො පිළිගතිමි, පළමු ව තමන් ලගින කාමරවල බිත්ති සිදුරු කර ගෙණ හුන්නෝ ය, නැවැත මා පිසන්නට එ වූ කුකුළන් තමන්ට පිසනු නො හැකි ය යි හරවා එවූහ, දැන් ඇඳෙහි නයකු බැහූහ’ යි බලවත් ක්‍රෝධයෙන් ඇවිළ ගත්තේ ය.

ඒ දත් සාමාවතිය ‘සහෝදරියෙනි! මෙත් වඩවු, අපට දැන් අන් පිහිටෙක් නැත, මෙත් වඩනු හැර, එහෙයින් රජු කෙරෙහි, රජබිසොව කෙරෙහි, තමන් කෙරෙහි යන මේ හැම තැනැ සම සමවූ ම මෙත් වඩවු, කිසි තැනක ක්‍රෝධ නො කරවූ’ යි සිය පරිවාර ස්ත්‍රීන්ට අවවාද කළා ය. රජ තෙමේ, එ වේලේ ම දහස් දෙනකු විසින් නගාලිය යුතු දරදඬු මහාමැඩහඟු දුන්නක් ගෙන්වා දුනුදිය අතැ පොළා පියා විස පෙවූ ඊයක්, සරසා ඒ මතැ නගා සාමාවතිය මුලට තබා, සියලු ස්ත්‍රීන් පිළිවෙළින් සිටුවා සාමාවතියගේ උරහිසට එය විද්දේ ය. එ වේලෙහි උන් කළ මෙත්වැඩුමේ අනුහසින්, ඊය ආපසු හැරී ආ දිගට ම මූණ ලා රජුන්ගේ පපුවට ඇතුල්වන්නා සේ සිට ගත්තේ ය. එවිට, රජ තෙමේ, ‘මා යැවූ ඊය ගලක් නමුත් පසාකොට බිඳගෙණ යන්නේය, අහසැ වැදෙන තැනෙක් ද නැත, එහෙත් මේ ඊය ආපසු හැරී මා දිහාවට මූණ ලා සිටියේ ය, මෙසේ සිටියේ, සාමාවතියගේ ගුණය නිසා විය යුතු ය, සිත් පිත් නැති මේ ඊය ඇයගේ ගුණය දැන සිටියි, මිනිසෙක් වූ මම, ඒ නො දත්තේ වෙමි’ යි සැලී ගියේ දුන්න පසෙක දමා, දොහොත් මුදුන් දී සාමාවතියගේ පාමුල උක්කුටිකයෙන් හිඳ,

“මුළාසිතැත්තෙමී - හැමත හා පමුවෙහි මම,

සාමා! මෙ මා රැකගන් - තී ම වනු පිහිටත් මට”

යි කියා සිටියේ ය. එවිට සම්‍යක් සම්බුද්ධ ශ්‍රාවිකා වූ ගුණවත් සාමාවතී තොමෝ,

“මහරජුනි! මම යම් - කෙනකු පිහිටැ යි ගත්තෙම්,

එ තුමන් පිහිට කොට ගණු - මෙ මා පිහිටැ යි නො ගණූ,

මහරජුනි ! එ තෙමේ - සියලු දත යුතු දෙය දැන,

බුදුය හැම දෙන යට කොට - සිටියේ නිරුත්තර වේ,

ඒ බුදුන් ඔබ දැන් - පිහිට කොට ගෙණ බැතියෙන්,

මේ මට පිහිට ද වනු මැන - බවදුක් ගෙවේ ඉතිකින්”

යි කීවා ය. ඉක්බිති රජ තෙමේ, ‘දැන් මම වැඩියක්ම බිය වෙමි’ යි;

“මේ මම් බෝ ලෙසින් - මුළා සිත් ඇත්තෙම් වෙමි,

හැම දිගනුදිග්, මාහට - වෙත්මය මුළා වුවෝ,

සාමාවතිය! ඔබ - මෙ මා රැකගන් හැම තින්,

සාමා! තී ම මාහට - පිහිට ද වනූ යහතී”

යි මෙසේ ද කීයේ ය. මේ ඉල්ලීම ද සාමාවතී තොමෝ වැළකුවා ය. රජ තෙමේ ‘එසේ නම්, ඔබත්, බුදු රජුනුත් සරණ කොට ගණිමි, තිට වරයක් ද දෙමි’ යි කීයේ ය. ‘වරය ගන්නා ලද්දේ වේවා, වරයෙන් මට වැඩෙක් නො වේ, බුදුරජුන් වෙත යමු’ යි සාමාවතී තොමෝ, රජු බුදුරජුන් වෙත පමුණුවාලූ ය. රජ තෙමේ බුදු රජුන් වෙත පැමිණ, සරණ ගොස්, පවරා බුදුරජුන් ප්‍රධාන මහාසංඝයා වහන්සේට, සත් දිනක් මහ දන් පිළිගන්වා, සාමාවතියට අඬගා, ‘තී කැමැති වරයක් ගන්නැ’ යි කී ය. ‘මහරජ! මට රනින්, රිදියෙන්, මුත්තෙන්, මැණිකෙන් මුදලෙන් වතුයෙන් පිටියෙන් ඈ කිසිවකින් වැඩෙක් නැත, මට වරයක් පඩුරක් දෙන සේක් නම්, දෙනු මැනැවි, නිතර බුදුරජාණන් වහන්සේ හා පන්සියයක් භික්‍ෂූන් වහන්සේලා මේ මාලිගාවට වැඩමවා ගන්නට වරයක්, නිතර බණ අසන්නට විහාරයට යන්නට වරයක්, මට අන් මොකුත් වුවමනා නැතැ’ යි සාමාවතිය කිවු ය. රජ තෙමේ බුදුරජුන් සකසා වැඳ, ‘ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! සාමාවතිය, ඔබ වහන්සේ නිතර මේ මාලිගාවට, පන්සියයක් භික්‍ෂුන් වහන්සේත් සමග වැඩමවා ගන්නට ඕනෑය යි ද, බණ ඉගෙණ ගන්නට ඕනෑය යි ද කිය යි, එහෙයින් ඔබ වහන්සේ භික්‍ෂුන් වහන්සේලාත් සමග නිතර මෙහි වැඩමකොට, ඈලාට බණ උගන්වනු මැනවැ’ යි ආරාධනා කෙළේ ය. ‘මහරජ! මට නිතර මෙහි එන්නට නො හැකි ය, බුදුවරුන් නිතර එක් තැනක ම යන සිරිතෙක් නැත්තේය, ඒ කරණු නො හැකි ය, මහාජන තෙමේ බුදුවරුන් ගැණ නිතර බලාපොරොත්තු වේ ය’ යි බුදුරජුන් වදාළ විට, ‘එසේ නම්, ස්වාමිනි! එක් භික්‍ෂු නමකට, නිතර මෙහි වඩින්නට නියම කරනු මැනැවැ’ යි රජ තෙමේ ඉල්ලී ය. එවිට, උන්වහන්සේ, ආනන්ද ස්ථවිරයන් වහන්සේට එය භාර කළහ. එ තැන් සිට, ආනන්ද තෙරණුවෝ නිතර එහි වැඩ, ධර්‍ම දේශනා කෙරෙති. දිනෙක බණ අසා, පැහැදී සිටි බිසෝවරු, උන්වහන්සේට තමන් පොරෝණා උතුරුසළු, පන් සියයක් එක් කොට පූජා කළහ. ඒ එක් උතුරු සළුවක් කහවණු පන් සියයක් අගනේ විය. දවසක්, එක් වතක් පමණක් ඇඳ සිටි බිසෝවරු දුටු රජ තෙමේ, ‘තොප පෙර වූ උතුරුසළු කොහි දැ’ යි ඇසී ය. ‘අපි ඒවා අනඳ තෙරුන්ට පූජා කෙළෙමු’ යි ඔවුහු කීහ. ඒ සියල්ල උන්වහන්සේ පිළි ගත්තු දැ’ යි ඇසූ විට, ‘එසේය’ යි කීහ. රජ තෙමේ තෙරුන් කරා ගියේ ය. ගොස්, පිළිසඳර කතාවෙහි යෙදුනේ ය.

රජ

:-

ස්වාමිනි! ඔබ වහන්සේට මාගේ බිසෝවරු ඊයේ සළු පන් සියයක් පූජා කළෝ ද?

තෙරණුවෝ

:-

ඔව්.

රජ

:-

සළු බොහෝ ගණනෙක් නො වේ ද?

තෙරණුවෝ

:-

ඔව්.

රජ

:-

මෙතෙක් සළුවලට ඔබ වහන්සේ කුමක් කරන්නහු ද?

තෙරණුවෝ

:-

මට සෑහෙන පමණ ගෙණ, සෙසු සළු දිරාගිය සිවුරු ඇත්තන්ට සිවුරු කර ගන්නට දෙන්නමි.

රජ

:-

දිරා ගිය සිවුරුවලට උන්වහන්සේලා කුමක් කරත් ද?

තෙරණුවෝ

:-

ඔවුහු, ඒ සිවුරු, වැඩියක් දිරා ගිය සිවුරු ඇත්තන්ට දෙන්නෝ ය.

රජ

:-

ඒ වැඩියක් දිරා ගිය සිවුරුවලට?

තෙරණුවෝ

:-

ඔවුහු ඒවා පසතුරුණුවලට යොදා ගන්නෝ ය.

රජ

:-

පරණ පසතුරුණු?

තෙරණුවෝ

:-

බුමුතුරුණුවලට යොදන්නෝ ය.

රජ

:-

පරණ බුමුතුරුණු?

තෙරණුවෝ

:-

පා පිසුම් කරන්නෝ ය.

රජ

:-

පරණ පා පිසුම්?

තෙරණුවෝ

:-

කෑලි කෑලි කොට මැටි හා කවලම් කොට බිත්ති පිරියම් කරන්නෝ ය.

රජ

:-

කොතරම් හොඳ ද, ස්වාමීනි! මෙතෙක් තැන් ගොසිනුත් ඒවා නො නැසුනේ නො වේ ද?

තෙරණුවෝ

:-

ඔව්! මහරජ! අපට දෙන ලද්ද කොතරම් කබල් මුවත් නො නැසෙන්නේ ය, දුන් අයට පින් පිණිස අපි ඒවා ප්‍රයෝජන ගන්නමෝ ය.

රජ තෙමේ සතුටින් ඉල්පගියේ, තවත් සළු පන් සියයක් ගෙන්වා, තෙරුන් පා මුල තැබ්බවී ය.

අහෝ! පිණ පුදුම ය! පුණ්‍යවිපාකය කෙසේ පිරිසිඳිය හැකි ද ආනන්ද ස්ථවිරයන් වහන්සේ, තමන්ගේ පාමුල තබාලා දුන්නා වූ කහවණු පන්සියය පන්සියය අගනා පිළි, දහස දහස බැගින්, ලක්‍ෂ වාරයක් ද, කහවණු දහස දහස අගනා පිළි, දහස දහස බැගින් දහස් වරක් ද, කහවණු ලක්‍ෂය ලක්‍ෂය අගනා පිළි, දහස දහස බැගින් සියවරක් ද ලැබුහ. මහාපිණැත්තෝ ය, ආනන්ද ස්ථවිරයන් වහන්සේ. එක, දෙක, තුණ, හතර, පහ, දහය යන ඈලෙසින් ලැබූ පිළීවල ගණනක් නැත්තේ ය. බුදුරජුන් පිරිණිවුනු කල්හි, ආනන්ද ස්ථවිරයන් වහන්සේ, මුළු දඹදිව අහු මුළු නො හැර, හැම වෙහෙරැ වැසි භික්‍ෂූන් වහන්සේලාට, තමන් අයත් සිවුරු පිරිකර බෙදා දුන්හ.

මෙතෙක් මාගන්දියා, සාමාවතිය නසන්නට හා, බුදුරජුන් පිරිහෙලන්නට කළ හැම උපායයෙක් ම මෙසේ නිෂ්ඵලව ගියේ ය. එහෙයින් ඕ තොමෝ ‘මම යමක් කරම් ද, ඒ හැමෙකෙක් ඒ මා සිතු ලෙසින් නො වන්නේ ය, දැන් කුමක් කරම් දැ’ යි සිතුවිලි දැලෙහි වැටී සිටියා ය. දිනෙක, උදේනරජු උයන් ගිය කල්හි මාගන්දියා තොමෝ ගෙට වැද සුලු පියාට ලියුමක් ලියූ ය. ඒ ලියුමය මේ.

කොසබෑ නුවරැ, උදේන රජමැදුරේදී ය.

යටත්ව ලියමි.

පියතුමනි!

-

මම දැන් ලොකු අමාරුවක වැටී ඉඳිමි. කිසි අතෙකින් මට සැනසිල්ලෙක් නැත. කරණ වැඩවලින් මෙතෙක් කිසිත් පලෙක් නො ලැබුණේ ය. රෑට නිදි නැත. සිතුවිලිවලින් ඔළුව අවුල් වී ගොස් ය. දැන් මට එක ම පිහිට පියතුමා ය. එහෙයින් පියතුමන් අද හෙට ම කල් නො හැර සාමාවතියගේ පහයට ගොස් එහි තිබෙන රෙදි ගබඩාවලින් රෙදි ගෙණ තෙල් පොවා ඒ තෙල් රෙදිවලින් පහයෙහි හැම කණුවක් ම ඔතා කොයි ලෙසකින් නමුත් සාමාවතියත් ඇගේ පිරිවර ගෑණුත් ඇලාට නො දැනෙන ලෙසට පහයට ඇතුල් කොට දොරගුලු ලා පහයට ගිනි දල්වා ලනු මැනැවි. එසේ කොට පහයෙන් වහා බැස ආ යුතු ය.

-

මෙයට,

කීකරු දූ,

මාගන්දියා

උදේන රජබිසොව.

මේ ලියමන ලත් මාගන්දියාගේ සුලුපිය වූ මාගන්දිය බ්‍රාහ්මණ තෙමේ, සාමාවතියගේ මාලිගාවට ගොස්, පහයට නැග ගබඩා හැර රෙදි ගෙණ ඒ රෙදි තෙල් හැළිවල බහාලා තෙමා කණු ඔතන්ට පටන් ගත්තේ ය. සාමාවතිය හා ඇයගේ පිරිවර ගෑණු. ‘මේ කිමැ’ යි කියමින් ඔහු වෙතට ගියහ. ‘පහයෙහි කණු ශක්තිමත් කරණු පිණිස මෙහි හැම කණුවක් ම තෙල් රෙදිවලින් ඔතාලන්නැ යි රජතුමන් විසින් දන්වා එවා තිබේ, රජගෙයි යහපත අයහපත කිමැ යි දත නො හැක්කේ ය, ඒ නිසා නුඹලා මේ තැනින් ගොස් තමන්ගේ කාමරවලට වැද වෙනදා මෙන් තම තමන්ගේ කටයුතු කළ යුතු ය’ යි ඈලා කාමරතුළට කොට දොරගුලු ලා සැණෙකින් ගිනි තබා පහයෙන් බැස ගියේ ය. ගිනි දැල් දුටු සාමාවතී තොමෝ, පරිවාර ස්ත්‍රීන් අමතා, ‘නො බියවවු මුලක් නැති මේ සසරට බැස එන අප මේ ලෙසින් ගින්නෙන් දැවුනු අත්බ්බවල සීමාවක් ගණනක් මොන ලෙසකින් වත් පිරිසිඳ නො දත හැකි ය, එහෙයින් අප්‍රමත්ත වවු’ යි අවවාද කළා ය. ඈලා සියල්ලෝ ම ගේ ගින්නෙන් ඇවිළ දන කල්හි වෙදනා පරිග්‍රහකර්‍මස්ථානය සිතට නැගුහ. ඒ වේලෙහි උන් අතුරෙහි. කෙනෙක් සෙද ගැමි වූහ. කෙනෙක් අනගැමි වූහ.

එදා සවස බොහෝ ගණනක් භික්‍ෂූන් වහන්සේලා බුදුරජුන් කරා ගොස් වැඳ, පසෙක හිඳ, ‘සවාමීනි! භාග්‍යවතුන් වහන්ස! උදේනරජු උයන් කෙළියට ගිය වෙලේ, සාමාවතිය හුන් ඇයගේ පහය ගින්නෙන් දැවී ගියේ ය, සාමාවතී හා ඇගේ පරිවාරස්ත්‍රීහුද එහි තුළ හුන්හ, ඈලා ද, ගින්නට අසු වී දැවී ගියහ’ යි දැන ගන්නට ලැබී තිබේ, එසේ නම්, ස්වාමීනි! ඈලාගේ උපත කොතැනැ වී ද, කෙසේ වී දැ’ යි ඇසූ හ. ‘මහණෙනි! මේ උපාසිකා සමූහයෙහි, කෙනෙක් සෝතාපන්නය, කෙනෙක් සකෘදාගාමී ය, කෙනෙක් අනාගාමී ය, ඒ සියලු උපාසිකාවෝ, ලැබූ ඵල ඇත්තෝ ව කලුරිය කළහ’ යි වදාළ බුදුරජානන් වහන්සේ,

“මොහසබඳලොවැසී - පෙණේ නිස්සකු ලෙසිනී,

කෙලෙසුපදිබඳඅඳබල් - මොහඳුරෙන් පිරිවැරුණේ,

රූ ඈ සස්වතෙව් - වැටහේ මෙලොව හැමදේ,

බලන්නහුහට විදසුන් - නැණ යොදා නැත කිසීවක්”

යි උදන් ඇනූහ. ‘මහණෙනි! සසර සැරිසරණ සත්වයෝ හැම කල්හි ම අප්‍රමත්ත ව පින්දම් නො කරති, ප්‍රමත්ත ව පව්කම් ද කරති, සසර ඇවිදින සත්වයෝ, සැප දුක් දෙකට ම යටත්වන්නෝ එහෙයිනැ’ යි උන්වහන්සේ එ වේලෙහි දහම් දෙසූහ.

උයන් ගිය උදේන රජ තෙමේ ‘සාමාවතියගේ පහය ගින්නෙන් දැවේ ය’ යි අසා වේගයෙන් එහි ආයේ ය. ඔහු එ තැනට ලඟාවන්නට පෙරාතුව ම පහය දැවී තුබුන්නේ ය. එ දත් ඔහුගේ ගත සිත දෙදරා ගියේය. බලවත් සිත් තැවිල්ලට පත් වූ රජ තෙමේ, අමාත්‍ය මණ්ඩලය රැස් කරවා සාකච්ඡා කෙළේ ය. එහි දී ‘මේ සාහසික ක්‍රියාව මාගන්දියා විසින් කරවන ලදැ යි හැම දෙනකුන් විසින් එකමතික ව තීරණය කරණ ලද්දේ ය. ඔවුහු, රජු ගේ නියමයෙන් මාගන්දියා එතැනට පමුණුවා ‘මේ මිනීමැරුම තී විසින් කරන ලද දැ’ යි ඇසූ හ. අනේ! පින්වත්නි! මම ඔබඳු සැහැසි කම් කරම් ද, සාමාවතිය හා මා හා අතර කවදාත් කිසි වෙනසෙක් නො වී ය, මාගේ සහෝදරිය සාමාවතී, මම ඇයගෙන් මොනවා ගන්නට ඇයට මෙබඳු සැහැසි කම් කරම් ද, මෙය මාගෙන් ඇසීම මට පුදුමයෙකි, රජතුමන් වැඩිපුර ආදරය දක්වන්නේ මට ය, වැඩිපුර සලකන්නේත් මට ය; සොයා බලන්නේත් මා ගැණ ය, එසේ රජතුමන්ගේ සැලකුම් බැලුම් ලබන මම රජතුමන්ට විපත් කරම් ද, මෙහි ලා මට මෙයට කියන්ට යමක් නැතැ’ යි මාගන්දියා නිහඬ වූවා ය.

එවිට, රජ තෙමේ, මාගන්දියා පිටත් කොට යවා, ඇමැතියන් හා සාකච්ඡාවට බැය, ‘මම එකලාව මෑගෙන් අසා බලන්නෙමි’ යි ඇමැතියන් පිටත්කොට හැරියේ ය. ඇමැතිවරුන් එතැනින් ගිය නොබෝ වේලාවකින්, රජ තෙමේ මාගන්දියා කැඳවා, ‘පිය සොඳුර! මම මෙතෙක් ජීවත් වූයෙම්, හැම තැනෙක ම සැක ඇති ව ය, මේ නිසා බොහෝ සේ රජයේ කටයුතු ද අතපසු විය, සාමාවතිය මෙහි ආදා පටන් ම මට අස්වැසිල්ලක් නො වී ය, තරමක අස්වැසිල්ලක් ලැබෙන්නේ ඔයා ආදා සිට ය, නයකු ලා මා මරන්නට තැත් කළ අවස්ථාවේ, එයින් බේරුණේ ඔයා නිසා ය, ඔයා යම් යම් අවස්ථාවන්හි කී දේ මා නො පිළිගත්තේ, අනික් බිසෝවරුන් අමුත්තක් සිතා ය යන අදහසිනි, සාමාවති වාසය කළා, හැම මොහොතක ම මාගේ සිදුරු සොයමින් ය, මා නසන්නට උපාය යොදමින් ය, මෙතෙක් මට නිදි නො ලැබුනේ ය, දැන් ඒ කරදර අවසාන ය, ඔයා මට ලබා දුන් මේ සැනසිල්ල සුලු එකෙක් නො වේ, මෙහි තිබූ හැම කරදරයක් ම මෙයින් අවසානයට ගියේ ය, දැන් බිය රහිත ව නිදිය හැකි ය, කෑ හැකි ය, උයන් කෙළියට යා හැකි ය, මේ කළේ ද ඔයා විසින්ය යනු මාගේ පිළිගැණිම ය, එ හෙයින් ඔයාට වරයක් දීම සුදුසු ය යි මට දැන් වැටහින, කියන්න, වුවමනා වරය’ යි කීයේ ය. එවිට මාගන්දියා තොමෝ ‘දේවයන් වහන්ස! කාරණය, තේරුම් ගත් සැටි හරිය, දේවයන් වහන්සේ නසන්නට සාමාවතිය කළ දේ දන්නේ මම ය, මම සිටියා ඉවසිල්ලෙන් නො වෙමි, මැය නසා රජතුමන්ගේ ජීවිතය, කෙසේ රැක ගණිම් දැ යි රෑ දෙවේලේ සිතමින් සිටියෙමි, මෙය කළේ මාගේ බාප්පා ය, මාගේ නියමය පිට ය, සංවිධානය පරිදිය, ඔබතුමන්ගෙන් වර ගන්නට මේ නො කෙළෙමි, මට වුවමනා කළේ ඔබතුමන් රැක ගැන්ම ය’ යි මහත් සතුටින් කියා සිටියා ය. ‘පියසොඳුර! මේ වැඩේ, ලොකු වැඩෙක්, එක් වරයක් දිය යුතු තරම් කුඩා වැඩෙක් නො වේ මෙ ය, මෙසේ නො වූයේ නම්, මට වන්නේ ලොකු විනාසයෙකි, එහෙයින් ඔයාගේ සුලු පියා ඇතුළු සියලු නෑයන් අද හෙට ම ගෙන්වා ගන්න, ඔවුන්ට හොඳට කෑම බීම පිළියෙල කරන්නැ’ යි රජ තෙමේ කීයේ ය.

මාගන්දියා තොමෝ ‘රජ මැදුරට එන්නැ’ යි නෑයන්ට දන්වා යැවූ ය. නෑයෝ එකකුත් නො තබා එහි ආහ. ඒ ආ හැම කෙනෙකුට ම, රජ තෙමේ සත්කාර කරවී ය, මේ සත්කාරය අසා නො නෑයෝත් ආහ. රජ තෙමේ කෑම් බීම් දී සියල්ලන් රජමැදුර මිදුලෙහි රැස් කර වී ය. කම්කරුවන් ලවා එහි නැබ පමණට ගැඹුරු වූ ලොකු වළක් සාරවා උන් හැට දෙනා ඒ වළැ දමා උන්ගේ හිස පිට පිදුරු බහා ගිනි තැබ්බවී ය. මාගන්දියාගේ සිරුරෙහි තද තද තැනින් ආයුධයකින් මස් කඩා ගලවා තෙල් ඇතිලියක් ලිප තබ්බවා ගැල වූ මස් කැබලි එහි ලා කැවුම් මෙන් බද්දවා ඇයටම කැවූයේ ය.

මේ අතර දවසෙක ධර්‍ම ශාලාවට රැස් වූ භික්‍ෂූන් වහන්සේලා ‘සාමාවතියට සිදු වූ මේ විපත ඇයට නො සුදුසු එකකැ’ යි කීහ. ඒ වේලෙහි බුදුරජානන් වහන්සේ එහි වැඩම කොට ‘මහණෙනි! සාමාවතියට සිදුවූ මේ මහාවිපත ඇයගේ මේ ජීවිතයේ හැටියට නම් නො සුදුසු ය යි මම ද කියමි, එහෙත් ඇය පෙර කළ අකුශලකර්‍මයක් අනු ව නම් නො සුදුසුය යි නො කිය හැකි ය, සාමාවතිය හා ඇයගේ පරිවාර ස්ත්‍රීන් පෙර කරන ලද කර්‍මයකට අනු ව මේ මරණය ලදැ’ යි වදාළ විට ‘ස්වාමිනි, ඈලා ඒ පෙර කරණ ලද කර්‍මය අපට පහදා දෙන සේක්වා’ යි ආරාධනා කළහ.

‘මහණෙනි! පෙර, බඹදත්කාලයෙහි බරණැස් නුවර බඹදත් රජගෙදරැ පසේ බුදුවරු අට නමක් නිතර දන් වළඳති, පන් සීයයක් ස්ත්‍රීහු, උන්වහන්සේලාට උපස්ථාන කරති, ඒ බුදුවරුන් අතුරෙන්, සත් නමක් හිමාලයටත්, එක් නමක් ගං ඉවුරකටත් වැඩම කරති, ගංඉවුරට වඩින පසේ බුදු රජ තෙමේ, එහි තණ ලැහැබෙක ධ්‍යාන කරමින් සිටියි, එක් දවසෙක, රජ තෙමේ, පසේ බුදුවරුන් වැඩිය කල්හි, ඒ ස්ත්‍රීන් හා දිය කෙළියට ගියේ ය, ගඟෙහි බැස රෑ වනතුරු දියකෙළියක යෙදුනු ඒ ස්ත්‍රීහු, සීත ඉවසනු නො හැකි ව, ගොඩ නැගී, ගිනි තපින්නට තැනක් පිළියෙල කර ගන්නට සිතා, ඈත මෑත හැසිරෙන්නෝ, පසේ බුදුරජුන් ධ්‍යානයට සම වැද හුන් තණලැහැබ දැක, වැඩිදුර නො විමසා තණගොඩෙක යන කල්පනාවෙන් එහි ගිනි දල්වා ගිනි තැප්පාහ, තණලැහැබ මුළුමනින් දා ගිය පසු, එහි හුන් පසේබුදුරජුන් දැක, ‘අය්යෝ! අපි නටුම්හ, අපි නටුම්හ, අපගේ බුදුරජානන් වහන්සේ ගින්නෙන් දැවෙති, අය්යෝ! සිදුවූයේ ලොකු වරදෙකි, මෙය රජු දැන ගත්තොත් අප නසන්නේ ය, රජුට දැනගත නො හැකි ලෙසින් හොඳට ම පුළුස්සන්නෙමි’ යි සියලු දෙන එක් ව දර ගෙණවුත් පසේ බුදුරජුන් මත්තෙහි ගොඩ ගසා ගිනි තබා සියල්ලෝ ම නික්ම ගියහ, ඈලා එය පළමු කොට කළෝ නො දැන ය, එහෙයින් මුල් වර කර්‍මයෙන් නො බැඳුනෝ ය, පසුව දැන සිතා කළ බැවින්, වධක චේතනා ඇති ව කළ බැවින් කර්‍මයෙන් බැඳුනෝ ය, සමාපත්තිය තුළ සිටින කෙනෙකුහට ගැල් දහසක දර මතුපිට ගසා ගිනි දැල්වී ද, එයින් ඔහුට උණුසුමක් පමණකුත් දන්වන්නට නො හැක්කේ ය, එහෙයින් පසේ බුදුරජ තෙමේ සමාපත්තියෙන් නැගිට සිටියේ ය, ඒ කර්‍මය කළ මේ සත්‍රීහු, අවුරුදු ලක්‍ෂ ගණනක් නරකයෙහි ඉපිද පැසී ඒ කර්‍මයාගේ විපාකාවශෙෂ විසින් අත්බව් සියයෙක ම මේ ලෙසින් ගෙය තුළ ගින්නෙන් දැවුනෝ ය, මහණෙනි! මේ මෑලා පෙර කරන ලද කර්‍මය ය’ යි වදාළ බුදුරජුන් අතින් නැවැතත් ඒ භික්‍ෂූහු ‘ස්වාමීනි! ඛුජ්ජුත්තරාව කුදු වූවා කුමන කර්‍මයකින් ද? නුවණැත්තී වූවා කුමන කර්‍මයකින් ද? සෝවන්පලයට පැමිණියා කුමන කර්‍මයකින් ද? අනුන්ගේ පණිවිඩ ගෙණයන්නී වූවා කුමන කර්‍මයකින් දැ? යි ඇසූහ.

“මහණෙනි! ඒ පසේ බුදුරජ තෙමේ මඳක් කුදු වූ ස්වාභාව ඇත්තේ ය, උන්වහන්සේට උවැටැන් කරණ එක් ස්ත්‍රියක් කවටකමට කම්බිලියක් පොරවා ගෙණ රන්තැටියකුත් අතින් ගෙණ අපගේ බුදුරජානන් වහන්සේ මෙසේ වඩිති යි වක ගසා කුදු ගැසී උන්වහන්සේ යනෙන ලෙසින් ගමන් කළා ය, කුදු වූවා කවටකමට කළ මේ කර්‍මයෙන් ය, දිනෙක උණු කිරිබත් පිළිගත් පසේ බුදුවරුන්ගේ අත් දැවෙන්නට විය, එවිට උන්වහන්සේලා කිරි බත් පිරූ පාත්‍ර අතින් අතට මාරු කෙරෙත්, ඒ දුටු මේ ස්ත්‍රිය. තමන් ලඟ තුබූ දළ කඩින් කළ වළලු අටක් ඒ අට නමට දී මෙහි පාත්‍ර තබනු මැනැවැ’ යි කීවා ය, උන්වහන්සේලා ඇය දෙස බැලූහ, ස්වාමීනි! මෙයින් මට වැඩෙක් නැත, මේවා නුඹ වහන්සේලාට පිදීමි, ගෙණ වඩිනු මැනැවැ යි කිවු ය, උන්වහන්සේලා නන්‍දමූලක නම් ගල්තල්ල බලා වැඩි සේ ක, අදත් ඒ වළලු එහි නො නැසී තිබේ, ඕ තොමෝ වළලු පිදූ ඒ කර්‍ම ශක්තියෙන් දැන් තෙවළාදර වූ මහා නුවණැත්තී වූ ය, බුදුවරුන්ට කළ උවැටැනෙන් සෝවන් පලයට පැමිණියා, මේ ඇය පෙර කළ කර්‍මය, තව ද මෑ කසුප් බුදුරජානන් වහන්සේ දවස බරණැස් සිටුගේ දුවක් වූ ය, දවසෙක ඕ තොමෝ පස්වරු වේලෙහි කැඩපතක් ගෙණ සිය සිරුර සරසන්නට වූ ය, ඒ අතර එක් මෙහෙණක් ඇය දකිනු රිසියෙන් එහි පැමිණියා ය, මෙහෙණෝ රහත් වූවෝ ද, සවස්වේලෙහි උපස්ථායක කුලයන් දකිනු රිසියෙන් උපස්ථායක කුල කරා යති, මෙහෙණ එහි පැමිණි වේලේ සිටුදුව වෙත පණිවිඩ ගෙන යන දැස්සක් නො සිටියා ය, සිටුදුව මම ආර්‍ය්‍යාව වඳිමි, ස්වාමීනි! කරුණාකොට මාගේ අර පෙණෙන අබරණ පැස මෙහි ගෙණ දෙනු මැනැවැ’ යි කිවු ය, මෙහෙණ තොමෝ මා මෙය මැයට ගෙණ නො දුන්නී නම් මෝ මා කෙරෙහි අමනාපයෙන් මැරී ගොස් අපායයෙහි උපදින්නී ය, මා මෙය ගෙණවුත් දුන්විට ඒ පවින් අනුන්ගේ පණිවිඩ ගෙණ යන දැස්සක් ව උපදින්නී ය, නිරයගින්නට දරවනුවට වඩා දැස්සක් ව ඉපැත් ම යහපතැ’ යි ඇය කෙරෙහි කරුණා උපදවා අබරණ පැස ගෙණවුත් ඇයට දුන්නු ය, ඒ පවින් ය මෝ අනුන්ගේ පණිවිඩ ගෙණ යන දැස්සක් වූවා” යි වදාළ සේක.

පසු දවසෙක ධර්‍මශාලාවෙහි හුන් භික්‍ෂූන් වහන්සේලා අතර ‘සාමාවතී ප්‍රමුඛ ස්ත්‍රීහු ගෙයි දැවුනෝ ය, මාගන්දියාගේ නෑයෝ පිදුරු ගින්නෙන් දැවුනෝ යකඩනගුලින් බිඳුනෝ ය, මාගන්දියා තොමෝ කකියන තෙලෙහි පැසුනු, මොවුනතුරෙහි ජීවත් වන්නෝ කවුරු ද? මළෝ කවුරු දැ’ යි කතාවක් උපන. ඒ අතර බුදුරජානන් වහන්සේ එහි වැඩි සේක. එහි හුන් සියලු දෙනා වහන්සේ නිහඬ වූහ. ‘තමුසේලා ඇයි නිහඬවුනෝ? කතා කළෝ කුමක් ගැණ දැ’ යි අසා භික්‍ෂූන් කතා කරමින් හුන් කාරණය දැන්වූ විට ‘මහණෙනි! යම් කෙනෙක් ප්‍රමත්ත වූවෝ ද, ඔවුහු අවුරුදු සියයක් ජීවත් වන්නෝ නමුත් මළෝ ය, මළවුන් වැන්නෝ ය, යම් කෙනෙක් අප්‍රමත්ත වූවෝ ද ඔවුහු මළාහු නමුත් නො මළෝ වෙති, ජීවත් වන්නෝ ය, ඔවුහු, මාගන්දියා ජිවත්වන්නී ද, මළ එකියක, සාමාවතීලා මළාහු නමුත් ජීවත් වෙති’ යි වදාරා නැවැත ‘අප්‍රමත්තයෝ නො මැරෙති’ යි දක්වන්නට මේ ධර්‍මදේශනාව කළ සේක.

අප්පමාදො අමතපදං පමාදො මච්චුනො පදං,

අපමත්තා න මීයන්ති යෙ පමත්තා යථා මතා,

.

එතං විසෙසතො ඤත්‍වා අප්පමාදම්හි පණ්ඩිතා,

අප්පමාදෙ පමොදන්ති අරියානං ගොචරෙ රතා,

.

තෙ ඣායිනො සාතතිකා නිච්චං දළ්හපරක්නමා,

ඵුසන්ති ධීරා නිබ්බාණං යොගක්ඛෙමං අනුත්තරන්ති.

අප්‍රමාදය තෙමේ නිවනට කරුණු වේ. ප්‍රමාදය තෙමේ මරණයට කරුණු වේ. නො පමාවූවෝ නො මියෙති. යම් කෙනෙක් පමාවූවෝ නම්, ඔවුහු මළවුන් වැනි වෙති.

‘නො පමාවූවෝ නො මියෙති, යම් කෙනෙක් පමාවූවෝ නම්, ඔවුහු මළවුන් වැනි වෙති’ යන මෙය වෙසෙසින් දැන නො පමා බවෙහි ඇලුනු බැඳුනු නුවණැත්තෝ ආර්‍ය්‍යගොචරයෙහි ඇලුනෝ නො පමාබවෙහි අතිශයින් සතුටු වෙති.

ධ්‍යාන කරණසුලු වූ නිතිපැවැති කායික චෛතසික වීර්‍ය්‍යය ඇති නිතිපැවැති දෘඪපරාක්‍රමයෙන් යුත් ඒ නුවණැත්තෝ චතුර්විධයෝගයන්ගෙන් නිර්‍භය වූ නිර්‍වාණය ස්පර්‍ශ කරති.

අප්පමාදො = අප්‍රමාදය තෙමේ. නො පමා බව. සිහි ඇතිබව

අප්‍රමාදය කිමැ යි මෙහිලා දත යුතු ය. “අප්පමාදො නාම පමාදස්ස පටිපක්ඛභූතො එකො ධම්මො” යන මෙයින් අප්‍රමාදය නම්, ප්‍රමාදයට පටහැනි ව සිටි විරුද්ධ ව සිටි එක් ධර්‍මයෙකැ යි දක්වන ලද්දේ ය. යම් ධර්‍මයෙක් ප්‍රමාදයට පටහැනි ව නැගී සිටියේ ද ඒ ධර්‍මය අප්‍රමාදය යි මෙයින් අනුශාසිත ය.

ප්‍රමාදයට විරුද්ධ ධර්‍මය අප්‍රමාදය යි කියන ලද්දේ ද ඉතා ම කෙටියෙනි. අප්‍රමාදය නම් අරුත් විසින් සිහියෙන් නො තොරවීම ය. නිතර එළඹ සිටි සිහියට අප්‍රමාද යනු නමෙකි. මෙයින් පෙණෙනුයේ සිහියෙන් වෙන් නොවී සිහි ඇති ව කෙරෙණ කායිකාදී ආචාරයන්ගේ මනා පැවැත් ම, සුචරිතධර්‍මවිෂයයෙහි නිතොර මැනැවින් එළඹ සිටි සුචරිතධර්‍ම හා එක් ව යෙදුනු සිහිය, අප්‍රමාදය බව ය. “සො පන අත්‍ථතො සතියා අවිප්පවාසො නාම නිච්චං උපට්ඨිතාය සතියා චෙතං නාමං” යි ඒ කීහ.

අන් ඇදුරු කෙනෙක් සතිසම්පජඤ්ඤය හා එක් ව යෙදුනු චතුර්විධ අරූපස්කන්ධය අප්‍රමාදැ යි කියත්, “අපරෙ පන සති සම්පජඤ්ඤයොගෙන පවත්තා චත්තාරො අරූපිනො ඛන්‍ධා අප්පමාදොති වදන්‍ති” යනු එහි පාලි ය.

“එකො ධම්මො බහූපකාරො, කතමො එකො ධම්මො අප්පමාදො කුසලෙසු ධම්මෙසු” යන මේ පාලියෙන් අප්‍රමාදය, සිල්පිරීම, ඇස්-කන්-නාස් ආදි ඉඳුරන්ගි හික්මීම, බොජුන්හි පමණ දැනීම, නිදි දුරු කිරීම යනාදී නිවරද වූ සියලු කුශලධර්‍මයන්හි බොහෝ උපකාරව සිටුනා බව පෙණෙන්නේ ය. ඒ නිසා ම බුදුරජානන් වහන්සේ “යාවතා භික්‍ඛවෙ! සත්තා අපදා වා ද්විපදා වා චතුප්පදා වා බහුප්පදා වා රූපිනො වා අරූපිනො වා සඤ්ඤිනො වා අසඤ්ඤිනො වා නෙවසඤ්ඤිනාසඤ්ඤී වා, තථාගතො තෙසං අග්ගමක්ඛායති, එවමෙව ඛො භික්ඛවෙ! යෙ කෙචි කුසලා ධම්මා, සබ්බෙ තෙ අප්පමාද මූලකා අප්පමාදසමොසරණා අප්පමාදො තෙසං ධම්මානං අග්ගමක්ඛායති” යනු වදාළ සේක.

‘මහණෙනි! පා නැත්තා වූ දෙ පා ඇත්තා වූ සිවු පා ඇත්තා වූ බොහෝ පා ඇත්තා වූ රූ ඇත්තා වූ රූ නැත්තා වූ සංඥී වූ අසංඥ වූ නෛවසංඥීනාසංඥී වූ යම් පමණ සත්වයෝ වෙත් නම් ඒ සියල්ලන් අතර තථාගත තෙමේ අග්‍රය යි කියනු ලැබේ ද, එ පරිද්දෙන් යම්කිසි කුශලධර්‍මයෝ වෙත් නම්, ඒ සියලු කුශල ධර්‍මයෝ අප්‍රමාදය මුල්කොට ඇත්තාහු ය. අප්‍රමාදය පිහිට කොට ඇත්තාහ. (එහෙයින්) අප්‍රමාදය ඔවුනට අග්‍රය යි කියනු ලැබේ’ යනු එහි කෙටි තේරුම ය. මෙයින් පෙණනුයේ සියලු සත්වයන් අතුරෙහි බුදුරජානන් වහන්සේ ම ශ්‍රේෂඨබවත් එමෙන් සියලු කුශලධර්‍ම අතුරෙහි අප්‍රමාදය ම ශ්‍රේෂඨබචත් ය.

අප්‍රමාදය මුල් කොට ඇති අප්‍රමාදයෙන් මතු වී එන කුශල ධර්‍මයෝ කාමාවචර - රූපාවචර අරූපාවචර ලෝකෝත්තර යි භූමි - භේදයෙන් සිවුවැදෑරුම් ය. එහෙත් අප්‍රමාදය කාමාවචර යි. ‘කාමාවචර වූ අප්‍රමාදය කාමාවචර කුශල ධර්‍මයන්ට කෙසේ මුල් වන්නේ දැ?’ යි මෙහි ප්‍රශ්නයෙක් නැගේ. මෙලොව පරලොව වශයෙන් ලැබිය යුතු වූ ස්වර්‍ගමනුෂ්‍යසම්පත්තිප්‍රතිලාභය වනුයේ අප්‍රමාදයෙන් ම බැවින් අප්‍රමාදය කාමාවචරකුශලයනට මුල් වන්නේ ය, යනු එහිලා පිළිතුරු ය. උසස් වූ ලෝකෝත්තරකුශල ධර්‍මයෝ ද අප්‍රමාදයෙන් ම ලැබිය යුත්තෝ ය. අප්‍රමාදයෙන් තොර ව නො ලැබිය හැක්කෝ ය, ලෝකෝත්තරකුශලයෝත්. සියලු බුදු පසේ බුදු මහරහත්හු අප්‍රමාදයෙහි පිහිටා සදෙවකලෝකයා විසින් පිදිය යුතු බවට පත් වූවාහු ය.

දුරු කටයුතු අකුශලධර්‍ම දුරුකිරීමත් සම්පාදනය කටයුතු කුශලධර්‍ම සම්පාදනය කිරීමත් දෙක ම වන්නේ සමෘති අවිප්‍රවාසය යි කියූ අප්‍රමාදයේ බලයෙනි. “ඉමෙ අකුසලා ධම්මා පහාතබ්බා ඉමෙ කුසලා ධම්මා සම්පාදෙතබ්බා” යනාදීන් වදාළ සූත්‍ර ධර්‍මයෙන් එය පැහැදිලි වන්නේ ය. සමෘතිඅවිප්‍රවාසය අප්‍රමාදය යි පිළිගන්නවුන් විසින් මෙය ද පිළිගත යුතු ය.

සියලු කුශලධර්‍ම, අප්‍රමාදය මුල් කොට ඇති බැවින් තෙවළාදහම් අප්‍රමාදයෙහි ගැලී සිටි බැවින් අප්‍රමාදය යන මේ පදය මහත් අරුත්රැසක් ගැබ් කොට ගත්තේ ය.

“සෙය්‍යථාපි භික්ඛවෙ! යානි කානි චි ජඞ්ගමානානං පාණානං පදජාතානි, සබ්බානි තානි හත්‍ථිපදෙ සමොධානං ගච්ඡන්ති යදිදං මහන්තත්තෙන හත්‍ථිපදං තෙසං අග්ගමක්ඛායති යදිදං මහන්ත‍‍‍ත්තෙන එවමෙව ඛො භික්ඛවෙ! යෙ කෙචි කුසලා ධම්මා සබ්බෙ තෙ අප්පමාදමූලකා අප්පමාදසමොසරණා අප්පමාදො තෙසං අග්ගමක්කායති” යන මේ දේශනාව ද

කියන්නී ඒ වග ය, ‘මහණෙනි! ඇවිදින සත්වයන්ගේ පාදයෝ ඇත් පියවරෙහි යම් සේ ඇතුළත් වෙත් ද, ඇත් පියවර ම මහත් බව කරණකොට ඒ අන් හැම පියවරකට ම වඩා ශ්‍රේෂ්ඨ වේ ද, එමෙන් යම්කිසි කුශලධර්‍මයෝ වෙත් නම් ඒ සියලු කුශලධර්‍මයෝ අප්‍රමාදය මුල් කොට ඇත්තේ ය, අප්‍රමාදය පිහිට කොට ඇත්තෝ ය, අප්‍රමාදය ඒ සියලු කුශලධර්‍මයන්ට අග්‍රය යි කියනු ලැබේ ය’ යනු උඩ කියූ පාලියේ කෙටි සිංහල තේරුම ය.

සියලු කුශලධර්‍මයට මුල් වූ ඒ මේ අප්‍රමාදයෙහි මහත්බව දක්වන්නට බුදුරජානන් වහන්සේ තව තවත් කරුණු ලෝකයා අතර ප්‍රකට කරුණු ගෙන හැර පෑහ. මෙහි පහත දැක්වෙන්නේ එයින් ස්වල්පයෙකි.

“සෙය්‍යථාපි භික්ඛවෙ! කුටාගාරස්ස යා කාචි ගොපානසියො, සබ්බා තා කූටඞ්ගමා කූටනින්නා කූටසමොසරණා, කූටං තාසං අග්ගමක්ඛායති, එවමෙව ඛො භික්ඛවෙ! යෙ කෙචි කුසලා ධම්මා සබ්බෙ තෙ අප්පමාදමූලකා අප්පමාදසමොසරණා, අප්පමාදො තෙසං ධම්මානං අග්ගමක්‍ඛායති.

සෙය්‍යථාපි භික්ඛවෙ! යෙ කෙචි මූලගන්‍ධා, කාලානුසාරීයං තෙසං අග්ගමක්ඛායති, එවමෙව ඛො භික්ඛවෙ! යෙ කෙචි කුසලා ධම්මා, -පෙ- අප්පමාදො තෙසං ධම්මානං අග්ගමක්‍ඛායති.

සෙය්‍යථාපි භික්‍ඛවෙ! යෙ කෙචි සාරගන්‍ධා, ලොහිතචන්‍දනං තෙසං අග්ගමක්ඛායති, එවමෙව ඛො භික්ඛවෙ! යෙ කෙචි කුසලා ධම්මා -පෙ- අප්පමාදො තෙසං ධම්මානං අග්ගමක්ඛායති, සෙය්‍යථාපි භික්‍ඛවෙ! යෙ කෙචි පුප්ඵගන්ධා, වස්සිකං තෙසං අග්ගමක්ඛායති, එවමෙව ඛො භික්ඛවෙ! යෙ කෙචි කුසලා ධම්මා -පෙ- අප්පමාදො තෙසං ධම්මානං අග්ගමක්ඛායති.

සෙය්‍යථාපි භික්ඛවෙ! යෙ කෙචි කුඩ්ඩරාජානො, සබ්බෙතෙ රඤ්ඤො චක්කවත්තිස්ස අනුයන්තා භවන්ති, රාජා තෙසං චක්කවත්ති අග්ගමක්ඛායති, එවමෙව ඛො භික්ඛවෙ! යෙ කෙචි කුසලා ධම්මා - පෙ - අප්පමාදො තෙසං ධම්මානං අග්ගමක්ඛායති.

සෙය්‍යථාපි භික්ඛවෙ! යා කාචි තාරකරූපානං පභා, සබ්බා තා චන්දප්පභාය කලං නාගඝන්ති සොළසිං, චන්‍දප්පභා තාසං අග්ගමක්ඛායති, එවමෙව ඛො භික්ඛවෙ! යෙ කෙචි කුසලා ධම්මා, -පෙ- අග්ගමක්ඛායති.

සෙය්‍යථාපි භික්ඛවෙ! සරදසමයෙ විද්ධෙ විගතවලාහකෙ දෙවෙ ආදිච්චො නභං අබ්භුස්සුක්කමානො සබ්බං ආකාසගතං තමගතං අභිවිහච්ච භාසතෙ ච තපතෙ ච විරොචති ච, එවමෙව ඛො භික්ඛවෙ! යෙ කෙචි කුසලා ධම්මා -පෙ- අග්ගමක්‍ඛායති.

සෙය්‍යථාපි භික්ඛවෙ! යා කාචි මහානදියො, සෙය්‍යථිදං? ගඞ්ගා යමුනා අචිරවතී සරභූ මහී, සබ්බා තා සමුද්දඞ්ගමා සමුද්දනින්නා සමුද්දපොනා සමුද්දපබ්භාරා, මහා සමු‍‍ද්දො තාසං අග්ගමක්ඛායති, එවමෙව ඛො භික්ඛවෙ! යෙ කෙචි කුසලා ධම්මා, සබ්බෙ තෙ අප්පමාදමූලකා අප්පමාදසමොසරණා, අප්පමාදො තෙසං ධම්මානං අග්ගමක්ඛායති”

කූටාගාරයක වූ සියලු පරාල, එහි කැණිමඬලට නැමී පවත්නේ යම් සේ ප්‍රධාන වේ ද, මූලගන්ධයන් අතුරෙහි කලුවැල් සුවඳ යම් සේ ප්‍රධාන වේ ද, සාරගන්ධයන් අතුරෙහි රත් සඳුන් සුවඳ යම් සේ ප්‍රධාන වේ ද, පුෂ්පගන්ධයන් අතුරෙහි දැසමන්මල් සුවඳ යම් සේ ප්‍රධාන වේ ද, ලෝකයෙහි රජුන් අතුරෙහි සක්විති රජතෙමේ යම් සේ ප්‍රධාන වේ ද, සරත්කල්හි පහ වූ වලාපටල ඇති අහසෙහි සූර්‍ය්‍ය තෙමේ සියලු අඳුර දුරු කොට බබලන්නේ යම් සේ ප්‍රධාන වේ ද, සප්ත මහාගඞ්ගාවෝ මුහුදට ගලා බස්නෝ ඔවුනට මූද යම් සේ ප්‍රධාන වේ ද, එ මෙන් සියලු කුශලධර්‍මයෝ අප්‍රමාදය පිහිට කොට ඇත්තෝ, ඔවුන් හැමට අප්‍රමාදය ප්‍රධාන වේ, යනු මේ දේශනා පාලියෙහි ඉතා කෙටි තේරුම ය.

කුසිනාරානුවර මල්ලරජදරුවගේ සල්වන උයන්හි පිරිනිවන් ඇඳෙහි වැදහොත් බුදුරජානන් වහන්සේ බුදුබවට පැමිණි තැන් පටන් සතළිස් පස් වසක් මුළුල්ලෙහි සදෙවක ලෝකයාගේ හිත සැප පිණිස දේශනා කොට වදාළ සියලු ධර්‍මය එක් තැන් කොට එක් පදයක සංග්‍රහ කොට “ හන්‍දදානි භික්ඛවෙ! ආමන්තයාමි, වො වයධම්මා සංඛාරා අප්පමාදෙන සම්පාදෙථ” යනු වදාළ සේක. අප්‍රමාදයෙහි මහත්බවම ය, මෙයිනුත් වදාළෝ.

දිනෙක සැවැත්නුවර දෙව්රම් මහවෙහෙර වැඩ විසූ බුදුරජානන් වහන්සේ වෙත ගිය පසේනදීකොසොල් මහරජ තෙමේ වැඳ, එකත්පසෙක හිඳ, ‘ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! මෙලොව පරලොව දෙක්හි මිනිසුනට එක සේ වැඩ සිදු කර දෙන ධර්‍මයෙක් තිබේ දැ’ යි ඇසී ය. ‘ඔව්! මහරජ! තිබේ ය’ යි වදාළ විට ‘ඒ කිමැයි නැවැත ඔහු ඇසී ය. ‘මහරජ! ඒ නම් අප්‍රමාදය’ යි වදාළ බුදුරජානන් වහන්සේ එහිලා ඔහුගේ වැඩියක් දැනීම සඳහා,

“ආයුං ආරොගියං වණ්ණං සග්ගං උච්චාකුලීනතං,

රතියො පත්‍ථයන්තෙන උළාරෙ අපරාපරෙ,

.

අපපමාදං පසංසන්ති පුඤ්ඤකිරියාසු පණ්ඩිතා,

අප්පමත්තා උභො අත්‍ථෙ අධිගණ්හාති පණ්ඩිතො,

.

දිට්‍ඨෙව ධම්මෙ යො අත්‍ථො යො චත්‍ථො සම්පරායිකො,

අත්‍ථාභිසමයා ධීරො පණ්ඩිතොති පවුච්චති”

යනු වදාළෝ ය.

ආයුෂය, නීරෝගබව, සිරුරුපැහැය, ස්වර්‍ගය, උසස් කුල ඇතිබව, තවත් නොයෙක් මහත් පස්කම් ඇලුම් හා ධ්‍යාන විදර්‍ශනාමාර්‍ග ඵල ඇලුම් පතන්නහු විසින් අප්‍රමාදය ම කටයුතු ය. බුද්ධාදීපණ්ඩිතයෝ දන් දීම් ඈ පුණ්‍යක්‍රියාවන්හි අප්‍රමාදය ම පසසත්. අප්‍රමත්ත වූ පණ්ඩිත තෙමේ මෙලොව පරලොව දෙක්හි ම ගිහි පැවිද්දන් පිළිබඳ හැම අර්‍ත්‍ථයක් ම අප්‍රමාදහේතුවෙන් සිදුකර ගණි යි. අර්‍ත්‍ථප්‍රතිලාභය හේතු කොට, ධෘතිසම්පන්න පුද්ගල තෙමේ පණ්ඩිත යි කියනු ලැබේ.

කාය දුච්චරිතය පහා, කායසුචරිතය වඩා, එහි නො පමාව වචීදුච්චරිතය පහා, වචී සුචරිතය වඩා, එහි නො පමාව මනෝදුච්චරිතය පහා, මනෝ සුචරිතය වඩා, එහි නො පමාව මිචඡාදිට්ඨිය පහා, සම්මාදිට්ඨිය වඩා, එහි නො පමාව මුළු බුදුදහම ගැබ් කොට ගත් සියලු කුශලධර්‍මයන්ට පිහිට වූ අප්‍රමාදය කටයුතු ය. යම් දවසෙක යමකු පිළිබඳ කායදුච්චරිතය පැහුනේ, කායසුචරිතය වැඩුනේ ද, වචීදුච්චරිතය පැහුනේ, වචීසුචරිතය වැඩුන් ද, මනෝදුච්චරිතය පැහුනේ, මනෝසුචරිතය වැඩුනේ ද, මිච්ඡාදිට්ඨිය පැහුනී, සම්මාදිට්ඨිය වැඩුනී ද, ඔහු පරලොව වන මරණයට බිය වන්නේ නොවේ. මේ මෙහි දේශනාව.

“චතූහි භික්ඛවෙ! ඨානෙහි අප්පමාදො කරණියො, කතමෙහි චතූහි? කායදුච්චරිතං භික්‍ඛවෙ! පජහථ, කායසුචරිතං භාවෙථ, තත්‍ථ ච මා පමාදත්‍ථ, වචීදුච්චරිතං භික්‍ඛවෙ! පජහථ, වචීසුචරිතං භාවෙථ, තත්‍ථ ච මා පමාදත්‍ථ, මනො දුච්චරිතං භික්ඛවෙ, පජහථ, මනොසුචරිතං භාවෙථ, තත්‍ථ ච මා පමාදත්‍ථ, මිච්ඡාදිට්ඨිං භික්‍ඛවෙ! පජහථ, සම්මාදිට්ඨිං භාවෙථ තත්‍ථ ච මා පමාදත්‍ථ, යතො ඛො භික්ඛවෙ! භික්ඛුනො කායදුච්චරිතං පහීනං හොති කායසුචරිතං භාවිතං, වවීදුච්චරිතං පහීනං හොති වචීසුචරිතං භාවිතං, මනොදුච්චරිතං පහීනං හොති මනොසුචරිතං භාවිතං, මිච්ඡාදිට්ඨි පහීනා හොති සම්මා දිට්ඨි භාවිතා, සො න භායති සම්පරායිකස්ස මරණස්සාති”

රහතුන් වහන්සේ මෙලොව පරලොව දෙක්හිම මරණයට බිය වූවෝ නො වෙති. මේ වනාහි දේශනාමාත්‍රයෙකි. රහතුන් වහන්සේ ම මෙහිලා ගැණෙත්.

තමහට හිත කැමැත්තහු විසින්, අප්‍රමාදය රකින්නහු විසින් ‘මාගේ සිත රාගයට කරුණු වූ ඉටු අරමුණුවල නො ඇලේවා, ද්වේෂයට කරුණු වූ අරමුණුවල දූෂිත නො වේවා, මෝහයට කරුණු වූ අරමුණුවල මොහිත නො වේවා, මදයට කරුණු වූ අරමුණුවල මත් නො වේවා” යි මේ කරුණු සතරෙහි සිහියෙන් යුත් සිතැති ව අප්‍රමාදය රැකිය යුතු ය. යම් දවසෙක සිත පහ වූ රාගය ඇති බැවින්, සිත ඇලීමට කරුණු අරමුණුවල නො ඇලේද, පහ වූ ද්වේෂය ඇති බැවින් ද්වේෂයට කරුණු වූ අරමුණුවල සිත දූෂිත නො වේද, පහ වූ මෝහය ඇති බැවින් මුළාවට කරුණු වු අරමුණුවල සිත මොහිත නො වේ ද, පහ වූ මදය ඇති බැවින් මදයට කරුණු වූ අරමුණුවල සිත මත් නො වේ ද, ඔහු කිසි විටෙකත් දෘෂ්ටිවශයෙන් තැති නො ගන්නේ ය. පරවාදී ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ වචන නො ද පිළිගන්නේ ය. මෙන්න මෙහි දේශනාව.

“චතුසු භික්ඛවෙ! ඨානෙසු අත්තරූපෙන අප්පමාදො සති චෙතසො ආරක්ඛො කරණීයො, කතමෙසු චතුසු?, මා මෙ රජනීයෙසු ධ‍ම්මෙසු චිත්තං රජ්ජී, ති -පෙ- දුස්සී, ති -පෙ- මුය්හී, ති -පෙ- මජ්ජී, ති අත්තරූපෙන අප්පමාදො සති චෙතසො ආරක්ඛො කරණීයො, යතො ඛො භික්ඛවෙ! හික්ඛුනො, රජනීයෙසු ධම්මෙසු චිත්තං න රජ්ජති වීතරාගත්තා දොසනීයෙසු ධම්මෙසු චිත්තං න දුස්සති වීතදොසත්තා, මොහනීයෙසු ධම්මෙසු චිත්තං න මුය්හති වීතමොහත්තා, මදනීයෙසු ධම්මෙසු චිත්තං න මජ්ජති වීතමදත්තා, සො න ච්ඡම්භති, න කම්පති, න වෙධති, න සන්තාසං ආපජ්ජති, න ච පන සමණ වචන හෙතු’ පි ගච්ඡතී’පි” නො පමාබැවින් යුතු ව, කෙලෙස් තවන වැර ඇතු ව, හළ ආත්මාලය ඇතු ව වසන්නහුගේ සිත සියලු කෙලෙසුන්ගෙන් මිදී යන්නේ ය. “අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො අවිමුත්තං වා චිත්තං විමුච්චති, අපරික්ඛීණා ආසවා පරික්ඛයං ගච්ඡන්ති” යනු එහි පාලි ය.

එහෙයින් මෙලොව පරලොව දෙක්හි ම දියුණු වන්නට නැගී සිටින්නට අප්‍රමාදය වැඩිය යුතු ය. දියුණු කළ යුතු ය. වැඩූ අප්‍රමාදයේ හැටි දියුණු කළ අප්‍රමාදයේ හැටි “එකධම්මො භික්ඛවෙ! භාවිතො බහුලීකතො උභො අත්‍ථෙ සමධිගය්හ තිට්ඨති. දිට්ඨධම්මිකඤ්ච අත්‍ථං සම්පරායිකඤ්චාති, කතමො එකධම්මො? අප්පමාදො කුසලෙසු ධම්මෙසු, අයං ඛො භික්ඛවෙ! එකධම්මො භාවිතො බහුලීකතො උභො අත්‍ථෙ සමධිගය්හ තිට්ඨති දිට්ඨධම්මිකඤ්ච අත්‍ථං සම්පරායිකඤ්චාති” යන මේ සූත්‍රයෙන් ද පැහැදිලි කළහ බුදුරජානන් වහන්සේ.

වැඩූ හොඳට ම වැඩූ පුන පුනා වැඩූ අප්‍රමාදය තෙමේ මෙලොව එලොව දෙක්හි ලැබිය යුතු වූ සියලු සම්පත් දැඩි ව අල්ලා ගෙණ සිටී ය, යනු එහි සිංහල ය.

‘අප්‍රමාදය වැඩිය යුතු ය’ යි කියූ බැවින් කෙනකුට එය ‘අප්පමාදභාවනා’ යි වෙන් කොට ගන්නා එක් භාවනාවකැ යි සිතිය හැකි ය. එසේ නො ගන්න. මේ ශාසනයෙහි එබඳු නමකින් හඳුන්වන විශේෂ භාවනාවක් නැත. මෙන්න මේ කතාව කියු හැටි:- “න අප්පමාදභාවනා නාම විසුං එකා භාවනා අත්‍ථි, යා කාචි පුඤ්ඤකිරියා කුසලකිරියා සබ්බා සා අප්පමාදභාවනාත්‍වෙව වෙදිතබ්බා” යනු. මේ දේශනාවට යටත් ව කිය යුත්තේ තුන් දොර මෙහෙයවා කරණ කියන හිතන හැම පිණක් ම හැම පින් සිතිවිල්ලක් ම අප්පමාදභාවනාව බව ය. නිවන් ඇසුරු කොට සිටි සරණාගමනය- කය සිත දෙක්හි මනා හික්මීම යන මේ පටන් සියලු සීලභාවනාවෝ, සියලු සමාධිභාවනා වෝ, සියලු ප්‍රඥාභාවනාවෝ අප්පමාදභාවනාවෝම ය. සියලු සීල-සමාධි-ප්‍රඥා භාවනාවෝ අප්පමාදභාවනාවෝ ම වෙති. “විසෙසතො පන විවට්ටුපනිස්සයං සරණාගමනං කායික-චෙතසිකසංවරඤ්ච උපාදාය සබ්බා සීලභාවනා සබ්බා සමාධිභාවනා සබ්බා පඤ්ඤාභාවනාති සබ්බා කුසලභාවනා අනවජ්ජභාවනා අප්පමාද භාවනාති වෙදිතබබා” යනු එහි සාධක සූත්‍රය වේ.

අමතපදං - නිවනට කරුණු වේ. නිවන් ලැබීමේ මාර්‍ගය වේ.

මෙහි ‘ අමත’ නම් නිවන යි. ඉපැත්මෙක්, විනාශයෙක් අන් අතකට පෙරළීමෙක් එහිලා දැක්විය නො හැකි ය. එහෙයින් එය හටගන්නෙක්, දිරන්නෙක්, මැරෙන්නෙක් නො වේ. මේ බලන්න බණ පොත එය කියූ සැටි;- “යස්මා පනස්ස න උප්පාදො පඤ්ඤායති න වයො පඤ්ඤායති න ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායති, තස්මා තං න ජායති න ජීයති න මීයති, ති කත්‍වා අමතන්ති වුච්චති” යි. සසර ඇවිදින සත්වයාගේ ඒ සසරැ ඇවිදීම, මැරි මැරී ඉපැත්ම යම් ස්වභාවධර්‍මයකට පැමිණ නැවත්ලූයේ නම්, ඒ නැවැත්ම, ඒ නැවින්ම සිදුකළ ධර්‍මශක්තිය නිවනැයි කියති. නෛරුක්තිකයෝ, එය නිරුක්ති කළ සැටි මෙසේ ය:- ‘නත්‍ථි එතස්ස මරණසඞ්ඛාතං මතන්ති- අමතං’ යි. නිවනෙහි තතු දක්වන්නට, පෙර ඇදුරන් විසින් නිවන සඳහා යෙදූ නම් රාශියක් පොතපතෙහි දැක්ක හැකි ය. අච්චන්ත - අකත - අනන්ත - අපලොකිත - පණීත - සරණ - ඛෙම - තාණ - ලෙන - පරායණ - සිව - නිපුණ- සච්ච - දුක්ඛක්ඛය - අනාසව - සුදුද්දස - අසඞ්ඛත - පර - පාරමොක්ඛ - නිරොධ- නිබ්බාණ - ධුව - දීප - අව්‍යාපජ්ඣ - පවට්ට - කෙවල - අනීතික - අනාලය - පද- අච්චුත - අක්ඛර - විමුත්ති - අපවග්ග - විරාග- යොගක්ඛෙම - සන්ති - විසුද්ධී - අසඞ්ඛතධාතු - නිබබුති - සුද්ධි - අරූප - යන නම් එයින් කිහිපයෙකි. (නිවනෙහි විස්තර ඉදිරියෙහි එන්නේ ය)

මේ හැම නාමපදයකින් ම, නිවනෙහි තතු, නිවන නම්, මේ ය. යනු ඒ ඒ ලෙසින්, නිවනින් සිදුවන හිතරුත් අනු ව, පහදා ලිය හැකි ය. පහදාදිය හැකි ය.

නිවන සඳහා යෙදුනු මේ ‘ අමත’ යන්න මෙහි ආයේ නිවන සඳහා ම ය. ‘ අමතවස්සං’ යනාදි තන්හි ආයේ ජලයෙහි ය. ‘ධම්මාමතරසෙන’ යනාදි තන්හි හුනුයේ, සුධාභෝජනයෙහි ය.

‘පද’ නම්, හේතු ය. කාරණය-මාර්‍ගය යි කියන ලදද වරද නැත්තේ ය. මෙහි යම් ධර්‍මයෙක්, නිවන් ලැබීම සඳහා පිළිපැදිය යුතු නම්, රැකිය යුතු නම්, වැඩිය යුතු නම් ඒය පද. අප්‍රමාදය යි. අප්‍රමාදය නො වඩා නිවන් නො ලැබිය හැකි ය. ඒ තබා, අන් සැපයකුත් අප්‍රමාදය හැර දමා නො ලැබිය හැක්කේ ය. මේ මෙහි, නිරුක්ති:- “ අරියෙහි පටිපජ්ජිතබ්බත්තා ගන්තබ්බත්තා = පදං, පජ්ජති ඵලමෙතෙනාති = පදං, පජ්ජතෙ ගච්ඡතෙ එතෙනාති = පදං” යනු.

‘අමතස්ස = පදං, අමතපදං’ නිවනට කරුණු වූයේ, අමතපද නම්. නිවන් ලැබීමේ හේතුව වනුයේ, අප්‍රමාදය, යි. මෙයින් වදාළෝය.

පමාදො - ප්‍රමාදය. ප්‍රමත්තභාවය. පමාබව. සිහියෙන් තොර බව. සිහි නැති කම.

“තත්‍ථ කතමො පමාදො? කායදුච්චරිතෙ වා වවීදුච්චරිතෙ වා මනොදුච්චරිතෙ වා පඤ්චසු වා කාමගුණෙසු චිත්තස්ස වොස්සග්ගො වොස්සග්ගානුප්පදානං ධම්මානං භාවනාය අසක්කච්චකිරියතා අසාතච්චකිරියතා අනට්ඨිකිරියතා ඔලිනවුත්තිතා නික්ඛිත්තඡන්‍දතා නික්ඛිත්තධුරතා අනදිට්ඨානං අනනුයොගො අනාසෙවනා අභාවනා අබහුලීකම්මං පමාදො, යො එවරූපො පමාදො පමජ්ජනා පමජ්ජිතත්තං අයං වුච්චති පමාදොති” යනු බුදුරජුන් ප්‍රමාදය වදාළ සැටියි. එලි කළ සැටියි.

කායදුශ්චරිතාදියෙහි හා පංචකාමයෙහි සිත හැර, සිතින් වෙන් ව, ක්‍රියාකිරීම මෙහි කී කරුණුවලදී සිහියෙන් වෙන්වීම, සිහියෙන් වෙන් වූ හැඟීම, කුසල්දහම් වැඩීමෙහි නො සකස් බච, කුසල්දහම් නිතර නො කිරීම, එහි සිහිය නො පිහිටුවීම, එහි ඇකිළී සිටීම, එහි අත්හළ කැමැත්ත, පසුබස්නා පැවැත් ම යනාදි ලෙසින් ධර්‍මයට පටහැනි වූ සිහියෙන් වෙන්වීම, ප්‍රමාදය යි එයින් කියවෙන්නේ ය.

කොටින් කිය යුත්තේ, දන්-සිල්-බැවුම් යන තෙවැදැරුම් කුසල්කම් කිරීමෙහි සිහිය නො එළවා සිටීම ප්‍රමාදය යි. ‘පමාදො චිත්තස්ස උපක්කිලෙසො’ යන දේශනාව කියන්නී ප්‍රමාදය සිත පිළිබඳ ක්ලේශයක් බව ය. එහෙයින්, ප්‍රමාදයෙන් කෙලෙසුනු නො සන්සුන් වූ සිතට, ඒ ඒ ධර්‍මයන්ගේ ඇති තතු දත නො හැක්කේ ය. අශූභය ශුභ, යි දුඃඛය සුඛ, යි අනිත්‍යය නිත්‍ය යි අනාත්මය ආත්ම යි, ගන්නේ, ප්‍රමාදයෙන් මැඩුනු කිලිටි වූ සිතය.

රූප-වේදනා-සඤ්ඤා-සංඛාර-විඤ්ඤාණ යන සකන්ධ පස, අනිත්‍ය-දුඃඛ-අනාත්ම යන ගති තුනට යටත් ව සිටියේ ද, එහි නිත්‍ය-ශුභ-සුඛ යි ගත යුත්තෙක් නො වූයේ ද පමායෙන් යුත් සිතට, සිහියෙන් තොර සිතට ඒ පෙණෙනුයේ, නිත්‍යයක් සේ ය. සුඛයක් සේ ය. ආත්මයක් සේ ය.

නො උපන් අකුසල් ඉපැත්මට, උපන් කුසල් පිරිහෙන්නට නිතර අනුබල දෙන්නේ, ප්‍රමාදය යි. මේ ඉපැදුම්-පිරිහුම් දෙකට, ප්‍රමාදය තරම් අනුබල දෙන, අන් ධර්‍මශක්තියක් බුදුනුවණට ද අසු

නො වූ ය. ප්‍රමත්තයාහටම ය නො උපන් අකුසල් උපදින්නේ. උපන් කුසල් පිරිහෙන්නේ. මෙන්න ඒ වදාළ සැටි:-

“නාහං භික්ඛවෙ! අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යෙන අනුප්පන්නා වා අකුසලා ධම්මා උප්පජ්ජන්ති, උපන්නා වා කුසලා ධම්මා පරිහායන්ති, යථයිදං භික්ඛවෙ! පමාදො, පමත්තස්ස භික්ඛවෙ! අනුප්පන්නා චෙව අකුසලා ධම්මා උප්පජ්ජන්ති උප්පන්නා ච කුසලා ධම්මා පරිහායන්තී ති” යි.

ප්‍රමාදය තෙමේ, එ ලොව මෙ ලොව දෙක්හි, සියලු යහපත නසාලයි. සියලු අවැඩට හේතු වෙයි. සගදොර වසාලයි. අවාදොර ඇරලයි. සසරැ ඉපැත් ම ගෙණ දෙයි. එහෙයින් ප්‍රමත්තයාහට විදසුන් වඩා නො පිළිසිඳෙන බවට, නො ඉපැදෙන බවට පැමිණෙන්නට නො හැකි ය. ඔහු දිගින් දිගට සසරැ ඉපිද ඉපිද මැරී යයි. “පමත්තො හි විපස්සනං ව‍ඩ්ඪෙත්‍වා අප්පටිසන්‍ධිකභාවං පත්තුං අසක්කොන්තො පුනප්පුනං සංසාරෙ ජායති චෙ ව මීයති ච” යනු එහි පාලිය යි.

මච්චුනො පදං - මරණයට කරුණු වේ. උපාය වේ. මග වේ.

ප්‍රමත්ත පුද්ගල තෙමේ ඉපැත්ම නො ඉක්මව යි. එහෙයින් උපන්නේ, දිරයි. මැරෙයි. ප්‍රමාදය, මරණයට මගය, උපාය යි වදාළෝ එහෙයිනි. දිගින් දිගට සසරැ ඉපිද ඉපිද මැරි මැරී යන්නෝ, ප්‍රමත්තපුද්ගලයෝ ය. ප්‍රමාදය නිසා ම සසරැ ඉපිද ඉපිද මැරි මැරී යති. ඉපැත්ම, දිරීම, මැරීම ප්‍රමත්තයනට, වළකා ලන්නට බැරි ය.

අපමත්තා න මීයන්ති = අප්‍රමත්තයෝ නො මැරෙති. නො පමා වූවෝ නො මැරෙති.

නො පමා වූවෝ කවුරු? “අප්පමත්තොති සක්කච්චකාරි සාතච්චකාරී අට්ඨිතකාරී අනොලිනවුතතිකො අනික්ඛිත්තඡන්‍දො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු, කථාහං අපරිපුරං වා සීලක්ඛන්‍ධං පරිපූරෙය්‍යං පරිපූරං වා සීලක්ඛන්‍ධං තත්‍ථ තත්‍ථ පඤ්ඤාය අනුග්ගණෙ‍්හය්‍යන්‍ති. යො තත්‍ථ ඡන්‍දො ච වායාමො ච උස්සාහො ච උස්සොළ්හි ච අප්පටිවානි ච සති ච සම්පජඤ්ඤං ච ආතප්පං පධානං අධිට්ඨානං අනුයොගො අප්පමාදො කුසලෙසු ධම්මෙසු -පෙ- කථාහං අපරිඤ්ඤාතං වා දුක්ඛක්ඛන්‍ධං පරිජානෙය්‍යං අප්පහීනෙ ච කිලෙස පජහෙය්‍යං අභාවිතං වා මග්ගං භාවෙය්‍යං අසච්ඡිකතං වා නිරාධං සච්ඡිකරෙය්‍යන්ති, යො තත්‍ථ ඡ‍න්‍දො ච වායාමො ච උස්සාහො ච උස්සොළ්හි ච අප්පටිවානී ච සති ච සම්පජඤ්ඤං ච ආතප්පං පධානං අධිට්ඨානං අනුයොගො අප්පමාදො කුසලෙසු ධම්මෙසුති අබ්බූළ්හසලෙ‍්ලා චරමප්පෙත්තා” යනු නො පමා වූවෝ කවුරු? යන ප්‍රශ්නයට ආගම දුන් පිළිතුරය. කුසල් දහම් සකස්ව කරන්නේ, නිරතුරු ව කරන්නේ, නො හැර කරන්නේ, එහි නො පසුබස්නා පැවතුම් ඇත්තේ, නො හළ ආසා ඇත්තේ, නො හළ වීර්‍ය්‍යය ඇත්තේ, අසම්පූර්‍ණ වූ ශීලස්කන්ධය, අසම්පූර්‍ණ වූ සමාධිස්කන්ධය, අසම්පූර්‍ණ වූ ප්‍රඥාස්කන්ධය කෙසේ සම්පූර්‍ණ කරන්නෙම්, සම්පුර්‍ණ වූ ශීලස්කන්ධය, සම්පූර්‍ණ වූ සමාධිස්කන්ධය, සම්පුර්‍ණ වූ ප්‍රඥාස්කන්ධය, විමුක්තිස්කන්ධය, විමුක්තිඥානදර්‍ශනස්කන්ධය නුවණින් කෙසේ ලංකර ගන්නෙම්, නො දත් දුක කෙසේ දන්නෙම්, නො පහළ කෙලෙස් කෙසේ පහන්නෙම්, නො වැඩු මග කෙසේ වඩන්නෙම්, අවබෝධ නො කළ නිවන කෙසේ අවබෝධ කරන්නෙම්’ යි මේ ඈ ලෙසින් කුසල්දහම්විෂයයෙහි කරණු කැමැත්තෙක්, ව්‍යායාමයෙක්, උත්සාහයෙක්, අධිකොත්සාහයෙක්, නො පසුබස්නා බවෙක්, සිහිකිරීමෙක්, මනා දැන්මෙක්, වීර්‍ය්‍යයෙක්, දැඩි වීර්‍ය්‍යයෙක්, තදින් පිහිටීමෙක්, නිතර යෙදීමෙක්, නොපමා බවෙක් යමකු පිළිබඳ වේ ද, මෙ ගුණ යුත් ඔහු අප්‍රමත්ත නම් වේ ය යනු, ඒ පාලියෙහි කෙටි සිංහල ය.

‘අප්‍රමත්තයෝ නො දිරති. නො මැරෙති’ යි නො ගත යුතුය. නො දිරණ නො මැරෙන එකෙකුත් ලොව නැත්තේ ය. අප්‍රමත්තයෝ, සිහිනුවණින් යෙදුනෝ සිහිනුවණින් කුසල් දහම් කොට, හළ යුත්ත හැර, වැඩිය යුත්ත වඩා, නො කුසීත ව දිරි ගැන් වී තෙද ගැන්වී මගපල පසක් කොට, සසර බැඳුම් බිඳලති. සසර දුකින් මිදෙති. ජීවත් වන්නෝත්, මිය ගියෝත් ඔවුහු මගපල පසක් කොට, නිවන් දුටු බැවින් නො මළවුන් වැනි වෙති. නො පමාවූවහුට සසර ඉමෙක් ඇත්තේ ය. අප්‍රමාදී ව ගුණ දහම් වඩා, මාර්‍ගඵලාවබෝධයෙන් නො මැරෙණ, නිවන් සැප ලබන්නෙක් වන්නේ ය. ඔහු සසරැ භවයක් හැර භවයක් ගෙණ දිගට නො යන්නේ ය.

යෙ පමත්තා යථා මතා = යම් කෙනෙක් පමා වූවෝ ද, ඔවුහු මළවුන් වැනි වෙති.

මළා වූ සත්වයෝ, ජීවිතේන්ද්‍රියයෙන් තොර බැවින්, දඬු කඩක් සේ, පහව ගිය විඥානය ඇත්තෝ වෙති. එමෙන් දන් දෙමු, සිල් රකිමු, භාවනා කරමු, පෙහෙවස් වසමු, මවුපියන් රකිමු, මහණ බමුණන් පුදමු, බණ අසමු “ යි ඈ ලෙසින් කිසිවිටෙකත් එක ද සිතකුත් නො උපදවන ගිහියෝත්, ‘ආචාර්‍ය්‍ය උපාද්ධ්‍යාය වත් පුරමු, ධුතගුණ රකිමු, කමටහන් වඩමු” යි ඈ ලෙසින් එක ද සිතකුත් නො උපදවන පැවිද්දෝත් නො මළෝ ද මළවුන් වැනි ය. මොවුහු අචෙතනත්වයෙන්, මළවුන් හා වෙනසක් නැත්තෝ ය. මළවුන් වැන්නෝ ය. මෙහි කොටින් කියු ගුණදහම් නො පුරණ ගුණදහම් නො වඩන ගිහි පැවිද්දෝ, බොහෝ කල් ජීවත් වන්නෝ ද, ප්‍රධාන මරණයෙන් මළ බැවින්, ගුණදහමින් මළ බැවින් මළගණයට වැටෙති. මළවුන් සේ සැලකෙති. මෙහිලා ඔවුන්ගේත් මළවුන්ගේත් කිසි වෙනසක් නැත්තේ ය.

එතං විසෙසතො ඤත්‍වා =මෙය වෙසෙසින් දැන ඉතා හොදට දැන.

‘පමාවූවහුට සසරින් මිදීම නැත, නො පමාවූවහුට සසරින් මිදීම ඇත, අප්‍රමාදය නිවණට මග ය, ප්‍රමාදය සසරට මග ය, යන මෙය වෙසෙසින් දැන’ යනු යි. වෙසෙසින් දැනීම නම්, යම්තමකින් දැනීම නො ව, ඇති තතු ඒ හැටියට ඉතා හොඳින් දැනීම ය.

“විසෙසතො ඤත්‍වාති පමත්තස්ස වට්ටතො නිස්සරණං නත්ති අප්පමත්තස්ස අත්‍ථිති එතං විසේසං විසෙසතො ව ජානිත්‍වා” යනු අටුවා ය.

අපමාදම්හි පණ්ඩිතා = නො පමාබව්හි පිහිටි නුවණැත්තෝ.

සතුන් මැරීම් ආදී වූ අකුසල් කිරීමෙන් තොරව, කුසල්දහම්හි, පිහිටා ගත්තෝ ය පණ්ඩිතයෝ. මේ බලන්න මෙය කියූ සැටි පාළියෙන්:- “ පණ්ඩිතා නාම පාණාතිපාතා වෙරමණී ආදි දසකුසලකම්මපථසමන්නාගතා සත්තා” යි.

බුදු පසේබුදු අසූමහාසව්වන් හා අනික් බුදුසව්වෝ ය නියම පණ්ඩිතයෝ, හොඳ ම හොඳ පණ්ඩිතයෝ. මොවුහු කිසි විටෙකත් දසඅකුසල් ඈ කිසිත් අකුසලයෙක නො යෙදෙනෝ ය. දිවි තකාවත් පණ රැක ගැණීමට කියාවත් අකුසල් නම් නො කරන්නෝ ය මොවුහු. මේ සියල්ලෝ දිට්ඨධම්මික සම්පරායික අර්‍ත්‍ථයන්හි ප්‍රඥාගතියෙන් ම යෙදෙන්නෝ ය. “පණෙ‍්ඩන්ති ති = පණ්ඩිතා, දිට්ඨධම්මිකසම්පරායිකෙසු අත්‍ථෙසු පඤ්ඤාගතියා ගච්ඡන්‍තී ති පණ්ඩිතා” යනු ‘ පණ්ඩිතා’ යන්න විදහා දැක්වූ සැටි යි.

‘පණ්ඩා’ යනු නුවණට නමෙකි. ‘පණ්ඩාති පඤ්ඤා’ යනු එහි ටීකා ය. ඉතා සියුම් අර්‍ත්‍ථයන්හි පවා ගමන් කරන බැවින්, දුඃඛ. සත්‍යාදීන් පිළිබඳ පීළනාදී වූ ඒ ඒ අර්‍ත්‍ථයන් දන්නා බැවින් ප්‍රඥා තොමෝ පණ්ඩා යි කියනු ලැබේ. මේ මෙහි පාළිය. “සා පි සුබුමෙසු හි අත්‍ථෙසු පණ්ඩති, ගච්ඡති, දුක්ඛාදීනං පීළනාදි කම්පි ආකාරං ජානාතී ති = පණ්ඩාති වුච්චති” යනු.

තවත් එය පැහැදිලි කළ සැටි මෙසේ දන්න:- “පණ්ඩාය ඉතා ගතො පවත්තොති = පණ්ඩිතො, අථ වා සඤ්ජාතා පණ්ඩා එතස්සාති-පණ්ඩිතො, පණ්ඩති ඤාණගතියා ගච්ඡතීති - පණ්ඩිතො, පණ්ඩිච්චෙන සමන්නාගතොති = පණ්ඩිතො’ යි. මෙහි පණ්ඩිච්ච” යි කීයේ නුවණ ය. ඒ මේ නුවණ “ ජවනපඤ්ඤා - නිබ්බෙධිකපඤ්ඤා - මහාපඤ්ඤා - තික්ඛපඤ්ඤා - විපුලපඤ්ඤා - ගම්භීරපඤ්ඤා - අසාමන්තපඤ්ඤා” යි සත් වැදෑරුම් කොට බෙදූහ. මේ සත් වැදෑරුම් බෙදුම එක් කොට දක්වන්නට ‘පටිවෙධබාහුසච්චෙන පණ්ඩිතො’ යි කීහ. ප්‍රතිවේධබහුශ්‍රැතත්වයෙන් පණ්ඩිත වේ යනු එහි කෙටි තේරුම ය.

පණ්ඩිතලක්‍ෂණ, පණ්ඩිතයාගේ හැඩහුරුකම්, නො දැන, සාමාන්‍යලෝකයාට පණ්ඩිතයා හඳුනා ගත නො හැක්කේ ය. එ හෙයින් මාගේ ස්වාමිදරු වූ තිලෝගුරු සම්මා සම්බුදුරජානන් වහන්සේ, “තීනි’මානි භික්ඛවෙ! පණ්ඩිතස්ස පණ්ඩිතලක්ඛණානි, පණ්ඩිතනිමිත්තානි, පණ්ඩිතාපදානානි, කතමානි තීනි? ඉධ භික්ඛවෙ! පණ්ඩිතො සුචින්තිතචින්තී ච හොති සුභාසිත භාසී සුකතකම්මකාරී, නො චෙදං භික්ඛවෙ! පණ්ඩිතො සුචින්තිතචින්තී ච අභවිස්ස සුභාසිතභාසී සුකතකම්මකාරී, කෙන නං පණ්ඩිතා ජානෙය්‍යුං, පණ්ඩිතො අයං භවං සප්පුරිසොති, යස්මිං ඛො භික්ඛවෙ! පණ්ඩිතො සුචින්තිතචිනත්තී ච හොති සුභාසිතභාසී සුකතකම්මකාරී, තස්මා නං පණ්ඩිතා ජානන්ති පණ්ඩිතො අයං භවං සප්පුරිසො ති, ඉමානි බො භික්ඛවෙ! තීනි පණ්ඩිතස්ස පණ්ඩිතලක්ඛණානි පණ්ඩිතනිමිත්තානි පණ්ඩිතාපදානානී ති” යනු වදාළ සේක.

පණ්ඩිතයාගේ පණ්ඩිත ලකුණු තුනෙක් වේ. යහපත් සිතිවිලි සිතීම, යහපත් බස් බිණීම, යහපත් කම් කිරීමය ඒ තුන. ඉදින් පණ්ඩිතයා, යහපත් සිතිවිලි සිතන්නෙක්, යහපත් බස් කියන්නෙක්, යහපත් කම් කරන්නෙක්, නො වූයේ නම්, ඔහු පණ්ඩිතැයි කෙසේ දැන ගත හැක්කේ ද, යම් හෙයකින් පණ්ඩිත තෙමේ, යහපත් සිතිවිලි සිතන්නේ, යහපත් බස් කියන්නේ, යහපත්කම් කරන්නේ වේ ද, එහෙයින් ඔහු, පණ්ඩිතැයි දත හැක්කේ ය, යනු මෙහි කෙටි අදහස ය.

මෙහි ඉතා සැකෙවින් කියූ ගුණ නුවණින් යුත් පණ්ඩිතයෝය නො පමාබවෙහි පිහිටා දෙලෝ වැඩ සාදාලන කුසල්දහම් තව තවත් කරන්නෝ.

අප්පමාදෙ පමොදන්ති = නො පමාබවෙහි තදින් සතුටු වෙති.

නො පමා බවෙහි පිහිටි පණ්ඩිතයෝ, ‘තමන් පිහිටි නො පමා බව, කුදු මහත් සියලු සැප සිදු කර දෙන මහත් ගුණයෙක අපි පිහිටා ගතුම්හ, දැන් මේ ලබා ඇති සැපත ද, අපි ලැබුවමෝ නොපමා බව නිසාමැ’ යි හැම කල්හි ඉතා තදින් සතුටු වෙති.

අරියානං ගොචරෙ රතා = ආර්‍ය්‍යයන්ගේ ගොචරයෙහි ඇලුනෝ.

ආර්‍ය්‍යයෝ නම්, බුදු පසේබුදු මහරහතුන් වහන්සේ ය. ඒ තතු අරුත් විසිනි. දුක්ඛ-සමුදය-නිරෝධ-මාර්‍ග යන සිවු සස් දහම් අවබෝධ කළෝ උන්වහන්සේ ය. මෙහිලා ගැණෙන්නෝත් උන්වහන්සේ ය. උන්වහන්සේලාගේ ආර්‍ය්‍යභාවයෙහි යුතුකම් මෙසේ දන්න:- “කිලෙසාරයො හන්තීති=අරහො, සො එව අරියො, අරති අධිගච්ඡති මග්ගඵලධම්මෙති = අරියො, කිලෙසෙහි ආරකාති = අරියො, ලොකෙහි අරණීයො අපගන්තබ්බො ති වා = අරියො” කෙතෙක් අරුත් විසින් මුන්වහන්සේලා ආර්‍ය්‍ය වෙත් ද යනු, මෙයින් එලි වන්නේ ය. කෙලෙස් සතුරන් නැසු බැවින්, මාර්‍ගඵලධර්‍මයන් අවබෝධ කළ බැවින්, කෙලෙසුන් කෙරෙන් ඈත් වූ බැවින්, ලෝ වැස්සන් විසින් ලංව ඇසුරු කළ යුතු බැවින් මුන්වහන්සේලා ආර්‍ය්‍ය වෙති. මොවුනතුර ද, ප්‍රධානාර්‍ය්‍ය වනුවෝ බුදුරජානන් වහන්සේ ය. මුන්වහන්සේලා ප්‍රතිවෙධාර්‍ය්‍ය නාමයෙන් ද හැඳින් වෙති.

ආර්‍ය්‍යනාමයෙන් ගැණන තව තිදෙනෙක් පොතපතෙහි දැක්වෙති. ආචාර අරිය - දස්සන අරිය - ලිඞ්ග අරිය යි. සදාචාර ගුණයෙහි පිහිටියේ ආචාරඅරිය නම්, රූසටහනින් හා සිවු ඉරියව්වෙන් අන් සිත තුටු කරණුයේ දස්සනඅරිය නම්. පා සිවුරු දැරීම් හිස මුඩු කිරීම් ඈ පැවිදි ලකුණු ගෙණ නියම පැවිද්දකු සේ කල්ගෙවන දුසිල් තෙමේ ලිඞ්ගඅරිය නම්. මේ තිදෙන ම මෙහි නො ගැණෙති.

ඒ ඒ මාර්‍ගඵල ධර්‍මයන් අවබෝධ කළා වූ ආර්‍ය්‍යයෝ එකසිය අට දෙනෙකි. එහි,

සෝතාපන්නයෝ;

1. දුක්ඛාපටිපදාදන්‍ධාභිඤ්ඤඑකබීජී,

2. දුක්ඛාපටිපදාඛිප්පාභිඤ්ඤඑකබීජී,

3. සුඛාපටිපදාදන්‍ධාභිඤ්ඤඑකබීජී,

4. සුඛාපටිපදාඛිප්පාභිඤ්ඤඑකබීජී,

5. දුක්කාපටිපදාදන්‍ධාභිඤ්ඤකොලංකොල,

6. දුක්ඛාපටිපදාඛිප්පාභිඤ්ඤකොලංකොල,

7. සුඛාපටිපදාදන්‍ධාභිඤ්ඤකොලංකොල,

8. සුඛාපටිපදාඛිප්පාභිඤ්ඤකොලංකොල,

9. දුක්ඛාපටිපදාදන්‍ධාභිඤ්ඤසත්තක්ඛත්තුපරම,

10. දුක්ඛාපටිපදාඛිප්පාභිඤ්ඤසත්තක්ඛත්තුපරම,

11. සුඛාපටිපදාදන්‍ධාභිඤ්ඤසත්තක්ඛක්ඛත්තුපරම,

12. සුඛාපටිපදාඛිප්පාභිඤ්ඤසත්තක්ඛත්තුපරම,

යි දොළොස් දෙනෙකි.

යම් කිසිවකුගේ ආත්මභාවග්‍රහණය, හෙවත් භවයෙහි ඉපැත්ම එක් වරක් වේ නම්, හෙ තෙමේ ඒකබීජි නම් වේ. “යස්ස හි සොතාපන්නස්ස එකං යෙව ඛන්‍ධබීජං අත්‍ථි, එකං අත්තභාවගහණං සො එනබීජි නාම” තියුණු නුවණ ඇත්තේ ම ය. එසේ වන්නේ. “තික්ඛපඤ්ඤො එකං භවං නිබ්බත්තෙන්තො එකබීජී නාම” යනු එහිලා දත යුතුය.

සසුන්පිළිවෙතෙහි පෙර නො ලද පුරුද්ද ඇති, නො කළ අභිනිවෙශය ඇති යමෙක්, පුර්‍වාවස්ථායෙහි, රූප පිරිසිඳ දැනීමෙහි, අරූප පිරිසිඳ දැනීමෙහි, නාමරූපධර්‍ම පහළවීමට හා පැවැත්මට හේතු වූ කරුණු පිරිසිඳ දැනීමෙහි, අතීත වර්‍තමාන අනාගත කාල පිරිසිඳ දැනීමෙහි, මග නො මග දැනීමෙහි ක්ලාන්තවනුයේ, වෙහෙසට පත් වනුයේ, විදර්‍ශනාවට ද පැමිණ උදයානුපස්සනා, භඞ්ගානුපස්සනා, භයතුපට්ඨාන, ආදීනවානුපස්සනා, නිබ්බිදානුපස්සනා, මුඤ්චිතුකම්‍යතා, සංඛාරුපෙඛා, අනුලෝම, ගෝත්‍රභූ යන නවවිදර්‍ශනාඥානයන්හි ක්ලාන්තව ම වෙහෙසට පත්ව ම එකබීජි වේ ද, ඔහු ඒ එකබීජීභාවය, ලෝකෝත්තරමාර්‍ගය, මෙසේ දුකින්, ගරු භාවයෙන් සාක්‍ෂාත් කළ බැවින් ‘දුක්ඛාපටිපදාදන්‍ධාභිඤ්ඤඑකබීජී’ නම් වේ.

යමෙක්, පුර්‍වාසස්ථායෙහි, යට කියන ලද පස් වැදෑරුම් දැනුම්හි, ක්ලාන්ත වූයේ, වෙහෙසට පත් වූයේ, අපරභාගයෙහි විදර්‍ශනාවනට පැමිණ අක්ලාන්ත ව වෙහෙසට නො පත් ව එකබීජී වේ ද, ඔහු, එය දුකින්, අගරු භාවයෙන්, සාක්‍ෂාත් කළ බැවින්, ‘දුක්ඛාපටිපදාඛිප්පාභිඤ්ඤඑකබීජී’ නම් වේ.

යමෙක්, මේ කියූ ලෙසින්, එකබීජීහාවය සැපයෙන් ගරුභාවයෙන් අවබෝධ කෙළේ නම්, ඔහු, ‘ සුඛාපටිපදාදන්‍ධාභිඤ්ඤඑකබීජි’ නම් වේ.

යමෙක්, මේ කියූ ලෙසින්, ලෝකෝත්තර මාර්‍ගය සැපයෙන්, අගරුභාවයෙන් අවබෝධ කෙළේ නම්, ඔහු ‘ සුඛාපටිපදාඛිප්පාභිඤ්ඤඑකබිජි’ නම් වේ.

එකබීජීආර්‍ය්‍යයෝ මෙසේ ප්‍රතිපදාභේදයෙන් සිවු දෙනෙක් වෙති.

යම් කිසිවක්හුගේ භවයෙහි ඉපැත්ම, සය වරක් හෝ එයට අඩු ව හෝ වේ නම්, හෙතෙමේ ‘කොලංකොල’ නම් වේ. “කුලතො කුලං ගච්ඡතී ති = කොලංකොලො” මැදියම් නුවණ ඇත්තෝ ය එසේ වන්නෝ. “මජ්ඣිමපඤ්ඤො පරං ඡට්ඨං භවං නිබ්බත්තෙන්තො කොලංකොලො නාම” යනු එහිලා දතයුතුය එකබීජී සෝතාපන්න තෙමේ, යම්සේ ප්‍රතිපදාභේදයෙන් සිවුදෙනක් වූයේ ද, මොහු ද ඒ ප්‍රතිපදාභේදයෙන් සිවු වැදෑරුම් වේ.

යම් කිසිවක්හුගේ භවයෙහි ඉපැත්ම, සත් වරක් හෝ, එයට අඩු ව හෝ වේ ද, උත්පත්තිවශයෙන් අටවන භවයෙක් නො වේ ද, එසේ සත් වරක් හෝ එයට අඩු වරක් හෝ භවයෙහි උපදනේ ‘සත්තක්ඛත්තුපරම’ නම් වේ. “සත්තක්ඛත්තුං පරමා සත්තවාර පරමා භවූපපතති අත්තභාවගහනං අස්ස, තතොපරං අට්ඨමං භවං නාදීයතීති = සත්තක්ඛත්තුපරමො” මෘදු නුවණැත්තේය එසේ වන්නේ, “මුදුපඤ්ඤො හි සොතාපන්නො සත්තභවෙ නිබ්බත්තෙන්තො සත්තක්ඛත්තුපරමො නාම” යනු එහි ලා කීහ. මොහු ද යට කියූ සේ ප්‍රතිපදාභේදයෙන් සිවු වැදෑරුම් වේ.

සකෘදාගාමීහු;

1. දුක්ඛාපටිපදාදන්‍ධාභිඤ්ඤකාමභවපරියාපන්න,

2. දුක්ඛාපටිපදාඛිප්පාභිඤ්ඤකාමභවපරියාපන්න,

3. සුඛාපටිපදාදන්‍ධාභිඤ්ඤකාමභවපරියාපන්න,

4. සුඛාපටිපදාඛිප්පාභිඤ්ඤකාමභවපරියාපන්න,

5. දුක්ඛාපටිපදාදන්‍ධාභිඤ්ඤරූපභවපරියාපන්න,

6. දුක්ඛාපටිපදාඛිප්පාභිඤ්ඤරූපභවපරියාපන්න,

7. සුඛාපටිපදාදන්‍ධාභිඤ්ඤරූපභවපරියාපන්න,

8. සුඛාපටිපදාඛිප්පාභිඤ්ඤරූපභවපරියාපන්න,

9. දුක්ඛාපටිපදාදන්‍ධාභිඤ්ඤඅරූපභවපරියාපන්න,

10. දුක්ඛාපටිපදාඛිප්පාභිඤ්ඤඅරූපභවපරියාපන්න,

11. සුඛාපටිපදාදන්‍ධාභිඤ්ඤඅරූපභවපරියාපන්න,

12. සුඛාපටිපදාඛිප්පාභිඤ්ඤඅරූපභවපරියාපන්න,

යි දොළොස් දෙනෙකි.

මේ ආර්‍ය්‍යයන් පිළිබඳව ද කිය යුත්තේ, සෝතාපන්නයන් ගැන කියූ සේ ම ය. වෙනස, කාම - රූප - අරූප භවයන්හි ඇතුළත් බවය.

අනාගාමිහු;

අවිහ

:-

  1. අන්තරාපරිනිබ්බායී,
  2. උපහච්චපරිනිබ්බායී,
  3. සසඞ්ඛාරපරිනිබ්බායී,
  4. අසඞ්ඛාරපරිනිබ්බායී,
  5. උද්ධංසොතො අකනිට්ඨගාමී

අතප්ප

:-

  1. අන්තරාපරිනිබ්බායී,
  2. උපහච්චපරිනිබ්බායී,
  3. සසඞ්ඛාරපරිනිබ්බායී,
  4. අසඞ්ඛාරපරිනිබ්බායී,
  5. උද්ධංසොතො අකනිට්ඨගාමී

සුදස්ස

:-

  1. අන්තරාපරිනිබ්බායී,
  2. උපහච්චපරිනිබ්බායී,
  3. සසඞ්ඛාරපරිනිබ්බායී,
  4. අසඞ්ඛාරපරිනිබ්බායී,
  5. උද්ධංසොතො අකනිට්ඨගාමී

සුදස්සි

:-

  1. අන්තරාපරිනිබ්බායී,
  2. උපහච්චපරිනිබ්බායී,
  3. සසඞ්ඛාරපරිනිබ්බායී,
  4. අසඞ්ඛාරපරිනිබ්බායී,
  5. උද්ධංසොතො අකනිට්ඨගාමී

අකනිට්ඨ

:-

  1. අන්තරාපරිනිබ්බායී,
  2. උපහච්චපරිනිබ්බායී,
  3. සසඞ්ඛාරපරිනිබ්බායී,
  4. අසඞ්ඛාරපරිනිබ්බායී,

යි සූවිසි දෙනෙකි.

අවිහ - අතප්ප - සුදස්ස - සුදස්සී - අකනිට්ඨ යන මේ නම්වලින් කියවෙනුයේ, සුද්ධාවාසබඹලොව පස ය. ලෝභ - ද්වේෂයගෙන් නො කිලිටි වූ, ලෝභ - ද්වේෂයන්ගෙන් නො කැලඹුනු පිරිසිදු බ්‍රහමයන්ට ම වාසස්ථාන බැවින්, මේ බඹලොව පස, සුද්ධාවාස යි හඳුන්වනු ලැබේ.

එහි, අවිහයෙහි පස් දෙනෙක, අතප්පයෙහි පස්දෙනක, සුදස්සයෙහි පස් දෙනෙක, සුදස්සියෙහි පස් දෙනෙක, අකනිට්ඨයෙහි සිවු දෙනෙකැ’ යි අනාගාමීහු සූවිසි දෙන, මෙසේ දතයුතුය.

මේ එහි පාළිය:- “අන්තරාපරිනිබ්බායී උපහච්චපරිනිබ්බායී සසඞ්ඛාරපරිනිබ්බායී අසඞ්ඛාරපරිනිබ්බායී උද්ධංසොතො අකනිට්ඨගාමී ති අවිහෙ පංච, තථා අතප්ප සුදස්ස සුදස්සිසු, අකනිට්‍ඨෙසු පන උද්ධංසොතවජ්ජා චත්තාරොති චතුවීසති අනාගාමිනො” යි.

අන්තරාපරිනිබ්බායී = සුද්ධාවාසයෙක උපන් යමෙක්, එම සුද්ධාවාසයට නියමිත අයුෂයාගේ හරි මැදට නො පැමිණ එයට පෙරාතු ව, අයුෂයෙහි පෙර අඩ නොයික්මවා කෙලෙස් නසා පිරිනිවී යේ නම් ඔහු ය. “ආයු වෙමජ්ඣස්ස අන්තරායෙව කිලෙසපරිනිබ්බාණෙන පරිනිබ්බාණතො අන්තරාපරිනිබ්බායී” යනු එහි ලා කීහ. මොහු උප්පන්නසමනන්තරපරිනිබ්බායී, ආයුවෙමජ්ඣං අප්පත්‍වා පරිනිබ්බායී, ආයුවෙමජ්ඣං පත්‍වා පරිනිබ්බායී, යි තෙ වැදෑරුම් වේ. එහි සුද්ධාවාසයෙහි උපන් සැටියේ, ඉපැත්මට අනතුරුව, කෙලෙස් නසා පිරිනිවියේ, ‘උප්පන්නසමනන්තරපරිනිබ්බායී’නම්. ආයුෂයාගේ මැදට නො පැමිණ පිරිනිවියේ ‘ආයුවෙමජ්ඣං අප්පත්‍වා පරිනිබ්බායී’ නම්. අයුෂයාගේ මැදට පැමිණ පිරිනිවියේ ‘ආයුවෙමජ්ඣං පත්‍වා පරිනිබ්බායි’ නම්. මේ මෙසේ වූයේ ද, මේ තිදෙන ම, ‘අන්තරාපරිනිබ්බායී’ යි ගණිත්.

උපහච්චපරිනිබ්බායී = සුද්ධාවාසයක උපන් යමෙක්, එහි නියමිත වූ ආයුකාලයෙන් අඩක් ඉක්මවා හෝ, කලුරිය කිරීමට පැමිණ හෝ, කෙලෙස් පිරිනිවීමෙන්, පිරිනිවියේ නම් ඔහු ය. “ආයුවෙමජ්ඣං අතික්කමිත්‍වා කාලකිරියං උපගන්ත්‍වා වා කිලෙසපරිනිබ්බාණෙන පරිනිබ්බායී උපහච්චපරිනිබ්බායී නාම” යනු පාළියි.

සසඞ්ඛාරපරිනිබ්බායී = සුද්ධාවාසයෙක උපන්නේ, තදදුකින් ඉතා අමාරුවෙන් කෙලෙස් නිවන්නට, තදින් ව්‍යායාම කොට, කෙලෙස් පිරිනිවූයේ ය මෙතෙමේ. එහි පාළිය:- “සසඞ්ඛාරෙන දුක්ඛෙන කසිරෙන අධිමත්තප්පයොගං කත්‍වා’ව කිලෙසපරිනිබ්බාණෙන පරිනිබ්බායී සසඞ්ඛාරපරිනිබ්බායී නාම” යනු.

අසඞ්ඛාරපරිනිබ්බායී = මෙ තෙමේ සුද්ධාවාසයෙහි ඉපිද, උත්සාහරහිත ව, ප්‍රයෝගරහිත ව විඩාවට නො පත් ව, අධිමාත්‍රප්‍රයෝගයක් ද නො කොට, කෙලෙස් පිරිනිවූයේ ය. මේ එහි පාළිය:- “අසඞ්ඛාරෙන අප්පෙයාගෙන අධිමත්තප්පයොගං අකත්‍වා’ ව කිලෙස පරිනිබ්බාණෙන පරිනිබ්බායී අසඞ්ඛාරපරිනිබ්බායී නාම” යනු

උද්ධංසොතො අකනිට්ඨගාමී = උද්ධංසොතො අකනිට්ඨගාමී, උද්ධංසොතො න අකනිට්ඨගාමී, න උද්ධංසොතො අකනිට්ඨගාමී’ න උද්ධංසොතො න අකනිට්ඨගාමී, යි ඔවුහු සිවුදෙනෙක් වෙති.

අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සී, යන සිවු බඹලොව ශෝධනය කොට, අකනිටා බඹලොව ඉපිද, පිරිනිවන් පාන්නේ, ‘ උද්ධංසොතො අකනිට්ඨගාමී’ නම්. මේ පාළිය:- “යො අවිහතො පට්ඨාය චත්තාරො බ්‍රහ්මලොකෙ සොධෙත්‍වා අකනිට්ඨං ගන්ත්‍වා පරිනිබ්බායති, අයං උද්ධංසොතො අකනිට්ඨගාමී නාම” යනු, අවිහ, අතප්ප, සුදස්ස යන බඹලොව තුන ශොධනය කොට, සුදස්සී. බඹලොව සිට පිරිනිවන් පාන්නේ, උද්ධංසොතො න අකනිට්ඨගාමී, නම්. “යො හෙට්ඨා තයො බ්‍රහ්මලොකෙ සොධෙත්‍වා සුදස්සි බ්‍රහ්මලොකෙ ඨත්‍වා පරිනිබ්බායති, අයං උද්ධංසොතො න අකනිට්ඨගාමි නාම” යනු එහි පාළියයි. මෙයින් කොතැනකත් නො ගොස් අකනිටා බඹලොවට ම ගොස් පිරිනිවන් පාන්නේ ‘න උද්ධංසොතො අකනිට්ඨගාමී’ නම්. “යො ඉතො අකනිට්ඨමෙව ගන්ත්‍වා පරිනිබ්බායති, අයං න උද්ධංසොතො අකනිට්ඨගාමී නාම” යනු පාළිය යි. යට බඹලොව සතර අතුරෙහි, ඒ ඒ බඹලොවකදී ම පිරිනිවන් පාන්නේ ‘න උද්ධංසොතො න අකනිට්ඨගාමී’ නම්, එහි පාළිය:- “යා හෙට්ඨා චතුසු බ්‍රහ්මලොකෙසු තත්‍ථ තත්‍ථෙ’ව පරිනිබ්බායති, අයං න උද්ධංසොතො න අකනිට්ඨගාමී නාම” යි.

මෙහි දැක්වූ මේ අනාගාමී ආර්‍ය්‍යයෝ සුද්ධාවාස බඹලොව ගෙණ කියන ලදහ. අනාගාමීහු, රූප-අරූප රාගයන් ප්‍රහීණ නො කළ බැවින්, බලාපොරොත්තු සහිත වූවෝ, සෙසු රූපාරූප භවයන්හිද උපදිති. සුද්ධාවාසයෙහි උපන්නෝ නම්, අන් තැනෙක නො උපදිති. මේ එය කියූ සැටි:- “අනාගාමිනො පන රූපරාගාරූපරාගානං අප්පහීණත්තා ආකඞ්ඛමානා සෙසරූපාරූපභවෙසු නිබ්බත්තන්ති, සුද්ධාවාසෙ නිබ්බත්තා පන අඤ්ඤත්‍ථ න උප්පජ්ජන්ති” යි.

දැන් ‘උද්ධංසොතා’ යනෙහි හා ‘අකනිට්ඨගාමී’ යන්නෙහි තේරුම් මෙසේ දත යුතුය. උඩට පමුණුවන සුලු බැවින්, උඩ බලා ගිය තෘෂ්ණාස්‍රෝතයෙක් හෝ ව්‍රතස්‍රෝතයෙක් හෝ මොහුට ඇත්තේ ය. උඩ ලොවට හෝ ගොස් පිළිලැබිය යුතු බැවින් උඩ බලා ගිය මාර්‍ගස්‍රෝතයෙක් මොහුට ඇත්තේ ය’ යි ‘උද්ධංසොත’ නම්. “උද්ධංවාහීභාවෙන උද්ධමස්ස තණ්හාසොතං වටටසොතං වා ති = උද්ධංසොතො, උද්ධං වා ගන්ත්‍වා පටලභිතබ්බතො උද්ධමස්ස මග්ගසොතන්ති = උද්ධංසොතො” යනු එය කියූ සැටි යි. අකනිටාවට යන සුලු වූයේ, ‘අකනිට්ඨගාමී’ නම්. “අකනිට්ඨං ගච්ඡතීති - අකනිට්ඨගාමී” යනු එහි විවෘති යි. මේ සියල්ලෝ, උත්පත්තිවශයෙන් කාමාවචර ලෝකයට නො එන්නෝ යි. කාමාවචරලෝකයෙක නො ද උපදින්නෝ ය යි. අනාගාමී නම්.

සුද්ධාවාසයන්හි උපදින මොවුහු, තම තමන් විසින් වැඩු ශ්‍රද්ධා-වීර්‍ය්‍යය-සමෘති-සමාධි-ප්‍රඥා යන පංචේන්ද්‍රියයන්ගේ එකක් අනෙකට වඩා අධික ව සිටියා වූ ගුණ බලයෙන්, ඒ ඒ බඹතලයන්හි උත්පත්තිය ලබන්නෝ ය. ශ්‍රද්ධෙන්ද්‍රිය අධික ව වැඩීමෙන් කප් දහසක් ආයු ඇති අවිහබඹතලයෙහි, වීර්‍ය්‍යෙන්ද්‍රිය අධික ව වැඩීමෙන්, කප් දෙදහසක් ආයු ඇති අතප්පබඹතලයෙහි, සමෘතීන්ද්‍රිය අධික ව වැඩීමෙන් කප් සාර දහසක් ආයු ඇති සුදස්සබඹතලයෙහි, සමාධීන්ද්‍රිය අධික ව වැඩීමෙන්, කප් අට දහසක්, ආයු ඇති සුදස්සීබඹතලයෙහි, ප්‍රඥෙන්ද්‍රිය අධික ව වැඩීමෙන්, කප් සොළොස් දහසක් ආයු ඇති අකනිටා බඹතලයෙහි උපදනේ ය.

අවිහයෝ = ටික කලකින් තම තැන නො හරින්නෝ ය. “අප්පකෙන කාලෙන අත්තනො ඨානං න විජහන්‍තීති = අවීහා”

අතප්පයෝ = කිසිවකින්, කිසි තැනෙක නො ද තැවෙන්නෝය. “න කෙනපි තප්පන්තී ති = අතප්පා”

සුදස්සයෝ = ඉතා යහපත් රූසිරි - කැලුම් ඇති බැවින් නිදුකින් සැපසේ දකින්නෝ ය. “පරම සුන්‍දරරූපත්තා සුඛෙන දියස්සන්තීති = සුදස්සා”

සුදස්සීහු = ඉතා පිරිසිදු සිත් ගන්නා දැකුම් ඇත්තෝ ය. “සුපරිසුද්ධ දස්සනත්තා සුඛෙන පස්සන්තීති = සුදස්සිනො”

අකනිට්ඨයෝ = නො කියැකි තරම් උසස් සම්පත් ඇත්තෝ. කනිටු බවක් නැත්තෝ ය. “උක්කට්ඨසම්පත්තිකත්තා නත්‍ථි එතෙසං කනිට්ඨාභාවොති = අකනිට්ඨො”

රහත්හු;

සුක්ඛවිපස්සක-සමථයානික යි දෙදෙනෙකි.

එහි, ධ්‍යාන කිසිත් නො උපදවා, විදසුන් පමණක් වඩා රහත්වූවෝ රහත් වන්නෝ සමථයෙන් නො තෙමුනු බැවින්, වියලුනු විදසුන් ඇත්තෝ ය සුක්ඛවිපස්සකයෝ. සමථභාවනාවෙන් ඉපද වූ ධ්‍යාන හා පඤ්චාභිඥා ඇති ව රහත්පලය පසක් කළෝ ය සමථයානිකයෝ. මොවුහු අර්‍ත්‍ථ-ධර්‍ම-නිරුක්ති-ප්‍රතිභාණ යන පටිසම්භිදාඤාණයන්ගෙන් ද යුක්ත වන්නෝ ය.

සෝතාපන්නයෝ, ප්‍රතිපදාභේදයෙන්

12

සකෘදාගාමීහු, ප්‍රතිපදාභේදයෙන්

12

අනාගාමීහු, ස්ථානභේදයෙන්

24

රහත්හු, යානභේදයෙන් හා මාර්‍ගභේදයෙන්

6

54

මේ සූපණස් දෙන ශ්‍රද්ධාධුර-ප්‍රඥාධුර විසින් දෙකට බෙදී එක්සිය අටදෙනෙක් වෙත්. “තෙහි එකබීජී කොල‍‍‍‍ඞ්කොලො සත්තක්ඛත්තුපරමොති තයො සොතාපන්නා, කාමරූපාරූපභවෙසු අධිගතඵලා තයො සකදාගාමිනො, තෙ සබ්බෙපි චතුන්නං පටිපදානං වසෙන චතුවීසති, අන්තරාපරිනිබ්බායී, උපහච්චපරිනිබ්බායී, සසඞ්ඛාරපරිනිබ්බායී, අසඞ්ඛාරපරිනිබ්බායී උද්ධංසොතො අකනිට්ඨගාමි’ ති අවිහෙසු පඤ්ච, තථා අතප්ප සුදස්ස සුදස්සීසු, අකනිට්ඨෙසු පන උද්ධංසොතවජ්ජා චත්තාරො’ති. චතුවීසති අනාගාමිනො, සුක්ඛවිපස්සකො, සමථයානිකො’ති ද්වෙ අරහන්තො, චත්තාරො මග්ගට්ඨා’ති චතුපණ්ණාස, තෙ සබ්බෙපි සද්ධාධුරපඤ්ඤාධුරානං වසෙන දිගුණා හුත්‍වා අට්ඨ සතා හොන්ති” යනු සුත්‍රතිපාතාර්‍ත්‍ථකථාව ආර්‍ය්‍යපුද්ගල භේදය කියූ සේ ය.

අංගුත්තරනිකායාර්‍ත්‍ථ කථාව, මෙය කීයේ, මෙයට වඩා වෙනස් ලෙසක්, ගෙණ ය. මේ එහි කියූ සැටි:- “චතුවීසති සොතාපන්නා, ද්වාදස සකදාගාමිනො, අට්ඨචත්තාළීස අනාගාමිනො, ද්වාදස ච අරහන්තො කථෙතබ්බා, ඉමස්මිං හි සාසනෙ සද්ධාධුරං පඤ්ඤාධුරන්ති ද්වෙධුරානි, දුක්කාපටිපදා දන්‍ධාභිඤ්ඤායො චතස්සො පටිපදා තත්‍ථෙකො සද්ධාධුරෙන අභිනිවිසිත්‍වා සොතාපත්තිඵලං පත්‍වා එකමෙව භවං නිබ්බත්තිත්‍වා දුක්ඛස්සන්තං කරොති, අයමෙකො එකබීජී, සො පටිපදානං වසෙන චතුබ්බිධො හොති. යථාචෙස එවං පඤ්ඤාධුරෙන අභිනිවිට්ඨො’පී ති අඩ්ඪ එකබීජිනො. තථා කොලඞ්කොලා සත්තක්ඛත්තුපරමා චා’ති ඉමෙ චතුවීසති සොතාපන්නා නාම,

තීසු පන විමොක්ඛෙසු සුඤ්ඤතාවිමොක්ඛෙන සකදාගාමී භූමිං පත්තා චතුන්නං පටිපදානං වසෙන චත්තාරො සකදාගාමිනො, අනිමිත්තවිමොක්ඛෙන පත්තාචත්තාරො, අප්පණිහිතවිමොක්ඛෙන පත්තා චත්තාරො’ති ඉමෙ ද්වාදස සකදාගාමිනො. අවිහෙසු පන තයො අන්තරාපරිනිබ්බායී, එකො උපහච්ච පරිනිබ්බායී, එකො උද්ධංසොනො අකනිට්ඨගාමී’ ති පංච අනාගාමිනො. තෙ අසඞ්ඛාරපරිනිබ්බායිනො පංච” සසඞ්ඛාර පරිනිබ්බායිනො පඤ්චා’ති දස හොන්ති. තථා අතප්පාදිසු. අකනිට්ඨෙසු පන උද්ධංසොතො නත්‍ථි. තස්මා තත්‍ථ චත්තාරො සසඞ්ඛාරපරිනිබ්බායී, චත්තාරො අසඞ්ඛාරපරිනිබ්බායී’ ති අට්ඨ. ඉමෙ අට්ඨචත්තාළීස අනාගාමිනො. යථා පන සකදාගාමිනො තථෙව අරහන්තො ද්වාදස වෙදිතබ්බා” යි.

සත්තිස් බෝපැකිදම් හා, නවලොවුතුරා දහම් මෙහි ආර්‍ය්‍ය ගොචරැ’ යි කීහ. ගොචර නම්, සිත හැසිරෙන තැන් ය. සතිපට්ඨාන සතර, සම්මප්පධාන සතර, ඉද්ධිපාද සතර, ඉන්ද්‍රිය පස, බලපස, බොජ්ඣඞ්ග සත, මග්ගඞ්ග අට යන මේ සත්සතිය බෝ පැකිදම්.

එහි, කායානුපස්සනා - වේදනානුපස්සනා - චිත්තානුපස්සනා - ධම්මානුපස්සනා යන සතර සතිපට්ඨානය, එක් ම සමෘතියක් කොට, නො උපන් අකුසල් නො ඉපදවීමෙහි උත්සාහය - උපන් අකුසල් පහ කිරීමෙහි උත්සාහය - නො උපන් කුසල් ඉපදවීමෙහි උත්සාහය - උපන් කුසල් දියුණු කිරීමෙහි උත්සාහය යන සතර සම්මප්පධානය, එක් ම සම්‍යක්ව්‍යායාමය කොට ගණිති. “ එත්‍ථ පන චත්තාරො සතිපට්ඨානා’ති සම්මාසති එකා’ ව පවුච්චති, තථා චත්තාරො සම්මප්පධානා’ ති ච සම්මාවායාමො” යන පාළියෙන් එය කී සැටී යි.

මේ සත්තිස් බෝපැකිදම්, එක එකින් සංග්‍රහ කොට ගත් කල්හි, ඡන්ද-චිත්ත-උපෙක්ඛා-සද්ධා-පස්සද්ධි-පීති-සම්මාදිට්ඨි-සම්මාසඞ්කප්ප-සම්මාවායාම-සම්මාවාචා-සම්මාකම්මන්ත-සම්මාආජීව-සම්මාසති-සම්මා සමාධි යි තුදුසෙක් ද, සතිපට්ඨාන-සම්මප්පධාන-ඉද්ධිපාද-ඉන්ද්‍රිය-බල-බොජ්ඣඞ්ග-මග්ගඞ්ග යි ජාති විසින් සත් වැදෑරුම් වෙති. කීහ මෙය මෙසේ:-

“ඡන්‍දො චිත්තමුපෙක්‍ඛා ච - සඬා පස්සද්ධි පීතියො

සම්මාදිට්ඨි ච සඞ්කප්පො - වායාමො විරතිත්තයං,

සම්මාසති සමාධී’ ති - චුද්දසෙතෙ සභාවතො,

සත්තතිංසප්පභෙදෙන - සත්තධා තත්‍ථ සඞ්ගහො” යි

සම්මාසංකප්ප - පස්සද්ධිසම්බොජ්ඣංග - පීතිසම්බොජ්ඣංග - ඡන්‍දිද්ධිපාද - චිත්තද්ධිපාද - සම්මාවාචා - සම්මාකම්මන්ත - සම්මාආජීවවිරති යන මේ නවය, එක් එක් කෘත්‍යයෙක් ඇත්තේ, එක් එක් ස්ථානයෙක් ඇත්තේ ය. වීර්‍ය්‍යය තෙමේ, සම්මප්පධාන සතර, විරියිද්ධිපාද, විරියින්ද්‍රිය, විරිය බල, විරිය සම්බොජ්ඣංග, සම්මාවායාම විසින්, කෘත්‍ය නවයක් හා, ස්ථාන නවයෙක් ඇත්තේ ය. සමෘතිතොමෝ, සතිපට්ඨාන, සතින්ද්‍රිය, සතිබල, සතිසම්බොජ්ඣංග, සම්මාසති විසින්, කෘත්‍යය අටක් හා ස්ථාන අටෙක් ඇත්තී ය. සමාධි තෙමේ, සමාධින්ද්‍රිය, සමාධිබල, සමාධිසම්බොජ්ඣංග, සම්මා සමාධි විසින් කෘත්‍ය සතරක් හා, ස්ථාන සතරෙක් ඇත්තේ ය. ප්‍රඥාතොමෝ, වීමංසිද්ධිපාද, පඤ්ඤින්ද්‍රිය, පඤ්ඤා බල, ධම්මවිචයසම්බොජ්ඣංග, සම්මාදිට්ඨි විසින්, කෘත්‍ය පසක් හා ස්ථාන පසෙක් ඇත්තී ය. ශ්‍රද්ධා තොමෝ, සද්ධින්ද්‍රිය, සද්ධාබල විසින්, කෘත්‍ය දෙකක් හා ස්ථාන දෙකක් ඇත්තී ය. කීහ මෙය මෙසේ ගාථා බන්ධනයට නගා:-

“සඞ්කප්ප පස්සද්ධි ච පීතුපෙක්ඛා,

ඡන්‍දො ථ චිත්තං විරතිත්තයං ච,

නවෙකඨානා විරියං නවට්ඨ,

සතී සමාධි වතු පඤච පඤ්ඤා,

සද්ධාදුඨානුත්තම සත්තතිංස,

ධම්මානමෙසො පවරො විභාගො” යි. ‍

මෙහි මුලින් කියූ කෘත්‍ය නවය හා දෙවනු ව කියූ කෘත්‍ය නවය ද, තෙවනුව කියූ කෘත්‍ය අට හා සිවුවනු ව කියූ කෘත්‍ය පස ද, පස්වනු ව කියූ කෘත්‍ය සතර හා සවනුව කියූ කෘත්‍ය දෙක ද යන කෘත්‍ය සත්තිස, සත්තිස් බෝපැකිදහම් යි ගණිති.

මේ සියලු බෝපැකිදම්, අටවැදෑරුම් ලෝකෝත්තර සිත්හි යෙදෙයි. ශුෂ්කවිදර්‍ශකක්‍ෂීණාශ්‍රවයාහට හා, ප්‍රථමධ්‍යානය පාදක කොට, විදර්‍ශනා වඩා මගපල පසක් කරණ සමථයානිකයා හට නො අඩුව ලැබෙති මොවුහු. ද්විතීය-තෘතීය-චතුර්‍ත්‍ථධ්‍යාන යන විතර්‍ක රහිත ධ්‍යානයන්, පාදකාදිවශයෙන් ගෙණ භාවනා කොට, මාර්‍ගඵලාවබෝධය කරන්නා වූ ක්‍ෂීණාශ්‍රවයාහට, ලැබෙන්නේ, සම්‍යක්සඞ්කල්පනාමාර්‍ගාඞ්ගයෙන් තොර වූ බෝපැකිදම් සතිසෙකි. ප්‍රීතිරහිත වූ රූපාවචරපංචමද්ධ්‍යානය හෝ, ආදිම වූ අරූපාවචර ධ්‍යාන තුන හෝ වඩා, මාර්‍ගඵලාවබෝධය කරන්නා වූ ආර්‍ය්‍යයනට, ලැබෙන්නේ සම්මාසංකප්පයෙන් හා පීතිසම්බොජ්ඣංගයෙන් තොර වූ බෝපැකිදම් පන්තිසෙකි.

සතිපට්ඨානාදී වූ යම්කිසි ධර්‍මයක් සීල - චිත්ත - දිට්ඨි - කඞ්ඛාවිතරණ - මග්ගාමග්ගඤාණදස්සන - පටිපදාඤාණදස්සන යන ලෞකික ෂට් විශුඬීන් දියුණු කරන්නාහට ඔවුන්ගේ වශයෙන් උපදින කාමාවචර කුසලචිත්තයෙහි, යථායෝගයෙන් යෙදෙන යෙදෙන සැටියෙන් ලැබෙන්නෝය මොවුහු. එය කීහ. මෙසේ:

“සබ්බෙ ලොකුත්තරෙ හොන්ති - නවාසඞ්කප්පපීතියො,

ලොකියෙපි යථායොගං - ඡබ්බිසුද්ධිප්පවත්තියං” යි.

විස්තර මත්තෙහි එන්නේ ය.

නව ලොවුතුරා දහම් ද, ආර්‍ය්‍යයන්ගේ ගොචරෑ යි මෙහි මුලින් කීයේ ඇත. එහිලා කෙටි කතාවක් ද යට කියන ලදී. [1]

ඣායිනො = ධ්‍යාන කරණ සුලු. ධ්‍යාන වඩන්නා වූ.

ධ්‍යාන නම්, චිතක්ක - විචාර - පීති - සුඛ - එකග්ගතා යන මොවුන් පස්දෙන, එක් කොට ගැණීම ය. මොවුන්ගේ එක්වීම ය. අරමුණු ලං කොට ගන්නේ කාමච්ඡන්දාදී වූ ප්‍රතිවිරුද්ධධර්‍මයන් දවාලන්නේ යන අරුත් විසින්, මොවුන්ගේ එක්වීම, සංහතිය ධ්‍යාන නම් වේ. “ආරම්මණං උපනිජ්ඣායතී’ති = ඣානං, පච්චනීක ධම්මෙ ඣාපෙතී’ ති = ඣානං” යනු බලාය අප කියූ සිංහලය සිටියේ.

විතක්කාදී වූ පස් දෙන, සමබරට, එකකට එකක් අඩු වැඩි නො ව, එකවිට ම නැඟී සිටීම ම ය ධ්‍යාන. රථ යි කියන්නේ, නිම්වළලු, රෝද, බොස්ගෙඩි, දැති ඈ එක් ව යෙදූ තැන ය. නිම්වළලු රථය නො වේ. රෝදය රථය නො වේ. බොස්ගෙඩිය රථය නො වේ. දැති රථය නො වේ. රථ නම් මුන් එකට යෙදූ තැන ය. නිම්වළල්ල එකලා ව සිටියේ, නිම්වළල්ල ම වේ. රෝදය එකලා ව සිටියේ, රෝදය ම වේ. බොස්ගෙඩිය එකලා ව සිටියේ, බොස්ගෙඩිය ම වේ. දැති එකලා ව සිටියේ, දැති ම වේ. එමෙන් විතක්කාදී වූ පස, එක් ව සිටීම ම ය ධ්‍යාන. විතක්කය එකලා ව සිටියේ, විතක්කය ම වේ. ධ්‍යාන නො වේ. සෙස්ස ද මෙසේ ය:

ධ්‍යානචිත්තයෙහි යෙදුනු විතර්‍කය තෙමේ තමන් හා හැනීසිටි චිත්ත - චෛතසික ධර්‍මයන් අරමුණට නන්ව යි. විචාරය, ඔවුන් අරමුණෙහි හසුරුවයි. ප්‍රීතිය, ඔවුන් අරමුණෙහිලා පිණවයි. සුඛය, ඔවුන් ඔදවඩයි. එකග්ගතාව, අතැනැ මෙතැනැ යා නොදී ඔවුන් නවතාල යි. රැක ගණියි. මෙසේ මොවුහු, පස් අයුරකින් අරමුණෙහි ක්‍රියා කරන්නෝ ය. ආරම්මණූපනිජ්ඣානය කරවන්නෝ ය. එහෙයිනි ධ්‍යාන.

තවද, විතර්‍කය තෙමේ, ථීනමිද්ධය, චිත්ත - චෛතසිකයන් පිළිබඳ අලසකම් දවා. විචාරය තෙමේ විචිකිච්ඡාව, බුදුන් දහම් ඈ අට තන්හි සැකය දවා. ප්‍රීතිය තොමෝ, ව්‍යපාදය, සිතේ සැඩ බව දවා. සුඛය තෙමේ, උද්ධච්ච කුක්කුච්චය, සිතේ නොසන්සුන් බව හා කුකුස, දවා. එකාග්‍රතා තොමෝ, කාමච්ඡන්දය, කාමයන්හි කැමැත්ත ආසාව දවා. මෙසේ මොවුහු, එකතු ව, එකට සිට කාමච්ඡන්දාදීප්‍රත්‍යනීකධර්‍ම දවා හලු කරත්, එහෙයින් මොවුහු ධ්‍යාන නම්.

ධ්‍යානයෝ, ආලම්බනොපනිද්ධ්‍යාන-ලක්‍ෂණොපනිද්ධ්‍යාන යි දෙ පරිදි වෙති. පඨවිකසිණාදී වූ යම් අරමුණක්, සිතට ගෙණ සිතෙහි නගා, එහි සිත පුරුදු කොට, ලැබිය යුතු වූ අෂ්ටසමාපත්තීහු ‘ආලම්බනොපනිද්ධ්‍යාන’ නම්. තිලකුණු මෙනෙහි කොට, ඉපදවිය යුතු විදර්‍ශනාමාර්‍ගඵල යන මොවූහු, ‘ලක්‍ෂණොපනිද්ධ්‍යාන’ නම්.

අෂ්ට සමාපත්තීහු, රූපාවචර- අරූපාවචර විසින් දෙ පරිදි යි. ප්‍රථම - ද්විතීය - තෘතීය - චතුර්‍ත්‍ථ - පංචමද්ධ්‍යානසමාපත්තීහු, රූපාවචරයෝ ය. ආකාසානඤචායතන - විඤ්ඤාණඤ්චායතන - ආකිඤ්චඤ්ඤායතන - නෙවසඤ්ඤානාසඤ්ඤායතනද්ධ්‍යාන සමාපත්තීහු, සිවු දෙන අරූපාවචරයෝ ය. මෙහි රූපාවචරද්ධ්‍යාන සමාපත්ති පංචකය, චතුෂ්ක නයින්, පස, සතරක් කොට බෙදා, අරූපාවචර ද්ධ්‍යාන සමාපත්ති සතර හා ගිණූ කල්හි, අටෙක් වේ. මේ අටය. මෙහි සමාපත්ති යි කීයේ. ආලම්බනොපනිද්ධ්‍යානැ යි කීවෝත් මොවුහු ම ය. තව ද රූපාවචරද්ධ්‍යානපංචකය හා අරූපාවචර ද්ධ්‍යානචතුෂ්කය එක් කොට, ගිණූ කල්හි ලැබෙන නවය, ‘නවානුපුබ්බවිහාරසමාපත්ති’ යි ආගමයෙහි ප්‍රසිද්ධ ය. රූපාවචරයන්, චතුෂ්ක නයින් ගෙණ, අරූපාවචරචතුෂ්කයත් සඤ්ඤාවෙදයිතනිරෝධයත් උන් හා ගිණු කල්හි ලැබෙන, මේ නවය, සමහර තැනෙක, ‘නවානුපුබ්බවිහාරසමාපත්ති’ යි ගණිත්. අනුපිළිවෙළින් පැමිණිය යුතු බැවින්, මොවුනට මේ නම කියනු, සුදුසුය. අර්‍ත්‍ථවත්ය. රූපාවචරද්ධ්‍යානයන්ගේ මේ වතුෂ්ක පංචකය වදාළෝ බුදුරජානන් වහන්සේම ය. තියුණු නුවණ ඇත්තනට වැඩ පිණිස ය චතුෂ්කය. මද නුවණ ඇත්තනට වැඩ පිණිස ය පංචකය. මේ බුදුරජානන් වහන්සේගේ අදහස ය. බුදුරජානන් වහන්සේ, සුඛ - එකග්ගතා යන දෙ අඟින් යුත් රූපාවචරපංචමද්ධ්‍යානය හා, එම දෙ අඟින් ම යුත් අරූපාවචරද්ධ්‍යාන සතර අඞ්ගසමත්වයෙන් ගෙණ, ඒ අතින් ධ්‍යාන සතරක් කොට දැක්වූහ. චතුර්‍ත්‍ථ - පංචමධ්‍යාන හා, අරූපාවචරධ්‍යාන යන මොවුන් ස දෙන, අවයවගණනින් සම වුව ද, සුඛ - එකග්ගතා යන දෙ අඟින් යුත් ධ්‍යාන ය, චතුර්‍ත්‍ථධ්‍යානය කොට ද, රූපාවචර පංචමද්ධ්‍යානය හා අරූපාවචරද්ධ්‍යාන සතර, උපෙක්ඛා එකග්ගතා යන අඞ්ගයන්ගේ සමානත්වයෙන් හා ගණනින් සම බැවින්, පංචමද්ධ්‍යානය කොට ද දැක්වූහ. මේ ක්‍රම දෙක එක් කොට, එයට ‘සුද්ධිකනවක’ යි කියත්. ධ්‍යානවිභඞ්ගයෙහි ලා ඒ සුද්ධිකනවකය, පරිත්තාලම්බනාදි ආලම්බන සතරින් හා දුක්ඛා පටිපදාදි ප්‍රතිපදා සතරින් ද, නැවැත, ඒ දෙක මිශ්‍ර කිරීමෙන් ද, නවක, පස් විස්සක් වදාළෝ ය, බුදුරජානන් වහන්සේ.

ධ්‍යාන උපදවන්නේ, පළමු කොට සතර සංවරසීලයෙහි පිහිටන්නේ ය. දස පළිබෝධයන් සිඳ හරින්නේ ය. කමටහන් දෙන කළණමිතුරකු කරා යන්නේ ය. එහි දී, තමාගේ සිරිතට කැපෙන කමටහනක් ගන්නේ ය. ගෙණ, එය වැඩීමට, නො සුදුසු තැන් හැරලා සුදුසු තැනකට යන්නේ ය. ගොස්, කුඩා පළිබෝධ සිඳ හරින්නේ ය. කමටහන වඩන්නේ ය.

සතරසංවරසීල නම්, පාතිමොක්ඛ - ඉන්ද්‍රිය - ආජිව - පච්චයසන්නිස්සිත සීල යි.

දසපළිබෝධ නම්, ආවාස - කුල - ලාභ - ගණ - කම්ම - අද්ධාන - ඤාති - ආබාධ - ගන්‍ථ - ඉදධි යන මේ ය.

කළණමිතුරු නම්, සිය සිල් සැපතින් ප්‍රිය වූයේ ය. ගරුතර ගුණයෙන් බුහුමන් කටයුත්තේ ය. අවවාද අනුසාසනා විසින් කරුණු කියන සුල්ලේ ය. චෝදනා විසින් කළ කියූ දේ ඉවසන සුල්ලේ ය. පටිච්චසමුප්පාදාදී වූ ගැඹුරු දහම් කියන සුල්ලේ ය. නො සුදුසු තැන නො ම යොදන්නේ ය. ශ්‍රද්ධා - ශීලාදි ගුණයෙන් හෙබියේ ය. අතැවැස්සන්ට හිත කැමැත්තේ ය.

කමටහන්, පඨවි - ආපෝ - තේජෝ - වායෝ - නීල - පීත - ලොහිත - ඔදාත - ආලෝක - පරිච්ඡින්නාකාසකසිණ - උද්ධුමාතක - විනීලක - විපුබ්බක - විච්ඡිද්දක - වික්ඛායිතක - වික්ඛිත්තක - හත - වික්ඛිත්තක - ලොහිතක - පුලවක - අට්ඨික - අසුභ, බුද්ධ - ධම්ම - සංඝ - සීල - චාග - දෙවතා - මරණ - කායගතා - ආනාපාන - උපසමානුස්සති, මෙත්තා - කරුණා - මුදිතා - උපෙක්ඛා - බ්‍රහ්මවිහාර - ආකාසානඤ්චායතන- විඤ්ඤාණඤ්චායතන - ආකිඤ්චඤ්ඤායතන - නෙවසඤ්ඤානාසඤ්ඤායතනාරුප්ප, ආහාරපටික්කූලසඤ්ඤා, චතුධාතුවවත්ථාන, යි සතළිසෙකි.

චරිත, රාග - දොස - මොහ - සද්ධා - බුද්ධි - විතක්ක - රාගදොස - රාගමොහ - දොසමොහ - රාග දොස මොහ - සද්ධා බුද්ධි - සද්ධා විතක්ක - බුද්ධිවිතක්ක - සද්ධාබුද්ධිවිතක්කචරිත යි චරිත තුදුසෙකි. මේ තුදුස මිශ්‍රවීමෙන් චරිත තෙ සැටෙක් ලැබේ. කොටින් සයෙකි.

රාගචරිතයට සුදුසු ය, දස අසුභය හා කායගතාසතිය.

දොසචරිතයට සුදුසු ය, බ්‍රහ්මවිහාර සතර හා, නීල - පීත - ලෝහිත - ඔදාත යන වණ්ණකසිණ සතර.

මොහචරිතයට සුදුසු ය, ආනාපානසති ය.

විතක්කචරිතයට සුදුසු ය, ආනාපානසතිය.

සද්ධාචරිතයට සුදුසු ය, බුධ - ධම්ම - සංඝ - සිල - චාග - දෙවතානුස්සති.

බුද්ධිචරිතයට සුදුසු ය, මරණ - උපසමානුස්සති, චතුධාතුවවත්ථාන ආහාරපටික්කුලසඤ්ඤා.

සියලු චරිතයනට, පොදුවේ සුදුසු ය, පඨවි - ආපෝ - තේජෝ - වායෝ - ආලෝක - පරිච්ඡින්නාකාසකසිණ හා ආකාසානඤ්චායතන විඤ්ඤාණඤ්චායතන - ආකිඤ්චඤ්ඤායතන - නෙවසඤ්ඤානාසඤ්ඤායතන යන මොවුහු.

භාවනාවට නො සුදුසු තැන්, මහවෙහෙර - අලුත් වෙහෙර - දිරූ වෙහෙර - මග අසලවෙහෙර - පැන් පොකුණු ඇති වෙහෙර - පලාකොළ ඇති වෙහෙර - පුෂ්පාරාමය - ඵලාරාමය - පැතිය යුතු වෙහෙර - නුවර ඇසුරු කළ වෙහෙර - දැවදඬු බහුල වෙහෙර - කුඹුරු ඇසුරු කළ වෙහෙර - නො සම මහණුන් ඇති වෙහෙර - පටුනුගම් ඇසුරු කළ වෙහෙර - පිටිසර ගම් ඇසුරු කළ වෙහෙර - රාජ්‍යසීමා ඇසුරු කළ වෙහෙර - අසප්පාය වෙහෙර - කළණ මිතුරන් නො ලැබිය හැකි වෙහෙර.

භාවනාවට සුදුසු ය, නො දුරු නො ලං ගමනාගමනින් යුත්, රෑදාවාල මහා ජනයාගෙන් හා මහා ජනයාගේ කෑ මොර ගැසුම් වලින් තොර, මැසි මදුරු නයි පොළොං ඈ උවදුරු නැති, පහසුවෙන් ලැබිය හැකි, සිවුපසය ඇති උගත් ගුණවත් මහණකුගේ විසීම ඇති සෙනසුන.

කුඩාපළිබෝධ, දික් කෙස් ලොම් නිය සිඳීම් - දිරූ සිවුරු මසා පිළියෙල කර ගැණීම් - කිලිටි සිවුරු සෝදා පඬු ගැන්වීම් පාත්‍රය පුළුස්සා පිරිසිදු කර ගැනීම් - ඇඳ පුටු කොට්ට මෙට්ට ඇතිරිලි බිසි පාබිසි පිරිසුදු කර ගැණීම් ඈ ය.

මෙහි මෙසේ ඉතා සැකෙවින් කියූ මේ සියල්ල, ධ්‍යාන වඩන්නට කැමැත්තහු විසින්, ධ්‍යාන වඩන්නට පෙරාතු ච, සම්පුර්‍ණ කළ යුතු ය. හැරිය යුත්ත හැරිය යුතු ය. ගතයුත්ත ගතයුතු ය. වඩන්නේ පඨවි කසිණය නම්, පළමු කොට කසිණ මණ්ඩලයක් සාදා ගත යුතු ය. එය සෑදිය යුත්තේ, කාවේරීගංඉවුරෙහි ඇති අරුණුවන් මැටියෙනි. අරුණුවන් මැටි අන් තැනින් ගෙණ ඒ සඳහා යෙදුව ද වරද නැත. පළල, එක් වියත් සතරඟුලක් තබා වට කොට ඒ කළ යුතු ය. ධ්‍යාන කරන්නහු, හිඳින අසුන ද, එක් වියත් සතරඟුලක් උස ඇත්තක් විය යුතු ය. ඒ අසුනෙහි, හිඳ අරුණුවන් මැටියෙන් තනා ගත් කසිණමණ්ඩලය ඉදිරිපිටට ගෙණ කාමසේවනයෙහි වරද, දොස් තදින් සිතට නගාගෙණ සිය ජීවිතය බුදුරජුන්ට පුදා ‘මේ පිළිවෙත සියලු බුදු පසේ බුදු මහරහතුන් පිළිපන් උතුම් පිළිවෙතැ’ යි පිළිවෙතෙහි මහත් ගෞරවයක් ඉපිදවිය යුතු ය.

මෙසේ, ධ්‍යානභාවනාවෙහි, පෙරාතු ව කළ යුතු සියල්ල කොට, පිළිවෙතෙහි උපදවා ගත් ගෞරව ඇති උත්සාහවත් යෝගී තෙමේ ඉතාවැඩියෙනුත් ඉතාඅඩුවෙනුත් ඇස නො දල්වා සම පමණට ඇස හැර, කසිණමණ්ඩලයෙහි පැහැය හා ලකුණු නො සලකා, එහෙත් පැහැය නො හැර, පඨවීධාතුව පිළිබඳ ප්‍රඥප්ති ධර්‍මයෙහි සිත තැන්පත් කොට, එකඟ වූ සිතින් ‘පඨවි පඨවි’ යි නිමිති ගන්නේ ය. නිමිති ගැණෙන තුරුම, සිත එහි පතුලට කැවෙනතුරු ම එසේ කරන්නේ ය. එය ‘පරිකර්‍මනිමිත්ත’ යි කියත්. ඒ භාවනාව “පරිකර්‍මභාවනා’ යි හඳුන්වති. යෝගියා, මෙයින් කළේ, නන් අරමුණුවල විසිර යන සිත, ඒ හැම අරමුණකින් වළක්වා වෙන් කොට, පඨවිකසිණපරිකම්මනිමිත්තෙහි, නවතාලී ම ය. තැත්පත් කිරීම ය. කසිණ යනු, සියල්ල යන අරුත් ඇත්තේ ය. එ හෙයින්, මේ කියූ පරිකර්‍මනිමිත්තෙහි සිත වැඩීමෙන්, පොළොව කිමිද ගත්තහුට, සියලු දිසාවන් පෘථිවියැ යි වැටහෙන්නා සේ, මේ යෝගියාහට, ‘මගේ සියලු දිසාවෙහි ඇත්තේ පෘථිවිය’ යි වැටහෙන්නේ ය. එසේ, වැටහුනු කල, ඔහුට උග්ගහනිමිත්ත උපන්නේ නම්, පරිකර්‍මනිමිත්ත, සිතින් දැඩි ව ගත් කල්හි ඇස වසා බලන කල්හි, ඇස හැර බලන කල්හි සේත්, අන් තැනකට ගොස්, සිහිකරණ කල්හි, එතැනැ සිට එය බලන කල්හි සේත්, ඒ හැටියට ම මනෝද්වාරාවර්‍ජනචිත්තයන්ගේ හමුවට ඉදිරියට කසිණමණ්ඩලයාගේ පැමිණීම, වැටහීම ‘උග්ගහනිමිත්ත’ නම.

මෙසේ උග්ගහනිමිත්ත උපන් පසු යෝගී තෙමේ, එ තැනින් නැගිට තමන් වසන තැනට හෝ වෙන අන් විවේක ඇති ගල්ගුහා ඈ සෙනසුනකට හෝ ඇතුල් ව, මනෝද්වාරයට වැටහුනු පරිකර්‍මනිමිත්තඡායාසඞ්ඛ්‍යාතඋග්ගහනිමිත්ත අරමුණු කොට, ‘පඨවි, පඨවි’ යි පෙර සේ නැවැත සිත එහි වඩන්නේ ය. සිත එහි හසුරුවන්නේ ය. සිය දහස් වරකුත් වඩන්නේ ය. මෙසේ වඩන කල්හි මෙසේ හසුරුවන කල්හි යම් ලෙසකින්, අසප්පාය කරුණක් නිසා ඒ ගෙණ තුබූ උග්ගහනිමිත්ත නැසී ගියේ නම්, නො පෙණී ගියේ නම්, නැවැතත් පරිකර්‍මනිමිත්ත තුබූ තැනට ගොස් ඒ යෝගියා විසින් සිත එහි වැඩිය යුතුය. වඩා උග්ගහනිමිත්ත නැවැතත් උපදවා ගත යුතු ය. මෙසේ ගන්නා නිමිත්ත, නැසෙන හැමවර ම පරිකර්‍මනිමිත්ත තිබෙන තැනට ගොස්, භාවනා කොට නැසීගිය උග්ගහනිමිත්ත උපදවා ගත යුතු ය. උග්ගහනිමිත්ත නැසුනැ යි භාවනාව අතහැර දැමීම යෝගීධර්‍මය නො වේ. එය නැසෙත් නැසෙත් ම යෝගියා, එහි වඩ වඩාත් උත්සාහවත් විය යුතු ය. එය ය යෝගීධර්‍ම ය.

උග්ගහනිමිත්ත උපදවා ගැණීමෙන් ලැබුනු ඒ සමාධිය තරුණ ය. මෝරා ගියා වූ සමාධියෙක් නො වේ. එ ය. එහෙයින් මෙසේ නැසී යනු හැකි ය. උග්ගහනිමිත්ත සිතට ගෙණ අරමුණු කොට, සිත වඩන කල්හි, යෝගියා පිළිබඳ පංච නීවරණ ධර්‍මයෝ යටපත් වෙති. ශ්‍රද්ධාදිඉන්ද්‍රියයෝ තියුණු වෙති. අශ්‍රද්ධාදීහු දුරු වෙති. වලා ගැබක් පලා ගෙණ, සඳමඩල නික්මෙන්නා සේ පසුම්බියකින් කැඩපතක් එලියට ඇද ගන්නා සේ මනා කොට සේදූ සක්තලියක් සේ වැසිවලාවක ඉදිරියෙහි පියාඹන කොකෙකු සේ උග්ගහනිමිත්ත විවෘත කොට පළමුවර මුල් තැන ම කණමැදිරි එලියක් තරම් ආලෝකයෙක් යෝගියා පිළිබඳ ව පහළ වන්නේ ය. එය දෙ සැත්තෑවක් වස්තුධර්‍මයන්ගෙන් මිදුනේ ය. මේ ආලෝකය ඒ යෝගියාහට ලෝකයෙහි ඇති සියලු ආලෝකයන්ට වඩා ඉතා පහන් සේ වැටහෙන්නේ ය. මේ ආලෝකය, කසිණාලෝකය යි කියනු ලැබේ. කසිණපටිහාගනිමිත්තත් මේ ය. ධ්‍යානය තව ම නො උපන්නේ ය. එහෙයින් යෝගියා විසින් උපන් ඒ ආලෝකය මහත් වේවා යි ආශාව උපදවා නැවැතත් එම ආලෝකය අරමුණු කොට ‘පඨවි පඨවි’ යි භාවනා කළ යුතු ය.

එකල ආලෝකය අඟලක් හෝ දැඟලක් පමණ මහත් වන්නේ ය. එපමණ මහත් වූ එම ආලෝකය ‘පරිත්තා ලම්බන” යි කියනු ලැබේ. දැන් ධ්‍යානය ඉපිදවිය හැක්කේ ය. එහෙත් එ පමණින් සෑහීමට නො ගොස් තව තවත් කසිණාලෝකය මහත් කරන්නට පෙරකී සේ සිත වැඩිය යුතු ය. එවිට සරාවක් හෝ වට්ටියක් පමණට එය මහත් ව සිටින්නේය. එ තරමට වැඩුනු විට එම ආලෝකය ‘මද්ධ්‍යාලම්බන යි කියනු ලැබේ. මෙ තැනදීත් ධ්‍යානය ඉපදවිය හැක්කේ ය. එහෙත් මෙතැනදීත් සෑහීමට පත්වියයුතු නො වේ. තෙමේ කැමැත්තේ නම් තම සෙනසුන පමණට ආරාමය පමණට ගම පමණට නුවර පමණට දිවයින පමණට සක්වළ පමණට එම කසිණාලෝකය වැඩිය හැකි ය. ආලෝකය මෙ තරම් මහත් වූ කල ‘අප්‍රමාණාලම්බන’ යි හඳුන්වනු ලැබේ. මේ අප්‍රමාණාලම්බනය සක්විති කුමරකු පිළිසිඳ ගත් මවු කුසක් සේ මහත් ගෞරවයෙන් මහත් ආදරයෙන් මහත් ඕනෑ කමින් නො පමාවූවහු විසින් රැකිය යුතු ය. ඒ රැක්මට නො සැප වූ සෙනසුන, ගොදුරුගම, කතා, පුද්ගල, බොජුන, උතු, ඉරියවු යන සත දුරු කට යුතු ය. සැප වූ සෙනසුන් ඈ සෙවිය යුතු ය.

මෙසේ දුරු කටයුතු සෙනසුන් ඈ, දුරු කොට සෙවිය යුතු සෙනසුන් ඈ, සේවනය කරමින් අප්‍රමාණාලම්බනයෙහි සිත වඩන්නා වූ යෝගියාහට කල් නො යා දී ම, අර්‍පණාසමාධිය උපදනේ ය. යම් ලෙසකින් එය නො උපන්නේ නම්, සිරුරු, සිවුරු යනාදී වස්තූන් පිරිසිදු කිරීම, ශ්‍රද්ධාදිඉන්ද්‍රියයන් සමබවට පත්කිරීම, පඨවිකසිණාදීනිමිත්තෙහි දක්‍ෂභාවය, සිත වැඩියයුතු කල්හි වැඩීම, සිතට නිග්‍රහ කටයුතු කල්හි නිග්‍රහ කිරීම, සිත සතුටු කළයුතු කල්හි සතුටු කිරීම, සිත් මැදහත් බවට පැමිණ විය යුතු කල්හි මැදහත් බවට පැමිණවීම නොහික්මුනු පුද්ගලයන් දුරු කිරීම, සන්හුන් පුද්ගලයන් සේවන කිරීම, සමාධිය ඉපදවීමෙහි කැමැත්ත, යන මේ කරුණු අනුව ක්‍රියා කළ යුතු ය. මේවා එකකුත් නො හැර පැවැත්වීම ‘අර්‍පණාකෞශල්‍ය’ යි කියත්. මේ කටයුතු සපයන යෝගියාහට ලැබුනු පටිභාග නිමිත්ත විෂය කොට ය අර්‍පණාව පවත්නී.

මෙසේත් අර්‍පණාසමාධිය නො උපන්නේ නම්, යෝගී තෙමේ තම සිතේ පැවැත්ම සලකා, නැවැත වීර්‍ය්‍යය, සමබවෙහි යොදන්නේ ය. එහිලා පමණ ඉක්මවා වීර්‍ය්‍යය නො කට යුතුය. අත්‍යාරබ්ධවීර්‍ය්‍යය හැරදමා හැකුළුනු බවෙන් හා උඩඟු බවෙත් සිත මුදා සම කොට තබා පටිභාගනිමිත්තට අභිමුඛ කොට, ‘ප්‍රථමධ්‍යානය ලැබේවා’ යි ප්‍රාර්‍ත්‍ථනා කොට ආශා උපදවා ‘පඨවි පඨවි’ යි සිත වඩන්නේ ය. එසේ සිත වඩත්, මෙහෙයත් භවාඞ්ග චිත්තය සිඳ පඨවිකසිණය අරමුණු කොට මනෝද්වාරාවර්‍ජන චිත්තය උපදනේ ය. අනතුරු ව එහි ම ඒ අරමුණු කොට ම ජවනයෝ සිවු දෙනෙක් හෝ පස් දෙනෙක් උපදිති. ජවන් සතරක් උපන් කල්හි එහි ප්‍රථමජවනය, පරිකම්ම, උපචාර කියා ද, දෙවනජවනය, අනුලෝම කියා ද, තෙවන ජවනය ගෝත්‍රභූ කියා ද, සිවුවැන්න අර්‍පණා කියා ද නම් ලබන්නෝ ය. ජවන් පස් දෙනකු උපදනා කල්හි ප්‍රථම ජවනය පරිකම්ම යි ද, දෙවනජවනය උපචාර යි ද, තෙවන ජවනය අනුලෝම යි ද, සිවුවන ජවනය ගෝත්‍රභු යි ද, පස්වැන්න අර්‍පණා යි ද කියනු ලැබේ. මේ අර්‍පණාචිත්තය, රූපාවචරප්‍රථමධ්‍යානචිත්ත ය යි කියනු ලබන්නේ මෙහි විතක්ක - විචාර - පීති - සුඛ ඒකග්ගතා යන අඞ්ග පස යෙදී සිටි බැවිනි. මේ අර්‍පණා ව එකචිත්තක්‍ෂණික වේ. නැවැත භවාඞ්ගයට වැටේ.

අස්ලොම් විදින්නට පුරුදු කරණ ධනුර්‍ධර තෙමේ, අස්ලොමක් විද, ‘මම දුන්න මෙසේ අතට ගතිමි, දුනුදිය මෙසේ නැගීමි, ඊය මෙසේ හිඳුවීමි, මේ ඉරියව්වෙන් සිටියෙමි, මෙසේ විද්දෙමි’ යි විදීමට පා එස වූ හැටි දුන්න අතට ගත් හැටි දුනුදිය නැගූ හැටි ඊතලය යෙදූ හැටි සිටි ඉරියව්වෙ හැටි නැවැත නැවැත සලකා ඒ හැම හැටිය සිතට ගන්නේ ය. පසු දවසෙක අස්ලොම් විදිනු කැමැති කල මුලින් කළ හැටියට අස්ලොම් විදින්නේ, නො වරදවා අස්ලොම් විද දෙපලු කරන්නේ ය. එ මෙන්, මේ යෝගියා ද ‘මම මෙබඳු භෝජනයක් වැළඳීමි, මෙබන්දකු ඇසුරු කෙළෙමි, මෙබඳු සෙනසුනක හුන්නෙමි, මෙබඳු ඉරියව්වකින් සිටියෙමි, මෙබඳු කලෙක ධ්‍යානයට පැමිණියෙමි’ යි සලකා සැප වූ බොජුන් ඈ සැපයිය යුතු ය. එසේ සපයා ගත් කල යෝගී තෙමේ තමන් උපදවා ගත් ඒ තරුණ සමාධිය පිරිහී ගියේ නම්, නැවැත එය උපදවා ගැණුමට, නො පුහුණු ධ්‍යාන පුහුණු කොට අර්‍පණාවට පැමිණෙන්නට පොහොසත් වන්නේ ය.

තවද, හොඳට කටයුතු දත් අරක්කැමි තෙමේ තම ස්වාමියා වළඳනු ලබන කල්හි යම් මාලු පිණියක් ඔහු සතුටින් වළඳනු දැක, එතැන් සිට, ස්වාමියාට රුචි වූ මාලු පිණි ම කෑමට එළවා තබන්නේ ය. එයින් අරක්කැමි තෙමේ ස්වාමියාගේ සිත් ගන්නේ, මහත් ලාභ ද ලබන්නේ ය. එ මෙන්, මේ යෝගියා ද ධ්‍යානයට පැමිණි කල්හි, එයට හිත වූ සැප වූ බොජුන් ආදියෙහි ආකාර සලකා, ඒම සපයන්නේ, නැවැත නැවැත අර්‍පණා සමාධිය ලබන්නේ ය.

අර්‍පණාසමාධිය, මෙ තරමකින් කල් පවත්නේ නො වේ. අර්‍පණා ව කල් පවත්වන්නට, සමාධියට සතුරු වූ නීවරණ ධර්‍මයන්ගෙන් සිත නිදහස් කර ගත යුතු ය. ධ්‍යානය බොහෝ කල් පවත්වා ගැණීමට කැමැති යෝගියා විසින්, නීවරණධර්‍ම යටපත් කොට, ධ්‍යානයට සමවැදිය යුතු ය. සමාධිභාවනාවෙන් අභිඥා උපදවන්නට උපචාර - අර්‍පණා වශයෙන් ලැබූ ප්‍රතිභාග නිමිත්ත වැඩිය යුතු ය. ඒ වඩන භූමිය ද උපචාර - අර්‍පණා විසින් දෙවැදැරුම් ය. උපචාරයට පැමිණ හෝ ප්‍රතිභාගනිමිත්ත වැඩිය යුතු ය. අර්‍පණාවට පැමිණ හෝ වැඩිය යුතු ය. එහෙත්, තමන්ගේ සිතට අනුකූල සේ, උපචාරයෙහි හෝ, අර්‍පණාවෙහි හෝ එක් තැනෙක නිරතුරු වැඩිය යුතු ය.

මැටිබඳුන් තනන කුඹල්කරු තෙමේ, පළමු කොට බඳුනේ යට කොටස, කුඹල්සකෙන් වෙන් නො කොට මතු වන්නට බඳුන වඩන්නේ ය. සීමා බඳින භික්‍ෂූහු, පළමු කොට, අට දිසාවෙහි නිමිති සලකුණු කොට ඒ නිමිති අතර ම සීමා බඳිත්. එ මෙන් යෝගියා විසින් තමන් ලැබු ඒ නිමිත්ත එක් අඟල, දෙයඟල, තෙයඟල, සතරඟල පමණට හෝ ඉනුත් වැඩි ව හෝ ‘මෙතෙක් තැන වඩමි’ යි වඩන ප්‍රදෙශය පළමු කොට සිතින් සීමා කොට, වෙන් කොට ඒ වෙන් කළ පමණට වැඩිය යුතු ය. වඩන පෙදෙස වෙන් නො කොට නො වැඩිය යුතු ය. වෙන් නො කොට වඩන්නහුට නිමිත්ත නා වැඩෙන්නේ ය. වියත, රියන, ගේමිදුල, පිරිවෙණ, වෙහෙර ඉම්, ගම්, නියම්ගම්, දනවු, රාජ්‍ය සීමා, සමුද්‍රසීමා යන මොවුන් ද, සිතින් සීමා කොට වෙන් කොට වඩන්නහු විසින් මුළු සක්වළ හෝ එයින් මත්තෙහි හෝ පිරිසිඳ වැඩිය යුතු ය. මේ කී ලෙසට නිමිත්ත වඩන යෝගියාහට නිමිත්ත වැඩූ තැන්හි පොළොවෙහි ගොඩ තැන්, වළතැන්; ගඞ්ගා, කඳු යන සියලු සම නො සම තැන්, එකසේ සමව වැටහෙන්නේ ය. නිමිත්ත වඩා ප්‍රථමධ්‍යානයට පැමිණි ආදිකර්මිකයා විසින් ධ්‍යානාඞ්ග බහුල වශයෙන් ප්‍රත්‍යවේක්‍ෂා නො කොට ධ්‍යානයට සම වැදීම ම බහුල කොට විසිය යුතු ය. ධ්‍යානාඞ්ග බහුල ව ප්‍රත්‍යවේක්‍ෂා කිරීමෙන් ඒ ධ්‍යානයේ යෙදී සිටි විතක්ක - විචාරාදී ධ්‍යානාඞ්ගයෝ මලානික ව දුර්‍වල ව වැටහෙන්නෝ ය. එසේ එහි ධ්‍යානාඞ්ග ඔලාරිකවත් දුර්‍වලවත් වැටහීමත්, මත්තෙහි ද්විතීය ධ්‍යානය ඉපදවීමට කරුණු වන්නේ ය. ලැබූ ධ්‍යානයෙහි පුහුණුව නො ලැබ මතු ධ්‍යානයෙහි උත්සාහ කරන්නේ ලැබූ ප්‍රථමධ්‍යානයෙන් ද පිරිහෙන්නේ ය. මත්තෙහි ද්වීතීයද්ධ්‍යානය ලැබීමට හැමතකින් ඔහු අසමර්‍ත්‍ථ වේ.

ඉක්බිති ප්‍රථමධ්‍යානය, ආවජ්ජන - සමාපජ්ජන - අධිට්ඨාන - වුට්ඨාන - පච්චෙවක්ඛණවසිතාවන්ගෙන් වසී කළයුතු ය. තම යටතට ගත යුතු ය. ප්‍රථමධ්‍යානය, නීවරණධර්‍මයන්ට ආසන්න ය, නීවරණ ධර්‍ම ප්‍රථමධ්‍යානය ලඟ හැසිරෙයි, චිතර්‍ක නැමැති බලගතු අවයවයකින් යුක්ත වූයේ ය, යනාදි ලෙසින් එහි වරද දොස් දැක්ක යුතු ය. ස්ත්‍රියක සරණ කරගත් පුරුෂයෙක් අන් සත්‍රියක කෙරෙහි ඇලී පළමු සරණ කොට ගත් ස්ත්‍රියගෙන් වෙන්වනු කැමැත්තේ දොස් දැක ඈ කෙරෙහි තුබූ පිළිබඳ ආලය හැර දමන්නේ යම්සේ ද, එසේ, මේ ප්‍රථමධ්‍යානික තෙමේ, ප්‍රථමධ්‍යානයෙහි දොස් බලා එහි ආලය දුරු කොට, ද්විතීයධ්‍යානයෙහි ආලය කරන්නේ ය. ඒ ආලයෙහි සිට ම සිවුරඟින් යුත් ද්විතීයධ්‍යානය ලබන්නට නැවැත ‘පඨවි පඨවි’ යි යෝග කරන්නේ ය. එසේ යෝග කරණ කල්හි ඔහුට විතක්කයෙන් තොර වූ විචාර - පීති - සුඛ - එකග්ගතා යන සිවුරඟින් යුත් ද්විතීයධ්‍යානය එක් වරක් උපදනේ ය. අනතුරු ව සුදුසු පමණින් භවාඞ්ගසිත් පහළ වේ. සෙස්ස ප්‍රථමධ්‍යානයෙහි කී සේ ය.

ඉක්බිති මේ ද්විතීයධ්‍යානය මුලින් කී පංචවසිතාවන්ගෙන් වසී කළ යුතු ය. වසී කොට, ‘මා ලත් මේ ධ්‍යානයට ලං ව හැසිරෙන විතර්‍ක නම් සතුරෙක් ඇත්තේ ය, විචාර නමැති බලගතු අවයවයෙක් ද මෙහි ඇත්තේ ය, යන ඈ ලෙසින් ද්විතීයධ්‍යානයෙහි ඇති වරද බලා එහි ආලය දුරු කොට තෘතියධ්‍යානයෙහි ආලය උපදවා එය ලබන්නට නැවැතත් ‘පඨවි පඨවි’ යි යෝග කරන්නේ ය. එවිට ඔහුට පීති - සුඛ - එකග්ගතා යන තුන් අඟින් යුත් තෘතීයධ්‍යානය එක් වරක් උපදනේ ය. භවාඞ්ගසිත් අනතුරුව පහළ වේ.

ඉක්බිති මේ තෘතීයධ්‍යානය වසී කළයුතු ය. පංචවිධ වසිතාවන්ගෙන් එසේ වසී කොට ‘ මා ලත් මේ තෘතීයධ්‍යානය පීති නම් බලගතු අවයවයකින් හැනී සිටියේ ය, ඒ නො මැනැවි, ඒ හා එක් ව ඉදිරියට නො යා හැකි ය, එහෙයින් ඒ හැර දමා සුඛ-එකග්ගතා යන දෙයඟින් සැදුනු චතුර්‍ත්‍ථධ්‍යානය ලැබිය යුතුය’ යි තෘතීයධ්‍යානයෙහි ආලය හැර චතුර්‍ත්‍ථධ්‍යානයෙහි ආලය උපදවා ‘පඨවි පඨවි’ යි නැවැතත් යෝග කරන්නේ ය. එකල සුඛ-එකග්ගතා යන දෙයඟින් යුත් චතුර්‍ත්‍ථධ්‍යානය එක් වරක් උපදනේ ය. අනතුරුව භවාඞ්ගසිත් පහළ වේ.

ඉක්බිති මේ චතුර්‍ත්‍ථධ්‍යානය පංචවිධවසිතාවන්ගෙන් වසී කළ යුතු ය. ‘මේ සුඛය වහා පෙරළෙන සුලුය’ යි එහි දොස් දැක්ක යුතු ය. නැවැත, පංචමධ්‍යානය සාන්ත ලෙසින් සලකා ‘ පඨවි පඨවි’ යි යෝග වැඩිය යුතු ය. එවිට උපෙක්ඛා - එකග්ගතා යන දෙයඟින් යුත් පංචමධ්‍යානය වරක් උපදනේ ය. යට කී ලෙස මෙය ද වසිතාවන්ගෙන් වසී කළයුතු ය. දැන් මේ යෝගී තෙමේ රූපාවචර ධ්‍යානයන්ගේ මුදුනට පැමිණියේය යි දත යුත්තේ ය.

ඉක්බිති යෝගී තෙමේ, ‘රූපය, කලහ විග්‍රහ විවාදාදියට හා නානාවිධ රෝගයනට ස්ථාන වන්නේ ය, සසරදුකට හේතුව මේ රූපය ය, මේ කිසිවෙක් අරූපයෙහි නැතැ’ යි රූපයෙහි දොස් දැක ‘ධි රූපං, ධි රූපං’ යි රූපයට ගරහා රූපද්ධ්‍යානයෙහි ආලය හැර අරූපද්ධ්‍යානයෙහි ආලය උපදවන්නේ ය. නැවැත රූපාවචරද්ධ්‍යාන ඉපදවීමට කරුණු වූ ආකාසකසිණය හැර සිටි නවකසිණ අතුරෙහි යම්කිසි කසිණයෙක චතුර්‍ත්‍ථද්ධ්‍යානය උපදවන්නේ ය. මෙසේ උපදවා ගත් චතුර්‍ත්‍ථද්ධ්‍යානයට අරමුණු වූ කසිණරූපයෙහි කළකිරුණු සිතැත්තේ එයින් දුරු වන්නට සිතා පුරුදු කළ වසිතා ඇති ව, ප්‍රගුණ වූ චතුර්‍ත්‍ථද්ධ්‍යානයෙන් නැගී එහි දොස් සලකා ආලය දුරු කොට ‘ආකාසානඤ්චායතනය සාන්ත’ යි සිතට නගා පඨවිකසිණාදියෙන් සිත උගුළුවා ඒ කිසුණු ඉගුළූ ආකාසය සක්වළ කෙළවර කොට හෝ තමන් කැමැති තැනෙක හෝ පතුරුවා, කිසුණු ඉගුළූ අහස ම අරමුණු කොට ‘ආකාසො, ආකාසො’ යි හෝ ‘අනන්තො ආකාසො, අනන්තො ආකාසො’ යි හෝ යෝග කරන්නේ ය. එවිට යෝගියා පිළිබඳ නීවරණ ධර්‍ම යටපත් ව යයි. යෝගයට අරමුණු වූ ආකාසය අරමුණු කොට මනෝද්වරාවර්‍ජන චිත්තය උපදනේ ය. එයට අනතුරු ව තිහේතුක උපෙක්ඛාසහගත මහාකුසලචිත්තයන් දෙදෙන අතරින් එක්තරා කුසල චිත්තයක් පරිකම්මාදි නමින් තුන් වරක් හෝ සතර වරක් උපචාරසමාධි ජවන කෘත්‍යය සිද්ධ කළ කල්හි සතරවනු ව හෝ පස්වනු ව උපෙක්ඛා - එකග්ගතා යන ධ්‍යාන නාමය ප්‍රධාන කොට ඇති චෛතසික සමතිසකින් යුත් ආකාසානඤචායතනකුසලචිත්තය එක් වරක් උපදනේ ය. නැවැත භවාඞ්ග වේ.

ඉක්බිති යෝගියා තමන් ලැබූ ඒ ආකාසානඤ්චායතනද්ධ්‍යානය යට කී ලෙසින් පංචවසිතාවන්ගෙන් පුරුදු කළ යුතු ය. අවුලා ගත් රන්මිලපොදියක් නැවැත නැවැත මුදා බලන්නකු සේ ආකාසානඤ්චායතනකුසලචිත්තයෙහි යෙදී ඇති උපෙක්ඛා - එකග්ගතාවෝ නොයෙක් වර ප්‍රත්‍යවේක්‍ෂා කොට බැලිය යුතුය. එවිට ඔහුට ‘මේ ආකාසානඤ්චායතනකුසලචිත්තය රූපාවචරද්ධ්‍යානසඞ්ඛ්‍යාත සතුරකුට ලංව සිටියේ ය, කසිණලෝක නැමැති රූපය පැතිර වූ ආකාසය අරමුණු කොට, ලැබූ හෙයින් මේ ධ්‍යානය ප්‍රණීත නො වන්නේ ය, විඤ්ඤාණඤ්චායතනද්ධ්‍යානය ම ප්‍රණීත වන්නේ ය” යි විඤ්ඤාණඤ්චායතනද්ධ්‍යානයෙහි ආලය උපදවා විඤ්ඤාණඤ්චායතනය ශාන්ත වශයෙන් සිතට ගෙණ, ඒ අහස පැතිර සිටි විඤ්ඤාණය, ‘විඤ්ඤාණං, විඤ්ඤාණං’ යි පුනපුනා මෙනෙහි කළ යුතු ය. එසේ කරන්නා වූ ඒ යෝගියා පිළිබඳ නීවරණධර්‍ම යටපත් ව යෑමෙන් ආකාසානඤ්චායතන ද්ධ්‍යානය අරමුණු කොට මනෝද්වාරාවර්‍ජනචිත්තය උපදනේ ය. ඉන් පසු තිහේතුක උපෙක්ඛාසහගත කාමාවචර කුසලචිත්තයන් දෙදෙනා අතුරෙන් එක්තරා කුසලචිත්තයක්, පරිකම්ම, උපචාර අනුලෝම, ගෝත්‍රභූ යන නම් ගෙණ සතර වරක් හෝ, උපචාර අනුලෝම, ගෝත්‍රභූ යන නම් ගෙණ තුන් වරක් හෝ ඉපද ගිය පසු පස්වනු ව හෝ සතරවනු ව උපෙක්ඛා - එකග්ගතා යන ධ්‍යානාඞ්ග දෙක ප්‍රධාන කොට ඇති චෛතසිකධර්‍ම සමතිසකින් යුත් විඤ්ඤාණඤ්චායතන අර්‍පණාකුශලචිත්තය උපදනේ ය. දැන් ආකාසානඤ්චායතනය නැත්තේ ය. ඒ අභාවයට ගියේ ය.

ඉක්බිති යෝගියා, මේ ලත් විඤ්ඤාණඤ්චායතනද්ධ්‍යානය, පංචවසිතාවන්ගෙන් වසී කොට ‘මෙය ආකාසානඤ්චායතනයට ලං ව සිටියේ ය, එය මෙයට ප්‍රතිපක්‍ෂ ය, ආකිඤ්චඤ්ඤායතනය සේ ශාන්ත නො වන්නේ ය’ යි විඤ්ඤාණඤ්චායතනයෙහි දොස් දැක එහි ආලය හැර ආකිඤ්චඤ්ඤායතනයෙහි ආලය උපදවා එය ශාන්ත යි සිතට නගා විඤ්ඤාණඤ්චායතනයට අරමුණු වූ ආකාසානඤ්චායතනයාගේ අභාවය අරමුණු කොට ‘නත්‍ථි කිංචි, නත්‍ථි කිංචි’ යි හෝ, ‘සුඤ්ඤං, සුඤ්ඤං’ යි හෝ, ‘ධි චිත්තං, ධි චිත්තං’ යි සිත වඩන කල්හි එය ම අරමුණු කොට, මනෝද්වාරාවර්‍ජනචිත්තය උපදනේ ය. නැවැත එම අරමුණ ම එල්බ තිහේතුකඋපෙක්ඛාසහගතකාමාවචරකුසලචිත්තයන් දෙදෙනා අතුරෙන් එක්තරා එකෙක් සතර වරක් හෝ තුන් වරක් උපචාර සමාධිජවනකෘත්‍යයන්ගේ වශයෙන් ඉපිද නිරුද්ධ වෙයි. අනතුරු ව උපෙක්ඛා-එකග්ගතා යන ධ්‍යනාඞ්ග ප්‍රධාන කොට ඇති චෛතසික සමතිසකින් යුත් ආකිඤ්චඤ්ඤායතනඅර්‍පණාකුශලචිත්තය පිහිටන්නේ ය. මෙහිලා මේ යෝගියා දකින්නේ විඤ්ඤාණඤ්චායතනයාගේ අභාවම ය.

ඉක්බිති යෝගී තෙමේ මෙය පංච වසිතාවන්ගෙන් වඩ වඩාත් පුරුදු කරන්නේ ‘මා ලැබු මේ සමාපත්තියට විඤ්ඤාණඤ්චායතන නම් සතුරෙක් ඇත්තේ ය, එහෙයින් මෙය හැර දැමිය යුතු වන්නේ ය, නෙවසඤ්ඤානාසඤ්ඤායතනය සේ ශාන්ත ද නො වන්නේ ය, ආකිඤ්චඤ්ඤායතනයෙහි දොස් දැක, එහි ආලය හැර, නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි ආලය උපදවා ශාන්ත හෙයින් සිතට නගා ආකිඤ්චඤ්ඤායතනධ්‍යානචිත්තය අරමුණු කොට ‘සන්තමෙතං, පණීතමෙතං’ යි සිත වඩන්නේ ය. භාවනා කරන්නේය. මෙසේ එහි සිත නැවැත නැවැත වඩන්නා හට නීවරණධර්‍ම යට ව ගොස් එයම විෂයකොට මනෝද්වරාවර්‍ජන චිත්තයෙක් පහළ වන්නේ ය. අනතුරු ව තිහේතුකඋපෙක්ඛාසහගතකාමාවචරකුසලචිත්තයන් දෙදෙනා අතුරෙන් එක්තරා සිතෙක් සතර වරක් හෝ තුන් වරක් යට කී ලෙසින් උපචාර. සමාධිජවනකෘත්‍යය සිදු කරමින් ඉපද නිරුද්ධ වන්නේ ය. ඉන්පසු උපෙක්ඛා - එකග්ගතා යන ධ්‍යානාඞ්ග දෙක ප්‍රධාන කොට. ඇති චෛතසික සමතිසකින් යුත් නෙවසඤ්ඤානාසඤ්ඤායතන අර්‍පණාචිත්තය සතර වනු ව හෝ පස්වනු ව එක්වරක් ඉපද නිරුද්ධ වේ. එය ද මේ යෝගියා යට කී ලෙසින් වසීභූත කරන්නේ ය.

නෙවසඤ්ඤානාසඤ්ඤායතනචිත්තයෙහි ඇති චිත්ත චෛතසික ධර්‍ම විදර්‍ශනා වඩන යෝගාවචරයන්ගේ තිලකුණු භාවනාවට අරමුණු නො වේ. එසේ අරමුණු නො වනුයේ ඒවා ඉතා සියුම් බැවිනි. ගුරුවරයා අතැවැසියා සමග දිග් මගෙක යන කල්හි අතැවැසියා ඉදිරියෙහි දියත්තෙක් දැක ‘ස්වාමීන් වහන්ස! වහන් ගලවනු මැනැව, දිය ඇත්තේ ය’ යි කී කල්හි ගුරුවරයා ටඋන්නැහේ! එසේ නම් නානකඩ ගන්න, වතුර ටිකක් නාමිට යි කී විට, ‘නාන්නට තරම් වතුර නැතැ’ යි අතැවැසියා කී ය. මෙහිලා වතුර ටිකක් තුබූ බැවින් වතුර ඇතැයි කීයේ ය. නාන්නට තරම් වතුර එහි නො වූ බැවින් වතුර නැතැ, යි කීයේ ය. එපරිද්දෙන් විදර්‍ශනාවට ගොදුරු විය යුතු පටු සංඥාවක් නැති බැවින් ‘නෙව සඤ්ඤා, යි ද, සංඥා ව නැත්තේ ද, නො වන බැවින් ‘නාසඤ්ඤා’ යි ද කියති.

ගේ දොර ආදිය නැති මහකතරමගෙක එක්තරා මණ්ඩපයෙක් ඇත්තේ ය. එහි යට අසූචියෙන් අපවිත්‍ර ය. පා තැබීමට තැනක් එහි නැත. එක්තරා පුරුෂයෙක් හිරු රැසින් වෙහෙසට පත් වූයේ විඩා සන්සිඳවන්නට තැනක් සොයන්නේ මණ්ඩපය දැක එහි ගියේ ය. එහෙත් එහි පා තබන්නට තැනක් නැති බව දැක විඩා හරින්නට පිළිවෙළක් ද නො වූ බැවින් මණ්ඩපයෙහි කොණෙක එල්ලී පය පොළොව නො හපා ම සිටියේ ය. ඒ අතර අනෙකෙක් ද එහි ආයේ හිරුරැසින් ද තැවුනේ පළමු පුරුෂයා සේ මණ්ඩපය ලඟට ගොස් එහි යට අසූචි පිරී තිබෙනු දැක එහි පළමු එල්ලී සිටියහුගේ එක් පසෙක එල්ලී ගත්තේ ය. තවත් එකෙක් එහි ආයේ ය. ඔහු ද හිරුරැසින් තැවී විඩාපත් ව සිටියේ ය. වට පිට බැලී ය. පා තබන්නට තැනෙක් එහි නො වී ය. එහෙයින් ඔහු මණ්ඩපයෙහි අනික් කොණෙහි එල්බ ගත්තේ ය. එසේ ම මග විඩාපත් සිවුවැනෙක් ද එහි පැමිණ වට පිට බැලුයේ සිට ගන්නට තැනක් නො දැක තුන් වැන්නාගේ පය එල්බ ගත්තේ ය.

මෙහි කතරමග නම්, සසර ය. අසූචියෙන් පිරි පෙදෙස නම් කාමලෝකය ය. මණ්ඩපය නම්, සතර අරූපභූමීහු ය. මණ්ඩපයෙහි පළමු එල්බ ගත්තේ නම් ආකාසානඤචාතනද්ධ්‍යානය ලැබූ යෝගී තෙමේ ය. පළමු එල්බ ගත්තහුගේ පය එල්බ ගත් දෙවැන්නා නම්, ආකාසානඤ්චායතනය අරමුණු කොට විඤ්ඤාණඤ්චායතන ද්ධ්‍යානය ලැබූ යෝගී තෙමේ ය. මණ්ඩපයෙහි අනික් කොණ ඵලබ ගත් තෙවැන්නා නම්, ආකිඤ්චඤ්ඤායතනද්ධ්‍යානය ලැබු යෝගී තෙමේ ය. ඒ තෙවැන්නහුගේ පය එල්බ ගත්තේ නම්, නෙවසඤ්ඤානාසඤ්ඤායතනද්ධ්‍යානය ලැබූ යෝගී තෙමේ ය. සසරකතර මග වැනි කොට, කාමලෝකය අසූවියෙන් පිරි පෙදෙස වැනි කොට, යන ඈ ලෙසින් මේ හැමෙකක් මෙහිලා දත යුතු ය.

රූපාවචරප්‍රථමද්ධ්‍යානයට, දසකසිණ - දසඅසුභ - කායගතාසති - ආනාපානසති - මෙත්තා - කරුණා - මුදිතා යන පස් විස්ස, ස්ථාන වේ. මේ පස්විසි කමටහන් අතුරෙහි තමාගේ චරිතයට සුදුසු කමටහනක් වැඩීමෙන් ප්‍රථමද්ධ්‍යානය ඉපදවිය හැකි ය.

රූපාවචරද්විතියද්ධ්‍යානයට, දස කසිණ - ආනාපානසති - මෙත්තා - කරුණා - මුදිතා යන තුදුස ස්ථාන වේ. එ ද චරිතානුකුලව ය.

රූපාවචරතෘතීයද්ධ්‍යානයට, හා රූපාවචරචතුර්‍ත්‍ථද්ධ්‍යානයට, ද ස්ථාන වනුයේ මේ තුදුසම ය. චරිතානුකූලව ම ඒ වන්නේ ය.

රූපාවචරපංචමද්ධ්‍යානයට, දස කසිණ - ආනාපානසති - උපෙක්ඛා යන මේ දොළොස ස්ථාන වේ. වන්නේ ද චරිතානුකූලව ය.

මෙහි දැක් වූ කමටහන් ඒ ඒ යෝගියාගේ චරිතයට නො ද ගැළපේ නම්, ඒ වැඩීමෙන් වැඩෙක් නො වේ. තම චරිතයට ගැළපෙන කමටහනක් වැඩීමෙන්ම ය ධ්‍යාන ඉපදවිය හැක්කේ.

ධ්‍යාන ඉපදවිය හැක්කෝ ත්‍රිහේතුක පුද්ගලයෝ ය. සුගති අහේතුක-දුහේතුක-තිහේතුක යි පුද්ගලයෝ තිදෙනෙකි. අලෝභ-අදෝස-අමෝහ යන මොවුහු කුසල හේතූහු ය. මිනිසකු පිළිසිඳ ගන්නා කල්හි ඔහුගේ ප්‍රතිසන්ධිචිත්තයෙහි මුලින් කී හේතු තුනින් එකෙකුත් නො යෙදුනේ නම්, හෙතෙමේ සුගති අහේතුක නමි. ඔහු උපන්නේ කුසලඅහේතුකඋපෙක්ඛාසහගත සන්තීරණචිත්තයෙන් ය. එහෙයින් ඔහු ජාත්‍යන්ධත් ජාතිබධිරත් ජාතිමූකත් ජාත්‍යුන්මත්තකත් පණ්ඩකත් වේ. ඉන්ද්‍රියවිකලත්වයකට නො පත් වූයේ ද විචාරණශක්තියෙන් තොර වූයේ ය.

යමක්හුගේ ප්‍රතිසන්ධිචිත්තයෙහි අලෝභාදිහේතු තුනින් අලෝභ - අදෝස යන හේතු දෙක පමණක් යෙදුනේ නම්, ඔහු ය දුහේතුක. ඔහු ද විචාරණශක්තියෙන් පිරිහී සිටියේ ය. මේ දෙදෙන ම ධ්‍යාන ලැබීමට සුදුසු නො වෙති. කොතෙක් උත්සාහ කළ ද, මොවුනට ධ්‍යාන නො ඉපදවිය හැකි ය.

යමක්හුගේ ප්‍රතිසන්ධිචිත්තයෙහි මෙකී හේතු තුනම යෙදුනේ නම්, ඔහු ය තිහේතුක. මේ තෙමේම ය මිනිස් ගණයෙහි මිනිස් සමාජයෙහි විශාරදව පැළඹෙන්නේ. ලෝකයාගේ සම්භාවනයට පාත්‍ර වනුයේ. මොහුට ය ධනය ඉපදවිය හැක්කේ. සුගති අහේතුකාදී වූ පුද්ගලයෙක් සීලය පිරිසිදු කොට බුදුරජුන් ම ඇසුරු කොට චරිතානුකූල වූ කමටහනක් ගෙණ ජීචිතය මුළුල්ලෙහි භාවනා කළේ නමුත් ඔහුට ධ්‍යාන නො ඉපදවිය හැක්කේ ය. එබඳු එකෙක් ‘ධ්‍යාන උපදවමි’ යි වාචකාල උපාසකාදීන් මෙන් නො සුදුසු තැන උත්සාහ කොට ද එබඳු ගුණයකට නො පැමිණියේ උමතු බවට, වෙහෙසට, සිත් පෙරළියට, වැටී මේ නෛර්‍ය්‍යයාණික ශාසනය හිස් එකකැ යි ගෙණ, මැරී ගොස් සිවු අපායයෙහි වැටෙන්නේ ය. මොවුහු මේ අත්බවේ දී ධ්‍යාන නො ලැබෙන බව දැන දැන ‘මතු භවයක ධ්‍යාන ලබමු’ යි යන අදහසින් භාවනා කරන්නෝ නම්, ඔවුන්ගේ ඒ භාවනාව හිස් නො වන්නී ය. සංසාරයෙහි භාවනා කොට පුරුද්ද ඇත්තවුනට ගොයකමත් ආදියෙහි ද නිමිත්ත ලැබ ධ්‍යානය උපදනේ ය. එසේ භාවනා කොට සසර පුරුද්ද ඇත්තෝ තිහේතුක ව ඉපදගත් අත්බවේ දී වහාම ධ්‍යන ලබන්නෝ ය. ත්‍රිහේතුක පුද්ගලයෝ ද පංචානන්තරිකර්‍මය කළෝ නම්, ඔවුනට ද දෘඪලෝභයෙන් බැඳී සිටි ත්‍රිහේතුකයන්ට ද පාරාජිකාපත්තියට පැමිණ, ‘අපි නියම මහණෝ වෙමු” යි හඟවා ගෙණ සසුනෙහි වසන ත්‍රිහේතුකයාට ද ධ්‍යාන නො ලැබේ.

අකාසානඤ්චායතනධ්‍යානයට, යම් කිසි කසිණයක් වඩා උපදවාගත් ප්‍රතිභාග නිමිත්ත කසිණාලෝකය කැමැති තාක් අහසෙහි පතුරුවා ඒ කසිණාලෝකය උගුළුවා ලබන කසිණුග්ඝාටිමාකාස පඤ්ඤත්තිය ස්ථාන වේ.

විඤ්ඤාණඤ්චායතනද්ධ්‍යානයට, ඒ ආකාසානඤ්චායතනකුසල චිත්තය ස්ථාන වන්නේ ය. අරමුණු වන්නේ ය.

ආකිඤ්චඤ්ඤායතනද්ධ්‍යානයට, ආකාසානඤ්චායතනයාගේ නාස්තිත්වය ස්ථාන වන්නේ ය. අරමුණු වන්නේ ය.

නෙවසඤ්ඤානාසඤ්ඤායතනද්ධ්‍යානයට, ආකිඤ්ඤායතන කුසල චිත්තය ස්ථාන වන්නේ ය. අරමුණු වන්නේ ය. මෙහි ඉතා සැකෙවින් කියූ ධ්‍යානයන්ගෙන් විතර විසින් ධ්‍යායීවූවෝය ඣායි නම්. මෙන්න ධ්‍යායීහු:-

පඨමෙන’පි ඣානෙන ඣායී

දුතියෙන’පි ඣානෙන ඣායී.

තතියෙන’පි ඣානෙන ඣායී.

චතුත්‍ථෙන’පි ඣානෙන ඣායී.

සවිතක්කසවිචාරෙන’පි ඣානෙන ඣායී.

අවිතක්කවිචාරමත්තෙන’පි ඣානෙන ඣායී.

අවිතක්කඅවිචාරෙන’පි ඣානෙන ඣායී.

සප්පීතිකෙනපි ඣානෙන ඣායී.

නිප්පීතිකෙන’පි ඣානෙන ඣායී.

පීතිසහගතෙන’පි ඣානෙන ඣායී.

සාතසහගතෙන’පි ඣානෙන ඣායී.

සුඛසහගතෙන’පි ඣානෙන ඣායී.

උපෙක්ඛාසහගතෙන’පි ඣානෙන ඣායී.

සුඤ්ඤතෙන’පි ඣානෙන ඣායී.

අනිමිත්තෙන’පි ඣානෙන ඣායී.

අප්පණිහිතෙන’පි ඣානෙන ඣායී.

ලොකියෙන’පි ඣානෙන ඣායී.

ලොකුත්තරෙන’පි ඣානෙන ඣායී.

ඣානරතො එකත්තමනුයුත්තො සදත්‍ථගරුකො ති ඣායී.

අත්‍ථෙ’කච්චො ඣායී, සම්පත්තිං යෙව සමානං විපත්තී’ති පච්චෙති.

අත්‍ථෙ’කච්චො ඣායී, විපත්තිං යෙව සමානං සම්පත්තී’ති පච්චෙති.

අත්‍ථෙ’කච්චො ඣායී, සම්පත්තිං යෙව සමානං සම්පත්තී’ති පච්චෙති.

අත්‍ථෙ’කච්චො ඣායී, විපත්තිං යෙව සමානං විපත්තී’ති පච්චෙති.

අත්‍ථෙ’කච්චො ඣායී, දන්‍ධං සමාපජ්ජති ඛිප්පං වුට්ඨාති.

අත්‍ථෙ’කච්චො ඣායී, ඛිප්පං සමාපජ්ජති දන්‍ධං වුට්ඨාති.

අත්‍ථෙ’කච්චො ඣායී, දන්‍ධං සමාපජ්ජති දන්‍ධං වුට්ඨාති.

අත්‍ථෙ’කච්චො ඣායී, ඛිප්පං සමාපජ්ජති ඛිප්පං වුට්ඨාති.

අත්‍ථෙ’කච්චො ඣායී, සමාධිස්මිං සමාධිකුසලො හොති, න සමාධිස්මිං සමාපත්ති කුසලො.

අත්‍ථෙ’කච්චො ඣායී, සමාධිස්මිං සමාපත්තිකුසලො හොති, න සමාධිස්මිං සමාධි කුසලො.

අත්‍ථෙ’කච්චො ඣායී, සමාධිස්මිං සමාධිකුසලො ච හොති, සමාධිස්මිං සමාපත්තිකුසලො ච.

අත්‍ථෙ’කච්චො ඣායී, නෙව සමාධිස්මිං සමාධිකුසලො හොති, න සමාධිස්මිං සමාපත්තිකුසලො.

සතාතිකා = නිතර පැවැති කායික චෛතසිකවීර්‍ය්‍යය ඇති.

‘ධීරා’ යන්නට විශේෂණ යි. ගිහිගෙයින් නික්මුණු තැන් පටන් අර්‍හත්මාර්‍ගය තෙක් නිතර පැවැති කයේ හා සිතේ නැගී වීර්‍ය්‍යය ඇති ධීරයෝ මෙයින් ගැණෙති. “සාතතිකාති අභිනික්ඛමණතො පට්ඨාය යාව අරහත්තමගගා, සතතං පවත්ත කායික චෙතසිකවිරියා” යනු අටුවා ය.

නිච්චං දළ්හපරක්කමා = නිති පැවැති දෘඪ පරාක්‍රමයෙන් යුත්.

‘ධීරා’ යනු බලා සිටියේය. දෘඪ පරාක්‍රමය නම්, සිරුරෙහි ලේ මස් වියලී ගියත්, ලැබිය යුතු දෑ නො ලබා, පැමිණිය යුතු තැනට නො පැමිණ, පසුබට නො වෙමි යි මෙසේ පැවැති වීර්‍ය්‍යය. මේ ඒ කී සැටි:- “යං තං පුරිසථාමෙන පුරිසවිරියෙන පුරිස පරක්කෙමන පත්තබ්බං න තං අපාපුණිත්‍වා විරියස්ස සන්‍ථානං භවිස්සති” යි.

ඵුසන්ති = ස්පර්‍ශ කෙරෙත්. පහසත්.

මෙහි ඵුසනා දෙකෙකි. ඤාණඵුසනා-විපාකඵුසනා යි. ඤාණ ඵුසනා නම්, සෝතාපත්ති ආදි වූ සිවු වැදෑරුම් මාර්‍ගයෝ ය. මේ ඒ කීම:- ‘චත්තාරො මග්ගා ඤාණඵුසනා නාම’ යනු. විපාක ඵුසනා නම්, සිවූ වැදෑරුම් වූ සෝතාපත්ති ආදී වූ ඵලයෝ ය. මේ එය:- ‘චත්තාරි ඵලානි විපාකඵුසනා නාම’ යන මෙයින් මෙහි අදහස් කරණ ලද්දෝ විපාකඵුසනා නම් වූ ඵලධර්‍මයෝ ය. ඒ බව ‘තෙසු ඉධ විපාකඵුසනා අධිප්පෙතා’ යන මෙයින්, පැහැදිලි කළහ.

ධීරා - ප්‍රාඥයෝ. නුවණැත්තෝ.

ආර්‍ය්‍යඵලයෙන් නිවන් පසක් කරන්නෝ ය ධීරයෝ. මේ ධීරා’ යන්න පොතපතෙහි නොයෙක් ලෙසින්, වැණූහ, අරුත් ගෙන හැර පා. ‘ධිතිමා’ති = ධීරා’ ධෘතිමත් පුරුෂයෝ ධීරයෝ. ‘ධිතිසම්පන්තා = ධීරා’ පාණ්ඩිත්‍යයෙන් යුක්තයෝ ධීරයෝ. ‘ධික්කිතපාපාති=ධීරා’ නින්දා කළ පව් ඇත්තෝ ධීරයෝ. මේ ඒ වැණුම්වලින් කිහිපයෙකි. ‘ධී ‘ නම් ප්‍රඥා ය. ඒ ඇත්තෝ ධීරයෝ ය. “ධී වුච්චති පඤ්ඤා, තාය සමන්නාගතා ධීරා” යනු ඒ බව කීහ. මොවුහු, ඛන්ධධීර-ධාතුධීර-ආයතනධීර-පටිච්චසමුප්පාදධීර-සතිපට්ඨානධීර-සම්මප්පධානධීර - ඉද්ධිපාදධීර - ඉන්ද්‍රියධීර - බොජ්ඣඞ්ගධීර - මග්ගධීර - ඵලධීර - නිබ්බාණධීර යි නන් වැදෑරුම් වෙති. පඤ්චස්කන්ධය, නාමරූපවශයෙන් ලක්ඛණරස පච්චුපට්ඨාන වශයෙන් යන ඈ ලෙසින් බෙදා වෙන් කොට සිතට නගා බලන්නෝ ය, පඤ්චස්කන්ධවිෂයයෙහි නුවණ යොදා බලන්නෝ ය ඛන්ධධීරයෝ. මේ ලෙසින් සෙස්ස ද සලකා ගත හැකි ය. මෙහි විපාකඵුසනා නම් වූ ආර්‍ය්‍යඵලයෙන් නිවන ප්‍රත්‍යක්‍ෂකර කරන්නෝ ය ධීරයෝ යි කියන ලද්දෝ.

නිබ්බාණං = නිවන.

තෘෂ්ණා - උපාදානාදී වූ සියලු කෙලෙස් මුලසුන් කිරීමට මගපල සිත්වලට අරමුණුවන ශාන්තස්වභාවය නිබ්බාණ නම්. මෙය තෘෂ්ණාවෙන් නික්ම සිටි බැවින්, තෘෂ්ණාව හා නො ගැටුනු බැවින් නිබබාණ යි කියනු ලැබේ. [2] (ඉදිරියෙහි විස්තර එන්නේ ය).

යොගක්ඛෙමං = යෝගයන්ගෙන් නිර්‍භය වූ

යෝග නම්, කාම - භව - දිට්ඨි - අවිජ්ජා යන සතර ය. “චත්තාරො යොගා කාමයොගො භවයොගො දිට්ඨිගො අවිජ්ජායොගො” යි. කාමවස්තුන් කෙරෙහි ඇල්ම, එහි යෙදීම, එහි ගිජුවීම කාමයෝග නමි. රූපාරූපභවයෙහි ඇල්ම, යෙදීම, ගිජුවීම භවයෝග නමි. දෙසැට මිසදිටු දිට්ඨියෝග නමි. සිවුසස් මුවාකරණ මෝහය අවිජ්ජායෝග නමි. මෙකී කාමාදීහු, සත්වයන් සසරෙහි කර්‍මඵලයන් හා යොදත්නු යි එක් කෙරෙත්නු යි ‘යොග’ නම් වෙති. (විස්තරය ඉදිරියෙහි එන්නේ ය)

අනුත්තරං = නිරුත්තර වූ.

සියලු ලෞකික-ලෝකෝත්තරධර්‍මයන්ට වඩා නිර්‍වාණය ශ්‍රේෂ්ඨ බැවින් අනුත්තර නම් වේ. “සබ්බෙහි ලොකියලොකුත්තරධම්මෙහි සෙට්ඨත්තා අනුත්තරං” යනු අටුවාය. ‘යොගක්ඛෙමං, අනුත්තරං’ යන දෙපදය ‘නිබ්බාණං’ යන්නට විශේෂණව සිටියේ ය.

මේ ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවන්ඵලාදියට පැමිණියෝ ය. දේශනාව මහාජනයාට වැඩ සහිත වූ ය.

උදේන ඝෝෂක සාමාවතී ආදීන්ගේ කථා වස්තුව නිමි.

  1. ‘යො ච වන්ත කසාවස්ස’ යන්නෙහි පරිකථාව බලනු.

  2. 1-14 ‘ධම්මස්ස’ යන්නට කළ පරිකථාව බලනු.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.